Thursday, 16 July 2015

සියාමා 8 - ජීවිතය සුන්දරද - ඇනා

පළමුවන කොටස.
දෙවන කොටස 
තුන්වන කොටස 
සිව්වන කොටස 
පස්වන කොටස 
සයවන කොටස
සත්වන කොටස 

දේශනය  අවසානවී බොහෝ අය බාර් එක වෙත පිය නගති. තවත් අය  ආරොන්රා සමග ඡායාරුප ගැනීමට යති. ඇනා මා  අසලට ආවාය.  ඇගේ පිටුපසින් තවත් රුවැති කාන්තාවක් ඇදී ආවාය.
"මට ප්‍රියාන් එක්ක කතාවක් තියනවා කේට්, අපි පස්සේ හමුවෙමු. "
ඇයට එසේ කියමින් ඇනා මගේ අතක් අල්ලාගෙන "අපි යමු "  කීවාය.
කේට් විමතියෙන් මෙන් මා දෙසත් ඇනා දෙසත් බලා ආචාර කර ඉවතට ගියාය.
"මං එන හැම පාරම  ඒකි මාව ඇඳට ගන්න හෙන උත්සාහයක් දානවා " කියමින් ඇනා හඬ නගා සිනා සුනාය.
"ඔයා හුඟක් ලිබරල්ව  ජිවත් වන කෙනෙක් වගේ." මම කීවෙමි.
"නෑ එහෙමත් නැහැ. මට දීර්ඝ කාලීන පෙම්වතියක් ඉන්නවා. නමුත් ඉතින් අත්දැකීමක් අත හරින්නේ නැහැ. " ඇසක් ඉඟි මරමින් ඇය කීවාය. ඇගේ විවෘත භාවය සියාමා ඈ ගැන මට පෙරදිනෙක කී ලෙසින්ම අප අතර අපහසුතාවක් ඇත්නම් එය තුරන් කළේය.

අප දේශනය තිබූ ඩෙවුරෝ පබ් එකෙන් පහලට බැස්සෙමු. විදියේ කෙළවර එඩ්ගාර් වැලස් බීම අවන්හලේ පුටු සහ මේස එළියේ තබා තිබේ. අප ඉන් එකක ඈඳි ගතිමු.
"ඔයා මොනවද බොන්නේ " මම ඇගෙන් විමසුවෙමි. "මට ස්ටෙලා එකක් " ඈ කීවාය. "මාත් ඒකක් ම ගන්නම් " කී මම බාර් එකට ගොස් ස්ටෙලා අ(ර්)ටුවා බියර දෙකක් රැගෙන ආවෙමි.
"මා දන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියල ඇනා. මම හුඟක්ම කණගාටුවකින් ඉන්නේ මේ ගැන" මම කතාව පටන් ගතිමි.
"මට තේරෙනවා පැරියන්" ඇනා කීවාය. ඇය නම වෙනස් කරමින් උච්චාරණය කරන අයුරට මට සිනා ගියේය.
"ඔයා කියන්නේ හරියට පෙරියර් වතුර වගේ. ප්‍රි-යා -න්. නමින් වැඩක් නැහැ. මම දන්නේ නැහැ ඇයි සියාමා අන්තිම කාලේ නිහඬ වුනේ කියා. මට කතා කරන්නේ නැතුව."
ඇනා මා  දෙස මොහොතක් බලා සිටියාය.
"ඔයා දන්නවද ඉලෙක්ට්රා සංකීර්ණය. ෆ්රෝයිඩියානු මනෝ විශ්ලේෂණයේදී හඳුන්වන දෙයක්" ඇනා කීවාය.
"ඔව්. නව ෆ්රෝය්ඩියන් මනෝ විශ්ලේෂණයේදී කාර්ල් යුන් කියපු දෙයක් නේද? දැරියකගේ මනෝ ලිංගික වැඩීමේදී මව සමග පියා ගේ ආදරය සඳහා  තරඟ කිරීම වගේ දෙයක් නේ. ඊඩිපස් සංකීර්ණයේ අනිත් පැත්ත. ඉලෙක්ට්‍රා කියන්නේ ග්‍රීක කුමරියක්. අර්ගොස් වල අගමෙනොන් ගේ දුව." මම පිළිතුරු දුනිමි.

"ටිකක් ඒ වගේ " කියූ ඇනා පසු පස හරි ඇගේ බෑගයෙන් අයිපෑඩයක් එලියට ගත්තාය.
"මේ පින්තුර දෙක බලන්න. සියාමා ගේ තාත්තා "
පින්තූර දෙකෙන් එකක් තරුණ වියේ එකක් වූ අතර අනික මැදිවියේ එකක් විය. ඔහු හා මගේ සමාන කම දුටු මට ඉබේටම අත හිසේ තැබිණි.
"ඩොපල්ගැන්ගර්" ඇනා මතුලාය. ඩොපල්ගැන්ගර් යනු කෙනෙකුගේ ද්විත්ව අවතාරය යන තේරුම දෙන ඉංග්‍රීසි භාෂාවේද භාවිතා වන ජර්මන් වචනයකි.
"මට දැන් තේරෙනවා. ඉතින් සියාමා මට කිව්වේ නැත්තේ ...." මම කීවෙමි.
"පරීයන් මට සමාවෙන්න. මම තමා වැරැද්ද කලේ. එයා මට කිව්වා මෙහෙම කෙනෙක් ඉන්නවා කියල. විශ්ව විද්‍යාලේ. ඊට පස්සේ කිව්වා -අයියෝ එයා බැඳලා. ඒත් මං දැන් කලින්ම දුවනවා පන්තියට එයා  ඉන්නවද බලන්න කියල.- මම කීව ඔයාට කතා කරන්න, බැඳලා  වුණාම මොකද,  යාලු වෙන්න බාධාවක් නැහැනේ කියල. දන්නවනේ මගේ හැටි. ඊට පස්සෙයි සියාමා ඔයාට කතා කලේ. මගෙයි වැරැද්ද ඔයාට ඊට පස්සේ ප්‍රශ්න ගොඩක් ඇති වුනා නම්."
ඇනා කියාගෙන ගියාය.

"මං ඒත් බැලුව මම මෙච්චර කඩවසම් ද කියල ලස්සන කෙල්ලෙක් ළඟටම ඇවිත් කතා කරන්න. ඔයා වගේ නිදහසේම හැසිරෙන්න නම් මට බැහැ. ඔයා බැඳලා නැහැනේ." මම මදක් සිනාසී කියුවෙමි.
"පිස්සුද එහෙම හිතන්න එපා මාත් කැමතියි චැට් කරන්න ඔයත් එක්ක. මේ සමරිසි නිසා නොවේ නම්...ඉතින් .... මමත් බැන්ද නම් ඉතින් ගෙදරට වෙලා කෝපි එකක් බීගෙන ඉඳියි."කියමින් ඇනා හඬ නගා සිනා සුනාය.
"මට නම් හිනා වෙන්න අමාරුයි ඇනා. මට ඕනේ සියාමා ගැන කතා කරන්න. මට හිතෙනවා මම එයාට ටිකක් අනුකම්පා රහිතව සැළකුවා කියලත්. මට හරිම වේදනාවක් ආයි නැවත ඒ ගැන එයාට කියන්න වත් සමු ගන්න වත් ඉඩ ලැබුනේ නැති එක ගැන. එයා මට අවසාන කාලෙ කතා කලේ වත්, අඩුම ගානේ ඊමේලයක් වත් එව්වේ නැහැ."
"පිස්සුද ප්‍රියාන්.  ඔයා කොච්චර උදව්වක්ද එයාට කළේ. එයත් එක්ක කතා කරලා හිත හදපු එක.  අසරණී කොච්චර දුක් වින්දද? මට හැමදේම කියල නැහැ. නමුත් ඔයාට කිව්වලු. අනික ඇයි ආයි හමු වෙන්න බැරි. අපි යමු එයාව බලන්න. " සිනාව අත්හල ඇනා පිළිතුරු දුන්නාය.
"ඒ කියන්නේ එයා ඉන්නවා. මට පාඨමාලා අධ්‍යක්ෂක ජෝන් කිව්වා එයට පිළිකාව හැදිලා ....." මම ඉතිරිය ගිල ගත්තෙමි.
"ඔයා හිතුවද එයා නැතිවුනා කියල. අපෝ නැහැ. අපේ පුංචි කෙල්ල ඉන්නවා රෝයල් මාර්ස්ඩන් පිළිකා රෝහලේ. ෆුලැම් වල තියෙන එකේ.  ඔයාව මතක් කරනවලු හැමදාම නැන්ද එක්ක" ඇය එසැණින් පිළිතුරු දුන්නාය.
"මගේ පපුව උඩ තිබ්බ ලොකු ගලක් අයින් කළා වගේ දැනෙන්නේ. ඔයාව හම්බවුන එක ලොකු දෙයක්. සියාමා කිව්වේ ඔයා එයාගේ පරණ පෙම්වතිය කියල. නමුත් ඔයා ඔයාගේ බෙල්ජියම් පෙම්වතිය බලන්න ගියාලු ආපහු. ඉතින් මම හිතුවේ නැහැ ඔයා දන්නවා කියලත් සියාමා ගැන. නමුත් මට ඕනේ වුනා  මොනවා හරි විස්තරයක් ඔයාගෙන් දැන ගන්න." මම බියර වීදුරුවෙන් මදක් බීවෙමි.

"අපි අතරේ ප්‍රේම සම්බන්ධයක්ම පටන් ගත්තේ නැහැ ප්‍රියාන්. පෙම්වතියක්ය  කියල කියන්න. ඇඩම් එක්ක ඉන්න කාලේ සියාමා එයත් එක්ක සම්පුර්ණයෙන්ම ලිංගිකව හැසිරුනේ නැහැ. ඇඩම් ට අවශ්‍ය වෙලාවට එයා ලිංගික සතුටක් වෙන විධිහකට ලබා දුන්න විතරයි. සියාමා සම්පුර්ණයෙන්ම නිරුවත් වෙලත් නැහැ එයා ඉදිරිපිට. දෙන්න අතරේ රණ්ඩු තිබුන  ඕක ගැන. මම යාළුවා නිසා සියාමා දවසක්  ඕක මට කිව්වා. ඊට පස්සේ කිව්වා එයාට කිසියම් හිංසා වගයක් වෙලා තිබෙනවා. ඒක ගැන මතක් කරන්න කැමති  නැහැ කිව්වා. මං හිතුවේ ඇඩම් ගෙන් කියල. පස්සේ එයාම කිව්වා ඇඩම් ගෙන් නෙමේ එයා කුඩා කාලේ වෙච්ච් දේවල් කියල. මම ස්කිනි ඩිපින්ග් (නිරුවත්ව පිහිනීම) වලට ආසයි. මගේ මවයි පියයි දෙන්නම නියුඩිස්ට් ලා. (නිර්වස්ත්‍රව ඇවිදීමට හා මුහුදේ නෑමට කැමති අය).  එක පාරක් රෑ වෙරළට ගිය වෙලාවක මම පැන්න මූදට  නිරුවතින්. පස්සේ ඇවිත් වැල්ලේ දිගා වෙලා හිටිය. සියාමා මුලදී පුදුම වෙලා වගේ හිටියා. මම කිව්වා කවුරුත් එන්නේ නැහැ. ගලවල මුදට පනින්න හරි ජොලි. හරි නිදහස් ගතියක් දැනෙනවා  කියල. "
මම නිහඬව අසා සිටියෙමි.

"පස්සේ ගෑණි  පැන්න මුහුදට. රල අතරේ ඇඳුම ගැලෙව්වා. පස්සේ එයා ම ඇවිත් මගේ ගාව ඇලවුනා. ඊට පස්සේ කිව්වා අද තමා ගුටි කන්නේ නැතුව බලෙන් කවුරුත් ගලවන්නේ නැතුව එහෙම කලේ කියල. මම ඇහුව එතකොට එයා සාමාන්‍යයෙන්  ඇඳුම් අඳින්නේ කොහොමද කියල. ගලවන්න  එපැයි අඳින්න. මුල්
කාලේ දවස් ගණන් එකම ඇඳුම ඇඳන් ඉඳල තියෙනවා.  නැන්ද එක්ක සායන වලට ගිහිල්ල ගිහිල්ල තමා හරියට ඇඳුමක් අඳින්න පටන් අරන් තියෙන්නේ. ඒත් අමාරුවෙන්. ඒත් හැම තැනම දොර කවුළු හෙම යතුරු වලින් වහගෙන ජනෙල් වහගෙන ඇඳගන්නේ භයේ. මුල් කාලේ නැන්ද  උදව් කරලා තියනවා.  සාමාන්‍ය මිතුරු දමකින් වෙනස්ව අපේ සම්බන්ධය හරියටම පටන් ගත්තේ එදා. එයා එදා මට පොඩි විස්තරයක් කලා අතීතය ගැන." ඈන් කීවාය.

"මට තේරෙන්නේ  මේ විධිහට. එයා භාජනය වුනු හිංසන ආදිය  නිසා ඒ තත්වය ඇති වෙන්න ඇති. ඔයාගේ නිදහස්කාමී  ගතියත් ඔයාගේ තර්ජනාත්මක නැති හැසිරීමත් නිසා එයා එහෙම කරන්න  ඇති. ඔයත් එක්තරා විධිහක සායනයක් තමයි කරලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් මට මෙහෙම අත්දැකීමක් නැහැ. ඔය හැසිරෙන විධිහ ගැන හෙම. කියවලා වත් නැහැ. " මම කීවෙමි.

"වෙන්න ඇති. එයා අපේ ගෙදර නවතින්න එහේ ආපු වෙලාවක අපේ පිහිනුම් තටාකයේ අපි දෙන්න හිටිය. මගේ අම්මයි තාත්තයි ගෙදර එනවා අපි දැක්කේ නැහැ. ගේ පිටිපස්සේ  නිසා. අම්මයි තාත්තයි බියර දෙකක්  අරගෙන තටාකයට බහින්න ආවම සියාමා හු තියාගෙන තුවයත් අරන් දිව්වා මගේ කාමරේට. එලියට ආවේ නැහැ රෑට කන්න වත්. පහුවදා  උදේ කෑම මේසයේදී බිම බලාගෙන හිටිය මිසක් මගේ අම්මගෙ යි තාත්තගෙයි මූණු  දිහාව වත්  බැලුවේ නැහැ. මට නම් හිනා ගියා. මගේ  දෙමවිපියෝ  ඊට පස්සේ එයා ඉස්සරහ එහෙම හිටියේ නැහැ.  එයාලට තේරුණා සියාමා ගැන. අනික එයාලා හිතුව ආසියානු සංස්කෘතියට ඒක ගැලපෙන්නේ නැහැ කියල. නමුත් එයාලට තේරුම් ගන්න බැරිවුනා කොහොමද  සියාමා මාත්  එක්ක සම්බන්ධ වුනේ කියල. ආසියානු සංස්කෘතියට ඒකත් ගැලපෙන්නේ නැති නිසා. මම මුකුත් කියන්න ගියේ නැහැ. හැබැයි එයාගේ අර බය ගතිය ගියා. " ඇය විස්තර කළාය.

"ඔයාලාගේ සමාජය හුඟක් විවෘත එකක්. ඔයාගේ අම්ම තාත්ත වුනත් හුඟක් විවෘතයි. අපට එහෙම හැසිරෙන්න බැහැ.  නමුත් කිසියම් විධිහකින් ඔයාගේ සම්බන්ධය සියාමා ව සුවපත් කලා වෙන්න පුළුවන් උපාධිය ඉවර කර ගන්න. නමුත් ඒ මානසික ව්‍යාධිය  ආපහු ඇවිත් තියෙනවා. මම අහල තියෙනවා පිළිකාවක් හැදෙන්න කන කෑම වගේම හිතේ ආතතියත් සෑහෙන්න බලපානවා කියල. නිතර හිත අසතුටෙන් ඉන්න  අය, ආදරය කරන කෙනෙක් නැති වුන අය, පවුල් ප්‍රශ්න මේ හැම ආතතියක්ම තියන අයට පිළිකාව හැදෙනවා වැඩියි කියල.  මට වෙලාවකට හිතෙනවා මම නිසා එයා  ආපහු  පරණ තත්වෙට පත් වෙලා ලෙඩ වුනාද කියලත්" මම කණගාටු වුනෙමි.

"නැහැ පරියාන්. එයාට  ලෙඩ හැදුනේ ඊට කලින් වැඩට යන කාලේ. උනන්දුවකින් බෙහෙතක් ගත්තේ නැහැ සනීප වෙන්න. රෝහලට ගියේ නැහැ. වැඩට ගියත් එයා ට ගොඩක්ම  තනියක් වගේ තිබිල. අනික මමත් ගියාට පස්සේ. එයා ආයි උපාධියක් කරන්න ගත්තේ ඒකයි මම හිතන්නේ.  ඊට පස්සේ ඔයාව හමු වුණා. එයා නැවතත් රෝහලට යන්න  එහෙම ගත්තේ ඊට පස්සේ. මං  හිතන්නේ ඔයා එයාට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්න කියල. නමුත් එතනින් එහාට අසනීප ගතිය වැඩි වෙනකොට ඔයාට කරදර කරන්න ඕනේ නැහැ කියල හිතන්න ඇති"

"මට කොහොම හරි සියාමා බලන්න යන්න ඕනේ. ඔයා කියනවද එයාට" මම ඇසුවෙමි.

"අහන්න ඕනේ නැහැ. අපි දෙන්න හෙට යමු. මට නිදා ගන්න තැනක් හොයා ගන්න  ඕනේ. බෙල්ජියම් වලට කෝච්චිය හෙට රෑට. යාලුවෝ හැමෝම ගෙවල් වලට ගිහින්. කාට හරි කෝල් කරමු.  " ඇනා මොබයිල් දුරකථනයේ අංක පීරන්නට වූවාය.
"ඇනා අපේ ගෙදර යමු. මම බිරිඳට කතා කරන්නම් " එසේ කී මම බිරිඳට කතා කලෙමි. ඇය නිදිමතින් දුරකතනයට පිළිතුරු දුන්නාය.
"මට සියාමාගේ එක්ස්ව හමු වුනා.  සියාමා ඉන්නව. එයාට අද ඉන්න තැනක් නැහැ. අපේ ගෙදර එනවා අද."
"අපොයි තියෙන සතුට. " ඇය එය සතුටෙන් හෝ අසතුටෙන් කීවාදැයි මට නොතේරුනි.
"එහෙනම් එන්න. මම අමුත්තන්ගේ කාමරය   හදන්නම්. කෑම අවන් එකේ. මම නිදා ගන්නවා" බිරිඳ  දුරකථනය තිබ්බා ය.

එදින උමන් දුම්රියේ යන ගමනුත් නිවසට ගොසිනුත් අපේ කතාව බොහෝ වේලාවක් යන තුරු පැවතුනි. මම මේ සුන්දර යුවතියගේ ආදරණිය ස්වභාවය මෙන්ම ඇයට සමාජ සම්බන්ධතාවයන් ගැන,  දර්ශනවාදය ආදී විෂයන් ගැන ඇති දැනුමත් ගැන දැඩි ලෙස පැහැදුනෙමි. සියාමාට ඇය සැබවින්ම ආදරය කල බව මට දැනුනි.

මම පසුදා  නිවාඩුවක් ලබා ගත්තෙමි.

රෝහලට යායුතුව ඇත්තේ සවස්  භාගයේය.



Moonlight Sonata (Sonata al chiaro di luna) -සඳ පහන - බිතෝවන් 




18 comments:

  1. දැන් මිස්ට් එක ගිහින් ටික ටික කතාවට පුරුදු වෙනවා වගේ දැනෙනවා. මේක 9 නෙමෙයි 8 නේද?

    ReplyDelete
    Replies
    1. මේක මේ අන්තිම එක. ලියාගෙන ගිහිල්ල ගිහිල්ල අන්තිමට දෙකට කැඩුවා. වාර්තාවක් වෙයි කියල බයට කතාවේ කෑලි ගොඩක් අයින් කලා. ඒත් ඒ වගේ ගතියක් එනවද? අද හවස දානවා අන්තිම එක .

      Delete
    2. පුරුදු වෙනවා වගේ කියලා කිවුවේ අඩුපාඩුවක් වැරැද්දක් වගේ අදහසකින් නෙමෙයි. එහෙම වාර්තාවක් වගේ දැනෙන්නේ නෑ. ගොඩක් වෙලාවට සැබෑ සිදුවීම් ප්‍රබන්ධ වලට වඩා රසවත්.

      Delete
  2. අයියේ දැන් මේ කතාවට මං වහල් වෙලා වගේ හි හි, ඔයා හරි දක්ෂයෙක් නේ අනේ,, බලන්නකෝ නිකන් අමුවට අර ලිබරල් , පැසිස්ට් ,කොමියුනිස්ට් ලියලා මගේ ඇගේ ලේ රත් කරනවට වැඩිය මේ වගේ කතාවකින් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද... සියාම ප්‍රියාන් කතා කරන ඒ අසිරිමත් මොහොත එනකල් බලන් ඉන්නෝ,,,,


    ////පිළිකාවක් හැදෙන්න කන කෑම වගේම හිතේ ආතතියත් සෑහෙන්න බලපානවා කියල. නිතර හිත අසතුටෙන් ඉන්න අය, ආදරය කරන කෙනෙක් නැති වුන අය, පවුල් ප්‍රශ්න මේ හැම ආතතියක්ම තියන අයට පිළිකාව හැදෙනවා වැඩියි කියල///

    200% ට්‍ර්රු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගා. හැබැයි කතාව ඉවරයි ඊලඟ එකෙන්. ආයි අර ඔයා කැමති නැති ඒවාට තමා යන්නේ. වෙන කතාවක් ලියන්නම් පස්සේ.

      Delete
  3. Replies
    1. මට වැරදුන. මේක 8. අන්තිම එක හැටියට පටන් ගත්තේ.

      Delete
  4. අද කොටස තමා කිසි අවුලක් නැතිව කියවං ගියෙ
    එ් කිව්වෙ වෙනද කොටස් අවුල් කියල නෙවී. ඒත් අප්සට් සීන නෑනෙ
    ඒකත් එක අතකට විකාරයක් තමයි. හැමදාම කියවන කතාවෙ එක කොටසක් හොදයි අනික්ව දුකයි අප්සටි කියන එක
    හික්ස්

    ReplyDelete
    Replies
    1. ජිවිතේ හැම වෙලාම සතුට විතරක් තියනවනම් ඒක ජිවිතයක් ම නෙමේ.

      Delete
  5. කමක් නෑ ඉවර කරන්න..
    ඡිවිත කාලයටම මතක තියන කතාවක්
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඉවර කලානේ ඊළඟ එක බලන්න.

      Delete
  6. කතාවේ අවසානය සුභාන්තයකින්ම අවසන් කරේ පාඨක ඉල්ලීම් නිසාද? කොහොම උනත් යුරෝපීය සංස්කෘතිය හා ගැටුනු ආසියාතික සංස්කාතියේ ලක්ෂණත්, කුරිරු අත්දැකීම් සහිත යුවතියකගේ ජීවිතය ගැනත් ඉතා සාර්ථකව ඉදිරිපත් වූ කතාවක් බව කිව යුතුමය.. ඔබගේ දක්ෂතාවය ඉතාම ඉහලයි.. ඇත්තටම මේ කතා මාලාවෙන් මා බොහෝ සේ සතුටු උනා. සමහර තැන් වලදී මගේ අදහස්ද සමපාත වෙනවා දුටුවාව ලොකු සතුටක් දැනුවා. ඔබ හැබෑ දක්ෂයෙක්.. මේ කථාවේ අරමුණ මං හිතන්නේ සංස්කෘතිමය ගැටීම් හා ඒවයේ පිළි්‍බඹුවටත් වඩා මනෝ විද්‍යාත්මක කරුණක් සාධනය කිරීම සදහා බවයි මගේ නං හැගීම.. ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. මේ අවසාන කොටස නෙමේ දේශකයෝ. අද දාන්නම් ඒක.
      //. මේ කථාවේ අරමුණ මං හිතන්නේ සංස්කෘතිමය ගැටීම් හා ඒවයේ පිළි්‍බඹුවටත් වඩා මනෝ විද්‍යාත්මක කරුණක් සාධනය කිරීම සදහා බවයි මගේ නං හැගීම// ඔබේ හැඟීම තරමක් දුරට සත්‍යයක්. ඔබේ සොඳුරු දිරි ගැන්වීම් වලට අනේක වාරයක් ස්තුතියි.
      මේ කතාව ශෝකාන්තයකින් අවසන් කිරීමට කතා නායිකාවගේ බලවත් ඉල්ලීමක් මුලදී තිබු නමුත් අවසානයේ ඇගේ අදහස වෙනස් කිරීමට මට හැකිවුණි. පාඨක ඉල්ලීම් මත නොවේ. එකම හේතුව සිංහලෙන් ලිවිම නිසා බව පමණක් කියමි.

      Delete
    2. ඉවරයි කිව්වට ඉවරයකුත් නෑ.. හැක්

      Delete
  7. මයි කොමෙන්ට් හෑස් ඊට්න් බයි සම්වන්.

    ReplyDelete
    Replies
    1. බයි හූ ? ඔය දේශකය ඔහොම්ම මයි.

      Delete
  8. සංවේදී ලස්සන කතාවක්... ඒ අස්සෙ ජීවිතේ ගැන නොදන්න කාරණාත් තියෙනවා.. මුලින්ම මේ කොටස බැලුවෙ... මුල ඉඳන් ඉතිරිය බලන්න ඕන...

    බිතෝවන්ගෙ සඳපහන සිම්පනියත් මුදුයි.. සුමධුරයි... සියල්ලම අගෙයි... සාහිත්‍යමය ගුණයෙන් ඔපමට්ටම් කරලා කෙටි නවකතාවක් කරන්න පුළුවන් නේද මේ කතාව..

    ReplyDelete
    Replies
    1. //සාහිත්‍යමය ගුණයෙන් ඔපමට්ටම් කරලා // අපි බ්ලොග් කාරයොනේ. ඔය එනම් මනම් නැහැ. හුදී ජනතාව සඳහා උපන් පහන් සංවේගයෙන් ඔහේ ලියන ඒවා නේ මෙව්වා.
      //සංවේදී ලස්සන කතාවක්...// ස්තුතියි බොහෝම.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.