Thursday, 28 February 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (50) - ස්වේතා 2

අමරාවතිය 
උතුරු ලන්ඩනයේ සිට හැතැප්ම විසි පහක් විසි හයක් පමණ ඈතින් මහා ගඩස්ඩන් නම් සුන්දර ගමක් තිබේ.  මේ ගමට යාමට නම් ලන්ඩනය වටා කවාකාරව යන  එම් විසි පහ නමැති අධි වේගී මාර්ගයෙන් ගොස් බ්‍රිතාන්‍යයේ උතුරට යන "එම් එක" අධිවේගී  මාර්ගයට පිවිස හෙමෙල් හැම්ප්ස්ටෙඩ් නමැති පළාතට පිවිසිය යුතුය. මේ පළාතේ නාගරික පෙදෙස හැර ගම්බද පෙදෙස් සුන්දරය.

ගඩස්ඩන්  ගමට පිවිස එය මදක් පසු කර දකුණට හැරෙන විට ශාන්ත මාගරට් නැමති පෙදෙසක් හමුවේ. එහි එක පැත්තක චිල්ටන් කඳු පෙදෙස පිහි ඇති පැත්තේ  අමරාවතී බෞද්ධ භාවනා මධ්‍යස්ථානය පිහිටියේය. අක්කර ගණනාවක පැතිර ඇති මේ භාවනා මධ්‍යස්ථානය, තායි ථෙරවාද බුදු දහමේ තායි වනගත සම්ප්‍රදාය සහ ඉගැන්වීම් සඳහා ප්‍රසිද්ධ අපවත් වී වදාල  අජාන් චා(ෂා) ගේ ආරාධනයෙන් අජාන් සුමේදෝ විසින් එංගලන්තයේ පදිංචි ව ගොඩ නැන්වූහ.

මෙහි නොයෙකුත් රටවලින් පැමිණි සංඝයා වහන්සේලා සිටින මුත් ප්‍රධාන වශයෙන් තායි, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකන් භික්ෂූන් ගේ භාවනා මධ්‍යස්ථානයකි. ඕනෑම අමුත්තෙකුට මෙහි පැමිණ නැවතී  "සතිය" දියුණු කිරීම, බෞද්ධ දර්ශනය ඉගෙනීම හෝ අවශ්‍ය නම් දස සිල් වී කාලයක් වාසය කිරීමද කළ හැකිය.

අමරාවතී බෞද්ද්ධ මධ්‍යස්ථානයට දානය  රැගෙන පුජා කිරීමට ඕනෑම අයෙකුට හැකිය. ඒ සඳහා කලින් දැනුම් දීමක් අවශ්‍ය නැත.  ඒවා දහවල් එකොළහට පමණ සඟ සතු කෙරේ. ඉන්පසු පෝලිමේ පැමිණෙන භික්ෂූන්, භික්ෂුණින්, මෙහෙණින් වහන්සේලා, දස සිල් ගත්තන් අහර බෙදාගෙන සන්සුන්ව පසෙකින් වාඩිවී දන් වළඳති. ඉන්පසු එහි ස්ව කැමැත්තෙන් නතර වී ධර්මය හදාරන එසේම එතැන නොයෙකුත් කාර්යයන් ඉටු කරන අයද  දන් බෙදා ගනිති. ඉන්පසු වැඳුම් පිදුම් කරන්නට පැමිණි අයටද දානය ගත හැකිය.

ප්‍රියාන් මේ ස්ථානයට කැමැත්තක් දැක්වූයේ ආගමික නැඹුරුවකටත්  වඩා එහි ඇති නිස්කලංක බව නිසාය. කොහොමත් දානය පිළිගන්වන අවස්ථාවේ හා ඉන් පසුව වත් ශ්‍රී ලංකාවේ පන්සල් වල මෙන් බණ කීමක් හෝ පිරිත් කීමක් මෙහි නැත. අවශ්‍ය නම් තමන් දානය ගෙන පැමිණියේ කා වෙනුවෙන්  දැයි ලියා පොඩි  තුන්ඩු කැබැල්ලක් ප්‍රධාන සංඝයා වහන්සේට දිය හැකිය. ඔහු දානය තමන්ම බෙදා ගත්  පසු ඒ නම් කියවා  අද දින දානය මේ අය සිහි කිරීමට  යයි කියා පවසති. එපමණකි.

 විශාල බුදු පිලිමාවක් පමණක් ඇති බෞද්ධ මන්දිරයක් මෙහි තිබේ. එහි බොහෝ අය නිහඬව හිඳගෙන භාවනා කරති. ඒ ස්ථානය පසු කර යන විට අක්කර කිහිපයක භුමි භාගයක් ඇත. එය වටා  දකුණු පසට වෙන්නට භාවනා කුටි පිහිටා තිබේ. එහි තණ පිටිය මැද  කුඩා චෛත්‍යයකි. දහවල් දානයෙන් පසු බොහෝ විට භික්ෂූන් ඇතුළු  කිහිප දෙනෙක් මෙහි සක්මන් කරනු දැකිය හැකිය.

ප්‍රියාන් ගේ කාර්යාලයේ වැඩ කරන ඉංග්‍රීසි ජාතික ඩේවිඩ් වාසය කලේ හෙමෙල් හම්ස්ප්ටෙඩ් නගරයේය. ඩේවිඩ් බොහෝ විවෘත අදහස් දැරූ වෙකි.  ඔහුට අමරාවතිය දැක ගැනීමට අවශ්‍ය වූ නිසා ප්‍රියන් ඔහුත් සමග එහි ගියේය. එහි සඟුන් කජු වලින් උයන ව්‍යංජනයට ඉතා කැමැත්තක් දක්වන හෙයින් තමන් දන්නා ලෙසට කජු ව්‍යංජනයක් ද උයා ගත්තේය.

ඩේවිඩ් ගේ නිවසේ හමුවී කයිය ගැහීම නිසා  මදක් පමාවී පැමිණි ඔවුන් දෙදෙනා  කජු එක මුළුතැන් ගෙයට භාර දී ඉක්මනින්ම ගොස් හිඳ  ගත්තේ ශාලාවේ පසු පසය. ඔවුන් දෙදෙනා ඉදිරියෙන් පැදුරේ හිඳගෙන සිටියේ තරුණ කතුන් දෙදෙනෙක්  හා පිරිමියෙකි. හාමුදුරුවරුන් හා දස සිල් ඇත්තන් දානය  බෙදා ගෙන අවසන්ය. ඔවුන් ඉදිරියෙන් සිටි තිදෙනා කතා කරන්නේ   රුසියානු භාෂාවෙන් බව ප්‍රියාන් ට වැටහුණි. රුවැති යුවතියන් දෙදෙනා දෙස බැලූ ඩේවිඩ් ප්‍රියාන් ට ඔවුන් පෙන්වා ඇහැක් ගැසුවේ රෂියන් යනුවෙන් නෑසෙන්නට මතුරමිනි. ප්‍රියාන් ට රුසියානු බස කථා කිරීමට හැකි බව ඔහු දනී.

ඉදිරියේම සිටි තරුණිය ගේ රන්වන් පැහැ  කොණ්ඩය කොටට කපා තිබුණි. ඇය හැඳ සිටියේ සුදු බ්ලවුසයක් හා ඩෙනිම් කලිසමකි. ඇගේ උරයට උඩින් වැටුණු   ස්කාෆ් එකකින් ගෙල හා දෙඋර වැසී තිබුණි. අනිත්  තරුණිය ගවුමක් හැඳ එයට උඩින් වසන්තයට ගැලපෙන ඩෙනිම් කබායක්ද හැඳ සිටියාය. ඇයට තිබුනේ කළු පැහැයට හුරු කොණ්ඩයකි.  තරුණයා දුහුල් කමිසයකට උඩින් කබායක් හැඳ සිටියේය.  රන්වන් කෙස් සහිත තරුණිය හැරී අනිත් තරුණියට යමක් කියද්දී ඇය ගේ මුහුණ පැත්තෙන්  දුටු ප්‍රියාන් ගේ මුව ගොළු විය. ඇය ට ඇත්තේ ඉතා හුරු පුරුදු මුහුණකි. මේ ඇයද? මියගොස් යයි දන්වා තිබූ "ඇයට" නිවුන් සහෝදරියක් ද නැත.

තරුණියන් දෙදෙනා කිසියම් කරුණක් ගැන වාද කරති. එකියකට ජාතික කලාගාරය (National Gallery)  ට යාමට වුවමනාය. අනිකාට පෙම්වතා සමග ඉතිහාස  කෞතුකාගාරයට (National History Museum) ගොස් ඉන්පසු තවත් කොහෙද යාමට උවමනාය.
"සමා  වෙන්න ඔබල රුසියානු භාෂාව කතා කරනවා ඇහුනා. මම මොස්කව් හිටියේ. මගේ නම ප්‍රියාන්. රුසියානු භාෂාව කතා කරනවා ඇහුණාම සතුටක් දැනුන. අනික කැමතිනම් මට කලාගාරයට එක්ක යන්නත්  පුළුවන්. " ඔහු තමන්ව තරුණියන් දෙදෙනාට  රුසියානු භාෂාවෙන් කතා කරමින් හඳුන්වා දුන්නේය.

"ආ එහෙමද "කළු කොණ්ඩය සහිත තරුණිය සිනාවක් පෑවාය.

"මම ඔබ දැකල පුරුදු කෙනෙක් වගේ , ඔබේ නම තාන්යා ද?" ඔහු රන්වන් හිසකේ සහිත තරුණියගෙන් ඇසීය.

"නැහැ මම ස්වේතා. " කියූ ඇය ඉදිරිය  බැලුවාය. ඇය මුහුණ නොපෙන්වා සිටීමට ආයාස දරණ බව ප්‍රියාන් ට සිතුනි.

" අපි කෑම ගන්න  යනවද" ප්‍රියාන්  ව වැඩි ගණනකට  නොගෙනම ඇය අනිත් තරුණියගෙන් ඇසුවාය.

"යමු " එය ඇසූ තරුණයා නැගිට්ටේය.

හාමුදුරුවරුන් හා දස සිල් ඇත්තන් ද එහි වැඩ කරන උදවියද ආහාර බෙදා ගත් පසු දානය  ගෙනා නොගෙනා  සියල්ලෝම නැගිට කෑම බෙදා ගන්නට  පෝලිමක් සෑදී   සංවරව යති. කෙල්ලන් දෙදෙනාට මදක් පසුපසින් ප්‍රියාන් හා ඩේවිඩ් ද පෝලිමට එකතු විය.

"හේ, උන් කතා කරන්න  කැමති නැහැ   " ඩේවිඩ් මද සිනාවක් පා ඔලොක්කුවට මෙන් කීවේය.
"ඒ කෙල්ල මම දන්නා කෙනෙක් වගේ. පුදුමයි සමාන කම " ප්‍රියාන්  කීවේය.

"එහෙම මිනිස්සු ඕන තරම් ඉන්නව එක වගේ. මට මම වගේම  උන් හම්බ වෙලා තිබෙනවා" ඩේවිඩ් වැඩි ගණනකට නොගෙන පැවසීය,

යුවතියන් දෙදෙනා කෑම රැගෙන වාඩි වූයේ කලින් සිටි තැනින් නොව දිග ජනේලය අයිනෙනි.
ප්‍රියාන්  හා ඩේවිඩ් ඔවුන් සිටි තැනටම ගොස් කෑම ගත්හ.

කෑම අහවර වූ වහාම ඩේවිඩ් සමුගෙන පිට වූයේ ඒ අසලම ඇති රෙඩ් ලයන් පබ් එකේදී ඔහුගේ පෙම්වතිය හමුවීමට යොදාගෙන තිබූ හෙයිනි. කෑම ශාලාවේදී හමුවූ තවත් ශ්‍රී ලාංකික මිතුරන් කිහිප දෙනෙකු සමග සුළු වේලාවක් අල්ලාප  සල්ලාපයේ යෙදී සිටි ප්‍රියාන්  බුදු ගෙය අසලින් ඇවිද  තණ කොළ පිටියට ගියේ එහි රවුමක් දෙකක් ගොස් නැවත නවාතැනට යාමටය. ඉතා නිස්කලංක ඒ පිටිය වටේ සක්මන් කිරීමට  ඔහු කවදත් ප්‍රිය කළේය.

  තවත් කිහිප දෙනෙකුද ඈතින් යනු ඔහුට පෙනේ.  වමට හැරී මද දුරක් යන ඔහුට කිසිවකු පසුපසින් එනු දැනුනි.

ප්‍රියාන් හැරී බැලුවේය.

රන්වන් කොණ්ඩය කොටට කපා  සිටි රුසියානු භාෂාවෙන් කතා කළ යුවතිය ද වමට හැරී ඔහු යන පැත්තටම පැමිණෙන බව ඔහු දිටීය.  ඔහු අසල ඇති රුකක් නිරීක්ෂණය කරන ලෙසක් පෙන්වමින් මදක් නැවතී සිටියේ ඇය පසුවන තුරුය.

ඔහු ළඟට එන ඇය ගේ වම් කකුලේ කිසියම් ඇදයක් ඇති ලෙස ඇය කකුල මදක්  අද්දා ගෙන පිය නගන බව ඔහුට නිරීක්ෂණය විය..  ඔහුට අඩි කිහිපයක් දුරින් නැවතුනු තරුණිය සුන්දර සිනාවක් පෑවාය.

"ප්‍රියන්චික් , මම තාන්යා. "
රුසියානුවන් වඩා හැඳුනුම්කම් පාන්නට, පිරිමින්ගේ නමට චික් යන පදයක් එක්කරයි. ගැහැනුන්ට ච්කා යනුවෙන් එකතුවේ.

ඇය මොහොතකට කලින් ශාලාවේදී දුටුවත් ඒ තාන්යාවත්ද  කියා සිතුවත් මේ අවස්ථාවේ ප්‍රියාන් ගේ ගත සීතල වී ඇඟ කිළි පොලා යනු ඔහුට දැනුනි.

"මට සමාවෙන්න ස්වේතා කීවට. මගේ යාළුවෝ දෙන්න මාව දන්නේ ස්වේතා විධිහට "

එසේ කියමින් ඉක්මනින්ම  ඉදිරියට පැමිණි තාන්යා ප්‍රියාන්ව හෘදයංගම ලෙස  බදා වැළඳ ගත්තාය. රුසියානු කාන්තාවන් මුණ ගැසුණු විට  ආචාර කරන ආකාරයටම  කම්මුල් දෙපැත්තට හාදු  දෙකක් ද  දුන්නාය. වහාම ඇයටත් එලසම ආචාර කලද ප්‍රියාන්  තවමත් සිටියේ කිසිවක් කියා ගත නොහැකිවය.

"තාන්යා මේ ඔයානම් මගේ සතුට කියල නිම කරන්න බැහැ. ඔයා ට හදිසි අනතුරක් වෙලා හොයා ගත්තේ ගමන් බලපත්‍රයෙන් කියල තමයි මම අඳුරන රුසියානුවෙක් කීවේ " අවසානයේදී ධෛර්යය ගත් ඔහු පැවසීය.

"ප්‍රියාන් මටත් ගොඩක් සතුටුයි නුඹ  දැක ගැනීම ගැන.ඔව්, මමත් එතැන හිටියා ලේනා ඒක කියන කොට "
රුසියානු භාෂාවෙන් "වී" යනු "ඔබ" ලෙස පරිවර්තනය කල හැකිය. "තී" යනු නුඹ ලෙස කියවේ. වී යන පදය මදක් දුර කෙනෙකුට කියනා දෙයකි. පවුලේ හෝ ළඟ යහලුවෙකුට තී පදය භාවිතා වේ.   තාන්යා කෙලින්ම වී යන පදය නොව තී පදයෙන්ම  ප්‍රියාන් ව ඇමතුවාය.

"එතකොට ලියොනිඩ් මට කිව්වේ  ලේනා කිව්වා කියල ඔයා ජිවතුන් අතර  නැහැ කියලනේ. ලියොනිඩ් කිව්වේ නැහැ ඔයා දැක්ක බවක් වත් "

"ඔව් එතකොටත් මම ස්වේතා වෙලා හිටියේ. ඔයා ලියොනිඩ් ට මගේ පින්තුරයක් පෙන්නුවේ වත් දුන්නෙවත් නැහැනේ. "

"නැහැ නම් තමයි. මම එච්චර දුරට හිතුවේ නැහැ. ලේනා ගේ දුරකථන අංකයයි, ඉන්න තැනයි, ඔයා ගේ නේවාසිකාගාරය  ගැනයි  විතරයි කිව්වේ. එයා ලේනව හොයාගෙන තිබුණනේ  "

"හරි ඉතින් කොහොමද එයා දැන ගන්නේ මම තාන්යා කියල." පිළිතුරු දුන් තාන්යා
"ගිහාන් හොඳින් ඉන්නවද ප්‍රියාන්" එකවරම ඇසුවාය.

තාන්යා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද? ප්‍රියාන්ට සිතුණි. පන්සල් භූමිය තුල මුසාවාදයක් දෙසීම නොහොබිනා දෙයක් යයි කුඩා කාලයේ සිටම උගන්වා තිබේ.

"ගිහාන් හොඳින් ඉන්නව තාන්යා"
"එයා බැන්දද, අර පුංචි හිතවත්කමක් තිබ්බ කිව්ව ගෙවල් පැත්තේ ගැහැණු ළමය ද දන්නේ නැහැ බැන්දේ. මට නම මතක නැහැ, ශාෂා වගේ නමක්, ළමයි ඉන්නවද ?" තාන්යා ප්‍රශ්න වැලක් ඇසුවාය.

එක බොරුවක් වහන්නට බොරු දහයක් කියන්න වෙනවාය යන පිරුළ ප්‍රියාන් ට පසක් වුනේ ඒ වේලාවේය.  සිනහ මුසු මුහුණින් සිටි තාන්යා ගේ මුහුණේ සිනහව මැකී ගොස් මන්දස්මිතයක් සහිත ශෝකී භාවයක් අරක් ගෙන තිබෙනු ප්‍රියාන් ට පෙනුණි.

"ශාෂා කියන්නේ රුසියන් නමක්නේ. ඔයා අහන්නේ විශාඛා ගැන වෙන්නැති. ඔව්, එයා බැඳලා පුතෙකුත්  ඉන්නවා " ප්‍රියාන් දෙපැත්තට නැති පිළිතුරක් දුන්නේය.

"විශාඛා බැඳලා ඉන්නේ. එයාට පුතෙකුත් ඉන්නව. බොරු නෙමේනේ. කාවද බැන්දේ කියල මම කිව්වේ නැහැනේ. " ඔහු තමන්ගේ බොරුව තමාටම සාධාරණීකරණය කර ගත්තේය.

"ඉතින් ඔයා ස්වේතා කියල නම වෙනස් කළාද " ඔහු කතාව වෙනතකට හැරවීය.

"ප්‍රියාන් ඔයාට ලියොනිඩ් කිව්වා නේද මට මැද පෙරදිග රටකට අරන් ගිහිල්ල කරදරයක් වුණා කියල. එහෙන්  ආවට පස්සෙත් මාව විශ්ව විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාරයක හිර කරගෙන හිටිය. ඒවා ඔක්කොම වුනේ මම ස්වේත හම්බ වෙන්න ගිය නිසා සල්ලි හොයා ගන්න ලංකාවට එන්න. "

"නම් ගැන ලේනා  ලියොනිඩ්ට කියල තිබ්බේ නැහැ. ඔය වගේ දෙයක් වුනා කියල විතරයි අපි දන්නේ" ප්‍රියාන් හූමිටි තැබුවේය.

"ඔයා අපි කියා  කීවේ ගිහාන් ටත් එක්ක කියල මම දන්නවා. මට ආයේ ගිහාන් ගාවට යන්න ඕන කමක් තිබ්බේ නැහැ. මම හිටියේ මැරිලා වගේ. කිසි දෙයකට ආසාවක් තිබ්බේ නැහැ. ඔයා මොනවා හිතාවිද දන්නේ නැහැ මේක කිව්වම. ඒ මැරුණේ මාව ඒ රටට අරන් ගිය ස්වේතා. මගේ ගමන්බලපත්‍රය එතැන තිබ්බේ වලොද්යා. ලේනාගේ සැමියා "

"එතකොට ඔයා කියන්නේ..." ප්‍රියාන් වාක්‍යය අවසන් කරන්නට මත්තෙන් තාන්යා කථා කළාය.
"ලේනා තමයි ඒක සැලසුම් කලේ. මම හැම දේම එපා වෙලා ඔහේ හිටියේ. ලේනාට ඒක  ඉවසන්න බැරි වුනා. මම මාස තුනක් විතර රෝහලක හිටියා තුවාල වලට බෙහෙත්  කරන්න. මට ළමයි හම්බ වෙන එකත් හරියටම කියන්න බැහැ  කිව්වා. වෛද්‍යවරුන් ගෙන්  අහපු දරුණුම කතාව  තමයි මම වැඩි විරෝධයක් නොදක්ව හිටියානම් මෙපමණ තුවාල සිදු වන්නේ නැහැ කියන එක. ලේනා හරි දරුණු වෙලා හිටියේ ඒ දිනවල.  මටත් බනින එක නතර කලේ නැහැ.  මට ස්වේතගේ ගමන් බලපත්‍රයයි මොස්කව් වල තට්ටු නිවාසයේ යතුරයි ඒකෙ තිබ්බ සල්ලියි ඔක්කොම ලැබුන. "

"එතකොට ස්වේතගේ නෑදෑයෝ යාළුවෝ හිටියේ නැත්ද?"

"එයාට දික්කසාද වෙච්ච  අම්ම විතරයි හිටියේ. ඒ අම්මට වලොද්යා  සල්ලි වගයක් දීල තිබ්බ ස්වෙතාගෙන් කියල. ලොකු ප්‍රමාණයක්. තව ස්වේතට අයිති පද් මොස්කව් (මොස්කව්  නගරයෙන් පිට එය ආසන්නයේ ) ග්‍රීෂ්ම නිවාසයක අයිතියත් දීලා තිබ්බ. ස්වේතා වෙන රටක පදිංචියට ගියා කියල. ඒ ගෑණි මොනවත් හෙව්වේ නැහැ. අම්මයි දුවයි අතරේ  තද සම්බන්ධයක් තිබිලත්   නැහැ. ස්වෙතට හිටියේ  ඔක්කොම මාෆියා යහළුවෝ. ස්වේතා අතුරුදන් වුන ගමන් උන් පැත්ත පළාතේ ආවේ නැහැ. "
රුසියානුවන් මාෆියා නමින් හඳුන්වුයේ ඒ රටේ පාතාලයටය.

"ඒත් ඉතින් තාන්යා ඔයා කියන්නේ ..." එය ඇසීමට අපහසු ප්‍රශ්නයකි.
"ඔතන වුනේ කෙනක් ගේ ජිවිතයක් ගත්ත එකනේ. එහෙම කරලා ඉතින් රුසියාවේ වුනත් නීතියක් තියනවනේ. කොහොමද .." ඔහු ප්‍රශ්නය ඇසුවේ පරිස්සමිනි.

"ඔයා රුසියාවේ තත්වය තේරුම් අරන් නැහැ මෙහේ හිටි නිසා ප්‍රියාන්.  පහුගිය කාලේ  රහස් ඔත්තු සේවයේ අධිපති වුනේ කගබ එකේ හිටි කෙනෙක්. එයා සැන්ක්ට් පිතර්බුර්ග් ඉඳල ආවේ. එයා ළඟදීම අගමැතිත් වෙනවලු. එයා මාෆියා එක පාලනය කලේ එයත් එක්ක හිටපු කගබ එකේ පරණ උදවියට නිදහස දීල. වලොද්යා ඒකෙන් ප්‍රයෝජන ගත්ත. "

"ඒ කියන්නේ දැන් හොඳ වෙන්නැති.  කිසිම මාෆියා එකක් නැතිව ඇති දැන්. මොකක්ද  එයාගේ නම රහසක් නෙමයි නම්  "

"එහෙමත් නැහැ ප්‍රියාන් එයාට කැමති හරි එයා කියන දේ අහල ඉන්න අයට හරි මුකුත් කරන්නේ නැහැ. එයාගේ නමත් ව්ලැඩිමීර්"  ඇය කීවේ ලේනා ගේ සැමියා ද වලෝද්යා හෙවත් ව්ලදිමීර් බැවිනි.

තාන්යා පැවසුවේ අනතෝලි සබ්චාක් නමැති දේශපාලන නායකයා තම ගුරා කරගත් පැරණි ලෙනින්ග්‍රාද් නගරයේ සිටි කේජිබී නිලධරයෙකු ගැනය. ඔවුන් එම සෝවියට්  ඔත්තු සේවාව හඳුන්වන්නේ කගබ යනුවෙනි. කොමිතියේත් ගසුදාර්ස්ත්වෙන්නොයි බෙසපාස්නස්ති හෙවත් රාජ්‍ය ආරක්ෂාව සඳහා වන කමිටුව යනු එයයි. රුසියානු ජනාධිපති යෙල්ට්සින් ඔහු මොස්කව් වලට කැඳවා එහි නිවාස  සහ දේපල සඳහා  වන නිසි බලධරයා කළේය. මාෆියා වැඩ ගැන ඔහු අවබෝධයක් ලබා ගත්තේ එයිනි.  සිඝ්‍රයෙන් ඉහල නැගී ඔහු රුසියානු රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂක බවට පත්වුණි. පසුව අගමැති වී ජනාධිපති පදවිය දක්වා ගියේද මේ නිලධාරියාය.

"ස්වේතා විතරක් නෙමේ මට හිරිහැර කරපු පිරිමි තුන්දෙනෙකුටත්   වලොද්යා දඬුවම් කළා මාෆියාව පාලනය කරන්න අවශ්‍ය නිසා ඒක හේතුවක් කරගෙන. "

"ඒ විස්තරේ ඔයාගෙන් අහගන්න ඕනේ. ඒක නෙමේ,ඔයා මේ බෞද්ධ පන්සලට ආවේ කොහොමද ?"

"ඒක ටිකක් දිග කතාවක්. මට හැම  දෙයක්ම එපා වුනා. ඒකයි. මම  ඔයා එක්ක කතා කරන්න  කැමතියි.  නමුත් අන්න නාද්‍යා එනව රොබට් එක්ක. නාද්‍යා මොනවා කියාවිද දන්නේ නැහැ."

"රොබට් රුසියන් නෙමේද?"

"නැහැ එයා මෙහෙ එක්කෙනෙක්. මොස්කව් වල බ්‍රිතාන්‍ය ෆිනෑන්ස්  මැනේජ්මන්ට්  ශාඛාවක වැඩ කරන්නේ. එයා තමයි මේ තැන ගැන කිව්වෙත්. මම ඔයාගේ ආරාධනේ භාර ගන්නම් " තාන්යා ඉංග්‍රීසි වචන අපුරුවට උච්චාරණය කරයි. ඇය භාෂාව ඉගෙන ඇති බව පැහැදිලිය.

"ඒ මොකක්ද මොන ආරාධනයද "

"ප්‍රියාන් " තාන්යා තරහ ගිය බවක් පෙන්වූයේ  විහිළුවටය.

"ඇයි ඔයා කිව්වේ කලාගාරය බලන්න එක්කන් යන්නම් කියල අතනදී. මම එයාලට කියන්නම් ඔයා එක්ක ඒකට යනවා කියල. මගේ විශ්ව  විද්‍යාලයේ එකට හිටි යාළුවෙක් කියල කියමු. මතක ඇතිව ස්වේතා කියල කතා කරන්න"

නාද්‍යා සමග විවාහ ගිවිස ගෙන සිටින රොබට් පෙරදිග දර්ශනයන් ගැන හොඳ   අවබෝධයක් ඇත්තෙකු බව ප්‍රියාන් ට වැටහුණි. ඔවුන් වැඩිදුර ප්‍රශ්න නැගුවේ නැත.
තාන්යා සමග කාරයට නැගුණු ගිහාන් රිය පැදවූයේ ඔහුගේ නිවස පිහිටි දකුණු ලන්ඩනයටය. එහි උමන් දුම්රිය පල අසල කාරය නවතා  උමන් දුම්රියෙන් ලන්ඩන් නගරය මධ්‍යයට යාම ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

ලේටන් බසාර්ඩ් මාවතට වාහනය දමා ගනිද්දීද තාන්යා දිගටම තම මැද  පෙරදිග අත්දැකීම විස්තර කරමින් සිටියාය. වාහනයේ හිඳගෙන ඉදිරි පසට මුහුණ ඇති නිසා තමන්ගේ මුහුණ නොබලා එසේ කතා කරන්නට ඇයට පහසු යැයි ප්‍රියාන් ට සිතුනි.

ඔවුන් ගියේ හෙමෙල් නගරය දෙසටය. විනාඩි දහයකින් පමණ ඔවුන් ගේ වම්පසින් කුඩා දොළක් වූ ගේඩ් පසු කරනවිට ගේඩ්බ්‍රිජ් නමින් උද්‍යානයක් තිබේ.

"ලස්සන උද්‍යානයක්" තාන්යා අතීත විස්තරය මදකට නැවැත්වූවාය.

"අපි එතනට යන්" ප්‍රියාන් පළමුවෙන්ම ඇති  වාහන නවත්වන ස්ථානයට හරවා වාහනය  කෙළවරේම නැවැත්වීය.


~~~~~~~~~~~~~~මතු සම්බන්ධයි

13 comments:

  1. Nice plot twist comrade, yet I'm still heartbroken over Gihan's death.

    Is this based on a true story? Details about Russian cultural and political references seems almost real. Knowing you won't answer, I'm asking , anyway.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Thanks for your comment. I am quite happy that I can speak this beautiful language called Sinhala as well as write in a somewhat mediocre way. Let's just say that I wouldn't dare to write this in English or any other language known to me anytime soon. But, you know, never say never. :)

      Delete
  2. මම කීවෙ මම කීවෙ.

    ReplyDelete
  3. නියමයි අජිත් අයියා,පරිසර,සමාජ විස්තර එක්ක යන මේ කතාවට මම ගොඩක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුල ඉඳන්ම කියෙව්වනේ

      Delete
  4. ඔය විදියටම ගිහාන් වත් ගෙනල්ල හැපී එන්ඩින් එකක් දෙමු.

    ReplyDelete
    Replies
    1. මගේ ළඟ හැපී එන්ඩින් නැහැනේ . කතාව ලියල ඉවර වෙලා හුඟක් කල් පැතුම් (සැකිල්ල). හුඟක් ලොකු වෙනසක් කරන්න අදහසක් නැහැ. මේ යන විධිහට ඉවර කරමු නේ. තව පරිච්චේද තුනයි තියෙන්නේ.

      Delete
  5. ගිහාන් නං මළත් මොකෝ තාන්‍යා මලා කිව්වහම මගෙ පපු කැනැත්ත හෝස් ගෑවා ආයිබොවන්.....අපේ මායියත් අකමැති වෙන එකක් නෑ තාන්‍යාට නංගි කියන්ඩ. මොකද කියන්නෙ මං බලාගන්ඩද උන්දැව?

    ReplyDelete
    Replies
    1. එහෙම නංගිලා ගොඩක් ඉන්නවා ලොකු මල්ලි. පිහිටක් වෙනවනම් ලොකු දෙයක්. මමත් ඔය මොනගමී විශ්වාස කරන එකෙක් නෙමේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .