Friday, 2 March 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (20) - විභාගත් ඉවරයි


විභාග අවසන් වන්නේ  ජූලි මස අවසන්  සතියේය. ගිහාන් හා සුහද ටිකට් ගත්තේද ඒ සුමානයේමය. තම නිවසට යන බව පවසා තාන්යා කලින්ම විභාග දී තිබුණි. එසේ කලින් විභාග අවසන් කළ හැකි  විෂයයන් තිබෙන අතර නිතර දේශන වලට යන දක්ෂ සිසුන්ට ඒ අවස්ථාව ලැබෙයි. තාන්යා කලේ සිය සොහොයුරියටද පවසා  ගිහාන් ගේ කාමරයට පැමිණ නැවතීමය. සුහද මුලදී එයට අකැමති වුවද, තාන්යාගේ ප්‍රිය මනාප බවත් නිතර තේ සාදා දීම,  වෙළඳ සල් වලට ගොස් කෑම ගෙන ඒම, පිඟන් කෝප්ප සේදීම ආදිය කරමින් උදව් දීමත් ඉන් පාඩම් කිරීමට ඔවුන්ගේ කාලය ඉතිරි වීමත් නිසා ඇය කාමරයේ සිටීම ඉවසුවේය.

සුහද ගේ කියුබානු පෙම්වතියද කාමරයට පැමිණ  පාඩම් කරන නිසාත් තාන්යාත් ඇයත් හොඳ  යෙහෙළියන් බවට පත් වීමත් නිසා ඔහුගේ විරුද්ධත්වය අවම වුනු බවද  ගිහාන් දත්තේය.

ගිහාන්ට නම් ඒ කාලය ඉතා රසවත් විය. තේ කෝප්පයක් සාදා ලඟට එන තාන්යා ඔහුගේ කන අසලට  චුම්බනයක් දී මදක් වෙලා ඔහුගේ ගණිත පාඩම් දෙස බලා  සිටී.  මදක් ඉවතට යන තාන්යා  ජනේලය ළඟ හිඳගෙන තේ කෝප්පය පිරි මදිමින් ඔහු දෙස ඉමහත් සෙනෙහසකින් බලන්නීය. ගිහාන් කරන්නේ ඇයට ඇහැක් ගසා  නැවත පාඩම්  පොතට මුහුණ එබීමය.

ඉන්පසු ඇය රැගෙන ආ  රුසියානු නවකතා පොතක් හෝ සඟරාවක් ඩිවානයේ දිග ඇදී කියවයි. කම්මැලි වූ විට හැඳ  පැළඳ ගෙන අවට ඇවිදින්නට යයි. ගිහාන් පාඩම් කර අවසන් වූ සමහර දිනෙක ඔවුන් චිත්‍රපටයක්  බැලීමටද ගියහ. දෙදෙනාට එක්වීමට ඉඩක් නොතිබුණද එකට නෑමට යාමෙන් හෝ තනිවූ විටෙක එකිනෙකා ආදරයෙන් වැළඳ මුව මි උරා බිමෙන්ද දෙදෙන සැනසුනහ. ඔහුට වඩාත් හදට දැනුනේ ඇයට තුරුළු වී නිදන විටය. ඇය බොහෝ විට කලින්ම නිදන අතර සුහද හා ගිහාන් පාඩම් කර අවසන් වන්නේ බොහෝ රෑ විය . එසේ වුවද ගිහාන් පොරෝනය තුලට ගුලි වන්නේ තාන්යා ද තුරුළු කරගෙනය . ඇය නින්දෙන්ම වාගේ  ඔහුට චුම්බනයක් දී ගෙනම ඔහුට තුරුළු වෙයි. මේ රාත්‍රියන්  ඉතා සුන්දර ලෙස ඔහුට දැනුනි. විභාග දීමට යෑමද  වෙනදා මෙන් කර්කශ ලෙසට නොදැනුනි.

අල්ලපු වත්තේ සමන් ගිහාන් ගෙන් ගණන් අසා ගැනීමට  පැමිණ ආරංචියක් කීවේය. (අල්ලපු වත්ත කියන්නේ අසලම ඇති අනිත් ශිෂ්‍ය නේවාසිකාගාරය ටය.)  මේවා   රුසියානු  භාෂාවෙන් හැඳින්වෙන්න කොර්පුස් යනුවෙනි.

"උඹල දන්නවද අර ප්‍රියාන් ගේ ඉන්ස්ටිටියුට් එකේ ඉන්න ස්වේතා. අර ඩිස්කෝ එකේ කොල්ලෝ පික් කරන කෑල්ල" සමන් ස්වේතා ලෙස තොල් උල් කර පැද්දී ගියේය.

"හම්මේ නැතුව නැතුව " සුහද හා ගිහාන් දෙදෙනාම එකවිට කීහ.

"අර අපි ප්‍රියාන් ට කියල අපේ බඩු  විකුණගන්න බන්ගලිය ඉන්නේ " මෙහිදී බඩු යනුවෙන් සමන් හැඳින්වූයේ සිසුන් විසින් විකුණන කම්පියුටර්, ස්ටීරියෝ , ඩෙනිම් ආදී බටහිර  සිට ගෙන එන  භාණ්ඩ ගැනය.

"ඔව් ඔව් ඉතින් "

"මමත් දන්නේ දැන්. ගිය අවුරුද්දේ විභාග ඉවර වෙලා තිබ්බ අන්තිම ඩිස්කෝ එකේදී  ස්වේතා බන්ගලියව උස්සලානේ. බඩු හිටලා"

"නෑ. එහෙනම් ස්වේත ඕන කමින් කළ ලද දන්නේ නැහැ. බන්ගලියට සල්ලිත් තියනවනේ"
"බංගලි පැටියෙක් හම්බ වෙලා. හැබැයි දැන් බඩු විකුණන කොට ඒකි තමයි ගණන් දෙන්නේ. දෙන්න එකට ඉන්නේ "

"ඒකෙ අවුලක් නැහැ බං. උන්ට හොඳ නම්. අනික අර අපේ පලස්තීන එකත් හොඳට ඉන්නේ අර ඊරා  එක්ක. ඒකිත් කොච්චර කොල්ලෝ එක්ක ගියාද . අනික ඒ උන්ගේ හැටි. බඳින්න කලින් උන්ව කාටවත් අයිති නැහැ. උන් නිදහස්. බැන්දට පස්සේ අවුලක් නැහැ" ගිහාන් පැවසීය.

"එතන මචං වෙන සීන් එකක් වෙන්නේ. පලස්තීන එවුන්ට කසාද බදින්න අමාරුයි. උන් මට කියල තියෙනවා. මෙහෙ ඉන්න පලස්තීන, ජෝර්දාන උන් බඳින කොට උන්  අරාබි කෙල්ලගේ ගෙදෙට්ට දෑවැද්ද දෙන්න ඕනේ. කොටළුවෝ, බැටළුවෝ , එළුවෝ හෙම. උන්ට හෙන වියදම්. මෙහෙන් රුස්සියෙක් බඳින  එක උන්ට ලාභයි .  ඔය පලස්තීන එකා අනිත් කොල්ලෝ එක්ක යන බව දැන දැනම තමයි ඊරා පස්සේ ගියේ. ඌ  නිකන් පිස්සු වගේ දැපනේ වැටිලා හිටියේ. දැනුත් බලපන්කෝ. ඒකිව බලා ගන්න හැටි. අනික රුස්සියොත් නරක නැහැනේ. ගෙදර වැඩ වුනත් කරලා දෙනව.  මේ පේන්නේ නැත්ද?" තාන්යා දෙස ඇසක් ගසමින් සුහද තෙපළේය.

"හරි හරි එයාව ඇදල ගන්නේ නැතිව ඉඳපන්." ගිහාන් බොරු තරහක් ගත්තේය.

කිසිවක් නොතේරුන තාන්යා ඔවුන් දෙස බලා මද සිනහවක් පා නැවත පොතට නෙතු යොමු කළාය .

"පොඩි ගිහාන් පැටියෙකුත් එයි" හිඳගෙන සිටි ගිහාන්ට හීනියට  ටොක්කක් අනිමින් සමන් පිටව ගියේය.
ගිහාන් හෙමින් සීරුවේ ගොස් තාන්යා අසල ඇලවුනේය.

~මතු සම්බන්ධයි ~~

16 comments:

  1. ආහ්...
    මඟ ඇරිච්ච එකක්...
    මුල් ටික කියවලාම එන්නම්කෝ...

    ReplyDelete
  2. +++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. අප්පේ ඇති යන්තං :)
    තාම කියෙව්වෙ නෑ , මෙව්වා එහෙම ආවට ගියාට කියෙව්වෑකියෑ? තේකක් එහෙම බීලම එඤ්ඤං.

    ආ , අර "බංගලි ගමරාල & his muse " කතාව වගේ එව්වත් හොඳා.

    ReplyDelete
    Replies
    1. තේ බිව්වද? මේ යෙදුමට මම කැමතියි "බංගලි ගමරාල & his muse"

      Delete
    2. ඔව් බිව්වා.

      මේ කතාව කියවන කොට රුසියානු ජන ජිවිතය ගැන හොඳ චිත්‍රයක් හිතේ මැවෙනවා. බොහොම කලෙකට ඉස්සර, ඔරුවල බන්දුගෙ නවකතාවක මේ ශිෂ්‍ය ජීවිතය ගැන මේ වගේම කතාවක් තිබ්බා. ඒත් මම මේ කතාවට ඊට වඩා කැමතියි.

      රුස්සෝ, රුසියාව ගැන බොහොම කැමැත්තක් තිබ්බත් , රුසියානු දේශපාලනය ගැන කැමැත්තක් නෑ. මිනිස්සුන්ගෙ, සිහින, ආසාවන්, ජීවන විලාසිතා, ‍තෝරා ගැනීමේ නිදහස ආණ්ඩුවට පවරා ගැනීම අවාසනාවක්.

      රුසියානු දේශපාලන කුනා‍ටුව, බංගලියට වාසියට හිටියා කියල හිතෙනවා.

      මිනිහා බොර දියේ මාළු බෑවා. මිශ්‍ර විවාහ වල දරුවන්ට රුසියන් සමාජයේ සැලකීම කොහොමද? චීනයෙ නං , එහෙම අයට ප්‍රශ්ණ තියෙන බව දන්නවා. චින්නු නම් හරි ජාතිවාදීයි.

      Delete
    3. //මිනිස්සුන්ගෙ, සිහින, ආසාවන්, ජීවන විලාසිතා, ‍තෝරා ගැනීමේ නිදහස ආණ්ඩුවට පවරා ගැනීම අවාසනාවක්.//ඒක එහෙම වුනේ ලෙනින් මිය ගිය නිසා. මගේ ඊළඟ ලිපිය බලන්න .
      //රුසියානු දේශපාලන කුනා‍ටුව, බංගලියට වාසියට හිටියා කියල හිතෙනවා.
      //ඔව්

      Delete
    4. //මිශ්‍ර විවාහ වල දරුවන්ට රුසියන් සමාජයේ සැලකීම කොහොමද? // ලොකු අවුලක් නැහැ. නමුත් වෙන ප්‍රශ්න තියනවා. රුස්සෝ දැන් ඔය පහල පැතිවල මුස්ලිම් ජාතින් ට එපමණ කැමති නැහැ. ඔවුන් කියල දැන ගත්තොත් කරදරයි. ඉස්ස්සර නෙමේ. මගේ යහළුවෙක් ගේ දුවෙක් හිටිය. එයාගේ අම්මා ගේ අම්මා මහලුයි. එනිසා ඇය ඔහු සමග ලංකාවට ආවේ නැහැ. අම්මා බලාගන්න මොස්කව වල නතර වුණා. මගේ යහළුව දුවට හරිම ආදරෙයි. නිතරම මගේ අතේ තෑගි , මුදල් ආදිය යැව්වා. ඔහු වින්ද දුක මම දන්නවා. ලංකාවට එනවා ඇරෙන්න ඔහුට කරන්න දෙයක් තිබ්බෙත් නැහැ. දුව ලොකු වුනාට පස්සේ හොන්ඩ අරකියාවක් කරනවා. මාව හොයල ෆේස්බුක් එකේ යාලු වුණා . එයට මතකයි මාව. මම අම්මා ගැන ඇහුවේ. කතා කලේ නැහැ. එයා එයාගේ අම්මට කැමති නැහැ කියල මට තේරුණා. අම්මා නිසා එයට තාත්ත ගෙන් වෙන්වන්න වුනු නිසා. අම්මා නතර වුනේ එයාගේ අම්මා (මේ දරුවාගේ ආච්චි ) නිසා. දැන් මේ ළමය එයාගේ අම්ම ගෙන් අයින් වෙලා.

      Delete
  4. දිනත් ගතවී පාඩමේ වැඩ කරන්නටනන් මහ ගොඩයි
    පොතත් මේසය මත තබාගෙන දෙන්න පාඩම් වැඩ කරයි
    ඇයත් ඇවිදින් තේ සදාදී ඔහුගෙ කම්මැලිකම නසයි
    තවත් කොටසක් කියෝගන්නට මගේ ඇස් දෙක මග බලයි....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්දගේ කවි පෙළක් නම් හැමම දාමත් හරි අගෙයි
      ඔබේ දෙඇසට සුවය දෙන්න්නට තවත් කොටසක් එයි ඉතින්

      Delete
  5. දිනත් ගතවී පාඩමේ වැඩ කරන්නටනන් මහ ගොඩයි
    පොතත් මේසය මත තබාගෙන දෙන්න පාඩම් වැඩ කරයි
    ඇයත් ඇවිදින් තේ සදාදී ඔහුගෙ කම්මැලිකම නසයි
    තවත් කොටසක් කියෝගන්නට මගේ ඇස් දෙක මග බලයි....

    ජයවේවා!!!

    ReplyDelete
  6. මෙන්න කම්මැලිකමට පොඩ්ඩක් ලියල.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වුනත් රහ නැත්ද

      Delete
    2. රහයි... රහයි... වැඩිපුරම රස දේවල් ටික පොතට තියාගන්න.

      Delete
    3. ඒක නම් කෙරෙන්නැති දෙයක් දැන් යන විධිහට , කෙල්ලත් නෑ බල්ලත් නෑ සල්ලිත් නෑ කිව්වලු :)

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .