Tuesday, 12 June 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (27) - සිතට වදදුන් පැනය අවසන්

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (26) - දොන් නදිය අසබඩ රොස්ටොව්
ගොලුබ්සි හා ඩොල්මා පිඟානක් 
දොන් නදිය අසබඩ පිහිටා ඇති රොස්ටොව්  නගරය මිලියනයක් පමණ මිනිසුන් සිටින විශාල නගරයකි. එය පහසුව සඳහා ප්‍රධාන ප්‍රදේශ අටකට බෙදා තිබේ. වරශිලොව්ස්කි, කිරෝව්ස්කි , ලෙනින්ස්කි පෙදෙස් හඳුන්වා තිබෙන්නේ ඔක්තෝබර්  විප්ලවයට සම්බන්ධවූ නායකයන්ගේ  නමිනි. පියේර්වමයිස්කි යනු මැයි පළමුවැනිදා සමරන්නට යෙදුනු නමයි.සවියෙට්ස්කි නම සෝවියට් සභා ද ඔක්ත්යාබර්ස්කි රතු ඔක්තෝබරය සිහිවන්නටද යොදා තිබේ. තාන්යා ගේ නිවෙස ඇත්තේ ඉහත කි පරිදි ප්‍රොලිතාර්ස්කි (නිර්ධන පන්තිය)  ප්‍රදේශයේය.

මෙම නගරය දොන් නදිය දිගේ වැටී ඇති ප්‍රධාන නැව්  මාර්ගයක පිහිට ඇති නිසා ඉතාලියානු, ග්‍රීක හා තුර්කි වෙළෙන්දන්ගෙන් පැවතෙන ජනකායක් ද සිටිති. වොල්ගා -දොන් නැව්  මාර්ගය 1952 දී නිමැවූ පසු කළු මුහුද, අසොව් මුහුද, කැස්පියන්, සුදු මුහුද හා බෝල්ටික් මුහුද යන මුහු පහට  මෙම වරාය  නගරය විවෘත විය.

අලෙක්සේයි වාහනය  පදවමින් මුළු රොස්ටොව් නගර ඉතිහාසයම  ගිහාන්ට පැවසීය. පැය භාගයකට හමාරකට පසු ඔවුන් සිටි නිවාස සංකීර්ණයේ රථය නැවැත්වූ ඇලෙක්සෙයි පෙම්වතුන් දෙදෙනාට හෙමින් සීරුවේ ඒමට ඉඩ හැර ගිහාන් ගේ ගමන් මල්ලද රැගෙන නිවෙසට ගියේය.   ඔවුන් ජිවත්වුයේ තෙවැනි තට්ටුවේ නිවසකය.  විශාල කාමර දෙකක් ද ඉදිරි විසිත්ත  කාමරයක් ද කුස්සියක්ද තවත් කුඩා ගබඩා කාමරයක් සහ බැල්කනියක් ද  එහි විය. මේ සෝවියට් තට්ටු නිවාස වල මුළුතැන්ගෙය  එතරම් විශාල නැත. නමුත් නොයෙකුත් භාණ්ඩ කුළුබඩු  තැබීමට  රාක්ක සාදා තිබේ. සාමාන්‍ය සුළු මධ්‍යම පන්තික නිවසක අවන් එකක් සහිත විදුලි ලිපක්, ශීතකරණයක් ආදිය තිබේ. රෙදි සෝදන යන්ත්‍ර හැම නිවසකම නැත.

නිවසට ඇතුළු වුනු ගිහාන්, තාන්යා ගේ මව අක්සානා විසින් උණුසුම් ව සිප වැළඳගෙන පිලිගත්තාය. මිත්තණිය ඔහුගේ දෙකම්මුලට තදින් හාදු දෙකක් දුන්නාය. සාමාන්‍යයෙන් පිරිමින් යමෙකු පිළි ගැනීමට අතට අත  දීම මෙන්ම මුහුණ පැත්තක් සිප ගන්නා  අතර ගැහැණුන් දෙකම්මුල සිප ගනිති.

හය දෙනෙකුට පමණ හිඳ ගත හැකි මේසය පුරා නොයෙකුත් ආහාර වර්ග තබා තිබුණි.

"කෝ ඔයාගේ සහෝදරිය ලේනා " ගිහාන් විමසුවේ ලේනා දකින්නට නොසිටි හෙයිනි.
"එයා පෙම්වතාගේ ගෙදර, අනිද්දා එයි " අක්සානා පිළිතුරු දුන්නාය.

අලෙක්සේයි රුසියානු චාරිත්‍රයට අනුව වොඩ්කා බෝතලය ඇර වීදුරු වලට දමා සියල්ලන්ගේම අතට දුන්නේය. තාන්යා සාමාන්‍යයෙන් වොඩ්කා නොබොන බව ගිහාන් දනී. ඔහු රැගෙන එන චෙරි ලිකර් එකක හෝ වයින් බෝතලයකින් විදුරුවක් හැරෙන්නට ඇගේ  මත්පැන් වලට කැමැත්තක්  නැත.

"මම මේකත් ගන්නද " ඔහු ඇසුවේය.
"නැහැ ඒක හරි නැහැ. ඔයා ආපු එකටනේ බොන්නේ. මේ ටික බොන්නම්"

තාන්යා ගේ පියා ඇලෙක්සෙයි ගිහාන්ට සුභ පතා වොඩ්කා වීදුරුව එසවීය. ඔහු හා මිත්තණිය වීදුරුව රුසියානුන් කරන පරිදි කෙළින් ම උගුරට හලා ගත්තද මව හා දියණිය එය සෙමින් තොලගා පැත්තකින් තැබූහ. තවත් වොඩ්කා වීදුරුවක් උගුරට හලා ගත් ඇලෙක්සෙයි කළු පාන් කෑල්ලක් සිඹ, සලාද සමග එය ගිල දැම්මේය.

"මේ අම්මා ඔයා  බත් කන නිසා බත් දාලා ගොලුබ්සි හා ඩොල්මා හැදුවා."

ගොලුබ්සි යනු ගෝවා  කොළ වල ඔතන ලද ඇඹරූ මස්ය. නමුත් බත් දමාද සෑදිය හැකිය. ඩොල්මා යනු තුර්කි හෝ ආර්මේනියානු රටවල නිතර සාදන කෑමකි. එය බත්වලට සුදුළුනු සහ තවත් කුළුබඩු දමා මිදි කොළ වල ඔතා තම්බා ගෙන සාදන ආහාරයකි.  උක්රයිනයේ ප්‍රසිද්ධ බොර්ෂ් සුප් ද පලහන  ලද කුකුළෙක්ද , ස්තලිච්නයා සලාදයක් ඇතුළු බොහෝ දෑ  එහි විය.

ගමන්  වෙහෙස නිසා ගිහාන් වැඩිපුර බීමට  නොසිතුවේය. මිත්තණියගේ කළු කොණ්ඩය හා මදක් වෙනස් හැඩහුරු  කම ඔහු විමතියට පත් කළේය.
"බබුෂ්කා මගේ මව් ගේ මව (මිත්තනිය ) එයා කොසැක් හා රුසියන්, මව් ගේ පියා මගේ ද්යෙද් (සීයා) කොසැක්. තාත්තගේ පියා රුසියන්. මව උක්රයින්කා. මගේ රන් පාට හිසකේ ඇවිත් තියෙන්නේ ඒ පැත්තෙන්." තාන්යා පැහැදිලි කලාය.

"බබුෂ්කා ගේ කතාව  ඔයාට පස්සේ කියන්නම්." බබුෂ්කා තාන්යා දෙස විමසුම් බැල්මක් හෙළුවාය.

රාත්‍රිය ඉක්ම යමින් තිබූ නිසා ඔවුහු රාත්‍රී ආහාරය ඉක්මනින් අවසන් කළහ. ඇලෙක්සෙයි තම නැන්දනිය, තාන්යා ගේ මිත්තණිය ඇය සිටින කොමියුනල් නිවසට ගෙන යා  යුතු නිසා ගිහාන් තමන් ගෙන ආ තෑගි ඔවුන්ට බෙදා දුන්නේය. ඇලෙක්සෙයි ට දුන් කමිසය, මවට හා මිත්තනියට දුන් රෙදි පිළි, තාන්යා ට දුන් තෑගි ගොඩ මේ සියල්ලට ඔහුට ස්තුති වර්ෂාවක් ලැබුණි.

"එන්නකෝ මටත් දෙයක් දෙන්න තියනවා. අපේ කාමරේට යං".
තාන්යා ඔහුගේ අතින් ඇදගෙන කාමරයකට ගියාය.
"මේක, ලේනගෙයි මගෙයි කාමරේ " ඔවුන් දෙදෙනාගේ ළමා කල පින්තූර, නළු නිලි පින්තූර සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ යොසොමයිට් ජාතික උද්‍යානයේ පින්තුරයක් ද එහි බිත්ති වල තිබුණි.

"මේක සඟරාවකින් කපා ගත්ත එකක්. ලස්සනයි නේද? කවද හරි යන්න පුලුවන්නම් "
ඇය පැවසුවේ දුක්මුසුවද නැතිනම් බලාපොරොත්තුවකින් ද යයි ඔහුට වැටහුනේ නැත.


සමහර ඉන්දීය චිත්‍රපට රුසියාවේ ඉතා ජනප්‍රිය වුනු බව ගිහාන් දත්තේය. ඇගේ කාමරයේද  පැරණි චිත්‍රපට වන බොබී , දුනියා හා ඩිස්කෝ ඩාන්සර් හි කුඩා සිනමා පෝස්ටර් අලවා තිබුණි.  මේවා කොහෙන් ලැබුනේ දැයි අසන්නට ඔහු ගියේ නැත.

සෝවියට් තරුණ තරුණියන් හා අපේ රටේ තරුණ තරුණියන් අතර වැඩි වෙනසක් නැත. ඔවුන්ගේ සිතුම් පැතුම් අභිලාෂයන් හි ප්‍රබල වෙනසක් තිබේද? බටහිර තරුණ තරුණියන් මීට වඩා වෙනස්ද? අර පන්ක් වරුනම් සෑහෙන්න  වෙනස් ජිවන රටාවක් අනුගමනය කරති. කාමරයේ මැද සිටගෙන ගිහාන් මේ සියල්ල කිරා බැලීමට  ආයාසයක් දැරුවේය.

"මමත් ඔයාට තෑගි දෙකක් ගත්තා. මේකට කැමතිද කියන්න "
පෙට්ටියක බහා දර්ශනීය ලෙස ඔතා තිබූ යමක් ගෙන ඔහු අත තැබූ ඈ ඔහුගේ කම්මුලට උණුසුම් චුම්බනයකින් සංග්‍රහ කළාය. පාර්සලය තුල තිබුනේ පල්යොත් නමින් හැඳින්වෙන අත් ඔරලෝසුවකි.
සෝවියට් දේශයේ නිෂ්පාදිත පල්යොත් ඔරලෝසුවක් 
වර්තමාන රුසියානු පල්යොත් ඔරලෝසුවක් 

සෝවියට් දේශයේ හැටියට එය වටිනා යාන්ත්‍රික ඔරලෝසුවකි. ඉක්මනින්ම විකිණෙන්නක්  නිසා සාමාන්‍යයෙන් දිග පෝලිමක ලැග එවැනි අත් ඔරලෝසුවක් මිලදී ගත  යුතුය.

"ලස්සනයි. බොහොම ස්තූතියි" ඇයට උණුසුම් හාද්දක් දෙමින් ඔහු පැවසුවේය.

"ඔයා සල්ලි වියදම් කලේ ඇයි? ශිෂ්‍ය ආධාර මුදල වැඩිය ලැබෙන්නේ නැහැනේ අපි තරම් වත් " ඔහු විස්සෝප වූවේය.

"මම ගියා කුබාන් වල අල ගලවන්න. ක්‍රස්නදාර් පැත්තේ. නැත්නම් මට සල්ලි කොහෙන්ද, මේ " ඇය අවිහිංසක ලෙස පවසා දෑත පෙන්වූවාය.
පෙර සුමුදුව තිබූ ඒ දෑතේ නිය ගෙවී කැඩී තිබුණි. සමහර තැන් ලේ එනතුරු  ඉරී ඇති බව පෙනුණි. ඇතැම් නිය කොනක කුබානයේ කළු පස තවමත් රැඳී තිබුණි.

සාමාන්‍යයෙන් ගිම්හාන කාලයට ඇතැම් සෝවියට් විශ්ව  විද්‍යාල  සිසුන් නොයෙකුත් යෝජනා ක්‍රම වල තාවකාලික රැකියා වලට යති. සමහරු පාසල් වල ඉහල පන්තීන් සඳහා වන වසන්ත කඳවුරු හැසිරවීමට යති. බයිකාල් අමූර් දුම්රිය මාර්ගය සැදීමට ගිය කණ්ඩායම් එවැන්නන්ය. නමුත් වැඩි මුදලක් ලැබෙන එවැනි රැකියා වලට යාම ලෙහෙසි නැත. කොම්සොමෝලයේ (තරුණ කොමියුනිස්ට් සංවිධානය) සාමාජිකයන්ට, ගුරුවර ගුරුවරියන්ගේ හිතවතුන්ට හා පක්ෂ නිලධාරීන් ගේ හිතවතුන්ට හෝ ඔවුන්ගේ  දරුවන්ට, විදේශික සිසුන්ට  මුල් තැනක් ලැබේ.

මේ නිසා ඉතිරිව ඇති රැකියා වන්නේ එළවලු වෙළඳ සල් වල (මේ කාලයේ එළවලු වැඩියෙන් එන නිසා) රැකියාවක් කිරීම, සමූහ ගොවිපලක ගෝවා නෙලීමට හෝ අල ගැලවීමට යාම වැනි ඒවාය. කුබාන් ප්‍රදේශයේ අල වලට වැඩි වටිනාකමක් ඇති නිසා ඒ පෙදෙසේ මේ රැකියා වැඩිය. එසේම රොස්ටොව් සිට වැඩි දුරක් නැත. ප්‍රසිද්ධ ක්‍රස්නදාර් නගරය ඇත්තේද කුබාන් ප්‍රදේශයේය.
සෝවියට් දේශයේ  කෝමි ප්‍රාදේශිකයේ  යන්ත්‍රානුසාරයෙන් අල ගැලවීමක්    

මේ විශාල ගොවිපල වල අල ගලවන්නේ යන්ත්‍ර මගිනි. ඉන්පසු ඒවා සොදන්නේද විශාල යන්ත්‍ර ආධාරයෙනි. ඉන්පසු එක්කාසු කිරීමට, ඇහිරීමට  සාමාන්‍ය මාස පඩි  කම්කරුවන් (මොවුන් ගොවියන් වශයෙන් හැඳින්වීමට අපහසුය)  සිටිති. අල ගලවන්නට යන අයට කරන්නට තියෙන්නේ යන්ත්‍රයට හසු නොවූ හා ඉන් විසිවී යන අල එකතු කිරීමයි. මෙසේ කරන්නේ නාස්තිය අඩු කිරීමේ පියවරක් වශයෙනි. නමුත් ඇත්ත හේතුව නම් මේ යන්ත්‍ර බොහොමයක් මළකඩ කෑ පරණ ඒවා වීමය. ඒවායින් හරි හමන් අලයක් ගැලවෙන්නේ නැත.
සෝවියට් සිසුවියන් සමුහ ගොවිපලක 
 ගිම්හාන සමයේ රුසියාවේ ඇතැම් පෙදෙස් ඉතා උණුසුම්ය. කළු මුහුද පැත්තේ කුබාන් පෙදෙසේ උෂ්ණත්වයද ඉහල යයි. මේ නිසා අල ගෙඩි  පසට හිරවී තිබේ. නැත්නම් පොළොවින් එළියට එන්නේ විශාල පස් ගුලියක් ද සමගය. මේවා පස් ඉවත් කර වෙන් කර ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවේ.

ගිහාන් ඇගේ දෝතම ගෙන සිප ගත්තේය.
"මට සමා වෙන්න "
"ඇයි මොකටද"
"මම ලන්ඩන් ඉඳන් කතා කලාම ඔයාගේ අම්ම කීව කවුද එක්ක කුබාන් ගියා කියල. මට හොඳටම දුක හිතුන. ඔයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා කියල. සුහදලත් විහිළු කලා."

ඇය මහා හඬින් සිනා සුනාය. එළියේ සිට මව අක්සානා සූ සූ ගෑවේ රාත්‍රී වී ඇති බැවිනි.

"ඔයා ඉරිසියයි කියන්නේ හොඳයි. මම කැමැතියි ඒ ඉරිසියාවට" ඔහුගේ නළල සිඹිමින් ඈ කීවාය.
 "මම ගියේ මගේ ඉස්කෝලේ යාළුවා නතාෂින්කා  හා එයාගේ පෙම්වතා   සිරියෝෂා එක්ක. මම කීව මට සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ කියල. මගේ ශීත  කාලෙට අඳින සපත්තු දෙක එයාලට විකුණන්න කියල ගියේ.  එයාල කීව අල ගලවන්න  යමු කියල. පරක්කු වෙලා එහෙ ගිය නිසා අපට නිදා ගන්න  වුනේ ගොවිපළේ ඉස්කෝලේ පන්ති කාමරයක.   හැබැයි හැමදාම කිරි නම් ලැබුනා නොමිලේ බොන්න"
ඇගේ සීනු හඬින් කියවාගෙන ගියාය.
ශීත කාලයට පළඳින සෝවියට්  හමුදා තොප්පියක්  (මෙය පැළඳීම ට තහනමක් නැත )

රත් පැහැ තොල් සෙලවෙන අන්දම තවත් බලා සිටීමට නොහැකිවූ ගිහාන් ඇගේ මුව දෝතටම ගෙන දෙතොල් තම මුවට  ගත්තේ ඇයව එතනම තිබු මේසය උඩට තල්ලු කරමින් මෙන් නංවමිනි. තාන්යා ඇගේ දෙපා යුග අතර තදින් හිරවුණු ඔහු ගේ බඳ වටා දෑත් යවා පටලවා ගත්තා ඔහුගේ මුවින් තම මුහුණ පසෙකට ගෙන
"මේ අනිත් තෑග්ග , ඔයාට ඕනේ කීවේ"
කියා රුසියානු හමුදාවේ ශීත කාලයේ තොප්පියක් දඟකාර ලෙස ගෙන ඔහුගේ හිසේ රඳවමින් නැවැතත්  දැරියක මෙන් සිනා සුනාය.

"ළමයි හෙට තගන්රොග් යනවා කීවනේ ඔක්කොම නිදා ගත්තොත් හොඳ නැත්ද "
ඔක්සානා  නැවතත් කෑ ගෑවාය. 
"ෂූ ෂූ " ඔහුගේ දෙතොලට මැදගිල්ල තැබූ ඈ
 "කෑ ගහන්නේ නැතිව ඔයා ගිහින් ඇඟ  හෝදගෙන එන්න නිදා ගන්න. මේ කාමරේ අපි දෙන්නට ඉන්න පුළුවන්. අම්ම මුකුත් කීවේ  නැහැ. වෙන කොහෙවත් ඉඩත් නැහැ "

"මමද දැන් හයියෙන් හිනා වෙලා දැඟලුවේ " උරණ වූ සෙයක් පාමින් ගිහාන් ඉවත් වුණේය.

~ මතු සම්බන්ධයි

"මට සමා වෙන්න " - රුසියානු භාෂාවෙන් ඉස්විනී මින්යා
නතාෂින්කා - නතාෂාට ආදරයට කියන නම
සිරියෝෂා - සෙර්ගෙයි යන නමේ කෙටි යෙදුම, වඩා හිතවත් වුව විට මේ නමින් අමතයි 






14 comments:

  1. රොස්ටොව්, තගන්රොග්, ...පෙරලූ නැවුම් පස මතක් වුනා..

    "සහෝදරය කොහෙන්ද මේ ගෑනි හොයත්තෙ?
    තගන්රොග් යකඩ හා වානේ කම්හලට ඕඩරයක් දාල හදවගත්ත"

    ReplyDelete
  2. Test 3

    For some reason, I thought you don't like our comments anymore. Seems something went wrong with comments, I suppose.

    Post is nice as usual,and I read it twice.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. රොස්ටොව් කියල මෙහෙ තියනව වොඩ්කා එකක්. අනික් වොඩ්කා එක රොමනොව්...

    ජර්මනියෙත් රොස්ටොව් කියල නගරයක් තියනවද අජිත්? එහෙම ඇහුවෙ හැත්තෑ නැත්නම් අසූ ගණංවල මට මතකයි නැගෙනහිර ජර්මනියෙ කෙටිදුර ධාවන ශූරියක් හිටිය...ඇගේ අන්වර්ථ නාමය "Rostov Rocket"..ඇගේ නම නම් මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ..

    බොහොම අපූරුවට ලියල තියනව ඔබේ මේ ස්මරණ සටහන් මාලාව..මම මුලින්ම පහක් හයක් වගෙ කියෙව්වට පස්සෙ මඟඇරුන. ආයම කියවන්න ඕන මුල ඉඳලම...:)

    ReplyDelete
    Replies
    1. වොඩ්කා නෙමෙයි බොල වතුර,වතුර

      Delete
    2. @ravi //බොහොම අපූරුවට ලියල තියනව ඔබේ මේ ස්මරණ සටහන් මාලාව// මොන ස්මරණ මාලාවක්ද බොල. මේ ප්‍රබන්ධයක් ලියන්නේ. හැබැයි ස්තූතියි අපූරුයි කියල කිව්වට. රොස්ටොව් කියල ජර්මන් නගරයක් නම් දන්නේ නැහැ.
      ධාවන ශුරිය කැතරින් ද
      https://en.wikipedia.org/wiki/Katrin_Krabbe

      Delete
  5. Thanks ano. I think this is because of GDPR. Recently UK passed a law about this. people cannot send emails to legitimate email address without asking permission. I did not see the comments initially. i still don't get them to my email. Most of them were in spam folder.

    ReplyDelete
  6. @ravi //බොහොම අපූරුවට ලියල තියනව ඔබේ මේ ස්මරණ සටහන් මාලාව// මොන ස්මරණ මාලාවක්ද බොල. මේ ප්‍රබන්ධයක් ලියන්නේ. හැබැයි ස්තූතියි අපූරුයි කියල කිව්වට. රොස්ටොව් කියල ජර්මන් නගරයක් නම් දන්නේ නැහැ.
    ධාවන ශුරිය කැතරින් ද
    https://en.wikipedia.org/wiki/Katrin_Krabbe

    ReplyDelete
  7. //It lies in the southeastern part of the East European Plain on the Don River, 32 kilometers (20 mi) from the Sea of Azov.//
    https://en.wikipedia.org/wiki/Rostov-on-Don

    ReplyDelete
  8. ස්තුතියි ප්‍රා
    ස්තූතියි රවී

    ReplyDelete
  9. මටනම් ගැඹුරු වැඩියි වගේ....

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .