Friday 5 June 2015

සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්

ජිජැක් ගේ කතාවෙන්  පස්සේ කෙලින්ම හිතුන දෙයක් තමා අපි සෝවියට් දේශය විවේචනය කලත් දුෂිත සමාජවාදය කියල, තව කොපමණ හොඳ දේවල් තිබුනද කියන එක. එකක් තමා කෑම. මේ පෝලිම්  ගැන නෙමේ කියන්නේ. කොම්පෝත් හෙවත් පලතුරු යුෂ බීම හා ආහාර ගැන. සෝවියට් එළවළු  කඩවල හා සුපර්මාර්කට් වලත් නිතර දකින්න තිබුන දෙයක් තමා පලතුරු යුෂ බීම. කොපෙක්  විස්සක් වගේ සුළු මුදලක් පමණයි.
සමහර විට ඊටත් අඩුයි.  එවෙලේම හදල දෙනවා පෙයාර්ස් වලින්. නැත්නම් ඇපල් හෝ දොඩම් යුෂ. සිනි ඕනේ නම් දාගන්න පුළුවන්. තිබහම නැත්නම් පෝලිමේ ඉඳන් මේවා බොන්න යන්නේ නැහැ. කඩේ මේවා ගන්න තිබ්බත් කලාතුරකින් තමා ගත්තේ.
එතකොට කොමියුනිස්ට්  පක්ෂයේ හොර ගෙඩියන්ට තිබ්බ කඩවල වික්කේ  පිටරට එව්වා. කේ ජි බි කට්ටියටත්, විදේශික ශිෂ්‍යයෝ අඳුනන කට්ටිය ටත් ඉතින් පිටරට බීම  වර්ග ගණන් පුළුවන්.
ඉතින් ගොර්බචොව් ගේ පාලනය ආවහම රට පොඩ්ඩක් විවෘත වුනා නේ.  ඔන්න ඉතින්  පෙප්සි කෝලා, කොකා කෝලා එන්න ගත්ත. සීනි දාල හදපු දොඩම් යුෂ හෙවත් දොඩම් පාට  ෆැන්ට ආව. ස්ප්‍රයිට් ආව. මමත් ඉතින් රූම් එකට එනකොට අරන් එනවා ගොඩක්. මගදී බොන්නෙත් ඒවා. යාලු වෙලා ඉන්න ගෑල්ලමයි ඉල්ලන්නෙත් ඒවා. පාටියක් දැම්මත් දැන් අර "ලාභ ජරා" සෝවියට් පලතුරු යුෂ වෙනුවට හොයන්  යන්නේ මේවා. මමත්  වැඩියෙන්ම කැමති වුනේ පෙප්සි බොන්න.
දැන් අවුරුදු විස්සකින්  විතර ඉස්සරහට එමු. එංගලන්ත ජිවිතයට. අපේ ළමයින්ට කොකා කෝලා , පෙප්සි දෙන්නේ නැහැ. ඇසිඩ් එනවා. සීනි වැඩියි. සීනි හොඳම නැහැ. අපි දැන් බොන්නේ දුඹුරු සීනි. සුදු සීනි ඇඟට  පුරුදු වුනහම කොකේන් වගේලු. තනිකර කෙමිකල් ප්‍රොඩක්ට් (සමාවෙන්න රසායනික නිෂ්පදනයක්) එකක්.  මම දැන් සිනි දාන්නෙත්  නැහැ තේ වලට. ගහක කොළ වලින් හදපු රස කාරකයක් භාවිතා කරන්නේ.  ළමයින්ට පෙයාර්ස් වලින් හදපු යුෂ බිම නැතත් දොඩම් යුෂ දෙන්නේ දුඹුරු සීනි දාල. ගෙදර පිටිපස්සේ බිරින්දෑ ඇඹුල් චෙරි ගහක් හිටෙව්වා. ඇඟට ගුණයි කන එක බොන එක. එයා  ඒකෙන්  ජෑම් හදනවා . ඇඹුල් බිමක් හදනවා. නින්ද නොමැති කමට, කෑම  දිරවන්න, හන්දි  පත් රුදාවට හොඳයි. ඒ දවස් වල කීසෙල් කියල පහල පින්තුරේ තියෙන ඇඹුල් චෙරි වලින් හදපු බීමක් සෝවියට් දේශයේ තිබ්බ. (පහල පින්තුරය)  මම කටේ තිබ්බේ නැහැ. දැන් තමා දන්නේ ඒවායේ හොඳ .
එංගලන්තේ ස්මුතී කියල බිමක් ආව. දැන් හරි ජනප්‍රියයි. සෞඛ්‍ය සම්පන්නයි. තනිකරම පලතුරු යුෂ කෙසෙල්, ස්ට්‍රෝබෙරි ආදිය එකට දාල හදන්නේ. ටිකක් ගණනුත් වැඩියි. ටිකක්  ලං වෙලා බලන කොට මේ අර සෝවියට් දේශයේ තිබ්බ ලාභ පලතුරු යුෂ බිම එකමනේ කියල තේරෙනව. එංගලන්තේ සීනි වැඩි , ලුණු වැඩි බීම ලාභයි. ගුණ වැඩි යුෂ වර්ග හෙම ගණන්. ලාභ ඒවා ජරාව. 
අර සෝවියට් විද්‍යාඥයෝ ආහාර  දෙපාර්තමේන්තුවේ  පරීක්ෂණ කරලා මිනිසුන්ට බොන්න හොඳයි කියල දුන්න ඒවා සෝවියට් වැසියෝ ගනං ගත්තෙත් නැහැ. අපි ගණන් ගත්තෙත් නැහැ. ඇයි  ඔක්කොම ලොකු පොරවල්,  නිලධාරියෝ බීවෙත් පිටරට ඒවනේ.
ගොර්බගේ කාලෙම ආපු තව දෙයක් තමා බ්‍රොයිලර් කුකුළු මස්.  මම ටිකක්  සීනියර් වෙච්ච කාලේ  ඉතින් කඩේ වැඩ කරන අඳුනන රුස්සෝ රුස්සියෝ ලවා  ගන්නව. පෝලිම තිබුනත් නැතත්. අපේ හිටි පොෂ් ලංකාවේ කෙල්ලෝ  හෙම සමුහ ගොවි පලවල සෝවියට් කුකුළු මස් වලට කිව්වේ රබර් වගේ ඇදෙන ෆ්‍රීස් (ශීත  කරන ලද ) කරලා තිබ්බ ගං කුකුල්ලු කියල. සමුහ ගොවි පලවල හදන ජරාව.  ඒ වගේද හොලන්ඩ් පැත්තේ ඉඳං  එන  බ්‍රොයිලර් කුකුල්ලු. ඒ පැත්තෙන් හුලන් වැදිලා ආවත්  සැපට රහයි. සැපට හැදිච්ච ලොකු රසවත් කුකුල්ලු. 
දැන් ආයෙත් අවුරුදු විස්සක් විතර ඉස්සරහට එමු. බ්‍රොයිලර් කුකුල්ලු කියල කියන්නේ දවස් 28 විතරක් ජිවත් වෙන කුකුල්ලු. උන් ඉන්නේ පුංචිම පුංචි හතරැස් කොටුවක. උන්ව මහත් කරන්න ඕනේ නිසා ඇවිදින්න දෙන්නේ නැහැ. උන් කරන්නේ කන එක විතරයි. දවස් 28 කින් නියම මහතට ආවහම මස් මඩුවට යවනවා. 

මේ කුකුලන්ට ස්ටේරෝයිඩ්ස් දෙනවා (හෝමෝන) මහත් වෙන්න. ඒවා අපේ ඇඟවල් වලට හොඳ නැහැ.  කැන්සර් (පිළිකා) වුනත් හැදෙන්න පුළුවන් වෙන විධිහේ බෙහෙත් උන්ට දෙනවා. ප්‍රති ජීවක ඖශධ වගේ දේ. ඉතින් මොකද කරන්නේ. දැන් අපි ගන්නේ ෆ්‍රී රේන්ජ් චිකන් ඒ කියන්නේ දුවල පැනල නිදහසේ ෆාර්ම්  එකේ හිටපු කුකුල්ලු. එහෙම නැත්නම් කෝර්න් ෆෙඩ් හෙවත් ඉරිඟු කන්න දුන්  "නිදහස්" කුකුල්ලු. එහෙමත් නැත්නම් ඔර්ගනික් කුකුල්ලු - ඒ කියන්නේ කාබනික අහරගන්න  අර කූඩු  අස්සේ හිර නොවී ඉන්න එවුන්. දැන් වැඩේ මේ කුකුළු මස් ඔක්කොම ගණන්. කිලෝ එකක් පවුම් 6-8ක් විතර. රුපියල් 1200-1400 විතර. හැබැයි අර දින 28 බ්‍රොයිලර් එවුන් පවුම් 3ටත් අඩුයි සමහර වෙලාවට. 
මම පසුගිය අවුරුද්දක ලංකාවට ආපු වෙලේ මල්ලිත් එක්ක සුපර්මාර්කට් එකකට ගියා. පොර කුකුළු මස් ගන්න කොට මම කැමති වුනේ නැහැ. පෙනුමට අර බ්‍රොයිලර් වගේ. මම ඇහුවා ගං  කුකුල්ලු නැත්ද කියල මල්ලි ගෙන් . පස්සේ කැරකිලා කැරකිලා පොඩි කඩේකට  ගියා. මල්ලි කණු කුණු ගෑව , මේක හරියට සුද්ධ වෙලත් නැහැ, සුපර්මාර්කට්  එකේ වගේ හොඳ  පාටක් නැහැ. මේ ගම්වල ගෙවල් වල හදන කුකුලොනේ, කියල. මං  කිව්වා හරි ඒකම තමා  ඕනේ කියල. 
සමුහ ගොවිපලවල් කුකුලන්ට නිදහසේ  ඇවිදින්න කරන්න නිදහසත් තිබ්බ. හැබැයි ගං කුකුල්ලු කියල අපි කැමති වුනේ නැහැ. වෙජිටේරියන් වුනා නම් වඩා ලේසියි. ඒත් වැඩක් නැහැ ගහන පලිබෝධ නාශක ප්‍රමාණය දිහා බැලුවහම.

ලංකාවේදී  A/L කරන කාලේ මගේ යාළුවෙක් එක්ක උදේට දුවනවා. යාලුව රගර් ගහපු නිසා හොඳට ව්‍යායාම කරන කෙනෙක්.   එන ගමන් කිරි පැකට් එකක් බොනවා අරගෙන.  මුකුත් ප්‍රශ්නයක් නැහැ. සෝවියට්  දේශයේ ස්මිතානා කියන යෝගට් වගේ පානය ට  මම හරි කැමතියි.  ඒ වගේම කෙෆිර් කියන යෝගට් පානය. අපේ හිටිය වඩුගේ කියල සීනියර් අය්යා කෙනෙක්. එයා ගෙන්  තමා ඒක බොන්න පුරුදු වුනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. 

අවුරුදු විස්සක් ඉදිරියට එමු . පහුගිය අවුරුදු දහය ඇතුලත හරිම අමාරුවෙන් හිටියේ. බඩේ අමාරුවක් නිසා. බඩ  පිපෙනවා. මොනවා කෑවත් හිටපු ගමන් පලු වගේ එනවා. රෑට නිදා ගන්න බැහැ  හුස්ම හිර වෙනවා. ටින් කෑම , බෝතල් කෑම , චීස්  කිරි පොඩ්ඩක් වත් බොන්න බැහැ. යෝගට් කන්න බැහැ. ක්‍රීම්  දාපුව කන්න බැහැ.  ජර්මනියේදී ට්‍රයි කරා ඔර්ගනික් (ඓන්ද්‍රිය නැත්නම් ස්වභාවික)  කිරි. ඒත් හරි ගියේ නැහැ. ජීපී (ආණ්ඩුවේ පවුලේ දොස්තර) ට කිව්වහම අසාත්මිකතාවය තියෙන එක හොයා ගන්න කියා කිව්වා මිසක් මුකුත්  කලේ නැහැ. පස්සේ ඔෆිස් එකෙන් දෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් ගියා චෙක් කරන්න. පවුම් 2000 ක විතර රක්ෂණයෙන් ගෙව්වා එකට. පරීක්ෂණ දහයක් විතර කරලා කිව්වා මට කිරි වල තියෙන ලැක්ටෝස් හරි යන්නේ නැතිලු. (lactose intolerance). මට මල පැනපු පාර කන්සල්ටන්ට් එක්ක වාද කලා . එහෙම නම් කොහොමද මම පොඩි  කාලේ කිරි බිව්වේ ලංකාවේදී. රුසියාවේදී බිව්වා ප්‍රශ්නයක් වුනේ නැත්තේ මොකද වගේ දේ? මිනිහ කිව්වා කිරි වල ප්‍රශ්නය ආසියාවේ හැමෝටම තියෙනවා කියල. අපි හරියට පරිණාමය වෙලා නැහැල්ලු. මැරෙන්න හිනා ගියා ඒක අහල. ඉන්දියාවේ කිරි ඔච්චර බොන්නේ ඇයි කියල ඇහුවම කට උත්තර නැති වුනා පොරට.   පස්සේ මම ඉන්දියාවට ගිය වෙලේ 2008 විතර, ඉන්දියන් තේ බිව්වා කිරි වලින්ම හදන වතුර නොදා. පස්සේ යෝගට් කෑව. තව කිරි වලින් හදන බිම බීව. කිසි ප්‍රශ්නයක් නැහැ.

ඔය අතරේදී මට කල්පනා වුනා මගේ ළමයි පුංචි කාලේ කිරි බොන කොට , යෝගට් කන කොට අසාත්මික තාවක්  ආව නේද  කියල.  අපි පාට  පාට, ගණන් යෝගට් නැතුව සරල  ඔර්ගනික් යෝගට් දුන්නම හරි ගියා. 
ළමයි නිකන් කිරි වලට පුරුදු වුනා  වගේ දෙයක් වුනේ. (ලොකු දුවට ආයෙත් ඒක  හැදිලා දැන් ). ඔය අතරේදී ගිය එංගලන්තේ ගොවිපලක් බලන්න. ළමයි ව එක්කන් ගියා චාරිකාවක් නිසා. එතැනදී දැක්ක  දෙයින් මට වැටහුනා මගේ ප්‍රශ්නය. එතන එළදෙනුන්ට තණකොළ දුන්නත් කන්නේ නැහැ වගේ  දැක්කේ. උන් කන්නේ පොඩි දර කෑලි  වගේ (පුන්නක්කු නොවේ) ජාතියක්. අහල බලන කොට ඒ ගව ආහාර වල  ස්ටෙරෝයිඩ් (හෝමෝන ජාති) , ප්‍රති ජීවක ඖෂධ, විටමින් ජාති , කිරි වැඩි පුර එන්න මොකක්ද රසායනිකයක් වගේ දේවල්  දාල හදපු කෑමක්. ඉස්සර හරක් හා බැටළු මසුත් තිබිල තියෙනවා. අර හරකුන්ට හැදුන  CJD ලෙඩෙන් පස්සේ මස් අඩංගු කෑම දීම තහනම්. ඒත් මාළු තියෙනවා මන් හිතන්නේ. තණකොළ කන්නේ නැති හරක්. මට වෙලා තියෙන්නේ මේ කිරි වල තියෙන  රසායනික වලින් එන අසාත්මික තාවයක්.  හොයල බලන කොට මේ එළකිරි වල වෙනම ප්‍රෝටීන් වර්ග වගයක් නිපද වෙනවා. කෘතීම ඒවා. ජර්මනියේ පමණක් නොව මුළු යුරෝපයේම කිරි වල එහෙමයි.  ඒවායෙන්  සමහර අයට අසාත්මික තාවයන් ඇති වෙන්න පුළුවන්. ඉන්දියාවේ කිරි මට බොන්න පුළුවන් වුනේ ඒවා වල මේ අමුතු  ප්‍රෝටීන් වර්ගය නැති නිසා. දැන් මිල අධික කිරි වර්ගයක් එනවා A2 කියල. අර කිරි වලින් අසාත්මිකතාව ඇති කරන ප්‍රෝටීන් එක අයින් කරපු. ඉස්සෙල්ල එහෙම අමුතු කිරි හදල දැන් ඒවා වලින් ප්‍රෝටීන් අයින් කරලා ආයි වැඩි ගානට විකුනනව. අර සමුහ ගොවිපලවල් වල තිබ්බ විධිහට  සාමාන්‍ය  තණකොළ කාල හැදෙන එළදෙනුන්ගේ  කිරි වල මේ ප්‍රශ්න නැහැ. හැබැයි සෝවියට් රජය අන්තිම කාලේ බටහිර ක්‍රම අත්හදා බැලුව.

ඒ කාලේ සමාජවාදී රටවල් තිබ්බ ප්‍රශ්නයක් තමා අහර විකුණන කඩවල පෝලිම්. ඒවා ගැන මිට කලින් කතා කරලා තිබෙන නිසා මෙතන ලියන්නේ නැහැ. ඇයි ඒවා ඇති වුනේ කියල. එක පවුලේ අම්මා  පෝලිමේ එක තැනක. දුව හෝ පුතා තව තැනක. සැමියා තව කොනක. එතකොට තම වැඩිපුර දොඩම් මල්ලක්, කෙහෙල් ටිකක්, මස් ටිකක් ගණන් පුළුවන්. ඒවා වල වැසියන් නැවත ඒ ක්‍රමයටයන්න කැමති නැහැ. ධනවාදී ක්‍රමයේ අහාර කොච්චර නුගුණ වුනත්. ගණන් වැඩි වුනත්. 
හැබැයි ඉතින් දැන් බටහිර ඉන්න අපි ආපහු  නැවත යනව.  සරල ක්‍රම වලට. වඩා  සෞඛ්‍යයට හිතකර වගා  ක්‍රම වලට. මස් මාළු නිෂ්පාදනයට.  හිමින් හිමින් සමාජවාදයට යනවද? මොකද ඩෙන්මාර්ක් වල මේ පැත්තෙන් හුඟක් ඉහලයි තත්වය. මේ සමාජවාදය ලෙනින්, ස්ටාලින්, මාඕ, විජේවීර කියූ විධිහට නොව වෙනස් විධිහට හැඩ  ගැසෙමින් එනවා වත්ද? 
  



Tuesday 2 June 2015

ජිජැක් ගේ කතාවේ විසංයෝජනය

ජිජැක් ලංකාවට ගෙනාවේ X -කණ්ඩායම බවත් ඔබ ඔවුන් ගැන සඳහන් කලේ නැත්නම් ජිජැක් ගැන කිසිවක් ලිවිය නොහැකි බවත් කියා කවුදෝ මට අවවාදයක් දුනි.  ජිජැක් ට සිජැක් කියා ලීවේ කවුරු හරි වලියක් අදීද බලන්නටය. ඇද්ද කෙනෙක් නැත.  මුල් ලිපිය බලන්න මෙතනට යන්න.  මා මුල් උපාධිය කලේ සෝවියට් දේශයේ නිසා ස්ලාවික් නම් මා උච්චාරණය කරන්නේ වෙනස් අයුරිනි. ඇමෙරිකානුවන් ජිජැක් හඳුන්වන්නේ ෂිෂෙක් යනුවෙනි. ස්ලාවික් වරු ඒ නම උච්චාරණය කරන්නේත්  එලෙසම ය.මගේ නමේ ධ අකුර රුසියානුවන්  ලිව්වේ ද යන්න ෂ හා ජ එකට උච්චාරණය වන අකුරක් හැටියටය.   කෙසේ වතුදු ඉහත ලිපිය කියවූ සැවොම හඳ  දෙස නෙත් යොමු කලා මිස ඇඟිල්ල දෙස බැලුම් හෙළුවේ නැත. හෙවත් ජිජැක් ට මොන නමින් කතා කලත් ඔවුන්ට එය වැදගත් වුයේ නැත. 

දැන් අපි අර ජිජැක් ගේ කතාව සාකච්චා  කරමු. 
කෝපි  කඩයට ඇතුළුවූ මිනිසා ඉල්ලන්නේ  කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ය. 

කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා කියන්නේ ඔවුන්  ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර බවයි. ඒ වෙනුවට ඔහු පාරිභෝගිකයාට  සීනි  නැති කෝපි  කෝප්පයක් මිලදී ගන්නට යෝජනා කරයි. 

සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා  මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.

ඔහු එසේ කියන්නේ ඇයි?  එක්කෝ කෝපි  කඩේ සීනි  සහ ක්‍රීම්  දෙකම නැත.  එසේ නැතිනම් කෝපි කඩේ බැරිස්ටා පාරිභෝගියකයාට වෙනත් නව විසඳුමක් යෝජනා කරයි. එනම් ක්‍රීම් නැති නිසා ඔහුට සිනි නැති කෝපි එකක් යෝජනා කිරීමයි. දැන් අපි සාමාන්‍ය වෙළඳ හලකට ගොඩ වැදී හෙම්බිරිස්සාව හැදී එන නිසා  සමහන් පැකට් එකක් ඉල්ලු විට කඩයේ සමහන් නැතැයි සිතමු. ඒ වෙනුවට කඩ හිමියා  කටුවැල් බටු පැකට් ඇත්නම් එය යෝජනා කරන නොඅනුමානය. එසේ නැත්නම් "අපි ළඟ  හොඳ තේ කොළ පැකට් වගයක් ඇවිත් තියෙනවා". "ආ මේ අලුත් බිස්කට් පැකට් ජාතියක් (හෝ තව මොනවා හරි)  කඩ හිමියා  හෝ සේවකයා විසින්  යෝජනා කරනු ලබයි. මා  ජිවත් වන එන්ෆිල්ඩ් වලට  නුදුරු  එඩ්මන්ටන් වල ඇති දෙමල ජාතිකයන් විසින් පවත්වා ගෙන යන වෙළඳ හලට ලංකාවේ කෑම මිලදී ගැනීමට මසකට දෙවතාවක්  පමණ යමි.  සමහර විට රතු හාල් සහ ලංකාවෙන් එවන කිතුල් පැණි  බෝතලයක් රැගෙන ඒමට  යන මම  අන්තිමට එන්නේ , ගෙදර උයන්නේ නැති වුනත් මුකුණුවැන්නා  මිටියක්, ගොටු කොළ මිටියක්, මාළු, කෙහෙල් මුව, දිවුල්  කිරි බෝතලයක්, රොටී සහ තව නොයකුත් දෑ මට නොදැනිම මිලිදී ගෙනය. මින් භාගයක්ම දේවල් යෝජනා කරන්නේ සේවකයා හෝ කඩ හිමියාය. ඔවුන්ගේ ලාභය ඇත්තේ ම අප සොයා ගොස් ගන්නා  එක භාණ්ඩයෙන් නොව තව මොනවා හරි අපට වැඩිපුර විකුණා ගැනීමෙන්ය.  සමහරවිට අදාල භාණ්ඩය නැත්නම් නැහැයි නොකියා තව මොකක් හරි දෙයක් විකිණිය යුතු මය. නැත්නම් පාරිභෝගිකයා වෙනත් ස්ථානයකට යනු ඇත.  ඔවුන් ගේ ලාභය අහිමි වනු ඇත.

අප විශාල සුපර්මාර්කට් එකකට ගිය විට සිදු වන්නේ කුමක්ද?  අද මම කිරි කාට්න් එකක් (බෝතලයක්) ගැනීමට කෑම පැයේදී ගොස් රයිස් පුඩින් එකකුත් , කඩල  ටින් එකකුත්, චොකලට්  බනිස් පැකට් එකකුත් රැගෙන ආවෙමි. අනිත් ජාති තුනම මම ඇලුම් කරන දේ නිසා හදිසි  අවශ්‍යතාවයක් නැති වුවත් මිලදී ගතිමි. අද දවස තුල මම ඒවා නොකෑමට හොඳටම ඉඩ තිබේ. 
බොහෝ අයගේ මේ භාණ්ඩ වලට ඇති ඇල්ම මිට වඩා බොහෝ දුර ගොස් තිබේ. භාණ්ඩ නිසා ජිවත් වන තරමට අපි ඒ දේට ඇලුම් කරමු. ඒවායේ ලාභය කාටද ලැබෙන්නේ කියන එක අපට ප්‍රශ්නයක් නොවේ. කාල් මාක්ස් "භාණ්ඩ වලට ඇති ඇලුම" ගැන පවසා ඉන් ලබන ලාභය ධනවාදය රැක ගැනීමේ මුලික පදනම බව පැවසුවේ බොහෝ කලකට පෙරය. නුතන ධනවාදයේ ප්‍රධානම සලකුණක් වන්නේ අපට අවශ්‍ය වුනත් නැතත් ඒ දේ අපට අවශ්‍ය බව ඔත්තු ගැන්විමය. ක්‍රීම්  නැති කෝපි කෝප්පයක් වෙනුවට සිනි නැති කෝපි කෝප්පයක් වුවද ඔබට (පරිභෝගියකයාට) ලබා දීමට අප (වෙළෙන්දා) සුදානම්ය. මේ භාණ්ඩ වලට ඇති ඇල්ම ගැන බොහෝ කලකට පෙර ලියු ලිපියට මේ යොමුවෙන් යන්න. 

දැන් නැවත අර පරණ කතාවට යමු. මෙයට ෆේස්බුක් එකේ පිළිතුරක් සපයන  ඇන්ඩි බෙස්ට් පරණ සෝවියට්  විහිළු කතාවක්  සිහි ගන්වයි. 

සෝවියට් කාන්තාවක් ආහාර (මස්) විකුණන වෙළඳ හලකට ගොඩ වැදී ඔවුන් ළඟ මස් විකුනන්නට  තිබේදැයි අසන්නිය. ඔවුන් "නැහැ අපි ළඟ නැහැ " යනුවෙන් පිළිතුරු දෙන අතර ඇගේ  දෙවන ප්‍රශ්නය එනම් "එහෙනම් කිරි තිබෙනවද ?" යන්නට කියන්නේ  "අපි විකුනන්නේ මස් විතරයි. පාරෙන් එහා පැත්තේ කඩේ තමා කිරි විකුනන්නේ. නමුත් ඒ ගොල්ල ගාව  කිරි නැහැ. "
ඇන්ඩි බෙස්ට් නමැති එංගලන්ත ජාතිකයා සෝවියට්  දේශය ගැන සිතන්නේද එසේමය. ඔවුන්ට කෑම සහ අනිකුත් භාණ්ඩවල දැඩි හිඟයක් ඇති අතර බොහොමයක් සෝවියට් වැසියන් සිට ඇත්තේ බඩගින්නේය. ඒ නිසා ධනවාදී රටවල සමාජවාදය පිහිටුවීමේ තේරුමක් නැත.  

මගේ අත්දැකීම ලෙස මා  ලිව්වේ බඩ  ගින්නේ පෙලෙන රුසියානුවෙක් හෝ කෙට්ටු රුසියා නුවෙක් මවිසින්  කිසිදා නොදුටු බවයි.


තවත් අත්දැකීමක් නම් මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගිය විටදී එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල්  වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැති බව නිරීක්ෂණය කිරීමයි.  ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන්  ගෙන් ඇසූ  විට පිළිතුර වුයේ කඩේ වැඩ කරන හොඳ ගැහැනියක වන මහත ගාල්යා  කඩේට  මස් මාළු  සහ අලුත් භාණ්ඩ පැමිණි විට හැමෝටම පණිවිඩ එවන බවයි. ඉන්පසු පස්සා දොරින් හොඳම අත්‍යවශ්‍ය භාණ්ඩ විකුනන බවයි.මේ නිසාම ඔවුන්ගේ ගෙවල් වල අග හිඟයක් නැත. මා  කිවේ මේ දුෂිත සමාජවාදය බවයි.  


මෙහිදී  මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ? යන ප්‍රශ්නයන් නැගුවෙමි. සෝවියට්  දේශයේ විනිට්සා නගරයේ ඉගෙනීම ලැබූ අපේ සහෘද බ්ලොග් ලියන්නකු වන වෛ ද්‍ය රුවන් එම් ජයතුංග විසින් සෝවියට් මිනිසුන් භාණ්ඩ සපයා ගන්න ආකාරය ගැන හොඳ ලිපියක් ලියා තිබුණි. මැක්සිම් ඉවානවිච්  නම් මේ ලිපිය හැකිනම් නැවත කියවන්න. සෝවියට් පන්නයේ  සමාජවාදී සමාජයේදී "නැති" පැට්‍රොල් සොයා 
දෙන තැනැත්තා ගැන කියවන්න. 
ලාභය අහෝසි කල විට වෙළඳ ආයතනයේ ළඳුන්ට තම දේවල් පරිභෝගිකයාට විකිනීමට අවශ්‍ය තාවයක් නැත. කඩ හිමියා  සෝවියට් රජය හෝ ප්‍රාදේශීය රජයයි. හෝ නගර සභාවයි. ඉතින් වෙන්නේ හැමෝම තියෙන දේවල් ටික උස්සගෙන යාමයි. කාටවත් විකිනීමට අවශ්‍යතාවයක් නැති මේ  රජයේ දේපල වලින් සොරකම් කිරීම සාමාන්‍යකරණය වීමක් සිදුවී තිබේ. එසේ උදව් කරන අය  හොඳ ගාල්යා සහ කරුණාවන්ත මැක්සිම් ඉවානවිච්ය.  සෝවියට් දේශය බිඳ වැටුනු  විට මේ සුපර්මාකට් සහ අනිකුත් විශාල කර්මාන්ත  ශාලා කුණු කොල්ලයට ඒ භාණ්ඩ පිට දොරින් විකුණු අයටම ලැබුණි. දැන් රුසියාව පාලනය කරන්නේ ඔවුන්ගේ නියෝජිතයාය. 

දැන් ජිජක් නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන පැවසුවේ කුමක්ද?


ත්‍රිමාණ පිළිතුරක්:
අජිත් , මෙතන ජිජැක් අවධාරනය කරන්නෙ “ධනවාදය”[capitalism] ගැන නෙවි , ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] නැතිව පවතින්න බැහැ යන අදහසයි. [0/-1] ඒ අදහස මත තමයි ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ .[capital as a suject]

-visiting:



Friday 22 May 2015

පොකුණු දිය බොර කල පට්ට වේ*******ගේ කථාවක්

අනුව දශකයේ මුල්ම හරියේ ලංකාවේ දකුණේ කලබල කෙමෙන් සිඳී යමින් පැවති  සමයේ  කිසියම් කරුණකට ලංකාවේ සිටියෙමි. ඒ අතර මගේ හිතවතෙකුගේ අවශ්‍යතාවයකට  එවකටපැවති  රජයේ ඇමති මට්ටමේ ප්‍රබලයෙකු හමුවීමි.  (ඔහු දැන්
ජිවතුන් අතර නැත) ඔහු සමග ආයෝජන  ප්‍රවර්ධන කලාපයේ කම්හලකට ගියේ මගේ හිතවතාට එම කම්හලේ නිපදවන භාණ්ඩ අපනයන කිරීමට අවශ්‍ය වූ බැවිනි. ඇමති මට්ටමේ ප්‍රබලයාට ඒ පැත්තේ කම්හල් හිමියෝ ඉමහත් ගරු කළහ. පිට රටින් ගෙන්වන නිමි ද්‍රව්‍ය අඩු බදු මුදලකට පාස් කර ගැනීම වැනිදේ ඔහු ලවා කරවා  ගත හැකි වුනු අතර, රජය සම්බන්ධ ප්‍රශ්න හා ඕඩර් ලබා ගැනීම්  සඳහාත් ඔහු ඔවුන්ට උදව් කළේය. මට අවශ්‍ය කාර්යයට එම කම්හලට ගිය පසු ඔහු තමන්ගේ "කට් " එක ගැනීම සඳහා වෙනත් ගාමන්ට් එකකට ඇතුළු විය. එහි අයිති කරුද ඔහු හඳුනයි.  "කට් " එක සමග තවත්  "කට් " එකක් ද ඔහු පැජරෝවට රැගෙන ආවේය. ඒ සත්‍යජිත් මාඉටිපේ ගේ  "බොරදිය පොකුණ" හි මංගලා මෙන් එහෙත්  එතරම් උස නැති අවුරුදු දහහතක දහඅටක   ඉතා පියකරු යුවතියකි. ඔහු කීවේ "ඇයට ලිෆ්ට් එකක්" දෙන බවකි. නමුත් කලාපයේ සිට කොළඹ පැමිණි පසු ඔහු තරු 5 හෝටලයක් ළඟ රිය නැවැත්වීමට අණ දුනි. රියදුරුට මා පෙන්වා "මේ මහත්තයාගේ   ගේ ගාවින් බස්සන්න " යයි පවසා,  පියකරු යුවතියව පැජරෝවෙන්  බස්සවා  ගත්තේය. ඇය මදෙස බැලූ  බියමුසු විලාසයත් ඇගේ  අතේ ඇඟිලි වෙව්ලු ආකාරයත් පැහැදිලිව දුටිමි.   ඉන් පසු එන ගමනේදී ජීප් රථයේ සිටි ඔහුගේ ආරක්ෂකයන් සමග කතාවට වැටුනෙමි.
"මහත්තයාට ගාමන්ට් පැත්තේ ගියාම ඒවල  ලොක්කෝ හොඳට සලකනවා, අලුතෙන් හොඳ  කෑල්ලක්  ආවොත්  මහත්තයට එන්නත් කියනවා." එතකොට මේ එහෙම ළමයෙක්ද යයි විමසීමි. වඩාත් දොඩමලු වූ ඔහුත් අනිත් අරක්ෂකයාත් පැවසුවේ ඔහු මාස  දෙක තුනකට වතාවක් අලුතෙන් එන යුවතියක රැගෙන හෝටලයකට යන බවයි. ඒ යුවතියන් යන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් නොවේ. ඔවුන්ට බල කරන නිසාවෙනි.
නැතහොත් ලැබුන රස්සාව දමා  ගෙදර යා  හැකිය. ඉන්පසු ආරක්ෂා අංශ  සමාජිකයා  පැවසුවේ "එහෙම කෑලි  මහත්තය ගෙන් පස්සේ අපටත් සෙට් වෙනව (හෙවත් තර්ජනය කර සෙට් කර ගන්නවා යනුවෙනි)" පස්සේ උන් කොල්ලෝ සෙට් කර ගත්තත් කොල්ලට කියනවා කියල බය කලහම එනවා පට්ට වේ***යෝ. ඔවුන් පට්ට වේ**** වන්නේ කෙසේ දැයි මම නොඇසුවෙමි. නමුත් මගෙත් ඒ දේශපාලනයට සම්බන්ධ තැනැත්තා ගේත්  සම්බන්ධය එතනින් අවසන් කලෙමි.

ලන්ඩනයේ අගෝරා කලා කවය සංවිධානය කල බොරදිය පොකුණ නැරඹීමට පසුගියදා  ගියෙමි.  එහි ගෝතමී (කෞශල්‍යා ප්‍රනාන්දු) තමන් රහසේ ආදරය කරන විපුල (දුමින්ද ඩි සිල්වා)  ලබා ගැනීමට ඔහුගේ පෙම්වතිය මංගලා (දිලානි අබේවර්ධන )  දෙන පෙම් ලිපි නොදී ඔවුන් විරසකයකට යොමු කරයි. ඉන්පසු ඒ පිලිබඳ දුකින් ගොළු හදවතේ මෙන් බි වෙරිවී සිටින බොළඳ පෙම්වතා වන විපුල හමුවීමට ගොස් ඔහු සමග ලිංගිකව  හැසිරෙයි.  ඔහු නොලැබෙන අවස්ථාවල රැයේ  ස්වයං වින්දනය සඳහා රහසේ යොමු වෙයි.මේ අවස්ථාවේ මා  ළඟ හිඳගෙන සිටි  චිත්‍රපටිය පටන් ගත් තැන සිට නිතර තම බිරිඳ සමග  විස්තර ප්‍රචාරය කරමින් සිටි සැමියෙක් මෙසේ කියනු අසා සිටියෙමි. "පට්ට වේසි, ඌම (විපුලව) අල්ල ගන්න ඕනෙද? පව්  අර අහිංසක කෙල්ල මංගලා,  අර ගෙදර ඉන්න අනිත් කොල්ලට  (සුරන්ජිත් - ගයන් ලක්රුවන් ) කියල කර ගත්ත නම් මොකද ".  විවේකයෙන් පසු චිත්‍රපටියේ  දෙවන භාගයේ සත්‍යජිත් මාඉටිපේ ඉතා සුක්ෂම ලෙස මංගලා  රහසේ සුරන්ජිත් සමග ඇති කරගත් සම්බන්ධය හෙළි කරයි. අර සැමියා හා බිරිඳ නිහඬ වුනේ එතැන් සිටය.

දීප්ති ගුණරත්න විසින් සංස්කරණය කල "හිස්ටීරියාව" පොතේ මෙසේ දැක්වෙයි.
"ෆ්‍රොයිඩ් මෙසේ පැවසුවේය. 'තමා ආදරය කරන්නා  අහිමි වීම නිසා තමාට අහිමි වුනේ
කවුදැයි යන්න වැළපෙන්නා  විසින් දන්නා මුත්, එසේ වීමෙන් තමාට අහිමි වුයේ කුමක්ද යන්න ඔහු නොදනී.' ෆ්‍රොයිඩ් විසින් 'කුමක්ද' යන්නෙන් සලකුණු කළේ  ඉහත අභිරහස මානසික ඒජන්සියක් බවයි. ආදරයට ලක් වන්නා යනු පුද්ගලයෙක් බව ඇත්ත මුත්, ඊට ප්‍රථමව ඒ අපේ අවිඥානයේ ම 'කොටසකි'."

මෙම විශ්මිත 'කොටස', මෙම අහිරහස් 'වස්තුව'  පිලිබඳ ගැටලුව ලැකාන් විසින් නොවිසඳූ අතර, ඔහු එයට "object a " ලෙස සලකුණක් යෙදුවේ ය.  මෙහි විශ්මිත, අභිරහස්මය ස්වභාවය යනු අන් කිසිවක් නොව සංකේතනයේ අසමත්වීමට පසුව මුණ ගැසෙන, යථ  තුල ස්ථාන ගත කෙරෙන අතිරික්ත ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ශේෂයයි, මෙය ආදරය කරන්නාට, එනම් විෂයට හෝ අනෙකා -ට අයිති දෙයක් නොවේ. මෙය සරලව කියන්නේ නම් ආදරය කරන්නාගේ ශරීරයේ ශෘංගාර කලාපයක් ප්‍රමෝදයට පත් වන විට එම ශෘංගාරයේ ශරීර කොටස ප්‍රමෝදයට පත්වෙමින් ආදරය ලබන්නාගේ 'කොටසක්' හා බැඳේ, එනම් අනෙක් අතට කීවොත් මගේ ආදරයට පාත්‍ර වන්නා විසින් මගේ ශරීරයේ කොටසක් මට අහිමි කරයි; එය මගේ ආදරයට පාත්‍රවෙන, යථාර්ථය තුල සිටින පුද්ගලයාට  අයිති නොවන අතර මටද අයිති නැත. එම පුද්ගලයා යනු විෂයේ ෆැන්ටසිය තුලින් විෂය කරා  එන හුදු ආධාරකයක් පමණි.
-හිස්ටිරියාව පිටුව 374

ගෝතමිගේ ජිවිතයේ යථාර්තය දිග හැරෙන මේ චිත්‍රපටිය දිග වැඩි බවක්ද පැවසිනි. අනවශ්‍ය දර්ශන කීපයක්ම සත්යජිත්ට කපා  හැරීමට අවකාශ තිබිණි. බටහිර රටවල පැය  එකහමාරේ චිත්‍රපටිය නරඹන සිනමා ලෝලීන් ඉන් අනතුරුව අවන්හලකට රාත්‍රී  ආහාරයට ගොඩ වැදීම සුලභ දෙයකි. දිග චිත්‍රපටියක් වෙළඳ පලට නිකුත් කිරීම ඒ නිසා අවාසිදායකය.  නමුත් පැය  දෙක පසුකරයන  චිත්‍රපටි නැතුවා  නොවේ. "ෆිලිපිනෝ පවුලේ විකාශනය "නමැති චිත්‍රපටිය පැය  10 කි. "දස පනත " චිත්‍රපටිය පැය  තුනකුත් විනාඩි 40කි.  සත්යජිත්ට අවශ්‍ය වී ඇත්තේ ගෝතමී රැකියාව පටන් ගත්  දා  පටන් ඇය  මුහුණ දෙන සිද්ධීන් ගේ විශ්ලේෂණයක් කිරීමට පාඨකයාට අවස්ථාව ලබා දීමට යයි සිතෙන බැවින් මේ මහා දිග කතාවට  එකඟ විය හැකිය.
එය එසේ බව ද සත්‍යජිත් පහදා  දෙයි.  මංගලා  හා විපුල ගේ ආදරයට සහය වන ගමන් ගෝතමී විපුලට රහසේ ආදරය කරන දීර්ඝ රූප  මාලා විපුල හා ගෝතමී ගේ අතර ඇතිවන ලිංගික සම්බන්ධයෙන් හා ගෝතමී  ස්වයං වින්දනය කිරීම  පෙන්වන රූප මාලාවෙන් සාධාරණය වෙයි. එසේම ඉන්දියන් චිත්‍රපටියක මෙන් සුභ අවසානයක් කිරීමට මෙන් යන දීර්ඝ රූප මාලා - එනම් ගෝතමී හා සැමියා ඩෙස්මන්ඩ්  (ධර්මසිරි බණ්ඩාරනායක) ගේ ආදර කතාව, ඔවුන් හදා ගැනීමට දරුවෙක් සෙවීම, දරුවා රැගෙන වාහනයකින් නැවත ඒම - කෙළවර වන්නේ ගෝතමී වැනිම වූ තවත් ගාමන්ට් කෙල්ලක් රථයේ හැපීමට ගොස් බේරී ඔවුන්ට බනින දර්ශනයකිනි. කදුළු වැගිරෙමින් ඈ  දෙස  බලා  සිටින ගෝතමී ප්‍රේක්ෂකයාට, ගෝතමී මුහුණ දුන් විෂම චක්‍රය ඒ ආකාරයෙන්ම ඉදිරියටත් වෙනත් ගැහැණියකටත්  මුහුණ දීමට සිදු වෙන බව දන්වයි.

චිත්‍රපටයේ ඇතැම් තැනක ග්‍රාම්‍ය  වදන් භාවිතය ඒ ආකාරයෙන්ම දැකිය හැකිය.  සම්භාව්‍ය සිනමා හෝ වෙනත් කෘතියක එසේ නොවිය  යුතුයිද භාෂාව හැසිරවීම වඩාත් කලාත්මක විය යුතුයිද විවේචනයක් පවතී. සම්භාව්‍ය යයි කියා ගන්න දේශපාලකයන් සම්භාව්‍ය හා උගත් ජනතා නියෝජිතයන් සිටිය යුතු ව්‍යවස්ථා නීති රීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවක ප*** ඇතුළු ග්‍රාම්‍ය වදන්  භාවිතා කරන්නේ නම් යථාර්තවාදී රීතියෙන් බැහැර නොයමින් සත්‍යජිත් තම සිනමා කෘතියට  එවදන් එක්  කිරීමේ පාපයක් මම නොදකිමි. ඇරත් අතිශය ලෙස උද්වේගකාරී අවස්ථාවක ස්ව හැඟීම් අමු අමුවේ තලා  දමනා  වෙලාවක   අපේ වචන භාවිතය මෙසේ වේ යැයි කිව හැකිද? මා  දන්නා පරිදි විශ්වවිද්‍යාල  උපාධිධාරී යුවලවල් කුණුහරපෙන් බැන ගන්නා  සමයක, හාමුදුරුවරුන්, දේශපාලකයන්, පුජකයන් කුණුහරප කරනා සමයක, ගෝතමිලා කෝපය හා වේදනාව  ග්‍රාමය භාෂාවකින් පිට වීම වැළැක්විය හැකිද?

  ගෝතමිගේ ෆැන්ටසිය විපුලයි. ඇගේ  ෆැන්ටසියේ යථාර්තය දරුවකු ලැබී අනාථ  වීමයි. නමුත් ඒ යථාර්තයට ඇය  යට වුයේ නැත. මවකට කෙතරම් අපහසු වුවත් දරුවා හදා ගන්නට දී ඇය  නැවත  ජීවිතය සොයා ගියාය.


"ෆැන්ටසි සවිඥානික  හෝ පුර්ව  විඥානික (එනම් අපි ඒ කෙරේ අවධානය යොදවන්නේ නම් දැනුවත් විය හැකි ෆැන්ටසි ) ලෙස පැවතිය හැකි අතර ම ඒවා අවිඥානකවත් පවතියි. උදාහරණයක් ලෙස ෆ්‍රොයිඩියානු, "ළමයෙක් පහර කමින් සිටියි" යනුවෙන් වන සවිඥානිකෆැන්ටසියේ අවරෝධිත, දෙවන ස්වරුපය වන "මම මගේ පියාගෙන් පහර කමින් සිටිමි" යන්න පහරදීමේ-ෆැන්ටසියේ අවිඥානික ස්වරූපයයි.නිරන්තරයෙන් මෙවැනි අවිඥානික ෆැන්ටසි කරා  අපට ලඟා  විය හැක්කේ 'අවිඥානය කරා ඇති " ෆ්‍රොයිඩියානු 'රාජකීය මාවත' වන සිහින හරහායි."
අනෙකාගේ ආශාවේ ප්‍රහෙලිකාවට පිළිතුරක් - හිස්ටිරියාව පිටුව 375

බෞද්ධ හැදියාව නමැති  ෆැන්ටසිය විනාශ වෙන නගරයේ සිට දරු ගැබ සහිත කාන්තාව (ගෝතමී)  සහල් පිරි නමන ශාන්ත භික්ෂුව නිරූපනය කරන්නේ දරුවා අවජාතක නොකරන ඇගේ සහෝදරියගේ හා සැමියාගේ අව්‍යාජත්වයද?

විපුල සමග එක්වීමෙන් දරුවකු පිළිසිඳ ගෙන ඔහුගේ යහළුවන්ගෙන් පට්ට වේ... නම් ගරු නාමය රැගෙන දරුවා බිහි කිරීමට ගමට යන ඇය නැවත පැමිණ මැද පෙරදිග යයි. එහිදී කතෝලික ඩෙස්මන්ඩ්  සමග යහළුවී නැවත ලංකාවේදී විවාහ වෙයි.  කතෝලික නම් දික්කසාද විය නොහැකි අතර දෙවන කසාදයක් කිරීමද කල නොහැක්කකි. නමුත් ඩෙස්මන්ඩ් මෙහිදී සම්ප්‍රදායට විරුද්ධව යයි? ඇය බැලීමට ඩෙස්මන්ඩ් ගේ පළමු කසාදයේ බිරිඳ ඩොරින් (වීනා ජයකොඩි?) පැමිණෙයි. ගෝතමී සිටින නිවසට  දරුවාගේ නඩත්තු මුදල් සොයා පැමිණෙන ඩොරීන් දැකීමෙන් ප්‍රලය වන ඩෙස්මන්ඩ් ගේ මව (චන්ද්‍රා කළු ආරච්චි ) ඇයට  "එක එකා සමග යන එකී"  හෙවත් "පට්ට වේ***"  සම්මානය ලබා දෙයි. ඇගේ අලුත ලැබුන  සුපිරිසිදු ලේලියගේ (ගෝතමී) ෆැන්ටසිය ආරක්ෂා කිරීමට මන්නයද  රැගෙන සටනට යයි.  අවාසනාවන්ත ලෙස  මේ අවුලේ ගොදුර වන තම මිනිපිරිය පිලිබඳ දුකට වඩා ඇගේ සමාජ තත්වය  වැදගත්ය.
කතාවේ මුල් හරියේ  වේ...ගේ  සිට  සුපිරිසිදු ලේලිය බවට පත් වීමේ  දයලේක්තික ප්‍රතිවිරෝධයේ සින්තසිය ගෝතමී නමැති පරිණත කාන්තාවයි.
මංගලා  හා විපුලගේ නිවසට යන ගෝතමී ඉන්පසු මුහුණ දෙන්නේ පියකරු යුවතිය හා කඩවසම් තරුණයා  අතර සිදුවිය යුතු  පරිපුර්ණ සාමය සතුට පිරි කසාදය හා මෙරිගෝ රවුමේ යමින් දරුවෙකු සමග සතුටු වන ලස්සන පුංචි පවුල් කැදැල්ලේ  ෆැන්ටසිය
නොවේ. විපුල සමග යහළුවී සිටිමින්ම  බෝඩිමේ මල්ලි සමග ද පෙම් සුව විඳ දරුවකුද ගබ්සා කර ගත්  මංගලා ගේ හා ඇය පිලිබඳ සත්‍ය දැනගත් විපුල අතර විවාහය නමැති ඛේදවාචකයයි.

චිත්‍රපටිය අවසාන  වන්නේ තවත් ගෝතමීලා හා මංගලා ලා මේ ක්‍රමය තුල   බිහි වන්නට වන්නට නියමිත බව පසක් කර දෙමිනි.

චිත්‍රපටියේ කෞශල්‍ය ප්‍රනාන්දුගේ ප්‍රතිභාපුර්ණ රංගනය  අති  විශිෂ්ටය. දුමින්ද ඩි සිල්වා හා දිලිනි අබේසුන්දර ද ඉතාමත් දක්ෂ ලෙස තම හැකියාවන්ගෙන් සහය දෙයි. ධර්මසිරි, වීනා, ගයාන්, ප්‍රියංකා, චන්ද්‍රා  , ලියෝනි  චාන්දනී, මෙන්ම  බෝඩිමේ ඇන්ටි රත්නාවලිද මේ දිගු චිත්‍රපටියේ සාර්ථක රංගනයක යෙදෙයි.
කාලයකට පෙර ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටියේ යුද්ධයේ දරුණු පිඩාව විඳ  ජිවිතයෙන් පලා යන අහිංසක යුවතියගේකථාව  නැරඹුවෙමි. ඉන්පසු මලිත් හෑගොඩ ගේ "දැකල පුරුදු කෙනෙක් " චිත්‍රපටියේ සිය දිවි නසා ගැනීම පිළිතුරක් ලෙස නොගෙන දරුවා සමග සැමියා හැර යන කාන්තාව ගේ කතාව දුටුවෙමි. ඒ දෙකම අගනා  සිනමා කෘතීන්ය. පියකරු නොවීම නිසා ළමා කාලයේම කොන්වන, ප්‍රශ්න ඉදිරියේ පීඩා විදිමින් ජිවිතයට මුහුණ දෙන දිරිය ගැහැනියක ගෝතමී තුලින් දුටුවෙමි.   සත්‍යජිත් මාඉටිපේ තම මුල් සිනමා කෘතියෙන්ම සම්භාව්‍ය සිංහල  සිනමා කලාවේ තවත් පියවරක් තබමින් සාර්ථක සිනමා කෘතියක් නිර්මාණය කර ඇත. මේ පරම්පරාව සිංහල සිනමාව වඩාත් උසස් තලයකට ගෙන යනු ඇත. අපේ වාසනාවට අගතිගාමී මන්දබුද්ධික  කපන මණ්ඩලයක් දැන් නැත.

මේ චිත්‍රපටිය ලන්ඩනයේ  පෙන්වූ අගෝරා කලා  කවයට ස්තූතියි.

Thursday 14 May 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 4

නායකයන් විසින් නොයෙකුත් විරෝධතා ව්‍යාපාරවලට සහභාගී වීම මගින් හා වෘත්තීය සමිති   සමග සංවාදයක් තබා ගැනීම මගින් සිප්‍රස් සහ අනිකුත් සමහර නායකයන් තමන් කුමන ආකාරයක දේශපාලන සහ සාමාජික දැක්මක් ආරක්ෂා කරන්නේද යන්න දැඩි ලෙස පෙන්වා දුන්නා . පසුගිය කාලයේ අප එවැන්නක් දැක තිබුනේ නැති තරම්.
තව පැත්තකින් බැලුවොත් ග්‍රීසියේ දේශපාලන තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වුනා කියල කිව්ව හැකි.
කිසියම් අංශයන්හි අරගල තිබුනත් බොහොමයක් සමාජීය ව්‍යාපාරවල පසු බැස්මක් තිබුන වගේම උදාසීන භාවයක් පැතිරෙමින් තිබුණා.
නමුත් 2012 න් පස්සේ රටේ (ග්‍රීසියේ) සමස්ත තත්වය වෙනස් වුණා.  සමාජීය විරෝධතා ව්‍යාපාර වලට මිනිසුන්ගේ මැදිහත් වීම අඩු වෙද්දී සිරසා එවකට බලවත්ව පැවති නැඹුරුව (trend) ට හැඩ ගැහුණා.

එතකොට "වාමාංශික වේදිකාවේ " ආකෘතිය හැටියට ගන්නේ, වාමාංශික ආණ්ඩුවක් ලිවරය හැටියට තබා ගෙන පිටතින් සිට ජනතාව  පන්ති අරගලයට හා සමාජ ව්‍යාපාර වලට ගොනු කිරීමේ උපාය මාර්ගයට , සහ ඉන් පසු ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීම වගේ ප්‍රංශයේ ජනප්‍රිය (ජනතාවාදී )පෙරමුණ (Popular Front) අනුගමනය කිරීමක්ද ? ඒ කියන්නේ එක පාදයක් ඇතුලේ අනිත් පාදය  එලියේ?

මෙතන පේන  කියන්න අමාරුයි. ඔබ අදහස් කරන්නේ "ජනප්‍රිය පෙරමුණ " (Popular Front government) ගැන, නමුත් සමාජ ව්‍යාපාරවල් "ජනප්‍රිය පෙරමුණ" ආණ්ඩුවෙන් කල ඉල්ලීම් ඉතාමත් වෙනස්  ඒවා. ඒවගේම "ජනප්‍රිය පෙරමුණ" ට තිබුනේ ඉතා සීමිත වැඩ සටහනක්. මේ නිසා ජයග්‍රහණ, අත්  පත් කර ගැනීම් සහ අනිකුත් "ජනප්‍රිය පෙරමුනේ" ජය ක්ෂණයකින්ම පැමිණියේ බහු ජනතා ව්‍යාපාරයේ පීඩනය නිසා. 

අප සිරිසා අර ගත්තොත් අපට පේනවා පසුගිය කාලේ  තිබුණු උදාසීන බැවින් ගැලවිලා සමාජ ව්‍යාපාර බල ගැන්වීමට සිරිසා  ලද ජයග්‍රහණය උත්ප්‍රේරකයක් වුණා  කියල. හැබැයි එසේම සිරිසා එම සාමාජිය ක්‍රියාවලින්ට විවෘත වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත්ත  කියල අමතක කරන්න නරකයි.  වඩාත්ම වැදගත් ප්‍රශ්නය කියල මට සිතෙන්නේ අවම වැටුප,  අපි  පක්ෂ එකතුවේ ලියවිල්ල අත්සන් කරන්න කලින් තිබ්බ ප්‍රමාණයටම  අරන් යමු කියන යෝජනාව. ඊටත් වඩා  වැදගත් යෝජනාව වුනේ, පසුගිය වසර හතරේ ඉවත දැමුණු  සමස්ත සාමුහික ගිවිසුම් පද්ධතිය සහ කම්කරු නීති නැවත ස්ථාපිත කිරීමයි.
මෙයින්  අරගලයට අවශ්‍ය අවකාශය මුදා හැරෙනවා   පමණක් නොවේ, ඉතාමත්ශෝචනීය තත්වයක ඇති ග්‍රීසියේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩ නැංවීමටත් හැකි වෙනවා.

නමුත් අමාත්‍යංශ ප්‍රශ්නය සහ රජයේ භූමිකාවක් රඟ  දැක්වීම තුල පොදු ක්‍රියාමාර්ගයක් නැහැ නේද? වෙලාව පැමිණිය විට ජනතාව තීරණය කරයිද? 

නැහැ. කොහෙත්ම නැහැ.  "වාමාංශික වේදිකාව"  රජයට සම්බන්ධ වීමේ තත්වයන් තීරණය වෙන්නේ රජයේ උපායත්මක තෝරාගැනීම් මොනවාද යන්න මත බව ඉතාමත් පැහැදිලයි.  මේ ප්‍රශ්නයට ඔවුන් මුහුණ දෙන්නේ එලෙස මිසක් වෙන විධිහකට නොවෙයි. 

අනික මා  සිතන්නේ මේක තමා මාපකය, අනිත් අයගේ දේශපාලනය සහ අප අතර වෙනස: අපි අමාත්‍යාංශ පිබඳ ප්‍රශ්නය මුලික කර ගන්නේ නැහැ, අපි මුල් කරගන්නේ ක්‍රියා මාර්ගය මොකක්ද යන්න, වැඩ පිළිවෙල කුමක්ද යන්න, හැමදෙයක්ම තීරණය වන ක්ෂණික ප්‍රධාන උපායමාර්ග මොනවාද කියන එක. ඉතින් හැම දේම තීරණය වන්නේ මොන ක්‍රියාමාර්ගයද වැඩි දුර රඳා  පවතින්නේ  කියන එක මත. ඉතමත් මෘදු ලෙස කියනවනම් සිරසා එකේ වැඩ පිළිවෙලේ බොහොමයක් දේවල් නිරාකරණය කර ගත  යුතුව තිබෙනවා.
නමුත් සමස්තයක් වශයෙන් අපේ ක්‍රියාමාර්ගය මෙයයි: අපි සිරිසාහි නිරපේක්ෂ මුලික පොරොන්දු වලට අනුගත වී සිටීම.

වර්තමාන වැඩ පිළිවෙලද 2012 වැඩ පිළිවෙලද? 

මම අදහස් කලේ වර්තමාන වැඩ පිළිවෙල ගැන. අඩුම ගණනේ ඉතාමත්ම අවම වැඩ පිළිවෙල ඉදිරිපත් කල තෙසලොනිකි සම්මේලනයේ සිට සිප්‍රස් විසින් යාවත්කාලීන කල වැඩ පිළිවෙලට  වත් ඇලී සිටීම ලොකු ගැටීමක් ඇතිවෙන තැනට යාමක්.  ඒ කියන්නේ උනන්දු සහගත  ජනප්‍රිය  ව්‍යාපාරයන් ගේ කැඳවීම්  වල සහයෝගය ලැබීම, සමස්ත ක්‍රියාවලිය තුල පක්ෂයේ සහ අනිකුත් සමාජ හා දේශපාලන ආයතනයන් කැඳවා සංවිධානය කිරීම, යන්නයි.

මා සිතන්නේ වාමාංශික වේදිකාවේ කාර්ය භාරය මෙයයි: ක්‍රියාත්මක වීමට (මෙන්ම) , රාජ්‍යය මට්ටම  හා සමාජ මට්ටම (level) අතර ඇතිවීමට නියමිත දයලේක්තික ක්‍රියාවලියේ උත්ප්‍රේරකයක් වීමට. මෙය හොඳින් කෙරුනොත් "වාමාංශික වේදිකාවේ " ඓතිහාසික කාර්යභාරය වන්නේ එයයි. රජයේ මට්ටමෙන් සිදුවන්නේ කුමක්ද හා මුලික ජනතා ව්‍යාපාර මට්ටමේ සිදුවන්නේ කුමක්ද කියන තලයන්  දෙක අතර විශාල පරාසයක් නිර්මාණය වීමට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ශක්තිජනක උත්ප්‍රේරකයක් වශයෙන් අපට පක්ෂය තුල වඩා සංගත පැහැදිලි බලයක් තිබෙනවා.

ඔබ හොඳින්ම දන්නවා අප දන්නා පැරණි මෙහෙයවීම තමා  කම්කරු,  ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යංශ වමට දී ප්‍රධාන හා වැදගත් අමාත්‍යංශ පක්ෂයේ දක්ෂිනංශය අතට ගැනීම කියල ..........

ඔව්. නමුත් මෙය නොවේ දැන් තිබෙන අනතුර. අනතුර තමා  දැන් ඔවුන් මෙය නොකිරීමයි. ඔවුන් උපායමාර්ගික වශයෙන් වැදගත් අමාත්‍යංශ පුදනවා දේශපාලන ක්‍රියාමාර්ගය පැහැදිලි නොකර. එතකොට වෙන්නේ අපේ අත් මුල සිටම බැඳලා තබන එකයි. එසේම මා හිතන විධිහට වැදගත් ම දේ තමා අභ්‍යන්තර වශයෙන් හා යුරෝපා සංගමය හා යුරෝපීය  බලයන් සමග ඇති ගැටුම හා  එම අභියෝගය එලෙසින්ම පවත්වා ගෙන යෑමේ වගකීම ගැනීම. අප ඒ දිසාවට ගමන් කලොත්, වඩා  පළල්  ලෙස සිරිසා තුල සහ ග්‍රීක වම තුල ඉතාමත්  බරපතල පැහැදිලි කර ගැනීමකින් තොරව මේ සටන ජය ගන්න බැහැ.

මගේ බලාපොරොත්තුව තමා (මන් හිතනවා මෙය ප්‍රායෝගිකයි කියල) මේ වගේ දෘෂ්ටිකෝණයක් ඇති කර ගත් නිසා සිරිසා ගෙන් පිටත සිටින බලවේග නැවත තම එල්ලයන් වෙනස් කර ගනීවි කියල. ඒ වගේම දැනට සිරිසා දෙස  සැකයෙන් බලමින් පසුබටවී සිටින කණ්ඩායම්,  මෙවැනි සන්ධිස්ථානයකදී වඩා තීරණාත්මක ප්‍රවේශයක් ගනීවි යන්න. අන්න එතකොට අපට එක්සත් පෙරමුණක් හැදේවි.


සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3

මතු සම්බන්ධයි.
පරිවර්තනය - අජිත් ධර්මකීර්ති  

Thursday 7 May 2015

වාමාංශයේ දක්ෂිණාංශය, දක්ෂිණාංශයේ වාමාංශය හා මාක්ස්වාදී සෝමවංශ

මීට  කලකට පෙර "දක්ෂිනාංශයෙන් සමාජවාදයක්  පැතීම හා මාක්ස්වාදී රනිල් " කියා ලිපියක් මේ බ්ලොගයේ ලියුවෙමි. ඉහත මාතෘකාවේ යොමුව (link) ඇතුලත් කර ඇත. මෙය ත්‍රිමාණ වෙබ් අඩවියේද පළවුණි.
මා විසින් පල කරන ලද "සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස්" පරිවර්තනය බොහෝ අයට නොතේරුණු බවක් පැවසූ අතර මේ ලිපිය ලියන්නේ ඉතිරි කොටසේ පරිවර්තනයට ප්‍රවේශයක් ලෙසයි. මේ ලිපිය හැකි තරම් විවේචනය කරන්න. වැදගත් එයයි.

මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මහා මැතිවරණය අදයි . මගේ මතකයට නැඟෙන්නේ දක්ෂිණාංශික කොන්සර්වටිව් පක්ෂයේ ජෝන්  මේජර් ගේ අවසන් මැතිවරණයි.ජෝන් මේජර් ජය ගත්තේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ වාමාංශික කණ්ඩායම නියෝජනය කල නීල්  කිනොක් පරදවමිනි. ඉන් පසු එළඹෙන මැතිවරණයට කලින් කම්කරු පක්ෂයේ නායක ජෝන් ස්මිත් මියගිය විට පක්ෂ නායකත්වයට පත් වුයේ "සමාජවාදය" වෙනුවට "මැද  මාවත " යෝජනා කල ඇන්තනි චාල්ස් ලින්ටන් බ්ලෙයාර් නොහොත් ටෝනි බ්ලෙයාර් ය. ඔහු 1997 දී අති  විශාල චන්ද ප්‍රමාණයකින් ජෝන් මේජර් ගේ කොන්සර්වටිව් පක්ෂය පරදවා  ජය ගත්තේය. වාමාංශික පක්ෂයක් වූ  බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ "වාමාංශයේ දක්ෂිණාංශය" නියෝජනය කළේ  බ්ලෙයාර් ගේ කණ්ඩායමයි.  මුලින්ම ඔහු කලේ "නව කම්කරු පක්ෂය " නමින් නම වෙනස් කිරීමයි. මින් පසු ඔහු කිවේ  සමාජවාදය නොව ඔහු ගෙන එන්නේ -සමාජ වාදිත්වය  "social-ism" බවයි. එය
ඔහු යහ පාලනය, එක්සත් බව, සෑම පුරවවැසියෙකුගේම සමාන වටිනාකම, සැමටම සමාන අවස්ථා යනුවෙන්  අර්ථ දැක්විය. ඔහුගේ විරුද්ධ වාදීන් කිවේ ඔහු අව්‍යාජ සමාජවාදය අතහැර ධනවාදයට පිය නගන බවයි. ටෝනි බ්ලෙයාර් විසින් කම්කරු පක්ෂයේ වාමවාදී ප්‍රවණතාවය  සහසුද්දයෙන්ම පරාජය කරන ලදී.
 ඉන්පසු ඔහු විසින් දස අවුරුද්දක් බ්‍රිතාන්‍ය පාලනය කල අතර ඔහුගේ "වමේ" නව කම්කරු පක්ෂය තැචර් ටත් වඩා  දක්ෂිණාංශික විය. කම්කරු පක්ෂයේ නායකයන්ට වඩා ඔහුට ප්‍රසංශා  කලේ තැචර් ය. හිටපු ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන් සමග සුහදත්වයෙන් සිටි ඔහු යුද සහකරුවෙකු වුයේ දක්ෂිණාංශික ජෝජ් බුෂ් ටය.

 බුෂ්  සමග "ත්‍රස්තවාදයට " එරෙහි යුද්ධයේ පෙර ගමන් කරුවකු මෙන්ම ඉරාකයට එරෙහි යුද්ධයේ සහයෙකු වූ ඔහු   බ්‍රිතානයේ වමේ දක්ෂිණාංශික කණ්ඩායම  කොන්සර්වටිව් පක්ෂයේ දක්ෂිණාංශයටත්  එහා තැනක ස්ථාපිත කළේය.  එහි ප්‍රථිපලය  වුයේ ඔහු දෙවතාවක්ම කොන්සර්වටිව්  පාක්ෂිකයන්ගේ, මධ්‍යස්ථ  චන්ද දායකයන්ගේ හා කම්කරු පක්ෂයේ දක්ෂිණාංශයේ චන්ද පහසුවෙන් ලබා දෙවරක් අගමැති වීමයි.

අති වාම වාදී  ජාත්‍යන්තර මාක්සිස්ට් නැඹුරුව හා වෙනත් ට්‍රොස්ට්කිවාදී පක්ෂ ඔහුට එරෙහි වූ අතර, ඔහුගෙන් පසු පත් වූ ගෝර්ඩන් බ්‍රවුන් පක්ෂය නැවත මැද  මාවතකට ගන්නට අසාර්ථක ප්‍රයත්නයක නිරත විය.  එහිදී කොන්සර්වටිව් පක්ෂයේ මධ්‍යස්ත කණ්ඩායම (දක්ෂිනාංශයේ වම) ජය ගත්තත් ආසන  මදි වීම නිසා වඩා වමේ සිටි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී (ලිබරල් ඩිමොක්‍රටික්) පක්ෂය සමග  අත්වැල් බැඳ ගති. මේ අනුව වාමාංශික කම්කරු පක්ෂයේ දක්ෂිනාංශයට වඩා කොන්සර්වටිව් ලිබරල් සන්ධානය වාමාංශික හුරුවක් ගති. ඩේවිඩ් මිලිබෑන්ඩ් පරදවා කම්කරු පක්ෂයේ බලය ගත්  ඔහුගේ සොහොයුරු එඩ්  මිලිබෑන්ඩ් කම්කරු පක්ෂයේ වාමාංශය නියෝජනය කරයි. මේ නිසා ඔහුගේ නායකත්වය කැමරන්-ක්ලෙග් සන්ධානයට වඩා  වාමාංශයට බරය.  මේ හේතුව නිසා අති වාමවාදී පක්ෂ  වලට සහය දෙන අය  කොන්සර්වටිව් ආණ්ඩුව පරදවන්නට උපක්‍රමික ලෙස කම්කරු පක්ෂයට චන්දය භාවිතා කිරීමේ ප්‍රවණතාවක්  ඇත.

ශ්‍රී ලංකාවේ වමට බර ධනවාදී පක්ෂයක්ව තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 70-77 සමගි පෙරමුණු ආණ්ඩුව වාමාංශික ස්වභාවයක් ගත්තේ කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂ නිසා පමණක්ම නොව සමාජවාදී චීනයට හා සෝවියට් රුසියාවට මෙන්ම නොබැඳි සමුළුවට හිතකර විදේශ ප්‍රතිපත්තියක්ද තිබු නිසාය. එම රජයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ ජවිපෙයට සීඅයිඒ චෝදනා එල්ල වුයේත් මේ නිසයි. අති වාමවාදී ස්වරූපයක්  ගත් ජවිපෙ කැරැල්ල  දක්ෂිණාංශයට සේවය කිරීමක් සේ දක්නට ලැබුණු අතර එයට විරුද්ධව පැවතුන සිරිමාගේ වාමාංශික රජයට සහය දුන් විදේශ රාජ්‍ය අතර සෝවියට් දේශය, චීනය මෙන්ම බ්‍රිතාන්‍යයද විය.
1977 න්  පසු ජයගත් ජේ ආර් ගේ රජය අති දක්ෂිණාංශික එකක් වූ අතර ශ්‍රීලනිප හා පරණ වමේ සන්ධානය මධ්‍යස්ථ තත්වයටත් විජේවීරගේ ජවිපෙය  වඩා වමටත්, අනිකුත් කුඩා ට්‍රොට්ස්කිවාදී හා ස්ටැලින්වාදී පක්ෂ අති වාම වාදී ගොන්නටත් වශයෙන් බෙදිය හැකි විය.
දෙමළ විමුක්ති අරගලය පටන් ගැන්මේදී එය බොහෝ විට වමට බර විය. රාජිනි තිරානගමගේ කාලය දක්වා එය වාමාංශික නැඹුරුවක් ගත්  බව පෙනිණි. මුලදී එසේ වුවත් ප්‍රභාකරන් හා කොටි සංවිධානය අතට පත් වූ දෙමළ අරගලය ජාතිවාදී මෙන්ම දක්ෂිණාංශික නැඹුරුවක් පෙන්නුම් කළේය. රාජිනි මෙන්ම පද්මනාභ ආදීන් මරා  දැමීමෙන් පටන් ගෙන,   වාමාංශික  නැඹුරුවක් තිබු දෙමල සටන්කාමී කණ්ඩායම් කොටි සංවිධානය
විසින් සම්පුර්ණයෙන්ම සමුලඝාතනය කිරීමෙන් පසු එය වඩාත්  තහවුරු විය.

ජනවාරි 8 දා  පැරදුන මහින්ද රාජපක්ෂ රජය අතිශයින් දක්ෂිණාංශයට  බර වුවකි. ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය කොන්සර්වටිව් පක්ෂයටත් එහා දක්ෂිනාංශයට රැගෙන ගිය ලෙස, මහින්ද රාජපක්‍ෂ ශ්‍රීලනිපයේ දක්ෂිනාංශය නියෝජනය කරමින් එය එතනට තල්ලු කලේ ජෝර්ජ් බුෂ් ගේ "ත්‍රස්ත විරෝධී" සන්ධානයටද සහයෝගී දෙමිනි. වඩා ලිබරල් චන්ද්‍රිකා  පාර්ශ්වය හෙවත් ශ්‍රීලනිප වම පසෙකට තල්ලු විනි. (චන්ද්‍රිකා  පාලනයේ අසාර්ථක භාවය ආදිය  මෙහි සාකච්චා නොකරමි . එය මෙතනට අදාල නැත). ශ්‍රීලනිපය සමග එක්වූ පරණ වමේ පක්ෂ ද දක්ෂිනාංශයට තල්ලු වුනු අතර ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂිනාංශය නියෝජනය කරමින් විමල් විරවංශ, සෝමවංශ  කණ්ඩායම මහින්ද රජයට සහයෝගය දුනි. ඉන්දියාවේ, එක්සත් ජනපදයේ, චීනයේ හා රුසියාවේ උදව්වෙන් දක්ෂිණාංශික දෙමල විමුක්ති අරගලය දක්ෂිනාංශයට බරවූ සන්ධානයක් විසින් මිලිටරිමය මැදිහත්වීමකින් පරාජය කරන ලදී.  (දක්ෂිණාංශික , අතිශයින් කොමියුනිස්ට් විරෝධී රිපබ්ලිකන් පාක්ෂික ඇමෙරිකන් ජනාධිපති රිචර්ඩ් නික්සන් ප්‍රථම වරට චීනයට ගොස් චීනයට ඇමෙරිකන් වෙළඳපොල විවෘත කර දීමට අඩිතාලම දැමු අතර රිපබ්ලිකන් දක්ෂිණාංශික ඇමෙරිකාව සැමවිටම ඒකාධිපති ස්වරුපයක් ගත් පාලනයන්ට සහයෝගය දුනි.)
ඔබාමා නියෝජනය කරන්නේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයට විරුද්ධ වමයි. (මේ වම මාක්ස්වාදි  වමට සම්බන්ධ නොකරන්න) ඔහු ට කොන්සර්වටිව් පක්ෂයේ වම හා ජර්මනියේත් ප්‍රංශ සමාජවාදී ජනාධිපති සමගත් ලෝක දේශපාලනය තුල ව්‍යාජ වමක් ගොඩ නගා  ගත හැකි විය.
ඔහුගේ වම රිපබ්ලිකන් දක්ෂිනාංශයට හා ලංකාවේ මහින්ද  දක්ෂිනාංශයට මෙන්ම සිප්‍රස් ගේ ග්‍රීක මාක්ස්වාදී වමටද විරුද්ධය.
මගේ මුල් ලිපියේ  ඇති අති දක්ෂිණාංශික චැප්මන් ගේ "තේ පක්ෂය" (tea party) ඔබාමාගේ රාජ්‍ය මැදිහත් වීමට විරුද්ධව රාජ්‍යය අහෝසි කිරීමට කතා කරයි.

ලෝකයේම වම දකුණ මාරුවී ඇත.

ජවිපෙ වාමාංශය මෙහිදී කුමාර්, ලසිත් , වරුණ, ඕපාත (ලාල්කාන්ත හැර) කණ්ඩායම වූ අතර ශ්‍රීලනිප  දක්ෂිණාංශික රජයේ යුද ජයෙන් අනතුරුව ඔවුන් ජවිපෙන් වෙන් වුනි.  දක්ෂිණාංශික එජාපයේ වාමාංශික නැඹුරුව මෙහිදී  රනිල් වික්‍රමසිංහ (බටලන්ද බැගේජය සහිතව ) මෙහෙයවූ අතර එජාප දක්ෂිණාංශය ජොන්ස්ටන්, එස් බි, ලොකුගේ ආදීන්  හරහා රාජපක්ෂගේ ශිලනිප දක්ෂිනාංශයට එක්  විය. වාමවාදී සුළු පක්ෂ වලට හා එජාපයට එක වේදිකාවට එක්විය හැකි පරිදි සෝභිත හිමි  , නිර්මාල් ආදීන්ගේ වාමාංශික නැමියාවක් ඇති සමාජ ව්‍යාපාරයන් බිහි වුන අතර වික්‍රමබාහු   ආදීන් ටද මෙයට එක්විය හැකි විය.  ශ්‍රීලනිපයේ වාමාංශික කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප ලිබරල් කණ්ඩායමේ චන්ද්‍රිකා හරහා දක්ෂිණාංශික එජාපයේ වාමාංශික කණ්ඩායම සමග සම්බන්ධ වී වාමාංශික නැඹුරුවක් ඇති සමාජ ව්‍යාපාරයන් (සෝභිත හිමි ආදීන්) ගේ උදව්වෙන් ශ්‍රීලනිප -එජාප (මහින්ද පමුඛ ) දක්ෂිණාංශික සන්ධානය පරදවා බලයට පැමිණ ඇත.  පරණ වමෙක්  වූ චම්පිකගේ දක්ෂිණාංශික හෙල උරුමයේ වාමාංශික කණ්ඩායම ඔවුන්ට එක්  වුනු අතර,  හෙළ උරුමයේ සුළුතර "දක්ෂිණාංශය" ශ්‍රී ලනිප පැරදුන දක්ෂිණාංශයට එක්  විය. නිදහස් දේශපාලනයට දැඩි ලෙස බාධා කල ශ්‍රීලනිප -එජාප (මහින්ද ප්‍රමුඛ ) දක්ෂිණාංශය පැරදවීමේදී,  අති  වාමවාදී ස්ථාවරයක් ගත් ජවිපෙන් කැඩී  ගිය කණ්ඩායම (පෙසප) හා ට්‍රොට්ස්කිවාදී පක්ෂ කිහිපයක් මෙහිදී දක්ෂිනාංශයට සේවය කරන බවක් පෙන්නුම් කරන ලදී. 1971 ජවිපෙට එල්ල කෙරුණු සීඅයිඒ චෝදනාව කල්පනා කරන්න. වාමවාදී රජයකට එරෙහිව කරන අතිවාමවාදී කැරැල්ල එයට චන්දය දුන් බහුතර ජනතාවට පෙනෙන්නේ  දක්ෂිණාංශයට සේවය කිරීමක් ලෙස වන අතර ගම්වලදී කැරලිකරුවන් පොලිසි වලට පාවා  දීමට එයත් හේතුවක් විනි.

මාක්ස්වාදී යයි තමන්  කියා ගන්නා විරවංශ හා වමෙක්  යයි තමන් සිතන වාසු තවමත් ශ්‍රීලනිප දකුණට එක්  වී සිටින අතර  ශ්‍රීලනිප -එජාප (මහින්ද පමුඛ) දක්ෂිණාංශය ට විරුද්ධ නොවුන විරවංශ නැවතත්  අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය  ගෙන හැර දක්වයි. ලෙනින් විරුද්ධ වුයේ අධිරාජ්‍යවාදය විසින් ගෙනයන ධනපති ක්‍රමයට වන අතර චීනය හා රුසියාව අනුගමනය කරන්නේ එයම  බව වීරවංශට වැටහීමක් නැත. (වැටහීමක් ඇත්නම් එය සඟවයි.)  රුසියාවට හා චීනයට පක්ෂවී ඇමෙරිකාවට විරුද්ධ වීම ඔවුන්ගේ අධිරාජ්‍ය විරෝධයයි. රුසියාවට හා චීනයට ඔවුන් පක්ෂ,   දෙමල අරගලයට විරුද්ධ යුදයේදී ලංකා රජයට සහය දුන් නිසාය කියන ඔවුන් ඉන්දියාව හා එක්සත් ජනපදය තීරණාත්මක ලෙස යුද්ධයට රහසේ සහය දුන් බව සඟවයි. (කොටි නැව් විනාශ කිරීමට දුන් ඔත්තු වල සිට). රාජපක්ෂ ජයග්‍රහණයෙන් පසු එම රජයට එකතු වීමට බලා  සිටි සෝමවංශට එය කල නොහැකි වූ අතර, මෛත්‍රී බලයට ආ  පසු ජවිපෙ යු ඇන්පී  රජයකට නොයන  නිසා එහි ඇමති පදවියක් වත් සෝමවංශට නැත. ජවිපෙන් ඉවත් වීම හා ඔහුගේ උපවාසය "අනේ මා දිහාත්  බලන්න" යන්නක් මිස න්‍යායිකව විවේචනය කලයුතු කාරණයක් නොවේ.


1917 පෙබරවාරි හිදී ලෙනින් කෙරෙන්ස්කි කණ්ඩායම  බලය ලබා ගනිද්දී නිහඬ වුයේත්, මාස ගණනකට පසුව "දැන් කාලය එළඹ ඇත " යැයි කීවේ ඇයිද යන්න මෙහිදී කල්පනා කල යුතුය. මේ ලිපිය බලන්න.  ඇලෙක්සිස් සිප්‍රස් මහජන චන්දයෙන් බලයට පත් වීමේදී උපාය මාර්ගිකව අනුගමනය  කලේ ලෙනින් ගේ ක්‍රමවේදය බවට යෝජනා කරමි.

 මෙය කියවිමෙන් පසු කැමති නම් සිරසා පරිවර්තන නැවත කියවන්න.
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3


ප.ලි - මෙම ලිපියේ ඇත්තේ මගේ පුද්ගලික අදහස් පමණි. 

Friday 1 May 2015

බාමියන් නෙළුවෙ ඇයි අපි

අව්කනදි  අපි නෙළුවේ
බුදු රදුන්  නිදන ඒ
සන්සුන් වූ පිළිරුව
භාවනා කරමින්ය
උතුම් වූ බුදු ගුණම

නිවන විමසා ලබන්නට නම්
දර පලන්නම්
දිය ගෙනෙන්නම්
අපි

නිවන සිතටම අවබෝධයක් නම්
ඉනික්බිති නැවත නැවතත්
දර පලන්නම්
දිය ගෙනෙන්නම්

රජ වරුන්ගේ සිටු වරුන්ගේ
කහවනු නොමැතිවම
සසරින් එතර වන්නටම
භාවනාවන් කරමින්ම

නෙළුවෙමු ඒ මහා ප්‍රතිමා
අත රැදුණු කහවනුව
කුසගිනි  නිවන අහර ටික
දුප්පතුන්ටම දෙමින්

අවකන් රටේදී ඒ
මිසදිටුවන් හිරි හැර
කරන විට මහණුන් ට
සටන් ක්‍රම උගත්තෙමු

බේර ගන්නට උන්ගෙන්
දම් පුරන අප මහ සඟුන්
දන් ටික උනුට බෙදනා
දිළිඳු අප බාමියන් ජනයා

වෙලා තියෙනා වෙලාවට
භාවනාවේ යෙදෙමින්ම
නෙලුවෙමුය ගල් කුලේ
බාමියන් මහා ප්‍රතිමා

දර පලන්නට මෙන්
දිය ගෙනෙන්නට  මෙන්
සම්මා සමාධිය වඩා
උතුම්වූ ආලෝකය ලබන්නට

ලක්ෂ දහසක් යොදා ඒ හැදු
ලොව ලොකුම ඒ ශෛල පිළිමේ
හැදුවේ මහා ගලකත් නොවේමය
ඇතුන්ගේ ගල් පුරයේ දී ඒ

කන්නට දෙයක් නැති නිසා
දරුවන් ද කළු ගඟට
විසිකර තමන්ගෙද පන
නසා ගන්නා  මව්වරුන්

සිටින්නා වූ  රටකමය..........

-මෙය ලියුවේ ඇෆ්ඝනිස්ථානයේ බාමියන් අවට පැතිරුණ සෙන් බුදු දහම හා ඔවුන් සම්මා සමාධිය හා සම්මා සතිය වැඩුවේ සාමාන්‍ය  ජිවිතයේ කාර්යයන් වල යෙදෙමින් ම යන්න ඉස්මතු කිරිමටයි. වැඩ කිරීම තුලින් සමාධිය වඩා නිවනට යන්න යනු ඔවුන්ගේ ස්ථාවරයයි.

බුදුන් ගේ ප්‍රතිමා  ගල් කුළු වල නෙළුවේ භාවනාවට ආධාරයක් පිණිස බවට මතයක් පවතී.
"For the enlightenment chop wood, carry water. After enlightenment chop wood carry water."
වඩා දැන ගැනීමට මෙතනට යන්න .http://lifehacker.com/four-confusing-zen-quotes-and-what-you-can-learn-from-1676177538

Wednesday 29 April 2015

ඩලස්ලාට ගම්මන්පිලලාට තොත්ත බබා වුන පොලිසිය අන්තරේට ඇර සොයිසා වෙලා

මම මේ ඊයේ පෙරේද දැක්ක අපේ හිටපු ආණ්ඩුවේ ඇමැත්තෝ රැලක් විරෝධතාවයක් ද මොකක්ද කරනවා. පොලිසියෙන් හැබැයි ඒකට තහනම් නියෝගයකුත් දීලයි තිබුනේ. තහනම ගණන්  ගන්නෙත් නැතුව කට්ටිය විරෝධතාවයට ගිහිල්ල තිබ්බ. ඒ කියන්නේ නීතියට පිටු පාල පාර්ලිමේන්තුව අසල තමා විරෝධතාවය් ගියේ.



පොලිසියත් කීකරුව මෙතන ඉන්නවා.

 තව විරෝධතාවයක ඒ මදිවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික කොඩියට වෙනුවට සිංහලේ කොඩිය කියල වෙන කොඩියකුත් උස්සල එතනත් නීතියක් කැඩුවලු . ඒ කියන්නේ නීති දෙකක් ම කඩලා. මේ දෙතැන. නමුත් අනේ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පොලෝසිය මුකුත්ම කලේ නැහැ. නීති කැඩුවත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනේ නේ.
අනිත් එක ඉතින් දැන් ඊළඟට චන්දෙකුත් එනවා. ඕක මොන පැත්තට පෙරෙලෙයිද දන්නේ නැහැ. මහින්ද මහත්තයා අගමැති වෙලා එන්න ඕන තරම් ඉඩ කඩ තියෙනවා.  ගෝට මහත්තය ආයේ  ලේකම් වෙයි. මොකට බෙල්ල දෙනවද. යාපනේට නං ට්‍රාන්සර් කොලාට දැන් කමක් නැහැ. ප්‍රභකරන් ගොයියා සෙත්ත පෝච්චි නිසා දැන් අවුලක් නැහැ. එත් ඉතින් යුඑන් එකේ ටීම් එකට එහෙම වැටෙන්නේ නැති වෙයි නේ. අනික මේ අවුරුද්දේ ප්‍රොමෝෂන් සීන් එකත් එනවා.

අහ්හ්හ් මේ ඉන්නේ අන්තරේ පිස්සු ඩබල් ටික. දෙමු වතුර කඳුළු ගෑස් පාර නැවෙන්නම.  මුන්ට ගැහුවට කවුරුත් මුකුත් කියන්නෙත් නෑ. ඕනනම් ඔය ගූ පත්තර කඩමලු දෙකකුයි අර ඒ දවස් වල පැත්ත පළාතේ එන්න නොදීපු වෙබ් කාරයෝ ටිකකුයි කෑ ගහයි. අපට මොකද කවුරුත් කියවනවය ඕව. අනික ආණ්ඩුවට පේන්න මොකක් හරි කොරන්නත් එපාය, නැත්නම් අපි තවම ගිය ආණ්ඩුවටම සපෝර්ට් කියල කියයි. අපි නේ දන්නේ මොකා ආවත් පිස්තෝල අරන් පොලිසි ඇතුලට ඇවිත් කෑ ගහන කොට අපට දෙකට නැවෙන්න වෙනවා කියල. ඔව් සර්. ඉයස් සර්. නෑ  සර්. හරි සර්.

අන්තරේ ට බොහොම ස්තුතියි තවත් වාරයක් ලබා දුන්නට.

ශ්‍රී  ලංකා පොලිසියට ජය වේවා.  (අන්තරේ )

අන්තරේට ජය වේවා . (පොලිසියේ බෙල්ල බේරුවට - පොලිසිය)

අන්තරේ මේ පාරත් පෙත්සමක් අරන් ආවේ නැහැ. බලෙන් ඇතුලට රිංගන්න හැදුව - (අග්‍රාමාත්‍ය කාර්යාලය)




Monday 27 April 2015

එම්බා ගෙම්බා , පැන යනු පැන යනු පැන යනු , ඇන්නෑවේ


මට පළමු වරට තානාපති තුමෙකු හෙවත් ඇම්බසඩර් කෙනෙකු හමු වීමට යෙදුනේ 1987 සෝවියට් දේශයේදීය. ඒ මම සෝවියට් දේශයේ සමස්ත ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වූ පසු එහි කාරක සභාව තානාපතිවරයාට හඳුන්වා දීමට සහ කිසියම්  ශිෂ්‍ය ප්‍රශ්න කීපයක් සාකච්චා කිරීමටය. එතැනදී මම එවකට සෝවියට් දේශයේ තානාපති ලෙස කටයුතු කල කෘත හස්ත දක්ෂ තානාපතිවරයෙකු වූ නෙවිල් කනකරත්න මහතාට ආමන්ත්‍රණය කලේ මිස්ටර් කනකරත්න කියායි. එහිදී සම ලේකම් වරයෙකු ලෙස පත්වූ සාලිය මට වැලමිටෙන් ඇන ඇන  කීවේ "මචන් H.E කියපන්. H.E කියපන්. " කියායි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කලක් සේවය කල, නීති වේදියෙකු හා පසුව දේශමාන්‍ය සම්මානයද ලැබූ කනකරත්න මහතා  ඉතා නිහතමානී අයෙකු විය. මා  ඔහුට එසේ නොකීම ඔහුට ප්‍රශ්නයක් නොවුණු අතර ඉන්පසු මම ඔහුට සර් කියා ඇමතීමි.  ඔහු පදවියෙන් ඉවත්ව යන තුරුම ශිෂ්‍යයන් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේය. ඉන් පසු පත්ව ආ  රොඩ්නි වැන්ඩහාර්ට් ද එසේමය. මේ දෙදෙනාම career diplomat හෙවත් වෘත්තීය තානාපති වරු, එනම් විදේශ අමාත්‍යංශයේ සේවාවෙන් ඉහළට පැමිණි අයයි. ඒ දිනවල පළමු ඇමති (first minister) ලෙස කටයුතු කල ටී  බී මඩුවේගෙදර මහතාත් සිසුන් සමග සහයෝගයෙන් සුහදව කටයුතු කළේය.
ඉන්පසු සෝවියට් දේශයේ තානාපති හා අනිකුත් නිලතල වලට පැමිණි බොහෝ අය එය ජාත්‍යන්තර හොර බඩු  වෙළඳ මධ්‍යස්ථානයක් කල අතර (අපද එයට තරමක් දුරට වග කිව යුතුය. නමුත් අප ශිෂ්‍යයන්ය. ආණ්ඩුවේ පඩි ලබන්නන් නොවේ)  සමහරු එය නීත්‍යනුකුල  නොවන මත්පැන් අලෙවි මධ්‍යස්ථානයක් බවට ද පත් කළහ.
එවකට අප සමග සමකාලීන සිසුවකුව සිටි උදයංග වීරතුංග 2006 දී සෝවියට් දේශයේ තානාපති පදවියට පත්වුණි. ඔහු පත්වීම ලැබූ  අලුතම වාගේ  ලන්ඩනයේ මිතුරන් පිරිසක් සංවිධානය කල සුහද හමුවකදී මට ඔහු මුණ ගැසුණි. එතැනදී ඔහු මිතුරන්ට කලේ දේශපාලන කතාවකි. එතැනදී ඇතිවූ සාකච්චාවකදී යුද උපකරණ මිලදී ගැනීමේ දී වන අක්‍රමිකතා ගැන ඔහු පැවසුවේ එවැනි දෑ  පසුගිය රාජ්‍ය සමයන්හි අනන්තවත් සිදුවූ  බවත් ඒවා විකුණන ආයතන කොමිස් වැනි දේවල් සඳහා දිරි දෙන බවත්ය. මෙය සම්පුර්ණ ඇත්තකි. කොමිස් දීම යුද වෙළෙන්දන් අනිවාර්යයෙන්ම කරන දෙයක් වන අතර යහපාලන තියා  සමාජවාදී ආණ්ඩුවක් ආවත් කොමිස් ලබා ගැනීමෙන් ගැලවීමට ඒ හා සම්බන්ධ වන දේශපාලකයන්ට හා තානාපතිවරුන්ට ඉතා අසීරුය. බලෙන්ම ඇඟේ  ගසන හෙයිනි.  දුවලා බේරෙන්නට වත් බැරිය.
උදයංගට තිබෙන චෝදනා ගැන ඕනෑ තරම් ලිවී ඇති  නිසා  මෙහිදී කතා කිරීමට අවශ්‍ය නැති අතර ඔහු තානාපතිවරයෙකු ලෙස රුසියාවේ සිසුන් සමග සුහදව කටයුතු කල බවත් , එහි වැඩ කටයුතු ගැන "මොස්කව් පුවත් " නම් සඟරාවක් මගින් ප්‍රචාරය කල බවත් දනිමි. දේශපාලන පත්වීමක් වුවත් රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඔහු අවශ්‍ය තැනදී උදව් කල බව සැවොම කියති.

මගේ බිරිඳ වරක් ශ්‍රී ලංකාවට යෑම  සඳහා වීසා ගැන ඇසීමට ලන්ඩනයේ තානාපති කාර්යාලයට කතා කල අවස්ථාවේ එහි හරි හැටි ඉංග්‍රීසි වත් කතා කල නොහැකි කාන්තාවක් ප්‍රශ්න ඇසීම ගැන මගේ බිරිඳට අසභ්‍ය වචනයක්ද භාවිතා කරමින් බැණ වැදී තිබුණි.  තානාපති කාර්යාලයක වැඩට අඩුම ගණනේ  එක ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගත යුතුය කියා නීතියක් වත් ලංකාවේ විදේශ අමාත්‍යංශයේ නැතුවා විය යුතුය. එසේත් නැතිනම් මේවා තනිකරම දේශපාලන පත්වීම්ය.  මේ ඉංග්‍රීසි ප්‍රශ්නය ලන්ඩන් කාර්යාලයේ නිතර ඇතිවන තත්වයක් බව බොහෝ දෙනා  කියති.

මැද පෙරදිග ඇත්තේ ඊටත් වඩා දරුණු තත්වයකි. එහි තානාපති කාර්යාල තිබෙන්නේ තානාපති ලාට හා අනිකුත්  නිලධාරීන්ට වෙළඳම් කිරීමට හා වෙනත් දුෂිත ක්‍රියා වල දීමටය. මේ තානාපති ගෙම්බන් එක තැනකින් තව තැනකට පනිමින් උදර පෝෂණයේ යෙදෙමින් යහතින් කල් ගෙවති. තමන් පත් කර එවූ රටේ ජනතාවට සේවය කිරීම කල යුත්තේ වෙන  රටවල තානාපතිවරු විය යුතුය. දේශපාලන පත්වීම් ලබාගෙන බොහෝ අය එන්නේ තමන්ගේ ගතමනාව හදා ගෙන නිවාඩුවකුත් ගත කර , ළමයින්ටත් ඉගැන්වීම් කරගෙන යන්නටය.

මේ රැලට අළුතින්  එකතු වී ඇත්තේ නේපාලයේ තානාපතිය. ඔහුට ඇති චෝදනාව නම් පසුගියදා ඇතිවූ භූමිකම්පාවෙන් අතරමන් වී  සිටි අනිකුත් ජනයා  සමග ලංකාව බලා ඒමට සිටි දේශපාලන රැකවරණ ලත් ජන මාධ්‍ය වේදීන් තිදෙනෙකුට ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයිමයි. ඒ ගැන මෙතනින් කියවන්න.  ඔහුත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් සේවය කල  යුත්තේ ශ්‍රී ලාංකිකයන් හට බව ඔහු නොදන්නේ නම් ඒ බව දන්නා කෙනෙකු පත් කර එවීම විදේශ අමාත්‍යංශයේ යුතුකමය.

අප විසින් කලයුත්තේ මේ තානාපතින් හා අනිකුත් නිලධාරීන් තමන් පත් කල රටේ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ පිලිබඳව ඉතා සක්‍රිය ලෙස විරෝධය පල කිරීම, ඔවුන් හෙළි දරව් කිරීම හා ඔවුන් වෙනුවට වැඩ කල හැකි නිලධාරීන් පත් කර එවීමට රජයන්ට බල කිරීමයි.

Tuesday 21 April 2015

අශිෂ්ටයන් අතරේ ශිෂ්ටකම් පෑමේ මාරක විහිළුව හෙවත් අපන්ණක (කාන්තාරයේ යක්ෂයන්ගේ) ජාතකය

ඔන්න ඉතින් ඒකාලේ අර  මොකද්ද නුවරක වෙළෙන්දෝ දෙන්නෙක් හිටියලු. එකාට ගැල් (හෙවත් කරත්ත)  500ක් වගේ හිටින්න. දෙන්නම සෑහෙන්න  පොහොසත්ලු. වෙළඳම්  කරන්න ඈත යනවනේ ඒ දවස් වල. දැන් වගේ ඊබේ, ඇමේසන් දාල විකුණගන්න බෑනේ. ඉතින් යන්න ලෑස්ති වෙලා ගැල් 500 යනකොට පොඩ්ඩක් සෙනග වැඩි වෙන නිසා වෙනම යන්න කතා කරගත්තලු. මුල් වෙළෙන්ද හිතුවලු "කලින් ගියොත් වාසි ගොඩයි. තමාගේ මිනිසුන්ට කෑම හොයා ගන්න ලෙහෙසියි. පාරේ වෙන කරත්ත වලින් එන ට්‍රැෆික් අඩුයි. එන්ජින් තෙල් හෙවත් තණකොළ අලුත් ඒවා. අලුත් නගරේ මාකට් එක අල්ලන්නත් ලේසියි. "වතුර නැති කාන්තාරේ " පහු කරන්න වතුර වැඩිපුර අරන් ගියාම හරි වගේ.". අනික අපායට ගියත් කලින් යන්න කියනවලුනෙ.
දෙවෙනි වෙළෙන්දා කල්පනා කෙරුවලු "යාළුවගේ ගැල් වලින් පාර  නියමෙට මට්ටම් කරල දෙයි මට යන්න. පොරගේ හරක් පරණ තණකොළ කෑවම  මගේ උන්ට නැවුම් ඒවා කෑව හැකි. පොර අර නගරේ බඩු  විකුණන ගණන් සෙට් කලාම මට ඒ ගාණටම  කේවෙල් කරන්නේ නැතුවම දුන්න හැකි. " කියල.  වෙළෙන්දා ඉතින් දෙවැනි වර යන්න තීරණය කළාලු.
පලවන වෙළෙන්දා ට පොඩි පොඩි ප්‍රශ්න ආවත් "දිය නැති කාන්තාරය" කියන හරියට ආවලු. හැබැයි ඉතින් කාන්තාර වල වතුර නැහැ තමා, නමුත් ක්ෂේම භුමි තියෙනවනේ. මේකේ ඒවත් නැහැලු. කාන්තාරේ පටන් ගන්න තැන නගරයක වැසියෝ කීවලු ඒකෙ යක්කු (demons) ඉන්නවා කියල. ඉතින් මේ ගැල්  පෙරහැර කාන්තාරේ තරමක් දුර යනකොට එනවලු කට්ටියක් අනිත් පැත්තෙන්. උන්ගේ ගැල් වල මඩ  ගෑවිලා , වතුර බේරෙනවලු. නෙලුම් මල් (නෙලුම් යායෙන් ගත් ඒවා නොවේ) , ඕළු මල් අතේ , කටේ  ගහගෙන බාගෙට ඇඳගත් අර, ඉන්දියන් සිනමාවේ ඇඟේ වතුර හලා ගෙන ෂූටින්  වලට ඉන්න නිලියෝ වගේ කාන්තාවොලු.
ඒකෙ  නායකයා පොඩ්ඩක් සියල්ල දත් පොරක් වගේලු.  ඉතින් මේ සියල්ල දත් කියනවලු වෙළෙන්දාට "මේ හලෝ ඔහෙට පිස්සුද මේ වතුර ලොරි ගණන් (සමාවෙන්න ගැල්  ගණන්)  පුරවන් යන්නේ. පව් නේ හලෝ මේ අහිංසක හරක් ටික. තනිකරම සත්ව හිංසාව නේ. අලි පැටව් හිර කරන්  ඉන්නවට වඩා දරුණුයි නේ සනා. අර තව ටිකක් දුරින් සිරා ක්ෂේම භූමියක් නේ තියෙන්නේ. වතුර ඕනෑ තරම් නාන්නද, දිය බුං ගහන්නද ඕන එකක්. නෙලුම් අල ද රට ඉඳි ද ඕන තරම්.  විසි කරනවා ඔය වතුර. නිදහස් කරනවා ඔය අහිංසක සත්තු ඔය බරින් " දුන්න නේද සිරා  ටෝකක්. අර විමලෙට එහා. ඉතින් කොහෙද වෙළෙන්දා කෑව ලණුව.  කෑව  නෙමේ ගිල්ල. මිනිහට අර නගරේ වැසියෝ දුන්න සුනාමි වෝනින් එකවත් ගණන් ගත්තේ නැහැ. වතුර ටික බිමට හලලා කෑමත් විසි කරල ගියා  සොමියේ. ගියා  තමයි. යනවා යනවා මොන වතුරද? හරකුන්ටත්  වතුර නැතුව අනාතයි. මොන ගැල්  අදිනවද. ඉතින් කට්ටිය වෙළෙන්දටත්  බැන බැන  වැටුන තැන නිදි. මෙන්න ඉතින් රෑ වෙලා යක්කු ටික කසියා බෝතල් ටිකකුත් අරන් නියම වේශයෙන්ම ඇවිල්ල ගණන් බේරුවලු ඇටකටු විතරක් ඉතුරු වෙන්නම.

ඔය අස්සේ අපේ දෙවෙනි වෙළෙන්දා යන්න ලෑස්තියලු. පොර යන්න කලින්ම දුන්නලු කතාවක්. " මේ කට්ටිය යන ගමනේ මුකුත් විස පැළෑටි කන්න  එපා විස සත්තු ඉන්නවා පරිස්සමින්. මන් අහල තියෙනවා වතුර , ක්ෂේම භුමි නැති කතරක් ගැන. යක්කු, කුම්භාණ්ඩයෝ පෙරේතයෝ ඉන්නවලු. එයි ගැල් පෙළපාලියේ ඇමතිකම් දෙන්න. ඒවා අල්ලස්. අහු වෙන්න එපා. කැසිනෝ ගහන්න කතා කරයි, අලුත් හයිවේ එකක් දාන්න කතා කරයි කාන්තාරේ හරහා. 10% දෙන්නන් කියයි. අහුවෙන්න නම් එපා පුතෝ. වතුර එහෙම කටේ තියන්න එපා මගෙන් නාහ. "
ඉතින් කට්ටිය ගියාලු. කාන්තාරේටත් ආවලු. අර වගේම ආවලු සියල්ල දත් යක් නායකයි රෑනයි වතුර හලාගෙන එහෙම. අපේ වෙළෙන්දා කීවලු කට්ටියට, මුන්ගේ ඇස් එලියට පනින්න වගේ. හොඳටම රතුයි. කසිය ගහපු ගොබිලො වගේ පෙන්නේ. වලියෙන් වගේ ටෝක දෙන්නේ. ගණන්  නොගෙන ඉමු කියල.  ඒ වුනාට කට්ටිය කුණු කුණු ගානවලු. වතුර තියේ නම් මොකටද මේව උස්ස ගෙන යන්නේ හෙම කියල. එතන හිටපු ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් එකේද කොහෙද බුවෙක් කිව්වලු , අපොයි මේ හරකුන්ගේ මානුෂික අයිතිවාසිකම් කඩ වෙනවනේ . වතුර හෙම විසි කරලා සහනයක් දෙමු කියල. බිබිසියෙන් ගමන කවර් කරන්න ආපු බුවා කියනවලු අපේ අසන්නෝ අප්සෙට් ගහයි මේ සත්ව හිංසනය, මානුෂික අයිතිවාසිකම් කඩ වෙනවට හෙම. වෙළඳ නායකයත් ආයේ අඟලක් හෙල්ලෙන්නේ නැතිව ගත්ත තීරණේ වෙනස් කරන්නේ නැතිව  කිවලු "අපි මේ  නියම වෙළෙන්දෝ. මිනිස්සු සත්තු ඔක්කොම අපි බලා  ගන්නවා. හම්බ වෙනකන් අතේ තියෙන දේ විසි කරන්නේ නැහැ." කියල ගමන ගියාලු. මෙන්න දුර යනකොට හම්බ වුනාලු යක්කු ගේම දුන්න ජනතාව, සත්තු ටික එක්කම . ඇටකටුයි කරත්ත රෝදයි විතරලු. පොරවල් රවුමට කරත්ත නවත්තල.  රාත්‍රිය පුරා  ගාඩ් එකක් දාල , උදේ එන කම් හොඳට නිදා ගෙන ගමන ගියාලු. අරගෙන ගිය භාණ්ඩත් විකුණා ගත්තලු.

ඉතින් මේ ජාතක කතාවේ මොරාල් එක මොකක්ද කියනවා නම් , අශිෂ්ටයන් මොන විධියෙන් ආවත් රැවටෙන්න හොඳ නෑ  මල්ලිලා නංගිලා. උන් දෙන මොත්තේ අහල රැවටිලා අහු වෙන්න එපා. කට්ටිය ඇටකටු ටික විතරයි ඉතුරු කරන්නේ.
හොඳ නායකයෙක් නම් අශිෂ්ටයන්ට යක්කුන්ට ඉඩ නොදී තමන්ගේ මිනිස්සු බේරා  ගෙන යන ගමන යන්න දන්නවා.  එහෙම නායකයෝ හොයා ගන්න එකයි ප්‍රශ්නේ.
-අශිෂ්ටයන් අතරේ ශිෂ්ටකම් පෑම මාරක විහිළුවකි කියල කිව්වේ යාළුවෙක්. 

Thursday 16 April 2015

කඩාකප්පල් කාරී ක්‍රියාවක්

හිතවත් මිත්‍රවරුනි,
පෙරේදා  දිනයේ සවස මට ලංකා නිව්ස් වෙබ් අඩවියට හා නෙලුම් යායට  ඇතුළු විය නොහැකි සේ වාරණයක් දමා  තිබුණි.  මා  මුලින් සිතුවේ යහපාලන ආණ්ඩුව අන්තිමේ දී පරණ ආණ්ඩුවේ ඇත්තන් ගෙන් (දැන් එකතු වී සිටින)  උපදෙස් ගෙන  ලංකාවේ පමණක් නොව කැමරන්ට කියා එංගලන්තයේද තහනම් කොරලා කියාය.

නමුත් බලාගෙන යනවිට මට දැන  ගන්නට ලැබුනේ ලන්ඩන් බ්රුටස්,  ශ්‍රී ලංකාවේ ගෝමයා  හා නේපාලයේ කුමී හරහා දියත් කල කුමන්ත්‍රණයකින් මගේ කිර්ති නාමයට හානිකර අයුරින් ලිපියක් පල කර ඇති බවයි. මෙයත් දැන  ගන්නට ලැබුනේ ෆේස්බුක් එකේ අනවරතයෙන් සැරි සරණ මගේ ෆේස්බුක් යහළුවෙක් මා  කෙරේ අනුකම්පාවෙන් උදේ පාන්දර තද නින්දේ සිටියදී නැගිට්ටවා කරන ලද දැනුම් දීමෙනි.

මගේ වයස ගැන මම බස්සි, දිලා හෝ වෙනත් කිසිදු බ්ලොග් ලියන්නියකට  කිසි දෙයක් කවදාවත් කියා නැති අතර මෙය හුදු ද්වේශ සහගත ලෙස බ්ලොග් ලියන්නියන් අතරේ මගේ ඇති ජනප්‍රිය භාවයට අකුල් හෙලීමට  ලියන ලද්දක් බව පෙනී යයි.

එසේම මගේ නම වෙනුවට වෙනත් නම් වලින් මා   ඇමතීම තරයේ හෙළා දකිමි.

මට වයස අවුරුදු පනහක් වුන ඊයේ සුපුරුදු ලෙස මගේ මිතුරන් සමග ටෙකිලා බෝතලයකට වග කියමින් ඉතා වගකීමෙන් යුතුව සැමරූ  උපන් දිනය ට මේ මඩ  ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව අද සිට නීති මගින් ක්‍රියා කර මොවුන්ට දැඩි දඬුවම් ලබා දීමට උදව් කරන  මෙන් බ්ලොගා ලා ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

එම ලිපිය මෙතන ඇති අතර මෙය ඉවත් නොකල හොත් අද සිට නෙලුන් යාය වර්ජනය කොරමි.

http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16580-2015-04-15-10-23-53

මිට කොළඹ ගමයා

You must become an old man in good time if you wish to be an old man long.

Marcus Aurelius

Tuesday 14 April 2015

දෙවන මොන්කාඩා ප්‍රහාරය 2016 මාර්තු 26

ශ්‍රී ලංකා බ්ලොග් සංසදය හා නෙලුම් යාය විසින් සංවිධානය කෙරෙන දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 වන සෙනසුරාදා සවස 2.30 සිට පැවැත්වීමට තීරණය කරන ලදී.

මේ සඳහාතෝරා ගනු ලබන බ්ලොග් ලිපි ආදිය වර්ගීකරණ එකොළහකට  අයත් වනු ඇත. ඒ නම් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , ඡායාරූප, තාක්ෂණ, විද්‍යා, හයිකු, සංචාරක, සංගීතය හා  ඉතිහාස   යනුවෙනි. මෙයින් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , සංචාරක යන අංග වලට එක, දෙක, සහ  තුන ස්ථාන තෝරනු ඇත.

එසේම වසරේ ජනප්‍රියම (හොඳම) බ්ලෝග කරුවාද තෝරනු  ලබන අතර එයට පළමු , දෙවන සහ තුන්වන  ස්ථාන තෝරා  ගනු ඇත.

ශ්‍රී ලංකා බ්ලොග් සංසදයේ සාමාජික බ්ලොග් කරුවන් ගෙන් , නෙලුම් යායේ හා ලංකානිව්ස්වෙබ් අඩවියේ නෙලුම් යාය, සිව්මන්සල , සයිබර් පවුර යන අංගයන්හි පලවන බ්ලොග් ලිපි ආදිය  අතුරෙන් ජයග්‍රාහකයන් තෝරනු ලැබේ.  මෙහිදී ලිපියකට කොපමණ තරමකට සංවාද කෙරෙන්නේද යන්න, ලිපි හා බ්ලොග් වල ජනප්‍රියත්වය, කාලීන මාතෘකාවකට ඇති වැදගත්කම ආදිය වැනි නිර්ණායකයන්ද භාවිතා කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා බ්ලොග් සංසදයට බැඳීම සඳහා හෝ නෙලුම් යාය, ලංකානිව්ස්වෙබ්/නෙළුම් යාය  ට පල කිරීමට, ඔබේ බ්ලොග් යොමු කරන්න පහත සඳහන් ලිපිනයන්ට:
editor@nelumyaya.com
editor@lankanewsweb.com

ශ්‍රී ලංකා බ්ලොග් සංසදයට බැඳීමට පහත සදහන් බ්ලොග් කරුවන්ගේ අඩවි වලින් විමසීමක් කිරීමෙන් ද පුළුවන.
මාතලන්, කල්‍යාණ  මිත්‍ර, බස්සි ගේ නවාතැන , දිලා ගේ ලෝකය, මනා  ගේ පින්තාරුව, ඉවාන් පව්ලුෂා, අටම්පහුර, අජිත් පැරකුම් (W3ලංකා) හෝ  ප්‍රාජේ.

සම්මාන සඳහා වන ත්‍යාග පිලිබඳ පැහැදිලි කිරීමක් ඉදිරියේදී කරන්නෙමු.

ශ්‍රී ලංකා බ්ලොග් සංසදයට එක්වන ලෙස අප ඔබට ආරාධනා කරන්නෙමු.

ඔබ සැමට සුභ නව වසරක්.

- සංස්කාරක නෙලුම් යාය






Friday 10 April 2015

නෙළුම් යායේ නොකළ කතාව හා ජයග්‍රහණයට හේතුව

ඉහල පන්ති වල ඉන්න කොට ඒ දවස් වල ඉස්කෝලේ (වැරදුනා ) කොලේජ් එක ඇරුනහම වලක්  බහින්න තැනක් හොයනවා නේ. පාඩම් වැඩ වලට අමතරව. මේ කොලේජ් කතාවත් අපේ රෝයල් ගිය බුවෙක් තමා  කිව්වේ. මම ඉස්කෝලේ ගියේ රෝයල් කිව්වහම මෑන් ඇහුව මම ගියේ පොළොන්නරුවේ රෝයල් එකටද කියල. ඒකට හේතුව මම "ඉස්කෝලේ ගිය එක " කියල කිව්ව නිසා. ඉතින්
මට පොර දුන්න අවවාදය තමයි මීට  පස්සේ කියපන් කොලේජ් ගියයි කියල. කොහෙද රෝයල් ගියත් බයියනේ. ඉස්කෝලේ කියලමයි කියවෙන්නේ.

ඉතින් මේ වල ගැන කිව්වම දැන් මේ මාතලන්ට, ඉවානයලට, බස්සිලට ඉතින් තියෙනවනේ KFC, මැක්ඩොනල්ඩ්ස්, පිට්සා හට් වගේ තැන්  වල බහින්න. අපිට තිබ්බේ නැහැ ඒ කාලේ  එහෙම තැන්. ඉතින් ඉස්සෙල්ලම බැලුවා අර මල් පාරේ (flower road ) එකේ ලේඩිස් කොලේජ් එක ඉස්සරහ තියෙන ඇමෙරිකන් සෙන්ටර් එකට සෙට් වෙන්න. (මේක දැන් එතන නැහැ. ගාලු පාරේ තියෙන්නේ). ඉතින් චෙස් අතක් හෙම ඇදල සෙට් වෙන්න බැලුවා. ම්හු ..ඩිප්ලොමැට් පොරවල්  ගේ ළමයි කස්ටිය, ඇමතිලගේ දුල පුතාල සෙට් එක එතන බහිරවයෝ වගේ ලැගන්  ඉන්නවා. ගෙවල් වල කතා නොකරන නිසා කඩ්ඩත් එච්චරම පොලිෂ් නැහැ. මං  පිටස්තරය එතනින් කැපුන. ඊළඟට සෙට් වෙන්න බැලුවේ බ්‍රිටිෂ් කවුන්සිල් එකට. අර සන්තෑසියම තමයි. පොතකුත් අරන් කියවල, ආපහු  ගිහිල්ල දීලා එතනිනුත් කැපුනා. ඒ දවස්වල අපි වාගේ වැඩි  සල්ලි බාගේ  නැති  සිංහළ  පවුල් වල එවුන් සෙට් වෙන්නේ නැතුව වගේ එතනට. සෙට් වෙන එවුනුත් ඉන්නවා. ඒ අපි නෙවේ.  අපි පිටස්තරයෝ.
ඊළගට සෙට් වෙන්න  බැලුවේ පොඩි කාලේ ඉඳන් අර නිකන් පෙන්වන ෆිල්ම් බලන්න යන තැනට.  සෝවියට් සංස්කෘතික මන්දිරේ,  අර ගංගාරාමෙට යන පාරේ  බිෂොප් කොලේජ් එක ගාව. එතන පරණ කොමියුනිස් සමසමාජ ඈයන් ගේ දු දරු රොත්තක් පිරිලා. තව එතනම අවුරුදු ගණන් ලැගල ඉන්න කස්ටියකුත් හිටිය. උන් නම් ටිකක් හොඳයි කියල හිතුන.  කඩ්ඩ වැඩිය  දාන්නේ  නැහැ.  එතැන රෂියන් නේ උගන් වන්නේ. හැබැයි උනුත් අලුතෙන් එන එවුන්ට කොස්ස. අපි පිටස්තරයෝ කීප  දෙනෙක් සෙට් වුනා. නව සමසමාජේ පොරක්, යංග්  ස්පාටසිස්ට් ලිග් පොරවල්, හිටපු ජවිපෙ , ඉන්න ජවිපෙ, යු ඇන්පී,  සිරි ලංකා  පොරවල් වගේ. හැබැයි අර බහිරවයෝ වගේ මුල් බැසගෙන ඉන්න පොරවලින් ඉතින් වලිම තමා. පස්සේ තමා හේතුව එලියට ආවේ. මේ සෝවියට් ශිෂ්‍යත්ව පෝලිම නොවැ. අර බහිරවයෝ රැල අදිනවා ලෙඩේ එතනට මොකා  ආවත්. ඔය අස්සේ කවුද කීව  එතන හිටි නෙත්තය  ඒවා විකුනනවා කියලත්.

දැන් ඉතින් යන්නේ කොහෙද? කොච්චර දක්ෂිණාංශික කීවත්, දැනුමට බයයි කීවත් ජේ ආර් ලොක්ක හොඳ වැඩක් කලා .  අර යාපනේ පුස්තකාලේ ගිනි තියල නරක වැඩක් කරලා - ඊට පස්සේ - කල හොඳ වැඩක්. අපේ අර කෞතුකාගාරේ ඉස්සරහ හරියේ තිබිච්ච පරණ මහජන පුස්තකාලේ වෙනුවට හදල දුන්න නොව නියම සිරා ගොඩ නැගිල්ලක්. ඒකෙ  තියෙන පොත්  ගොඩ. පත්තර ශාලාව.  ඒ මදිවට වලට කැන්ටිමක්. ඒලෙවල් පාඩම් කරන්න ශාලා. කියල වැඩක් නැහැ.  මෙන්න ඉතින් පිටස්තරයෝ රෑන  එතනට සෙට් වුණා.
ඉතින් මට මේ අපේ බ්ලොග් කාරයෝ ගැන හිතෙන්නෙත් එහෙමමයි. රේනගේ එක, වෙල්ගමගේ එක, අලස් ගේ එක , අසංගගේ  එක වගේ පුද්ගලික "එකවල්", අරTN, අරවාහිනී, මේ වෙබ් අඩවි වල නැතුව එළියේ ඉන්න පිටස්තරයෝ රෑනක් අන්තර් ජාලයේ එකතු වෙලා , නිව්ස් එකක් , ලිපියක්, කයියක් දාන ගමන් වලකුත් බහිනවා. මේකේ තියෙන ආතල් එක තේරෙන්නෙම එතන හිටියොත් විතරයි.

ඉතින් පිටස්තරයෝ එකතු වෙන තැන කට්ටියක් නිර්මාණ සංවාද කුලකය කියල එකක්  හදල ඔය සාකච්චා, සාහිත්‍ය කෘති විවේචන, සිනමා විවේචන යනවා. ඔතනට පස්සේ අර අහවල් රතු පක්සේ කට්ටියකුත් සෙට් වුණා. හැබැයි ඒ සමහරුන්ට වාද කරන්න පොයින්ට් නෑ. වැඩිය කියවන කට්ටියත් නෙමේ වගේ. කියවන්නේ දෙන දේ විතරද කොහෙද. ඒ නිසා වාදය උණුසුම් වෙනකොට උන් පුටු වලින් තමා වාද කලේ. පුටු අඬු කඩලා අරන් (අපරාදේ අර හොඳ පුටු ) ඒ ගොල්ල දන්නා වාදෙට  සෙට් වෙනකොට අපි වාදය කකුල් දෙකට දීල දුවන්න ගත්ත.  වැටෙන් පැනල විහාර මහා දේවි  පාක් එකට දාල දුවනවා. පඳුරු අස්සේ හැංගෙන්නත්  බැහැ. පාඩම් කරන්න ආපු ගෑල්ලමෙක් කීං ගාල කෑ ගහනවා. පඳුරේ  ඉන්න කොල්ල ගහන්න එනවා විකෘතියෙක් කියල හිතල. දුවන කොට උන්ගේ කකුල් වලත් පැටලෙනවා. ඇයි  කකුල් විතරනේ එළියේ තියෙන්නේ.  ඉතින් මොනවාද දුවල දුවල ටවුන් හෝල් එක ගාව  138 ක එල්ලෙනවා.

දැන් බ්ලොග් වල කොමෙන්ට් දාන යාලුවෝ, වාද කරන එවුන්, සංවාද කරන එවුන් ඔක්කොමත් ඉන්නවා. ඒ අතරේ ඉන්නවා තනිකර ඇනයක්ම වෙන ඇනෝලත්. ඒ ගොල්ලන්ට ඕනේ කෑ ගහල වන කරලා පුටු කඩලා බ්ලොගේ නවත්වන්න. මොකද සංවාද කරන්න තරම් සංයමයක්  නෑ.  හැබැයි අපට තියෙන්නේ ඉස්සර වගේ දුවන්න නෙමේ. සංසදයක් හදල සංවිධානය වෙන්න. අපි එකතු වෙනකොට අපේ ශක්තිය වැඩියි.

මේ රටේ වෙබ් අඩවි මර්ධනය කරපු කාලයක්, තහනම් කරපු කාලයක් තිබුන කිසි හේතුවක් නැතුව.  ලංකානිව්ස්වෙබ් ඇතුළු තහනම් කරපු අඩවි වලට ඇවිත් බැලුවේ ෆේස්බුක් වගේ සමාජ ජාල වලින් . නැත්නම් පිටරට වල ඉන්න සහෘදයෝ  විතරයි. මේව නිදහස් වෙබ් අඩවි. නමුත් ඒවා එක එක පැති  වලට තල්ලු කලේ මේ තේරුමක් නැති වාරණ. බොහොමයක් බ්ලොග් කරුවන් ඔවුන්ගේ  නිර්මාණ පල කරන්න  දුන්න. අපි ඔවුන් සමග අපේ පාඨක  ජනතාව බෙදා ගත්ත. එහෙම කලෙත් වඩා  නිදහස් මාධ්‍ය භාවිතයක් ඇති වෙයි කියල හිතා ගෙන. ඒ ජයග්‍රහණයතමා  මේ සමරන්නේ. එයට උර දුන් කට්ටියකට සම්මාන දීල මේ පුරවැසි ජන මාධ්‍යය වඩාත් සමාජ ගත කරන්න.

පසු සටහන:
මේ වැඩ සටහනේදී මගේ කතාව කෙසේ වෙතත් අහන්න පුල පුලා බලා  සිටි නාලක ගුණවර්ධනගේ කතාව  වත් අජිත් පැරකුම් ගේ කතාව වත් අහන්න ලැබුනේ නැහැ. වීඩියෝ වල හඬ වල නැහැ. සංගීත කණ්ඩායමේ සින්දු ටික නිවී හැනහිල්ලේ බලන්න හිටිය. ඒවා රෙකොර්ඩ් වෙලත් නැහැ. මොකක්ද වුනේ කියල මම දන්නෙත් නැහැ.  ලබන පාරවත්  බලමු.
අපට වුවමනා  වුනේ සම්ප්‍රදායෙන් පිට යමක් කරන්න. ඒක 100% සාර්ථක නොවෙන්න ඇති.
මේ දේශනය  කිරීමට  ප්‍රථමයෙන් Black  Eyed Peas කණ්ඩායමේ Let's get started ගීතයේ මුල් කොටස වාදනය කරන්නයි හිටිය.  පැයක් පරක්කු වුන නිසා වාදනය වුනේ නැහැ. ජාතික ගීයේ ප්‍රශ්නයකට නොවේ.
එය පහත දැක්වෙනවා.
Let's get it started in here...

And the bass keeps runnin' runnin', and runnin' runnin', and runnin' runnin', and runnin' runnin',
And runnin' runnin', and runnin' runnin', and runnin' runnin', and runnin' runnin', and...

In this context, there's no disrespect, so, when I bust my rhyme, you break your necks.
We got five minutes for us to disconnect, from all intellect collect the rhythm effect.
So lose an inhibition, follow your intuition, free your inner soul and break away from tradition.
Cause when we beat out, girl it's pulling without.
You wouldn't believe how we wow shit out.
Burn it till it's burned out.
Turn it till it's turned out.
Act up from north, west, east, south.

[Chorus:]
Everybody (yeah), everybody (yeah), let's get into it (yeah), get stupid (c'mon)
Get it started (c'mon), get it started (yeah), get it started!
Let's get it started (ha), let's get it started in here.
Let's get it started (ha), let's get it started in here.
Let's get it started (ha), let's get it started in here.