Thursday 20 July 2017

සෝවියට් ඇනෝ ගේ සමාජවාදය


සෝවියට් මත්පැන් බෝතල් බ්රෙශ්නෙව් ගේ පින්තුරය යට (අන්තර්ජාලයෙන්)
ගිය වර ලිපියේ මෙන්න මෙහම ප්‍රශ්නයක් අහල තිබුන ඇනෝ කෙනෙක්. 
"මහත්මයා මුලික උපාධිය ලබාගත්තේ සෝවියට් රුසියාවේ කාරුණික අනුග්‍රහය නිසා නේද? ඒ කියන්නේ ගොවියා,ධීවරයා, කම්කරුවාගේ දාඩිය මහන්සියෙන්.
ඒත් ඇයි දැන් මේ අන්ත දක්ෂිණාංශික ධනපති ආණ්ඩු වලට ලැදියාව දක්වන්නේ? ඔබතුමා සමාජවාදය යටතේ අධ්‍යාපනය ලබා, දැන් අධ්‍යාපනය විකිනීමට පක්ෂපාතිත්වය දක්වනවා. මෙය යුක්ති සහගත වන්නේ කෙසේද?"

මම දුන්න කෙටි පිළිතුර එම ලිපියේ කෙළවර තිබෙනවා. දැන් දෙන්න හදන්නේ දිග පිළිතුරක්. මොකද මේ ප්‍රශ්නය අධ්‍යාපනය  ගැන කතා කරන හැම වෙලේම වගේ දමල ගහන නිසා. 

මගේ එම ලිපි මාලාවේ  සඳහන් වෙන්නේ අධ්‍යාපනය විකිනීමට සහය දැක්වීමක්ද? එහෙම නැත්නම් නැති වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය සයිටම් එක තිබ්බත් නැතත් නැති වෙලා කියන සත්‍යය  අවධාරණය කිරීමද? මට නම්  සයිටම් එක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ගේම් එකක් විතරයි.  බැලූ  බැල්මට ධනපතියෙක්ගේ විද්‍යාලයක් ලාභය ගන්න  අධ්‍යාපනය විකුණනවා. ඒකට විරුද්ධ වෙමු වෛද්‍ය සංගමය සමග. හරිම සරලයි තේරුම් ගන්න.

නමුත් ඒ ගොල්ලෝ සඟවන්නේ මොකක්ද? අවම වශයෙන් අවුරුදු 20 කට කලින් තිබ්බ නිදහස් අධ්‍යාපනයක් වත් දැන් නැහැ. පාසල් වල උගැන්වීම් සෑහෙන්න කඩන්  වැටිලා. ඒ අතරේ හොඳ ගුරුවරු දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ඉන්න බව අමතක කරන්නත් හොඳ නැහැ. නමුත් හතර පන්තියේ ඉඳලා  ළමයි ටියුෂන් පන්ති යවන රටක තමයි මේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ.

සම්පුර්ණ නිදහස් අධ්‍යාපනයක් දෙන්න නම් එක්කෝ ජර්මනිය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය වගේ දියුණු රටක් වෙන්නේ ඕනේ. නැතිනම් තනි රටක සමාජවාදයක් පිහිටුවීමේ න්‍යාය යටතේ සමාජවාදී රටක් පිහිටුවන්න ඕනේ. (කියුබාව , උතුරු කොරියාව වගේ )
ඔය දෙක අතර මැද තියෙන්නේ සිරිමාගේ ආණ්ඩු කාලය. සල්ලි දුන්නත් ලංකාවේ මිනිස්සු ඒකට නම්මා ගන්න  එකනම් බොරු. ඒ නිසා " සයිටම් වහපියව්" කියන එක මත තමා පැවැත්ම තියෙන්නේ. ඒක වැහුවොත් ඊට පස්සේ තව මොකක් හරි එයි.  අඩුම ගානේ තමන්ටවත් අවංක වෙලා කිව්වා නම් මිනිසුන්ට අපි මේ හදන්න උත්සාහ කරන්නේ  සමාජවාදය. ඒකෙදි නිදහස් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම දෙනවා කියල. මිනිස්සු කැමති නම් චන්දෙ දෙයි.

දැන් යමු සෝවියට් දේශය ගැන කතා කරන්න. සෝවියට් දේශය හිඟන රටක්ය. මිනිස්සු හිඟන්නෝ වගේ හිටියේ කියල කතා අහල තියෙනවා නේද? ඒවා වැඩිමනත් බොරු. ඒ දවස් වල තිබුණු ජේ ආර් ගේ ශ්‍රී ලංකාවේ බහුතරයක් සාමාන්‍ය සෝවියට් වැසියාට වඩා  ධනවත් කියල කියන්න බැහැ.  ලංකාවෙන්  ගිය යුඇන්පී සිරි ලංකා මැති ඇමැතින් ගේ පුත්තුන්ට හෙම දුප්පත් වගේ පේන්න  ඇති.

1917 දී සෝවියට් දේශය පිහිටුවන කොට ඒක යුරෝපයේ කලබල වැඩිම තිබ්බ, යුද්ධයකට මැදිවී තිබ්බ රටක්. නමුත් දුප්පත්ම රට නෙමෙයි. දැන් වුනත් රුසියාව කියන්නේ ලෝකයේ විශාලතම රට. මොකා මොන සම්බාධක දැම්මත් ඕනෑම අමුද්‍රව්‍යයක් තියෙන, වගා කල හැකි ඉඩම් තියෙන ඛනිජ තෙල් නිධි, දියමන්ති අදටත් ඉතිරි වෙලා තියෙන රටක්. ධනවත් රටක්.  යුද්ධය නිසාත් ලෙනින් සමාජවාදය පිහිටවපු නිසාත් රට මුලින් වැටුනත් ලෙනින් ලා මුළු රටටම විදුලිය ලබා දුන්නට පස්සේ එය දියුණු වුනා. ස්ටාලින් ගේ ඒකාධිපතිවාදී  දරුණු පාලනය නිසාම 1939 වනවිට   යුරෝපයේ අනිත් රටවල තත්වයටම සෝවියට් දේශයත් භෞතික වශයෙන් දියුණුවක් ලැබුවා.

දෙවන ලෝක යුද්ධෙන් වැඩියෙන්ම බැට කෑ රටක් තමා සෝවියට් දේශය. මිලියන් ගාණක් මැරිලා රටෙන් භාගයක්ම විනාශ වුණා. ඒ වගේ විනාශ වුන අනිත් රට තමා යුද්ධය පටන් ගත්  ජර්මනිය. දැන් ඔය රටවල් දෙකෙන් ජර්මනියට මාෂල් ක්‍රමය යටතේ අති විශාල මුදල් ප්‍රමාණයක් සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර ඇමෙරිකා  එක්සත් ජනපදයෙන් ලැබුන. එනිසා ඔවුන් සෑහෙන්න දියුණු වුණා. සෝවියට් දේශයටත් 41-45 කාලයේ ඇමෙරිකන් ආධාර ලැබුණා. ඔවුන් ඒවා ගෙවා දැමුවා පසුව.
තරුණ පුරෝගාමීන් රතු චතුරශ්‍රයේ 

"තරුණ කොමියුනිස්ට් සංවිධානය දිනේවා"-ස්ටාලින් 

ඇමෙරිකා  එක්සත් ජනපදයේ ධනවාදය දියුණු වුනේ අවුරුදු 300 තිස්සේ  (1776). මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපිය රටවල් අධිරාජ්‍ය ගොඩ නගාගෙන තිබුන මේ වෙනකොට. කාර්මික විප්ලවයෙන්  පසු අවුරුදු දෙසිය ගානක් ගියා ඔවුන්ට දියුණු වෙන්න. මුලින්ම ධනවාදය අවසන් වෙයි කියල මාක්ස් හිතුවෙත් මේ ධනවාදී රටවල , බ්‍රිතාන්‍යය හෝ ජර්මනියේ.  සෝවියට් දේශයට ඇත්තටම තිබුනේ යුද්ධයෙන් පස්සේ ගතුවුනු අවුරුදු 35-40 පමණයි දියුණු වෙන්න.

ඉතින් 1984 මම සෝවියට් දේශයට යන කොටත් ඒක  ලංකාවට වඩා සෑහෙන  දියුණු රටක්. මුල්ම චන්ද්‍රිකාව උඩු ගුවනට යවල, මුල්ම මිනිසා උඩු ගුවනට යවල, අමෙරිකාවත් පහු කරගෙන ඒ පැත්තෙන් (අජටකාශය ජය ගැනීම) ඉහලට ගිය රටක්.  න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ රටක්. හිඟන රටක් නම් නෙමේ කොහොමටවත්.    නමුත් ඒ රට ගොඩ නැගුවේ ඒකාධිපති වාදී  ක්‍රමයකින්.  1945 - 1985 කාලය දක්වා ගත්තොත්  උමං දුම්රිය පද්ධතිය, මාර්ග පද්ධතිය, නිදහස් සෞඛ්‍ය සේවය, අධ්‍යාපන ක්‍රමය, විදුලි බල පද්ධතිය මේ හැම දෙයක්ම බ්‍රිතාන්‍යය හා හුඟක් යුරෝපීය රටවල් තරම්ම දියුණුයි. ඒ රටවල සංචාරය කරපු නිසා මේක අත්දැකීමෙන්ම දන්නවා.

තට්ටු නිවාසයක් (ෆ්ලැට්) එකක් ඕන නාගරිකයෙකුට තිබ්බ හෝ විශාල ෆ්ලැට් එකක්  පවුල් කිහිපයක් විසින් බෙදා ගැනීම (ෂෙයාර් ) වගේ දෙයක් මිනිස්සු කලා. නගරයෙන් පිටතත් දාච කියන ග්‍රීෂ්ම සෘතුවේ නිවාසත් මොස්කව් වල හුඟක් අයට තිබුන.  මේ තට්ටු නිවාස  වුනත් එංගලන්තේ කවුන්සිල් ගෙවල් වගේ ලොකු ඒවා. ගිහින් තියන නිසාම  මම දන්නවා.

නමුත් සෝවියට් වැසියන්ට  බටහිර  තරම් සුඛෝපභෝගී ජිවන රටාවක් තිබ්බේ නැහැ. ඕනෑ කරන කාරෙකක් ගන්න, සපත්තු කුට්ටමක් ගන්න, ඩෙනිමක්  ගන්න, හොඳ විස්කි බෝතලයක්, බ්‍රැන්ඩි එකක් ගන්න  තිබ්බේ නැහැ.  ශීතකරණ සෝවියට් දේශයේ නිෂ්පාදනය කරපු ඒවා. ඒවා නරකම නැහැ. අපේ කාමරවලත් තිබ්බේ ඒවා. සින්දු අහන සෙට් හරි නැහැ ජපන් ඒවා තරම්. විදේශික ශිෂ්‍යයෝ තමයි හොඳ ඒවා විකුණුවේ.

එතකොට  සෝවියට් දේශය ඇයි නිදහස් අධ්‍යාපනය දුන්නේ විශාල සංඛ්‍යාවක් දියුණු වෙමින් පවතින රටවල සිසුන්ට වගේම බටහිර රටවල සිසුන්ට (ඉතා අඩු සංඛ්‍යාවක්). ඔවුන්ගේ දෘෂ්ටිවාදය - කොමියුනිස්ට්වාදය පතුරුවන්න. ඒකයි හේතුව. ධනවාදී රටවල එක දෘෂ්ටිවාදයක් කියල එකක් නැහැ. එක එක කාලෙට තමන්ට අවශ්‍ය දේ හදා ගන්නවා. කතෝලික පාසල් වල කතෝලික ආගම, බෞද්ධ පාසල් වල බුද්ධාගම, මුස්ලිම් පාසල් වල මුස්ලිම් ආගම උගන්වනවා වගේම  රජයේ පාසල් වල ඔය ඔක්කොම හා ධනවාදී අර්ථ ක්‍රමය අවශ්‍ය නම් උගන්වනවා. ධනවාදී රටවල දෘෂ්ටිවාදය පතුරුවන්නේ මාධ්‍ය හා පොත්පත් මගින්. මුස්ලිම් ආගම බහුතරයක් අදහන මධ්‍යම ආසියාවේ සෝවියට් සමුහාණ්ඩු හුඟක් ලෞකික වුනෙත් ඔන්න ඔය  නිදහස් අධ්‍යාපනය නිසා.

හැබැයි  ඔය ශිෂ්‍යත්ව දීලා කොමියුනිස්ට්වාදය පතුරුවන්න හදපු එක මහා මෝඩ වැඩක්.  හුඟක් සිසුන්ව ඒකට  අනුගත  කර ගන්න බැරිවුනා.තම රටේ  ඉඳන්ම කොමියුනිස්ට්වාදය ගැන දැනගෙන හිටි කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධ කම් තියෙන අය සමහරක් ( අර මම ලිව්ව ජැප්පා වගේ උන් ඇරෙන්න) පසුකාලීනවත් ඒ භක්තිය තියන් හිටිය තමයි . ඉතින් කවුරු  හරි කියන කොට අපි මුලික උපාධිය ගත්තේ ඔන්න ඔය බදු සල්ලි වලින් කියල හිතට එන ප්‍රශ්න ගොඩයි.

සෝවියට් දේශය හුඟක් රටවලට නොමිලේ උදව් කලා. තුල්හිරිය පෙහෙ කම්හල, ඔරුවල වානේ  කම්හල , මිසරයේ අස්වාන් වේල්ල ඕවගේ නොයෙකුත් රටවල නොයෙකුත් දේ හැදුව. මේවා ඇත්තටම මෝඩ වැඩ. ඕව කලේ කොමියුනිස්ට් පක්ෂේ අයගේ මාන්නෙ රැක ගන්න. කොමියුනිස්ට් වාදය කෙසේ වෙතත් නිලධාරිවාදය  ව්‍යාප්ත කරනවට එරෙහිව ඔරුවල බන්දු  ගේ "සෝවියට් සිර මැදිරියේ සිට " වගේ පොත් බිහි වීම තමයි වුනේ. (වානේ පොතට  පස්සේ) ඊට අමතරව අති විශාල මුදලක් වියදමක් දරමින් පිටරටවල (ලංකාවේ  වගේ) කොමියුනිස්ට් පක්ෂයි ඒවායේ හිටි නිලධාරින්වයි නඩත්තු කළා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වුණා.

 සෝවියට් දේශයට ඇත්තටම කරන්න තිබ්බේ මොකක්ද? අර තමන්ගේ මිනිස්සු ගැන බලන එක. උන්ගේ ජිවන තත්වය බටහිර රටවලට වඩා උසස් කරන එක.  ඒක කරන්න  ඕන තරම් සල්ලි සෝවියට් දේශයට තිබ්බ. දැන් රුසියානුවන්ට තෙල් වලින් කොපමණ මුදල් ලැබෙනවද? ඒ කාලේ තෙල් දුන්නේ හුඟක් මිල අඩුවට. කියුබාව ගෙනියන්න. නිකරගුවාව රඳවා ගන්න. අප්‍රිකාවේ ඉන්දියාවේ ලංකාවේ මිනිසුන්ට කම්හල් පුදන එක. ඒවා පස්සේ යකඩ කෑලි වලට විකුණයි කියන එක තේරෙන්න තිබ්බ. දෙන ආධාර මුදල් ඇමෙරිකාව,  ජපානය හෝ යුරෝපය කරනවා වගේ පොළියක්ති යාගෙන දෙන්න තිබ්බේ. මහජන චීනය දැන් කරන්නේ මොකක්ද? නිකන් කිසි ආධාරයක් දෙන්නේ නැහැ. කොන්දේසි ගොඩයි. ණය මුදලට ගහන පොළිය වැඩියි. සෝවියට් වැසියන් බටහිරට වඩා හොඳින් හිටිය නම් බටහිර මිනිස්සුම බලනවා කොහොමද ඒක  වුනේ කියල. ලංකාව, කියුබාව, ඇන්ගෝලාව වගේ රටවල මිනිස්සු විතරක් නෙමේ. ඒ ක්‍රමය වඩා හොඳයි කියල නිකම්ම ඔප්පු වෙනවා.

සෝවියට් දේශයේ තිබ්බ අනිත් ප්‍රශ්නය තමයි හැමෝම කතා කරන නිලධාරිවාදය හා කොමියුනිස්ට් පක්ෂයේ  ඉතා පක්ෂග්‍රාහී පාලනය.  දැන් කලශ්නිකොව් බටහිර රටක හිටියනම් මිලියනර් කෙනෙක්ය , සෝවියට් දේශයේදී පදක්කමයි, තත්වයයි ඉන්න හිටින්න  නිවසක් පමණයි තිබුනේ කියල කවුරුත් දන්නවා  නොවැ.නමුත් නොදන්නා  දේ තමයි හුඟක් දක්ෂ මිනිසුන් ගේ දක්ෂකම් අකාලයේ වියැකිලා යන්න දුන්න  කියල. නිර්මාණාත්මකමිනිසුන්ගේ  නිර්මාණ, විද්‍යාඥයන්ගේ, වෛද්‍යවරුන් ගේ  නව සොයා ගැනීම් එක්කෝ බටහිරට හොරෙන් විකුණුව. නැත්නම් ඉරිසියාවට ඉවත දැම්ම. ඒ මිනිසුන්ව නැති කරලා දැම්ම. මොකද ඔය පක්ෂ සහ නිලධාරී තන්ත්‍රයේ හිටියේ පොතක් පතක් කියවන උන් නෙමේ.

මෙතැනදී මතක් වෙන්නේ   වාමාංශික පක්ෂවල   පොරවල්  ඉන්නව "ඔය පොත් කියවල පැරණි  දේ ගැන අත්දැකීම් ලියල කාටද  හරි  ගියේ" කියල අහන අය. අපි වගේ භාවිතාවෙන් දැන ගත්තම ඇති. අපි දන්නා දේ ඕකුන් දන්නවද වගේ කතාත් කියනවා. සිගරැට් පනහක් විතර දවසට පුච්ච පුච්ච සිගරට් කොම්පැනි පොහිසත් කරමින්. ඔව් ඔව්  ඇත්ත, අත්දැකීම් වලින් තමා දෙයක් ගැන ඉගෙන ගන්නේ පුර්ණ වශයෙන්. නමුත් අත්දැකීම් හා රැකියාවේ පුහුණුවෙන් ඉගෙන ගන්න නම් ඒ ගැන දැනගෙන  කියවල බලල ඉන්නත් ඕනේ. නැත්නම් වැරදි බොත්තම තමයි හැමදාම ඔබන්නේ.

මේ වෙලාවේදී මතක් වෙන්නේ අයින් රෑන්ඩ් ව, දක්ෂිණාංශික උන්ගේ අත්පොතක් වුනත් අර "ඇට්ලස් හැකිළුවා "(Atlas Shrugged) කියන පොත කියවල තියනවා නම් දැනගන්න පුළුවන් මේ නිලධාරිවාදයේ හැසිරීම හරියටම විස්තර කරලා තියනව කියල. අයින් රෑන්ඩ් හෙවත් ඇලිසා සිනොවියෙව්නා රෝසේන්බෞම් ඉපදුනේ 1905 දී ශාන්ත පිතර්බුර්ගයේ යුදෙව් ධනවත් පවුලක. විප්ලවේ කාලේ රුසියාවේ ඉඳල පස්සේ ඇමෙරිකාවට ගිහින් රෑන්ඩ් උනා . මුල් කාලේ සෝවියට් දේශයේ තිබ්බ යුද කොමියුනිස්ට් වාදය ගැන හොඳ වැටහීමක් තිබිල තියෙනවා කියල තේරෙනවා මේ පොත කියවනකොට. හැබැයි මේ ප්‍රබන්ධයක් වගේ පොතේ ලියල තියෙන හැම දෙයක්ම මම අනුමත  කරන්නේ නැහැ. බොහොම  අන්තවාදී ප්‍රකාශත් තිබෙනවා.

ඒත් සමහර දේවල් කියෙව්වම හිතෙනවා හරි මෙහෙම   තමයි උනේ කියල. එක තැනක මෙහෙම තියනවා.
"After all, it does not make any difference to the poor whether their livelihood is at the mercy of an industrialist or of a bureaucrat" පි.542
"දුප්පතාට, තමන්ට කෙළවෙන්නේ කම්හල්  හිමිය අතින්ද නිලධාරියා අතින්ද කියන එකේ වෙනසක් නැහැ "
සෝවියට් දේශයට ගිය  මුල් අවුරුදු වල නැවුම් ගතිය ගිහින්, අපි මිනිසුන්ව අඳුර ගෙන ඒ ගෙවල් වලට යන්න ගත්තට පස්සේ, පෙම් සබඳතා, යාළු මිත්‍රකම් පටන් ගත්තම අපි වඩා ඇත්ත දැන  ගන්නවා. අන්න එතැනදී අපිට සෝවියට් දේශය එපා වෙන්න පටන් ගන්නවා.

මට මතකයි 1980 ගණන් වල ආචාර්ය නලින්ද සිල්වා දිවයින ට ලියන ලිපි පෙළක "සමාජවාදී පන්තිය" කියල වදනක් නිර්මාණය කරනවා. (හරි කොහෙන් හරි අහුලා ගෙන පරිවර්තනය කරන්නත් ඇති) මේක මම මෙතැනත්  කියල තියනවා.  ඔය කතාව මට හරියටම තේරුනේ 1989, 1990 කාලේ උපාධි පාඨමාලාව අවසන් වෙන කොට වගේ.  සමාජවාදී පන්තියට අනුව තමයි සෝවියට් මිනිහෙකුගේ ඉරණම තීරණය වුනේ. තීරණය කළේ. කොටින්ම සමහර  විදේශික ශිෂ්‍යයන් අති  විශාල ධනවතුන් කළේ , සමහරුන්ව නැත්තටම  නැති කළේ ඔය සමාජවාදී පන්තියේ සමහරු. ඒ ගොල්ලන්ට ගෑ වෙන්න ඉන්නේ නැතිව ශේප් එකේ උපාධිය අරගෙන ලිස්සල යන එක තමයි හොඳම කියල තේරුම් අරගෙන තමයි හුඟක් ශිෂ්‍යයෝ වැඩ කළේ. හැබැයි ඉතින් "සමාජවාදී පන්තිය" එක්ක හොඳට හිටියම රටවල් වල තානාපතිල ඇමතිලා වෙන්න තරම් ඒ සම්බන්ධතා බලවත් වෙනවා.

ආ නලින් ද සිල්වා ගැන කියන කොට තවත් දක්ෂිණාංශික වීඩියෝවක යොමුවක්  ඒ ලිපියෙම ප්‍රභාත් කියන මහත්මය දමල තිබුන. ආචාර්ය නලින් ද සිල්වගේ දිග සාකච්චාවක්. අර ජාතිවාදී කියල හිතන කතා ටික අත හැරියොත් ලංකාවේ "නිදහස් අධ්‍යාපනය " ඇති වෙච්ච හැටි ගැන හෙම වැදගත් කරුණු රැසක් දැන ගන්න පුළුවන්. අයින් රෑන්ඩ් ගේ  පොත් මෙන්ම මේවල වුනත් හැම දෙයක්ම කියවලඅහල  සහතික ඇත්ත හැටියට ගන්න ඕනේ නැහැ. මෙහෙම දේවල් වුණා හෝ වෙලා තියෙනවා කියල ලබන අවබෝධය වැදගත්.

ආ එතකොට අර ගියපාර ලිපියේ ලියල තිබුන වගේ ජවිපෙ, පෙසප, පෙරටුගාමී උදවියගේ ළමයි පෞද්ගලික විදුහල් වල ඉගෙනීම, ටියුෂන් යැවීම වගේ දේවල් ගණන් ගන්න හොඳ නැහැ. එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ හෝ වෙන කොහේ හරි ජොබක් කරගෙන ළමයින්ට උගන්න ගෙන ශේප් වෙලා ජිවත් වෙන්නේ නැතිව අමාරුවෙන් හරි විරෝධතාවයක්  කරන එකත් හොඳයිනේ. ඒවා අගය කරන්න ඕනේ. ආත්මාර්ථකාමී අපි වගේ උන් යන්නෙත් නැති එකේ. පුංචි හරි සාකච්ඡාවකින්, භාවිතාවකින් විප්ලවයක් තවමත් කර ගන්න බැරී  වුණානේ කියල හිතට එන  සාංකාව (nostalgia) මග හැර ගන්න වුනත් පුළුවන්. භාවිතාව  වැදගත්.

වෛද්‍ය වෘත්තීය රැක  ගන්න සටන් කරලා සමාජවාදයට යන්න බැහැ කියල කවුරුත් කියල නැහැ.

"සාදු කියන්න පින්වතුනි"


ප.ලි. -ශිෂ්‍යයන්ව  නිදහස් කරන්න. මොකද ඔයිට  වඩා වැරදි කරලා  හිරේ යන්න නියමිත අය ආණ්ඩුවේත් ඉන්න නිසා. සුදු වෑන් කටහ්වක් ආයිත් යනවා. ඇත්ත හරියට දන්නේ නැහැ. ඕව නම් මරි ඩ වැඩ. කරන්න හිතනවා නම්. හැබැයි ඉතින් ආණ්ඩුවටත් පෙසපෙටත් අවශ්‍යම දේ තමයි වෙන්නේ කියලත් හිතෙනවා.






37 comments:

  1. අජිත් ධර්ම මහත්මයාගේ අදහස් වෙනස් වන ආකාරය බලන්න අපුරුය. ඔහුට හිතෙන හිතෙන ආකාරයට තමුන්ගේ වාසියට අදහස් වෙනස් කරයි. ඇතැම් මිනිසුන් තමුන්ගේ වාසියට මෙවැනි ලෙස හැසිරෙන බව සැබෑවකි. එනමුත් අජිත් ධර්ම මහත්මයා මෙන් මෙතරම් අවලස්සන ලෙස හැසිරිය හැකි අයෙක් ඇත්තම් ඒ එතුමා පමණක්ම විය යුතුය.

    අජිත් මහත්මයා විටෙක කියා සිටින්නේ එතුමා ධනවාදය දියුණු වෙනවා නම් කැමති බවය. ඒ සමගම ඊලග වාක්‍යයෙන් එතුමා කියා සිටින්නේ ඒත් ඔහු එංගලන්තයේ අධ්‍යාපනය විකුනනවා නං පක්ෂපාතී නැති බවය. මෙය නම් එතුමාට පමණක් තේරෙන අපට නොතේරෙන හතර බීරි කතාවකි. ධනවාදය යටතේ ඕනෑම දෙයකට මිලක් තීරණය වන බව මේ සෝවියට් දේශයේ සමාජවාදී රජයේ අනුග්‍රහය නිසා මුලික උපාධිය ලැබූ උගත් මහතාට අමතක වී ඇත. ඇත්තෙන්ම කිවහොත් අමතක කර ඇත. ඒ එතුමාට කිසිම ප්‍රතිපත්තියක් නැති නිසාය. ඕනෑම දෙයක තමන්ට උවමනා කොටස පමණක් අල්ලාගෙන එය ඒ මේ අත පෙරලමින් අත දිගු කරමින් තමන්ට අවශ්‍ය දේ පමණක් විශාලන කණ්නාඩියෙන් ලොකුකර පෙන්වමින්, අනෙකුත් දෑ ලඝු කර පෙන්වීමට අජිත් ධර්ම මහතා රුසියෙකි.

    ධනවාදයට පක්ෂපාතී අජිත් මහතා ධනවාදී රටවල මහා ඉහළින් සමරන සමලිංගික පුද්ගලයන් කෙරෙහි දක්වන්නේ පිළිකුල් සහගත හැගීමකි. ඒ සමගම අපට මතක් රුසියාව වැනි රටවල් සමලිංගික විවාහ තහනම් කර ඇති බවය. එහිදී අජිත් ධර්ම මහතා රුසියානු ෆෙඩරේෂණයට අත් ඔසවා සහය පලකරනවාද කියා ඇසීමට කැමැත්තෙමු.

    වචන එහෙ මෙහෙ පෙරලමින් මොකක්දෝ කියන්න ගියාට අජිත් මහත්මයා ඔබ ධනවාදයේ හෝ සමාජවාදයේ මුලික සංකල්පවත් දන්නේ නැත. ඔබ නැවත නැවත තහවුරු කරමින් පවතින්නේ එයයි. ඔබ ගැන ඔබට නොතේරෙන, අනික් අයට දෑස් පනාපිට පෙනෙනා සත්‍යය එයයි.

    ReplyDelete
    Replies
    1. //අජිත් ධර්ම මහත්මයාගේ අදහස් වෙනස් වන ආකාරය බලන්න අපුරුය. ඔහුට හිතෙන හිතෙන ආකාරයට තමුන්ගේ වාසියට අදහස් වෙනස් කරයි.// මොකක්ද වාසිය?

      Delete
    2. //අජිත් මහත්මයා විටෙක කියා සිටින්නේ එතුමා ධනවාදය දියුණු වෙනවා නම් කැමති බවය. ඒ සමගම ඊලග වාක්‍යයෙන් එතුමා කියා සිටින්නේ ඒත් ඔහු එංගලන්තයේ අධ්‍යාපනය විකුනනවා නං පක්ෂපාතී නැති බවය.// ධනවාදය දියුණු වීම යනු මිනිසුන්ට බොහෝ අවස්ථා ලැබීමකි. සෝවියට් දේශයේ විද්‍යාත්මක කොමියුනිස්ට් වාදය යටතේ අපාට් ඉගැන්වුයේ දියුණු ධනවාදයෙන් පසු සමාජවාදය එළඹෙන අතර දියුණු ධනවාදී සමාජයේ ගති ලක්ෂණ සමග නව සමාජය බිහිවෙන බවයි .ඔබතුමා ඔය ටිකවත් නොදන්නා කම ගැන පුදුමයි. //මෙය නම් එතුමාට පමණක් තේරෙන අපට නොතේරෙන හතර බීරි කතාවකි.
      // එංගලන්තයේ අද්‍යාපනය විකුනන්නේ එක විශ්ව විද්‍යාලයක පමණය. අනිත් ඒවායේ මුදල් අය කරනවා මිස විකුනන්නේ නැත. එම මුදල් විශ්ව විද්යලයටම යනවා මිස ලාභය ගන්න කෙනෙක් නැත. වාස්තවික තත්වයන් මත හෙවත් බදු ආදායම් තත්ත්ව යටතේ එංගලන්තයේ විශ්ව විද්‍යාල වලට මුදල් අය හැකිය. වේල්සයේ හා ස්කොට්ලන්තයේ මුදල් අය කරන්නේ නැත. ලංකාව හා එංගලන්තය අතර වෙනස තේරුම් ගන්න පුලුවන්ද?

      Delete
    3. //ධනවාදය යටතේ ඕනෑම දෙයකට මිලක් තීරණය වන බව මේ සෝවියට් දේශයේ සමාජවාදී රජයේ අනුග්‍රහය නිසා මුලික උපාධිය ලැබූ උගත් මහතාට අමතක වී ඇත// ජර්මනිය, ඩෙන්මාර්කය වැනි ධනවාදයෙන් දියුණු වූ රටවල අධ්‍යාපනයට මිලක් නියම කර තිබේද? කිසියම් දෙයක අගයක් තීරණය කරන්නේ එම භාණ්ඩය හුවමාරුවේ පහසු බව සලකාය, එතකොට සෝවියට් දේශයේ භාණ්ඩ වල මිල ගසා තිබ්බේ නැත්ද? අහෝ ඛේදයකි ඔබ ඒවා නොදන්නා හැඩයි.

      Delete
    4. //ධනවාදයට පක්ෂපාතී අජිත් මහතා ධනවාදී රටවල මහා ඉහළින් සමරන සමලිංගික පුද්ගලයන් කෙරෙහි දක්වන්නේ පිළිකුල් සහගත හැගීමකි.// බළලා මල්ලෙන් එලියට පැන ඇත. රසිකලොජි ගේ බ්ලොගයේ මෙවන් සමලිංගික අය ගැන කියූ මම අපේ පිරිමි සමලිංගික මිතුරන් දෙදෙනෙකු කෑම මේසයේදී තොල දැමු බවත් එයට අපුල ගතියක් දැනුන නිසා එසේ කරන්නට එපා කියූ බවත් මම පැවසීමි. එය සමලිංගික අයට ඇති පිළිකුල් සහගත් හැඟීමක් නොව ලැබූ සංස්කෘතික අධ්‍යාපනය නිසා හෝ එවැන්නක් දෙස බැලීම පුරුදු පුහුණු නොකළ නිසා විය හැකි වූ අපහසුතත්වයකි. ඔබ එවැනි කොමෙන්ටුවක් උසසා මේ මුලා කරන අදහස දැමීමෙන් පෙනෙන්නේ ඔබේ පටු බවයි.
      // සමගම අපට මතක් රුසියාව වැනි රටවල් සමලිංගික විවාහ තහනම් කර ඇති බවය. එහිදී අජිත් ධර්ම මහතා රුසියානු ෆෙඩරේෂණයට අත් ඔසවා සහය පලකරනවාද කියා ඇසීමට කැමැත්තෙමු.// රුසියාව පමණක් නොව ඔබ අගයන සියලුම සමාජවාදී රටවල් සම ලිංගික චර්යාවන් තහනම් කර තිබුණි. සෝවියට් දේශයේ එය දඬුවම් ලැබිය යුතු හිරේ යන වරදකි. කියුබාවේ මෑතක් වනතුරු එසේ වූ අතර රාවුල් කස්ත්‍රෝ ගේ දියණිය ඒ සම ලිංගික හිරිහැර නැවැත්වීමට කටයුතු කරයි. උතුරු කොරියාවේ තහනම්ය. සම ලිංගික අයිතීන් ධනවාදයේ දියුණුවත් සමග ලැබූ දේවල්ය. සම ලිංගික විවාහය හා අනිකුත් අයිතීන් වලට දෑත ඔසවා සහය පල කරමි. ඔවුන් මයිනොරිටි කොට්ටාශයක් වන තර ඔවුන්ගේ අයිතීන් දීම ඉතා සාධාරණය.

      Delete
    5. //වචන එහෙ මෙහෙ පෙරලමින් මොකක්දෝ කියන්න ගියාට අජිත් මහත්මයා ඔබ ධනවාදයේ හෝ සමාජවාදයේ මුලික සංකල්පවත් දන්නේ නැත// දැන් ඔබ ධනවාදයේ සහ සමාජවාදයේ සංකල්ප අම්බානක හදාරා ඇත්ද? එහෙනම් අපටත් කියා දෙන්න? ඔබ දන්නවද දන්නේ නැහැ සෝවියට් දේශයේ දේශපාලන ආර්ථික විද්‍යාව යටතේ හැදෑරුවා ට පසු මතක නැති නිසා මම "ප්‍රග්ධනය" නැවත ඉගෙනීමට පටන් ගත් බව. මේ ලිපි වල ඇත්තේ එයයි. පසුව දැන ගත්තේ බොහෝ ජවිපෙ පෙසප සහෝදර වරුන් දාස් කැපිටල් අහලකින් වත් නොගිය අය බවයි.ඔඅබත් එවැනි ගිරවෙක්ද නොදනිමි.
      ප්‍රාග්ධනය - සුළු හැඳින්වීමක් (අංක 1)
      ප්‍රාග්ධනය - භාණ්ඩවල වටිනාකම (අංක 2)
      https://kolambagamaya.blogspot.co.uk/2014/03/i_23.html
      තවත් බ්ලොග්කරියක වන අරුණු ශපිරෝ සමග ගිය heated සංවාදයකින් පසු මාක්ස් ගේ ප්‍රාග්ධනයට විරුද්ධව බෝවෙම් බවෙර්ක් ලියු කෘතිය කියවමි. තවම එම අධ්‍යනයේ .නියැලෙමින් සිටිමි. ඉතින් මට ඉතා සතුටුයි මූලික සංකල්ප දනන් ලොකු පොරක් හමුවීම ගැන. කියා දෙන්න. දැනට කියවනෙන් දීප්ති කුමාර ගුණරත්න ගේ ලිපි, ශිෂෙක් හෙවත් ජිජක් ගේ පොත්, මහේෂ් හපුගොඩ ගේ ලිපි හා පොත ආදියයි. කගනොව් ගේ ට්‍රොට්ස්කි ත් කියවමින් සිටිනවා. තවම බැරිවුනා නේ සංකල්ප හොයා ගන්න. එහෙනම් ලියන්න අපිත් කියවන්නම්

      Delete
  2. හොඳ විශ්ලේශනාත්මක ලිපියක් අජිත්.

    මං ඉස්කෝලෙ යන කාලෙ සෝවියට් ප්‍රකාශන හුඟක් කියෙව්වා. සමහර ඒවා හුඟක් රස වින්දා. ඒත් හුඟක් දෙනෙකුට වුනා වගේ මට සෝවියට්/කොමියුනිස්ට් ක්‍රමයට ආදරයක් ආසාවක් ආවෙ නෑ. හැමතිස්සෙම හිතුනා හුඟක් දේවල් එක්කෝ බොලඳයි කියලා එහෙම නැත්නම් ප්‍රොපගන්ඩා කියලා. සමහරවිට එක හේතුවක් වුනේ මං අනිත් රටවල් ප්‍රකාශිත පොත් හා ඒවායේ පරිවර්ථනත් කියවූ නිසා වෙන්න ඇති. අනිත් එක ඇනලයිස් කරන පුරුද්ද හා තනියම ස්වාධීනව හිතන්න ඕනැ කියන එක ඒ කාලයේම ටික ටික තිබුන නිසා වෙන්න ඇති. තවත් හේතුවක් දේශපාලනයට වඩා හුඟක් කැමති විෂයයන් ගණනාවක් ඒ කාලයේත් මට තිබුන නිසා.

    තාමත් ඒ ප්‍රොපගන්ඩා ඇත්ත කියලා හිතන අය දකිනකොට පුදුමයි. ඒ කාලයේ සෝවියට් ප්‍රොපගන්ඩා යාන්ත්‍රණය ලෝකේ හොඳම ප්‍රචාරණය කලා. රුසියාවෙන් පිට ඉන්න අය (විශේෂයින්ම යටත් විජිත ඉතිහාසයක් හා බටහිර ගැන අකමැත්තක් හා අවිස්වාසයක් ස්වාභාවිකව ලැබූ රටවල) ඒවා විස්වාස කිරීම පුදුමයක් නෙමෙයි.
    ඒත් තාමත් එහෙම අය ඉන්නවා. තම දේශපාලන අරමුණු හා විරුද්ධවාදීන්ගේ වෙනස් මතවලට විරුද්ධව ඒ වගේ ඉන්නා අය ගැන නෙමෙයි මං කියන්නේ.

    මනුෂ්‍ය ස්වාභාවය නිසා සමාජවාදී utopia කට අපි හුඟක් දෙනෙක් කැමති වීම හා අපේ හිතේ තියන, කියවල තියන න්‍යායික සමාජවාදී සර්ව සාධාරණ සමාජය ආරෝපණය කරන්න වෙන දෙයක් නැති නිසා සෝවියට් බොරුව ඇත්තක් කියලා හිතීමට ඇති කැමැත්ත හා ඇමරිකන් ආධිපත්‍යයට / ධනපතීන්ට ඇති අකමැත්ත නිසා වෙන්න ඕනෙ නේද?


    ReplyDelete
    Replies
    1. මමත් මේ අදහසට එකඟයි. සෝවියට් ප්‍රකාශන වැඩිය කියවා නැහැ එත් ඒවගේ hidden propaganda එකක් ඇති කියලා හිතිලා තිබෙනවා.

      අජිත්ගේ ලිපිය ගැනනම් කියන්න තියෙන්නේ නොදන්නා ඇනෝ කෙනෙක් වෙනුවෙන් තමන්ගේ කාලය සහ අකුරු වැය කිරීම අපරාදේ කියලා තමයි. එහෙම කියන්නේ මේ බ්ලොග් එකේ ඊට වැඩ වැදගත් දේවල් ලියවෙන නිසා.

      Delete
    2. // ඒත් හුඟක් දෙනෙකුට වුනා වගේ මට සෝවියට්/කොමියුනිස්ට් ක්‍රමයට ආදරයක් ආසාවක් ආවෙ නෑ. // මට ඔකේ අනිත් පැත්ත වුනේ. අපිට මුදල් වත් පොහොසත්කම් නොතිබුන නිසා වෙන්න ඇති.
      //හැමතිස්සෙම හිතුනා හුඟක් දේවල් එක්කෝ බොලඳයි කියලා එහෙම නැත්නම් ප්‍රොපගන්ඩා කියලා. // propaganda කියල හිතුන නම් තමයි. නමුත් හොඳ වර්ගයේ කියල.
      //තනියම ස්වාධීනව හිතන්න ඕනැ කියන එක ඒ කාලයේම ටික ටික තිබුන නිසා වෙන්න ඇති// මම හිතනවා මටති තිබුන කියල. එනිසා ම තමයි ජවිපෙ ප්‍රකාශන, විප්ලවාදී පක්ෂ වල ඒවා හා අනිත් හැම දෙයක්මත් ඒ විධිහට භාර නොගත්තේ.
      //ඇමරිකන් ආධිපත්‍යයට / ධනපතීන්ට ඇති අකමැත්ත නිසා වෙන්න ඕනෙ නේද?// ඇමෙරිකාව ලෝකේ වටේ නටන පිස්සු වලට මම දත් විරුද්ධයි.

      Delete
    3. @උදය පමනියට ස්තුතියි. මම හිතන් විධිහට මේ "දන්නා / නොදන්නා " ඇනෝ කෙනෙක් කියල. වචන පුරුදුයි. කිසි අවුලක් නැහැ. ඒ සංවාදය වැදගත් කියල හිතනවා. hidden propaganda හැම තහනම් තියනවා නේද. සමාජවාදය කියල නැහැ. බ්ලොග් එකේ වැදගත් දේවල් ලියවෙනවා කියල දුන්න නම්බුවට හිස නමා ආචාර කරනවා ඔබට .

      Delete
    4. හැම තැනම කියලයි කියන්න ඕනේ වුනේ

      Delete
  3. ඉහත දක්වා ඇති ඇනෝ කොමෙන්ටුම දමා ඩොක්ටර් රුවන් මහණ වීමට යන බව කියා ඇත්තේ ප්‍රාජේ නමැති පුද්ගලයායි. ඔහුම ඇනෝ දමා, ඉන්පසු ප්‍රොෆයිල් එකෙන් පැමිණ එයට උත්තර බදී. හොදින් ලියනා බ්ලොග් අල කිරීම මොහුගේ අරමුනයි.

    මෙම පුද්ගලයා මිට පෙර මෙවැනි අති නින්දිත වැඩක් විචාරක ලෙස බ්ලොග් ලියු අභාවප්‍රාප්ත මේජර් ගුණරත්න මහතාට සිදුකරන ලදී. එතුමා ජිවිතුන් අතර සිටියදී ලියු බ්ලොග් සටහන් බොහෝ දෙනා අගය කරනා ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ වෙහෙස මහන්සි වී, ජයාරූප සොයමින්, ග්‍රැෆික් සටහන් නිර්මාණය කරගමිනින්, සිනකට පැය 18 ක පමණම බ්ලොග් ලිවිම වෙනුවෙන් කැප කෙරු අයෙකි විචාරක මහතා කියන්නේ. ප්‍රාජේ නමැති පහත් ගතිගුණ ඇති පුද්ගලයාට විචාරක මහතාට ලැබෙන ජනප්‍රියතත්වය දුටුවිට ඇසේ කටු අනිනවාක් මෙන් විය. ඔහු කරේ ඇනෝ වෙසින් ගොස් විචාරක මහතාගේ බ්ලොගයේ සහ වෙන තැන් වල විචාරක මහතාට එරහිව විවිද දෑ කියමින් ,එතුමා ලියු දෑ හෑල්ලු කිරීමයි.

    ඉතාම ගුණයහපත්, සෞම්‍ය හදවතක් තිබු විචාරක මහතා මෙවැනි දෑ නිසා දැඩි ලෙස හිතින් වද වේදනා වින්ද බව මාතලන් ඇතුළු විචාරක මහතාව ලගින් ඇසුරු කෙරු බොහෝ දෙනෙක් දන්නා කරුණකි.
    කෙසේවෙතත් විචාරක මහතා පෙනහළු පිළිකා තත්වයෙන් පෙලෙනා බව සොයාගත් විට ප්‍රාජේ විසින් නෙලුම්යාය සම්මානය රැගෙන ගොස් විචාරක මහතාට ලබා දීම තරම් තවත් උත්ප්‍රාසයවත් දෙයක් තිබිය නොහැක.

    මෙවැනි නින්දිත අතීතයක් ඇති ප්‍රාජේ නැමැත්තා දැන් අල කිරීමට උත්සහ දරන්නේ මිතිල නමැති සිසුවා විසින් විචාරක මහතා මෙන්ම ඉතා වෙහෙස මහන්සි වී රචනා කරනා වාසිතය නමැති බ්ලොගයයි. විචාරක මහතාගේ අභාවයෙන් පසු ඇතැමුන් මිතිලගේ බ්ලොගයේ අදහස් දක්වමින් කියා සිටියේ මිතිලත් විචාරක වගේ ඉතාම කැපවීමෙන් බ්ලොග් ලියනා අයෙක් කියායි. මිතිලගේ වයස සහ ඔහු අනාගතයේ බ්ලොග් ලිවීමෙන් මෙන්ම පුවත්පත් ආදියට ලිවීමෙන් ලබා ගන්නා ජනප්‍රියතත්වය ගැන කල් තබාම ඉර්ශියා කෙරු ප්‍රාජේ දැන් කරන්නේ විවිද ආගමික දේශනා කරුවන් මෙන් එහි ගොසින් ඇනෝ කොමෙන්ටු දමා මිතල ලියා ඇති දෑ වෙනුවට වෙනත් දෑ කියමින් බ්ලොගය අල කිරීමයි.

    මොහුම විවිද මිෂනාරිකරුවන් මෙන් ඇනෝ කොමෙන්ටු දමා, ඉන්පසු ඔහුව ප්‍රෝෆයිලයෙන් පැමිණ ඒවාට උත්තර බදී. ඇතැම් විටක ප්‍රොෆයිලයෙන් මුලින් පැමිණ කෝ අපේ මිෂනාරියාලුවා, එයා නැතුව මේක වැඩක් නෑ වගේ ඒවා කියා, ටික වෙලාවකින් ඇනෝ පැමිණ මිතිල ලියා ඇති දේට කිසිදු අදාලත්වයක් නැති දෑ කියයි.
    මොහු ඊයේ මිතලගේ බ්ලොගයේ කොමෙන්ටුවක් දමා මිතිලගෙන් අසා සිටින්නේ මිතිල මහන කෙනෙක් වෙන්න කැමති නැත්ද, අහවල් උන්නාන්සේ ලග කියා හිටපු චීවරධාරීයෙකුගේ නමත් කියයි.

    මේ සෙල්ලම දැන් මොහු ඩොක්ටර් රුවන්ගේ බ්ලොගයේත් පටන් ගෙන ඇත. ඇනෝ කොමෙන්ටු සහ ඒවාට ප්‍රාජේ දමා ඇති රිප්ලයි, ඒවායේ වේලාවන් බලනා ඕනෑම අයෙකුට මේවා කාගේ වැඩද කියා තේරුම් යනු ඇත.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්. මට පස්සෙ හිතුනේ මේක විහිලුවක් නොවන බව. සෝවියට්/කොමියුනිස්ට් ක්‍රමය තාමත් ආගමක් තරම් ගරු කරන අය ඉන්නවාද මං කියපු දේවලින් තරහ යන්න තරම් ? හිතන්න අමාරුයි ඒත් .....හ්ම්ම්

      Delete
    2. අනේ අර මිතිලගේ එකට ලින්ක් එකක් දන්න

      Delete
    3. මේ කියන දේ ඇත්ත කියලා මං නං හිතන්නේ නෑ. හැබැයි විචා ගැන කියලා තියෙන ටිකට නං එකගයි. මොකද එයා එක්ක මං කෝල් කරද්දී මටත් වැටහුනා එයාට ඇනෝ කොමෙන්ට් ඔස්සේ විවිද දෑ කීම සම්බන්දයෙන් ලොකු සිත් තැවුලෙන් ඉන්නා බව. ඔහුගේ මරණයෙන් පසු ගුණරත්න මහත්මිය මා සමග කීවා ඇතැම් දිනවල විචා දිනකට පැය 18 ක් පමණම බ්ලොග් ලිවිම සදහා කාලය වෙන් කරා කියලා. ඉතිං එච්චර කැප වෙලා බ්ලොග් එකක් කරන කෙනෙක්ට විවිද දෑ කියමින් අපහාස කරාම ඔහු දැඩි මානසික පීඩනයට පත්වෙන එක නං පුදුමයක් නෙමෙයි නේද?

      කොහොම උනත් ඩියෝන් මිතිලගේ බ්ලොග් එක හෑල්ලුවට පත් කරන්න කවුරු හරි වෑයම් කරනවා නං ඒක අන්තිම පහත් වැඩක්. ප්‍රාජේ ඒක කරනවාද කියලා මං දන්නේ නෑ. ඒත් මේ වැඩේ මෙතනින් නවතින්න ඕනි. එහෙම නැත්තං කලින් කලට ඉතාම හොදට බ්ලොග් ලියාගෙන ආපු අය ඒ අයට එල්ල උන මඩ ප්‍රහාර, බ්ලොග් අල කිරීම දරාගන්න බැරුව බ්ලොග් ලියන එක නැවැත්තුවා වගේ මිතිල වගේ හොදට ලියනා අයත් යන්න යයි.

      Delete
    4. මිතිල ගේ බ්ලොගය හොඳයි. මුල ඉඳන් විරෝධය ආවත් එයාට නෙලුම් යායෙන් සම්මානයක් දුන්නෙත් ඒ නිසයි. ප්‍රා එහෙම දෙයක් කරනවද කියල මම දන්නේ නැහැ. එයාගෙන්ම තමයි අහන්න ඕනේ. ඔය පිළිතුරක් දීලා තියෙන්නේ

      Delete
  4. සෝවියට් මිනිසුන් ජීවත් උනේ මායාවක ; හේතුව පක්‍ෂයෙන් නිතරම පුන පුනා කීවේ සෝවියට් දේශය තමයි ලෝකයේ හොඳම රට කියලා. හරියට ලෝකයෙන් උතුම් රට ලංකවයි කියලා පොඩි එවුන්ට උගන්වනවා වගේ. ඒත් බටහිර සංවර්ධිත ලෝකය දුටු සමහර සෝවියට් ජාතිකයන් මෙම ප්‍රචාරය බොරුවක් කියලා තේරුම් ගත්තා. මම ජර්මනියේ , තුර්කියේදී , බෙල් ජියම් වලදී ගත්ත චායාරූප දැක්ක මගේ සමහර සෝවියට් යාලුවන් පුදුමයෙන් ගල් ගැසුනා ඒ රටවල මිනිසුන් අඳින අැඳුම් , වාහන ගොඩනැගිලි වල අලංකාරය දැකලා.
    ඔවුන් හිතාන හිටියේ මේ රටවල මිනිසුන් සෝවියට් දේශයට වඩා පහත් ජීවන මට්ටමක් තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. එකනේ මම දෙවන කොටසේ කිව්වේ මුල් අවුරුදු තුනේ නැවුම් ගතිය ගිහින් ඔවුන්ට ලංවුනට පසේ අපට තේරුම් ගියේ වෙනත් දෙයක් කියල. සෝවියට් වැසියන් දැනගෙන හිටිය ඔවුන්ට වෙලා තියෙන දේ.

      Delete
    2. මිස්ටර් ට්‍රාන්සිල්වේනියා ඔයාගෙ තර්කය නම් අමු ගොන් ඵකක්.රටක් දියුනුව මනින්නෙ පාර දුවන වාහන වලින් හා ගහලා තියන බිල්ඩින් වලින් ලු. මොන තරම් විහිලු සහගත කතාවක්ද. මහින්ද මහත්තයා ගෙ ලන්කාව වගෙයි. අන්තිමට උන්දැට ගෙදර යන්න උනෙත් ඵ්ක තමයි.

      බටහිර යුරෝපිය රටවල් ලෝකෙ පරිදියේ තියන අති බහුතර රටවල් වල සම්පත් කොල්ල කාලා ලොකු බිල්ඩින් ටිකක් ගහගත්තට සෝවියට් වැසියන්ට තිබ්බ සමාජ සුබසාදනයට ලන් වෙන්නවත් බැරි උනා.................ලොකු බිල්ඩින් වලටයි ලස්සන කාර් වලටයි රැවටෙන්නෙ මෝඩයො.......දැන් තමා රුසියන් කාරයන්ට රවටුනු රවටිල්ලෙ තරම තේරෙන්න පටන් අරන් තියෙන්නෙ............මෑතකදි කරපු සියලුම සමීක්ශන වල පවා දැන් රුසියන් කාරයො කියන්නේ පැවති සෝවියට් දේශය වඩාත් හොද බව.................රනිල් වික්‍රමසින්හගේ වොක්ස්වැගන් වලට රැවටුනා වගේ............

      Delete
    3. මේ පොත බලල තියනවද? Aleksander Zinoviev . Russkaya Tragediya . - A Russian Tragedy

      Delete
    4. http://zinoviev.info/wps/archives/199

      Delete
  5. ඔය විචරක බොරු ලියලා අතේ මට්ටු උනා .1974 වසරේ නව පාර්ලිමේන්තු පාරේ ක්‍රීඩා පිටියක ඔහු ඉගෙනගත්තයි කියන කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලේ රගර් ක්‍රීඩකයකු වශයෙන් පුහුණුවෙන්න ගියා කියලා එක පට්ට පල බොරුවක් නව පාර්ලිමේන්තු පාරක් ඒකාලේ සිතියමකවත් තිබුනේ නැ
    ඒකාලේ සිරිමා මැතිනියගේ පාලනයක් තිබුනේ 1977 පස්සේ තමයි JR නව පාර්ලිමේන්තුවක් ගැන හිතුවේ තව මේවගේ හමුදාව,යුද්දය ගැන මොන බොරු ලියලා ඇතිද කවුද දන්නේ ඕවා ගැන කථා කලවිට ආමි උන පාට් දාලා බයකරන්න හැදුවේ
    සිංහ රෙජිමන්ට් එකේ තට්ට ගුනේ කියලා කිව්වහම සමකලින ඔෆිසර් ලා පුකෙන් හිනාවෙන්නේ මෙයාගේ වැඩ ගැන

    තව 88/89 කාලයේ JVP සැක කරුවන්ව දෙමෝදර රේල් පාලම් ගවාදී වෙඩිතියලා ඔහු පහලට දැම්මා කියලා ලිව්වා සැක කරුවෙක්ව මරන්න කොහෙන්ද විචාරක්ට බලයක් තනිකරම පදක්කම් බලාගෙන කරපු දෙයක්. මෙය සම්පුර්ණයෙන්ම මිනි මැරුමක්. ඕවා තමා ඔය ඔහුට පල දුන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ විස්තර ගැන කිසිවක් කියාන්නට නොදනිමි.

      Delete
    2. මොලේ අමාරු තියන අැනෝලත් කොමෙන්ට් දාන්න එනවා වගෙයි!

      Delete
    3. Anonymous21 July 2017 at 18:23

      මේ ඇනෝ බිජ්ජෝ පැත්තකට වෙලා හුජ්ජ කරපන් නොදන්නවා නම්

      විචරක ලිපු කොමෙන්ට් හා අනික් බ්ලොග් වල කොමෙන්ට් පවා ඒවත්එක්ක ස්ක්‍රීන් ෂොට් අරගෙන තමයි විචාගේ බොරු ගැන කිව්වේ. විචා අමි ඉන්ටෙලිජන්ස් දාලා හොයලා නඩුදානවා කිව්වා ඒවාට තමයි උන් ස්ක්‍රීන් ෂොට් තියා ගත්තේ

      88/89 සින් එකට උවේ කැප්පෙටිපොළ බලකායෙන් ඊ මෙල් එකක් ආපු ගමන් ලොක්කා කොරවුනා. අන්තිමට උගේ බ්ලොග්වල ඇනෝ දැමිල්ල නැති කළා ඌ බ්ලොග් ලිව්වෙව් මේජර් ජෙනරල් කෙනෙක්වගේ ඔෆිසර් කෙඩෙට් කෙනෙක් වෙන්න මොන කාලේද ඉන්ටෙක් [කණ්ඩායම] ෂොට් කොමිෂන් ලෝන්ග් කොමිෂන් ද කියලා ඇහුවම උත්තර නැ

      ඇනෝ ඉතිහාසය හොයලා කියවලා බලාපන් වර්තමානයේ දන ගාන්න කලින්

      Delete
  6. ස්ටාලින් ගේ දරදඩු පාලනය ඉවර වෙලා, බ්රෙෂනෙව් ගේ පාලන කාලය වෙන කොට, සොවියට් දේශයේ කවුරුත් මහන්සිවෙලා වැඩ කලේ නැතිලු, ඒ නිසා රටේ ආර්ථික වර්ධනයක් වුනේම නෑ, ගොර්බචෝව් ගේ පාලන කාලය තුල වැඩපොළ වල මිනිස්සු වැඩ නොකර කාඩ් සෙල්ලම් කර කර ඉන්නවා මම ඕන තරම් දැකල තියනවා, ඒ වෙන කොට මිනිස්සු එළිපිටම රටේ නායකයන් විහිළුවට ලක් කරනවා, ලේක්චේර්ස්ලත් අඩු ගානෙ ඒගැන විහිළුවක් දෙකක් වත් කරනවා, සමාජවාදය වහෙන් ඔරෝ විවේචනය කරන විහිළු ටීවී වැඩසටහන් පවා තිබ්බ. (ඔය කියේව් හිටිය කියන ජෙප්පට ඒකාලේ රුසියන් තේරුනේ නෑ වත් ද මන්ද?)

    ReplyDelete
    Replies
    1. //ස්ටාලින් ගේ දරදඩු පාලනය ඉවර වෙලා, බ්රෙෂනෙව් ගේ පාලන කාලය වෙන කොට, සොවියට් දේශයේ කවුරුත් මහන්සිවෙලා වැඩ කලේ නැතිලු// නැතිලු නෙමෙයි වැඩ කලේ නැහැ කියල දැක්ක අය කියනවා.. මම ඇහින් දැක්ක විදුලි කාර්මික කම්හල් වල වැඩට යද්දී. කියෙව් හිටියේ කවුද? මම ජපන් ගැන කියන්නේ. ඔය කියන්නේ අර වජිර යාපා මහතා නම් එයා රුසියන් දන්නා කෙනෙක් නෙමේ. එංගලන්තේ යන්න ඇවිත් රුසියාව හෝ උක්රයිනය හරහා බැරිවෙලා අපහු ගොහින් කියල තමා දන්නේ.

      Delete
    2. හය්යෝ ඒ ගෙම්බෙක්ද?

      Delete
  7. රුසියාවේ ශිෂ්‍යත්ව ලැබිල උපාදිය කරන්න ලංකාවෙන් ගියේ ධනය , බලය සහ සමාජතත්වය තියෙන අයගේ ළමයි. එහෙම නැත්නම් කොමිනියුස් පක්‍ෂයට සම්භන්ධ අය. මම රුසියන් සිෂ්‍යත්වයකට අයදුම් කලත් සම්මුඛ පරික්‍ෂණයටවත් කැඳවුයේ නෑ. නමුත් මට ලංකාවේ විශ්ව විද්‍යාලයක් ලැබුනා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මෙහෙමයි. මුලින් ගියේ කොමියුනිස්ට් පක්ෂයට සමබන්ධ අය විතරයි. අනිත් අය "කොමියුනිස්ට් උපාධි " වලට කැමති වුනේ නැහැ. සිරිමා ආණ්ඩුව කාලේ ශ්‍රීලනිප ය හා වෘත්තීය සමිත් වල නිලත දරුවන් ගේ ළමයි නුත් ගියා. 1977 න පස්සේ ජේ ආර් ගේ ආණ්ඩුවට කොමියුනිස්ට් පක්ෂයේ අය යවන එක නවත්වන්න ඕන වුණා. එනිසා ගිවිසුමක් ගැහුවා වීවිකොමිෂන් සභාව එක්ක. ස්ටැන්ලි කල්පගේ හිටියේ. සෝවියට් දේශය දුන්න ආණ්ඩුවට ශිෂ්‍යත්ව 76. කොමියුනිස්ට් පක්ෂයට වෙනම 5, මිත්‍රත්ව සංගමේට 8-10 ඔන්න ඔහොම බෙදුව. ආණ්ඩුවේ 76 හොඳ රිසල්ට්ස් වලින් කට්ටිය ගත්ත 40-50. ඉතුරු 25-30 ගියේ යුඇන්පී බල පුළුවන් කර අයට හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලොකු පොරවල් ගේ ළමයින්ට

      Delete
    2. මට ලංකාවේ කොළඹ විශ්ව අවිද්යාලයට දාල තිබ්බ නිසා ඒකට ආව. නමුත් රුසියන් එක ලැබුණු නිසා ගිය. මම කොහොම හරි අර ආණ්ඩුවෙන් යවන සෙට් එකට ඇතුලත් වෙන්න ඇති. මමයි අක්කයි දෙන්නම දැම්ම. අක්කගේ ඉන්ටවිව් එකේදී එක නිලධාරියෙක් අහල තිබ්බ ඔයාගේ මල්ලිත් දාල තියනවා නේද? ලජ්ජා නැත්ද එක පව්ලෙන් දෙන්නෙක් දාන්න. අක්කට මෙඩිසින් යන්න ඕනේ වුනේ දැන් ෆාමසිස්ට් කෙනෙක්. මල්ලිගේ රිසල්ට් ඔයාට වැඩිය හොඳයි නේද වගේ කතාවක්. අකක් ගෙදර ඇවිත් ඇඬුව. ඔය තමයි මට දාන්න කිවේ කියල මටත් බැනල. අවුරුද දෙකකට පස්සේ දැන ගත්ත අර ගොබිලගේ පුතා ආව කියල. අපි හිටිය කලේ අතාවුද සෙනෙවිරත්න ගේ ළමයි දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් මගේ යාළුවෙක්. කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් කේ පි සිල්වා ගේ පුතත් හිටිය. තව යුඇන්පී එකේ ගොඩක් කට්ටිය හිටිය. මම හිතන්නේ ඒගොල්ලෝ මස් කටු ටිකක් අපි දිහාට විසික් කලා කියල.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .