Wednesday, 4 July 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (28) - තගන්රොග්

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (27) - සිතට වදදුන් පැනය අවසන්
තගන්රොග් වරාය නගරය  

ගමන් මහන්සියට නින්දට ගිය ගිහාන්ට  මතක තානිච්කාට  තුරුළු වෙනවා පමණය. උදයේ ඔහු නැගිටින විට නිවසේ සියල්ලෝම ලැහැස්තිවී හැඳ පැළඳගෙන සිටියහ. මිත්තණිය ද පැමිණ සිටියත් "දහස් වාරයක්" ගොස් ඇති  නිසා ගමනට එන්නේ නැතැයි කීවාය. නිරෝගීව සිටියත් කොහොමටත් ඇයට වයස අසූ ගණනකි. නමුත් හවසට ඇඟ ප්‍රාණවත් වන්නට වොඩ්කා අඩියක් ගැනීම  ඈට සාමාන්‍ය දෙයකි.

ඇලෙක්සෙයි සුපුරුදු ලෙස ගිහාන්ට ඉතිහාස පාඩමක් කියා දෙන්නට විය.
රොස්ටොව් ප්‍රදේශයේ ඇති තගන්රෝග්, දොන් නදියේ මෝය කටේ පිහිටා ඇත. ඇලෙක්සෙයි ට අනුව එම වරාය නගරය දහවැනි එකොළොස්වැනි ශත වර්ෂයේ සිට පැවත එන්නකි. මහා පීටර් රජු විසින් නාවික හමුදා කඳවුරක් 1698 වසරේ දී පමණ පිහිටුවා තිබේ. (රුසියානුන් ඉතිහාස වසරවල් කීමට උපන් හපන්නුය). කැතරින් මහා රැජින විසින් අසොව් නමැති එම හමුදා  ඛණ්ඩය පිහිටුවා ඇත්තේ එක්දහස් හත්සිය ගණන් වලය. අද දවසේ රුසියානු සෝවියට් කළු මුහුදු නාවික හමුදාව ලෙස නම් කර ඇත්තේ මෙයටය.

තගන්රෝග් සැබවින්ම සුන්දර ඓතිහාසික නගරයක් බව ගිහාන්ට වැටහුණි. ඇලෙක්සෙයි ගේ නොනවතින ඉතිහාස පාඩම ට අනුව පළමුවැනි ලෝක යුද්ධය ට මැදිවුන මෙම නගරය උක්රයිනය අසලම ඇති නිසා විප්ලව සමයේ ට්‍රොට්ස්කි ගේ රතු හමුදා හා ඩෙනිකින් ගේ (බ්‍රිතාන්‍ය සහය ඇති ) සුදු හමුදා අතර  නගරය සඳහා  දරුණු සටන් ඇතිවිය. විප්ලවීය රතු හමුදා ජයගත් අතර මෙහි සිට උකරයිනය  දෙසට හමුදා මෙහෙයුම් දියත් කරන ලදී. දෙවෙනි ලෝක යුද්ධයේදී නාසි හමුදා යටත් කර ගත්  මේ නගරය 1943 දී සෝවියට් හමුදා මගින් මුදා ගෙන තිබේ.

තාන්යා පියාට අවහිර නොකර සිටියත් ඇය කිසියම් දෙයක් කීමේ දැඩි වුවමනාවෙන් සිටින බව ඔහුට දැනුනි.

අවසානයේදී ඇලෙක්සෙයි රථය නැවැත්වූයේ   මදක් පැරණි විශාල නිවසක් වැනි ගොඩ නැගිල්ලක් අසලය. තාන්යා ට තගන්රෝග් යාමට අවශ්‍ය වූ හේතුව පැහැදිලි වූයේ එහිදීය.
චෙකොව් උගත් පාසැල (ජිම්නාසියම)

එය මහා ගත්කරු ඇන්ටොව් චෙකොව් උගත් පාසලයි. මේ පාසැල්  ඒ දිනවල සාර් රුසියාවේ හැඳින්වූයේ ජිම්නාසියම්  යනුවෙනි. පාරාදීසය පිහිටි ඇත්තේ ලංකාවේ යයි චෙකොව් ලියූ  බව දැනගත් දා පටන් තාන්යා චෙකොව් ගැන උනන්දු වූවාය. චෙකොව් ගේ "බල්ලා සමග යන කාන්තාව " ඇරෙන්නට වෙනත් පොත් කියවූ බවක් ගිහාන් ට  මතක නැත. බොහෝවිට කියවීමේ රුචියෙන් පෙළෙන  තාන්යා ඒ හැම පොතක් වගේම කියවා තිබුණාය.
අලුත්වැඩියා කළ චෙකොව් උපත ලත්  නිවස 

මහා ගත් කතුවර චෙකොව් ගේ සීයා සර්ෆ් යනුවෙන් හඳුන්වන රුසියානු ප්‍රවේණි  දාසයෙකි. රූබල්  හාර  දහසක පමණ  මුදලක් එකතු කල ඔහු තමන් ගේ නිදහස සිටුවරයා ගෙන් මිලදී ගත්තේය. ඔහුගේ මුණුපුරා වූයේ අන්ටෝන් චෙකොව් ය. ඇන්ටන් උපදින සමය වනවිට ඔවුහු  ප්‍රදේශයේ ධනවතුන්  බවට පත්ව සිටියහ. ඔහු ඉපදුනේ තගන්රෝග් හි පොලිසේයිස්කයා මාවතේ තරමක් විශාල නිවසකය.  මේ මාවත  දැන් හඳුන්වන්නේ චෙකෝව් මාවත  ලෙසිනි.සෝවියට් බලධාරීන් මේ නිවස  කෞතුකාගාරයක් ලෙස ආරක්ෂා කරගෙන තිබේ.
චෙකොව් ගේ පැරණි නිවස 

"අපට බැරි වුනත් තාන්යා ට හරි කවද හරි චෙකොව් ගේ පාරාදීසය බලන්න යන්න  පුළුවන් වෙයි." තාන්යා ගේ මව මද සිනහවකින් යුතුව කීවාය.

ගිහාන් ගේ සිත සලිත වී ගියේය.  ඔහු ඇයට පිළිතුරක් නුදුන්නේය.
තාන්යා රැගෙන ශ්‍රී ලංකාවට යාම ගැන සුහද ඇතුළු මිතුරන් උසුළු විසුළු කරන විටදීත්,  ඇය ට දුරකතනයෙන් ඇමතීමට නේවාසිකාගාරයේ පෝලිමේ සිටියදී ඇතැමුන් ඈ  ගැන විමසන විටත්  මේ හිතේ චකිතය, සලිතය  ඔහුට දැනුනි.

"මට හරි සතුටුයි මෙතැනට ආපු එක ගැන. මම වඩාත් කැමති රුසියානු පරිවර්තන කියවන්න ලංකාවෙදිත්  "  කතාව මග හරිමින් ඔහු කීවේය.

"අපි යමු මුහුදු වෙරළ පැත්තට.  අපට කවද හරි ලෝකෙ වටේ යන්න  ලැබේවි ලෝක විප්ලවය දිනුව දවසට" ඇලෙක්සෙයි එය කීවේ උපහාසයෙන් බව ගිහාන්ට තේරුණි. රුසියානුන් මෙවැනි උපහාස කතා නිතර පවසන බව ගිහාන්  දැන සිටියේය.

"ලෝක විප්ලවේ නම් ලෙනින් එක්කම ඉවර වුනානේ. මම බල්ගේරියාවට නම් ගියා අර සංගීත වාදන තරඟයට. ඒත් කියනවනේ කුකුළා කුරුල්ලෙක් නෙමේ , බල්ගේරියාව පිටරට නෙමේ කියල. තාන්යා ට හරි අඩුම ගණනේ   ලංකාව වගේ රටක්  බලල එන්න  පුලුවන්නම් හොඳයි " සංගීත ගුරුවරියක  වූ තාන්යා ගේ මව නැවත  කතාව එතැනටම ඇද්දා ය.

රුසියානු භාෂාවෙන් තිබෙන ප්‍රවාදයක් වන්නේ "කුරීත්සා න්යේ ප්තිත්සා , බල්ගාරියා න්යේ සා ග්‍රනිට්සා " යන්නයි. එහි තේරුම සෝවියට් රූකඩ රටක් වූ හා  සමාජවාදී කණ්ඩායමේ රටක්  වන බල්ගේරියාව විදේශ රටක් වශයෙන් රුසියානුවන් නොසලකන බවයි. විදේශයකට යාමට නම් සමාජවාදී කඳවුරෙන් එපිට යා  යුතු බවට ඔවුහු සලකති.

"ගිහාන් ට ඉවර කරන්න තව අවුරුද්දක් තියනවනේ. අපි තවම චාරිකා කරන්න සැලසුම් කරලා නැහැ. " තාන්යා ගිහාන්ට පිළිතුරක් දීමට ඉඩ නොතබා පිළිතුරු දුන්නාය.

 තගන්රෝග්  අසල දර්ශනීය කළු මුහුදු වෙරළේ දවස ගත කල ඔවුහු සැන්දෑ වේ නිවසට පැමිණියේ මිත්තණිය  පිලියෙල කර තිබු රාත්‍රී ආහාරය ගැනීමටය.  බීමට  තිබුනේ බල්ගේරියානු රතු වයින්ය. අසල නිවෙස්හි විසු තානිගේ මිතුරන් කිහිප දෙනෙකුද ගිහාන් දකින්නට හා රාත්‍රී  භෝජනයට එහි පැමිණ සිටියහ.

"මේවා විදේශ ඒවා නෙමේ නේද " ගිහාන් වයින් ගැන විහිළුවක් කලේ ආයාසයෙනි . සංගීත ගුරුවරිය වූ මවට හොඳින්  පියානෝ වාදනයද තාන්යා හා පියාට ගිටාර  වාදනයට  මනා හැකියාවක් ඇති බවද ගිහාන් වටහා ගත්තේ ඔවුන් ගී ගයන්නට වූ බැවිනි.

බටහිර පවුල් වලට මෙන් බොහෝ දේ නොතිබුණද, ඔවුන් සතු  වාහනය කුඩා සෝවියට් වාහනයක් වුවද මේ සෝවියට් පවුල සෑහීමකට  පත්ව දිවි ගෙවතියි ගිහාන්ට සිතුනි. ඒ බොහෝ විට ඔවුන් වෙනත් යස ඉසුරු නොසොයන නිසා විය හැකි බවද ඔහුට පසක් විනි. නමුත් විදේශයකට යාමේ සිහිනය, බටහිර වැසියන් මෙන් සංචාරය කිරීමේ ආශාව ඔවුන් හැමෝටම තිබුණි.

තගන්රොග් සිට රොස්ටොව් බලා ආපසු එන ගමනේ දී  තාන්යා සිටියේ   දැඩි කල්පනාවකින් බව ගිහාන්ට නිරීක්ෂණය විය ඒ මුහුණේ හඳුනා ගත නොහැකි විස්සෝප සහගත හැඟීමක් සටහන් ව තිබුණි.  රාත්‍රී භෝජන ගැන්මේදී හා ගීත ගායනා අතර තුරද ඒ මුහුණේ සිනාව යටින් කල්පනාකාරී බවක් තිබුණි. ඇය ඔහු සිපගෙන සුභ රැයක් පතා කලින්ම නින්දට ගියාය . ගිහාන් තවත් ගීත කිහිපයක් හා මත්පැන් විදුරු  කිහිපයක්  අවසන් වන තුරුම රැඳී සිට තාන්යා වෙනුවෙන්  සියල්ලන්ටම සමු දුන්නේ ව්‍යාකූල සිතිනි.

~ මතු සම්බන්ධයි 

2 comments:

  1. කොටස් කීපයක් ම්අග හැරී ඇති බව පෙනේ...බලා නැවතත් එන්නම්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .