Sunday, 12 October 2014

කුරුල්ලා මැරූ අමරකීර්ති

කුරුල්ලා මැරූ අමරකීර්ති 


මගේ යාළුවෙක් වරක් පැවසුවේ  ඔහු එක වරක  කටුනායකින් ලංකාවට එද්දී ගමන් බලපත්‍රය සෝදිසි  කල ආගමන විගමන නිලධරියා  "ඔයා අපේ කෙනෙක්නෙ" කියල කිව්වලු.   මේ කතා කරන්නේ කුලය ගැන බව ඔහු තේරුම් ගත්තේ පසුවය. කොළඹ වැඩි කාලයක් හිටි නිසා සමහරවිට අපට කුලය ගැන හැඟීමක් නැති වෙන්නට ඇති. මෙය නැවත මගේ ජීවිතයේදී  කරලියට පැමිණුනේ මා  දන්නා යෙහෙලියක හා තවත් ශිෂ්‍යයෙකු අතර ප්‍රේම සම්බන්ධතාවය නැවතුනේ කුල ප්‍රශ්නයක් නිසා වීමයි. මෙහි වඩාත්ම විසුළු සහගත තත්වය ඒ දෙදෙනාම සෝවියට් දේශයේ උගත්, ලංකාවේ ප්‍රගතිශීලි යයි කියාගත් පවුල්වල දෙදෙනෙකු වීමයි. ඒ "වාමාංශික  ප්‍රගති ශීලි යයි තමන්ව හඳුන්වාගත් " දෙමාපියන්ම කුලය මත විරුද්ධ වුහ. 
එසේ වතුදු අපට මාක්ස්වාදය කියා දෙන්නේ වෙනත් ආකාරයකටය. මේ පිලිබඳ සුළු විග්‍රහයක් මේ බ්ලොගයේම ප්‍රාග්ධනය ගැන කතා කරන කොට ලියා තිබෙනවා.  වහල් යුගයේ සිට වඩා ප්‍රගතිශීලි වැඩ වසම් ක්‍රමයත් , එය බිඳ දමමින් ධනේශ්වර ක්‍රමයත් බිහිවුණු බව මාක්ස් ඉතා හොඳින් පැහැදිලි කර තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. ධනවාදී වෙළඳ පොලවට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය , ඒවා විවෘත වෙළඳ පොලේ විකිණීම හා ලාභ ගැනීම. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය විකුනන අය (හෙවත් කම්කරුවා) හෙවත් ශ්‍රමිකයා ද  එම විවෘත වෙළඳ පොලේම සිටිය යුතුයි. වෙනත් වැඩ වසම් බන්ධන වලින් බැඳුනු ශ්‍රමිකයකු අවශ්‍ය නැහැ. වැඩ වසම් යුගය හා ප්‍රවේනි දාස ක්‍රමය නිමා වෙන්නෙත් ඒ අනුවයි. ධනවාදයේ දියුණුවට උදව් දෙන ඕනේ අයෙකුට එහි ප්‍රතිලාභ ලැබෙන්නේ වෙනත් බැඳීම් අභිබවායි. දිනසිරි කුරුලුගන්ගොඩට වගේ. 

කොටින්ම කුලය වුනත් වැදගත් වෙන්නේ ඒකෙන් මොකක් හරි විකුණා ගන්න පුලුවන්නම් විතරයි. අන්තිමට කුරුලුගන්ගොඩ වලන්ගන්ගොඩ බවට යලි හැරුන වගේ. 
"කුරුළු හදවතේ" මුළු කතාවම ඔය ඉහත දැක්වූ මාක්ස්වාදී තේරුම් ගැන්මට සම්පත වෙලා ලියවිලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.

අපි වගේ කට්ටිය දැන් හුඟක් අඩුයි. රේඩියෝ එකේ මොනරතැන්න , මුවන්පැලැස්ස අම්ම තාත්ත එක්ක වටවෙලා අහපු අවසන් පරම්පරාව අපි වෙන්න ඕනේ .  "කට්ටියම රේඩියෝ එක ඉස්සරහ එකතු වෙන්නේ මුවන් පැලස්සට උනත් " කියල අමරකීර්ති ලියන කොට මට මැවී පේන්නේ අපි ෂෝකේස් කියල ඒ දවස් වල කියපු පිගන් බඩු තියෙන අල්මාරිය උඩ  තිබ්බ රේඩියෝව ළඟ ඉඳගන්න හැටි. තාත්තා කළු සුරුට්ටුවක් පත්තු කරගෙන සෙටිය උඩ  කකුල් දෙකත් උඩ දාගෙන  ඉන්න හැටි.  මේ සුන්දර මතකය අමරකීර්ති "කුරුළු හදවත" තුලින් ලස්සනට මතු කරලා ගන්නවා.  

අපි හිටියේ බදුල්ල පැත්තේ ලුණුගල කියන පොඩි නගරයේ. ඒ දවස්වල බස් හතරයි ගියේ පස්සරින් ලුණුගල පහු කරලා බිබිලේට. තේ වතු ලැයිම් එහෙම තිබ්බ නිසා සැහෙන දුප්පත් දමිල ජාතිකයොත් එවැනිම දුප්පත් සිංහල ගම් කීපයකුත් අහල පහල තිබුන වගේ මතකයි. බෙර තමා  හැමතැනම තිබ්බේ.  ගිටාර් එකක් තිබ්බේ පොලිස් ස්ථානාධිපතිගේ ගෙදර. නගරාධිපතිගේ පුතාට තව සංගීත භාණ්ඩ කීපයක් තිබුන.
මේ වෙනස දිනසිරි (කුරුළු) කියන්නේ මෙහෙම. 
"ඇත්තටම රන්දිමා හා මධුවන්ති අතර අක්කයි නංගියි තරම් වන රූපමය සමානකමක් තිබුනත් මධුවන්ති වයලීනය අතට ගත්  විට ඒ සමානකම අතුරුදහන් වෙනවා."
කතාව ගලාගෙන යන්නේ හරියට ඒ දවස්වල තිබ්බේ සින්හල වෙළෙඳ සේවයේ ප්‍රචාරක දැන්වීම් අස්සේ යන අසන්නාගේ ඉල්ලීම් තිරය වගේ විටෙක සුන්දරව, විටෙක ගොරහැඩිව.
"එහෙත් ' මේ දැන් පෝලිමට (ලේ දන් දෙන්න)  එකතු වුනේ ' දිනසිරි කුරුලුගන්ගොඩ බව..පෝලිමේ අය නොදැන සිටීම...කිසියම් උපහාසයකුත් එක්ක අමරකීර්ති ලියන්නේ. 
කුල ප්‍රශ්නෙත් හීන් සීරුවේ මාරුවෙන් මාරුවට උලුප්පනවා. එක කුලේ කට්ටිය මේ වගේ අනික් අයව හොයනවා කියන එක අපි වැඩිය දන්නා දෙයක් නෙමේ. 
"විජිතයිය කිව්වා විද්‍යා පන්තියේ අපේ ජාතියේ කොල්ලෙක් ඉන්නවා කියල. සැහෙන දවසක් හෙව්වට පස්සෙයි දන්නේ උඹ කියලා " සරත් කියනවා දිනසිරිට. ඒ සරත්ම ඊට පස්සේ පේරාදෙණි ගියාට පස්සේ ලියනවා දිනසිරිට ටිකක ඉදිමුන ඔලුවක් එක්ක "සියලු විෂයන්ට බොහෝ පොත පත කියවන නිසාත්, ම කොහොමටත් සිංහල හා ඉංග්‍රීසි දෙබසින්ම පොත් පත් කියවන නිසාත් වැඩි කාලයක් පේරාදෙණියේ ගත කරන...". හම්බෙලා නැත්ද මේ වගේ සියල්ල දත්ලා  පේරාදෙණිය , කොළඹ , විද්‍යෝදය ඉවර කරලා ආපු. විශේෂයෙන්ම දේශපාලනය කරපු. වැඩියෙන්ම ජවිපෙ දේශපාලනය ටිකක් ලඟින් ගිය ඈයෝ.  භාවිතාවයි න්‍යාය යි ඔක්කොම දන්නවා. ඉගෙන ගන්න තව දෙයක් ඉතුරු වෙලා නැති කට්ටිය. 
මෙන්න උත්ප්‍රාසාත්මක ලෙස අමරකීර්ති එයාලව හඳුන්වලා දෙනවා: 
"මේ යුගයේ අප උරමත පැවරී තියෙනවා ඓයිතිහාසික  වගකීමක්. එක පැහැර හරින්න බැහැනේ සහෝදරයා" ලලිත් උද්යෝගයෙන් කිව්වා. ...
..මේ සහෝදරයාගේ නම කවුරුත් දන්නවා. දැක්කනේ කඩේ ගාවදී .
ඒක තමයි. ඒ ප්‍රසිද්ධිය පාවිච්චි කරන්න පුළුවන් යුගයේ ඓයිතිහාසික කාර්යට, දවසේ සුජාත යුතුකමට දායක වෙන්න. " ලලිත් සහෝදරයා ඔහුට සුපුරුදු කතා විලාසෙන්  කියනවා.
මන් හිතන්නේ අමරකීර්ති දිනසිරි  "ඔහේගේ ආච්චිගේ රෙද්ද" කියල කිව්වයි කියල ලිව්වේ නැත්තේ ගම්වල එහෙම නොකියන නිසා වෙන්න ඇති. 
නමුත් ලංකාවේ තිබ්බ දරුණු මර්දනය කාලේ (88-89) ලලිත් ගෙයි, සරත් ගෙයි දිනසිරිගෙයි හමුවීම ටිකක් අභව්‍ය සිදුවීමක් වගේ.  
ඊට පස්සේ එන්නේ 77න් පස්සේ ලංකාවේ සිදුවන පෙරළියත් එක්ක ආපු FM රැල්ල ගැන කතාව.  යමක් විකුණගන්න, විකුණන කට්ටියට ඒ කියන්නේ බහු ජාතික සමාගම් වල සිට සාමාන්‍ය සුළු වෙළෙන්දා දක්වාත්, මහා කම්හල් වල සිට සුළු කර්මාන්ත කරු දක්වාත් විහිදුන හොඳ වෙළඳ සේවයක් හදන්න, බල්ලෝ මරල හරි සල්ලි හොයපු කාලයකදී ආපු රේඩියෝවට දිනසිරි එකතු වෙනවා. කුලය වගේ භේද මේ ධනවාදයට අවශ්‍ය නැහැ. එක හරි. එතන ඒක  ප්‍රගතිශීලියි. හරියට රනිල් වික්‍රමසිංහ වගේ. ඔන්න ඔය ප්‍රගතිශීලි කම වැරදියට වටහා ගන්න අපේ සමහර හිටපු වමේ පක්ෂවල ඈයොත් සිරිකොත පැත්තට මාරු වෙනවා මේ දවස් වල. 
අමරකීර්ති ලියනවා මෙහෙම ඒ ගැන. 
"සිල්ලර බදු වෙලන්දමෙන් ධන කුවේරවූ බිග්එම්  සමගම මියුරු එෆ්එම් ගුවන් විදුලිය ආරම්භ කරද්දී ජනමාධ්‍යය යනු භාණ්ඩ විකිනීමට භාවිතා කල හැකි උපකරණයක් පමණක් නොව විකිණිය හැකි භාණ්ඩයක්ද බවට පත් වන බව වටහා ගෙන තිබුනා. කතා කිරීම, සිනා සීම, විහිළු කිරීම, ගායනය යන සිල්ල විකිණිය හැකි පුංචි පුංචි භාණ්ඩ ජාතියක් බව සමාගමට තේරුණා. ....රේඩියෝ චැනලය නීතිමය වශයෙන් අරඹන්නට අවශ්‍ය කොමිස් දීම්, පගා දීම්, ආරම්භ කර තිබුනේ අවුරුදු ගානකට කලින්."    

හරියට මුදල භාණ්ඩ බවටත් භාණ්ඩ මුදල් බවටත් , භාණ්ඩ මුදල් හා ලාභාංශය බවටත් පරිවර්තනය වෙනවා වගේ බඩහැලගංගොඩ හෙවත් වළන් ගංගොඩ  දිනසිරි , කුරුළු ගංගොඩ හැටියට රුපාන්තරණය වෙනවා.  වැඩක් හරියට කරන්නේ නැතුව සල්ලි හම්බවෙනකොට අර තවම අවිහිංසක කුරුළු ගංගොඩ ගිහින් එපා කියනවා වැඩි සල්ලි. නමුත් ව්‍යාපාරයන් ආයෝජනය කරන්නේ ඉස්සරහ බලා ගෙන. ව්‍යාජ නම් වලින් තැපැල් පත් ලියල මේ වෙළඳ ප්‍රයෝගයේ පලවන් පාඩම දිනසිරිම පටන් ගන්නවා එයාගෙම මුලිකත්වයෙන්. දිනසිරි තමන්ගේ ගම විකුනන්න පටන් ගන්නවා. 
අමරකීර්ති ඩෑෂ් පහරකින් උස්සල දෙනවා මෙන්න මෙහෙම:
"කිරිපිටි ආනයන සමාගම් ඒ කිරි ගමේ කිරි බව කියන්නට, සුවඳ සබන් නිෂ්පාදන සමාගම් ඒ සබන් ගැමි සුවඳ ගැමි සුවඳ විහිදුවන බව  කියන්නට, කෘෂි රසායන ආනයන සමාගම් ඒවා දේශීය ගුණපණ ඇති තෙල් බව කියන්නට ඉල්ලන තාරකාව බවට පත් වුනේ කුරුළු ගංගොඩ. "   

මට එකඟවෙන්න බැරි එකම තැන මෙන්න මෙතන ලියනගේ ලියනවා:
"දිනසිරි කුරුළුගංගොඩ ධනවතෙක් විය" කියල.
ධනවත් කියල කියන්නේ අර වලන් හද හද ජිටපු ගැමි කොල්ල කොළඹ ඇවිත් සමාගමක වැඩ කරලා ටයි පොල්ලක් ගැට ගහ ගත්තට පස්සසේ කොම්පැනියෙන් හම්බ වෙන රතු නිසාන් සනිය අරගෙන ගමට යන නිසාද? ණයක්  අරගෙන ගේ හදන නිසාද? මෙන්න මෙතැන ප්‍රශ්නයක්. දැන් එංගලන්තේ හුඟක් අයට බිරිඳට හා සැමියාට කාරය  බැගින් තිබෙනවා. ණයක්  අරගෙන (mortgage කරලා) ගෙයක් ගන්නවා. අවුරුද්දට දෙපාරක් හෝ තුන් පාරක් නිවාඩු යනවා. දැන් ඒ අය ධනවත්තුද , මධ්‍යම පන්තියද? ඔය හැදෙන්නේ ලංකාවේ මධ්‍යම පංතිය  මිසක් ධනවත්තු නෙමෙයි. ඒගොල්ලෝ එහෙම හිතන් නම් ඉන්නවා ඇති. 
මේක නම් ඇත්ත " හිතේ තියෙන දේවල් කරන්න  අතේ සල්ලි සල්ලි තියෙන එක තමයි ජිවිතේ. -වැඩ සටහන් අධ්‍යක්ෂකගේ කතාව". ලංකාවේ සල්ලි නැතුව මුකුත් කරන්න බැහැ. පගාවක් දීල වැඩක් කර ගන්නවත් බැහැ  නේ. 

අපිව ඔලු තවමත් කුරුවල් කරවන ඉතිහාසයකුත් ගලා යනවා මේ අතර තුර. 
"කමක් නෑ. ප්‍රේම් හිටිය නම් මේ වගේ චැනල් එකක ලොක්ක  වෙන්න තිබුන. ජේවීපී එකේ බිලට දාලා ඇතුළෙන්ම වැඩේ දුන්න වෙනද පුළුවන්. මොකද ඒවගේ දක්ෂයෝ හිටිය නං ජන මාධ්‍ය ඇමති උනත් වෙනද තිබුන " - ප්‍රේමකීර්ති - ජන මාධ්‍ය ඇමතිට - පිස්සුද ඒකනම් කවදාවත් වන්නේ නැහැ. ප්‍රේමකීර්ති ජිවතුන් අතර හිටිය නම්. ප්‍රේමකීර්තිත් බොරු කිව්වද?

"ඇත්තද සර් " දිනසිරි අහනව. "ඇතුලෙන් මැරුව කියන්නේ?"
 "ඒක  කතාවක්. ඇතුලේ ඉන්න උන් බල්ලෝ වගේ පොරකනවනේ තනතුරු වලට "
"මන් හිතුවේ ජේවීපී කියල"
"අප්පේ! එයාල අහිංසකයි කියල නෙමේ මන් කියන්නේ. උනුත් මැරුව කෙළවරක් නැතුව.  බුදු මැරිල්ලක්නේ උන් මැරුවේ. "
මරණ ගාන  හැටියට බුදු ගානක් වෙන බුදු නම දාලා කියන රටක් තමා  මේ. මුල හරියෙම ගෝනවල සුනිල්ට දඬු කොටෙන්  පිඹපු වෙලාවේ අපිත් කාලකන්නි සතුටක් වින්ද. ඒ වෙලාවේ ඒක වැරදියි. නඩු අහලයි මිනිසුන්ට දඬුවම් කරන්නේ ඕනේ කියල අපිට හිතුනෙත් නැහැ. දැන් ඒක සිය දහස් ගුණයෙන් වැඩි වෙලා. සැක කාරයෝ ආයුධ පෙන්වන්න යනව විතරයි. ගංගා වල ඔහේ ගිලෙනවා. එකනම් පටන්ගත්තේ 71 කාලේ ඉඳන්. අපිත් මේ හැම දේටම වරද කාරයෝ. කට වහගෙන හිටියට. 
දැන් සිද්ධවෙන අන්තිම  ජරා ජීරණ වෙළඳ  පිළිවෙත් ගැනත් කියවෙනවා මේකේ.

"මියුරු එෆ් එම්  නිවෙදිකාවකට ඉව අල්ලන ඇමති කෙනෙක් සිය අමාත්‍යංශයට අයත් කොන්ත්‍රාත් ලබා දෙන්නට හොඳටම ඉඩ ඇති නිසා රොහාන් විමලවීර ඇය (දිනසිරි හා වැඩ සටහන් අධ්‍යක්ෂකගේ සමාගම -පැහැදිලි කිරීම මගේ ) සිහල කලා අධ්‍යක්ෂිකාවක් බවට පත් කොට සුළු මාසික දීමනාවක් දෙමින් කල් යල් බලමින් ඉන්නවා. තව ටික කාලයක් ඇතුලත මේ සුරූපී යව්වනිය කන්‍යාභාවය පිලිබඳ ගතානුගතික අදහස් අත් හළ  වහාම  ඒ අමාත්‍යංශයේ දැන්වීම වැඩ සිහලකලා වෙත ඒමට නියමිතයි."

මුත්තු ආතට කිව්වා නම් අනේ අප්පේ,  අපි කමතේ නිකන් ඇල්ලුවා විතරනේ බොල කියල කියයි නේද?

පහත වචන පේලියෙන් ලංකාවේ වමේ දේශපාලන පක්ෂයක භාවිතාවේ සහ න්‍යායේ තිබ්බ පරතරයත් , එනමුත් ඒ පක්ෂවලම සිටි හිත හොඳ අහිංසක පරාර්ථකාමී සගයනුත් ගැන අපට යලිත් මතක් කිරීමක් කරනවා.
"ලලිත් සහෝදරයා කොච්චර කිව්වත් මට ඒත්තු ගියේම නෑ. එයාල කටපාඩන් කරගෙන මොනවාද කියනවා වගේ තමයි මට පෙනුනේ "
"එහෙම තමයි සමහරු. උද ඉන්න කවුරුහරි කියන එක ගිරව් වගේ කියනවා මිසක් තමන්ටත් හිතන්න පුළුවන් කියල දන්නේ නැහැ. "

හැබැයි ඒ ඉතිහාසයේ අමතක නොවෙන, අර කුමාර කෙනෙක් ඉල්ලුවත් අනිත් අය සමාව නොඉල්ලන එකම දෙයට කිසියම් සාධාරණයක් ඉටු කරනවා අමරකීර්ති.

"ආයේ දවසක්  එනවා කිව්වා මාව හම්බවෙන්ඩ පුස්තකාලේ ගාවට. මන් ගියේ නෑ. එයා එන්ඩත්  නැතුව ඇති. ආවනං ගෙදර හරි එනවනේ. - දිනසිරි කිව්වා."
"ලලිත් සහෝදරයා ආවා. අපහු ගියේ නෑ. පුස්තකාලේ ලනගට එනකල් ....එකෙන් ෆලෝ කරලා ලලිත් සහෝදරයාව ගත්ත. කාව  හම්බවෙන්ඩද  කියල ඇහුව. ඒත්  කිව්වේ නෑ."
පාවා නොදී පොළවට පස්වුනු (පස්කල) ජිවිත ගැන සමාව ඉල්ලන්න අමාරුයි.

ජාතික විමුක්ති අරගල හරියන කාලෙකුත් තියෙනෙව. වැරදෙන කාලෙකුත්  තියෙනව. මේ එහෙම වැරදෙන කාලයක්.
"නෑ මන් කිව්වේ අපි කැරැල්ල ගහන්ඩ පාවිච්චි කරපු වචනම අරගෙන කෘෂි සමාගම් , සබන් සමාගම්, රෙදි සමාගම් ගමට එනවා. විප්ලවේ කරන්නේ අපිද එයාලද කියල හිතන්න බැරි විධිහට". අනික් පැත්තෙන් ඒ වචනම පාවිච්චි කර කර ජාතිකවාදීයෝ පෙළපාලි යනවා. "සරත් අඳුර දෙස බලාගෙන කිව්වා. 

ඊළඟට එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක් (ඔබටත් මටත් හිතා ගත හැකි) ගැන පොඩි සඳහනක් කරන අමරකීර්ති මෙසේ කියනවා. (ඉංග්‍රීසියෙන් ඇඟට  නොදැනෙන්න පොඩි swipe එකක් ගන්නවා  කියන්නේ මේකට)  
"මනොවිශ්ලේෂණය න්‍යාය ජනප්‍රිය කල දේශපාලන කණ්ඩායමක් තමන් හැර අනුන්ගේ මනස් විශ්ලේෂණයෙන් ලබන කුරිරු ප්‍රීතියට තමනුත් ආකර්ෂණය වෙමින් ඉන්න බව සරත්ට දැනෙනවා. "
මටනම් කියන්නේ තියෙන්නේ ඔබත් විශ්ලේෂණ කරන්න ඔවුන්ගේ. ප්‍රතිවිරෝධය ඇතිවෙන්නේ එතනින්නේ.

දැන් අවුරුදු ගානක් පොස්ට්කාට් (දිනසිරිගේ වචනෙන්) ලියල තමන් පෙලූ කුලය හා බැඳුනු වලන්ගන්ගොඩ නම දිනසිරි ඉවත් කරගෙන කුරුලුගන්ගොඩ  ජනප්‍රිය කර ගන්නවා. භේද නොසලකන ශ්‍රමය හා ලාභය පමණක් වැදගත් ධනවාදය ඔහුව අමරකිර්තිගේ වචනෙන් ධනවතෙක් කර අවසන් කඩුල්ල පනින්න වලව්කාර  කෙල්ලෙකුත් සෙට් කර ගන්නවා. නමුත් ඒ ධනවාදයම  කුලය මාකට් කරනවා කියල කුරුළු හෙවත් දිනසිරි තේරුම් ගන්නකොට පමා වැඩියි.
ගමේ නම නැවත වළන්ගන්ගොඩ කියල ඒගොල්ලම ගහ ගන්නවා. මොකද බස් පිටින් බිස්නස් එන්නේ එහෙම කලොත් විතරයි. මතක තබා ගන්න. බස් වලින් මිනිස්සු නෙමෙයි එන්නේ. බිස්නස්. 

ඊට පස්සේ ඉතින් ඉස්සර කොළඹ ලොකු විද්‍යාල වල විතරක් තිබූන දැන් හැම මාධ්‍ය මහා විද්‍යාලයකම, නගරයකම (මේක හොඳ දෙයක්) තිබෙන ස්විමින් පූල් එකකට බැහැල පිහිනීම ඉගෙන ගන්න වරප්‍රසාදයක් නොතිබුණු දිනසිරි කුරුළු ගංගොඩව දියවන්නා  ඔයේ  ඔබල මරල දානවා අමරකීර්ති විසින්. 
ඒක  හරි තර්කාන්විත අවසානයක් . වෙන ඉවර වෙන්න විධියක් නැහැ ඒ ගිය විධිහට. මේ යන විධිහට, චන්ද වැටෙන විධිහට  ලංකාවේ  වැඩි හරියක් දියවන්නා  ඔයේ ගිලිලා මැරෙයි වගේ. 

මට හිතා  ගන්න බැරි මේ පොතට ආණ්ඩුව විසින් පත් කල කොමිටියක් මගින් පලවෙනි තැන තෝරා  ගැනීම ගැන.  ජයවේවා මහත් වරුනි. 

මට තව ගොඩක් ලියන්න තිබුනත් බ්ලොගය දිග වැඩි වෙන නිසා නතර කරනවා මෙතනින්.  මට දැන් කම්මැලියි තව ලියන්ඩ. හෙට ළමයිව ඉස්කෝලේ ගිහින් දාන්න  ඕනේ, කුටුම්භ සංරක්ෂණය සඳහා වෙහෙස වීමට මිසක් තව ලිවීමට කාලයක් නැත. මේක ආත්මාර්ථකාමී කමක්.

 ඒ නිසා මෙහි ම ලිවූ දෙයින් පිටත දෙයක් නැත.

ඩෙරීඩා "ඔෆ් ග්‍රමටලොජි - Of Grammatology" එකේ ලියල තියෙන්නේ il n’y a pas de hors-texte” හෙවත් “there is no outside-text” හෙවත් ලිවූ දෙයින් පිටත දෙයක් නැත කියලනේ.


කුරුළු හදවත - ලියනගේ අමරකීර්ති

This book is available to buy from Agora art Circle London.
උපුටා ගැනීම් ස්තුතිය: 
1. කුරුළු පින්තුරය: http://uncyclopedia.wikia.com/wiki/File:Dead-bird-feet-up.jpg
2. ඩෙරීඩා වාක්‍යය: https://www.inkling.com/read/the-philosophy-book-buckingham-1e/chapter-6/jacques-derrida-19302004 

Thursday, 9 October 2014

ඕන් ඉන්නවෝ ඕන් නැතෝ කුමාර්

මම පුංචි කාලයේ මගේ ආදරණිය පියා මා නින්දට යනතුරු කිවූ කතාවක් තවම මතකය.  එක්තරා ගොවියෙක් තම කිව්වා නාහන පුතා ගොවිපල ලඟම තිබෙන වතුර පාර සැර  දොලකට තල්ලු කලේ "යන අහක පල කියාය." පීනන්ට බැරි පුතා දොළ පාරෙන් වතුර පාරට වැටී "මාව බේරා ගනියෝ " කෑ ගසමින් පාවී යන විට තව ගොවියෙක් බේර ගත්තා. අරගෙන ගොවි ගෙදරට අරන් ගියා. කොල්ලගෙන නම ඇහුවම පොර  කිවේ "ගියෝ" කියල. ගොවි බිරිඳටත් සතුටුයි. දිග දෙන වයසේ දුවෙකුත් ඉන්නවනේ කියල. කොල්ල ගොවි බිරිඳට කිව්වේ පොරගේ  නම "ඉන්නවෝ ". ගොවි දියණිය ටත් මාර ජොලි. වේලි වේලි හිටිය මට කොල්ලෙක් ගෙදරටම ගෙනත් දුන්න කියල  දෙය්යන්ට පානකුත් පත්තු කරලා.  කෙල්ලට අපේ පොර නම කිව්වේ "ආවෝ" කියල.
මාස කීපයකට පස්සේ මේ කිව්වා නාහන කොල්ලට එක තැන ඉන්න එක අරහන්. පොර ගොවියගේ බෝට්ටුවත් අරන් පැනල යනවා. තුන් දෙනාම දැන් කොල්ල හොයනවා.
ගොවි තාත්ත කෑ ගහනවා "ගියෝ " "ගියෝ " කියල. කෙල්ලයි අම්මයි දුවගෙන ඇවිල්ල කොල්ල ඉන්න වද කියල බලල ගොවියට බනිනවා " අපි දන්නවනේ යකෝ මිනිහෝ කොල්ල ගිහින් කියල". ඊළඟට ගොවි බිරිඳ කෑ  ගහනව "ඉන්නවෝ" "ඉන්නවෝ "කියල. අනිත් එවුන් දෙන්න දුවල  ඇවිත් බලල ගොවි බිරිඳ ට බනිනවා "කෝ ඉන්නවා කිව්වේ. ඔහෙට පිස්සුද අරකද මේකද " කියල.
ඊළඟට ගොවි කෙල්ල හොයනවා කොල්ලව. " ආවෝ " ආවෝ" රත්තරනේ කිය කිය". ගොවියයි බිරිඳයි ඒක ඇවිල්ල දුවගෙන ඇවිත් බලපුවම කවුරුත් නෑ. දෙන්නම අල්ලල තඩි බානවා කෙල්ලට.

දැන් මේ කථාව ඔළුවට ආවේ මේ කුමාර් මහත්තය හෙවත් කුමාර් ගුණරත්නම් නමැති පෙසපේ නායකයා ගැන පලවෙන නිව්ස් දැකල.

ඔන්න අද එනවලු කටුනායකට. ඔන්න හෙට එනවලු බෝට්ටුවකින් යාපනේට. අන්න ගිය පාර හැංගිලා ගියාට ගියේ නෑලු. දැන් ඉන්නේ ඉන්දියවෙලු. ඕවගේ කතා.
තව කවුද කිව්වා එයා ලංකාවෙන් ගියේම නෑලු. වෙන කාටද ඕස්ට්‍රේලියන් පොත විකුණලා හොඳ ගාණක් අරගෙන ලංකාවේම  ඉන්නවලු. සමහර පක්ෂේ කස්ටියත් දන්නේ නැතිලු.
කවුරුහරි හොයන්න එනකොට "මේක ගුනේ අයියාගේ බජව් දාන කාමරේ " කියන සින්දුව හයියෙන් දානවලු. එන කට්ටියට ඇහෙන්න.

කුමාර් ගුණරත්නම් බලාගෙන ගියාම ක්වන්ටම් අංශුවක් වගේනේ. මේ ඉන්නවා . මේ නෑ. මොන ඩයමෙන්ෂන් එකේ ඉන්නවද කියලා හොයා ගන්නත් බැහැ.

දැන් අනුර කුමාර බැලුවොත් , හොයා ගන්න හරිම ලේසියි. එක්කො පුටුවක කැරකි කැරකි සම්මුඛ සාකච්චාවක් දෙනවා. එක්කෝ මේං එංගලන්තේ ඉන්නවා. ඊට පස්සේ කටාර් වල කැරකෙනවා. පත්තරයක් බැලුවොත් ඉන්නවා බැබලි බැබලි.

දීප්ති කුමාර බැලුවොත් ඔය ගල්කිස්ස රත්මලාන පැත්තේ බැලුවොත් ඉන්නවා ඇති. නැත්නම් හේගල් සම්මන්ත්‍රණයක් පැත්තට , සිනමා, පොත් විචාරයක් කරන තැනකට ගියොත් හොයා ගන්නත් පුළුවන් මන් හිතන්නේ.

කුමාර් ගුණරත්නම් ලංකාවට ඇවිත් ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් ඉස්සෙල්ලම බ්ලාස් වෙන්නේ මහා ආචාරි  නිර්මාල් ගේ සාධාරණ සමාජයක් ව්‍යාපරේට යි සෝභිත හාමුදුරු මහත්තැන් ටයි. .  ඊට පස්සේ අනුර කුමාර ඉල්ලන්න ඉන්නවනම් එයාට දෙන්න හිතන් ඉන්න පෙසපේ චන්ද ටික හැලෙනවා. කට්ටිය එකතුවෙලා ඉල්ලුවත් ඒත් චන්ද ටිකක්‌  කැඩෙනවා.

ඒ කියන්නේ ඔය කොච්චර කිව්වත් කුමාර් ව ලංකාවට ගෙන්නන්න කාටහරි ඕනේ ඇති. එහෙම නැත්නම් ශික් මේ ජවිපෙ ගුණ්ඩු ගිලල එලෙව්වේ අපරාදේ කියල හිතෙනවා ඇති.

හොයා ගන්න එක තමා ප්‍රශ්නේ.

"ආවෝ " "ගියෝ" ඉන්නවෝ "





Tuesday, 7 October 2014

මුදලේ අගය , ප්‍රාග්ධනය හා BRICS

මුදලේ අගය  , ප්‍රාග්ධනය හා BRICS -
මුදල් සංසරණය වන ආකාරය පිළිබඳව හා ලාභය ප්‍රාග්ධනයට පරිවර්තනය වන ආකාරය සාකච්චා කලේ අන්තිම ලිපි දෙකේදී (ප්‍රාග්ධනය පිළිබඳව). මෙහිදී මේ මාතෘකාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් ප්‍රාග්ධනය පොතේ පරිච්චේද 5 හා 6 ඇසුරින් BRICS රටවල් ගැන හා එයින් සිදුවන්නට යන්නේ කුමක්ද ගැන පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුනයි.

අපි දැන් සමීකරණ තුනක්  දන්නවා. එක, C–M–C එනම් භාණ්ඩ මුදලට පරිවර්තනය වීම (හුවමාරු වටිනාකමක් ගැනීම) හා එය නැවත එම මුදල භාවිතා කර භාණ්ඩයක් ගැනීම. දෙක, M -C -M , එනම් මුදල් ළඟ තබාගෙන භාණ්ඩයක් ගැනීම , එය නැවත විකුණා මුදල් කර ගැනීම. තුන, සමීකරණ දෙකක්  විධිහට තියෙන්නේ. එනම් M - C - M', ( ලකුණ ' බලන්න. ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි. එනම් මුදල' හෙවත්  M' = M + ΔM.
මෙහිදී ΔM යනු ලාභය බව පැහැදිලි කලා.
දැන් අපි බලමු ව්‍යවහාර මුදලේ (currency of money) ප්‍රවේගය කියන්නේ මොකක්ද කියල.  ඒ කියන්නේ නියමිත කාලයක් තුල කිසියම් ව්‍යවහාරික මුදල් ප්‍රමාණයක් (ඩොලර්, පවුම් වැනි) සංසරණ ක්‍රියාවන් වාර කීයකට මැදිහත් වෙනවද (ගමන් කීයක් කරනවද) යන්න.
අපි හිතමු කිසියම් භාණ්ඩ හතරක් සංසරණය වීම සඳහා දවසක් ගන්නවා කියල. ඒවා සඳහා එකතු  විය යුතු මුදල (පවුම්) £8 නම්,  මුදල් කෑලි  2 ක සංසරණ වාර ගණන   (number of moves ) හතරකි. එතකොට සංසරණ වන මුදල් ප්‍රමානය (පවුම්) £2 කි.  
උදාහරණය: අපි හිතමු පහත සඳහන් භාණ්ඩ හතර තැන්  කීපයක විකිනීමට තිබෙනවා කියා.  හාල්  කිලෝ එකක්,  රෙදි යාර  20ක්, පොතක් (වටින එකක්- මාක්ස් මෙහිදී බයිබලය යොදා ගනී.), සහ VSO අරක්කු බෝතලයක්. මේ හැම එකකම අගය £2, කියා සිතුවොත් සාක්ෂාත් (එකතු විය යුතු ) කරගත යුතු මුළු මුදල   £8 කි. එනම් £8ක මුදල් ප්‍රමාණයක් සංසරණයට යා  යුතුයි.  හැබැයි මේ ක්‍රියාදාමය  රුපාන්තරණය (metamorphose)   වන්නේ මෙසේ නම්:  හාල්  කිලෝ එකක් -£2 -  රෙදි යාර  20ක් - £2 - පොතක් -£2 - VSO අරක්කු බෝතලයක් - £2, මේ ක්‍රියා දාමයේදී £2  විසින් මේ භාණ්ඩ එකක් පසුවට එකක් වශයෙන්  සංසරණය සිදු කරන බව පෙනේ. අන්තිමේදී භාණ්ඩ  හතරේම මුළු මුදල වන £8 සාක්ෂාත් කර ගැනීමෙන්  අනතුරුව  වයින් කඩේ හිමිකරු ගේ සාක්කුවට  අන්තිම £2 යයි. මෙහිදී මේ £2 සංසරණ ක්‍රියා වාර හතරකට සහභාගී වේ.  (make four moves) 
මේ නිසා සංසරණ ක්‍රියාවලියේදී  දී තිබෙන නිශ්චිත කල සීමාවක මේ සම්බන්ධය තිබේ:
සංසරණ මාධ්‍යය හැටියට භාවිතා වෙන මුදල් ප්‍රමාණය = භාණ්ඩවල මිල ගණන්වල එකතුව /(බෙදීම)  එකම වර්ගයේ මුදල් කාසි වලින් කරන සංසරණ වාර ගණන (£2=£8/4). මේ නියමය සාමන්‍යයෙන් ගත් කල නිවැරදි බව මාක්ස් ප්‍රග්ධනයේ සඳහන් කරයි.

ව්‍යවහාරික මුදල යනු නියත සහ නැවත නැවතත් ඒකාකාරී ලෙස සිදුවන එකම ක්‍රියාවලියයි. භාණ්ඩය  සැමවිටම විකුනන්නා අත ඇති අතර මුදල් , මිලදී ගැනීමේ මාධ්‍යය ලෙස මිලදී ගන්නා අත පවතී. මිලදී ගැනීමේ මාධ්‍යය ලෙස මුදල කටයුතු කරන්නේ භාණ්ඩයේ මිල සාක්ෂාත් කර දීමෙනි.  කඩදාසි  මුදල්  රත්රන් සංචිත හෝ (කාසි ) මුදල් නියෝජනය කරයි. භාණ්ඩවල අගය එක හා  ප්‍රමාණයක අගයෙන් ප්‍රකාශනය කරන අතර කඩදාසි මුදල් එම අගයම (රත්රන් වල) සංකේතීයව  ප්‍රකාශ කරයි. එනම් කඩදැසි මුදලද අගයේම සංකේතයකි.

භාණ්ඩ සන්සරණයේදී මේ නිසා සිදුවුයේ කුමක්ද? නිෂ්පාදිත භාණ්ඩය විකුණුවේ වෙනත්  දෙයක් මිලදී ගන්නට නොව භාණ්ඩය වේශය මුදල් වේශය බවට පත් කිරීමටයි. මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය නම් මුදල් නිදන් ගත කිරීම (ගොඩ ගසා  ගැනීම  - hoard) බිහිවීමත් විකුනන්නා  මුදල් ගොඩ ගසා ගන්නා  බහිරවයා ( hoarder) බවට පත් වීමත්ය. 

දැන් මාක්ස් ගේ උපුටා දැක්වීමක් බලමු: "1740 ගණන්වල ජිවත් වුන ජෙකොබ් වැන්ඩර්ලින්ට් ගේ ආශාව වුනේ භාණ්ඩ වල මිල ඒ ඒ රටේ තිබෙන රත්රන් හා රිදී සංචිතය මත තීරණය කරන්න. නමුත් ඔහුට ඉන්දියාවේ භාණ්ඩ මෙපමණ මිල අඩු ඇයිද යන්න ප්‍රහේලිකාවක් වුණා. (දැනුත් ඉන්දියාවේ ආහාරවල මිල එහෙම සාපේක්ෂව හුඟක් අඩුයි. )  පිළිතුර: ඉන්දියානුවන් තමන්ගේ මුදල් වළ දැමීම නිසා. වැන්ඩර්ලින්ට් කියන්නේ,  1602 සිට 1734 දක්වා  ස්ටර්ලින් පවුම් මිලියන් 150 ක් වටිනා රිදී ඔවුන් වල දැමු බවයි. මේ රිදී මුලදී ඇමෙරිකාවේ සිට යුරෝපයට ගෙනා ඒවායි . 1856 සිට 1866 දක්වා අවුරුදු දහය තුල එංගලන්තය £120,000,000 වටින රිදී ඉන්දියාවට හා චීනයට අපනයනය කර තිබුණි. (ඒවා ලැබී තිබුනේ ඕස්ට්‍රේලියානු රත්රන් වලට හිලව්වටය. ) චිනයට අපනයනය කල රිදී බොහොමයක්ද ඉන්දියාවට පසුව ලඟා වුනි. "
කොලම්බස් 1503 දී ජැමෙයිකාවේ සිට එවූ ලියුමේ මෙසේ කියයි. - "රත්රන් කියන්නේ පුදුම දෙයක්. එය අයිති ඕන කෙනෙක් තමන්ට අවශ්‍ය ඕන දෙයක් ගැන ස්වාමියෙක් වෙනවා. රත්රන් තියනවනම් තමන්ගේ ආත්මය වුනත් ස්වර්ගයට යවා  ගන්න පුළුවන්. "

සංසරණයේ අවශෝෂණ බලය තුල දියවීමට අවශ්‍ය සමස්ත මුදලේ අගය කාසි වලින් බැලුවොත් එම මුළු අගයට වඩා රටක රත්රන් හා රිදී සන්චිතය වැඩි විය යුතුයි.  මේ වැඩි ප්‍රමාණය ( gold and  silver reserves) මුදල් සංසරණයට දැමීමට (රටක)  හෝ සන්සරණයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කරන සාධකය වන අතර බැංකු රත්රන් වලින් පිරි ඉතිරි නොයන්නට හේතුවක්ද වෙයි.  

දැන් අපි බලමු රන් රටවල් වල රන් සංචිත ප්‍රමාණයන්. 
විකිපෙඩියා වලින් ගත් දත්ත අනුව (ටොන් වලින්)  ජුනි 2014 දක්වා :
ඇමෙරිකා  එක්සත් ජනපදය (1 ස්ථානය )- 8133.5 
ජර්මනිය (2)- 3384.2
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (3) - 2814.0
ඉතාලිය (4) - 2451.8
ප්‍රංශය (5) - 2435.4
එක්සත් රාජධානිය (18 ස්ථානය )  310.3 
BRIC රටවල් හතර:
රුසියාව (6) - 1094.7
චීනය (7) - 1054.1
ඉන්දියාව(11) -557.7
බ්‍රසීලය (41) - 67.2 

බ්‍රික් රටවල් රත්රන් සංචිත  හතරේ එකතුව: ටොන් 2773.7  මෙය රටවල් බොහොමයකට මුල්‍යාධාර ලබාදෙන IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිටින තෙවන ස්‌ථානයට  ලඟයි. 
 රුසියාව කියන ධනවාදී රටේ පාලකයා වන පුටින් ඉගෙන ගත්තේ අපි සෝවියට් දේශයේ සිටි කාලයේමයි. ඒ නිසා ඔහු මාක්ස්වාදය උපාධියට (මොන උපාධිය කෙරුවත්) අනිවාර්ය විෂයක් නිසා හදාරන්නට ඇති.  ඔහු තමා  මේ BRICS රටවල ගාමක  බලවේගය.  ඔහු යෝජනා කලා පසුගිය පාපන්දු ලෝක කුසලානය අතරවාරේ  තිබ්බ BRICS සමුළුවේදී ඩොලරය අත හැර නව මුදල් ඒකකයක් භාවිතා කරන්නට.  මාක්ස් කිව්වා වගේ ඔවුන්ට තම  රටවලට මුදල් ඒකකයක් හඳුන්වා දීමට බැරි කමක් නැහැ. 
 එහෙම වුනොත් මොකද වෙන්නේ. රුසියාවේ පුටින් හා චීනයේ උප අගමැති ශාන් ගෝලී ඩොලර් බිලියන් 70 වටිනා ගෑස් නල මාර්ගයකට ගිවිසුම් අත්සන් කල අතර පුටින් යෝජනා කලේ දැනට බාටර ක්‍රමයට මේ රටවල් හතර අතර භාණ්ඩ හුවමාරු කර ගන්නටයි. (මාක්ස්ගේ පොතෙන් පිටුවක් හොරා  ගන්නා  ධනවාදී හොරෙක්ද?) මේ රටවල් හතරේ ඇත්තේ අති විශාල වෙළඳ පොලක්. 

දැන් බලමු මේ රටවල් වල බාහිර ණය: 
ඇමෙරිකා  එක්සත් ජනපදය (1 ස්ථානය - බාහිර  ඩොලර්  $ 17,754,467,569,229.71 (ට්‍රිලියන්  17) 
එක්සත් රාජධානිය (2 ස්ථානය )  බාහිර නය $ 9,590,995,000,000 - ට්‍රිලියන් 9 
ජර්මනිය (3) - $  5,546,869,000,000 
ප්‍රංශය (4) 5,750,152,000,000
චීනය (18) - $ 863,200,000,000 -බිලියන්  863
රුසියාව (20 ස්ථානය) - $ 715,819,000,000 - බිලියන් 715
ධනවාදී ලෝකයේ ඉහලින්ම සිටින එක්සත් ජනපදයේ හා අනිත් රටවල් දෙක තුනේම  ට්‍රිලියන් ගානක් වෙත්දී රුසියාව හා චීනයේ එය හුඟක් අඩුයි.  ශ්‍රී ලංකාව සිටින්නේ 71 වන ස්ථානයේ. ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් (GDP)  36% නය. ඉන්දියාවේ එය 20%, චීනයේ 37.5%, බ්‍රසීලයේ 15%, රුසියාවේ 23%. එක්සත් ජනපදයේ නය  දල ජාතික නිෂ්පාදනයෙන් 106% ක්. එංගලන්තයේ 406% ක්. 

දැන් BRICS වැඩේ හරි ගියොත් ඇමෙරිකාව ප්‍රමුඛ  ගෝලීය පැරණි ධනවාදී කොම්ප්‍රෝදෝරු අධිරාජ්‍යට වදින්නේ මරු පහරක්.  එතකොට පුටින් බ්‍රසීලයේ අවසන් වෙච්ච තරගය බලා  තමාගේ ජෙට් යානයෙන්  උක්රයිනය  උඩින් ඇවිත් පැය භාගයකට පසුව එවැනිම යානයක් (රුසියානුවන් අතින්ම වුණා  යයි මාධ්‍යන් පුපුණ පුපුණ කියන) බිඳ හෙලුනේ අහම්බයෙන්ද? ලුමුම්බාගේ යානය කඩා වැටුනේ අහම්බයෙන්ද?  පුටින් ඉවත් කෙරුවොත්  එන නායකයා  වන මෙද්වෙදෙව් එතරම් තද අයෙකු වත් මෙවැනි බලා  පොරොත්තු ඇත්තෙක් වත් නොවන බව හැමෝම දන්නා දෙයක්.

දැන් අපි මෙතනට පොඩි හේගල්ගේ දයලේක්තික ප්‍රතිවිරෝධයක් දාමු .  ඩොලරය ප්‍රමුඛ ලෝක ආර්ථිකයට විරුද්ධව එවැනිම රත්රන් සංචිතයක් ඇති රටවල් හතරක් වෙන මුදල් ඒකකයක් භාවිතා වීම තුල පැන  නගින ප්‍රතිවිරෝධය විසදෙන්නේ කෙසේද? 
ඩොලරය, පවුම හා යුරෝව මෙන්ම ජපානයේ යෙන්ද   මෙතෙක් කල් භාණ්ඩයක් හැටියට මායාකාරී ලෙස භාවිතා වුනි. මුදල භාණ්ඩයක් නොවන අතර ධනවාදී ආර්ථික විශේසඥයන් අපිට කියන්නේ මුදල භාණ්ඩයක් බවයි. මේ මායාකාරී භාණ්ඩයට තවත් අභියෝගයක් එක්කර  පුටින් විසින් ගොඩ නගන්නට බලාපොරොත්තු  වන විකල්ප අධිරාජ්‍යය යුද්ධයකින් කෙළවර වෙයිද?
වෙළඳ පල සඳහාවන  වන තරගයේදී අධික නය බර ඇති රටවල් හා නය අඩු රටවල් අතර ප්‍රති විරෝධය විසදෙන්නේ කෙසේද?
ප.ලි:
දකුණු අප්‍රිකාව - මෙය බ්‍රසීලයට වඩා රත්රන් නිෂ්පාදනය කරන රටකි. රත්රන් සංචිතය 125.1 වන අතර සොයා ගන්න රත්රන්  බහු ජාතික සමාගම් යටතේ එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ විකුණති. දකුණු අප්‍රිකාව 2011 දී BRIC කණ්ඩායමට එකතු වුනි. බාහිර ණය  $137,500,000,000. දකුණු අප්‍රිකාව අත හැරියේ ඕනෑ කමිනි. දකුණු අප්‍රිකානු ආණ්ඩුව අමෙරකා එක්සත් ජනපදයේ අවශ්‍යතා කලාපයේ තදින් ඉටු කරමින් සිටින රටකි. 
 මුලාශ්‍ර:
ලාභය ප්‍රාග්ධනයට පරිවර්තනය වන ආකාරය පහත ලිපියෙන් පැහැදිලි කිරීමක් කලා.

http://kolambagamaya.blogspot.co.uk/2014/07/blog-post_10.html

මුදලේ සංසරණය ගැන පැහැදිලි කිරීම ඇත්තේ මෙතන. http://kolambagamaya.blogspot.co.uk/2014/05/1-7.html

http://en.wikipedia.org/wiki/Gold_reserve

http://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt

Friday, 3 October 2014

අම්බපාලි (කතා) වස්තුව



අතීත කතාව:

 මම කථා කියන කෑල්ල ඕන කමින්ම අත ඇරලා ලිව්වේ. කාටත් මතකද මන්ද මේ කතා වස්තුව. අම්බපාලි කියන්නේ ඉතාමත් සුරූපි කාන්තාවක් කියල තමා තෙරී ගාථා වල තියෙන්නේ.
 ඉන්දියන් චිත්‍රපටියේ පින්තුරක් උඩ තිබෙන්නේ. මෙයාගේ ලස්සන විශාල මහනුවර විතරක් නොවේ අනික හැම ජනපදයකම , නියන් ගමකම අනිකුත් අහල පහල රටවල පවා පැතිරිලා රාජකුමාරයෝ, සිටුවරු, කැසිනෝ කාරයෝ, ආයුධ ජාවාරම් කාරයෝ ඔක්කොම එනවලු ලඟට. මෙයාට එච්චරට ඉල්ලුම. කොච්චර විතර විශාලා මහනුවරට කිර්තිය ගේනවද (බදු සල්ලිත් ඇතුළුව) කියනවනම් මෙයාව රජවාසල ඔෆිෂල් නගර ශෝභිනිය හෙවත් කොර්ටෙසන් කෙරුවලු. මේකේ තේරුම තමා එයා සුපිරි පන්තියේ අයට ගණිකාවක් ය කියන එක.

 බුදුහාමුදුරුවොත් ඔය අව්වස්සේ වඩිනවලු විශාලාවට. හාමුදුරුවරු හා දාහක් එක්ක. එක හාමුදුරු නමක් අම්බපාලි හිටිය මැදුර ඉස්සරහින් පිඩුසිඟා වැඩියලු. සිටු කුමාරයෝ රත්තරන් හෙම අල්ලලා වැඩ දාපු ෆෙරාරි වගේ අස්ස කරත්ත හෙම පාක් කරගෙන ඉන්නවලු තමන්ගේ වාරෙ එනකල් අම්බිව එක්කන් යන්න. හාමුදුරුවොත් රාජ පුරුෂයෝ පටි වන වන, ආයුධ එල්ල කරගෙන ඉන්න නිසා බයෙන් බයෙන් ඔලුව වත් උස්සන්නැතිව යනකොට අම්බපාලි දැක්කම ආස හිතිලා මේ හරිම සන්සුන් ගමනෙන් යන හාමුදුරුවන්ට කතා කරලු. හාමුදුරුවොත් බයෙන් වගේ ගිහින් කිවලු මම මෙතෙන්ට එන්න සුදුසු නැහැයි කියල. අම්බපාලිත් ඇරලා නෑ.
"මම තමයි ඔබට ආරාධනා කරන්නේ. හැමෝම මටයි ආරාධනා කරන්නේ. ඒත් හැමෝම මට සලකන්නේ මගේ රූපය නිසා විතරයි. ඔබ තමා මගේ ජීවිතේටම මම ආරාධනා කරපු එකේම කෙනා ඒ නිසා කරුණා කරලා එන්න" කියල කිව්වලු.
ඉතින් අම්බපාලී දන් දීල බණ ටිකකුත් අහල.

 ඔය අස්සේ හෙන ජංජාලයයි බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න අම්බපාලිගේ මහා අඹ වනයේ. හාමුදුරුවරු එහෙන් මෙහෙන් කංකුන් ගානවලු, කට්ටියකට ඉරිසියාව, කට්ටියකට අප්සෙට් වැඩේට. කොච්චර සල්ලි තිබ්බත් , කොච්චර හොඳ මැදුරක හිටියත් මේත් ගණිකාවක් නේ කියලා.

බුදු හාමුදුරුවන්ටත් කතාව ගියාලු. උන්වහන්සේ කීවලු අපි කලින්ම තීරණය කරන්න ඕනේ නැහැනේ ඒ භික්ෂුව වැරදි කියල. අපි ටිකක් බලමු කියල. මෙන්න ඉතින් භික්ෂුවත් ආවලු හවස් වෙලා බුදුහාමුදුරුවෝ බැහැදකින්න. බැහැදැකලා කීවලු අම්බපාලි තමන්ට වස් වසන්න වඩින්න කියල ආරාධනා කෙරුව කියල. බුදු හාමුදුරුවොත් ප්‍රශ්නයක් දෙකක් අහල අවසර දුන්නලු. දැන් අනිත් සමහර හාමුදුරුවරුන්ට වැඩේ අල්ලන්නේ නැහැ. හෙන විවේචනලු. අරකි ගැන දන්නේ නැත්ද? අපේ එකා ඉවරයි?බුදු හාමුදුරුවෝ මේ මොනවා කරනවද? වගේ සීරියස් ටෝක්.
 බුදු හාමුදුරුවෝ ඒවා අහල දේශනා කලාලු

"මහණෙනි, කලබල වෙන්න එපා. අපි මාස හතරක් ඉවසල බලමු නේද. කියල. "

 ඉතින් අර සමහර හාමුදුරුවරුන්ට නින්ද යන්නෙත් නැතිලු. මේක ගැනම කල්පනා කරනවා මිසක් හරියට භාවනා වත් කරන්නේ නැතිලු. කොහොම හරි මාස හතර අමාරුවෙන් ගෙවිලා ගියාලු. ඔන්න අර හාමුදුරුවෝ එනවලු අම්බපාලි එක්ක. හාමුදුරුවරු කට්ටියක් හිතුවලු ඔන්න බඳින්න අහන්න තමා එන්නේ කියල. සිවුර ඇරලා යන්න වගේ කටකතාවකුත් ගියාලු. අර හාමුදුරුවොත් සන්සුන්ව වැඩල එකත්පස්ව හිටියම අම්බපාලි බුදුහාමුදුරුවන්ට බිම දිග වෙලා වැඳලා කිව්වලු එයාටත් මහණ වෙන්න ඕනේ. මේ ඔක්කොම සල්ලි, මැදුර වල් මුකුත් එපා. කියල අඹ වනයත් පූජා කලාලු සංඝයාවහන්සේට ම.
අම්බපලියත් මහණවෙලා රහත් වුණා කියලත් තිබෙනවා ථේරී ගාථා වල.

 වර්තමාන කතාව:

 දැන් මේ වගේ රටවල්වල අම්බපලිලා දෙවර්ගයක් ඉන්නවා. කට්ටියක් හෙනට සල්ලි තියෙන මොඩෙල් ල කියල ජාතියක්. මොඩෙලින් කරන අයත් ඉන්නවා. නමුත් වැඩි හරියක් නම ගහගෙන අම්බපාලි වැඩේ තමා කරන්නේ. ඒගොල්ලෝ එක්ක යන්න අරාබි කුමාරවරු, කැසිනෝ කාරයෝ ලම්බෝගිනි , ෆෙරාරි වලින් තමා එන්නේ. මේ ලස්සන මොඩෙල්ස් ලට ලොකු පාටි වලටත් ආරාධනා ලැබෙනවා. අර ඉතාලියේ බෙලරුස්කොනි දැම්ම බංග බංග පාටිය වගේ ඒවා. හැබැයි හිටපු ගමන් පොලෝසියෙන් පැනල අල්ලනවා. ඒ නම් ඉතින් පොලිස් බදු ගෙවන්නේ නැති වුනහම හම්බ කරන සල්ලි වලට. මේක මේ විශේෂ බදු වර්ගයක් හරිද.

 ඔය අස්සේ පාරවල් ඉන්න කට්ටිය, ඒ වගේම පුංචි ගෙවල් වල පිම්පියෝ බලෙන් තියන් ඉන්න නැගෙනහිර යුරෝපයේ, අප්‍රිකාවේ සුන්දරියන්ව ඇල්ලුවාම නඩු දාල හිරේට දානවා . නැත්නම් පිටුවහල් කරනවා ආපහු ආපු රටවල් වලට. අර පැලානේ දුෂණ මර්දනේ ද මොකේද එකක කට්ටියත් ඒකම කරනවා තායි අම්බපාළිලට. ගහන්නේ එහෙම නැහැ. උසාවියට දැම්මා. රටින් යැව්වා. ආයි මාස හයකින් ආවම ආයිත් ඒකම තමා වෙන්නේ.

 හැබැයි ළමයින්ට කන්න දෙන්න සත පනහට වැඩ කරන, බස් නැවතුම් පලවල රස්තියාදු වෙන අම්බපාලිලත් ඉන්නවා. ඒගොල්ලන්ට සමහරවිට රස්සාව කරගෙන යන්න පගා දෙන්නත් වෙනවා ඇති, සල්ලි වලින් හරි වෙන විධිහකින් හරි . ඒකට එයාල හැම වෙලේම කැමති නැතුවත් ඇති. නමුත් එහෙම අම්බපාලිලට කවුරුහරි ගැහුවොත් ඒක ඉතින් අම්බපාලිලගේ වරදම නෙමේනේ. ගැහුව කෙනා රාජ පුරුෂයෙක්නම් එය හිතනවා ඇති ඉහල උදවියත් කරනවා නම් ඇයි තමන් කලාම මොකද වෙන්නේ කියල .

 ඔය අව්වස්සේ අම්බපලිව බේරන්න එන්නේ අවකාශනන්දේ උදුලාරතන වගේ අය තමා . කට්ටියක් එයාටත් බනිනවා නඩු යනවා කියල. හැබැයි එයා එහෙම එන්නේ තමන් බුදු වදන් හරියට පිලි පදින්නේ නැති නිසා කියල බනින කාටවත් හිතෙන්නේ නැහැ. තව සමහර හාමුදුරුවරු සමහර රියදුරු මහත්වරු සමග පෙළපාලි යනවලු අම්බපාලිලට විරුද්ධව රාජ පුරුෂයන්ට පක්ෂව. ඔය අතරේ ජය කුමාරිල වගේ අය , අම්බපලිලගේ අම්මලත් මොනව හරි හේතුවකට රාජ පුරුෂයෝ බන්ධනාගාරේ ඇතුලට දාගන්නවා. ජයකුමාරිලගේ දුවල හෙම කොහේ දුක් විඳිනවද දන්නෙත් නැහැ. අර බුදු හාමුදුරුවන්ගේ කාලේ අම්බපාලි රහත් වෙලා නිවන් දැක්කට, කේලම් කියපු , මාස හතරක් නොනිදා වාද කරපු හාමුදුරුවරු රහත් වුනු බවක් ජාතක පොතේ නැහැ. (බුදු හාමුදුරුවෝ ළග ඉඳල බණ ඇහුවත්.) පුනරුප්පත්තියට (පිලි ගන්නවනම්) අනුව ඒගොල්ලෝ කොහේ හරි ඉපදෙන්නත් ඕනෙනේ. .

 කොහෙද දන්නේ නැහැ නේද ඉපදුනේ?
 ලිව්වේ 2014 අප්‍රේල් 10

Saturday, 27 September 2014

කලහකාරී තේනුවර බැරලයක් සමග ලන්ඩනයේ

චන්ද්‍රගුප්ත තේනුවර මට හමුවුනේ මින් අවුරුදු 26- 27කට කලින් මොස්කව් වලදී.
සමහර දේශපාලනඥයෝ 'කලහකරුවා' කියනවලු තේනුවරට කලාකාරය කියල කියන්නේ නැතුව. මේක සඳහන්  කරලා තිබුනේ අපේ ප්‍රවිණ  මාධ්‍යවේදියෙක් වන ජයසිරි අලවත්ත  චන්ද්‍රගුප්ත තේනුවර එක්ක කරපු  සම්මුඛ සාකච්චාවක්  ගැන ලිවූ ලිපියක. ලිපියේ යොමුව  පහත තිබෙනවා.
ඉතින් මට අවුරුදු ගානකට කලින්  හමුවුන තේනු බොහොම නිහඬ සන්සුන්ව කතාකරන චිත්‍ර කලාව ඉගෙන ගන්න ආපු ශිෂ්‍යයෙක්. දැන් කතාව මේකයි. මම චන්දෙ ඉල්ලුව (අනුන්ගේ බලපෑම මිස මට ඕනවට නෙමේ.  )  සෝවියට් දේශයේ සමස්ත ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගම්වල මහා සභාවේ මහ  ලේකම් ධුරයට.  ඒ දවස්වල කොමියුනිස්ට් පක්ෂයේ ස්ටයිල් එකට ලේකම් ධුරය තමා  බලවත්. සභාපති තෝරා ගන්නේ මහා සභා රැස්වීම ගෙන යන්න විතරයි.  චන්දෙ ලැබෙන්නේ සෝවියට් දේශයේ  රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තිබෙන හැම නගරයකින්ම පැමිණෙන  නියෝජිත කණ්ඩායම් වලින්. මම යන්තම් දිනුව එක චන්දයකින්ද කොහෙද . මොකද අපේ ස්වාධින (ලංකාවේ එකට සම්බන්ධයක් නැත) කණ්ඩායමට මුලින් සහයෝගය දුන් තේනුවර ඇතුලත් කණ්ඩායම වෙනම චන්දෙ ඉල්ලා තෙවන ස්ථානයට පැමිණීම නිසා.
එතකොට තේනුවර සහෝදරයා හිටියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් එක්ක. එතකොට මට දුන් චන්ද වලින් වැඩි  චන්ද ප්‍රමාණයක් අරන් ආවේ වෙනත් නගරයක ශිෂ්‍ය සංගමයේ ලේකම් වෙලා හිටි ඩිලන්ත විතානගේ මහතා. දිලන්ත හිටි නගරේ දෙමල මුස්ලිම් ශිෂ්‍යයන්  අතරත්  ජනප්‍රියයි. හැමෝටම උදව් කරගෙන හිටි කිසි ජාතිවාදයක් හෙම පෙන්නුවේ නැති ශිෂ්‍යයෙක් .
තේනුවරගේ චන්දය මට හම්බවුනේ නැහැ කියල මම දන්නවා. ඒ දවස්වල ආචාර්ය නලින් ද සිල්වාගේ 'සමාජවාදී පන්තිය' ගැන පලවෙන ලිපු දිවයිනේ කියවල, ඊට පස්සේ young spartacist league එකේ සහ  මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ කතා අහල සෝවියට් දේශය ගැන ඔලුව කුරුවල් කරගෙන් මම හිටපු නිසා අපි හිටියේ මතවාද  දෙකක. හිටියේ වෙනස් අදහස් දරාගෙන උනත් අපට බාධාවක් වුනේ නැහැ එකතු වෙලා කතා කරන්න, හොස්ටල් එකේ බතක් දා  ගන්න.

දැන් අවුරුදු විසි ගණනකට පස්සේ තත්වය වෙනස්. මම අපේ මිත්‍ර දිලන්තට පොඩි විවේචනයක් දාලා  පෞද්ගලික ඊමේලයක්  යැව්වට පස්සේ අපේ වැඩි කතා බහක් නැහැ. කොහොමත් තිබ්බෙත් නැහැ ලොකු කතා බහක්. මම හලාල් වලටත්,  ෂරිය නීතියටත් විරුද්ධ කෙනෙක්. ඒ විරුද්ධ හැමෝටම නිතිය එක හා සමානව තිබෙන්න ඕනය කියල හිතන නිසා හා මම අදේවවාදියෙක් නිසා.  හැබැයි මගේ ඒ  විරුද්ධකම හැම ආගමකටම තිබෙනවා. කිසිම ආගමකට කිසිම  අමුතු තත්වයක් කිසිම ආණ්ඩුවකින් දෙන්න ඕනේ නැහැ.  හැබැයි ඕනෑම  සුළු ජාතියකට තමන්ගේ ආගම අදහගෙන නිදහසේ සිටීමේ අයිතිය වලක්වන්න කවුරුහරි උත්සහ  කරනවානම් ඒක වැරදියි.

දැන් තේනුවර තමන්ගේ බැරල්වාදය , නව බැරල් වාදය , පශ්වාත් බැරල්වාදය පහු කරලා අලන්කාරකරණයට ඇවිත්.  මේ හැම අවධියක්ම යුද්ධයට හා පශ්චාත් යුද සමයට සම්බන්ධයි. අවසන් යුද්ධයට ගොඩක් කලින්, ජනාධිපති චන්ද්‍රිකා ගේ කාලේ   මට හමුවුණු දෙමල ක්‍රියාකාරීන්ට මම කිව්වේ , චන්ද්‍රික තරමක් ලිබරල්. එයා එක්ක එකට වැඩ කරලා අවබෝධයකට එන්න . devolution එකක් අරගෙන ආයුධ  අත  හරින්න.  ලංකාවේ ආණ්ඩුවට ඕනනම් ඕගොල්ලන්ට ගහල මට්ටු කරන්න පුළුවන්. ඒ ගොල්ල ඒක  දෙපාරක්ම කරලා පෙන්නලා තිබෙනවා කියල. ලොකු විනාශයක් වෙන්නේ එතකොට. ඒ හුඟක් අය  මේක අවඥාවෙන් බැහැර කලා. තමන්ගේ බලය ගැන පුදුම අධි තක්සේරුවකුත් ඇමෙරිකාව , බ්‍රිතාන්‍යය ගැන පුදුම විශ්වාසයකුත් ඔවුන්ට තිබුන. ඔවුන් කිව්වේ එහෙම  කියන්නේ මම ජාතිවාදියෙක් නිසා කියල. මට නිකම්ම ජාතිවාදී ලේබලය වැදුන ඇත්ත කතා කරන්න ගිහිල්ල. දැන් මින් සමහර අය මට කතා  කරන්නේ නැහැ. ඕකම වුණා 87දීත්. මට කිව්වේ සුළු ධනේෂ්වර කියල ඇත්ත කියන්න ගිහිල්ල.

තේනුවරට තමන්ගේ චිත්‍ර ප්‍රදර්ශන වල මාතෘකාව ගන්න වෙලා තිබෙන්න මිලිටරිය හැම වෙලාම දිනපු රටක. හැබැයි ඒ හැම දිනීමකම අනිත් පැත්තේ අන්තවාදය ලොකු උදව්වක් වුණා. අන්තවාදය නැතුව හැමෝම ජනතාව ගැන විශ්වාසය තැබුවානම් මේක වෙන්නෙ  නැහැ.

දැන් මට හිතෙන්නේ මම ඉන්නේ මැදක. මගේ පරණ මිත්‍ර දිලන්ත විතානගේ එක අන්තයක සහ තේනුවර සහෝදරයා තව අන්තයක කියල. නමුත් තේනුටත් මටත් තවම ඒ සොඳුරු සංවාදයේ යෙදෙන්න පුළුවන්. පසුගියදා බොහෝ කාලයකට පසු හමුවුණු වෙලාවේ, රාත්‍රී ආහාරය අරගෙන අපි එලියට බැස්සා මොස්කව් වල වගේ සුපුරුදු  විධිහට පොඩ්ඩක් ඇවිදින්න. ලන්ඩනයේ තරු පිරි අහසක් යට  අප දෙදෙනා කතා කලේ ඒ පිළිබඳව. බොහෝ දේවල් ගලා  ගිහින් තිබෙන්නේ පාලම යටින් අපි නොදැනුවත්වම.
හරියට "දොන් නදිය නිසලව ගලා බසි කියන පොතේ" ශෝලහව් කිව්වා වගේ.

මම තේනුවරට කිව්වේ , මම ඒ දවස්වල වගේම සමහරවිට ඔයාගේ දේශපාලන අදහස්වලට එකඟ නොවෙන්න පුළුවන්. නමුත්  තර්ජනයක් නැතුව,  ඔබේ අදහස ඉදිරිපත් කරන්නට ඔබට ඇති අයිතිය පිළිබඳව මම පෙනී හිටිනවා.

අපි අගෝර මණ්ඩපයේදී   තේනුවරගේ කථාව  අහන්න රැස් වෙනවා අද. (මෙය පවත්වා  අවසානයි.)


 ජයසිරි අලවත්ත මහතාගේ ලිපිය:
http://www.mirrorgirl.lk/art-gallery/art-space/1266-barralism-beautification

Friday, 26 September 2014

වරුණ එජාපෙන්??

ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ එක්තරා සීතල දවසක බ්ලොග් ලිපියක් ලිව්වා
අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය තවමත්  වලංගුද කියල අහල?
ඒකට මේ ලින්ක් එකෙන් යන්න.
 http://kolambagamaya.blogspot.co.uk/2013/01/blog-post.html

එතකොට මේ කතාව කලේ වරුණ දීප්ත රාජපක්ෂ. තවමත් උණු උණුවේ ජවිපෙන් ආපු  ගමන්.  දීල ඇරිය අධිරාජ්‍ය වලට. මට නම් ගියේ හිනාවක් විතරයි. මන් ඉතින් ඒත් ඇහුව ඕක ඔය පට්ට ගහපු, පට්ට ගහන කතාවක් නේ. ඕක  මේ එංගලන්තේ අධිරාජයක අවුලක් නැතිව ජිවත් වෙන අපට කිව්වට චන්ද ලැබෙනවද? මොකද ඕක ලංකාවට  හරියන කතාවක්නේ.
දැන් එතකොට ඔය ආරංචිය හරිනම් අර මන් මගේ ලිපිය කිව්වා වගේ අධිරාජ්‍ය විරෝධී කතා කියන්න අවශ්යතාවයක්  නැතුවම එජාපයට එකතු වෙන්න පුළුවන් කිසි බයක් නැතුව. තව දුරටත් අධිරාජ්‍යවාදී බිල්ල පෙන්නලා  මිනිස්සු රවට්ටන්න ඕනෙත් නැහැ..

මන් මේ කියන්නේ අධිරාජ්‍යවාදය කියන එක  නැහැයි කියල නෙමේ හරිද. හැබැයි ඕක ක්‍රියාත්මක වෙන්නේ ඔය චන්ද ගන්න ලංකාවෙ ඉන්න  කට්ටිය වේදිකා දෙදරන්න කෑ ගහල  කියන ආකාරෙන්  නම් නෙමේ.
මේකට තව වචන නාස්ති කරලා වැඩක් නැහැ.
වරුණට අපේ සුභ පැතුම්.



ප්.ලි. : මෙන්න මේ කොමෙන්ට්   කියල හිතුන නිසා මෙතන දානවා, ඇනෝ  කෙනෙකුගේ.
//වරුණ තමන්ගේ තරුණ කාලෙන්, වර්තමාන කාලෙන් විශාල කොටසක් මේ රටේ දුක්විදින මිනිසුන් වෙනුවෙන්, රටේ යහපත් අනාගතයක් වෙනුවෙන් කැපකළ කෙනෙක්. එනිසා මුලින්ම වරුණට මගේ ආචාරය. වරුණලගේ කුලකයේ අය කල කැප කිරීම් සැප කැමති මම වගේ ආත්මාර්ථකාමී ශරීර කූඩු හිමියන්ට ඇත්තෙන්ම පරිකල්පනය කරන්න බැරි සංසිද්දියක්. එනිසා බොහොම ලාබෙට අපිට වරුණ 'රයිට් ටර්න්' එකක් ගත්තා වගේ කතාවක් කියන්න පුළුවන්. එත් ඇත්ත කතාව එකද ? 

මට හිතෙන විදියට විමල්ල, ලාල් කන්තලා (බාගදා )හා අන්තිමේ වරුණ වැනි දීප්තිමත් යහපත් මිනිසුන්ට දක්ෂිණාංශික මඩ ගොහොරු වල නතර වෙන්න බල කරලා තියෙන්නේ 100% දුෂිත, ආත්මාර්ථකාමී වෙච්ච 'මහජනයා' කියන අපි අපිමයි. මේ රටේ 'මහජනයා' බොහොම පැහැදිලිව මේ මිනිස්සුන්ට කියල දීල තියෙනවා 'මහජනයා' කියන්නේ මොනවගේ සත්තු ජාතියක්ද කියන එක සහ වරුණල කරන්න ගිය දේශපාලනයට මේ රටේ ඉඩක් නැති බව. 'මහජනයා' ගේ කැමැත්ත ඕනනම් දයාසිරි, හරීන් වගේ දේශපාලන පුයර බබාලා වෙන්න ඕන කියන එකත් 'මහජනයා' අපිට කියලදිල තියෙනවා .

එනිසා මටත් කියන්න තියෙන්නේ වරුණට අපේ සුභ පැතුම් කියාලා තමයි.
//
මම කියන්නේ  වරුණ තම ජිවීතේ කැප කලේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් නම් ඔහොම තීරණයක් ගත්ත නම් ඒ කියන්නේ දැන් මහා ජනය අප්සෙට් නිසා සැප විඳින්න ඕනේ කියන එකනේ. අපි නම් රස්සාවක් කරගෙන සැප විදීනවා. එක සැපක්ද කියන එක ප්‍රශ්නයක්.  ඔය කියන කතාවම නේ තව කෙනෙක් කිවේ මම සිගිරිය වත් බලල නැහැ කයල. කිවේ. ඉතින් දේශපාලනේ නොකර ඉන්නකෝ. මේ රටේ මහා ජනයට වාමාංශික දේශපාලනය එපා වෙලා තියෙන්නේ මොකද කියල තේරෙනවද?
මහජනතාව  කාටවත් කියල  නැහැනේ අනේ අපි වෙනුවෙන් දේශපාලනය කරන්න. අනේ අපිට විප්ලවය කර දෙන්න? අනේ අපි වෙනුවෙන් මැරෙන්න කියල? කොයි "මහා ජනයාද" එහෙම කියල තිබෙන්නේ?  ඔය පක්ෂවල ඉන්න ෆුල් ටයිමර්ස් ල සමහර අය අමාරුවෙන් දරු පවුලුත් ඉඳගෙන දුක් විඳගෙන කරනවා? හැබැයි විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න එක අත  හැරලා ෆුල් ටයිම් කරලා ඊට පස්සේ අනේ අපොයි මන් කර ගත්ත දෙයක් කියල කියනවා? නිර්ධන පන්තියට දේශපාලනය අරන් යන්න  ඕනෙය කියන පදනම අතර පක්ෂයක් කරන දෙයක් ඕක. කවුරුත් බලෙන් කාටවත් කරන්න කියල කියපු දෙයක් නෙමයි.  තමන්ගෙයි choice එක. ඒක තේරුම් ගන්නේ නැත්නම් ඔය දේශපාලනය  කරන්න එපා. ඔතනින් යන්න. මිනිසුන්ට බනින්න එපා. 
මටත් iphone 5s එකක් තිබෙනවා.  සෝවියට් දේශයේ මිනිසුන්ට ධනවාදී ලෝකයේ තිබිච්ච සමහර බඩු  තිබ්බේ නැති එක ප්‍රශ්නයක් වෙලා තිබුන. ඒ මිනිස්සු රහත් වෙලා නැහැනේ. 
මිනිසුන්ට රහත් වෙන්න කියනවා නම් ඒකට බුද්ධාගම තිබෙනවා. ඔයාලව අවශ්‍ය  නැහැ. 

Monday, 22 September 2014

පෝලන්ත ප්‍රාතිහාර්යය, අයර්ලන්ත ප්‍රශ්නය හා සුන්දර්ජයා ගේ මැජික් ඉකොනොමිය

පෝලන්තයේ ප්‍රාතිහාර්යය ගැන නොයෙකුත් පුවත්පත් වල යනවා ලිපි. පෝලන්තය තමයි දැනට යුරෝපයේ ඉහලම ආර්ථික වර්ධනයක් තියෙන්නේ කියල හැම තැනම කියවෙනවා. සිංහල බ්ලොග් අවකාශයෙත් එහෙම ලිපියක් ගියා  මේ අවුරුද්දේ මුල මේ ලිපිය ලියන්න හිතුනේ පසු ගියදා රුසියානුවන් ඇපැල් සහ අනිකුත් පලතුරු තහනම් කලහම.  මම දැන් රුසියාව සමාජවාදී කියන්නෙවත් ඒ ගොල්ල විතරයි හරි කියල කියන්නවත් නෙමේ මේ හදන්නේ. මුලදී පෝලන්තය හිනා වුනත් රුසියානු ක්‍රියාවට, දැන් ඔවුන්ට දැනිල. ඇපල් විතරක් නෙමේ අනිත් ආහාර ගන්නෙත් නැහැ රුසියාව. වෙළෙඳ යුද්ධයක් මේ යන්නේ. පෝලන්තය පවුම් මිලියන් 670 (යුරෝ වලින් මිලියන් 840) නිෂ්පාදන වසරකට යවනවා රුසියාවට. ඇපල් විතරක් නෙමේ අනිත් බඩුත් ගණන්  අඩුවෙලා තොග වෙළඳ  පොලේ. පෝලන්තයේ අදායමට කෙල වෙන්න පටන් අරන්.. ඊයේ පෙරේද යුරෝපය රුසියාවට සම්බාධක දැමීමට එරෙහිව ඩච් (ඕලන්ද)  ගොවින් තක්කාලි වලින් හේග් නුවර ගහ ගත්ත. ප්‍රංශයේ ගොවිනුත් ඊයේ පෙරේද ඒකම  කළා.
(ස්ට්‍රොබරී එකතු කරන පෝලන්ත යුවතියන්) 

අර කලින් ලිපිය දාපු කෙනාගේ බ්ලොගයේ මම මෙහෙම පැහැදිලි කිරීමක් කලා. පෝලන්තයට හරි යන්නේ ආයෝජකයන් එන නිසා හා ණය ලැබෙන නිසා කියල . එහෙම  ලැබෙන්නේ ඇයි?

අපි හිතමු දැන් අපිට බැංකු ණය දෙන්නේ කොහොමද කියල? දැන් අපට රැකියාවක් නැත්නම් හරි , ස්වයං රැකියාවක් කරනවා නමුත් බැංකුවකට සල්ලි දාන්නේ නැත්නම් හරි අපට බෑන්ක් ස්ටේට්මන්ට් එකක් (මාසයේ ආදායම් වියදම්  විස්තරය) ලැබෙන්නෙත් නැහැ. බැංකුවට අපි හම්බ කරනවා දැන  ගන්න විධිහක් නැහැ. නමුත් තම පඩිය හරි වෙන ගානක් හරි හැම මාසෙම බැංකුවට දානවා නම්, ඉඩමක් හෝ අයිති ගෙයක් තියෙනවනම් (බැංකුව ඒ බව දන්නවනම්) ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් වගේම ණයකුත් ගත හැකි. දැන් අපට නිතරම වගේ ණය ඉල්ලන්න කිය , කිසි දෙයක් අහන්නේ නැතුව පැය භාගෙන් අච්චර දෙන්නම මෙච්චර දෙන්නම් කියල පණිවුඩ ඊමේල් එවනවා  ක්‍රෙඩිට් කාඩ් ආයතන හා බැංකු වලින්. හේතුව අපට මාසික ආදායමක් තියෙනවා. ඒ නිසා පොලිය ගත හැකි. පොලිය දුන්නැත්නම් අපේ ගෙදර හරි ඉඩම හරි ඒ ගොල්ලට අයත් කර ගන්න පුළුවන්.  මේ ආයතන කර ගෙන යන්නේ අපේ පොලියෙන්. හැබැයි අපට ණය අරගෙන ගේ හොඳට හදල, කාරයක් අරගෙන , තව ණය අරගෙන වෙන ගෙයක් හදල නිවාඩුවට යන්න , තව ණය අරගෙන ගෙට එන පාර තාර  දාල හොඳට හදල,  තව ණය අරගෙන පිහිනුම් තටාකයක් හදල අපේ ජිවන තත්වය උසස් කර ගත්ත හැකි. හැබැයි ගොයියෝ පොලිය ගෙවන්න ඕනේ. රස්සාව නැතිවුනොත් ගස් තමයි.

දැන් ගමු පෝලන්තය.
පෝලන්තයේ  මුළු ජනගහනය මිලියන්  38 වගේ වෙන්නේ. ඉන් මිලියන් 1.3 ජිවත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ. (බලන්න ref 1.). මිලියන් 1.5 විතර ඉන්නේ ජර්මනියේ. (බලන්න ref 2.)
මේ යුරෝපයේ අනිත් රටවල හා ඇමෙරිකා  එක්සත් ජනපදයේ ඉන්න අය හැරුනම. බහුතරයක් මේ පෝලන්ත  ජාතිකයෝ වැඩ කරලා සල්ලි යවනවා පෝලන්තයට. මිට අමතරව ඔවුන් මුලින් තම පවුලම අරන් ඇවිත් පදිංචි වෙනවා වසරකට විතර. ඉන්පසු ළමයින්ට හා වැඩ නොකරන බිරිඳට හෝ මාපියන්ට සුභසාධක ආධාර (Child benefit and other benefits) ලබා ගෙන නැවත ඔවුන්ව මවු රටට යවනවා. එතකොට EU නිතිය අනුව එංගලන්තය , ජර්මනිය හෝ අනිත් රටවල් ඒවා ගෙවන්න ඕනේ.  මෙලෙස අති විශාල ප්‍රමාණයක මුදලක් පෝලන්තයට  යනවා.
අනිත් අදායම් මාර්ගය තමා  පෝලන්තය විසින් රුසියාවට හා අනිකුත් නැගෙන හිර යුරෝපයේ රටවලට යවන පලතුරු, පාන් වර්ග, ඌරු මස්  හා අනිකුත් ආහාර වර්ග. මේ නිසා ප්‍රබල ආදායම් මාර්ග දෙකක් තිබෙනවා පෝලන්තයට. මේ නිසා ණය ලබාදෙන ආයතන වැඩියි. (ලෝක බැංකුව, IMF වැනි) . එතකොට ණය මිලදී ගන්න ආයෝජකයොත් වැඩියි. නය මුදල් ආයෝජනය කරන අයත් වැඩියි. ඒ නිසා අලුත් ගෙවල්, ගොඩනැගිලි හැදෙනවත් එම  නිසා රැකියා මැවෙනවත් වැඩියි.  එමනිසා පෝලන්තයේ ආර්ථිකය වැඩි දියුණු විම  හෙවත් GDP (gross domestic product) එකෙත් වැඩි වීමක් පෙන්නුම් කරනවා.

දැන් බැරි වෙලාවත් රුසියාවේ සම්බාධක මුළු අවුරුද්ද පුරාමත් හා ඊළඟ  අවුරුද්දටත් ගියොත් අර ණය සර්විස් කරන්න හෙවත් , පොලී ගෙවන්න  තියෙන මුදල අඩු වෙනවා.  එතකොට බැංකු ණය දීම නැවතීමත්, ආයෝජකයන් ණය මිලට ගැනීමත් නවතීවි. ආර්ථිකය කඩා වැටෙන්න පුලුවන් . නැත්නම් තව මිනිස්සු ටිකක්  වැඩ කරන්න අනිත් රටවලට යයි. ඇමෙරිකාව මොනවා කිව්වත් පෝලන්තය අන්තිමට රුසියාවට විරුද්ධව යන්නේ නැතිවෙයි. එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේද කලා  වගේ අමෙරිකාවෙන් සල්ලි ඉල්ලයි. ඒත් නැති සල්ලි ඇමෙරිකාව කොහෙන් දෙන්නද?
ඇමෙරිකාවේ ණය බොන්ඩ් (bond) වශයෙන් විකුනනවා වගේම අනිත් රටවලුත් එය කරනවා. ලංකාවත් කරනවා. නමුත් bric (බ්‍රසීලය  චීනය, ඉන්දියාව ) රටවල් පුටින් ගේ ප්‍රධානත්වයෙන් ඩොලර් වලින් ගනු දෙනු නොකර තම මුදල් වලින් ගනු දෙනු කිරීම ඇරඹුවා. දැන් දැන් ණය විකිනිමත් ප්‍රශ්නයක් වෙලා. ගොඩක් බැංකු ණය ගන්න මුදල් දෙන්නේ තමන්ට ප්‍රමාණවත් රත්රන් සංචිතයක් නැතුව. දැනට ලෝකයේ වැඩිම රත්රන් සංචිත තියෙන්නේ රුසියාවට, චීනයට හා ස්විට්සර්ලන්තයට.

දැන් අයර්ලන්තය ගමු. පෝලන්තය වගේම කතෝලික රටක් වුනත් අයර්ලන්තේ මිනිස්සු වැඩිපුර ඉන්නෙ  ඇමෙරිකාවේ. ඔවුන් අයර්ලන්තයට මුදල් යවන්නේ නැහැ. අයර්ලන්තයට ස්ථිර ආදායම් හැටියට  එන්නේ යකඩ සුලු  වශයෙන් අපනයනය කිරීමෙන් හා සර්විස් ආර්ථිකයකින්. ඒ කියන්නේ වෙනත් රටවල් සඳහා සේවා සැපයීමෙන්. පහුගිය කාලේ අනිත් රටවල් වල ඇති වුන ප්‍රශ්න නිසා මේ සේවා බිඳ වැටුන. යුරෝපා සංගමය අයර්ලන්තයට ණය දී තිබුන. ඔවුන්ගේ දල ජාතික අදායම (GDP ) එක හුගක් හොඳයි. (පහුගිය හොඳ කාලේ යුරෝ 35000 වගේ වසරකට ) නමුත් රට වැටුන පහුගිය අවුරුදු පහ ඇතුලත. ගත්  ණයවල පොලිය ගෙවන්න අදායම මදි වුනා .  හදාගත්ත ගෙවල් විකුණා ගන්න බැරිවුනා. මෙන්න ප්‍රතිපලය.
http://www.theguardian.com/world/2014/feb/23/ireland-predicted-26000-empty-properties-end-2014

දැන් ආපහු  ණය  දීල අයර්ලන්තය බේරා ගන්න (bail out ) කරන්න හදන්නේ. ජර්මනිය තම ටිකක් හරි ගොඩ ඉන්නේ. නමුත් රුසියන් බාධක දාල  තමන්ටම  කෙලෙවගෙන ඉන්නේ ටිකක්.  ඒ නිසා යුද්ධ දෙක තුනක් කරලා යුධ ආයුධ  ටිකක් විකුණලා ඇමෙරිකාව ගොඩ යනකන්  ටිකක් ඉන්න වෙයි වගේ.

දැන් ටිකක්  කල්පනා කරලා බලන්න ලංකාව ගැන.  චීනය ඉන්දියාව විතරක් නෙමේ ලෝක බැංකුව , IMF වගේ ඕන ණය දෙන රටවල් සහ ආයතන ශ්‍රී ලංකාවට ණය දෙනවා.  ක්‍රෙඩිට් කාඩ් කොම්පැනි වගේ මේ සමහර ණයවල පොලිය වැඩියි.
නමුත් ලංකාව කියන සුවිශේෂී රටේ ඉතා ඉහල ශ්‍රමිකයන් (මෙහිදී පුහුණු /නුපුහුණු දෙගොල්ලම)  ප්‍රමාණයක් අරාබියේ, කොරියාවේන යුරෝපයේ, ඇමෙරිකාවේ රටවල වැඩ කරලා මුදල් යවනවා . පෝලන්ත වරු වගේමයි.  නිමි ඇඳුම් පිට රට යවනවා.
ඊළඟට තේ විශාල ප්‍රමාණයකුත් ,  රබර් හා පොල් සුළු ප්‍රමාණයකුත් රට යවනවා. ලස්සන , පෞරාණික රටක් නිසා සංචාරකයෝ එනවා. රටේ හමුදා UN එකේ සාම  හමුදා වලට ගියාම ඒවටත් ඩොලර් වලින් ගෙවනවා. මැණික් පිරට යවනවා. අයර්ලන්තේ වගේ නෙමෙයි මාර අදායමක් තියෙන රටක්. හැබැයි තවම දළ ජාතික ආදායම අයර්ලන්තේ වගේ 16 ගුණයක් අඩුය. (ඩොලර් 2800, යුරෝ 2100 පමණ ). මේ ආදායමත්  අයර්ලන්තයේ වගේ බොහොමයකට නොමේ. තෝරාගත් කට්ටියකටය.

මේ ලංකාව කියන රට සම්පත් අතින් පොහොසත්. මිනිස් සම්පත අතිනුත් එහෙමයි. ඒ නිසා හැමෝම බය නැහැ  ණය දෙන්න.  මේ ණය අරගෙන ඕන දෙයක් හදන්න පුළුවන්. රටේ අදායම දියුණු කරන්න පුලුවන් . රට ලස්සනට ගොඩ නගන්න පුළුවන්.
හැබැයි අර පොලිය කලට වෙලාවට ගෙවන්න ඕනේ. සුන්දර්ජයාලට කරන්න තියෙන්නේ වෙලාවට පොලිය ගෙවල, හරියට අපි ක්‍රෙඩිට් කාඩ්  , බැංකු ණය default වෙන්න නොදී ගෙවනවා වගේ වැඩේ කරගෙන යන්න.  ඉතින් ඕක මහා ලොකු දෙයක් නම් නෙමේ ඔය උඩ  දාන තරමට.
හැබැයි අපේ ළමයි අහන්නැතුව හොරෙන් වියදම් කරලා , පඩියට වැඩිය පොලිය වැඩි වුනොත් , ගේත් උකස් වෙලා පාරට වැටෙනවා. (එහෙම වැටිච්ච මිනිස්සු ඕන තරම්  යුරෝපයේ ඉන්නවා)

ඉතින් ණය අරගෙන ඒවාට කර්මාන්ත හදල, තව අපනයන වැඩි කරලා මුකුත් කරන්නේ නැතුව වියදම් කර කර හිටියොත් , hummer ,

පොර්ශේ (porsche )  අර ගෙන සොමිය ගත්තොත්, සමහරවිට අර ලැබෙන අදායමට වඩා  පොලිය වැඩි වෙන්න පුළුවන්. ණය default කරන්න වුනොත් , ණය සල්ලි වලට ගන්න ඉන්න  ආයෝජකයෝ මාරු වෙනවා. සුන්දර්ජයාලට වුනත් කරගන්න දෙයක් නැතුව යනවා. එහෙම වුනොත් සල්ලි තියෙන ඈයෝ කොහමත් ස්විට්සර්ලන්තෙට යයි. අනිත් අය  මුහුදට වැටෙයි.
එහෙම නොවේවා කියල අපි ප්‍රර්ථනා කරමු. නැත්නම් ඉතින්  පිටරට ඉන්න අයට තමා නැව්  අරගෙන යන්න වෙන්නේ බේරා  ගන්න අපේ දෙමාපිය නෑදෑයෝ ටික.

(ref 1.) UK http://en.wikipedia.org/wiki/Poles_in_the_United_Kingdom

(ref 2.) http://en.wikipedia.org/wiki/Poles_in_Germany

Tuesday, 16 September 2014

ශිෂ්ටාචාරාත්මක දික්කසාදය සිදුවෙයිද?

(මෙය ලියුවේ 16 වනදාය. ස්කොට්ලන්තය වෙන් වුනේ නැත)
බ්‍රහස්පතින්දා (සැප්තැම්බර්  18) ස්කොට්ලන්තය වෙන්වන්නේද නැත්ද කියා තීරණය කරනු ඇත.
ලන්ඩනයේ ස්කොට්ලන්ත ත්‍රස්තයන් බෝම්බ පුපුරුවාගෙන බස් වල දුම්රිය වල අහිංසක මිනිසුන් මරාගෙන මැරෙන්නේ නැත. ලන්ඩන් නගර වාසින් සරම කැහැපට ගහගෙන  (හෝ කලිසම උඩට නවා  ගෙන) ස්කොට්ලන්ත වාසීන්ගේ ගෙවල් ගිනිතබා ඔවුන් මරා  දමන්නේ නැත.

ස්කොට්ලන්ත වාසින් කතා කරන්නේ ඔවුන්ගේම ආරයකින් යුත් ඉංග්‍රීසි භාෂාවය. එසේ නැත්නම් සෑම ස්කොට්ලන්ත වැසියෙක්ම තම කෙල්ටික් (celtic/gaelic ) ස්කොටිෂ් භාෂාවට අමතරව ඉංග්‍රීසි කතා කරති. ස්කොට්ලන්ත වැසියන්ට එංගලන්තයේ වැඩ කිරීමට බාධාවක් නැත. (ලංකාවේ දෙමල වැසියන්ට දකුණේ වැඩ කිරීමට බාදාවක් නැත)

දකුණු එංගලන්තයේ ස්කොට්ලන්ත ජාතිකයන්ට පහර දෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පෙළපාලි යති. රුපවාහිනී විවාද තබති. පහත ඇත්තේ ස්වාධින ස්කොට්ලන්තයක් සඳහා වන රැළියක ඔවුන්ගේ ජාතික කොඩිය රැගත් කතකි. අනිත් පින්තුරයේ තරුණිය ඉයස් (yes ) ව්‍යාපාරය (ස්කොට්ලන්ත ස්වාධිනත්වයට පක්ෂව) සඳහා පත්‍රිකා බෙදයි. මේ සියල්ල සිදුවන්නේ සාමාකාමිවය.

නමුත් මෙසේ සාමාකාමිව පැවතුනේ පසුගිය අවුරුදු 300 පුරා පමණි. එයට පෙර ඉංග්‍රීසින් හා ස්කොට් වරුන් බොහෝවිට සිටියේ යුද වැදගෙනය. එංගලන්තය වැඩි හරියක්ම සටන් වැද  ගත්තේ ස්කොට්ලන්තය සමගය.පහත ඇත්තේ එසේ යුද වැදුන ස්කොට්ලන්ත විරුවෙකු වන විලියම් වැලස් සේ මේල් ගිබ්සන් රඟපාන "Brave Heart " (නිර්භීත හදවත) චිත්‍රපටියේ ජවනිකාවකි.  
මේ යුදවල දිග ලැයිස්තුවක් මෙහි තිබේ. http://en.wikipedia.org/wiki/List_of_battles_between_Scotland_and_England

The acts of union යනු 1707 දී ස්කොට්ලන්තය හා එංගලන්තය අතර ඇති කරගත් ගිවිසුමයි. එක්සත් රාජධානිය බිහි වුනේ මේ ගිවිසුමෙන් පසුවය. එංගලන්ත හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තු එක්සත් වූ අතර එක්සත්  රාජධානියේ පාර්ලිමේන්තුව 1707 ඔක්තෝබරයේ ප්‍රථම වරට රැස්වුනි.
ධනවාදයේ දියුණුව ඇති වන්නට නම් ජාතීන්ගේ බෙදීම් තිබිය නොහැකිය. ප්‍රාග්ධන හිමියාට අවශ්‍ය වන්නේ නොබෙදුන මිනිස් ශ්‍රමයයි. නිෂ්පාදන බලවේග අයත් පන්තියට අවශ්‍ය වන්නේ එසේ නොබෙදුන , බැඳීම් නැති ශ්‍රමිකයන් පිරිසක් හා විශාල වෙළඳ පලකි. එක්සත් රාජධානිය ශ්‍රිඝ්‍රයෙන් ධනවාදයට ගමන් කරන්නේ මින් පසුවයි. 1760 ගණන්වල කාර්මික විප්ලවයට පදනම වැටෙන්නේද මෙලෙස එක්සත්වූ රටවල් දෙකක් වන ජර්මනිය හා එක්සත් රාජධානිය නිසයි.
ඉහත පින්තුරයේ ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ එකතුව සඳහා (union ) පෙනී සිටින කාන්තාවන් තිදෙනෙකි. 

දැන් ප්‍රශ්නය ඇත්තේ හොඳට එකට සිටි මේ දෙගොල්ල ගෙන් ස්කොට්ලන්තයට වෙන් වන්නට අවශ්‍ය වන්නේ ඇයිද යන්නයි?
මගේ යහළුවකු වන ස්කොට් වැසියෙකු කීවේ මෙසේයි. 
"අපිට සිරියාවට ගහන්න ඕනේ නැහැ. අපිට ඉරාකයට ගහන්න ඕනේ නැහැ. අපේ තෙල් වල සල්ලි අපට ඕනේ. එංගලන්තයේ දාපු කාමර බදු නිතිය (Bedroom tax ) අපට ගෙවන්න ඕනේ නැහැ. (ඔබ  සමාජ සුභ සාධක මුදල් ලබා ජිවත් වෙන ආණ්ඩුවේ නිවසක ජිවත් වෙන්නේ නම් හා ඔබේ වැඩිපුර කාමරයක් ඇත්නම් එයට බද්දක් ගෙවිය යුතු වේ- මෙය අලුතින් පනවන් ලද්දකි.). අපට රුසියාව සමග හොඳින් ඉන්නත් , යුරෝපයට ඇතුළුවී හොඳින් ඉන්නත් ඕනේ. අපට සමාජවාදය ඕනේ නම් ඒකට  ඉංග්‍රීසින් ගෙන් අහන්න ඕනේ නැහැ. "

බැලුවහම දෙපැත්තම හරි වගේ. හැබැයි එක දෙයක් කිය යුතුයි. දැන් කොච්චර ශිලචාරව වාද කලත් , ස්වාධිනත්වය සඳහා වන චන්දය පැරදුන හොත්  නිදහස සඳහා පෙළපාලි ගිය දහස්  ගානක් ඒක අත අරින්න සුදානම් නැහැ. වෙන විධිහක (ආයුධ නැතුව  හෝ ඇතිව ) කැරැල්ලක් , උද්ඝෝෂණයක් එන්න පුළුවන් කම තිබෙනවා. එසේම ස්කොට්ලන්තය දිනුවොත් , එංගලන්ත පැත්තෙන් ආයුධ සහිත දේශ සිමාවක් පනවන බව කියනවා. එහෙම වුනොත් එංගලන්තය ආයුධ යවමින් ස්කොට්ලන්තයේ නිරවුල් භාවය නැති කරාවි. 
අවුරදු 300 ක සාමය හා ශිෂ්ටාචාරත්මක දික්කසාදය වෙනුවට ...ලේ හලන යුද්ධයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්.  

ධනවාදයේ වුවමනාවට නිර්මාණය කල වෙළඳපල ඔවුන්ම විනාශ කර ගන්නේ ඇයි? 
නැගී එන එංගලන්ත අධිරාජ්‍යවාදයට 1707 ගිවිසුමෙන් තවත් වෙළඳපලක් ලැබුණි.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය කාර්මික විප්ලය සමගින්  ලොව පුර පැතිර ගියේය. 
එම අධිරාජ්‍යය  බිදී වැටුනු  අතර දැන් එක්සත් රාජධානියද බිඳ වැටෙමින්  වඩා  බලවත් යුරෝපා සංගමය බිහි වෙමින් පවතී. මාක්ස් පැවසුයේ එයයි.
යුරෝපා සංගමයට විරුද්ධ නයිජල් ෆාරාජ් ගේ පක්ෂය එංගලන්තයේ සිඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. නමුත් එංගලන්තයට එසේ ඉවත්ව යා  නොහැක. ලෝක ධනවාදය එයට ඉඩ නොදෙනු ඇත.


පසු වදන: චීන හා  ඉන්දියන් අධිරාජ්‍යවාදීන් තම වෙළඳපොල  සඳහා අනිත් රටවල් වලට ආයුධ සපයා ඕනෑම ත්‍රස්තවාදී හෝ වේවා නිදහස් හෝ වේවා ව්‍යාපාරයක් මර්දනය කරන්නට ආධාර කරයි. විහිද යන ධනවාදයට අවශ්‍ය ජාතිවාදී බෙදීම් නොව ශක්තිමත් ඒකාධිකාරී රජයක් හා නොබෙදුණු ශ්‍රමිකයන් රැලකි. 




Wednesday, 10 September 2014

මාක්ස් ඇත්තටම ආගම් අබිං කියා කීවද?


කාල් මාක්ස් ඇත්තටම කිවේ නෙමේ , ඇත්තටම අදහස් කලේ මොකක්ද කියන එකයි මෙතන වැදගත්.
මාක්ස් මේ ගැන සඳහන් කලේ "ක්‍රිටික් ඔෆ් හෙගල්ස් ෆිලොසොපි ඔෆ් රයිට් " -(ක්‍රි ව 1843)"කියන පොතේ.  ඉංග්‍රීසියෙන් කියවන්න අවශ්‍යනම් පහත යොමුවට යන්න.
http://www.marxists.org/archive/marx/works/download/Marx_Critique_of_Hegels_Philosophy_of_Right.pdf
මාක්ස් හේගල්ගේ දක්ෂිණාංශික දර්ශනවාදී නැඹුරුව විවේචනය කරමින් ලියු පොත් පිංචේ මුල හරියේ එන සඳහනක් තමා  මේක.

මිනිසුන් -පතල් කම්කරුවන්, ඇමෙරිකාවේ වහලුන් , ප්‍රවේනි දාස ගොවින් දරුණු තත්ව මත වැඩ කරලා යන්තම් පඩියක්  අරගෙන නොමැරී මැරී ජිවත් වෙන කොට ඔවුන්ට තිබුන එකම සහනය පල්ලියට යාම. පල්ලියේ කැරොල් ගායනා අදත් වහලුන්ගෙන් පැවත එන ඇමෙරිකන් කළු ජනයා  අතර ජනප්‍රියයි. දේවගැති වරු දෙවියන් පෙන්නලා ඒ අහිංසක මිනිසුන් වත් මුලා  කලා . කඩා  වඩා ගත්තා. කන්න නැති වුනත් සල්ලි දීපන් ස්වර්ගයට යන්න ඕනේ නම් කියලනේ  කීවේ. " මාක්ස් කිවේ මිනිස්සු අබිං ගන්නේ මත්  වෙලා ප්‍රශ්න අමතක කරන්න . මාක්ස් කීවේ  ආගම මිනිස්සුන්ට සැබෑ  ප්‍රශ්න (ධනපති පන්තියේ අකාරුණික පීඩනය) අමතක කරවල ස්වර්ගයක් පෙන්නලා මත් කරනවා. හරියට අබිං වගේ. " ඉතින් ඒක  වැරදි කතාවක් හැටියට මම නම්  දකින්නේ නැහැ.

මෙන්න ඒ කොටස:
"Religious suffering is, at one and the same time, the expression of real suffering and a protest against real suffering. Religion is the sigh of the oppressed creature, the heart of a heartless world, and the soul of soulless conditions. It is the opium of the people.

The abolition of religion as the illusory happiness of the people is the demand for their real happiness.
To call on them to give up their illusions about their condition is to call on them to give up a condition that requires illusions. The criticism of religion is, therefore, in embryo, the criticism of that vale of tears of which religion is the halo."

suffering කියන්නේ දුක නම් සැබෑ දුක පෙන්වන්නේ සහ සබැ දුකට එරෙහිව විරෝධය දක්වන්නේ ආගම මගින්. ආගම යනු පීඩිත බවට පත් වුනු සත්වයාගේ සුසුම,  (සැබෑ) හදවත් වලින් තොර ලෝකයේ හදවතයි, (පිරිසිදු)  ආත්මයන්  ගෙන් තොර ලොවක  (මෙහි ඇත්තේ තත්වයන් conditions යන වචනයයි) ආත්මයයි. එය මිනිසුන්ගේ (මිනිසුන් මත්  කරවා වේදනාව අමතක කරවන ) මත්ද්‍රව්‍යයයි.  (මෙහිදී අබිං)

මිනිසුන්ගේ සැබෑ සතුට ලබා ගැනීම සඳහා ඇති අවශ්‍යතාවය ආගම නැති කිරීම වන්නේ එයින්  මිනිසුන් ආගම මගින් ලබා ගන්නා මායාකාරී සතුට නැති කර දමන නිසයි.

අපි මිනිසුන්ගෙන් ඉල්ලුවොත් ඔබේ මායාකාරී බැඳි  බිඳ දමන්න කියා, ඉන් අදහස් වන්නේ එම මායාකාරී සතුට ගෙනේ දෙන තත්වයන් (ආගම)  අත් හැර දැමීමයි.  අපි  ආගම විවේචනය කරන්නේ මුලික වශයෙන් (දුක්ඛිතයන්ගේ ) ඒ කඳුළු ගංගාවේ (මෙහිදී වේලය හෝ නිම්නය යන අරුතද ගත හැක. ) රැස්  වළල්ල (halo) ආගම නිසයි.

මාක්ස් අබිං  - පාවිච්චි කර ඇති හේතුව කුමක්ද? අබිං කියන්නේ ඒ දවස් වල රෝහල් වල වේදනාව තුරන් කිරීමට පාවිච්චි කල මත්  ද්‍රව්‍යයක්.  එයම මිනිසුන් මත්  වීමටත් පාවිච්චි කලා චීනය වගේ රටවල. එතකොට මාක්ස් ඇත්තටම ඒ දවස් වල එංගලන්තයේ හා යුරෝපයේ පතල් වල කම්හල් වල වැඩ කල මිනිසුන් හා ඔවුන්ගේ දුක් පීඩා  දැක ඔවුන්ට අනුකම්පා කර  ලියු දෙයක් මේක. ඒ මිනිසුන් තම වේදනාව ඉදිරියේ ලැබෙන ස්වර්ගයක් ගැන හිතා තාවකාලිකව මැඩ  ගන්නවා. පල්ලියට ගිහින් සුළු නිදහසක් හරි භුක්ති විඳිනවා. ධනපතියන් විසිකරන මස් කට්ටක් ක්‍රිස්මස් දවසට හම්බ වෙනවා. ඕක තමා  මාක්ස් කිවේ.

දැන් මේක ඇත්තටම මාක්ස් කියාපු දෙයක්ද? නැත්නම් ඔහු උපුටා ගත්තද? ඉතිහාසඥයන් මේ පිළිබඳව සැක පහල කරනවා. මොකද මෙහි "This opium you feed your people"  කොටස මුලින්ම පලවෙලා තිබෙන්නේ මාර්කස් දේ සාදේ (Marquis de Sade) නමැති ප්‍රංශ වංශාධිපතියෙකු හා විප්ලවීය දේශපාලකයෙකු හා ලේඛකයෙකු ලියු "ජුලියට් ගේ ඉතිහාසය "L'Histoire de Juliette " (http://en.wikipedia.org/wiki/Opium_of_the_people) නමැති පොතේ. පොත පලවෙලා තිබෙන්නේ 1797. මාක්ස් වගේ පොත් හුඟක් කියවපු දර්ශනවාදියෙකුට මේ පොත මිස් වෙන්න විදියක් නැහැ. එකම දේ මේ පොත ටිකක් දරුණු පොතක්. සදේ කියන්නේ හුඟක් නිදහස් මිනිහෙක්. ඒ දවස්වල ලිංගික වශයෙන් නිදහස නැති කාලෙක  ඔහු ආගම එපා, නීති එපා , අද සතුටෙන් ජීවත් වෙන්න කියා කිවේ. මෙහි එන ජූලියට් ඒ වගේ හැමෝම සමග රති රමණය කල නිදහසේ ජිවත්  වූ ස්ත්‍රියක්. හුඟක් වෙලාවට මාක්ස් ඒ ආශ්‍රය (reference ) දුන්නේ නැත්තේ ඒ නිසා වෙන්නත් පුළුවන්. 
සදේ කියන්නේ මෙහෙම.: 
ජුලියට් ෆෙර්ඩිනන්ඩ් රජුට මෙහෙම කියනවා.
ඔබ නුවනැත්තන්ගේ ඇසට බයයි ෆෙර්දිනන්ඩ් , ඒ නිසයි ඔබ මෝහය පැතිරීම උනන්දු කරන්නේ. ඔබේ මිනිසුන්ට දෙන මේ අබිං මගින් ඔවුන් මත්  වුණාම ඔබ ඔවුන්ට දෙන දැඩි වේදනාවන් ඔවුන්ට දැනෙන්නේ  නැහැ.  ඒ  නිසා තමා උගත් මිනිස්සු ඔබේ රාජ්‍යයේ (පාලනයේ) දක්නට නැත්තේ.  ඉගෙනීමට හා දැනීමට ලැබිය යුතු ප්‍රශංශා සත්කාර ලැබෙන්නේ නැති නිසා නුවණැති බවෙන් ලාභයක් නැහැ. ඒ නිසා කවුරුත් ප්‍රඥාව හොයන්නේ නැහැ.


You fear the powerful eye of genius, that is why you encourage ignorance. This opium you feed your people, so that, drugged, they do not feel their hurts, inflicted by you. And that is why where you reign no establishments are to be found giving great men to the homeland; the rewards due knowledge are unknown here, and as there is neither honor nor profit in being wise, nobody seeks after wisdom.


ප.ලි මට මේ මාතෘකාව ගැන කතා කරන්න හිතුනේ මාතලන්ගේ වෙබ් අඩවියේ ගිය සාකච්චාවක් නිසා.  මුස්ලිම් ආක්‍රමණයක් නැති බව සංඛ්‍යා ලේඛන සහිතව චානුක වත්තේගම ලියු ලිපියක මාත්  සම්බන්දවූ සංවාදයකදී මාක්ස් ආගම අබිං කියූ බව කෙනෙක් තර්කයක් හැටියට භාවිතා කලා.

Thursday, 4 September 2014

පරාජිත, ඒකාකාරි, සුන්දර - ඔබ නැතුව ඔබ එක්ක

අගෝරාවෙන් චිත්‍රපටියක් පෙන්වන්න ලෑස්ති වෙනවා. බැලින්නම් චැනල් 4 එකේ පෙන්නපු "ඔබ නැතුව ඔබ එක්ක " කියන ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටිය.


ප්‍රසන්න විතානගේ කියන්නේ කලාත්මක චිත්‍රපටි කීපයක්ම අධ්‍යක්ෂණය කල ප්‍රවීන සිනමාකරුවෙක්.  හුඟක් යුරෝපිය චිත්‍රපටි උළෙලවල ඔහු සම්මාන ලබාගෙන තිබෙනවා. ඉතින් මන් මේ කරන්නේ සිනමා විචාරයක්ම නොවුනත් පරිස්සමින් කියන දේ කියන්න වෙනවා.
චිත්‍රපටියට පාදක කරගෙන තිබෙන්නේ ෆියෝදෝර් දොස්ටයෙව්ස්කි ගේ "මුදු ප්‍රාණියා  හෝ නිහඬ ඇය  " (The gentle creature or the meek one") රුසියානු භාෂාවෙන් ක්‍රොත්කයා කියන කෙටි කතාව. ඉංග්‍රීසි පොත මෙතැනින් බාගන්න පුළුවන්. http://www2.hn.psu.edu/faculty/jmanis/dostoevs/gentlesp.pdf

මෙහිදී ප්‍රසන්න විතානගේ මෙම කතාව වෙනස් කරනවා ලංකාවේ පැවතුන සිවිල් යුද්ධය පාදක කරගෙන.
එකේ වරදකුත් නැහැ. නමුත් මටනම් දොස්ටයෙව්ස්කි ගේ කෙටි කතාව කියවනවිට ඇතිවුන හැඟීම් මාලාව  මේ චිත්‍රපටිය බැලුවට එන්නේ නැහැ. දොස්ටයෙව්ස්කි දර්ශනවාදියෙක්. ඔහුගේ Notes from Underground කියන නවකතාව  existentialist කියල තමා කියන්නේ. ඒකෙන් කියන්නේ දර්ශනවාදී චින්තන ක්‍රියාවලිය ඇරඹෙන්නේ සිතන මිනිසෙකු  ගෙන්ම  විතරක් නෙමේ,  රඟන, හැඟීම් සහිත ජීවත්වෙන පුද්ගලික මනුෂ්‍යයෙකුගෙන්  කියල.  http://en.wikipedia.org/wiki/Existentialism

මේ කතාවත් ඒ හා සමානයි කියල කිව්ව හැකි. මීට අමතරව දොස්ටයෙව්ස්කි, ගොගොල් යන සම්භාවනීය රුසියානු ගත්කරුවන්ගේ නිර්මාණ එවකට පැවති  රුසියානු සමාජය විශ්ලේෂණයකට බඳුන් කලා . මිනිස් සම්බන්ධතාවන්, සමාජ සම්බන්ධතාවන්, සාර් පාලනය ප්‍රබල කතිකාවකට බඳුන් කලා. කොටින්ම පසුව රුසියාවේ සිදුවුණ සමාජ විප්ලව වලට (1905, 1917) මේ නිර්මාණ බල පෑව කියලත් කිව්ව හැකි.
ඉතින් මේ කතාව කියෙව්වොත් ඒක පරාජිත ප්‍රේමවන්තයෙකුගේ  කතාවක්ම නෙමේ. මේ කතාවේ එවකට තිබූ  රුසියානු සමාජයේ කෘර බව, මිනිස් සම්බන්ධතා  වල සංකීරණ කම , දරිද්‍රතාවය , සැඟවුණු ප්‍රේමය හා ඒ හා බැඳුනු ලිංගික ප්‍රශ්නත් කතා වෙනවා. (මට හිතෙන විධිහට) .

ප්‍රසන්නට මේ සිනමා කතාව ඒ විධිහටම ගෙන යන්න ඕනේ නැහැ තමා. නමුත් මූලික කතාව පාදක කරගත්තට යුද සමය හා පශ්චාත් යුද සමය හරියට ග්‍රහණය කරලා නැහැ.  ඒ වගේම දොස්ටයෙව්ස්කි, කතා නායකයා හා හුසාර් වරයෙකු අතර , කතා නායකයා මග හැරිය  නොකළ ද්වන්ධ සටන තදබල ලෙස ඉදිරිපත් කල ආකාරයට , ප්‍රසන්න මේ  කතා නායකයාගේ  හමුදා යාලුව කල වරද (දෙමල තරුණියක්  දුෂණය කිරීම)  හා ඔහු (කථා නායකයා) එය සැඟවූ බව එතරම් ප්‍රබල අන්දමින් ඉදිරිපත් කරලත් නැහැ. (මම කියන්නේ මේ සිනමා නිර්මාණයට සාපේක්ෂව).

දැන් අපි එයාර් බස් වල (ශ්‍රී ලන්කන් , එමිරේට්ස්  ඔය කොයිකෙත් ) යන කොට චිත්‍රපටි බලන්න පුළුවන්නේ. ඒ වල දාන සිංහල චිත්‍රපටි හුඟක් බාල පන්නයේ කොමඩි නේ. අර 70 දශකයේ විජය, ගාමිණී , මාලිනි ගස් වටේ දිව්ව විධිහටම (ඒක ඒ කාලෙට කමක් නැහැ) කොහේ හරි සිතල තියන තණකොළ පළාතක නටන ඒවයි  මෝඩ ජෝක්ස් නුයි තියෙන්නේ.  ඒ තත්වයෙන් මිදෙන්න ධර්මසිරි බණ්ඩාරනායක ල වගේ අධ්‍යක්ෂකවරු (හංස විලක් හැර ) හදපු චිත්‍රපටි වල කිසියම් ඒකාකාරී බවක් රැව් දෙනවා. ඒ ගතිය මේ චිත්‍රපටියෙත් තිබෙනවා. නිද්‍රාශීලි උඩරට නගරයක තමා  කතාව යන්නේ.  ඇත්තටම  එහෙම පුංචි නගර තිබෙනවද?  පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවේ කුඩා නගරයක පවා චංචල හා කලබලකාරී බවක් රැඳී තිබෙන බවයි මම දැක්කේ. මේ දීර්ඝ ඒකාකාරී ගතිය සමහර වෙලාවට කරදරයක්. චිත්‍රපටියේ මුල හරියේ කතා නායක සරත්සිරි වඳින්නේ ගණ  දෙවි පිළිරුවකට. ඊට පස්සේ එයා  වඳින්නේ බුදු පිළිමයකට. වෙනස මොකක්ද කියල වැටහෙන්නේ නැහැ. අනික කතා නායිකාව සෙල්වී  පල්ලියට යන දර්ශනය හා ඊට පසු සංවාදය චිත්‍රපටියට කෘතිමව ඔබ්බවල වගේ ගතියක් දැනෙනවා.

මේකේ පරාජිත බව තමා කතා නායිකාව සියදිවි නසා ගැනීම . වෙනත් ජාතියකගේ පිඩාවට පත්වුණු සුළු ජාතියක් ඉන් මිදෙන්න සොයා ගත්තේ සිය දිවි නසාගැනීම මගින් මහා ජාතියට දඬුවම් කිරීමේ ක්‍රමයක්‌ . එය දරුණු, පරාදීන අනුන් විනාශ කරගෙන තමන් විනාශවෙන , සමාජීය වශයෙන් නොගැලපෙන විධි ක්‍රමයක්. සමජවාදින්වත් ධනවාදින්වත් වත් ඊට වඩා  අගය කරන්නේ ජිවත් වීම. ජිවත්වි සටනට මුහුණ දෙන එක. ජිවත්වි අරගලයකට නායකත්වය දෙන එක.
කතා නායිකාවට සිය දිවි නසා ගන්නවට වඩා එහා යන්න තිබ්බා. ඒ යන පාර ප්‍රසන්නට හොයල දෙන්න තිබ්බ. එතනින් දොස්ටයෙව්ස්කි  ගේ මාවතට , දොස්ටයෙව්ස්කි  ගේ අවසානයට වඩා වෙනත් අවසානයක් ගන්න තිබ්බා .  මේකේ ලෙනින් කල පැහැදිලි කිරිමකිදී ,  අපට දකින්න පුළුවන් ගොගොල් ගෙ, දොස්තයෙව්ස්කි ගේ , ටෝල්ස්ටෝයි ගේ පරාජිත, රුසියානු සමාජයේ ඛේදාන්ත වලට , ලෙනින් ප්‍රති උත්තරයක් දෙනවා. අරගල කරපන්. ජිවිතයෙන් පලා  යන්න එපා. මේ දේ මේ විධිහට ලැබිල තියෙන්නේ අපි නිහඬව පරාජය බාර  අරගෙන බැරි වුණාම ප්‍රශ්නයෙන් පලා  යන නිසා. ගෝර්කි (අම්මා- පාවෙල් ) වෙනස් කරලා ලිව්වේ ඒක. ඔස්ත්රෝව්ස්කි (- කොර්චාගින් -වානේ පන්නරය ලැබූ හැටි)   වෙනස් කරල ලිව්වේ ඒක.

ඒ කෙසේ වෙතත් සුන්දර , පරාජිත ආදරයක් මේ සිනමා කෘතියේ ඉස්මතු කරනවා. තරමක් දුරට බ්‍රොන්ටෙගේ වදරින් හයිට්ස් තරම්ම නොවුනත් (හිත්ක්ලිෆ් ) සුන්දර ආදරයක් වෙනුවෙන් හිත සසල කර ගත් අනාථවූ  මිනිසෙකුත්  එවැනිම අනාතවූ සුන්දර , අහිංසක යුවතියකගේත් ආදරයක ඛේදාන්තයක් චිත්‍රපටිය පුරාම දිව යනවා.  එය හදවතට කාවදින ආකාරයට ඉදිරිපත් කරන්න දොස්තයෙව්ස්කි වගේම ප්‍රසන්නත් දක්ෂ වෙනවා.
චිත්‍රපටියේ ඉවර වෙන්නේ හදවත වේදනාවෙන් බිඳින  මේ වදන් ටිකෙන්.
"මම ඔයාගේ ආදරයට බය වුනා. ඔයාට ඕන විධිහේ නෝනා කෙනෙක් වෙන්න බැරි වෙයි කියල මට හිතුන. ඔයාට බාගෙට ආදරේ කරන්න මට බැහැ. මට ඕනෙ ඔයාට මුළු හදවතින්ම ආදරේ කරන්න."
"ඇයි ඔයා  මට මෙහෙම කලේ. ඔය තව එක පාරක්‌  හැරිලා බැලුව නම්........ ".


Tuesday, 2 September 2014

රත්න ශ්‍රී ගේ සම්මුඛ සාකච්චාව

 රත්න ශ්‍රී  ගේ සම්මුඛ සාකච්චාව


Rathna Shri's Video Link

මේ ගැන පසුව විස්තරයක් ලියන්න බලා  පොරොත්තු වෙනවා මම.
මෙහි අවසන් කොටස මිට කලින් ලිපියක දාල තිබෙනවා .

අගෝරාවට හෙළි කල රත්න ශ්‍රි ගේ විරහ ගීතය :

http://kolambagamaya.blogspot.co.uk/2014/07/blog-post_19.html

Thursday, 7 August 2014

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න

කුමාර් එන දවස කියන්න බැහැ - පුබුදු ජයගොඩ  ලින්ක් එක :  එන දවස ගැන පුබුදු ජයගොඩ - ත්‍රිමාණ යේ  ප්‍රශ්නයකට උත්තරයක් 
(සමහර නොත්රෙන  තොත්ත බබාලාට -- මේක ලියා  ඇත්තේ දේශපාලනය කරන වාමාංශයේ ඇත්තන් ගෙන් පොඩි හිනාවක් සපයා ගන්න විතරයි. හීන යනු සැබෑවට සිදුවන  දේවල් නොවේ. )


අවුරුද්ද 20...කියමු. 

පසුබිම් කතාව: ගරු සෝ....හාමුදුරුවන්ගේ විපස්සයේ සෙක්සි සන්ධානය මහා විප්ලවයක් කර සාර් රජතුමා පරාද කර සෝ.......... හාමුදුරුවන් ලවා රජකම අහෝසි කරවා කෙරෙන්ස්කිගේ පන්නයේ මෙන්ශේවිකයන් සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන ලදී.  සෝ.... හාමුදුරුවන් ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති උන්නාන්සේ බවට පත්ව වැඩි කල් යාමට මත්තෙන් විපස්සයේම අන්තවාදී වාම කණ්ඩායම නව බෝල්ෂෙවික් වරු වශයෙන් සන්ධාන ගත විය. ඔවුන් නව මෙන්ශේවික් රජයට විරුද්ධව අරගල පටන්ගත්  අතර එයට හේතුව වශයෙන් පවසන ලද්දේ නව ආණ්ඩුව ඇමෙරිකාවට හා චීනයට ගැති තවත් එක් ධනපති ආණ්ඩුවක් බවයි. 
........................................................................................................................

.....................................................................................................................................

අලුතින් ඉන්දියාවට යා කර හැදු මන්නාරමට එන දුම්රිය පාරේ දුම්රියක් එයි. ඔස්ට්‍රලියාවෙන් ඉන්දියාවට ගිය කුමාර් ගුණරත්නම් ලෙනින් පිටුවහළේ සිට පෙට්‍රොග්‍රාදයට ආවාක් මෙන් මන්නාරම හරහා දුම්රියෙන් කොළඹට එයි. 
දීප්ති කුමාර විප්ලවයේ න්‍යායාචාර්ය තුමා  මල්මාලයක් රැගෙන එක සමාන නම් ඇති පක්ෂවල ආධාරයෙන්, එකට වමේ විප්ලවය කල තමන්ගේ මෙන් එකම වාගේ  වාසගමක්  ඇති තම සටන් සගයා  පිලි ගැනීමට බලා සිටි. අධ්‍යාපන ඇමැති නිර්මාල් රන්ජිත් සීයට  හයේ රතු පිත්තයක් අරගෙන දුම්රිය වේදිකාවේ හරියටම නවත්තන තැන හරහා  ඇදගෙන බලා  සිටින ගමන් දීප්ති කුමාරට විහිළුවක් කර සිනා සෙයි. දීප්ති සමග විප්ලවයේ අනු  න්‍යායාචාර්ය වැඩේ කල සුමිත් චාමින්ද  පිත්තය කපන්නට කුමාර්ට කතුර දෙන්නට බලා  සිටින ගමන් ඒ විහිළුවට සිනා වෙයි. වික්‍රමබාහු ඊලම්  කොඩියක් රැගෙන උතුරටත් එන්න යනුවෙන් පිකටින් බෝඩයක් උස්ස ගෙන බලා  සිටි. පුබුදු ජයගොඩ හා චමීර කොස්වත්ත රතු බලකාය හසුරුවන අතරේ අජිත් කුමාරසිරි  අලුත් තාලේ උපහාර ගීයක් පුහුනුවෙයි. ඕපාත මහත්තයා  අල්ලා  ගත්  ප්‍රති විප්ලවවාදී අනුර කුමාර හා ලාල්  කාන්ත ගෙන් තවමත් ප්‍රශ්න කරමින් සිටින නිසා මෙතන නැත.

අලුත් ආණ්ඩුවේ මාධ්‍ය ඇමති තුෂාර දස්කොන්  ත්‍රිමානය අප්ඩේට් කරන්න ෆොටෝ ගන්න ලෑස්ති වෙන කට්ටියට ගුරු හරුකම් දෙයි. .


"මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. මගේ සිහිනෙන්  මා මුදන්න ලං නොවන්න. ලං නොවන්න ...."
ප්.ලි. මෙය විකාර හීනයක් පමණි. 

රොසේට්ටාව ළඟා වෙයි

පින්තුරය ගත්තේ මෙතනින්: credit: wikipedia
අවුරුදු දහයකට පසු රෝසේට්ටා අභ්‍යවකාශ (රොබොටික්) යානය තම එල්ලයට අගෝස්තු 06 වනදා ළඟා  වුණා. මේක වැදගත් සිදුවීමක්. මෙම යානය හදාරන්න බල පොරොත්තු වෙන්නේ 67P චෙරුමොව් -ගෙරසිමෙන්කෝ කියන ධුම කේතුව. මෙය මුලින්ම හොයා ගත්තේ 1969 සෝවියට් දේශයේ අල්මා - අතා කියන නගරය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ක්ලීම් චෙරුමොව් හා ස්වෙත්ලානා ගෙරසිමෙන්කෝ යන තාරකා   විද්‍යාඥයන් දෙදෙනා විසින්. මෙය තමන් වටා  පැය  12.ය කට වරක් කැරකෙන අතර අවුරුදු 6.45 කට සැරයක් හිරු වටා කක්ෂය සම්පුර්ණ කරනවා. මෙය කිලෝ මීටර 3.5 පළල හා කිලෝ මීටර 4ක පමණ දිග කේතුවක් .
යුරෝපියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් රෝසේට්ටාව යැව්වේ මෙම  ධුම කේතුව හැදිල තියෙන්නේ මොනවයින්ද කියල හොයන්න වගේම , අප සිටින සෞර  ග්‍රහ මණ්ඩලයේ උපත හා විශ්වය උපත සම්බන්ධ කර ගන්න අවශ්‍ය තොරතුරු ලැබේවිය යන පදනමින්. අරියෙන් 5 රොකට්ටුවක් මගින් 2004 මාර්තු දෙවෙනිදා යැවු මේ යානය  මේ අගෝස්තු මාසයේ බලා  පොරොත්තු වූ පරිදි කේතුව වටා  කක්ෂ ගත වුණා.

දැන් මෙහි වැදගත්කම කුමක්ද? මගේ මේ ලිපියේ ධනවාදයේ ඊළඟ උපාය" ධනවාදය පවත්වා ගැනීමේ අලුත්ම ස්ට්‍රැටජිය (උපාය)"  බ්ලොග් ලිපියේ සඳහන් කලේ ඇස්ටරොයිඩ් වැනි අභ්‍යවකාශ වස්තුන්ට යානා යවා ඉන් අමු ද්‍රව්‍ය ලබා ගැනීමේ සැලසුම්. මමත් ගිය රාජකීය තාරක සංගමයේ දේශනය මෙතන. "රාජකීය තාරකා සංගමයේ දේශනය" හා ඒ පිලිබඳ BBC ලිපිය. http://www.bbc.co.uk/news/science-environment-25716103 . රෝසේට්ටුවේ කක්ෂ ගතවීම වැදගත් මේ පල නොකළ දේවල් පවා ඉගෙන ගැනීමට අවකාශය ලැබීමයි. 

රිචර්ඩ් බ්‍රන්සන් නමැති බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ධනපතියා වර්ජින් ගැලක්ටික් නමින් අභ්‍යවකාශයට මිනිසුන් ගෙනයන සේවාවක් පටන් ගන්න ලැහැස්ති කරලා තියෙන්නේ . එයාගේ මුල්ම යානය සාර්ථකව කක්ෂගත කළා පසු ගියදා.
රිචර්ඩ් බ්‍රන්සන් ඇත්තටම බලා  පොරොත්තු වෙන්නේ වෙන දෙයක් බව හෙළි වුණා. ඔහු කිවේ ඇස්ටරොයිඩ් කැනීම් සඳහා ඔහු යානා නිපදවීමට හා අමුද්‍රව්‍ය පොලොවට ගෙනත් විකුණා ලාභ ගැනීම ඔහුගේ බලා පොරොත්තුව බවයි. මෙයට දැන් තවත් අමෙරිකානු සමාගමක් එකතු වෙලා තිබෙන්නේ. ඩිප් ස්පේස් ඉන්ඩස්ට්‍රිස් කියන එක. මේ ලිපිය බලන්න

රුසියාවත් මේ තරඟයේ සිටිනවා ඉන්දියාව හා චීනය සමග. 

ඉදිරියේදී ධනවාදයේ අලුත් පිම්මවල් කීපයක් බලා පොරොත්තු වෙන්න පුළුවන්. මේ එකක් .


Tuesday, 5 August 2014

ගුරුතුමා ළමුන් ලවා ටොකු ඇන්නවිම හා ගුරු ගුටි

මේ කතාව ලියන්න හේතුව ළඟදී දැක්ක නිව්ස් එකක්. ගුරුතුමෙක් හෙවත් විදුහල්පතිවරයෙක් අනෙක් ළමුන් ලවා තව ළමයෙකුට ටොකු ඇන්නවීමක් ගැන පත්තරේක දාල තිබුන. ගුරුතුමා අත්  අඩංගුවේ.  ඇත්තටම කණගාටුදායකයි. ගුරුතුමා හා ළමය දෙන්න ගැනම. මේ සිද්ධිය නිසා මතක් වුන දෙයක් මේ. වසර 1972-1974 කාලයේ මගේ විදුහල හෙවත් ඉස්කෝලේ වුනේ ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය.  හරිම ලස්සන පරිසරයක් ලුණුගල තිබුනේ. අපි හිටියේ  පොලිස් නිවස්න වල. එතන අඩාවත්ත කියල පාරක් තිබුන.  ඒක පහලට එනකොට වතුර පාරක් පාරේ අයිනේ ගලාගෙන යනවා. ඒ හරිය පහු කරලා එනකොට කුඹුරු.  ඊට පස්සේ පෙනෙන්නේ ලස්සන කුඹුක්කන්  ඔය.

එතනින්  පන්සල පාරට හැරිලා තමා සෙන්ට්‍රල් එකට එන්න ඕනේ. ඒක තිබෙන්නේත් ලස්සන පරිසරයක. කනිෂ්ඨ පාසැල තිබෙන්නේ පොඩි කඳු ගැටය උඩ . ලොකු පිට්ටනියකුත් තියෙනව.
මෙන්න ගුගල් පින්තුරේ.
credit to Google Maps: https://www.google.co.uk/maps/preview?source=newuser-ws
ඉතින් මම දෙකේ පන්තියේ සිට හතර පන්තිය දක්වා ඉගෙන ගත්තේ මේ කනිෂ්ඨයේ. මේ සිදුවීම  වෙනකොට මම තුනේ පන්තියේ වෙන්න ඕනේ.  මේ කතාවේ කියන  ගුරුතුමා   ජාතික ඇඳුම අඳින කෙට්ටු උස පුද්ගලයෙක්.

එක දවසක් විවේකයෙන් පස්සේ ලොකු ගාල ගෝට්ටියක්. අපිත් කලබලේට බැලුව. අර ගුරුවරයා පන්තියේ ළමයෙක්ව මැදට අරගෙන බනිනවා. මේ විදුහලේ කණිෂ්ඨ කෑල්ල ලොකු හෝල් එකක්. පන්ති බෙදල වෙන් කරලා තිබුනට බිත්තියක් වත් නැහැ. අනික පන්තියේ උගන්වන දේත් ඇහෙනවා. ඉතින් අපි බැලුව මොකද වෙන්නේ  කියල. අර ළමය ටිකක් මහත හතරේ පන්තියේ කියෙන්නේ අවුරුදු නමයක විතර දුප්පත් බව පෙනෙන පිරිමි ළමයෙක්. ටිකක් ලොකු කොට කලිසමක්  හා දුර්වර්ණ වෙච්ච ලා  කොළ පාට කමිසයක් ඇඳගෙන හිටියා  වගේ මතකයි. එයාට අපි සෝමේ කියමුකෝ. (මේ සෝමේ  අන්වර්ථ නමක්. මගේ පන්තියේ හිටිය සෝමතිලක  කියල යාළුවෙක් එයා නෙමේ ) මන් හිතන්නේ මිනිහ ගණිතය ලියන පොත අරන් ඇවිල්ල නැහැ. කොහොම හරි එක පාරටම අර බැන බැන හිටිය ගුරුතුමා ආවේශ වුන වගේ වේවැල අර ගත්ත. දැන් මෙයා  අර අහිංසකයට ගහනවා. එකක් දෙකක් නෙමේ ගහ ගෙන ගහගෙන ගියා . කොල්ල මර හඬ දීල අඩනවා. අනික්  ඈත පන්තිවල ගුරුවරු හා ළමයිනුත් ඇස්  උඩදාගෙන කටවල් ඇරගෙන  බලන් ඉන්නවා. ටිකක්  වෙලා හති ඇරිය  මේ ගුරුභවතා ආයි  ගහන්ඩ පටන් ගත්ත ආවේශ වෙලා වගේ. අර කෑ  ගහලා අඬන කොලුවා එක පාරටම නිස්සද්ද වුණා . ගුරා ගහනවා තවම. ටිකකින් අපට වැඩේ තේරුණා. කොල්ලට චූ යනවා. දෝරේ  ගලනවා වගේ.  අපේ පන්තිය හරියට එනකන් ගලාගෙන එන සයිස් එකට.
එක  ගුරුවරයෙක්  ආවේ නැහැ කොල්ලව බේරා ගන්න. පොඩි වුනත් මම මාරාන්තික තරහකින් හිටියේ. අපේ පන්ති භාර ගුරුතුමිය එනකොට  ගැහිල්ල නතර වුණා. එයාට  ගුරුවරයාගේ සැළකීමක් තිබුන. කොල්ල බිම බලාගෙන හිට ගෙන හිටිය ඉස්කෝලේ ඉවර වෙනකම්ම පැයක්  විතර චු ගොඩේ. ඊට පස්සේ මොනවා වුනාද මම දන්නේ නැහැ. කොල්ලගේ අම්ම ඇවිත් පන්තිය හේදුවලු .

මේ ළමය ඊට පස්සේ ඉස්කෝලේ ආවේ නැහැ. මමයි අපේ පවුලේ කට්ටියයි ගමනක් කියා මන් හිතන්නෙ  ජනතා පුර කියන පාරේ. ඔහොම යනකොට කඳුගැට තියෙන හරියක අලුත දුන්න ඉඩම් වගේ කෑල්ලක් දැක්ක කටු මැටි ගෙයක් එක්ක. මන් දැක්ක "අර සෝමේ" ඉඳන් ඉන්නවා. කඳු ගැට්ට උඩ . අර කලිසමයි කමිසෙයි ඇඳගෙන. මාත් එක්ක ලාවට හිනා වුණා  ඇඳින  ගෙන.

ලංකාවේ "සමහර" ගුරුවරු ටිකක් තියෙන මධ්‍යම පන්තික ළමයිනට එක විධිහකටත්  නැති බැරි ළමයිනට තව විධිහකටත් සලකන බව මම දන්නවා. ඒත් මේක මහා කෘර කමක්.

නැති බැරි භේදය ගැනයි දුප්පතාට හැමදාම ගුටි ලැබෙන බවයි මන් ඉගෙන ගත්තේ එදා කියල මට හිතෙන්නේ.

- මෙහි සඳහන් සෝමේ අන්වර්ථ නාමයකි.