Wednesday, 6 March 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (51) - හෙමෙල් හි උද්‍යානයේ අසීරු සැඳෑව

රථයෙන් බට ඔවුන් දෙදෙනා උද්‍යානයේ පහළට ගමන් කළහ. උද්‍යානය මැදින් ඇති පාර දිගේ කිලෝමීටරයක් පමණ ගමන් කර වමට හැරුනොත් පරණ හෙමෙල් නගරය හා එහි පැරැණි  ගොඩනැගිලි තිබේ. ඒ පැත්තෙන් තුරු සහිත  මාවත දිගේ ඇවිද නැවත මෙතනට ආ හැකිය. වම් අත පැත්තේ කුඩා දරුවන් කෑ  ගසන හඬ ඇසේ. දෙමාපියන් කුඩා ළමුන් සමග පැමිණ උද්‍යානයේ ළමුන්ට ක්‍රීඩා කිරීමට සාදා ඇති කොටසේ විනෝද වෙති. තාන්යා ඒ දෙස හෙළුවේ දුක්මුසු බැල්මකි.

"මෙතැන ඉඳගමු." දකුණු පසට හැරී මද දුරක් ඇවිද ගිය පසු ගසක් අසල තිබූ බැංකුවක් දැක තාන්යා පැවසුවාය.

ඔවුන් දෙදෙනා මදක් නිහඬව අවට සිරි නරඹමින් සිටියහ. ප්‍රියාන් කට හඬ අවදි කළේය.

"ඔයා කියපු ටික හිතා ගන්න බැහැ . පුදුම වදයක් විඳලා තියෙන්නේ. තුවාල වෙච්ච කකුලේ වේදනාවත් එක්ක. බෙහෙත් වත් නැතිව."

"වේදනා නාශක පෙති තිබ්බ. විකූ අයා එයාල හොරෙන් හදන මත්පැන් වගයකුත් දුන්න. ඒක හොරෙන් කළේ . අහුවුනොත් ඉවරයිලු. "

"ඉතින් බීල ඉන්න කොට අහු වෙන්නේ නැත්ද" ප්‍රියාන් ඇසීය.

"මම හිතන්නේ, ඒ පිරිමි  හිතුව අපට කලින් අය බොන්න දෙන්න ඇති කියලා. ක්සේන්යා ටත් බොන්න දීල තිබුන. උන්ට මත්පැන් තියනවා. කොහෙන් හරි.  "

"පුදුම රටක්. ලොකු කඩතුරාවකින් වහගෙන වෙන දේවල් " ප්‍රියන් පැවසීය.

"ඔය විකූ අයා කියන්නේ වැඩිමහල් සහෝදරයා කියන අදහස එන විකී අය්ය හරි විකුම් අයිය හරි වෙන්න ඕනේ" ඔහු නැවතත් කීවේය.

"නැහැ වෙන්න බැහැ ලෝලා කීවේ එහෙම .අයා කියල. "

"ලෝල කිව්වේ ලලිතටද? එහෙම කියනවා. අයියා වැඩිමහල් සහෝදරයා.  විකූ කියන්න ඇති ලලිත නංගි කියල, නංගි බාල සහෝදරිය. "

"වෙන්න බැහැ . ඒ දෙන්න අතරේ සම්බන්ධයක් තියනව කියල මට තේරුනා"

"තාන්යා ඒක වචනේ තේරුමටම ගන්න එපා. ලංකාවේ එහෙමයි . කසාද බැඳලත් අයිය නංගි , ඒ කියන්නේ සහෝදරයා සහෝදරී  කියන අය ඉන්නවා. "

"ඒක හරි පුදුමයි නේ. ඒ දෙන්න හරි හොඳට මට සැළකුව. අපි දෙන්නටම. ඒ ගොල්ලන්ට හමුදා නායකයා කීවලු ලන්ඩන් එන්න පුළුවන් කියල." තාන්යා වඩාත් ප්‍රියාන් දෙසට මුහුණ ලා හැරුණාය.


"ඔව්, එහෙම මැද පෙරදිගින් ඇවිත් මෙහෙ නතර වුනු අය හුඟක් ඉන්නවා. එරික් ට, ජාවෙඩ් ට හෙම මොකද වුනේ. එතකොට මීෂා, ඕව කරපු යූරා " ප්‍රියාන් ඇසුවේ තාන්යා සන්සුන්ව සිටින බව පසක් කර ගැනීමෙන් අනතුරුවය .

"එරික් මැරුණා ස්වේතා එක්කම " ඇය වහා කියා නිශ්ශබ්ද වූවාය.

"ඒ කොහොමද? ඔයා කීවේ ස්වේතා දුම්රියට අහුවෙන්න දැම්ම  කියලනේ"  ප්‍රියාන්ට ඉබේම වාගේ ඇසුනේ කුතුහලය ඉස්මතුවුනු හෙයිනි.

"ඔයාට මතකද ගේනා. අර ගිහාන් ගේ ටැක්සි රියදුරා" ඇය පෙරළා ඇසුවාය.
"ඔව් මට මතකයි. ගිහාන් මටත් අඳුන්වල දුන්නේ. හදිසියේ එහෙ මෙහෙ  යන්න. සමහර බඩුත් අපෙන් ගත්ත. ඩොලර් මාරු කළා." ප්‍රියාන් සිහි කළේය.

"ගේනා කගබ එකේ"

"මොනවා, මට කීයට වත් හිතුනේ නැහැ"

"ගේනා අර ජගා ඕල්යා හමුවෙන්න ගිහින් හිටිය  පැත්තේ වැඩ කරපු කෙනෙක්. හදිසියේ හමු වෙච්ච  නිසා මම හරහා ඔය ගොල්ලෝ එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ එයාගේ නචාල්නික් ට කියල. එහෙම අඳුර ගත්තේ. මම මැද පෙරදිග ඉඳන් ආවට පස්සේ  මට ලේනා දිගටම බනිනවා එපා කියද්දී ගියා කියල. ගිහාන් ගැන හැමදාම මතක් වෙනවා. ඒ මදිවට සනීප නැහැ. මට කවදාවත් අසනීප වුනු කෙනෙක් නෙමෙයි. මට එපා වෙලා හිටියේ. පස්සේ මම ඔය ගේනට කතා කරලා එයාගේ ගෙදර  ගිහින් හිටිය. ගේනා මට  වෙච්ච දේ ඇහුවට පස්සේ තරහෙන් පිපිරුවා.  පස්සේ වලෝද්යට කතා කරල තියනවා. ඊට පස්සෙයි ඕව ඔක්කොම සැලසුම් කරල තියෙන්නේ. " නචාල්නික් යනු නායකයා යන අරුත දෙන පදයකි. බොහෝවිට මැනේජර් ට සමානය.

තාන්යා කියූ පරිදි ගේනා ගේ කාරයක  දුම් යන පයිප්පයට  බටයක් සවිකර එය කාරය ඇතුලට යවා ඇත්තේ ජනේල වසාය. එරික් හා ස්වේතා ගේ  අත් පා බැඳ කාරය තුල හිර කර ඇත. දුම් පයිප්පයෙන් එන  කාබන් මොනොක්සයිඩ් වායුව  දිගටම ආශ්වාස කළ විට පැය භාගයක් ඇතුළත මරණය ලඟා වේ. ප්‍රාණය  විරහිත ස්වේතා හා එරික් ගේ දේහයන් එම රථයේම  තබා රාත්‍රී බඩු ප්‍රවාහනය කරන  සීග්‍රඝාමි  දුම්රිය  එන මග තබා තිබේ. දන්නා බිස්නස් කරුවෙකු වන එරික් හා "තාන්යා" නමැත්තිය  මාෆියා මුදල් ගනුදෙනුවක් නිසා සිය දිවි නසා ගන්නට ඇති බවට මිලිට්සියාවට  (පොලිසියට) ඒත්තු ගන්වා ඇත. රහස් ඔත්තු සේවයට කිසියම් සබඳතාවයක් ඇතැයි වටහාගත් පොලිසිය නිහඬ වී ඇත. තාන්යා ස්වේතා වුනේ එලෙසය.

කිසියම් වැරදීමක් සිදුවුන බව වැටහුණු ජාවෙඩ් බල්ගේරියාවේ සොෆියා අගනුවරට පැන ගොස් තිබුණි. ඔහුගේ අභිප්‍රාය වී තුබුණේ බල්ගේරියාවෙන් තුර්කියට පැන ගැනීමය. රටවල් දෙක අතර භූමියෙන් සම්බන්ධ  දේශ සීමාවක් තිබේ.

"ඔයා අහල තියනවද සෙද්මොයි අත්දිලෙනිය බල්ගේරියන් ආරක්ෂක කමිටුවේ" තාන්යා හෙවත් ස්වේතා ඇසුවාය.
"නැහැ මම දන්නේ නැහැ. බල්ගේරියන් ආරක්ෂක කමිටුව සෝවියට් කගබ (කේජිබී) වගේ එකක් නේද? ඔයාගේ කතාව එන්න එන්නම සිරියෝස්නා  " ප්‍රියාන් පිළිතුරු දුන්නේ කල්පනාකාරිවය.  සිරියෝස්නා යනු සීරියස් හෙවත් බරපතල යන තේරුම ගෙන දෙන වචනයකි.

තාන්යා පැහැදිලි කළ පරිදි බල්ගේරියාවේ තිබූ රහස් ඔත්තු සේවයේ තවත් රහස් අංශයක් තිබුණි. සෙද්මොයි අත්දෙලෙනිය යන නමෙහි  තේරුම  හත්වෙනි අංශය යන්නය.  ජේම්ස් බොන්ඩ් නම් සුප්‍රසිද්ධ ඉංග්‍රීසි රහස්  ඔත්තු කරු ගේ චිත්‍රපට වල ඔහුගේ සංකේත අංකය 007 ය. එයට සරදමක් ලෙස මේ හත්වෙනි අංශය නම යොදා ඇතැයි කියවේ.  එය සෝවියට් දේශයෙන් , හෝ සමාජවාදී රටවලින් පැනගිය අයවළුන් මෙන්ම සමාජවාදී රටවලට විරුද්ධ අය ඝාතනය කිරීම සඳහා පිහිටවූ  රහසිගත සංවිධානයකි. බල්ගේරියානු ලේඛකයෙකු වන ජෝර්ජ් මකාරොව් ලන්ඩන් නගරයේදී මරා දැමුවේ ඔවුන් යයි කියති.  එය සිදු කළේ කුඩයක අග වස පෙත්තක් රඳවා ඉන් වැරදීමකින් මෙන් ඇනීමෙනි.
සොෆියා නුවර ල්වොව් පාලම 

"ඒක දැන් නැහැ. නමුත් රුසියාවේ රහස් ඔත්තු සේවය ඒකෙ සමහර අයව මුදල් ගෙවල සම්බන්ධකම් තියාගෙන තියනවා. ඒ කෙනෙක් ට ස්වෙතලගෙන් ගත් මුදල්  යොදවල කරලා තියෙන්නේ. ව්ලද්යා කියල ගඟක් තියනවා. ඒ ගඟ  ඔය සොෆියා හරහා යන්නේ. සොෆියා වල ටිකක් ප්‍රසිද්ධ සිංහ පාලම (ල්වොව්) කියල පාලමක්  ගාවදි අර කලී වලින් හදපු  (කලී යනු  පොටෑසියම්ය )  එන්නතක් ගහල තියනවා. කෙලින්ම උඩ  ඉඳන් බිමට ලිස්සලා වැටුන වගේ පෙනෙන්න " තාන්යා ජාවෙඩ් ට අත්වූ ඉරණම පැහැදිලි කළාය.

"මම සොෆියා ගිහින් තියනවා. ඔය පාලම ලඟටත් ගියා. ඒක ටිකක් ප්‍රසිද්ධ එකක් තමයි. තුර්කි ගිය වෙලේ බල්ගේරියා හරහානේ ගියේ. පාලම සෑහෙන උඩකින් තියෙන්නේ. මොකද්ද කලි  එන්නත කියන්නේ " ප්‍රියාන් ඇසුවේ ඇය කියූ දෙය නොතේරුන හෙයිනි.

"ප්‍රියාන්, මට ලේනා කිව්ව දේ මම දන්නේ. ඒ එන්නත පරණ කගබ එක භාවිතා කරපු එකක්. ඒක ගැහුවම හෘද ස්පන්දනය වැඩි වෙනවා එක පාරටම. වෙලාවට කලී ටික අයින් නොකළොත් ස්තෙනොකර්දියා එකක් එනවා. ඊට පස්සේ කොහෙට හ‍රි තල්ලු කරන්න තියෙන්නේ එක පාරට ගැස්මක් එන්න."

ස්තෙනොකර්දියා යනු ඇන්ගිනා (ඉංග්‍රීසි ඇන්ජයිනා)  වැනි තත්වයකි. හෘදය ස්පන්දනය අස්වාභාවික ලෙස වැඩි වී පපුවේ වේදනාවක් ඇති වේ. එය ස්ට්‍රෝක් එකක් දක්වා වර්ධනය විය හැක.

"මට නිකන් හැඟෙන්නේ ක්‍රිමිනල්නයා ඉස්තෝරියා එකක් කියෙව්වා  වගේ.රහස් පරීක්ෂකයෝ විතරයි අඩු. ඒ වෙනුවට රහස් ඔත්තු සේවා " ප්‍රියාන් පැවසුවේ ඔහුට තාන්යා ගේ කතාව  අපරාධ  කථාවක් (ක්‍රිමිනල්නයා ඉස්තෝරියා) ලෙස හැඟුණ හෙයිනි.

"මීෂා ට කරපු දේ ඊට දරුණුයි. ඔයගොල්ල හිටපු නේවාසිකාගාරය ගාව නේද ලෙෆොර්තෝවා හිර ගෙය  තියෙන්නේ " තාන්යා ඇසුවාය.

"ඔව්, ඒක නම් ටිකක් දරුණු කියල අහල තියනවා. මොස්කව්  වල එකක් උනත්. ස්ටාලින් ගේ  කාලේ දේශපාලන සිරකරුවන්ට වධ දීල තියෙන තැනක් නේ." ඔවුන් ගේ නේවාසිකාගාරය ඇති පැත්තේ මේ විශාල සිර ගෙය පිහිටා තිබුණි.

"ඔව්, ඒක පස්සේ භාර දුන්නේ අලුත් රුසියානු රහස් ඔත්තු සේවයට. වලෝද්යා ගේ නචාල්නික් යටතේ තියෙන්නේ. මීෂා මත්ද්‍රව්‍ය එක්ක අල්ලන කොට තව ගැහැණු ළමයි හතරදෙනෙකුත් හිර කරන්  ඉඳල  තියෙන්නේ.  අවුරුදු දහයකට  හිරේ දැම්මලු. නමුත් ඒක නෙමේ මට වුන ප්‍රශ්නේ ප්‍රියාන්. මීෂා මට බලහත්කාරකම් කරපු එක්කෙනෙක් කියල ලේනා දන්නවා. එනිසා ඇතුලේ හිරකාරයන්ට සිගරට්, වොඩ්කා තව උන්ට ඕන දේ  හෙම යවල උන් ලවා මීෂා ට දඬුවම් කරල තියනවා. ඔයාට  තේරෙනවද පිරිමි පිරිමි."

"නැහැනේ. මම දන්නා විධිහට  ඔයා කියන දේ  රුසියාවේ තහනම් නේ. වලෝද්යා කොහොමද එහෙම දේකට අනුබල දෙන්නේ"

"ඔයාට තේරෙන්න නැහැ. හැම හිර ගෙදරකම ඕව තියනව රුසියාවේ වුනත් එහෙමයි. අර විධිහට අණක් ගියහම ඒක වැඩියි. ඊට අමතරව ගුටි දෙන්නත් කියල.  මාස දෙක තුනකට පස්සේ මම ගියා බලන්න. මට දුක හිතුන නිසා." විස්තර කරන තාන්යා ගේ වූයේ ඇත්තටම දුක් සහිත මුහුණකි.

"ඔයාට පිස්සුද එහෙම දෙයක් කරන්න. අපරාධකරයෙකුට අනුකම්පා කරන්න "

"වෙන්න ඇති. ඒත් මට හිතුනා. ලේනමයි එක්කන් ගියේ . මීෂා ගේ නෑදෑයෝ විධිහට . මාව දැක්ක  ගමන් පරල වුනා වගේ කෑ  ගහන්න ගත්ත. මාව මරනවා කිව්වා. ඌව දූෂණය කරපු හැම වතාවකටම  දෙක ගානේ මට කරලා මාව මරනවා කියල කෑ ගැහුව."

" ඒ කියන්නේ හොඳට හම්බවෙන්න ඇති "

"ඔව්, නමුත් ඒකෙන් වලොද්යා යි ලේනයි තවත් දරුණු වුණා. මට ආරංචි වුනා රණ්ඩුවකදී තව හිරකරුවෙක් හිරගේ ස්තලොවයා (කැන්ටිම) එකේ පිහියකින් ඇනල මීෂාව මරල"

"හිරේ ඇතුලේ"

"ඔව්, එහෙම දේ  වෙනව. වෙනවා නෙමෙයි  කරවනවා. මට හැම  දෙයක්ම එපා වෙන්න ඒකත්  එක හේතුවක්"

"මට හිතා ගන්න පුළුවන් ඔයාගේ කළකිරීම. පලි ගැනීමකින් හිතේ ප්‍රශ්න, දුක වගේ දේවල් හදන්න බැහැ . අපි අර පැත්තට ඇවිදින්න යමුද ටිකක්. ඔයාගේ විස්තරත් එක්ක ටිකක් හිත බර වෙලා වගේ. අයිස්ක්‍රීම් විකුණනවා අර ළමයි ඉන්න තැන " ප්‍රියාන් යෝජනා කළේ තාන්යා මතකයත් සමග නොසන්සුන් වන බව වැටහී ගිය හෙයිනි.

"යමු" ඔවුන් දෙදෙනා ළමුන් ක්‍රීඩා කරන කුඩා පිටිය අසල ඇති අයිස් ක්‍රීම් වෑන් එක වෙත පිය මැන්නහ.

"මොන අයිස්ක්‍රීම් එකක්ද ඕනේ "

"ඔයා කැමති එකක් ගන්න "

"එහෙනම් මැග්නම් දෙකක් ගමු"

"ඔයා දන්නවද මට ගිහාන් ව ඉස්සෙල්ලම හම්බ වුනේ පාක් කුල්තූරි උද්‍යානයේ. ගිහාන් අයිස් ක්‍රීම් එකක් කකා මම හිටි පැත්තට ආව" ඇගේ දෙනෙත් හිරු එලියට දිළිසුණි. ඇය  ගිහාන් හමුවූ අවස්ථාව  ප්‍රියාන් ට විස්තර කළේ මහත් ප්‍රීතියකිනි.

"මම ඒක දැනන් හිටියේ නැහැ. ඔයා තවමත් කිව්වේ නැහැ මෙහෙ එන්න හේතුව " ඇගේ ගිහාන් හමුවීමේ කතාව අසා සිටි ප්‍රියාන් නොඉවසිලිමත් විය.
"අපි අරහෙට යමු" ඔහු ඉදිරිය පෙන්වීය.

 උද්‍යානයේ මේ කෙළවරේ ඇත්තේ කුඩා දිය සොරොව්වකි. කුඩා දොළ පාරක් වන ගේඩ් හි වතුර මෙතනින් මදක් විශාල ජල රඳවනයකට  වැටේ.  ඔවුහු එතැනට සෙමෙන් සෙමෙන් ඇවිද ගියහ.

"මම මුලදී හිතුව වලොද්යා මේවා ඔක්කොම කරන්නේ මම නිසා කියල. ඒ නිසා තමයි මම නවත්වන්න හැදුවේ. නමුත් පස්සේ තේරුණා මේක අර අධ්‍යක්ෂක ගේ අළුත් නියෝග නිසා කියල. මම නිසා ඒ ගොල්ලන්ට ලොකු මාෆියා සංවිධානයක් අහුවුනා. ආණ්ඩුවේ අයත් සම්බන්ධ. ඒකෙන් වලොද්යා ගේත් බලය වැඩි වුණා. ලේනාටත්  රයියොන්නි අධ්‍යක්ෂක පදවියක්  ලැබුන. ඒ ගොල්ල හිතුවේ  මට නිකම්ම සල්ලි ගොඩකුයි  කොහෙවත් තිබ්බ තට්ටු නිවාසයකුයි ලැබුන නිසා මම සතුටෙන් ඉඳී කියල. මගේ සතුට මම මවාගෙන  හිටියේ ගිහාන් එක්ක. ඒක නැතිවුනාට පස්සේ තනියම මොස්කව්  මැද  හොඳ තට්ටු නිවාසෙක හිටියයි කියල ඇති පලේ මොකක්ද මට?" තාන්යා ප්‍රියාන් දෙස බැලුවේ නිල් පැහැති දෙනෙතේ කඳුලක් රඳවා ගනිමිනි.

රයියොන්නි යනු ප්‍රාදේශීය යන අරුත් දෙන වදනකි.

"ඒක ඇත්ත, මට තේරෙනවා " ප්‍රියාන් ඇය හා එකඟ වීම හැරෙන්නට වෙන කරන්නට දෙයක් තිබුනේ නැත.

"හපොයි මම කරපු දේවල්. අර හැරේ ක්‍රිෂ්ණා හැරේ ක්‍රිෂ්ණා කියල එකකට බැඳුන"

"හරේ ක්‍රිෂ්ණා හරේ රාමා නෙමෙයි ද " ප්‍රියාන් ට සිනහවක් ගියේය.

"ඒ වගේ එකක්. මුලදී හොඳයි. එළවලු විතරයි කන්නේ. උදේට හවසට සුවඳ දුම් අල්ලලා යාඥා කියනවා. මොස්කව් වල වීදි  දිගේ බෙර ගගහ යනවා. මම සාරියකුත් ඇන්ද එහෙම  යන්න . ඒකට නම් හොඳ සතුටෙන් හිටියේ. ගිහාන් එක්ක සාරි ඇඳලා  යනව කියල හිතන් හිටියේ ලංකාවට ගියාම."

"ඒකෙන් හරි සැනසීමක් ලැබෙනවනේ" ගිහාන් හූමිටි තැබීය.

"නැහැ ප්‍රියාන්. එතැන සමහරු මත් ද්‍රව්‍ය ගන්නවා  කියල මට තේරුණා. ආශ්‍රමයේ දීම දෙතුන් දෙනෙක් එක එක යෝජනා කලා. ගැහැණු හැම  දෙයක්ම බෙදා ගන්න  ඕනේ වගේ කතා කලේ සමහරු. ඒ කියන්නේ මොකාටද එන්න හදන්නේ කියල ඔයාට තේරෙනවනේ.  මම එකඟ වුනේ නැහැ. අත හැරලා ගියා. ඊට පස්සේ අර යෙගෝවාගේ ස්විදෙතෙල්ස්ත්ව එකට ගියා . එතැනදී දෙවියන් ගැන ඉගැන්වූව, බයිබලය කියල දුන්න. කට්ටිය නම් හරිම හොඳයි. නමුත් මට එතැන එක්කෙනෙක් එක්ක බඳින්න කිව්වා ඇමෙරිකාවට ගෙනියන්නම් කියල. මම කැමති වුනේ නැහැ. ඒ ගොල්ල ඒක තමයි කරන්නේ ගැහැණුන්ට. බැඳලා දෙනවා කාට හරි ඉක්මනින්ම. අනික ඒ ගොල්ලට වලොද්යා ලේනා හෙම වැඩිය කැමති නැහැ. අම්ම අක්සානා ඇවිත්  මාත් එක්ක හිටිය ඒ දවස් වල මොස්කව් වල. තාත්ත ට මගේ මූණ බලන්නත් දුකයි. එනිසා වැඩිය ආවේ නැහැ. මාව බේරා  ගන්න එයා හිටියේ නැහැ කියන එක එයාට තදින් වැදුන."

යෙගෝවාගේ ස්විදෙතෙල්ස්ත්ව යනු යෙහොවස් විට්නස් නමින් හඳුන්වන ආගමික සංවිධානයයි. සෝවියට් දේශය බිඳ වැටුණු පසු මුලින්ම  පැමිණි ආගමික සංවිධානයකි. ඔවුන් පැමිණ ආගම  ප්‍රචාරය කිරීම හා පල්ලි පිහිටවීම සිඝ්‍රයෙන් සිදු කළහ.  පසු කලෙකදී  රුසියාවේ තහනම් විය.

"ඊට පස්සේ තමා මට මේ නාද්‍යා හමුවුනේ. සංසාරය කියන එක, අපේ දුෂා එක,  එක එක  කාල වල ඉපදිලා  සැරි සරණ විධිහ  එයා තමා කියල දුන්නේ. මම ඔය වචනේ ගිහාන් සින්දු කියන කොට අහල තියනවා. පස්සේ අර රටේදී  ලෝලා, නෙමේ නෙමේ  ලොලිතාත් කියල දුන්න.  මම බුරියාත් වල බෞද්ධ පන්සල් වලටත් නාද්‍යා  එක්ක ගියා. බලන්නකෝ මට ගිහාන් ඉස්සෙල්ලම හමු වුනා. ලෝලිතා, විකූ අයා හමු වුණා. ඒ දෙන්න ලංකාවේ. ඊට පස්සේ ලංකාවේ ශිෂ්‍යයෝ දෙන්නෙක් තමා මාව බේරා ගන්න ලේනට කියන්න ගියේ. ඊට පස්සේ ඔයා  හම්බ වුනා මෙහෙ. ඕව ඔක්කොම සංසාරේ කරන දේවල්. මේ, මේ වචනේ මොකක්ද ඒකට  කියන."
දුෂා යනු ආත්මය යන අරුත දෙන වදනකි. බුරියාත් යනු රුසියාවේ බෞද්ධයන් වෙසෙන කුඩා සමුහාණ්ඩුවකි.

"ඔයා කියන්නේ කර්මය ගැනද "

"අන්න හරි කාර්මා "

"තාන්යා ඕව ඔක්කොම අහම්බෙන් වෙන දේවල්. ඔයාට ගිහාන් හම්බ වුනේ අහම්බෙන්. ඔය මැද පෙරදිග රටේ අපේ රටෙන් ආ අය හරියට වැඩ කරනවා. ඉතින් එහෙම දෙතුන් දෙනෙක් හම්බ වෙන්න පුළුවන් ඉඩක් තියනවා.  අනික් එක තමයි ඒ කාලේ මොස්කව් ඇවිත් බටහිරට පැනල එන්න ආව ලංකාවේ අය ගොඩක් මොස්කව් වල හිටිය. දැනුත් එහෙමයි. එනිසා එතැන එහෙම දෙන්නෙක් හිටින්න ඉඩකඩ  වැඩියි. මගේ හමුවීම ගත්තොත්,   මම මේ පන්සලට නිතර එනවා. ඔයාව හමුවෙන්න තියන සම්භාවිතාව වැඩියි මම එන නිසාම. ඕව ඔක්කොම අහම්බෙන් වුනේ. ඔයාට වෙච්ච  දේ , ඒකත් සෝවියට් දේශය වැටුන නිසා, බිස්නස් කියල මිනිස්සු  හොරකම්, පාතාල මාෆියා වැඩ කරන්න පටන් ගැනීම නිසා වගේ හේතු මත තමා උනේ. නැතුව ඔයා කොහේ හරි ආත්මෙක කරපු වරදක් වත් වෙන යම් දෙයක් වත් නිසා නෙමෙයි. " ප්‍රියාන් ඇගේ අදහසට විරුද්ධව කතා කළේය.

"ඔයා බුද්ධාගමේ නේ. ඇයි ඔහොම කියන්නේ. මම මෙහෙ ආවේ නතර වෙන්න මේ අමරාවතී ආශ්‍රමයේ. තව රුසියානු එක්කෙනෙකුත් ඉන්නව මෙහෙ. අර සුදු ඇඳලා  හිටියේ කට්ටියක්. රොබර්ට් තමා කීවේ මේකේ ඉන්න පුළුවන්ය,  භාවනා කරන්න  පුළුවන්ය  නතර වෙලා කියල. පස්සේ ආගමේ සොයුරියක් වෙනව කියල මට හිතුනා."

"අනේ මන්දා තාන්යා. එකක් අපේ ආගමේ ඔය කන්‍යා සොයුරියෝ කියන සංකල්පය නැහැ. අනික මේකේ ඉන්නේ හාමුදුරුවරු වගේම සිවුර පොරව ගත්තු මෙහෙණින් කියල කට්ටියක්. ඔයාට ලෙහෙසි වෙන්නේ  නැහැ ඒ ජීවිතය. ඔයාට වෙච්ච දේවල් මම දැන  ගත්ත උනත් ඔය තීරණය හරිය කියල මට හිතෙන්නේ නැහැ. තව කල්පනා කරන්න."

"ඔයා මගෙයි ගිහාන් ගෙයි ආදරය  ගැන දන්නේ නැහැ ප්‍රියාන්. මට වෙච්ච ඔක්කොම දේ දන්නෙත් නැහැ. "

"ඉතින් මට කියන්න. මම අහගෙන ඉන්නම්. ඒක නෙමේ  ඔයාට යන්න ඕන නේද  ජාතික චිත්‍ර ගැලරි එකට. දැන් පරක්කු වෙනවනේ මෙතැන හිටියොත් " ප්‍රියාන් ඇසුවේය.

"ඇත්තටම මට යන්න ඕනේ නැහැ දැන්නම්. මගේ හිත දැන් ඇවිස්සුනා. මට ඕනේ කතා කර කර ඉන්න. ඒක වඩා හොඳයි"

"එහෙනම් යමුද මම ඉන්න තැනට. දැන් ගොඩක් හවස් වෙලත් එක්ක. " ප්‍රියාන් යෝජනා කළේය.

"ඔයා මට රස ස්පයිසි (ආසන්න රුසියානු වචනය ස්පෙට්සි ) තියන අර ඔයාල රුසියාවේ හැදුවා වගේ කෑම එකකුත් හදනවද එහෙනම්"
තාන්යා ඉල්ලීමක් කළාය.

"අනිවාර්යයයෙන්ම ඒක කරන්නම්. කතා කරන එක හොඳයි. මටත් රුසියාවෙන් ආපු කෙනෙක් කාලෙකින් හමුවුනේ නැහැ.  "

ඔවුන් දෙදෙනා නැවතත් කාරය වෙත පිය මැන්නේ ප්‍රියාන් ගේ නවාතැනට යාමටය.

~~~~~~~~~~~~~~~~~~~මතු සම්බන්ධයි
පින්තූරය: https://www.alamy.com/stock-photo/park-bench-autumn-uk.html

මොස්කව් හි හරේ ක්‍රිෂ්ණා අනුගාමිකයන්

4 comments:

  1. awesome story line as always...small suggestion to focus more on the main characters rather than explaining too much info on the background and the culture
    cheers mate !

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .