Tuesday, 19 February 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (48) - සිනමා පටයක මෙන් දිග ඇදුනු ජීවිතයක කෙළවරද

ශෙප්කින්ස්කි වනය 
තව දුරටත් ගිහාන් සොයා යාමේ උමතු බලාපොරොත්තුවක් තාන්යා ගේ සිත තුල රැව් දුන්නේ නැත. තමන්ගේ එක තීරණයකින් ජීවිතය මෙතරම් දරුණු ලෙස වෙනස් වේයැයි ඇය සිහිනෙනිදු නොසිතුවාය.

යුවතියන් දෙදෙනාට මහත්ම අස්වැසිල්ලක් වූයේ පිලිපීන සේවිකාව වූ ඇග්නස් ය. ඒ අතරේ ඔවුන්ට මෙන්ම හමුදා ප්‍රධානියාටද   ආහාර සපයන  සේවකයන් දෙදෙනෙක් එහි සිටියහ. වෙනත් සේවකයන් සිටියත් ඔවුන්ගේ  ඇස ගැටුනේ මේ දෙදෙනා පමණි. ඇග්නස් ඔවුන් හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ලලිතා හා විකී වශයෙනි. මුළුතැන්ගෙයි අහර පිළියෙළ කලේ ලලිතාය. විකී රියැදුරෙක් වුවත් සේවිකාවන් දෙදෙනාට අවශ්‍ය අනිකුත් කුදු මහත් උදව් රාශියක් ඉටු කර දුන්නේය.

තාන්යා ට ලලිතා යන නම ඇසුනේ ලෝලිතා ලෙසය. සෝවියට් දේශය බිඳ වැටුණු පසු තහනම්ව තිබු පොත් රාශියක් නැවත පලවූ අතර ඉන් එකක් වුයේ ව්ලදිමීර් නබෝකොව් ගේ "ලොලිටා " පොතය. එය කියවා  තිබු ඇයට ලලිතා ගේ නම මතක තිබ්බේ එලෙසය. මුළු රාත්‍රිය පුරාවටම එරික් කිවූ ලෙස "සේර්විස්" සඳහා වැඩ කිරීම කළ පසු උදය පුරා  නිදා ගත්තත් දහවල මධ්‍යහ්න වේලාවේ ආහාර  ගැනීම සහ හවස තේ හෝ කෝපි පානය අතර  සේවිකාවන් දෙදෙනා සහ සේවකයා සමග කතා බහ කිරීමට ඔවුනට හැකිවිය. ලෝලිතා කීවේ  ඔවුන් තෝරා ගැනීමට එදා පැමිණි හමුදා නායකයා හොඳ මිනිසෙකු බවය. ඇය නැවතී සිටි නිවසේ දී ඈට බොහෝ දඬුවම් විඳීමට ට සිදුව තිබුණි. වරක් බඳුනක් බිඳ වැටී කැඩුණු නිසා නිවසේ ගෘහණිය ඇගේ අතට උණුසුම් ඉස්ත්‍රික්කය  තබා තිබුණි. ගෙහිමියාගෙන්ද කරදර සිදුවූ බව ඈ පැවසුවාය.

"මම එළියට බැහැල පැනල යනකොට පොලිසියෙන් අල්ල ගත්ත. මේ අය්ය තමයි මහත්තයට කියල මාව බේරා ගත්තේ. එදා ඉඳන් මෙහෙ " ලෝලිතා පිලිස්සුණු අත පෙන්වූවාය. විකු අයා ද ඒ මතයම දැරීය. ලෝලිතා විකී අයියා ලෙස කරන ඇමතුම රුසියානු යුවතියන්ට ඇසෙන්නේ විකූ අයා ලෙසටය. එනිසා  ඔවුහුද එලෙසම ඇමතූහ.

තෙවන  දිනයේ එකවර  පැමිණි පිරිමි දෙදෙනෙකු මහා හඬින් කතා කරමින් සිනා සෙමින් තවත් ආරුක්කුවක් වැනි යකඩ රාමුවක් ගෙන ආහ. ඔවුන් තාන්යා ගේ අනිත් පයද එහි එල්ලීය. මුළු  රැය පුරා  ඇය සිටියේ ඒ අපහසු ඉරියව්වෙනි. ක්සේන්යා ගේ කුටියට ආ අයද ඔවුන් එහි කැඳවුහ. ඒ දරුණු වධය උදයේ එහි ආ ඇග්නස් ගේ නෙත ගැටිණි. ඇග්නස් සහ ලෝලිතා තාන්යා අපහසුවෙන් ඔසවා ගෙන ගොස් නහවා පිරිසිදු කළහ. ලෝලිතා සුදුලූනු, ළුණු සහ තවත් මොනවදෝ එකතු කොට රත්කළ අත් බෙහතක්  නැප්කින් එකකට ගුලි කොට එම රස්නයෙන් තාන්යා ගේ යටිකය හා  රිදුම්  දෙන පෙදෙස් තැව්වාය. ඇගේ  දෙනෙතෙහි කඳුළු  උණන තරම ට ලෙන්ගතු  වූ මේ කරුණාවන්ත ගැහැණුන් දෙදෙනාගේ දයාවන්ත බව හා ආදරය  තාන්යාට  දරාගත නොහැකි  විය.

ඇයට ඇගේ පියා  සිහි විය. වරක් ශෙප්කින්ස්කි නමැති   වනයේ පවුල් කිහිපයක් සංචාරයේ යෙදිනි. ලේනා සහ අනිකුත් ළමයින් සමග සෙල්ලමට දිව යද්දී තාන්යා ඇද වැටුනේ කටු පඳුරු ගාලකටය. කටු වලින් සිරී ලේ පෙරාගෙන හඬද්දී ප්‍රථමයෙන් දිව ආ අලෙක්සේයි තම දියණිය දෑතින් ඔසවාගෙන කිලෝමීටර  භාගයක් තරම ඈත පිහිටි කුඩා වැවට දිව්වේය. එහි ඇය වතුරෙන් පිරිසිදු කර ඒ ගැම්මටම කාරයට දිවගොස් හදිසියකට ගැනීමට තිබූ වෙළුම් පටි ගෙනවිත් ඇගේ සීරුණු තුවාල වෙළුවේය. ඇගේ වේදනාව අමතක වී නැවත  සිනහසෙන තුරුම  ඔහු ඇය සමග වැව අයිනේ හිඳගෙන   සිටියේ මවටත් ලේනාටත්  අනිත් අසල්වැසියන් සමග ශෙප්කින්ස්කි වනයේ  විනෝද චාරිකාව යාමට ඉඩ සලසමිනි.  පියා සිටියානම්. හමුදා පුහුණුව ලත් ඔහු සමහරවිට මුන් සියල්ලම මරා දමා ඇය බේරාගනු ඇත. ඇයට නොදැනුවත්වම දෙනෙතින් කඳුළු ගලා ආයේය.

හමුදා නායකයා ඇග්නස් හෝ විකී පෙන්වූ නිසා දෝ අර දෙවැනි   ආරුක්කුව දිනකට පසු ඉවත් කිරීමට අණ කළේය. එසේම දෙවෙනි මහලේ සිද්දියෙන් පසු වරක් ක්සේන්යා වෙත ගියා  විනා ඔහු ඔවුන් වෙත බලහත්කාරකම් කරන්නට නැවත පැමිණියේද නැත. යුවතියන් දෙදෙනා එහි සිටින්නේ ස්ව කැමැත්තෙන් නොවන බව ඔහු වටහාගත් සෙයකි.

දෙවන හා තෙවන  සිද්ධීන්  දෙකකදී ද  හමුදානායකයා  ඇයට අනුකම්පා කරන බව තාන්යා ට තහවුරු විය. එක පිරිමියෙකු තමන් ගෙනා චොකලට්  තාන්යා ප්‍රතික්ෂේප කිරීම ගැන  උරණ විය. ඔහු කලේ ඇගේ සිරුර මතට නැග බලහත්කාරයෙන් ඒවා කැවීමය. ඇය සිටි ආකාරය අනුව මුවේද උගුරේද හිරවූ චොකලට් ශ්වාසනාලය දිගේ  යෑම නිසා හුස්ම ගැනීමට අපහසුව ඇය දරුණු ලෙස කැස්සාය. ඇග්නස් කොහේදෝ සිට පැමිණ ඇගේ පිටට ගසමින්, මුවට අත දමා  චොකලට් ඉවත් කරමින් ඇය එම කරදරයෙන් මුදවා ගත්තාය. කෝපවූ පිරිමියා ඇග්නස් ව කාමරයෙන් එලවූ නමුත් අඩ හෝරාවක් යන්නට මත්තෙන්  කිසිවෙකු පැමිණ ඒ පිරිමියා කාමරයෙන් රැගෙන ගියේය.   ඔහු නැවත ආවේ නැත. ලොක්කා එය කළ බව විකු අයා පැවසීය.

තෙවැන්න නම්  වෛද්‍යවරයාගේ සිද්ධියයි. වෙළුම් ගලවන්නට ආ වෛද්‍යවරයා යුවතියන් එහි සිටින්නේ කුමටද යන්න දැන ගන්න ට ඇත. ඔහුද  ඇයව අපයෝජනය කිරීම  ඇයට ඉවසුම් නොදෙන්නක් විය. වෛද්‍යවරයෙක්  යනු රෝගියාගේ විශ්වාසය දිනා ගත් අයෙක් මිස අපයෝජකයෙක් නොවේ. ඇගේ දැඩි කෝපය හා ශෝකය නිවන්නට ලෝලිතා උත්සාහ ගත්තේ ක්‍රමානුකූලව හුස්ම උඩ  පහත හෙළීමට කියා දීමෙනි. ගිහාන් බොදුනුවකු වුවද දැඩි ලෙස ආගමික වූ අයෙක් නොවුණු නිසා ඔහු පැමිණි රටේ ආගම ගැන ඇගේ වැඩි දැනුමක් නොවීය. ඇය ඒවා දැන  ගත්තේ විකූ සහ ලෝලිතා ගෙනි.   එසේ වුවද  සංසාරයේ එන හමුවීම්, ලෝලිතා හා තාන්යා ගේ කරදර කිසියම් පෙර ආත්ම වල ඔවුන් කළ දේ නිසා යයිද කියනා   ක්සේන්යා අමාරුවෙන් පරිවර්තනය කළ  කරුණු ඇයට තේරුනේම නැත. ඔවුන්ගේ අදේවවාදී රට වෙනස් වී තුබුණද රුසියාව තවම ආත්මවාදී ආගම් වලට හැරී තිබුනේ නැත.

වෛද්‍යවරයාද ඉන්පසු ඉවත් කෙරුණි. මේ නගරයේ කිසියම් සුදු ජාතික වෛද්‍යවරුන් සිටින බව තාන්යා දැනගත්තද තරුණියන් එහි රඳවා සිටීම හෙළිදරව් වන නිසා ඔවුන් නොගෙන්වන බව ඇයට වැටහිණි. එදා හමුදා ලොක්කා හෝටලයට පැමිණ ඔවුන් තෝරා ගත් නමුදු ඔහු තමන් කෙරෙහි අනුකම්පාව  දක්වමින් කරන හැසිරීම තාන්යා ට ප්‍රහේළිකාවක් විය.

ඇයට තවත් අස්වැසිල්ලක් වූයේ ඇය ඔවුන්ගේ භාෂාව තරමක් දන්නා බවද ගීත කිහිපයක් දන්නා බවද විකූ අයා හා ලෝලිතා දැන  ගැනීමය. ගිහාන් ඔවුන් මොස්කව් වැවේ නෑමට ගිය දින සිට නිතර ගැයූ "ප්‍රේමයේ විල් තෙරේ" ගීතය ඔවුන් දෙදෙනාම දැන සිටියේ නැත. එහෙත් තාන්යා ට හොඳින් මතකයේ තිබු "සඳෙන් එහා කඳු මුදුන් හිමේ" නමැති ගිහාන්  ඈ වෙනුවෙන් නිරන්තරයෙන්  ගැයූ  ගීතය විකූ ගායනා  කළේය. ලෝලිතා ජපානයේ සකුරා  මල් ගැන කියවෙන ගීයක් නිතර ගායනා කළාය. ගිහාන් නිතර ගයන ගීත කිහිපයක්ම විකූ ද ගායනා කළේ මුළුතැන්ගෙයින් ගෙනා උයන භාණ්ඩයකට තාලයට ගහමිනි. ඔහු කෙතරම් හොඳින් එය කළේද යත් තරුණියන් දෙදෙනා ඒ හඬින් හා ගායනයෙන් කුල්මත්ව සිටියහ. ඔවුන්ගේ මුවේ සිනහවක් නැගුනේ එවැනි විටකදීය. එසේම තමන්ගේ රටේ නොවන්නා වූද  එම රටේ ආගන්තුක සේවකයන් පමණක්වූ ලෝලිතා, විකූ අයා සහ ඇග්නස්  ගේ කරුණාව, දයාව සහ ආදර සංග්‍රහයන් ඔවුන්ට තම ජිවිතයේ අපහසුම දින කිහිපය ගත කරගන්නට ඉමහත් පිටුවහලක් විය.

ඔවුන් එහි සිටියේ  යූරා නමැති පාතාල නායකයා හා ස්වේතා ට ගෙවා ඇති මුදල්වලට හිලව්වට වුවත් පැමිණි පිරිමින්  නොයෙකුත් සුවඳ   විළවුන්, චොකලට් සහ එම රටේ මුදල්ද සන්තෝෂම් ලෙස  කාමරයේ තබා ගියහ. ඒවා වැඩිපුර ලැබුනේ ක්සේන්යා ටය. ඒ වනවිට ක්සේන්යා පෙරළුණ බෝට්ටුවේ යට පැත්තත් හොඳ යයි  හිත හදාගෙන සිටියාය.   තාන්යා ඇයට ලැබුණු සියලු දේ ප්‍රතික්ෂේප කළාය. චොකලට්   කිහිපයක් සුවඳ විලවුන් ද යම් මුදල් කොටසක් ද  ඇය ඇග්නස්, ලෝලිතා හා විකූ ට පරිත්‍යාග කළාය.

එරික් හා ස්වේතා පැමිණියේ තවත් සතියක් දෙකක් පමා වීය.  යුවතියන්ට ලැබුණු සුවඳ විලවුන් හා මුදල් ස්වේතා මල්ලකට එක්කාසු කළේ තාන්යා එතරම් උපයාගෙන නැති බවට දෝෂාරෝපණයක් ද කරමිනි. ක්සේන්යා වාද කළද ස්වේතා ක්සේන්යා එකතු කරගත් මුදල්ද උදුරා ගත්තාය.

ඔවුන් නික්ම යන දිනයේ එරික් ලා පැමිණීමට ප්‍රථම උදයේම කාමරයට  පැමිණි හමුදා නායකයා ඩොලර් දෙසීයක  මුදලක් ඇඳ මත තබා තාන්යා ගේ හිසට තට්ටුවක්ද දමා නිහඬවම නික්ම  ගියේය. ඔහු එරික් හෝ ස්වේතා හමුවීමට පැමිණියේ නැත. ඔහු පිළිබඳව තාන්යා ගේ සිතේ  පැහැදීම තවත් වැඩි කරවන කරුණක් වූයේද එයයි. තාන්යා ඒ මුදල් ඇඳුම් බෑගයේ  අඩියේ සඟවා ගත්තාය.

ඇය සිතා සිටියේ මොස්කව් ගුවන් තොටුපළේදී කෑ ගසා තමන්ට වූ අකරතැබ්බය පවසා ස්වේතා හා එරික් ආගමන විගමන නිලධරයන්ට අල්ලා දීමටය. ඇය  විශ්මයට පත් කරමින් ඔවුන් විශේෂ දොරටුවකින් කිසිවක් පරික්ෂා නොකරම එලියට කැඳවා ගෙන යන ලදී.
ලේනාගෙන්   පසුව දැනගත් පරිදි එම ධනවත් මැද පෙරදිග රටට සෝවියට් දේශය බිඳ වැටීමෙන් ඉතිරිවූ අති මහත් ආයුධ සංඛ්‍යාවෙන් කොටසක්  විකිණීමට අවශ්‍යතාවයක්   මිනිස්තෙර්ස්ත්වා අබරෝණි යට (රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශයට  )  තිබුණි. එම රට ආයුධ මිලදී  ගත්තේ ඇමෙරිකාව , බ්‍රිතාන්‍යය, ජර්මනිය ආදී බටහිර රටවලින් පමණි. ඒ කාලයේ නිතර බීමතින් සිටි රුසියාවේ බඩ තඩි මහලු ජනාධිපතිවරයා   ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ආවද මේ කිසිවක් සොයා බැලුවේ නැත. අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන් ගේ සහය යූරා සහ ස්වේතා ට ලැබී තිබුණි. ඔවුන් දොළ පිදේණි බවද හමුදා නායකයා අකමැත්තෙන් සිටි ඇගේ පහස ප්‍රතික්ෂේප කළේ එනිසා බවද තාන්යා ට පැහැදිලි විය.

අනතුරුව සිදුවූයේ තවත් බලාපොරොත්තු නොවූ දෙයකි.  ඔවුන්ගේ මාෆියා පාතාල  නායක යූරා නියෝග කළේ තාන්යා නිදහස් නොකිරීමටය. බොහෝවිට මෙවැනි අපරාධ සඳහා පැහැරගන්නා කතුන් ගෙන් බොහොමයක් තම ඉරණම භාරගෙන එම ජිවිතයට පසුව අනුකූල වන අතර කිහිප දෙනෙක් පමණක් පැනයති. නැත්නම් මුදල් අගහිඟ වූ විට නැවත පැමිණෙති. තාන්යා දිගින් දිගටම අනුගත නොවීම යූරා සැලකුවේ අනතුරක් ලෙසය. මේ නිසා ස්වේතා හා එරික් තාන්යා කෙලින්ම  රැගෙන ගියේ කුස්මින්කි වලටය. එහි පරණ සෝවියට් වෙතරිනාර්නයා බියෝතෙක්නොලොගි හෙවත් පශු වෛද්‍ය හා ජීවවිද්‍යා තාක්ෂණ  විශ්ව විද්‍යාලය පිහිටියේය.  විශ්ව විද්‍යාලයේ එක නේවාසිකාගාරයක පාලනය සම්පුර්ණයෙන්ම පාහේ පැවතියේ මුරාඩ් නම් ජාවෙඩ් හා එරික්ගේ යහළුවකු  වන ඉන්ගුශේටියා නම් කුඩා රුසියන් ස්වයං පාලිත සමුහාණ්ඩුවකින් පැමිණි පරණ ශිෂ්‍යයෙකු අතය. ඔහු කුඩා පාතාල කණ්ඩායමක් පිහිටුවාගෙන සියලු මත්ද්‍රව්‍ය හා වෙළඳම් පාලනය කරමින් හා කප්පම් ගනිමින් සිටි කුඩා ප්‍රමාණයේ මාෆියා කාරයෙකි.

තාන්යා වෙනත් තැනකට මාරු කරන තුරු එරික් හා ස්වේතා කළේ ඇය මුරාඩ්  ට භාරදීමය. තාන්යා  වැටුනේ කබලෙන් ළිපටය. එහි මුරාඩ් ගේ හත් දෙනෙකුගේ කණ්ඩායමේ සුරතලිය වීමට ඇයට සිදු වන බවට ස්වේතා කළින්ම දන්වා සිටියේ අවඥා සහගත සිනාවකින් යුතුය.

"දැන්වත් උඹ හැදෙයි අපට ඕන විධිහට. මුන් එක්ක සෙල්ලම් බැහැ " එරික් කීවේය.

පළමු දිනයේදීම  මුරාඩ් ඒ කීම සනාථ කළේ දඟලමින් විරෝධය පෑ තාන්යා ගේ තොල් පුපුරා ලේ ගලන සේ එල්ල  කල පහර කිහිපයකිනි.
තාන්යා ට මේ සිදුවන දේ අදහාගත නොහැකි විය. මොස්කව්  මෙවැනි තැනක්  යි ඇය කවදාවත් සිතුවේ නැත. මොස්කව් පැමිණි දා පටන්ම වාගේ ගිහාන් සමග ඇය ගත කලේ ප්‍රීතිමත් සාමකාමී ජීවිතයකි. සෝවියට් දේශය බිඳ වැටුණු මුල් අවුරුදු දෙකෙහිද ගිහාන් ගිය පසුද තරමක් කරදර තිබුනද ඒ සාමකාමී බව බිඳුනේ නැත. මාෆියා කණ්ඩායම් හා වෙළඳාම් කරන පාතාලයන් ගැන දැන සිටියද ඔවුන්  සමග ගනුදෙනු කළේ ගිහාන් හා ඔහුගේ මිතුරන් ය. මේ සිටින්නේ වෙනම සංවිධානය වූ පිරිසකි.

 මැද  පෙරදිග රටේදී ලෝලිතා දෙතුන් වරක්ම  සංසාර නම් වචනයක් භාවිතා කරමින් ඔවුන්ට ඇයව හමුවුනේ කිසියම් දීර්ඝ කාලීන  බැඳීමක්  නිසා බවත් එනිසා ගිහාන් සමග නැවත හමුවීම නොවැලැක්විය හැකි බවත් කීවාය. තාන්යා නම් ඒ බලාපොරොත්තුව අත හැර තිබුණි. නමුත්  කිසියම් ආකාරයක ට  තමන් ට උපකාර ලැබෙන්නේ ගිහාන් සමග තිබූ සංසාර ගත බැඳීම නිසා  යයි ලෝලිතා හා විකූ අයා නිතර  කියූ එම "සංසාර" වචනය සමග සම්බන්ධ කමක් යන්තම් හෝ ඇති බවට තාන්යා ට එක් දිනකදී  තදින් සිතුනි.

ඒ  ඇය කුණු බාල්දිය  විසි කිරීමට කුස්සියට ගිය වේලේ දී  ශ්‍රී ලාංකික යයි සිතෙන තරුණ සිසුන් දෙදෙනෙක් හමුවීමය. මාෆියා කණ්ඩායම සිටි කාමර තුනම පිරිසිදු කිරීම, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් හරි තැන්වල දැමීම, ඉවීම,පිඟන් කෝප්ප හා  වොඩ්කා වීදුරු සේදීම  මෙන්ම ඔවුන්ට අවශ්‍ය අවශ්‍ය වෙලාවට කාමරයකට ඇදගෙන කරන බලහත්කාරකම ද  ඇගේ දිනපතා කාර්යයන් අතර විය.  ඔවුන් සිටින කොරිඩෝරයෙන්   පිටට ඇයට යාම තහනම් නිසාත් ඔවුන්ට නොපෙනී වෙන කොහේවත් යා නොහැකි නිසාත් කුස්සිය තුල කිසියම් නිදහසක් තිබුණි.

ඇය සිසුන් දෙදෙනාගෙන් ඇසුවේ ඇගේ විස්තරය කියා සොයුරිය  ලේනා ට දුරකථන ඇමතුමක් දීමට හැකිද යන්නය. ඔවුන් බටහිර රටකට යාමට පැමිණ මුරාඩ් ගේ යහළුවෙකු හරහා එහි නැවතී සිටින බවද ඇය දැන ගත්තාය. ඔවුන්ගේ රුසියානු දැනුම එතරම් හොඳ නැත. මදක් කල්පනා කල තාන්යා කුස්සියේ දොරින් මුරාඩ් ගේ කාමරය දෙස බැලුවාය. මාෆියා කාරයන් කොක් හඬලා සිනාසෙමින් සිටින බව ඇසෙන මුත් අනතුරක  සේයාවක් වත්  නැත.
 ඇය  තමන්ගේ ඩෙනිම් කලිසමේ සඟවාගෙන සිටි ඩොලර් සියයේ නෝට්ටු දෙකෙන් එකක් සිසුවෙකුට දුන්නාය. ඔවුන් ගේ එකකුගේ අත  සිගරට් පෙට්ටියක් විය. ඇය  පුපුරා ගිය දෙතොල  හා පහර කා නිල්වුණු කලවයන් පෙන්වා උදව් අවශ්‍ය බව පැවසුවාය. ඔවුනට එය වැටහිණි.  එකෙක් හිමින් සීරුවේ ඔවුන්ගේ කාමරයට ගොස් පැන්සලක් රැගෙන ආවේය. ඇය ලේනා  ගේ ලිපිනයද දුරකථනය අංකයද ලියා සිගරට් පෙට්ටියේ  ඇතුළු කොළයේ ඇගේ තත්වය සැකෙවින් ලියා හත් දෙනෙකුගේ කණ්ඩායමෙන් බේරාගත යුතු බවද ලීවාය.  පණිවිඩය  දී නැවත පැමිණියහොත්  තවත්  ඩොලර් සියයක්  දෙන බවට ඇය සිසුන් දෙදෙනාට පොරොන්දු වූවාය. ලේනා සිටින්නේ පැයක පමණ දුරකය. සිසුන් දෙදෙනා ඒ මුදලින් ටැක්සියක යාමට පොරොන්දු විය.

පැය තුනකටත් වඩා ගතවිය.  පැය  තුන,  හතර පහ විය.  "මුන් කොල්ලන් දෙදෙනා අල්ලාගෙන මැරුවා වත්ද?" ඈට සිතුණි.  ඇය පිඟන්  කිහිපයක් හිමින් සීරුවේ රැගෙන කුස්සියට යාමට සැරසුනේ ඒවා සෝදන මුවාවෙන් ලාංකික සිසුන් සොයා යාමටය. එකෙණෙහිම අස්ලාන් ඇගේ බොටුවෙන් අල්ලා ගත්තේය.
"මෙහෙ වරෙන් තානිච්කා ස්ලාදච්ක (ප්‍රණීතාවිය)  අද මගේ දවස" වොඩ්කා බොමින් සිටි  අනිත් උන් මහා හඬින් සිනා සුනෝය.

 ඇයව  ඇඳට තල්ලු කල අස්ලාන් ඔහුගේ කළිසම ගලවන්නට විය.
හදිසියේම ගෙලට වැදුණු දැඩි පහරකින් අස්ලාන් කපා හෙළූ ගසක් සේ ඇදවැටුණි.

"අමෝනිට්සි" තාන්යා මිමුණුවේ කාමරයට කඩා වැදුණු  භටයින් දෙදෙනා දෙස විමතියෙන් බලමිනි.

අමොන් යනු "අත්රයාඩ් මිලිට්සී අසෝබව නස්නචේනියා" යන වදන් පෙලින් සැදුනකි. එහි තේරුම "මිලිෂියා වේ  (සෝවියට් කාලයේ  මහජන හමුදාව, පසුව  රුසියාවේ පොලිසිය ලෙස නම වෙනස් විය ) විශේෂ කාර්ය සාධක බල කණ්ඩායම " යනුයි. ඔවුන් සෝවියට් කාලයේදී ත් සංවිධානාත්මක මැරයන් හා තහනම් වෙළඳුන්ට ද දේශපාලන විරුද්ධ වාදීන්ට ද එරෙහිව ක්‍රියාත්මක වූ   විශේෂ පුහුණුව ලත් පොලිස් (මිලිට්සියා) කණ්ඩායමකි. කතා බහින් නොව දරුණු පහර දීමෙන් හා උණ්ඩයෙන් අපරාධකරුවන්ට පිළිතුරු දෙන බවට නම් දැරූ හමුදාවකි.

 අමොන් භටයන් දෙදෙනා පසුපසින් ටයි කෝට් පැළඳ ඇතුළු වූයේ සොයුරිය ලේනා ගේ පෙම්වතා වලෝද්යාය.

තාන්යා ඒ සැණින් ඉදිරියට පැන වලෝද්යා වැළඳ ගෙන හඬන්නට ගත්තාය. ඇය බලා පොරොත්තු වූයේ ලේනා හොරෙන් පැමිණ  ඇය මුදවා ගනු ඇතැයි යන්නය. ඒ වෙනුවට වලොද්යා හමුදාවක් සමගම පැමිණියේය. ලේනා සිටියේ නේවාසිකාගාරයේ පහළය.  අමොන් භටයන් රාශියක් මෙන්ම  රුසියානු රහස් ඔත්තු සේවයේ අයද එහි සිටියහ.
ලේනා  තම සොයුරිය බදා ගත්තේ දෑසේ කඳුළු පුරවාගෙන වුවත් තම  දැඩි බව හා සන්සුන් බවද සංයමයද නොපැකිලව තබා ගත්තේ වැඩි හැඟීමක් පළ නොකරමිණි. අමොන් වරුන්ගේ නාමය රකිමින් එදින අස්ලාන් ඇතුළු මුරාඩ් ගේ   දෙතුන් දෙනෙක් "සංවිධානාත්මක කොල්ලයකට සම්බන්ධවූ නිසා " මැරුම් කා තිබුණි.

වලොද්යාට කේජීබිය වෙනුවට  අලුතින් පිහිටවූ   රුසියානු  රහස් ඔත්තු සේවයේ මොස්කව් ප්‍රාදේශිකයේ ප්‍රධාන නිලධාරී තනතුරක් ලැබී තිබුණි. විදේශිකයන් වඩා ගැවසෙන මොස්කව් වල මෙය වැදගත් තනතුරකි. ඔහු අමොන් කණ්ඩායම සමග තමන්ගේ ඇති සබඳතාව යොදාගෙන රහසේ මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

එයට හේතුව ස්වේතා නොදැනම නැවත එන ලෙස  පවසා නිවසට යාමට  නිදහස් කර තිබු ක්සේන්යා ලේනා හමුවී සියලු විස්තර පවසා තිබීමයි. තාන්යා ක්සේන්යා ට සොයුරිය ගේ විස්තර දී තිබුනේ ඇය සොයුරියගේ නිවසේ නවතින නිසා ක්සේන්යාව නැවත හමුවීමේ බලපොරොත්තුවෙන්ය . තාන්යා මොස්කව් වලදී නැවතත් බලහත්කාරයෙන් ගෙන ගිය බව ක්සේන්යා පවසා තිබුනේ ඔවුන් විශේෂ දොරටුවකින් ආ බවද පවසමිනි. වෙනත් අමාත්‍යංශයක දූෂිත නිලධාරීන්ගේ සබඳකම් සොයා ගැනීමට වලොද්යා ට වැඩි කාලයක් ගත නොවීය. ඔවුන් සිටියේ තාන්යා සොයා මොස්කව් පීරමිනි.




මතු සම්බන්ධයි ~~~~~~~~~~~~~~~~~~~

අමොන්
ස්ලාද්ක  - ප්‍රණීත හෝ පැණි රස
ස්ලාදච්ක - ප්‍රණීත හෝ රසැති තරුණිය
අමොන් - https://en.wikipedia.org/wiki/OMON

6 comments:

  1. 80 දශකයේ පාසල් කොල්ලන්ට කියවා සුරත්සුවයෙන් ස්වයන්වින්දනය කරගන්න ආකාරයට ලියලා තිබුනත් මිලේනියම් දශකයත් පසුකර ස්මාට් ෆෝන් වලින් ආතල් ගන්න එවුන්ට,80 දශකයේ පාසල් උසස් පෙළ කළවුන් තාමත් සිතන්නේ මෙලසනම් උන් තවමත් පාලම් කොක්කු ලෙස ම පෙනීසිටි

    ReplyDelete
    Replies
    1. ඔයා බය නැතිව පේරාදෙණියේ පැත්තේ ඒවා ලියන්න. සුරත්සුවය ලබන්න මේවා ලියන්නේ නැහැ. ඒවාට ඔය ටියෙනෙන් අන්තර්ජාලයේ ඕනෑතරම්. යන්න . අපේ මොකෝ ඕස්ට්‍රේලියාවේ වේලෙනවනම් බොන්ඩි බීච් පැත්තෙන් ගියා නම් හරි

      Delete
  2. අජිත් ධර්ම ඔයා පට්ට ලේකකයෙක් හැබැයි වෙනකවුරුත් නොලියා ඉන්නවානම් තමන්ට ලේකන කලාවෙන් සම්මානයක් ගන්න ඕනෙම නම් සෙල්පි සම්මාන උලෙලෙක් ඕගනස් කරගන්න

    ReplyDelete
    Replies
    1. පට්ට ලේඛකයෙක් කොහොම වෙතත් අසාධාරනෙට ලක්වෙච්ච එකෙක් දෙන්නෙක් ගැන හරි ලියන්න පුලුවන්නම් ඒක තමයි කරන්නේ. සම්මාන නැතිවට ලියනවුන් ඕන තරම් ඉන්නවා අනේ . ඔය කලබල නොවී ඉන්න. මම මේ බැලුවේ එකපාරට මට බුකියේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එනවා හෝ ගාල රුසියාවේ බිස්නස් කරපු ඈයෝ හෙම පිරිලා. අවුරුද 15-20 දන්නේ නැහැ වගේ හිටි කට්ටිය ඔයා දන්නවනම් කියන්න බය වෙන්න එපා කියල. මම ඔය අහකයන පුඟුලන්ගේ නම් ලියන්නේ නැහැ ප්‍රබන්ධ වල. ඔය සිල් රෙදි පෙරවාගෙන හිටියාවේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .