Tuesday, 22 November 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (10) - ඔහුගේ කාමරේ

නමවන කොටස

ඔවුන් දෙදෙනා උදයේ ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් එලියට එනවිටත් කිසිවෙක් අවදිව සිටියේ නැත. ඒ සෙනසුරාදා නිසාය. දවල් වනතුරු නිදා ගැනීම බොහෝ සිසුන් කරන දෙයකි. උමං දුම්රියේදී තාන්යා කලේ ඇගේ හිස ඔහුගේ උරය මත තබාගෙන ඔහු වැළඳ ගෙන සිටීමයි. ඉඳහිට ගිහාන් ඔවුන් පසුකර යන ඇතැම් දුම්රිය පලක් ගැන හැඳින්වීමක් කළේය. මොස්කව් උමන් දුම්රියපළවල් ස්ටාලින්ගේ කාලයේ හැදු ඒවාය. මේවයින් බොහොමයක් ඉතා පියකරු ලෙස නිමවා තිබේ. ලන්ඩනයේ තිබෙන උමං  දුම්රිය පලවලට වඩා  පිරිසිදුය. ගිහාන් එයට හේතුව කුමක්ද කියා කල්පනා කරමින් ගියේය. සමහරවිට සංචාරකයන් ලන්ඩනයේ වැඩිවීම විය හැක.
උමං  දුම්රිය පලක් - පින්තූරය අජිත් 

 ගිහාන්ගේ නේවාසිකාගාරයට යන මග ගස්වැල් එළඹෙන ශීත සෘතුවට සූදානම් වෙමින් තිබේ. තවමත් වටපිටාවේ ග්‍රීෂ්ම සෘතුවේ උණුසුම තිබුනත් කොළ හැලෙන්නට මෙන්ම කොළ වල පාට වෙනස් වීමද ඇරඹි ඇත. කහ, රෝස, ලා  දුඹුරු හා කොළ පාටින් ගස් වැසි ගොස්ය. උදෑසන හිරු එළියෙන් චමත්කාරවූ මාවතේ ඇවිද යන තමන්ගේ සිත ආහ්ලාදයෙන් හා අමුතුම උන්මාදයකින් පිරී ඇති බව ගිහාන්ට සිතේ. තාන්යා ටද එය බෝවී ඇත. ඇය යන ගමන් ගසක අත්තක් අල්ලාගන්නට මෙන් උඩ පනිමින් යන්නී, හදිසියේ හැරී කුඩා දැරියක මෙන් ඔහු වෙතට පැමිණ උරයේ එල්ලෙයි.  එසේ පැමිණ හැම වතාවකම ඔහු ඇගේ මුදු දෙතොල හෝ රත් පැහැ කම්මුල් සිඹීය.

"බඩගිනිද ස්තලෝවයා (කැන්ටිම) එකට රින්ගමු නේද?"
ගිහාන් ඇගේ කණට කොඳුළේය.
"මොකද කොඳුරන්නේ" - තාන්යා ඔහුගේ මුහුණ  නහයෙන් තල්ලු කළාය.

"මොකද හොම්බෙන් තල්ලු කරන්නේ"
 ගිහාන් තරහ මුහුණක් පෑවේය. කැන්ටිම තුලට ගිය තාන්යා උදය ආහාරයට දෙන දිය කිරි බත් දෙකක් හා කිරි කෝපි  දෙකක් ගෙනාවාය. ලංකාවේ කිරිබතට  වඩා වෙනස් මෙය කාශා (කැඳ) නමින් හැඳින්වේ. හුණු හාලේ කැඳ වලට කිරි දමා සීනි දමා ගත් විටක මෙනි.  තාන්යා එයට කැමති බව ගිහාන් දනී. ගිහාන්ට ඒ මදිය. ඔහු නැගිට ගොස් මස් දැමු පිරශ්කි කිහිපයක් ද ගෙනාවේය.

උදයේ කාමරයට යනවිට සුහද හා මරියා තවම නින්දේය. දොර හෙමින් හැරියද සුහද නැගිට්ටේය . මරියා ඈලි මෑළි කඩමින් අනිත්පසට හැරුණාය.
"මචං අපි අතනට ගිහින් රෙදි හෝදගෙන එන්නම්. දැනටමත් නමය පහු වෙලා."
ගිහාන් සුහදට කෙඳිරුවේය.
"අම්මට හුඩු රෙදි හෝදන්නත් යනවද එකට. මේකෙන් ගැලවෙන්න ලේසි නෑ උඹට පුතේ "
සුහදයා බැරෑරුම් ගතියක් පාමින්  කීවේය . ඌ හැම විටම අම්මට හුඩු යයි කියයි.සුහද ගේ විහිළුව හිනාවෙන් භාර ගත් ගිහාන් තමන්ගේ කිලිටි රෙදිද බෑගයකට දමාගෙන එළියට පැමිණියේය.


රෙදි සෝදන තැන පිහිටියේ ටිකක් ඈතට වෙන්නට සාමාන්‍ය ජනතාව වෙසෙන රජයේ නිවාස සමූහයක් අසලය. මෙය තරමක් විශාල ලොන්ඩරියකි.  දරුවකු සිටින එහෙත් සැමියන්ගෙන් වෙන්වී ජිවත් වන තරුණ මව්වරු (single mothers) ගැවසෙන තැනක් හෙයින් සමහර පිරිමි සිසුන් මේ පැත්තේ කරක් ගසන බව ගිහාන් දනී.

තාන්යා ඇඳුම් ගොනුකර ලොකු බැරලය වැනි මැෂින් එකට දමා කොපෙක් විස්සක් දමා එය පණ ගැන්වූවාය. ඔවුන් දෙදෙනා අසල බැංකුවක හිඳ  ගත්තේ එකිනෙකාට තුරුළු විය.

අසල බංකුවක සිටින බාබුෂ්කලා (ආච්චිලා ) තිදෙනෙක් ඔවුන් දෙස සිනාසෙමින් බලන බව දුටු තාන්යා  ඔවුන්ට "ස්ද්‍රස්ත්විතියේ" කියා ආචාර කලාය . ගැහැණු තිදෙනා ඔවුන් වෙතට විත් කයියකට සුදානම් විනි.

මේ විශ්‍රාම ගිය රුසියානු බාබුෂ්කලා ඉතා කරුණාවන්තය. වරක් ශීත සෘතුවේ බසයක් එන තෙක් අසල තාප්පයක සීතලේ ගැහෙමින් ඉඳගෙන සිටි ගිහාන් වෙතට පැමිණි බාබුෂ්කා කෙනෙක් ගිහාන් එතනින් බිමට ඇද දැමුවාය. ඉන්පසු ඇගේ  බෑගයේ තිබු රෙද්දක්  ගෙන  නවා ඔහුට එය උඩ ඉඳ ගැනීමට අණ කලාය. ඇය ඔහුට කිවේ පස්ස බිම තබාගෙන සිතලේ ඉඳගෙන සිටියොත් ලෙඩ වන බවයි. බසයට ඔහු සමග ගොඩවුණු  ඈ තවත් නොයෙකුත් අවවාද  දුන්නාය. ගිහාන් සිනා මුසු මුහුණින් ඒවා ඉවසා සිටියේය.

නේවාසිකාගාරයේ දී වැඩිහිටි සිසුන් පැවසුවේ බාබුෂ්කා ගේ කතාව සත්‍යයක් බවය. දැඩි ශීතලේ එසේඉඳ  ගැනීමෙන් කොන්දේ අමාරු සෑදෙන බව ඔවුහු අනුමත කලහ.

බාබුෂ්කලා පෙම් යුවලට කැමැත්තක් දැක්වූහ. එකියක් ගිහාන්ගේ අත අල්ලා බැලුවාය. තම දුඹුරු සමට  ඔවුන් ඇලුම් කරන බව ගිහාන් දැන  සිටියේය. විස්තර කතා කරමින් සිටි එකියක් තාන්යා ගැබ්බර දැයි ඇසුවාය. ඇය විලියෙන් රතුවුණු බව ගිහාන් දුටුවේය. හිටපු ගුරුවරියක් වන අනිත් බාබුෂ්කා හතු හා බත් කලවම් කර සෑදු පිරශ්කි ගෙන සියල්ලටම කෑමට දුන්නාය. ඔවුන් තිදෙනාම එකහෙලා කියා සිටියේ ගිහාන් හා තාන්යා විවාහ වී ලස්සන, දක්ෂ  දරු මල්ලන් සැදිය යුතු බවයි. මේ මේ කතාව පොල්ලෙන් ගැහුවාක් මෙන් දැනුනු බව ගිහාන්ට සිහි විය. නමුත් කතාබහ මුළුල්ලේම ගිහාන්ට තුරුළු වෙමින් සිනාවෙමින් සිටි තාන්යා ගේ රුව ගිහාන්ට අද මෙන් මතකය.

රෙදි හෝදා වේලාගෙන ඔවුන් නේවාසිකාගාරය බලා පිටත් වුහ.
"අද බත් උයන්නම්. ඔයා කාලම නැහැනේ අපේ කෑම. ටිකක් සැර වුනාට කමක් නැහැනේ. සුහදටයි තව යාලුවෝ දෙන්නෙකුටයි  එන්න කියමු. "
"ඔයා දෙන ඕන කෑමක් කනවා. වස දෙන්නේ නැහැනේ මට" තාන්යා ඔහුගේ දෑතේ වෙලෙමින්  කීවාය.
 


laundrette  pictue from http://starkwhite.blogspot.co.uk/2012/08/russian-artist-installs-soviet-style.html

මේ කතාව  පරිවර්තනයක් නොව මගේ නිර්මාණයකි.  සියළු නම් ගම්  මනඃකල්පිතය.

ප ලි - උමන් දුම්රිය පලේ පින්තුරය මෙවර රුසියාවට ගිය අවස්ථාවේ ගත්  එකකි.

32 comments:

  1. මේ කතාවේ මුල් කොටස් ටික ඔක්කොම මිස් වුණා. නිදහස් වෙලාවක මුල ඉඳන් කියවන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේ තමයි... මෑත කාලයේ කියවන්න බැරිවුණ බ්ලොග් ඔක්කෝම දැන් ටික ටික කියවනවා.... අර භෞතිකවාදය ගැන ටිකනං කියෙව්වා

      Delete
    2. ස්තූතියි දෙන්නටම. භෞතික වදේ තවම ඉවර නැහැ. පොඩි මානසික විවේකයකට මේක පටන් ගත්ත ආයේ. ඒ ලිපි පෙලට සෑහෙන්න වෙහෙස වෙන්න ඕනේ.

      Delete
  2. කතාව අස්සේ ඒ රටේ විස්තර දැනගන්නට ලැබීම අගෙයි. "කාශි" වගේ කැඳ වර්ගයක් අපේ අම්මත් හදනවා. ඒකට සුදුළුුණු දෙක තුනකුත් රත් කරපු අබ ටිකකුත් දානවා. සීනි දාන්නේ නම් නෑ. ඒත් පැණි රහට හුරු රහක් තියෙන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කාශ - අබ දාපු කැඳ එකක් අපේ අම්මත හදල දීල තිබෙනවා. දැන්නම් දන්නේ නැහැ හදන්න. මෙහෙ යෝගට් කෝප්ප වගේ ඔය පැණි රහ මිල්ක් රයිස් එක තියනවා. නමුත් රුසියානු එක තරම් හොඳ නැහැ.

      Delete
  3. අජිත් මගේ කතාවෙන් පරිච්ඡේදයක් ලියලා, අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අර ඒකාලේ හැම අවුරුද්දේම නිව් ඉයර් ඊව් එකට පෙන්වන Ironiya sudby, ili S legkim parom! චිත්‍ර‍පටියේ වගේ සමාජවාදය යටතේ ප්‍රොෆයිල් එක සමාන අය කොහේ හිටියත් ඒ හැමොටම තිබ්බේ එක වගේම අත්දැකීම් නේද?

      Delete
    2. එහෙමත් එකක්ද? සමහර විට මටත් එහෙම හැඟෙනවා. සමහර අත්දැකීම් හුඟක් විට සමපාත වෙන්න පුළුවන්. මේ ලියන්නේ මගේ අත්දැකීම් ම නෙමේ. මේ ප්‍රබන්ධයක්. ඔන්න ආයේ නොකිව්වා කියන්න එපා. :)
      මරු ෆිල්ම් එක . ඔන්න ආයෙත් බලන්න
      http://www.dailymotion.com/video/x1urcgk_the-irony-of-fate-1976-pt-1_creation

      Delete
    3. හා හරි එහෙනම් මේ ප්‍ර‍බන්ධයක්මයි කියමුකෝ :)

      ෆිල්ම් එක ආයේ බැලුවා මාස කීපයකට පෙර, අළුත් කොටස් කිපයක් ඇවිත් පරණ රස නැතත් සමාජ ක්‍ර‍මයේ වෙනස්වීම පිළිබිඹු වෙනවා.

      Delete
    4. මාත් බලන්න ඕනේ. මතක් කෙරුවට ස්තූතියි.

      Delete
  4. අද තමයි මේ කථාව බැලුවේ. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මුල ඉඳන් කියෙව්වද? ස්තූතියි

      Delete
    2. නෑ තවම මේ කොටස විතරයි. මුල් ටිකත් බලන්නම්.

      Delete
  5. දැන් මේක අමතකත් වෙලා.. එක දිගට නොලිව්වම, ටෙලිනාට්ටි වගෙ වෙනවා...

    ReplyDelete
    Replies
    1. මේ යන්නේ දෙවන සීරිස් එක බං

      Delete
  6. කතාවේ අවසානය ගැන මේ කොටසෙන් පොඩි අදහසක් ඔළුවට ආවා...

    ReplyDelete
    Replies
    1. මට හොඳටම සුවර් ඔය හිතන විධිහට නෙමේ ඉවර වෙන්නේ කියල. කොහේ හරි ලියල තියන්නැ.

      Delete
  7. අජිත්,

    ඔහේ ඇවිල්ලා ලජ්ජා නැති මිනිහෙක්. අන්ත දක්ෂනාන්ශික එක්සත් ජාතික පක්ෂයේ ඉත්තෙක්‌. තමුසෙට දැන් සතුටුද? ධනපතියන්ගේ පස්ස ලෙවකන අජිත්. මේ ධනපති ආණ්ඩුව ගෙන්න දඟ දෑවා. දැන් ආණ්ඩුව දුප්පතුන්ට බදු ගහනකොට උඩ බලං ඉන්නවා. ධනපතියන්ට කඩේ යන අජිත් ධර්ම වැන්නවුන් හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. හා මචං.
      මේ ආණ්ඩුව ගේන්න මම කරපු දේවල් එකින් එක විස්තර කරලා ලිපියක් දාන්න . මාත් ඇවිල්ල කොමෙන්ට් කරන්නම්. හැම ආණ්ඩුවම බදු ගහනවා. සමාජවාදීන් බදු ගහන්නේ නැහැ කියල කවුරු හරි කීවද?

      Delete
  8. // කහ, රෝස, ලා දුඹුරු හා කොළ පාටින් ගස් වැසි ගොස්ය. උදෑසන හිරු එළියෙන් චමත්කාරවූ මාවතේ ඇවිද යන තමන්ගේ සිත ආහ්ලාදයෙන් හා අමුතුම උන්මාදයකින් පිරී ඇති බව ගිහාන්ට සිතේ. තාන්යා ටද එය බෝවී ඇත. ඇය යන ගමන් ගසක අත්තක් අල්ලාගන්නට මෙන් උඩ පනිමින් යන්නී, හදිසියේ හැරී කුඩා දැරියක මෙන් ඔහු වෙතට පැමිණ උරයේ එල්ලෙයි. එසේ පැමිණ හැම වතාවකම ඔහු ඇගේ මුදු දෙතොල හෝ රත් පැහැ කම්මුල් සිඹීය.//

    හම්මේ මෙහෙම යන්න තිබ්බානම් කියලා හිතුණා :P
    ලස්සන ප්‍රේම කතාව. දෙන්නව වෙන් කරන්න නම් එපා :D

    ReplyDelete
    Replies
    1. කණගාටුයි නනගියේ කතාව ලියල ඉවරයි. මේකට දාන එක විතරයි තියෙන්නේ. හමුවෙන ඕන කෙනෙක් කවදාහරි වෙන් වෙනවා කියල හිතා ගන්න. වෙන් වෙන විධිහ තමයි අපි කවුරුත් දන්නේ නැත්තේ.

      Delete
    2. උපුටා ගෙන් ප්නෙවන නිසා හිතුන ලිව්වා හොඳයි කියල.

      Delete
  9. මෙදා සැරේ දිගටම ලියපං හරිද. කතාව අමතක වෙලත් තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. අර උඹේ කතාව වගේ. එක ඉවරද කියල බලන්න බැරි වුනා . ඒ පැත්තේ එන්න ඕනේ.

      Delete
  10. මම හරිම ආසාවෙන් කියවන කතන්දරයක් අජිත්..ඔබ එය හරිම තාත්විකව ලියනවා

    ReplyDelete
    Replies
    1. පොකුරු හදවටැහැ සනහාලන ප්‍රතිචාරයක් දැම්මට ස්තුතියි.

      Delete
  11. අගෙයි..කතාවේ මුල ඉදන්ම එන්න ඕනෙ

    ReplyDelete
  12. මේකයි අජිත් අයියා කේස් එක... දැන් ලංකාවේ උන්ට මෙගා නාට්‍ය විතරයි පුරුදු..... එක දිගට සතියම යන්න ඕනේ........ එහෙම නැති වුණා ම අනික් සතිය එද්දි අමතක වෙනවා...... වෙන එකක් තියා දැන් 7.30 හෝ 8.30ට බලන්න කතාවකුත් නැති තරමට මෙගා රට අල්ලලා.... ඔච්චරකල් බැලුව රූපවාහිණියත් දැන් පිස්සු කෙලිනවා..... ඒ නිසා දැන් අපි කරන්නේ 6.30ටත් නිවුස් බලනවා.7ටත් නිවුස් බලනවා.7.30ටත් නිවුස් බලනවා. 8ටත් නිවුස් බලනවා.... ඒකල්ලා ටීවී එක ඕෆ් ඔෆිස් එකේ වැඩ ඉවර කරලා නිදාගන්නවා.......

    ඔන්න රටට වුණ දේ.........

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.