Saturday, 11 July 2015

සියාමා 6 - සමු ගත් සොඳුරු සිත


පළමුවන කොටස.
දෙවන කොටස 
තුන්වන කොටස 
සිව්වන කොටස 
පස්වන කොටස 

සෙනසුරාදා දිනයක උදයේ තේම්ස් නදිය අසබඩ දී මම ඇය හමුවීමි. අප සෙමෙන් සෙමෙන් නදිය අසලින් ගමන් කළෙමු. ඇය  සිටියේ ප්‍රීතියෙනි. ඇගේ පියා සහ සොයුරියත්, සොයුරාත් සමග ඇය සිය රටේදී බෝට්ටුවේ කල ගමන් ගැන මට සිහි විය.
"අපි  තේම්ස් බෝට්ටුවක  යමුද " තේම්ස් ගඟේ ලැම්බත්, ටවර් හෝ වෙස්ට්මිනිස්ටර් පාලමේ ළඟ ඇති ජැටි වල සිට තේම්ස් ගඟේ වුල්විච් හරියේ පිහිටා ඇති  බාධක දක්වා ගොස් පැමිණිය හැකිය හැකිය. විනාඩි පනහක් පමණ වන එම සංචාරය ඉතා සුන්දර එකකි. මග දෙපස ලන්ඩනයේ ප්‍රසිද්ධ තැන්  ආදිය නැරඹීමද කල හැකිය.
අපි වෙස්ට්මිනිස්ටර් පාලමින් බෝට්ටුවකට ගොඩ වීමු.
මදක් දුර යද්දී ගඟේ වතුර දෙස බලා සිටි සියාමා
"මට ඒ දවස් වල ගිය ගමන් මතක් වුනා"  කිවාය.
"මට හිතුන. ඒකයි මම යෝජනා කලෙත්. ඔයා මීට කලින් තේම්ස් ගඟේ ඇවිත් නැත්ද?"
"නැහැ. ගඟ  දිගේ නම් ඕන තරම් ඇවිද්ද, මේ වතුරේ කොළ පාට ගැඹුර හරියට හිතක ඇති වන හැඟීම් වගේ. "
"හැඟීම් උඩට එන්නේ රැල්ල වගේ නේද? මම වැඩිය කැමති මුහුදේ නිල්  පාට ගැඹුර දිහා බලන්න. නිහඬ හිතක් වගේ."
"ඔයාගේ වගේ " ඇය කීවාය.
"පිස්සුද මම එච්චර නිහඬ කෙනෙක් නෙමේ. "මම කීවෙමි.
අප නැවත පැමිණුන පසු තේම්ස් නදියේ අනිත් පැත්තේ ඇති සවුත් බෑන්ක් (දකුණු ඉවුරේ) මණ්ඩපයට ගියෙමු. එහි ආහාර ගැනීමට හිඳ ගෙන සිටීමට තැන්  මෙන්ම නොයෙකුත් චිත්‍ර ප්‍රදර්ශන, සංගීත සන්ධ්‍යා හා පොත් ප්‍රදර්ශන ආදිය වෙයි. ඇයට මා  සමග සර්කස් එකකට හෝ  නොයෙකුත් විනෝද වීමට අංග ඇති විනෝද මේලාවකට යාමට අවශ්‍ය විනි. බෙත්නල් ග්‍රීන් පැත්තේ එවැන්නක් ඇති බව ඇය මා හා කිවාය.  මම එය ප්‍රතික්ෂේප කලෙමි. වෙනත් දවසක හැකි නම් විතරක් ඇය සමග යන බව පොරොන්දු වීමි. ඒ වෙනුවට එතන ඇති "ලන්ඩන් ඇස " ට යාමට යෝජනා කලෙමි. ඇය ට අවශ්‍ය වුයේ විනෝද මේලාවකට යාමට හා රෝලර් කෝස්ටර් එකක යාමටය. ඇගේ සීයා  ජිවතුන් අතර සිටියදී එවැන්නකට ගිය බවත් එකම එක් වතාවක් මාපියන් සමග ගිය බවත් මුදල් මද බැවින් රෝලර් කෝස්ටර් රයිඩ් වැනි ගමන් එකකටවත් නොගිය බවත් කීවාය. වෙන දවසක බලමු යයි ඇයට කී මා  ගෙදර යන්නට සැරසුනෙමි.
"ඔයාට කැමති නම් මං ඉන්න තැනට එන්න පුලුවන් "
"නැන්දයි ඔයයි ඉන්න ගෙදරට " විශ්මයට පත් වූ ලෙසින් මම ඇසුවෙමි.
"ඔව්. ඇයි? "
"කොහොමද එහෙම කරන්නේ. ඔයා දන්නවනේ මම විවාහක බව. අනික ඔයාව එහෙම පාවිච්චි(use) කරන්න මට බැහැ. ඔයාගේ ජීවිතය ගැන දැන දැනත් "
"කොහොම පාවිච්චි කරන්නද? අනික මම ඔයාගෙන් ඇහුවේ නැහැනේ ඔයා විවාහකද කියල. මම කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඔයාට කරදර කලෙත් නැහැ. කාවවත් දාල එන්න කිව්වෙත් නැහැ." ඇය තරහව සහ ශෝකය  මුසු ස්වරයකින් කීවාය.
 "ඔව් ඒක ඇත්ත. නමුත් මට මේ පියවර ගන්න බැහැ." මම කීවෙමි.
"ඔයාට මොනම පියවරක් වත් ගන්න මම කිව්වේ නැහැ. ඔයාට ආදරයට ආදරය කරන්න බැරිද ප්‍රියාන්?"
මම ඇය දෙස ගොළු වී බලා සිටියෙමි.

ඇයව උමං  දුම්රියට නංවා නිවස බලා පැමිණියෙමි.

එදින නිවසට ගිය වේලෙත් මා සිටියේ ව්‍යාකූල මනසිනි. ඒ සතියේ මගේ අනිත් පලුවට කිසියම් දෙයක් වැටහී තිබුණි. සියාමා  දින කීපයක් මගේ ඊමේල් වලට වත් මොබයිල් දුරකතනයෙන් යැවු පණිවුඩ වලට වත් පිළිතුරු දුන්නේ නැත.
"ඔයාට තියෙන කන්තෝරුවේ ප්‍රශ්න ගෙදර අරන් එන්න එපා. ඔයාට නුරුස්නා  ගතියක් එනවා හැම වෙලේම" බිරිඳ  කීවාය. කරුණාවන්ත බිරිඳක වූ ඇය කිසිවිටක මා යන එන තැන්  ගැන වුව විමසූයේ නැත. බොහෝ දිනක් කල්පනා කර මම බිරිඳට සියාමා ගැන කියන්නට තීරණය කලෙමි.
"මගේ දෙයියනේ, හිතා ගන්න වත් බැහැ " මගේ කතාව  අවසානයේ ශෝක භරිත ලෙස ඇය කීවාය. මා  සිතුවේ සියාමා සමග එතරම් දුර දිග යන ලෙස පැටලීම පිලිබඳ ඇය අමනාපයක් දක්වනු ඇති බවයි. නමුත් ඇය කිවේ සියාමා ට නිවසට ආරාධනා කල යුතු බවයි.
"එයාට තනි ඇති ගොඩක්. අපි මෙහෙ එන්න කියමු. අරයට හඳුන්වලා දෙමුද " අපේ මිතුරකු ගැන කියමින් බිරිඳ පැවසුවාය.
"මං හිතන්නේ නම් නැහැ සියාමට කාත් එක්ක හරි යාලු වෙන්න ඕනේ කියල මේ වෙලාවේ. එයා සෑහෙන්න ලස්සනයි. අවශ්‍ය නම් එයාට හොයා ගන්නත්  පුළුවන් යාලුවෙක්ව. " මම කීවෙමි.
"එයාට එන්න කියන්න ඒ වුනාට. අපි අපිත් එක්ක යන ගමන් වලටත් පාටි වලටත් නැන්දත් එක්ක ඒ දෙන්නටම එන්නත් කියමු."  ඇය කීවාය.

මම සියාමා ට ඊමේලයක් යවා විශ්ව විද්‍යාලයේ දේශන පටන් ගැනීමට කලින් හමු විය හැකි බව පැවසුවෙමි. ඇය තරමක් ඈත පෙදෙසක විනෝද මේලාවක් සොයා ගෙන තිබිණි. අප එතැනදී හමුවීමු.
ඇය වේගවත් ව යන රෝලර් කෝස්ටර් ගමන් වලට හෝ ඉතාම වේගයෙන් උඩට පහලට යන ගමන් වලට යාමට බිය වුවාය. ඒ වෙනුවට හෙමින් යන කතුරු ඔන්චිල්ලා හා වටේ හෙමින් කැරකෙන විශාල තේ කෝප්පක් වැනි කුටියක  රැඳී සිටීමට වඩා කැමැත්තක් දැක් වුවාය. මෙරිගෝ රවුමක පුංචි ළදැරියක මෙන් ප්‍රීති වූවාය. රෝස පාට සීනි වලින් සාදන බොම්බයි මොටයි එකක්  රැගෙන කමින් සිනා සුනාය. මම එය සීනි වැඩි නිසා ප්‍රතික්ෂේප කලෙමි. බදින ලද රසවත් චෙස්ට්නට් කෝප්පයක් ඇය මා වෙනුවෙන් මිලදී ගත්තා ය.
ඔන්චිල්ලාවල කැරකීමෙන්  හා ඇවිදීමෙන් වෙහෙසට පත්වූ ඇය මේලාව  තිබු භුමියේ බංකු පේලියක් තිබු තැනකට ගොස් හිඳ  ගත්තා ය.
"දැන් ඇති වෙලාද" මම ඇසුවෙමි.
"ඔයත් එක්ක කොච්චර වෙලා හිටියත් ඇති වෙන්නේ නැහැ. මං හුඟක් සතුටින්. ඔයා හරි කරුණාවන්තයි " කියමින් මා  දෙසට හැරුණාය.
"මං ඔයාගෙන් අහන්න හිටියේ. අපේ ගෙදර එනවද "
"මොකක්?" ඇය ඇස්  විශාල කරමින් විස්මයකින් මෙන් මා දෙස බැලුවාය.
"මම එයාට  කිව්වා ඔයා ගැන. එයා හරියට දුක් වුණා. ඔයා රාත්‍රී ආහාරයකට වගේ අපේ ගෙදර එනවා නම් එයා කැමතියි. පස්සේ නැන්දටත් එන්න කියමු." එයා යනුවෙන් මා හැඳින්වූයේ මගේ බිරිඳයි.
"ඔයා මොකද මං ගැන එයාට කිව්වේ. හැම දේම කිව්වද? කවුද ඔයාට අවසර දුන්නේ? ඔයා මොකක්ද මේ කලේ " සියාමා දිගටම කියවා ගෙන ගියාය.
"මට සමාවෙන්න සියාමා. මං  හිතුවේ නැහැ ඔයාට ඒකට තරහ යයි කියලා. මම ගොඩක් හිතල තමා ඒ තීරණය ගත්තේ "
"මං එයාට කරදරයක් කලේ නැහැනේ එයාට කියන්න මං ගැන. ඔයාට කරදරයක්ද මාව. මං කොච්චර සතුටින්ද ඔයාව විශ්වාස කලේ. ඔයා  ඒ විශ්වාසය බින්දනේ. "
"එයා නොදැන මං ඔයාව හමු වෙන්න එන කොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැත්ද කවද හරි. මට සමා වෙන්න ඔයාගේ හිත රිද්දුවට "
"එතකොට ඒ වෙලාවේදී අපට ඒක ගැන කතා කරන්න පුළුවන්නේ. නැහැ ඔයා සමාව ඉල්ලන්න ඕනේ නැහැ."
ඇය මදක් වෙලා වෙනතක ඇති ක්‍රීඩා අංගයක් දෙස බලා සිටියාය. ඉන්පසු දෙඅත් හිසට තබා ගනිමින්
"ඇයි පිරිමි මෙච්චර මෝඩ, ඇයි පිරිමි මෙච්චර මෝඩ " යයි දෙවරක්ම  තමාටම කියා ගත්තාය.
"මම දන්නේ නැහැ මොකක් කියන්නද කියල. මං ඔයාට මගේම සහෝදරියකට වගේ ආදරෙයි "
ඇය  මගේ අත රැගෙන ඇගේ අත්  පොකුටු කරමින් ඒ අතරේ මදක් වේලා තබා ගත්තාය. ඉන්පසු නැගී සිටි ඈ වට පිට බයේ මෙන් බලමින් වේගයෙන් මේලා පිටියෙන්   ඉවතට ගමන් කළාය . ඇය ඇගේ කලින් තිබු පුරුදු බිය ජනක වූවකගේ ගමන් ලිලාවට අවතීර්ණ වී සිටි හෙයින් ඇය පසු පස යාමට මම මදක් මැලි වුනෙමි.
එබැවින් මම වෙනත් පැත්තකින් ඇගේ ඉදිරියට පැමිණ,
"සියාමා, අපි පොඩ්ඩක් නැවතිලා කතා කරමු. මම ඔයාගේ පිටි පස්සෙන් දිව්වොත් මේ මිනිස්සුත් බලයි" යයි පැවසුවෙමි.
"පිටි පස්සෙන් එන්න ඕනේ නැහැ. මම ගෙදර යනවා" කී ඇය පය ඉක්මන් කලාය.
ඇයට යන්නට ඉඩ දී මම බලා සිටියෙමි.
කිසිම ඊමේලයකට, දුරකථන ඇමතුමකට, දුරකථන පණිවිඩයකට ඇගෙන් පිළිතුරු  නොලැබුණි.  මගේ බිරිඳ කිවේ සියාමා මට ආදරය කරන බවත් එය මෙලෙසින් අවසන් වීම හොඳ බවත්ය.

ඊළඟ වාරය පටන් ගැනුනි. සියාමා මා ලඟින් තව දුරටත් හිඳ  ගත්තේ නැත. ඇගේ පැමිණීමද සිදු වුනේ ආවාට ගියාවට මෙනි. මම ඇයට කතා කලෙමි. ඇගෙන් ලැබුනේ කෙටි ක්ෂණික පිළිතුරු පමණි. පිස්සු ඇන්ඩ්රුවා නැවතත් ඇය ළඟ හිඳ ගනිමින් කතා කරමින් කැරකුනේය.  කිසියම් දෙයක් තේරුන කලෙක මෙන් දේශනා වලට එන පාඨමාලාවේ  ඇතැම් අය සියාමා සමග ප්‍රශ්නයක් වුණා දැයි විමසුහ. මම ඒ සියලු ප්‍රශ්න කාරුණිකව මග හැරියෙමි.
ඇයට කරදරයක් නොවී මම මගේ පාඩුවේ සිටියෙමි.  අපේ වාරය අවසන් වීමට මසක් පමණ තිබේ.
දේශනා අවසන්ව සියල්ලොම නිවෙස් බලා ගොස්ය. රාත්‍රී දහයට පමණ නිසා ගණිත අංශය පිහිටි ගොඩනැගිල්ලම නිසලය. මගේ තීසිසය අධීක්ෂණය කරන ආචාර්ය වරයා හමුවී මම පස්වන තට්ටුවේ සිට පහලට එමින් සිටියෙමි. මම සාමන්‍යයෙන් විදුලි
සෝපානය භාවිතා කරන්නේ නැත. සියාමා ද එය දැන සිටියාය. ම සමග කණු කුණු ගාමින් කීප වරක්ම ඇය මා සමග  පඩි පෙළ නැග තිබේ. තුන්වන තට්ටුවේ අප දේශන සඳහා සහභාගි  වන ශාලාවේ සිට එන දොරටුවකින් පඩි පෙලට පිවිසීමට හැකිය. දෙදෙනෙක් එහි තුරුළු වී උන්හ. තරමක් උස ඒමි ඇගේ මුහුණ පහතට හරවමින් සරාගී ලෙස තොල් තද කරමින් සියාමා ව සිප ගනිමින් උන්නාය. ඒමි ගේ දෙඅත් සියාමා වටා  වෙලී ඇගේ ඉනෙන්  පහල කොටස තදින් බදාගෙන සිටියාය. මට එක්වරම සිනහ
ගියේය. මට ඇත්තටම සිතුනේ සියාමා ඒමිට ආදරය කිරීමට හිත හදා ගෙන බවයි. සියාමා ඇගේ නෙතු කොනින් මම පහලට බැස  යන අයුරු බලා සිටි බව මට පෙනුනි.
නිවසට පැමිණි මම මේ පිළිබඳව මගේ බිරිඳට පවසා  සියාමා පිළිබඳව මම සතුටු වන බව කීවෙමි.
ඇයගේ මතය වුයේ සම්පුර්නයෙන්ම වෙනත් එකකි.
"පිරිමි මෝඩයි කියල සියාමා කිව්ව කතාව ඇත්ත." ඇය සිනාසුනා ය.
"ඔයාට තේරෙන්නේ නැත්ද ? එයා ආදරේ ඔයාට. ඒකයි ඒ ඒමි එක්ක එතැන හිටියේ ඔයාට පේන්න. ඔයාට ඉරිසියා වෙලා එයා පස්සෙන් එයි කියල හිතන්න ඇති. ගෑණු එහෙම කරනවා. " ඇය නැවතත් කීවාය.
"මම නම් හිතන්නේ නැහැ එහෙම. මට හිතුනෙත් නැහැ ඒ වගේ දෙයක්. " මම පිළිතුරු දුනිමි.

ඊළඟ දින දෙකේදී ඇය පැමිණියේ නැත. ඒමි  මට කතා කරන්නට අවස්ස්තාවක් එනතුරු මා  වටා  කැරකුනාය. දේශනයක් අවසානයේ ඒමි මා අසලට පැමිණ කතා කලාය.
"එලියට ටිකක්  යමුද"?
අපි ගොඩනැගිල්ලෙන් ඉවතට පැමිණියෙමු.
"ප්‍රියාන් සමාවෙන්න. සියාමා  තමා   මට කතා කලේ. එයා  මට කැමැතියි කිව්වා. "
"ඒමි  මායි  සියාමයි අතරේ තියෙන්නේ හෝ තිබ්බේ මිත්‍රත්වයක්. ඔයයි එයයි අතරේ මොනවා වුනත් මට ඒක  ප්‍රශ්නයක් නෙමේ. හැබැයි ඔයාට පෙම්වතියක් ඉන්නවනේ. එයා  දැන ගත්තොත් නම් ඒක  ප්‍රශ්නයක්." මම කීවෙමි.
"ඒකනම්  දැන් පොඩ්ඩක් හිර වෙලා. එයා වෙන තැනකට වැඩට ගියානේ. ඒක  නෙමේ එදා අපි අතරේ මුකුත් වුනේ නැහැ. "කියමින් ඇය ඇසක් ඉඟි මැරුවාය.
"ඇත්තටම මට දැන  ගන්න ඕනේ නැහැ " මම කීවෙමි.
"නැහැ. මේකයි. සියාමා මගේ කාමරේ හිටියේ එදා රෑ. එයා  අඬන්න  ගත්ත. මම වයින් ටිකක් දුන්න. බිව්වෙත් නැහැ. මාවත්  බදාගෙන නිදාගත්තා. එයාව තුරුළු කරගෙන ඉන්න කිව්වා. මට නින්ද ගියා. තුනට විතර මට ඇහැරුණා. එයා  ආයෙත් මේසේ  ගාව  ඉඳගෙන අඬනව. මට දුකයි ප්‍රියාන්. ඔයා  එයත් එක්ක ආයි  යාලුවෙන්න. "  ඇය  කීවාය.
"ඒමි, මං  හිතන්නේ නැහැ එයා  අඬන්නේ මම නිසා කියල. ඒක  එයාගේ අතීතයට සම්බන්ධ දෙයක්. මට කියන්න බැහැ . මම එයත් එක්ක තරහ වෙලත් නැහැ.  මට කතා කරන්න විධිහක් නැහැ. එයා  ඊමේල් එකකට වත් උත්තර දෙන්නේ නැහැ "
"ඇත්තද? මටත් එහෙමයි. එකම පණිවිඩයකටවත් උත්තර නැහැ. එදා උදේ මගේ කාමරෙන් යනකොට කීවා  රෝහලකට යන්න තියෙනවා කියල "
"ආ, එයාගේ නැන්දට පිළිකාවක් තියනවා කියල කිව්වා. ඒකට ඇඬුව ද  දන්නේ නැහැ. ඔයාට ස්තුතියි මට කිව්වට " මම කතාව අවසන් කලෙමි.

ඉන් දින දෙකකට පසු මට සියාමා  කතා කළාය.
"මට ඔයාව හම්බ වෙන්න ඕනෙ. අර ඔයාගෙන් ගත්ත පොත් දෙන්න "
"හොඳයි. හෙට මම විශ්ව විද්‍යාලේ ඉන්නවා"
"ඔයට එක දේශනයයි නේද , මම ඒක  ඉවර වෙන කොට එන්නම් "
ඇය මගේ කාල සටහන බලා  තිබිණි.


මම දේශන පැවැති ගොඩ නැගිල්ලෙන් එලියට එන විට ඇය ගේට්ටුව අසල බලා  සිටියාය.  අප  සෙමෙන් සෙමෙන් මහා විදිය ඔස්සේ ගමන් කළෙමු.
"ඔයාට  කොහොමද? පොත් දෙන්න හරි ඔයා මට කතා කරපු එකට මට සතුටුයි."
ඇය කිසිවක්‌  නොකියා මද දුරක්  පිය මැන්නාය.

ඉන්පසු,
"අපි නැන්දොස් එකට යමුද පිරි පිරි චිකන් කන්න" මදක්  සිනාමුසුව ඇසුවාය.
විශ්ව විද්‍යාලය පැත්තෙන් උමං  දුම්රිය පලට යනවිට වම් පැත්තේ අප පෙරදී හමුවූ  මයිල්එන්ඩ් උද්‍යානය තිබේ. එයට ඇතුළු වන දොරටුව අසල  නැන්දොස් නමින් ආපන ශාලාවක් ඇත. එහි විකුනන්නේ පුළුස්සන ලද කුකුලුමස්ය. එහි විශේෂත්වය පිරි පිරි නම් අප්‍රිකානු "කුරුළු ඇස"  නමැති මිරිස් වර්ගයෙන් සාදන සෝස් වර්ගයක් කුකුළු මස් වල තවරා ඒවා සෑදීමයි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙම සැර සෝස් දමා  පුළුස්සන ලද රසවත් කුකුළු මස් මෙහි මිලදී ගත හැකිය.  සියාමා මෙහි කුකුලු මස් කෑමට  ප්‍රිය කළ  නිසා සිසුන් කීප දෙනෙකු සමග අප එහි නිතර ගියෙමු.
අප එයට ඇතුළු වී ආහාර ඇනවුම්  කළෙමු. ඇය  මගේ පොත් ටික මට දුන්නාය.
 "ඔයාට ඉවර නැහැනේ පාඨමාලාව. තව ටිකක් තියාගෙන දෙන්න. " මම කීවෙමි.
"නැහැ එපා. ඕන වෙන්නේ නැහැ" ඇය කීවාය.
"ඔව් ඔයාට පුස්තකාලයෙනුත් පොත් ගන්න පුළුවන්. සමහර වෙලාවට හැබැයි පොත් නැහැ හැමෝම අරන් යන නිසා"
ඇය මා  දෙස නිසලව බලා  සිටියාය. අපේ ආහාර  ලැබුණි. ඇය  ආහාර  ගන්නේ ඉතා සෙමිනි. මේ පිළිබඳව මම සිනා සුන වාර  අනන්තය. ඇය කීවේ ඇය ආහාර  මට වඩා රස විඳින බවයි.
"මම හිටිය ගෙදර බාල්ක එකක සමහර විට අපව බැඳලා තියනවා. නැත්නම් ජනෙල් පොලුවල . ඊට පස්සේ .."
"සියාමා , ඔය හිංසනය ගැන කතා කරන්න කරන්න එපා තව දුරටත්. ඔයාට විෂාදය ඇති වෙන්න පුළුවන් ආයේ." මම ඇය  ගේ කතාව අතරමග නැවත්වීමි.
"මම කෑම ගැන කතා කරන්න  හැදුවේ...... "  ඇය  අහිංසක ලෙස පැවසුවාය.
මම නිහඬ වීමි.
"අපව ලණු  වලින් බැඳලා තියෙද්දී උන් කනවා. ගුලාල් නුත් සමහර වෙලාවට එකතු වෙනවා  අනිත් මුර කාරයෝ එක්ක. අපි බඩ  ගින්නේ බලන් ඉන්නවා. සමහර වෙලාවට  කුකුල් කටු, මස් කටු, මිරිස් කරල් අපි දිහාට විසි කරනවා. අපි සමහර
වෙලාවට උන්  නින්දට ගිහාමත්  එහෙම්ම ඉන්නවා බඩ  ගින්නේ. ෆරීඩා ඇවිත් ලිහනකම්ම. මම හිමින් කන්නේ ඒකයි. රස විඳින්න. මම ආපු කාලේ අවුරුදු කීපයකට පස්සේ නැන්ද මාව උත්සව වලට අරන් ගියා. මට මිනිස්සු කෑම විසි කරනවා,  බාගෙට කාල දාල යනවා බලන්න බැහැ. අනික පිරිමි ගාව ඉන්න බයයි. පස්සේ නැන්ද නැවැත්වුවා මාව  එක්ක යන එක. විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න කොට තමා  ඒ ගතිය නැති වුනේ "
"මට තේරෙනවා.ඔයා  හිමින් කන්න. මට ඕන තරම් වෙලා තියනවා. "
කෑම අවසානයේ අතුරුපසට මම චොකලට් චීස්කේක් ගත්තෙමි. පැණි රස වුනත්  මම ඉතා කැමති එම අතුරු පසට ඇයද ප්‍රිය කළාය.
"අපි දෙන්න හොඳ මිත්‍රයෝ. ඔයා හරි.  ඔයා මගේ වැඩිමහල් සහෝදරයා." ඇය  කීවාය.
"ඒකනේ. මගේ මව් භාෂාවෙන් වැඩිමහල් සහෝදරයාට  කියන්නේ අයියා. බාල  සහෝදරියට කියන්නේ නංගි."
"අපේ නංගිට කියන්නේ චෝටා බෝනා. ආයා, නැන්ගි කියන එකත් ලස්සනයි."
"ආයා කියන්නේ ළමයි බලා  ගන්න නැනීට මනුස්සයෝ. නැන්ගි නෙමෙයි නංගි". ඇය සුන්දර ලෙස සිනා සුනාය. ප්‍රීතිමත් මොහොතක් ගෙවී ගියේය.

ඇය වැලමිට හරියෙන් මගේ අත  හරහා ඇගේ  අත දමාගෙන ගමන් කළාය. අපි බස් නැවතුම් පලට ගියෙමු. ශීත  සෘතුවේ පැමිණීම සිහිපත් කරමින් සෙමින් සෙමින් සීතල වැස්සක් පටන් ගති. අපි බස් නැවතුම් පලේ ගුලිවී සිටියෙමු. බසයක් දෙකක් නික්ම ගියේය. ඇයට  යාමට අවශ්‍යතාවයක් නැති සෙයකි.
"මම ඊළඟ බස් එකේ යනවා " ඇය  මදක් මදෙස බලා  සිට කීවාය.

බසය පැමිණියේය. වැඩි සෙනගක් නැති වුණත් රියදුරු තම වේලාව  එනතුරු මේ නැවතුම්  පලේ සිටීම සාමාන්‍ය දෙයකි.
ඇය "මම යනවා " කියමින් මගේ කම්මුලට හාද්දක් දුන්නාය. ඉන්පසු අමතක වුනාක් මෙන් නැවත හැරුණු ඇය ඇගේ සිනිදු තොල්පෙති මගේ තොල් අතර තබා මොහොතක් සිටියාය. මම එතනම ගල් වුනෙමි. මගේ අත මිට මොලවා ඇගේ අත්  දෙකට තබා "ආයා (අයියා) සමා  වෙන්න " කීවාය. ඉන්පසු බසයට නැග ගත් ඈ මා එළියේ සිටි පැත්තේ වාඩිවී රියදුරු බසය පණ ගන්වනතුරු සිටියාය.
බසය ඇදී යද්දී අගේ අතට හාදුවක් දී එය බසයේ විදුරුවට අලවාන්නක් මෙන් අත තැබුවාය. ඒ මුහුණ ශෝකයන් පිරි තිබුණි. ඒ දෙස බැලු මට දිව ගොස් බසයේ එල්ලීමට සිතුනි. නමුත් මම සිත තද කර ගතිමි. මේ ඇය මා  හමුවන අවසාන වතාව දෝ යයි සිතුනි.
එය එසේම විය. ඇය  නැවතත් නිහඬ වුවාය. කිසිම ඊමේලයකට, දුරකථන පණිවුඩය කට පිළිතුරක් නොලැබිණි. ඇයට අවහිරයක් යයි සිතා මම ඊමේල් යැවීම හෝ කතා කිරීම  නතර කලෙමි.

මගේ තීසිසය ඉදිරිපත් කල පසු විශ්ව විද්‍යාලයට යාම නතර විනි. උපාධිය ලබා අවුරුද්දකුත් මාස  ගණනක්  ගෙවී ගියේය. තීසිසය අධීක්ෂණය කළ  ආචාර්යවරයා ගෙන් ඊමේලයක් ලැබුණි.



සත්වන කොටස 







13 comments:

  1. අායෙම පටන් ගනී වගේ..................... කතාව සුපිරියි අජිත් අයියේ

    ReplyDelete
    Replies
    1. නැහැ. අවසන් කොටස ළඟදීම දානවා. ස්තුතියි කටුසු.

      Delete
  2. කතාවෙ හරයට වෙනස්ව උනත් වෙලාවකට සියාමා ගැන පොඩි කේන්තියකුත් එන්න ලියලා තියෙනවා. නැවතත් කියන්නේ අජිත් අයියා මේ විදිහේ එවාත් නිතර ලියන්න. මුල සිට අගටම කිසි වෙහෙසක් නැතිව කියවන්න පුළුවන්. අර ගැඹුරු සමාජවාදී දර්ශනයට වඩා පුහුදුන් අපි කැමති මේවාට. අවසාන වශයෙන් කියන්නේත්, ඉතාම සංවේදී එ්ත් ලස්සනට ලීව කතාවක්.

    ReplyDelete
    Replies
    1. එච්චර දරුණු විෂාදියක් තියෙන්නේ පුළුවන් කෙනෙක් ගැන කේන්ති ගන්නේ මොකටද. ගැඹුරු සමාජවාදී දර්ශන කවද්ද අප්පා ලිව්වේ. පුහුදුන් අය ඉන්නේ ආගම ගැන කතා කරන කොටනේ මාදවියෝ.
      හැබැයි කහවේ හරය ඔයාට දන්නේ විධිහට මොකක්ද ඇත්තටම ? තවම් කටහ්ව ඉවර නැහැ හැබැයි.

      Delete
    2. කතාවෙ හරය තුල සියාමා ගැන නිරන්තරයෙන් අනුකම්පාව යොමුවන ස්වභාවය ගැනයි මම කීවෙ. අර ජෙලස් එන්න කරන වැඩ නිසානෙ පොඩි කේන්තියක් එන්නෙ.
      ඇහ්..! ඉවර නැද්ද තාම?

      Delete
    3. ඇයි අනුකම්පාව කියල ඔයාට හෙට තේරෙයි. (අවසාන කොටස් දෙකේ )

      Delete
  3. අයියේ ගොඩක් ආසාවෙන් කියවුවේ. මේ කතාව මං කියෙවුවට මට පේන්නේ මං වීඩියෝ එකක් බලනවා කියලා. කාලෙකින් බ්ලොග් අවකාශේ තුල කියෝපු රස විඳින කතාවක්,, අනේ ඉවර කරන්න එපා ,, සියාමා තුල තව රහස් ඇති ,,, කවදාහරි ආයේ ප්‍රියාන්ට හම්බෙයි... එදාට නම් කීස් එකක් දීලා නවතින එකක් නෑ.. මට විශ්වාසයි. :D "පිරිමි මෝඩයි "

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි . කතාවේ සියාමා ගේ විස්තර ගොඩක් ලිව්වේ නැහැ. කවදාහරි ලියන පොතකට ඇතුලත් කරනවා කියල හිතුව. මේ කතාව ඊලඟ කොටසින් හෝ දෙකින් ඉවරයි. දෙවන කොටස නැන්දාගේ කතාව නමින් එනවා. අග මුල තේරෙයි වඩාත්ම.

      Delete
  4. අජියා. මම කලිනුත් කිව්ව නේ. මේ ටිකේ බ්ලොග් කියවීම හොරයි කියල. ඒත් මේ වගේ ලස්සන කතාවක් නොකියවා ඉන්නේ කෝමද? උඹගේ හැකියාව ගැන මට හරිම පුදුමයි සන්තෝසයි.. ළග හිටිය නං අල්ලගෙන බදාගෙන කලුවරේම කිස් එකක් දෙනවා. හැක්. ජය

    ReplyDelete
    Replies
    1. අපොයි ඕවට එන්න එපා ඔන්න. බොහෝම ස්තුතියි සහ සතුටුයි දේශකය වගේ අංකුර බ්ලොගාර් යෝධයෙක්ගෙන් මේ වගේ ඇගයීමක් ලැබීම ගැන.

      Delete
    2. ඔයා හරි කරුණාවන්තයි. මං ගියා ප්‍රී.

      Delete
  5. ප්‍රියාන්ගේ වයිෆ් නම් මාරයි... ප්‍රියාන්ට තියෙන්නේ දවසක සියාමට නොකියා, එයාව හම්බෙන්න යද්දී වයිෆ්වත් එක්කගෙන යන්න. තවම එහෙම නොකරපු නිසා මට හිතෙන්නේ ප්‍රියානුත් හීනියට වැඩේට කැමතියි වගේ කියල.. අපේ හිත් විස්වාස කරන්න බෑනේ!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මගුලක් කියන්න එනවා........සංකීර්ණ තත්වයක්. රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ක්‍රමයක් කවුරුහරි හොයාගෙන තිබෙනවද?

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.