Wednesday, 22 June 2016

විල්ලර වාඩියෙන් දඩ කඳවුරට

කියවා  අවසන්වී මාස ගණනක් වුවත් නැවතත් මේ ග්‍රන්ථ ද්වය පරිශීලනය කළෙමි. මේ කියැවීමේදී බ්‍රෙෂ්ට් ගේ එපික් නාට්‍ය කලාව ගැන අප කළ සාකච්චාව ද සිහියට නැගුණි. හෙන්රි වර්ණකුලසුරියගේ මේ නවකථා දෙක තුල වීරයෙක් නොමැත. ග්‍රැන්විල් අන්නවී රාල යනු කිසියම් විධිහකින් කාල පරිච්ඡේදයන්   යා කරන පුරුකක් පමණකි. මේ ග්‍රන්ථ ද්වය වීරයෙක් හෝ පාඨක  හද බැද ගන්නා  චරිතයන් වර්ධනය වී නොමැති,  නවකතා මෙන් සැලකිය නොහැකි ඒවා යැයි  සෞන්දර්යවාදී රීතියකට  අනුව පොත් කියවීමේ යෙදෙන්නන් බැහැර කිරීමට ඉඩ ඇත.

විරාගයේ මෙන් නගරයට ගොස් ධනවත්වී එන පියල් හෝ වැඩවසම් පවුලේ නන්දා මෙහි නැත. පාඨකයාට භාවාත්මක ලෙස බැඳෙන්නට චරිතයන් වර්ධනය වී නොමැත.

පළමු පොත වන විල්ලර වාඩිය  ගැන එසේ ලියවුනු විචාරයක්  මා  කියවීමි. රන්ජන් අමරරත්න මහතා කියන්නේ නවකතාවකට ගැටුමක් තිබිය යුතු බවය. ඔහු එය කොහෙන් හොයාගත් නීතියක් දැයි මා දන්නේ නැත. නවකතා ලිවීමට එහෙම නීතියක් තිබේ දැයි මම නොදනිමි. යමෙකුට  අවශ්‍ය නම් ගැටුමක්, යුද්ධයක් හෝ පෙම් සබඳතාවක්  මෙන්ම ගමක විකාශනයක්ද ප්‍රස්තුත කර ගත හැකිය.

මාර්ටින් වික්‍රමසිංහයන් ගේ ග්‍රන්ථ අප හැමෝම කියවා  තිබේ. එතුමා ගේ ගම්  පෙරළිය, යුගාන්තය, විරාගය හා  කලියුගය  පමණක් නොව අපේ ගම ද සමකාලීන ශ්‍රී ලංකාවේ ගමක ඓතිහාසික විකාශනය එහි පාත්‍රවර්ගයා අතර මානුෂික සම්බන්ධතා උපයෝගී කර ගනිමින් විස්තර කර තිබේ.  "යුද්ධය හා සාමය" වැනි ලෝක සාහිත්‍යයේ මාහැඟි කෘතියක් නොලියුවද මාර්ටින් වික්‍රමසිංහ මට නම් ලංකාවේ තොල්ස්තෝයි ය.  වික්‍රමසිංහ මහතාගේ පොත් ත්‍රිත්වය  පරිශීලනය කිරීමේදී ඔහු ඉතා මැනවින් දකුණේ ග්‍රාමීය බහුතර සිංහල බෞද්ධ සමාජය භාජනය වන පෙරළිය හසු කරගෙන, දේශපාලනය ගැන එකේ එල්ලේ කතා නොකරම වැඩවසම් සමාජය  හා අලුතින් නැග  එන ධනවාදී සමාජයේ ගැටුම මැනවින් විස්තර කරයි.

ලෙනින්,  ටෝල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත ලෙස නම් කළේය. ඒ ඔහුගේ කෘති තුලින් පැවති වැඩවසම් රුසියානු සමාජය විවරණය කිරීමෙහි ලා දැක්වූ දක්ෂ කම නිසාවෙනි.

මේ ආකාරයේ සමාජ පෙරලියන්  තම නවකතා මගින් එලෙස විශිෂ්ට  ලෙස විශ්ලේෂණය කල අනෙක් ශ්‍රේෂ්ඨ කතුවරයා ආචාර්ය ගුණදාස අමරසේකර මහත්මාය. මාර්ටින් වික්‍රමසිංහ ලංකික සමාජයේ එකතරා අවධීන් කිහිපයක් සාර්ථක ලෙස ග්‍රහණය කර ගත්තා  සේම අමරසේකරයන්ද එය මැනවින් සිදු කරයි. ඒ ඔහුගේ "ගමනක  මුල, ගමනක අග, ගම් දොරෙන් එලියට වැනි" කෘතීන් මගිනි.

ඔහුගේ කරුමක්කාරයෝ, අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව  ද මෙහිදී අදාළ කර ගැනීමට මා කැමතිය. බණ්ඩාරනායක මහතාගේ 1956 මැතිවරණ ජයෙන් පසු කාලය හා ඒ හා බැඳුනු දේශපාලනයද සිංහල බෞද්ධ ගමක සිදුවන වෙනස  ඉතා ශුර ලෙස තම ග්‍රන්ථ තුන තුලින් ඉස්මතු කිරීමට  අමරසේකර සමත් වෙයි. අමරසේකර මහතා  පසුව අනුදත් ජාතික චින්තනයේ දෘෂ්ටිමය කියවීමට  මා සහයෙකයෙකු නොවූවත් අමරසේකර මහතාගේ නවකතා වල ප්‍රබලත්වය ට ප්‍රශංසා කිරීමට මට එය බාධකයක් නොවේ.

ඉහත දක්වා ඇති වික්‍රමසිංහයන්ගේ පොත් වල බ්‍රිතාන්‍යයෙන් නිදහස දක්වා ලැබීමේ අවධිය හා ඉන් පසු දශකය පිළිඹිබු වන්නා සේම අමරසේකරයන්ගේ පොත් වල පනස්වන දශකයෙන් පසු කාලය නිරූපණය වෙයි. මේ පොත්  සිංහල බෞද්ධ ගැමි පරිසරය හා බැඳුනු ජිවන රටාවන්ද,  ගැමි සංස්කෘතිය හා සිඝ්‍රයෙන් වෙනස් වන නාගරික සංස්කෘතියේ දයලෙක්තික ගැටීමද ධනවාදී ආර්ථික ක්‍රමයේ නැගීම තුල එය  හා පැවති වැඩවසම් සමාජයේ  ක්‍රමයේ දයලේක්තික ගැටීමද   මොනවට මතු කර පෙන්වයි.

බ්‍රිතාන්‍යයන් නික්ම යාමෙන් පසු එළඹුණ කාල පරිච්ඡේදය තුල සිංහල බෞද්ධ සමාජයේ විකාශය ගැන අපගේ හැදෑරීම් සඳහා අවශ්‍ය තරම් ලියවී තිබේ. එහත් අපට ඉමහත් අඩුවක්ව තිබෙන්නේ  දෙමල, මුස්ලිම් ජනතාවගේ මෙන්ම කතෝලික හෝ වෙනත් ආගම් අදහන්නන් ගේ සමාජ ජීවිතය පිලිබඳ සාහිත්‍ය කෘතීන් ය. දෙමළ ජනතාව  ගැන අප දන්නා ටික සීමා වන්නේ තමිල්නාඩුවෙන් පැමිණෙන ලාභ චිත්‍රපට වලටය. කතෝලික  ජනතාව ගැන දන්නේ ඔවුන් කොච්චි කඩේ  ශාන්ත අන්තෝනි පල්ලියට හා දෙමළ පල්ලිවලට දෙවියන් පිදීමට යන බවක්ය. එසේම ඔවුන් ඌරු මස් අනුභව කරන බවය. ඒ කාලේ සිංහලයන් හොර රහසේ වල් ඌරු මස් අනුභව කරන බවද අපි දනිමු.  මර්සලින් ජයකොඩි පියතුමා දැඩි උත්හසායක් ගත්තද ඔහු බොහෝ දුරට කලේ කතෝලික ජීවිතය සිංහල බෞද්ධ කරණය කිරීමක් යැයි  වරෙක මට සිතේ.

හෙන්රි වර්ණකුලසුරිය මහතාගේ පොත් වලින් මතු වෙන්නේ කතෝලික ජනතාවගේ ජිවිතයේ සිංහල බෞද්ධ අප නොදන්නා සත්‍යයයි. ඒ කතෝලික ආගම අදහන ජනතා  කොට්ටාශය ශ්‍රී ලංකාවේ සිදුවන සමාජ දේශපාලන පෙරළියට මුහුණ දීමේදී ඔවුන් සිංහල බෞද්ධයන් ගෙන් එතරම් දුරට වෙනස් නොවන බවයි.

ඒ බව පැහැදිලි වන්නේ මෙවන් සංවාදයන් ඔවුනතර ඇතිවන බැවිනි.

"සූරිය  මල් ව්‍යාපාරේ පටන් අරන් ඇන් ඇම් ල පිලිප්ල සටන් කරද්දී අපේ මිනිස්සු ඒකට  මිට වඩා  සහයෝගේ දුන්න නං..." (විල්ලර වාඩිය පිටුව 15).

සිංහල කතෝලිකයාගේ ජාතිවාදය සිංහල බෞද්ධයා ගෙන් එතරම් දුරස් නොවන බව හෙන්රි නිර්දයව පෙන්වා දෙයි.

"ඔය යාපනේ දෙමළා ගේ ඉඩම ආයෙම  හම්බයෙකුට අයිති වෙන්න දෙන එක අපරාධයක්. ආයේ දෙකක් නෑ මුස්ලිම් ගමක්ම හැදෙයි." (විල්ලර වාඩිය පිටුව 17)

එදවස කතෝලිකයන් ගැහැණු දරුවන් ගේ ඉගෙනීම සම්බන්ධයෙන් දරු මතය සිංහල ගැමියන්ගෙන් එතරම් දුරට වෙනස් වූයේ  නැත.

"නෑ නෑ කෙල්ලන්ව ලුර්දුවට යවන්න  බෑ. කොල්ලොත්තෙක්ක හරි හරියට ඉගෙන ගන්න ගියාම මුන්ගේ හිරි ඔතප් බිඳෙනවා" (විල්ලර වාඩිය පිටුව 29).

ගුණදාස අමරසේකර පනස් හයේ පෙරළියෙන් පිබිදුන සිංහල ගම ගැන පවසද්දී හෙන්රි  වර්ණකුලසුරිය පවසන්නේ පැරදුන පක්ෂය ද සිංහල ජාතිවාදය අවුස්සන බවයි. කිසියම් ප්‍රධාන දේශපාලන  පක්ෂයක් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීමට තැත් කරද්දී ප්‍රධාන විපක්ෂය කුමක් වුවද ඔවුන් සැමවිටම ඊට එරෙහිව කටයුතු කරමින් ප්‍රශ්නය ඔඩු දිවීමට උපකාර වුන බව ඔහු අපට සිහිපත් කරයි.

"...පනස් හයේ කැළණියෙන් පැරදුණ ජේ ආර් ල සිංහල බෞද්ධ ආවේග අවුස්සලා රට විනාශ කරනවා" (විල්ලර වාඩිය පිටුව 231)

"ලොකු ඉස්කෝලේ මහත්තයට කියන්න ඔය බණ්ඩාරණායක චෙල්වනායගම් ගිවිසුමේ හොඳ පැති කොයි තරම් තියනවද?  හරිනම් නායකයෝ කරන්න ඕනේ ගිවිසුමේ අඩුපාඩු පෙන්නලා දීල ඒක වැඩි හොඳ විදිහකට ක්‍රියාත්මක කරන්න  සහයෝගය දෙන එකනේ. " (විල්ලර වාඩිය)

දෙමළ කෝලාහල ඇති වීමට එක් ප්‍රධාන හේතුවක්  වුයේ ජාතිවාදය අවුස්සමින්  ප්‍රධාන පක්ෂ බලයට ඒමට කෙටි මං තනා ගැනීම බැවි ඔහු මැනවින් පෙන්වා දෙයි..

 කතා කිරීමට මදක් අපහසු මාතෘකාවක් වුනත් මෙහිදී සඳහන් කල යුතු යමක් ඇත.  සිංහල බුද්ධාගම ගැන විවේචනය නොකරන මගේ බොහෝ කතෝලික මිතුරන් කතෝලික දහමද හොඳින් අදහති. එසේම බුද්ධ දර්ශනය ගැන ඔවුන්ගේ උසස් දැනුමක් තිබෙන බවද නිරීක්ෂණය කලෙමි. එසේම තවත් කතෝලික පිරිසක් සිංහල බෞද්ධ හෙජමනිය ගැනද හාමුදුරු වරුන්ගේ දේශපාලන හා වෙනත් ක්‍රියාකාරකම් ගැනද නිර්දය විවේචන එල්ල කරති. එහෙත් තමා උත්පත්තියෙන් උරුම කරගත් කතෝලික ආගම මෙන්ම  යේසුස් වහන්සේ හෝ මරිය තුමිය ගැන සඳහන් විප්ලවීය කවි ලියති. මෙහි ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය ඇත්තේ ඔවුන්  කතෝලික පල්ලියේ කිසිදු වරදක් නොදැකීමය. එවැනි මුස්ලිම්වරුද දුටුවෙමි.

 මගේ අදහස නම් සිංහල බෞද්ධ හෙජමනිය ගැන,  හා බුද්ධාගම ආගමක් ලෙස ඇදහීමෙන් කරන අකටයුතුකම් ගැන වෙනත් ආගමක සිට විවේචනය කරන්නේ නම් එය තමන්ටත් තමා අදහන දහමටත් පොදු බව වටහා ගැනීමයි. විවේචනය තමන් සඳහාද එල්ල කර ගැනීමයි.

හෙන්රි අයත් වන්නේ එසේ වටහා ගත් කොටසටය. ඔහු කතෝලික පල්ලිය, එහි අනුගාමින් ගේ ප්‍රතිගාමී ඇදහිළි නිර්දය විවේචනයට බඳුන් කරමින් සිංහල  බෞද්ධ හෙජමනිය  කතෝලික ජනතාවගේ  ජිවිතයට
බලපෑ අන්දම ගැනද  විමසුම්  කරයි.

එසේම කතෝලික ආගම  තුල දික්කසාදය තහනම් වුවත්, කසාදයට පිටින් අනියම් සබඳතා තහනම් වුවත් සාමාන්‍ය මිනිස් සමාජය තුල සුලබ වූ එවන් හැසිරීම්  කතෝලික සමාජය තුලද අඩුවක් නැතිව එලෙසම ඇති බව නිර්භීතව පෙන්වා දෙයි.

විසේන්ති ස්කොලේ මහත්තයා බාල දැරිවියක් අපයෝජනය කිරීම ගැන විස්තර කරමින් "දඩ කඳවුර " නවකතාව පටන්  ගැනේ. "විල්ලර වාඩියේ " ම දිගුවක් වන මේ පොතේ පාසැල් ගුරුවරයෙකු ලෙස ගමේ වැදගත් යයි සම්මත අයෙක් ගේ නොමනා හැසිරීම ඕනෑම ජන කණ්ඩායමකට  පොදු වූවක් බව පෙන්වා දෙයි.

බෞධයන් මෙන්ම සිංහල කතෝලිකයන් ද කපු කාරයන්ගේ,  ජ්‍යෝතිෂ කාරයන්ගේ බොරු වලට මුලා වී ඇති අන්දමද එයට එරෙහිව ප්‍රගතිශීලින් සමුහයක්ද සිටි බවද පැහැදිලිය. මාකස් මුදලාලි  ගෙයි පැත්තක පස හාරන  විට ජීවම් කළ තඹ පතක් ගේ අයිනකින් මතුවේ. (දඩ කඳවුර - පිටුව 77)  මාක්ස් හා එමලිනා මේ මිත්‍යා අදහස්  විශ්වාස කරති.

එහෙත් රෙජිනෝල්ඩ් ඉස්කෝලේ මහත්තය වඩා ප්‍රගතිශීලි දෘෂ්ටියක් ඇත්තෙකි.

"දැන් මායම තවත් වැඩි වේ. කපුරාල ජප  කරන්නට පටන් ගනී..."
"තාත්තේ මොනාද ඒ කියන්නේ "
"කවුද දන්නේ ළමයෝ ..ඕකුන්ගේ බොරු" රෙජිනෝල්ඩ් ඇලෙක්ස් ගේ කණට  කර පවසන්නේ අනිත් කිසිවෙකුටත් නොඇසෙන පරිදිය.

71 අරගල කාලයේ දී අත්  අඩංගුවට ගනු ලැබුවන් විඳි වධ හිංසා ගැන යම් විස්තරයක් අඩංගු වන නිසා හෙන්රි වර්ණකුලසුරිය මෙම පොත "වධ කඳවුර " මැයින් නම් කරන්නට ඇත.

"නියඟයත් හෝදාපාලුවත් මග හරිය හැක්කේ විප්ලවයකින් පමණි" යනුවෙන් ජනහිත හෝටලේ බිත්තියක ලියැවේ.  විල්ලරවාඩිය 71 අරගලය සමයට පිවිසෙයි.

කිසිදු වරදක් නොකළ ආණ්ඩු පාක්ෂිකයන්ද හිරභාරයට පත්වෙයි.

  ලෙස්ලිගේ ගෙට පැන්න  පොලිසිය ඔහු අත් අඩංගුවට ගන්නේ පොලිසියටම සුපුරුදු ආකාරයටය.
"මොකක්ද පරයෝ කිව්වේ.. ආණ්ඩුව පිහිටෝපු උන්ම තමයි ඔය තුවක්කු, ඩප්පි අතට ගත්තේ ආණ්ඩු පෙරලන්න..නැඟපිය හු***ගේ පුතා ජීප් එකට.." පොලිස් පරීක්ෂක තැන ලෙස්ලිගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළේ  පා  පහරක්ද එල්ල කරමිනි.  (දඩ කඳවුර - පිටුව 185)

කතෝලිකයන් වැඩිපුර  ජිවත් වන මේ ගමේ ද ඉඩම් ප්‍රශ්න පිට ඇක්මොන් රන්ජිත්ව පාවා  දෙයි. මේ සිංහල බෞද්ධයන් ක්‍රියා කළ ආකාරයටමය.

"පොලිස් කූඩුවෙන් විටින් විට එලියට ගෙන පහරදෙමින් ලිඟුව මේස ලාච්චුවට දම වසමින් වධ දෙමින් ප්‍රශ්න කරන විට ප්‍රහාරයෙන් ගැලවෙන්නට තමන්ගේ හිතට එන දෙයක් කියන්නට පටන් ගත්  රන්ජිත් චේගුවේරා ව්‍යාපාරයට බැඳී සිටි බව පිළිගත්තේ, ඒ මොහොතේ හිතට නැඟෙන තරුණ තරුණියන්ගේ නම් ඊට ඈඳා ගනිමිනි. " (දඩ කඳවුර - පිටුව 189)

ජනතාව සහය නොදෙන එහෙත් තරුණ තරුණියන්ගේ අරගලයක් නිම වූයේ  ඔවුන් සමගම අහින්සකයන්ද ඒ භීෂණයටම නතු කරමිනි.

ඒ සමගම ඉතිහාසයේ යම් යම් සිදුවීම් පසු කාලීනව ව බලපාන්නේ  කෙසේද යන්න නොදන්න වුන්ට දැන ගැනීමට හැකිය.

"ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම  සඳහා දියත් කළ කමිටුවේ සභාපති වූයේ නිවස ඇමැතිවරයා  වූ කොමියුනිස්ට් පක්ෂයේ කේනමන්ය. " (දඩ කඳවුර - පිටුව 196)

"අන්තිමේට  වාමාංශික කියල කියා ගන්න, ආණ්ඩුවේ  බත්ගොට්ට කන කේනමන්ලාටත් සිද්ධ වුණා තරුණ සංහාරේට උඩගෙඩි දෙන්න.." චාලි පවසන්නේ  ඉතිහාසයේ දවසක තමන්ද සම්බන්ධව සිටියේ මේ වාමාංශික පක්ෂ සමඟ නොවේදැයි කල්පනා කරමිනි. " (දඩ කඳවුර - පිටුව 196)

සමහරවිට පසු කාලීනව 88-89 දෙවන නරෝද්නික්වාදී  දේශපාලන ත්‍රස්තවාදය හා එයට එරෙහිව රාජ්‍ය මර්දනය  දියත් වූ කාලයේ දී සෙසු වාමාංශික පක්ෂවල නායකයන් අතුගා දැමීම සඳහා,  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුව එල්ල කිරීමේ තීරණය  විජේවීර ගන්නට  ඇත්තේ මේ කාලයේ විය යුතුය.

එසේ වුවද  ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය හෙළි කළේද  කොමියුනිස්ට් පක්ෂයේ "ඇත්ත" පුවත හා එහි නිර්භීත කතුවරයා වූ බි. ඒ. සිරිවර්ධන බවද මාකස්  මුදලාලි හරහා හෙන්රි වර්ණකුලසුරිය පහදයි. (දඩ කඳවුර - පිටුව 210)

සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ගැන (224 පිටුව)  කතා කරන හෙන්රි ගේ විල්ලරවාඩී වැසියන්  1956 එයට විරුද්ධ වුන ඇන්. ඇම්. හා කොල්වින්ලා  1972 ජනරජ ව්‍යවස්ථාවට සහය දෙමින් රට ජාතිවාදී ලිස්සනසුලු ප්‍රපාතයට ඇද දැමීමට උර දීම  ගැන පශ්වාත්චාප  වෙයි .

සමහරෙකුට මේ පොත් දෙක නිකම් ජන ප්‍රජාවක් ගැන වාර්තාවක් හැටියට පෙනී යා හැකිය. මම නම් එසේ  පිළිගන්නට මැලි වෙමි. එම ජන ප්‍රජාවේ හැසිරීම අනෙකුත් එවැනිම වූ ආගම දහම නමැති කඩතුරාවෙන් ගත වසා ගත් එහෙත් ඇතුලත දස පව් කරන බහුතර බෞද්ධ සමාජය ට දෙවැනි නැත.  ඒ කඩතුර ඉරා  දමමින් ගෙනෙන විස්තරය පල්ලියේ  පන්සලේ ප්‍රභූවරුන්ට හෝ සිංහල ජාතික පුවත්පතකට දිරවන ලෙස ලියා  නැත. අපට මවා ඇත්තේ මෙවැනිම ප්‍රගතිශීලි මුස්ලිම් මහතෙකුගේ පොතකි.  එනම් තවත් සල්මන් රුෂ්ඩි කෙනෙකි.

 බිරිඳ සොර සැමියකු සමග අනංග රැඟුම් හි යෙදීම්  නොමසුරුව සඳහන් වේ.

"ඒ අත  සියුමැලිය. රෝස පාට  ඇඟිලිතුඩු සිහිනය.  ..කර පළල් හැට්ටය තෙරපාගෙන ඉවතට පනින්නට  තතනන සුන්දර දෙතනය...
යටට ඇඳුමක් ඇඳ නොසිටි .......ලෙස්ලිගේ අංගජාතය පොළා පැන්නේ ඇගේ  සුන්දර දෙතන් දැකීමෙන් ක්ෂණිකව ඇතිවූ ජාගර ආසාවෙනි."    (දඩ කඳවුර - පිටුව231)

මෙවැනි සම්බන්ධතා බොහොමයක් ගැන හෙන්රි පාඨකයාට විස්තර කරන්නේ කිසිම පැකිලීමකින් තොරවය.

"පැය තුනක් ඇතුලත දෙතුන් වතාවක් සිය සිරුරේ රෝම කුපයක් ගානේ හිරිවට්ටගෙන සිටි විතාරණ නෝනා .....ඉන්පසු සතියකට හමාරක් සිය දුවනියන් ලොකු අම්මලාගේ ගෙදර පිටත් කරන්නීය. ඒ හැම අවස්ථාවකම  මහන මැෂිම ද කැඩී  තිබුනේය.

 කැඩුන මහන මැෂිම් හැදීම පින් ලැබෙන රස්සාවක් විය යුතුය.

කතෝලික දහම ඇති තැනක මතු පිටින් නුපුරුදු නමුත් සැබවින් සිදුවන සම ලිංගික ක්‍රියාකාරකම් ගැන මතක් කිරීමටද හෙන්රි නොපැකිලෙයි. (පිටුව 243)

සේකර ලෙල්ලෙමේදී මෙසේ  කියයි.
"සුවාමිල --- රෙද්ද.. ඔය ලෝගුවන්ව මට පේන්න  බෑ .."

"...ආගම විරෝධයක් නෙමෙයි මහත්තය. මිනිස්සු ආගම් ඇදහුවට මට කමක් නෑ. ..මම අදහන්නේ නැහැ කියල හැමෝටම එහෙම වෙන්න කියන්න මට බෑ . ඒ වුනාට ආගම්  ඉස්සරහට ගෙන දුප්පතුන්ගේ කනික්ක සල්ලි සූරගෙන මුං  ලොකුවට වැජඹෙන එක ගැන නං මං  කතා කරනවා කට කෑවත් . (පිටුව 262)

 එය එසේම විය යුතු බව මගේද හැඟීමයි.

වර්ෂ 1977 දක්වා වූ සමගි පෙරමුණ පරාජය වන සාමය  දක්වා මේ සමාජ දේශපාලන විමර්ශනය ඇදී යයි.

"අනුර පුතේ උඹේ අම්මා  - අපේ කටේ පස් දැම්මා  කිය කිය නේ යූ  ඇන් පි කාරයෝ පෙළපාලි ගියේ. කියන්න තිබුනේ ඔහොම නෙමෙයි. ෆිලික්ස් බෑණෝ නුඹ හිංදා - ගෙදර යනවා නුඹේ නැන්දා කියලයි."

පසු කාලින සෝමවංශ - විරවංශ දෙබෑයන්ගේ ජවිපෙ ජාතිවාදයට සහය වන හෙන්රි මතු වන්නේ 352-353 පිටු හරියේය.

"ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ආසන  දහඅටක්. විපක්ෂ නායකකම යන්නේ අමිර්තලිංගම්ට. "

ජේ ආර් උන්නැහේ අමිර්තලිංගම් සමග හොර ගිවිසුමක් ගැහුවා යයිද කව්දෝ කියයි.
හෙන්රි ගන්නේ ජාතිවාදී පර්සිගේ පැත්තද රණවීරගේ පැත්ත දැයි සිතීමට අමාරු නැත. ඒ මේ වාක්‍යයයෙනි.

  "පර්සි අන්ත ජාතිවාදියෙකු නොවන බවද ඔහු කියන දේ ඇත්තක් බවද රණවිර දනී."

හොඳ පිළිවෙත් වැරදි පිළිවෙත් වන්නේ මෙහිදීය. මෙතෙක් ජාතිවාදයට විරුද්ධව ඉදිරිපත් වන පොතේ සන්ධාන ප්‍රගතිශීලින් අනිත් පැත්ත හැරෙති.

රට පැන  සිටි 71 සගයෙක් ගමට යලි පැමිණෙයි. ඔහු හොඳින් ජිවත් වෙයි.  යුගයක් අවසන් වී ඇත.

 හෙන්රි වර්ණකුලසූරිය  කතෝලික ජන ප්‍රජාවකගේ සමාජ දේශපාලන පෙරලිය තම පොත් තුලින් ඉතා ශුර ලෙස විවරණයට හසු කරන බවත් එය අපක්ෂපාති බවත් මම සිතමි. මේ අපේ සිංහල සාහිත්‍යයේ තිබූ අඩුවක් පිරවිමකි. මම මුලින්  සිතුවේ  මංජුල වෙඩිවර්ධන මහතා ගේ බත්තලංගුණ්ඩුව ඒ අඩුව පුරවන බවයි. එය එසේ නොවන බවත්  බත්තලංගුණ්ඩුව වෙනම ආකාරයේ කෘතියක් බවත්  වටහා ගතිමි.  නමුත් කිසියම් ප්‍රතිශතයක් එම පොතටද වෙන් කල හැකිය.

කලා කෘතියකින් එල දක්වන්නේ අසම්පුර්ණ යථාර්තයක් යැයි දීප්ති කුමාර ගුනරත්න 2013 දී ලියා  තිබේ යයි සමන් වික්‍රමාරච්චි මෙහි සඳහන් කොට ඇත.  සමාජවාදී යථාර්ථවාදය විදහා දක්වන කෘතීන් සෝවියට් දේශය තුල අසාර්ථක වූයේ  ඒවා කොමියුනිස්ට් පක්ෂය හා සමාජය අතිශයෝක්තියෙන් වර්ණනය කළ හෙයිනි. එයින් මදක් බැහැරව ලියූ  අයිත්මාතව් වැනි,ලේඛකයන් කිහිප දෙනෙකුන් සිටිති.

යථාර්තය පිලිබඳ සම්පුර්ණයෙන් නොව යථාර්තය පිලිබඳ තමන්ගේ ප්‍රක්ෂේපණය කෘතියක  දක්වන්නට කතුවරයෙකුට හැකිය. විල්ලරවාඩිය හා දඩ කඳවුර ඒ ප්‍රක්ෂේපණය සාර්ථකව ඉටු කර ඇත.

නවක වදයට ප්‍රතිගාමී ලෙස සහය දෙන හෙන්රි ගේ වර්තමාන දේශපාලන ස්ථාවරය කුමක් දැයි මම නොදනිමි.  "වධ කඳවුර" වැනි පොතකින් අනතුරුවත් ඔහු නවක වදයට සහය දක්වන්නේ කෙසේද යන්න  නම් මට සිතා  ගැනීමට අපහසුය.

වර්ෂ 19771 සිට 1994 දක්වා වූ  යුගය මොන නමකින් හෙන්රි නම් කරන්නේදැයි මම නොදනිමි. එහෙත් විවෘත ආර්ථිකය හමුවේ විල්ලරවාඩිය  වෙනස් වූ අයුරු දකින්නට මම  උදක් බලා  සිටිමි.

ප.ලි.
මේ පොත් ගැන රසික සුරිය ආරච්චි ඔහුගේ බ්ලොගයේ  ලියා තිබේ.  රසිකගේ අදහස බොහෝවිට මට සමපාත වුවද මෙය ලිවීමේදී ඔහුගේ ලිපිය ගැන මට මතකයක් තිබුනේ නැත.  ඔහු ඒ ගැන පෙන්වා දුන් පසු එය මෙතැනට  ඇතුලත් කලේ ඔහුගේ ලිපිය නැවත කියවා බැලූ සමාන අදහසක් මටද පැන නැගුන බව  පැවසීමටය. මට කීමට අවශ්‍ය වූයේ කතෝලික ජන ප්‍රජාව ගැන මා  දන්නා ප්‍රමාණය අඩු බවත් , වික්‍රමසිංහ, අමරසේකර වැනි මහතුන් ලිව්වේ එක ජනතා කොටසක් ගැන පමණක් බවත් ඉස්මතු කිරීමටය.
 - රසික ගේ ලිපිය 

41 comments:

  1. වරක් ස ර ස තුමා ගේ කොමෙන්ටුවකට ප්‍රතිචාර දුන් හෙන්රි කී දෙයක් මතක් කරන්න කැමතියි....

    //නොකී කතා ලියන්නෙ බොහොම අවංක හැඟීමෙන්. කාවවත් සතුටු කරන්නවත්, හෙළා දකින්නවත් නොවෙයි. ඒකයි එහෙම දැනෙනව ඇත්තෙ.//

    ඉතින් හෙන්රි ගේ ලියවිලි වල ඇති අව්යාජ බව අහන්නත් දෙයක් ද......

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. යකෝ සරසත් මේවා කියවනවානේ.

      Delete
    2. කොච්චිකඩේ වාසය කොරමින් වෙන්නප්පු රෝහලක සේවය කල කාලයක් තිබුනා....ඔයි පලාතේ අටෝරාසියක් පල්ලි වලට ගොස් නරඹා තිබෙනවා.... පල්ලි මන්ගල්ල කීපයකට ම සාබාගී වී තිබෙනවා.... එම නිසා හෙන්රි විස්තර කරනා කතෝලික සමාජය මට බොහෝ හුරු පුරුදුයි.....

      බයි ද වේ අජ්ජෝ.... කවුද මේ "යකෝ සාරස" ?

      Delete
    3. @S r,

      18 පාලියෙ එකෙක් ?

      Delete
    4. "යකෝ,...සා රස ත් මේවා කියවනවානේ යනුවෙන් වෙනස් විය යුතුය. " යකෝ යනු මා මිත්‍ර යකාට කරන ආමන්ත්‍රණයයි.

      Delete
  2. //කැඩුන මහන මැෂිම් හැදීම පින් ලැබෙන රස්සාවක් විය යුතුය//

    අටමෝ මෙන්නෝ ..........

    ReplyDelete
    Replies
    1. ඇයි මොකෝ අටමට කතා කරන්නේ?

      Delete
    2. හැක, හැක, මටත් අටම්ව මතක් වුණා එතැනදී!

      පොතේ සීන් එකක් නිසා නොවේ (පොත තවම කියවා නැත!). අජිත්ගේ වැකිය නිසාය.

      Delete
    3. හේ හේ , මේකට අහු වුනොත් මගේ ඔලුව පලයි අර විජේතුංග අයියට කියල.

      Delete
  3. මේ පොත කිියවලා නෑ.. මේ විස්තරේ හැටියට කියවන්න ආස හිතුනා...
    ඇත්තටම දෙමල, මුස්ලිම් කතෝලික පැත්තෙන් ලියවෙච්ච පොත් අඩු නිසා ඒව කියවන්න ලැබෙනවානම් ගොඩක් හොඳයි....

    අජිත් අයියා කියුවෙ නෑනෙ අර ද්‍රෝහියාගේ දියණිය පොත ගන්න තැන ගැන...

    ReplyDelete
    Replies
    1. අපට සාහිත්‍ය කෘතියකින්, චිත්‍රපටියකින් ඉගෙන ගන්න පුළුවන් දේ හුඟක් තියනවා නේද. ද්‍රෝහියාගේ දියණිය නුගේගොඩ සරසවි පොත් හලේ තිබෙනවා.

      Delete
    2. ස්තුතී අජිත් අයියේ...

      Delete
  4. මේ පොත කියවා නැතත් ඔබේ රසවත්, හරබර සටහන නිසා පොතේ අන්තර්ගය ගැන යම් අවබොධයක් ලැබුනා...මම හිතන්නේ මේකේ අන්තර්ගතය වන්නේ ශ්‍රී ලංකික ජන සමාජය ගැන එක් කාල සීමාවක් තෝරාගෙන කරපු සියුම් අධ්‍යයනයක් විය යුතුයි...ඒ වගේ කෘතියක් වින්දනය කරන්න වාක්‍ය එකින් එක ගැඹුරින් හදාරන්න ඕනේ කියලයි මට නම් හිතෙන්නේ...එක පැත්තකින් අපිට මුණ ගැහී නැති එහෙත් මේ සමාජයේ වෙසෙන මිනිස්සු ගැන හදාරන්න අවස්ථාව ලැබෙනවා...ඒකත් හරියට අපි බොහෝ පිරිසක් ඉන්න තැනකට ගිහින් ඔවුන්ව නිහඬව නිරීක්ෂණය කරලා ලබන අත්දැකීම වගේ දෙයක්...ඒ වගේ කෘති වින්දනය කරන්න බොහෝ ඉවසීමක් අවශ්‍යයි...ඒ වගේම හැමදේම ගැන සියුම්ව විශ්ලේෂණය කරලා විඳින්න කැමති කෙනෙක් වෙන්නත් ඕනේ...

    සාමාන්‍ය නවකතාවක් බොහෝ විට කථා කරන්නේ මිනිස්සුන්ගේ හැඟීම් වලට..මේ වගේ කෘති කථා කරන්නේ මිනිස්සුන්ගේ බුද්ධියට...මට හිතෙන්නේ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මම පලමුවතාවට කියවාගෙන ගියා . ඉන්පසු දෙවැනි වටහ්වට නැවත කියෙව්වා. ඔබගේ අදහසට එකඟයි .

      Delete
  5. මට හිතෙන්නේ වික්‍රමසිංහට වඩා ගැඹුරින් කේ ජයතිලක සමාජය දුටුවා

    ReplyDelete
    Replies
    1. මේකේ සත්‍යයක් තිබෙනවා කියල මටත් හිතෙනවා. කේ ජයතිලක මහතාගේ පරාජිතයෝ, අප්‍රසන්න කතාවක් , කාලෝ අයන්තේ හෙම බැලුවහම. නමුත් වික්‍රමසිංහ මහතා සහ අමරසේකර තමා අර යුගයන් ගැන ලිව්වේ. හෙන්රිගේ පොතත් ගැලපෙන්නේ එතනට.

      Delete
  6. හෙන්රිගේ විල්ලරවාඩිය කියවද්දී මට දැනුනු මූලික හැඟීම මා මගේ ලිපියේ හැඳින්වූයේ ආගන්තුක චමත්කාරය යන නව යෙදුඟෙනුයි.

    සාමානේ‍යයෙන් බටහිර සහ විශෙෂයෙන් රුසියානු නවකතා කියවීමෙන් ලැබෙන එවැනි ආගන්තුක චමත්කාරයක් සිංහල පොතක් හරහා මා මුලින්ම රස වින්දේ වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව කියවන විටය.

    මෙන්න මා විල්ලරවාඩිය ගැන ලියූ ලිපිය-
    https://rasikalogy.blogspot.com/2015/09/henry-warnakulasuriyas-villaravadiya.html

    .

    ReplyDelete
    Replies
    1. රසික මගේ ලිපිය ඔබේ ලිප්යේ අනුසරයක් යැයි මතයක් එන්නට ඉඩ ඇති නිසා එයද ඇතුලත් කරමි. ඔබේ අදහස් වලට සම්පුර්ණයෙන්ම එකඟය.

      Delete
    2. බත්තලන්ගුණ්ඩුව වෙනත් ආකාරයක පොතක්.

      Delete
  7. අජිත් ඔබ මෙහි ගුණදාස අමරසේකර ගේ පොත්වල එන සමාජ විශ්ලේෂණය ගැන ලියා ඇති දේ නම් අලුත් භාෂාවෙන් කියනවා නම් ලොල් සහගතයි.

    මුල් කෘතිවල කෙසේවෙතත් ඒ ගමනක සීරීස් එකේ අවසාන පොත් නම් ඒක පාර්ශවිකව ලියවුණු වාර්තාමය පල් හෑලි පමණයි නේද?

    අමරසේකර ඒ අවසාන පොත් කිහිපයේ දී කෙලන කෙප්ප සහ නොකායා මග හරින අප හොඳින් දන්නා දේ අනුව, අප නොදන්නා කාලය ගැන ලියවුණු ඔබ සඳහන් කර ඇති "ගමනක මුල, ගමනක අග, ගම් දොරෙන් එලියට" වැනි පොත්වල මොන කෙප්ප නොතියේදැයි කිව හැකිද?

    ReplyDelete
    Replies
    1. අවසන් හරියේ ඔහුගේ ජිතික චින්තන පොත් පෙළ නලින්ද සිල්වා මහතා වැටුන වල තරම්ම ගැඹුරු බව ඇත්ත. නමුත් ඔහුගේ මුලික් පොත් හොඳයි. කියවා බලන්න. පොත වල තියෙන්නේ ප්‍රබන්ධ මිසක් ඇත්තම නෙමේනේ. සමාජ දේශපාලන විවරණයන් හැටියට නේ ඒවා ගන්න ඕනේ. ඒ අතින් කෙප්ප කියල කියන්න බැහැ.

      Delete
  8. /*.......හෙන්රි ගේ වර්තමාන දේශපාලන ස්ථාවරය කුමක් දැයි.....*/

    මුලින් තැන වෙන් කරගෙන පසුව උත්තරයක් ලියන්නම්.

    ReplyDelete
  9. විචාරකයෙක් ගුරුකුලකලයකට නතු වුනාම ඒ යකා විචාරකයෙක්ද කියන ප්‍රශ්ණය මට නම් තියෙන්නේ ඉස්කෝලේ යන කාළේ ඉඳලා. ඒ කියන්නේ ඒකෙත් තියෙනවා ප්‍රමිතින්, නීතී රීතී, මිනුම් දඬු. ලියන එකාට නිදහස් චින්තනයකින් ලියන්න ඉඩ නෑ. අපේ විචාරවලට වෙලා තියෙන්නේ උන් ලියන්නේ කැම්පස් එක විචාර කලාව ඉගෙන ගත්ත උන්ට. එහෙම ලියලා කී දෙනා අතරටද යන්නේ. රාවය විකිනෙන්නේ නැති හේතුව ඒකයි. අපි බලෙන් පත්තරේ ප්‍රමෝට් කරත් ඒකේ තියෙන ඒවා තේරෙන්නේ නෑ කියලා හැම එකාම කියන්නේ. ඕක කියවන උන්ටත් ඒ කියලා තියෙන ඒවා තේරෙන්නේ නෑ. හැබයි කියවනවා කියලා ළොකු කම පෙන්නන් අරක බලුවේ නද්ද, මේක බැලුවේ න්/ද්ද කියලා අහනවා.

    පොතක්, ගීතයක්, චිත්‍රපටියක් තියා ඕනෑම කළා නිර්මාණ්යක් මිනිස්සුන්ට ගෝචර කරන්න බලෙන් බෑ. ඒක මිනිසුන්ගේ හදවත් වල තැන්පත් වෙන්න ඕන. හැබයි මෙහෙම දේකුත් තියෙනවා. මිනිසුන්ගේ මොළ සෝදාකරණයකට ලක් කොට, කිසියම් මතයක් හා දර්ශණයක් ඔවුන්ගේ හිස් ඔළුගෙඩි තුල තැන්පත් කිරීමක් කරන්නත් පුළුවන්. හැබයි ඒක රසිකත්වය නෙමෙයි. ඒකට කියන්නේ බලහත්කාරය කියලා. කොටින්ම ලිංගික එක්වීඅක් වගේ. හැබයි වැඩේ තියෙන්නේ බලහත්කාරයෙන් ලිංගිකව එක් වීමෙන් සතුටක් ලබන පිරිසකුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. දැන් මෙතන බලහත්කාරය මොකද්ද බං ?

      Delete
    2. මේක නම් මගේ නරක කාළයක්ද කොහෙද... උඹගේ එකක් ගැන නෙමෙයි බං.. හැම එකාම වගේ මමත් කතා කලේ රන්ජන් අමරරත්න සහ මේ රටේ මහා විචාරකයෝ කියලා හිතාගෙන ඉන්න අය ගැන.. උඹ වරලත් විචාරකයෙක් නෙමෙයි නේ..

      Delete
    3. ෂමා වෙන්න. ෂමා වෙන්න. අපිත් කැමතියි නේ එතෙන්ට යන්න. හේ හේ මන් හිතුවේ උඹ විචාරකයන්ට බැනලා මාවත් එතනටම අල්ලලා තද කෙරුව කියල. මේක නම් නරක කාලයක් තමා. උඹ කියන ඒවා අපට නොතේරෙන්නේ. සුස්තියක් ඇද්ද නම් හරියයි. නැත්නම් බියර් එකක් වත් බීපන්.

      Delete
  10. //සමහරෙකුට මේ පොත් දෙක නිකම් ජන ගැන වාර්තාවක් හැටියට පෙනී යා හැකිය.//

    මං ඉතිහාස පිස්සෙක් නිසා ජන ප්‍රජාවක ඉතිහාසය පමණක් තිබුනත් ආසයි. වෙන පණිවුඩ විශ්ලේෂන නිගමන නැති ඉතිහාසය පමණක් තිබෙන ප්‍රබන්ධ පොත් කියවන්න කැමතියි.මා කියවා ඇති ප්‍රබන්ධවලින් වැඩි කොටසක් අයිතිහාසික නවකතා නිසා මට ඒවාගේ විවිධ ස්ටයිල් ගැන අදහසක් ඇත. හෙන්රි හොඳ අයිතිහාසික නවකතාකරුවෙක් වෙන්නේ තමන්ගේ මතයන් හෝ අදහස් /නිගමන ඉස්මතු නොකර ඉතිහාසය වාර්තා කිරීම කරන නිසාය. මා දඩ කඳවුරට වඩා විල්ලරවාඩිය රස වින්දේ එහි කාලය වඩා පරණ නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔව්. හෙන්රි ඕනෑවට වැඩ දේශපාලනය මතු කර නැහැ. නැත්තෙත් නැහැ. එසේම පක්ෂපාති වෙලත් නැහැ.

      Delete
  11. ඔය මනුස්සයගෙ පොත් විචාර නම් මහ පිස්සු. එයාම හදාගත්ත නිර්ණායක වගයක් තියනව නවකතාවක් මෙහෙම වෙන්න ඕන, කෙටිකතාවක් මෙහෙම වෙන්න ඕන කියල. ඒ විදිහට ලියවිලා නැත්තං පස් පඩංගුවෙ බණින එකයි කරන්නෙ එයා...හෙහ්,හෙහ්,

    හැබැයි එකක් තියනව. අර කාලගුණෙං වහින්නෙ නෑ කිව්වම අනිවාර්යයෙන් කුඩයක් අරගෙන දොට්ට බහිනව වගෙ මෙතුමා බැණ අඬගහන බහුතරයක් පොත් මම ගන්න එකත් ගන්නව..

    ReplyDelete
    Replies
    1. එකෙනෙඋථ් පොත් විකිණෙනවනේ.

      Delete
  12. .....ඉන්පසු සතියකට හමාරක් සිය දුවනියන් ලොකු අම්මලාගේ ගෙදර පිටත් කරන්නීය. ඒ හැම අවස්ථාවකම මහන මැෂිම ද කැඩී තිබුනේය.

    අටං කරන්නේ පින් ලැබෙන රස්සාවක් විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මම එහම එකක ලියල තිබුනද. ඔය හෙන්රි ලියපුවනේ. (අන්තිම වාක්‍යය හැර) :)

      Delete
  13. boss, where's the continuation of first love story?

    ReplyDelete
    Replies
    1. ලියන්නම්. බොහොම ස්තූතියි ඇහුවට. දැනට කියව ගෙන යනවා නවතැහැ වැරදි හදන්න.

      Delete
  14. ගන්න ක්‍රමයක් තිබුනෙ නැති නිසා දඩ කඳවුර තාම කියවන්න ලැබුනෙ නෑ.ගත්තාම ආපහු විල්ලරවාඩිය කියවන්න වෙනවා දැන් ඒ කතාව අමතකයි නොවැ.මේ වගේ මිස් වෙන පොත් බර ගානක් ඇති අප්පා.අජිත් ඔබ ලියු පොත් අපට ගන්න ක්‍රමයක් නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඇමේසන් එකේ මෙතන දැම්මා.
      https://www.amazon.co.uk/Polkatten-Epitata-Ajith-Dharmakeerthi/dp/9551558707/ref=sr_1_1?ie=UTF8&qid=1466686103&sr=8-1&keywords=polkatten+epitata
      මම ගාන තව අඩු කරන්නම්. පෝස්ට් කරන්න යන ගාන වැඩි වීමයි ප්‍රශ්නය. ලන්ඩන් වලින් හෝ ලංකාවෙන් එවන්නම් ලිපිනය දුන්නොත්. තැපැල් ගාස්තුව ගෙවන්න පුලුවන්ද. පොතට ගෙවන්න අවශ්‍ය නැහැ.

      Delete
    2. ලංකාවෙ bookyourbook.lk එකට දැම්මනන් හරි.....

      Delete
    3. කොහොමද ගාස්තු ගෙවන්නෙ??

      Delete
    4. ඕස්ට්‍ර්ලියාවේ නම් තැපැල් ගාස්තු භායානක ළෙස දැන් ඉහල ගිහින්. ඒ මිනිසුන් ඉස්සර තරම් ලියුම් එවන්නේ නැති වුනත්, පෙර වගේම සේවාව පවත්වාගෙන යා යුතු නිසයි.

      මීට වසර 20 කට පෙර ශත 40 ක් වූ සාමාන්‍ය ලිපියක් දැන් ඩොලරයයි.

      මං මේ ලඟදී කැනඩාවට සහ සවුදියට මගේ සිව් වසරක් මරදානේ පොත බැගින් ්‍රැව්වා. එක පොතකට තැපැල් ගාස්තුව ඩොලර් 7 ක් ගියා!

      හැලපේට හොඳම වැඩේ පොත ලංකාවෙන් ගන්න එක!

      Delete
  15. "දඩ කඳවුර" නම් කියවන්න තාමත් අවස්ථාවක් ලැබුනේ නැහැ.නමුත් "විල්ලරවාඩිය" නම් කියවා තිබෙනවා.රසිකද "විල්ලරවාඩිය"කෘතිය ගැන කියා තිබෙන පරිද්දෙන් මටද ඒ කෘතියේ තියෙන පරිසරය සහා කතාවේ ආගන්තුක ස්භාවය ගෙනාවේ මිහිරක්. චරිත ගොඩක් "විල්ලරවාඩිය" පුරා තිබුනත් කිසිදු චරිතයක් වීරත්වයට නගා නැතිවීමත්,හැම චරිතයක්ම අපිට එදිනෙදා හමුවෙන චරිත තුලින් ගොඩනගා තිබීමත් "විල්ලරවාඩිය"තුල දකින්න පුළුවන්.

    "දඩ කඳවුර" කියෙව්වාට පස්සේ මේ පොත් ද්වත්වය ගැන මමත් ලියන්න හිතන් ඉන්නේ.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.