Thursday, 3 December 2015

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (2 ) - පාක් කුල්තුරි උද්‍යානයේ සැන්දෑව


පළමුවන කොටස 

ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු හා උයන් වතු නිර්මාණයේ කෙළ පැමිණියෙකු වූ කොන්ස්ටන්ටින් මෙල්නිකොව් විසින් නිර්මාණය කරන ලද ගෝර්කි උද්‍යානය ගැන ගිහාන් පළමුවෙන් දැනගත්තේ එම නමින් ම ඇති ඇමෙරිකානු චිත්‍රපටියකිනි. ඉන්පසු පද් එක හෙවත් රුසියානු භාෂාව හා අධ්‍යයන පොදු සහතික පෙළ විභාගයේ විෂයන් නැවත පුනරීක්ෂණය කරන විශ්ව විද්‍යාලයේ පළමු භාෂා අවුරුද්දේ ඉගැන්වූ රුසියන් භාෂා ගුරුතුමිය ගෝර්කි උද්‍යානය ගැන කියා දුන්නාය. ඇය තම සිසුන් කීපදෙනාද සමග උද්‍යානයේ සංචාරයකද යෙදුනාය. ගිහාන් එම උද්‍යානයට බොහෝ සේ ඇළුම් කළේය.

ගුරුතුමිය කියා දුන් පරිදි ලෙනින් ට අවශ්‍ය වුයේ ලෝකයේ ප්‍රථම සමාජවාදී දේශය වන සෝවියට් දේශයෙහි ප්‍රධාන අග නගරය ලෝකයේ වඩාත්ම පරිසර හිතකාමී නගරය කරන්නටය. එය හරිත නගරයක් මෙන්ම ජනතාවගේ සංස්කෘතික දැක්ම පුළුල් කිරීමේ කේන්ද්‍රස්ථානයක් ද විය යුතුය. නාට්‍ය ශාලා සැම තැනම බිහි විනි. සිනමා ශාලා අලුතින් ගොඩ නැගුණි. මාර්ග වල දෙපස මෙන්ම පුළුල් මහා පාරවල් මැද ද ගස් සිටුවන ලදී. නිවාස සංකීර්ණ අතර උද්‍යාන පිහිටුවන ලදී. ගෝර්කි උද්‍යානය අක්කර තුන්සියකි. එය කොමියුනිස්ට් ශ්‍රමදාන ව්‍යාපෘතිය යටතේ මොස්කව් වාසීන් විසින් මුලින්ම ගොඩනැගිලි අපද්‍රව්‍ය ඉවත් කර, පරණ පොකුණු පිරිසිදු කර ගෘහ නිර්මාණ ශිල්පියාට භාර දී තිබේ. ඔහු රටට දායාද කලේ ඉස්තරම්ම උද්‍යානයකි. එහි සාමාන්‍ය විනෝද මේලා වල ඇති නොයෙකුත් කතුරු ඔන්චිල්ලා ආදිය මෙන්ම වර්ග අඩි 1500 ක විශාල අයිස් රින්ක් එකක්ද, ඇවිදීමට තුරු වදුලු මැදින් පටු මං ද තනා ඇත. ශීත කාලයේ අයිස් රින්ක් එකේ රුසියානුන් ස්කේටින් කරනු නැරඹීමටද ගිහාන් ප්‍රිය කළේය.

මේ දෛවෝපගත දිනයේද උමන් දුම්රියෙන් එලිය පැමිණි ගිහාන් විශාල දොරටුවෙන් උද්‍යානය ඇතුලට පිය මැන්නේය. තවමත් එතරම් සීතලක් නොදැනෙන සරත් සමයේ ගස් වල කොළ අමුතු පාටක් ගනී. කහ පැහැයට මෙන්ම ලා රත් පැහැයට ද ඇති කොළ වලින් පිරි ගස් අතරින් වැටෙන සැන්දෑ හිරු රැස් වලින් අමුතුම චමත්කාරයක් ජනිත කරයි. ඒ චමත්කාරය තුල ගිලෙන ඔහුට හිමකිරම විකුනන්නියක නෙත ගැටිණි. සෝවියට් (හෝ රුසියානු) හිමකිරම ඉතා රසවත්ය. එස්කිමෝ, ලකොම්කා වැනි වර්ග මෙන්ම අති විශාල රාජ්‍ය මධ්‍යම වෙළඳ හලේ (ගුම් නමින් හැඳින්වෙයි) හිම කිරිමද ඉතා තද ප්‍රමිතියකට සාදන ලද ඒවාය. සමහර විට ඒවා මේ උද්‍යානයේ ද විකුණති. ගිහාන් හාගෙන්-ඩස් වැනි බටහිර ප්‍රසිද්ධ හිමකිරම රස විඳ තිබුනද ඔහුට සෝවියට් හිමකිරම තරම් ඒවා සිත් ගත්තේ නැත. හිමකිරමය මිලට ගත් ගිහාන් පොකුණ අසලින් හෙමින් ඇවිද ගෙන ගියේය. එක පසෙක මල් වවා තිබුණි.

පොකුණේ පැත්තක සිට ගෙන අනිත් පස ඇති මල් පාත්ති නරඹන සුන්දර යුවතිය ගිහාන්ගේ ඇස ගැටුනේ එවිටය. ඇය සිටියේ තනියම බව ඔහු නිරීක්ෂණය කළේය. ඇය අද දවසට නොගැලපෙන ශීත කාලයට සුදුසු රවුම් හිස් වැස්මක් පැළඳ සිටියාය. දිග කබායක් පැළඳ සිටියද ඇත් දළ පැහැ දෙපා යුගල ඉදිරියට එන සේ අමුතු ආකාරයට නැවී මල් නිරීක්ෂණය කල ඇය එකවරම ගිහාන් සිටි දෙසට හැරුණාය. අතිශය සුරූපී නිල්වන් නෙත් සඟල හා ගැටුණු ගිහාන් ලජ්ජාවෙන් බර විය. වරදක් කළ අයෙකු මෙන් එක වරම වෙනතක් බලා ඔහු නැවත ඈ දෙස බැලුවේය. ඇය මද සිනාවකින් ඔහු දෙස බලා සිටියාය.

"අයිස් ක්‍රීම් කොහෙන්ද ගත්තේ, ඔය ගුම් එකේ ඒවා නේද රහ ඇති" කිවූ ඇය මුදල් ගැනීමට මෙන් තම අත්බෑගය තුලට අත දැම්මාය. සාමාන්‍යයෙන් ලජ්ජා ශීලී ගිහාන්ට මේ දහිරිය ආවේ කොහෙන්ද යයි මතකයක් නැත.
"එන්න මම පෙන්වන්න, අර පැත්තේ, මා ළඟ මාරු කාසි තියෙනවා."
හිමකිරම විකුනන්නිය වෙතට ඔවුහු නිහඬව පා නැගුහ. ඈ මිලදී ගත් හිම කිරමයට ගිහාන් මුදල් ගෙවීමට තැත් කලද ඇය අතේ ගුලි කරගෙන සිටි කොපෙක් පනහකින් එය ගෙව්වාය. ඉතිරි මුදල් ගත් ඇය හිම කිරමය සීරුවෙන් දෙතොලට තබා ගත්තාය. රත් පැහැ ගත් ඒ දෙතොලත් යාන්තමට රෝස පැහැ ගත් කම්මුල් දෙසත් කෙලින් බැලිය නොහැකිව ලජ්ජාවෙන් සිටි ගිහාන් ඉවතට යාමට සිතා ගත්තේය.
 "ඔයා විදේශ ශිෂ්‍යයෙක්ද "
 "ඔව්"
 "ඉන්දියාවේ"
"නැහැ මම ශ්‍රී ලංකාවේ"
"අහා පුංචි සුන්දර දූපතේ තැප්‍රෝබේන් " ඇය ලතාවකට කිව්වාය.
"ඔය ඒ නම දන්නා එක මට පුදුමයි." ගිහාන් සිනාසෙමින් කිවේය.
"අපි ඉතිහාසය ඉගෙන ගන්නවා. මාර්කෝ පෝලෝ කිව්වේ මිහිබට සුරපුර කියල."
"ඇත්ත තමා. ඔයා මේ හරියේද ජීවත් වෙන්නේ"
"නැහැ මම රොස්ටොව් නා දොන් වල. (දොන් නදිය අසබඩ රොස්ටොව් නගරය).
"මෙහෙ මොකද කරන්නේ."
"මම එක්කෙනෙක් එනකන් හිටියේ දැන් පැයකුත් වුණා ආවේ නැහැනේ".
ඇය කණගාටුවෙන් පැවසුවාය. ඇගේ පෙම්වතා විය හැකි යයි ගිහාන් සිතුවේය. ඒ ගැන තව දුරටත් නොඅසමි යයි සිතු ඔහු අපි ඇවිදිමුදැයි යෝජනා කළේය. ගිහාන් සහ යුවතිය පැය භාගයක් පමණ ඇවිද්දෝය. ඇගේ නම තාන්යා බවද දන්ත වෛද්‍යවරියක වීමට විශ්ව විද්‍යාලයට යාමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු දැනගත්තේය. ඇය පොත් කියවීමට ආශා කරන බවටත්, සොයුරියක සිටින බවත් ඉන්දීය හා බටහිර චිත්‍රපට නරඹන බවටත් ඔහු පවුලේ වැඩිමලා බව හා ඔහුට නැගණියක් සිටින බවටත් දෙදෙනා තොරතුරු හුවමාරු කරගත්හ.

 "මට බඩගිනි" ඇය හදිසියේම පැවසුවාය.

 රුසියානුවන් තමන්ට ඇවැසි දේ කෙලින්ම කියන බව තම කාමරයේ විටින් විට සිටි රුසියානුවන් ගෙන් ගිහාන් දැන සිටියේය.
"මට චු කරන්න යන්න ඕනේ, මට දැන් බඩ ගිනි, මම දැන් කනවා, උඹ පිස්සා" වැනි දේ දෙවරක් නොසිතාම ඔවුන් පවසති. ඒ අතරට බ්ලායත් යන වචනය බොහෝ සේ භාවිතා කළහ. එහි තේරුම බිච් (bitch) යන්න වුවද රුසියානු තරුණයන් එය එතරම් නොතැකුහ. (රුසියානු නේවාසිකාගාර වල මුල් අවුරුදු වල රුසියානු සිසුන් විදේශික ශිෂ්‍යයන් සමග කාමර වලට දැමීම සිරිතකි. බොහෝ අය ඔවුන් කේජිබි ඔත්තු කරුවන් යැයි සැක කලත් සැබවින්ම ඔවුනට අවශ්‍ය වූයේ සිසුන් ට හොඳින් භාෂාව පුරුදු කිරීමට හා රුසියානුවන්ට විදෙස් සිසුන් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට පුරුදු කිරීමයි. මෙය ලෝකයේ කොමියුනිස්ට් සහයෝගිත්වය ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක කෙරුවත් බොහෝ විදේශික සිසුන් නේවාසිකාගාර පාලකවරියට අල්ලස් දී තම තමන්ගේ රටවල සිසුන් සමග කාමර බෙදා ගත්හ.)

"මම දැක්කා පිරාෂ්කි විකුණන තැනක්."
ඈ පැවසුවාය. පිරශ්කි යනු බත් සමග කුඩාවට කැබලි කල මස් (mince meat) දමා
සෑදූ රෝල්ස් වැනි කෑමකි. සමහර විට මස්, ළුණු සහ හතු දමා තිබේ.
දහවල් කෑමද නොකා සිටි ගිහාන්ට හොඳටම බඩගිනිය. පිරාෂ්කි දෙක තුනකින් බඩ පිරෙන්නේ නැත.

 "අපි චෙබුරිකි කන්න යමු. මම දන්නා තැනක් තියෙනවා. "
චෙබුරිකි යනු රුසියානු කෑමකි. මැදට මස් දමා සාදන විශාල පැටිස් වර්ගයකි. එකකින් බඩ පිරේ. තාන්යා මදක් පැකිලුනාය.

"එතන ඛචිපුරිත් තියෙනවා."
ඇය සමහරවිට චෙබුරිකි කන්න අකමැති ඇති යැයි සිතු ගිහාන් තෙපලීය. ඛචිපුරි යනු ජෝර්ජියානු කෑම විශේෂයකි. මැදට බිත්තර දමා හෝ සමහර විට නිවිති සමග බිත්තර දමා සාදන චීස් පාන් වර්ගයකි. එහි ඇති ඇඹුල් මිශ්‍ර රසයට ගිහාන් කැමතිය. ප්‍රශ්නය චෙබුරිකි හෝ ඛචිපුරි නොවන බව ඇගේ මුහුණත් අත් බෑගය තුලට අත රුවාගෙන කරන විගඩමත් දුටු ගිහාන්ට වැටහුනි. තවමත් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට බලා සිටින උසස් පාසැල අවසන් කල ඇයට ලොකු මුදලක් අත තිබෙන්නට හැකියාවක් නැත. විශ්ව විද්‍යාලයේ ගිම්හාන නිවාඩුවට එංගලන්තයට ගොස් මාස දෙකක් පමණ වැඩ කර මුදලක් සොයාගෙන එන විදේශික විශේෂයෙන්ම ශ්‍රී ලංකික, ඉන්දීය, අප්‍රිකානු සිසුන්ට එතරම් මුදල් අහේනියක් නැත. ඒ මදිවාට සෝවියට් රජයෙන් රූබල් 90ක් පමණ වන ශිෂ්‍යත්ව මුදලක් ද දෙයි.
"මම ඔයාටත් එක්ක ගෙවන්නම් ඔයා කැමති නම්." මදක් පැකිලීමෙන් මෙන් ඇය කැමැත්ත පළ කලාය. චෙබුරිකි මෙන්ම ඛචිපුරි ද කන ගමන් කල කතාබහේදී ඇයට එදින කසාන්ස්කි දුම්රිය පලින් රොස්තොව් යා හැකි බවත් නමුත් ඇය එදින නැවතීමට සිතා ගෙන පැමිණි බවත් කීවාය. ඇයට පෙම්වතකු සිටිනවා දැයි ඇසීමට ගිහාන් පැකිලුනි. ඔව් කිව්වොත් මොකද කරන්නේ. අද හවස මා සමග කතා කලාට ස්තුතියි කියා සමු දෙන්නද? මේ සුන්දර තරුණිය තමන්ගේ මුහුණ දෙස බලා කතා කරන වාරයක් පාසා ඔහු ගේ සිත අමුතු ආහ්ලාදයකින් පිනා යයි.

"ඔයාට අද යන්න අවශ්‍ය නැහැ. මම ඉන්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ. එහේ ඉන්නත් පුළුවන්. වෙලා තිබෙන නිසා ඔයා කැමති නම් අපි චිත්‍රපටියක් බලමු."
ගිහාන් වචන ඇද බර කරමින් කීවේය.
"මම කවදාවත් නේවාසිකාගාරයක ඉඳල නැහැ. ඒත් ඉස්සරහට ඉන්න වෙනවා මොස්කව් ආවොත්. අලුත් චිත්‍රපටි තියෙනවද?"
"ඔව්, අර ජෙරාර්ඩ් දෙපාර්දියු ඉන්න "න්යේ වීසුචි" (කිසි දෙයක් හරියන්නේ නැති - හෝ හැම දේම වරදින unlucky යන තේරුම දෙන වදනකි) චිත්‍රපටිය."
රුසියානුවන් මෙම ප්‍රංශ නළුවා ට කැමැති බවත් ඔහුගේ චිත්‍රපට සෝවියට් දේශයේ ඉතා ජනප්‍රිය බවත් ගිහාන් දනී. "ලා ෂෙව" (La Chèvre - knock on wood) යනු ඔහුගේ හොඳම හාස්‍යෝත්පාදක චිත්‍රපටියකි. තමන් කරන සැම දෙයක්ම කෙසේ හෝ වරද්ද ගන්නා තරුණියක් බ්‍රසීලයේ දී අතුරුදහන් වෙයි. ඇගේ ධනවත් පියා ඇය සොයා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වී හොඳම රහස් පරීක්ෂකයන් යොදවයි. ඒ සියල්ල ඵල රහිත වන්නේ අන්තිම මොහොතේ ඇය කවුරුත් නොහිතන දෙයක් කරන නිසාය. අන්තිමේදී මනෝ විද්‍යාඥයෙකු නිර්දේශ කරන්නේ තවත් එවැනිම අවාසනාවන්තයෙකු ඇය සෙවීමට යවන ලෙසයි. තාන්යා ද එක පයින් එය බැලීමට කැමති වුනේ කොක් හඬලා සිනා සෙමිනි.

සිනමා හල අසලම ඇති මල් විකුනන්නියගෙන් මල් කළඹක් ගෙන තාන්යා ට පිලි ගැන්වීමට ගිහාන් අමතක කලේ නැත. රුසියානු තරුණියන් මල් කළඹවල් පිලි ගැනීමට කැමති බව ජ්‍යෙෂ්ඨ සිසුන් කියා තිබේ. ඇය මහත් කැමැත්තෙන් මල් කලඹ ගෙන සිම්බාය. ඇත් දල පැහැයෙන් දිලිසුණු ඇගේ මුහුණේ දෙකොපොල රතුවී තිබෙනු සැන්දෑ එළියෙන් ගිහාන් ගේ නෙතට හසු වුනි. එතනම ඇති කියෝස්ක් නමැති කුඩා කඩයකට ගිය ඇය ඉටිපන්දම් තුනක් මිලට ගත්තාය. ඇය රුසියානු ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි නිකායට අයත් ආගමික තැනැත්තියක් යැයි ගිහාන්ට සිතුනත් ඔහු එය ඇසුවේ නැත. විදේශිකයන් ඉදිරියේ ආගමික භාවය පෙන්වුවත් අදේවවාදී රුසියාවේ එසේ එළිපිට කරන තරුණ තරුණියන් හිඟය.

චිත්‍රපටිය පුරාවට හැමෝම හඬ නගමින් සිනා සුනහ. තාන්යා සිනාසුන වාරයක් පාසා ගිහාන්ගේ උරහිසට හේත්තු වූවාය. සිනාවක් නොමැති අවස්ථාවක හොඳට හරි බරි ගැසී ගිහාන් ගේ උරහිසට හිස තබා ගත්තාය. කල් යල් බලා ගිහාන් ඇගේ වමත තමන්ගේ සුරතට ගත්තේය. ඇය අත නැවත ගත්තේ නැත.

චිත්‍රපටිය අවසානයේ දෙදෙනාම උමන් දුම්රියට නැගුනේ ගිහාන්ගේ ශිෂ්‍ය නේවාසිකාගාරයට යාමටය. උමන් දුම්රිය පලවල විනාඩි දෙක තුනකින් දුම්රියක් පැමිණේ. ඕනෑම දුරකට යන්නේ කොපෙක් පහක් පමණි. මේ දුම්රිය පළවල් ඉතා අලංකාරව නිමවා තිබේ. අසුනක හිඳ ගන්නේ නැතුව දෙදෙනාම දොර ඇරෙන තැන මුල්ලට ගියහ. ගිහාන් අසලම තුරුළු වී මෙන් සිට ගත් තාන්යා ගේ බඳ වටා අතක් යැවු ගිහාන් ඇය වේගයෙන් යන උමන් දුම්රියේ නොවැටෙන්නට තමන්ට ලං කර ගත්තේය.
 

මොස්කව් උමන් දුම්රියේ මගීහු බොහෝ විට පොත් කියවමින් හෝ පුවත් පතක් බලමින් යති. දෙතුන් දෙනෙකු ඔවුන් දෙස නෙත් යොමනු ගිහාන්ට පෙනුනි. දුම්රිය ටිකක් වැඩි වේගයකින් හැරවුණු තැනක ඇය ඔහු කරා පැමිණ තදින් හිරවුනාය. දෙදෙනා එකිනෙකා දෙස බැලූ ඒ මොහොතේ තාන්යා ගිහාන් ගේ කම්මුලට දෙතොල තද කර චුම්බනයකින් සංග්‍රහ කළාය. ඒ චුම්බනයෙන් ගිහාන්ගේ ගතම හිරි වැටී ගිය බවක් දැනුනි. ඔහු ගේ සිත ප්‍රීතියෙන් ඉපිල ගියේය. මොස්කව් වල අවුරුදු දෙකක් පමණ පෙම්වතියක් නැතිව වේලි වේලි හිඳ පියකරු රුසියානු යුවතියක් අතේ දවටා ගෙන නේවාසිකාගාරයට එන විට යහළුවන් කෙසේ ප්‍රතිචාර දක්වාවීදැයි ඔහුට සිතුනි.

~~~~~~~මතු සම්බන්ධයි.~~~~~~~~~~~~

58 comments:

  1. පරක්කුවෙලා කනවා කියල හිතාගෙන හිටියේ අර ශිරාක්ශි එක දැක්කම බඩගිනි උනා. ලස්සන කථාව.

    ReplyDelete
    Replies
    1. ශිරාක්ශි සහ පිරශ්කි. ස්තුතියි ඉයන්.

      Delete
  2. ඒ කෑම වල නම මතක තියාගන්න හැදුවා ..කොහෙද.. හඃ හඃ..

    රුසියාවේ තාන්යා කියන නම හුඟක් කොමන් ද? මන් ගොඩක් තැන්වල දැකලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. තාන්යා, නතාෂා, ස්වේතා , ගාල්යා හුඟක් කොමන් නම්.

      Delete
    2. ඔව්. කාත්‍යා , ලේනා

      Delete
    3. ශිට් ආදරණීය ‘වාල්යා‘ව අමතක වුනානේ.

      Delete
  3. අජිත් අයියේ, කතාව ගලාගෙන යන විදිහ, භාෂාව හැසිරවීම, ශෛලිය ... විශිෂ්ටයි. මේක නවකතාවක් විදිහට ලියමුද? ඔරුවල බන්දු මහත්මයාගෙ කතාත් මතක් වුනා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අප්පේ මාව එතුමාට සමාන කරනන් එපා. මම රුඉයාවට යන්න කලින් ඉඳන්ම කියවපු ලේඛකයෙක්. හැබයි කොමෙන්ටුවට ගොඩක් ස්තූතියි. මේක නවකතාවක් වගේ ලියන්න තමා මුලදී අදහස තිබ්බේ. (ඉංග්‍රීසියෙන් ලියන්න). නමුත් කිසියම් හේතුවක් ආව නිසා ලියන්න පටන් ගත්තේ.කොටස් හතරකින් ලියල ඉවර කරන්න තමා කල්පනාව. හුඟක් වෙලාවට පස්සේ මැද කොටසක් එකතු කිරීමේ අදහසකුත් තිබෙනවා.

      Delete
    2. බන්දුගෙ කතා නිකං වාර්තා සහ ප්‍රලාප!
      මේක ඊට වඩා හොඳයි මට නම්.

      Delete
    3. රසික බොහොම ස්තූතියි ඔබේ ඇගයීමට.

      Delete
  4. අජිත් බොහොම ලස්සනට කතාව ලියනවා.ඒ අතරම අපි නොදන්නා කෑම වර්ගත් හඳුන්වල දෙනවා.නොදන්නා දේත් කියල දෙනවා.

    ReplyDelete
    Replies
    1. හැලපේ බෝම තුති. ගොඩ්ප්‍රි අයියගේ කතා ලියන විධිහට මේ මොකක්ද? අපිත් ඒ ගානට එන්න පොඩි ට්‍රයි එකක් හරි දෙන්න එපාය.

      Delete
  5. අනර්ගයි... ඊළඟ කොටස දැන්ම කියවන්න තිබ්බනම් .....

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස නේද? හදවත් අමාරු හෙම නැහැනේ. තියේ නම් ඒක පල කරපු ගමන් පෙත්ත ගහල කියවන්න. ඔන්න මම නොකීවා කියන්න එපා මොනවා හරි කොරගෙන.

      Delete
    2. ස්තූතියි ප්‍රශංසාවට. ඔබලාගේ වදන් හිතට දහිරියකි. .

      Delete
  6. බ්ලායත් යනු කොමාව බව මගේ රුසියන් මිතුරෙක් කිව්වා

    ReplyDelete
    Replies
    1. ඔයා රුසියාවෙනේ හිටියේ. කොමාව කියන්නේ запятая කියන එක. blyat කියන්නේ ලින්ක් වචනයක්. ඕන දෙකේදී ඒ වචනය කියල ඊළඟ වාක්‍යයට යන්න පුළුවන්. ඒ කියන්නේ තී සූක බ්ලයත් කියන්න උඹ බැල්ලි කියන එක. ඒත හරශෝ බ්ලයත් කියන්නේ මේක හොඳයි නමුත් මේක නියමෙටම හොඳයි වගේ එකක්. නමුත් වචනේ තේරුම bitch. නමුත් මෙහමත් කියනවා. තී සූක බ්ලයත්. හොල්මන්. කොමාව හෙවත් ලින්ක් එක කියල කියන්නේ ඒකයි. හැබැයි ඒක කොමාව නම් දේශනා වලදී, හොන්ඩ අකතාවකදී භාවිතා කරනන් එපාය. එහෙම නැත්තේ ඒක slang එකක් නිසා.

      Delete
    2. මම වැරදියට වටහගෙන තියනවා, එතකොට හැමෝම එක්ක යන කෙනෙකුට තී බ්ලායත්කා කීවාට ගනන් ගන්නේ නැති වුනත් සූකා කීවොත් අවුල් ගොඩයිනේ. අවුල ඇක්සන්ට් එකේද?

      Delete
    3. මේ ගූගල් එකේ ටයිප් කරන කොට හිටපු ගමන් වචන අප්සෙට් යනවා. මහේෂ් රත්නායක එව්වා ලින්ක් එකක්. ඒකෙ ටයිප් කරන්න කී බෝඩ් එක දැන ගන්න ඕනේ.
      ඇක්සන්ට් එකේ අවුල කිව්වේ ? සූක කියන්නේ බැල්ලිට. අඳුරන්නේ නැතිව කිවොත් නහය කඩාගන්න වෙන්නේ. යාලුවෝ යාලුවෝ කියා ගන්නවා. තී බ්ලායත්කා කියල බනින ස්වරයෙන් කිවොත් ඒත් ඉතින් අප්සෙට් තමා.

      Delete
  7. දැන් නම් මෙව්වා එකක් තියෙනවා.. කියවන්න ආසයි.. මට "වින්ඩ්ස් ඔෆ් චේන්ජ්, නිකීටා, ඩොක්ටර් ෂිවාගෝ, ඇනා කරනිනා.." මැවිලා පෙනුනා... හැබයි ඉඟි දෙන එක නම් කොමෙන්ට් එකකින්වත් කොරන්න එපා...

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු එච්චර දුර යන්න එපා. තවම පොතක් වත් ගහලා නැහැ. මුල එක දැම්මේ ප්‍රවේශය ගන්න කතාවට. හුඟක් වෙලාවට මුල එක නීරස වෙන්නේ ඒකනේ. මිට පස්සේ ඉඟි නොදී ඉන්නම්.

      Delete
  8. //නේවාසිකාගාර පාලකවරියට අල්ලස් දී//
    මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්ද නැත්නම් ගොඩක් අවදානම් සහගත දේවල්ද?

    //ගිම්හාන නිවාඩුවට එංගලන්තයට ගොස් මාස දෙකක් පමණ වැඩ කර//
    මේ සඳහා ඒ දවස්වල පහසුවෙන් විසා ලැබුණද?

    //විදේශිකයන් ඉදිරියේ ආගමික භාවය පෙන්වුවත්//
    ඒ ඇයි? එතකොට වැඩිපුර කැමති වෙයි කියලද නැත්නම් කොහොමත් තියෙන ආගමික නැඹුරුව විදේශ සිසුන් ඉදිරිපිට විතරක් බය නැතුව පෙන්වීම නිසාද?

    අනෙත් කරුණ, ඒ දවස් වල උපත් පාලන උපක්‍රම භාවිතය කොයි තරම් ප්‍රචලිත වෙලා තිබුණද?

    ReplyDelete
    Replies
    1. 1. අපොයි නැහැ. ඔය දොස්තර රුවන් ගෙන් අහන්නකෝ.
      2.ඔව්. හැබැයි ඒකත් පොඩි ගේමක් වීසා ගන්න. බොරු කියල තමයි යන්නේ. ලියන්න බැහැනේ අපේ පරණ යාලුවෝ තර්ජනය කරනවා අඩෝ ඕව ලියන්න එපා කියල.
      3. සෝවියට් දේශයේ ආගමික නිදහස තිබ්බේ පොතේ විතරයි. ඒ කියන්නේ ආගමික වුන ගමන් කැපිලි එනවා. හොඳ විශ්ව විද්‍යාලයක්, රස්සාවක් ගන්න. ගෙයක් ලබා ගන්න. විදෙශිකයෝ ඉස්සරහ නිදහසේ හැසිරෙන්නේ ඒකයි.

      Delete
    2. අන්තිම ප්‍රශ්නෙට උත්තර දීලා නෑනේ. උත්තර ඉළඟ නොටස්වල එනවා නම් මේක අයින් කරන්න.

      ලංකාවේ ජනප්‍රිය ක්‍රමයට නම් බඩු හිඟයක් තිබ්බා, ජනප්‍රිය විහිවක් තමා පාචිට්චි කරපුවා සෝදලා වැලේ දාලා වේලනවා තියන එක. සයිස් ගැටළුවකුත් තිබ්බා, ලංකාවට ආවාම ගෙනයන අත්‍යවශ්‍ය බඩු ලැයිස්තුවල ෆේක් නම් වලින් ලියල තියන දෙයක්.
      - මාස 2 පහු උනොත් උපකාර ලබා ගත හැකි ප්‍රි ඉන්ටන්ලා ඉන්න එක වාසියක් ,
      - නිවාස පොලිමේ ඉස්සරහට පැනගන්න හැකි නම් දරුවකු සිටින තනිකඩ අම්මා කෙනෙකුට නිවාසයකට හිමකමක් ලැබෙනවා.

      Delete
    3. //දරුවකු සිටින තනිකඩ අම්මා කෙනෙකුට නිවාසයකට හිමකමක් ලැබෙනවා.// මේක එංගලන්තේ වෙන්නේ. සෝවියට් නිතිය යටතේ දරුවෙකු ලැබෙන්න ඉන්නවා නම් බඳින්න ඕනේ. බැඳපු යුවලට නිවාසය ලැබෙන්නේ. ඊට පස්සේ කට්ටිය දික්කසාද වෙනවා. උපත් පාලන ක්‍රම වලට හොඳ ඝන කොන්ඩෝම් තිබ්බ. ඊට මතරව වෙස්ට් එකේ හොඳ ඒවා ගෙනි යන්න ඕනේ.

      Delete
    4. //සෝවියට් නිතිය යටතේ දරුවෙකු ලැබෙන්න ඉන්නවා නම් බඳින්න ඕනේ.// පීතෘත්වය නොපිලිගත්තොත් මොකද වෙන්නේ? ප්‍රශ්න ගොඩයි. පස්සේ පුළුවන් වෙලාවක ලියන්න.

      Delete
    5. මේක මම ඇත්තටම ලියපු විධිහ වැරදියි. සෝවියට් දේශයේ කසාද නොබැ ඳ එකට ජිවත් වන පවුලකට කසාද බැඳපු අයගේ හිමිකමම ලැබෙනවා. බ්‍රිතාන්‍යයේ මේ හිමිකම දුන්නේ දැන් අවුරුදු 5-6 කට කලින්. ගබ්සාව නිත්යනුකුලයි. තරුණියගේ අතේ තීරණය තියෙන්නේ. එංගලන්තයේ නිතිය ආවේ අව. 30 කට විතර කලින්. ඇමෙරිකාවේ අයර්ලන්තයේ නිතිය තිබ්බත් වලි. එතකොට පියවරු නැති ළමයි හිටිය සෝවියට් දේශයේ. ඒ ළමයින්ටත්, බැඳපු අයගේ ළමයින්ටත්, නොබැද එකට ඉන්න අයගෙත් ළමයින්ට එක අයිතිවාසිකම් තිබ්බේ. අවුල මෙතන. කෙල්ලේ කිව්වොත් මෙයා තමයි තමයි තාත්ත කියල එයා තමා තාත්තා. බඳින්න ඕනේ කිව්වොත් බඳින්න ඕනේ. හුඟක් කෙල්ලෝ මේක ක්‍රියාත්මක කලේ නැහැ කියල කියන්නත් පුළුවන්. මේකට මම එකක් ලියන්නම්. නියම කථාවක් තියනවා.

      Delete
    6. ස්තුතියි, අජිත්! "කෙල්ලෙක් කිව්වොත් මෙයා තමයි තමයි තාත්ත කියල එයා තමා තාත්තා." මේක තමයි මට දැනගන්න ඕනෑ වුනේ. එංගලන්තෙනම් බැඳලා හිටියත් උප්පැන්නෙට තාත්තගේ නම දාන්නේ ඉන්ටවිව් එකක් කරලනේ. මම හිතන්නේ තාමත් එහෙම වෙන්න ඇති.

      Delete
  9. මේ කතාව අපේ සිත් ගන්න එක කරුණක් නම් මා කලින් රසිකොලොජියේ සඳහන් කල ආගන්තුක චමත්කාරයයි!
    http://rasikalogy.blogspot.com/2015/09/henry-warnakulasuriyas-villaravadiya.html

    ReplyDelete
    Replies
    1. රසික ඔබවැනි අංකුර බ්ලොග් කරුවෙකුගෙන් අගැයීමක් ලැබීම සතුටට කරුණක්. එසේම හෙන්රි වර්ණකුලසුරිය ගැන ලිව්ව එකට ස්තුතියි. මම කොමෙන්ටුවක් දැම්මා. පොත් ටික අරන් කියවන්න ඕනේ. මම කැමති බ්ලොගක්.

      Delete
  10. අජිත්... අපේ අවුලා හිටියනං ඔය මස් රොටිය හදාගන්න විදිය අහගන්න තිබුනා.. පළවෙනි කොටසේ තිබු කම්මැලි ගතිය මෙහි නැත.. ඒකට හේතුව අපි මල් කතා වලට කැමති නිසා වන්නට ඇත.. හැක්..

    නෑ නෑ.. කතාව හොදා..

    ReplyDelete
    Replies
    1. ඌ කොහොමද දන්නේ බන් ඒක. රුසියාවේ හිටියය. තව අංකුර බ්ලොග්කරුවෙක් හොඳයි කිව්වේ. පලවෙනි එකේ විවේචනයක් එන නිසා වෙන්න ඇති කැමති නැත්තේ. උඹල හිතන විධිහට නෙමේ මේක ඉවර වෙන්නේ. ඉවසීමෙන් ඉඳපල්ලා තීරණයක් ගන්නේ නැතුව.

      Delete
    2. මෙන්න හදන විධිහ.
      http://www.mydeliciousmeals.com/recipe/deep-fried-beef-dumplings-chebureki

      Delete
    3. https://www.youtube.com/watch?v=IBaRn2uYq9A

      Delete
  11. //විශ්ව විද්‍යාලයේ ගිම්හාන නිවාඩුවට එංගලන්තයට ගොස් මාස දෙකක් පමණ වැඩ කර මුදලක් සොයාගෙන එන විදේශික විශේෂයෙන්ම ශ්‍රී ලංකික, ඉන්දීය, අප්‍රිකානු සිසුන්ට එතරම් මුදල් අහේනියක් නැත//

    ඔය ශීතල යුද්ධය කාලෙ නේද? ඔත්තු බැලීම පිලිබඳ ඇත්ත හා ඔබ්සෙසිව් බය තිබුන නේද?මොන පදනමක් හෝ ප්‍රතිපත්තියක් යටතෙද ඔය අවසරය ලැබුනෙ? රුසියන් ජාතික සිසුන්ට බෑ නේද? විදේශීය විතරයි? කේජීබී එකට කන්සර්න් එකක් තිබුනෙ නැද්ද ඉන්ගලන්තෙදි ඔවුන් බටහිර ඔත්තුකරුවන් වෙලා එයි කියල? ඉන්ගලන්තෙ කැමති වුනාද ඔවුන් ගන්න? ලේසියෙන් වර්ක් පර්මිට් ලැබුනද? කේජීබී එකෙන් තමන්ගෙ ඔත්තුකරුවනුත් ඉන්ගලන්තෙට යැව්වද විදේශීය සිසුන් ලෙස? ඉන්ගලන්තෙන් හා අනිත් නේටෝ රටවලින් රුසියාවට සිසුන් ආවද ඉගනගන්න?

    හෙහ් ප්‍රශ්න ගොඩක් නේ? සොරි

    ReplyDelete
    Replies
    1. මේවට කතාවෙම උත්තර එනවා. ඉවසීමෙන් සිටින්න. මගේ කතාව ප්‍රා කියන්න නේ යන්නේ.
      //ඔය ශීතල යුද්ධය කාලෙ නේද?//- ඔව්.
      //ඔත්තු බැලීම පිලිබඳ ඇත්ත හා ඔබ්සෙසිව් බය තිබුන නේද?// ඔව්. අනිත් ඒවාට උත්තර මගේ කතාවේ. යකෝ වැට පනින්න එපා.

      Delete
  12. එල ද බ්‍රා අයියන්ඩි
    ඊලග කොටස පරක්කු කරන්න එපා..

    ReplyDelete
    Replies
    1. එළ ද පෑන්ටි මල්ලි. ලියාගෙන යනෝ.

      Delete
  13. පිටි කෑම හොදටම අඩු කරා අජිත් අයියා........ ඒත් අර රූප දැක්කාම කට අැවිස්සෙනවා...... මොනවා වුණත් ලියැවිල්ල නම් හරි රහයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු මල්ලියා. වෙලෙවක් හදාගෙන කන්න. හරිම රහ කෑම.

      Delete
  14. ලස්සන කතාවක් අජිත් අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍ර වර්ණ

      Delete
  15. භාෂාව හැසිරීම ඉතා විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්.

      Delete
  16. බොහොම සිත් ඇදගන්නාසුලු විදියට ලියල තියනව... කොහොමටත් රුසියාව ගැන කියවනකොට කතාව හොඳ නම් අමුතු හැඟීමකින් හිත පිරෙනව.. අජිත් අයියා මේකත් ඒ විදියට දැනෙන්න ලියල තියනව...

    ReplyDelete
    Replies
    1. මව පරිවර්තන නොව ඔරිජිනල් කතාය. ස්තුතියි සජ්ජ.

      Delete
  17. ලස්සනට ලියලා තියෙනවා. ඇත්තෙන්ම ඔබේ ශෛලිය අග කල යුතු දෙයක්. සිංහලට පරිවර්තනයවූ රුසියන් කෙටිකතාවක්වූ "රත්මිනි වළල්ල හෝ "බල්ලා සමග යන කාන්තාව " (මට නම හරියට මතක නැහැ. ඒ පොත දැන් මා ළඟ නැහැ. ගෙනිච්චෙ කවුද කියලත් මතක නැහැ) යන කෙටිකතාව මතක් වුනා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මම ඒක කියවලා නැහැ.බල්ලා සමග යන කාන්තාව චෙඛෝව් ගේ. ඒක අපට රසියන් වලට කලා. ස්තුතියි.

      Delete
  18. පසුගිය ලිපි පෙලම කියෙව්වත් ටිකක් වැඩ අධික උන නිසා කොමන්ටු දාන්නම බැරි උනා අජිත් අයියේ.කොමන්ටු දාන්න බැරි උනත් අනිවාර්යෙන්ම බලන බිලොග් අතරේ එකක් තමයි මේ.අජිත් අයියගේ ලියවිල්ල ඉහලයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඇවිල්ල කියවනවානම් ලොකු දෙයක්. කොමෙන්ටුවට නිකන් නම ගහල ගියත් ඇති. ඇත්තටම කොමෙන්ටුවලට වෙලා යනවා තමා.

      Delete
  19. කලින් දාපු කොමෙන්ටුව වැටිලා නෑ වගේ...
    කථාව ලස්සනයි..
    දිගටම ලියන්න...
    ජයවේවා...!!!

    ReplyDelete
  20. මේ තරම් ඉක්මණින් ප්‍රේමයක්?..... කොහොම වුණත් අපුරුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම් තේරුනේ නැහැ. සාමාන්‍යයෙන් යුරෝපීය රටවල් one night stand ගැන අහල තියනවද තරු? උදේ හෝ හවස හමු වෙලා රැය ගත කර උදෑසන නික්ම යන ප්‍රේමයන් ගැන. නම දන්නෙත් නැහැ සමහර වෙලාවට

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.