Saturday, 23 March 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (52) - ඉරණම අප එක්කළේ නැත

ප්‍රියාන් ගේ නවාතැන  පිහිටියේ බ්‍රික්ස්ටන් වලය. බ්‍රික්ස්ටන් කළු ජාතිකයන් හා අයිරිෂ් වරුන් බහුලව සිටින ප්‍රදේශයකි. ඔහු ජිවත් වූයේ  දෙවන තට්ටුවේ විශාල කාමරයකය. කාමරයේ කෙළවරක මේසයක් සහ පුටු කිහිපයක් තිබුණි. ඒ සමගම නිදන ඇඳය. හිඳ ගැනීමට සෝපාවක් ද තිබුණි. මුළු කාමරයම කාපට් දමා තිබුණි. මැද හරියේ ඇඳුම් අල්මාරියක් තිබේ. කාමරයේ මුල සුව පහසු සෝපා පුටු දෙකකි.

මුළුතැන් ගෙය සහ නාන  කාමරය එම නිවසෙහිම තවත් දෙදෙනෙකු සමග සමසේ භාවිතා කළ යුතුය. අනිත් දෙදෙනා සිටියේ උඩ කාමර දෙකකය.
බ්‍රික්ස්ටන් රාත්‍රිය 

"අපේ නේවාසිකාගාර කාමර වගේ හැබැයි ලොකුයි."   තාන්යා කාමරය වටා බැල්මක් හෙළුවාය.

"කේක් කමුද? මම තේ හදන්නම් "

"නෑ මම හදන්නම්" ඇය මුළුතැන්ගෙට ගියේ තේ හදන්නය. තවමත් සංගීත කණ්ඩායමක පුහුණු වෙන රිචඩ් එහි සිට තාන්යාට ආචාර කළේය.
කේක් කපා තසිමක දමා ගෙන ආ තාන්යා තේ කෝප්පයක්  ප්‍රියාන් ට පිලි ගැන්වූවාය.

"මම රිචඩ් ට කේක් කෑල්ලක් දුන්න, එපා කියල ආයේ ගත්ත. එයා කතා කරන  ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ හරියට"

"මටත් මුලදී තේරුනේ නැහැ මෙහෙ ඉංග්‍රීසි උච්චාරණය. පස්සේ හරියනවා"

"මම කූරිත්සා  එක හලදිල්නෙක් එකෙන් එලියට  දාල එන්නම්. පස්සේ උයන්න."
ප්‍රියාන්  කුකුළා (කූරිත්සා ) ශිතකරණයෙන් (හලදිල්නෙක්) සින්ක් එකට  දමා  උණු වතුර වත්කොට පැමිණියේ පසුව උයන්නටය.

තාන්යා කිසියම් ලිපියක් වැන්නක් ඇගේ බෑගයෙන් එලියට ගෙන කියවමින් උන්නාය.
"ඔය මොකක්ද"
"මේක ඔයාලගේ ආගමේ කවියක්. මට ලියල දුන්නේ ලෝලි . මේක ඉංග්‍රීසියට පෙරළලා දුන්නේ මොස්කව් වල එම්ගෞ එකේ  හමුවුන ශිෂ්‍යයෙක්. නාද්‍යා තමයි රුසියන් වලට පරිවර්තනය කළේ.  " තාන්යා කොළය ප්‍රියාන් අතට පත් කළාය.

එම්ගෞ යනු මොස්කව්  රාජ්‍ය විශ්ව   විද්‍යාලයේ ලොමොනසොව් ශාඛාවට කෙටියෙන් කියන නමයි.

ප්‍රියාන් කොලයේ ඇති ගාථාව කියවමින්  සිනා සුනේය.

"ඇයි හිනා වෙන්නේ. ඒකෙ  කියන්නේ සම්පුර්ණ ඇත්ත නෙමෙයිද? මට තවත්  ආදරයක් ඕනේ නැහැ. මම  ආදරයෙන් අයින් වෙනවා. මේ ඔක්කොම මට වුනේ ආදරය කරන්න ගිහිල්ල. ආදරය නිසා දුකත් වේදනාවත් භයත් ඇති වෙනවා. කන්යේච්න ඇත්ත. මට ඔය ඔක්කොම  වුණා "
තාන්යා කෝප ගැන්වී සිටිනවා ප්‍රියාන් දුටුවේ ප්‍රථම වරටය. කන්යේච්න යනු සත්තකින්ම යන අදහස දෙන වදනකි.

"සමාවෙන්න. ඔයාගේ හිත රිද්දන්න ඕනේ නැහැ මට. ඒත් මම ඔයාට කියන්නද මම හිතන දේ. තරහ ගන්නේ නැත්නම් "
 ප්‍රියාන් ඇගෙන් සමාව යදිමින් ඇසීය.

"ඔයා ඕන එකක් කියන්න. අපි කතා කරන්න නේ ආවේ ප්‍රියන්චික් " තාන්යා හෘදයංගම ලෙස සිනාසුනාය.

"මේක සෑහෙන ප්‍රසිද්ධ ගාථාවක්. ඔයා කියනව වගේ කවියක් කියල කියන්නත් පුළුවන්. මේ පළමු භාෂාව පාලි. ඒ කාලේ පරණ ඉන්දියාවේ භාෂාවක්." ප්‍රියාන් ඇයට පැහැදිලි කළේය.
ඇය අත තිබුනේ සිංහලෙන් ලියන ලද ප්‍රසිද්ධ  පාලි ගාථාවකි.

"ප්‍රේමතෝ ජායති ශෝකෝ, ප්‍රේමතෝ ජායතී භයං
ප්‍රේමතෝ විප්ප මුත්තස්ස, නත්ති ශෝකෝ කුතෝ භයං "

කිසිවෙකු විසින් පිටපත් කරන ලද එහි ඉංග්‍රීසි පරිවර්තනයද ප්‍රියාන් ඉංග්‍රීසියෙන්ම කියැවීය.
"love creates sorrow , Love creates fear If there is no love, there is no sorrow and fear."

"තාන්යා මට තේරෙන්නේ මේකෙන් අදහස් වෙන්නේ  love is root to all evil වගේ  දෙයක් "  ප්‍රියාන් රුසියානු හා ඉංග්‍රීසි භාෂා දෙක මිශ්‍ර කරමින්  පැවසීය.
"මෙතන ආදරයට අමතරව ආශාව, බැඳීම  ඉංග්‍රීසියෙන් endearment, desire, affection, attachment කියල කියන ඔක්කොමත් ඔතනට අයිතියි.  ඔයාට වුන දේ වෙන ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. එහෙම උනාය කියල ඒක වුනේ  ප්‍රේම කිරීම නිසාය කියල හිතන එක තේරුමක් නැති දෙයක්.  බුද්ධාගමේ මේ වගේ උපදේශ වාක්‍ය තියෙන වෙනම  පොතක් තියනවා ධම්මපදය කියල. මේ වගේ ඔයා මේ කවි කියන ඒවා හුඟක් තියනවා ඒකෙ. නමුත් මලදායා  මේකෙන් කියවෙන්නේ නැහැ ඔය මතුපිටින් එන තේරුමම අපි  ඔළුවට ගන්න ඕනේ කියල. මේකෙන් කියවෙන්නේ මේ වගේ නිරීක්ෂණයක් තියනවා  කියල විතරයි. අනික හුඟක් බෞද්ධයෝ හැම විටම දෛවය ට ජිවිතේ වෙන හැමදේම භාර දෙනවා. ඒකට කියන්නේ මේ fatalism වගේ වචනයක්. අනේ මගේ කර්මය, මගේ  ඉරණම මේක කියල. ලලිතා ඔයාට කියන්න ඇත්තේ ඒක.  "  ප්‍රියාන් පැහැදිලි කළේ තාන්යා ජීවිතය ගැන කළකිරී ඇති බවට අනුමාන කරමිනි. ඔහු මලදායා වචනය භාවිතා කලේ ඕනෑ කමින්ය. එහි තේරුම තරුණ යුවතිය  හෝ කෙල්ල යන්නයි.

"මට ඔයා කියන දේ හරියටම තේරුනේ නැහැ ප්‍රියාන්. ඔයා කියන්නේ එහෙම හිතන එක වැරදි කියලද " තාන්යා අහිංසක ලෙස කීවාය.

"බුද්ධා ඔය උපදේශය දීල තියෙන්නේ මුණපුරෙකු නැතිවෙච්ච මිත්තනියක ගේ දුක නිවෙන්න. ඒ මිත්තණියගේ නමත් විශාඛා. බැඳීම , ප්‍රේමය නැත්නම් දුකක් ඇතිවෙන්නේ නැහැ තමයි.  මම කියන්නේ බලන්න ඔය විද්‍යාවේ සමහර  නියමයන් වගේ දේ  තියෙන්නේ. ඔයාගේ රස්සාවෙන්ම  ගමු. පැණි රහ  කෑවොත් දත් නරක්  වෙනව  වගේ දෙයක් ඔයා කියනවා නේ එහෙම වෙච්ච අයට. ඒක ඇත්තනේ. නමුත් අපි කේක් කෑල්ලක් කාල හරි චොකලට් එකක් කාල සතුටු වෙනවනේ. ඊට පස්සේ ඕනෙනම් දත් මදින්න පුළුවන්.
 මම කියන්නේ ඒ වගේ දෙයක්. ප්‍රේමය, ආදරය, ආශාව අපට නැතුව බැහැ. මව්පියෝ ළමුන්ට ආදරේ කරනවා. දෙමාපියෝ එකිනෙකාට ආදරේ කරනවා. යහළුවන් අතර එකිනෙකාට කැමත්තක් බැඳීමක් තියෙන්නේ පුළුවන්. ඒවා නැතිව අපි ජිවත් වෙන්නේ කොහොමද තාන්යා. හැමෝම ඔහොම හිතන්න ගියොත් හෙම ලෝකෙට මොකද වෙන්නේ. හරියට අපි හැමෝටම නිර්වාණය ඕනේ වගේ. හැමෝම හාමුදුරුවරු පූජකයෝ  වුනොත් මොකද වෙන්නේ? කවුද වැඩ කරන්නේ. ඒ ගොල්ලන්ටම වැඩ කරන්න  වෙනවා. පෙම්වතින් , සැමියන් බිරිඳන් අතර ආශාව ආදරය නැතුව ළමයි හැදෙයිද? හොඳයි, ඊට පස්සේ ළමයි ඉපදුනේ නැත්නම් ඒ ධර්මය එහෙම්ම ඉවරයි. ඇයි අලුතෙන් උගන්වන්න පැවැදි කරන්න කෙනෙක් නැතුව යනවනේ. කිසිම ප්‍රයෝගික කමක් නැති විධිහට අපට ඉන්න පුලුවන්ද . ඇති වැඩේ මොකද්ද "

"නිර්වාණය කියන එක මට තේරෙන්නේ නැහැ. ඔයා තවමත් අපේ තිබ්බ සමාජවාදයට කැමතිද ප්‍රියාන්? ඔයා ඒ කාලේ වගේ තවමත්  දෙවියන් හෙම විශ්වාස කරන්නේ නැත්ද? මම ඒ දවස් වල ඔවැනි දේ ගැන කල්පනා කලේ නැහැ, දැන් හිතනවා. අනික ප්‍රියාන්  මේ රට හොඳයි වගේ. රුසියාවේ තරම් අපරාධ නැහැ වගේ. පිළිවෙලක් තියනවා. මමයි නදින්කා යි රොබට් නුයි ඉතාලියේ වෙනිසියටත් ගිහින් මෙහෙ ආවේ. ඒ  රටත් හරි ලස්සනයි. ටිකක් රුසියාවේ පරණ ලෙනින්ග්‍රාද්  නගරය වගේ කියල මට හිතුන.   මගේ ආච්චි හෙම පල්ලියට ගියාට අපි කවුරුත්  ගියේ නැහැනේ.  මේ අදහස් අලුත් දේවල් මට.  මට මොස්කව් ඉන්න එපා වෙලා ප්‍රියාන්. ඔයා කියන්නෙ ඇත්ත. මට ඒ හැමෝගෙන්ම අයින් වෙලා යන්න ඕනේ.  මොකද්ද  මම කරන්නේ අමරාවතියට යන්න එපාද " තාන්යා එකිනෙකට  සම්බන්ධ නොවූ දෑ බොහොමයක් වැලක් ඇදී යන සේ කියාගෙන ගියාය.

"ඔයාගේ ප්‍රශ්න ගොඩයි. ඔයා ඉන්න මානසික  තත්වය නිසා ඔයා ඔය ප්‍රශ්න අහන්නේ. සෝවියට් දේශය  දැන් නැහැනේ. සමාජවාදී සමාජය තුල ප්‍රශ්න තිබුනනේ තානිච්කා . ඒක අත ඇරලා දාමු දැනට. මම දෙවියෝ ආගම් වැනි දේ විශ්වාස නොකළේ රුසියාවට ඉගෙන ගන්න එන්නත් කලින්. ඒ නිසා ඒකත් අත ඇරලා දාමු. මේ රටවල් අපට කියපු තරම් නරක නැහැ. මේ මගේ පළමු වතාව නෙමෙයි මෙහෙ ආපු. මේ පාර නම්  දිගටම ඉන්න වුනා. ඔයාට ඇත්තටම එන්න ඕන වෙලා තියෙන්නේ  වලෝද්යා හා ලේනාගෙන් ඈත් වෙලා ඉන්න ඕන නිසා කියල මට හිතුන. " ප්‍රියාන් ඇසීය.

තාන්යා කල්පනාසහගතව නැගිට්ටාය.
"ඔයාට තව තේ ඕනෙද " ඇය තව තේ කෝප්පයක් වත් කර ගත්තාය. ඇය කලින්ම කුස්සියෙන් පැමිණියේ රුසියානු ක්‍රමයට  තේ පෝච්චියට තේ කිහිපයකට සෑහෙන සේ උණුවතුර දමා ගෙනය තේ බෑග් ද දමාගෙනය.

"බොමු "
තාන්යා තේ වක්කරමින්ම කතා කළාය.

"ඔයා හරිවගේ ප්‍රියාන්. මට ඒ ගොල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ. නාද්‍යා කිව්වා අමරාවතියේ ඉන්න පුලුවන් කියල, දවස් කිහිපයක් ඉඳල  බලන්න කියල., ඊට පස්සේ ඕනේ නම් එංගලන්තේ නැවතෙන්න කියල. එයා උදව් කරන්නම් කීව. එයා තරමක් දුරට දන්නවා මගේ ගැන. අමරාවතියේ නැවතිලා ඉන්න හිතුවේ දන්න හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න පුළුවන් කියල හිතල තමා. ඒත් යූරාත් ලන්ඩන් වලට  ඇවිල්ලලු ඉන්නේ. අනික අහම්බෙන් ඔයාවත්  හම්බ වුනානේ. වෙලාවකට හිතෙනවා හොරෙන්ම  ලංකාවට ගිහින් ගිහාන් ඉන්න තැනකට වෙලා එයාට හොරෙන් බලාගෙන ඉන්න. එයා ළමයි එක්ක සෙල්ලන් කරන හැටි.  වීශා එක්ක  ඇවිදින හැටි හොරෙන් බලාන ඉන්න. "

තාන්යා කතා කලේ හිස නැඹුරු කරගෙනය.  ගිහාන් අහිමි වීමේ වේදනාව මෙන්ම මැද පෙරදිග රටේ අත් දැකීම් ද තවමත් ඇය පෙලන බව ඔහු වටහා ගත්තේය. තව දුරටත් අසත්‍ය පවසමින් ඇය මුලා කිරීම නොමැනව යයි ඔහුට සිතුනි.

"අමරාවතියට ගොඩක් බැතිමතුන් එනව. එනිසා තේරුමක් නැහැ එතන ඉන්න එක. තාන්යා .......මට ඔයාට යමක් කියන්න තියෙනවා. "  දිගු හුස්මක් හෙලූ ගිහාන් ගැන ඔහු දත් දේ තාන්යා ට විස්තර කරන්නට පටන් ගත්තේය.

ඇගේ වෙනස් වන මුහුණ ද කඳුළු පිරෙන නිල් දෙනෙතද නිසා ඔහුට  අපහසුතාවක්  දැනිණි. තාන්යා ඔහුගේ දෑතින්ම තදින්  අල්ලා ගත්තාය. ඇගේ යටි තොල වෙව්ලන බව ඔහුට පෙනුණි. ඇය හැඞීම  වළක්වා ගත්තේ අසීරුවෙනි.

ඔහු කතාව අවසන් කරන විට තාන්යා සිටියේ ඔහුගේ උරහිසට හිස තබාගෙන නිහඬව ඉකි බිඳිමිනි.  ඔවුහු බොහෝ වේලාවක් සිතුවිල්ලේ ගැලෙමින් එලෙසම සිටියහ. ප්‍රියාන් සීරුවෙන් ඇගේ හිස ඉවත් කර නැගිට ගොස්  වයින් බෝතලයක් හැර දෙදෙනාටම වයින් වීදුරු දෙකක් වත් කර එකක් ඇගේ අතට දුන්නේ නිහඬවය. ඇය වයින් වීදුරුව තොළ නොගා ඉක්මනින්ම පිපාසාවෙන් සිටි විටෙක මෙන්  අවසන් කළාය. ඔවුහු තවත් වීදුරු දෙකක්  වත් කර ගත්හ. ඇය සෙමින් කටහඬ අවදි කළාය.

"එයා බැන්දේ නැහැ නේද "

"නැහැ තාන්යා. සමාවෙන්න, මම එහෙම කිව්වේ ඔයාගේ හිත නොරිද්දන්න, නමුත් දැන් හිතුන මම ඔයාට ඇත්තම කියන්න ඕනේ කියල "

"වාහනේ හරවනකොට වැටුන වෙන්න බැරිද? එයා එලියට ඇවිල්ල කොහේ හරි ගියා වෙන්න බැරිද? සමහර විට මොස්කව් වලට යන්න ඇති මාව හොයාගෙන. මට ආපහු යන්න හිතෙනවා මොස්කව්"

"මොස්කව් යන්න විධිහක් නැහැනේ. ඔයා ජීවතුන් අතර නැහැ කියල එයාට කිව්වේ මමමනේ. යාලුවෝ නම් කිව්වේ සිද්දිය වෙලා තියෙන්නේ රෑ වෙලාවේ කියල. නාය යන කඳුකර පළාතක දරුණු වැස්සේ ලයිට් එළියක්වත් නැති පාරක ඒ වගේ අනතුරක් වෙන්න ඉඩකඩ වැඩියි කියල. බී ජීස් ලගේ සින්දු තියන කැසට් එකක් නිලන්තට හම්බ වෙලා තියනවා ජීප් එකේ තිබිල. රුසියානු ලේබල් ගහපු" ප්‍රියාන් ඇයට මතකයක් ගෙන දුන්නේය.

"මට ඒ පිස්සු වැඩේ නොකර ඉන්න තිබ්බ. මම ඔයාට ඇත්ත කිව්වනම්. ඒත් ලේනා කැමති වුනේ නැහැ මම ස්වේතා කියල නම වෙනස් කරගත්ත කියල කාටවත් කියනවට. ඒ කැසට් එකේ තියෙන්නේ අපි දෙන්න මුලින් හම්බ වුන දවසේ අහපු සින්දු. එයා ඒ කැසට් එක ලඟින් තියා ගත්ත හැම වෙලේම. මමත් ඒකෙ සින්දු ටික දන්නවා. එයා හැම වෙලේම හිතුවේ ඛේදාන්ත ගැන. අර යුනානා හා අවොස් ගැන කියන  සින්දුවටත් එයා හරි ආසයි. අපට මෙහෙම වුනේ ඒකද ප්‍රියාන් ". තාන්යා ඇසුවේ  හදවත කිඳා බසිනා සුළු ස්වරයකිනි.

"තාන්යා හුඟක් වෙලාවට  අපි කැමතියි විරහවට, වේදනාවට වගේම සතුටටත් . ඒ සින්දු අහන්නේ ඒකයි. ඒ විඳීමයි සැබෑ ජීවිතයේ වෙන දේවලුයි  එහෙම සමපාත  වෙන්න පුලුවන්ද කියල මම දන්නේ නැහැ. "

"ප්‍රියන්චික්, ඔයාගේ නතාෂා ට මොකද වුනේ දන්නවද? කවද්ද  අන්තිමට කතා කළේ " තාන්යා ඇසුවේ ප්‍රියාන් ගේ පෙම්වතිය ගැනය.
මෙර්ස්යකොව්කි මාවත - හැතැප්මක් දකුණට ඇත්තේ ක්‍රෙම්ලින් තාප්පයයි 

"එයාට  මෙහෙ එන්න වීසා ලැබුනේ නැහැ.  හැබයි ඊට පස්සෙත් කතා කළා. මගෙන් ඇහුවා මම එහෙ එනවද කියල අහල. මම කිව්වා බැහැ කියල. ඊට පස්සේ අපි දෙන්න වෙන් වෙන්න කතා කරගත්ත. පස්සේ හදිසියක් වෙලා මුදල් වගයකුත් යැව්වා. අන්තිම සැරේට මම කථා කලාම  ගෙදර හිටියේ වෙන කට්ටියක්. ගේ විකුණලා ගියයි කිව්වා මොස්කව් වලින් පිට තට්ටු නිවාසයක් අරන්. ඒ ගේ අර්බාත්ස්කයා වල තියෙන නිසා ලොකු ගාණක් වෙනවා කියල නතාෂා කියල තිබ්බ මට. මම ඇහුවා ඒ ගෙදර අලුතින් පදිංචි වෙලා ඉන්න අය ගෙන් දුරකථන නොම්මරයක් වත් තියල ගියාද කියල. නැහැ කිව්වා. එයාට ආයි කතා කරන්න ඕන වෙන්නේ නැතුව ඇති" ප්‍රියාන් පැවසීය.

"එයා හිටිය ඒ අර්බත්ස්කයා ළඟ තට්ටු  නිවාසයට මම ගියානේ මතකද අපි බල්ශෝයි තියාතර් ගිය දවසේ. ඒ ගේ කාමර තුනක් එක්ක ලොකු ගෙයක්. ඒකෙ වටිනාකම ඔයා දන්නවද? ඩොලර් එක් ලක්ෂ පනස් දාහකට කිට්ටුයි. "

"එච්චර  ගාණක්‌ " ප්‍රියාන් පුදුමව කීවේය

" ඔව්. ක්‍රෙම්ල් එක ළඟනේ.  ඒක නතාෂා වික්කේ නැහැ කියල මම කියන්නේ ඔයාට." රුසියානුවන් ක්‍රෙම්ලිනය හැඳින්වූයේ ක්‍රෙම්ල් කියාය.

"ඒ කිව්වේ"
අර්බාත්ස්කයා වීදිය 

"ප්‍රියාන් ස්වේතා ගේ ට්‍රැවල් ඒජන්සි එක තිබ්බේ අර්බාත්ස්කය වලනේ. එහෙ ගිය වෙලේ මම නතාෂා හම්බවෙන්න හිතිලා එහෙ ගියා.  කෝල් කරාට කවුරුත් ගත්තේ නැති නිසා. ගියහම ඔයා ඔය කියන මිනිස්සුම  මාව එලව ගත්ත. පස්සේ මම හොයල බැලුවම උන් ලොකු මාෆියා කණ්ඩායමකට අයිති එකෙක්ගේ පවුලක් කියල දැන  ගත්ත. ඔයා දන්නවද මොස්කව් වල  උන දේ ගෙවල් වලට"

"සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ ඒ ඉන්න අයට ගෙවල් අයිති වුනා කියල හිතුවේ. " ප්‍රියාන් පිළිතුරු දුන්නේය.

"ඔව් එහෙම වුනා. පස්සේ මේ මාෆියා කණ්ඩායම් වයසක මිනිස්සුන්ට, තනියම ඉන්න අයට ගෙවල් විකුණා ගන්න  ඕන වුනහම ඔය වොරනේෂ් වගේ පැතිවල හරි මොස්කව්  වලින් එපිට සීමාවේ ගෙවල් පෙන්වල සල්ලිත් දෙන්න පොරොන්දු වෙලා තියනවා. එහෙම  සල්ලි දීල ඒ මිනිස්සු ඒ ගෙවල් වලට අරන් යන මුවාවෙන් අරගෙන ගිහින් මරල දාල. ඊට පස්සේ ගේ අයිති උන්ට. ඒවා ලොකු ගණන් වලට විකුණනවා තමන්ට ඕනේ අයට.  "

"ඔයා ඕක දන්නේ වලොද්යා ගෙන්ද "

"එයාලත් කීව. මොස්කව් නගරාධිපතිට අහුවුනා. එයත් හැබැයි  වොඩ්ක මාෆියා එකේ හිටි කෙනෙක්. මරපු වයසක ජෝඩු කිහිපයක් ගොඩනැගිලි අපද්‍රව්‍ය එකතුවෙච්ච කුණු වලක  දාල තිබිල හමු වුනා. ඔය විධිහට ගෙවල් විකුණලා සල්ලි හම්බ කරපු කෙනෙක් ලන්ඩන් වලට පැනල ඇවිත් තියනවා. "

"ඔව්, සල්ලි අරන් එන ඕන කෙනෙකුට එන්න දෙනවා මේ රටට. (මේ ක්‍රමය දැන් එංගලන්තය විසින් නැවත දමා ඇත) එතකොට ඔයා කියන්නේ ... " ප්‍රියාන් ප්‍රශ්නය නොඅසා නතර වුනේය.

"ප්‍රියාන්, මට නතාෂාගේ සහෝදරයාගේ බිරිඳ හම්බ වුනා. ඔයාට මතකද අර චිත්‍ර අඳින එක්කෙනා. නතාෂා මට දීල තිබ්බ දුරකථන නොම්මරේ. එයා කිව්වා නතාෂාව හොයා ගන්න බැහැ  කියල. කොහේ ගියාද දන්නේ නැහැ කියල. එයාලා හිතන් ඉඳල තියෙන්නේ ඔයත් එක්ක ලන්ඩන් ආව කියල නොකියම. නතාෂාගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා එයා තනියම හිටියේ කියල දන්නවද "

"ඔව් අන්තිම සැරේ කතා කරන  කොට ඒක කිව්වා. මම තව පාරක් උත්සාහ කලා නම් හරි. නැත්නම් එයා අහපු වෙලේ ආපහු මොස්කව් ගියානම් ඕක වෙන්නේ නැහැ."
ප්‍රියාන් ගේ දෙකකුල් වෙව්ලන සෙයක් දැනුනෙන් ඔහු මේසය ළඟම  තිබූ ඇඳෙහි ඇලවී දෙඅතින් හිස බදා ගත්තේය.

"අයියෝ " ඔහු කීවේ සිංහල භාෂාවෙනි.
තාන්යා පැමිණ ඔහු අසලින් වැතිරුනාය.
ඔහුගේ උරහිස අල්ලා මදක් ඔහු දෙසට හිස එසවූ ඇය

"ගිහාන් මොකක් හරි කරන්න ගිහින් වැරදුනාම ඔය වචනේ කියනවා "

ඇගේ දෑසින් කඳුලක් දෙකක් වැටුනේය. ගිහාන් පිළිබඳ මතකය ඇය අමතක කළ යුතුද? ඔහු ලතැවුනේය.
ඔහු ඇගේ ගෙල පෙදෙසින් මුදුව අත යවා  ඇගේ හිස මදක් ඔසවා ඔහුගේ ගෙල අසල සඟවා ගත්තේය.

බොහෝවිට දැඩි ශෝකයද මිනිසුන් ගේ හැඟීම් සහ හැසිරීම් තීව්‍ර ලෙස වෙනස් කරන්නට සමත් වන්නේය. ඔවුන් ගේ ශෝකය පොදුනම් ඒ ශෝකය තුල ඒ  වේදනාව තුල ජීවිතය විඳීමට මිනිසුන් හුරු වන්නේය.

තාන්යා හෙමින් මුහුණ ඔසවා ඔහුගේ දෙතොල සිප ගත්තාය. ඔහු ඇය දැඩි ලෙස වැළඳ ගත්තේය.

හැන්දෑවේ මුල් හෝරාව ගතවුනේ ඔවුන් දෙදෙනා එක්කරලමිනි.

~~~~~~~~~~~~~මතු සම්බන්ධයි ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~








6 comments:

  1. කලකට පෙර රස විඳි සෝවියට් කෙටිකතාවක් වාගෙයි. අතිශයින්ම සුන්දර ලියවිල්ලක්!

    ඔබ මේ ලිවීම තුල තැනෙක ප්‍රශ්ණ කරණවා ප්‍රේමය මේ කියන තරන්ම භයානකදැයි? කියා. මා සිතන විදියට එහි අපූර්වත්වයත් එයමැයි. බුදුන් වහ්න්සේ කිසිදු තැනෙක ප්‍රේම නොකරණ සමාජයක් ගැන දේශනා කොට නැහැ. ප්‍රේම නොකිරීමටවත් ආදරය නොකිරීමටවත් ඉන් එහා ගිය කිසිදු පුද්ගල සඹඳතාවයන් වලට නො එළඹෙන ලෙස පවසා නෑ. නමුත් බැඳීම ඇරඹීමත් සමගම වියෝවද ඇරඹෙන බව තෙරුම් ගැනීමයි විය යුත්තේ. වියෝවේදී අප පෙලන දුකේ මුල බැඳීම නො එසේ නම් ප්‍රේමයම බව තේරුම් කර දීමටයි උන් වහන්සේ එසේ දේශනා කොට ඇත්තේ.

    කෙසේ වෙතත් දූපත් මානසිකත්වයක් තුල අප දකින ප්‍රේමය ආදරය ලිංගිකත්වය වැනි කාරණා වලට ලැබෙන්නේ හරිම අඩු ලංසුවක්. ඒවා බොහෝ සෙයින් පුරුෂ පරමාධිපත්වය ඉදිරියේ වෙන්දේසි වන කාරණා! බොහෝ පිරිමින් හට කෙල්ලක් ගැහැනියක් යනු හෙඩ් කවුන්ට් එක වැඩිකර ගැනීමේ අවස්ථාවක් පමණයි. ප්‍රේමය යනු ලිංගිකත්වය නොමිලේ ලබා ගන්නට හැකි පහසුම මග කියලායි වැඩි දෙනා හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි //බුදුන් වහ්න්සේ කිසිදු තැනෙක ප්‍රේම නොකරණ සමාජයක් ගැන දේශනා කොට නැහැ.// මා මෙහි පවසන්නේ මිනිසුන් ඒ කිවූ දෙය වටහා ගන්නා ආකාරය ගැනයි. බටහිර රටක හෝ සෝවියට් දේශයේ ගැහැනියක හා පිරිමියකු කතාබහ කරමින් සතුටෙන් ගත කරන කාලය තුල ඕනෑම අවස්ථාවක ඔවුන් ලිංගික සම්බන්ධතාවයකට එළඹිය හැකියි. එසේම එසේ නොවී හොඳ යහළුවන් මෙන් සිටිය හැකියි. ඒවත් එක්තරා විධිහක බැඳීම් වුවත් ඒවා තාවකාලිකයි. වෙන්වීමේදී දුකක් වේදනාවක් නැහැ. එක්ව සිටීමේදී ලැබූ සතුට පමණක් ශේෂයක් ලෙස ඉතිරි වෙනවා

      Delete
  2. ඔබේ ඊලග පොත මෙය වේවා....... X 2
    එදා මේක කියෙව්වට කොමෙන්ට් එකක් දාන්න බැරි වුනා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .