Wednesday, 27 January 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (6 ) - ආදරය හා කැස්ස


පළමුවන කොටස 

දෙවන කොටස 

තෙවන කොටස

හතරවන කොටස

පස්වන කොටස

පළමුවන දුරකථන ඇමතුම ගත්තේ තාන්යා ගේ මවයි. ඇය විමසුම් සහගත ලෙසින් කතා කළද කතා කලේ ඉතාමත් සුහද ලෙසිනි. තමන්ට හමුවූ මොස්කව් වල උගන්නා ඉන්දීය සිසුවකු ලෙස තාන්යා ඔහුව හඳුන්වා දී තිබුණි. ගිහාන් එයට ඈ හා මදක් අමනාප වුවද වැරදීම නිවැරදි කරන බවට ඇය පොරොන්දු වූ නිසා එය අමතක කළේය. ඇය නැවත මොස්කව් එන දිනය දැනගන්නා තෙක් ඔහුට ඉවසිල්ලක් නැත.

ආදරය හා කැස්ස සැඟවිය නොහැකි යයි කීමක් තිබේ. දැන් සියල්ලෝම දැනගෙන හමාරය.ගිහාන් ඉඳල ඉඳලා සළු වෙලා යැයි රාවය පැතිරී ගොස් තිබේ. ඒ මදිවාට ගිහාන් දුරකතනයෙන් දවසක් ඇර දවසක් ගානේ කතා කරන බවද යහළුවන් දනිති. මුදල් දමා කතා කරන දුරකථන ඇත්තේ නේවාසිකාගාරවල පහල බැවින් එය සැඟව කළ නොහැක.
"මගේ දෙයක් ගැන කවුරුත් ඇඟිලි ගහන්නේ මොකටද" යයි සිතූ ගිහාන් නිදහසේ තාන්යා සමග කතා කළේය. වැඩිහිටි සිසුවකු ගිහාන්ට අවවාදයක් ද දුන්නේය.
"මල්ලි දැන් ඉතින් වෙන කවුරු හරි එක්ක යාලු වෙයන්. සබකෝලෙ ගියානේ. එන්ජෝයි කරලා ගෙදර යන්න. කර ගහ ගෙන යන්න එපා. ලංකාවේ ඕවා කරන්න අමාරුයි. එයාට ඕන වුනේ ඔයත් එක්ක ඉන්න විතරනේ එදා. උඹ ඉතින් කොහොමත් හැන්ඩියා නිසා කෙල්ලට ආස හිතෙන්න ඇති. ඒක සාමාන්‍ය දෙයක්."

සීනියර් අයියා රුසියානු පෙම්වතියක සමග වසර කිහිපයක් හිඳ ඇය ටිකක් තරබාරු වූ පසු හෙමින්ම ලෙස්සා ගියේය. දැන් ඔහුට වෙනත් යව්වන වියේ පෙම්වතියක සිටී. තමන් ජීවිතය විඳින බව ඔහු හැම විටම කියයි. 

"එයා විඳ ගත්ත දෙන් ඕන කෙහෙල් මලක් අපට අවවාද දෙන්න එන්නේ මොකටද." ගිහාන් සුහදට පැවසීය.

"මචං උඹට මතකද උඹ ඔය වගේ කතාවක් කිව්වා මට ඔය සෝවියට් කෙල්ලන්ගේ පලවෙනි සම්බන්ධය ගැන."
සුහද සිහිපත් කළේ තමන් ඔහුට කලකට පෙර කිවූ දෙයක් බව ගිහාන්ට සිහියට නැගිණි.
වරක් පන්තියේ කෙල්ලන් පිරිසක් කොක් හඬ නගමින් කතා බහක නියැලී උන්හ. ආර්ථික විද්‍යා ප්‍රයෝගික පන්තියට ගිහාන් ඇතුළු වුනේ එවිටය. මහත එහෙත් පියකරු යුවතියක වන ස්වේතා ගිහාන් ව කෙල්ලන් ලඟට ඇද ගත්තාය. ඇය ගිහාන්ට කැමති බව ඔහු ද දැන සිටියේය.
"ඔන්න ඉතිරි කට්ටිය මේච්චල් කරන්න ගිහාන්ට වැඩේ භාර දෙනවාට කවුද කැමති" යයි ස්වේතා කී විට ස්වේතා ගේ මුහුණ රතු කරමින් නතාෂා වහා පැන කිවේ
"උඹ විතරනේ ඉතුරු වෙලා ඉන්නේ" කියාය. නතාෂා පන්තියේ ස්තාරස්තා හෙවත් නායිකාවය. ඊන්ගා විසින් කෙල්ලන් කිචි බිචිය නගමින් කතා කරමින් සිටි මාතෘකාව ගිහාන් ට පැහැදිලි කලාය .

ඊන්ගා පැමිණි පාසලේ දහයේ පන්තියේ සිටි වලෝද්යා කඩවසම් සිසුවෙකි. ඔහු එම පන්තියේම දාරියා නමැති සිසුවිය සමග පෙම් සබඳතාවක් ගොඩ නගාගෙන සිටියේය. දාරියා හා වලෝද්යා ග්‍රීෂ්ම සෘතුවේ සිසු කඳවුරට සහභාගිවූ අවස්ථාවේ පෙමින් බැඳී තමන්ගේ වයස ගැන නොතකා ප්‍රථම කායික සම්බන්ධතාවය ද ඇරඹුහ.

 කඳවුර අවසන්වී නිවාඩුවෙන් පසු පාසලට පැමිණි දාරියා වලෝද්යා තමන් සතුටු කල ආකාරය යෙහෙළියනට පවසා ඇත. වලෝද්යා ගේ හැකියාවන් සියල්ල උපරිම කරමින් යෙහෙළියන්ට පැවසූ ලීලාවෙන් උද්දීපනය වුනු යෙහෙලියන් තමන්ගේ ප්‍රථම සම්බන්ධතාවය හෙවත් තමන් ඉඳුල් කර ගැනීම දන්නා හඳුනන වලෝද්යා ලව්වා කර ගැනීමට තීරණය කළහ. ස්වීප් එකක් ඇදුනු ලීලාවෙන් වලෝද්යා ඉන්පසු තමන්ට පැවරුණු රාජකාරිය නොපිරිහෙලා ඉටු කළේය.

පන්තියේ කෙල්ලන් පස් හය දෙනෙක් ම වලෝද්යාව අතිනත මාරු කර ගනීද්දී දාරියා ට මෙය ඉව වැටුණි. තමන්ගේ එක යෙහෙළියක සමග කල කතාවේදී සියල්ල දැනගත් දාරියා ඊළඟ දවසේ වලොද්යා පන්තියේදී අල්ලා ගනිමින් ඔහුට පහර දෙමින් හඬමින් අඩව්වක් ඇල්ලුවාය. වලොද්යා අතින් කන්‍යාභාවය අහිමි කරගත් දාරියා ගේ යෙහෙලියන් මෙහිදී දාරියා ට කීවේ වැරැද්ද ඇයගේ බවයි.

 වලොද්යා එතරම් හොඳ බවට ඇය පුරසාරම් නොදෙදඩු වේ නම් මේ කිසිවක් සිදු නොවන බවත් වලොද්යා කලේ මහත් උදව්වක් බවත් ඔවුන් ඇයට පුන පුනා කීවෝයය. වලොද්යාද එල්ලෙන්නට දුන් පොට අල්ලා ගනිමින් දාරියා ඉදිරියේ කණගාටු වෙමින් කිවේ ඇයගේ හොඳම යෙහෙළියන්ගේ කීම ඔහුට ඉවත දැමිය නොහැකි බවයි. අන්තිමේදී දාරියා වැරැද්ද තමාගේ බවට පිලිගෙන සියල්ලන්ටම සමාව දුන්නාය

 මේ දාරියා හා වලොද්යා ගිහාන් ගේ විශ්ව විද්‍යාලයට අල්ලපු විශ්ව විද්‍යාලයේ උගනිති. කෙල්ලන් සිනා වෙමින් ඇසුවේ ඉතිරි වී සිටින ස්වේතා ගිහාන් ගේ නම් වගුවේ සිටින්නේද කියායි. ලජ්ජාවෙන් බරවූ ගිහාන් ආචාර්යවරිය පැමිණීමත් සමග පන්තියේ ගොස් වාඩි වුනත් කෙල්ලන්ගේ මේ කතාබහ ඔහුට සහමුලින්ම තේරුම් ගන්නට නොහැකි විය. කන්‍යා භාවයක් නැති කරගන්නට මෙච්චර දඟලන්නේ මොකටද?

ගිහාන්ට උභතෝකෝටිකයක් වූ ප්‍රශ්නයට පසු දවසක හරියන පිළිතුරක් දුන්නේ ලූදා ය. ලෙනින් විප්ලවයට නායකත්වය දීමට පෙර කාලයේ රුසියාව යනු බටහිර යුරෝපයට සාපේක්ෂව සාර් නමැති රජු පාලනය කළ අන්ත පසු ගාමී රටකි. එහි ගම් පළාත්වල සිටි ඉඩම් හිමියන් යටතේ ප්‍රවේනි දාසයන් මෙන් ගොවීහු වැඩ කළහ. මේ ගොවීන්ගේ බිරියන් හා දියණියන් ඉඩම් හිමි කාමාතුර රදලයන් ගේ කෙලිබඩු විය. බොහෝ විට ඔවුන්ට එදිරි වන්නට ගොවීන්ට නොහැකි විය. 1861 දී සාර් රජු මේ සර්ෆ් නමැති ක්‍රමය නැති කලද ඉඩම් අහිමි ගොවීන් හා ගැමියන් ජිවත් වූයේ ඉඩම් හිමි අයගේ අනුකම්පාවට දෙන රැකියා මතය. තරුණ දුවක් සිටි නම් ඇය සමග ප්‍රථමයෙන් නිදා ගැනීම මේ ඉඩම් හිමිකරුවන් හෝ ඔවුන්ගේ පුතුන් ගේ සිරිත විය. මෙයින් ගැලවෙන්නට තමා කැමති කවුරුන් සමග හෝ පළමු රාත්‍රිය කැමැත්තෙන් ගත කිරීමට බොහෝ තරුණියන් පෙළඹුනහ.

විප්ලවයෙන් පසු රුසියාවේ එවැන්නක අවශ්‍යතාවයක් නොමැති බව ගිහාන් ලූදාට පැවසිය. තමන්ගේ රටේ කාන්තාවන් විවාහය තෙක් වෙනත් පිරිමියෙකු ලිංගිකව ඇසුරු කිරීම වරදක් ලෙස සලකන බවද ගිහාන් පැහැදිලි කළේය. විප්ලවයෙන් පසු කන්‍යාභාවය රැකගෙන විවාහ දිවියට පිවිසෙන්නේ රුසියානු ඔර්තොදොක්ස් නිකායේ ආගමට දැඩි සේ ලැදි කාන්තාවන් පමණි. ඉතින් තරුණියක් හෝ තරුණයෙක් එලෙස හැසිරෙන්නේ නම් ඔවුන් ආගමික යයි වරදවා වටහා ගැනීමට ඉඩ තිබේ. එහි වරද කුමක්දැයි ප්‍රශ්න කල ඔහුට ලූදා කිවේ තරුණ කොම්සොමෝල් සංවිධානය මෙන්ම ගම් පළාතේ අනිකුත් සංවිධාන වලින් කැපී යන්නට මෙන්ම විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීමේ නිදහසේ සිට රැකියාවක් ලබා ගැනීම දක්වා ප්‍රශ්න ඇති විය හැකි බවයි. ආගමික අය දෙස කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ අය බලන්නේ සතුරු ආකල්පයකිනි. සමහරවිට නිවසක් ලබා ගැනීමේදීද බොහෝ ප්‍රශ්න හා බාධක ඇති වේ. ඉතින් එවැනි නමක් ගාගන්නට කවුරුත් කැමති නැත. අනිත් අය හැසිරෙන ලෙසටම හැසිරීමෙන් ප්‍රශ්න අඩු කරගෙන සැනසිල්ලේ ජිවත් විය හැකිය.


ගිහාන් බලාසිටි අවස්ථාව යන්තම් එළඹිණි. තාන්යාට සම්මුඛ පරීක්ෂණයට ලිපි ලැබී මොස්කව් දන්ත වෛද්‍ය පිඨය ට ඒ සඳහා ඇය එන බව දැන්වූවාය.

 ***************මතු සම්බන්ධයි.***************

27 comments:

  1. මේක සුරංගනා කතාවක් වගෙයි අජිත්.

    ReplyDelete
    Replies
    1. හීතලට ලියවෙන ඒවනේ බං.

      Delete
  2. ඒ කියන්නේ තාන්යා ආයේ මොස්කව් එන්නයි යන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය කෙල්ලෝ ඔහොම්මමයි.

      Delete
  3. රුසියාවේ සමහර ග්‍රාමීය පලාත් වල ලංකාවේ වගේ කන්‍යාභාවය ප්‍රථම දිනයේ ඇඳ රෙද්ද හරහා බලනවා

    ReplyDelete
    Replies
    1. he he රුවන් ඔය හිටියේ උක්රයින් වල නේද? මේ කතාව මම කොහෙත්ම පිළිගන්නේ නැත. එහෙම දෙයක් රුසියාවේ ගම වල කිසිම දිනක තිබුනේ නැත. ඔය වල සිරිත ඇත්තේ ලංකාව ඉන්දියාව හා අරාබි රටවල්ය. සෝවියට් තුර්ක්මෙනිස්ථානයේ හා කිර්ගිස්තානයේ තිබුණි. අදටත් තිබේ. අරාබි හා අප්‍රිකානු රටවල අදටත් තිබේ.

      Delete
    2. රුසියාවේ කොසක් වරුන්ගේ ගම වල ඔර්තොදොක්ස් ආගම අදහන අය තරුණය හා තරුණිය කතෝලික ආගමේ මෙන් මුලින් ලිංගික සම්බන්ධතා ඇති කර ගැනීමට අනුබල නොදෙති. මෙහිදී කරන්නේ වැඩිහිටි ගැහැනියක් ඇඟිලි දෙකක් යවා තරුණියගේ කන්‍යාභාවය පිරික්සීමයි. සෝවියට් නිතිය යටතේ මේවා කිරීම තහනම් අතර කරන්නේ හොර රහසේය. අපේ පන්තියේ ආගමික භක්තිකයකු වූ රුස්සෙක් බඳින්නට කලින් මෙවැන්නක් කල අතර ඔහුගේ පෙම්වතියගේ එම පරික්ෂාව දිනයේ පැවති සාදයට මමද සහභාගී වුනෙමි. මා විදේශික නිසා ඔවුන් භය වූයේ නැත. මේ ගැන ම ප්‍රථම වරට දැන ගත්තේද එදාය .

      Delete
  4. මේක එහෙන් මෙහෙන් කළබලේ නොලියා පිලිවලකට ලස්සනට ලියපන්කෝ.... මෑත කාලයක බ්ලොග් එකක කියවපු රසවත් කතාවක්...

    ReplyDelete
    Replies
    1. කොහමද බං කලබලේ නොලියන්නේ. මේ වැඩ අතරේ. එහෙන් කමියා කෑ ගහනවා. මෙහෙන් චන්දිමය අහනවා සම්මානෙට මොකද වෙන්නේ කියල. කලබල තැන් පොඩ්ඩක් පෙන්වල දීපන් තරහ නැතුව. ඊළඟ කොටසේදී බලන්නම් හදන්න.

      Delete
  5. බලයට ආවම ඔය වගේ සංස්කෘතික වෙනසක් කරනවා කිව්වනම් අපේ ජෙප්පොත් උඩින් චන්දෙ දිනුම්.

    ReplyDelete
    Replies
    1. පිස්සුද ජෙප්පෝ ඇවිල්ල සෑහෙන්න පසුගාමී නේද? පෙම්වතියක් තබා ගැනීම විජේවීර සහෝදරයා බඳින තුරු තහනම් කලා නේද? ඊයේ පෙරේද නලින් ජයතිස්ස ගේ (gay) කට්ටියට බෙහෙත් ගන්න කිව්වා නේද?

      Delete
  6. අද කෑමක් නැති එක නං අඩුවක්

    ReplyDelete
  7. බදිනකම් පරිස්සමෙන් ඉන්නවා කියන්නෙත් ලොකු දෙයක්නේ..... ඔන්න පේනවද අාගම් වල තියෙන වැදගත්කම........

    ReplyDelete
    Replies
    1. පරිස්සම් වෙලා ඉන්න.

      Delete
  8. තව තියනව වගේ.ආයෙත් කතා ටික මුල ඉඳලම පිලිවෙලකට කියවගෙන එන්න ඕන.අන්න එතකොටයි කතාව හරියටම මීටර් වේන්නේ.

    ReplyDelete
    Replies
    1. මීටරේ චාජ් වෙන එකක්ද?

      Delete
  9. කෙල්ලෝ ගෙන නම් කියලා වැඩක් නෑ..
    දැන් හීතල කාලේ නෙව.

    ReplyDelete
    Replies
    1. කැනඩා වෙත් එහෙමද?

      Delete
  10. අන්න ඒකයි සිද්ධිය... මෙච්චර නිදහසක්..? නිදහසක් කිව්වට ආයෝජනයක්.. අතුරුඵලය නිදහස.අවුලක් නෑ... ඉටියෙන් හරි මැටියෙන් හරි පූසා මීයො අල්ලනවනෙ..
    මගෙ තාන්යා හරි හුරුබුහුටි කෙලි පොඩ්ඩ... හිත රිද්දන්න එපා ඕං ඈ..
    හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිත රිද්දගන්න වෙන්නේ.

      Delete
  11. ඔන්න වතාවක් අපි ඊට ඉස්සරින් වැලක් බලලා නැති රුස්සියෝ කීප දෙනෙතුට හොස්ටල් රෑම් එකේදී වැලක් බලන්න දාලා දුන්නා, බලවත් ඉල්ලීම පරිදි. වැලේ හිටියේ කල්ලෝ, වැල බලල බාත් රූම්ස් යන්න කාමරෙන් එලියට බැහැපු කෙල්ලෝ කාමරයේ දාලා ගිය ජැකට්, හෑන්ඩ් බෑග්ස් ගිනියන්න රූම් එකට ආපහු ආවේ පහුවදා, මේක ප්‍රෙහේලිකාවක් වගේ කතාවක් නම් ...
    ... හොස්ටල් එකේ රූම් වැඩි ග‍ණනක හිටියේ කල්ලෝ.

    ReplyDelete
    Replies
    1. උඹලට කෙලවෙලා ගියා නේද අනවශ්‍ය දේ කරන්න ගිහින්.

      Delete
  12. අපිට කොයින්ද පුසෝ මාළු කිව්වලු...

    ReplyDelete
  13. ඉතාලියේ ක්ලබ් වල කථා,
    වියට්නාමයේ මගේ අත්දැකීම් දැන් කල්පනාකරලා බලන කොට සුරංගනා කථා වගේ තමයි. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. විටි කතා ටිකක් අහන්න ලැබෙයි වගේ

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.