Wednesday, 16 May 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (24) - ලන්ඩනයේ සිට ලියමි

ඊස්ට් ඇක්ටන් හි ටෙන්ට් සිටිය 
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (23) - ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී

දින දෙකක්ම  දුම්රියේ ගත කිරීමෙන් පසු බෙල්ජියමේ ඕස්ටෙන්ඩ් හරහා එංගලන්තයේ ඩෝවර් වරයාටද එතනින් නැවත දුම්රියේ ලන්ඩන් වික්ටෝරියා වලටද ගිහාන් ඇතුළු පිරිස ළඟා විය. මේ කාලය තුල තමන් සිටියේ දැඩි කල්පනාවෙන් යයි  සුහද නිතර කියයි.
"මූ ලවෙන් මත් වෙලා " ඔවුන් කී දෙයෙහි සත්‍යයක්ද තිබේ. ඔහු නිතර මිමිණුවේ මිල්ටන් ගේ "සඳෙන් එහා කඳු මුදුන් ඉමේ " ගීතයයි.
"මේක මහා බොළඳයි" ඔහුට විටෙක සිතුනි. සුහදයා විහිළු කළේ සින්දුවට කෑල්ලක් එකතු කරමිනි.
කුඩා පැලේ වෙනුවට "ඇය තනිවූ ඒ කුඩා කුපේ  " (කුපේ එක -නිදන  මැදිරිය) යනුවෙන් ඔහු සරදමට ගැයුවේය.
"ආදරේ කියන්නේ ඇත්තටම බොළඳ දෙයක් බං. ඒ වුනාට අපි ඒකට කැමතියි. ඒකෙන් එන ආශ්වාදයට අපි හිතින් බැඳෙනවා. ඒකයි  " ගිහාන් වරෙක පැවසුවේය.

"බලපන් - දෑසේ වෙලිලා මා හා බැඳී,
දෑසේ කතාවෙන් යාවී රැඳී
තනිකම නිවා දිවියේ පාලු යාමේ
පසුදා  උදේ ඈ  වෙන් වී ගියේ "

" කොහොමද බන් මුන්ට හිතෙන්නේ මෙහෙම ඒවා ලියන්න."
ඔහු සුහද ගෙන් ඇසීය.

"සමහර විට ලියපු එකාටත් එහෙම අත්දැකීමක් තියෙන්න ඇති බන් " ජයන්ත පැවසීය.

"ඔය කලාකාරයෝ කියන්නේ රට වටේ ගැහැණු ඉන්න කුපාඩියෝ බං "

"ෂික් කුලරත්න ආරියවංශට එහෙම  කියන්න එපා බන්. සුන්දර මනුස්සයෙක්. එහෙම වෙන්න  ඕනෙම නැහැ සින්දුවක් ලියන්න. ඒක  උන්ගේ පරිකල්පන හැකියාව. "

"හරි සොරි එහෙම කිව්වට ඒත් අත්දැකීමක් එනකොට ගැම්ම වැඩියි බං " සුහද හූමිටි තැබීය.

  වික්ටෝරියා වලින් උමන් දුම්රියේ නැගී ඔවුන් කෙලින්ම ගියේ ලන්ඩනයේ ඇක්ටන් නමැති පෙදෙසටය.  දෙදිනක් කලින් පැමිණි ප්‍රියාන් එහි නැවතී සිටින බව ඔවුන් දැන සිටියහ. සාමාන්‍යයෙන් සිසුන්ට නතර වන තැන් ඉක්මනින් සොයා ගත නොහැකිය. නෑදෑයෙක් හෝ අඳුනන කෙනෙක් නැති අය බොහෝ විට ඇක්ටන් පෙදෙසේ ටෙන්ට් සිටි (කුඩාරම් නගරය) එකට ගියහ. නැතිනම් ඔල්ඩ්ගේට් ඊස්ට් පැත්තේ බංග්ලාදේශ නිවෙස් වල කාමර සොයා ගත්හ. නැගෙනහිර ලන්ඩනයේ බංගලි දේශ සම්භවයෙන් යුත් අය  බහුලව වෙසෙන පෙදෙස් වල සිසුන්ට අඩු  ගණනට කාමර කුලියට ගත හැකිය.

ටෙන්ට් සිටිය තිබුනේ බටහිර ලන්ඩනයේ  නැගෙනහිර ඇක්ටන් (East Acton)   පෙදෙසේ සිංහලට පෙරලුවොත් පරණ ඕක් පොදු මාවත යයි නම් කළ හැකි  (ඕල්ඩ් ඕක් කොමන් ලේන් )   මාවතේය. (මේවා දැන් නැත)  ප්‍රියාන් හමු නොවූ නිසා ඔවුහු කුඩා කූඩාරමක්  කුලියට ගත්හ. මේවා පවුම් දෙකක් පමණ සුළු මිලකට කුලියට ගත හැකි  තුන් හතර දෙනෙකුට නිදා ගැනීමට ඉඩ පහසුකම් ඇති ඒවාය. සිසුන් මේ තැන් වලට  එන්නේ පසුව කාමරයක් සොයා ගන්නා අදහසිනි.  කුලියට දෙන තැන තරමක් විශාල ගොඩ නැගිල්ලක පිලි ගැනීමේ  කාර්යාලය  තිබේ. එය පාලනය කරන්නේ තරුණ සංවිධානයකිනි. එම ගොඩ නැගිල්ලේම පැන්ස  විස්සක් දී  නා ගැනීමට හැකි  පොදු නාන කාමර තිබේ. ඇඳුම් සෝදා ගැනීමට රෙදි සෝදන යන්ත්‍ර ද  තිබේ.

ඇක්ටන් වල කුළියට ගත හැකි කූඩාරම්  
ළඟ තිබෙන දෙයක් කා ඔවුන් මහන්සියට ඇලවුනහ. හවස් වනවිට ප්‍රියාන් පිලි ගැනීමේ කාර්යාලයෙන් විමසා ඔවුන් සොයා පැමිණියේය.

"ආ නියමයි මචන් මටත් අද රෑ මෙතන සෙට් වෙන්න පුලුවන්ද. ඊයේ රෑ මම හිටිය ලොකු ටෙන්ට් එකේ ඕස්ට්‍රේලියන් කපල් එකක් ඇඩම්ස්  ඔන්ලි එකක් ඇට් කලානේ බං. නින්දකුත් නැහැ" ප්‍රියාන් කීය.

"හාහ් හා උඹ ඔහොම කියනවා අපෙත් ඉන්නවා දුම්රියේ කුමාරයෙක් " සුහදයා කොක් හඬලා සිනාසී කීවේය

"මුකුත් නැහැ මචන්. මුන් මේ බොරු කියන්නේ. තාන්යා ආව බ්‍රෙස්ට් එනකන්. ඔය ඔසී එවුන් තැනක් නොතැනක් බලන්නේ නැහැ " ගිහාන් ප්‍රියාන්  ගේ පිටට තට්ටුවක් දැම්මේය.

අසූව දශකයේ ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත තරුණ තරුණයන්ගෙන් ලන්ඩනය පිරි පැවතුනි. ඔවුන්ටම වෙන්වූ පබ් (බීම හල් ) නවාතැන් ආදිය ලන්ඩනය පුරා  තිබුණි. මෙම කූඩාරම් නගරයේද වැඩි හරියක් සිටියේ ඔවුන්ය. හවසට බියර් බොමින් ගිටාර් වයමින් ගීත කීම හා නැටීම ද ඔවුහු පුරුද්දක් වශයෙන් කළහ. මේ තරුණ තරුණියන් බොහොමයක් විශ්ව විද්‍යාලට යාමට පෙර ගැප් වසර නමින් හඳුන්වන වසරක නිවාඩුවක්
 රැගෙන හෝ රැකියාවෙන් අවුරුදු දෙකක් පමණ නිවාඩුවක් ගෙන යුරෝපයේ ඇවිදීමට පැමිණෙති. ඔවුන් යුරෝපිය රටවල සංචාරය කරන්නේ තාවකාලික  රැකියා කර උපයා ගන්නා මුදලිනි.

බොහෝ අය තාවකාලික ආදර සම්බන්ධතා ද පවත්වා ගනිති. එවැනි වෙලාවක ලොකු කුඩාරම් ඇතුලේ හෝ පිට්ටනිය අවට අඳුරු තැන්වල වැඩිහිටි ජවනිකා රඟ දැක්වෙයි.  ලොකු කූඩාරම් මිලිටරි ටෙන්ට් වැනිය. ඒවායේ පහළොවකට විස්සකට එක දිගට නිදියන්නට ඇඳන් දමා තිබේ. තරුණ යුවලවල් වලට පෞද්ගලිකත්වයක් නැත. එහත් බොහෝ විට ඔවුන් එක ඇඳක්  බෙදා හදා ගන්න විට ළඟ නිදන අයට කරදරේය. ප්‍රියාන්  කීවේ එවැන්නක් ගැනය.

"තාන්යා එච්චර  දුර ආපු එක පුදුමයි. ඒක නෙමේ මම ගිටාර් එකක් හොයා ගත්ත බේස් වෝටර් පැත්තේ මචං. අද මේ  වැඩ කරලා ආවේ." ඔහු කීය

"මොකද්ද හරියටම "

"මම පාරේ ඇවිදින කොට රෙස්ටුරන්ට් එකක් අයිතිකාරයාගේ ගෑණි හිටිය. මට කතා කරලා තේකක් දුන්න. ඒකිම ඇහුව රස්සාවක්  තියනවා ඕනෙද කියල. උන් දන්නවා ස්ටුඩන්ට්ල මේ දවස් වල රස්සා හොයනවා කියල.  වේටර් වැඩක්. අර කාන් එකෙත් රස්සාවක් තියනව. වෙස්ට්බෝර්න් ග්‍රොව් එකේ නොටින් හිල් වලට යන පාරේ "
ප්‍රියාන් නොනවත්වා විස්තරයක් දුන්නේය.

 ඒ දිනවල ලන්ඩනයේ රැකියා වල හිඟයක් නොතිබුණු බව ගිහාන් ට මතකය. ගිම්හානයට  හා වසන්තයට ලන්ඩනය ට ඇදෙන සංචාරකයන් නිසා ආපන ශාලා , හෝටල  සහ වෙනත් ස්ථාන වල රැකියා අවස්ථා බොහොමයක් හදිසියේ ඇති වේ. මේ රැකියා කරන්නේ ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤ , පෘතුගීසි ආදී රටවල තරුණ  තරුණියන් හා   ලංකාව වැනි රටවලින් පැමිණ ලන්ඩනයේ ඉගෙනුම ලබන සිසුන්, සහ සෝවියට් දේශයෙන් එන සිසුන් ය.

"මම ඒකට යන්නම් " ගිහාන් කීය.

බේස්වෝටර් පෙදෙසේ ම ඔවුන්ට කාමරද අඩු මිලකට ලැබුණි. වේටර රැකියාව සොයා ගත්  ගිහාන් තාන්යා ට ලිපියක් ලිවීමට හවසක මුල පිරුවේය.

රුසියානු භාෂාවෙන්  "ලන්ඩනයේ සිට ලියමි " කියා පටන් ගත්තද  බොහෝ වෙලාවක් යනතුරු ඔහුට කිසිවක් ලියා  ගත නොහැකි විය.  බොහෝ කලකින් ලිපියක් ලියා නැත. පෙම්වතියකට කවදාවත් ලියා නැත.

අන්තිමේදී රැකියාවක් ලැබීම දක්වා වන සිද්ධි මාලාව ලියා  ගැනීමට ඔහුට හැකි විය.

~ මතු සම්බන්ධයි
පසු සටහන - සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
ගායනය - මිල්ටන් මල්ලව ආරච්චි
සංගීතය - ක්ලැරන්ස් විජේ වර්ධන
ගේය පද - කුලරත්න ආරියවංශ 

17 comments:

  1. තියන් සිහිවටන රැකියා වැඩ අතර
    ගිහන් ලිපිය ලියනව කාලය අතර
    හොයන් දිව්ව ඒ ටෙන්ට් කාමර අතර
    තියෙන් නේද සුව පහසුව නිති පැතිර....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හේ හේ තැන්කියු වේවා

      Delete
  2. Replies
    1. මොකෝ මේ ඔක්කොම වැටවල් ගහගෙන යන්නේ :)

      Delete
  3. I am enjoying your writing....its a good novel. I remember Badrajee. His style is here. Looking forward to read the next...and next...and next!!!

    ReplyDelete
    Replies
    1. Thank you. It's a honour to get a good word from a seasoned, famous blogger like you.

      Delete
    2. "seasoned, famous blogger"..... බුදු මහත්තයෝ ඔහොම බොරු කියන්ට එපෝ...මෙහෙ අකුණු ගහනවෝ....!!

      Delete
    3. මම නම් දන්නේ ඒ විධිහට. ප්‍රධාන වෙබ් අඩවි වල ඔබගේ ලිපි පලවෙනවනේ, සෑහෙන්න ප්‍රසිද්දියක් තියෙන කෙනෙක් කියලයි දන්නේ

      Delete
  4. ඔහොම යං.
    දිගටම කියවනව බොහොම කැමැත්තෙන්.ඇත්තටම මට කමෙන්ට් කරන්න ඔනෙවුනේ, මං කැමතිම කලින් කොටස- දුම්රියේ ජරමරේට.
    ෂා ඒකට පදමට ලුනු-ඇඹුල් දාලා තිවුනා. හිතේ මවා ගත්ත විෂුවල් ගත්තෙ මෙන්න මේකෙන්


    ReplyDelete
    Replies
    1. ඔය විස්තර ඇත්තටම ලියන්නේ වෙන හේතුවකට. ඒක පැහැදිලි වෙයි අන්තිමට.
      https://www.youtube.com/watch?v=s1u7Q9ac4ag

      Delete
    2. මේ කතා සැට් එක, අර බංගලි ගමරාලගෙ කතාව නිසා සෝවියට් ශිෂ්‍යයො ගැන තිබ්බ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. ඒත් ඔබ මේක දේශපාලන ලිපි ලෙස ලිව්වා නම් කවදාවත්ම කියවෙන්නෙ නෑ.

      නන්නාදුනන රටක ජීවිතේ ආරම්භ කරපු අපි හැමෝම දන්නවා කාපු කට්ට. බලාගෙන ගියාම අපි හැමෝම කාලා තියෙන්නෙ එකම පරිප්පුව නෙව? :)

      Delete
    3. දේශපාලන ලිපි ලියන්නේ අර දේශපාලන වෙබ් අඩවියක් ටාගට් කරලා. මම සාමාන්‍යයෙන් කැමති එකක්. ඔය පරිප්පුව අපි හැමෝම කෑව . හැබැයි ඒක නිසා තමයි මෙහෙම හරි ඔලුව ගහල ඉන්නේ.

      Delete
  5. Replies
    1. දැනුමක් තේරුමක් ගත්තද පාඩමක් ඉගෙන ගත්තද ඔය දරුවා

      Delete
  6. ජුන්ඩා ඇනෝ ඒ ප්‍රතිචාරය නම් මරු . හොඳ ලිවීමේ හැකියාවක් නේ තියෙන්නේ. පණ යනකම් හිනාවුනා. අර අගට තිබ්බ බ්ලැක්මේල් වාක්‍යය නිසා දාන්න බැහැ බැහැ වගේ හිතුන. But carry on. හේ හේ .

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .