Friday 20 March 2020

කොරෝනාවෙන් සමාජවාදයට ??

ඩිමිට්‍රි අර්කාදියෙවිච් නල්බන්දියන් - "සමූහ ගොවිපලක තරුණියක් "
දක්ෂිණාංශික කොන්සර්වේටිව් පක්ෂයේ මුදල් ඇමති (චාන්සලර්0 ඍෂි සුනාක් ගේ අයවැය බොහෝ දුරට "වියදම්" කිරීමේ අයවැයක් විය. එනම් ඔහු කුඩා ව්‍යාපාර හිමියන්ට සහන රැසක් දුන් අතර රැකියා ලාභීන් ගේ බදු සහනයද ඉහල දැමීය. කම්කරු පක්ෂ නායක ජෙරෙමි කෝබින් ගේ සමහර ප්‍රතිපත්ති ණයට ගත්තේ යයි සමහර කම්කරු පක්ෂ මන්ත්‍රීවරු චෝදනා ද නැගූහ.

එසේම කොරෝනවයිරසය මැඩලීම සඳහා තවත් පවුම් බිලියන 300ක්  ඔහු වෙන් කල අතර සමස්ත වැඩ කරන ජනතාවට වැඩ කලත් නොකලත් අවම වේතනයක්  (universal basic income) ගෙවීමටද යෝජනා කළේය. මෙය කෝබින් ගේ චන්ද පොරොන්දුවකි. රිෂි  සුනාක් ට  ස්තුති කරන ගමන්ම අගමැති බොරිස් ජොන්සන් පාසැල් වැසීම  මෙතරම් ප්‍රමාද කරන්නේ ඇයිද යන්න මට කුකුසක් විය. එය පැහැදිලි වුනේ ඔහු අවසානයේ පාසැල් මේ සිකුරාදා (20/03/2020) සිට වැසීමට එකඟ වුනත් එසේ කළේ අත්‍යවශ්‍ය සේවා සපයන අයගේ දරුවන්ට පාසල් ඒමට ඉඩකඩ සලසමිනි. එනම් ගුරුවර ගුරුවරියන් ඒ ළමයින් සඳහා  පාසල් පැමිණිය යුතුය. එම රැකියා අතරට සෞඛ්‍ය සේවය, පොලිසිය, ඩිලිවරි රියදුරු මහතුන්, හමුදාව ආදිය  ඇතුලත්ය. එයට හේතුව ලංකාව වැනි ආසියානු රටවල මෙන් ළමයි බලා ගැනීමට වැඩිහිටි සීය ලා, කිරි අම්මලා  එතරම් නැති වීමත් තාවකාලික නැනී ලා වියදම් අධික වීමත්ය. 

ඉංග්‍රීසි ජාතික යහළුවකු සමග කතා බහ කරන අතරේ මා ඔහුට පැවසුවේ මෙයට පිළිතුර තිබෙන්න සෝවියට් දේශය දරුවන් බලා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමය බවයි. රැකියාවට යන දෙමාපියන් ගේ දරුවන් බලා ගැනීම සඳහා  වූ නිකේතන පාසල් ක්‍රමයට සකස් වී තුබුණු අතර කුඩා දරුවන්ට එහි නිදා ගැනීමටද ඉඩ කඩ සලසා තිබුණි. පසු කලෙක ජර්මනිය එක්වූ පසු නැගෙනහිර ඒවා එසේම පවත්වාගෙන ගිය බවද නිරීක්ෂණය කලෙමි. මේවායෙහි රැකියා කරන ලද්දේ උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ලත් ගුරුවර ගුරුවරියන්ය. එක්සත් රාජධානියේ එවන් උසස්  අධ්‍යාපනයක් අවශ්‍ය නැත. වසංගත අවස්ථාවක සෝවියට් රජයට මේ පාසල් වැසීමට අවශ්‍යතාවයක් නැත.  
සෝවියට් දේශයේ ප්‍රශ්න බොහෝ තිබු බව අපි දනිමු. එය බිඳ වැටීමට ඒවා හේතු වන්නට ඇත. නමුත් එහි පැවතුන සාධනීය දේ වර්තමාන සමාජ ප්‍රවර්ධනය සඳහා යොදා ගත හැකිය. මේ එවැන්නකි.  

ඊළඟ කතාව කුකුලන් ගැනය. මේ ලිපියේ මම ඒ ගැන කලින් කතා කලෙමි.  
සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්
 අපි එම "රජයේ" කුකුළු මස් කෑමට අකමැති වූයෙමු. ඒවා රබර් වගේ ඇදෙන ගං කුකුළු මස් ජරාව බව ඇතැමෙක් කීහ. මේ කුකුළු මස් න්‍යෂ්ටික යුද්ධයක් හෝ වංසගත තත්වයකට මුහුණ දීමට මාස  හය හත විශාල අධි ශීතකරණ වල බහා තබා ගෙන පසුව වෙළඳ පලට නිකුත්  කරන බව ඇතැම්හු පැවසූහ.  සෝවියට් දේශය බිඳ වැටීමට ආසන්න කාලයේ හොලන්ඩ්  වලින් ගෙනා බ්‍රොයිලර් කුකුල්ලු ඊට වඩා රසවත් විය.  

නමුත් එම කුකුලන් දවස් 28 කුකුලන් බවත් , උන්ට කකුල් විහිදා කුකුල් හඬ නැගීමටවත්  අවසරයක් නැති බවත් ස්ටෙරොයිඩ් ගසා පුම්බා ඇති උන් කෑමට ගැනීම පිළිකා කාරක කෑමට ගැනීමක් බවත් දැන් අපි දන්නෙමු. අපි දැන් හොයන්නේ ගං කුකුලන් (organic) ය. 


රුසියානු ආච්චිගේ රිසයිකල් බෑගය 
තෙවැන්න නම් රුසියානු මිනිසෙකු හෝ බොහෝ දුරට බබුෂ්කා (මිත්තණියන්) සුපිරි වෙළඳ සැල් හෝ සාමාන්‍ය වෙළඳ සලකට, පොළට රැගෙන ගිය නැවත භාවිත කල හැකි (recycling ) බෑගයයි.  කිසිම නවීන පෙනුමක් නැති එම පරණ වුනු එම බෑග අපට සිනහ  උපදවන සුළු විය.  මා ඇතුළු ඇතැම් තරුණ සිසුන් ඒවාට සිනාසුනා මතකය.  අපි ඉතා ආඩම්බරයෙන් බටහිර රටවලින් බඩු මිලට ගත් විට දෙන විච්චුර්ණ පාට පාට ලස්සන විලාසිතාවන්ගේ මුහුණු පිරුණු ප්ලාස්ටික් බෑග ආඩම්බරයෙන් රැගෙන ගියෙමු. ඒ දවස් වල එය කූල් (cool) දෙයකි. (fashionable )

පියකරු රුසියානු යුවතියන්ද විදේශිකයන්ගෙන් ලත් එවන් ප්ලාස්ටික් බෑග් ආශාවෙන් රැගෙන ගියහ.

 දැන් මැදිවිය අවසන් කරමින් සිටින මා ලෝකය ප්ලාස්ටික් ව්‍යවසනයෙන් මුදා ගන්නට පරණ. නැවත  භාවිතා කළ හැකි බෑග වෙළඳ සලට යාමට භාවිතා කරමි.  දැන් කූල් බව එයයි.
මගේ මිතුරා නැවතත් ඈනුමක් අරී . ඔහු මගේ කතාවට  කැමති නැත.

"අජිත් ඔබ හැම වෙලේම සෝවියට් දේශයේ උදාහරණ ගේනවා. ඊට පස්සේ අපට දෝෂාරෝපණය කරනවා. අපිමොනවාද කළේ "

මම ඔහුට පිළිතුරු දෙමි.
"මුකුත් කළේ නැත" (Nothing)

මාද ඇතුළුව , අප කිසිවක් කලේ නැත.


ඒ රට බිඳී වැටීම කම්පනයක් ඇති කලද ඒ ගැන  සතුටු වුනෙමු. 
"දැන් රුස්සාට පිට රට යන්න පුළුවන්. පිටරට බඩු ගන්න පුළුවන් " අපට මෙන්ම බහුතරයක් සෝවියට් වැසියනටද  හිතුනේ එලෙසය. 

මට දැන් හැඟෙන්නේ සෝවියට් දේශය හිතුවක්කාරී තරුණ දරුවෙකු වශයෙනි.

හදා ගන්නට තිබුනා  නේද යයි සිතේ. 


පින්තූරය  The Collective Farm Girl

ඔබට සමාජවාදය ගැන  නව කියවීමක් අවශ්‍ය නම් පරණ වාමවාදී පක්ෂ වලින් එය ගත නොහැකිය. ඔවුන් ගේ යල්පැනගිය මතවාදයන්  ප්‍රතික්ෂේප වී ඇත. ඔවුන් ඔබට කියා දුන්නේ අප දුටු සමාජවාදය නොවේ. 
ඒ සඳහා ඔබ යා යුත්තේ මෙතනටය .


10 comments:

  1. අජිත් ධර්ම මහතා දැන් කියා සිටින්නේ රුසියාව පව් කියායි. එනමුත් අපට නම් කියන්නට ඇත්තේ අජිත් ධර්ම මහතා පව්,හදා ගන්නට තිබුනා නේද කියායි.

    ReplyDelete
    Replies
    1. කියන දෙයක් තේරෙන්නට කියනවකො. රුසියාවට නෙමේ පව් කියන්නේ. පව් කියල වැඩක් නැහැ . සෝවියට් දේශය ගැන කියන්නේ .රුසියාවට වඩා ලොකු රටක්

      Delete
    2. අජිත් මහතාට යමක් පැහැදිලිව ලියා පලකිරීමේ හැකියාවක් නැති නිසා කොමෙන්ටුද එලෙසම ලැබේ

      Delete
  2. හැම නරකකම හොඳකුත් , හැම හොඳකම නරකකුත් තියෙනවා වහේ නේද අජිත් මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත නිදි මචන්

      Delete
  3. සමාජවාදය ඇතිකිරීමට නම්
    කෝවිඩ්19 යන නම වෙනුවට දෙමළ ජනතාව සඳහා විකල්ප දෙමළ නමක් හඳුවාදී එයට ඉංග්‍රීසි නම හා සම තැනක් ලබාදිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. සමාජවාදය ඇති කිරීම ගැනම නෙමේ කියන්නේ . සමාජවාදයේ හොඳ දේවල් උකහා ගන්න එක , දෙමල කතා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුමක් නැහැ.

      Delete
  4. අජිත් කියනවා වගේ ඕනෑම කෙනෙකුගෙන් හෝ ක්‍රමයකින් හොද දේ තමන්ට ගැලපෙන විදිහට ගන්න එක තමයි වටින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , මම ක්‍රම දෙක තුලම ජිවත්ව සිටි නිසා දෙපැත්තේම හොඳ දකිනවා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .