Monday, 13 July 2015

සියාමා 7 - ඔද්දල් වුනු සිතකට තවත් දැඩි පහරක්


පළමුවන කොටස.
දෙවන කොටස 
තුන්වන කොටස 
සිව්වන කොටස 
පස්වන කොටස 
සයවන කොටස

ආචාර්යවරයා එවූ ඊමේලයේ කියවුනේ තවත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකුට මහාචාර්ය පදවිය ලැබෙන බවත්, ඒ වෙනුවෙන් සම්ප්‍රදායික ලෙස මහාචාර්ය පදවිය ලැබෙන සැවොම තමන් කරන ලද හා කිරීමට නියමිත පර්යේෂණ ආදිය අළලා කරනු ලබන  දේශනයට සහභාගී වන ලෙසට  කරන ලද  ආරාධනයකි. සුර්යයාගේ  චුම්බක ක්ෂේත්‍ර ආදිය ගැන එම මහාචාර්යවරයාගේ  පර්යේෂණ ප්‍රසිද්ධ හෙයින් ශාලාව පිරි තුබුණි.

දේශනය අවසානයේ සංග්‍රහයට තබා තිබු වයින් විදුරුවකුත් රැගෙන මම මදකට එලියට පැමිණියෙමි.

අපේ උපාධි පාඨමාලාවේ පාඨමාලා අධ්‍යක්ෂක වරයා ඉතා කරුණාවන්ත මහාචාර්යවරයෙකි. එංගලන්තයේ ආචාර්ය උපාධියක් තිබෙන අයෙක් තමන්ට "ආචාර්ය ....." වශයෙන් අමතනවාට වඩා  මුල් නම කියා අමතනවාට කැමතිය. මහාචාර්යවරුන්ද එසේ මුල් නමින් ඇමතීම ප්‍රිය කරති. ඔවුන් පදවිය හෝ පට්ටම භාවිතා කරන්නේ නීතිමය හෝ රාජකාරි කටයුතුවලදී පමණි. මේ මහාචාර්ය තුමා ජෝන් එමර්සන් ද එවෙලේම එලියට පැමිණියේය.
මම ඔහු දැක ආචාර කලෙමි. ඔහු මා  සමග කතාවට වැටුනේය.  ඔහු චිලියේ පිහිටි අල්මා ආකාශවස්තු නිරීක්ෂණාගාරයේ සංචාරයකට ගොස්  පැමිණියා  පමණය.  එහි දුරේක්ෂ එක දිගට රාශියක් පිහිටුවා ඇත. එහි ඇතිවූ කිසියම් ප්‍රශ්නයකට ඔහුගේ උපදෙස් පතා  තිබේ.  ඔහු ඉන්පසු ඔහුද උපදේශකයෙකු වන යුරෝපියානු දක්ෂිණ තාරකා  නිරීක්ෂනාගාරය ටද ගොස් තිබේ. ඔහු ඉතා උනන්දුවෙන් එහි විස්තර පැවසුවේය. ඉන්පසු මා  ගැන විමසීය.  මේ අතරවාරයේ මම ඔහුගෙන් සියාමා ගැන විමසීමට සිතුවෙමි. සාමාන්‍යයෙන් ඔහු අනිත් සිසුන්ගේ පෞද්ගලික විස්තර කතා කරන්නේ නැත. නමුත් අප දෙදෙනා එක්ව ඔහු හමුවීමට කිසියම් කරුණු කීපයක් නිරාකරණය කිරීම සඳහා ගොස් තිබුණි.

"ජෝන්, ඔබට මතකද සියාමා, අර ආසියානු තරුණ කාන්තාව අපේ පාඨමාලාවේ හිටිය "
කෙලින් ඇති විශ්ව විද්‍යාලයේ දොරටුව දෙස බලමින් කතා කරමින් සිටි ඔහු කිසිත් නොකියා  එක්වරම මා දෙස හැරී  බැලුවේය.
"එයා  පහු කාලෙක  ආවේ නැහැ. මම දන්නේ නැහැ පාඨමාලාවෙන් ඉවත් වුනාද කියල " මම තව දුරටත්  පැවසුවෙමි.
"මම හිතුව ඔයා  දන්නවා  ඇති කියල ප්‍රියාන්.  ඔයාල දෙන්න  එකටම වගේ හිටිය නිසා මම හිතුව ......" ඔහු මදක් පසු බෑවේය.
"ඔව්. ටිකක් ලඟින් හිටිය තමා  ජෝන්.මම දන්නවා මම වෙනත් ශිෂ්‍යාවක ගැන පෞද්ගලිකව  ඔබෙන් අහන එක හරි නැහැ කියල.  නමුත් අපි යහළුවන් වුවත් ඇය එකපාරටම නිහඬ වුනා. ඉතින් ඒකයි  මම ඇහුවේ. එයා ආයි  පාඨමාලාවට එනවද බලන්න. "

සුසුමක් හෙලු මහාචාර්යවරයා තම වයින් වීදුරුව හිස් කළේය.
"මම සාමාන්‍යයෙන් එහෙම පෞද්ගලික විස්තරයක් කියන්නේ නැහැ. ඒත් ....මම දන්නවා ඔබ ගැන. ඔබ උදව් කල හැටි හෙම. සියාමා දෙවන අවුරුද්දේ පළමුවන වාරයට මුදල් නොගෙවූ නිසා මුදල් අංශයෙන් ලිපි සහ ඊමේල් කීපයක් යවල මටත් කිව්වා. පස්සේ අපේ ලේකම් වරිය ඒ ගැන මට කියල මම කිව්වා දුරකතනයෙන් කතා කරන්න කියල. උත්තරයක් ලැබුනේ නැහැ. පස්සේ ගෙදර දුරකතනයේ පිළිතුරු පටිගත යන්ත්‍රයේ අපි පණිවුඩයක් තිබ්බ. එයාගේ නැන්දා  ඊට පස්සේ කතා කලා  අපට."
ඔහු මදක් නැවත්වුයේය.
"සියාමා ට පිළිකාවක් තිබිල තියෙනවා. එයා ඒක වැඩිය ගණන් අරන් නැහැ. රෝහලට පරීක්ෂණ වලට ගිහින් නැහැ. අමාරුම කාලේ  රෝහලට ගෙනිහිල්ල. එයා නැවත එන එකක් නැති වෙයි.වෙන විස්තරයක් මම දන්නේ නැහැ. "

සියුම් වේදනාවකින් මගේ සිත වෙලී  ගියේය.
"මට සියාමා කිව්වේ ඇගේ නැන්දාට පිළිකාවක් තියනවා කියල. සියාමා අසනීපයෙන් කියල මම දැනගෙන හිටියේ නැහැ." මම අපහසුවෙන් කීවෙමි.
ඇත්තද යයි ඇසූ මහාචාර්යවරයා තවත් මොනවදෝ කතා කළේය. වෙනත් ආචාර්යවරයෙක් ද එතනට පැමිණි අතර මම ඔවුන්ගෙන් සමුගෙන පිටත් වුනෙමි. සිත දැඩි වේදනාවකින් පිරි ගොස් ඇත. ඇය තවමත් ජිවතුන්  අතරද? ඇයට පිළිකාවකින් සුව විය හැකිද? පිළිකා සැදී සුවවූ දෙතුන් දෙනෙකු  මම දනිමි.

මගේ සිතට නැගුනේ විශාරද සනත් නන්දසිරි  මහතා ගයන
"එදා මෙදා තුර කඳුලට විවරවූ
දෑස  පියන්පත් කවුළු වසා .."  ගීතයයි.

ඇය ජිවත්ව සිටින්නීද?
අප අතර තිබු මදක් සංකීර්ණ සම්බන්ධය තුල මා තනිවී නොමැත. තනිවී ඇත්තේ, තනිවී සිටින්නී සියාමා ය. ඇය ජිවතුන්  අතරද වත් මම නොදනිමි. විශ්ව විද්‍යාලයේ  පාඨමාලා අධ්‍යයන අංශයෙන් ශිෂ්‍යයන්ගේ තොරතුරු ලබා දෙන්නේ නැත. ඇය සිටින රෝහල හෝ නිවස සොයා ගන්නේ කෙසේද යන උභතෝකෝටික ප්‍රශ්නයට පිළිතුරක් සොයා වෙහෙසුනෙමි.

රෝහල් වලට කතා කර දැනගත නොහැකිය. ඇය නම වෙනස් කර සිටිනවාද දන්නේ නැත.

මම සියාමා හමුවීම් වලට සහභාගී වූ ලන්ඩනයේ අදේවවාදීන්ගේ සංගමයට බැඳුනෙමි. එහි ලන්ඩනයේ  කළු එක්ස්-මුස්ලිම් වරු, එක්ස් - හින්දු වරු ආදී වශයෙන් අනු කණ්ඩායම් ද වූහ. දෙතුන් දෙනෙකු සියාමා දැන  සිටියද ඇය අසනිප බව හෝ ඉන්නා තැනක් ඔවුන් දැන  සිටියේ නැත. ඇය බොහෝ කලකින් හමුවීම් වලට හා දේශන  වලට සහභාගී වී නොතිබුණි.

අදේවවාදීන් ආරොන්රා ගේ දේශනයක් සංවිධානය කළහ. ඔහුගේ නියම නම ආරොන් නෙල්සන්ය.ඔහු ඉතා ප්‍රසිද්ධ අදේවවාදී වීඩියෝ බ්ලොගර් කෙනෙකි. ඔහු මැවුම් වාදයට විරුද්ධව ඇමෙරිකාවේ දීර්ඝ අරගලයක් ගෙනයයි. දැඩි හේතුවාදියෙකු වන ආරොන්රා සෑම ආගමකම ඇති "සුරංගනා කතා " වලට දැඩිසේ පහර දෙයි. යුටියුබ් අඩවියේ ඔහුගේ වීඩියෝ ඉතා ජනප්‍රියය.  ටෙක්සාස් ප්‍රාන්තයේ අදේවවාදී සංගමයේ අධ්‍යක්ෂක ද වන ඔහුගේ පැමිණීම බොහෝ අය තුල උනන්දුවක් ජනිත කළේය. ඒ වෙනුවෙන් සංවිධානය කල රැස්වීමට සහ
උත්සවයට යුරෝපයේ විසිරී  සිටින අදේවවාදීන් ද පැමිණුන අතර ශාලාව පිරි ඉතිරි ගොස් තිබුණි.

ඒ රැස්වීමේදී මට ඇනා හමුවිණි.

දිගු  රන්වන් පාට කැරලි ගැසුණු හිසකේ දෙඋවුර වැසෙන්නට දමාගෙන සිටි නීල නෙත් දෙකින් උමතු සුන්දරත්වයක් ප්‍රදර්ශනය කරන ඇනා හඳුනා ගැනීම  අපහසු වූයේ නැත. ඇඟට සිරවන තද ඩෙනිමකින් හා සැහැල්ලු ටීෂර්ට් එකකින් සැරසී  සිටි නිරූපිකාවක් වන්  වූ ඇගේ ඡායාරූප කීපයක් මා  දැක තිබුණි.  ඇය වටා  තවත් තරුණියන් තිදෙනෙක්ද පිරිමින් කීප දෙනෙකුද වූහ. ඔවුන්ගේ සංවාදය තුල ඉඩක් ලැබෙන තුරු මම බලා සිටියෙමි.
අදේවවාදී සංගමයේ විශේෂත්වය වන්නේ සංවාදයකට ආරාධනයක් නොමැතිව ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය. එය සදාචාර විරෝධී යයි කවුරුත් සලකන්නේ නැත. එසේම ඕනෑම කෙනෙක් හමුවන ඕනෑම අයෙකුට කතා කරති.
මම අවස්ථාව බලා ඇනාට කතා කලෙමි.
"ඇනා හෙලෝ කොහොමද මම ප්‍රියාන් ?" අතට අත  දුනිමි.මා හඳුනන දෙතුන් දෙනෙකුද එතන සිටි අතර ඔවුහුද  මට අතට අත දුන්හ.
ඇනා ගේ දෑස විශ්මයෙන් මහත් විය.
"පරියාන් " ඈ මදක් උස්  වූ හඬකින්  කෑ ගෑවාය. ඇයට ප්‍රි යන්න හරියට ශබ්ද කිරීමට නොහැකි බව මම වටහා ගතිමි. ඇනා ඉදිරියට පැන මගේ අත දෙඅතින් ම බදා ගත්තේ බොහෝ කලක් නුදුටු මිතුරෙකුගේ පරිද්දෙනි. ඇනා සමග කතා කරමින් සිටි තරුණියන්ද විමතියෙන් මෙන් බැලූහ.
සමරිසි ඇනා හා  මැදිවියේ  ආසියානුවකු අතර සම්බන්ධය කුමක් දැයි ඔවුන් සිතනවා විය හැකියයි   සිතුනු මට සිතින් සිනා පහල විය.
"පරී, කොහොමද?  මම දැන ගත්තා  මේ ඔයා කියල. හම්බ වුන එකට හරිම හරිම සතුටුයි. අපට මෙතන දැන් කතා කරන්න බැහැ. දේශනය ඉවර වුනු ගමන් අනිවාර්යයෙන්ම හමු වෙමු. " ඇය කියාගෙන ගියාය.

"හොඳයි මම ඔයා ගාවට එන්නම්. පස්සේ කතා කරමු" එසේ කිවූ මම දැඩි සහනයකින් යුතුව මගේ පුටුවට ගියෙමි.

මට බොහෝ දුරට  සියාමා ගැනදැන  ගත හැකි තැනැත්තිය හමු වී තිබේ......

අටවන කොටස 





17 comments:

  1. සියාමා පව්. ඒක නිකං ගහෙං වැටුණ මිනිහට ගොනා ඇනල කොටියත් කෑව වගේ වැඩක්. වෙන්න තියෙන ඔක්කම වෙලා නහයෙනුත් උඩට ගලල තියෙන එකෙ මීට වඩා මොනව වෙන්නද කියල හිතෙන්න ඇති. ඒ හන්ද කැන්සර් එක ගණන් ගනනන නැතිව ඇති.
    පරදින්න වුණත තෝරං තියෙන්නෙ අමාරුම විදියක්.
    ඉතුරු ටික් ඉක්මණට දායි කියල හිතනව

    ReplyDelete
    Replies
    1. ලියාගෙන යනවා . ස්තුතියි.

      Delete
  2. ලියාගෙන යනවා...තව ඉවර නෑ... ?
    මේක පාඨක ප්‍රතිචාරය අනුව වෙනස් කරගෙන යන්නෙ. මම වගකීමෙන් කියනවා කලින්ම සැකසූ කතාවක් නොවේ. ඒ තුලිනුත් ඔබ පුන පුනා ඔප්පු කරන්නෙ ඔබේ මේ හැකියාවේ නිම් වළලු බොහොම පුළුල් බව. උදාහරණයක් විදිහට, ඉස්සර චිත්‍රකතා රචකයොත් විශ්මය/කුතුහලය ගෙනයනවා ඊ ළඟ සතියට.... ඊට වඩා ගොඩක් පුළුල් මෙහෙම සෝප් ඔපෙරා ඉට්ටැයිල් එක. අගය කරන්න වචන මදි. වෙල්ඩන් අජිත් අයියා!

    ReplyDelete
    Replies
    1. මාධවී එක තැනක හරි වෙන්න ඇති කියල කියමු. මේක මෙතනින් ඉවර කරන්න දුකයි. එච්චරයි. බොහෝම ස්තුතියි.

      Delete
  3. කොහොම හරි සියාමාට සාධාරණයක් කරලා කතාව අවසන් කරයි කියලා හිතනවා

    ReplyDelete
  4. කියෙව්වෙමි.. වැඩි විස්තර පසුවට..

    ReplyDelete
    Replies
    1. යෝදයා ද යෝධයාද

      Delete
  5. පහුගිය ටිකේම එන්න බැරි උනා.ඒ නිසා එක දිගට කතා කීපයක්ම කියෙව්වා.මුල් ඒවත් එකිනෙකට ලින්ක් කලොත් ලේසියි අයියෙ.
    කතාව ගැනද..?
    ඒක මම මෙහෙම කියන්නම්.
    මගෙ ලන්ච් ටයිම් ඉවරයි දැන්.ආයෙ පැය පහකින් කඩයක් වත් තියෙන හරියකට යන්න වෙන්නෙ.ඊයෙ රෑට කාපු කට්ලට් හතරක් විතරයි.(උදේ නින්ද ගිහින් නිසා කන්න වෙලාවක් තිබුනෙ නෑ.)
    ඒත් මට බඩගිනි නෑ..
    ඒ තරම් විශිෂ්ටයි.
    ජයවේවා.!!

    ReplyDelete
    Replies
    1. නොකා කියවන්න තරම් මේ ලියපු එක බලපෑවා නම් මලේ මම සාර්ථකයි වගේ ටිකක් කතා ශෛලිය ගැන . ස්තුති වේවා.

      Delete
  6. මේ කතාවට මම මෙච්චරටම බද්ධ වෙලා කියල මටම තේරුනේ මේ කොටස කියවල ලියපු මනුස්සයව හොයාගෙන ගිහින් 'සියාමට මේ මොකද කළේ යකෝ..!' කියල බෙල්ලෙන් අල්ලලා හොලවාගෙන යන්න හිතුනාමයි.

    ReplyDelete
    Replies
    1. කතාව ලියල ඉවර වුණාම (අන්තිම කොටස දැන් තියෙන්නේ) මට හෙල්මට් එකක් දා ගන්න වෙයිද?

      Delete
  7. මධුවා කියනවා වගේ මේක අගය කරන්න වචන මදි..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩිස් බෝතලයක් අනිවාර්යයෙන්ම අරන් එනවා ඊළඟ සැරේ හමුවෙන්න.

      Delete
  8. අනේ අන්තිම කොටස ඉක්මනට දාන්නකො. කියන්න දෙයක් හිතාගන්න බැරි නිසා කමෙන්ට් කලේවත් නැහැ. මේ කතාව මාරයි. ඇත්ත කතාවක් කියලමයි හිතෙන්නෙ. කියන්නකො අන්තිම කොටස.

    ReplyDelete
    Replies
    1. දැන්නම් අන්තිම කොටස පුළුවන් තරම් පරක්කු කරන්න ඕනේ.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.