Thursday, 24 August 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (16) - සෝවියට් විහිළු

මෙතෙක් කථාව:

ගිහාන් අදත් වඩාත්ම කැමති ගීතය වූයේ යූරි විස්බර් නමැති ගායකයාගේ "මීලයා මයියා " යන ගීතයටය. එහි තේරුම "දයාබරිය (හෝ දයාබරය)  මගේ " යන්නය.

එම ගීතයේ මුල් කොටස ඔහුට තවමත් කට පාඩම්ය. ඉන්පසුත්  කිහිප වතාවක්ම තාන්යා හා ලේනා  එම ගීතය ඔහු නිසාම ගැයුහ.

ගීතයේ මුල් පද ටික මෙසේය.

අපේ හැම හමුවීමක්ම අහෝ, විනිශ්චයකින්,  වෙන්වීමක්ය
රන් පැහැ පයින් ගස අසල දොළ නිහඬව ශෝකයෙන් ගලයි
කඳවුරු භුමියේ ඇවිලුණු ගිනි මැලයේ  පුලිඟු අළු වලින් වැසී ඇත
හැම දෙයක්ම අවසානය - වෙන්වන  මොහොත එළඹ ඇත

රුසියානු බසින්
ව්සියෙම් නාශිම් ස්ත්රෙචම් - රස්ලුකි උවි සුශ්දෙනි
තිහ් ඉ පෙචලෙන් රුචෙයි උ යන්තර්නෙය් සොස්නි
පෙප්ලෝම් න්යේස්මෙල්නීම් පදෙර්නුලිස් උග්ලි කස්ත්‍රා
වොත් ඉ අකන්චිලස් ව්ස්යෝ රස්තවත්සා පරා

ගීතයේ සමූහ ගායනා  කොටස (කෝරස් එක හෙවත් දෙතුන් වරක් කියවෙන කොටසේ)  අදහස මෙවැන්නකි.

"මගේ දයාබරිය සුන්දර කැලෑවේ හිරුපුංච
කොහේද මොන දේශයක ද ඔබ මා  හමු වූයේ"

(මීලයා මයියා සොල්නෙච්ක ලෙස්නොයේ
ග්ද්යේ ව් කකිහ් ක්‍රයාහ් ව්ස්ත්ර්තිල්ස්ය සම්නෝයු )


මේ ගීතය ගිහාන් ගේ හිතට තදින් වැදුනේය. "අප දෙදෙනා හමුවූයේ අහම්බෙනි. ඇය සිටින රට තමන් දැන් සිටින රට වුවත් තව වසර දෙක තුනකින් තමන් ඇය හැරදා  මව් බිමට යනු ඇත" ඒ දවස ගැන සිතීමට ඔහු බිය වූයේය.

ඉන්පසු ගීත කිහිපයක්ම ගායනා වුනි. ඒ අතරේ පඳුරු තැලෙන, ගස් අතු කැඩෙන ශබ්දයක්  මුලින්ම ඇසුනේ වලොද්යා ටය. වොඩ්කා බී  සිටියත්, උස් හඬින් සියල්ලෝම  කතා බහ කලත් ඔහුගේ තියුණු නිරීක්ෂණයට හා ශ්‍රවණයට  ගිහාන් මවිත විය.  "කේ ජි බී "කාරයෙක් වෙන්න නේ පුරුදු වෙන්නේ" ඔහුට සිතුනි. සියල්ලෝම නිහඬව සවන් දුන්හ. ගස් කොළන්  අතුරින් මතු වූ රුව මිලිට්සියා භටයෙකු හෙවත් සෝවියට් පොලිස් නිලධාරියෙකු ගේය. සෝවියට් පොලීසිය මහජන හමුදාවක් ලෙස සැලකෙන නිසා නම් කර ඇත්තේ මිලිට්සියා ව ලෙසිනි.

වලොදින්කා (කෙල්ලන් කතා කරන්නේ වලොද්යා ගේ සුරතල් නමටය) හා ගේන්කා නිලධාරියා ඉදිරිපිටට ගියේය. මදක් කතා කල පසු නිලධරයා ගිහාන් දෙස වරක් දෙවරක් බැලුවේය.
ලුණු දැමූ අගුර්සි ගෙඩි 

ටික වෙලාවකින් සිනාමුසු මුහුණින් ඔවුන් අසලින් ඈඳිගත්  නිලධාරියා වොඩ්කා වීදුරුවක් පුරවා ගත්තේය. කළු පාන් කෑල්ලකට මස් කෑල්ලක් තබා එය කමින් අගුර්සි ගෙඩියක්ද කරස් ගා හැපුවේය. වොඩ්කා වීදුරුව ඔසවා ගිහාන් ට "සැලුත්"කී  ඔහු එය එක උගුරට බීවේය. වොඩ්කා සැපයුම ගිහාන් ගෙන් යයි නිලධාරියා ට වලොද්යා කී  බව තාන්යා පසුව කීවාය.  සමගොන්කි හෙවත් කසිප්පු බෝතල් දෙක ලියොනිඩ් අතින් කුඩාරමක් යට සැඟවෙනවා ගිහාන් නෙත් කොනින් දුටුවේය.

සමගොන්කි ගෙදර හදාගෙන බීමේ තහනමක් නැත. නමුත් විකිණීම තහනම්ය. එනිසා තමන් සිටින නිවසින් පිටත පානය කිරීමේදී මිලිට්සියාවට ඒවා කවුරුන් හෝ විකුණුවේ යයි චෝදනා කළ හැකිය.  ගම්වල සියල්ලන්ම හඳුනන නිසා මේවා ප්‍රශ්නයක් නොවුනත් නගරයේ දී එය ප්‍රශ්නයක් විය හැකිය. නිලධාරියා තවත් මස් කෑල්ලක් උගුරට දෙකට ගිල දමා වොඩ්කා විදුරු භාගයක් අවසන් කර කට පිස දමමින් නැගී සිට සියල්ලන්ටම ආචාර කර පිටත්ව ගියේය.

"සමහරවිට ගිහාන් අපිත් එක්ක එනවා කවුරු හරි දකින්න ඇති. නැත්නම් සාමාන්‍යයෙන් වටේ පිටේ තොරතුරු බලන්න එන්න ඇති. අවුලක් නැහැ." වලොද්යා සිනාවෙමින් තෙපළේය.
ගේනා කළේ මිලිට්සියා වරුන්ට සරදම් කෙරෙන විහිළු කතාවක් කීමය. මේවා රුසියානුන් නම් කලේ අනෙක්දොට් (ඉංග්‍රීසි anecdote) වශයෙනි. මිලිට්සියා විහිළු දේශපාලන විහිළු දක්වා - කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ගේ සිට නිලධාරීන් දක්වා උපහාසයට පත් කරන ඒවා-  ගලා එන්නට වීය. කේජිබි විදුහලේ උගන්නා නමුදු  මේ සිසුන් ඒවා කියා සිනාසීම ගිහාන්ට කුතුහලයට කරුණක් විය. නමුත් සෝවියට් දේශයේ උඩින් පැවති සන්සුන් භාවයට යටින් අතෘප්තිමත් මිනිසුන් සමුහයක් සිටින බවත්, මේ උපහාසාත්මක විහිළු ඒ අතෘප්තිමත් භාවය හෙළිදරව් කරමින් සාපේක්ෂව අනතුරුදායක අඩු වාතාවරණයක  එලියට එන බවත් ඔහු දැන ගත්තේය. එසේම තමන්ටම විහිළු කතා හදාගෙන හිනාවෙන ජාතියක් බලවත් බවද ඔහුට සිතිනි.

ගිහාන් ට කතාවක් දෙකක් මතකය.

වරක් රථවාහන පොලිසියේ මිලිට්සියා භටයෙක් වාහනයක් නැවැත්වීය. එහි සිටියේ වෝවච්කා (රුසියානුවෙක් ගේ නමක් වන මෙය බොහෝ විහිළු කතාවල දැකිය හැකිය) , ඔහුගේ බිරිඳ හා පුංචි පුතාය. ඔහු මත්පැන්  බි ඇතැයි සැක කළ නිලදරුවා මත්භාවය සෙවීමට බ්‍රෙතලයිසරයට පිඹීමට අණ කළේය. ඔහු බී ඇති බව තහවුරු වුනි. රියදුරා කිවේ එය කැඩී ඇති බව හෝ  උපකරණයේ දෝෂයක් ඇති බවයි. එමනිසා  තමන්ගේ බිරිඳද පරික්ෂා කරන ලෙස මිලිට්සියා භටයා ගෙන් ඉල්ලීය. බිරිඳද බී ඇති බව ඔප්පු වුනි. එයද පිලි නොගත් වෝවච්කා පරීක්ෂණය වැරදි යයි තර්ක කරමින් තමන්ගේ දරුවා පරික්ෂා  කරන ලෙස ඉල්ලා සිටියේය.

නිලධාරියා දරුවාට මත්  ගතියක් ඇත්දැයි පරික්ෂා  කලවිට ඔහුත් වෙරි වී ඇතැයි සටහන් විය.  මේ නිසා තම කිට් එකේ  දෝෂයක් ඇතැයි පිළිගත් ඔහු ඔවුන්ට යන්නට කියා තම රථයට ගියේය.

නිලධරයා නෑසෙන මානයට ගිය පසු බිරිය දෙසට හැරුණු වෝවච්කා මෙසේ කීවේය.
"ඕකනේ මම උඹට කිව්වේ පොඩි එකාට  වොඩ්ක ග්‍රෑම් පහක් දුන්නට වරදක් වෙන්නේ  නැහැ කියල."

 ලේනා ගිහාන් ගෙන් ප්‍රශ්නයක් ඇසුවාය.
"සෝවියට් දේශයේ මීටර එකසිය පනහක් දිග හැම වෙලේම අල කන ජිවියා  මොකාද?"

හැමෝම දන්නා අයුරින් කොක් හඬලා සිනා සුනහ.
ගිහාන් පිළිතුර දැන  සිටියේ නැත.
"මස් කඩේ පෝලිම" තාන්යා සිනා වෙමින් කීවාය. "ගිහාන් පෝලිමේ ඉන්නේ නැහැ " ඇය එයට එකතු කළාය.
"ඔව් ඉතින් වරප්‍රසාද සහිත විදෙශිකයෝනේ" ලියෝනිඩ්  ඔලොක්කුවට මෙන් කීවේය.
"වරප්‍රසාද නෙමේ මම ටිකක් වැඩි ගානක් දෙනවා මස් කඩේ තවරිෂ්ට (සහෝදරයාට)" ගිහාන් සිනා සෙමින් පැවසුවේය.

ස්වේතා ද කතාවක්  එකතු කලාය.
"සෝවියට් දේශයේ කවදාවත් වහන්න වෙන  නිසා හෝ පාඩු නිසා අස් කරන්න වෙන්නේ නැති හොඳම රස්සාව මොකක්ද?"
ගේනා පිළිතුරු දුන්නේ  කොමියුනිස්ට් පක්ෂයේ  ලේකම් තනතුර කියාය. වලොද්යා තමාට ඇහැක් ගැසුවේ මද අපහසු බවකින් යයි ගිහාන් ට සිතිනි.
"නැහැ නිවැරදි උත්තරේ ක්‍රෙම්ලින් එකේ  තාප්පේ උඩ නැගගෙන කොමියුනිස්ම් (කොමියුනිස්ට් වාදී සමාජය) එනකන් බලා සිටීම".

මේ කතාවෙන් පසුවද  වලොද්යා ගිහාන් දෙස බලා ඇහැක් ගැසුවේය.
"අපි මේවා කියල අපේ විදේශීය සහෝදරයා නොමග යවලා අන්තර්ජාතික සහෝදරත්වයට තර්ජනයක් එල්ල කරනවා නේද" ඔහු කීවේය. ගිහාන් ඔහු එය කිවේ විහිලුවට ද ඇත්තටම දැයි සිතුවත් සියල්ලෝම මහා හඬින් සිනාසීම නිසා ඔහු කළේ සරදමක් බව වටහා ගති.

"මම සෝවියට් දේශයට කැමැතියි" ඔහු කීවේය.
"උඹලාගේ තියෙන්නේ වෙනම  සිස්ටම් එකක්. අපේ රටෙත් අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ සමහර දේවල් නොමිලේ දුන්නත් ගෙවල් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න තියනවා."
"අපේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නැහැ හරියට" ලේනා කීවාය. ලේනා එයටම සරිලන විහිළු කතාවක් පටන් ගත්තාය.

"මොස්කව් වල කම්හලක තිබූ ජපානයෙන් ආනයනය  යන්ත්‍රයක් කැඩුණි. කැඩුණු යන්තරය සෑදීමට කොතරම් වෙර යෙදුවත් කම්හලේ විශේෂන්ඥ කම්කරුවන්ට  වරද සොයා ගත නොහැකි විය. මේ නිසා ජපානයේ  අදාල  සමාගමෙන් විමසු විට කම්කරු විශේෂන්ඥයෙකු එවන ලදී.  කොන්ත්‍රාත් කම්කරුවකු (විශේෂන්ඥයකු) වූ ඔහුට තිබුනේ මාසයක කොන්ත්‍රාත් එකකි. එම මාසය තුල ජපනා කා  සමගවත් වැඩි කතා බහකට නොගොස් දවසම මහන්සි වී වැඩ කළේය. දහවල් කෑම පැයේදීත් ලොකු මැනුවල් (යන්ත්‍රය සම්බන්ධ  පොත්) පෙරලමින් යන්තරය හැදීමට කරුණු සෙව්වේය. මාසය අවසන් වන විට ඔහුට යන්ත්‍රය අලුත්වැඩියා කර බාරදිය හැකි විය. ඔහු වෙනුවෙන් අවසන් දවසේ රැස්වීමක් හා පුංචි සාදයක් කම්හලේ කොමියුනිස්ට් තරුණ සංගමය  විසින් සංවිධානය කර තිබුණි.
 සංගමයේ ලේකම් ගේ කතාවෙන්  හා ඔහුගේ සෞඛ්‍යය  ට සුභ පතා වොඩ්කා බී මෙන් පසු ජපනා කඳුළු පිරි දෙනෙතින් සභාව ඇමතීය.

"සෝවියට් කම්කරු සහෝදරවරුනි,  ඔබලා මට මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම ගැන ස්තූතියි. ඔබලා දන්නවා ඇති මා කොන්ත්‍රාත් ක්‍රමයට බඳවාගෙන තිබෙන නිසා මට තිබුනේ මාසයයි වැඩ කරන්න. ඉතින් මම ඒ මාසෙම වැඩ කෙරුවා . යන්ත්‍රයත් හැදුව. පිළිගන්න මම මගේ රටේ කම්කරු ක්‍රියාධරයෙක්. උද්ඝෝෂණ සියල්ලට සහභාගී වෙනවා . කම්කරු අයිතීන් ගැන සටන් කරනවා. එනිසා මා  බැගෑපත්ව සමාව ඉල්ලනවා ඔබලාගේ වර්ජනයට සහය නොදීම ගැන.  කරුණාකර මට සමාවෙන්න"

ජපනා  සමාව ඉල්ලූ හේතුව කෙල්ලන් දෙදෙනෙකුට තේරුනේ මදක් පමා වීය. සෝවියට් දේශයේ වර්ජනය කිරීම  තහනම්ය. ඔවුන් කොක් හඬලා සිනාසෙන අතර කේජිබි සිසුවා  තවත් කතාවක් කීවේය. මේ කතාව ලංකාවේ තමන් සමග එකට සිටින වාමාංශික යහලුවෙකුට කිවහොත්  ඔවුන්ට තරහ යනු ඇතැයි ගිහාන්ට  සිතුනි.  දැන් සුළු ධනේශ්වර වී සිටින සෝවියට් වැසියන් තමන් එතනට ගෙන ආ සමාජවාදයට හතුරු වී ඇතැයි ඔවුන් චෝදනා කරනු ඇත්ද?

කතාව මෙසේය.

සෝවියට් රහස් ඔත්තු කරුවන් බොහෝ අමාරුවෙන් කාල් මාක්ස් ගේ ඇට  සැකිල්ල ලන්ඩනයේ හයිගේට් සුසාන භූමියෙන් පන්නාගෙන විත් සෝවියට් විද්‍යාඥයන්ට භාර දුන්හ. ඔවුන් තමන්ගේ උසස්ම සොයා ගැනීම් භාවිතා කර මාක්ස් ට පණ ලබා දුන්හ. සැලසුම සකස් කල කොමියුනිස්ට් පක්ෂයේ පොලිටි බියුරෝව මාක්ස් රට වටා ගෙනියමින් පාසැල්, විශ්ව විද්‍යාල, රෝහල්, සමුහ ගොවිපලවල , කම්හල් , කම්කරු තට්ටු නිවාස, කම්කරු නිවාඩු නිකේතන සියල්ල මාක්ස් ට පෙන්වුහ.  අවසානයේ  සුප්‍රීම් සෝවියට් සභාව  රට පාලනය කරන අයුරු මෙන්ම පක්ෂ ක්‍රියාකාරිත්වය ආදියද ඔහුට විස්තර කරන ලදී.  සියල්ල බලා අසා  මාක්ස් ඉල්ලීමක් කළේය.
"මට සෝවියට් ජනතාව අමතන්න දෙන්න. "
පක්ෂයේ ලේකම්, සභාපති ඇතුළු පොලිට් බියුරෝව  මෙයට එකහෙළා විරුද්ධ වූහ.
"මේක කීයටවත් කරන්න බැහැ. මාක්ස් අපිව විවේචනය කලොත් හෙම? "
"අපි හරියට කරන්නේ නැහැ, හරි පාරේ යන්නේ නැහැ හරි කීවොත්  "
"රජය අහෝසි  කරන්න හෙම කීවොත්"
"පත මාගල් වගේ දේශනා ලියපු , ප්‍රාග්ධනය වගේ නොතේරෙන පොත් ගොඩක් ලියපු මෙයා, මුළු දවසම කතා කරන්නත්  බැරි නෑ පුතය. " වැනි ප්‍රශ්න ගොඩකි.
මාක්ස්ට ප්‍රශ්නය තේරුණි.
"හරි මම  ලොකු දේශනයක් කරන්නේ නැහැ. මට එක වාක්‍යයක් කියන්න දෙන්න"
අන්තිමට පොලිටි බියුරෝව එයට එකඟ විනි.
සියලු රුපවාහිනී චැනල හා රේඩියෝ චැනල වලට  මාක්ස් ගේ වාක්‍යය ප්‍රචාරය  කිරීමට ඉඩ දෙනු ලැබීය.
මාක්ස් කීවේ මෙපමණකි.

"සකල ලෝක වාසී කම්කරුවනි , මට සමාවෙන්න "


~ මතු සම්බන්ධයි


ඉහත  සඳහන් ගීයේ ඉංග්‍රීසි පරිවර්තනය හා රුසියානු ගීතය"

My honey [ Milaya moya (Милая моя) ]

40 comments:

  1. කතා ටිකනම් නියමයි. විශේෂයෙන්ම ජපනගේ කතාව. රුසියාව ගැන රුසියාවෙන් පිටත හැදී ඇති දේශපාලන උපහාස කතා මෙන් නොවෙයි, ඇතුළෙම හැදුනු කතා නිසා එහි මිනිසුන් හිතපු හැටි ගැන අදහසක් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇතුලේ හැදිච්ච කතා මහ ගොඩක් තියනවා. පොතක් ලියන්න පුළුවන්. ඕනෑම රටක රජයකට, දේශපාලනඥයකුට වගේ සෝවියට් දේශයේත් ඔය කතා , උපහාස තිබුන. හැබැයි ඒවාට මිනිස්සු හිරේ ගියා. පහු කාලෙක කතා වැඩි වෙන්න වෙන්න ඔවුන් ඒවා ඉවසුව (tolerated). අපි ගිය කාලේ වෙනකොට එහෙමයි.

      Delete
    2. මට ලියන්න අමතක වුනු දෙයක් ඇතුලත් කලා. සෝවියට් දේශයේ වර්ජනය කිරීම තහනම්. ඒ අනුව තමයි ඔය විහිළුව තේරුම් යන්නේ.

      Delete
    3. ඒක තේරුණා. හොඳ විහිළුවක් කිවුවේ අමුවෙන්ම නැතුව පොඩ්ඩක් හිතන්න තියෙන නිසයි.

      Delete
    4. කොහොම වුනත් වර්ජන නීතියෙන්ම තහනම්ව තිබුණු බව මම දැනගෙන හිටියේ නැහැ. මම හිතුවේ වර්ජන කරන අයට වක්‍ර ලෙස ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වූ නිසා වර්ජන සිදු නොවෙන්න ඇති කියලයි. (යූරි විස්බර්ගේ තාත්තට වුණා වගේ දේවල්).

      Delete
    5. තව එකක්. මටනම් ශෛලියේ අවුලක් තිබුණේ නැහැ. වඩා ස්වභාවික ලෙස ලියන විට සමහර අයට එය වාර්තා ශෛලියක් මෙන් පෙනෙන්න පුළුවන්. එක් එක් කෙනාගේ රුචිකත්වයන් වෙනස්නේ. මටනම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මම කොහොමටත් දැන් ප්‍රබන්ධ කියවන්නේ අඩුවෙන්. වාර්තා ප්‍රබන්ධ වලට වඩා වඩා රසවත්. රුසියන් වගේ නොදන්නා භාෂාවකින් ලියපු ගීතයක සංගීතය සහ වෝකල්ස් රසවිඳින්න පුළුවන් වුනත් සිංදුවක වචන සහ තේරුම සිංහලෙන් දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. විශේෂයෙන්ම රුසියන් වගේ වෙනස්ම ශබ්ද තියෙන භාෂාවක. අපරාදේ ඒ කොටස අයින් කළේ. මම පෝස්ට් එක කියෙවුවට පස්සේ යූරි විස්බර්ගේ ගීත ගණනාවක්ම ඇහුවා. ඉංග්‍රීසි තේරුම් හොයාගන්න හැකි වුණේ කිහිපයක පමණයි.

      Delete
    6. මම සම්පුර්ණයෙන්ම සින්දුව පරිවර්තනය කරලා දාන්න හිතුව. දිග වැඩි වෙන නිසා ඒ අදහස අත් හැරිය. වාර්තාමය ගතියක් එනබව මටත් හිතුන. රහසක් කියනවා නම් මේක ප්‍රබන්ධයක් වුනටැහැ හම සිද්ධියක්ම ප්‍රබන්ධයක් කියන්නත් අමාරුයි. රුසියාවේ ඒ කාලේ රුස්සෝ එක්ක ගෙවල් වල ගියපු. පාටි දාපු කෙනෙක් නම් ඔය විහිළු කතා සීන් එක අනිවාර්යයෙන්ම එනවා කියල දන්නවා.

      Delete
    7. විස්බර් මම කැමතිම ගායකයෙක්. තව ගායකයෝ දෙතුන් දෙනෙක් එනවා මේ කතාවේ. විස්බර් ගේ තාත්තා ගේ කතාව වගේ ඒවා හුඟක් රුසියාවේ තියනවා. මේකෙත් ඒ කෑල්ලක් එනව ඉස්සරහට. එනිසා ඒ ගැන නොකිය ඉන්නම්. අර පරිවර්තනය දැම්මා ආපහු. වෙලා තිබුනොත් මුළු සින්දුවම පරිවර්තනය කරනවා.

      Delete
    8. වර්ජන තහනම් කියන්නේ මෙහමයි. "නිර්ධන පන්ති ආඥාදායකත්වය යටතේ බලය ඇත්තේ කම්කරු පන්තියටය. එමනිසා කම්කරු පන්තිය තමන්ටම විරුද්ධව වර්ජන කිරීමේ තේරුමක් නැත. තමන්ගේ ප්‍රශ්න ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කම්කරු සංගමයේ දේශපාලන කොමිසර් සහෝදරයා හරහා නිරාකරණය කළ හැකිය. "
      තේරුම: ස්ටාලින්ගේ කාලයේ නම් රාත්‍රියට කේජිබි කළු කාරෙකක් පැමිණීම සහ ඉන්පසු ආගිය අතක් නැතිවීම
      ස්ලිටාන්ගෙන් පසු: ඕනෑම ප්‍රශ්නයක් කොමියුනිස්ට් පක්ෂයේ සංවිධානයට ඉදිරිපත් කළ හැකිය. එහිදී අදාල සහෝදරයට පක්ෂ සාමාජිකත්වය ගත හැකිය. ඔහුගේ ප්‍රශ්නය් ඉන්පසු ඉබේම විසඳේ.
      ගොර්බචෝව්- සලකා බලන්නම්

      Delete
    9. //අර පරිවර්තනය දැම්මා ආපහු. වෙලා තිබුනොත් මුළු සින්දුවම පරිවර්තනය කරනවා.//
      බලපෑමක් කරනවා කියල හිතෙනවනම් සමාවෙන්න. මම කිවුවේ පාඨකයෙක් ලෙස මගේ කැමැත්ත ගැන. සියලු දෙනාගේම අදහස් සලකල ලියන ශෛලිය තීරණය කරන්න. මමනම් වඩා කැමති වෙනත් තැනක කියවන්න නොලැබෙන දේ කියවන්නයි.

      //තව ගායකයෝ දෙතුන් දෙනෙක් එනවා මේ කතාවේ.//
      සෝවියට් දේශය විසින් ප්‍රවර්ධනය කළ ආර්ථික හා දේශපාලන ආකෘතිය පිළිබඳව දැන් අප දන්නා දේ සහ අත්දැක ඇති දේ මත පදනම් වූ විවේචනයක් තිබුණත් මම සෝවියට් (හා රුසියන්) කලාවට, සාහිත්‍යයට වගේම සංස්කෘතියත් කැමතියි. සෝවියට් / රුසියන් ගායකයින් හඳුන්වා දිය හැකිනම් එය හොඳ දෙයක්. මොකද සෝවියට් පොත් හා චිත්‍රපට තරමටමම සංගීතය ඔවුන්ට ප්‍රවර්ධනය කළ නොහැකි වූ නිසා. විශේෂයෙන්ම කල්චරල් සෙන්ටර් එකට නිතර යා හැකි දුරක පදිංචිව නොසිටි අප වැනි අයට සෝවියට් පොත් තරමට අනෙකුත් කලාවන් සමීප වුනේ නැහැ.

      Delete
  2. "සකල ලෝක වාසී කම්කරුවනි , මට සමාවෙන්න "
    +++++++++

    ReplyDelete
    Replies
    1. මේක "සකල ලෝකවාසීනි මට සමාවෙන්න" කියල කිව්වනම් වඩා හරි. මොකද වැඩ වර්ජන සහ මාක්ස්වාදය නිසා පීඩා වින්ඳෙ කම්කරුවන් පමණක් නොවන නිසා.

      Delete
    2. පියඹා එනවා රත්නපුරෙහි සැපක් ලබන්ටා....

      Delete
    3. ඉයන් යුඇන්පී එකට සහයෝගය දෙනවා කියල තමයි කියන්නේ බ්ලොග් එක කියවන කට්ටිය. එහම් නම් වර්ජන වලට විරුද්ධ ඇත. නමුත් මේ කතාවේ සෑහෙන ගැඹුරක් තිබෙනවා එතනින් එහාට ගිය. හේ හේ

      Delete
    4. මම? යූ එන් පී?

      Delete
    5. පක්ෂ විපක්ෂ දෙයක් නෙවෙයි අජිත්, මම වැඩ වර්ජන කියන ඒවට පෞද්ගලිකව විරුද්ධයි. පෝස්ට් එකකින්ම විස්තර කරන්නම්.

      Delete
    6. ඔය කොමෙන්ට් එහෙක කොහේ හරි දැක්ක දෙයක් ඉයන්. විහිළුවට කිව්වේ. අපිට පෞද්ගලික කොම්පැනි නිසා වැඩ වර්ජන කරන්න බැහැ. මෙහෙ ඉතින් ටියුබ් ඩ්‍රයිවර් ල ඇරෙන්නේ ස්ට්‍රයික් කරන කට්ටිය නැහැ. සමහර වෙලාවට මම විරුද්ධ අසාධාරණ හේතු වලට ස්ට්‍රයික කරනවට. ඒ කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් බීල අහුවෙලා වැඩ තහනම් කරහම ඒකට විරුද්ධව ස්ට්‍රයික් කරන එක. නමුත් ස්ට්‍රයික් කිරීම හා විරෝධය පෑම වගේ අයිතිවාසිකම් තිබිය යුතුයි.
      හුඟක් වාමාංශික /ජවිපෙ සහෝදරවරු වගේ නොකියනකතාව තමයි සෝවියට් දේශයේ නොව මොනම සමාජවාදී රටකවත් ස්ට්‍රයික් කිරීම තහනම් බව . හේතුව ඒවා කම්කරු රාජ්‍ය නිසා. කම්කරුවෝ තමන්ගේ කම්කරු රාජ්‍යයට විරුද්ධව ස්ට්‍රයික් කරන්න ඕනේ නැහැ කියන එක . හැබැයි එතැන තිබ්බේ දෙබිඩි කමක්. මම හිතන්නේ මේ විහිළු කතාව ඒ දෙබිඩි කමට ප්‍රහාරයක්.

      Delete
  3. ප්‍රධාන කතාවට වැඩිය අතුරු කතා ටික මරු. නරකද රුසියානු ජන/විහිළු/උපමා කතා වගේ කැටගරි එකක් පටන් ගත්තොත් හිටං?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් හරාකිරි ක්‍රමයට වත් ජිවිතේ ඉවර කර ගන්නනේ වෙලා තියෙන්න. ප්‍රධාන කතාව අප්සෙට් කිව්වනේ. මොනවා කරන්නද. නවත්තල දානවා.

      Delete
  4. අපූරු කතා ටික....
    "සකල ලෝක වාසී කම්කරුවනි , මට සමාවෙන්න "
    මේක නම් මරු....

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ඇතුලේ හෙන ශෝකාන්තයක් තියෙන්නේ නංගි. ඕක ඇමෙරිකාව, සිඅයිඑ හරි සෝවියට් ක්‍රමයට විරුද්ධ අය අහුලා ගත්තා වුනත් හුඟක් ලංකාවේ වගේ රටවල වාමාංශික අය අපහාසයක් හැටියට ගත්තත් ඕක මුලින් හදලා ඇත්තේ වාමාංශික කොමියුනිස්ට් කාරයෙක්මයි. ස්ටාලින් ගේ කාලේ මුල් විප්ලවය කළ හැම කොමියුනිස්ට් කාරයෙක්ම , වාමාංශිකයෙක්ම මැරුවා. අන්තිමට ඉතුරු කලේ එහෙයියෝ ටික විතරයි. කතාව එන්නේ එතනින්.

      Delete
  5. https://qz.com/913167/a-trove-of-anti-soviet-jokes-recently-declassified-by-the-cia-offers-a-glimpse-of-cold-war-humor/

    ReplyDelete
    Replies
    1. අහු වුනා නේද මාව. සී අයි ඒ එකේ ඒවා කොපි කරා කියල කිව්වේ නැහැනේ. මම හිතන්නේ සී අයි ඒ එකත් කොපි කරල.

      Delete
    2. මම ලියාපු එකත් තියනවා ඒ ලිපියේ. ටිකක් වෙනස්. හුඟක් එකම වගේ ජෝක්ස් ගොඩක් සර්කියුලේට් වුණා ඒ කාලේ . ගොර්බගේ පිරිස්ට්‍රොයිකව නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ, ස්ටාලින් ගේ කලේ කිව්වා නම් වෙඩි තමයි.

      Delete
  6. පරක්කු වෙලයි කියවන්න ලැබුණේ. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමියා මලේ

      Delete
  7. අනේ මරු කතාව අයියේ ඔයාට මෙවටනම් නෙලුම් යායේ සම්මානයක් ලැබෙන්නම ඕනේ.
    එත් මන් කල්පන්කලේ මොන කැටගරියෙන් ද සම්මානෙට සුදුසු කියලා

    ReplyDelete
    Replies
    1. අලුත් කට්ටිය දෙයිද දන්නේ නැහැ මල්ලි. මොනවා කරන්නද. ජිවිතේ හැටි තමයි.

      Delete
  8. අද ඔක්කොම කතා ටික එක සැරේ කියවල ඉවර කළා. රුසියාවේ ජොබ් එකක් හොයාගෙන යන්න හිතුනා හෙහ් හෙහ්..මේ ලියල තියෙන කාලෙට වඩා දැන් ගොඩක් වෙනස් ඇති නේ.. මේ කතාව දිගට ලියල දාන්න. මරු

    ReplyDelete
    Replies
    1. අර උදය ලියප්පු එක බලලා කතාවත් නවත්වල බොගෙත් නවත්තල යන්න හිටියේ. ඇති යන්තම් එක්කෙනෙක් ඉන්නවා. බොහොම ස්තූතියි පැතුම්. හේ හේ දැන් ගොඩක් වෙනස් කියන්නේ දැන් තියෙන්නේ ධනවාදී පාලන ක්‍රමයක්. ඒ කියන්නේ පෞද්ගලික දේපල වලට ඉඩ දීලා. නමුත් පුටීන් කාරයාගේ ඒකාධිපති ගතිය වැඩියි. සමහර රුස්සෝ කියන්නේ එහෙම නැතිව බැහැ . උන්ට රජෙක් ඕනේ කියල. තෙල් සල්ලි නිසා රටේ යම් ස්ථාවර භාවයක් තියනවා. තෙල් වලට කෙලවෙච්ච දවසට වෙනිසියුලාවට වෙච්ච එකේ අනිත් එක වෙන්න කලින් පුටින් රට හදන්න ඕනේ. රට නම් සෑහෙන්න දියුණුයි. හමුදාව ඊටත් වැඩිය දියුණුයි. රුස්සෝ ජාතිවාදී චන්ඩි පාට් දානවා අඩුයි නගර වල. පුටින් ඒක පාඩුයි කියල වටහාගෙන. පොලිසිය හම තැනම හැබැයි.

      ගැහැණු ළමයි නම් අප්පේ තවම ඒ වගේ ලස්සනයි. වෙනස් නොවෙන එකම දෙය.

      Delete
  9. කතා ටික නියමයි හැබැයි ප්‍රධාන කතාවේ ටිකක් වාර්ථාමය ගතිය වැඩියි වගේ .

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ උදය කියන්නේ හැදුවෙත් ඒකම වෙන්න ඕනේ. විවේචනයට එකඟයි. මම අර සින්දුව එහෙම පිටිනම් අයින් කලා. ඊලඟ කොටසේ ඉඳන් ශෛලිය පොඩ්ඩක් වෙනස් කරන්න හිතනවා.

      Delete
  10. ජපනගේ කතාව පට්ට. ඒකනම් මෙහෙටත් ගැලපෙනවා..

    ReplyDelete
    Replies
    1. ෆින්ලන්තෙටද ස්විඩනයටද ලංකාවටද?

      Delete
  11. අමුතුම මගක් ගත් නැවුම් කතා තවත් ලියන්න සුබපැතුම්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .