Thursday, 7 January 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (5 ) - සම වැදී හුන් දැහැන් මිදුනා

පළමුවන කොටස 

දෙවන කොටස 

තෙවන කොටස

හතරවන කොටස

දිගින් දිගටම වැදුණු දොරේ සීනු නාදයෙන්, සම වැදී හුන් දැහැනින් මිදුණු ගිහාන් සෙමෙන් ගොස් නිවසේ දොර විවෘත කළේය.

"විශාඛා"

මුහුණේ පැත්තක් ඉදිමී, තොල පුපුරා තැනක ප්ලාස්ටරයක් අලවා ගෙන නිල්වී ඉදිමුණු ඇසක් ද, අවුල් වුනු කොණ්ඩය ද සහිතව එළියේ සිටි විශාඛා ඔහුට පෙනුනේ ශිෂ්‍ය අරගලයකට ගොස් පොලිසියෙන් ගුටි කෑ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක මෙනි. දොර හැරි වහාම ඇතුලට ආ විශාඛා ගිහාන් ගේ උරහිසට හේත්තු වී ඉකි බිඳින්නට ගත්තාය.

"මට හරි දුකයි විශාඛා වෙච්චි දේට. ඒත් ඇයි ඔයා අර වගේ බොරුවක් නිලන්තට කිව්වේ ඔයාට වෙන සම්බන්ධකම් තිබුන කියල"
සෙමින් ඇගේ හිස පිරි මදිමින් ගිහාන් කීවේය.
"මම තරහින් හිටියේ ගිහාන්. එයා රෝන්දේ ගිහින් ඇවිත් මට එක එක ඒවා කියනවා. එයාගේ හිත රිද්දන්න මම එහෙම කිව්වේ."
"දැන් වුන දේ දැක්ක නේ ඔයා බොරු කියන්න ගිහින්. එයා කාත් එක්ක වත් ගියා කියල ඔයා දන්නේ නැහැ නේ. තව ටිකකින් එයාල මෙහෙ ඒවි. ඔයා ඒ නිසා ගෙදර යන්න " "මම බොරු නෙමේ කියන්නේ ගිහාන්. මේ බලන්න මට ආපු ලියුම. ෆොටෝ."
එහි තිබුනේ නිලන්ත වෙනත් රටක වෙනත් තරුණියක සමග සිටිනා පින්තුරයකි. තරුණිය ගේ හැටියට අග්නි දිග ආසියානු රටක විය හැකිය. ලිපියේ නිලන්තගේ අසැබි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් විස්තර කර තිබිණි.
 "කවුරු හරි ඕගොල්ලන් ගේ විවාහය කඩන්න කරපු දෙයක්. නිලන්ත එක්ක හැම වෙලේම ඉන්නේ උදයන්තයනේ "
"එයාගේ හොඳම යාළුවෙක් වුනත්...." විශාඛා කියන්නට ගිය දේ ගිල ගත්තාය. ගිහාන් ඇගේ මුහුණ දෙස විමසිල්ලෙන් බැලුවේය.
"එක පාරක් උදයන්ත මගේ අතින් අල්ලලා ලඟට අරගෙන කිස් කරන්න හැදුවා අපේ ගෙදර පාටියක් වෙලාවේ. කුස්සියේ මම විතරයි හිටියේ. මම තල්ලු කරලා ගියා."
"මට හිතා ගන්නත් බැහැ.ඒත් දැන් ඔයා යන්න. එයාලා බීලා එනකොට ඔය මෙතන ඉන්න එක හොඳ නැහැ."
 ගිහාන් ඇයව රථය ලඟට ඇරලුවේය .
"අලුත් කාරෙකකුත් අරන් දිලා තියෙන්නේ"
"ඔව් ඒවා නම් කරනවා නිලන්ත. එයාගේ යාළුවන්ට පේන්න. මට ආදරේකට නෙමෙයි. ඒක නෙමේ මට ඔයාට ගොඩක් දේවල් කියන්න තියනවා ගිහාන්." කාරයට ඇතුළු වන ඇඟට හිරවුණු ඩෙනිමක් හා තැලී පොඩිවුණු කමිසයක් උඩට හැඳ සිටි විශාඛා ගේ සුන්දර රූ සපුව දුටු ගිහාන් ට නොදැනීම සුසුමක් පිට විනි.
"අපි පස්සේ කතා කරමු විශා. හෙට නිලන්ත යනවනේ."
 ඇය හැරලා ගොළු බෙල්ලකු සේ නැවත නිවස තුලට වැදුණු ගිහාන් ශිතකරණයෙන් සිසිල් බිම බෝතලයක් ගෙන බොමින් රූපවාහිනිය ක්‍රියාත්මක කළේය. නමුත් ඔහුට රුපවාහිනිය බලන්නට සිතක් නැත. සුන්දර වූ ද වේදනාකාරී වූද අතීතයම ඔද්දල්වූ සිතට වේදනා දෙමින් මතුව එයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 එදා උදයේ දොරට මහා හඬින් තට්ටු කලේ සුහදය. බිම වැටී තිබුණු තමන්ගේ බොක්සර් ශෝර්ට් එක වහා ඇඳගත් ගිහාන් දොර හැරියේය.
"යකෝ දහය පහුවෙලා. මට කාමරේට එන්න ඕනේ. මොකද වුනේ." සුහද ඇහැක් ඉඟි මරමින් ඇසීය. "පස්සේ කියන්නම්. තානිච්කා තාම නිදි".
"හම්මට උඩු. දැන් තානිච්කත් වුනාද. උඹේ වාසනාව කියන්නේ දන්නවද ජර්මන් කෙල්ල හැනා. ඒකිට කසාඛ්ස්තාන් එකෙක් සෙට් වෙලා. ඌ භාග ජර්මන්ලු. ඊයේ රෑම කාමරේට ආවේ නැහැ." ස්ටාලින් විසින් පිටුවහල් කරන ලද වොල්ගා ජර්මන් වරු මෙන්ම දෙවන ලෝක යුද්ධය සමයේ අල්ලා පිටුවහල් කරන ලද ජර්මන් ජාතිකයන් ගෙන් පැවත එන්නන් සෝවියට් කසඛ්ස්තාන් සමූහාණ්ඩුවේ වෙසෙති.
"එහෙනම් උඹට ප්‍රශ්නයක් නැහැනේ. පැයක් දීපන්". දොර වැසූ ගිහාන් තාන්යා අසලට පිය මැන්නේය. ඇහැරුණු ඈ මදහසක් පාමින් ඔහු දෙස බලා සිටියාය.
නැගී සිටි තාන්යා මුහුණ සෝදා හැඳ පැළඳ ගත්තාය. තම අත් බෑගයෙන් යමක් ගත් ඈ එය ගිහාන් ගේ අතේ තැබුවාය. "ඔයාට මාව මතක් වෙන්න"

එය ගැහැණු ළමයින් මාල වළලු ආදිය දමන තාලයේ කුඩා පෙට්ටියකි. රුසියානු සිහිවටන විකුණන තැන් වල මේවා තිබේ.
"මං මොකක්ද මේකෙන් කරන්නේ. ඔයා තියා ගන්න"
"ඔයා ඔය දාගෙන ඉන්න මාලේ දාන්න නාන්න යනකොට. නැත්නම් ඉතුරු සල්ලි හරි. වෙන මොනවා හරි පුංචි ඒවා."
ඇය පෙන්වුයේ ගිහාන් ට අම්මා පැළඳු සුරය ගැනය. වස් දොස් යන්න සොවියට් රුසියාව ට එන්න කලින් බැන්ද මේ සුරයට අනිත් සිසුන් සිනාසුනහ.
"උඹලගේ අම්මා පිටරට කෙල්ලන් ගෙන් උඹව බේරගන්න ඕක දාල එව්වේ" ඔවුහු උසුළු විසුළු කළහ. ඔහු එය ගලවා කුඩා පෙට්ටිය තුලට දමා මදක් කල්පනා කළේය. ඇයට මොනවා දෙන්නද? ලිංගික සම්බන්ධතා සඳහා එන සෝවියට් කෙල්ලන් ඇමෙරිකන් ඩෙනිම්, පිටරට සබන්, සුවඳ විළවුන් ආදිය ඉල්ලන බවට ජ්‍යෙෂ්ඨ සිසුන් කියා ඇත. ඇය හමුවුනේ එලෙස නොවේ. ඔහු ඉන්පසු ඔහු ළඟ තිබු ලංකාවෙන් ගෙනා කළුවර ඇත් දත් සහිත අලි ජෝඩුව ඇයට දුනි.
"අනේ මට මේ වටිනා මුකුත් එපා" ඇය කීවාය.
"කමක් නැහැ ගන්න. මට ලංකාවට ගියාම ආයෙත් ගන්න පුළුවන්. "
"හරිම ලස්සනයි. මට ඇත්තට අලි බලන්න හරිම ආසයි"
"ඔයා ගිහින් නැත්ද මොස්කව් සත්ව උද්‍යානයට"
"අනේ නැහැ"
"අපි මොනවා හරි කන්න යමුද? තේ එකක් බොනවද"
"කන්න යමු. මටත් බඩගිනියි."

ගිහාන් උදේට තේ නොබීම විශ්ව විද්‍යාලයේ දේශනා වලට දුවන්නෙකි. මේ ශිෂ්‍ය ජීවිතය තුල උදේට කෑමක් කියා නැත. හැඳ පැළඳ ගත් දෙදෙනා නේවාසිකාගාරය තිබූ ගොඩනැගිල්ලේ පහල තිබූ ස්තලෝවයා හෙවත් කැන්ටිමට ගියහ. එකොළහමාර පසුවී තිබු හෙයින් එහි දහවල් ආහාරය සඳහා කෑම සූදානම්ව තිබිණි. කෙලවරේ තීබු ට්‍රේ වලින් තමාට හා තාන්යාට ට්‍රේ දෙකක් ගත් ගිහාන් වඩා සෙනග නැති පෝලිමට එක් වුනේය. ඉරිදා දවස නිසා මෙහි කෑමට එන අය අඩුය. කෝස් තුනක් සහිත කෑම වේලක් ඉතා ලාභය. එනම් කොපෙක් 60-70 පමණ වේ.


 විනිග්රෙත් නම් බීට්රුට්, අල, මයෝනෙස් හා සුදුළුනු දමා සාදන ලද සලාදය, බොර්ෂ් සුප් එක, ගුල්යාෂ් (හරක් මස් ස්ටුව) හා පොඩි කළ අල පේස්ටුව ගත් ගිහාන් තාන්යා දෙස බැලීය.

බොර්ෂ් යනු බැටළු මස් හෝ වෙනත් මස් සහ එළවලු ජාති කිහිපයක්ම දමා සාදන රසවත් සුප් එකකි.
"මටත් ඒවම ගන්න "
ගිහාන් තමන්ට උණු කිරි කෝපි එකක් හා තාන්යා ට උණු චොකලට් කිරි වීදුරුවක් ද ගත්තේය. දෙදෙනා මදක් නිහඬව ආහාර ගත්හ.
"දැන් ඔයා රොස්තොව් ද යන්නේ" ගිහාන් නිහඬතාවය බින්දේය.
"නැහැ. අක්ක බලන්න ගිහිල්ල ඊට පස්සේ යන්නේ"
"මොකක්, ඔයාගේ අක්ක මෙහේද ඉන්නේ"
"ඔව්, මම එයාව හමු වෙලා තමා ඊයේ උද්‍යානයේ හිටියේ"
"පෙම්වතා එනකන් නෙමේද"
 "මොන පෙම්වතෙක් ද, කවුද ඔයාට එහෙම එකක් කිව්වේ"
එය තමාගේ සිතුවිල්ලක් බවත් ඇය පෙම්වතෙක් ගැන කතා නොකළ බවත් තමන් එය ඕනෑ කමින්ම නොවිමසන ලද බවත් ගිහාන් ට සිහි විය.
"මම කිව්වේ ඔයා තමා මගේ පළමුවැනියා කියා "
"ඒ ඉතින් ..." ඒ ඉතින් ලිංගික සම්බන්ධයට නේ කියා කීමට ගිය ගිහාන් එය වලකා ගත්තේය. අපේ රටේ පෙම්වතෙකු හෝ පෙම්වතියක සිටියත් ලිංගික සම්බන්ධකම් නැතිවම ආදරය කල හැකියැයි ගිහාන්ට කීමට සිතිනි. යුරෝපියානු රටකද එසේ විය හැකි නමුත් .....
"ඔයාට විශ්වාස කරන්න අමාරු නම් කමක් නැහැ." තාන්යා නොමනාපයෙන් මෙන් කීවාය. ලංකාවේ විවාහය කදී රෙදි නැන්දා ඒ ගැන සොයන බව ඔහු කොහේ හෝ කියවා තිබිණි.ඇගේ මුහුණ රතුවී ඇය නුහුරු ලෙස යටි තොල පිටට හැරෙව්වාය. ගිහාන් ට සිනා ගියේය. වල්පල් ටිකක් කතා කරමින් සිට ඔවුන් කෑම හමාරවී එලියට බැස්සේ තාන්යා ට උමං දුම්රිය පලට යාමටය. ඇය හිඳගෙන සිටිද්දී හෝ දැන් ඇවිදගෙන යද්දී ගිහාන්ට ඊයේ මෙන් එතරම් තුරුළු වුයේ නැත.

ත්‍රම්වයි (ට්‍රෑම් බසය) නතර කරන ස්ථානයට ගිය දෙපල එහි බලා සිටියහ. ගිහාන් ගේ හිත මෝලක් මෙන් වැඩ කරයි. ඇය යන්නට යයි. මෙය මෙතනින් අවසානය. මෙවැනි සුරූපී තරුණියක්. රූපය පමණක් වැඩක් නැති බව හැමෝම කියති. නමුත් ඇය සමග බොහෝ වෙලා කතා බස් කරන විට එකට ඇවිදින විට තමන් ඇයට බොහෝ ළංවුන බවට ඔහුට සිතුනි.
 "යකෝ යාළු වෙන්න හරි බඳින්න හරි ඕනේ තමන්ට කතා කර කර ඉන්න පුළුවන් කෙල්ලෙක් විතරයි. ලස්සනම නෙමේ. නැත්නම් කාලෙකට පස්සේ දෙන්න බුකවගෙන ඉඳියි. කසාදෙත් හබක්." එය ජ්‍යෙෂ්ඨ සිසුවකු වන තෙන්නේ නිතර කියන කතාවකි.
 තමන් ඇය හා කොපමණ දොඩමළු වුනාද.
ත්‍රම්වයිය ඈතින් එයි.


ඔහු දෙසට හැරුණු තාන්යා ඔහුගේ දෙකොපුලට තෙත් හාදු දෙකක් දුන්නාය. ගිහාන් ගේ හදවත ඊයේ ඇය මුලින්ම හමුවූ විටදී මෙන් ඩිං ඩිං ගෑවේය. ඔහු එක්වරම ඇය බදා වැළඳ ගත්තේය. ඇගේ මුහුණ දෙස එක එල්ලේ බැලූ ඔහු ඇගේ දෙතොලට හාද්දක් දුන්නේය.
 "ඔයා සමග ගත කල සන්ධ්‍යාව හරිම සුන්දරයි. ඒකට ස්තුතියි." මදක් පසුපසට ගිය තාන්යා ඔහුගේ කනට කොඳුලාය. නතර වුනු ට්‍රෑම් රථයට නැගුනු තාන්යා ඔහු සිටින පැත්තේ ම සිටගෙන මදහසක් පෑවාය. ට්‍රෑම් රථය ඇදී යන්නට විය.
 ගිහාන්ගේ හදවත මොහොතකට නතර විය.
 "ඇය නැවත හමුවෙන්නේ නැත. තමන් එයට සුදානම් ද නැත. මේ අවසාන හමුවීම විය නොහැකිය." ගිහාන් හිටි හැටියේ දුවන්නට පටන් ගත්තේය. ත්‍රම්වයිය නැවතුම් දෙකක් ගොස් දකුණට හරවා නැවත තවත් නැවතුම් පල දෙකකින් උමන් දුම්රිය පලේ නැවතුම් පලට ලඟා වෙයි. විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය මැද ඇති පාරෙන් දිව ගොස් මේ ත්‍රිකෝණයේ විකර්ණය හරහා දිව යාමෙන් උමන් දුම්රිය නැවතුම් පලට කලින් ත්‍රම්වයි එක අල්ලා ගත හැකිය. නැවතුම් පළේ ට්‍රෑම් රථය නවත් වනවිට හති දමමින් පැමිණි ගිහාන් දොර අසල නැවතුණි. එලියට බසින විට ඔහු දුටු තාන්යා ගේ මුහුණ විශ්මයෙන් පිරිනි.
"ගිහාන් ඇයි මොකක් හරි අමතක වුනාද. ඔයාගේ ශිෂ්‍ය හැඳුනුම්පත ඔයාට දුන්නා වහ්ක්ත්යෝර් එකේ ආච්චි ගෙන් අරන් "
 සෝවියට් නේවාසිකාගාර වල ඇතුළු වන තැන වටේටම විදුරු වලින් වැසූ කවුන්ටරයක් සහිත කාමරයක් තිබේ. එහි සිටින්නා වහ්ක්ත්යෝර් නමින් හැඳින්වේ. එය මුරකරු වැනි අර්ථයක් ගනී. ශිෂ්‍ය නේවාසිකාගාරයක නම් එහි සිටින්නේ නේවාසිකාගාර ශිෂ්‍ය සභා කමිටුවේ ශිෂ්‍යයන් හෝ බොහෝ විට වයසක ආච්චියෙකි. ශිෂ්‍යයන් සිටින විට හා නේවාසිකාගාර පාලක සිටින විට අමුත්තන් රැගෙන ඒමට නම් තම ශිෂ්‍ය හැඳුනුම්පත කාමර අංකය සමග තැබිය යුතුය. එසේම අමුත්තන් රාත්‍රී 11.00 ට පෙර පිටව යා යුතුය. තේ කොළ ආදිය දී යහළු කර ගෙන සිටින ගිහාන් ගේ නේවාසිකාගාරයේ ආච්චි අනිත් රැකවලේ සිටින කමිටු සිසුන්ට පෙනෙන්නට ඔහු ගේ ශිෂ්‍ය හැඳුනුම් පත රැගෙන පසුව එය සඟවා තබා උදයේ ඔහුට දෙයි. තාන්යා සමග ඉතා සුහදව කතා කල වයසක කාන්තාව ගිහාන්ගේ හැඳුනුම් පත දුන්නේ ඇයටයි.
 "ඔව් මට ඔයා දුන්නා. ඒ වුනත් තාන්යා මට ඔයාව ආයේ හමු වෙන්න ඕනේ "
 "ගිහාන් අවශ්‍යම නැහැ. ඒත් මම මොස්කව් ආවේ අක්කා එක්කත් කතා කරලා දන්ත වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න කියා කිව්වනේ ඔයාට. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුනොත් මෙහෙ එනවනේ. ඔයාව හමු වෙන්නම්."
 "මට එච්චර බලන් ඉන්න බැහැ. ඔයාගේ දුරකථන අංකයක් තිබෙනවද"
අසල තිබූ තාප්පයට හේත්තුවූ තාන්යා කුඩා දින පොතක් රැගෙන එහි රුසියානු අකුරු දකුණට බර වෙන ලෙස පියකරු ලෙස ඇගේ ලිපිනය ලිව්වාය. ඊට යටින් ඇගේ නිවසේ දුරකථන අංකය සටහන් කලාය. සැහැල්ලු සිතින් හා ප්‍රීතියෙන් තාන්යා ගේ සුරත තම අතට තදකරගත් ගිහාන් කොපෙක් පහක් ගෙවා ගේට්ටුවෙන් පැන ඈත් සමග උමං දුම්රිය පල ඇතුලට ගියේය.
දිග විදුලි තරප්පු පෙලින් පහලට යද්දී ඔහුට සිංහල ගීතයක් මතක් විය. එය ඇරඹෙන්නේ "විදුලි දුම්රියේ චංචල නාදය සවනත වැකෙන සඳේ " යනුවෙනි. ඇය එහි කියන රූපවාහිනී නළඟන නම් නොවේ. ඇය රූමත් සුරතල් රුසියානු කුමරියකි. කුඩා කළ කියවූ සෝවියට් කතා පොත් වල සිටියේ ඇය බව ඈ දෙස නෙත් යොමා සිටි ගිහාන් ට සිතුනි. ඇය ඔහුට හේත්තු වී උරහිස හා පපුව අතරට හිස තබා ගෙන සිටියාය. අනිත් පැත්තෙන් යන අය කීප දෙනෙක් ම විමසුම් බැලුම් හෙලනු ඔහුට පෙනිණි. ඔහු ඇයව මහත් සෙනෙහසකින් තමාට ලංකර ගෙන තුරුළු කර ගති. ඇය දුම්රියට නගින්නට කලින් දෙදෙනා විනාඩි දෙකක පමණ තද සිප ගැනිමක නිරතව සිටියහ. එදා මේ දිවිල්ල නොදිව්වා නම්, මේ දෙවැනි හමුවීම නොවූවා නම්, ඉරණම බොහෝ සේ වෙනස් විය හැකිව තිබුණි. ~~~~~~~~~~~~~~~~~මතු සම්බන්ධයි.~~~~~~~~~~~~~

32 comments:

  1. යකඩෝ අරෙහෙම දොර කඩාගෙන කෙල්ලෙක් පාත් වෙද්දී මම හිතුවේ ගිහාන්ගේ රුසියන් ප්‍රේමය හබක් කියල...
    මේක ප්‍රභන්ධයක් කියල හිතන්න මට හිතෙන්නෙම නැහැ...මේක සිදුවීම් සත්‍ය ඒවා නම් ගිහාන් වාසනාවන්තයි...

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට කියවන්න. වාසනාවන්තයි කියන එක සාපේක්ෂයි කියල වැටහේවි.

      Delete
    2. අම්බලන්ගොඩ මුල්ම කොටස කියවන්න. එතකොට තේරෙයි.

      Delete
  2. ඕයේ...
    මුල කොටස ඉදං කියවං ආවෙ.. අපූරු කතාවක් නෙව.. මෙච්චර ලස්සන කතා පරක්කු කොරන්න හොද නෑ කියල දන්නෙ නැතෙයි.. හිහි
    ඊළග කොටහත් ඉක්මනට දායි කියල හිතනව..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. වෙන වැඩ දහසක් තිබේ. හැකි විධිහට ලියන්නම්.

      Delete
  3. ගියවිල්ල නියමයි.අනෙත් කොටසත් ඉක්මනින් දාමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ. ඔබලාගේ තල්ලුව නිසාම මෙය ලියවෙයි.

      Delete
  4. Replies
    1. මෙහි පැමිනියාටත් ස්තුතියි.

      Delete
  5. මේක අපූරු කතාවක් වේගනයි එන්නෙ ගමයෝ. දිගටම ලියන්න අපට කියවන්න :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බ්ලොගයට පැමිණියාට සහ දිරමත් කරන කොමෙන්ටුවට.

      Delete
  6. හ්ම්ම් ලිවිල්ල ලස්සනයි අජිත්,අර මුල ටිකට එකපාරටම කොයිල් උනා බං.

    ReplyDelete
    Replies
    1. //අර මුල ටිකට එකපාරටම කොයිල් උනා බං// ඒ කිව්වේ හැලපේ? එතන අප්සේට්ද ? ස්තූතියි දිරි ගැන්වීමට.

      Delete
  7. අමතක වේච්චි නිසා පහු ගිය කොටස් දෙකක් බලල අවසානයේදී තමා මේක බැලුවේ.. යං යං

    ReplyDelete
    Replies
    1. කොහෙද? හේ හේ ස්තූතියි දේශා.

      Delete
  8. ආධුනික බ්ලොග්කාරිණියකගේ කිසිසේත්ම ආධුනික නැති කවි පෙළක් . කරුණාකර ගිහින් කියවා රස විඳ උනන්දු කරවන්න.

    ReplyDelete
    Replies
    1. බැලුවා ඉයන්. ලස්සන කවි පෙළ ඒක.

      Delete
  9. දෙවනි ලෝක යුද්ධය කාලෙ ජර්මානු සම්භවයක් ඇති රුසියන්කාරයන්ටත් හිරිහැරවුනාද? එහෙම නැත්නම් ලඟදි ආපු ජර්මන්කාරයින්ව පිටුවහල්කලාද?

    සාර් පීටර්ගෙ කාලෙ ගොඩක් ජර්මන් කාරයො රුසියාවට ආවනේද? ඉන්ජිනේරුවො ව්‍යාපාරිකයො හමුදා ( විශේෂයෙන් කාලතුවක්කු ) නිලධාරීන් වගේ

    ReplyDelete
    Replies
    1. //දෙවනි ලෝක යුද්ධය කාලෙ ජර්මානු සම්භවයක් ඇති රුසියන්කාරයන්ටත් හිරිහැරවුනාද?// ඔව්. ඊට කලින් ඉඳන්ම පිටුවහල් කරන්නයි මරන්නයි ගත්ත.
      //එහෙම නැත්නම් ලඟදි ආපු ජර්මන්කාරයින්ව පිටුවහල්කලාද? // ලඟදි ආපු කිව්වේ කාටද ?

      //සාර් පීටර්ගෙ කාලෙ ගොඩක් ජර්මන් කාරයො රුසියාවට ආවනේද? ඉන්ජිනේරුවො ව්‍යාපාරිකයො හමුදා ( විශේෂයෙන් කාලතුවක්කු ) නිලධාරීන් වගේ// වොල්ගා ජර්මන් වරු තමා ඒ. ඒ ගොල්ලන්ව තමා ඉස්සෙල්ලම පිටුවහල් කලේ.

      Delete
    2. ලඟදි කිව්වෙ පරම්පරා ගාණක් නොව අවුරුදු කීපයකට කලින් ආව බිස්නස්කාරයො වගේ අය.

      ඇත්තටම පරම්පරාගාණකට කලින් ආව අයවත් මරන්න ගත්තද? ඒ මිනිස්සුන්ට ජර්මන් තිබුනට මුල් හා මැද නම් රුසියන්වන ප්‍රැක්ටිකලි රුසියන්කාරයොනේද? සාර්ගෙ කාලෙ පොලීසියෙ ආණ්ඩුවෙ හමුදාවෙ ඉහල තනතුරු දැරුව නේද? කොමියුනිස්ට් පක්ෂෙ හිටියෙ නැද්ද ඒ ජර්මන් නම් තිබුන අය.

      ස්කොටිශ් / අයිරිශ් / French අයත් හිටියනේද සෑහෙන්න සාර් කාලෙ ආමි එකේ

      Delete
    3. //ඇත්තටම පරම්පරාගාණකට කලින් ආව අයවත් මරන්න ගත්තද? ඒ මිනිස්සුන්ට ජර්මන් තිබුනට මුල් හා මැද නම් රුසියන්වන ප්‍රැක්ටිකලි රුසියන්කාරයොනේද? සාර්ගෙ කාලෙ පොලීසියෙ ආණ්ඩුවෙ හමුදාවෙ ඉහල තනතුරු දැරුව නේද? කොමියුනිස්ට් පක්ෂෙ හිටියෙ නැද්ද ඒ ජර්මන් නම් තිබුන අය.// කොමියුනිස්ට් පක්ෂේ හිටි උන් මාරුව. අනිත් එවුනුත් එක්කෝ පිටුවහල් කලා , නැත්නම් ගුලාග් යැව්වා. නැත්නම් මැරුවා.

      Delete
  10. මරු කථාව, මම වියට්නාමයේ හිටපු කාලේ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. බ්ලොගයට පැමිණියා ටත් ස්තූතියි. වියට්නාම් කතා ටික ලියන්න.

      Delete
  11. An update on Google Friend Connect

    Posted: December 21, 2015 Share on Twitter Share on Facebook
    In 2011, we announced the retirement of Google Friend Connect for all non-Blogger sites. We made an exception for Blogger to give readers an easy way to follow blogs using a variety of accounts. Yet over time, we’ve seen that most people sign into Friend Connect with a Google Account. So, in an effort to streamline, in the next few weeks we’ll be making some changes that will eventually require readers to have a Google Account to sign into Friend Connect and follow blogs.


    As part of this plan, starting the week of January 11, we’ll remove the ability for people with Twitter, Yahoo, Orkut or other OpenId providers to sign in to Google Friend Connect and follow blogs. At the same time, we’ll remove non-Google Account profiles so you may see a decrease in your blog follower count.


    We encourage you to tell affected readers (perhaps via a blog post), that if they use a non-Google Account to follow your blog, they need to sign up for a Google Account, and re-follow your blog. With a Google Account, they’ll get blogs added to their Reading List, making it easier for them to see the latest posts and activity of the blogs they follow.

    We know how important followers are to all bloggers, but we believe this change will improve the experience for both you and your readers.

    Posted by Michael Goddard, Software Engineer

    ReplyDelete
  12. අජිත්, මේ වැඩේ නං අන්තිම අසාධාරනයි, මේ හැම රූලක්ම අතීතයේ මතක සටහනක් වුනු අය ගොඩාක් ඉන්නවනේ,හොඳ වෙලාවට කිපදෙනයි සිංහල බ්ලොග් කියෝනවා ඇත්තේ, නැතිනම් මේවා කියවලා අතීතේ රෝන්ද ගහනකොට ජාතියට අහිමි වෙන පැය ගණන :))

    මම අද රෝන්දේ ගියේ ස්තලෝවයා එකකින් පළවෙනි වරට කාපු තැනට, ගස්තිනිත්ස යුනිවෙර්සිතෙත්ස්කයා එක අසල පද් එකේ ස්තලෝවයා එක, මතක හැටියට කන්න පුළුවන් වුනේ පානුයි සොසේජසුයි විතරයි, ඉල්ලන්න දන්නැති නිසා දෙන ඔක්කොම ගත්තා, පුළුවන් ඒවා කාලා ආයේ පෝලිමේ ගියා, බඩට දැණුනේ තුන් සරයක් පොලිමේ ගියාට පස්සේ. ගස්තිනිත්සා එකට ආපහු එනකොට පාර වරද්ද ගත්තා අපේ කෙල්ලො ටිකකට අහුවෙලා කාමෙරේට ගිනිහින් බඩ පිරෙන්න ජෑම් පාන් කන්න දුන්නා.

    ඉස්තරම් ලියවිල්ල

    ReplyDelete
  13. //ගස්තිනිත්ස යුනිවෙර්සිතෙත්ස්කයා එක අසල පද් එකේ ස්තලෝවයා එක, මතක හැටියට කන්න පුළුවන් වුනේ පානුයි සොසේජසුයි විතරයි// මට ලියන්නත් හිතුන ඒක ගැන . පස්සේ කතවට අදාල නැති නිසා අත හැරියා . එහෙනම් ඇණයත් පරණ ඇණයක් . කොහෙද හිටියේ. කොයි කාලේද ?

    ReplyDelete
    Replies
    1. දවසක සැබැ ප්‍රොෆයිලයෙන් සම්බන්ධවෙන්නම්, එතකන් ඇණයා ලොකේෂන් හංගගත්ත ඇනෝවෙක්.

      Delete
  14. සම්බන්ධකම් හැඟීමෙන් දුරදිග ගෙනයාම අපේ සිරිත. සබඳතා කඩා දැමීම/අමතක කිරීම එයාලගෙ සිරිත. එහෙමද? මේකෙත් අනපේක්ෂිත අවසානයක් ඇති කියා නිකමට හිතෙනවා. 3, 4 මග ඇරුණා. කියවලාම එන්නං.
    අර ගීතය ගැනත් යමක් කියන්න ඕනි. ඕක මම බොහොම ප්‍රිය කරන, දුම්රිය නාදයටම සමාන්තර තනුවක් තියෙන ගීතයක්. මේකේ කියවෙන්නෙ අනාගතයේ දියුණු අධි තාක්ෂණික ලෝකයක සිහින දකින යුවලක් ගැන.
    අජියයියෙ, අර ස්ථාන නාම, ද්‍රව්‍ය නාම ගැන කරන විස්තරය 1, 2, 3 දාලා පහල වෙනම දාන්න. එතකොට කතාව කිසි බාධාවක් නැතිව ගලාගෙන යනවා.

    ReplyDelete
  15. //සම්බන්ධකම් හැඟීමෙන් දුරදිග ගෙනයාම අපේ සිරිත. සබඳතා කඩා දැමීම/අමතක කිරීම එයාලගෙ සිරිත. // නැහැ එහෙම කියන්නම අමාරුයි. මේ රටවල් මුලින් සම්බන්ධකම් හැදිලා පස්සේ ලිංගික සම්බන්ධකම් හා අදර සම්බන්ධකම් ඇතිවෙනවා වගේම අනිත් පැත්තටත් වෙනවා. සෝවියට් දේශයේ ටිකක් සුවිශේෂී තත්වයකුත් තිබුන. එංගලන්තයේ තියනවා one night stand කියල අහල තියනවද? හමුවෙන්නේ පළමු දවසේ ඇතිවන සම්බන්ධයන් දිග දුර ගෙනියන්නේ නැහැ. දෙපැත්තම. රුසියාවේ තිබ්බ ඕක ඔය මම කියන විධිහට. පසුව පැහැදිලි වෙයි. නිදහසක් තිබ්බ හිතා ගන්න අමාරු (අපට) - විස්තර අර වගේ පසුව දාන්න බලන්නම්. ස්තුතියි.

    ReplyDelete
  16. කොටස් හතරයි නැත්තං පහයි කියපු නිසා නොකියවා ඉඳලා එක දිගට කියෙව්වා... අනේ ඉවර නෑ නෙ.. එක අතකට හොඳයි.කොට කරන්න කියලා කෑලි බෑලි හලන්නැතිව අත දිගෑරලා ලියන්න පුළුවන්නෙ.නවකතාවක් වගේ ගලනවා..
    රහයි කියන්නෙ සුපිරියි.
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.