Monday 9 March 2015

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2014

පුරවැසි ජනමාධ්‍ය භාවිතාව  ප්‍රචලිත කිරීමටත් , බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු සීමා අතික්‍රමණය කිරීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන බ්ලොග් සම්මාන උළෙල මේ මස 26 වනදා සවස 2.00 සිට සවස 6.00 දක්වා පැවැත්වෙයි. 
 නෙලුම්යාය සංස්කාරකවරයාගේ හැඳින්වීමකින් ආරම්භ වන උළෙලේ ප්‍රධාන දේශනය   "ශ්‍රී ලංකාවේ බ්ලොග් කලාව හා පුරවැසි ජන මාධ්‍ය" යන මැයෙන්  පුරෝගාමී බ්ලොග්කරුවෙකු  (සතර දිගන්තය බ්ලොගය) වන ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පවත්වනු ලබයි. 

"දිලාගේ ලෝකය" බ්ලොග් අඩවියේ දිලිනි නිමන්තිකා  විසින් රචිත නෙලුම් යායේ තේමා  ගීතය "මනාගේ ගේ පින්තුරය" බ්ලොගයේ  මනෝජ් පෙරේරා විසින් ගයනු ලබයි.

ප්‍රවීන විද්‍යා ලේඛකයෙකු හා "සිව් මංසල කොලු ගැටයා " ලියන නාලක ගුණවර්ධන මහතා "අන්තර් ජාල ආරක්ෂාව හා  හා බ්ලොග් අඩවි  ප්‍රවර්ධනය " ගැන දැනුම් සම්භාරයක් ඉදිරිපත් කරනු ඇත.
ඔබේ රස වින්දනය සඳහා "අන්තජාල කෝලම" කින්  රස  ගැන්වෙන උත්සවයේ තවත් පුරෝගාමී බ්ලොග්කරුවෙකු හා ප්‍රවීණ ලේඛකයෙකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා විසින්  "බ්ලොගර්ස්ලා යනු ( දෙශීය හා ජාත්‍යන්තර සංසන්දයක් සමඟ ශාස්ත්‍රීය විග්‍රහයක්) " මැයෙන්  අදහස් දැක්වීමක් කරනු ඇත.
ඉන් පසු සම්මාන  සඳහා නෙලුම්යාය  ඉදිරිපත් කල බ්ලොග් නිර්මාණ ගැන හැඳින්වීමක් කරනු ලැබේ. තේරුණු ස්ථාන සඳහා මුදලින් ත්‍යාග පිරි නමනුයේ නේෂන් බිල්ඩින් සොසයටි (Nation Building Society) අනුග්‍රහයෙනි.
 ඒ සඳහා නෙළුම් යාය සහෘද සමුහය විසින්  තෝරාගත් බ්ලොග් අඩවි මෙසේයි. 
  • 2014 වසරේ හොඳම බ්ලොග්  කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ 
     බ්ලොගය: http://maathalan.blogspot.co.uk/ 
  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
           දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි 

           බස්සි  (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-            
            http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html
        

  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන  ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය 

           දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html
           

  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  - ප්‍රථම ස්ථානය - 

             ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html
            
  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -දෙවන  ස්ථානය - නිල්  කට්රොල් මල්   - රවී වීරසිංහ
             http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -තුන්වන   ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධ http://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html
 බ්ලොක් කරුවන්ගේ අදහස් හා අත් දැකීම් බෙදා හදා ගැනීමෙන් අනතුරුව  කොට්ටාව  මහල්වරාවේ - ඩවුන්ටවුන් පල්ස් (බේකරියේ සෙට් එක) ඉදිරිපත් කරන සංගීතමය නර්තනමය වැඩ සටහනිකින් අනතුරුව දිනය නිමාවට පත්වනු ඇත.
ස්ථානය: ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාව 
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
නො 163, කිරුලපන මාවත, කොළඹ 5

~~~~~~~~ඔබ සැමට කරන සුහද ආරාධනයයි මේ.  ~~~~~~~~~~~~~~~




Sunday 1 March 2015

අව්ජිත් රෝයි ගේ ඝාතනය හා රයිෆ් බධාවී ගේ සිර දඬුවම හෙළා දකිමු

අව්ජිත් රෝයි,  ඔහුගේ බිරිඳ සමග බංග්ලාදේශයේ ඩකා නගරයේ ඇවිද යමින් සිටියදී මුස්ලිම් අන්තවාදීන් දෙදෙනෙකු විසින් මරා දමන ලදී. මේ පිළිබඳව බොහෝ දෙනා ලියා  ඇති බවට සැකයක් නැත.  මෙහිදී මට ඇතිවන ප්‍රශ්නය නම් අපි බොහෝ දුරට රටක සිටින සුළු ජාතියක් වශයෙන් හෝ සුලුතරයකගේ ආගමක් අපහසුතාවයකට පත් නොකරන්න යයි සිතා ඒ පිළිබඳව හඬක් නොනැගීමයි. මෙය තව දුරටත් නිවැරදි නොවේ.
අපි ඕනෑම අන්තවාදයකට විරුද්ධ නම් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ නොවී සිටීමේ තේරුමක් නැත. අව්ජිත් රෝයි අදේවවාදියෙකු වශයෙන් තමන්ගේ අදහස් නිර්භයව පල කළේය. බ්ලෝග ලෝකයේ දැවැන්තයකු වූ ඔහු මරා දැමීම බ්ලොග් ලෝකයේ නිදහස් අදහස් ප්‍රකාශනයට  එල්ල කල දැඩි ප්‍රහාරයකි. කිසිම  පැකිලීමකින් තොරව එය හෙළා  දැකීමටත් අපරාධකරුවන්ට දඬුවම් දීමටත් බංග්ලාදේශ රජයට බල කල යුතුය.
බුරුමයේ බෞද්ධ අන්තවාදින් විසින් මුස්ලිම් වරුන්ට කල පහරදීම් අප  හෙළා දුටුවෙමු. ශ්‍රී ලංකා වේ අලුත්ගම දී අහිංසක මුස්ලිමුන්ට කල පහරදීම් හෙළා දුටුවෙමු.
එසේ වතුදු මුස්ලිම් අන්තවාදීන්ගේ මේ නවතම සාහසික ක්‍රියාව පිළිබඳව බංග්ලාදේශයේ නිදහස අගයන ජනතාව  හැරෙන්නට අනිකුත් රටවල මුස්ලිම් ජනතාව මෙන්ම බොහෝ වාමාන්ශිකයන්ගේ  දැඩි නිහඬබවද කන් බිහිරි කරවන සුළුය.  අප මේවාට විරුද්ධව හඬ නොනැගුවොත්  එවිට එතනට එන්නේ, ඒ තැන ගන්නේ ෆැසිස්ට් වරුය. යුරෝපයේ විශේෂයන්ම ජර්මනියේ, ප්‍රංශයේ, එංගලන්තයේ සිදුවෙමින් පවතින්නේ එයයි. එංගලන්තයේ  මන්ත්‍රී ජෝර්ජ් ගැලොවේ වමේ සිටිමින් අන්තවාදී මිනීමැරුම් හෙළා  නොදැකීමෙන් අනියම් සහයක් දෙන්නේ  ෆැසිස්ට් වරුන්ටය.
රයිෆ් බඩවි බ්ලෝග් කරුවා අත් අඩංගුවට ගෙන ඒක පාක්ෂික නඩු විභාගයකින් වරද කරු කලේ සවුදි අධිකරණයයි. ඔහුට කස පහර 50ක්  සෑම  සිකුරාදාවකම දීමට නියම කල අතර එය දැන් ක්‍රියාවට නැංවේ. ඔහුට මරණීය දණ්ඩනය නියමකිරීමේ අවදානමක්ද තිබේ.
ඉතාමත්ම මර්දනකාරී මිනිස් අයිතිවාසිකම් සීමිත සවුදි අරාබියට රැකවරණ සලසන්නේ ඇමෙරිකා  එක්සත් ජනපදයයි.  බ්‍රිතාන්‍යය ද මෙහිදී නිහඬව සිටි. නමුත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා අනෙකුත් අදේවවාදී හා මානුෂික අයිතීන් (humanists) පිළිබඳ සංවිධාන මේ ස්ථාවරය විවේචනය කරමින් බඩවි නිදහස් කරන ලෙසත් සවුදි අරාබියේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය හෙළ දකින ලෙසත් උද්ඝෝෂණ කරයි. සවුදි අරාබිය මෑතකදී සියලුම අදේවවාදීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කර පනතක් සම්මත කර ගත්හ. තමන්ගේ කාම සුඛල්ලිකානු යෝගී දිවි පැවතුම්  සුරක්ෂිත කර ගැනීමටත්, තෙල් සල්ලි වලින් සවුදි ඒකාධිපති වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය රැක  ගැනීමටත්, සවුදී රජ කල්ලිය හා තෙල් ධනවතුන් මිනිසුන් මඩිමින් නිදහස සිමා කරමින් අත්තනෝමතික පාලනයක් ගෙන යයි. එසේම අයිඑස් අයිඑස්  නැමති අන්ත අමානුෂික ත්‍රස්ත කල්ලියට හා උන්ගේ මිනීමරු ඉස්ලාමීය කැලිපෙට් රජයට මුදලින් ආධාර කරන්නේ සවුදි ධනවතුන් බව හෙළි වී තිබේ.
මේ සියල්ලට එරෙහිව නිදහස බුද්ධිමතුන් හා  බ්ලොග් කරුවන් එකාවන්ව උද්ඝෝෂණය කල යුතුය.  තම තමන්ගේ රජයන් ලවා  සවුදි රජයට විරෝධය පෑම් කල යුතුය.
අව්ජිත් රෝයි ගේ ඝාතනය    හෙළා  දකිමු !
රයිෆ් බඩවි ගේ සිර දඬුවම හෙළා  දකිමු !
අව්ජිත් රෝයි බ්ලොග් අඩවිය : 
රයිෆ් බඩවි බ්ලොග් අඩවිය 
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ විරෝධය 

Monday 23 February 2015

වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය .......

විරවංශ මහතාගේ දියණිය තම මව වැළඳ ගෙන හඬන  අයුරු අප ඔහුගේ වෙබ් අඩවියෙන් දුටුවෙමි. දියණියන් සිටින පියකු වශයෙන් මට දැඩි කණගාටුවක් දැනුණි. දියණියකට මවකගේ උණුසුම අවශ්‍යය.

වීරවංශ හා ඔහුගේ ජාතිවාදී ලොට්ට අකමැති සුද්දාගේ රටේ මවට දරුවන් සිටීනම් බොහෝ විට සානුකම්පිත කරුණක් වශයෙන් සලකා අධිකරණය ලිහිල් දඬුවම් ලබා දෙයි. සුළු වරදක් ලෙස මට සිතෙන ගමන් බලපත්‍ර වරදට සමහරවිට ලිහිල් දඩයක් ගෙවීම ප්‍රමාණවත් යයි සිතේ. එහෙත් මෙම බලපත්‍ර යොදවාගෙන ඇත්තේ බැංකු වලින් අයථා ලෙස මුදල් ලබා ගැනීමට නම් උගත් විනිශ්චයකාරවරු සුදුසු දඬුවම් තීරණය කරනවා ඇත.
ඒ කෙසේ වුවත් ඔහුත් ඔහුගේ වෙබ් අඩවියත් කුගන්ගේ දියණියගේ කඳුළු ගැන කතා කරනවා මා  දැක නැත. ඇය  තම පියා,  සොයමින්, විරෝධතාවල මහා දවල් කැකෑරෙන අව්වේ වේලි වේලි සිටිනවා දුටිමි. වීරවංශ ගේ  දියණියට  මෙන් සැප වාහනයකට නැගී මව බැලීමට යාමටත්  වීරවංශ ගේ  බිරිඳට මෙන් සැප රෝහලක නැවතී සිටීමටත්,  නොව දුප්පත් නිවසක දිවි ගෙවා ගැනීමට දඟලන ගමන් කුගන්ගේ බිරිඳත් දියණියත් ඔහු වෙනුවෙන් හඬ හඬා ඇවිදිති.
කුගන්ගේ දියණිය 
එසේම තම පියාණන්ට  වූ දෙයක් සොයමින් අවුරුදු ගණනක් ඇවිදින තවත් පුතුන් දෙදෙනෙකු සිටි. ඒ මාධ්‍යවේදි එක්නැළිගොඩ ගේ පුතුන් දෙදෙනායි. ඔවුන් ගැන විරවංශ මහතා කතා කරනවා මම දැක නැත.
එක්නැලිගොඩ පුතුන්

අනිත් හඬන දියණිය  ජෙයකුමරිගේ දියණියයි. පරිවාස භාරයේ සිටින ඇයට තම මව බැලීමට වත් වරම් නැත. පියා  හා සහෝදරයන් තිදෙනෙක් අහිමි ඇයට මවත් අහිමි කල යුතුද?

තව දරුවන් බොහෝ ගණනක් ගැන ලිවිය හැකිය. යුද්ධයෙන් අනාථ  වුනු සෙබළුන්ගේ දරුවන් මෙන්ම දෙමල ජාතිකයන්ගේ ද දරුවන් බොහොමයක් සිටිති. ඒ ඛේදවාචකය  තවමත් නිම වී නැත. එහෙත් විරවංශ මහතාට එය වගේ වගක් නැත. ඔහු තවමත් කියන්නේ මේ තියෙන්නේ අපායට ඉන්ටවල් එකක් කියාය. 
විරවංශ මහතාණෙනි,
කුමාර් මහත්තයලා හා රෝහිත භාෂනලා  සමග පක්ෂයක් ගොඩ නැගු කාලයේ තිබු සංවේදී හිතේ  දශමයක් වත් ඉතිරිවී නැත්ද?  ඔබේ දරුවාගේ වේදනාව අපේ හදවතට දැනේ. ඔබටද දැනේ.එහෙත් අපට දැනෙන මේ අනාථ වී ඇති අනිකුත් දරුවන්ගේ වේදනාව ඔබට නොදැනේ. 
තවමත් ඉදිරියට ගන්නට යත්න දරන ඔබේ වෛරී දේශපාලනය නිසා හඬන්නේ  ඔබේ දියණිය පමණක්ද?


Thursday 19 February 2015

පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)

ඔන්න ඉතින් අපේ පුටින් උන්නැහේ දන්නවනේ රුසියාවේ. සෝවියට්  දේශය කාලේ  කේජිබී  ලෙෆ්ටිනන්ට් කෙනෙක්. පස්සේ ලෙනින්ග්‍රාද් (සාන්ත පිතර්බුර්ගය) පැත්තේ දේශපාලනේ කරලා යෙල්ට්සින් හරහා ඇවිත් ජනාධිපති වුණා. ඇස්වහක් කටවහක් නැහැ මන් මනාපය දෙන පොරක්. වෙන හේතුවකට නෙමේ වැටිලා තිබුන රුසියාව නැගිට්ටේවට. රුසියාව දියුණු රටක් වශයෙන් රුස්සට ජාතියේ ආඩම්බරය ඇතුව ජීවත් වෙන්න යලි ඉඩ සලසා දුන්නට. හැබැයි පොර මෙහෙමත් කලා. හොරකම් කර කර හිටි මදාවියෝ ටික තමන්ගේ යටතට අරගෙන ඒක  පිළිවෙලක් ඇතුව ගානට කරන්න හදල දුන්න, තමන්ට ගානක් එන විධිහට. දෙන්නේ නැති නහර කාරයන්ව එංගලන්තෙට පිටුවහල් කලා.  නාකි මිනිසුන්ව මරල උන්ගේ දේපල උස්සන එවුන්ව  අල්ලල හිරේ දාල ඒක  නවත්තල, උන්ට පැන්ෂන් වැඩි කරලා පාරවල් ටික අලුත් වැඩියා කලා රුසියාවේ, බෙදුම් වාදී චෙචේනියාවට කෙලින්ම බෝම්බ  දාල  හමුදා යවල මට්ටම් කරලා සාමය හැදුව,   අමෙරිකාවට කෝචෝක් එකක් එහෙම දාල  දැහැමෙන් සෙමෙන් වාර  දෙකක් හිටිය. පස්සේ ජනාධිපතිවරණේ  එනකොට පොර දැනගත්ත ආයි ඉල්ලන්න බැරි නීතියක් මේ යෙල්ට්සින් කියන වසවර්තිය දාල තියෙනවා කියල.
ඉතින් මොකද කරන්නේ. ටක් ගාල පක්ෂයක් ගත්ත සල්ලි වලට. මෙද්වෙදෙව් මලයට කිව්වා ජනාධිපති කමට ඉල්ලන්න කියල.  පූටින්  අය්යා  අගමැති කමට ඉල්ලුව. ඉතින්  අපේ නාමික ජනාධිපති ඉන්නවා මඟුල් ගෙවල් වලට යනවා එහෙම, කම්හල් අරිනවා පීත්ත  පටිය කපල හෙම වැඩ ගොඩයි.. පුටින් අගමැති රට පාලනය කළා. ඇමෙරිකන් කාරයා නම් වැඩිය කැමති වුනේ නැහැ. ඒත් ඔය අධිරාජ්‍යවාදියෝ කවුද ගණන් ගන්නේ. මෙන්න අවුරුදු 4 ගියා. ජනාධිපති හැටියට අවු 8 , අගමැති හැටියට 4 යි. 12 යි.  මෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපතිට අවුරුදු 6 ක් ඉන්න පනතක් ගේනවා. 2012 අගමැති පුටින් ආයේ  චන්දෙ ඉල්ලල ජනධිපති වුණා . අර කලින් කොමියුනිස්ට්  නායකයෝ මැරෙන  කන් හිටියේ එල්ලිලා.  15හක් ඉවරයි තව අවුරුදු 3 ක්  තියෙනව. ඊට පස්සේ හතරවැනි වතාවට ඉල්ලුවම (ඇයි දෙපාරක් පුළුවන්නේ ) ආයේ ඉතින් යාවජිව ජනාධිපති කිව්වත් කමක් නැහැ.

ඉතින් ඔන්න රුසියවට එහා ඈතම ඈත ඩිස්නිලන්තෙක හරිත වර්ණ කට්ටියක් අවුරුදු 17ක්  රට කාල  බීල  අහවර වුණාම, නීල  වර්ණ කට්ටියක් 1994 ඉඳන් රට පාලනේ කලා. ඒගොල්ල ගත්තෙත් කන බොන ගමන් රට වැසියටත්  පොඩ්ඩක්  දෙන්නම්  කියල පොරොන්දු වෙලා . හරිතවර්ණ එවුන් රක්ත වර්ණ උන්ගේ කැරැල්ලක් මැඩ  පැවත්වුවට උතුරු පැත්තේ චෙචෙන් කාරයන්ට වැඩක් දීගන්න බැරි වුන.  නීල වර්ණ එකීටත් බැරි වුනා . අවුරුදු දහයක් ඔහේ අද්ද අද්ද ගියාට පස්සේ රජතුමෙක් ජනපති වුනා. වණයක්  වෙලා හිටිය චෙචෙන් වගේ කට්ටියට විතරක් නෙමේ උන්ගේ අඹු දරුවන් ගේ ගෙවල් දොරවල් වලටත් බෝම්බ දාල මට්ටම් කරලා කොහොම හරි සාමය ගෙනාව. ඉතින් මිනිසුනුත් කැමැත්තෙන් පලවෙනි අවුරුදු පහ දුන්න . දෙවෙනි අවුරුදු පහ යනකොට  හරිත වර්ණ කට්ටියකුත් සෙට් වෙලා කාගෙන කාගෙන ගියා. සුදු අස්ස කරත්ත හෙම හිටි හැටියේ මතු වෙන්න ගත්ත. මිනිසුන්ට එපා වෙන්න ගත්ත. රජතුමා ව්‍යවස්ථාව වෙනස් කළා තුන්වෙනි පාර ඉල්ලන්න. මිනිස්සු කීව  දැන් කෑව ඇති කියල. රජතුමාගේ උපදේශකයන්ට තේරුණා වැඩේ වල්  වේගෙන එන බව. රජතුමා මේ පාරනම් සෙට් කියල උපදෙස් දුන්න. පිස්සුද බොල මන් වගේ එකෙකුට හේමත් වෙනවද කියල උදහස් වෙලා හැච් කළා ප්ලෑනක්.

රජතුමා කතා කලා සාස්තර කියන පුරෝහිතයට. " මම තුන්වෙනි පාර ඉල්ලනවා. මම දිනනවයි  කියල මුසාවක් කියපිය රට වටේ " කියල උපදෙස් දුන්න . පුරෝහිතය කීව ග්‍රහ බලපෑම  අනුව විතරක් නෙමේ  මිනිස්සු කියන කතා අනුවත් ඔබතුමා මේ පාරනම් පරදිනවා කියල. රජතුමා උදහස් වෙලා කිව්වා "යකෝ තෝ මාව දිනනවා කියල කිව්වේ නැත්නම් තෝව  දඬු කඳේ ගහල රජ අලියට කියල පාගවනවා" කියල. අරූ භයවෙලා අඬ බෙර ගහල යැව්වා  රජා  දිනනවා කියල. ඔය අව්වස්සේ මේ රටේම හිටිය විපස්සයෙක් . හරිම ආසයි විපස්සේට වෙලා ඉන්න.  විපස්සේ එවුන් කොච්චර තල්ලු කලත් ම්හු හොලවන්නම බැහැ. රජතුමා කතා කලා විපස්සයාට. කිව්වා විපස්සයෝ දන්නවනේ මම උඹට හැමදාම සලකනවා තේ බොන්න කෝපි  බොන්න කතා කරනවා.  මේක තියාගන්න ඕනේ නම් මට උදව් කරපිය කියල. විපස්සයත් කියන ඕන ලබ්බකට කැමති පොරක්. ඉතින් හැදුව ප්ලෑන. ඔහේ අර පරණ නෝනවයි ඉන්දියන් ඇමෙරිකන් කාරයෝ ටිකයි අන්ද ගන්නවා. වමාල ටිකත් සෝසෝ හරහා උඹ බලා ගනින්. සෝමේ ටිල්විල අනූ ලා මගේ පරණ කොල්ලෝ සැට් එක මාව 2005දී උස්සපු එවුන් ටිකනේ.  උන්වත් උඹ ගාවට එවන්නම්. ඉන් පස්සේ මම මගේ විශ්වාසවන්තම  ලේකම් කාරයා එවනවා උඹේ පැත්තට. ඕන වෙලාවක මම කියන එක අහන එකෙක්.  මාව යුද්දෙට තල්ලු කරපු අර කිව්වා නාහන පිංචක රතන සෙට් එකත් එවන්නම් ජාජිත් කොලූ එක්ක. මිනිස්සු ටික අන්ද ගන්න ඒ ඇති.  ඊළඟට උඹ  එවපන් උඹේ එකා මගේ පැත්තට. ඊට පස්සේ උඹ අගමැති  වෙලා මගේ එකාව  ජනාධිපති කරපන්. විපස්සයත් බොහොම අකමැත්තෙන් විපස්ස කම දාල යන්න බෑ කියල බෑඟිරි ගහල හෙම කැමති වුණා.  පොර අහනවා.

"ඉතින් ඊට පස්සේ මට විපස්ස කම හම්බ වෙන්නෙම නැත්ද ?"
"ඔය ඉතින් සරත්මධු වෙන්න යනවනේ. ඉඳපන් කියනකන්.  ඔන්න උඹ අගමැති වුනාට පස්සේ අර මාත් එක්ක ටුවර්  ගිය ජිල්ජෝනට භාර දීපන් පොලෝසිය. ඔය පෙළපාලි ගිය නීතිඥ උන්ට හොඳ සභාපති කමක් දෙකක් දීපන්. ජනරාලයත් පව්නේ ආපහු ඔක්කොම දීලා තියන් ඉඳපන්. නැත්නම් මිනිස්සු  බලයි මොකද කියල. වැඩිය දෙන්න එපා ගන්න අමාරු වෙයි. "
"ඉතින් ඊට පස්සේ "..
"ඔය ආයි ඉතින් මට ඔය දේදුනු කැලුම් පෙන්නන්න බැහැ". මොන් ගලයව පුළුවන් තරම් එලියෙම්ම  තියා  ගනින්. ගල් ආඳා. අපේ වැඩේ මාට්ටු වෙයි. යවපන් ලෝකේ වටේ. මම බයිලලනිපේ ලේකම් ටම දෙන්නම් සභාපති කොමත් . එතකොට ඒකත් හරි. උඹේ හිටිය ලේකන්ව මිනිස්සුන්ට පේන්න දවසක් දෙකක් ඇතුලට දාල ගනින් එලියට. හැබැයි ඔන්න මගේ කොල්ලෝ ටික  හෙම ඇතුලට දාන්නේ නැහැ විහිළුවටවත්. බිසෝ තුමී මගේ ඔලුව පලයි. ඕන් ඔහොම යනකොට මිනිසුන්ට උඹව නිකම්ම එපා වෙනවනේ.
ආ කියන්න අමතක වුනා. දන්නවනේ මගේ පුරෝහිත වංශ, නානලා සෙට් එක. උන් උගේගොඩ හෙම රැස්වීමක් දෙකක් තියල  මාව ආපහු ඉල්ලයි. උඹට තියෙන්නේ ආපහු චන්දෙ තියන්න.
එතකොට මං අගමැති , මගේ ලේකම් කොලූ ජනාධිපති උඹ ආයිත් විපස්සේ. ඊට පස්සේ මම ව්‍යවස්ථාව වෙනස් කොරනවා මට අවුරුදු දහය ගානේ ඉන්න. උඹ අවුරුදු 20ක් විපස්සේ ආයි. කොහොමද මගේ ටිකිරි මොලේ." විපස්සයට කොච්චර ජොලියක්  ගියා ද කියනවනම් රජතුමාව ඉඹින්නත්  හැදුව. හොඳ වෙලාවට රජතුමා සාටකෙන් මුණ වහ ගත්ත.
ඔය වෙලාවේ සුදු අස්ස කරත්තයක් හය්යෙන් ඇවිල්ල අස්ස කකුල් හතරම තද කරලා බ්රේක් ගැහුවා.
"ඒ සද්දෙට මට ඇහැරුණා."

Monday 16 February 2015

ජෝන් ගේ නීතිය, කුමාර් ගේ නීතිය, තෙවරප්පෙරුමගේ ගේ නීතිය, ශෂී ගේ නිතිය ......උපුල්ගේ සම්මානය



ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ‘නීතියේ ආධිපත්‍ය‘ පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානයකින් පිදුම් ලැබීමට නියමිත බව ලංකා නිව්ස්වෙබ් අඩවියේ  පලවී තිබේ. මරණ තර්ජන අතර නීතියේ සාධාරණත්වය උදෙසා සටන් වැදුණු ඒ මහතාට සුභ පතමි. නමුත් ‘නීතියේ ආධිපත්‍ය' සඳහා සටන ඒ මහතා ආයෝජන  මණ්ඩලයේ සභාපති ධුරය  ලැබීමෙන් පසු අත් හිටුවා ඇත්ද?
නීතිය  ගැන කතාබහක් මා  සහ තවත් කීප දෙනෙකු අතර  මා අගෝස්තුවේ නිවාඩුවට ශ්‍රී ලංකාවට ගිය විටදී ඇති වුනි. මෙය පසුව අප නතරවී සිටි හෝටලයේ අයිතිකරු, කළමනාකරු සහ තවත් කීප දෙනෙකු ද සම්බන්ධ කරමින් දිග ගැසුණි. සිද්ධියට පාදක වුයේ හෝටලයේ ශාලාව කුලියට කිසියම් උත්සවයක් සඳහා ලබා ගන්නට පැමිණි සුළු දේශපාලකයෙකු නිසාය. ඔහු නීතියටද සම්බන්ධ අයෙකි. ඔහු ශාලාව ඉල්ලුවේ කුලියට නොව නිකම්ය. එහිදී අයිතිකරු පත්වූ අසරණ කම මම දුටිමි. 
නීතිය යනු ලංකාවේ පළාත්බද යුව රජවරුන්, මන්ත්‍රී ලා  , පලා  බබාලා   හා ඒ මදිවාට උන්ගේ කුක්කන් ගේ ප්‍රාදේශීය නීතිය බවත් පොලිස් නිලධාරීන් ලා බබාලාගේ දාමරික කුක්කන්ටත් සැලියුට් ගැසිය යුතු බවත් ජනතාව පවසති. 
අග්‍ර විනිශ්චයකාරතුමිය ඉවත් කිරීම  (ශිරාණි බණ්ඩාරනායක) වැනි  සිදුවීම් සළකා  බලන විට, ප්‍රදේශයෙන් ඔබ්බට ගොස් පළාත් අනුව සළකා බලන විටත්, මුළු රටේම තිබු පාලනය සළකා බලන විටත්, හිටපු රජතුමා හා ඔහුගේ  සොහොයුරන්ගේ නීතිය  රටේ නීතිය  බවට පත්ව තිබුණු බවක් පැහැදිලිව පෙනුණි.

යහපාලන ජනාධිපති තුමා  පත්වූ විට බොහෝ අය  මේ තත්වය වෙනස් වෙතැයි සිතුහ.  යහපාලන ජනාධිපතිතුමා මුල් කාලයේ සිටම පොරොන්දුවූ පරිදි යහපාලන අගමැතිට පාලනය බාර දී විවේක සුවයෙන් මංගල්‍ය උත්සව ආදියට  සහභාගී වෙමින් කල් ගෙවෙන සෙයක් දක්නට ලැබුණි.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර මහත්තයා ජනාධිපතිවරණයට පෙර  ලංකාවට පැමිණියේය.  ඔහුගේ හෝ ඒ පක්ෂයේ එම තීරණය ගැන මට ප්‍රශ්න ඇතත් ඔහු දේශපාලනයේ යෙදීම ගැන මට ප්‍රශ්නයක්  නැත. එය ඔහුගේ අයිතියකි. කුමාර මහත්තයා සංචාරක වීසා  එකකින්  පැමිණ ඇති නිසා ඔහුට ලංකාවේ දේශපාලනයේ යෙදෙන්නට හෝ රැකියාවක් කර මුදල් ලබා ගැනීමට නීතියෙන් ඉඩක් නොමැත.  පෙසපේ පවසන්නේ ඔහු මේ රටින් පිටව ගියේ මරණ තර්ජන නිසා බවත් දේශපාලනය කිරීමේ වරදට බවත්ය. එය ඇත්තකි. ඔවුන් තව දුරටත් පවසන්නේ දේශපාලන හේතුන් මත රටින් ජීවිතය බේරා  ගැනීමට ගිය අයෙකුට කොන්දේසි විරහිතව රටට ඒමටත් නැවත දේශපාලනයේ දීමටත් ඉඩ දිය යුතු බවයි.
නමුත් කවුරුන් හෝ  විසා  කාලය අවසන් වූ  පසු වීසා  දික් කර ගැනීමට නොගොස් රැඳී සිටීම අනවසරයෙන් රැඳී සිටීමකි.  එනිසා ඔහු පිටුවහල්  කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තැත්  කිරීම වරදක් නොවේ.  අනවසරයෙන් වීසා  නැතිව රැඳී සිට සම්භාහන හල්  වල වැඩ කරන විද්ශීය කාන්තාවන් හා හොරණ පැත්තේ කම්හල් වල වැඩ කරන ඉන්දීය ජාතිකයන් අල්ලා  පිටුවහල් කිරීම සිදුවේ.  මෙම නීතිය  ලංකාවේ ඉපදුන එහෙත් වෙන රටක පුරවැසියෙකු වන අයෙකුට අදාලද? දේශපාලන හෝ ආර්ථික හේතූන් මස පිටව ගිය සැමට රටේ පුරවැසි භාවය නැවත  ලබා දිය යුතු නැත්ද? එසේ නම් එය නීතිය වෙනස් කිරීමෙන් කල යුත්තකි. පවත්නා නීතිය අනුව කුමාර් මහත්තයා   සිටින්නේ  අනවසරයෙනි. එම පක්ෂයේ ප්‍රකාශකයන් කියන්නේ නිතිය නොසලකා දේශපලන ප්‍රශ්නය පමණක් සලකා බලා  ඔහුට ලංකාවේ සිටීමට ඉඩ දිය යුතු බවයි.
නමුත් මේ ප්‍රශ්නයේ පොඩි කොස්සක් තිබේ.
ශෂී විරවංශ හොර ආගමන විගමන බලපත්‍ර සාදා  ඇති දැන් ඔප්පුවී ඇත කියා පොලිසිය කියයි. ඇයට  මේ ගැන චෝදනා කරමින් කරදර කරන්නේ තමන්ගේ දේශපාලනය නිසා බව විමල් විරවංශ මහතා කියයි. නීතියට අනුව ඇය අත්  අඩංගුවට ගත යුතු වුවත් එසේ නොවීමෙන් පෙනීයන්නේ විමල්  මහතාගේ තර්කය පිළිගෙන ඇති බවද? සැමියා දේශපාලනය කල නිසා හා දැන් විරුද්ධ පැත්තේ නිසා බිරිඳ වරදක් කල විට අත් අඩංගුවට ගැනීම හෝ නඩු පැවරීම අසාධාරණද?
වාස්  ගුණවර්ධන නමැති හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ හිරන්ති රාජපක්ෂ මැතිනියට රත්රන් වංචාවක් පිලිබඳ චෝදනාවක් කළාය. ඇගේ පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  ඉල්ලා සිටියේ  තමන්ගේ දේශපාලනය නිසා තම මවට කරදර නොකරන ලෙසය. එයටද රජය සවන් දුන් බවක් පෙනේ.

දැන් මෙහිදී  නීතිය සිද්ධීන් තුනකදී තෙයාකාරයකට  ක්‍රියාත්මක වෙමින් තිබේ.
ජවිපෙ සෝමවංශ අමරසිංහ ලංකාවට පැමිණි පසු ඔහු ගැන සොයා නොබලා ලංකාවේ සිටීමට ඉඩ දී තිබුණි. එකල ජවිපෙ විසින් පැවති  ආණ්ඩුවට සහයෝගය දීම  නිසා  රජය විසින් නීතිය  නිහඩ කල බවට පෙසපේ චෝදනා කරයි. එම චෝදනාවද සත්‍යයකි. ඉන් පෙනී යන්නේ එවකට පැවැති  රජයන්ද නීතිය තමන්ට අවශ්‍ය පරිදි  වෛශ්‍යා  වෘත්තියේ යොදාගත් බවයි. නමුත් ඉන් නැගෙන අනිත් කරුණ නම් ජවිපෙට එසේ සැලකූ නිසා පෙසපෙටද එසේ සැලකිය යුතු බවද? නැත්නම්නීතිය  ක්‍රියාත්මක කල යුතු බවද?
එසේ නම් සෝමවංශ අමරසිංහ ලංකාවේ සිටින්නේ අනවසරයෙන් නම් ඔහුත් නැවත ලන්ඩනයට පිටිවහල් කල යුතු වේ.

පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ට තවමත් ඇප  ලැබී නැත.  ඔහු කලේ වරදක් වුවත්  ඔහු දණ  ගැස්සවූ තැනැත්තාත් (පලාත් සභා මන්ත්‍රීවරයා)  සුදනෙකු නොවේ. ඒ තැනැත්තා ඊට පෙර ඒ ආකාරයෙන්ම තග වැඩ කළ  අයෙක්  යයි කියනු ලැබේ. ඒ වරදම වෙනත් ආකාරයෙන්ම වත්තලදී සිදුවී තිබේ. එයට සම්බන්ධයයි පවසන ජෝන් අමරතුංග  ඇමතිවරයා තවමත් එම ධුරයේම  රැඳී සිටි. එයට පරීක්ෂණයක් වත් නැත. නැවතත් සිද්ධීන් දෙකකදී නීතිය  දෙයාකාරයකින් ක්‍රියාත්මක වී තිබේ. එසේම ජෝන් අමරතුංග මහතා මහජන ආරක්ෂාව පිලිබඳ ඇමැතිවරයාය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට  ‘නීතියේ ආධිපත්‍ය' සුරැකීම  පිලිබඳ සම්මානයක් ලබා දීම ගැන මගේ විරුධත්වයක් නැතත් එය ඉක්මන් වැඩි යයි මට සිතේ. උපුල් ජයසූරිය මහතාට ‘නීතියේ ආධිපත්‍ය' පිහිටුවීම සඳහා තවමත් සටන් කිරීමට සිදුව ඇති බවක් අපට පෙනී යන මුත් ඒ මහතා ගේ නිහඬ බව අපට ප්‍රශ්නයකි.  

මේ ගැන මගේ මිතුරකු අපුරු දෙයක් පැවසුවේය. පසුගිය කාලය මුළුල්ලේම  පොලිසිය හා අනිකුත් ආයතන කටයුතු කලේ ඉහලින් එන රජ අණ  පිලිපදිමිනි. නැත්නම් පළාත්බද යුව රජුන්ගේ හෝ ප්‍රාදේශීය පලා  බබාලගේ කැමැත්ත අනුවය. මිනිසුන් අත්අඩංගුවට පත් වුයේත් මැරුම්  කෑවේත්  සිරයට ගියෙත් ඒ අනුවය. සාධාරණ නීතියකට අනුකුලව  ස්වාධීනව වැඩ කිරීමට ඔවුන්ව නැවතත් පුහුණු කල යුතුය.
නැත්නම් මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපතිවරයා විසින් එම ධුරයේ බලය අත හරින බවට දුන් පොරොන්දුව පසෙක ලා එම බලතල පාවිච්චි කරමින් මේ රූකඩ  රැළ මෙහෙය විය යුතුය.
දැන් සිදුවෙමින් පවතින්නේ හෝ පවතින්නට යන්නේ එයයි. 

Monday 9 February 2015

සිජැක් ගේ කථාවක්

මිනිසෙක් කෝපි  කඩයකට ඇතුළුවූ සැනින් සැනෙකින්ම තමන්ට කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ඉල්ලා සිටි. 

කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා මෙසේ  කියයි: "මන් විශවාස කරන විධිහට අපි   ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර වෙලා. ඔබ සිනි නැති කෝපි  කෝප්පයක් ලබා ගන්න කැමතිද?"

සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා  මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.

මෙය උපුටා ගත්තේ ස්ලාවොයි සිජැක් ගේ මුහුණු පොතේ එක එකවුන්ට් එකක පල වුවකිනි.

මෙයට පිළිතුරක් සපයන  ඇන්ඩි බෙස්ට් මෙසේ ලියයි: 

පරණ සෝවියට්  විහිළු කතාවක්  මෙසේයි.

සෝවියට් කාන්තාවක් ආහාර (මස්) විකුණන වෙළඳ හලකට ගොඩ වදියි.

"ඔබල ළඟ මස් විකුනන්න තිබෙනවද?"

"නැහැ අපි ළඟ නැහැ "

"එහෙනම් කිරි තිබෙනවද ?"

"අපි විකුනන්නේ මස් විතරයි. පාරෙන් එහා පැත්තේ කඩේ තමා කිරි විකුනන්නේ. නමුත් ඒ ගොල්ල ගාව  කිරි නැහැ. "


මා මොස්කව් නගරයේ සිටි කාලය තුලදී සෑම දවසකම වාගේ අපි හරක් මස් හෝ කුකුළු මස් සමග බත් ඉව්වෙමු. ඒවා එතරම් මිල අධික නොවුනි. එළවලු හැටියට වැඩිපුරම කෑවේ මා ලු මිරිස්, කැරට්  හෝ බිට්රුට් ය.  පෝලිමේ සිට මේවා ලබා ගත්තත් කවදාවත් මස් නොමැතිව තිබ්බේ නැත. මෙයට හේතුව අහල පහල ගොවිපලවල සියලුම නිෂ්පාදන මොස්කව් වලට එවීම නිසා යැයි බොහෝ අය කිහ. පිට පළාත්වල කෑම නැති බව බොහෝ විදේශික ශිෂ්‍යයන් මා  සමග කිහ. එය සත්‍යයක් දැයි නොදනිමි.
නමුත් බඩ  ගින්නේ පෙලෙන රුසියානුවෙක් හෝ කෙට්ටු රුසියා නුවෙක්  කිසිදා නොදුටිමි.

වරක් මම තව මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගියෙමු. එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල්  වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැත. ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන්  ගෙන් ඇසීමු.
"කඩේ වැඩ කරන මහත ගාල්යා හරි හොඳයි. කඩේට  මස් ජාති මාළු  ඔක්කොම ආවහම  එයා  හැමෝටම පණිවිඩ එවනවා.  පස්ස දොරින් ඔක්කොම විකුනනවා. කිසි අවුලක් නැහැ. බය වෙන්න එපා අපේ ගෙවල් වල කෑම ඕන තරම්."

මේ දුෂිත සමාජවාදයයි. 


(මෙහිදී දුෂිත සමාජවාදයද ? මිනිසුන්ද ? මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ?)

- මෙහි බැරිස්ටා යනු කෝපි  කඩේ වැඩ කරන කෝපි  සාදන්නායි. කිරි වෙනුවට කෝපි ක්‍රීම් බොහෝ ආපන ශාලාවල භාවිතා වේ . 
-- මෙහි සිජැක් යනුවෙන් සි අකුර යොදා ලියා  ඇත්තේ ඕනෑ කමිනි. 

Thursday 5 February 2015

තාරකා නිරීක්ෂණය - දුරේක්ෂයක් තෝරා ගැනීම

දෙනෙතියක් තෝරා ගැනීම පිලිබඳ හොඳ  ප්‍රතිචාරයක් ලැබුන නිසා මේ ලිපියත් ඉක්මනින් ලිවිමට සිතුවෙමි .
එම ලිපියට මෙතනින් යන්න.
http://kolambagamaya.blogspot.co.uk/2015/01/binoculars.html

දෙනෙතියක් මිලදී ගැනීමේදී එහි කාචයන් දෙකම හරියට එකම වස්තුවකට නාභිගත කිරීම  (focusing ) හරියට වෙනවාදැයි නිරීක්ෂණය කළ  යුතුයි. දුරේක්ෂයක් ගැනීමේ ක්‍රියාවලිය මිට වඩා ටිකක් සංකීර්ණයි. ඒ අප විසින් තාරකා නැරඹීමට ගන්නා කාචය සවි කල යුතු නිසා.

දුරේක්ෂ හෙවත් ටෙලස්කෝප ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා. පරාවර්තක (reflectors) හා වර්තක (refractors) යනුවෙන්. වර්තක නැත්නම් refracting කෝප් එකක කාච විසින් වස්තුවේ ප්‍රතිබිම්බය සදනවා.  පරාවර්තක එහෙම නැත්නම් reflecting කෝප් එකක වක්‍රාකාර දර්පණයක්  කාචය වෙනුවට භාවිතා වෙනවා. එතකොට ආලෝකය එකතුවන මුල් කාචය හෝ දර්පණය  මුලික කාචය (primary lens) හෝ මුලිකදර්පණය  ලෙසත්  (primary mirror) ඇස  ළඟ තිබෙන කාචය eyepiece lens හෙවත් උපනෙත ලෙසත්  හැඳින්වෙනවා.

වර්තක (refracting telescopes) දුරේක්ෂ:
1608 දී පමණ ඕලන්ද ජාතික අක්ෂි විශේෂඥයෙකු වන හෑන්ස් ලිපර්ෂේ කාච දෙකක් තුලින් බැලීමේදී ඈතින්  තිබෙන වස්තුවක ප්‍රමාණය විශාලවී පෙනෙන බව සොයා ගත්තා. මෙම දැනුම යොදා ගනිමින් ගැලිලියෝ ගැලිලි සඳ බැලීම සඳහා වර්තක දුරේක්ෂයක් තැනුවා. එය ගැලිලියන් දුරේක්ෂය නමින් හඳුන්වනවා. ආලෝකය අභිසාරී වන (එකතු කරන) කාච (converging lens ) යොදා ගනිමින් 1630 දී ජොහැන්නස් කෙප්ලර් විසින් වඩා හොඳ දුරේක්ෂයක් තැනුවා. එයට කෙප්ලරියන් දුර දක්නයක් කියා කියනවා. පහත ඇත්තේ අඟල් 36ක විශ්කම්භයක් සහිත කාචයකින් යුත් ලික්  නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂයයි.
ලික්  නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂය
මේ දුරේක්ෂ වල දුර්වලකම වන්නේ ආලෝකය එකතු කරන  කාචය විශාල කරන තරමට නිරීක්ෂණය කරන වස්තුව විශාල වන නිසා කාචය විශාල කල යුතු වුවත් එය  කිරීමේ සිමා ඇති විමයි. එසේම විශාල කිරීම වැඩි කිරීම සඳහා  නාභිගත දුර වැඩි කිරීමට සිදු වීමයි. නාභිගත දුර  (focal length) කියන්නේ  කාචයේ සිට ආලෝකය එක්වන නාභියට  (focal point) ඇති දුරටයි. මෙහිදී  ගෝලීය අපේරණය (spherical aberration) කියා දෙයකුත් සිදු වෙනවා. එනම් ආලෝක කිරණ එක නාභියකට යොමු වෙනවා වෙනුවට නාභින් දෙකකට යොමුවී වස්තුවේ ප්‍රතිබිම්බය විකෘති වීමයි. 
මේ සිදුවීම පහත රුපයෙන් දක්වා ඇත. 
ගෝලීය අපේරණය (spherical aberration) 
මේ දුරේක්ෂ්වල වල කුඩා කාච  ඇති ඒවා පවුම් සියයකට වඩා අඩුවෙන් මිලට ගත හැකි නිසා මේවා ලාභදායි බව කිව යුතුයි.

පරාවර්තක (reflecting telescope )

අයිසැක් නිව්ටන් තේරුම් ගත්තේ වක්‍ර දර්පණයක් භාවිතා කර ආලෝකය පරාවර්තනය කිරීමෙන් දුරේක්ෂයක් සැදුව හැකියි කියා. බොකු ගැසුණු (අවතල) ගෝලීය දර්පනයක් හා එය ඉදිරිපසින් ශ්මිද්ට් ප්ලේට් නම් තවත් ආලෝකය විනිවිද යා  හැකි විදුරු තලයක් තැබීමෙන් ඉහත සඳහන් කල ගෝලීය අපේරණය (spherical aberration) නැති වෙනවා. මෙයට කියන්නේ ශ්මිද්ට් ටෙලස්කෝප් කියා. මෙය පහත පින්තුරයේ දක්වා ඇත.
ශ්මිද්ට් ප්ලේට් සමග වක්‍ර දර්පණය 
නිව්ටන් මේ මුලධර්මය භාවිතා කරමින් නිපදවූ දුරේක්ෂය නිව්ටෝනියන් යනුවෙන් (newtonian telescope ) හැඳින්වෙනවා. පහත ඇති රුපයෙන් මෙය වඩාත් පැහැදිලි වනු ඇත. නිව්ටන් කලේ තවත් පුංචි පැතලි දර්පනයක් තබා එයින් තාරකාවේ ආලෝකය තවත් උපනෙතකට (eyepiece ) යොමු කිරීමයි.
නිව්ටෝනියන් පරාවර්තක දුරේක්ෂය 
පහත ඇති පින්තුරයෙන් දැක්වෙන්නේ මගේ මුල්ම හේලියස් නිව්ටෝනියන් දුරේක්ෂයි. මෙය අවුරුදු අටක් විතර පරණයි. මගේ බිරිඳ උපන්දිනයට ත්‍යාගයක් ලෙස අරන් දුන් නිසා මම මිල නොදන්නා මුත් ඒ දවස් වල පවුම් 300 පමණ වුන බවත් දැන් මේ දුරේක්ෂ ඊට වඩා මිල අඩුවෙන් පවුම් සියකට පමණ ගත හැකි බවත් සඳහන් කල යුතුයි. 
මෙහි පහල ඇති සිදුරට තමා  උපනෙත ඇතුලත් කරන්නේ. මෙහි දෙපැත්තේ ඇති අඬු වැනි දෙක  එය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයයි. ඊළඟ ලිපියේ දුරේක්ෂයක් සවි කරන ආකාරය  (mount) ලියන නිසා ඒ ගැන වැඩි දුර දැන් ලියන්නේ නැහැ.
පහත ඇති පින්තුරය මෙහි මෝටරයයි.
මේ දුරේක්ෂයේ විෂ්කම්භය මිලි මිටර 114ක්.(අඟල් 4.5) සහ නාභි දුර (focal length) එක මිලි මීටර 900ක්. මෙයින් අප නිවසේ පිටු පස සිට අසල නිවෙස් වල විදුලි 
ආලෝකය තිබෙද්දිත් බ්‍රහස්පති ග්‍රහයා  සහ එහි චන්ද්‍රයන් හතරක් පමණ නැරඹිය හැකියි. එසේම මෙහි උපනෙත් ඉවත් කර එතනට කැමරාවක් සවි කර චායාරූප ගත හැකියි.  මේ දුරේක්ෂයේ දුර්වලතාවය නම් එහි විශාල බවයි. ඔසවාගෙන  වෙන තැනකට යන්නට උඩ කොටස ගැලවිය යුතුයි. වාහනයක දමා ගෙන අඳුරු පෙදෙසකට යාමට ගත වන වේලාව වැඩියි. එසේම තාරකා බැලීම සඳහා එල්ලය ගැනීමේදී (align) ඒ සඳහා බොහෝ වෙලාවක් වැය කල යුතුයි. මෙහි මෝටරය වැඩ කරන්නේ ඉතා සෙමින්. නමුත් තාරකා  බැලීමේදී ඒ වේගය ප්‍රමාණවත්.
මවිසින් මිලදී ගත් දෙවන දුරේක්ෂය සෙලස්ට්‍රෝන් නෙක්ස්ට් ස්ටාර් 127 යනුවෙන් හැඳින්වේ. මෙහි කාචයේ විෂ්කම්භය මිලිමීටර 127. (අඟල් 5) නාභි දුර (focal length) එක මිලි මීටර 1500ක්.
මෙය මක්සුතොව් කියලත් හඳුන්වනවා. මේ දුරේක්ෂයේ වැදගත්කම වන්නේ මෙහි විශාලනය (magnification) එක කලින් එකට වඩා  වැඩියි. විශාලනය කියන්නේ දුරේක්ෂයේ නාභිගත දුර (focal length) එක උපනෙතේ (eyepiece ) නාභිගත දුරින් බෙදුවාම ලබන අගයයි. අපට මිලිමීටර 25ක උපනෙතක් තිබෙනවානම් මෙම දුරේක්ෂයේ විශාලනය 60ක් (1500/25) වන අතර මුල්  එකේ 36ක් වනවා. (900/25). තවත් වැදගත් දෙයක් වන්නේ මෙය කුඩා සුරු බුහුටි පහසුවෙන් සවි කල හැකි එකක් වීමයි. මෙහි ඇති හෑන්ඩ් කොන්ට්‍රෝල් එකට ස්වයංක්‍රීය ලෙස දුරේක්ෂයේ එල්ලය ගත හැකියි. මෙහි ඇති කුඩා කොම්පියුටරයේ තාරකා මණ්ඩල, තාරක හා ග්‍රහලෝක 30000 ක තොරතුරු තිබෙන නිසා තාරකා  සෙවීමත්  පහසුයි. එසේම මෙය ලැප්ටොප් එකටත් සම්බන්ධ කල හැකියි. ලැප්ටොප් එකට සම්බන්ධ කලවිට ඒ සඳහාම තාරක හඳුනා ගැනීමට මෘදුකාංගයක් තිබෙනවා . උපනෙත සවි කරන තැනට කැමරාවක්ද ලෙහෙසියෙන්ම සවි කල හැකියි. වැරැද්දකට ඇත්තේ කාචයේ විෂ්කම්භය කලින් එකට වඩා විශාල  අඟල්  භාගයක් පමණයි. නමුත් විශාලනය වැඩි නිසා එය එතරම්  බල පාන්නේ නැහැ. මෙහි මෝටරයේ වේගය 1-9 දක්වා අනුපාතයට වැඩි කල හැකි අතර එල්ලය බලන ෆයින්දර්ස්කෝපය (star  point finderscope)  ලේසර් පොයින්ටර් එකක් නිසා තාරකාවට එල්ලය ගන්න පහසුයි. මෙයට බැටරි හයක් දැමිය හැකි අතර මේන් සප්ලයි ලයින් එකටද සම්බන්ධ කළ හැකියි. බැටරි චාජර් එකකටත් සම්බන්ධ කල හැකියි.
 පහත පින්තුරයේ ඇත්තේ මා  එය පාවිච්චි කල අවස්ථාවක්. 
මේ පින්තුරය මගේ මොබයිල් එකේ කැමරාවෙන්  ගත්  පින්තුරයක්. මෙහි ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයා සහ එහි ගැලියන් චන්ද්‍රයන් (ගැලිලියෝ පළමුවෙන් සොයා ගත්  නිසා එසේ නම් කර ඇත) වන ඉයෝ, යුරෝපා , ගැනිමීඩ් හා කැලිස්ටෝයි.
ඊළඟ  ලිපියෙන් දුරේක්ෂයක් තාරකා බැලීමට සවි කිරීමේදී දැන ගතයුතු කරුණු පිලිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්.

- අජිත් ධර්මකීර්ති 
(Fellow of Royal Astronomical Society)

Wednesday 28 January 2015

කේ පී සමග පොත් බෙදුවෙමු

ඒ 2010 වර්ෂයයි. කේ පී  ශ්‍රී ලංකා රජයෙන් රඳවා ගෙන සෑහෙන කළකි. ඩි  බී  එස්‌  ජෙයරාජ් මහතා තමන්ගේ වෙබ් අඩවියේ කේ පි ඇතුළු රඳවා සිටින හිටපු කොටි සාමාජිකයන් යුද්ධයෙන් අනාථ  වූ දරුවන්ට උදව් කරන බව ලියා තිබුණි. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උදව් ඇතුව NEDRO නම් සංවිධානයක් පිහිටුවා තිබුනු බවක් සඳහන් විනි. ජෙයරාජ් මහතා දුන් තොරතුරු අනුව  මේ දරුවන්ට උදව් කිරීමට අප තීරණය කෙළෙමු. මෙයට හේතුව යුද්ධය පැවති කාලයේ සුනාමියෙන් පසු උතුරේ හෝ නැගෙනහිර දරුවන්ට උදව් කිරීමට තැත්  කල මුත් එයට අවස්ථාවක්  නොලැබුණු හෙයිනි. ඒ අවස්ථාවේ ළමයි සඳහා වන මුදල් විමුක්ති කොටි සංවිධානය යටතේ ඇති සංවිධානයකට බැර කරන ලෙස අපට දැන්වූ  පසු අප එය ප්‍රතික්ෂේප කල හෙයිනි. එංගලන්තයේ තහනම්,  දේශපාලන වශයෙන් ත්‍රස්තවාදී යයි සැලකෙන සංවිධානයකට අනුබද්ධ ආයතනයකට අප සහයෝගය නොදක්වන බව කී  පසු ඔවුන් කිවේ උතුරේ හැම දෙයකම පාලනය ඔවුන් යටතේ පවත්නා බවයි.   
යුදයෙන් පසු සුනාමියෙන් වුවක් මෙන්ම දෙමාපියන් අහිමිවූ දරුවන් බොහොමයක් සිටින බව අපට  දැන ගන්නට ලැබුණි. ඒ නිසා NEDRO හරහා අපි ඔවුන්ට පොත්පත් , පාසැල් බෑග් යනාදිය පිරි නැමුවෙමු. පහත ඇත්තේ ඒ පින්තුරයි. NEDRO මුලිකයා  වශයෙන් කුමාරන් පත්මනාදන් (කේ පී) ද එයට සහභාගී වුනි. ඔහු එවිටත් හමුදාව යටතේ සිටි අතර මෙසේ සහභාගී වුයේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය සහිතව  යයි සිතමි.



මෙයින් පසු මා කලේ මා  දන්නා හඳුනන දෙමල ඩයස්පෝරාවේ යහළුවන්ට මේ ගැන කියා ළමයින් සඳහා උදව් ඉල්ලීමයි. බොහෝ අය ගත් කටටම කිවේ ඒ සල්ලි ගෝටාගේ සාක්කුවට යන බවයි. මෙය ගෝඨාභය රාජපක්ෂ මතාගේ අවසරය ඇතිව කරන දෙයක් බව පැහැදිලි මුත් මුදල් යන්නේ ළමයින්ගේ සුභ සිද්ධිය සඳහා පමණක් බව මම පැහැදිලි කලෙමි. එසේම ඒ සඳහා වගකීමද භාර ගතිමි. නමුත් කිසිවෙක් සුබසාධකයන් (sponsor) වීමට කැමති වුයේ නැත. "ඔබලාට දකුණේ බෝම්බ පුපුරන්නටත් , වෙනම රටක් හැදීමටත් මුදල් යවත හැකි වුවත්, ඔබගේ ළමුන් එංගලන්තයේ හොඳින් ඉගෙනීම ලබද්දී, ජීවිතය සතුටෙන් ගෙවද්දී, තමන්ගේ වරදකින් තොරව අසරණ වුනු  මේ ළමයින්ට  උදව් කිරීමට නොහැක්කේ මන්ද යයි "මම එක දෙමල පරිගණක ඉන්ජිනේරුවෙකුගෙන් ඇසුවෙමි. ඔහු අදටත් මා  සමග කථා  කරන්නේ නැත. 
දැන් විජිත හේරත් මහතා  ප්‍රමුඛ ජවිපෙ කේ පී ට දඬුවම් කරන්නට උසාවි නියෝගයක් ලැබීමට ගොස්ය. මා මෙහිදී කේ පී වත් කරුණාවත් නිදොස් කරන්නට කතා නොකරමි.  කරුණා කැඩුනේ රනිල් වික්‍රමසිංහ ගේ සාම ගිවිසුම් කාලයේ බවත් චන්ද්‍රිකා රජය කරුණාගේ උදව් ගැනීම ප්‍රතික්ෂේප කල බවත් සඳහන්ය. වෙරුගල් නදිය අසලදී කරුණාගේ ළමා සොල්දාදුවන් LTTE ය විසින් මරා දැමු පසු කරුණා ශ්‍රී ලංකා හමුදාවන්ට එකතුවූ බවත් ඔහු යුද්ධයේදී කිසියම් මෙහෙයක් කල බවත් හැමෝම දනිති. එදා හෙළ උරුමයට හෝ ජවිපෙට මේ ගැන ප්‍රශ්නයක් තිබ්බේ නැත. 
මේ දේශපාලන ගේම් එක තව දුරටත් ගෙන යා  යුතුද? කල යුතුව  ඇත්තේ reconciliation commission හෙවත් සංහිඳියා කොමිසමක් පිහිටුවා එයට නෛතික බලයද දී කරුණාට හෝ  කේපීට මෙන්ම අනිත් වරද කරුවන්ටද දඬුවම් ලබා දීමයි. වහාම කල යුතුව ඇත්තේඅර අහිංසක ළමයින් මෙන්ම යුද්ධයෙන් වැන්දඹුවන් බවට පත්වූ දස දහසක් පමණ කාන්තාවන් හා ඔවුන්ගේ පවුල් ගැන සොයා බැලීමයි. 

මේ ගැන හොඳ වැඩ පිළිවෙලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කර තිබෙණු මම දුටිමි. ඒ අතර දෙමල වැසියන්ගේ නිවාස ප්‍රශ්න, වැන්දඹුවන්ගේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න විසඳීමට වැදගත් යෝජනා තිබුණි.  ඔවුන් ස්වයං නිර්ණනය ප්‍රශ්නය මෙන්ම සමාජවාදය එනතුරු බලා නොසිට ප්‍රයෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර ඇත. 
ලන්ඩනයේ පැවති  එක්තරා සම්මන්ත්‍රණයකදී LTTE යෙන් මරා දැමූ රාජිනී තිරානගමගේ සොහොයුරිය නිර්මලා රාජසිංහම් පැමිණ සිටිනු දුටුවෙමි. නිර්මලා රාජසිංහම් යනු LTTE යේ උදව්වෙන්  වැලිකඩ බන්ධනාගාරයෙන්පැන  ගිය, එහෙත්  පසුව LTTE යෙන් ඉවත්වූ අයෙකි. ස්වයං නිර්ණනය හා වෙනම රටක්  පිලිබඳ ඇගේ දැන් ස්ථාවරය  කුමක්දැයි ඇසුවෙමි. ස්වයං නිර්ණනය ගැන කතා නොකරන බවත් දැන් ඇත්තේ දෙමල වැසියන්ගේ ප්‍රශ්න  නිරාකරණය කිරීමේ අවස්ථාවක් බවත් ඇය පැවසුවාය.
ප්‍රශ්නය ඇත්තේ එතැනය. මුළු උතරු නැගෙනහිර ජනතාවම  ඊලම් වාදීන් ලෙස සලකා මෛත්‍රීට  චන්දය දුන්නේ ඊලම පිහිටවන්න යැයි  ජාතිවාදීන් කෑ ගහන රටක කේ පී ට වඩා මේ අහිංසක දෙමල දරුවන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් ඇති ප්‍රශ්න නිරාකරණය කරමින් ඔවුනුත් ලංකාවේම වැසියන් බව ඒත්තු ගැන්වීම වඩාත් ප්‍රයෝගික බව මගේ හැඟීමයි. එසේම ජෙයකුමාරිට කිසිම චෝදනාවක් නැත්නම් ඇය  නිදහස් කර ඇගේ  දරුවා ඇයට  භාරදීම සඳහා ජවිපෙට ආණ්ඩුවට බල කළ  හැකියි. 

ප.ලි. 
අපගේ චැරිටි  පදනම ෂෙයාර් ඇන්ඩ් කෙයාර් යනුවෙන් හඳුන්වන අතර අප දෙමල ළමුන්ට පමණක් නොව සිංහල  ළමුන්ටද උදව් කළෙමු. (ජාතිවාදීන්ට මෙයත් ප්‍රශ්නයක් විය හැකි නිසා)හම්බන්තොට හා මාතර මෙවැනිම ළමා කඳවුරු පවත්වා  කොළඹ  ළමා පොත් සංගමය සමග පොතපත සපත්තු ආදිය බෙදුවෙමු.  2007දී සීදුවේ  ඇති හමුදාවේ විශේෂ බලකායට කිහිලිකරු වැනි උපකරණ පරිත්‍යාග කළෙමු.
පහත ඇත්තේ අප මාතර ප්‍රදේශයේ උදව් කල ළමුන් සමුහයකි. 

-- අජිත් 

නිර්මලා රාජසිංහම් ගැන  - https://www.opendemocracy.net/authors/nirmala-rajasingam

Thursday 22 January 2015

හඳ පෙන්නුවාම ඇඟිල්ල දකින මෝඩ අපි?

මේ කාටුන් එක  තිබුනේ ෆේස්බුක් එකේ. දාල  තිබුනේ දිමුතු  කියල මහත්මයෙක්.  මේ පින්තුරේ ඉන්නේ ජවිපෙ නායක අනුර කුමාර. කලින්ම පැහැදිලි කරන්න ඕනේ මම ජවිපෙ සාමාජිකයෙක්වත් සහයෝගය දෙන්නෙක්වත්, සහය දීල බ්ලොග් ලියපු කෙනෙක්වත් නෙමෙයි.
කාටුන් එක ගාව මෙහෙම හැඳින්වීමකුත් තිබුන.
(මේ කාටුන් එක දාල තියෙන්නේ ජෙප්පන්ට මඩයක් ගහන්න පෙරටුගාමී සමාජවාදී එකට සහයෝගය දෙන අයෙක් කියලයි මගේ හැඟීම)
"ජරාජීර්න ධනපති ක්රමය එසේම තිබියදී ඊට 'යහපත් නායකත්වයක්සහ 'වාම තල්ලුවක්ලබා දීමෙන් සොරකම් සහ දූෂන නවත්වා යහපාලනය ගොඩ නැගිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණෙහි අචල විශ්වාසයයිධනපතික්රමය වෙනුවෙන් සිතන මතන සහ මෙතරම් මහන්සි වන පිරිසක් ධනපතින්ට තම පංතියෙන්වත් නොලැබෙන බව සහතිකයි.
.වි.පෙසොයුරනි
විමසන්න.... 
නැවත නැවතත් විමසන්න‍."


ඉතින් මම මේකට කොමෙන්ටුවක් දැම්ම මෙහෙම. 
ඒ කියන්නේ හොරු අල්ලන එක වැරදිද? සමාජවාදය තුලත් කොච්චර හොරු ඉන්නවද?

සාන්ත කියල මහත්මයෙක් මෙහෙම උත්තරයක් දීල තිබුන මට .

"අපි හදට අැගිල්ල දිගු කරන විට ෙමාඩෙයා් අැගිල්ල ෙදස බලති " කතාව මතක් වුනා අජිත් ධර්ම කීර්ති ලියපු ඒක දැක්කම. ධනපති ක්‍රමය තුළ ඉන්න ෙහාරැ අල්ලලා දීම කියන්ෙන් ධකපති ක්‍රමය පිරිසිදු කර පවත්වා ගැනීමට උදවි කිරීම.උන්ම දකිනවා ෙමි දූෂණ, ෙහාරාකෑමි ක්‍රමෙය් පැවැත්මට මාර තර්ජනයක් කියලා. ඉතිං වම නමින් ෙපනී ඉන්න පිරිසක් අැවිත් ඒ්ක පිරිසිදු කරලා ෙදන ඒක උන්ට මාරම මාර උදවිවක් ෙනාවන්ෙන ෙකෙස්ද .. "

මම මෝඩයෙක් කියමු. ප්‍රශ්නයක් නැහැ. මෝඩයොත් ඉන්න එපයි නැත්නම් නුවණැත්තන් ව අඳුන ගන්නේ කොහොමද? මගේ ප්‍රශ්නේ එතකොට හොරුඅල්ලන්නත් සමාජවාදය එනකන් ඉන්න ඕනේ කියල අදහසක් නෙමෙයිද ඕකෙන් මතු වෙන්නේ. හොරු සම්පුර්නයෙන්ම තුරන් කරපු සමාජවාදයක් තමා හදන්න යන්නේ කියල තමා මේ කතාවෙන් මතු වෙන්නේ. හොරු අල්ලලා දුන්නයි කියල ධනපති ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ තමා.මේක සමාජය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් විතරයි.  ධනපති ක්‍රමය වෙනස් කිරීම කියන්නේ භෞතිකවාදී ක්‍රියාවලියක්. ඉතින් හොරු , දුෂණ වංචා කරපු අය ඉන්නවනම් ඒ අය හෙළි දරව් කරන එක සමාජයට සෙත සලසන ක්‍රියා දාමයක් මිසක් අර ක්‍රියාවලියට අයත් වෙන්නේ නැති දෙයක්. නමුත් ඒකෙන්  අදහස් වෙන්නේ නැහැ වාමාංශික පක්ෂයක් හෝ එවැන්නක් යයි තමන් කියා ගන්නා පක්ෂයක් හරි රාජ්‍ය මට්ටමින් හෝ නිලදාරී මට්ටමින් කරන දුෂණ කෙලි දරව්  නොකළ යුතුයි කියල.

සෝවියට් දේශයේ දැන් ඉන්දියාවේ තියෙනව වගේ නිලධාරිවාදී දුෂණ වැහි වැහැල  තිබ්බේ. සෝවියට් වැසියෝ විහිළුවට කිව්ව කතාවක් තමයි පුර්ණ කොමියුනිස්ට්වාදය ආවහම දුෂණය සම්පුර්නයෙන්ම අහෝසි වෙනව කියල. ඇයි  එහෙම කියන්නේ කියල ඇහුවාම  පිළිතුර වුනේ "පුර්ණ සමාජවාදයේදී රාජ්‍යය අහෝසි වෙනව කියල මාක්ස් ම කියල තියනවනේ"ඒකයි  කියල.  
(මේ උපහාසයේ අදහස තමා දුෂිත රාජ්‍යය අහෝසි වුණාම දුෂණය අහෝසි වෙනවයි කියන එක)
චීනයේ , කියුබාවේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකන්ගෙන් වෙන දුෂණ දැන් දැන් අල්ලනවා. චීනයේ නම් මිනිස්සු ඉදිරියට එනවා අන්තර්ජාලයෙන් හෙම විරෝධය දක්වමින්. 
මම මොස්කව් ඉන්න කාලේ ගොර්බචෝව් යෙල්ට්සින් කියල දක්ෂයෙක් මොස්කව් පක්ෂ ලේකම් හැටියට පත් කලා . මිනිහ ආපු  ගමන් මොස්කව් වල ගොඩනැගිලි හදන අමාත්‍යංශයේ ගැහිලි නතර කලා. ඊට පස්සේ මිනිහ කිව්වා පක්ෂයේ අයට  වෙනම සුඛෝපභෝගී  භාණ්ඩ විකුණන වෙළඳ සල්  අවශ්‍ය නැහැ කියල ඒවා වහන්න හැදුව. මිනිහව පක්ෂය විසින් බලයෙන් පහ  කලා. සෝවියට් දේශය වැටිලා ආපු ඊළඟ ආණ්ඩුවේ ජනාධිපති වුනේ ඔහු. නමුත් මිනිහ ඒ රජයේ නම් සම්පුර්නයෙන්ම දුෂණයට ඉඩ දුන්න. 
සමහරවිට ඒ මනුස්සයට අර කල වැඩේ කරගෙන යන් ඉඩ දුන්නනම් කියලත් වෙලාවකට හිතෙනවා. 
දැන් එතකොට "ජනරළ " පත්තරෙත් සෑහෙන්න ලියනවා දුෂණ ගැන. මේ පාර එකෙත් "අලි හොරු හා වන ජිවියේ හොර අලි " ගැන දාල තිබුන ලිපියක්. මම දැනගෙන හිටියේ නැහැ පත්තරේ අනුරට සපෝර්ට් කියල. 

දැන් හඳ කියන්නේ සමාජවාදය නම් එතනට යන ගමන අරගල තුලින් යන එකක් වෙන්න ඕනෙනේ. හොරකම් සහ දුෂණ වලට විරුද්ධ වීම ඒකට අයිති නැත්ද? මේ අති වාමාංශයේ ළදරු වලිප්පුවද?


ප.ලි :  ජවිපෙ තක්කඩිකමක් ඇති ඒ පැත්තේ (පෙසපේ)  ඉඳන් බැලුවහම. නමුත් දුෂණ වලට විරුද්ධවිමෙන් අපි සමාජයට කරන්නේ යහපතක් නොවේද කියන ප්‍රශ්නය මතු කල යුතුයි. 

මාධව වීරසිංහ ගේ පිළිතුරත් මෙහි පල කරනවා:
  "සමාජයක් ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකට ලක් කිරීමේදී දූෂන සහ හොරකම් වැළැක්වීම අත්‍යවශ්‍ය කාරනයක්. නමුත් ගැටළුව තමයි ලංකාවේ අබල දුබල, පසුගාමී ධනේෂ්වරයට ඒ සදහා මැදිහත් විමට ඇති නොහැකියාව. 

පසුගිය අවුරුදු 66 දෙස බලන්න. 
කුමක්ද සිදුව ඇත්තේ?

දිනෙන් දින තත්වය වඩ වඩාත් අර්බුදකාරී වන බව දකින්න පුළුවන්. හැම දාම අපි ‍'හොරුන් ඇල්ලීම' සහ 'දූෂන වැළැක්වීම' ගැන බරසාර විදිහට කථා කරනවා. කවුද එවැනි දේ වැළැක්වීමට සක්‍රියව සහ අවංකව මැදිහත් වීමක් කර ඇත්තේ. ඒ වගේම අදාළ පුද්ගලයින්ට දඩුවම් කර ඇත්තේ. කිසිවෙක් නැහැ. තිත්ත ඇත්ත එයයි.

මේ ආන්ඩුව දිහාම බලන්න. රනිල්, මෛත්‍රි, රාජිත, රවි, සහ අනෙකුත් බොහෝ දෙනෙකුට තියෙන්නේ දූෂන සහ හොරකම්වලට සම්බන්ධ හෝ එවැනි දෑ ඉවසූ ඉතිහාසයක්. මීට වසර කිහිපයකට කලින් අපි දැක්කෙ මොකක්ද? එදා ජ.වි.පෙ. කථා කලේ ඉහත කී පුද්ගලයන්ගේ දූෂන සහ හොරකම් ගැනයි. උත්ප්‍රාසාත්මක ලෙස අද වෙන කොට ජ.වි.පෙ. ඒ අය සමග රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න පෙළ ගැහිලා. 

මේක තමයි ජඩ කම!
මේක තමයි තක්කඩි කම! 

මේ අර්බුදය පවතින ජරාජීර්න සමාජ ක්‍රමයත් එක්කයි ගැට ගැහිලා තියෙන්නේ. විසදුම සම්බන්ධව ඇත්තේ එහි තිරනාත්මක වෙනසක් සමගයි. ඒකට සූදානම් නොවෙන තාක් හොරු ඇල්ලීමේ මෙවැනි සංදර්ශන සහ හොරකම් මෙන්ම දූෂනත් දිගටම පවතීවි. "-

Friday 16 January 2015

තාරකා නිරීක්ෂණය - දෙනෙති (Binoculars) සහ මෘදුකාංග තෝරා ගනිමු

තාරකා නිරීක්ෂණය - දෙනෙති  (Binoculars) සහ මෘදුකාංග තෝරා ගනිමු 

තාරකා නිරීක්ෂණය (star  gazing)  කියන්නේ හොඳ විනෝදයක් සපයනවා  වගේම තමන්ගේ දැනුම දියුණු කරගන්නත් පුළුවන් වන විනෝදාංශයකි.  පටන්ගැන්මේදී පළපුරුදු අය ආධුනික තාරකා විද්‍යාඥයකුට  / නිරික්ෂකයකුට උපදෙස් දෙන්නේ මිල අධික දුරේක්ෂයක් වෙනත් විධිහකට පවසනවානම් ටෙලස්කෝපයක් ගන්නට  කලින් දෙනෙතියක්  (හෙවත් බයිනොක්යුලර් -Binocular) මිලදී ගන්නා  ලෙසයි. මෙයට හේතුව එසේ  දුරේක්ෂයක් එක්වරම මිලදී ගෙන එංගලන්තය වැනි  රටක නම් සීතලේ වෙව්ල වෙව්ලා  තරු සොයනවාට  වඩා තරු පිරි අහස ගැන හොඳ අවබෝධයක් මුලින් ලබාගෙන ටෙලස්කෝපයක් භාවිතා කරන එක සුදුසු නිසාය. උදාහරණයක් වශයෙන් ප්ලේයඩිස්  pleiades හෙවත් හත්දින්නත් තරු (සෙවන් සිස්ටර්ස් ලෙසත් හැඳින් වේ) ගොන්න ලෙහෙසියෙන්ම බයිනොක්යුලර් මගින් සොයා ගත හැකිය. අනික ඒ හතට අමතරව තියෙන අනිකුත් තාරකාත් නිරීක්ෂණය කල හැකිය.
හත් දින්නත් තරු 

මේ සඳහා හොඳ  බයිනොක්යුලර් කීපයක් නම් කල හැක. එංගලන්තයේ හෝ ජර්මනියේ ජිවත් වනවානම් ලිඩ්ල් නමැති සුපර්මාර්කට් මගින් විකුණන බ්‍රෙසර් එක හොඳ එකකි. එය ස්ටර්ලින් පවුම් 15-20 වන අතර හොඳම  ඒවා පවුම් 80-90 ට හෝ මිලදී ගත හැකිය. ඔබෙර්වර්ක් මයිනර් (8 x  40) නමැති ජර්මන් වර්ගයත් බොහෝ අය කැමති එකකි.  මේවායේ  සූම් (zoom) එක 8 හෝ දහය  සහ කාචය මිලිමීටර 50 හෝ 56 විය හැකියි. මෙවැනි (8 x  56), (10 x 50) (7 x 35), (7 x50) වර්ග කීපයක් තිබේ. 7, 8 10 ට යනු magnification (විශාල කිරීම) හෙවත් බයිනොක්යුලර් එකේ  power එක නමින් හැඳින්වේ. අනික් නොම්මරය  කාචයේ විශාලත්වයයි. දෙනෙති (බයිනොක්යුලර්) වලින් අහස බැලීමේදී එය තදින් සෙලෙවෙන්නේ නැතුව අල්ලා  ගැනීම
වැදගත්ය. අවශ්‍ය නම් ට්‍රිපොඩ් tripod එකකට බැඳ හෝ වෙනත් ලීයකට බැඳ පොළොවේ හිටුවා හෝ බිත්තියක, ගහකට හේත්තුවී හෝ බැලිය යුතුය. මෙමගින් තාරකා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කල  හැකි වන අතර මෙහි මූලික අභිප්‍රාය වන්නේ ඒ ඒ තාරක මණ්ඩල අහසේ නියමිත කාලයේ නියමිත වෙලාවට  කොතැනක තිබෙන්නේද වශයෙන් දළ අදහසක්  ලබා ගැනීමයි.  ටෙලස්කෝපයක් ගත යුත්තේ මෙසේ රාත්‍රී අහස ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමෙන්ය.
දෙනෙති (බයිනොක්යුලර්) ගැන වැඩි දුරටත් පහත ලින්ක් එකෙන් බලන්න.

http://www.space.com/26021-best-binoculars.html

මෘදුකාංග (Software):
මම වඩාත්ම ප්‍රියකරන මෘදුකාංගය ස්ටෙලාරියම් ය. එය open  source හෙවත් නිදහස පරිගණක පද්ධතියට අනුව  ලියන ලද ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබා ගත හැකි එකකි. එය ලබා ගත හැක්කේ මෙතැනිනි.
http://www.stellarium.org/en_GB/

මේ මෘදුකාංගයේ වැදගත්කම නම් ඔබට තමන් සිටින ස්ථානය අක්ෂාංශ දේශාංශ අනුව සටහන් කල පසු තමන් සිටින තැන අහසේ සම්පුර්ණ තාරක පද්ධතියම පෙන්වීමයි. මේ ඉහත පින්තුරයේ පෙන්වන්නේ අද(16-01-2015) රාත්‍රියේ එංගලන්ත වේලාවෙන් 7.48 ට පමණ දකුණු දිග අහසයි. ඔබට ඉදිරි ඕනෑම දිනයක අහස ද දිනය වෙනස් කිරීමෙන් ලබා ගත හැක. ඕනෑම චක්‍රාවාටයක්, අපේ සෞර  ග්‍රහ මණ්ඩලය සහ සමහර ග්‍රහලෝකත් , නොමෑඩ් නමැති තාරකා  කැටලෝගයේ ඇති  විශාල ගණනක් තාරකාත් (99%) මෙහි ඇතුලත් කර ඇත.  මෙය පරිගණකයේ  දමා  ගත් පසු සෙට් අප්  කිරීමට මේ යොමුවට යන්න.
http://www.stellarium.org/wiki/index.php/Configuration
අනිත් වැදගත් කම නම් ස්ටේලාරියම්  අයිෆෝන් (iphone) හා ඇන්ඩ්‍රෝයිඩ් වලට පහසුවෙන් බාගත හැකි වීමයි. තවත් හොඳ මොබයිල් මෘදුකාංග නම් ස්කයි වීව් හා ස්ටාර්ස් (skyview, stars) ය. මේවාද  ඔබ සිටින  තැන අනුව තාරකා හඳුනා ගැනීමට සමත්ය.

මා  කැමති තවත් මෘදුකාංග දෙකක් නම් world wide telescope හා celestia යන දෙකයි. සෙලෙස්ටියා එකෙන් අස්ටෙරොයිඩ්ස් (උල්කාපාත) , ධූම කේතු හා චන්ද්‍රිකා ආදිය තිබෙන තැන පෙන් වයි.

මෘදුකාංග සඳහා හොඳම  යොමුව මෙයයි.
http://www.techsupportalert.com/best-free-astronomy-software.htm

අවසන් වශයෙන් තාරකා  විද්‍යාව හා තාරකා  නිරිකෂනය දැන් ඉතා ජනප්‍රිය වන අතර පුරවැසි  විද්‍යාඥයන් පිරිසක් දැන් බිහි වෙමින් තිබේ. වෙබ් ලෝකයේ පුරවැසි මාධ්‍යකරුවන් මෙන්ම මේ පුරවැසි  විද්‍යාඥයන්ද මහත් සේවයක් කරති. එනම් හොඳ ටෙලස්කෝපයක් ඇත්නම් පෘථිවියට එන හදිසි උල්කාපාතයක් හඳුනා ගැනීමට, මන්දාකිණි වර්ග කිරීමට, හිරුගේ හදිසි වෙනස් වීම මැනීමට , සුපර්නෝවා හඳුනා ගැනීමට ඔවුන්ගේ සේවය භාවිතා  වේ. ඔබට ඔබගේ නිවසේ පරිගණකය අසල සිටම මේ මෙහෙය කිරීමට වෙබ් අඩවියක් දැන් අවුරුදු තුනක හතරක සිට ක්‍රියාත්මක වේ. මෙයට කියන්නේ සුනිවර්ස් (Zooniverse) කියයි. මෙහි බලාපොරොත්තුව  පුරවැසි විද්‍යාව (citizen science) දියුණු කිරීමයි.  මෙහි යොමුව https://www.zooniverse.org/. මෙහි සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව ඔබට පුරවැසි  විද්‍යාඥයකු වශයෙන් මන්දාකිනි වර්ග කිරීමෙන් හා හිරුගේ රශ්මිය අධ්‍යයනය කිරීමෙන් තාරකා විද්‍යාඥයන්ට උදව් කල හැකිය.

ඊළඟ ලිපි වලින් අපි ටෙලස්කෝප හෙවත් දුරේක්ෂ තෝරා ගැනීම ගැන කතා කරමු.
මුලාශ්‍ර:http://ww4rf.net/m45-large.html

- අජිත් ධර්මකීර්ති
Fellow of Royal Astronomical Society  

Friday 9 January 2015

ජාතිවාදය අවුස්සන්න එපා

නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය බොහෝ දෙනාට ආශ්වාදයක් ගෙන දී තිබේ. ඔහුට උතුරු නැගෙනහිරින් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්ද බහුතර චන්ද ප්‍රමානයක් වැටී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බොහොමයක් දකුණේ පිරිස් චන්දය දී ඇත. මෙම චන්ද දුන් සිතියම් ඇසුරු කරගෙන ජාතිවාදී අදහස් වැපිරවීමට  හා ශ්‍රී ලංකාව යලි අස්ථාවර  කිරීමට ෆේස්බුක් සමාජ ජාලයේ ඇතැම් පිරිසක් කටයුතු කරනු දැකිය හැකිය. මේ අය බොහෝ විට දැන් අක්‍රිය වී ඇති ලන්කාසීනිව්ස් රසිකයන් විය හැක. මේ අදහස සමපාත  වන්නේ දැනට සොයා ගත නොහැකි විමල් වීරවංශ මහතාගේ දේශනා වලට හෙයිනි. පහත ඇත්තේ මෙසේ ප්‍රචලිත කරන එක්  ඡායාරූපයකි.
ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය විසින් ප්‍රසිද්ධ කරන ලද ඊලාමයේ සිතියම සිරිසේන මහතා දිනු දිස්ත්‍රික්ක වලට සම කර තිබේ. මින් අදහස් කරන්නේ මේ පළාත්වල ජනතාව දෙමල ඊළමක් සඳහා චන්දය දුන් බවකි. මෙය සහමුලින්ම වැරදියට අර්ථකථනය කිරීමකි. ඇත්ත වශයෙන්ම මේ චන්ද ප්‍රථිපලය  සතුටු විය හැකි කාරණාවකි. මේ පළාත්වල දෙමල ජනතාව සිංහල අපේක්ෂකයකුට, ජාතික හෙළ උරුමය පවා සහයෝගය දෙන සිංහල අපේක්ෂකයෙකුට චන්දය දමා  තිබේ.  තවද මේ පළාත්වල දෙමල ජනතාව හා මුස්ලිම් ජනතාවද සෑහෙන ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට චන්දය දී තිබේ. ඒ සියල්ලෝමත් හෙළ උරුමය හා ජනරාල් ෆොන්සේකා සහය දුන් මෛත්‍රිපාල සිරිසේනට චන්දය දුන් අයත් ඊළමට සහයෝගය දෙන්නන් ලෙස සැලකීම එක්කෝ මෝඩ කමකි. නැත්නම් කෛරාටික කමකි. මට සිතෙන්නේ දෙවැන්නයි.
මේ අනිත් පින්තුරයයි.
මෙහි ඉතා වංචනික ලෙස සිරිසේන මහතාට චන්දය දුන් අය ලෙස කතා කරමින් ඉහත කී  කෛරාටික වංචාවම  කරති. මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගත්තේ ඉහත කහ පාටට පෙනෙන චන්ද වලින් පමණක් නොවේ. ඔහුට දකුණේ නිල් පාටට පෙනෙන පැතිවල 35% සිට 45% දක්වා ප්‍රමාණයක් චන්දය දුන්හ.  මොවුන් කියන්නේ මේවා බොහොමයක වෙසෙන සිංහල චන්දදායකයන් ඊළමට චන්දය දුන් බවද?

දැන් අපි ඊළම සඳහා යම් චන්ද පදනමක් තිබුනේ දැයි බලමු. ටැමිල්නෙට් හා වෙනත් LTTE ව්‍යාපාරයට සහය දෙන වෙබ් අඩවි කියා සිටියේ චන්දය වර්ජනය කරන ලෙසය.  ආනන්දී සශිධරන්  මහත්මියගේ සැමියා එම සංවිධානයේ සිටි නිසා ඇයවත් එතනට දමමු. ඇයද කිවේ චන්දය දෙන්නට එපා කියාය. (වෙනත් හේතුන් මත) එතකොට ප්‍රතික්ෂේපවූ චන්ද ගණන යාපනය 495ක් හා වන්නියේ 895 කි. ස්වයං නිර්නන අයිතියට  සහයෝගය දෙන වමේ අපේක්ෂකයන් සිටියේ දෙදෙනෙකි. ඒ  පානි සිරිවර්ධන (63ක්, 57 ) හා සිරිතුංග ජයසුරියයි (34ක්, 100) . මෙය අසාධාරණ යයි සිතුනත් ඔවුන්ට  උතුරේ දැමු චන්දත් එතනට දමමු. (වරහන් තුල ඇත)   හොඳයි නැගෙනහිරත් එකතු කරමු. එය ප්‍රතික්ෂේප කල චන්ද 442 + පානිට  44+ හා සිරිට 18 වේ. දැන් මේ සියල්ල එකතු කරමු. සියල්ල 2014කි.  එය 0.1%ටත් අඩු සංඛ්‍යාවකි. 
අප වලංගු චන්ද සංඛ්‍යාවෙන්  ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව  අඩු කලත් ඉන් ලැබෙන්නෙත් ලක්ෂයකට අඩු සංඛ්‍යාවකි. අප්‍රකාශිත චන්ද වලින් බොහොමයක් රටේ නැති අයගේ හෝ මියගිය එහෙත් මරණය ලියා  පදිංචි  නොකළ චන්දය. 

මේ නිසා ඉහත පළාත්වල බහුතර චන්ද ප්‍රමාණයක් ඊළමට දුන්  ඒවා යයි සැලකීම මිත්‍යාවකි. මේ නිසා මෙය  චන්ද පැරදුනු ජාතිවාදීන් දුකට කරන දෙයක් ලෙස නොසැලකිය යුතුය.  මේ නැවත ජාතිවාදය ඇවිලවීමට ගන්නා  පහත්  උත්සාහයකි. ශ්‍රී ලංකාව ජාතිවාදී යුදයෙන් හා කෝලාහල වලින් ඇති පදම්  බැට  කෑ රටකි. අපේ පවුල් හා නෑදෑයන් ජිවත් වන මේ සුන්දර රට මේ  ජාතිවාදී කුහකයන්ට නැවතත් ඇවිලවීමට  ඉඩ නොදෙමු.
ප.ලි.
නිවැරදි සිතියමක්: