Sunday, 23 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (43) - නැහැ , ඒ ඔහුගේ පියා නොවේ

කලින් කතාව - ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (42)  - සමාවෙන්න විශාඛා, 

මුහුණ සෝදා මදක්   සන්සුන්ව සිටි විශාඛා ගිහාන් ටත් ඇයටත් තේ කෝප්ප දෙකක් සාදා ගෙන ආවාය.

"ඔයාට නිලන්ත කියල තියනවද අම්මට අසනීප වෙච්ච දවස"

"ඔයාගේ අම්මටද නැත්නම් ඔයාගේ නැන්දම්මටද"

"නිලන්තගේ අම්මටත් මම අම්ම කියලයි කියන්නේ. අයියෝ ඔයා දන්නවනේ. රඟ පාන්නේ නැතිව ඉන්න. රුසියාවේ ගියා කියල" විශාඛා සිනහවක් පෑවාය.

ඇය මද සැහැල්ලුවකින් සිටීම හොඳය. ඇය මහත් ප්‍රශ්නයකින් පීඩා විඳින බව වැටහුනත් නිලන්ත සමග කරන දබර හා නැව් ගමන් නිසා මාස ගණන් ඔහු නිවසේ නොසිටීම හා සම්බන්ධ දෙයක් යයි ඔහු පූර්ව  නිගමනයකට එළඹ සිටියේය.

"අම්මට පපුවේ අමාරුවක් වගේ ඇවිල්ල හොස්පිට්ල් අරන් ගියා. රත්නම් එකට. අසනීප වුනේ අපේ ගෙදරදී . අම්මව නවත්ත ගත්ත එදා. මම දරුවා රන්ජනී ගාව තියල ගියේ. ඒ නිසා අම්මට ඇඳුම්  වගයක් ගන්න නිලන්තගේ මහ ගෙදරට යන්න වුණා. නිලන්තගේ තාත්ත කිව්වා යමු කියල මට එයාට ගෑණු ඇඳුම් හොයන්නයි ඕන දේ හොයන්නයි තේරෙන්නේ නැහැ කියල."

"ඔයා නිලා ගේ  අම්මට නිලන්තගේ අම්ම නොකියා අම්ම කියල තාත්තට නිලන්තගේ තාත්ත කියනවා " ඔහු නිලා කීවේ නිලන්තටය.

"ඔයාට තව ටිකකින් තේරෙයි." විශාඛා  නළල මදක් උඩට කළේ  ඇහි බැමද සමගිනි. ඇගේ දිගටි සිහින් මුහුණ පෙන්නුම් කලේ දැඩි භාවයකි. ගිහාන්ගේ  පිට හරහා විදිලියක් වැදුනාක් මෙන් ඔහු සෙටියේ සිට පිට කෙලින් කළේය. ඔහු විශාඛා දෙසට නැඹුරු වූ ගිහාන් ඇගේ මුහුණට එබුනේ  කඳුලක් ඇසින් එලියට පනින්නට තතණන යුරු නිරීක්ෂණය කරමිනි.

"වික්‍රමරත්න මාව එක්ක  ගෙන ගියාට  එහේ  අම්මට ඕන ඇඳුම්  ටික තෝරලා දෙන්න කියල, ඇත්තටම එයාට පුළුවන් ඒ ටික කරන්න. නමුත් මට ඒ වෙලේ  අමුත්තක් හිතුනේ නැහැ. අම්මට ඕනේ ටිකනේ ගෙනිහින් දෙන්න ඕනේ. මම  ගිහින් ඇඳුම් , දත් බුරුසු වගේ දේ පැක් කළා බෑග් එකකට . එතකොට තමයි වික්‍රමරත්න කාමරේට ආවේ"

ඇය දැන් නිලන්තගේ තාත්තා වත් නොකියා  ඔහුගේ නම කියන්නේ ඇයිද යන්න  ගිහාන්ට වැටහෙන්නට පටන් ගති.

"මගේ පිටි පස්සෙන් ඇවිත් එකපාරටම බදා ගත්ත.  මට කෑ ගැහුණා. තල්ලු කරල ඈත් වෙන්න හැදුවත් අත් දෙක දඬු අඬු වගේ මාව හිර කරන් හිටියේ. මං ඇහුව තාත්ත  මේ මොකද කරන්නේ අම්ම හොස්පිට්ල් නේද කියල "

"මම ඔයා ගැන හුඟක් හිතනවනේ විශාඛා.ඔයත් පාළුවෙන්  නේ ඉන්නේ.  කලබල වෙන්න එපා. ඔයාව බලා ගන්න කෙනෙක් දැන් ඉන්නවා. ඔන්න ඔය වගේ බහුබූතයක් කියෙව්වා. මම මූණට පාරක් ගහල බඩටත් ඇන්නා. පිස්සුද මේ මොනවාද උඹ  කියවන්නේ කියල. මට එහෙම්ම කියවුනා."

විශාඛා කතා කරන්නේ තරමක ආවේගයෙනි. ඔහුට ඇසෙන කතාවේ අරුත වැටහී යන මොහොතේ  ගිහාන් සිටියේ අවුල්ව ගිය මනසකිනි.

 "වික්‍රමරත්න ඒකෙන් දරුණු උනා. මාව ඇඳේ පෙරලලා මූණට ගහගෙන ගහගෙන ගියා. බෙල්ලෙන් අල්ලලා තද කරලා ඇහුවා  උඹට ළමයව ආයේ දකින්න ඕනෙද කියල.  මට බය හිතුනා අයියේ මූ මොනවා කරයිද කියල පුතාට. හුඟක්ම අසරණ වුනා. මම ඔහේ හිටිය ඌට ඕන දෙයක් කරගන්න ඇරලා."

ගිහාන් පුටුවෙන් නැගිට්ටේ එය පෙරලලා යන්නට පහරක් ගසමිනි.

"මූව මරන්න  එපැයි. අන්කල්, අන්කල් කියල මම කොච්චර නම් කතා කරල, එහෙ මෙහෙ ගිහින් තියනවද?මෑන් අපිව  බිග්මැච් දවස් වලට  කාරෙකේ දාගෙන එහෙ මෙහෙ අරන් ගියා. කොල්ලෝ ඔක්කොටම කෑම බීම අරන් දුන්න. බෝතල් පවා අරන් දෙනකොට අපි හිතුවේ කොච්චර සොමි තාත්ත කෙනෙක්ද නිලන්තට ඉන්නේ කියල. මේ  මිනිස්සුන්ව   අඳුර ගන්නේ කොහොමද? "

ඔහු මුළුතැන්ගෙය අසලට ගොස් එහි දොරටද පා පහරක් එල්ල කලේ සිතට නැගුනු කෝපය නිවා ගන්නටය.

"ඔයාට  ඔහොම තරහ යනකොට මම නිලන්තට ඕක කිව්වා නම් කොහොමද? මම ගෙදර ආවට පස්සේ අඬ අඬා නෑවා දහ  දොළොස් පාරක්. මම වෙන මොනවා කරන්නද අයියේ , නිලන්තට  කීවොත් මිනී මරා ගනියි.  වැඩට යන්නේ නැතිවෙයි. මේ ළමයට මොකද වෙන්නේ එතකොට "

"නොකියා කොහොමද? ඔයා ඔය මිනිසුන්ව බලන්න යන්නේ කොහොමද? කවදාද ඕක වුනේ "

විශාඛා ගේ ඇඬුම  වෙනුවට කටහඬේ ඇත්තේ කෝපයක් බව ඔහුට වැටහිණි.

"ඔයා එන්න කලින් අයියේ. එතනින් ඒක ඉවර වුනේ නැහැ.  අම්ම බලන්න නිලන්ත ඇවිත් ගියා හදිසියේ. මම වැඩිය ළඟට ගියේ නැහැ. මට මාවම එපා වෙලා හිටියේ. මට හිතුනේ මම වික්‍රමරත්නට මොකක් හරි අනුබලයක් දෙන්න ඇති කියල. ඒ පාර නිලන්ත යනකොට කිව්වා ඔයාට තරහ ගිහින් ඉන්නේ මම නැව් යන නිසානේ හැම වෙලේම. ඊලඟ පාරනම් ගොඩක් කල් නවතින්න එනවා කියල. ඒත් එයාට එන්න බැරිවුනා."

  "ඉවර වුනේ නැහැ කිව්වේ." ඈ ළඟට පැමිණි ගිහාන් සෙටියේ ඇන්ද ළඟ නතර වී තදින් ඇසීය.

"ඔයා රුසියාවේ ඉන්න කොට මෙහෙ කලබල. නියම ආණ්ඩුවෙනුයි   පුංචි ආණ්ඩුවෙනුයි   දෙකෙන්ම ඇඳිරි නීතිය දානවා. අම්මට එන්න බැරි නිසා වික්‍රමයව එව්වා අපේ ගෙදර අපි හොඳින්ද  බලන්න. මම එපාම කිව්වා රන්ජනී එක්ක ඉන්න පුළුවන් කරදරයක් නැහැ කියල.  ඒත්  මූ එක දවසක් හවස ඇවිත් ගියේ නැහැ. රෑ හිටියා ඇඳිරි නීතිය කියල. ප්ලෑන් කරලම අම්මවත් රවට්ටලා ඇවිත් කියල මට තේරුණා. රන්ජනී නිදන්නේ පහළ කාමරේ. මම දොර වහල පුතා එක්ක නිදා ගත්තා. රෑ කාමරේට එයි කියල බයට මම පොඩි කබඩ් එක දොරට හිර කරලා පාන් කපන පිහිය මෙට්ටේ යටින් තියාගත්තා. උදේ රන්ජනී පහල ඉන්න නිසා පුතාට කිරි හදන්න  කුස්සියට ගියා. මූ ආවනේ කුස්සියට. පාන් කපන්න පිහියක් හෙව්වා, කෝ ඔයා ඒක කාමරේ තියා ගෙනනේ කියාගෙන. ළඟටම ඇවිත්  කිව්වා පුතා තවම නිදි. මම වෙව්ලන්න ගත්තා බයටම. "
විශාඛා හඬන්නට ගත්තාය.

"නංගි ..." ගිහාන් ගේ හද ශෝකයෙන් පිරි යමින් තිබුණි. මේ අසරණ කෙල්ල ගෙදර  දමා රැකියාවට මාස ගණන් යාම ගැන නිලන්ත කෙරෙහි කෝපයක් ද ඔහුගේ සිතේ හටගති. එහෙත් නිලන්තට වෙනත් විසඳුමක්ද නැති බව ඒ සැණෙකින්ම සිහියට  නැගුණි.

"පිහිය බෙල්ලට තියලා මාව ඉස්සරහ කාමරේට කොණ්ඩෙන්   ඇදන් ගියා අයියේ. මම හිතුව කොණ්ඩේ ගැලවිලා අතට යයි කියලා. ඒ තරම් දරුණුවට" විශාඛා නොනවත්වා වැළපුනාය.

ගිහාන් ඔහුගේ මුහුණ තම දෙඅතේ ඔබා ගත්තේ කුමක්  කරන්නේ දැයි සිතමින්.
"රන්ජනී" ඔහු ඇසුවේය.

"රන්ජනී ලියුමක් ලියල තියල උදේම ගමට  ගිහිල්ල එයාගේ අම්මට  පපුවේ අමාරුවක්  හැදිලා හදිසියේ හොස්පිට්ල් ඇඩ්මිට් කළා කියල. ගමෙන් ආපු කෙනෙක් එක්ක ගියා කියල. ඒත් මට දැන් සැකයි වික්‍රමරත්න එලෙව්වද කියලත්. මම කෝල් කරාට ගත්තේ නැහැ. දැන් මාස ගාණක් ආවෙත්  නැහැ. අර වෙන ගෑණු  කෙනෙක් තමා දැන් ඉන්නේ තාවකාලිකව. "

"අපි ඇන්ටිට කතා කරමු." ඔහු ඇන්ටි කීවේ නිලන්ත ගේ මවටය.   නිලන්ත සමග විවාහ වීමට කලින් විශාඛා ඔහුගේ මවට මෙන්ම  නිලන්ත ගේ මවටද ඉංග්‍රීසි ඌරුවට ආන්ට් හෝ ආන්ටි කීවද ගිහාන්ට එසේ කීම නුහුරු විය. ඔහු  සමහරවිට ඇයට  නැන්දේ කියාද ආමන්ත්‍රණය කර ඇත.

"එපා. ඒ මනුස්සයට පපුවේ අමාරුව හැදිලා මැරෙයි. මට ඒක කරන්න බැහැ . මගේම අම්ම වගේ මට සලකන්නේ"

"ඔය ඕකනේ කියන්නේ. ඕක තමා මේ රටේ ගොඩක්  ගැහැණුන් ගේ හැටි.  ඇන්ටි ගැන හිතන්න ඕනේ තමයි. මමත් එයාට කැමතියි. නමුත් මෙතැන ඔයා බලන්න ඕනේ ඔයාගේ විවාහ ජිවිතේ ගැන. දරුවා ගැන. නිලන්ත ගැන. දැන් නිලන්ත එක්ක රණ්ඩුවට  මුල මේවා නේද "

"එයා ආවම මම එයා ලඟට වැඩිපුර ගියේ නැහැ. රෑට පුතා ලං කරගෙන නිදා  ගත්තා. කොහොමද එයා ගාවට යන්නේ අයියේ? මේ කිළුටු මම. රණ්ඩු පටන් ගත්තේ, එයා හිතන්න ගත්ත එයා නැති අතරේ මට වෙන සම්බන්ධකම් තියනවා කියල . "

"ඊට පස්සේ නිලන්ත පිටරටදී වෙන ගෑණු එක්ක ගියා කියල ලියුම් ආව නේද "

"ඔව්"

"ඒවාත්  මේකම ලියල එව්වද කවුද දන්නේ "

"මටත් හිතෙනවා ඒක නම් දැන් " විශාඛා දීර්ඝ සුසුමක් හෙළා ගිහාන් දෙස එක එල්ලේ බැලුවාය.

"නංගි, රුසියාවේ ඉන්දෙද්දී ඔය වගේම කතාවක් ඇහුව මම. යාළුවෙක් ගේ රුසියන් කෙල්ල අම්මගේ දෙවෙනි මිනිහ එක්ක ඉන්නව එයාගේ අතටම අහුවුනා. කෙල්ලගේ නම ඕල්යා. හැබැයි අපි පස්සේ දැනගත්තා ඒ කෙල්ලගේ කැමැත්තෙන් නෙමේ කියල. අම්මම තමයි ඉඩ දෙන්නේ තමන්ගේ දෙවෙනි කසාදෙ මිනිහට ඒක කරන්න. තට්ටු නිවාසේ තියෙන්නේ අම්මගේ නමට නිසා කෙල්ල ඉවසන් ඉන්නවා. අපේ යාළුවෙක් ට කෙල්ලගේ අම්මගෙන් වෙච්චි  ඇබැද්දියක් නිසා ඌ එක්කන් එන්න ගිය වෙලේ දැන ගත්තේ. අපි ඒ දවස් වල ගොඩක් කතා  කලා ඒ ගැන. කට්ටියක් කීව සෝවියට් දේශය අදේවවාදී නිසා, අනාගමික නිසා සදාචාරයක් නැහැ කියල.  මමත් හිතුව ඒ කාලේ ප්‍රධාන ආගම් හතරම අදහන ලංකාවේ  සදාචාරය මීට  වැඩිය නම් හොඳයි  කියල. ඒත්  අන්තිමට එහෙම කතාවක්  අහන්න වුනා මට ළඟම කෙනෙක්ගෙන්. මගේ හොඳම යාළුවෙක් නිලන්ත. මේ වෙලාවට මුළු ලෝකෙම එපා වෙනවා නංගි "

විශාඛා නැවතත් වැලපෙන්නට ගත්තාය.

"ඒ කියන්නේ ....." ගිහාන් මදක් පසු බෑවේය.
"ඔයාලා රණ්ඩුවෙලා නිලන්ත ඔස්ට්‍රේලියා ගියාට පස්සේ ඌ ආයේ ආව නේද එහේ  "

විශාඛා අනුමත කරමින් හිස වැනුවාය.

"මට තේරෙනවා. ඔයාට ආයෙත් එහෙ යන්න බැහැ මේක බේරුමක් කරගන්නේ නැතුව. මං ඇන්ටිට දැන්මම  කතා කරනවා. හදිසියක් කියල. ඔයාට විරුද්ධ වෙන්න බැහැ  විශාඛා. අපි  මේක හොඳින් හරි නරකින් හරි විසඳගමු."

ගිහාන් දුරකථනය වෙතට පිය මැන්නේය.
"අම්මට අර ඩ්‍රයිවර් අංකල් එක්ක එන්න එපා කියන්න. එයා ආවොත් ගේ ඇතුලට ඇවිත් අපි කතා කරනකන් බලන් ඉන්නවා " විශාඛා අයැදීමක් කළාය. නිලන්ත ගේ මවගේ වාහනය පැදවූයේ ඔවුන් සිටි පෙදෙසේම ජීවත් වූ ලිපිකරු රැකියාවකින් විශ්‍රාම ගිය මහතෙකි. අමතර ආදායමක් සොයා ගැනුමට ඔහු ඔවුන් ළඟ රැකියාව කළත් ඔවුන් ඔහුට  සැලකුවේ පවුලේ හිතවතෙකු වශයෙනි.

ගිහාන් නිලන්ත ගේ මවට කතා කොට විශාඛා පැමිණ සිටින බැවින් ත්‍රීවිල් රථයක් සොයාගෙන පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.
 නිලන්තගේ මව කලබල වූවාය. විශාඛා හා ගිහාන් අතර තිබූ ළඟ ඇසුරුකම ඇයට රහසක් නොවීය.

"අනේ පුතේ මම උදේ හවා කල්පනා කරන්නේ මේ කොල්ලයි  කෙල්ලයි එකතු කරන්නේ කොහොමද කියල. කිරියි පැණියි වගේ යසට හිටියේ.  අනේ දූට කියන්න මුකුත් නොහිතා හදිසි තීරණ ගන්න එපා කියල"

"ඇන්ටි ඒක මම බලාගන්නම් . ඔයා එන්න දැන්මම. මම පාරට ඇවිත් ඉන්නම්"

ඉක්මන් ගමනින් නිවසට පැමිණෙන ගිහාන් හා නිලන්ත ගේ මව දෙස දොර හැරගෙන දොරට හේත්තු වී සිටි  විශාඛා බලා සිටියාය.
ඇය දොර අසලට  ලං වනවිටම විශාඛා හඬා වැටුනේ ඉදිරියට එන කතාවට මුල පුරන්නට මෙනි. වික්‍රමරත්න මහත්මිය ද
"අනේ ඇයි දුවේ, අපි ඇතුළට යමු " පවසමින්  විශාඛා වත්තම් කරගෙන නිවසට පිය නැගුවාය .

ගිහාන් වහ වහා තේ තුනක් පිළියෙළ කළේය. ඒ ඔහුට සෝවියට් දේශයේ උගෙන ගන්නා  අවධියේ හුරුවූවකි. ඕනෑම විටෙක  තේකක් හෝ කෝපි එකක් සාදාගෙන  වැදගත් කතා බහකට එළැඹීම රුසියනුන් ගේ සිරිතකි. බොහෝ සිසුන්ද එයට ඇබ්බැහි විය. වෙළඳ හෝ වෙනත් කටයුත්තකදී වොඩ්කා වීදුරු එකට ගාටා ඒවා එකවර පානය කිරීමෙන් පසු අවසන් තීරණයක ට එකඟව ගිවිසා ගැනීම් සමාප්ත කිරීමද රුසියනුන් ගේ චර්යාවක් විය.

හැඬුම නවතා ගෙන එක් අතක් කම්මුලේ රඳවා ගෙන විශාඛා තම නැන්දණිය ගෙන් ඉවත බලා සිටියාය. ගිහාන් සෙටිය අසල බිම හිඳ ගත්තේ නිලන්ත ගේ මවට මුහුණ ලා ගෙනය.

සෙමින් සෙමින් එහෙත්  තිර ලෙස විශාඛා ඔහුට පැවසූ විස්තරයන් එකින් එක නිලන්ත ගේ මවට ගිහාන් විස්තර කළේය. අදහා ගත නොහැකි කතාවක් පලමුවරට අසන කෙනෙකුගේ ස්වභාවයට වඩා තමන්ට දෝෂාරෝපණය කර ගන්නා කෙනෙකුගේ ස්වභාවයෙන් වැළපෙන වයසක ගැහැණිය දෙස ගිහාන් අනුකම්පාවෙන් බලා සිටියේය.

"අනේ මගේ රත්තරන් දුවේ මේක මගේ වැරැද්ද. අනේ මට වස ටිකක් තිබ්බ නම්. ඌත් ඉවර කරලා මටත් යන්නම යන්න."

"ඇන්ටි, ඒක නෙමේ නේ විසඳුම.අපි මේක නිලන්තටත් කතා කරලා පැහැදිලි කරලා විසඳ ගමු අද හෙටම. රන්ජනිත් නැති එකේ   විශාඛා ට එහෙ ඉන්න බැහැ. අර එන ගැහැණු කෙනා එන්නෙත් දවල්ට විතරයි.මෙහෙ හිටියොත් ඒකත් හරි නැහැ. නිලන්ත වුනත් වැරදියට හිතයි යාලුවා වුනත්. පොලිසි යනවද කියල හිතමු පස්සේ.

"පුතේ රන්ජනිට වුනු අපරාදයක් නිසා ඒ  ළමය ගියේ. මම ගියා බලන්න"

" ඒ කවද්ද එහෙම වුනේ මම දැනන් හිටියේ නැහැනේ. කවුද අර යාළු වෙලා හිටිය සිකියුරිටි එක්කෙනාද " විශාඛා ඇසුවාය.

"නැහැ පුතේ මේ බල්ලමයි . මට රන්ජනී  ඔක්කොම කීව. ළමයෙක් බඩට එනකන්  මේ කෙල්ල සද්ද නැතිව හිටියනේ. රස්සාව නැතිවෙයි කියල බය වුනාලු. ඒ අහිංසක කෙල්ලගේ අම්මට  අංශ භාගේ හැදිලා ලෙඩින්. මම සල්ලි වගයක් දීලා ආව දැනට "

"ඇයි ඇන්ටි සද්ද නැතිව හිටියේ මේවා ගැන." ගිහාන් ඇසීය.

"මට දැන් තේරුනා ඇයි රන්ජනී හදිසියේ ගියේ කියල. මට පොඩ්ඩක්වත් හිතුනේ නැහැ මේ නරුමයා රන්ජනීටත් අත තියල කියල. අම්ම නිස්සද්දව හිටියේ ඇයි කියලයි  මටත්  හිතා ගන්න අමාරුයි " කෝප ගැන්වුණු ස්වරයකින් කී විශාඛා නැන්දණියගේ මුහුණ දෙස බැලුවාය.

"මේ මිනිහා මටත් වද දෙනවා පුතේ හරියට. රන්ජනී ගාවට යනවා කියල දැන ගත්තම නිලන්ත පුතාට කියනවා කියල හිතා  ගෙන හිටියේ. ඒත් මේ දෙන්න තරහ වුණාම මම ඉස්සෙල්ල කල්පනා කලේ මේ දෙන්න එකතු කරන්න ඕනේ  ඉස්සෙල්ල කියල. මේවා කියන්න ගිහින් ඒ ප්‍රශ්නත් වැඩිවේය කියල මට හිතුන. මෙහෙම දෙයක් මගේ රත්තරන් දූට කරයි කියල හීනෙකින් වත් හිතුවේ නැහැ. මගේ ලේලි  වුනත් මගේම පෙර ආත්මෙක හිටිය දුවෙක්  වගෙයි "
නිලන්ත ගේ මව විශාඛාව තදින් වැළඳ ගත්තාය.

ගැහැණුන්  දෙදෙනාට නිදහසේ වැළපීමට ඉඩ හැර ගිහාන් බලා සිටියේය.

"අපි මේක නිලන්තට කතා කරලා කියමු. හැබැයි මෙහෙ එන්න කියල. එයාගේ තාත්ත ගැන නේ කියන්න වෙන්නේ ."
 "ඌ නිලන්ත ගේ තාත්තා නෙවෙයි " නිලන්තගේ මව අසීරුවෙන් මෙන් තෙපලාය.

"මොකක් " විශාඛා හා ගිහාන් දෙදෙනාම එකවිට හඬ නැගූහ.

"වික්‍රමරත්න නිලන්තගේ තාත්තා නෙවෙයි. මාමා වෙන කෙනෙක්."

~~~~~~~~~~~~
මතු සම්බන්ධයි 

14 comments:

  1. මං මේ විශාකාගේ කතාව හිතාමතාම මිස් කළා

    ReplyDelete
    Replies
    1. සෝවියට් දේශයේ ප්‍රශ්න ප්‍රශ්න ලංකාවේ ප්‍රශ්න ප්‍රශ්න නොවේ සින්ඩ්‍රෝමය ද

      Delete
  2. කවුද කිව්වෙ මම ලංකාවෙන් ගිහිං අවුරුදු 34 වෙනවය ඒ හින්ද මට ලංකාවේ මිනිස්සු සිංහල කතාකරන හැටි මතක නැති වෙන්ඩ පුළුවන්ය කියල? ලංකාවේ මිනිස්සු කතා කරන සිංහලය පරිනාමය වෙලා නෑ පහුගිය අවුරුදු හතලිහටම එක්කෝ එහෙම කියපු කෙනාට කතා කරන බස අමතක වෙලා නෑ...!!! මට තේරුම් ගන්ඩ පුළුවන් ඇයි ඔබතුමාගේ ලංකාවේ පාඨකයෝ විශාඛාට වඩා තාන්යාට කැමති ඇයි කියල.

    ReplyDelete
    Replies

    1. //ලංකාවේ මිනිස්සු කතා කරන සිංහලය පරිනාමය වෙලා නෑ පහුගිය අවුරුදු හතලිහටම // ඇත්තටම . එංගලන්තයේ පහුගිය 34 ට භාෂාව සෑහෙන්න වෙනස් වෙලා. වයසක අයට තරුණ අය කතා කරන ඒවා තේරෙන්නේ නැහැ. ටෙක්ස්ටින් නිසා වෙනත් වචන හැදිලා. තරුණ ළමයින්ගේ භාෂාව ඊට අවු 10 වැඩිමල් අයට වඩා වෙනස්. ලංකාවේ ඉංග්‍රීසියට වඩා මෙහෙ ඉංග්‍රීසිය වෙනස්. සෑහෙන දුරට. මෙහෙ භාෂාවේ අදහස් ප්‍රකාශ කරන විධි පළාතෙන් පළාතටත් වෙනස් වෙලා.

      මම ලියන්නේ මෙහෙ ඉන්න අය සිංහල කතා කරන විධිහ බලලා. මෙහෙ ඉන්න අය 70-80 ගණන් වල ආපු අය . නැත්නම් අපේ වයසේ. 70-80 කාලේ ලංකාවේ හිටපු අය. ඒ භාෂාව තමයි මම භාවිතා කරන්නේ. මගේ නිවසේ සිංහල කතා කෙරෙන්නේ නැහැ. බිරිඳට තවමත් යන්තමින් තමයි පුළුවන්. මගේ ජර්මන් වගේ.

      Delete
    2. සමාවෙන්න මගේ මුල් අදහසේ පැහැදිලිබව අඩුයි. මට කියන්න ඕන උනේ ඔබ හිතුවට ඔබට වත්මන් සිංහලය ගැන ලොකු අවබෝධයක් නෑ කියල මෙවර කතාංගය කියවන විට එවැන්නක් හැගවෙන්නේ නැති බව කියන්නයි.ගියවර තිබුනු කෘතිමබව මෙවර නැහැ.

      Delete
    3. ලොකු මල්ලි උඹ නම් මරු /මෙවර කතාංගය කියවන විට එවැන්නක් හැගවෙන්නේ නැති බව කියන්නයි.ගියවර තිබුනු කෘතිමබව මෙවර නැහැ.// උඹ කිව්වට කමක් නැහැනේ. ඔබ කිව්වම ව්‍යාජ ගතියක් එනවා. මම සමහර විට මේ කතාව ලියන්නේ කිසියම් ආවේගයකින්. emotionally charge වෙලා. (එතකොට ලියවෙන විධිහක් තියනව. )සමහර කොටස් ලියන කොට ඒක නැහැ. ඔන්න ඔහේ ලියල දානවා වගේ හැඟීමකින් ලියන්නේ. ඇති වැඩක් තියනවය ලියලා වගෙත් හිතෙන වෙලාවල් තියනවා. අර කොටස ඒ වගේ. හිතේ උදාසීන ගතියෙන් ලිව්වේ. ලොකු මල්ලිට ඒක දැනුන හැටි නියමයි.

      Delete
  3. ලන්ඩන් අජිත් විසින් නෙලුම්යය නමැති විගඩමක් නටා , බලලෙකු සේ අනුන්ගේ කොස් ඇට බා .එහි අන්තර්ගත දේශපාලන කරුණු කාරනු එළිවන විට එම විගඩම නටපු එවුන් [එජාපය ගැන රචනාවක් _ Essay about UNP ලිපියේ කොමන්ට් තුලින් ද ] පාවාදීමෙන් ද,
    බ්ලොග් ලියනේවුන් සම්මාන සදාහාම පමණක් බ්ලොග් ලිවූ බව මනාවට ඔප්පු කරමින් .උදා බස්සි සහ සම්මාන ලබාගෙන මන්පොරවල් වූ හෙවත් කියවන සම හරක් පාඨකයින්ට උන් පොරවල් වූ සෙට් එත් සම්මාන නොලැබෙන නිසා ද නැවත නොලියා සිටීමෙන් බ්ලොග් ලොව පෙර පරිදි යතා තත්වයට පත්වෙය යයි කෙසේ නිගමනය කල හැකිද
    මේ තත්වය අරු විසින් මනාව කලින්ම පැහැදිලි කලමුත් මමත් පොරක් වීමේ අදහසින් මේ විගඩමට සංවිධානය කිරීම සහ එයට සහයෝගය දැක්වූ සියල්ලම වගකිවයුතුය [ටීවී එකේ මුණ ඔබාගත් එවුන් සහ එමගින් යමක් උපයාගත්/ලබාගත් එවුන් නුතන බිබිලේ සමග සම්බන්දකම් ගොඩනගා ගොඩයන්න පෙරුම් පුරන රණකාමින් ප්‍රධාන ආරධිත්යින්හට මව ෆෝලො කරපන් මාත් පොරක් කියලා සභාවේ උච්චමය අවස්ථාවේ තුන්ඩු බෙදලා ගොන් පොරවල් වෙලා බලන්න ආ එවුන්ට ආතල්දීපු සියල්ලම ඇතුලත්ය ]

    මේ කියන්නේ ඇත්තද අජිත් මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද? සම්මාන ගත්ත අය නෙමෙයි අනිත් අයත් තවමත් කියනවා උළෙල නැවත කරන්න කියල. මට වෙලාවක් නැහැ. නෙලුම් යාය පදනමින් කලාට මට ප්‍රශ්නයක් නැහැ. අනික ලංකාවේ දේශපාලකයන් ගෙන්වීමට මමත් විරුද්ධයි. නිකන් බෙදීමක් ඇතිවෙන එක විතරයි. දේශපාලකයෝ බෙදිලා නැති වුනාට මිනිස්සු බෙදිලා ඉන්නේ.

      Delete
    2. ඔන්න ඔන්න බේගල් දෙසනවා එහෙනම් අහවල් දේකටද දේශපාලකයන් ගෙන්වීමට මමත් විරුද්ධයි.නම් සංවිධානය කලේ මගහරින්නේ නැතිව අපි චීන නය ගත්ත මොඩුන් නිසාද මෙහෙම කියන්නේ

      එහෙම කියන එක කැතයි නේද?.....උන් ගෙන්වලා එකට කාලා බිලා ඔකොම කරලා උන් එනවට මන් විරුද්දයි කියලා කියන්නේ ඩබල් ගේමක් නේ එක

      කාවද මේ රවට්ටන්න හදන්නේ ....ඊ ...යා ..ඌරො....

      Delete
    3. නැහැ ඌරු ඇනෝ , ආවේ ඌරගස්මන්හන්දියෙන් ද ? දේශපාලකයෝ එනවාට විරුද්ධ එක වෙනම දෙයක්. ආව එකා එක්ක කතා කරන එක හරි තේකක් බොන එක හරි වෙන දෙයක්. ඒකට කියන්නේ ශිෂ්ට කම කියල. ගෙදරට ආපු මිනිහෙකුට වතුර එකක් හරි දෙන එක තමා සිංහලයාගේ හැටි. අනික ඔය නිකන් ලැබෙන හෝල් පැකේජ් එන්නේ දේශපාලක තුමා එක්ක ඇමිණිලා නොවැ. හැබැයි මුල් එකේ සම්පුර්ණ වගකීම මගේ. අපට හෝල් එක ලැබෙන නිසා අදාල උප ඇමතිට එන්න කිව්වා. ඒකෙ වැරැද්දක් පෙනුනේ නැහැ. නමුත් හුඟක් වෙලාවට in hindsight හිතෙනවා සල්ලි දීල හෝල් එකක් බුක් කරන්න තිබ්බ කියල.

      Delete
  4. //"මට දැන් තේරුනා ඇයි රන්ජනී හදිසියේ ගියේ කියල. මට පොඩ්ඩක්වත් හිතුනේ නැහැ මේ නරුමයා රන්ජනීටත් අත තියල කියල//

    දෙවෙනි තැන 'රන්ජනී' නම 'විසාඛා' වෙන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. නෑ හරි ඉයන්. විශාඛා කියන්නේ රන්ජනිටත් අත තියල කියල.

      Delete
  5. Replies
    1. ආ බස්ස මහත්මයත් ඇවිත් ඉන්නේ. :) ස්තුතියි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .