Monday, 7 May 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (22) - මැදිරි මාරුවක්

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (21) - ග්ද්යේ මොයි කෙෆීර්
දුම්රියේ දෙන (සෝවියට්) රුසියානු තේ වීදුරුව 
තාන්යා ගේ මැදිරිය සොයා ගිය ගිහාන් ට හමුවූයේ මැදිරියේ කොනකට වී දොම්නස් මුහුණින් දුම්රිය මග දෙසට යොමුවුනු නෙත් ඇතිව සිටිනා සුන්දර යුවතියයි. මැදිරියේ එක මගියෙක්  කෑම මල්ල  ඇරගෙන රුසියානු කළු පාන්ස, ලෝ  නමින් හඳුන්වන ඌරු මස් තෙල් සහ ළුණු කොළ සමග කෑමට ලැහැස්ති වෙති.
රුසියන් කළු පාන් සහ සලෝ 


ඉතිරි දෙදෙනා ද කෑම  සඳහා සූදානම් වෙති.

"ඔයා එන්නේ නැතිව ඇති කියල හිතුනා. මෙච්චර පරක්කු වෙනකොට"ඈ දොම්නස් සහගත් හඬින් මිමිණුවාය.

"අපේ මැදිරියට යමු. වඩා නිදහසයි." රුසියානුන් දෙස බලමින් ඔහු පැවසිය .

තමන් කෑම ගැනීමට යන බව කියා ඇගේ ගමන් මලු මැදිරියේ රුසියානුන් ට බලා ගැනීමට අයැදීමක් කර  දෙදෙනා ගිහාන්ගේ මැදිරියට ගියේ අත්වැල් අල්ලාගෙනය. මැදිරි පසු කර යන හැම විටම සෙසු  මගීහු ඔවුන් දෙස විමසුම් නෙත් හෙලුවද කිසිවෙක් කිසිවක් කීවේ නැත.

සුහදත් අනික් දෙදෙනාත් වාඩිවී රුසියානු බියර හා තේ පානය කරමින් සිටියහ.
මේ මැදිරි නිදන මැදිරිය. උඩ තට්ටුවේ නිඔදන්නට ඇති ඇඳන් වසා තබා ඇතුලේ පහසුවෙන් ඉඳගෙන සිටිය හැකිය. මැදිරිය එළියේ දොර අසලම කොරිඩෝවේ  හිඳ ගැනීමට කුඩා පුටුව උද කොටසක් මැදිරි බිත්තියට සවි කර තිබේ. බොහෝ මගීන් එහි හිඳගෙන අවට සිරි නරඹමින් යති. නැතිනම් පොතක් කියවති.

"කොන්දා දැම්ම තේ දීලා වගේ. " තාන්යා ට හිඳ  ගැනීමට  සන් කරමින් ගිහාන් පැවසුවේය.

"පොර නියමයි. අපෙන් සිගරට් තියනවද ඇහුවා. මූ  ඩන්හිල් පැකට් එකක් දුන්න. තව ඕන  දෙයක් කියන්න කිව්වා. බෝතලුත් තියනවලු. "
සුහද ඉඟි මැරුවේය. දවස් තුනක් යන ගමනේ නිතර තේ ආදිය රැගෙන එන ප්‍රොවෝද්නික් නමැති මැදිරි සහායකයා  සමග ද සමහරවිට අනිත් මගීන්  සමගද මිතුරුව මේ ගමන යෑම වඩා පහසුය.

  තමන් ගෙන ආ බිත්තර , කල්බසා ආදිය පුංචි මේසයේ ගිහාන් සමග පිළියෙළ කළ තාන්යා තක්කාලි හා අගුර්සි කපා සලාදයක් ද  සැදුවාය. ඔවුන් රුසියානු බියර සමග රාත්‍රී ආහාරය ගත්තේ ප්‍රීතියෙන් දොඩමලු වෙමිනි.

"ඇත්තටම කෙල්ලෙක් ඉන්න කොට ගතියක් තියනවා බන් " සුහද ගිහාන් අමතා සිංහලෙන් පැවසුවේය. තාන්යාට තේ බිමට  සිතක් පහළවූ  නිසා කොන්දොස්තර හමුවී තේ ඉල්ලීමට සුහද ගියේය. තාන්යා සහ ගිහාන්  මැදිරිය එළියේ පුංචි පුටුවට වාරුවී එකිනෙකා  වැළඳ ගෙන සිටියහ.

සුහද තේ කෝප්ප දෙකක්ද මැදිරි සහායක  තේ කෝප්ප දෙකක්ද ගෙන මැදිරිය දෙසට පැමිණියේය. මේ රුසියානු තේ වලට කිරි දමන්නේ නැත. තේ වලට කිරි දමා පානය කරන්නේ ඉංග්‍රීසි ක්‍රමයටය. එනම් එංගලන්තයේ හා බ්‍රිතාන්‍ය විසින් පාලනය කළ රටවලය. යුරෝපයේ අනෙක් රටවල කිරි දමා තේ බීමක්  නැත. තේ විදුරුව   සුදු යකඩින් සැදූ  අල්ලුවකට දමා තිබේ. එනිසා උණු වීදුරුව අල්ලනවා වෙනුවට අල්ලුවේ ආධාරකයෙන් එය රැගෙන ආ හැකිය.

රුසියානුවා  තේ පානය කරන  ක්‍රමයක් තිබේ. එනම් තේ එකට සීනි  කැටයක් දමා  හැන්දෙන් එය දිය කර කුඩා තේ හැන්ද  අයින් නොකරම එක ඇසක් වසාගෙන තේ බීමයි. ඇහැ වහ ගන්නේ හැන්ද ඇහේ වදින නිසාය. මේ නිසා රුසියනුවා ගේ තේ බිම උපහාසයට ලක් කෙරෙන්නේ හැන්දක්  වීදුරුවට දමා ඇසක් වසාගෙන එය පානය කරන සෙයක් රඟපෑමෙනි.
හතර දෙනෙකුට නිදා ගත හැකි කුපේ එකක්  

තේ රැගෙන එන කොන්දා තාන්යා සිටින්නේ කුමන මැදිරියේදැයි විමසීය. මැදිරිය දැන  ගැනීමෙන් පසු රුසියානුවා වඩා  කරුණාවන්ත විය. ඔහු ඔවුන් ඇමතුවේ සොඳුරු පෙම්වතුන් විලසිනි. (රුසියානු භාෂාවෙන් මීලියේ ලුබෝව්නිකි ). තාන්යා ගෙන් ඇගේ මැදිරිය හොඳ දැයි  විමසිය. රුසියානු මැදිරි අන්තර්ජාතික මැදිරි තරම් හොඳ නැත.

මද වෙලාවක් සිසුන් සමගත් ගිහාන් සමගත් කතා බහේ යෙදී සිටි දුම්රිය මැදිරි සහායකයා තවත් අවශ්‍ය දෙයක්  ඇත්නම් කියන ලෙස පවසා ඔහුගේ මැදිරියට යාමට සැරසුණි. එහෙත් අඩක් ආපසු හැරුණු ඔහු,  ඔහුගේ කුඩා මැදිරියට ආසන්නයේ ඇත්තේ දෙදෙනෙකුට පමණක් යා හැකි නිදන මැදිරියක් බවත් මින්ස්ක් නගරය  දක්වා එනම් පසුදා  පාන්දර වෙනතුරු එම මැදිරිය හිස් බවත් පවසමින්  ඉවත්ව ගියේය. මේ දුම්රියේ පළමු පන්තියක් නැතත් වඩා සුව පහසු අන්තර්ජාතික මැදිරි,සාමාන්‍ය  නිදන මැදිරි හා මිල අඩු ප්ලස්කර්තා යනුවෙන්  වර්ග තුනක් තිබේ.
රුසියානු මැදිරි
සුහද ගිහාන්ව කොන්දා  දෙසට තල්ලු කලේ "පල පල තේරුනේ නැත්ද , උඹට ඒ හිස් කාමරේ ගන්න  පුළුවන් රෑට ඉන්න. කොන්දට තේරුණා උඹ  තාන්යා එයාගේ නිදන මැදිරියට ගිහින් දාන්න ඕනේ කියා. උඹගේ අතේ සල්ලි තියනවද?"

"තියනවා යයි කි ගිහාන් හීන් සීරුවේ තාන්යා ගේ උරහිස මුදු ලෙස මිරිකමින් කොන්දා හමුවීමට ගියේය.
වසිලී නමැති සහායකයා සමග සමග සෑහෙන වෙලාවක් ගතකළ ගිහාන් පැමිණියේ ජයග්‍රාහී විලසිනි.
"වැඩේ හරි" ඔහු සුහද හා තාන්යා අමතමින් පැවසීය.

"කොන්දගේ බිරින්දෑ ඉන්නේ මින්ස්ක් වල. ඔයාට එතනින් උදව් කරන්නන් කියලත් කිව්වා. අපි අගෝස්තු වල ආපහු එන දවසේ එයාමලු  ඉන්නේ. මට මිනිහගේ ගෑණිට  දෙන්න අර මූණ පාට  කරන සෙට් දෙකක් ගෙනත් දෙන්නලු. "

ඔහු පැවසුවේ සාමාන්‍යයෙන් එංගලන්තයෙන් හෝ ජර්මනියෙන්  සිසුන් රැගෙන එන ගැහැනුන් ගේ මේක් අප් සෙට් ගැනය. සෝවියට් දේශයට  ඒවා හොර පාරෙන්  එන්නේ ෆින්ලන්තය හරහාය.

"ඒත් මම මෑන්ට රූබල් විසි පහක් විතර දුන්න. අනික තාන්යා ගේ බෑග් එක ගන්නත් එන්නම් කිව්වා.

"ඒක හොඳයි " සුහද පැවසුවේ තාන්යා ට තම  මැදිරියෙන් එසේ ඒමට අවසර නැති හෙයිනි. එනිසා මේ මැදිරියේ සහයකයා ඒ මැදිරියට ගොස් එහි  සහායකයා සමග එකඟත්වයක් ඇතිකරගෙන පැමිණිය  යුතුය. එම මැදිරියේ සහායකයා එකඟ නොවීමට හේතුවක් නැත්තේ  ඔහුට තාන්යා ගෙන් හිස්වන නිදන මැදිරියේ එම ස්ථානය අතරමගින් නගින ටිකට් ගැනීමට නොහැකි වුනු මගියෙකුට  විකිණිය හැකි  බැවිනි. මුදල යන්නේ ඔහුගේ සාක්කුවටය. දුම්රිය සාමාන්‍යයෙන් පිරී යන බැවින් එවැන්නන් දුම්රිය ස්ථාන වල සිටිති.  එසේ වුවද එම සහායකටත් රූබල පහක්  පමණ පිදීමට ගිහාන් ට සිදුවිය. ඔහුට එය සතුටක් වූයේ දෙදෙනාට එකට යාමට ලැබෙන බැවිනි.

නැවත  ඔවුන්ගේ මැදිරියට පැමිණ  තාන්යාගේ ඇඳුම් බෑගය දමද්දී එම මැදිරියේ නිදා ගැනීමට අවශ්‍ය රෙදි සහයකයා ගෙනවිත් දුනි. මේ මැදිරි වල නිදා ගැනීමට ඇඳේ ඇතිරීමට පස්තේලි නමින් සුදු  රෙදි දෙකක් දෙයි. ශීත සමය නම් පොරවනයක්ද ලැබේ.  ඒවා තා න්යාට දී ඇයට මැදිරිය සැකසීමට හා ඇඳුම් මාරු කිරීමට ඉඩ දී ඔහු තමන්ගේ මැදිරියට ගියේය. එහි සුහද ඇතුළු සිසුන් ගිහාන් පිලි ගත්තේ මහා හඬින්   සුභ පතමින් උසුළු විසුළු කරමිනි.
සවියෙත්ස්කියේ ෂැම්පැන්ස්කොයේ 

"කොහොම හරි  ස්ලීපින් බර්ත් එකක්ම ගත්ත නේද උඹ හිමිජ්ජා වගේ ඉඳල. "

"ෂැම්පේන් එකක් කඩමු  මචං" කී  ජයන්ත කොහෙන්දෝ ලැබී තිබූ  සෝවියට් ෂැම්පේන් එකක් ගත්තේය. සවියෙත්ස්කියේ ෂැම්පැන්ස්කොයේ (soviet champagne) නමින් හඳුන්වන මෙම  බෝතල් බටහිර මෙන් මිල අධික නැති ලාභ  බබල් දමන පැණි රසැති  ස්පාක්ලින් වයින්  කොපියකි. හැබැයි ඉතා රසවත්ය.

සියල්ලෝම තේ කෝප්ප  වලටම වයින් දමා පානය කරද්දී තාන්යා ද පැමිණියාය. ඇයට ද ගිහාන් ෂැම්පේන් වීදුරුවක්  පිළි ගැන්විය. සෙමින් මේසයට තට්ටු රමින්ගීත කිහිපයක්ද ගැයූ ඔවුහු සෑහෙන  වෙලාවක් කතාබහ කරමින් සිටියද අවට මැදිරිවල අය නිදා ගන්නා හෙයින් කතා බහ අවසන් විය. යුවල හෙමින් සීරුවේ තම මැදිරියට වැදුනහ.

~මතු සම්බන්ධයි


8 comments:

  1. හොඳ වෙලාවට මං ඉගෙන ගන්න රෂියාවට නොගියේ. (මගේ පන්තියෙන් දෙන්නෙකු ගියා!)

    ගියා නම් පගා දෙන්න පුරුදු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා ලංකාවෙන්නේ , අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් තියනවද?

      Delete
  2. බේකන් තිබුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ යනෝ යන්න. එනවා මෙතැන බේකන් කෑල්ලක් අහගෙන , ඔය සලෝ තියෙන්නේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .