Thursday, 31 May 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (25) - දෙමසක්ම ඇය නැතිව

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (24) - ලන්ඩනයේ සිට ලියමි
පැරැණි බීටි දුරකථන කුටි 

ලිපිය ලියා තැපැල් කිරීමට යන දිනයේ ලංකාවේ සිට ලන්ඩනයට කෙලින්ම පැමිණි කෙනෙකු ගිහාන්ට හමුවිය. ඒ සවස් භාගයේ ලැබෙන කෙටි නිවාඩුවට ඔහු ඒ අසල තිබූ හයිඩ් (පාක්) උද්‍යානයේ ගත කිරීමට යන විටය. බේස්වෝටර් හා ක්වීන්ස් වේ මෙට්‍රෝ දුම්රිය පළ දෙක පසු කර ගිය විට බේස් වෝටර් මාවත අසලින් හයිඩ් පාක් එකට ඇතුළු  විය හැකිය. ලංකාවේ සිට ඉගෙනීමට පැමිණි අසංක ඉගෙනීම අවසන් නොකරම ලන්ඩනයේ නැවතී සාමාන්‍ය  රැකියාවක් කරමින් ජිවත් වෙයි.

ඔහු හා කතා කිරීමේදී ලංකාවට 'නොමිළයේ'  කතා කරන  ක්‍රමයක් ගිහාන්ට දැන ගත හැකිවිය. ලංකාවට කතා කිරීමට මිනිත්තුවකට පවුමක් වත් වැයවේ. එය තරමක මුදලකි. ලන්ඩනයේ පළමු සීමාවේ (zone 1)  මෙට්‍රෝ දුම්රිය සේවාව පවුම් 5 කටත් අඩුය. එනිසා දුරකතනයෙන් කතා කිරීම සාපේක්ෂව වියදම් වැඩිය. ඔවුන් කරන්නේ එකවර පවුම් 3-4ක් දුරකථන කුටියේ ඇති දුරකතනයට දැමීමයි. ඉන්පසු අනිත් පැත්තෙන් රිසීවරය ඔසවනවාත් සමගම වානේ වැනි කූරකින් මුදල් දමන තැනින් යට කුහරයට ට ඇන්න යුතුය. එවිට දැමූ  මුදල් නැවත ලැබෙන අතර  ඒවා නැවත නැවත දමමින් කතා කළ හැකිය.

මේ ක්‍රමය ගැන සුහද හා ප්‍රියාන්ලාට කි විට ඔවුන් එයට විරුද්ධ විය.
"ඕක වංචාවක් බං කරන්න  එපා".  අසංක ද එහිසිටි අතර ඔහු කීවේ අමුතුම කතාවකි. ශ්‍රී ලංකාවෙන් එහි පැමිණ සිටින බොහෝ දෙනාද එම කතාවම පවසනයුරු ඔවුන්ට පසුව පසක් විනි. අසංක කීවේ ශ්‍රී ලංකාවෙන් සුද්දා මුදල් සූරා කා පැමිණ තමන්ගේ රට හොඳට ගොඩ නැගූ නිසා මෙසේ සුළු මුදලක් වංචා කිරීමේ ප්‍රශ්නයක් නොමැති බවය. අනික බීටි (බ්‍රිටිෂ් ටෙලිකොම් සමගම) කියන්නේ බහු ජාතික ධනවත් කොම්පැණියක් නිසා මෙසේ සුළු මුදලක් වංචා කිරීම ඔවුනට නොදැනෙන බවය.  මේ තර්කයේ හරි වැරැද්ද කෙසේ වෙතත් වසර කිහිපයකට පසු ටෙලිකොම් සමාගම  වරද හසු කරගෙන නව දුරකථන  පද්ධතියක් සවිකළහ.

ගිහාන් කල්පනා කළේ එක්වරක් පමණක් අසංක ගේ උදව්වෙන් තාන්යා ට කතා කිරීමටය.

ඒ අතරේ තවත් ප්‍රශ්නයක් ඇතිවිය. ඔවුන් සමග කිසියම් ඈත නගරයකින් පැමිණි සරත් නම් සිසුවෙක්ද  සිටියේය. පසුව ඔවුන්ට දැන ගැනීමට ලැබුනේ මේ  සිසුවා ලංකාවේ ඈත පෙදෙසක පන්සලක සිට සෝවියට් දේශයේ ඉගෙනුමට පැමිණ එහිදී  සිවුරු හැර තිබු බවයි. එය හෙළි වූයේ ප්‍රියාන්  කියූ කතාවක්  නිසාය.  ප්‍රියාන්  ඔහු කැඳවා ගෙන පැමිණ ඇත්තේ වික්ටෝරියා  දුම්රිය පලේ නිදාගෙන සිටියදීය .  සෝවියට් දේශයේ සිට ලන්ඩනයට පැමිණෙන සිසුන්ට උදව් කිරීම කාගේත් පුරුද්දකි. හැමෝම පැමිණෙන්නේ රැකියාවක් කර මුදලක් උපයාගෙන යන්නටය.සිසුන් රාශියක් නැවතී සිටි කාමරයේ ඔහුට එදා දොර අසල බිම නිදා ගන්නට සිදුව ඇත. උදේ නැගිට දුක්මුසු මුහුණින් කඳුළු පෙරාගෙන කොල්ලන්ට බැණ  වදින විට ප්‍රියාන් ඒ පිළිබඳව සරත් ගෙන් විමසා ඇත.

"බලන්න අනේ මගේ සිවුර ගැනවත් සලකන්නේ නැතිව මුන් ඇඟ උඩින්  පැනගෙන යනවනේ"

ඔහු චෝදනා කළේ කලින් වැඩට යන සිසුන් උදේ නැගිට මුහුණු සෝදා ගැනීම් ආදී කර්තව්‍යයන්  කිරීමට දෙතුන් වතාවක් නිදා සිටි ඔහුගේ ඇඟ උඩින් පැන යාම ගැනය. මේ හතර බීරි කතාව ප්‍රියාන් ට මුලින් නොතේරුණත් එතැන් සිටි තවත් සිසුවෙකු
" මු මචං සිවුරු ඇරලා ඉන්නේ "
යයි කිවූ පසු ඔහුට සියල්ල පැහැදිලි විය.
 උදේ අවදි වුන සරත්ට  දැනී  ඇත්තේ තමන් තවමත් සිවුර දරා සිටි බවකි. ඒ හැඟීමෙන්ම ඔහු හඬමින් කොල්ලන්ට බැන වැදී  ඇත. සියල්ලන්ම මහා හඬින්  සිනා සි ඇති අතර ඉන් උරණව සරත් ඔවුන් අතහැර සුහද සොයා ගිහාන් සිටි තැනට පැමිණියේය.
පන්ක් සමාජය 

ඒ දිනවල වෙස්ට්බෝර්න් ග්‍රොව් මාවතේ සවස් වන විට  පාළුවට ගිය පල්ලියක් තිබුණි.
ඒ අසල රස්තියාදුවේ රැඳී සිටි පන්ක් නමින් හඳුන්වන තරුණ තරුණියන් පිරිසක් සිටියහ. එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ හා ඕස්ට්‍රේලියාවේ හැත්තෑ ගණන් වල පැතිරුණු  පන්ක්  ව්‍යාපාරයට පන්ක්  රොක්, පන්ක් සාහිත්‍යය , පන්ක්  චිත්‍රපට, පන්ක් නැටුම් ආදී වශයෙන් සාමාජිය  වශයෙන් විසිරුණු ඉතිහාසයක් තිබුණි. පන්ක්  උප සංස්කෘතිය ලෙසින්  හැදින්වුණු මේ කාණ්ඩ වල ජිවන රටාවේ  ප්‍රධාන දර්ශනය නිහිලිස්ම් විය. නිහිලිස්ම් යනු ජිවිතයට තේරුමක් නැති බවට ඇති විශ්වාසයයි. එසේම සමහරුන් අනර්කිස්ට් හෙවත් රාජ්‍ය බලය නොමැති සමාජ ගැන විශවාසයක් ඇති අය වූහ . බ්‍රිතාන්‍ය දක්ෂිණාංශික අන්තවාදීන් සිටි සමුහයන්ද තිබූ නමුත් බොහොමයක් පන්ක්  කණ්ඩායම් වලින් සංක්‍රමණිකයන්ට හෝ වර්ණ සමක් ඇත්තන්ට ප්‍රශ්න තිබුනේ නැත.
පන්ක් කණ්ඩායමක් 


එහෙත් ඔවුන් දෙස අනවශ්‍ය නිරීක්ෂණය කිරීම්  පන්ක් වරු ඉවසන්නේ නැත. නමුත් ඔවුන් දෙස බැලෙන්නේ ඔවුන් හැඳ සිටින නානා විධිහේ  විප්‍රකාර ඇඳුම් ආයිත්තම් ආදිය සහ ඔවුන්ගේ කොණ්ඩා මෝස්‌තර නිසාය. බොහෝ අය කළු ලෙදර් ජැකට් ඇඳ සිටිති. ඉහත කී  පල්ලිය අසල ගැවසෙන කණ්ඩායමේ සුරූපී තරුණියන් කිහිප දෙනෙක් ද සිටියහ. මේ කෙල්ලන්ගේ ඇඳුම් විලාසිතා බොහොමයක ඔවුන්ගේ ශරීරයේ නොයෙකුත් තැන්  නිරාවරණය සේ සකසා  තිබුණි. ඔවුන් සිටි පැත්තෙන් නොයන ලෙස  කීවත් සරත් නිතර කලේ රාත්‍රී වැඩ හැරී එන විට ඔවුන් දෙස බල බලා පැමිණීමයි. වරෙක කෙල්ලන් ඔහුගෙන් සිගරට්  ඉල්ලාගෙන බිව් බවද ඔහු උජාරුවෙන් කීවේය.  පන්ක් වරුන්ගෙන් ඉවත්ව සිටින ලෙස ඔහුට කළ අනතුරු හැඟවීම් ඔහු මායිම් කලේ නැත.
පන්ක් කණ්ඩායමක යුවතියක් 
 ලන්ඩනයේ  ගිම්හාන සමයේ තාවකාලික රැකියා වල දුන්නේ සති වැටුප්ය. බොහෝ අය මාස කිහිපයකින් රැකියාවෙන් ඉවත්ව යන නිසා විය හැකිය. වැටුප් දිනය බොහෝවිට සිකුරාදා හෝ සෙනසුරාදා ය. සරත් පැවසූ පරිදි,  මේ කියන දිනයේ වැටුප ද ගෙන රාත්‍රියේ නවාතැනට එන සරත් පන්ක් කණ්ඩායම අසල නැවතී ඉතා අහිංසක ලෙස  සිගරට්ටුවක් උරා තිබේ.   ඒ අවස්ථාවේ පන්ක් කෙල්ලන් මොහුගෙන් මුදල් ඉල්ලා තිබේ. ඔහු ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් කියා ඇත්තේ ඔවුන්ට මුදල් නිකම් අනවශ්‍ය  බවත් ඔහු සතුටට පත් කිරීමට ඔවුන් කැමති බවත්ය.

"උඹ අපට කැමැතියි  නේද" යයි අසූ විට ඔහු නැතැයි  කියා තිබේ.
එහෙනම් උඹ අපි දිහා හැමදාම බලන්නේ ඇයි දැයි කෙල්ලන් තදින් විමසා තිබේ.
සුපුරුදු ලෙස "මම බැලුවේ නිකං "යයි ඔහු පවසා තිබේ. සියල්ල වැරදී එතැන් පටන්ය.

පාන්දර හරියේ නවාතැනට ගෑටූ සරත් ගේ ලිංගික ප්‍රජනන පද්ධතිය දැඩි ලෙස ඉදිමි තිබුණි. වහා  අසංක සොයා ගොස් ඔහු දන්නා හිතවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට  සරත් පෙන්නා  ඔහුගේ ඉදිමීම් වලට ප්‍රතිකාරයක් ගෙන දී ගිහාන් සහ පිරිස නැවත  පැමිණියහ.
ඉතිරි හරිය පැවසුවේ වෛද්‍යවරයාය.
  සරත්ව ඇදගෙන පල්ලියේ අඳුරු කොටසකට ගිය කෙල්ලන් ඔහුව  පුටුවකට තබා බැඳ නිරුවත් කර තිබේ.  ඉන්පසු සරත්ට බලහත්කාර කම් කල පන්ක් කෙල්ලන් අපුරු උපක්‍රමයක්ද  යොදාගෙන තිබේ.  මේ පන්ක් වරු බොහෝ පෙරදිග සාහිත්‍යය පරිශීලනය කරන අය බව පැවසූ ලංකාවේ වෛද්‍යවරයා කෙල්ලන් චීන තාඕ වරු පිරිමින් ගේ සුරතාන්තය පමා  කිරීමට භාවිතා කරන ක්‍රමයක් සරත් කෙරෙහි යොදා තිබෙන බවද  පැවසුවේය. ඔහු මෙයට මිට පෙරද ප්‍රතිකාර කර  තිබේ.  කෙල්ලන් තිදෙනා වරින් වර කල බලහත්කාරකමින් පසුව ඔවුන් ඔහුගේ පඩි පැකට්ටුව හා ඔරලෝසුවද ක්ලාක් සපත්තු කුට්ටමද වටිනා අව් කණ්නාඩි කුට්ටමද   උදුරා ගෙන තිබේ.

මේ සිද්දියෙන් පසු සතියක් පමණ අතුරුදහන්ව සිටි පන්ක්  කණ්ඩායම සරත් පොලිසි නොයන බව වටහා ගෙන නැවත ඒ ස්ථානයේම ප්‍රාදුර්භූත වූහ. සිසුන් සිටියේ ඔවුන් මග හැරය.

නැතිවුන මුදලට වැඩිපුර  සුමානයක් ලන්ඩනයේ නැවතී රැකියාව කළ සරත් ඉන්පසු කිසි දිනක සෝවියට් දේශයේ දී වත් හමු නොවුන බව ගිහාන් ට සිහිපත් විනි.

මේ සිද්ධීන් වලින් පසු ගිහාන් කළේ ලිපිද පමා වෙන හෙයින් තන්යාට කතා කරන්නටය. දහසක් දේ කියන්නට තිබේ. සරත් ගේ කතාව  නම් නොකියන්නැයි සුහද  කීවේය.
 "ඒකි  වැරදියට හිතයි මචං " ඔහු අවවාදයක්ද කළේය.
අසංකගේ උදව්වෙන් මුදල් දුරකථන පෙට්ටියට දමා කතා කල විට නිවසේ  සිටියේ ඇගේ මව පමණි.

තාන්යා මිතුරෙකු සමග කුබාන් ගිය බව ඇය පැවසීය. මිතුරෙක් සමගද මිතුරියක සමගද යන්න  ගිහාන්ට හරියටම වැටහුනේ නැත.  මවට ස්තුති කල ගිහාන් බිඳුණු  සිතින් නවාතැනට පැමිණියේය.

"ඒක ඉවරයි කියල හිතා ගනින්" යහළුවන් ඔහුට සරදම් කළහ.
"උඹ ඉතින් පැද්ද එක පැද්දනේ වාර්තා තියලා " ඔවුන්ගේ සිනාව ගිහාන් වඩා දුක්මුසු කළ බව සුහදලාට වැටහුණි.

සුහද හා ප්‍රියාන්  ගිහාන් ගේ  හිත හදන්නට කතා කලහ.

"මචං මාස දෙකහමාරේ  නිවාඩුවට කොහේ හරි යන්න ඇති "

"මට යනව කිව්වේ නැහැනේ , ගෙදර ඉන්නව කියලනේ කීවේ" ඔහුට සිතා ගත නොහැකිය.

"මේ උඹ දැන් කොහොමත් එහෙ යනවනේ ලන්ඩන් වලින් ගිහින්. ඒ විධිහටම පලයන්. ඊට පස්සේ බලපන්. මෙතැන් ඉඳන් පේන බලන්න එපා. උඹට මේ ලව්සික්" සුහද හා ප්‍රියාන් දෙදෙනාම කීය.

තමන් සැබවින්ම ඇයට ආදරය කර බව තමන් හරියටම  වටහා ගත්තේ එදා බව ගිහාන් ට සිතුනි.  ආදරය පැමිණෙන්නේ එක අතකට ආත්මාර්ථය , ඇය තමන් පමණක් සතු කර ගැනීමේ ආශාව සහ ඊර්ෂ්‍යාව ද මුසුවී එක පොදියටද ? නිවාඩුවට ඇය කුබාන් පෙදෙසට යන්නට ඇතිය. ඒ ගැන නොසිතා කතා කර ගත් පරිදි ඇයගේ නිවසට ගොස්  හමු විය යුතුය.

~~ මතු සම්බන්ධයි

7 comments:

  1. ගණන් ගන්න එපා කැලෑ හතු එකතු කරන්නයි කුබාන් යන්න ඇත්තේ, කැලෑ ස්ට්‍රෝබෙරි එකතු කරලා හදපු වරේනිය ගෙනත්දෙවි.

    ReplyDelete
  2. ඈ බං මේ පාර අර "එයාර් මයිල් බ්ලොග් ලී කෙලිය" නැතිද? සිරිකොතයි, හොර ඔප්පු ලියන රතු වරෙන්තුකාරයයි, "ජාත්‍යන්තරවාදී හෙළ උරුමයෙ" සභාපති පරණවිතානයි, "නූතන සේනක බිබිලෙයි" බෑ කිව්වවත්ද?

    ReplyDelete
  3. ඕනෑම ගුවන් සේවාවකින් එංගලන්තෙ ඉදන් ලංකාවට නොමිළේ "එයාර් මයිල්" වලින් එන්නයි ලංකාවෙ ඉඳල නොමිළේ "එයාර් මයිල්" වලින් ආපහු එංගලන්තෙට යන්නයි ඒ ගුවන් සේවාවෙ ඊට කළින් කොච්චර දුරක් මුදල් ගෙවල ගිහින් තියෙන්න ඕනැද?

    නොදන්නා හින්දයි අහන්නෙ. අඩු ගානේ ඒ ගුවන් සේවයෙ නමවත් කියනවද?

    ReplyDelete
  4. @ඇණය - ඒක ඉතින් ගිහාන්ට කියන්න ඕනේ. ඔයා හරියටම දැන ගෙනනේ. කුබන් පැත්තේද හිටියේ?
    @ඉයන් - ස්තූතියි

    ReplyDelete
  5. @ඇනෝ 9.35 - නැහැ බං , මම බැහැ කිව්වා

    ReplyDelete
  6. එයාර් මයිල් ඇනෝ :
    When you fly, you can collect points for each mile flown just by signing up for the loyalty scheme of the airline you’re flying with. Simply enter your membership number when you book or display it at check-in so you’ll be able to earn points for the distance you fly.

    Now, if you fly with different airlines all the time then there’s no point signing up for hundreds of different loyalty schemes – it will take you forever to collect enough miles for a free flight.

    Instead, we’d recommend becoming familiar with the three major airline alliances. The major alliances are as follows:

    oneworld – American Airlines, British Airways, airberlin, Cathay Pacific, Finnair, Iberia, Japan Airlines, LATAM, Qatar Airways, Malaysia Airlines, Qantas, SriLankan Airlines, Royal Jordanian, S7 Airlines.

    Star Alliance – Adriatic, Aegean, Air Canada, Air China, Air India, Air New Zealand, ANA, Asiana Airlines, Austrian, Avianca, Brussels Airlines, CopaAirlines, Croatia Airlines, Egyptair, Ethiopian, Eva Air, LOT Polish Airlines, Lufthansa, Scandinavian Airlines, Shenzhen Airlines, Singapore Airlines, South African Airways, SWISS, TAP Portugal, Thai Airways, Turkish Airlines, United.

    SkyTeam – Air France, Aeroflot, Aerolineas Argentinas, Aeromexico, Air Europa, Air France, Alitalia, China Airlines, China Eastern, China Southern, Czech Airlines, Delta, Garuda Indonesia, Kenya Airways, KLM, Korean Air, MEA, Saudia, TAROM, Vietnam Airlines, Xiamen Air
    -https://www.skyclub.com/blog/collecting-air-miles-in-the-uk

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .