Thursday 17 July 2014

ධනවාදය පවත්වා ගැනීමේ අලුත්ම ස්ට්‍රැටජිය (උපාය)

ආණ්ඩුව: අපි මුදල් සුරැකුම්පත්  (බැඳුම්කර -bonds) ඔබට විකුනන්නම් ඔබේ නය වලින් ඔබව මුදවා ගන්න.
බැංකුව : අපි සල්ලි නයට ගන්නම් ඔබෙන් , එතකොට අපිට පුළුවන් ඔබෙන්  සුරැකුම්පත්  (බැඳුම්කර -bonds)  (මිලදී ගන්න. 
අපි පෙර ලිපියෙන් සාකච්චා කලේ ලාභය ගැන හෙවත් අතිරික්ත වටිනාකම ගැන. ඒ ගැන ඇතිවුන සංවාදයේදී වැදගත් කරුණු කීපයක් මතු වුණා. ඒ ලිපිය  හා කොමෙන්ටු මෙතනින් .

එනම් මාක්ස් කිව්වා වගේ ලාභය දිගටම වැඩිවෙන මේ අනවරත ක්‍රියාවලිය දිගටම ගෙන යන්න බැරි වුණාම , සූරා කෑම සාධාරණිකරණය (justify ) කරන්න බැරි වුනහම මොකද කරන්නේ. මෙතන අර්බුදයක් ඇති වෙන බව පෙනෙනවානේ. මාක්ස් ඉන්න කාලේ මේ අර්බුදය මිට වඩා දරුණුවට තිබ්බ. එතකොට මොකද වුණේ ? එංගලන්ත අධිරාජ්‍යය මිනිසුන්ව පැටෙව්වා අධිරාජ්‍යය පුරාවට. ඔස්ට්‍රේලියාව , නවසීලන්තය වැනි රටවල් ඇති කලා. අලුත් ධනවාදී රටක් (ඇමෙරිකා එක්සත් ජනපදය) බිහි කලා අධිරාජ්‍යවාදය විසින්.  මාක්ස් කියපු ධනවාදයේ අවසන් වීම වුනේ නැහැ. මේ ගැන ලියු ලිපිය මෙතනින් බලන්න.

එම තත්වයන් දෙකක් ලෝකයේ නැවත ඇතිවුනා . රැකියා විරහිත භාවය හා සම්පත් කොල්ල කෑම වැඩි වුනා. ඊට පිළිතුර වුනේ පලවන ලෝක යුද්ධය. ඉන්පසු ආව ආර්ථික අවපාතය. ඊට ධනවාදයේ පිළිතුර හිට්ලර් ගෙන් පටන් ගත් ජාතිවාදී සමාජවාදය. ඉන්පසු දෙවන ලෝක යුධ්දය ඇරඹුන. ධනවාදය සෝවියට් දේශයේ හැකියාවන්ට තර්ජනය කලේ එහෙම. සෝවියට් දේශයේ ක්‍රියාත්මක වුනේ ස්ටාලින්ගේ රාජ්‍ය ධනවාදය. සමාජවාදී ලක්ෂණ සහිතව.
දැන් නැවත ඇතිවෙන ආර්ථික අවපාතය හා කඩා  වැටීම ජර්මනිය හා බ්‍රිතාන්‍යය තරමක් දුරට නවත්වා ගෙන තිබෙනවා. නමුත් ඇ.එ. ජනපදයට එය තවම කරන්න බැරි වෙලා තිබෙනවා. චීනයේ ලාභ ශ්‍රමය නැති වී ගෙන යනවා. චීනය දියුණු වෙමින්  යන නිසා. අප්‍රිකාවේ ශ්‍රමය තවම දියුණු නැහැ ආසියාවේ තරම්. යුරෝපයේ රටවලට සමාජ සුභ සාධන ගෙවීම් (benefit ) දෙන්න තවත් බැහැ . බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් රජය සුභ සාධක ගෙවීම් කපා  ගෙන කපා  ගෙන යනවා. සෝවියට් දේශයට පෙනෙන්න හා ජනතාව මුලා  කරන්න මේවා දුන්නට බදු වලින් හා තමන්ගේ ලාභයෙන් මේවා ගෙවන්න ධනපතියෝ කැමති නැහැ (දැන් සෝවියට් දේශය නැති නිසා ) . මධ්‍යම පන්තිය මේ සුභ සාධන වලට එරෙහිව ක්‍රමානුකුලව පෙළ ගස්සනවා ධනපති මාධ්‍ය විසින්. අපිත් සමහර වෙලාවට මේ පච වලට අහු වෙනවා.
නැවත ලෝක යුධයක් ඇති කරන්න බැහැ . සම්පත් හා දේශපාලන බලය  බෙදා ගැනීම සඳහා  යුරෝපියානු සංගමය හා රුසියාව අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය යුක්රේනයේ රට බෙදා ගැනීමේ සිවිල්  යුද්ධයක් දක්වා පරිවර්තනය වී අවසන්. රුසියාව තම අධිරාජ්‍යවාදී වුවමනාවන් සපුරා ගැනීම සඳහා යුරේසියානු සංගමයක් පිහිටුවාගෙන තිබෙන අතර පුටින් තම ධනපති ක්‍රමය වස ගැනීම සඳහා සහෝදරයා යන සමාජවාදී ව්‍යවහාරය භාවිතා කරමින් රුසියානු ජනතාව මුල කරමින් සිටිනවා. ඒ බව හෙළි කරමින්  ලියු ලිපිය මෙතැනින් බලන්න.  ඒ සඳහා රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් නුත් සහයෝගය දෙනවා. රුසියාවට පක්ෂ සාමාන්‍ය  යුක්රේනියානු ජනතාව මේ සිතා  සිටින්නේ නිවැරැදි සෝවියට් බලයකට ඔවුන් නැවත යන බවයි. ඔවුන් භාවිත කරන දැකැත්ත සහ මිටිය කොඩි, ඔවුන්ගේ සටන් පාඨ  මේ සඳහා  උදාහරණ.
සිදුවන්නේ කුමක්ද යන්න ගැන වාමාංශික පක්ෂ වලට හැඟීමක් තිබෙනවද?  රුසියාව, ඉන්දියාව, චීනය, බ්‍රසීලය තම BRIC සංවිධානය මගින් බැංකුවක් පිහිටුවා අවසන්. ඔවුන් ඩොලරයට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සිටිනවා.
මම පසුගිය 2010 වසරේ  රාජකීය තාරකා  සංගමයේ (Royal  Astronomical  Society ) දේශනයකට ගියා.  මාතෘකාව උල්කාපාත (වචනය හරිද දන්නේ නැහැ)  හෙවත් ඇස්ටරොයිඩ  (asteroid ) වල වටිනා  ලෝහ කැනීම් ගැන.
එම දේශනය මෙතනින් බලන්න. 
අජටාකාශ යානා උල්කාපාත /ඇස්ටරොයිඩ   වලට බස්සා ඒවා හාරා වටින මුල ද්‍රව්‍ය රැගෙන ඒම . මේ අදහස වැඩි දියුණු වී තිබෙනවා තව දුරටත්. BBC ලිපිය බලන්න.
හේතුව නම් සම්පත් සඳහා වන අරගලය උත්සන්න වීම හා ලාභ අඩු වීම. අනික විද්‍යාවේ දියුණුවට කාටවත් අභියෝග කරන්නත් බැහැ. නමුත් රුසියාව විසින්  අගහරු ලෝකයට යාම පරික්ෂ කිරීම සඳහා දවස් 200ක් මිනිසුන්  අජටාකාශ යන කාමරයක තබාපරීක්ෂා   කිරීමෙන් පසු ඇමෙරිකාව, චීනය, රුසියාව හා යුරෝපා සංගමය සඳේ හා අඟහරු ලෝකයේ ජනාවාස පිහිටුවන්න සැලසුම් කරනවා කියල හෙළි වුණා.
දැන් කල්පනා කරලා බලන්න. මාක්ස් කීව  පෙරලිය සිදු වුනේ නැහැ ඉහත කිව වගේ අධිරාජ්‍යවාදය වෙන  රටවල් සූරා කෑම (සම්පත් සඳහා) සහ ,  තම දුප්පත් හා සුළු අපරාධ කල ජනයා අල්ලා  ගත්  රටවල් වල පදිංචි කිරීම මගින්.
දැන් වෙන්න යන්නේ ඊට සමාන දෙයක්. අජටාකාශ යානා නිපදවිමම ලොකු කර්මාන්තයක් . බ්‍රිතාන්‍යය  අජටාකාශ යානා  නැවතුම් (space  port ) පොලක් සැදීමට සැලසුම් ගහල ඉවරයි. ලබන දශකය තුල ඇස්ටරොයිඩ හෑරීම, හා ලග ලෝක වල ජනාවාස පිහිටුවීම සැලසුම් කරගෙන යනවා. මේවා වල වැඩ කරන්න ගෙනි යන්නේ හා පදිංචි කරන්න ගෙනි යන්නේ කවුද? යුරෝපයේ හා බ්‍රිතාන්‍යායේ රැකියා විරහිත , සමාජ ආධාර (benefits ) වලින් ජිවත් වෙන මිනිස්සු. යන්න බැහැ  කිවොත්  ආධාර කපල එලියට දානවා ගෙවල් වලින්. නැත්නම් හිරේ. අපරාධකාරයෝ ඇස්ටරොයිඩ කැණීම සඳහා පුහුණුව දී ගෙන යාමට හැකියි.
අනිත් ප්‍රශ්නය තමයි විද්‍යාවේ දියුණුව සමග මිනිසුන් හුඟක් වැඩ වලට අවශ්‍ය වෙන්නේ නැහැ. යන්ත්‍ර සුත්‍ර වලින් ඒවා කෙරුව හැකි. විරැකියාව තව වැඩි වෙනවා වෙන කර්මාන්තයට යෙදෙව්වේ නැත්නම්. ඒක එන්නේ හඳේ සහ අඟහරු ලෝකයේ ජනාවාස පිහිටුවන්න අවශ්‍ය දේ හදන විශාල කම්හල් එක්ක.
දැන් මේ කතාව හීන මවන පිස්සෙකුගේ කතාවක් හැටියට පෙනෙන්න පුලුවන් . බ්‍රිතාන්‍යය වගේ "මානව හිමිකම් " රකින රටක එහෙම වෙන්න පුලුවන්ද?
මේ බ්‍රිතාන්‍යයම තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ගෙවන්න කිව්වේ. බොරිස් ජෝන්සන් (ලන්ඩන් නගරාධිපති ) කැරලි මර්දනය කරන්න වතුර බවුසර් අරගෙන ලෑස්ති වෙනවා.
මම මේ කියන්නේ තව අවුරුදු 20කින් 2020 -2050 අතර මේ දියුණු රටවල් කරන්න බල පොරොත්තු වෙන දෙයක්.
ඉන්දියාව කරන අඅභ්‍යවකාශ  වැඩ මෙතනින් . . 
අර ඔස්ට්‍රේලියාව පිහිටුවද්දී සිද්ධ වුන වගේ දෙයක් නැවත සිද්ධ වෙනව. මාක්ස් කීව  මතකද ඉතිහාසය පුනරාවර්තන වෙනවා සර්පිලාකාරව කියල.  දයලේක්තිකව පලවන මොහොතට වඩා ඉතිහාසය නැවත රඟ දැක්වෙන  දෙවන මොහොත උසස්. (තාක්ෂනය මුදල් ආදී දේ බැලුවහම ).
මෙතැනදී තව කරුණක් කියන්න ඕනේ? විද්‍යාඥයන් මෙතන දිනයිද යුද වාදීන් දිනයිද කියන එක විශ්වාස නැහැ?
ජේම්ස් බොන්ඩ් හා ඒ වගේ අනිත් අමෙරිකානු චිත්‍රපටි  වල දුෂ්ටයා  වුනේ උතුරු කොරියාව හා කියුබාව දැන් අවුරුදු දහයකට කලින්. දැන් දැන් ඒ තැන නැවතත් රුසියාව හා මුස්ලිම් ත්‍රස්තවාදය අරගෙන වගේ. (මෙතැනදී තවත් ධනවාදී රටක් වන රුසියාව ශුද්ධ කරන්න මට අවශ්‍යතාවයක් නැහැ)  24 වගේ රුපවාහිනී සිනමාව ගෙන බලන්න කවුද දුෂ්ටය කියල? මහජන මතය හදන හැටි බලන්න නැවතත් යුද්ධයකට?
වාමාංශික පක්ෂ කියන විධිහට ධනවාදය භංග වේද ? ඊළඟ පිම්ම පනීද  ?

Thursday 10 July 2014

මාක්ස් ලාභය ගැන - අතිරික්ත වටිනාකම -(ප්‍රාග්ධනය අංක 8)

(ප්‍රාග්ධනය අංක 8)

අතිරික්ත වටිනාකම හෙවත් අපි සුලභව හඳුන්වන ලාභය ගැන මාක්ස් ලිව්වේ මෙහෙම දෙයක්. අපි පසුගිය ලිපියේ කතා කලේ භාණ්ඩ - මුදලට හා මුදල් නැවත භාණ්ඩ වීමේ ක්‍රියාවලිය. ( C - M - C - commodity  - money - commodity  )

(මෙය මෙහි පැහැදිලි කර ඇත. සංසරණ මාධ්‍යය - ප්‍රාග්ධනය)

දැන් අපි අරගමු මෙන්න මේ ක්‍රියාවලිය. මුදලින් භාණ්ඩයක් ගැනීම සහ එය නැවත විකිණීම (හෙවත් මුදලට හුවමාරු කිරීම ) - මුදල්-භාණ්ඩ - මුදල් හෙවත් M - C - M ක්‍රියාවලිය. මෙය බැලූ බැල්මට නැවත නැවතත් සිදුවන තේරුමක් වැඩිය නැති ක්‍රියාවලියක් වගේ. හුඟක් වෙලාවට මුදලේ ප්‍රමාණය වෙනස් වෙන්න හෝ භාවිතා කරන මුදලේ වර්ගය වෙනස් වෙන්න හෝ පුළුවන්. ඒ කියන්නේ පවුම් 10 කට අරගෙන එයම පවුම් විස්සකට හුවමාරු කිරීම (විකිණීම) නැත්නම් ඩොලර් 10 කට අරගෙන පවුම් 10කට දීම. මේ තේරුමක් නැති M - C - M ක්‍රියාවලියට තේරුමක් එන්නේ එහෙනම් භාවිතා කරන ප්‍රමාණය මත. වැඩි ගණනකට හුවමාරු වෙනවා නම් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වෙනව.

අපි හිතමු වටින සේද රෙද්දක් පවුම් 100 කට ගත්ත කියල. ඒක මම විකුනනවා 110 ට. මේ ක්‍රියාවලිය අර සමිකරනයෙන්ම ලියුවොත් එන්නේ මෙහෙම.

මුදල්-භාණ්ඩ - මුදල්' හෙවත් M - C - M'.
මෙන්න මේ ලකුණ ' බලන්න;
ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.
එනම් මුදල' හෙවත් M' = M +ΔM. මෙහිදී ΔM=පවුම් 10. 

[ මේ ලකුණ Δ ග්‍රීක අකුරක් වන ඩෙල්ටා - මෙහි ගණිතමය අදහස වන්නේ වෙනස (difference) හෝ අගයේ (සංඛ්‍යාත්මකව) වෙනස් වූ ප්‍රමාණය යන්නයි]
මෙන්න මේ වෙනස් වූ අගයේ ප්‍රමානාත්මක වටිනාකම වන ΔM (ඩෙල්ටා M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව.(expands itself)

මෙන්න මේ ක්‍රියාවලිය මුදල් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කරනු ලබනවා.
(මෙසේ කියා ඇත්තේ මාක්ස් ගේ ප්‍රාග්ධනය මුල් කොටසේ පලමුවන වෙළුමේ, මතක තබා ගත යුතු දෙයක් වන්නේ මාක්ස් මෙය තව දුරටත් විකාශනය කරමින් ප්‍රග්ධනය ඇතිවන හැටි පෙන්වා දෙනවා ප්‍රාග්ධනය 2 වන වෙළුමේ)

ඒ කියන්නේ මාක්ස් කියන විධිහට මේ අතිරික්ත වටිනාකම හෙවත් ලාභය ප්‍රග්ධනය හැටියට පරිවර්තනය වෙනව. (මෙහිදී සඳහන් කරන්න ඕනේ මෙයට පිළිතුරු ලෙස බොහෙම් බෝවෙර්ක් ලියු ලිපියෙන් පසු මාක්ස් මේ ගැන දෙවන වෙළුමේ දීර්ඝ පැහැදිලි කිරීමක් කල බව. ඒවා මෙතන සාකච්චා වෙන්නේ නැහැ. )

අනවරත (නොනවතින) ලෙස සිදුවන භාණ්ඩ - මුදල් - භාණ්ඩ C - M - C ක්‍රියාවලිය පාලනය කරන්නේ මුලිකවම පරිභෝජනය විසින්. එනම් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. නමුත් මුදල්-භාණ්ඩ- මුදල්; M - C - M, යන ක්‍රියාවලිය ගත්තොත් මුල හා අග ඇත්තේ මුදලයි. මෙය මෙම ක්‍රියාවලිය අනන්තය දක්වා දික් ගස්සනවා.
M + ΔM ( delta M) යන්න නම් M මුල් මුදලේ අගයෙන් වෙනස් වන මුත් එයත් කිසියම් මුදල් ප්‍රමාණයක් විතරයි (උදා. 110). හැබැයි අපි එය වියදම් කලොත් එය තව දුරටත් ප්‍රාග්ධනය බවට පරිවර්තනය නොවේ. එසේම අපි එය මේ ක්‍රියාවලියෙන් (මේ සන්සරණයෙන්) ඉවත් කලොත් එය නිධානයක් (එකතු කර ගත්;තොගයක් හෝ සංචිතයක් - මාක්ස්ගේ වචනය hoards) බවට පත් වෙනවා. වටිනාකම ප්‍රසාරණය වීමේ උවමනාව හඳුනා ගත් පසු එය පසු; මුදල' (M' ) හා මුල් මුදල (M ) යන දෙක අතරේම පවතින බව පෙනේවි. ඒ නිසා ප්‍රග්ධනයේ චලිතය (ගමන) සිමා රහිත බවත් එහි අරමුණ මේ ක්‍රියාවලිය මුදුනේ හෝ අග හෝ සාක්ෂාත් කරගෙන නැති බවත් තේරුම් ගත යුතුවේ. (මාක්ස් මෙතන මේ කියන්නේ ලාභ ලබා ගැනීමේ කෙළවරක් නැති බවයි).

මේ ක්‍රියාවලියේ ප්‍රධාන නියෝජිතයා වනමුදල් අයිතිකරුවා ධනපතියා (capitalist) බවට පත් වේ. මෙතැනදී කල්පනා කරන්න මෙහෙම. ඇයි  ධනපති හෝ දිළිඳු රටවල බැංකු වලින් පුංචි ව්‍යාපාර සඳහා නය ආධාර දෙන්නේ. ඔබ යම් මුදල් ප්‍රමාණයක අයිතිකරුවකු වෙන තුරු ඔබ ධනපතියකු වීම සඳහා අඩිතාලම වැටෙන්නේ නැති නිසා. ඊළඟට හැමෝම ලොකුවට කතා කරන බිල් ගේට්ස් ගමු. ඔහු තමන් මුලින් බිස්නස් කල හොයා ගත්  මුදලින් සියැටල් කොම්පැනියකින් ඩොලර් 50000 ගෙවා ගත් පරිගණක මෙහෙයුම් පද්ධතිය මදක් වැඩි දියුණු කර IBM වලට විකිණුව. ඔහු ලාභය ගත්තේ එහි license හෙවත් බල පත්‍රය පාවිචි කරන ගානට විකිණීම හා එහි අයිතිය තමන් සතුව තබා ගැනීමෙන්. අනිත් අයට විකිණීමේදී එහි ලාභය හැම වෙලේම වැඩි කලා. එය අනවරත ක්‍රියාවලියක් නිසා ඔහුගේ ආදායමත් ඒ වගේම වැඩි වුණා. මෙතැනදී ඔහු විසින් එම මෙහෙයුම් පද්ධතිය අලුත්වැඩියා කිරීම හා රැකියා අවස්ථා ඇති කිරීම ගැන සාකච්චා කරන්නේ නැහැ.

මෙය ලියුවේ පහත කොමෙන්ටුව තේරුම් ගන්න ආධාරයක් වශයෙන්.

බ්ලොග් කරුවෙකුගේ ප්‍රශ්න:
 සමාජ සුභ සාධක - මට තියන ප්‍රශ්නෙ තත්වය ඕක නම් කොහොමද ලාභය අනවරත ව වර්ධනය වෙන්න කිසිම විදියක් නෑ.එක නිෂ්පාදකයෙකුට ආදායමක් ලැබෙන්නෙ එයාගෙ නිෂ්පාදන විකුනලයි.ඒ නිෂ්පාදන මිලට ගන්න අය ට සල්ලි ලැබෙන්නෙත් වෙනත් නිෂ්පාදකයකු ලඟ සේවය කරලයි.එහෙමනම් ලාභ ලැබීමේ වේගය වැඩි වෙන්න බෑ.කිසියම් අවස්ථාවකදි මේක හිර වෙන්න ඕන නේද?පොදුවෙ ගත්තම ලාභ ලැබීම නතර වෙන්න ඕන.මට හිතෙන්නෙ යුරෝපයෙ දැන් ඒක වෙලා කියල.ප්‍රාග්ධනය ගැන ඔයාට හොඳ දැනුමක් තියන හින්ද ඔයාට කොහොමද ඒක හිතෙන්නෙ.මම නම් ප්‍රාග්ධනය පොත කියවල නෑ.ඔය වටින් ගොඩින් අහපු දැනගත්ත දෙයක් මිස.

පිළිතුර - ඒක හින්ද තමයි මාක්ස්වාදයේ කියන්නේ ලාභය කෘතිමව  වැඩි කරනවා කියල. මේ ලාභය තමා ධනපති පන්තිය බිහි කරන්නේ. ලාභ ලැබීමේ වේගයත් කෘතිමව තමා වෙන්නේ. මාක්ස් මේක තම ග්‍රන්ථයේ පලවෙනි කොටසේ ලිව්වා එකට බොහෙර්ම් බෝවෙර්ක් එකඟ නොවී විවේචනයක් ලියා පළ කලා. පස්සේ මාක්ස් දෙවෙනි වොලියුම් එකේ දී නැවතත් පැහැදිලි කලා . යුරෝපයේ හැම භාණ්ඩයකම සංයුක්තව ගත්තම ලාභ ලැබීම නතර වෙලා නැහැ. එයට හේතුව යුරෝපයේ නිෂ්පාදකයා පාවිචිචි කරන්නේ අඩු ශ්‍රමය. එංගලන්තයේ මාර්කස් ඇන්ඩ් ස්පෙන්සර් කම්හල තියෙන්නේ ලංකාවේ හොරණ. අයිෆෝන් කම්හල් තියෙන්නේ චීනයේ (අඩු පඩියට ) ඒ වගේ. ඊළගට යුරෝපයේ හොඳ වාහන වැඩි ගානට විකිනෙන්නේ දුප්පත් රටවල් වල හා චීනයේ, රුසියාවේ. එනිසා ඒ ලාභ එහෙමමම්යි. නමුත් මදි. මේක හදන්න නම් යුද්ධයක් ඕනේ. ඔයාට ඔය තේරෙන හැටි හරි. දැන් උක්රයිනය අවුලන්නේ ඒකයි . ඔය ඉරාකේ ගහන අයිඑසයිඑස් එකට මුලින් ආයුධ දුන්නේ කවුද සිරියාවේ ගහන්න ?

 සමාජ සුබසාධක: ඔබ හරි. ඔය දේ තමයි වෙන්නෙ. දැනට යුරෝපයෙ නිෂ්පාදන වල ලාභය ක් ඇති.ඒ ආසියානු අප්‍රිකානු රටවලින් ලාභ ශ්‍රමය ගන්න නිසා. ඒත් මේ වැඩේ හැමදාම කරන්න බෑ. අපේ රටේ වුනත් ගාමන්ට් වල වේකන්සි පුරවන්න බෑ. මොකද මේ පඩියට කට්ටිය එන්නෙ නෑ.අපි දන්නව ගාමන්ට් වල උපරිම ශ්‍රම සූරාකෑමක් වෙනව .මෙහෙම සූරාකන එකෙත් සීමාවක් තියනව.පුටුවෙ වාඩිවෙන එක තහනම් කරල,මුත්‍රා කරන එකට කාඩ් ක්‍රම හදුන්වල දීල කරන්න පුළුවන් උපරිම වධ දීලත් සූරාකන්න පුළුවන් උපරිමයටම සූරා කාල දැන් ඉතිරිවෙලා තියෙන්න කස පහර දෙන එක විතරයි. ජීවන වියදම ඉහල යාමත් එක්ක මේ පඩි මදි.අපේ වගෙ රටවල ආර්ථික වර්ධනය වෙන කොට ජීවන වියදම වැඩි වෙනව.තව දුරටත් ලාභ ශ්‍රමය සොයාගෙන ආසියාවට අප්‍රිකාවට යන්න බැරි වෙනව.වැඩි පඩි ගෙව්වොත් ලාභයක් නැතිවෙනව කියමු.එහෙම වුනොත් ඉදිරියෙදි ආසියාවෙයි යුරෝපයෙයි නුපුහුණු කම්කරු වැටුප් සමාන වෙයි.
ලාභ ශ්‍රමය ගැන කියනවනම් ඔය කම්හල් ලඟදිම වැහෙනව.දැනටත් ගාමන්ට් වැහීගෙනනෙ යන්නෙ.ආසියාවට අප්‍රිකාවට අලුත් කර්මාන්ත ඉදිරි දශාක්යෙදි එයි කියල හිතන්න අමාරුයි.

පිළිතුර:මේක කාලය පිළිබද ප්‍රශ්නයක්.කවදහරි ලාභය වර්ධනය වෙන එක නතර වෙනව. ධනපති පන්තියෙ අවසානය උදා වෙන්නෙ එදාටයි.මේක ස්වාභාවික ක්‍රියාවලියක්.

මට හිතෙන විදියට ලංකාවෙ ශ්‍රමිකයකුගෙ වැටුප වගෙ දහ ගුණයක් දියුණු යැයි කියන රටක ශ්‍රමිකයෙකුගෙ වැටුප. අපේ රටවල වැටුප් වැඩි වුනාට ඒ වේගයෙන් අර රටවල වැටුප් වැඩි වෙන්නෙ නෑ.අපේ රටවල වැටුප් අර මට්ටමට එනව මිස.ග්‍රීසිය,ස්පාඥය වගෙ දකුණු යුරෝපීය රටවල ආර්ථිකය ඍන වෙනව.මේ දෙරටත් කඩා වැටෙන එක පටන් අරන්ද මන්ද.යන්තම් අල්ලගෙන ඉන්නෙ බ්‍රිතාන්‍යයයි ජර්මනියයි විතරයි.මම හිතනව සමස්තයක් වශයෙන් චීනය හැර ලෝකෙ හැම ආර්ථිකයකම වර්ධන වේගය 2.0 ට අඩු වෙලා.දැනටම ඒක වෙලා හුඟක් රටවල. මේක මෙහෙම වෙලා අද හෙටම ආර්ථික වර්ධනය 0 වෙනව. ධනපති ක්‍රමය නතර වෙන්නෙ අන්න ඒ වෙලාවෙ.

ප්‍රශ්නය - සමාජ සුභ සාධක කියනවා වගේ ලාභය වර්ධනය වන එක නතර වෙනවද? මාක්ස් කියන විධිහට M -C -M' ක්‍රියාවලිය දිගටම (නොනැවතී) සිදුවෙන නිසා ලාභය වර්ධනය වීම නතර වෙන්නේ නැහැ. ලිව්වේ 7 July 2014

Thursday 3 July 2014

දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්

මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්‍රිමානයේ  තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ  කියල තිබෙනවා මා  වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං  ප්‍රගතිශීලි ද කියල) රනිල්ට සහයෝගය දක්වනවා කියලා . ඒ කියන්නේ මෙහෙම දෙයක්. 

"3මාන වෙබ් අඩවියට එම කමෙන්ටු යොමු කරනා “ප්‍රගතිශීලීන්” මූලික වශයෙන් අවබෝධ කොටගෙන ඇති ප්‍රධානතම කාරනාව වන්නේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම යුගයේ ප්‍රගතිශීලීම කටයුත්ත බවය. මාගේද දේශපාලන ස්ථාවරය එය වේ."

මගේ ලිපි වලින් වත් කොමෙන්ටු වලින් වත් එහෙම දෙයක් කොහෙවත් ලියවිලා තිබෙනවද කියල මම කල්පනා කලා  ඇත්තටම? මම දන්නා විධිහට නම් නැහැ. මේ කොමෙන්ටුවෙන්  ගම්‍ය වෙන්නේ මෙහෙම දෙයක්. එක්කෝ මේ ලියන තැනැත්තා එජාපය ට ලැදී කෙනෙක්. එහම නැත්නම් වෙන මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයෙක් පොඩි ටෙස්ට් එකකට ලියපු දෙයක්.
 
මගේ යහළුවෙක් ඉන්නවා බොබ් චැප්මන් කියල ඇමෙරිකානු ජාතික විශ්‍රාම ලත් ඉංජිනේරුවෙක්. ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එක මගේ ඉංග්‍රීසි බ්ලොගයේ තිබෙනවා. මිනිහ උග්‍ර දෙවියන් අදහන  ක්‍රිස්තියානි ආගමිකයෙක්. ඒ වගේම අමෙරිකන් තේ පක්ෂයේ  "tea party movement " http://en.wikipedia.org/wiki/Tea_Party_movement   අනුගාමිකයෙක්. මාත් එක්ක ගිය ඊමේල සංවාදයකදී මිනිහ කිව්වා:
 අජිත් මම ඔබේ අදේව වාදය හා මාක්ස් වාදය පිළිගන්නේ  නැහැ කියල. මන් කිව්වා බොබ් ප්‍රශ්නයක් නැහැ.
 මට මේ ටික කියන්න. ඔබට මිනිස්සුන්ට රස්සා  දෙන්න ඕනේ නේද? ඔව් .  
ඔබේ දෙවියෝ මිනිසුන් වහලුන්  කර ගන්න  එකට සූරා කන එකට විරුද්දයි නේද? ඔව්
ඔබට ඔබම ගත්ත නය ගෙවන්න ඕනේ නේද? ඔව් 
ඇමෙරිකාවේ මිනිස්සු හැමෝම නය වෙලා නේද? ඔව් . 
ධනපතියෝ තව පෝසත් වෙනවා නේද?  ඔව්
ධනපතියෝ ඔයිට වැඩිය අඩුම ගානේ   දෙවියෝ කිව විධිහටවත්  ඉන්න ඕනේ නේද? ඔව්. 
ඔබට ඇමෙරිකන් රාජ්‍ය මැදිහත්වීම අඩු කරන්න ඕනේ නේද? ඔව්
නය අඩු කරන්න ඕනේ නේද? ඔව් 
රජය අහෝසි වෙලා යනවට ඔබ කැමති නේද ? ඔව් 
ඔබේ පළාතේ මිනිස්සු පළාතේ වැඩ තම තමන් විසඳ ගන්න හදනවා  නේද?  ඔව් . 
ඉතින් බොබ් මාක්ස් කියන්නෙත් ඕකමනේ? ...බොබ්   බොබ්..
.සුමානෙකට පස්සේ බොබ් ලියනවා  අජිත් ඒ වුනාට මම නිදහස් ආයෝජනයට, නිදහස් වෙළදාමට  කැමතියි. දියුණුවෙන්න පුළුවන් ඒකෙන් විතරයි
බොබ් යුරෝපේ හෙම නය වෙලා නිසා ආයෝජනය කරන්න එන්නේ අදේවවාදී චීන කොමියුනිස්ට් කාරයොයි රුස්සෝ ටිකයි නේද? ඔව්--

බොබ් දැනට ඇමෙරිකාවේ ඔත්තු සංවිධාන මාක්ස්වාදීන් හොරෙන් ඝාතනය කරලා (බොබ් ඔබේ යහලුවත් එතනට ඇතුලත්) , නැති කරලා දාන නිසා අඩුම ගානේ  අන්ත දක්ෂිණාංශික බවක් පෙනුනත් රජය අහෝසි කරන්න කැප වෙලා ඉන්න නිසාත් , ඔබ හොඳ  පුද්ගලයෙකු නිසාත්  ඔය පක්ෂෙන් හරි ඇමෙරිකාවේ ඔය ක්‍රමයට හා ඔබාමාට විරුද්ධව සටන් කරන එකට මගේ වචනෙන් හරි සහයෝගය දෙනවා. අජිත් බොහොම ස්තුතියි. අදේවවාදියෙක් වුනත් ඔබ හිතන්නෙත් අපි හිතන විධිහට

පිස්සුද බොබ් මම කල්පනා කරන්නේ ඔබේ පවතින තත්වයට සාපේක්ෂව. ....

දැන් රනිල් ඇතුළු විපක්ෂේ ඔය කියන තරම්ම හොඳ නැහැ. පුබුදු ජයගොඩ කියනවා වගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව රනිල් ගේනවා මටත් මතකයි. එහෙම කෙනෙක් මැරිලා උපදින්න විධිහක් නැහැ. රනිල් කවදාවත් පන්ති අරගලයකට සහයෝගය දෙන්නෙත් නැහැ. ඒ නිසා මම එජාපය බලයට ගෙන ඒම  හෝ රනිල් සජිත් බලයට ගෙන ඒම  ප්‍රගතිශීලි කියල කවදාවත් හිතන්නේ නැහැ.නමුත් පවතින අසාමාන්‍ය ලෙස බෙලහීන විපක්ෂයේ බෙල්ලට පොලුපාරවල්  දෙන්නත් මට ඕන කමක් නැහැ. ගහ මරා  ගන්නේ නැතුව ඕන දේශපාලනයක්. 
ත්‍රිමාණ යේ කොමෙන්ටුව: http://3mana.com/%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D/#comment-6748

Tuesday 24 June 2014

පෙරටුගාමියා සමාජවාදියෙක්ද ? සමාජවාදියා පෙරටුගාමියෙක්ද ? ත්‍රිමානය රතුද?

පෙරටුගාමී සමාජවාදියකු සමග කතා බහක් ත්‍රිමානයේ  පල කර තිබුණා. පෙරටුගාමී සමාජවාදියා  මුස්ලිම් කාන්තාවන් අඳින  නිකාභය තහනම් කල යුතු හෝ එය වැරදි බවක් කියනවලු. මම නම් කියන්නේ ඒක තමන්ගේ කැමැත්ත නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියනවා තමන්ගේ මිනිහ හෝ දෙමාපියන් හෝ සමාජය බල කරනවානම් ඔවුන් එය භාවිතා කල යුතු නැහැ කියල. ඉතින් ඒ නිදහස මුස්ලිම් කාන්තාවට තිබෙනවද? තිබෙනවා නම් කමක් නැහැ. ප්‍රශ්නය වන්නේ බොහොමයකට ඒ නිදහස නැති වීමයි. එතකොට කැමැත්තෙන් අඳින අය අර බලෙන් අන්දවන අයට පීඩනයක් එල්ල කරන්නේ නැද්ද?
මට මේක ලියන්න හිතුනේ මම ලඟදි ගිය රැස්වීමක් මතක් වුන නිසා. මිට අවුරුදු 15 කට විතර කලින් මම පාශ්වාත් උපාධියක් (MSc)  කල ලන්ඩන් සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයේ. එකේ ආසියානු ශිෂ්‍යයන්  කළු අප්‍රිකානු හෝ බ්‍රිතාන්‍ය ශිෂ්‍යයන් හා සුදු ජාතික ශිෂ්‍යයන්  සමානව වගේ ඉගෙන ගත්තා . දැන් අවුරුදු දහයකට පස්සසේ තත්වය වෙනස්. සීයට  හතළිහක් හෝ  වැඩියෙන් හෝ ඊට සමාන ගානකට දැන් මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ඉගෙන ගන්නවා. පහුගිය කාලය අතරතුර තිබු පිටරටින් එන පිරිස් (immigrants) වැඩි වීම නිසා ආසියානු මුස්ලිම් ශිෂ්‍යන්ට අමතරව මේ කට්ටිය එකතු වුණා.
ප්‍රශ්න කීපයක් දැන් මතු වෙනවා. මෙච්චර කල් බේකන් හා සොසේජස් විකුණු කැන්ටිමේ මුස්ලිම් ශිෂ්‍යයන් අපහසු තාවයකට පත් වෙනවා   කියලා  නවත්වනවා. ඔවුන්ගේ හැඟීම් ගැන සලකනවා කියල.එතකොට ඒවා කන  පුරුදු අනිත් ශිෂ්‍යයන්ට වෙන්නේ මොකක්ද? ඔවුන්ගේ හැඟීම් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? එතකොට මස් කන්නැති හින්දු ආගමිකයෙක් ආවොත් ඒවත් නවත්  වනවාද?

දෙවන ප්‍රශ්නය වුනේ යාඥා කාමරය සම්බන්ධව? මේක මුලින්ම ඉල්ලුවේ මුස්ලිම් සිසුන්. ඔවුන්ට යාඥා කරන්න ඒක  ලබා දුන්නා බලධාරීන්  . ඊට පස්සේ අනිත් සිසුන් නුත් භාවනා කරන්න හෙම යන්න පුරුදු වුනා. මුස්ලිම් සිසුන් ඔවුන් එලව දැම්ම මේක අපේ කාමරේ කියල.

තුන්වැන්න ගැන සඳහනක් පහත ලිපියේ තිබෙනවා.
http://www.huffingtonpost.co.uk/rory-fenton/flying-spaghetti-monster_b_4760031.html
මෙහි සඳහන් ක්ලොවී (Chloe) මගේ මිතුරියක්. ඇගේ පියා  මුස්ලිම් මව කතෝලික.  ඇය අදෙවවාදියි (Atheist ).  සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයේ අදේවවාදී සංගමයක් පිහිටුවන්න ඇය ඉල්ලුම් කලා . ඒ සඳහා ඇය මේ
  flying spaghetti monster කියන පෝස්ටරය භාවිතා කලා .  මෙහි පස්ටෆරියන් කියන දෙවියා  (විහිළුවක්) අදහන බව කියා දේව වාදය විහිළුවට භාජනය කරන්නක්. විශ්ව විද්‍යාල බලධාරීන් එය තහනම් කලා. ඔවුන් සහ මහා ශිෂ්‍ය සංගමයත් අදෙවවාදීන්ගේ සංගමයක් පිහිටුවීම තහනම් කලා. හේතුව කතෝලික , හින්දු, මුස්ලිම් ආදී ආගම් වල ශිෂ්‍යයන්ගේ හැඟීම් බිඳවීමට තැත් කිරීම සහ ඔවුන් ප්‍රකෝප කිරීමට තැත් කිරීම. එතකොට මේ එංගලන්තේ නිදහසට මොකද වුනේ. නිදහස් කතාවට (free  speech ) මොකද වුනේ.?

මේ විශ්ව විද්‍යාලයේ තීරණයට විරුද්ධව අදේවවාදීන් , humanists , නීතිඥයන් උද්ඝෝෂනය් කරලා අන්තිමට අදේවවාදීන් දිනුව. ඔවුන්ගේ දෙවෙනි උපන් දිනයට මමත් ගියා, ක්ලොවී, එල්ලා (Ella ) ආදී ශිෂ්‍යයන් සංවිධානය කළේ. මහාචාර්ය ග්රෙලින්ග්  http://www.acgrayling.com/  හෙම ගෙන්නලා කතාවකුත් කලා . මේක නොකළ නම් මොකද වෙන්නේ. එංගලන්තයේ English  Defense  League  වගේ මුස්ලිමුන්ට, පිට ජාතීන්ට  විරුද්ද , BNP වගේ හැමෝටම විරුද්ද ජාති වාදී සංවිධාන තියෙනවා. උන් ඇවිල්ල කාට  හරි ගහල පිස්සුවක් නටන්න තිබුණා මේක වැලකුණ හරි මිනිස්සු උද්ඝෝෂණය කල නිසා.

මේ ලඟදි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉස්ලාම් සංගමය සංවිධානය කල කතාවකදී ආව කතිකයා කතාව නොකර විරෝධය පල කරලා ඉවත්ව ගියා . හේතුව එම සංගමය ගැහැනු සිසුන් වෙනම වාඩි කරවීම. නැත්නම් ගැහැණු සිසුන් පිටු පසින් වාදී කරවීම. විශ්ව විද්‍යාලයට අරාබි රටවලින් හුඟක් සිසුන් එන නිසාත් , මුදල් ලැබෙන නිසාත් මෙයට ඉඩ දීල තිබෙනවා. වාමාංශික සිසුන් නිදහස් අධ්‍යාපනයට සටන් කරන ගමන් මෙයටත් විරෝධය පල කරනවා. අවාසනාවකට ඉන්ස්ලමික විදුහල් වල (එංගලන්තයේ) තත්වය මෙයයි. යුදෙව් හා කතෝලික විද්‍යාල මේ තත්වයේම නැහැ. මෙයත් ඔඩු දුවන ප්‍රශ්නයක්.

දැන් මම ත්රිමනයෙන් මෙහම ප්‍රශ්නයක් අහන්න කැමතියි.  අපි හැමෝම මේ බොදු බල සේනා හෝ වෙන බල සේනා හෝ කරපු වැඩේට විරුද්ධයි. ඒවා දැඩිව  ප්‍රතික්ෂේප කරනවා වගේම මොන අන්තවාදයකටවත්  අපි කවුරුත් පක්ෂ නැහැ. නමුත් බොහෝ වාමාන්ශිකයන් මහා ජාතියේ පීඩනය කියල වෙනත් ජාතීන්ව විවේචනය කරන්නේ නැහැ. ඒක  හරියි කියමු. නමුත් ඒකෙන්  මහා ජාතියේ හෝ තව වෙන සුළු ජාතියක හෝ අයිතිවාසිකම් මැකෙනවා නම් ඒකටත් සහයෝගය දිය යුතුද?  ඒ වගේම කිසියම් ආගමක් තද බල  ලෙස දක්ෂිණාංශික නම් වෙනත් මත ඉවසන්නේ නැත්නම් ඒවා විවේචනය නොකළ යුතුද ?
අපි එසේ නොකොළොත් වෙන්නේ කුමක්ද ? මහා ජාතියේ හෝ අනික් ජාතියේ  හෝ ආගමක අන්තවාදීන් එතනට රිංගන්නේ නැද්ද ? ඒක  නේද ලංකාවේ හා ඉන්දියාවේ වෙන්නේ ?
ලන්ඩනයේ අදෙවවාදීන්ගේ  සංගමය දැන් ස්ටෝල් එකක් ඇරලා හැම ඉරිදාම hyde  park  එකේ speaker's  corner  (කතා පවත්වන්නන් ගේ මුල්ල) එකේ කතාත් පවත් වනවා. picnic  දානවා. මිට කලින් මෙතන අරක් ගෙන හිටියේ කතෝලික, නව ක්‍රිස්තියානි, මුස්ලිම් කට්ටිය. දැන්  අදෙවාදීන් එතනට ගියාම අර ගොල්ලන්ට මිරිස් කැවිලා වගේ. කෑ  ගහනවා වාදයට  එනවා. පොලිසියට කියනවා. නමුත් නිදහස් රටක ඔවුන්ට වැඩි මනත් කරන්න දෙයක් නැහැ. මේක තමයි හරි. අපි ඔවුන්ට එකඟ නැත්නම්  අන්තවාදී සංවිධාන එන්න කලින් අපි ඒවාට විරුද්ද විය යුතුයි.
අන්තිමට වෙන්නේ ලංකාවේ වගේ අපට පෙළපාලි , පිකටින් පවත් වන්න වෙන්නේ ආගමික ආණ්ඩුවක්  ආවොත් අපි වගේ වාමාන්ශිකයන් මුලින්ම නැති කරන දක්ෂිණාංශික ආගම්  වාදීන් එක්ක.

Monday 23 June 2014

මොන අපායටද යන්නේ ?


පහුගිය කාලේ මට හුඟක් වැඩ අධික කාලයක් වෙලා තිබුනේ. ඉතා අනවශ්‍ය විධිහට මුස්ලිම් ජනතාවට පහර දීමකුත් වෙලා තිබෙනවා. ඒකටත් විරෝධය පල කරන ගමන් මේකත් ලියන්න හිතුව. මේක මුලින්ම ඉංග්‍රීසියෙන් ලිව්වේ. නමුත් මං හිතුව සිංහලට පරිවර්තනය කරන එක හොඳයි කියල.
මේ සාකච්චාව සිද්ධ වුනේ මෙහෙම. මමයි මා සමග එකට වැඩ කරන කාර්යාලයේ උදවියයි අතර ගිය සුහද විවාදයක්. මම දෙවියන් අදහන්නේ නැති බව කාර්යාලයේ ප්‍රචලිතයි. දැන් මෙතන යෙහෝවගේ විට්නස් කෙනෙක් (සිංහල නම මන් හිතන්නේ යෙහොවගේ පණිවිඩය හෝ සුභාරංචිය වෙන්න ඇති.) , නව යුගයේ ක්‍රිස්තියානිය නිකායේ  කෙනෙක්, කතෝලිකයෙක්, මුස්ලිම් ජාතිකයෙක් සහ අඩක් බෞද්ධ මම. අඩක් කියල කිවේ මම අදේවවාදියෙක් වෙන අතරම ආගමේ නමින් කාටවත් ගහන්න යන්නේ නැති, පුනරුප්පත්තිය වගේ දේවල් ඒ හැටියටම විශ්වාස නොකරන අයෙක් නිසා.
ඉතින් මේ හැම කෙනාම මට දෙවියෝ අරක මේක ගැන දේශනා දෙනවා. හැබැයි හැමෝම කියන්නේ එකම කතාවක්, ඔවුන්ගේ ආගම තමා හරි, සර්ව සාධාරණ එක කියල. ඉතින් මම ඇහුව හැමෝගෙන්ම එකම එක ප්‍රශ්නයක් වෙන වෙනම.
ඔබල මැරුණම අපායට  යනවද? ඔබේ ආගමට අනුව දෙවියන් විශ්වාස නොකරන අය අපායට  යනවද?

යෙහොවගේ විට්නස් පොර කියනවා- "මගේ ආගම ඉතාම හරි එක. අපි තමයි ජේසු තුමාව බයිබලයට අනුව හරියටම පිලි පදින්නේ. මම යනවා දිව්‍ය ලෝකෙට. මගේ ආගම නොපිළිපදින ඕනෑම කෙනෙක් අපායේ යනවා කියල තමා අප විශ්වාස කරන්නේ. "

නව යුගයේ ක්‍රිස්තියානිය නමැති නිකායේ තැනැත්තා කියනවා " මම ඔය කතාවට එකඟ නැහැ. අපාය කියන්න අපි ඉන්න තැන වෙන්නත් පුළුවන්. " ඉතින් මන් ඇහුව හරි එහෙමයි කියමු. නමුත් ඔබේ ආගම මම හෝ වෙන අනිකෙක් නොඅදහන්නේ නම් මැරුන පසු අපට ස්වර්ගයට යා හැකිද ? අවාසනාවකට වගේ නව යුගයේ ක්‍රිස්තියානිය නිකායේ යාලුව පිලි ගත්ත ඔහුගේ ආගමෙන් විතරයි ස්වර්ගයට යන්න පුළුවන්. අනිත් ඕන අයෙක් කොහේ හෝ වේවා අපායට යනවා කියල. හැබැයි ඔහුගේ ආගම ලෝකේ තියනවා කියල කිසි සේත්ම නොදන්නවා නම් හා හොඳ ජිවිතයක් ගත කලා නම් ඒත් දිවය ලෝකෙට යන්න පුලුවන්න. අර ඇමසන් ගඟ අසබඩ ඉන්න ගෝත්‍රිකයෝ වගේ අය.
මුස්ලිම් ජාතික සහෝදරයා කියනවා " මගේ දහම තමා දෙවියන්ගේ වදන් සත්‍යයටම කියන්නේ. පොතෙත් එහෙම තමා තියෙන්නේ. සියලුම අවිශ්වාශ කරන්නන් අපායට යනවා යනවමයි. ඒකෙ දෙකක් නැහැ."
බුදු දහමේ දැනට පන්සල්වල රුපයට නාග ඇතී අන්දමට පව් කලොත් අපායට යනවා. හැබැයි සමහර තැන්  වල තිබෙනවා මිත්‍යා දෘෂ්ටිකනම් ඒත් අපායේ යනවා කියල. අර කටු ඉඹුලේ යනවා පෙන් වන්නේ. හින්දු ආගමේ තත්ත්වෙත් ඕකමයි.
ඉතින් මම කිව්වා කට්ටියටම මෙහෙම.

මුස්ලිම් සහෝදරයා, නව ක්‍රිස්තියානි සහෝදරයා, කතෝලිකයා, හින්දු අය හැමෝම මැරුණට පස්සේ බෞද්ධ අපායට යනවා, එහෙම නැත්නම් තම තමන්ගේ ස්වර්ගය කියන්නේ බෞද්ධ අපායට.

නව ක්‍රිස්තියානි සහෝදරයා, කතෝලිකයා, හින්දු අය, බෞද්ධ අය හැමෝම මැරුණට පස්සේ මුස්ලිම් අපායට යනවා. එහෙම නැත්නම් තම තමන්ගේ ස්වර්ගය කියන්නේ මුස්ලිම් අපායට.

මුස්ලිම් සහෝදරයා, කතෝලිකයා, හින්දු අය, බෞද්ධ අය හැමෝම මැරුණට පස්සේ
නව ක්‍රිස්තියානි සහෝදරයාගේ අපායට යනවා. එහෙම නැත්නම් තම තමන්ගේ ස්වර්ගය කියන්නේ නව ක්‍රිස්තියානි සහෝදරයා ගේ අපායට.

මුස්ලිම් සහෝදරයා, නව ක්‍රිස්තියානි සහෝදරයා, හින්දු අය, බෞද්ධ අය හැමෝම මැරුණට පස්සේ කතෝලික සහෝදරයා ගේ අපායට යනවා. එහෙම නැත්නම් තම තමන්ගේ ස්වර්ගය කියන්නේ කතෝලික සහෝදරයා ගේ අපායට.

මුස්ලිම් සහෝදරයා, නව ක්‍රිස්තියානි සහෝදරයා, කතෝලිකයා, බෞද්ධ අය හැමෝම මැරුණට පස්සේ හින්දු අපායට යනවා, එහෙම නැත්නම්තම තමන්ගේ ස්වර්ගය කියන්නේ හින්දු අපායට.

ඉතින් අන්තිමට බලාගෙන ගියාම ඔක්කොමල්ල අපායේ .

සමා වෙන්න අදේවවාදීන් වන අප හැර.

අප අපේම වූ ලෝකය නමැති අපායක වොඩ්කා  වීදුරුවක් හා බයිට් එකක් සමග ආතල් ගනිමින් සිටිමු.

Wednesday 18 June 2014

තරාතිරම්වාදය 2

මේ දෙවෙනි සිදුවීම්  ටික  වුනේ ඉන්දියාවේදී. (විදුලි බල මණ්ඩලේ වැඩ කරන යාලුවෝ අමනාප වෙන්න එපා මේක ලිවට. ඕගොල්ල මෙහෙම නැහැ කියල මම දන්නව)
මම අපේ මෑණියන්වත්  අරන් ඉන්දියාවේ වන්දනා ගමනක ගියා. මම ලංකාවේ යාලුවෝ එහෙම කියපුව අහල ප්‍රසිද්ධ බැංකුවකින් සංවිධානය කරන නඩයකට එකතු වෙන්න  ලෑස්ති වුන. ටිකක් ගැන වැඩියි. නමුත් සැප පහසුයි. ඉන්දියාව තුලත් අබ්යන්තර (internal flight ) ගුවන් සේවා ගමන් දෙකකුත් එක්ක. අම්ම ගත්  කටටම බැහැ  කිව්වා. එයට  යන්න ඕනේ වුනේ ගමේ පන්සලේ හාමුදුරුවෝ හා තව බන කියන්න එන හාමුදුරු වරු දෙන්නෙකුයි ගමේ  උපාසිකාවොයි යාළුවොයි  එක්ක. ඒක  ගණන් අඩු ටිකක් දීර්ඝ ගමනක්.  දුම්රියේ හා බස් වල යන්නේ. නමුත් ඒ ගොල්ල නැතුව බැහැ කිව නිසා මාත්  කැමති වුණා ගමන අමාරු වුනත්. කොහොමත් මම ගමනේ සංවිධායක ටුවර් ඔපෙරටර් ට කියල මටයි අම්මටයි වෙනම කාමරයක් වෙන් කර ගත්ත හැම තැනදීම නිදා ගන්න. ඒකට  මම වෙනම වැඩි පුර ගෙව්වා. (මට ගොරවන අය එක්ක නිදා ගන්න බැහැ)
දැන් කාමර බෙදනවනේ හැම දාම  හෝ දවසකට සැරයක් හෝටල් වල නිදා ගන්න. මට තමයි ඉස්සෙල්ලම වගේ යතුරක්  ලැබෙන්නේ. තනි කාමරයක්ම   ලැබෙන  නිසා.  ඕක දෙතුන් දෙනෙකුට ඇල්ලුවේ නැහැ. ප්‍රාදේශීය සභාවක කෙනෙකුයි,  විදුලි බල මණ්ඩලේ වැඩ කරන කෙනෙකුයි (මේ තැන්  වල වැඩ කරන කීප දෙනෙකුත් එකතු වෙලා හිටිය). ඒගොල්ල මේ ටුවර් ඔපෙරටර් (සංවිධායක ) ට වලියක් ඇද්ද. අපි විදුලි බල මණ්ඩලේ (ඈ ??) අපි අහවල් ප්‍රාදේශීය සභාවේ. අපිට  කලින් කාමර දෙන්න  කියලා . (අනිත්   කට්ටිය එක්ක කාමර share කරන්න පුලුවන්ද නේද?) අපේ මුඛරි සංවිධායකත් ඇරියේ නැහැ. මිනිහ කිව්වා "විදුලි බල මණ්ඩලේ ටයි අහවල් ප්‍රාදේශීය සභාවටයි කාමර වෙන් කරලා නැහැ ඉන්දියාවේ. අර මහත්තය කලින් ගෙවල වෙන් කරගෙන තියෙන නිසා එයාට දෙන්න වෙනවා. " ඒ වලිය ඉවරයි.
ඊට පස්සේ මේ කතාවේ ඉතුරු කෑල්ල ටිකක් කණගාටුදායකයි. මේ ගමන ඇත්තම අමාරුයි. නිදා ගන්නේ පැය  කීපයයි. බස් වල විසි වේවි දුවිලි ගැහුන පාරවල් වල යන්නේ.  ඉතින් මොකද වුනේ අර විදුලි බල මණ්ඩලේ එක්කෙනෙක් සංචාරය ඉඅවර වෙලා චෙන්නායි අන්තිම හෝටලේට ආවහම මැරුණා. මාත් ගියා බලන්න. එකට ආපු කට්ටියනේ. මොකක් හරි උදව්වක් වත් කරන්න. අර අනිත් යාලුවෝ හා නෑදෑයෝ වෙන්න ඕනේ, දුක පල කලේ මෙහෙම කියල. " අනේ මෙහෙම මැරෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. විදුලි බල මණ්ඩලේ වැඩ කලේ ---ආදී වශයෙන් " මට එක පාරටම කියවුනා " ඇයි විදුලි බල මණ්ඩලේ නම් මැරෙන්න තිබ්බේ කරන්ට් වැදිලද කියලා . හොඳ වෙලාවට ටුවර් ඔපරේටර් ගේ සහයිකාවට ඇහුනේ . එය මාව පැත්තකට ඇදල කීව ලංකාවේ අඬන්නේ එහෙමයි. සද්ද නැතිව ඉන්න කියල. අනික අපි උදව් කරන්න ඕනේ නැහැ. ඒ ගොල්ල ලංකාවට දේහය යවනව. මේ වගේ දේ වෙනවා නිතරම කියල.

ප්‍රශ්නේ මේකයි. මේ සිද්දි දෙකේදීම සාමාන්‍ය ආණ්ඩුවේ රස්සාවක් කරන අය  මෙහෙම ඉහල ගියේ කොහොමද? තමන්ට විශ්‍රාම වැටුප හා බැංකු නය ලැබෙන නිසාද? පළාත් සභාවල හොරකම් කරනවා කියමු. අනිත් අය ? අපි නිර්දන පන්තිය කියල, අරගලයකට එන්න කිවොත් ගහල එලවයි. ඇයි  මේ ඔක්කොමල්ල ඉහල පන්ති වලනේ.

ඕක තමයි ලංකාවේ වුනේ . 71 හෝ 89 හෝ දැන් කරන ශිෂ්‍ය අරගල වල හෝ මහජන සහභාගිත්වය අවම වෙලා තියෙන්නේ , ඔය කවුරුත් කෑ ගහන වැඩ කරන ජනතාව හිතන් ඉන්නේ තමන් සුළු ධනේශ්වර , තව ටිකක් වැඩ කරල සල්ලි ටිකක් හොයාගෙන කොහොම හරි ගෙයක් හදා  ගෙන කාරෙකක් වත් ගත්තොත්  ඉබේ ඉහල පන්තියට යන පිරිසක් වශයෙන්.  මේ ගොල්ලන්ට බලෙන් විප්ලව කරලා දෙන්න ගිහිල්ල නිකන් ඇන ගන්නේ මොකටද?

Friday 23 May 2014

සංසරණ මාධ්‍යය - ප්‍රාග්ධනය - අංක 7


සංසරණ මාධ්‍යය 
භාණ්ඩ වල රූපාන්තරණය (වෙනස්වීම /  පරිණාමය)

හුවමාරුව සම්පුර්ණ වන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ  රුපාන්තරණයන් දෙකක්  වන භාණ්ඩ හා  මුදල් එකිනෙකට  පරිවර්තනය වීමය නිසයි. මේ දෙක එකින් පූර්ණත්වයට පත් කරනවා කියල මාක්ස් කියනවා. එතකොට කරන කාර්යය අවස්ථා දෙකකින් සිද්ධ වෙනවා.   රෙදි මහන්නා  එය විකිණීම - එහෙම නැත්නම් භාණ්ඩය මුදල් නමැති භාණ්ඩයට මාරු කිරීම - අනිත් පැත්තෙන් මිලදී ගැනීම - එනම් මුදල් නමැති භාණ්ඩය රෙදි නමැති භාණ්ඩයට හුවමාරු කර ගැනීම. ඇත්තටම මේ දෙකම එකක්.
මේක මාක්ස් ලිව්වේ මෙහෙම.
භාණ්ඩ - Commodity - මුදල්-  Money
Commodity – Money – Commodity. C–––––– M ––––––C.
භාණ්ඩ - මුදල් - භාණ්ඩ : භා - මු - භා , ඉදිරියේදී ලේසියට මේක ඉංග්‍රීසි අකුරෙන්ම ගමු. 
C–––––– M ––––––C. - (අංක 1)

කල්පනා කරලා බලන්න මේක අතරට තව මොනවහරි දාන්න  පුලුවන්ද කියල? 


එතකොට මෙතැන  භාණ්ඩය හැටියට ශ්‍රමය අරගන්න.  එහෙම අරගත්තොත් ශ්‍රමයට තියෙන්නෙත් හුවමාරු වටිනාකමක්. මේක කම්කරුවෙකුගේ වෙන්නම ඕනේ නැහැ. ඕන කෙනෙකුගේ ඉන්ජිනේරුවෙකුගේ, දොස්තර කෙනෙකුගේ , ගුරුවරියකගේ හෝ ගොවියෙකුගේ, කම්කරුවෙකුගේ (මෙහිදී  අත පය  වෙහෙසා  වැඩ කරන යන අරුතින්)
එතකොට අර ඉහල අංක 1 නමැති සමීකරණය මෙහමත් ලියන්න පුලුවන්.
L - M -..................? මෙතන කම්කරුවා තමන්ගේ ශ්‍රමය විකුනුවට පස්සේ ඒ මුදල නැවත භාණ්ඩ වලට හැරෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මුදල විශ්වීය හුවමාරු අගයක් (හෝ ලෝකය පුරාම කියමුකෝ) ගත්තට ශ්‍රමයට ඒක එන්නේ නැහැ නේද?
මෙන්න මේක තම මාක්ස් කියන්නේ. ශ්‍රමය අපි විකුනුවට එකට අර මුදලට තියෙන පොදු (විශ්වීය ?) අගය නැහැ කියල. 

ඊළඟට මේ පෙනුමට තිබෙන තනි ක්‍රියාවලිය ඇත්තටම දෙකක් බව මාක්ස් කියනවා. එනම් භාණ්ඩය අයිතිකාර තැනැත්තා ගේ පැත්තෙන් ඒක  විකිණීමක්  sale , මුදල් අයිතිකාර  තැනැත්තාගේ පැත්තෙන් ඒක  මිලදී ගැනීමක්. හැබැයි විකිණීම තමා  මිලදි ගැනීමත්.   C–M is also M–C.
ඊළඟට මේ C–––––– M ––––––C. එක වෘත්තාකාර හැඩයක් ගන්නවා කියල මාක්ස් කියනවා. "The two phases, each inverse to the other, that make up the metamorphosis of a commodity constitute together a circular movement, a circuit: commodity-form, stripping off of this form, and return to the commodity-form."
භාණ්ඩමය ආකාරය - මුදල්මය ආකාරය හා නැවත භාණ්ඩමය ආකාරය - නැවත එය විකිණීමෙන් මුදල් බවට හැරීම  ඒ වගේ.   අනික මෙහිදී මුදල් කාගේ  හරි අතේ හැම වෙලාවෙම තියෙනෙව. නමුත් භාණ්ඩය  මේ වෘත්තයෙන් ගැලවී යන්න පුළුවන්. මහන්නා  රෙද්දක් විකුණලා සල්ලි ගන්නවා. ඒ සල්ලි වලින් පොතක්  ගන්නවා කියා හිතමු.  ඔහු/ඇය පොත නොවිකුනුවා  කියා හිතමු. නමුත් පොතට ගෙවූ මුදල සංසරණයේ තව දුරත් පවතිනවා. පොත අයින් වෙනවා. 
අපි හිතමු යකාගම කියන ටිකක් ආදිවාසී ගමක කම්මල් කරුවෙක් ඉන්නවා කියල. ඔහු යකඩ තලා හදන භාණ්ඩ ගොවියෙකුගේ කිරි හෝ හාල් වලට හුවමාරු කර ගත්තොත් වෙන්නේ C -C වගේ ක්‍රියාවක්. (commodity -commodity ) . හැබැයි ඔහුට අර භාණ්ඩ අවශ්‍ය නැත්නම් ඔහු මුදල් (රන් කාසියක් වගේ) ගන්නවා කියා හිතමු. ඔහු ඒ මුදල පාවිච්චි කරලා වඩුවා  ගෙන් පුටුවක් ගත්ත කියා හිතමු. මෙහිදී සුරකෑමක් සිදු වෙන්නේ නැහැ. වෙන්නේ C–––––– M ––––––C එක. එතකොට කම්මල් කරුවාගේ හෝ වඩුවාගේ පුද්ගලික ව්‍යාපාර යකාගමේ මිනිසුන්ගේ ආධිපත්‍යට ගන්න ඕනේ නැහැ. ගොවියාගේ කුඹුර හෝ ඉඩම් ගන්න ඕනෙත් නැහැ. ඔවුන් සුරාකෑමක් කරන්නේ නැහැ. (අවාසනාවකට වගේ මාඕගේ චීනයේ හා සෝවියට් රුසියාවේ ඈත  පළාත්වල ඕනෑවට වඩා උද්යෝගී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් මේ වගේ වැඩත්  කලා. සපත්තු කාරයාගේ කම්මල් කාරයාගේ පුංචි ව්‍යාපාරත් ජනසතුයි කියල ආණ්ඩුවට අරන් රාජ්‍ය ඒකාධිකාරයක් හදන්න. නොදැන කරපු ඒ වැඩ වලින් කලේ ලොකු හානියක් ) 
ඊළඟ ලිපිවලින් සුරාකෑම  හා ප්‍රාග්ධනය ගැන කතා කරන්න බලා  පොරොතු වෙනවා. 



Tuesday 20 May 2014

මාක්ස්ට වැරදුන තැනක්ද?

මේ මාක්ස්ට වැරදුන තැනක්  කියල විවේචන  මම තැන් තැන්  වල කියවල තිබෙනවා . සමහර අය බොර්ම් බෝවෙර්ක් හෙම උපුටල කියල තිබ්බ මේ කාරණය . මේක තියෙන්නේ ප්‍රග්ධනයේ 10 වන පරිච්චේදය හරියේ. මම තවම එතනට ආවේ නැහැ මේ ලිපි පෙලේ. දවසේ වැඩ මුර ගැන මාක්ස් කතා කරනවා ඒ කොටසේ. නමුත් මේ ගැන  මන් පොඩ්ඩක් කතා කරන්න අදහස් කලා.

මාක්ස් විසින්  ධනපතියන් කම්කරුවන්  සූරා  කෑම ගැන ලියු දේ හුඟක් ම බලගතුයි ඒ වගේම ඓතිහාසික වශයෙන් ගත්තම සාධක සහිතව ඔප්පු වෙනවා.   මාක්ස් කිවේ මේ සූරා  කෑම  කියන එක ධනවාදී ආර්ථික ක්‍රමයට ඔබ්බවල තිබෙන නිසා ඇතිවෙන සමාජීය ප්‍රතිවිරෝධතාවය හේතුවෙන් ධනපති ක්‍රමය අභාවයට යන බව ( කඩා වැටෙන බව).  මාක්ස් මේ පරාරෝපනය හෙවත් කලකිරීම පිලිබඳ මතය , ධනවාදී සූරාකෑම නිසා  කම්කරුවා ඔහුගේ මානුෂික භාවයෙන් දුරස්ථ  වීම ආදිය පැහැදිලි කිරීම සඳහා හේගල් ගේ  අතීත ලේඛන උපයෝගී කර ගත් තා . සූරා  කෑම පිලිබඳ නියමය සහ අතිරික්ත වටිනාකම තුලින් ඔහු දර්ශනවාදී දෘෂ්ටි කෝණයෙන් මිදී ආර්ථික ක්‍රමය පිලිබඳ දෘෂ්ටි කෝණයෙන් මේක විමසා බැලුව. ඒ නිසා  තමයි ඔහු කිවේ ධනවාදී නිෂ්පාදන ක්‍රමය නිසාම ධනවාදය කඩා  වැටෙනවා කියල.  
මාක්ස් එංගලන්තයට පිටුවහල්ව සිටියදී ඔහුට එවකට  ලෝකයේ තිබු කාර්මික දියුණුව ඉහලම රට ගැන හොඳින් විමර්ශනය කරන්නට ඉඩ  ලැබුන. ඔහු දුටුවා ටෙක්ස්ටයිල් (රෙදි නිෂ්පාදන කරන) කම්කරුවන් විඳින අන්ත දුක. ඔවුන්ගේ දරුණු දුප්පත් කම. යන්තම් කන්නට දෙයක් ඇතිව පන නල ගැට ගහ ගන්න හැටි. ඔහු පාවිච්චි කලා මෙය හඳුන්වන්න  විලියම් බ්ලේක් කවියාගේ කවියක සඳහනක්  "disturbing images of “dark satanic mills,” යනුවෙන්. එනම් යක්ෂයාගේ අඳුරු රෙදි මෝල  වල හිත කලම්බවන  පින්තුර  වශයෙන්.
කවිය කියවන්න  මෙතනින් යන්න;
http://en.wikipedia.org/wiki/And_did_those_feet_in_ancient_time#.22Dark_Satanic_Mills.22
අපි ලඟදි පීක් දිස්ත්‍රික්කයට ගිය වෙලේ පතල් කීපයකට ගියා . (පින්තුරය 1 හා 2 බලන්න.) මේවායේ නම් "යක්ෂයාගේ ගුහාව devil's cavern , treak cliff ගුහාව ආදී වශයෙන්. මේවා දැන් සංචාරකයන් ට බලන්න හොඳට හදල තියෙනවා පඩිපෙළවල් ඇතුළුව.
පින්තුරය 1
පලවන පින්තුරයේ තියෙන්නේ පුංචි ගුහාව. දෙවැන්න මහා පතල.
පින්තුරය 2
දෙවෙනි එකෙන් හැමෝම ඇතුලට යනවා ඊයම් කඩන්න.  පලවන එක තියෙන්නේ  ලොකු මිනිස්සුන්ට යන්න බැරි නිසා පුංචි ළමයි යවන්න. පුංචි ළමයි නුත් මේවල වැඩ කලා . මේ ළමයි සහ ගැහැණු පතල් වල මැරුන. නොයෙකුත් අතවර වලට ලක්වුණා. සමහර විට මුළු පවුලම. ඔවුන්ට ලැබුනේ සතියකට ශිලින් 3ක් - අද මුදලින් පවුම් 10 ක (රුපියල් 2000) ක වගේ මුදලක්. රුපියල් දෙදහකින් ජිවත් වෙන්න පුලුවන්ද සතියක්. එංගලන්තයේ දැන් සතියක් ජිවත් වන්න කෑමට  විතරක් සතියකට පවුම් 70ක් වත් ඕනේ. යන්තන්කාල ඉන්න. අනිත් වියදම් නැතුව. එතකොට පවුම් දහයකින් පාන් පෙත්තක් දවසකට කාල  ඉන්න පුළුවන් වෙයි . හිතා  ගන්න පුලුවන්ද දරිද්‍රතාවය. මුළු  පවුලම වැඩ කලේ ඒකයි පතල් වල. රෙදි කම්හල් වල. යන්තම් ජිවත් වෙන්න. එංගලන්තය එතකොට ලංකාව යටත් කර ගෙනනේ  හිටියේ. (කොටසක්). ලංකාවේ මිනිස්සු ඊට වැඩිය  හොඳට ජිවත් වුණා  එහෙම බැලුවොත්.
 පින්තුරය 3 - පතල් කම්කරුවන්ගේ මෙවලම්
 මාක්ස් පෙන්වන්න හැදුවේ මේ දරුණු දුප්පත් කම ධනවාදයේ නියත සලකුනක බව සහ ධනවාදයේ දියුණුව සමග මේ පීඩනය සහ දුප්පත්කම වැඩි වන බව. තමන් රැක  ගැනීම සඳහා කිසිම ආරක්ෂණ යාන්ත්‍රණයක් නැති නිර්ධන පන්තියේ   ආර්ථික දියුණුව ධනපතියාගේ අනුකම්පාව මත රඳා  පවතින බව.  නමුත් ධනපතියට වෙළෙඳපොලේ තරඟ කාරිත්වය එක්ක හැප්පෙන්න නම් තමන්ගේ ව්‍යාපාරය දුර්වල කර ගන්නේ  නැතුව තමන්ගේ ව්‍යාපාරය අවදානමකට ලක් කර ගන්නේ නැතුව මේ නිර්ධන කම්කරු පන්තියට  අනුකම්පාව දක්වන්න බැහැ කියල මාක්ස් කිව්වා .

 මේ ප්‍රතිවිරෝධතාවය තුල පන්තිය වර්ධනය වීමත් පන්ති විඥානය (පන්ති හැඟීම) වර්ධනය වීමත් තුල එම පන්තීන් විසින්ම තම ආර්ථික  අවශ්‍යතාවයන් නිරුවත් කරනවා. (expose - පෙන්වනවා යන තේරුම ). මෙහිදී ධනපති පංතිය  තමන් සතු සියලු  බලතල - රාජ්‍ය බලය (පොලිසිය, හමුදාව, අධිකරණය, සිවිල් නිලධාරීන් සතු බලතල) සහ ආගම පවා උපයෝගී කර ගන්නවා මේ කම්කරු හා වැඩ කරන පන්තිය පිලිබඳ තමන්ගේ ඒකාධිකාරී අයිතිය රැක  ගන්න. නමුත් වැඩ කරන පන්තිය තමන්ගේ පොදු පීඩනය විනාශ කරන්න ස්වභාවයෙන්ම එකතු වෙන බවත් ධනපතියන් ඉවතට තල්ලු කරන්නට සමත් වෙන බවත් මාක්ස් අනාවැකි පලකලා . එසේම  මේ  ප්‍රතිවිරෝධය පුපුරා  යන අවසන් පන්ති අරගලයක් තුලින් සමාජවාදය බිහි වෙනවා කියලත් ඔහු අදහස් කලා .
මේක මෙහෙම වුනාද?  මාක්ස් මෙතන වැරදිද?
 සිද්ධ වුනා  මෙහෙම දෙයක් බ්‍රිතාන්‍ය රැජින මුහුදු මංකොල්ලකරුවන් මගින් ප්‍රාග්ධනයක් ගොඩ නගා  ගත්ත ඉස්සෙල්ල . ඊට පස්සේ හොඳ නාවික හමුදාවක් හැදුවා ඉන්පසු බ්‍රිතාන්‍ය රජය අධිරාජ්යක් ගොඩ නැගුවාමේ ගොඩ නගන අධිරාජ්‍යය  තුල රටවල් පාලනය කරන්න තම රට වැසියාව  යවන්න පුළුවන් වුණා. ඒවගේම හමුදාවට මිනිස්සු ඕන වුනා . ඉතින් අර කම්හල් වල වැඩ කරනවට වඩා  මිනිස්සු යුද භටයන් වශයෙන් හා වෙන රටවල වැඩි පඩියට පදිංචියට යන්න පෙළඹුන. මේ පතල් වැහුනා. එහෙම නැත්නම් ධනපති පතල් අයිතිකරුවන්ට වෙන පතල් අයිති වුණා . රෝදෙශියාවේ (සිම්බාබ්වේ), දකුණු අප්‍රිකාවේ , ඇමෙරිකාවේ වගේ. ඒවා වල වැඩ කරන්න තවත්  අඩු පඩියට දේශීය කම්කරුවන් හිටිය. 

ඊට අමතරව එංගලන්තයේ කම්කරුවන් වෙනුවෙන් සංවිධාන ගොඩ නැගුන. ඒ කියන්නේ ඉහල පන්තිවලට අයව දැනුවත් කරන්න ගත්ත මේ දරිද්‍රතාවයන් ගැන. ඒ නිසා ගොඩක් මේ කම්හල් වැහුන. එහෙම නැත්නම් කම්කරුවන් ආරක්ෂා කරන්න නීති ගෙනාව . ඇමෙරිකාවේ වගේ මැයි  පළවෙනිදා කම්කරුවෙකුට වෙඩි තැබුවාට පස්සේ තත්වය තවත් වෙනස් වුණා. කම්කරුවන් හා වැඩ කරන ජනතාව යුරෝපයේ රටවල් වල පැය අටේ වැඩ මුරය ලබා ගත්ත . වැඩි පඩි ලබා ගත්ත. අයි අඩු පඩියට වැඩ කරන කම්කරුවෝ  යටත් විජිත වල ඉන්නවනේ. (ඊළඟට පසු කාලයකදී සෝවියට් දේශය වගේ රටවල් ඇති වුන නිසා ඒ තර්ජනය වළක්වන්නත් එංගලන්තය වගේ රටවල් කම්කරු වන්ගේ මාසික අදායම වැඩි කලා . වැඩි වුණා) . අර මාක්ස් කිව්ව දෙය වුනේ නැහැ.
උනේ නැත්තේ ධනපති අධිරාජ්‍යවාදය මේ ප්‍රතිවිරෝධතාවන් ඇතිවූ ප්‍රශ්නය වෙන ක්‍රමයකින් තරමක්  සමනය කරපු නිසා.

නමුත් මොවුන්ට හැමදාම මෙය කල හැකි වෙයිද? දැන් නැවත ආර්ථික ප්‍රශ්න මතු වෙමින් තිබෙනවා. නව වෙළඳ අධිරාජ්‍යවාදී  රටවල් ගැටෙනවා. ඉන්දියාව, චීනය , ඇමෙරික එක්සත් ජනපදය , යුරෝපා සංගමය , රුසියාව අමුද්‍රව්‍ය, ඉන්ධන, වෙළඳපොල බෙදා ගන්න සටනේ. මේ නිසා අලුත්  උත්තරය තියෙන්නේ space exploration හෙවත් අභ්‍යවකාශය ජය ගැනීම හා වෙනත් ග්‍රහ ලෝක මත. අර අධිරාජ්‍ය පිහිටෙව්ව  වගේ කම්කරු හා අනිකුත් පන්තීන්  ඒවාට පටවන එක. උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ නාසා ආයතනය උල්කාපාත (asteroid ) වල පතල් හාරන්න බලා  පොරොත්තු වෙනවා.   අඟහරු ග්‍රහයා ගවේෂණය කරලා ජනාවාස පිහිටුවල ලෝහ හාරන්න බල පොරොත්තු වෙනවා. අර යටත් විජිත ක්‍රියාවලිය වගේමයි. අර එන ලෝක විප්ලවයක් හෝ සමාජවාදී අරගලයක් මේ මගින් නැති කරන්න පුළුවන් ආයෙත්.

මේ පින්තුර වල පෙන්වන්නේ මැන්චෙස්ටර් නගරය විද්‍යා කෞතුකාගාරයේ තිබෙන කාර්මික විප්ලවයේ ජයග්‍රහණ පෙන්වන යන්ත්‍රෝපකරණ.





මේ පල්ලහ පින්තුරය ඒ ළඟ  තියෙන versace සාප්පුව තියෙන බිල්ඩිම. ඒකට  විකුණන නිමි ඇඳුම් වැනි දේ එන්නේ රුමේනියාව වගේ තවම නැගී එන යුරෝපේ රටවල් හා දකුණු ආසියාතික රටවලින්. එංගලන්තේ පහල පන්තීන් වලටත් ඒවා මිලදී ගන්න පුළුවන්. අනික් මිනිස්සුන්ගේ බදු වලින් ගෙවන සහනාධාර මුදල් වලින් මේ සමහර පහල පන්ති වල මිනිස්සු කරන්නේ ඒවා මිලදී ගන්න එක.



ඉතින් මාක්ස්ට වැරදුනාද කියල තීරණය කරන්න.

Monday 19 May 2014

තරාතිරම්වාදය 1- සමාජ සුභ සාධකගේ කොමෙන්ටුවට තව කතාවක්

මම රුසියාවේ නව වෙනස හා පුටින් යන්නේ කොයිබටද යන්න ගැන ලියපු ලිපියට සමාජ සුභ සාධක කියල කොමෙන්ට් කරන බ්ලොග් යාලුව කොමෙන්ටුවක් දාල  තිබුන ලංකාවේ තරාතිරම් පිළිබඳව හා  නිලධාරිවාදය ගැන. එයාගේ එපා වීම මට හිතා ගන්න පුළුවන්. මට තිබෙන අත්  දැකීම්  කීපයක් එතකොට මතක් වුණා.
පලවෙනි එක තමා මගේ විදුලි ඉංජිනේරු උපාදිය අවසන් කාලේ වෙච්ච දෙයක්. මම ශිෂ්‍යත්වයක් ලැබී සෝවියට්  දේශයට (ඒ කාලේ සල්ලි ගෙව්වේ නැහැ පෞද්ගලික උපාධි නෙමේ )  ගියත් ලංකාවේ විශ්ව විද්යාලයකට යන්න අවස්ථාවත් ලැබිල තිබුනේ.  ඒ දවස් වලත් රුසියන් උපාධිය ඉවර කරලා ආවහම ලංකාවේ සැහෙන කැපිලි තිබෙනවා රස්සාවකට ගියාම. හුඟක් ඒවා එන්නේ මොරටුවේ ඉවර කරපු අය  ගෙන්. මේ අපේම යාලුවන්ගෙන් එකට A/L  කරපු.
ඉතින් අපේ විදුලි  ඉංජිනේරු උපාදිය අවසන් කරලා Msc එකට නිබන්ධනය ලියන්න කලින් ප්‍රයෝගික පුහුණු ගොඩක් කරන්න ඕනේ. ඉතින්  ලංකාවේ මාසයක් විතර දාගත්ත  විදුලි බලාගාර (power stations ) බලන්න එහෙම.. ඉන් එකක වුනු දෙයක් මේ. ඉතින් අපි රුසියාවේ ඉඳල ආවහම ලංකාවේ කෑම කන්න පුදුම ආසාවක් නේ තියෙන්නේ . ලංකාවේ තරම් රහ කෑම  කොහෙවත් නැහැ කියලත් හිතෙනවා වෙලාවක. ඉතින් අපි ඔය මාළු පාන් , රොටි, කට්ලට් චයිනිස් රෝල්ස් කන්න පෙරේතයෝ. ඉතින් අපි දවස්  කීපයක්  බලාගාරයේ කැන්ටිමෙන් ඕව කෑව.  මෙන්න හතරවෙනි දවසේ වගේ අපි බලාගත්ත ඉංජිනේරු උතුමාණෝ අපව කැඳෙව්වා  office  එකට. එයා  අපට පොඩි සද්දයක් දැම්ම? "මට පැමිණිල්ලක් ලැබිල තිබෙනවා (අනිත් ඉන්ජන්ගෙන් වෙන්න ඕනේ) ඕගොල්ලෝ අර common (පොදු) කැන්ටිමෙන් කනවා කියල. ඔයාල ඉංජීනේරු  ශිෂ්‍යයෝ  තව මාස  කීපයකින් ඉංජිනේරු වරු හැටියට එලියට එනවා. පොදුවේ අනිත් කම්කරුවන්ටයි අනිත් අයටයි තියෙන කැන්ටිමෙන් කන්න එපා. sandwich එකක් ගෙනත් office එකේ ඉඳන් කන්න" ඊට අමතරව කීව  - ඔය රුසියාවේ පුරුදු මෙහෙට  කොහොමත් අවශ්‍ය නැහැ කියල. "
ඉතින් අපි කැන්ටිමෙන් කෑවම ඔය ලංකාවේ ඉන්ජන්ගෙන් අඩු වෙන්නේ මොකක්ද ? ............(මේ සිද්ධියට මුහුන පාපු එක යාළුවෙක් වත් මන් ඇතුළුව දැන් ලංකාවේ නැහැ).


සමාජ සුබසාධක බ්ලොග් අඩවිය ----සමාජ සුබසාධක දර්ශනය යනු ප්‍රතිගාමීත්වය භංගවීමෙන් ඇතිවන සම සාධාරණ මානව හිතවාදීත්වයකි.සුබසාධනය අවශ්‍ය වන්නේ පීඩිතයන්ටය.මෙය වෛරය වැපිරවීමක් නොවේ. ප්‍රභූ ලෝකයේ නිර්ප්‍රභූ නියෝජනයක් ඉල්ලා සිටීමේ අහිංසකත්වය පමණි - 
උපුටා ගත්තේ - 
http://subasadhaka.blogspot.co.uk/





Friday 9 May 2014

රුසියාව ඔවුන්ගේම සමාජවාදයකට ආයෙත් යයිද? - ජයග්‍රහණයේ පෙළපාලිය 2014 මැයි 9

දැන් ටිකකට කලින් හැම මැයි  9 දාකම  යන රුසියාවේ (මුලින් සෝවියට් දේශයේ ) යුධ හමුදා ආචාර පෙළපාලිය නැරඹුවා. එහි සම්පුර්ණ පැයක  වීඩියෝවක් යු ටියුබ් එකේ බැලුව  හැකි ඉහල ඇති යොමුවෙන්.

අද දවසේ පෙළපාලියේ සුවිශේෂත්වයක් තිබෙනවා. එකක් තමයි ක්‍රිමියාව  දැන් රුසියාවට ලැබී තිබීම. 1964 යුක්‍රෙනියන්  ජාතික නිකිතා  කෘෂෙව් ජනාධිපති (කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ) යුක්රනියාවට ලබා දුන් රුසියානු ප්‍රදේශය නැවත පුටින් ලබා ගැනීම රුසියානුවන් බොහොමයකගේ ජාතිකාභිමානය වඩවන්නක් වෙලා තිබෙන්නේ. පුටින් වුනත් කිව්වේ වෙච්ච අසාධාරණය සාධාරණ කලා  කියල. ඒ වගේම බොහොම ඇමෙරිකානුවන් ප්‍රමාණයක් නොදන්නා දෙයක් තමයි ඇලස්කාව දැන් නිත්‍යානුකුලව අයිති රුසියාවට බව. අවුරුදු 100 බද්ද ඉවර වෙලා තියෙන්නේ.  ගන්න ගියොත් යුද්දේ තමයි.

මම කියන්න හදන කාරණාව එක නෙමෙයි. මේ වීඩියෝව බලන විට මට සිහියට නැගුනේ 1984 සිට මම සෝවියට් දේශයේ සිටියදී මැයි  9 නැරඹු යුධ හමුදා ජයග්‍රහණ පෙළපාලි වලට බොහෝ සමාන කමක් මේ පෙළපාලියේ තිබු බව. 1991 රුසියාව කැඩුනට පස්සේ පහල දුප්පත් වගේ මිනිස්සු ඇරෙන්න අනිත් අය  මහත්වරු (රුසියානු වචනය ගස්පදින් -sir ) වෙලා තිබුනේ යෙල්ට්සින් ගේ කාලයේ.

නමුත් අද තිබුන පෙළපාලියේ අණදෙන නිලධාරී ජෙනරාල්වරයා සොල්දාදුවන්ව හැඳින්වුයේ තවරිෂ් සොල්දාත්  කියල. ඒකෙ තේරුම සොල්දාදු සහෝදරයා. ඉංග්‍රීසියෙන් නම් comrade soldier. ඒගොල්ලත් ජෙනරල්වරයට උත්තර දුන්නේ හැමෝම එකපාර තවරිෂ් ජෙනරාල් පොල්කොව්නික් එහෙම නැත්නම් අණදෙන නිලධාරී ජෙනරාල් සහෝදරයා කියල. ඒ විතරක් නෙමේ ජෙනරල් ඊට පස්සේ මුණ ගැහෙනවා මැදදී ආරක්ෂක ඇමතිව. (ඒකට  වාහන දෙක රතු චතුරශ්‍රය මැදදී මුණ ගස්සවනවා) රුසියාවේ ආරක්ෂක ඇමති හැම වෙලාම තරු පහේ ජෙනරාල් කෙනෙක්. එයට අණදෙන නිලධාරී ජෙනරාල් කිවේ ආරක්ෂක ඇමති සහෝදරයා කියල. ඇමති තමන්ගේ පහල නිලධාරියට කිවේ ජෙනරාල් සහෝදරයා කියල. මේක මෙතනින් ඉවර වුනේ නැහැ.  ආරක්ෂක ඇමති ත්‍රිවිධ හමුදාව පෙළපාලියට ලෑස්තියි කියල කියන්න පුටින් ගාවට යනවනේ. එතැනදී කිවේ යෙල්ට්සින්ට වගේ ඇති උත්තම ජනාධිපති උතුමාණෙනි නෙමේ. තවරිෂ් ව්ලදීමිර් පුටින් හෙවත් ව්ලැඩිමීර්  පුටින් සහෝදරයා කියල. පුටින් නිවේදනය  පිලි අරගෙන කතාව පටන් ගත්තේ . ඇරඹුවේ කොහොමද? තවරිෂ් සොල්දාත් හෙවත් සොල්දාදු සහෝදරවරුනි කියල.
දැන් මේක තේරුම් ගන්නේ කොහොමොද?
 ක්‍රේම්ලිනයේ මේ එල්ලලා තිබෙන හමුදා ධජ දෙකේ තිබෙන දෑකැත්තයි  මිටියයි දැක්කද? එතකොට ලං වෙලා බලන්න අනිත් ධජයේ CCCP  අකුරු ටික.  CCCP  කියන්නේ රුසියානු භාෂාවෙන් USSR කියන එක. පුටින් කියන්නේ පරණ රහස් ඔත්තු සේවා නිලධාරියෙක්. ඔවුන්ට අපට ඉගැන්වුවා වගේම කොමියුනිස්ට්වාදී දර්ශනය හා මාක්ස්වාදය උගන්වා තිබෙනවා. එතකොට මේ පුටින් යන්න හදන්නේ චීන මාර්ගයේද? ධනවාදී නිෂ්පාදන හා සේවා ක්‍රම එක්ක තනි රටක සමාජවාදයක් ආයෙත් ?

Saturday 3 May 2014

ජනරලේ වමේ සංවාදය හෙවත් විමුක්ති දේශපාලනයේ කතිකාමය අවකාශයට පිළිතුරක්

ජන රැලේ යනවා වමේ සංවාදයක්. වැඩේ සැහෙන්න හොඳයි. ඒක  කියන්න එපයි ඉස්සෙල්ල. සුමිත් චාමින්ද කියල මහත්මයෙක් මහා පතරංග ජාතකයක් ලිය තිබුන වමේ එක්සත්භාවයක අවශ්‍ය කම ගැන. පලවෙනි කොටස දාල  තිබුන 2014 මාර්තු 30 පත්තරේ. තියෙන  වැඩ අස්සේ කියවන්න සෑහෙන කාලයක් ගියා. දෙවන  කොටස එනකන් හිටිය උත්තරයක් ලියන්න. නමුත් මගේ "නිර්මාණශීලි ශක්‍යතාවයන් හා මානුෂ  ශක්තින් පිලිබඳ එතුමා කියන්න වගේ අත  හැර  දමා දෙවියන්ට යාඥා  කරන්නේ නැති නිසා අර්නෙස්ටෝ ලැක්ලව්  කියන්නේ මොකක්ද කියල හෙව්වා.  හැබැයි ඒ මහත්මය මේ කියන්න මොනවද කියල  මම තවම තේරුම් ගන්න උත්සාහ  කරනවා. (උපුටාගැනීම  ජනරළ පත්තරෙන්) 
"පශ්චාත් පෙරේස්ත්රෝයිකානු සහ පශ්චාත් තෘෂ්නි යුද කාලින විමුක්ති දේශ පාලනය මුහණ දී තිබෙන්නේ ද ඉහත කි ආකාරයේ භාව සත්තවාදී  නිමේෂයකටය. " - මේ කියන්නේ ලිපියේ මුලින් තියෙන දෙයියෝ හොයන්  යන්න එපා කියන එකද  නැති එකද?
ඊළඟට එයා  කියනවා මෙහෙම. "ධනවාදී භාණ්ඩ හුවමාරුකරණයේ ක්‍රියාවලිය හුදු ආර්ථික අර්බුදයකින්  ඔබ්බට ගොස් සමස්ත ශිෂ්ටාචාරය අර්බුදයක් කර ඉමහත් විනාශකාරී ලෙස ගමන් කිරීම අනිත් අතින්  දිස් වෙමින් පවතී."  මේ නම් කියන්නේ අර කොල්වින්ගේ කේනමන් ගේ ඉඳන් සෝමවංශ අමරසින්හ දක්වා කියන මේ කුණු ගඳ ගසන ධනවාදී සමාජය විනාශයට යනවා කියලනේ.  ප්‍රශ්නේ ඒක  නෙමේ. එක තවම උනේ නැති නිසා ධනවාදය , යුද්ධ කරමින්, යුද්ධ අවුලවමින් තවම වැජඹෙන නිසා ඒකට උත්තර හොයන එක නෙමෙයිද?
එතකොට ඊට පස්සේ කියනවා "හොර්කයිමර් සහ අඩනෝ පසුගිය  සියවසේ  මැද භාගයේදී විශිෂ්ට ලෙස විශ්ලේෂණය කල පරිදි බටහිර ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියෙහි නිශේධනීය තර්කනයවූ අධිපතිවාදය එහිම සාධනීය තර්කනය වූ මානව විමුක්තිවාදය යටපත් කරලමින් පෙරට එමින් පවතී."  හෝක්හයිමර් ගේ විවේචනාත්මක ප්‍රමේය? (critical theory) එක මෙතනට අදාල වෙන්නේ කොහොමද කියල පැහැදිලි කලා  නම් හොඳයි. නැත්නම් මෙතන සුමිත් චමින්ද කියන්න හදන්නේ මොකක්ද කියන එකට අර්ථ කතන දහයක් විතර දෙන්න පුළුවන්.
ඊට පස්සේ ඒ ලිපියේ එන ඊළඟ කරුණු ටික සංයුක්ත කරලා ගත්තම මෙහෙම දෙයක් වැටහෙනවා.
1. වමට ප්‍රජාතාන්ත්‍රික බහු විධාත්වයක් අවශ්‍ය බව.
2. ඒ පිළිබඳව චාමින්දගේ  පක්ෂය හා පෙසපේ සංවාද කල බව.
3. වම නැවත එකතු කල යුතු බව.
4. තමන් x (එක්ස්)  "x  සාමාජිකයෙක් වෙලා හිටි බව."
දැන් මෙතන පොඩි විමසුමක් කලොත් මං  අර කලින් "පිචන් ඇමෙරිකන් " ලිපියේ කිව්වා වගේ , මන්  රෝයල්, මං  ආනන්දේ , මන් තර්ස්ටන් , මන් ගුරු  කුලේ , මන් කටුබැද්දේ වගේ මන් හිටියේ එක්ස් කණ්ඩායමේ ටයිටල් එක එනවා.  දැන් වම එකතු වෙනවා කියන්නේ පශ්චාත් එක්ස් දේශපාලනයේ කඩා  ගත්ත ඒවා ආයි  හදා  ගන්නද? මොකද අවසානයේ මෙහෙම කියුමක් තිබෙනවා. - ත්‍රිමාණ වෙබ් අඩවියේ පලවූ විශිෂ්ට දේශපාලන විශ්ලේෂණයක් (මේකට මම එකඟයි ඒකෙ  හොඳ ලිපි  යනවා)  මගින් අවධාරණය කර තිබු කරුණක් එනම් -"ප්‍රජාතාන්ත්‍රික අරගලයන් තුලට ඇතුල්වී ඒවා නව- ලිබරල් ධනවාදී හෙජමොනික සැකැසුමකට එරෙහි ගෝලීය ප්‍රති-හෙජමොනික ව්‍යාපාරයන් බවට පරිවර්තනය කිරීමේ උපාය මාර්ගය පිළිබඳව " අවධානය යොමු කරන බව.  මං  ත්‍රිමානේ  හොයල බැලුව මේ ලිපිය.  දැක්කොත් දැක්ක කෙනෙක් ලින්ක් එක දාන්න.
එතකොට හෙජෙමොනි කියන්නේ කණ්ඩායමක් මගින් කිසියම් ක්‍රියාවලියක් පාලනය කිරීමක් : leadership or dominance, especially by one state or social group over others.  දැන් එතකොට අපිව ධනවාදී සමාජ කොටසකින් කරන සැකැස්මට  එරෙහිව ඒවාම  ප්‍රති හෙජෙමොනික ව්‍යාපාර කිරීම. කාටවත් තේරෙනවද  මේ මොකක්ද කියල. දන්නවනම් කොමෙන්ටුවක් දාන්න.

මේ දීර්ඝ ලිපියේ  දෙවන කොටස පලවෙලා තිබෙනව ජනරල අප්‍රේල් 13 කලාපයේ.  ලිපියේ මුල හරියේ  x කණ්ඩායමේ ඇතිවුන  ප්‍රශ්න හා x -men  සහ x -women  සමග දීප්ති කුමාර ඇති කර ගෙන  තිබෙන (වෙබ් අඩවිවල රඟ  දැක්වෙන) ප්‍රශ්නත් සාකච්චා කරන අතර පුද්ගලිකව පහර දෙනවට වඩා න්‍යායික සංවාදයකට එළඹෙන ලෙස කරන ඉල්ලීමක් තිබෙනවා. ඒක  දැනට අපට අදාල නැති x -men ලා  බේරා  ගත යුතු දෙයක් නිසා ලිපියේ අගට යමු. මෙහි වැදගත්ම කරුණක් හැටියට සාකච්චා කරන්නේ ලැක්ලාව් 'On Populist Reason " පොතේ ඉදිරිපත් කරන ලද තර්කයකුයි. අවශ්‍ය කෙනෙකුට මේ පොතේ pdf කොපියක් මෙතනින් බාගන්න පුළුවන්.
 http://doublesession.net/indexhibitv070e/files/laclau-on-populist-reason.pdf
මෙහි සුමිත් චමින්ද මහතා කරන පැහැදිලි කිරීමට අනුව D  යනු සමාජයීය ඉල්ලීම්ය. ඒවා අබ්යන්තරිකව බෙදී ඇති බව ග්‍රීක් අක්ෂරයක් වන තේටා 
 වලින් පෙන්වයි. Tයනු පසමිතුරු බලවේගයයි. ඉල්ලීම් ඉදිරිපත්වන්නේ මෙම බලවේගයට එරෙහිවයි.  ලැක්ලාව් විසින් ඉදිරිපත් කල රූප සටහන්  ලිපියේ 1 සහ 2 යනුවෙන් පලවී ඇත. ඒවා පහත දැක්වේ.
 රූප සටහන  1
 රූප  සටහන 2
සාර්වාදය නමැති Tනමැති පසමිතුරු බලවේගයට එරෙහිව D1, D2, D3,, D4
යන ඉල්ලීම් යම් සාම්‍යතා දාමයකට එක්ව ඇති බව චමින්ද කියයි. (ලැක්ලාව්  මෙහිදී කියන්නේ මේ හැම D1, D2  යන්නක්ම එක හා සමාන බවයි.) "All of them, however, are equivalent to each other in their common opposition to the oppressive regime (this is what the upper semicircle represents -Ernesto Laklav ).  "නමුත් මෙවැනි සාම්‍යතා දාමයක් යම්කිසි හෙජමොනික දේශපාලනික මැදිහත්වීමකින් තොරව ඉබේම නිර්මාණය විය නොහැකි බව චාමින්දගේ අදහසයි.  ලැක්ලාව් කියන්නෙ මෙසේයි ? 
"In that case, the same democratic demands receive the structural pressure of rival hegemonic projects" එනම් මෙවැනි තත්වයකදී ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් ඊට ප්‍රතිවාදී  සංවිධිත හෙජමොනික ව්‍යාපාරයන්ට මුහුණ දෙන බවයි.  චාමින්ද මෙය වර්තමාන රාජ්‍ය බලාධිකාරයට සමාන කරමින්  එම බලාධිකරයේ එහිමවූ හෙජමොනික  තර්කනයක් ඇති බව වටහා ගත යුතු බවක් කියයි. මෙවැනි බලාධිකාරයක් පවතින බව සත්‍යයකි. 
මෙහි දෙවැනි රූපය පිලිබඳ චාමින්දගේ විස්තරය බලමු.  චමින්ද කියන්නේ Dඉල්ලීම, a , b ,c  යන විකල්ප සාම්‍යතා දාමයට සම්බන්ධ කර ගැනීමේ ප්‍රයත්නයක් පෙනෙන බවත්, ඒ අනුව Dකුමන සාම්‍යතා  දාමයට සුසම්බන්ධ කරගත හැකිවේදැයි යන්න නිශ්චය වනු ඇත්තේ සංයුක්ත හෙජමොනික අරගලය මගින් බවත්ය.  එසේම එකිනෙකට පසමිතුරු සාම්‍යතා  දාමයන්  දෙකක  පවතින බව කෙටි ඉරි මඟීන් පෙන්වන බවත් එහි පිඩනයට ලක්වීමට D1 හට සිඳුවන බවත් ඔහු පවසයි.  (ලැක්ලාව් පවසන්නේත් මෙයයි.) චාමින්ද කියන්නේ  මෙසේ සුසම්බන්ධිය තර්කනයන් දෙකක්  අතර අස්ථාවර තත්වයකට පත්වූ හැඟවුම්කාරකයක්  (signifier ) ලැක්වියානු  අරුතින් පාවෙන හැඟවුම්කාරකයක්  වේ.   ලැක්ලාව් පවසන්නේ I shall call signifiers whose meaning is 'suspended' in that way 'floating signifiers'. මට තේරෙන විධිහට හිස් හැඟවුම්කාරක හෙවත් "අර්ථය  තාවකාලිකව අත් හිටවූ "හැඟවුම්කාරක පාවෙන හැඟවුම්කාරක වෙන බවයි. 

සුමිත් චාමින්ද ඉන්පසු මෙසේ කියයි. එනම් ඔහු කලින් ඉදිරිපත් කල න්‍යායික පසුබිම තුල (ලැක්ලාව් ඇතුළුව) දීප්ති කුමාර ගුණරත්නගේ විශ්ලේෂණය කල පරිදි , ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කාරණය  ගෝලීයවත් දේශීයවත් පාවෙන හැඟවුම්කාරකයක් බවට පරිවර්තනය වී ඇති බවයි.  
දීප්ති කුමාර  ගුණරත්නගේ මුල් ලිපිය මා  කියවා  නැති නිසා චමින්ද කියන දේ ( දීප්ති ලියු බව කියන ) හරි කියා පිලි ගනිමු.  හැබැයි ලැක්වියානු  අරුතින් එතකොට මේ ප්‍රජතන්ත්‍රවාදය අර්ථය අත්  හිටවා  ඇති හිස් හැඟවුම්කාරකයකි.  
ඊළඟට ඔහු ප්‍රශ්න දෙකක්  අසයි.
1. මෙවන් තත්වයක් තුල වාමාංශික බලවේග විසින් කල යුත්තේ හුදෙක් ධනපති අධිරාජ්‍යවාදි බලවේගයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බැවින් එය මුලුමන්න්ම ඉවත දමා වඩා  පිරිසිදු වාමාංශික සටන් පාඨ  තේරීමද ?
2. නොඑසේ නම් සැබෑ හෙජමොනික අරගලය තුලට නොබියව ඇතුළුවී ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක්  සඳහා  සටන් කිරීමද?
අංක එකට එකඟ වුනොත්  සුම්ත් චාමින්දට අනුව මේ සංයුක්ත අරගලය නිර්දේශපාලනීකරණය කරා  යයි. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ එයින් රතුපස්වල, තුන්නන ආදී "සැබෑ  සමාජ අරගල අවකාශය" මග හැර යාමක්  වන බවයි. 

ලක්වියානු අර්ථයෙන් ගත කල මෙය මෙසේ විය හැකියි. එහෙත් සෑම ප්‍රජාතන්ත්‍ර අරගලයකටම වාමාංශික පක්ෂ වලට සහභාගී විය නොහැකියි. සුමිත් චමින්ද මේ පවසන්නේ ධනවාදී පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන ඊනියා සටන් වලටත් වාමාංශික පක්ෂ සහභාගී විය යුතු බවද? ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් කල යුතුයි? ජනතාවගේ ප්‍රශ්න - එදිනෙදා  ප්‍රශ්න - වතුරට සටන් කිරීම, කුණු ඉවත් කිරීම ගැන , ඩෙංගු ගැන ඉදිරිපත් විය යුතුයි. ඒ ගැන විවාදයක් නැත. නමුත් ඉන් එහාට යාමෙන් වික්‍රමබාහු වගේ රනිල් සමග එකම වේදිකාවකට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නගින්නට හේතුවක් නැත. 

ඉහත කොටස් දෙක මා ලියුවේ එර්නෙස්ටෝ ලැක්ලාව් ගේ රූප  සටහන් දෙක ඇසුරින් සුමිත් චාමින්ද මහතා වාමාංශික පක්ෂ එක්සත් වී අරගල වලට මුහුණ දිය යුතු බව නිගමනය කල බව පැහැදිලි කරන්නයි. මගේ අදහස නම් මේ රූප සටහන් දෙකෙන් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් හා සමාජවාදය පිලිබඳ අරගල පැහැදිලිව නොපෙන්වන බවයි. එයට හේතුව මේ හැම අරගලයක්ම සැලසුම් සහගත ඒවා නොවෙන නිසා සහ සෑම  අරගලයකම තීව්‍රතාවයන් එකිනෙකට වෙනස් නිසයි. මේක වෙනත් විධිහකට කියනවනම් විශ්වයේ පරිණාමය ගත්තත් ජීවීන්ගේ පරිණාමය ගත්තත් සමාජ පරිණාමය ගත්තත් හුඟක් දේ සිදුවන්නේ අවිධිමත් ආකාරයට (chaotic ). අපි නොයෙකුත් ගණිතමය සමීකරණ, තර්කන ආදියෙන්  මේවා පැහැදිලි කර ගන්නවා පමණයි.  මෙය මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
සෝවියට් දේශයෙන් 1934දී ඇමෙරිකාවට ගිය තාරක විද්‍යාඥයෙකු වන ජෝර්ජ් ගැමොව් (1904-1908) තාරකාවල ඇති මුලික අංශුන් පිලිබඳ සොයා ගැනීමක් කලා. තාරක තුල න්‍යෂ්ටික දහනය සිදුවීමේදී පරමාණුක අංශුන් එකිනෙක ගැටෙනවා. මේ ගැටීම සඳහා අංශුන් ගමන් කරන්නේ ඉතාමත් අසංවිධිත (chaotic) ආකාරයට. මේ ගැටීමක් වෙන්න කලින් (ක්වොන්ටම්  උමගක්) Quantum tunnelling තුලින් ගමන් කිරීම හෙවත් බාධක විනිවිද යාමක්  (barrier penetration ) කියා දෙයක් සිදු වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි බෝලයක් තාප්පයකින්  එහාට විසි කරනවා කියා හිතන්න. අපි අවශ්‍ය ප්‍රමාණයට ගතික බලයක් (චාලක ශක්තිය - kinetic energy ) තාප්පයට වඩා උඩින් බෝලය ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ බෝලයේ චාලක ශක්තිය උඩදී ගුරුත්වාකර්ශන  විභව ශක්තියට පෙරලෙන අතර එය  තාප්පයේ ගුරුත්වාකර්ශන  විභව ශක්තියට වඩා  වැඩි  විය යුතුයි. මෙය ක්වොන්ටම් චලිතයේදී සිදුවන්නේ මදක් වෙනස් විදියකට. අංශුව න්‍යෂ්ටියේ වැදීමට නම් අංශුවේ සම්පුර්ණ ශක්තිය බාධකයේ ශක්තියට වඩා  වැඩි විය යුතුයි. නමුත් ඇත්තටම සිදුවන්නේ මේ සම්පුර්ණ ශක්තිය නැති වුනත් එක්තරා අවස්ථාවක න්‍යෂ්ටිය හෝ ඉලෙක්ට්‍රෝනය තව න්‍යෂ්ටියක ගැටීම සඳහා මේ බාධකය උඩින් ගමන් කරන බවයි. මෙහිදී අංශුව ලබා ගන්න ශක්තිය ට ගැමොව් ශක්තිය හා එහි උච්චතම අවස්ථාවට  ගැමොව් මුදුන (Gamov  peak - රූප සටහන බලන්න.) කියා කියනවා. එතැනදී අංශුව බාධකයෙන් පැන  න්‍යෂ්ටිය හා ගැටෙනවා. මෙය සිදුවුනේ නැත්නම් තාරකාවල වෙන මුලද්‍රව්‍යය ඇති වන්නේ වත් කොටින්ම ග්‍රහලෝක, ජිවය පවා ඇති වන්නේ වත් නැහැ.
 (ප්‍රස්ථාරය 1)

මෙතන අපට වැදගත් මෙන්න මේ හරිය. තාරකාවල ඇතුලේ අංශුන් වල අසංවිධිත ගමන වගේම තම අරගලත්. ඒවා සැලසුමකට කොතන හරි ඇති වන්නේ නැහැ. ඇති වන හේතූන්  තිබෙනවා. ඇතිවුනාට  පස්සේ නොයෙකුත් ක්‍රමවලින් එහි තීව්‍රතාවය වැඩි කර ගන්න පුලුවන්. උදාහරණයක් වශයෙන් යුක්රණයේ මයිඩන්  වල ඇතිවුන යනුකොවිච් විරෝධී රැලි මුලදී සුළු විරෝධතාවයක් ලෙස පටන් ගත්තත් පසුව වෙනත් EU  හා ඇ.එ .ජනපදයේ මුදල් ආධාර හා මීඩියා  අනුග්‍රහයෙන් එය වැඩි කරගෙන යනුකොවිච්  එලවා  දැමීම.  (මෙහි හරි වැරැද්ද මෙතැනදී සාකච්චා නොකෙරේ).  දැන් නැවත සුමිත් චාමින්ද මහතා  ඉදිරිපත් කල ලක්ලාව්  ගේ පින්තුර විග්‍රහයට යමු. එහි D1, Dආදී අරගල සාම්‍යතා දාමයක තිබුනත් එහි  තීව්‍රතාවයන්  වෙනස්.  (ප්‍රස්ථාරය 2  බලන්න)

ඒ හැම අරගලයක්ම  මේ මුදුනට එන්නේ නැහැ. ලංකාවේ අධ්‍යාපන කප්පාදුවට හා %6 ක පඩි වැඩි වීම සඳහා ගිය අරගලය බලන්න. එය ශක්තිය මුලදී එකතු කර ගත්තත් මුදුනට එන්න බැරිව මිය ගියා . අනික් හැම අරගලයක්මත් එහෙමයි. එසේ නම් කල යුත්තේ චාමින්ද කියන ආකාරයේ හැම ප්‍රජාතන්ත්‍රවාදී හෝ අනිකුත් මෙකි නොකී ආකාරයේ අරගල වලට  ධනපති හෝ වෙන ඕනෑම පක්ෂයක් සමග එකතුවීතිබෙන ශක්තියත් වැය කිරීමද? එසේ නැත්නම් කල යුත්තේ අසංවිධිත ආකාරයෙන් ඇතිවන අරගල තෝරා බේරා අකාලයේ අවසන් වෙන ඒවාට සාපේක්ෂ මැදිහත් වීමක් කර නිශ්චිත වාස්තවික තත්වයන් තුල ඇතිවන අරගල වලට වාමාංශය එකතුවී ගැමොව්  පීක්  එකට යාම නොවේද ? එහිදී දයලේක්තික වාදී  ලෙස වඩාත් ඉදිරියෙන් සිටින පක්ෂයට හෝ  පක්ෂ සමුහයට ගන්න නිවැරදි ක්‍රියාමාර්ග තුල  බාධකයෙන් අනිත් පැත්තට යාමට හැකි වෙනු ඇත.
(මම මේ ලිපියේ මුල හරියේ චාමින්ද මහතාගේ ලිපිය පතරංග ජාතකයක් ලෙස හැඳින්වුවත් මගේ පිළිතුරත් ඒ ආකාරයටම දික් වීම ගැන කණගාටුයි.)

මුලාශ්‍ර : ‘The origin of chemical elements’ (1948) by Alpher, Bethe & Gamow,
'On Populist Reason' - Ernesto Laclau

දීප්ති කුමාර ගුණරත්න මහතාගේ  ලිපිය: http://3mana.com/%E0%B7%83%E0%B7%91%E0%B6%B8-%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%BA/



Friday 2 May 2014

දෑකැත්තයි මිටියයි හලන්න කල් හරිද? රතු කටුස්සෙක් පින්තුරේට දාමුද?

මේක ලියන්නේ 2014 මැයි 1 වෙනිදා. ලංකාවේ හා ලෝකයේ රටවල පෙළපාලි යන වෙලාවක. කොළ අයත් නිල්  අයත් කොටින්ම රජයේ හමුදාවක ඉහලම නිලයක් දැරූ යුද්ධයක් මෙහෙයවූ අයෙකුත් මැයි රැළියක් කරන නිසා (එහෙම කරන්න බැහැ  කියනවා නෙමේ. ඕන කෙනෙකුට වෙනස් වෙන්න අයිතියක් තිබෙන බව මම පිලි ගන්නවා.) මේ මැයි  පෙළපාලි දිනය  සුවිශේෂයි. අවාසනාවකට  වගේ ඊයේ වැඩ අධික නිසා මේ ලිපිය ඉවර කර ගන්න බැරිවුනා. අද දෙවෙනිදා. අනික් සුවිශේෂ කාරණය තම පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීම. නොයෙකුත් සමගාමී පක්ෂවල නායකයන් කතා කලා  මේ හමුවීම් වල. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න සම්ප්‍රදායෙන් එලියට ගිය "හොඳ" කතාවක් කරලා තිබුන. මේ කතාවට නොයෙකුත් විවේචන තියෙනවා. ඒවාට උත්තර ඒ ගොල්ලෝ දෙයි. නමුත් ඒක  හොඳ කතාවක්. අනික් කතාව චමීර කොස්වත්තගේ කතාව තුල පන්තිය සංවිධානය කරන්න ඕනේ කියන එක තමයි අවධාරණය කලේ.  සාධාරණ කතාවක්. නමුත් මේ හැම දේම හොඳ වුනත් ඇත්තටම අපි මැයි රැලි වලට යන්න ඕනෙද කියන ප්‍රශ්නය මතු වෙනවා.

අප සෝවියට් දේශයේ මැයි රැලි දැක්කා . සමාජවාදී ජයග්‍රහණ සංකේතවත් කරන රැලි හැටියට තම ඒවා දැක්කේ. මුලින් ම අභ්‍යවකාශයට ගිය යානය අරන් ගිය , යුරි ගගාරින් වගේ අය ගිය. ඒවා හොඳයි කියමු. නමුත් ලෙනින් ගෙන් පස්සේ බොහොමයක් මැයි  රැලි වලට යාම අනිවාර්ය කරලා තිබුන. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා කමිටු අනිවාර්යයෙන් සහභාගී විය යුතුමයි.  සහභාගී වුනේ නැත්නම් ජොබ් එකටත් කෙල වෙනවා. ප්‍රොමෝෂන් එකක ලැබෙන්න තිබ්බ නම් ඒකත්  නැති වෙනවා.
බ්‍රෙශ්නෙව් (සෝවියට් ජනාධිපති හා කොමියුනිස්ට් පක්ෂ ලේකම් ලියොනිඩ් බ්‍රෙශ්නෙව්) ගේ කාලේ  අර සමුහ ගොවි පොලේ අස්වැන්න අර කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අතිරික්තය , ඔන්න ඔය වගේ බොරු දත්ත දාපු බොරු ප්‍රදර්ශන රථ අරන් ගියා . මේවා කරපු නිලධාරීන් බ්‍රෙශ්නෙව්ව අම්බානක ඇන්දුවා. මුළු මධ්‍යම කාරක සභාවම වගේ රැවට්ටුව. ඕවට අහුවුනේ නැත්තේ මධ්‍යම කාරක සභාවේ දෙන්නයි. එක අයෙක්  යුරි අන්ද්රෝපොව්. මෑන් ආපු  ගමන් අර හොර නිලධාරි  කීප දෙනෙකුට  දීගෙන දීගෙන ගියා , නමුත් මිනිහ හදිසියේ මැරුණා. ඊට පස්සේ ආවේ (චෙර්නේන්කෝ ගෙන් පස්සේ) ගොර්බචෙව්. මිනිහ මුළු සෝවියට් දේශයම විසිරුවල දැම්ම.
නැගෙනහිර ජර්මනියේ සමාජවාදය තිබ්බ කාලේ  හිටපු කාට  හරි මැයි  පෙළපාලියට එනවද කියල ඇහුවොත්  දුවයි. එහෙම නැත්නම් පිස්සුද කියල අහයි. මැයි පෙළපාලියට ගියේ නැත්නම්  (අඬ  ගහල) ස්ටාසි (ජර්මන් රහස් පොලිසිය ) පිටිපස්සෙන්. අනික ඉතින් නැති දේවල් මවා  පෑමක් තමා  කෙරුනේ.

ඉතින් මැයි රැලියකට තම කැමැත්තෙන් යන්නේ නැතුව , යන්න කියා කියා කියනවනම් එතන පුංචි පහේ නිලධාරිවාදයක් තිබෙනවා කියල හිතෙනවා. ඉතින් මේ මැයි  රැලි වලට වනාගෙන තම කැමැත්තෙන් යන්නේ කවුද? නිල්පාට කොලපාට ඒවා වල නම් ලොක්කගේ හිත දිනා  ගන්න , තමන් තමයි වැඩි පුරාම සෙනග ඇද්දේ කියා ගන්න කරන වැඩක් නිසා ඒවා ගැන කතා කරලත් වැඩක් නැහැ. වචන නාස්ති කරන්න ඕනේ නැහැ පොලු සෙල්ලම් කෙලි සෙල්ලම් වලට.
ඉතින් මැයි  දිනයෙන් නම් ඊළඟ විප්ලවය තීරණය වෙන්නේ හරි, තම සංවිධාන ශක්තිය පෙන්වන්නේ හරි නම් , හොඳම පෙළපාලිය හා රැලිය වමේ පැත්තෙන් කලේ ජවිපෙ. ඒකෙ ගිය කතා නම් මම වැඩිය ඇහුවේ නැහැ. නමුත් මෙන්න මෙහෙම දෙයක් නිරීක්ෂණය වුණා. දැන් මේ පහල පින්තුරේ ලස්සනට ඇඳ  ගත්ත නාගරික තරුණ තරුණියෝ ටිකක් නේද ඉන්නේ. ටිකක් අලුත් රුසියාව වගේ. නැහැ . අලුත් චිනේ වගේ. ඒත් .... නැහැ.  මේකන් ගම්‍ය වෙනවද ජවිපෙ දැන් අලුත් මාවතක යන්නේ කියල.
 
එංගලන්තේ කම්කරු පක්ෂය පරදින කොට නීල්  කිනොක් ඉවත් කරලා ටෝනි බ්ලෙයාර් ආවහම  මේ වගේ වෙනසක් වුණා . ටෝනි ඇවිල්ල පින්ක්  (රෝස පාට ) වාමන්ශිකයෙක් රත්තෙක් නෙමේ කියල තම පිලි ගැනීම . ඇත්තටම මධ්‍යස්ත දක්ෂිනන්ශිකයෙක් කම්කරු පක්ෂෙන් ආපු .
 මේ දෙවන පින්තුරේ ජවිපෙ පෙළපාලිය. මේක  දැක්කම ගොඩක් ආඩම්බරයි හා. නමුත් මේක නිකම් මේ පෙබරවාරි 4 නිදහස දවසේ යන මාච්  එකක්  වගේ නැද්ද? එහෙම නැත්නම්  කිම් ජෝන් උන් ගේ උතුරු කොරියාවේ හෝ චීනයේ මැයි  පෙළපාලි වගේ නැත්ද? ශ්‍රී ලංකාවට අභිමානයෙන් ගෙන එන ඊළඟ මනස්කාන්ත නිලධාරිවාදී රාජ්‍යයේ පෙර ගමන් පෙළපාලිය නේද ? ඔය පෙළ පාලියේ යන හැමෝටම අණක්  දීල  ඇති සහභාගී වෙන්න. ඕකේ  ගීය අයට  හරියටම  පවරලා  ඇති වැඩේ . හා ඔයා  චේගේ ප්‍රදර්ශන  කෑල්ලේ  බර අදින්න. ඔයා  මොටෝ බයිසිකලේ ඉන්න ඔය වගේ. අර ඒ කාලේ නිදහසේ වරප්‍රසාද ඉල්ලා පෙළපාලි ගිය කම්කරුවට ශ්‍රමිකයට මොකද වුනේ.  ජවිපෙ නාගරික පන්තිය හරහා චන්දෙ ඉල්ලන බලා  පොරොත්තුවක් තියෙනවා කියල තමා  පෙනෙන්නේ. එතනින් බලය ගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ?
ඊළඟට බලමු පෙරටුගාමී සමාජවාදී පක්ෂේ පින්තුරයක් දිහා. 
 දැකත්ත මිටිය ගත්ත සම්ප්‍රදායික දෙන්නෙක් ඉන්නවා. ගොවි ගැහැණිය. ගමේ කම්මල් කරු . ක්ලැසික් පින්තුරේ. හැබැයි මන් ඔට්ටුවක් අල්ලනවා ඔය දෙන්නම එදා මැයි  රැලියේ හිටියේ නැහැ කියල. ගමේ ගොවි ගැහැණිය දැන් ඉන්නේ මැද  පෙරදිග. ගමේ කම්මල් කාරය ගෑනිව මැද  පෙරදිග යවලා කොහේ හරි කට ගොන්නක් බිල හොර ගෑණි  ගාව  හරි ගෙදර හරි නිදි.  ඉතින් මට නම් හිතෙන්නේ මිටිය වෙනුවට ඉස්ක්රුප්පු නියනක්, ව්රෙන්ච් එකක් (පින්තුරය බලන්න) 
 නැත්නම් වතුර බාල්දියක් හා මොප් කරන බුරුසුවක්  තිබ්බ නම් හරි කියලා . එහෙම නැත්නම අර අව්වේ ටයි පොල්ලක් ගහගෙන කඩවල් ගානේ  යන සේල්ස් රෙපාල  මතක් වෙන්න ටයි පොල්ලක් හරි අඩුම ගානේ . දැන් කතා කරන්න ඕනේ දුක් විදින්නේ ගාර්මන්ට් වල වැඩ කරන කාන්තාවෝ නේද? ඊළඟට තේ කඩන කට්ටිය. හැබැයි පෙසපේ එක පින්තුරයක පොඩි උත්සහයක් ගන්නවා හැමෝම ඇතුළු කර ගන්න. . මෙන්න ඒක.
. චමීර කොස්වත්තගේ කතාව ඉවර වෙනකම් අහන්න බැරි වුණා. මොකද හඬ පටය එතනින් ඉවරයි. පුබුදු ජයගොඩගේ කතාවේ යන්තමට මතක් කරනවා මෙහෙම. "අපනයනය කරන ශ‍්‍රමිකයන් වැඩි කරනව කියන්නේ ඇණ ගහගෙන ලංකාවට එන ප‍්‍රමාණය වැඩි වෙනව කියන එක. ඇගලූම් කර්මාන්තයට වැඩියෙන් බර තියෙනව කියන්නෙ සූරාකෑම තවත් වැඩි කරනව කියන එක" 

ලාල්  කාන්තගේ කතාවත් හොඳයි. ඇත්තටම ප්‍රශ්න ගැන කතා කරනවා. නමුත් දන්නවද දන්නේ නැහැ ස්වීඩනය මේ දවස් වල පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා පැය  7 හා පැය  හයේ වැඩ මුරයකට. හැබැයි ඵලදායිතාවය වැඩි කරන්න. මෙන්න යොමුව.  http://www.allvoices.com/contributed-news/16850616-sweden-to-try-6-hour-workweek-is-america-next . 

හුටා තමයි. සමාජවාදය එනකන් ඉන්න ඕනේ නෑනේ  එතකොට. 

 මේ ලිපියේදී පින්තුර ටික බා ගත්තේ http://www.lankatruth.com/ එකෙන් හා 
http://www.lankaviews.com/ එකෙන්. එකට ස්තුතියි.