Monday, 28 January 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (45) - බලාපොරොත්තුව එලෙසමය

මරෝස්නි ඇපල් 
ප්‍රියාන් ට දුරකතනයෙන් ඇමතූ ගිහාන් ගෙන් ප්‍රියාන්   පළමුවෙන්ම ඇසුවේ නිලන්ත හා විශාඛා ගේ ප්‍රශ්නය ගැනය. වෙනදාවක මෙවන් තැනකදී ගිහාන් මදක් කෝප ගන්නා මුත් මෙදා ඔහු ප්‍රියාන්  සමග කතා කළේ සන්සුන් සිතිනි. ඒ මදිවාට ප්‍රියාන් කතා කළේද රුසියානු බසිනි. ඔහු පටන් ගත්තේද "ප්‍රිවියත් මචෝ" කියාය.

"ගිය පාර උඹ කියපු විස්තර ඇහුවම  මම හිතුවේ උඹ අන්තිමට ඔන්නොහේ විශාඛටම  කර ගහයි කියල. " යනුවෙන් ප්‍රියාන්  ඉතා සැහැල්ලුවෙන් පැවසීම ගැන ඔහුගේ සිතේ හටගත්තේ මදක් අමනාප සහගත බවකි.

(ප්‍රිවියත් යනු හලෝ යන අරුත දෙන යෙදුමකි)

ගිහාන් ඉවසීමෙන් යුතුව සිදුවූ සියල්ල පැහැදිලි කලේ තමන් හොඳම යහළුවෙකු සේ සළකන නිලන්තත් හොඳම යෙහෙලියක් වූ විශාඛා ත් සමග දැන් ඊටත් වඩා  දැඩි සොයුරු බැම්මකින් බැඳී ඇති බව පවසමිනි.
  " දෙන්නම මගේ යාළුවෝ. ඒක හොඳින් විසඳ ගත්ත එක හොඳයි. නිලන්තගේ අම්මත් දැන් නිලන්තලා එක්ක ඉන්නේ නිලන්ත අලුතින්ම ගත්ත ගෙයි. ඉන්දියාවේ ගිහින් ආව කට්ටියම"

 "උඹ  උන්ට උදව් කරලා කල දේ හරි. මම වුනත් එහෙම කරන්න ඉඩ තිබ්බ. හැබැයි අර විශාඛ ට, ඔයාට නෙමේ මම මුලින්ම ආදරය කළේ කියල  කිව්ව එක ටිකක් දරුණු වැඩි නැත්ද? අර හිතෙනුයි   ගතිනුයි දෙකෙන්ම  වැටිලා හිටිය කෙල්ලට?  ඒ අවස්ථාවේ හැටියට විශාඛා උඹ ගැන කිසියම්  බලාපොරොත්තුවෙන් උඹේ ගෙදරට එන්න ඇති. ඒක තේරුම් ගන්න පුළුවන්. පස්සේ මම හිතුවේ,  ඉතින් උඹේ පැත්තෙන් බැලුවම  මෙහෙන් තාන්යා ඉන්නවා. උඹත් හිරවෙලා ඒත් ... උඹ රුසියාවට ආපු දවස් වල විශාඛා ගැන කියනවා මට මතකයි" ප්‍රියාන් ඉතිරිය ගිල ගත්තේය.

"ඒක කොහොමද බං හරියටම  කියන්නේ උඹට.  මම  එවෙලේ කිව්වනම් එයාට මම ආදරය කලා කියල, ඒක පිළි ගත්තනම් මේක මේ විධිහට විසඳෙන්නේ නැහැ. අර යකා, තාත්තා කියල රඟපෑ එකා.... මගේ පිට වරද පටවන්න තිබ්බ. නිලන්තගේ අම්මත් අසරණ වෙනවා. අනිත් එක ..." ගිහාන් මදකට නතර වී හුස්මක් ගත්තේය.

මේ සුන්දර යුවතියන් දෙදෙනාගෙන් ලැබූ ආදරය ඔහු කෙදිනකවත් සසඳා බැලුවේ නැත. දැන් කිසිවෙක්  එවැන්නක් අසයි.

"මට දැනෙන්නේ මේ ආදරයන්  දෙක වෙනම ලෝක දෙකක අත් විඳපු දෙයක්  වගේ බං.මට හැඟෙන විධිහ තමයි ඒ."
ඔහුට දැනුනේ තමන් වෙනම විශ්වයන් දෙකක වෙනත්ම කාල පරාසයන් දෙකක ජීවත් වූ බවකි.  යුවතියන් දෙදෙනා හැසිරුනේ දෙයාකාරයකටය. ඔහු එය සමාන කරගනුයේ කෙලෙසද?

ඔහු පවසන  දේ සාවධානව අසා සිටි ප්‍රියාන් කීවේ රටවල් දෙකක් හා සංස්කෘතීන් දෙකක් වුවත් ආදරය කළ පිරිමියා එකම තැනැත්තා බවයි. ප්‍රියාන් තමන්ට කියන්නට තතනන්නේ කුමක්ද? තාන්යා අමතක කර දැමීමටද?

"ප්‍රියාන්, ඒකමද මම කියන්නේ දන්නේ නැහැ. විශාඛායි මමයි නිලන්තයි එක බස් එකේ ගියේ ඒ ලෙවල් කාලේ. ඉඳ ගන්න කොට මම විශා එක්ක එකට ඉඳ ගන්නවා. නිලන්ත උගේ බෑග් එක විශාඛා ට දෙනවා. නිලන්තය මුලදී එයාට ට්‍රයි කළත් විශාඛා මට වඩා කැමතියි කියල දැන ගත්තම අයින් වුනා. හැබැයි  අන්තිමට බැන්දේ ඌ""

"ඒ ටික මම දන්නවා "

"මම විශාඛා එක්ක හරි බොළඳ වගේ හිතන දේවල් කතා කලේ. විශාඛා අරලිය මල් වලට ආසයි. ඉතින් අපි ඇවිදින කොට අරලිය ගහක් දැක්කොත් පණ කඩාගෙන ලිස්සල වැටිලා හරි එකක් කඩල දෙන්න ඕනේ.කොච්චර අරලිය ගස් දිගේ බඩ ගාල තියනවද.  පිච්ච මල් වැලක් දැක්කොත් නතර වෙලා මලක් කඩන්න ඕනේ. ඉඹින්න ඕනේ එයාට. මල්  අත ගගා ඉන්න ඕනේ. අපි ගල් කිස්සේ ඉඳන්ම පයින් ඇවිත් තියනවා බම්බලපිටියට එනකන්. කෝච්චි  පාර දිගේ අත් අල්ලාගෙන. වෙලාවක දුවනවා ඔහේ. මුහුද දිහා ඔහේ බලන් ඉන්නවා. හරිම අහිංසක සුන්දර ආදරයක් බං ඒක  "

"අර හින්දි ෆිල්ම් වල වගේද " ප්‍රියාන් හඬ නගා සිනා සුනේය.

"එහෙම කියන එකත් හරි. ඕනේ නම් ඔය ඉතින් හින්දි හරි සිංහල ෆිල්ම් වල වගේ මූණ යන්තන් ලං කරලා උම්මා එකක් දීල ඇති. එයාව ගිහින් ඇරලන කොට ගේ ගාවදි කියනවා අයියේ උම්මා එකක්  දෙන්න කියල පොඩි ළමයෙක් වගේ. ගස් වටේ දුවල නැහැ පුතෝ. ගස් යට ඉඳගෙන ඉඳල තියනවා විහාරමහා දේවි එකේ හෙම. ඒ දවස් වල අතේ සල්ලි නැහැ නේ බං .  ගල් බනිස් එකයි ප්ලේන්ටියයි බෙදාගන්න දවස් තියනවා. විශාඛා අතේ සල්ලි තියන දවසට ග්‍රීන් කැබින් එකෙන් කනවා. "

"ඒක තවම තියනවද බං "

"තවම තියනවා. විශාඛා එක්ක තිබ්බේ කෝමල ආදරයක්. ඒක ප්ලැටෝනික් ආදරයක් හැබැයි  රොමැන්ටික් වෙන්න  ඔන්න මෙන්න තිබ්බ එකක්. ඒක එහෙම වෙන්න කලින් මම සෝවියට් දේශයට ඉගෙන ගන්න ගියා නෙව. ඒක උඹ දන්නවා"

මිතුරන් දෙදෙනා පරණ අතීතය මදක් මතක් කර ගත්හ. ඒවා බොහෝ විට සොඳුරු මතකයන්ය. ප්‍රශ්න  නොතිබුනා නොවේ. එහෙත්  ශිෂ්‍යයන් ලෙස ගත කළ නිදහස්කාමී වූ ඒ සොඳුරු කාලය තවමත් ඔවුන්ට සිහි වන්නේ මිහිරි මතකයන් ලෙසය.

"එතනත් අවුරුදු ගාණක් ඉඳල ඉඳල අන්තිමට තාන්යා ව මාට්ටු වුනා නේද "

"ඒකම තමයි හිතා ගන්න බැරි. ඒ හමුවුනු විධිහ. තාන්යා හෙන රොමැන්ටික්. හම්බ වෙච්ච පළමුවෙනි දවසෙම ඉටිපන්දම් පත්තු කරලා  රොමැන්ටික් සින්දුවක් දෙකක් අහල එකට  හැසිරිලා සතුටු වෙන්නයි එයාට ඕන වුනේ. හැබැයි ඊට පස්සේ අපේ හැම හමුවීමකම, එකතු වීමකම අමුතු විශේෂයක් තිබුන. එහෙම නැත්නම් එයා ඒ විශේෂය ඇති කලා. "

"නමුත් උඹට අත අරින්න තිබුන ඕනෙම නම්" ප්‍රියාන් පැවසුවේ ඇඟට පතට නොදැනීය.

"සමහරවිට මුලදී. තාන්යා බල කලේ නැහැ කවමදාකවත්. නමුත් අපි හමුවෙලා සති කීපයකින් පස්සේ එකට  රෙදි හෝදන්න ගිය දවසේ මට අමුතු හැඟීමක් ආව බං. මම උඹට කියලත් ඇති. ඉස් ඉස්සෙල්ලම, එකට කඩේ ගිහින් කන්න උයන්න බඩු  ගන්න  ගියහම ඒ හැඟීම ආයි වැඩි වෙලා ආව. මම කළේ  කඩෙන් එළියට ආපු ගමන්  තාන්යා ව බදාගෙන හිටි එක  පාර අයිනේ. එයත් උරහිසට ඔළුව ගහගෙන හිටිය. ඒවා අමතක වෙන්නේ නැහැ බං.  එයා ඔය මාකට් එකකට ගිහින් යමක් තෝරන  කොට, ඒවා ගැන මගෙන් අහන කොට, එතන හරිම චමත්කාරයක් තියනවා  බං. හම්බ වෙන්න යන හැම දවසෙම බදාගෙන ඉඹල මූණ උරහිසට තියන් ඉඳල හිමින් බෙල්ලට කිස් එකක් දීල ඊට පස්සේ තමයි කතා කරන්නේ. පපුව බටර් වෙලා යනවා බං එතකොට "

"ඔව්  ඉතින් චැටර්ලි ආර්යාව කියල අපි නම දැම්මේ නිකන්ය "

"ඒ උඹලගේ දස කම. මම මෝඩය වගේ කරපුවා කියන්න ගිහිල්ල අහගත්ත කතා. උඹ දන්නවද සමර් එකට ඇපල් කොපමණ කෑවත්   මරෝස් (frost)  එක එන්න  කලින් ගහේ ඉතිරි වෙලා තියෙන ඇපල් එක අමුතු ඇඹුලක් එක්ක පැණි රහයි කියල. ඒ කියන්නේ ශීත සෘතුව පටන් ගන්න කලින්. "

"ඔව්  මම දන්නවා " මරෝස් යනු ශීත සමය පටන් ගැනීමට ප්‍රථම ඇති මුල් දින කිහිපයයි. ගස් වල කොළ හැලී අවසාන වී මුල්ම හිම වැටෙන දවස ළඟාවන කාලයයි.  එම කාලයේ ඇපල් ගස් වල අවසානයට ඉතිරි වන ඇපල් වල රසය වෙනස්ය.

"තාන්යා ඔය ඇපල් ගෙඩියක් කඩන්න  ශීත සෘතුව පටන් ගන්න තුරු  බලන් ඉන්නවා.අවුරුද්දේ පළමු  හිම ඔන්න මෙන්න වගේ වැටෙන කොට අපි දෙන්නම ගිහින් කඩනවා ඒ ඇපල් ගෙඩි ටිකක්. වතාවක් මම   ගම්මිරිසුයි ලුණුයි කලවන් කරලා දුන්න. කඳුළු පිහ පිහ කිවිසුම් ඇර අර කෑව. ඒවා තමයි බං මතක. මතක් වෙනවකොට අමාරුයි බං. දාල ආවේ ඇයි කියල හිතෙනවා. "

"මචන් සමහර කොල්ලෝ  ළමයි හිටන් පරිත්‍යාග කරල කෙල්ලන්ට, ළමයි  එක්කම  එහෙම්ම දාල ගිහින් උඹ දන්නවනේ ඒ සීන්. වැඩේ කියන්නේ ඉස්සර සෝවියට් ආණ්ඩුව කාලේ සපෝර්ට් එකක් තිබ්බත් දැන් නැහැ.  සමහරු අවුරුදු පහමත් ඉඳල අන්තිමට හීන් සීරුවේ ගිහින් ලංකාවෙන් බැඳගන්නවා. අර ගඩ්ඩ හෙම පීඑච්ඩී එකත් හදාගෙන ඒ අවුරුදු තුනත්  කෙල්ල  එක්කම ඉඳල, අන්තිමේදී ඔය බිස්නස් කරපු සල්ලි ටිකක් දීල ඒකිට බායි කියල ගිහින්. ලංකාවේ හොඳ  දෑවැද්දක්‌ එක්ක කසාද බැඳලා. ඔය ඉන්නේ ලෙවල් එකේ. මට නම් අවුල් ඒ වැඩේ. ඒත් උඹ මේ තවම නැහෙනවා තාන්යා ගැන. මම දන්නේ නැහැ මොනව  කියන්නද කියල. උඹ ඇත්තටම ආදරේ කරපු එකෙක්. පාළුවට, ලිංගික ආසාවට විතරක් කෙල්ල එක්ක හිටි එකෙක් නෙමේ කියල මම දන්නවා." ප්‍රියාන් කීවේය.

"දැන් උඹේ කෙල්ලට මොකෝ වුනේ " සිත රිදී යන සේ  දැනුන ඒ වදන් පෙළට  කිසිවක් නොකී ගිහාන් සෙමෙන්  ඇසීය.

වරක් තාන්යා සමග ප්‍රියාන් ගේ පෙම්වතිය වන නතාෂා  මුණ ගැසී  අර්බාත්ස්කයා විදියේ ප්‍රාග් කේක් කා කෝපි බිවූ සැටි ගිහාන්ට මතකයට නැගුණි.

"එයාට සුද්ද වීසා ගැහුවේ නැහැ. ඒ  ආදර  අන්දරයට එතනින් තිත තියන්න වුනා. එයා කියනවා මට මොස්කව් එන්න කියාලා. මොස්කව් ගිහින් මොනවා කරන්නද මචං? මම බිස්නස් කරන්න දන්නා එකෙක් නෙමේ. බෙලි කැපිලි , පිටි පස්සෙන් පිහියෙන් ඇනිලි , හොරකම්, ජඩකම් පිරිලා බං. ලොකු බිස්නස් කරනවා නම් මාෆියා එකට හරි පරණ කේජිබි එකට හරි කප්පම් දෙන්න ඕනේ. වීසා ජාවාරම් හෙම හරියට.අනික  මම මෙහෙ තව ඩිග්‍රී  එකක් කරනවා. උඹ දන්නවනේ "

"ඔව්, උඹ කලින් කිව්වනේ ඉගෙන ගන්නවා කියල.. මොකද්ද බං වීසා ජාවාරම් කතාව. මටත් මේ කවුද රුසියාව ගැන පැත්තක්  පළාතක්  දන්නේ නැති බුවෙක් කීව වීසා හදල දෙන්නම් කියල මොස්කව් යන්න ආපහු. මෙහෙ මේ ලංකාවේ ඉන්න එවුන්  කොහොමද බං ඕව කරන්නේ." ගිහාන් කීවේ තරමක්  අවඥා සහගතවය.

සෝවියට් දේශය බිඳ වැටුණු පසු හදිසියේම රුසියාවේ ඉගෙනීමට ළමුන් යැවීමට යයි සඳහන් කරමින් පුද්ගලික කොම්පැනි කිහිපයක්ම ලංකාවේ ලියා  පදිංචි වී තිබුණි. ඒවායින් සැබවින්ම ඉගෙනීමට ළමුන් යවන්නේ දැයි ගිහාන් සැක කළේ ඒවාට සම්බන්ධ අයවලුන් ගැන ඔහු කළින් දැන  සිටි බැවිනි.

"ඕක මචන් අපේ බිස්නස් කරන කොල්ලෝ කිහිප දෙනෙකුයි ලංකාවෙන් තේ සහ වෙන බිස්නස් වලට ආපු අයයි  කරන ජාවාරමක්. මතකද මට  අර සුම් (මොස්කව් හි ප්‍රධාන සුපර්මාකට් එකකි) එක ගාවදි ලංකාවේ කොල්ලෝ සෙට් එකක් යුගෝස්ලාවියා යන්න ටිකට් අරන් මොස්කව් ට්‍රාන්සිට් ඉඳල හම්බවුනා. අතේ සල්ලිත් වැඩිය නැතුව, කන්නත් හරියට නැතිව. ලංකාවේ ඔය උඹ හෙම කියපු භීෂණය නිසා ආව කියල කීවේ."

"ආ ඔව් මට මතකයි . උඹ අර සල්ලි දීල සෝවියට්  වීසා අරන් දෙන කෙනෙක් ගාවට යැව්වා නේද. උන් ඒ වීසා ගහගෙන ඊට පස්සේ ඉතාලි ද කොහෙද ගියා නේද? "

"ඔව් අපි නිකන්නේ උන්ට උදව් කලේ. ගොඩක් එවුන් ඒක ජාවාරමට පටන් අරන්. ලංකාවෙන් අරන්  එනවා කොල්ලෝ කෙල්ලෝ . රුසියන් වීසා ගහල දෙනවා ඉගෙන ගන්නවා කියල. ඊට පස්සේ බටහිර වීසා ගහන්න උදව් කරලා  බටහිරට දානවා.   දැන් ඔහොම එන්න අධ්‍යාපන සුදුසුකම් ඕනේ නැහැ. වෙස්ට් එකට පනින්න බලාගෙන හොරෙන්  ගේන අය. ඒකට ගෙම්බෝ පන්නනවා කියලත් කියනවා. ඒක නිසා හැබැයි ඇත්තට ඉගෙන ගත්ත අපටත්, ඉගෙන ගන්න ආපු එවුන්ටත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. අනිත් පැත්තට මචන් ලංකාවේ උන් පව්. මොනවා හරි කරලා පනින්නනේ බං හදන්නේ. ජිවිතේ හදා ගන්න. ලංකාවේ මුළු පවුලකට පරම්පරාවකට උදව් කරන්න නේ ඔය කට්ට කන්නේ "

"මට ඔය කතාව  කිහිප දෙනෙක්ම කිව්වා. අර සෝවියට් දේශය ඉවර කරලා ආපු අය ගේ සංගමයක් තියෙන්නේ. ඒකෙ මීටින් එකකට ගිය වෙලේ.  මෙහෙ රැකියාව අතින් කිසියම් තැනක ඉන්න ගොඩක් අපේ සීනියර් අය අකමැත්තෙන් ඉන්නේ ඔය වෙන වැඩේට"

"මචං මම උඹට කියන්න හැදුවේ රුසියානු කෙල්ලෝ කොල්ලෝ අරගෙන බටහිරට හෝ සිංගප්පූරුව , හොන්කොන්, තායි , තුර්කිය වගේ රටවලට  අරන් ගිහින් උන් ලව්වා විකුණන්න බඩු ගේන  වෙළෙන්දෝ ඉන්නවා. ඒ දවස් වල අපිත් කළේ ටිකක් ඒ වගේ දෙයක්.
සල්ලි හොයා ගන්න එහෙම කරන රුස්සියෝ හෙම ඉන්නවා. "

හදිසියේම ප්‍රියාන් කීවේ කුමක්ද යන්න ගිහාන්ට වැටහුනේය. ප්‍රියාන් යමක් ගැන සැක කරයි. ඒ කුමක්ද යන්න ඔහුට නිච්චියක් නැත.

"තාන්යා එහෙම යන්න ඇති කියලද උඹ හිතන්නේ. එයාව ගෙන්න ගන්න මගේ අතේ සල්ලි දැනට නැහැ කියල තාන්යා දන්නවා .ඒත් දැන් නිලන්තයත් ණයක්  දෙන්න පොරොන්දු වෙලා  ඉන්න නිසා ඒ ප්‍රශ්නේ නැහැ. හැබැයි එයා  සල්ලි හොයන්න එහෙම ගියා වෙන්නත් පුළුවන්. වැඩිදුර හිතන්නේ නැතිව කරන වැඩ තියනවා.   උඹටත්  නතාෂාටත්  වෙච්ච දේට මටත් කණගාටුයි.  මට හිතෙන්නේ  නැහැ තාන්යා ගැන හොයන්න  උඹට කියන එක හරිද කියලත්, මේ විධිහට"  

"මචෝ ,  මම හොයල බලන්නම් උඹ වෙනුවෙන් නේ බං. දැන් හැමෝම එහෙ මෙහෙ යන්නේ රුස්සගේ ආණ්ඩුවෙන්  පඩි දෙන්නේ නැති නිසා කලට වෙලාවට. හැම එකම අංජ බජල් වෙලා බන් රුසියාවේ. කොහොම තිබ්බ රටක්ද? වැරදි තිබ්බ තමයි. ඒත් මුන්ට මේ තත්වෙට පත්වෙන්න ඕන නැහැ. එතන තමයි වැරැද්ද. හරි මම උඹට ආරංචියක් ආපු ගමන් කෝල් එකක් දෙන්නම්. එහෙනම් මං තිබ්බ.  දා ව්ස්ත්රෙචු (නැවත හමුවෙන තුරු)  "

"හරි මචන්. ගොඩක් ස්තූතියි.   දා ව්ස්ත්රෙචු"

ඒ දුරකථන කතාව නිමවී හරියටම සති දෙකක්ද තුනක් ගත වූයේ දැයි ගිහාන්ට නිච්චියක් නැත.



ප්‍රියාන් ගිහාන්ට කතා කළ දවස ගිහාන්ගේ මතකයේ දැඩිව රැඳී තිබේ. ඒ බ්‍රහස්පතින්දා දවසකි. රැකියාව නිමවී නිලන්ත හා විශාඛා හමුවීමට පොරොන්දු වී සිටියද ප්‍රියාන් තමන් එදිනට අමතන බවට දුරකතනයේ ආන්සර් මැෂින් එකේ ඔහු පණිවිඩයක් තබා තිබුනේය. ගිහාන් දැඩි නොඉවසිල්ලෙන් සිටියේ දුරකථනය නාද වන තුරුය. ඒ වනවිට ඔහු තේ කෝප්ප දෙකක් ද කෝපි  කෝප්පයක්  ද පානය කර තිබුණි.

~~~~~~~~~~~~~~~~~~මතු සම්බන්ධයි
පින්තූරය : https://yandex.by/collections/card/5a9e2c3bcff35f0a1767cd16/

17 comments:

  1. good to see this story to continue again

    ReplyDelete
  2. ආයෙමත් කතාව පටන් ගත්ත එක හොදයි . අසේවෙන් බලන් හිටියේ කියවන්න . බැරිද පොඩ්ඩක් අකුරු ලොකුවට දාන්න තව ගැලපෙන රූපයක් දෙකක් මැද්දට දැම්මත් කමක් නැහැ .

    ReplyDelete
    Replies
    1. දැන් වැඩිය පින්තුර දාන්න හිතෙන්නේ නැහැ . ස්තුතියි කියෙව්වට. වැරදි ගොඩක් හම්බවෙලා ආයිත් හැදුව

      Delete
  3. I am sure Tanya is a grand mother by now considering the time gap between previous episode and this!! :)

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් ලොකු මලයෝ, දවසේ කොමෙන්‍ටුව.

      //no not yet I suppose//
      හැහ්, මොකෑ නැත්තෙ. ආං තාන්යගෙ දුවගෙ දුව තත්යානා බැන්ද ගිය මාසෙ රොකට් රෝහිතව :)

      මේං වැන්දා ලොක්කා.අපේ ආතල් නොකඩා ඉතුරු ටික ඉක්මනට දානවද?






      Delete
    2. ඒක හරි බස්සා තුමා. අපේ ගමයාතුමා දන්නවට වඩා අපි දන්නවා තාන්‍යට වෙච්ච දේවල්. තව සතියක් දෙකක් බලල ඊලග කොටස් ටික නිකං සිං සිං ගාල ආවෙ නැත්තං අපි පටං ගන්නව ලියන්ඩ ඔය කතාව. නරක මිනිස්සු කියන්ඩ එපා හොදේ.

      Delete
    3. මේං වැන්දා ලොක්කා.අපේ ආතල් නොකඩා ඉතුරු ටික ඉක්මනට දානවද? X 2

      Delete
    4. මේං වැන්දා ලොක්කා.අපේ ආතල් නොකඩා ඉතුරු ටික ඉක්මනට දානවද? X 3

      Delete
    5. මේකේ වැරැද්ද බ්ලොග් ලියන එවුන්ගෙමයි මෙතනට ආවහම එල්ලලා තියන බ්ලොග් ටික කියවල මදිනම් මාතලන්ගේ සින්ඩියට ගිහිල්ල ඒවත් කියවල එනකොට පැය දෙකක් විතර ගිහින්. මම කියන්නේ මේ කොමෙන්ට් නොදා ඇවිත් . කොමෙන්ට් දාන්න ගියොත් තව වෙලා යනවා. ඒ මදිවට අර අටම ගේ අටම්ෆියේ දාන ඒවා ෆේස්බුක් එකේ කියවනවා. ඒවත් ඉවර වෙලා එන කොට නිදාගන්න වෙලාව හරි. ඉතින් කොහොමද ලියන්නේ.. පැතු උමා තුමා දෙපාරක්ම දාල තියන නිසා ලියන්නත් ඕනේ තමයි.

      Delete
  4. Replies
    1. Thanks. There were few syntax errors. Just updated.

      Delete
  5. Hi Ajith. Good to see you have restarted this again.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .