Saturday, 25 July 2015

කියුබාව සමාජවාදීද 1?

ෆිදෙල් කැස්ත්‍රෝ කියුවා  යයි කිවූ දෙයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය කියුබාව සමග තානාපති සම්බන්ධතා පටන් ගන්නේ ලතින් ඇමෙරිකානු පාප් තුමෙකු හා කළු ඇමෙරිකන් ජනාධිපතිවරයෙකු යටතේ බවට ඔහු අනාවැකියක් පළ  කල බවයි. මෙය ප්‍රචලිත වන්නේ ෆේස්බුක් හි  සංසරණය වන පින්තුරයක් ආධාරයෙනි. මේ මහා අනාවැකිය කියා ඇත්තේ 1973 දීලු.   බිබීසී ලෝක සේවයේ අපේ මිතුරු සරෝජ් පතිරණ මේ පින්තුරයට ඇලුණු තවත් මාධ්‍යවේදියෙකි. ඔහු විසින් උත්පත්තියෙන්  සමාජවාදී, ලතින් ඇමෙරිකානු ගරිල්ලා සටන් වල ප්‍රධාන න්‍යායාචාර්ය  තමන් සේ කාලයක් සැලකූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ගෙන් මේ බව විමසා තිබුණි. ඒ ලිපියේ යොමුව මෙයයි. ප්‍රශ්නය වන්නේ ෆේස්බුක් පින්තූරයක් මුලාශ්‍ර කරගෙන ඔවුන් කතා කරන්නේ එය සැබෑවක්ද කියා පැහැදිලි නොකරය. කස්ත්‍රෝ කල මෙවැනි කතාවක  මූලාශ්‍රයක් කොහේවත් නැත. දෙදෙනාගෙන් කාට හරි එය සොයා පල කල හැකිද?
අසූව  දශකයේ අග භාගයේ, කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කල, විප්ලවකාරී මොඩ්  කැප් තොප්පියක් පැළඳ ලතින් ඇමෙරිකානු ගරිල්ලා ව්‍යාපාරය ගැන ගර්ල් ගයිඩ් මුලස්ථානයේ හා වෙනත් තැන්  වල දයාන් කල දේශනා ඇසීමට ගියෙමි. මට මතක විධිහට ඔහුගේ පියා පල කල ගාර්ඩියන් සඟරාවේ ද එවැනි ලිපි පළවුණි. ජවිපෙ පුර්ණ කාලින ක්‍රියාකාරිකයෙකු වූ කැමිලස් මට කීවේ  මාර්ග ආයතනයටද සම්බන්ධ දයාන් සිඅයිඒ ඔත්තු කරුවකු බවයි. ජේඩීඑස් සංවිධානයේ අතුල සහෝදරයා කිවේ කැමිලස් පසුව දයාන් ගේ කුමක් දෝ සංවිධානයකට සම්බන්ධ වූ බවයි. මා සිතුවේ කැමිලස් 88 කාලයේ අතුරුදහන් වූවා කියායි.  කෙසේ හෝ ලතින් ඇමෙරිකානු පන්නයේ ගරිල්ලා ව්‍යාපාර කිරීමට ගිය දෙතුන් ගොල්ලක්ම ඇණ  ගත්හ.
ආචාර්ය දයාන් ජයතිලක ඉන්පසු බිබීසියට කියන්නේ මේ අනාවැකිය  නිවැරදි වුන බවත් ඇමෙරිකාවට පුංචි කියුබාව ඉදිරිපිට යථාර්තය පිළිගැනීමට සිදුවූ බවත්ය. ඒ කියන්නේ "කියුබාවේ සමාජවාදය " ඇමෙරිකාව පිලි ගත්තා කියාද? මේ සාවද්‍ය කතාවට අමතරව දයාන් තවත් සාවද්‍ය කතාවක්  කියයි. එනම් "නමුත් ෆිදෙල් කැස්ත්‍රෝට පුළුවන් වුනා, ධනවාදය කරා නොගිහින් එහෙත් ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් කියුබාවේ සමාජවාදී විප්ලවය සුරකිමින් ඒ ඉතාම භයානක අවස්ථාවෙන් කියුබාව බේර ගන්න" - (උපුටා ගැනීම මගෙනි) 

මේ තවත් බොරුවකි. ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කලේ රාවුල් කස්ත්‍රෝ විසිනි. රාවුල් විසින් පසුගියදා තමන් ජිවත්වන  රජයේ නිවාස මිලදී ගැනීමට (තැචර් වාදය?) හා විකිණීමට  කියුබානුවන්ට ඉඩ දුන් අතර ඊට කලින් සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමටද ඉඩ දෙන ලදී. (ලෙනින් ගේ නෙප් ක්‍රියාවලිය ?)
ෆිදෙල් කලේ ජනතාවට පටි තද කර ගන්න කියා කීමයි. සෝවියට් දේශය බිඳ වැටුන පසු කියුබාවට බොහෝ විට උදව් කලේ යුරෝපියන් සංගමයයි. අනිත් පැත්තෙන් යුරෝපීයන් ප්‍රමුඛ වුනු සංචාරක කර්මාන්තයෙන් ඔවුනට සැලකිය යුතු ආදායමක් ලැබුණි. කියුබානු දොස්තරවරුන් බොහෝ රටවලට යවා ලබාගත් ඩොලර් ආදායමයද ඉතාමත්  අඩු මිලට වෙනිසියුලාව විසින් සැපයූ තෙල් නිසාද කියුබාව පණ  ගැට ගසා ගත්තාය. මේවා නැත්නම් කැස්ත්‍රෝ ට කියුබාවේ ආර්ථිකය හැසිරවීම ඔහුගේ රාජ්‍ය ධනවාදී ස්ටාලින්වාදී ක්‍රමය යටතේ ඉතාමත් අපහසු කාර්යයක් වී තිබුණි.
අනික ඇමෙරිකාවට යථාර්තය පිලි ගැනීමට සිදුවූ බව හෙවත් කියුබාව සමග
සම්බන්ධතා ඇති කර ගැනීමට තිබු හේතු අතර බලවත්ම හේතුව පූටින් මිස දයාන් කියන පරිදි කියුබාවේ ඊනියා සමාජවාදී ජයග්‍රහණයක් නම් නොවේ.
එම පළමුවන හේතුව ඇත්තේ මෙතනය.  සෝවියට් දේශය පැවති  කාලයේ සෝවියට් හමුදා වල හා ඔත්තු සේවයේ 3000 පිරිසක් යොදා පවත්වාගෙන රහස් ඔත්තු මධ්‍යස්ථානයක් (listening post ) හවානාහි ලුර්දු නමැති පෙදෙසේ තිබුණි. මෙය ඇමෙරිකාවේ වැඩිහරියක් සන්නවේදනයන් නිරික්ෂනය කරමින් ඔත්තු බැලූ අතර නැටෝ සබ්මැරීන හා නැව් ස්ථානගත වන දත්ත ද මොස්කව් වලට සපයන ලදී. සෝවියට් දේශය බිඳ වැටුණ පසු රුසියාව මෙය අත් හැර දමා තිබුණි. 2014 ජුලි මාසයේ රාවුල් කස්ත්‍රෝ හමුවූ පුටින් මෙම මධස්ථානය නැවත ක්‍රියාත්මක කරවීමට කැමැත්ත පල කළේය. රාවුල්ට මෙයට විරුද්ධ වීමට හේතුවක් නැත්තේ මින් රැකියා හා විශාල මුදල් ප්‍රමාණයක් ද කුලිය වශයෙන් ලැබෙන නිසාය.
මේ තත්වය ඇමෙරිකාවට අනතරු ඇඟවීමක් ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ සැලකුහ. රුසියාවට ආසන්න ජෝර්ජියාව දෙකඩ කිරීම, ක්‍රිමියා ව පවරා  ගැනීම, උක්රයිනයේ බෙදුම්වාදයට සහයෝගය දීම වැනි හේතුන් නිසා පුටින් ට එරෙහි වී සිටින ඇමෙරිකාවට පුටින් කියුබාවට පා තැබීම ඔරොත්තු දුන්නේ නැත. බොලිවියාව, වෙනිසියුලාව හා ආර්ජන්ටිනාවද පුටින් ගේ රුසියාව සමග හොඳ සම්බන්ධතා පවත්වා ගෙන යයි.
දෙවැනි හේතුව නම් කියුබාව පරණ සෝවියට් දේශයට හා රුසියාවට තිබු මුළු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 32 ක් පුටින් කපා හැරීමය. දැන් කියුබාවට ඉතිරිව ඇත්තේ ඩොලර්  බිලියන් 3.2 ක ණයක්  පමණි.  එයද අවුරුදු දහයකට සහනදායි ලෙස ගෙවන්නට පුටින් ඉඩ දී තිබේ. මේ හේතුවෙන් කියුබාවේ හා ලතින් ඇමෙරිකාවේ පුටින් වඩාත් ජනප්‍රියය.
තව දුරටත් සම්බාධක තබාගෙන කියුබාවට දඬුවම් දීමෙන් තමන්ටම  පාඩු සිදුවන බව ඇමෙරිකන් ආරක්ෂක අංශ වටහා ගත්හ. මියාමි වල කියුබානු ඇමෙරිකානුවන් කුමක් කීවත්,  ජනාධිපතිට චන්දය නුදුන්නත්,  කියුබාව සමග සම්බන්ධතා ඇති කර ගෙන සම්බාධක ක්‍රමයෙන් අත හැරීම හැර ඇමෙරිකාවට වෙනත් මගක් ඇත්තේ නැත.

දයාන්  කල එකම නිවැරදි නිරීක්ෂණය වඩාත්ම වැදගත් සම්බන්ධීකරණ පුරුක වුනේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා බව කීම පමණි. නමුත් මෙහිදීද  මේ ක්‍රියාවලියට අඩිතාලම දැම්මේ කලින් සිටි පාප් තුමෙකු වූ පෝලන්ත ජාතික ජෝන් පාවුළු II ය. දැන් සිටින පාප් තුමා නොවේ. ඉතා විශාල කතෝලික ජනගහණයක් ඇති කියුබාව මුලිකවම අදේවවාදී රාජ්‍යයක් වුවද එහි කතෝලික ආගම බලවත්ය. 1998 ජෝන් පාවුළු පාප් තුමා ගේ සංචාරයට ප්‍රථම කියුබාව 1992 දී කස්ත්‍රෝ යටතේ ව්‍යවස්ථාව සංශෝධනය කර  අදේවවාදය අත් හරින ලදී. ඉන්පසු දින පහක ක්‍රිස්මස් නිවාඩුවක් ද 1998 දී ලබා දුනි.

මේ අනුව ඇමෙරිකාව හෝ වතිකානය නිකම් සිටියේ නැත. වතිකානය සිතුවේ වතිකානයේ සහයෝගයෙන්  පෝලන්තය රජය ලේක් වවෙන්සා  හරහා බිඳ දැමු ආකාරයට බිඳ දැමීමට වුවත් කියුබානු ජනතාව එයට සහයෝගය දෙන්නේ නැති  බව ඉතා ඉක්මනින් වටහා ගත්හ. (මෙයට හේතුව ඊළඟ ලිපියෙන් පැහැදිලි කරමි. ) මේ නිසා ඉන්පසු වතිකානය  කළේ  යුරෝපා සංගමයේ හොඳ හිත හරහා කියුබානු නායකත්වයට සමීප වීමයි. කොටින්ම වතිකානය  ඇමෙරිකාව විරුද්ධ වෙද්දී පවා කියුබාව සමග
වෙළඳම්  කිරීමට යුරෝපියානු ප්‍රජාවට සහයෝගය දුනි. අන්තිමේදී ඇමෙරිකාවට පසුගිය අවුරුදු කීපයේ තමන්ගේ සම්බාධක ගෙනයාමට කියුබානු සබඳතා ඇති යුරෝපියානු සමාගම් වලට තර්ජනය කිරීමට පවා සිදු වුනි. මේ සියල්ල හදිසියේ අත්  හැර දැමුවේ පුටින්ගේ ආගමනයත් සමගයි.
එනිසා මේ කළු ඇමෙරිකන් ජනාධිපති හා ලතින් ඇමෙරිකානු පාප්  තුමාගේ කතාව නිකන් ෆේස්බුක්  හිතලුවක් පමණි.
මගේ ඊලඟ  ලිපියෙන් වතිකානය කියුබානු ජනතාව පෝලන්තයේ මෙන් කස්ත්‍රෝට එරෙහිව හැරවිය නොහැකි බව තේරුම් ගැනීමට මා  දන්නා හේතුව මගේ ම අත්දැකීමක් ඇසුරෙන් පැහැදිලි කරමි. ඒ කස්තීයෝ හා එචෙවරියා ආදී මගේ කියුබානු මිතුරු සිසුන් කී දේ ඇසුරුණි. කණගාටුවකට මෙන් මේ ලිපිය පල කිරීමට වෙන්නේ තවත් දින දහයකට  පසුවයි. ඉතාලිය හරහා ජර්මනියට නිවාඩුවකට යන බැවින් හා මෙවර දුම්රියෙන් යන නිසා ලැප්ටොප් එකද නිවසේ තබා යන බැවින් බ්ලොගය ට නව ලිපියක් එකතු කිරීමට නොහැකිය. සියලුම කොමෙන්ට් මම ඊළඟට හමුවන වයිෆයි කලාපයේදී පල කරමි.

මුලාශ්‍ර:
1.http://www.telegraph.co.uk/news/worldnews/centralamericaandthecaribbean/cuba/10971737/Russia-to-reopen-Cold-War-spy-post-on-Cuba-in-Americas-backyard.html
2.http://www.rt.com/business/172020-russia-cuba-debt-writeoff/
3.http://news.bbc.co.uk/onthisday/hi/dates/stories/january/25/newsid_4041000/4041643.stm
4.http://kolambagamaya.blogspot.co.uk/2015/07/1.html

Friday, 24 July 2015

මාසයේ හොඳම බ්ලොගයට රුපියල් දහසක්

නෙළුම්  යාය  සහෘද සමුහය විසින් සෑම  මසක් අවසානයේම එම මාසයේ හොඳම  ලියවිල්ල පල කරන බ්ලොග අඩවියට රුපියල් දහසක් පිරි නමනු ලැබේ.  රුපියල් දහසේ ත්‍යාගය පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ජිවත්වන අයට පමණි.  ඔබ බ්ලොග් ලියන්නෙකු සහ ජිවත් වන්නේ ලංකාවෙන් පිටත නම් ත්‍යාගය සඳහා  ඔබ කැමති අයෙකු නම් කල හැකිය.

ත්‍යාගය පිරි නමනු ලබන්නේ නෙළුම්  යායේ  සියලුම අංශයන්හි එනම් www.nelumyaya.com හි සියලුම මාතෘකා යටතේ සහ  ලංකානිව්ස්වෙබ් (lankanewsweb.net) හි නෙලුම් යාය  අංශයේ හෝ සයිබර් පවුරේ පලවන බ්ලොග් ලිපි හා නිසඳැස් වලින් තේරීමෙනි. ඔබේ බ්ලොග් අඩවිය www.blogpower.info හි ලියා  පදිංචි කිරීමෙන් හෝ    editor@nelumyaya.com යන ලිපිනයට ඊමේලයක් එවීමෙන් ඔබටද සහභාගී විය හැක. ලංකානිව්ස්වෙබ් කර්තෘ සහ  නෙලුම් යාය සංස්කාරක ගේ  තීරණය අවසාන තීරණය වේ.

- නෙලුම් යාය සංස්කාරක

සටහන - අප මුදල් ත්‍යාගයක් දෙන්නේ සහතිකයක් පිළියෙළ කිරීමටත් එවැනි මුදලක්  යන බැවින් ඊට වඩා  මුදලක් දීම හොඳ යයි සිතන  නිසාය. සමහරුන්ට මෙය ඉතා අඩු මුදලක් විය හැක. ශ්‍රී ලංකාවෙත් වෙනත් රටවලත් පරිගණක රැකියා වල දී සිටින්නන් ආදීන් මෙන්ම වෙනත් හොඳ රැකියා කරන අයට  මෙය ඉතා සුළු මුදලක් විය හැකිය. එසේ නම් ඔවුන්ට ඒ සඳහා අපට දායක වී ත්‍යාගය වැඩි කල හැක.  නැත්නම් තමන් සංවිධානය වී වඩාත් හොඳ තෑග්ගක් දිය හැකිය.
මුදලට බ්ලොග් නොලියනවා කියන අයට  මෙය ප්‍රතික්ෂේප කල හැකිය. නැත්නම් මේ සුළු ත්‍යාගය අරගෙන දුප්පත් ළමයෙකුට පොත් දෙක තුනක් පැන්සල් පෙට්ටියක් අරන් දිය හැකිය. නැත්නම් අර ඒ කාලේ ගල් ඉබේ ඔළුවට  වැටී මියගිය තාලේ  හිඟන්නෙකුට දිය හැකිය.
බටහිර රටවල බ්ලොග් ලියන්නන්ට දැන්වීම් ආදියෙන්  අමතර ආදායමක් ලැබේ. ලංකාවේ තවමත් එය ප්‍රචලිතව නැත. එවැනි දවසක අප මෙවැනි ත්‍යාග නතර කරන්නෙමු. බ්ලොග් ලියන අපහසුවෙන් ජිවත් වෙන  විශ්ව විද්‍යාල සිසුන් වැනි අය  මෙයින් ප්‍රයෝජනයක් ගනු ඇතැයි අපේ විශ්වාසයයි. 

Tuesday, 21 July 2015

සියාමා ගේ කතාවට පසු වදනක්


ඕස්ට්‍රේලියාවේ ජිවත් වන මගේ මිතුරෙකු වන ජ.......... මට ඊමේල් පණිවුඩයක් ඒවා තිබුණි. ඔහු සියාමා ගේ කතාව අන්තර්ජාලයේ දැක කියවූ බවත් එය ළගන්නා සුළු කතාවක් බවත් ඔහු එහි සඳහන් කර ඇත. එසේම  එවැන්නක් මුලින් ලීවේ නැත්තේ ඇයිදැයි විමසා තිබුණි.  මට කියන්නට ඇත්තේ හැම දෙයටම වෙලාවක් ඇති බවත් ඒ වේලාව එළඹුණේ මේ දිනවල දී බවත්ය.

ජමාත් - අල්  - ඉස්ලාමි බංග්ලාදේශ අන්තවාදී පක්ෂයේ නායකයාට 2013 දී බංගලා දේශ රජය මගින් පිහිටුවන ලද අධිකරණය මගින්, ඔහු කරන ලද සාමුහික ඝාතන  ස්ත්‍රී  දුෂණ ආදියට වරදකරු කර මරණිය දණ්ඩනය පනවන ලදී. අන්තවාදය මැඩ  පැවැත්වීමට බංග්ලාදේශ රජය ප්‍රශංසනීය උත්සාහයක් දරයි. අන්තවාදීන් නිසා විනාශ වුනු පවුල් හා ජිවිත බොහෝය. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුද දිවි දුන් බංගලා දේශයේ අපේ සහෝදර සහෝදරියන් අන්තවාදයට එරෙහිව තීරණාත්මක සටනක් ගෙන යති. බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදය එම  රටේ සාමකාමි ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වේ. එසේම එය එහි වෙසෙන බෞද්ධ සුළුතරයට එරෙහිවද ක්‍රියාත්මක වේ.

අනිකුත් රටවල මෙය එසේමය. වෙනස් වන්නේ ලේබලය පමණි. බුරුමයේ බෞද්ධ අන්තවාදය එහි වෙසෙන රෝහින්ගියා මුස්ලිම් වරුන්ට එරෙහිව  ක්‍රියාත්මක වේ. ඉන්දියාවේ හින්දු අන්තවාදය මුස්ලිම් ජන කොටස් මෙන්ම අනිකුත් ප්‍රාන්තවල සුළු ජන කොටස් වලට එරෙහිව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදය අලුත්ගම වැනි සිද්ධීන් වලදී මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක විය. දෙමළ බහුතරය වෙසෙන උතුරේ දෙමළ අන්තවාදය මුස්ලිම් වරුන් හා සිංහලයන්ට විරුද්ධව ක්‍රියාත්මක විය. එංගලන්තයේ, ජර්මනියේ හා විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපිය රටවල නාසි ලේබලය යටතේ අන්තවාදය ක්‍රියාත්මක වේ. ඇමෙරිකාවේ අන්තවාදය කෙනෙකුගේ ශරීර වර්ණයට එරෙහිව ක්‍රියාත්මක වන බව පෙනේ.

 ලොව පුරා සමාජ ජාලා භාවිතා කරන්නවුන්, බ්ලොග් කරුවන්, සමාජ සංවිධාන මේවාට එරෙහිව සටන් කරති. මුළු ලෝකයේම මේ සටන් එක්විය යුතුය. සාධාරණ සමාජයක ජිවිත අයිතිය ඇතුව හිංසනයන්ට ලක් නොවී  ජිවත් වීමට සෑම වැසියෙකුටම අයිතියක් ඇත්තේය.

ඕනෑම බ්ලොග් ලිපියක හෝ කලාත්මක ආකෘතියක පිළිඹිබු වන්නේ අපේ සිතුම් පැතුම් මෙන්ම අපේ හෝ වෙනත් අයෙකුගේ අත් දැකීම්ය. සමහර විට ඒවා මුළු මනින්ම මනඃකල්පිත ප්‍රබන්ධ විය හැක. සමහරවිට සත්‍ය අත් දැකීම්  විය හැක. නමුත් ඒවා ලියන්නේ, ගයන්නේ, රඟන්නේ හෝ ප්‍රතිමාවක නිරූපණය  කරන්නේ ජිවත් වන ලෝකය පදනම් කරගෙනය. අපට එයට වියුක්තව යා  නොහැක. අප වෙනත් ග්‍රහලෝක ගැන විද්‍යාත්මක ප්‍රබන්ධයක් ලීවද එයට පාදක වන්නේද අපේ ලෝකයේ දැක්මම පමණි.

අන්තවාදය හැරුණු කොට මිනිස් අයිතිවාසිකම් සූරා කන කොටස් කීපයක් වෙති. මෙහිදී මම ශ්‍රමය සූරා කෑම පිලිබඳ කතිකාව උවමනාවෙන් මග හරිමි. ඒ ගැන මේ බ්ලොගයේ ඉහත ලිපි වල කතා කර තිබේ. මිනිසෙකුට හෝ ගැහැනියකට හෝ ළමයෙකුට තම උවමනාව පරිදි නිදහසේ ජිවත් වීමට, නිදහසේ ඉගෙනීමට, රැකියාවක් කිරීමට, සෙල්ලම් කිරීමට, සැන්දෑ සාදයක විනෝද වීමට හෝ උද්‍යානයක ගමන් කිරීමට ඉඩක් නොදෙන කොටස් ද අප අතර සිටිති. මේ අයද මිනිස් අයිතිවාසිකම් උදුරා ගන්නා ගොඩට දැමිය
යුතුය.

මිට දශකයකට පමණ ඉහතදී මම හෝටලයක තාවකාලිකව කළමණාකරුවෙකු ලෙස කටයුතු කෙළෙමි.  මේ හොටෙල් සංකීරණයක් හිමි කාන්තාවක් යටතේය. ඉන් එකකට ලංකාවේ  සිට රැකියාව කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් පැමිණියේය. ඔහු තමාව හැඳින් වුයේ මහාචාර්ය වරයෙකු ලෙසයි. ඔහුට තිබුනේ වසා  දමා ඇති හෝටලය බලා ගැනීමටයි. (caretaker) ඔහුගේ සැබටිකල් ලීව් එක බවත් අවුරුද්දක් පමණ වැඩ කිරීමට හැකි බවත් ඒ කාලයට ලංකා රජයෙන්ද ගෙවන බවත් ඔහු මහත් ප්‍රීතියෙන් අපට කිවේය.  "මට පඩි දෙකක් හම්බ වෙනවා. මම ආවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ කෝර්ස් එකක්  කරන්න හදාගෙන. " ලෙසද අපට පැවසූ ඔහු තව දුරටත් කීවේ එය යහළුවෙකුගේ උදව්වෙන් සාදා ගත් බවත්  කෝර්ස් එක බොරුවක් කර ෂේප්  කර ගත හැකි බවත්ය. ලන්ඩන් විශ්ව විද්‍යාල වල එසේ කල හැකිදැයි මට කුකුසක්ද ඇති විය.

මට නැවතීමට කාමරයක් දී තිබුනේ මේ හෝටලයේ හෙයින් ඔහු හමුවීමට යාමට නිතර සිදු වුනි. පසුව මම කාමරය වෙනස් කර ගත්තෙමි. මට සැමන් ටින් එකක් කඩා ළුනූ කපා කෑලි මිරිස් සමග බැද උයන හැටි ඉගැන්වූයේ ඔහුය.  ඒ නිසා මම බොහෝ විට එහි යන විට සැමන් ටින් එකක්  රැගෙන යමි. මොහු පසුව මගේ යහලුවෙකුට පවසා තිබුනේ අජිත්ව අන්දලා හැමදාම දවස් ගාණක් සැමන් ගෙන්න ගෙන කෑවා යනුවෙනි. සැමන් ටින් එකක් එංගලන්තයේ මිල අධික නැත. නමුත් ඔහු මුදල් එකතු කරන්නේ එලෙස බවත් ඉතාම ලෝභයකු  බවත් මගේ මිතුරා පසුව පැවසිය. ඔහු එය කිවූ විධිහට මට
තවමත් සිනා පහල වෙයි.
"මචන් පවුමක් ගූ ගොඩක වැටිලා තිබුනත් මූ දිවෙන් ගනියි". එයට හේතුව සේ මා පසුව දැන ගත්තේ මේ මිතුරා ගෙන් පවුම දෙක ණයට ගෙන කවදාවත් නැවත නොදීපු නිසාය.
මොහු ගැන මා කවදාවත් ලියන්නට හිතුවේ නැත. නමුත් ලියන්නට සිත් වුනේ මේ නිසයි. මා පසුගියදා ලංකාවට ගිය වේලේ සෝවියට් දේශයේ සිටි කල දැන හඳුනා ගෙන සිටි මිතුරකු වන පසන් කොඩිකාර සහෝදරයාගේ මළගමට ගියෙමි. එයට සහභාගී වූවන් අතර පසුව සිදුවූ සිදුවීමක් අන්තර්ජාලයේ පිළිරැව් දෙයි. මා  සියාමා ගේ කතාව ලීවේ ඒ නිසාම නොවේ. සියාමා ගේ කතාව එයට එතරම් අදාළ  නැත. එය ලිවිමට වෙනත් හේතූන් කිහිපයක්ද බල පෑවේය. ඉන් එකක් සිත නිදහස් කර ගැනීම විය හැකියි.

නමුත් මේ දිනවල ඉහත කී "මහාචාර්ය" වරයා සම්බන්ධ සිදුවීම් ද මතක් වී මට මහත් අපුලක් දැනුනි. අවුරුදු 20 කට ඉහත වඩා නිදහස්කාමී  තරුණයෙකු වශයෙන් ඔහු කිවූ දෙය මම එතරම් තැකීමක් නොකෙළෙමි. නමුත් දැන් සිතෙන්නේ ඒ දින වලම ඔහුව හෙළිදරව් කළා නම් බොහෝ සිසුවියන් බේරා  ගැනීමට හැකිව තිබුණු බවයි.
මට ඒ දිනවල පියකරු රුසියානු පෙම්වතියක සිටි අතර ඔහු සහ ඇතැම් මිතුරන් ඇය ගැන අසන ප්‍රශ්න වලට මමද නොපැකිල පිළිතුරු දුනිමි. මා  එසේ කලේ මගේ තිබූ විවෘත භාවය නිසාද නැත්නම්  එයින් මා  සතුටක් ලැබීම නිසා දැයි නොදනිමි. නමුත් සමහර යහළුවන් ඊර්ෂ්‍යා කල බව නම් දනිමි. අපේ මිතුරන් කිහිප දෙනෙකුටද පෙම්වතියන් සිටි අතර මොහුට ඒ ගැන හීනමානයක් තිබෙන්නට ඇති බවට මොහුගේ ඇතැම් කතා වලින් හෙළිවිය. ඔහු තමන්ගේ විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් ගැන කියන්නට පටන් ගත්තේ මින් පසුව යයි සිතමි.
ඔහු විසින් අපට පැවසූ බොහෝ ජුගුප්සාජනක දේ අතර සිසුවියනට ඔහු ලකුණු දෙන ක්‍රම පිළිබඳව පැවසීමයි. පියයුරු බැලීමට ඉඩ දීම සහ සම්භාහනය කිරීමට ඉඩ දීම විභාගය ගොඩ දා ගැනීමටය. ලකුණු හැටකට වැඩියෙන් දා ගැනීමට අවශ්‍ය නම් ඇතුලේ මොකක්දෝ කැපීමට ඉඩ දිය යුතුය. මෙය මට තේරුනේ නැත. ලංකාවේ විවාහ වීමට කන්‍යා භාවය තිබීම අවශ්‍යම නිසා තරුණියන් එවැනි දෙයකට අකැමැති වන බවත්  ඔහු බොරු කියන බවත්  මම කීවෙමි. ඔහු ඉන්පසු වත්ත පහල වෙලේ ....නම් කවිය ගායනා  කල විට ඔහු කියන්නේ කුමක්ද යන්න අපට තේරුණි. අප සියල්ලෝම සිනාසුන බව නම් සහතිකය. ඔහු එතනින් නැවතුනේ නැත. ඔහු විසින් ක්ලාස් එකක් අරන් දීමට ශිෂ්‍යාවක රැගෙන තානායම් වලට ගිය හැටිත්,  විභාග අවසන් වුනු පසු නොයෙකුත් තැන් වල ලකුණු  බැලීමට එන්න යයි කියා සමහර සිසුවියන්ට ට මුඛ..... (fellatio) කිරීමට බල කල හැටිත් ඔහු අපට අනාවරණය කළේය. මේවා බලහත්කාරකම් නොවේ දැයි ප්‍රශ්න කල විට ඔහු කිවේ සමහර සිසුවියන් කැමැත්තෙන්ම එන බවත් සමහර අයට පෙම්වතුන් පවා සිටින බවත්ය. වැඩි හරිය තමන්ට භය බවයි.

එම තරුණියන් පොලිසියට යන්නේ නැත්දැයි අප ප්‍රශ්න කල විට "පොලිසියට කවුද යකෝ බය " යයි ඔහු ගෝරනාඩු කළේය. ඔහු කීවේ තමන් හිටපු ජනපති ප්‍රේමදාසගේ ගජයකු බවයි. ජනපතිට ලෝක දේශපාලනය ගැන පාඩම් කියා දී ලිපි ලියා  දී ඇත්තේ මොහුලු. මේවා ඇත්ත දැයි මම නොදනිමි. ඉන්පසු පැවති රජයේ ඔහු එතරම් භූමිකාවක් රඟ නොපෑවද සිංහල අන්තවාදයට පක්ෂව ඔහුගේ ලිපි මම පුවත් පත් වල දුටුවෙමි. සිංහල ශිෂ්‍යාවන්ට හිර හැර කරන මොහු සිංහල ජාතිය බේරා ගන්නට පත්තර වලට ලිපි ලියන හැටි දැක මම පුදුම වුනෙමි.  මේවා ලංකාවේ ප්‍රසිද්ධ සිහල ජාතික පුවත්පත්ය. හිටපු ජනාධිපති රාජපක්ෂ බලයට පත්වූ පසු ඒ මහතා ප්‍රසංශා කරමින් මොහු විසින් ලියු දාර  ලිපි සිංහල පුවත් පත් වල දුටිමි. පසු කලෙක රාජපක්ෂ ජනාධිපතිවරයා රැවට්ටුවේද මෙවැන්නන් විය හැකිය.

වරක් ඔහු ලන්ඩනයේ ම ජිවත් වන තවත් තැනැත්තෙකු  සමග හෝටල භෝජනාගාරයේ කතා කරමින් සිටියේය. අප ලඟින් ගිය විට ඔහු කීවේ ඔවුන් ලෝක දේශපාලනය ගැන වැදගත් ගැඹුරු සාකච්චාවක සිටින බවත් ඔවුනට බාධා නොකරන ලෙසත් ඔහු පසුව අපට කතා කිරීමට එන බවත්ය. එතනින්  ඉවත්ව ගිය අපි බඩවල් බදාගෙන සිනාසුනෙමු.
නැවත හමුවූ විට ඔහු මට කියේ
 "අජිත් ලාට අපි කතා කරන ගැඹුරු දේවල් තේරෙන්නේ  නැහැනේ. ඒකයි මම අප ගාව ඉඳ ගන්න එපා කිවේ. මම විදෙස් කටයුතු පිලිබඳ , ලෝක දේශපාලනය ගැන විද්වතෙක්. ඔයාල අපි ඔය ජොලි ඒවා ගැන කතා කරමු. බඩු ගැන එහෙම."

මට මදක් සිනා ගියද කිසිවක් නොකීවෙමි.

ඉන් පසු දවසක අපි ඔහුට ලන්ඩනයේ සෙක්ස් කඩ ගැන කීවෙමු. ඈන් සමර්ස් වැනි ලිංගික කටයුතු සඳහා අවශ්‍ය දේ විකුණන කඩ සෝහෝ වල බහුලය. මේවා භාවිතා කරන ආකාර  ගැන , ලිංගික තෘප්තිය තම සහකරු හෝ සහකාරිය සමග ලබා ගන්න ආකාරය (අන්තර්ජාලය ඒ දවස වල නැත) අපි ඔහුට පැහැදිලි කළෙමු. ඔහු ඉන්පසු ඒ ගැන පොතක්  ලියා ලංකාවේ පල කිරීමට සුදානම් විය. මේවා ලංකාවේ නැති බවත් මිනිසුන් ඉතාමත් කැමැත්තෙන් මිලදී  ගනු ඇති බවත් ඔහු අපට පැවසුවේය. ඔහු එවැන්නක් ලීවා  දැයි නොදනිමි. ඒ ඔහු ලන්ඩනයේ සැබටිකල් කාලයේ කල පර්යේෂණාත්මක ගවේෂනයයි.

ඔහුගේ බිරිඳ එනවාය කියා ඔහු අපට  හෝටලයට ඒම තහනම්  කළේය. ඒ ඇයි දැයි ඇසූ විට ඔහු කිවේ, මගේ බිරිඳ රන් තැඹිලි ගෙඩියක් වගේ ඇහැට කණට  පේන එකක් නිසා උඹල වගේ වල් කොල්ලන් වද්දා ගත නොහැකි බවය. අපි වල්  කොල්ලන් වූයේ කෙසේදැයි ඇසූ විට, කසාද නොබැඳ පිටරට ගැහැණුන්  සමග ජිවත් වන අප වල්  කොල්ලන් බවත් ඔහු කසාද බැඳ ඇති  උගත් මහාචාර්යවරයෙක් බවත්ය.  සුන්දර ඔස්ට්‍රේලියානු  කෙල්ලක සමග යහළුවී උදේ හවා ඇය  සමග හාවෙකු මෙන් රති කෙලියේ යෙදුන මගේ තවත් මිතුරක් පැවසුවේ
"මචන් කසාද බැඳලා අහිංසක එවුන්ට  බලහත්කාරකම් කරන මූට වඩා අපි වල්  වුනේ කොහොමද? අපි නීතියක් කඩනවද " කියායි.
මම ඔහුට කිවේ ශ්‍රී ලංකාවේ මෙන්ම අනිකුත් රටවලද  ගණිකා වෘත්තීය නීති ගත කිරීමෙන් මේ තත්වය සමනය කර ගත හැකි වේය කියායි. රජයට බදු වලින් ආදායමක්ද   ලැබෙන අතර කෙනෙකුට ලිංගික අසහනයෙන් ජිවත් වීමටද තවත් අයෙකුගේ නිදහස උදුරා ගැනීමටද අවශ්‍ය නැත. එම වෘත්තියේ යෙදෙන අය සමහර යුරෝපිය රටවල එය කැමැත්තෙන්ම කරන නිසා සූරා කෑමට  ඇති ඉඩකඩ අඩුය.  නිදහස් වෛශ්‍යාවක් කරා මුදල් දී යන පුද්ගලයා  බස් වල යන අසහනකාරයන් මෙන්ම තම තත්වය හා බලය අයුතු ලෙස ප්‍රයෝජන ගන්නා ඉහත කි එවුන්ට වඩා ශිෂ්ටාචාර අයෙක් බව මගේ හැඟීමයි.

දශකයක් හමාරක් ඇවෑමෙන් එක්තරා ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් මා  ඇමතුවේය. "මචන් මතකද අර ප්‍රොෆෙක් ගැන උඹ කිව්වා. ලිංගික අපයෝජන කරල මාක්ස් දෙන. මේ ගෑණු  ළමයෙක් පොරට විරුද්ධව පැමිණිල්ලක් කරන්න යන්නේ. උඹට සාක්කි දෙන්න පුලුවන්ද ඌ කියපුව ගැන"  ඒ සමයේ මම ඒ ඉල්ලීම කණගාටුවෙන් ප්‍රතික්ෂේප කලෙමි. මේකා අපට කිව්  කතා සත්‍ය බව මට පැහැදිලි විය.

සියාමා ගේ කතාවේ දෙවන කොටසේ බංග්ලාදේශ විශ්ව විද්‍යාලයක වන සත්‍ය සිදුවිමක යූටියුබ් වීඩියෝව පල කලෙමි. එය දුටු ඉහත කී  මාධ්‍යවේදියාම කීවේ  මෙවැනි කතාවෙකි.  ශ්‍රී ලංකාවේ සමහර සිසුවියන් තම කැමැත්තෙනුත් සමහරු බියෙනුත් තවමත් ඇතැම් මහාචාර්ය, උප කුලපති වරුන් ළඟට  යන බවයි. එක්තරා නමක් සඳහන් කරමින්ම ඔහු පැවසුවේ කාර්යාල පිරිසිඳු කරන්නා  එක්තරා ජන මාධ්‍ය වේදියෙකුට සිකුරාදා රැයක පිරිසිදු කිරීමට ගිය විට අහුලා ගත් ජංගි ටික පෙන්වූ බවයි. මම ඔහුගෙන් ඇසුවේ අන්තරේ කුමක් කරන්නේ ද යන්නයි. ඔහු කිවේ අන්තරේට ඕවා  ගැන කතා කිරීමට වඩා  වැදගත් වැඩ  රාජකාරි  හැමදාමත් තිබුන බවයි.

 පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම නැවත් වීමේ සිට ලංකාවේ සමජවාදී විප්ලවය සඳහා සූදානම් වීමත් පන්ති අරගලය කිරීමත් ඔවුන්ගේ මහා අභිප්‍රායන් අතර තිබුණි. සිසුන් ගැන තරමක් හෝ කතා කල දයා  පතිරණ අකාලයේ "ප්‍රතිගාමියෙක්" වී මියෑදුණි.
ඔහුගේ ප්‍රතිගාමී අනුගාමිකයන්ට මගේ නම් කිසිම සහයෝගයක් නැත.  නමුත් අන්තරේ ගැන මොනවා හෝ කිව්වොත් අපට මාක්ස්වාදී එපිස්ටමලොජිය උගන්වන්නට එන අය නම් බොහෝය.  ඒ කාලේ  ජවිපෙට අනුබද්ධ අන්තරය දැන් පෙරටුගාමී සමාජවාදීන්ට අනුබද්ධය. අන්තරේ මෙහෙයවූ බොහෝ අය  දිවි දුන් අතර සමහර අය  ඇමතිවරු මැතිවරු වුහ. සමහර අය  ජනාධිපති අපේක්ෂකයන්ද විය. ඔවුන්ගේ  පන්ති අරගලය හා පෞද්ගලික විද්‍යාල වලට එරෙහිව සිදු කරන අරගලය ගැන මගේ කහටක් නැත. ඒවායින් රජයේ බොහෝ ප්‍රතිගාමී දේවල් වැලකුණ බවද සැබෑය. එහෙත් කුමන හෝ හේතුවකින් තම ඇස්  ඉදිරිපිට සිදුවන අසාධාරණයන් හා බලය අයුතු ලෙස පාවිච්චි  කිරීම්  පිළිබඳව ඔවුන් නිහඬ බව මගේ හැඟීමයි. මා වැරදි නම් නිවැරදි කරන්න.  අරගල පටන් ගන්නේ තමන් සිටින තැන සිදුවන අසාධාරණයන්ට එරෙහි වීමෙන් මිස දේශපාලන  නායකයන්ගේ න්‍යාය පත්‍ර වලට නොවේ.

මම ස්ත්‍රී වාදියෙකු නම් නොවේ. නමුත් මගේ නිහඬවීමත් අපරාධයක් බව මට වැටහුනේ සියාමා ගේ කතාවට පාදක වූ සිද්ධීන් කිහිපයක් දැන ගැනීමෙන් අනතුරුවය.






Friday, 17 July 2015

සියාමා 9 - හෝර්ස් චෙස්ට්නට් ගස යට කොන්කර්ස් එකතු කරමු

පළමුවන කොටස.
දෙවන කොටස 
තුන්වන කොටස 
සිව්වන කොටස 
පස්වන කොටස 
සයවන කොටස
සත්වන කොටස 
අටවන කොටස

ෆුලැම් වලට උමං දුම්රියෙන් ගිය අප දෙදෙනා රෝයල් මාර්ස්ඩන් රෝහලට පිය නැගුවෙමු. ඇය ඇගේ රැකියාවෙන් ලබාදෙන පුද්ගලික රක්ෂණය භාවිතා කරන නිසා තමන්ගේ ම පෞද්ගලික කාමරයක සිටින බව ඇනා කීවාය. පෞද්ගලික වාට්ටුව පිහිටි ගර්නාර්ඩ් නිවස වෙතට ගිය අපි දෙවන තට්ටුවේ කෙළවර කාමරයට ගියෙමු. දොරට තට්ටු කළ ඇනා ඇතුලට පිවිසියාය.

සියාමා "හාහ් " කියා සුසුමක් පිට කරමින් දුබල හඬින්  "හලෝ ඇනා " කීවාය.
මම ඇනා පිටුපසින් කාමරයට ඇතුළු වීමි. ඈ මදෙස බලා  සිටි ආකාරයෙන් මට සිතුනේ අප ඇයට දන්වා ආවා නම් හොඳ බවය.

කුඩා සුරු බුහුටි තරුණියක වූ සියාමා ඉතාමත් කෙට්ටු වී තිබුණි. රෝහල් ඇඳුමට ඇය තවත් සිහින් ලෙස පෙනුනි. ඇගේ මනරම් කේශ කලාපය තනිකරම බූගා තිබුණි. දීප්තිමත් දෙඇස් යට ගිලී තිබු ඒ මුහුණ දුටු මගේ හදවත කඩා හැලිනි.
"කොච්චර වුනත් ඔයා ආපහු මට හම්බ වෙයි කියල මට හිතුන. " ඇය ඉතා සෙමින් මිමිණුවාය. ඇය හඬන්නට ලංව ඇති සෙයක් මට පෙනුණි. මම වහා ඇගේ ලඟට ගොස් ඇඳේ පැත්තකින් ඉඳගෙන අගේ අතක් අල්ලා ගතිමි. ඒවා ඉතා සිහින්ව පෙනුනි.
"අඬන්න නම් එපා සියාමා. එක සැරයක් මතකද පොලිසියත් ආවා." සියාමා මගේ පැත්තට බර වූවාය.

ඔයා එදා ගියාට පස්සේ ආයි මට කතා කලේම නැහැ. ඔය අසනීපෙන් රෝහලේ විත්තිය වත් මම දන්නේ නැහැ.  " මම කීවෙමි.
"මම හිතුවේ නැහැ ආයි ඔයාව හමු වෙන්න. අසනීපෙ ගැන ඔයාට කියල කරදර කරන්න හරි ඕනේ නැහැ කියල හිතුන. ඔයා මාව බලන්න එයි එතකොට. ඔයාට තීසිස් එක කරන්නත් තියනවා. "
"ඒත් මම හිතෙන් කොච්චර කරදර වුනාද ඔයාට මොකද වුනේ කියල. ඉතින් පවුලත් එක්ක හරි මම එනවනේ. "

"තව කාටවත් මම වෙනුවෙන් කරදර කරන්න මට ඕනේ නැහැ. කොහොමත් මට ජිවත් වෙන්න ඕනත් නැහැ." එවර නම් ඇය ඉකි ගැසුවාය. කඳුළු වියලුනු  මුහුණ දණහිස් අතර රුවා ගත් ඇගේ ඉකි ගැසීම පමණක් දෑසට හමුවුණි.  මම ඇගේ උරහිස වටා අත යවා මදක් උරහිසට ලං කර ගත්තෙමි. ඇනා අනිත් පසින් වාඩිවී අප දෙදෙනාම හසුවන පරිද්දෙන් ඇගේ දෑත අප වටා යවා තද කරමින් වැළඳ ගත්තාය.

"සියාමා ඔයා සනීප වෙනවා. මට හොඳටම සහතිකයි." ඇනා මිමිණුවාය.

අප දෙදෙනාව මදක් ඈත් කළ සියාමා ජනෙල් කණ්ඩිය  වෙතට අත දිගු කළාය.  එහි කොන්කර්ස් ගෙඩි දැමූ  කුඩා පියකරු  පෙට්ටියක්  තිබිණි. හෝර්ස් චෙස්ට්නට් නමැති ගසේ පළතුර ආහාර  වලට නොගනී. බැද කෑ හැක්කේ අනිත් ප්‍රණීත චෙස්ට්නට් ගසේ පළතුරයි. කුඩා ළමයි මෙන්ම වැඩිහිටියෝද මේ කොන්කර්ස් එකතු කර සෙල්ලම් කරති. වෙනම ක්‍රීඩාවක් ද එනමින් තිබේ. මෙය බොහෝ විට ලංකාවේ කැකුණ ගස් වල කැකුණ ගෙඩි මෙනි. කැකුණ ගෙඩි එකතු කර මමද ක්‍රීඩා කර තිබේ.

"ඔයාට මතකද එදා පොලිසිය ආපු දවසේ අපි උද්‍යානයේ වෙන තැනක ඉඳ ගත්ත. මම නිදා ගත්තේ ඔයා ගාව. මට හරි සැනසීමක් දැනුන එදා. එතන හෝර්ස් චෙස්ට්නට් ගහක් තියනවා. මම ගෙඩි දෙකක් දාගත්ත බෑග් එකට අපි දෙන්න මතක් වෙන්න. මම ඊට පස්සෙත් ආපහු  ගියා. එතැන ඉඳ ගෙන ඉන්න තනියම. හරි සැනසීමක් දැනුන එතකොට. මම තව ඒවා අහුලාගෙන ආවා. අපි හැමෝටම. "

මම ඇයට චෙස්ට්නට් පෙට්ටිය දුනිමි. ඇය ඉන් දෙකක් මට දුන්නාය.
"එයාටයි ඔයාටයි. " ඇය එය කී ආකාරයට තේරුනේ ඇය සතු මුළු වස්තුව බෙදන්නාක්  මෙනි. එකක් ඇනාට  දුන් ඇය තව දෙකක් තබා ගත්තාය.
"මටයි නැන්දටයි". තව දුරටත් එය උහුලා ගත නොහැකි වූ ඇනා මදක් හැඬුවාය.
"ඔය ගොල්ල අඬන  එකමයි වැඩේ. පොඩ්ඩක් හිනා වෙන්නකෝ. " මම කීවෙමි.
"අපි ගැහැණු නේ ප්‍රියාන්. ටිකක් ඇත්තන් කඳුළු එනවා. " ඇනා මදක් සිනා සුනාය.

අපි චෙස්ට්නට් ගෙඩි අතර රැඳෙද්දී සියාමා කාටදෝ කතා කරගෙන ගියාය.

"මම ඔයාට කිව්වනේ. ඔයා  මට බැන්නා බැඳපු මිනිස්සු පස්සේ යනවා කියල. දැන් දැක්කනේ. දැන් මොකද කියන්නේ"
ඇය  සැරෙන් කතා කරන්නේ කාට  දැයි මම හැරී  බැලුවෙමි.
මැදිවියේ තරමක් ආසියානු  සම්භවයක්  සහිත කාන්තාවක් මුව ආයා  දොර අසල බලා සිටින්නීය. ඇය සම්ප්‍රදායික සල්වාර් කමීස් ඇඳුමෙන් සැරසී හිස එහිම වේලයෙන් වසා ගෙන සිටියාය. ඇය සියාමා ගේ නැන්දණිය බව වටහා ගතිමි.
"මේ පරියාන්" ඇනා මාව හඳුන්වා දුන්නාය. සියාමාට බකස් ගා  හිනා ගියේය.
"ප්‍රියාන්" ඇය කීවාය.
හෙමින් ඇවිදගෙන ආ නැන්දණිය මගේ අතක් බදා ගත්තාය. ඇය වැළඳ ගෙන හලෝ කීමට සිතුනත් ඒ අදහස් අත්හැරිය   මම "හලෝ මම ප්‍රියාන් , බොහොම සතුටුයි හඳුනා ගන්න ලැබුනට" කීවෙමි.
"මගේ සහෝදරයා වගේමයි."  මගේ මුහුණ අත ගාමින්  නැන්දනිය පැවසුවාය. ඇගේ ඇසින්ද කඳුලක් වැටෙනු දුටුවෙමි.


********************************************
සුවපත් වූ සියාමා යුරෝපීය  රටක යලිත්  සිය  නම වෙනස් කරගෙන පදින්චියට ගියාය. ඇයට ඇත්තේ බොරු කොණ්ඩයකි. විටින් විට එහි පැහැයද වෙනස් කළාය. අක්බාල් ගේ අන්තවාදී නෑදෑයන් ලන්ඩනයේද සිටිති.

***********************************************
ඇනාගේ බ්‍රසල්ස් නුවර ආසන්නයේ නිවසට වරක් ගිය විටදී ඇගේ  දෙමාපියන්ගේ බාබෙකිව් සාදයකට සහභාගී වන්නට සිදු වුනි. එකම ප්‍රශ්නය වුයේ ඔවුන් උපන් ඇඳුමෙන් සිටීමත් මම පිහිනීමට අඳින ඇඳුමෙන් සිටීමට දැරූ තදබල උත්සාහයත්ය. අවසානයේදී ඔවුන් මට කරදර කිරීම අත්  හැර පලහන ලද මස් කමින් බීර බොමින් විනෝද  වූහ.
"කෝ ඔයාට කිසි සතුටක් නැහැනේ ඔහොම ඉඳල. ඕක ගලවල වතුරට පනින්න " මා අසලට පැමිණි ඇනා කීවාය .
"මොකද නැත්තේ මම මගේ ඇස්  දෙකින් හොඳට විනෝද වෙනවා. මෙහෙම අවස්ථාවක් ආයි  කවද ලැබෙන්නද ?".
 අසල සිටි සුරූපිනියන්  පෙන්වමින් මම කීවෙමි. " මගේ ඔළුවට පහරක් සෙමින් ගැසූ ඈ  සිනාසී ගෙන ඉවත ගියාය. සියාමා  ඒ උත්සවයට සහභාගී වීම එක හෙළා  ප්‍රතික්ෂේප කල නිසා ඇය  සිටියේ නැත.

***********************************************************
මට තවත් සහෝදරියක හමුවී තිබේ. සියාමාගේ නැන්දා බ... දේශයේ ඉතා රසවත් ආහාර  අපට හඳුන්වා  දුන්නාය. ඔවුන් වඩා  ආහාරයට ගන්නේ මාළු  බව ඇය අපට පහදා  දුන්නාය.  බෝඅල්, මිර්කා, කටෝල්, තිලාපියා  ආදී නොයෙක් නමින් හඳුන්වන මිරිදිය හා මුහුදු මාළු  ඉතා ප්‍රණීත  ලෙස සකස් කර  මාසයකට දෙකකට වතාවක් අපට ආහාර  වේලක් පිළිගැන්වීම ඇගේ  සිරිතය. ප්‍රශ්නයකට ඇත්තේ ඇය  ඉඳහිට මගේ මුහුණ අත  ගෑමත්, සියාමා  හා ඇය අතර සහෝදරයා කවුද යන්නට වාදයක්  ඇති වීමත්ය.
********************************************

සියාමා මාගල් වැනි ඊමේල ලියමින් ඇය  කියවන පොත් ගැන විස්තර ලිව්වාය. ඇයට දියණියක් අරන් හදා ගැනීමට සිතෙන බව දන්වා  එව්වාය. ඇයට  දරුවන් වැදීමට නොහැකිය. ඉතා තරුණ වියේ ඇය බඳුන් වුනු දරුණු හිංසනයත්, පිලිකාවත් නිසා විය හැක.
මට පොතක් ගන්න ගියත්, කෝපි එකක් බොන්න ගියත්, ඇඳුමක් ගන්න ගියත් ඔයාගෙන් කතා කරලා අහන්න හිතනවා.  ඔයා  මොනවා කියයිද දැන්  කියල. ඇය විටෙක ලීවාය.
වැසිකිලි යන වෙලාවට ඇරෙන්න අනිත් වෙලාවට අහන්න. දුරකතනයේ හිටියොත් කියන්නම්.  මම ලියා  යැව්වෙමි. බොරු තරහක් පෙන්වමින් කට කැඩිච්ච කතා කියන මට නැවත ඊමේල් නොලියන බව කියමින් තර්ජනය කරන සියාමා ඉන්පසු  සතියේ නැවතත් මාගලක පමණ ලිපියක් ලිව්වාය .
මට ලංකාවට යන්න හරි ආසයි. මේ ලඟදී රූපවාහිනියේ වැඩ සටහනක් ගියා. හරි ලස්සනයි. ඔයත් එක්ක යන්න විධිහක් නැහැනේ.

අපිත් එක්ක යමු. මම ලියා යැවීමි.

************************
ගංගාවක් ගලන්නේ හැල හැප්පීම් මධ්‍යයේය. ගංගාවක් ජීවිතය වැනි යයි කවුදෝ කොහේදෝ ලියා තිබිණි. ඔබට හැකිනම් කැමති තොටුපලකින් මගදී බැසිය හැකිය. නැතිනම් ගමනාන්තය දක්වා හැල හැප්පීම් මධ්‍යයේ වුවද ගිය හැකිය.  මහා සයුරට එකතුවුණු පසු අනිත් සෑම  ගංගාවන් සමගම ගිමන් නිවිය හැකිය.

ඇයට ජීවිතය වෙහෙසකර බව සියාමා ලියා එව්වාය. මම ඇයට ගංගාව ගැන ලියා යැවීමි.

ගණිතය අංශයෙන් ලද උසස් සමාර්ථය නිසා ලැබුණු රැකියාවක් වන ඉතා ප්‍රසිද්ධ බැංකුවක මුල්‍ය විශ්ලේෂකවරියක ලෙස රැකියාව කල සියාමා ට මුදලින් අග හිඟයක්  නොතිබිණි.



සියාමා ගේ ලිපි නැවතිණි.


"ගේ වහලා දාල කොහේදෝ ගිහිල්ල. මට කිව්වෙත් නැහැ. " ඇනා ලියා එව්වාය.

මම නැන්දණිය හමුවීමට ගියෙමි. ඇය හැඬු කඳුලිනි.
"මට මුකුත් කියන්නේ නැහැ. ඔයාගෙන් තමා ඔක්කොම අහලා කරන්නේ. ඒත් ඔයා එපයි කියන බයට ඔයාටත් ලියන්නේ නැතුව ගිහින්. කොහේ යන්නද. මං විතරනේ එයාට ඉන්නේ." මම ඇය අස්වසා පිටත්ව ආවෙමි.

ප්‍රියා සුර්යසේනගේ මා කැමතිම ගීයක මෙසේ ලියවෙයි.


.........................මොහොතින් ඇඳී ..සැනෙකින් මැකී ...ඉඳු දුන්න සේ ඈ ගියා .................
ඔබ කැමති අවසානයක් තෝරා  ගන්න.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
අවසානය 1 :සියාමා ගේ ලිපි නැවතිණි.


"ගේ වහලා දාල කොහේදෝ ගිහිල්ල. මට කිව්වෙත් නැහැ. " ඇනා ලියා එව්වාය.

මම නැන්දණිය හමුවීමට ගියෙමි. ඇය හැඬු කඳුලිනි.
"මට මුකුත් කියන්නේ නැහැ. ඔයාගෙන් තමා ඔක්කොම අහලා කරන්නේ. ඒත් ඔයා එපයි කියන බයට ඔයාටත් ලියන්නේ නැතුව ගිහින්. කොහේ යන්නද. මං විතරනේ එයාට ඉන්නේ." මම ඇය අස්වසා පිටත්ව ආවෙමි.

ප්‍රියා සුර්යසේනගේ මා කැමතිම ගීයක මෙසේ ලියවෙයි.


.........................මොහොතින් ඇඳී ..සැනෙකින් මැකී ...ඉඳු දුන්න සේ ඈ ගියා .................

*****************************************

මගේ මිතුරකු විසින් සංවිධානය කරන අන්තර් ජාලය  සඳහා වන  සම්මාන උළෙලක් සඳහා සහභාගී වීමට මම ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියෙමි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපලේ ආගමන විගමන අංශයට යාමට ඇති දීර්ඝ කොරිඩෝවේ ගමන් කරමින් සිටියෙමි. පිටත්ව යන මගින් ගේ පැත්තේ සිහින් රුවක් ඇති කොණ්ඩය කොටට කැපූ මට දැක පුරුදු යයි කිව හැකි සුරු බුහුටි  කන්තාවක් මා  එන දෙසට ගමන් කරමින් සිටියාය. ඇගේ මුහුණේ සුවඳ විලවුන් සහ පාට බොහොමයක් තිබුණි.

මදක් දුර ආ ඇය එක් වරම වමට හැරුණාය. ඒ හැරීමද හුරු පුරුදුය.

ඇය ගුවන් හමුදා භටයන් හා ආරක්ෂක අංශය භාණ්ඩ පරික්ෂා කරන තැන පෝලිමේ මොහොතක් රැඳී සිටියාය.

මම දොරටුව උඩ බැලීමි.

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අංක 2951 සියා INTL බංග්ලාදේශ් (DAC).

ඩැකා හි  සියා ජාත්‍යන්තර ගුවන් තොටුපල ගමනාන්තය සේ දැක්වෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයට මගීන් භාර ගනී.

මම හිටි තැනම ගල් වුනෙමි.

ඇය දෙස කවුරුන්දෝ බලන බව හැඟුණු ඇය මදක් හැරී  බැලුවාය.

හුරු පුරුදු ඒ දීප්තිමත් නෙත් සඟල පැහැදිලිව දුටුවෙමි.

පරික්ෂාව අවසානයේ ඇය වමට හැරී නැවතීමේ ශාලාව වෙත ගමන් කාලය. නෙත් කොනින් මා දෙස බැලූ බව මට විශ්වාසය.
- ඉවරයි.
*****************************************************************
ඔබට අවශ්‍ය නම් ඉහත අවසානයෙන් සැනහී  නිදා ගත හැකිය. නැතිනම් මෙය කියවිය හැකිය. (ඉංග්‍රීසියෙන් ලියු කොටසේ අවසානය)
අවසානය 2:

සියාමා ගේ ලිපි නැවතිණි.

 පිළිකාව නැවත ඇය කරා  හඹා ආවේය .

ලා  රත් පැහැ ගත් අහසේ දේදුන්නක් පායා තිබුණි සැන්දාවක සියාමා අප අතහැර ගියාය. දෙමාපියන් සොයුරිය හා සොයුරා  නැවත හමු වීමේ සතුටට දෝ ඒ ශෝකී මුහුණේ සුන්දර මදහසක් ගැබ්ව තිබිණි.

අළු බඳුන ගත් දා අපි ඇගේ ගෙවත්තේ සිටියෙමු. සඳ නැති තරු පිරි  අහස ශෝකී ස්වභාවයක් සැඟව ගත්තේය.

"අපි දිව්‍යලෝකයක් ගැන විශ්වාස කලා නම් සියාමා අර උඩ අහසේ දිව්‍ය  ලෝකේ ඉන්නව කියල කියන්න  තිබුන. . නැත්නම් අර ඈත පෙනෙන තරුවක් කියල හිතන්න තිබුන " ඇනා මතුලාය. ඇගේ ඇසේ කඳුලක් දිලිසෙනු මඳ ආලෝකයට මම දුටිමි.

"නැවත  ඉපදීමක් විශ්වාස කරනවා නම් අර කුරුල්ලා හරි කිරිල්ලිය හරි වෙලා ඉපදිල කියලත් හිතුව හැකි. " මම ගසක කුරුළු යුවලක් පෙන්වමින් කීවෙමි.

"එයා  අපේ හිත්  වල තරුවක් වගේ".
 මම නැවතත් කීවෙමි.
ඇනා මගේ අතක් තදකර අල්ලා ගත්තාය. ඒ මොහොතේ අප දෙදෙනාම සිතමින් සිටියේ එක අයෙක් ගැන පමණි. විශ්වයම නිසල වුනු ඒ රාත්‍රියේ අප දෙදෙනා නිහඬව තරු පිරුණු අහස දෙස බලා  සිටියෙමු.


- අවසානය.



Rodrigo Vieria - ටර්කොව්ස්කි 
 මා  සමග මෙතෙක් දවස් සියාමා ගේ කතාව  කියවූ ඔබ සැමට ස්තුතියි.


Tuesday, 14 July 2015

නෙළුම් යායෙන් තලවකැළේට අති සාර්ථක ගමනක්

ගියෙමු දුටුවෙමු ජයගතිමු කියා ලියන්නත් පුළුවන්. නමුත් ක්‍රිකට් තරඟයෙන් අපේ බ්ලොග් කට්ටිය දිනුවද කියල නම් දන්නේ නැහැ. ජය ගත්ත කියල දැනුනේ මේ බ්ලොගයේ උඩ තියෙන පින්තුරය දිහා බැලුවම. පොඩි එවුන් ටික පොත දිහා අසාවෙන් බලන හැටි දැක්කම. අපේ කලාහිත බ්ලොගය ලියන කල්‍යාණ මිත්‍ර හෙවත් බ්ලොග් සංසදයේ ලේකම් සුමිත් කලණ සිරි අර පුන්චි කාලේ  අපි කියවපු කතා වල හොඳ යෝධයා වගේ පොඩි එවුන් ටික වට කරගෙන කතා කරන හැටි දැක්කම සෑහෙන සතුටක් දැනුන.
ඉතින් මේ ගමනට එකතු වෙච්ච  බ්ලොග් සංසදයේ බ්ලොගාල තමයි මේ.

කටුස්සා (දිමුතු සොම්නස්) , රූපේ (කවින්ද රූපස්සර ) , සම්පත් සුදසිංහ , සත්සර විමුක්ති , ඇනෝපීලිස් (ප්‍රසන්න මුදුන්කොටුව ), මලිත මධුශාන්, රන්දුනු යසරංග, සහන් පද්මසංඛ , කලාහිත (සුමිත් කළණසිරි), උපුල් නිශාන්ත, හිමාෂි කරුණාරත්න, නිශාන්ත ප්‍රියදර්ශන. ඉතින් මේ ඔක්කොටම බොහොම  ස්තුතියි මේ වගේ ගමනකට සම්බන්ධ වුනාට. ඇමෙරිකාවේ ඉඳන් ආපු දෙන්නෙකුත් හිටිය. නම් දන්නේ නැහැ. ඒ ගොල්ලන්ටත් ස්තුතියි.
එසේම  දුමින්ද අලහකෝන් (දුමියා), ජෙරමි (ඇමරිකාව), බෙන් (ප්‍රංශය), දයා නෙත්තසිංහ (සත්හඬ පත්තරේ), ප්‍රබෂිනී අක්කා...... කවදාවත් බස්එකක් නොගියපු පාරවල්වලත් ගිය බස් එකේ ඩ්‍රැයිවර් අයිය ඇතුළු සැමටත් ස්තුතියි. 

ලංකා ඩේලි එකේ හිමාශි කරුණාරත්න  තමා  ගොඩක් බර ඇද්දේ මේ ගමන  සංවිධානය කරන්න  උපුල් නිශාන්ත එක්ක. බස් එක සංවිධානය කරන්න, ගෙනියන තෑගි ගන්න, මුදල් පරිත්‍යාග එකතු කරන්න වගේ වැඩ ගොඩක් මේ දෙන්න  කලා. ඒ වගේම සුමිත් කලනසිරිත් සැහෙන්න උදව් කලා කට්ට්ටිය එකතු කරගන්න. එදා දවසේ බ්ලොග් සංසදය නියෝජනය කරලා කතා පවත්වන්න. ඔය හැමෝටම (මට නම් අමතක වුණා නම් සමාවෙන්න ) හුඟක් ස්තුතියි.


ඉවාන් පව්ලුෂා බ්ලොගයේ ප්‍රගීත් අනුරාධ සහ බිත්තිය බ්ලොගයේ පැතුම් හේරත් අපට ලොකු මුදල් පරිත්‍යාග දෙකක් කළා තෑගි ගන්න. ඉතින් ඒකට ට මැච් වෙන්න මමත් මුදලක් දැම්ම. වැඩිපුරම බර ඇද්දේ මුදල් පැත්තෙන් සහ රිමෝට් එකෙන් වැඩේ මෙහෙයවමින් චන්දිම විතානාරච්චි ලංකානිව්ස්වෙබ් එකේ ප්‍රධාන කර්තෘ. ඉතින් අපි හැමෝටමත් ස්තුති කරගමු.


ඒ වගේම  ස්තුතියි නෙලුම් යාය සහෝදර දෙමළ  වෙබ් අඩවියේ  සංස්කාරක පලනි ට මෙන්ම අඩයාලම් එකේ කට්ටියට. ක්‍රිකට් ගහන්න ආව තලවකැලේ දරු දැරියන්ට, බලන්න ආව ජනතාවට . මේ හැමෝටම ස්තුතියි.
සංවිධානය කරපු පලනි ඇතුළු සංවිධායක මඩුල්ලට ලොකුම ස්තුතිය. ඉතාමත් ටික කාලෙකින් මෙවැනි දෙයක් සංවිධානය කලාට.

දැන් තමා  තියෙන්නේ අමාරු හරිය. බ්ලොග් ලියන්න. ඒවා පරිවර්තන කරන්න. දෙමළට සහ සිංහලට. පරිගණක මධ්‍යස්ථානයක්  හදන්න. අපට උදව්  කරන්න අමෙරිකාවෙන්, එංගලන්තෙන්, කැනඩාවෙන් ජර්මනියෙන් හෙම කෝල් එනවා කියල දැන ගන්න ලැබුන. දැන් ඒ උදව් ලැබෙන්න ඕන වෙලාව.

අපේ බ්ලොග් සම්මාන උළෙල ලබන අවුරුද්දෙත් පැවැත්වෙනවා. ඒවගේම මේ තලවකැලේ ගමනත් ඒ වගේම කරනවා ආයි.

ඊට අමතරව බ්ලොග් සන්සදෙන් තව වැඩ රාශියක් හිතා  ගෙන ඉන්නවා කරන්න.  අපි ඉන්නේ වෙබ් අවකාශේ වර්චුවල් ලෝකෙක තමා. නමුත් සැබෑ ජීවිතය තියෙන්නේ මේ මහා පොළොවේ. අපි බ්ලොග් වල ලියන්නේ මහා පොළොවේ ජීවිතය ගැන. ඒ ජිවිතය  ලස්සන කර ගන්න, සතුටෙන් හිනාවෙන්න සහ  අනිත් අයටත්  එහෙමම සතුටු වෙන්න උදව් දෙන්න තමා  අපි උත්සාහ කරන්නේ.

නැවතත් ඔබ සැමට ස්තුතියි.

- නෙලුම් යාය 

Tuesday, 7 July 2015

සියාමා 5 - වධ ගෙයින් නිදහසට ඉගිලුණු කිරිල්ලිය


පළමුවන කොටස.
දෙවන කොටස 
තුන්වන කොටස 
සිව්වන කොටස 
අවවාදයයි: ඔබ අවුරුදු දහ  අටට අඩු නම් මෙය ඔබට කියවීමට සුදුසු නැත.  කරුණාකර ඉවත් වන්න.

අපේ දේශනා වාර අවසන් වන සමහර අවස්ථාවල ඒ අසල පබ් හෙවත් බීම අවන්හලට ගොඩ වැදී  බියර් වීදුරුවක් හෝ පලතුරු යුෂ වීදුරුවක් බොමින් සංවාදයේ යෙදීමට පන්තියේ බොහොමයක් වැඩිහිටි ශිෂ්‍යයන් මෙන්ම තරුණ ශිෂ්‍යයන්ද  පුරුදුව සිටියහ. බොහෝ විට මේ සංවාද වල තාරකා ගැන අලුතින් සොයන ග්‍රහලෝකයක් ගැන මෙන්ම දේශපාලන මාතෘකා ද සාකච්චා විය. ඒමි වැඩිපුරම කතා කල දර්ශනවාදය ගැනයි. හේගල්, කාන්ට් මෙන්ම අක්‍රිල් , අයර් හා ෆ්‍රොයිඩ් ගැනද ඇය කතා කලාය. සියාමා මනෝ විශ්ලේෂණය ගැන සංවාද වලට  දැඩි වුවමනාවකින් සහභාගී වූවාය.
 විභාග අවසන් වන දිනයේ තිබුනේ එක විෂයක් පමණි. අපි සියල්ලෝම නැවතත් බීම අවන්හලකට පැමිණියෙමු. සුපුරුදු පරිදි දේශපාලනය හා දර්ශනවාදය ගැන කතා කරමින් සිටියදී සියාමා මා කරා ආවාය .

"මට  යන්න ඕනේ "
"ඉතින් ඔයා යන්න. අපෙන් අහන්න ඕනෑය ? " ඇන්ඩ්රු විහිළුවට මෙන් පැවසුවේය.

"ප්‍රී  මාව  බස් එක ගාවට එක්ක යනවද? " ඇය කෙලින්ම මගෙන් ඇසුවාය.
"හා" යයි පිළිතුරු දුන් මම නැවත අවන්හලට එන බව අනිත් යහළු සිසුන්ට පවසා සියාමා සමග එලියට පිය මැන්නෙමි.
"පහුගිය දවස්වල මම හුඟක් කල්පනා කලා මගේ ජිවිතේ ගැන. ඔයාව හම්බ වෙච්ච එක.  හෙට අදේවවාදී සංගමේ රැස්වීමක් තියෙනවා. මට සමහර වෙලාවට හිතෙනවා ඔයාව මට හමු වෙන්න තිබ්බ කියල. "
"ඒ කියන්නේ ඔයාට හිතෙනවද අදේවවාදී සංගමයට ගියත් සමහර දේවල් සිද්ද වෙන්නේ කලින් කවුරු හරි හදපු සැලසුමකට හරි කර්මයකට හරි කියල"
"මං දන්නේ නැහැ.  මාව පැහැරගෙන ගියායින් පස්සේ වෙච්ච් දේවල් ඔයා දන්නේ නැහැනේ."
"මට දැන ගන්න ඕන වුනත් ඔයා අර විධිහට වේදනාවට පත් වෙනවා  බලන්න මට අමාරුයි. සමහර විට ඔයා  පුළුවන් තරම්  ඕවා අමතක කරලා දාන්න. ඔයා  මානසික සායන වලට  හෙම ගියේ නැත්ද?"
"ඔයා හරි කරුණාවන්තයි. මං ගියා ප්‍රී. ඔයා  හිතන තරම් ලේසි නැහැ අමතක කරන්න.  අපි යමුද උද්‍යානයට?"
"තවම ඉර එලිය නම් තියෙනවා. නමුත් තව ටිකකින් රෑ වේවි"
"කමක් නැහැ. මේ රටේ මම භය නැහැ. ඔයත් ළඟ ඉන්නවනේ. මට සැනසීමක් ඒ බංකුවේ ඉඳගෙන ඉන්න එක. "
"ඔයා දන්නවද එදා උන් මාව අරන් ගියේ ලොකු ගෙදරකට. මාව බිමක දාල රෑ එහෙම්ම තිබ්බ  මූණ වහපු උරේ අයින් කරලා.  උදේ මට කන්න පාන් දුන්න ඩාල් එක්ක (පරිප්පු විශේෂයකි)".

අප උද්‍යානයට පැමිණ සුපුරුදු බංකුවේ වාඩි වුනෙමු.
"එතන තව ගෑණු ළමයි, මට වැඩිය වැඩිමල් අය හය හතක් හිටියා. පිරිමි ළමයි දෙන්නෙකුත් හිටිය. මගේ වයසේම වගේ කියල හිතුනේ. හැමෝම හිටියේ භයෙන් වගේ. වැඩි කතාවක් නැහැ. මගේ අම්මගේ වයසේ ගෑණියෙක් හිටිය.  මට කන්න  දුන්නෙත් ඒ ගෑනි. මම හිතුවේ මම ඉන්නේ අම්ම තාත්ත නැති ළමයි ඉන්න නිවසෙක කියල. අපේ අම්ම එහෙම නිවාස ගැන කියල තියෙනවා. "

පොලිස් රථයක් නලාව හඬවමින් වේගයෙන් ඉගිල ගියේය. ඇය මොහොතකට කතාව නැවත්වුවාය.
"හවස තමයි මට තේරුනේ. මාව දුලාල් ඇවිත් එක පාරටම ඇදගෙන ගියා නාන තැනට. ඒක ගේ ඇතුලේ එලියට එන්න තිබුනේ. ලොකු ගෙයක් තට්ටු දෙකක. මාව දාල හිටියේ ඉස්සරහම තිබුන කාමරයක."

"කවුද දුලාල් "

"මං පස්සේ දැනගත්ත විධිහට දුලාල් එක මුරකාරයෙක්. නරකම එකා. මුරකාරයෝ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි හිටිය. මසුඩ් , නසීර් හෙම. අප බලා ගත්ත ගෑණිගේ නම ෆරීඩා. දුලාල් හැම වෙලේම උණ බම්බු වලින් හැදුව වගේ කෙවිටක් අතේ තියන් හිටියේ. ඌ මාව නාන තැනට දාල ඇඳුම් ගලවන්න  කිව්වා. මං ගැලෙව්වේ  නැහැ. අර කෙවිටෙන් ගැහුවා මට. මං කෑ ගහන්න ගත්ත. එතකොට ෆරීඩා ආවා. ඇවිත් මගේ ඇඳුම් වලින් ඇදල ඉරල වගේ ගලවල දැම්ම. මං  කවදාවත් ඒ වගේ නිරුවතින් ඉඳල නැහැ. දුලාල් බලා ඉන්දෙද්දීම  ෆරීඩා වතුර බාල්දියක් ගැහුවා මට. පස්සේ මට නාන්න දීලා උන් ගියා.  ෆරීඩා ඇවිත් මට බාච්චු ගවුමක් දුන්න. දුලාල් මාව ඇදගෙන ගියා උඩ තට්ටුවේ ලොකු කාමරයකට. මට ඒ දවස තවම හොඳට මතකයි. කාපට් දාල ලොකු පරණ ඇඳක් තිබ්බ උඩ වහලක් වගේ තිබ්බ කණු හතරක් උඩ. මේසයක් තිබ්බ කෑම තියල. කෑම මට නෙමේ."
"ඔයා  මොකක් ගැනද කියන්න යන්නේ  කියල මට තේරෙනවා. ඔයා මට කියන්න අවශ්‍යම නැහැ.  "මම කීවෙමි.

"ප්‍රියාන් මම ඇඩම්ට මේවා මුකුත් කියලා නැහැ. කොටින්ම කිසිම දෙයක් දන්නේ නැහැ  ඇඩම්. මගේ මානසික සායන වලින් හුඟක් කාලෙකට පස්සේ මට පිරිමියෙක් ගාව ඉඳගන්න වත් පුලුවන් වුනේ. ඇනා දන්නවා තරමක් දුරට. ඔයාට කියන්න හිතෙන්නේ ..." ඇය දිග සුසුමක් හෙළුවාය.

"ඔයා කියන්න. මම අහගෙන ඉන්නම්."

"එදා ආවේ පල්ලියේ පූජකවරයා. ඌ දැනගත්ත මං ඌව  අඳුර ගත්ත බව. ඌ කිව්වා මාව මරණෙන් බේරා  ගත්තේ ඌ කියල. දෙවියන්ට යාඥා  කරන්න කීව ඌ මාව බේරා  ගත්ත එකට. ඊට පස්සේ එතැන තිබ්බ රොටී හා මස් කෑව. මටත් කාපන් කීව. මම කෑවේ නැහැ. ඊට පස්සේ කිව්වා මට ඇඳුම ගලවපන් කියල. මම ගැලෙව්වේ නැහැ.  ඌ මගේ ගාවට ආවහම මම ගැහුවා පයින්, දැඟලුව. කාමරේ මුල්ලට දුවල ගුලි වුනා. මම කෑ ගහල අඬන්න  ගත්ත. මූ දොර ඇරලා දුලාල්ට කතා කලා. දුලාල් ආවේ ෆරීඩා එක්ක. ෆරීඩා මගේ කකුල් දෙකෙන් අල්ලාගෙන ඉන්දැද්දී දුලාල් ඇඳුම ඇදල ගත්ත. ඊට පස්සේ මගේ කට බලෙන්ම ඇරලා රෙදි පටියකින් කට ඇරලා තියෙද්දීම දිවත් හිරවෙන්න බැන්ද . බැඳලා මාව මුනින් අතට ඇඳේ බාවල උගේ අර කෙවිටෙන් ගැහුවා. මම හු තිබ්බ. මගේ කටින් සද්දේ පිටවුනේ අමුතු විධිහට. ෆරීඩා කීව කෑ ගහන්නේ දඟලන්නේ නැතුව ඉඳපන් උඹට මැරෙන්න ඕනේ නැත්නම් කියල. ඊට පස්සේ ඉමාම් මාව දුෂණය කලා. මං කෑගැහුවා. මට මගේ තාත්තා මතක් වුණා . අනේ තාත්ත හිටිය නම් මාව බේරා ගන්නවා මුන්ගෙන් කියල."

ඇය හෙමිහිට ඇගේ හිස මගේ උරහිසට තබා ගත්තාය. මට ඇගේ බඳ වටා  අත යවා තුරුළු කර ගැනීමට සිතුනද එසේ නොකෙලෙමි. කෝපය හා වේදනාව මගේ සිතට තදින් දැනුනි. එකම දිනයේ දෙවතාවක් හිංසාකාරී ලෙස නිරුවත් කරවූ කාන්තාවකට කිවීමට දෙයක් නැතිව මම ලත වුනෙමි.

ඉන්පසු ඇය කීවේ මාසයක් පුරා නොයෙකුත් මිනිසුන් අතින් ඈ ලද හිංසනයයි. ඇය අලුතින් ගෙනා බව අවට පිරිමින් අතර පැතිර තිබුණි. ඒ නිසා වැඩිම ඉල්ලුම වී තිබුනු,  වැඩි විය පැමිණුනත් තවමත් දරුවකු වූ ඇය දිනපතාම දුෂණය වූවාය.

"ෆරීඩා දරුණුයි වගේ පෙනුනත් පස්සේ මට තේරුණා ඇය අපට අනුකම්පා කරන වග. මට වේදනාව යන්න බෙහෙත් පෙති දුන්න. විකෘති විධිහට කරන එවුන් නිසා මාව මුනින් අතට දාල පිට තැව්වා. තෙල් දුන්න පාවිච්චි කරපන් කියල." ඇය කිවූ දෙය මම තේරුම් ගතිමි. මා  සිටියේ මහත් ව්‍යාකුල භාවයකිනි. ඇය සමග  කෙසේ කතා කරන්න දැයි, ඇයට කෙසේ පිළිතුරු දෙන්න දැයි සිතමිනි. මම මනෝ වෛද්‍යවරයෙකු නොවේ.  මා  ෆ්‍රොයිඩ්, ජුන්ග් හා ජැමිසන් ආදීන්ගේ  කිසියම් පොත් ප්‍රමාණයක් මානසික ලෙඩ ආදිය ගැන කියවා  තිබුනද මේ එය නොවේ.

"ඔය වගේ දේවල් අන්තර්ජාලයේ තියෙනවා. හැබැයි මිනිසුන්ට විනෝද වෙන්න අසභ්‍ය වෙබ් අඩවි වල. මම හංගන්නේ නැහැ මමත් බලල තිබෙනවා. දැන් මට හිතෙනවා මිනිස්සු  මේවගේ දේවල් වෙනවා කියල එක්කෝ විශ්වාස කරන්නේ නැහැ. නැත්නම් විශ්වාස කලත් ගණන් ගන්නේ නැහැ. අර විනෝදය සපයන වෙබ් අඩවි, වීඩියෝ වගේ දේවල් වලින් ඒ තත්වය ඇති කරලා තියනවා."
"මං  හිතන්නේ නැහැ එතනට ආපු එකෙක් වත් වෙබ් අඩවි බැලුව කියල ප්‍රියාන් " ඇය ඉතා සන්සුන්ව කීවාය. ඇගේ සන්සුන් බව මට විමතියක් ඇති කළේය.

"මේ ගේ තිබුනේ තවත් අසල්වැසියෝ ඉන්න තැනකද? පැනල යන්න වත්........ " වයසින් අඩු ගැහැණු ළමයෙකුට එසේ කල නොහැකි බව දැන දැනත් ඇසුවෙමි.
"මං දන්නේ නැහැ. ජනේලෙන් බලන කොට නම් ගෙවල් තිබ්බේ නැහැ. ගේ පිටි පස්සේ කැලයක් වගේ කෑල්ලක් තිබ්බේ. ලොකු ගස්  තිබුන. පැනල යන්නේ කොහොමද? ඒකට එනවා පොලිස් කාරයොත්. දුලාල්  කිව්වේ එහෙමයි. එහෙම එකෙක්  වෙන්න ඕනේ එනවා මාසෙකට සැරයක්. ඒක ඌට දෙන කප්පමක් වගේ. ඌ හරිම දරුණුයි. අර හිටපු පිරිමි ලමයි දෙන්න ගෙන් කවුරු හරි කෙනෙකු ටයි ගෑණු ළමයි දෙන්නෙකුට තුන් දෙනෙකුටයි යි ඌ ආවම  හැමදාම ගහනවා.  අපි දෙවියන්ට යදිනවා ඌ ට අහුවෙන්න එපා කියල. දුලාල් තමා තීරණය කරන්නේ කවුද යන්නේ කියල ඌ ගාවට. මාවත් අහු වුණා කීප දවසක්. මායි අබිදායි ජෙහාන් කියන පොඩි කොල්ලයි. ඌ අපව නිරුවත් කරලා පටියෙන් හා කෙවිටෙන් ගහනවා. හැමෝම  ඌට බයේ ගෙයි පහල පිටු පස කොටසේ ඇතුලේ වටේට  දුවනවා. ඌ කරන්නේ  හිනා වෙන එක. ඌට ඒක විනෝදයක්. අනික එතන අනිත් උනුත් අපට හරියට ගහනවා. මේ..."
ඇය සෙමෙන් ඇගේ වම් අත පැත්තෙන් බ්ලවුසය උස්සා ඉනට මදක් ඉහල තැනක් පෙන්වූවාය.  කළු පාටට හුරු වටයක් සහිත අඟල් දෙකහමාරක් පමණ දිග අඟලක් පමණ පළල කැළලක් තිබුණි. කැළැල මැද  උඩට ඉස්සුණු මස සහිත   අලුත් හමක් පැහැදිලිව පෙනුනි.

"මේක හොඳ වුනේ නැති තුවාලයක්. මම බිම ගුලිවෙලා මේ පැත්තටමයි හැරෙන්නේ. උන් ගහන්නේ  ඒ නිසා මෙතන්ටමයි. හොඳ වුනේ හුඟක් පස්සේ. එක පාරක් අබිදා පැනල යන්න  හැදුව  අනිත් වැඩිහිටි කෙල්ල ශර්මිලාත් එක්ක. දෙන්නම ගහේ  බැඳලා ගැහුවා. ගුලාල් හා නසීර් වරින් වර ගැහුවා. දවස පුරාම. උන් දෙන්න විලාප දුන්න හැටි අහගෙන ඉන්න බැහැ. කවුරුත් ආවේ නැහැ බේරන්න. ඇඳුම් හෙම ගැලවිලා තිබුණ. එතැන ගිනි අව්ව. මට පස්සේ අබිදා කිව්වා වතුර ඉල්ලුවම උන් මුත්‍ර කරලා තිබ්බ බීපන් කියල. "
ඇය ඉන්පසු තවත් දිගින් දිගට විස්තරයක් කලාය. අසා  සිටීමට අපහසු එම විස්තර අමතක කිරීමට මට දැඩි ලෙස අවශ්‍යව තිබුණි. මේ  සැබෑවක් නොවේ යයි ද ඇය මගේ
අනුකම්පාව අයැදීමට කියන දේවල් යයිද වරක් සිතුනි. ඇය වරින් වර මගේ අත රැගෙන සිප ගත්තාය. ඇය එසේ කලේ ඇයි දැයි මට නොවැටහුනි. වරින් වර ඇය හැඳගෙන සිටි ගිම්හාන කබාය සීතලට හසු වුනාක් මෙන් තද කර ගත්තා ය.

"ඉතින් ඔයා එංගලන්තේ ආවේ කොහොමද " පැයකට හමාරකට පසු මම ඇසුවෙමි.
"මගේ නැන්දා හොයල තියනවා මාව. ආච්චිත් එදා ගින්නටම අහු වෙලා. සීයා ඈත ගමක හැංගිලා අම්මගේ පැත්තේ නෑදෑයෝ ඉන්න තැනක. දෙන්නම මාව  හොයලා. අහල පහල අපට හිතවත් අය කියලා  මම අරන් ගිය ගේ හොයාගෙන. නැන්දා තමයි මගේ එකම භාර කාරයා කියල නීතිමය අයිතිය අරගෙන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට දන්වලා . නැන්දා වෙන කෙනෙකු හරහා දුලාල් හොයාගෙන පවුම් පන්දාහක් විතර පොරොන්දු වෙලා. මේ ගේ අයිති අර පක්ෂයේ දේශපාලනඥයෙකුට. අර අපිව එක පාරක් අරන් ගියේ. "
ඇය  ඒ පිළිබඳව කිවූ බව මට අමතක නැත. එක්තරා දේශපාලනඥයෙක් දිනූ  පසු ඔහුගේ ළඟම සිටි මැරෑටි අනුගාමිකයන්ට ඔහු සංවිධානය කල සාදයේ එක සංග්‍රහයක් වුයේ මේ නිවසේ සිටි ළාබාල තරුණියන් සමුහයයි. එදා රාත්‍රියේ මඩුවක ගාල්  කර හුන් ඔවුහු නොවිඳිනා දුක් වින්දහ.
"ගුලාල් සල්ලි අරගෙන පැනල යන්න ලෑස්ති වෙලා. මුළු මුදල දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ මාව  නැන්දට දුන්නම. දුලාල් මේකට කැමති වුන එකත් පුදුමයි. නමුත් පවුම් පන්දාහක් කියන්නේ ලොකු ගානක්. දුලාල්ට ජිවිතේට හොයා ගන්න බැරි ගාණක්. නැන්දා ආවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ තානාපති නිලධාරීන් දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් ගැහැණු කෙනෙක්. මාව  රෑ හොරෙන්ම දාගත්ත කාරයකට. පැය දෙක තුනකට පස්සේ අපි අගනුවර මම හිටියේ ජෝ... කියන නිලධාරියාගේ නිවසේ. නැන්දට මගේ ඡායාරූප තිබ්බේ නැහැ. වීසා වලට  මගේ ඡායාරූප අරගෙන, මගේ තිබ්බ තුවාල වලට  බෙහෙත් දාල  අපි සති එකහමාරක් විතර හිටිය. හැංගිලා වගේ හිටියේ.  මගේ වීසා ආවහම ඒ නිලධාරීන් දෙන්නම ගුවන් තොටුපලට ආවා ඇරලවන්න. ඔවුන් අප ගුවන් යානයට නගිනකන්ම  හිටිය. " ඇය මදකට නිශ්ශබ්ද වූවාය.

"මේ වගේ දෙයක් මිට මාස  දෙක තුනකට උඩදී වුණා. ඒ කියන්නේ තාත්ත කෙනෙක් අවුරුදු 15 දියණියක් අරන් ගිහින් පකිස්තානෙට  බන්දල  දෙන්න එයාගේ කැමත්තට විරුද්ධව.  ඒ ළමයා  කොහොම හරි හිර කරලා හිටිය කාමරේ ජනේලෙන් පණිවුඩයක් දීල පාරේ යන කෙනෙකුට. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ඒ ගෙදර හිර කර ගෙන ඉන්නවා කියල. කෙල්ලගේ වාසනාවට අර මනුස්සය කොහොම හරි ඒක  තානාපති කාර්යාලයට යවල. තානාපති නිලධාරීන් සම්බන්ධතාවයක් හදා  ගෙන රෑ  වෙලාවක ගිහින් ඒ ළමයව මුදා ගෙන එංගලන්තෙට ගෙනල්ල. හුඟක් හොඳ වැඩක්. " කියූ මම,
"ඔයාගේ සීය ත් ආවද?" යයි ඇසුවෙමි.

"සීයා ආව ඊට පස්සේ මාසේ. අපි තුන්දෙනා හුඟක් සතුටින් හිටිය. සීයා නැති වුණා  අවුරුදු කීපයකට කලින්. එයා ගොඩක් දුකෙන් හිටියේ. "

යන්තම් සිරිපොද වැස්සක් පටන් ගති. වැසි කාලය ලන්ඩනයට එළඹ තිබේ.
"අපි යමුද " මම  ඇසුවෙමි.

"යමු" බෑගය අතට ගනිමින් ඇය නැගිට්ටාය.
මම මගේ  හිස කබායට ආඳා ඇති  හිස්වැස්මෙන් වසා ගතිමි.
ඇය එය ඇද පහලට දැමුවේ සිනාසෙමිනි. "මට එකක් නැහැනේ. පොඩ්ඩක් තෙමුනම මොකද "
ඇගේ සන්සුන් බව මගේ විස්මයට හේතු විනි.

"ඔයා හරිම නිර්භීත ධෛර්යවන්ත කෙල්ලක්, තරුණියක්. ඔය ඔක්කොමත් වෙලා පස්සේ උපාධියකුත් අරන් රස්සාවකුත් කරන්න. දැන් ශාස්ත්‍රපති උපාධිය කරන්න. මට හිතා ගන්නත් අමාරු තරම්. ඔයා ට බංගලා දේශ් වලදී ඉංග්‍රීසි පුලුවන්ද?"
සියාමා මා දෙස බලා සිහින් මදහසක් පෑවාය. ඒ මන්දස්මිතය මගේ හද කැළඹුවේ  ඒ හා සමගම සැඟවුණු ශෝකී ස්වභාවයක්ද මට දැනුනු හෙයිනි.

"තාත්ත අපට ඉංග්‍රීසි ඉගැන්වුවා ඒ කාලේ දන්නා තරමින්. මම මාස හය හතක් අර ගෙදර හිර කරලා හිටි  කාලෙ මුකුත් කලේ නැහැ. නමුත් ලන්ඩන් වලදී නැන්දා ඉගැන්වුවා. පස්සේ ටවර්  හැම්ලට් නගර සභාවෙන් මුදල් ගෙවන පාඨමාලා වලට  ගියා. ආණ්ඩුවේ සෞඛ්‍ය සේවයෙන් ගෙවන මානසික සායන වලට ගියා. මුලදී මට ඉස්කෝලේ වැඩ අමාරු වුනා. නමුත් ගොඩක් උදව් ලැබුන." ඇය දැන් ඇවිදින්නේ වැඩිපුර පිටුපස නොබලමිනි.
"මේ රට ඒ අතින් හරි හොඳයි. නොමිලයේ ඒ වගේ උදව් ගොඩක් ගන්න පුළුවන්. දැන් මට තේරෙනවා ඇයි ඔයා වට පිට බල බල හැම වෙලාම පාරේ යන්නේ කියල ඉක්මනට. බය වගේ එකක් තවම තියෙනවද?"

"මම මෙහෙ ඉන්නේ ඇත්ත නමින් නෙමේ ප්‍රියාන්.  මගේ නම වෙනස් කළා නැන්දා.   අක්බාල් ගේ නෑදෑයො වගේම අන්තවාදී ජ....පක්ෂයේ එවුනුත් ඉන්නවා. උන් මහා රෞද්‍ර මිනිස්සු. "
"මට හිතා ගත්ත හැකි. ඔයාගේ තාත්ත අක්බාල් මරපු එක මම විනිශ්චය කරන්න යන්නේ නැහැ. ඔහු තිබුණු  ආවේගයට එහෙම කරන්න ඇති. ඔයා කතාව  කියද්දී මට වුනත් හිතුන මැෂින් ගන් එකක් අරන් ගිහින් උන් ඔක්කොටම වෙඩි තියල දාන්න.  අර අනිත් ගෑණු ළමයිනුත් පිරිමි ළමයිනුත් පව් නේද? "

"මම දන්නා විධිහට නැන්දා  පොලිසියට දැන්වුවා. මම මෙහෙ ගෙනාවට පස්සේ. මං  හිතන්නේ නැහැ මුකුත් වුණා කියල. "
අප බස් නැවතුමට පැමිණියෙමු. වැස්ස මදක් තද වූයෙන් අප නැවතුම ඇතුලට ගුලි වුනෙමි. ඇය මා දෙස බලා  ගත් වනම සිටියාය. මම  ආයාසයෙන් සිනා සුනෙමි. ඇය අතක් මගේ පපුවට තබා ගනිමින් මදක් හේත්තු වූවාය. බසය නැවතුමට පැමිණුනි. නැවතුමේ සිටි දෙතුන් දෙනා ඇතුලට යද්දී ඉදිරියට නැඹුරුවූ ඇය මගේ කම්මුල තදින් මිනිත්තුවක් පමණ සිප ගත්තාය. මම ව්‍යාකුල භාවයෙන් සිටියදී බසයට ගොඩ වුනු ඇය, බසය නැවතුමෙන් ඇදී යද්දී මා  නැවතුමේ සිටි පැත්තට හැරවී ගෙන බලා සිටියාය.

මතකයේ තදින් රැඳුනු  ඒ සැඳෑවෙන්  අනතුරුව ඇය කලේ මට ඊමේලයක් දෙකක් එවීමයි. ඊළඟ වාරය පටන් ගැනීමට මාස දෙකක් පමණ ඇති නිසා මා හමුවීමට ඇයට අවශ්‍යව තිබුණි. නමුත් මට තිබුනේ පැකිලීමකි. අවාසනාවකට මෙන් අප දෙදෙනා එකිනෙකා  තේරුම් ගත්තේ වැරදි විධිහටද?
තීසිසය සඳහා ඊලඟ වාරයේ සිට සොයා බැලිය යුතු හෙයින් මට කාල  වේලා  මදි විය. පවුලේ අය සමග නිවාඩුවකට ද යා යුතුව තිබුණි. අන්තිමේදී මම ඇය හමුවීමට තීරණය කලෙමි.

සයවන කොටස 





Thursday, 2 July 2015

සියාමා 4 - අනන්තයක තනි වුනු සිත

පළමුවන කොටස.
දෙවන කොටස 
තුන්වන කොටස 


අපට පාඨමාලා  ප්‍රශ්න පත්‍ර විසඳීමට තිබුණි. සමහර ඒවා වල ගණිතමය ප්‍රශ්න විසඳීම ඉතාමත් අපහසුය. විෂයට අදාළ කරුණු දැන  ගත්තත් ප්‍රශ්නය  හරි හැටි නොතේරීමේ අවදානම තිබුණි. වෙලාව ඇති සිසුන්, ඒ සඳහා දේශන කල ගුරුවරු සංවිධානය කල උපකාරක පන්ති වලට ගියත් රැකියා කරන අපට  එසේ කිරීමට නොහැකිය. ඒ නිසා රෝලන්ඩ්, මා සහ තවත් සිසුන් දෙදෙනෙකු සෙනසුරාදා උදය දිනවල පුස්තකාලයේ රැස්වී එකතුව කෝර්ස් වර්ක් කිරීමට සිතා ගත්තෙමු. පළමුවන දිනය  ප්‍රශ්නයක් නැතිව ගෙවී ගියේය. සියාමා ට අසනීප ගතියක් හේතුවෙන් එයට පැමිණීමට නොහැකි විනි.  දෙවන්නට සියාමා ද එක් වුවාය.  ඇය සාමාන්‍යයෙන් බටහිර ඇඳුම්  පැළඳ සිටියත් එදා ආවේ ඉන්දීය ඇඳුමකින් සරසි ගෙනය. සල්වාරය සමග රත් පැහැති ඔවුන්ගේ බාච්චු වැනි සිල්ක් කලිසමකින් හා කහ පාට සිල්ක් උඩුකය වැසුණු  ඇඳුමකින් සැරසී  සිටි ඇය ඉතාමත් පියකරුව පෙනුනි.

දෙදෙනෙකුට එදා ඒමට නොහැකි වුනු අතර රෝලන්ඩ් හා අප දෙදෙනා  පමණක් හැකි ආකාරයෙන් ප්‍රශ්න කීපයකට විසඳුම් සොයා ගතිමු.  දවල් වන විට නිවෙස් බලා යාමට සුදානම් වීමු. රෝලන්ඩ් ඔහුට උත්සවයකට යාමට ඇති බව කියා කලින්ම සමු ගත්තේය. අප දෙදෙනා පුරුදු පරිදි මයිලෙන්ඩ් උද්‍යානය අසල බුෆේ ක්‍රමයට ආහාර තිබු ඉන්දීය ආපන ශාලාවකින් දහවල ආහාරය ගතිමු.

ඉන් පසු අප කලේ උද්‍යානය තුලින් ගමන් කිරීමයි. උද්‍යානය අසල ග්‍රොව් මාවත අසලින් කෙලින්ම ගිය විට වික්ටෝරියා  උද්‍යානය නමැති අක්කර 200 පමණ විශාල නැගෙනහිර ලන්ඩනයේ  පිහිටි සුන්දර  උද්‍යාන යටද පිවිසිය හැකිය. කොළඹ  නගරයේ පිහිටි විහාර මහා දේවි උද්‍යානය යටත් විජිත සමයේ නම් කර තිබුනේ වික්ටෝරියා උද්‍යානය නමිනි. මෙය ඉංග්‍රීසින් විසින් නිම කරන ලද්දේ නැගෙනහිර ලන්ඩනයේ වික්ටෝරියා උද්‍යානය අනුව යයි මතයක් පවතී. කුඩා කල මව සහ සහෝදර සහෝදරියන්  සමග "වික්ටෝරියා පාක් " එකට ගිය විට ලිස්සන ඔරුවේ පහළට රූටා ඒම, සීසෝ පැදීම,  ගසක්  උඩ සාදා තිබු ලී  නිවස ට නැගීම අඩිය මගේ සෙල්ලම් අතර විය. ඒ මතකය නිසාදෝ  ලන්ඩනයේ වික්ටෝරියා  උද්‍යානයට මම පවුලත් සමග නිතර යාමට පුරුදුව සිටියෙමි.

වික්ටෝරිය උද්‍යානයට ඇතුළු වීමට ප්‍රසිද්ධ ගේට්ටු 19ක් එය වටේටම පිහිටා  ඇත. සියාමාත් මමත්  ක්‍රවුන් ගේට්ටුවෙන් ඇතුලට පිය මැන්නෙමු. එහි ඇති පැවිලියන් එකඅසල සුන්දර දිය පොකුණක් ඇත. සෙනසුරාදා නිසා පවුල් කිහිපයක්ද විය. අපි එහි සෙනග නැති පැත්තක බංකුවක වාඩිවී පොකුණ දෙස බලා  සිටියෙමු. ඈතින් ඇසෙන ළමුන්ගේ හඬවල් කීපයක් ඇරෙන්නට වටපිටාවේ  සන්සුන් සහ නිශ්චල ගතියක් තිබිණි.

එක්වරම, අසල ඇවිද ගෙන යන ආසියාතික රටක  යයි කිව හැකි  යුවලක ගේ කුඩා පුතාගේ බෝලයක් අප දෙසට පැමිණියේය. මම වහා  නැගිට එය පොකුණට නොවැටෙන ලෙස කකුලින් රඳවා  ගෙන ඔවුන් දෙසට  නැවත  යොමු කලෙමි. කුඩා කොලු පැටවා  සුරතල් ලෙස මට ස්තූති කළේය. යුවළද අත් වනා  මට ස්තුති කර අප පසු කල ගමන් කළහ.

මා නැවත බැංකුවේ ඉඳ ගත්  විට සියාමා ගේ දෑස් කඳුලින් පිරි තිබෙනු දුටිමි.
"මට මල්ලි මතක් වුණා "
"මල්ලි ඉන්නේ නැන්දා ගාවද" මම ඇසුවෙමි.
"මම ඔයාට කිව්වේ නැහැනේ. ඔයා දේශන වලට යන එක නවත්වන්න මට ඕනේ වුනේ නැහැ. "
"එහෙම එකක් නැහැ.  මං ඕන තරම් වෙලාවක් ඔයා ගාව  ඉඳගෙන ඉන්නම් ඔයා කැමති නම්" මම කීවෙමි.

දැහනකට සම වැදුනාක් මෙන් මොහොතක් නිසලව සිටි ඈ කතාව පටන් ගත්තාය.

"එදා අක්ක ගේ අළු ගඟේ පා කරලා ආපු සතියම හරිම කාලකන්නි එකක්. මගේ මිලාඩ් උත්සවය ගන්න විධිහක් තිබ්බෙත් නැහැ. අම්මයි තාත්තයි මට දාගන්න සළුව විතරක් දුන්න. අක්කා නැතිව මට කිසි දෙයක ඕන කමක් තිබ්බේ නැහැ. තාත්ත වැඩට යන්නේ නැතුව තැන තැන  ගියා. අක්ක මැරූ අයට  දඬුවම් කරන්න සාක්කි හොය හොයා. හැමෝම සාක්කි දෙන්න බයයි. ජමත් - අල් ....පක්ෂය ඒ තරමට ඒ පැත්තේ බලවත්. ඩකා වලින් සිද්දිය දැනගෙන වාර්තා කරන්න ආපු වාර්තාකාරයෝ දෙන්නෙකුට හොඳටම ගහල ඔවුන් ආපු රථය ගිනි බත් කරලා තිබුන. ඉතින් මේක පුවත් පත්වල වාර්තා වුනාද කියලවත් අපි දන්නේ නැහැ. අම්මයි තාත්තයි කතා කල ඒවා විතරයි මම දන්නේ. "

මම නිහඬව සිටියෙමි. පොකුණේ ඈත සුදු හංසයෙක් දෙදෙනෙක් පාවී පාවී උන්හ.
"අම්ම කිව්වා මට ඉස්කෝලේ යන්න කියල. මට කොහෙත්ම යන්න ඕනේ වුනේ නැහැ. නමුත් මම ගියා. ඒක මහා වධයක්. කවුරුත් මාත් එක්ක කතා කලේ නැහැ. මගේ යාළුවොත් හොරෙන් කතා කලේ. තස්ලීම්, පාතිමා හෙම කවුරුත් නැති වෙලාවට ඉස්සර වගේ පුංචි රස කැවිලි හෙම මාත් එක්ක බෙදාගෙන කාල අත මිරිකලා යනවා. මම නිකන් වසංගතයක් වගේ. කොල්ලෝ හෙම අයින් වුනා මම එනකොට. උන්ගේ අම්මල කියල මම අවාසනාවන්තයි කියල. උන් කියන විධිහට මගේ අක්කට හැම දේම වෙලා තියෙන්නේ මගේ වැරැද්දෙන්."

"සමාවෙන්න මෙහෙම කියනවට. මම දන්න විධිහට සැබෑ ඉස්ලාම් දහමේ ඔය මිත්‍යා විශ්වාස නැහැ. දෙවියන් විශ්වාස කරන එක ඇරුනහම. හුඟක් ආගම්වල සර්වබලධාරී දෙවියන් හිටිය වුනත්  හින්දු,  චීන, සමහර කතෝලික අය නැකත් වගේ දේ විශ්වාස කරනවා. බෞද්ධ අය නොකළ යුතු වුනත් ලංකාවේ ඔවුන්ට තමා  වැඩියෙන්ම මිථ්‍යා විශ්වාස තියෙන්නේ  ඒ අයට. ඉස්ලාම් දහමේ ඕක නම් නැහැ."  මම පැවසුවෙමි.

"ඒක ඇත්ත. නමුත් අපේ ගම්වල මිනිස්සු ඔය වගේ දේ හරියට විශ්වාස කරනවා. සුමාන එකහමාරකට පස්සෙත් අපේ ගෙදරට තිබ්බ පීඩනය අඩුවෙලා තිබුනේ නැහැ. එදා මම ඉස්කෝලේ ඉන්නකොට පාතිමා යි තව යාළුවෙකුයි දුවන් ආව. හුස්ම අල්ලමින් ඔවුන් කෑ ගැහුවා මට. ඉක්මනට  යන්න මාකට් එක ගාව කැළේට  ඔයාගේ තාත්ත ....... "
"අනේ මම දිව්වා හුස්ම අල්ලන්නේ නැතුව. මගේ අහිංසක තාත්තාව  එල්ලලා තිබ්බ කකුල් දෙකෙන් ගහක.
තාත්තට අක්බල් හම්බ වෙලා මාකට් එකේදී. රණ්ඩුවක් ඇදිලා. තාත්තා අක්බල් ට කියලා පලිය ගන්නවා කියල. අක්බාල් ඔච්චම් කරලා අක්කා  හිටිය විධිහක් ගැන කියල කුණුහරපයකින්. තාත්තා  අක්බල්ට ළඟ තිබුන පිහියකින් දෙතුන් පාරක් ඇනල. අක්බාල් ළඟ හිටපු උන් තාත්තට හොඳටම ගහලා. මම යනකොටත් කකුල්  දෙකෙන් එල්ලලා ගල් වලින් ගහනවා. මිනිස්සු වට වෙලා . මම තාත්ත ගාවට දිව්වා මගේ ඔලුවටත් ගල් වැදිලා මම වැටුන. කවුරු හරි මාව ඇදල ගත්ත. අරගෙන මිනිස්සුන්ගෙන් එලියට තල්ලු කලා. දන්නේ නෑ කවුද කියල. අපේ හිතවතෙක් වෙන්න ඇති. මම ඊට පස්සේ දිව්වා ගෙදර අම්මට කියන්න. "
සියාමා කතා කලේ හුස්මක් පවා නොගනිමින් එක දිගටය. මම ඇගේ සුරත් තරයේ අල්ලා ගතිමි.

දැන් ඇගේ නෙතින් කඳුළු කඩා හැලෙන්නට  පටන් ගෙනය.  මේ අවස්ථාව බලාපොරොත්තුවෙන් සිටියෙමි.
"එතකොටත් කවුද අපේ ගෙට ගිනි තියල හුඟක් දේ දැවිල ගිහින් ඉවරයි. මම කෑ ගහගෙන ඇතුලට දිව්වා පිළිස්සුනු ගේ කබලට . අම්මයි මල්ලියි......................"දිග හුස්මක් ගත්  ඈ  "අම්මයි මල්ලියි බාගෙට වගේ පිච්චිලා. දෙන්නම ජිවතුන් අතර නැහැ . මම අම්මා ගාවින් කෑ ගහගෙන ඇලවුනා. මටත් ඕන වුනේ මැරෙන්න. මම ළමයෙක්. මැරෙන්නේ කොහොමද කියලවත් මට අවබෝධයක් නැහැ."  තව දුරටත් අසා සිටීමට නොහැකි තත්වයක මම සිටියෙමි. මේ සුන්දර පුංචි ගැහැනියකට දරා ගත හැකි දෙයක්ද යන්න මගේ සිතේ මතු වුන හැඟීම යයි සිතමි.

"මං  පැය  කියක් හිටියද මතක නැහැ. කවුරුත් කතා කරන්න ආවේ නැහැ. ආච්චි කොහෙද කියල නැහැ.  එතකොට තමයි උන් ආවේ." මම කවුදැයි  නොඇසීමි.
"උන් මගේ ඔළුවට කොට්ට උරයක් දාල ගැට ගැහුවා. අත්දෙකත් එක්ක කඹේකින් බැන්ද වගේ දැනුන.  ඊට පස්සේ උස්සන් ගිහින් මොකක් හරි වාහනේකට දැම්ම."

සියාමා යටි ගිරියෙන් කිසියම් ශබ්දයක් පිට කලාය. ඇය  හඬන බවත් හුස්ම ගැනීමට ඇයට අපහසු බවත් මට සිතිනි. මෙවැනි අවස්ථාවක පිටට ගැසූ විට හුස්ම ගැනීම පහසු වේ යයි කුඩා කළ  මව විසින් උගන්නා තිබු පුරුද්දට මම ඇගේ පිටට තට්ටු කලෙමි.  දැඩි වේදනාවකින් පෙළෙමින් සිටි ඈ මගේ අතකුත් අල්ලා ගෙනම හඬන්නට වූවාය. අ ...අ...අ... ආ  වැනි ශබ්දයකින් යටි ගිරියෙන් සිහින් විලාපයක් වැනි හඬක්ද නිකුත් විනි. ඈත පික්නික් (විනෝද ගමන්)  මේස වල සිටි පවුල් දෙක තුනක් කලබල වනු මම දුටිමි. ඔවුන් මම ඇයට හුස්ම ගැනීම පහසු වෙන්නට ඇගේ  පිටට ගැසීම වරදවා වටහා ගන්නටද ඇත. එසේම එතනින් ඇවිද යන කීප දෙනෙකුද නැවතී බලා සිටියහ. කවුරුන් හෝ පොලිසියට කතා කර ඇත්දැයි මට සිතුනි. මා  සිතුවා හරිය. ග්‍රොව් මාර්ගයේ නැවැත්වූ පොලිස් කාරයකින් කාන්තා  නිලධාරිනියක හා පිරිමි නිලධරයෙකු අප දෙසට  පියමනිනු දුටුවෙමි.  එතෙක් සියාමා ගේ දෑතින්  අල්ලාගෙන සිටි මා ඇගේ දෑත අත  හැරීමට තැත් කලත් ඇය එයට ඉඩ නුදුන්නාය.

"පොලිසියෙන් එනවා. ඔයාගේ දෙමාපියන් මිය ගියේ අදයි  කියල කියන්න " මම ඉක්මනින් පැවසුවෙමි.

පොලිස් නිලධරයා "ප්ලීස් ස්ටෙප් අසයිඩ් ෆ්‍රොම් ද ලේඩි සර් ". මහත්මයා කරුණාකර මහත්මියගෙන් ඉවතට යන්න  කියා කිවේය.  මම ඉවතට ගියෙමි. මා අසලට පැමිණි ඔහු "අපට පුරවැසියෙක්  (member of public)  ගෘහස්ථ  හිංසනයක් පිලිබඳ ඇමතීමක් කර තිබෙනවා. ඔබට කියන්නට කිසිවක් තිබෙනවාද" කියා විමසීය.
ඇගේ නම සියාමා බවත් අප එක විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා  මිතුරන් බවත් ඔහුට කී  මම සියාමා ගේ දෙමාපියන් මිය ගිය දිනය අද වන නිසා ඇය අපහසුතාවයකින් පෙලෙන බවත් දැනුම් දුන්නෙමි.
මේ අවස්ථාවේදී සියාමා සමග කතා කරමින් සිටි පොලිස් නිලධාරිනිය අතින් සන් කල නිලධාරියාට කතා කලාය. ඔවුන් දෙදෙනා සුළු වෙලාවක් එකිනෙකා  සමග කතා කල පසු මටත් එතනට එන්නට කීහ. මද සිනහවකින් මා ඇමැතූ නිලධාරිනිය අවශ්‍ය නම් සියාමා ඔවුන්ගේ පොලිස් රථයෙන් ගෙදර ගෙන යා හැකි බවද  දැන්වූවාය. මේ වනවිට සන්සුන්ව සිටි සියාමා එය අවශ්‍ය නැති බවත් අප දෙදෙනා එතනින් යන බවත් අවට පිරිසට කරදරයක් වීම ගැන සමාව අයදින බවත් කීවාය. ඔබට අවශ්‍ය දෙයක් කරන්න යයි කිවූ ඔවුන් මා දෙසට හැරී  ඔබේ මිතුරිය හොඳින් බලා ගන්න යයි කියා ආචාර කර පිටත්ව ගියහ.
ඔවුන්ට කීවේ කුමක් දැයි මම ඇසුවෙමි. ඇගේ දෙමාපියන් මිය ගිය දිනය එදින බවත් ඇයට  වේදනාව උසුලා ගත නොහැකි වුන බවත්, ඇගේ හොඳම මිතුරා වන මම ඇයට උදව්වට එතැන සිටි බවත් ඇය ඔවුන්ට පවසා තිබිණි. මා ඇගේ හොඳම මිතුරා වීම ගැන ඇයට ස්තූති  කලෙමි.

එතන සිටි අය අප දෙස බලා සිටියදී අපි එතනින් හෙමිහිට ඉවත් වීමු.

වික්ටෝරියා  උද්‍යානයේ ඇවිදීමට සාදා තිබෙන මංතීරු හැම පැත්තටම තිබේ. බොහෝ විට ව්‍යායාම කරන්නන් මෙහි දුවනු දැකිය හැකිය. අපි  ඉන් එකක අනිත් පැත්තට ඇවිදගෙන  ගියෙමු. අනිත් පැත්තේද  කුඩා ජල පොකුණක් තිබේ. සියාමා ඇවිද්දේ කිසියම් අපහසුවකින් මෙනි. එතන ඇති විශාල ගස් සෙවනක් යටට ගිය අපි එහි වාඩි ගත්තෙමු. ඇගේ විඩාබර මුහුණේ ශෝකී ස්වභාවයත් හඬා වැටුණු නිසා ඉදිමුණු දෑස්නුත් දුටු මගේ හදවත කඩා  වැටිණි. එතන හිඳගත් මම ඇයට ඉඳගන්නට සන් කලෙමි. මා අසලින් හිඳගත් ඇයගේ හිස මගේ උරහිසට තුරුළු කර ගත්තෙමි. මද වෙලාවකින්  පුංචි දැරිවියක මෙන් උරහිසට හිස
තබාගෙන සිටි ඈ, නිදා සිටින බව මට පෙනිණි. මම සෙමින් ඇය ගේ හිස දෝතට ගෙන නිදා ගැනීමට ඉඩ හලෙමි. පෙම්වතියක නොව දියණියක හෝ බාල සොයුරියක් ආරක්ෂාව සොයාගෙන මා තුරුලේ සිටින්නාක් වැනි අමුතු හැඟීමකින් මගේ සිත පිරි තිබුණි.
හෙමින් සීරුවේ මල්ලෙන් පොතක් රැගෙන කියවන්නට පටන් ගතිමි.

බොහෝ වෙලාවක් නිදා සිටි ඈ නැගිට්ටාය.
"අනේ ඔයා මාත් එක්කම හිටියද?"
"මම ඔයත් එක්කනේ මෙතනට ආවේ " හදිසියේ නින්දෙන් නැගිටි නිසා ඇය මෙසේ කියන්නට ඇතැයි සිතුවෙමි. ඇය නිවසේදී මතකයන් අතරේ ගිලි හරි හැටි නින්දක නොලබනවා විය හැක.
"අපි යමු " ඇය කීවාය.
"මම ගෙදරටම ඇරලවන්නද  "
"නැහැ එපා "
ඇය බසයට නගින තෙක් සිටි මම නිවස බලා ගියෙමි.

ඉන්පසු අප හමුවූ  දිනවල ඇගේ අතීතය ගැන කිසිම විධිහකින් සඳහන් කිරීමට පැකිලුනෙමි. අනවශ්‍ය හිත පෑරීම් වලින් ඇය මානසිකව අසනීප වේ යයි මට සිතුනි. නමුත් ඇගේ  දෙමාපියන් හදිසි අනතුරකින් නැතිවී
ඇති බව කැරන්ට හා රෝලන්ඩ් ට පැවසුවෙමි. ඔවුන් අනිත්  සිසුන්ටද එය පවසා ඇති බව මට තේරුනේ ඔවුන් බොහෝ විට සියාමා ට කතා කිරීමටත් ඇගේ වැඩ ගැන සෙවීමටත් ප්‍රශ්න  උත්තර පත්‍ර බෙදා  ගැනීමටත් පෙළඹීම තුලිනි. එසේම ඇන්ඩ්රු වැනි අය ඉඳහිට බෝඩ් ලෑල්ල අසලට ගොස් විහිළු කතා කියා පන්තිය හිනැස්සීමට පටන් ගති. ඔවුන් එය කරන්නේ ඇය වෙනුවෙන් බව මම දැන සිටියෙමි. සියාමා ද එවැනි අවස්ථාවල හඬ නගමින් සිනා සි ප්‍රීති වුවාය.
නමුත් ඇයගේ ජීවිතය ගැන මා  සමග කතා කිරීමට අප දෙදෙනා තනිව ගමන්  කරන සැම විටම ඇය උත්සාහ ගත් බව මට දැනුනි. අන්තිමේදී එයට ඉඩ දෙන්නට තීරණය කලෙමි.

(මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)

Tuesday, 30 June 2015

සියාමා 3 - බියකරු සිහිනයක සැබෑව

පළමුවන කොටස 
දෙවන කොටස 
අවවාදයයි: ඔබ අවුරුදු දහ  අටට අඩු නම් මෙය ඔබට කියවීමට සුදුසු නැත.  කරුණාකර ඉවත් වන්න.

සියාමා ට ඇගේ හදවත  සිදුරු කරන වේදනාබර මතකයෙන් මදක් හෝ නිදහස් වීමට අවශ්‍ය බව සිතූ මම නිහඬ වීමි.
"අක්කාගේ මිනිය හම්බ වුනේ ලඳු කැලෑවක් තුල. එළුවෝ බලන ළමයෙකුට හම්බ වෙලා තියෙන්නේ.  තාත්තා හා අම්මා ඉස්සෙල්ලම එතනට ගිහින්. මට ගේ ඇතුලේ ඉන්න කියල කිව්වත් මම දිව්වා. මාත් එක්ක එකට ජිවත් වුන, එකට ඉස්කෝලේ ගිය, එකට කාපු බීපු, එකට හඬපු , එකට සිනාසුනු මගේම සුන්දර සහෝදරී. ඇය මිය ගිහින්. මිය ගිහින් නෙමේ මරල දාල. "

"ප්‍රියාන් මගේ සහෝදරී මම කවදාවත් නිරුවතින් දැකලා නැහැ. පළමුවෙන්ම දැක්කේ එදා. තාත්ත පිස්සුවෙන් වගේ කෑ ගහමින් ඇවිදිනවා. අම්මා විලාප දෙනවා. අක්කගේ ලස්සන සිරුර, මුහුණ ඇය පැහැර  ගත්ත උන් පුළුවන් තරම් අවලස්සන කරන්න හදල. ඇගේ ඇස් දෙක උගුල්ලලා තිබ්බේ. පියයුරු උඩ  කපලා ඒවා ඇස් දෙක උඩින් තියලා. මුන්ගේ හිත්  කොච්චර අවලස්සන දූෂ්‍ය වෙන්න ඕනෙද එහෙම කරන්න." ඇය කතා කරන්නේ විටින් විට හඬමිනි.

"හ්ම්.." මම හිත එතන රඳවා ගැනීමට දරමින් සිටියෙමි. මෙය මා බලාපොරොත්තු වුවක් නොවේ. ඇත්තටම මේ තරුණිය සමග කිසියම්ම වූ සම්බන්ධතාවයක් ඇති කර ගනිද්දී මා මෙවැනි ජිවිත කතාවක් බලාපොරොත්තු වූයේම නැත.

ඉන්පසු මගේ දෑස් දිහා ඇය කෙලින්ම බැලුවාය.

"ඇගේ ස්ත්‍රී නිමිත්ත තිබුන  ප්‍රදේශය එකම තුවාලයක්. මට මේ හැම දෙයක්ම හිතේ තදින් වැදිලා තියෙන්නේ. හිතේ තිබෙන  ඒ රූප ඉවත් කරගන්න හරිම අමාරුයි ප්‍රියාන්. ඔවුන් කටු වගේ තිබෙන ලී දඬුවක් ඇතුළු කරලා තිබ්බේ ඇගේ වැජයිනා එකට. පසු පස ප්‍රදේශයට උලක් ඇතුළු කරලා ..." ඇය මදක් කැස්සාය.

"සමාවෙන්න. මම හිතේ තියාගෙන හිටියේ හැම දෙයක්ම. අම්මා සිහිය නැතුව වගේ හිටියේ. මට තමයි ඒවා අක්කාගේ සිරුරින් අයින් කරන්න සිදු වුනේ. මම පොරවන්  හිටිය රෙද්දෙන් අක්කව වැහුවා. කවුදෝ කෙනෙක් තාත්තට පෙන්නලා ඇස් දෙක වෙන තැනක පාගලා තියෙන හැටි. පුදුම වෛරයක්‌ මගේ අහිංසක සොහොයුරිය එක්ක. ඇයි ඒ? මං හිතන්නේ තාත්තා ඒවා ගෙනල්ල තිබ්බ ඇස් දෙකට. එතැනදී කවුදෝ මාව පෙන්නලා තියනවා. මට ඒවගේ එලියට එන්න තහනම් වැඩි විය පත්වෙලා ඉන්දැද්දී. මුලදී කවුරුත් ගණන් ගත්තේ නැති වුනත් එතනට ආපු ගෑණියෙක් මාව පෙන්නලා බැනල. ආච්චි විජහට මම හඬද්දී ම මාව එතනින්  ඇදගෙන ආව. ගැහැණියෙකුට ට තව ගැහැණියෙකුගේ ගේ දුකක්, සම්ප්‍රදායික රීති වලට උඩින් තේරුම් ගන්න බැරි තරමට මේ ලෝකේ විසද?"

"පොලිසිය ආවට පස්සේ මිනිය ගෙදර ගෙනාව. අම්මලා අක්කගේ සිරුර හෝදලා පිලියල කළා. අම්මා තමා අක්කගේ සිරුරේ කපපු තැන්  මතුවේ  අඬ අඬා. අපට පස්සේ ආරංචි වුණා අක්කා ඉස්කෝලේ ඇරිලා තනියම එද්දී අක්බාල් ඇයව  හමුවෙලා ඔහුත් සමග එන්න කියල. ඇය ගිහින් නැහැ. පස්සේ කවුරුවත් නැති තැනක ඔහු ඇයට ගහලා සිහි නැති කරලා අරන් ගිහින්. ගමේ වැඩි හරියක් පිරිමි ඇයව දුෂණය කරලා තිබෙනවා.
උන් කියා තිබෙන්නේ කෆීර් ගේ කෙල්ලට මේක හොඳ වැඩියි කියල දුෂණය කරද්දී. "

"කෆීර් කිව්වේ? "

"කෆීර් කිව්වේ තාත්ත අපේ ආගමේ නොවේ කියන එක. තාත්තගේ විශ්ව විද්‍යාලයේ වැඩ කරන එවුන් දෙන්නත් එතන හිනා වේවි ඉඳල තියනවා. කොහොමද උන් මෙහෙම කරන්නේ ප්‍රියාන්. ඇයි  පිරිමි මේ වගේ හැසිරෙන්නේ. සත්තු වගේ.ශිෂ්ණය කෙලින් උනාම ඒක ඇතුලට දාල, වද  දිදී  හිනා වෙන්න අහිංසක කෙල්ලෙකුට. උන් හැමෝම චෝදනා කලේ මට. මගේ අවාසනාවලු. මම වැරදි දවසේ වැඩි විය පැමිණිලා . මගේ අවාසනාව පවුලට  ගහල. මුන්ගේ පුරුෂ ලිංග නැත්නම් වැඩ කරන්නේ නැතුව ඇති. " කනට ගසන්නාක් වැනි ඒ වදන ඇය පැවසුවේ  කෝපයෙන් රතු වී ගෙනය.

මට කියාගන්නට දෙයක් නැතුව මොහොතක් ලත වුනෙමි.
ඇය මදක් සන්සුන් වුනාය. ඇගේ කෝපය පහවී යමින් නැවත දුක ඉස්මතු වෙමින් යයි.
"මම අක්කගේ උකුලට ඔලුව තියාගෙන මුළු රැයම හිටියේ. අක්කා  මැරුන දවසේ අපට වළලන්න  ලැබුනේ නැහැ. ඒ නිසා අපි පහුවදා  තමා  අරන් ගියේ ගමේ සුසාන භූමියට. නමුත් පල්ලියේ ඉමාම්  ඉඩ දුන්නේ නැහැ එතන වළලන්න. ගමේ අනිත් මුස්ලිම් වරුන් විරුද්ධයි කියල. භුමිය අශුද්ධ වෙනවලු. පස්සේ අපි අක්කව ආදාහනය කළා ගඟ ගාවට ගෙනිහිල්ල. අපට එයාව වෙන තැනක වළලන්න බැහැ. සත්තු හාරනවා බිම එහෙම වුනොත්. උන්ටත් ඕන වුනේ එකමයි. අපි අළු පා කරලා හැරියා ගඟේ. නමුත් ඒකත් වරදක් වුණා.

අපි හින්දු චාරිත්‍ර අනුගමනය කළා කියල.  ඇයි අපේ රටේ අපිට මෙහෙම වුනේ. "
ඇය ඇගේ කතාව පටන් ගනිද්දී , දෙමාපියන් සිහිව හඬද්දී ඇය මට කුමක් කියාවිද යන්න ගැන මට හැඟීමක් තිබුනේ නැත. ඇගේ සොයුරිය ගැන පැවසූ සිද්ධියෙන්  මගේ සිත දැඩි ලෙස සසල විය, නමුත් ඇයට මීටත් අමාරු කථාවක් කීමට ඉතිරිවී ඇති බව මගේ මුග්ධ මොළයට  එදා එතැනදී වැටහුනේ නැත. මම අගේ අත් දෙක මගේ දෙඅතට ගත්තෙමි.

"මට ඕකට පිළිතුරක් නැහැ. එංගලන්තේ හේවායෝ වෙන රටවලට ගිහාම ඔය වගේ සමහර සිද්ධි දෙක තුනක් වුණා. මම ඉපදුන රටෙත් ඔහොම දේ වුනා. ආණ්ඩුවට විරුද්ධව සටන් කරපු සටන්කාමීන් ට දුන් වද වලට අමතරව ස්ත්‍රී දූෂණයත් භාවිතා වුනා කියල ලියවිල තියෙනවා.  විශේෂයෙන්ම 88-89 කාලේ. ආරක්ෂක හමුදාවල්  හා පාතාල හමුදාවල් වලින් තෝරගත්ත දරුණු කට්ටිය තමා හුඟක් වෙලාවට කරල තියෙන්නේ ඒවා. සටන්කාමී අයත් හැබැයි හමුදාවේ හා අනිකුත් සිවිල්  වැසියන් මැරුවා.  මෙහෙ චැනල් 4 එකේ පෙන්නුවා ලංකාවේ තිබුණු සිවිල් යුද්ධය අවසන් වෙනකොට සමහර හමුදා භටයන් විසින්  දුෂණය කල මරා දමපු සටන්කාමී තරුණියන්. මම ඒවා  විශ්වාස කලේ නැහැ මුලදී . ඒවා පෙන්වනවාට විරුද්ධව උද්ඝෝෂණ වලටත් ගියා. මොකද ගරිල්ලන් සිය දිවි නසා ගන්නා බෝම්බ වලින් මිනිසුන් මැරූ  නිසා සහ ගම් වැසියන් මැරූ නිසා.  දැන් හිතනව ඒවා වෙන්න ඇති කියල. ඒවාට අනුකුලතාවය  නොදක්වපු ඒවා නොඉවසපු හමුදා සාමාජිකයෝ ඒවා වීඩියෝ කරලා එලියට දාන්න ඇති මිනිසුන්ට බලන්න. "  ඇගේ හිත හදන්නට මෙන් කියුවෙමි.

"මං දැක්කා ඒක. අපි ලංකාව ගැන අහල තියෙන්නේ අපට වැඩිය සාමකාමී රටක් හැටියට. අපේ ප්‍රවෘත්ති එච්චර විස්තර දෙන්නේ නැහැ. මෙහෙදී තමා මම දැන  ගත්තේ ඔයා ආපු රටේ යුද්ධය. ඒ චිත්‍රපටිය  බැලුවාම මට අපුලක් දැනුන ඒ හේවායෝ කරපු දේ ගැන. නමුත් එතන දෙපැත්තම  මිනි මැරුව  බව  ජෝන් ස්නොව් කිව්ව. මෙතැන එක ගමේම පිරිමි ප්‍රියාන්. එක ගමේ. අපි කාටවත් මුකුත් කලේ නැහැ. අපි අහිංසකයි.ඔයාට
සමාන කරන්න බැරි දේ තියනව. ඔයා මගේ හිත හදන්නද කියන්නේ මේවා වෙන අයට  වුනා කියල. මගේ හිත කැඩිලා බිඳිලා හුඟක් කල්."  ඇගේ  වදන් මා තුල කිසියම් නොසන්සුන්තාවයක් ජනිත කළේය.  මා සිතුවේ ඇයට අවශ්‍ය වී ඇත්තේ ඇගේ  දුක සහ ප්‍රශ්න මට කීමට බවත් මවිසින් පණ්ඩිතමානීව ඇගේ  කුමක් හෝ මා නොදන්නා  මේ දුක්ඛිත ප්‍රශ්නය විසඳිය යුතු බවත්ය.  මගේ පණ්ඩිත කම මගේ සංවේදී කමට වඩා  ඉස්මතු විනිද?

"මිනිස්සු තමන්ට වැඩිය වෙනස් අයට කැමති නැහැ. මිනිස්සු නූගත් වෙන තරමට ඒක වැඩියි. මට ඔයාගේ දුක හොඳටම තේරෙනවා. දෙවන ලෝක යුද්දෙදි ජර්මන් සොල්දාදුවෝ නැගෙනහිර යුරෝපිය ගම්  වැසියන් මැරුවේ ඒ ගම්වල අයගෙම සහයෝගයෙන්. ස්ත්‍රී දුෂණය කලෙත් එහෙම මයි. අනිත් පැත්තට රුසියන් සොල්දාදුවෝ ජයග්‍රහණය කරගෙන ආපු වෙලාවේ ජර්මනියේ අතට අහුවන හැම ගැහැණියෙක්ම   වගේ දුෂණය කෙරුව. පලි ගන්න. මම ඔයාට මට  යාළුවෙක් කිව්ව කතාවක් කියන්නද? මේක වුනේ රුසියාවේ. සෝවියට් දේශය තිබෙන කාලේ."
ඇය නිහඬව හිස වැනුවාය. ඒ මොහොතේ දී පවා ඇගෙන් තව දුරටත් ඇගේ කතාව අසනු වෙනුවට මා  දන්නා දෙයක් කීමෙන් ඇගේ දුක අඩු වේවිය යන බොළඳ  සිතුවිල්ලට  මා යටත් වූයේ  යයි සිතමි.

"මේක මට කිව්වේ රුසියාවේ හිටපු යාළුවෙක්. සෝවියට් දේශය කාලේ  එහෙ ඉගෙන ගත්තු කෙනෙක්. එයාගේ ර.....කියල යාළුවෙක් ඉඳල තියෙනව පෙතිගොර්ස්ක් හරි පල්තාව හරි වගේ නමක් තියෙන නගරයක. ඒ ගොල්ල රුසියන් භාෂාව උපාධියට හදාරන අය හැටියට ගිහින් තියෙන්නේ එහෙ. වාමාංශික වගේ නැම්මක් තිබුන අරාබි රටවලින් ආපු සිසුන් වගේම ලතින් ඇමෙරිකානු රටවලින් හා අප්‍රිකානු රටවලින් ආපු සිසුනුත් හුඟක් හිටිය සෝවියට්  රුසියාවේ. මේ ආසියානු සිසුන්ට අමතරව. අරාබි උන්ට ටිකක්  සල්ලි වැඩි පුර තිබ්බ අනිත් සිසුන්ට වඩා. උන් තමා  හුඟක් වෙලාවට හොරෙන් ඩොලර් මාරු කලේ  වැඩි ගාණට. උන්ට අනිත් එක නේවාසිකාගාර පරිපාලනයේ සහය තිබ්බ. තෑගී හෙම දීල අල්ලගෙන. ඒගොල්ලන් ගේ කණ්ඩායමට හුඟක් කලින් ආපු කට්ටියකගේ එක්  අරාබි සිසුවෙක් රුසියානු තරුණියක් සමග යහළුවෙලා ඇයට  ගෑණු දරුවෙක් ලැබිල තිබුන. මොකක් හරි අරාබි නමක් සහ රුසියන් නමක් දාල තිබුනේ මේ ගෑණු දරුවට. මේ කෙල්ල අවුරුදු 18-19 ක  විතර, මිශ්‍ර සම්බන්ධයකින් උපන් නිසා ජාතීන්  දෙකේම හැඩයන් ගත් ලස්සන තරුණියක්. කළු හිසකේ තියෙන සුදු අරාබි වගේ තරුණියක් . එයා  මුලදී ලිබියන් තරුණයෙක් එක්ක යාළු වෙලා ඉඳල තිබෙනවා. ශිෂ්‍ය නේවාසිකාගාරෙට ඇවිත් ගිහින් තිබෙනවා නිතරම. පස්සේ මේ ගෑණු  ළමයා  ලතින් ඇමෙරිකානු,  මං  හිතන්නේ බොලිවියන් සිසුවෙකු සමග යාලු වෙලා. ලිබියන් එකාව අත ඇරලා. මේක ඇල්ලුවේ නැහැ ලිබියන් උන්ට. උන්ට අනුව න්ගේ ආත්ම අභිමානයට සහ රටට විතරක් නෙමේ ගඩාෆිටත් නිග්‍රහයක් මේක. මුන් මේ කෙල්ලට දවසක් කතා කරලා "තේකක් බොන්න එන්න අපේ කාමරේට. ඔයා අපේ ඇරබික් ළමයෙක්නේ. " කියල. අර කලින්  යාලු වෙලා හිටි ලිබියන් එකත් මෙතනම ඉඳල තිබෙනවා. කෙල්ල ගියාම මුන් කෙල්ලට බැනලා පිට ජාතිකයෙක් එක්ක යනවා කියල මුන් හතර පස් දෙනෙක් ඇයව දුෂණය කරලා කාමරෙන් එලියට දාල. ඇය අඬ අඬා මුන්ට කෑ ගහනවා අනිත් සිසුන් දැකල තිබෙනවා. කෙල්ල බලධාරීන්ට පැමිණිලි කළාට වැඩක් වෙලා නැහැ. එක හේතුවක් තමා කෙල්ල ඉගෙන ගන්නේ නැහැ එතන. පිටින් ආපු කෙල්ලක්. අනික විදේශ ශිෂ්‍යයෝ හමු වෙන්න පිටින් එන කෙල්ලන්ව ගණන් ගන්නේ ටිකක් නරක විධිහට පොලිසිය වුනත්. පොඩ්ඩක් ගණිකාවන් ගේ තත්වයට දාල." සියාමා ගෙන් පිළිතුරක් නොලද්දෙන් මම මගේ කතාව කරගෙන ගියෙමි.

"මේ කෙල්ල අර දුෂණය කිරිල්ලෙන් ගැබ්බර වෙලා. සෝවියට් දේශයේ නීතියක් තියෙනවා ළමයෙක් හම්බ වෙන්න එනවා නම් පිරිමියා අනිවාර්යයෙන්ම ඒ කාන්තාව කසාද බදින්න ඕනේ කියල. හැබැයි කාන්තාව නම් කරන්න ඕනේ කවුද පිරිමියා කියල හරියටම. අර කෙල්ල ගර්භනී වෙලා මාස 3-4 කට පස්සේ අර ලිබියන් උන්ගේ කාමරේට ගිහින් උන්ට කියන්න කෙල්ල එකෙක්ව නම් කරනවා කියල. මුන් ඒ කෙල්ලව නිරුවත් කරලා බඳ පටි වලින් ගහල, සිගරට් කොට වලින් පුච්චලා, වයින් හරි වොඩ්ක හරි බලෙන් පොවල සෑහෙන වදයක් දීල. පස්සේ කෙල්ලගේ ඇඳුම් විසි කරලා උන් හිටිය තුන් වන තට්ටුවේ ජනේලෙන් එලියට. කෙල්ල කාමරෙන් එලියට දාල නිරුවතින් ඇඳුම් ගිහිල්ල ගනින් කියල. කෙල්ල කෑ ගගහා පහලට  දුවල තියනවා නිරුවතින්. ඒ අවස්ථාවේ අප්‍රිකානු ශිෂ්‍යයෙක් ඇයව තමන්ගේ කාමරේට ඇදල  අරගෙන ඇයත් එක්ක සංසර්ගයේ යෙදෙන්න උත්සාහ කරලා. කොටින්ම  දුෂණය කරන්න. ඇය  ඔහු එක්ක පොර බදන කොට ඔහු ළඟ තිබුන ශම්පේන් බෝතලේකින්  කෙල්ලට ගහල. ලේ විලක්ලු. කෙල්ල ඊට පස්සේ සිහි මඳ  ගතියකින් පෙලෙන්න අරන් නතර වෙලා තියෙන්නේ සිහි මඳ අයට  තිබෙන රෝහලක.  " මම කතාව  අවසන් කලෙමි.

"සෝවියට් රට ගැන මම අහල තියෙනවා. ඒ වගේ රටකත් එහෙම වුණා නම් අපේ රට වගේ වැඩිපුර නුගත් මිනිස්සු ඉන්න රටක වෙන දේවල් වලට සමාව දෙන්න පුළුවන් කියලද ඔයා කියන්නේ ප්‍රියාන්. ඔව් ඔයත් පිරිමියෙක් නේ." අප්‍රසන්නයට පත් වූ ලෙසින් ඇය කීවාය.

"මම එහෙම හිතල නෙමේ ඒ කතාව  කිව්වේ සියාමා. ඔයාගේ හිත හදන්න "

"මේක වෙලා අවුරුදු ගාණක්. මම හිත හදා  ගෙන නැති දුබල ගෑණියෙක්  කියලද ඔයා  හිතන් ඉන්නේ. මම අඬනවා තමා"

එසේ කියමින් ඇය නැගිට්ටාය.
"ඔයා  යන්න දේශන වලට" මට කීවාය.

"ඇයි අදත් ඔයා එන්නේ නැත්ද?"

"මම එන්නම් දෙවෙනි එකට. ඔයා දන්නවද අක්කාව දරුණු විධිහට මරා දාල බව කියන්න තාත්තයි අපිට හිතවත් ගමේ කෙනෙකුයි පොලිසියට ගිහාම පොලිසියේ ලොක්ක කියපු දේ. බංගලා දේශයේ වෙන ගම් වලත් ඕවා වෙලා තියෙනවා, අපේ රටේ නෙමේ වෙන රටවලත් ඕව වෙනවා, කියල. ඌ කොහොම හරි මිනී මරුවා හොයනවා කිව්වලු. සාක්කි නැහැ කිව්වලු. හැබැයි අපට ආරංචි ආව පොලිසියේ දෙන්නෙකුත් අරුන් එක්ක එකතු වෙලා එතන හිටිය කියල. ඔයයි  පොලිසියේ ලොක්කයි අතර වෙනස මොකක්ද? "
එසේ කියා ඇය පුස්තකාලය දෙසට පිය මැන්නාය.

මහත් ව්‍යාකුල භාවයකින් යුතුව මම දේශනා ශාලාවට ගියෙමි.
දෙවන දේශනය සඳහා පැමිණි ඇය මා අසලින් හිඳ ගත්තාය. ඇය කෝපයෙන් පසු වෙතැයි සිතීමි. මට මදහස මුසු බැල්මකින් සංග්‍රහ කල ඇය දේශක ගුරුවරයා හැරෙන තුරු සිට මගේ දේශන ලියන අභ්‍යාස  පොතේ කොනක "මම ඔයාට කැමතියි ඔයා කොච්චර වාද කලත්" කියා ලීවාය.

"මමත් ඔයාට කැමතියි සහෝදරියකට වගේ" මම ලීවෙමි.
"Big brother ලොකු සහෝදරයෙකු හිටිය නම් කොච්චර හොඳද කියල මටත් හිතිලා තිබෙනවා " ඇය ලීවාය.
"දැන් ඉන්නවයි කියල හිතන්න" මම ලීවෙමි.
අප අසල සිටි හිටපු භෞතික විද්‍යා ගුරුවරයකු වන රෝලන්ඩ් අප දෙස බලා ඇසක් ඉඟි මැරීය. ඔහු  මගේ පිටුවේම කෙළවරක "මම හිතුවේ ලව් නෝට්ස් පන්තියේ ලියන්නේ පාසල් වල ඉහල පන්තියේ තරුණ තරුණියන් විතරයි කියල." යයි ලීවේය.
 "එහෙම දෙයක් නැහැ. " මම ලීවෙමි.
සියාමා  සුන්දර ලෙස සිනා වෙමින් සිටියාය.
ඊළඟ දින දෙකේම ඇය පැමිණියේ නැත. මම ඇයට ඒ බව විමසා ඊමේලයක් යැවීමි. දිනක් පසුවී  ලැබුණු පිළිතුරේ සඳහන් වූයේ  ඇගේ නැන්දාට  අසනීප  නිසා ගෙදර නවතින්නට සිදු වූ බවත් නැන්දාට කිසියම් රුධිරය හා සම්බන්ධ  අසනීපයක් තිබෙන නිසා රෝහලට යාමට සිදුවූ බවත්ය.

ඊළඟ  දවසේ පැමිණි ඇය කිවේ නැන්දාට පිළිකාවක් සැදී ඇති බවට වෛද්‍ය වරුන් සැක  කරන බවයි.  මම ඇයට හැකි සෑම උදව්වක් ම කරන බවට පොරොන්දු වුනෙමි. වැඩි යමක් කිරීමට නැති බවත් රෝහලට යාම ඒම මදක් අපහසු බවත් ඇය පැවසුවාය. ඉන්පසු දිනෙක ඇගේ හිසකේ පෙන්වමින් ඇගේ හිසකේ හැලෙන බව මා නිරීක්ෂණය කළේ දැයි විමසුවාය. තමන්ට ලේ වල ප්‍රශ්නයක් ඇත්දැයි සිතෙන බවත් කෙස් හැලෙන බවත් හිසේ තැනක්  පෙන්වමින් ඇය කීවාය. දිගු  කෙස් කළඹ වල් ඇති කාන්තාවන් ගේ කෙස් ප්‍රමාණයක් දවසට හැලෙන බවත් ඇය එය ගනන් නොගත යුතු බවත් කීවෙමි.
ඉන්පසු අප අතර ඒ ගැන කතා බහක් නොවීය.
මගෙන් බාධා ඇතිවූ පසු ඇගේ ජීවිතය ගැන මින් පසු මට නොකියා වී යයි මට සිතී  තිබුණි. ඇගේ දෙමාපියන් ගැන දැන ගන්නට වුවමනාවක් ද මට පහළවී තිබුණි.
වැඩි කල් නොගොස් ඒ දවසද එළඹුණේ අනපේක්ෂිත ලෙසය.

(මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)

හතරවන කොටස 




Sunday, 28 June 2015

සියාමා 2 - ආදරණිය සොයුරියේ


එතැන් පටන් දෙසතියක් පමණ යනතුරු අප දේශනාවලදී හමුවී කතා කලත් ඇගේ දෙමාපියන් ගැන මම නොවිමසුවෙමි.  කතා කලේ විෂයන්ට අදාළ දේ පමණි. ඇයට තීසිසය  සඳහා අවශ්‍ය වුයේ එක්ස්පෝ - ප්ලනට් හෙවත් වෙනත් සුර්ය ග්‍රහ මණ්ඩල වල ග්‍රහ ලෝක ගැන සෙවීමටය. මේ වන විට එවැනි ග්‍රහ ලෝක 600 ක් පමණ සොයාගෙන තිබු අතර තාරකා විද්‍යාව හදාරණ අයට මේ පිළිබඳව දැඩි උනන්දුවක් තිබුණි. හැමෝම උද්යෝගයෙන් කතා කලේ ඒ ගැනයි. අපත් කතා කලේ ඒ ගැන පමණි. ඇය හැඬු ඒ දවස ගැන අමතක කළ මම  ඇයට අවශ්‍ය වෙලාවක, ඇය  විඳවන වේදනාබර මතකයකින් ඇගේ සිත නිදහස් කර ගැනීමට  මා ආමන්ත්‍රණය කරනු තුරු බලා සිටියෙමි.

 මයිල් එන්ඩ් උමං  දුම්රිය පළින් එලියට පැමිණ වමට හැරී විශ්ව විද්‍යාලය පැත්තට එන අයෙකුට මයිල් එන්ඩ් උද්‍යානය හමුවේ. පාර යන්නේ උද්‍යානය දෙකට බෙදමිනි. මේ උද්‍යානයේ පියකරු වතුර මල් තිබෙන පැත්තක්ද කුඩා පොකුණක් තිබෙන පැත්තක්ද ඇත. කලින් පැමිණෙන වේලාවට මේ උද්‍යානයේ ඇති බංකුවක වාඩිවී  පොතක් කියවීමට හෝ තේ එකක් බීමට  මම පුරුදුව සිටියෙමි. සියාමාද මා අනුවම එම පුරුද්දට වැටුනාය. අප බොහෝ විට දේශන වලට යාමට ප්‍රථම හමු වූයේ එතනය.

ඒ දවස උදාවිය. හැබැයි එය මෙතරම් දරුණු ලෙස මගේ සිත දුකින් මෙන්ම මිනිසුන් කෙරෙහි වෛරයකිනුත්,  සියාමා පිලිබඳ දැඩිම දැඩි අනුකම්පාවකිනුත් පිරි යාවි යයි මම නොසිතුවෙමි. මා පැමිණියේ පැය එකහමාරකටත් කලින්ය. රැකියා ආයතනයේ කෑම පැය  මග හැර දිගටම වැඩ කිරීමෙන් පසු මට කලින් පිටව යා හැකිය.  එදින ඇයද සුපුරුදු බංකුවේ තාරකා ගැන කියවමින් සිටියාය. මගේ අතේ තිබු තේ දෙකින් එකක් ඇයට  දුන් මම මා  ගෙනා බිත්තර සුදු මදයෙන් හා කස්ටඩ් සීනි වලින්  සාදන ප්‍රනීත මෙරැන් (meringue)  වලින් එකක්ද දුනිමි. ඇය ඒවා කෑමට කැමති බව දැන  සිටියෙමි.
සෙමින් සෙමින් එය කඩා ගෙන කමින් කට හඬ අවදි කළ ඈ,
" මගේ තාත්තා ගණිතය ගැන දේශණ කල විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්. බ. දේශයේ  ජාතික විශ්ව විද්‍යාලයේ  ඉගැන්වුයේ.  අපි හිටියේ කශිම්පුරය  ළඟ ගමක.  බොන්ෂයි ගඟටත් ලඟයි  ඒ හරිය. තාත්තා හිටපු ගමන් අපිව එක්කන් යනවා ගඟ දිගේ ඇවිදින්න හරි,  බෝට්ටු සවාරි හරි. හරිම සුන්දරයි ගඟ දෙපැත්ත. අක්කයි මමයි පුංචි මල්ලියි හරිම ආසයි ඒ ගමන් වලට. "

"ඔයා දෙවැන්න නේද පවුලේ " මම ඇසුවෙමි.

"ඔව්. අපේ තාත්තා හරියට පොත් කියවනවා. තාරකා විද්‍යාව, අභ්‍යවකාශය ගැන. මං  හිතන්නේ තාත්තත් අදේවවාදියෙක් වෙන්න ඇති"
"ඔයාට කියල නැත්ද?" මා ඇසුවෙමි.
"නැහැ. තාත්ත ළඟ තිබුන පොත් අතර අර රැවුල් තියෙන අයගේ පොතුත් තිබුන. අනේ මං  හිතුවේ කවුරුහරි වැදගත් ඉස්ලාමික මුල්ලා කට්ටිය  කියල පිටරට ඉන්න. මෙහෙට ආවමයි දැන ගත්තේ ඒ කවුද කියල. අපේ ඉස්ලාමික ගුරුවරු ඔක්කොම රැවුල් වවාගෙන නේ ඉන්නේ" ඇය ලජ්ජාවෙන් මෙන් පැවසුවාය.

"ඔයා කියන්නේ මාක්ස්, එංගල්ස් ගැන නේද? සමහරවිට කැස්ත්‍රෝ ත්. තාත්ත හොඳ වාමාංශිකයෙක්ද?"

"වෙන්න ඇති. හැබැයි ඒකම ප්‍රශ්නයකුත් ඇති කරන්න ඇති."

"ඒ කිව්වේ" මා  ඇසුවෙමි.
"තාත්තා  ආගමට ගරු කරන්නේ නැහැ කියල විශ්ව විද්‍යාලේ පැතිරිලා තිබුන මම හිතන්නේ. ඒ විශ්ව විද්‍යාලෙම  වැඩ කරන සුළු සේවකයෙකුත් නිලධාරියෙකුත් ගමේ හිටිය. ඒ ගොල්ල ඒක  ගමෙත් පතුරුවල තිබුන මම හිතන්නේ. අනික ගමේ හුඟක් අය  අප ගැන ඉරිසියයි වගේ තේරුණා. අපි සතුටෙන් හිටියේ. තාත්තට සීය, ආච්චිත් මුදලින්උදව් කරලා ගත් පරණ කාරෙකකුත් තිබුන. තාත්තගේ නංගි, මගේ නැන්ද  එංගලන්තේ ඉඳන් උදව්කලා අපට අමාරු වෙන කොට.  අම්මත් තාත්තත් හමු වී තිබුනේ විශ්ව විද්‍යාලයේ. ආදර සම්බන්ධයක්. ඒකත් සම්ප්‍රදායට අනුව නෙමේ. අම්ම ලිපිකාරිණියක් වුනත් රස්සාවකට යන්නේ නැතුව අපව බලා ගන්න  ගෙදර හිටිය. ඒත් මං  හිතන්නේ නෑදෑයන්ගේ හා අසල්වාසීන්ගේ කතාවලට එහෙම කලා කියල.  අපි දෙන්න ඉස්කෝලේ යනවාටත් කට්ටිය විරුද්ධ වුනා. අක්කයි මමයි.  සමහර ගැහැණු ළමයි ඉස්කෝලේ ගියේ නැහැ. එහෙම නැත්නම් යන්තන් ලියන්න කියන්න ඉගෙන ගත්තම ගෙදර නැවතුනා.  "
"හරියට 1920 ගණන් වල ශ්‍රී ලංකාව වගේනේ. දැන් ලංකාවේ එහෙම ඔහොම නැහැ.  නමුත් දැන් බ. වල ගැහැණු ඕන තරම් වැඩ කරනවා නේද? බංගලා දේශය  ඔයිට වැඩිය  දියුණුයි කියල මම හිතුවේ. "
"ඔව් ගාමන්ට් වල අඩු පඩියට කෙල්ලෝ වැඩ ක‍රනවා. අනික  ප්‍රියාන්  මම මේ කියන්නේ අවුරුදු 15 කට විතර කලින් තත්වේ. මගේ දැන් වයස කීයද?"
"ඔව් හරි හරි. ඒක ඇත්ත." ඇයගේ කතාවට බාධා කිරීමට මගේ සිත් නොදේ.
"මගේ අක්කා හරිම ලස්සනයි ප්‍රියාන්. අක්කාගේ ඇස් ළා දුඹුරු පාටයි.ඉර එලියට ඒවා කොළ පාට වගේ වෙනවා. අක්කට මායා කාරී කියල ගමෙයි ඉස්කෝලෙයි කෙල්ලෝ කිව්වේ. අක්කගේ හම  ඇත් දල පාටයි. මගේ වගේ දුඹුරු නැහැ. මන් හිතන්නේ  ගමේම හිටි ලස්සන කෙල්ල එයා."
"දුඹුරු කියන්නේ කැතයි වගේනේ ඔයා කතා කරන්නේ. මෙහෙ කෙල්ලෝ දුඹුරු පාට  වෙන්න කොච්චර උත්සාහ කරනවද? ඔයා  කොච්චර ලස්සනද ? එතකොට ඔයාට වැඩිය කලුයි මම. ලැජ්ජා නැත්ද කැත මිනිහෙක් එක්ක කතා කරන්න" මම සිනා වෙමින් කියුවෙමි.
"ඒ මෙහෙනේ ප්‍රී. බ  දේශයේ  ටිකක් සුදු වෙන තරමට මනාලයෝ වැඩියි. හැබැයි කැමැති වුනේ නැත්නම් මූණට  ඇසිඩ් ගහන එකත් එහෙමම තමයි. "
"මාත් ඒක නම් අහලා තියෙනවා. දැන් මං ප්‍රී ද සියා ? " මා සිනාසෙමින්  කීවෙමි.
"හි හී හී හා හා "අතින් මුව වසමින් ඈ සිනා සුනාය. එදා හැඬු දිනයෙන් පසු ඇය සිනාසුනේ අද විය යුතුය. නමුත් ඒ සිනාව පසු පස තවත් කඳුළු ගඟක් ගලා එන බව මට ඉවෙන් මෙන් දැනිණි.
මදක් නිහඬව  සිටි ඈ නැවතත් කතා කරන්නට පටන් ගත්තාය.
"ඔයා දන්නවද ?...." ඈ නැවතත් පැකිලිමකින් මෙන් පටන් ගත්තාය.
"නෑ " මම මැදට පැන්නෙමි. ඇය  නැවතත් සිනාසුනාය. කිසියම් සිනහවක් හා සතුටක් රැඳුනු  ඒ මොහොත අද කල්පයක් වටින බව සිතමි.
"හ්ම් ඔයා  දන්නවද මේ මේ .."ඇය නැවතත් පැකිලුනාය.
"හිතා ගන්න  බැහැ ඔයාම කියන්න"  කීමි.
"මේ ගැහැණු ළමයි  පාවිච්චි කරන සනීපාරක්ෂක තුවා  හෙම"
"මම පාවිච්චි කරන්නේ හෙම නැහැ. මගේ අනිත් පළුවට ගෙනත් දීල තියෙනවා. එහෙම ලැජ්ජාවක් නම් නැහැ දැන්. ඇයි ඇහුවේ?"
"අනිත් පළුව  කීවේ. ආ තේරුණා. බ.  දේශයේ  හුඟක් ගැහැණු අය දුප්පත් වගේ අය පාවිච්චි කරන්නේ පරණ රෙදි , ගවුම් කෑලි හෙම. ඒවා හෝදනවා වරින් වර"

"ඇත්තද? පරණ කාලේ. දැන්නම් එහෙම නැහැ." කතාව  අපහසු පැත්තකට යන සෙයක් පෙනුනින් මම කෙටි පිළිතුරක් දුනිමි.

"ප්‍රියාන්  එහෙ ගම්  පැතිවල තවත් එහෙමයි.  අපේ තාත්ත අම්මටයි අක්කටයි කඩේ ඔසු සල් වල විකුණන ඒවා ගෙනත් දීල තිබුන. ඒක නවිනයි.  හොඳයි කියල. තාත්ත ඒවාට ලජ්ජා වුනේ නැහැ. එයාට  ඕනේ වුනේ අපි නවීන  විධිහට ජිවත් වෙනවා දකින්න.  ඒවා වත්තේ පහල වලක තව කුණු සමග ගිනි තැබීම කලේ තාත්ත. අපිට කුණු විසි කරන්න ක්‍රමයක් නැහැ. අවශ්‍යනම් වෙනම තැනක්  තිබ්බ කුණු ගෙනිහින් දාන්න. "

"ඒක  නම් ලංකාවෙත් එහෙමයි. මුළු ආසියාවේම ප්‍රශ්නයක්". ඇය මෙවැනි කතාවක් අපි අතරට ගෙනාවේ මන්දැයි මට එකවර වැටහුනේ නැත.

"එක දවසක් මොකක් හරි දේකින් ගිනි ගනිල නැහැ. තාත්ත ගිනි තියල ඇවිත් වෙන වැඩකට. ඉතුරු එකක් බල්ලෙක් ඇදගෙන ගිහින් වෙන වත්තකට. හෙන රණ්ඩුවක්. මාස්  ශුද්ධිය වෙන වෙලාව අපලයි කියල විශ්වාසයක් තියෙනවා. ගැහැණු රෙදි කෑලි හෝදන වැඩ පවා කරන්නේ හොරෙන්.  එළදෙන්නු  දීහා බැලුවොත් උන්ට කිරි එරෙන්නේ නැහැලු. පිරිමියෙක් කොල්ලෙක් දිහා බැලුවොත් උන්ට උණ හැදෙනවලු. ඒකට  නම් මං  කැමතියි. කොහොමද අපේ බලේ. හික් හික්. " අස්වාභාවික අන්දමට ඇය සිනා සුනාය.
"අපිට යාඥා කරන්නත් තහනම් ඒ කාලෙට ."

"අපේ රටෙත් බෞද්ධ පන්සල් ඇතුළට යන්න බැහැ  මා දන්නා විධිහට. කිළි  කියල එකක් විශ්වාස කරනවා. කෝවිල් වලට යන්නත් බැහැ. ඕවා නම් මහා  මිථ්‍යා  විශ්වාස. මුළු මනුෂ්‍ය ජිවිතයම පටන් ගන්නේ ඔය ස්වභාවික ක්‍රියාවලිය  තුලනේ.  තවමත්  මේ මැට්ටෝ මේවා විශ්වාස කරන එකනේ පුදුමේ.  " මම ඇයට  කියන්නට තැතනුවේ පසුගාමී ලෙස සිතන ආසියාතික මිනිසුන් සැම  රටකම සිටින බව කියන්නයි.

"ඒ සනීපාරක්ෂක තුවාය ගැන මහා ජරා කට කතා පැතිරෙව්වා ගමේ. අක්කට අකැමැති ගෑණු ටික මුලින්ම. ඕව ගණිකා වෘත්තියේ යෙදෙන සුදු ගෑණු අඳින  ඒවලු. අපේ තාත්ත අක්කව අරන් ගිහින් අගනුවර  සුද්දන්ට විකුනණවලු. අපට සල්ලි තියෙන්නේ ඒකලු"
"මහා ජරා මිනිස්සුනේ"

"ඔය කතාව වැඩිපුරම ප්‍රචාරය කලේ අෂ්රෆ් ගේ පුතා. අක්බාල්. අක්බාල් අක්කට වැඩිය අවුරුදු 10-15 විතර වැඩිමහල් මිනිහෙක්. අක්කා  වැඩි විය පැමිනුණ හම ඌ කසාද බඳින්න ඇහුව. අපේ ගෙදරින් කියා තිබෙනවා අක්ක ඉගෙන ගන්න බවත් ඇය තවම ලාබාල බවත්. නමුත් අවුරුදු කීපයක් ම අක්බාල් පස්සෙන් ආව අක්කගේ. ඇසිඩ් ගහනවා කියලත් කීව. මං  හිතන්නේ ඒක නොකෙරුවේ අක්ක වෙන කෙනෙක් එක්ක යාලු වුනෙ නැති නිසාත් , අපේ ගෙදරින් ඇයව බන්දලා  දුන්නෙ නැති නිසාත් වෙන්න ඕනේ.  අක්බාල් ජමාල් - අල් ....පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක්. අන්තවාදී පක්ෂයක්. ගමේ පිරිමි වැඩි දෙනෙක් උන්ට පක්ෂයි. තාත්ත උන්ට භය වුනේ නැහැ.  නමුත් තාත්ත ට අම්මට ඕන වුනේ අපට හොඳට උගන් වන්න. "

"සාමාන්‍යයෙන් අඩු වයසින් දුවලා බඳින එක බ. රටේ  කට්ටිය  මෙහෙත් කරනවා කියල මම දන්නවා. හැබැයි නීතියට අනුකූ ලව.  වයස පරතරය සාමාන්‍යයෙන්  අනිත් විවාහ වලට වැඩියි. නමුත් ඒක  නීතියට විරුද්ධ නැහැ. ඔය පක්ෂය මම අහල තියෙනවා. කෝලාහල ගොඩක් ඇති කරපු එකක්. "මම කීවෙමි.

"එදා මට ඉස්සෙල්ලම බඩේ අමාරුව හැදුනේ ඉස්කෝලෙදි. ටීචර් මාව  තව ගෑණු  ළමයෙක් එක්ක කලින් ගෙදර යැව්වා"
"බෙහෙතක් දුන්නේ නැත්ද? මෙහෙත් තහනම් නම් තමා ටීචර් ලට බෙහෙත් දෙන්න" මා කිවේ මෝඩ කතාවක්  බව වැටහුනේ ඇගේ  සමච්චල් සිනාවෙන් පසුවය.
"මම වැඩි වියට පත් වුනේ එදා බබෝ"
"සමාවෙන්න. මෝඩයි තාම "
"සාමාන්‍යයෙන් එහෙම වුණාම මිලාඩ් එකක් තියනවා. ඒ කියන්නේ උත්සවයක්. යාඥ කරන්න දෙවියන්ට, ගැහැණු ළමයාගේ අනාගතය හොඳ වෙන්න කියල. ඊට කලින් මඩුවක ඉන්න ඕනේ. කහ දාපු බත් විතරයි කන්න දෙන්නේ. ඊට පස්සේ ආච්චි ගාවට යවනවා හොඳට බිරිඳක් වගේ ඉන්නේ කොහොමද කියල ඉගෙන ගන්න.නෑදෑයින්ගෙන් තෑගි හෙම ලැබෙනවා. ඒ වගේම විවාහ යෝජනාත් එනවා.  කිරි වලට මී  පැණි දාල බොන්න ඕනේ හම ලස්සන වෙන්න. ගෑණු ළමයට දෙමව්පියන් දෙනවා ලස්සන කාශ්මිරි වගේ රෙද්දක්. ඒකෙන් දෙතනයි ඔළුවයි වහ ගන්න ඕනේ ඉන් පස්සේ පහු. මාස්  ශුද්ධිය දවසට යකඩ කෑල්ලක්  අතේ තියන් ඉන්න ඕනේ ආරක්ෂාවට. නැත්නම් නරක ආත්ම  එනවලු. "  ඈ ලොකු විස්තරයක් කළාය.

"ලංකාවෙත් මන් දන්නා විධිහට එහෙමයි සියා. දවස් හතක් ගේ ඇතුලේ කාමරේක තම්බුම් හොදි එක්ක බත් කන්න ඕනේ. ඒ කියන්නේ  සුදුළුණු වලින් හදන සුප් එකක්. පිරිමි මුණ ගැහෙන්න බැහැ. තමන්ගේම පියා  හෝ සහෝදරයෝ වුනත්. රෙදි නැන්ද හරි ඒ කියන්නේ ඩ්‍රයි  ක්ලීනින් කරන කෙනෙක් හරි  වෙන වයසක කෙනෙක් හරි නාවන්න ඕනේ හත් වෙනි දවසේ . දවස් හතක් නාන්නේ නැතිව ඉන්නේ. ඊට පස්සේ ඔය වගේම ලොකු උත්සවයක් ගන්නවා. හුඟක් අය කියනවා එහෙම ගන්නේ ඊට පස්සේ ගෑණු  ළමය පැනල යයිද කියල දන්නේ නැති නිසාලු. මේ රටේ හෙම ලංකාවේ කට්ටිය වුනත් ඕව නම් කරන්නේ නැහැ. එකක්  ඒවා කරන්නත්  බැහැ ඇත්තෙන්ම. පාටිය විතරයි ගන්නේ " මම විස්තර කලෙමි.
"ප්‍රියාන්, අපේ කට්ටිය නම් මෙහෙත් කරනවා. "
"මම ගෙදර ළඟ  මඩුවක ආච්චි එක්ක හිටින කොට තමා ආරංචිය ආවේ. අක්ක ගෙදර ඇවිත්  නැහැ.  මම නැති නිසා එයා තනියම එන්න ඕනේ"
"අනේ ප්‍රියාන් "
ඇය හඬන්නට ආසන්න බව මට වැටහුණි. මම ඇගේ අතක් අල්ලා ගතිමි.
"අමාරු නම් නොකිය ඉන්න "
"නැහැ මට කියන්න ඕනේ. තාත්ත අක්කව  හොයල හොයල ගෙදර ඇවිල්ල. තාත්ත හිටියේ පිස්සුවෙන් වගේ. කවුරුත් කෑවේ නැහැ එදා රෑ. මල්ලිට විතරක් අම්ම කවල. දෙවෙනි දවසෙත් අක්ක නැහැ. අම්ම ඔක්කොම චාරිත්‍ර පැත්තකට දාල මාව ගෙට ගත්ත. ආච්චියි මායි මල්ලියි ගෙදර තියල අම්මයි තාත්තයි පොලිසියටයි දන්නා  හැම තැනටමයි ගිහින්  අක්කව හොයන්න "
"තුන්වන  දවසේ  උදේ .............."
ඇයට තද ඉක්කාවක් ගියේය. මම වහා බෑගයෙන්  වතුර බෝතලය ඇද  ඇගේ හිස පිටුපස ඇල කොට වතුර ටිකක් පෙවීමි .  ඇය දරුණු වේදනාවක් යටපත් කිරීමට තතනන බව මට දැනුනි.
හිස දණහිස් අතර රුවා  ගත්  ඈ හඩන්නට වූවාය.

https://www.youtube.com/watch?v=lcH0AjUvwCQ

(මේ දෙවන කොටසයි. මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)

තුන්වන කොටස