Friday 29 April 2016

ඉයන්ගේ ගීත සමාජවාදය හා සමාජවාදී යථාර්ථවාදය

දේශකයාගේ ලිපියකට ඉයන් විසින් දුන් ප්‍රතිචාරයක් පහත දැක්වේ. මෙය කියවූ මට මතක් වූයේ සමාජවාදය යටතේ කලා කෘති අයිති ජනතාවට නිසා ඒවා ජනතාවාදී විය යුතුය යන මතයයි.

අජිත් බොහෝවිට ගීතයට වඩා ගායකයාට ඉල්ලුමක් තියෙන බව පේනව නේද? කාගේ වුණත් තමන්ට හුරු සිංදුවක් තමන් කැමති ගායකයෙක් කියනවට මිනිස්සු ආසයි. කලා කෘතියක් සමාජ ගත කලාම සහ එය සමාජගත වුණාම නීතිය කුමක් වුණත් එය අයිති සමාජයට.

සෝවියට් සාහිත්‍යය වර්ධනය වූයේ පසු කලෙක නීරස වූ  සමාජවාදී යථාර්ථවාදය (Socialist Realism) යටතේය. එනම් හැම කලා කෘතියකම යථාර්තය පිළිඹිබු විය යුතුය යන මතයයි. එම යථාර්තය නම් නිර්ධන පන්ති ජනතාවගේ හා කම්කරු පන්තියේ රාජ්‍ය බලය නමැති යථාර්ථය කලාව තුලින් එළි  දැක්විය යුතුය යන්නයි. මේ මතවාදය පෝෂණය වූයේ කලාව  අයිති මහජනයාට යන අදහස නිසාය.

නමුත් මේ මතවාදය තුල සිදුවුයේ ස්වාධින කලාත්මක නිර්මාණ බිහිවීම නොව රජයට ගැති නීරස ප්‍රචාරාත්මක (propaganda)  නිර්මාණ බිහි වීමය. ස්ටාලින් වන්දනා කරන ගායනා හෝ කොමියුනිස්ට් සමාජයේ සාධාරණත්වය, සශ්‍රිකත්වය ආදිය උලුප්පා දක්වන නිර්මාණ සමාජගත  කරන ලදී. ඒවා ඉදිරිපත් කළ කලාකරුවන් යයි කියා ගත් නිලධාරීන් කලා සංගම් වල හා රජයේ ආයතන වල වැජඹුණි. පිටරටවල සංචාරය කිරීමට වරම් ලද්දෝද ඔවුහු වූහ.

මේ දැක්මට විරුද්ධව නැගී සිටි කලාකරුවන් සමුහයක්ද විය. ඔවුන් ජීවිතය ගැට ගසා ගත්තේ අමාරුවෙනි. මහා කවි මයකෝව්ස්කි ගේ අන්තිම කාලය, අන්ද්රෙයි  තර්කොව්ස්කි , ව්ලදිමිර්  විසෝස්කි ආදීන් මේ ගණයට වැටේ.  ව්ලදිමිර්  විසෝස්කි  ගැන මා දැන  ගත්තේ ගිය වසරේ දිවි මගෙන් සමුගත්  පසන් කොඩිකාර සහෘදයා ගෙනි. ඔහු තේනුවර හා තවත් සිසුවකු විසෝස්කි ගේ ගී රස විඳිමින් සිටියේය.   සෝවියට් අධිකාරය විසෝස්කි ව ප්‍රිය නොකළ අතර ඔහු පසුව තගන්කයා නම් නාට්‍ය ශාලාවට අනුබද්ධව  වැඩ කළේය. නිදහස්ව නිර්මාණ සමාජගත කල විසොස්කි රුසියානු ජනතාව අතර ඉතා ජනප්‍රිය විය. ඔහුගේ ගීත නිර්මාණ ඕනෑම අයෙකුට රැගෙන ගායනා කිරීමට අවකාශය තිබුණි.  කලාකරුවෙකු වශයෙන් ඔහු දිළින්දෙකු විය.

 කිසියම් කලාත්මක කෘතියක් ඉදිරිපත් කරන්නේ මහ ජනතාවට රස විඳින්නට බව සැබෑය. නමුත් රසිකයා යන සෑම විටම සමාජයේ බහුතරය නියෝජනය කරන්නෙකු හෝ කරන්නියක නොවේ. උදාහරණයක් වශයෙන් ඔපෙරා ගායනයන් හෝ බටහිර ශාස්ත්‍රීය සංගීතය සැමදෙනාම රස විදින්නක් නොවේය යන අදහස් තිබේ. "දන්නෝ බුදුන්ගේ " ගීතය ඔපෙරා ගායිකාවක් ගැයූ වේලේ ඔපෙරා අසන්නේ සමාජයේ උසස් යයි සම්මත බටහිර ගැති  කොටසක්ය  යන අදහසක්ද ඉස්මතුව තිබුණි.
නමුත් අන්දරේ රියූ වැනි බටහිර ජර්මන් වයලින් වාදකයන් යුරෝපියානු ජනතාව අතර ජනප්‍රියය. සමාජයේ සෑම ස්ථරයකම ජනතාව ඔහුගේ වාදන රස විඳීමට පැමිණේ.

මේ අන්තර්ජාල අවධියේ තමන්ගේ නිර්මාණයක් තමන්ගේම ලෙස රැක ගැනීම ඉතා අසීරුය. අපිට මුදල් නොගෙවා අන්තර්ජාලයෙන් පොත් බා  ගත හැකිය. මුදල් නොගෙවා ගීත බා ගත හැකිය. එසේම චිත්රපටිද බා ගත හැකිය. මමද මේ වරද ඇතැම්විට කරන අයෙක්මි.

 සාමාන්‍යයෙන් එංගලන්තයේ සිනමා ශාලාවක ප්‍රවේශ පත්‍රයක් පවුම් 10 පමණ වේ. බොහෝ අය චිත්‍රපට අන්තර්ජාලයෙන් බා ගන්නේ එහෙයිනි. නමුත් චිත්‍රපටියක් නිපදවූ පසු එහි නිෂ්පාදකයාට මුදලක් ලැබුනේ නැත්නම්  ඒ කර්මාන්තයේ යෙදෙන අයගේ රැකියා වලට එය තර්ජනයකි. සංගීත ගැන තත්වයද එසේමය. ඒ නිසා මා ද අන්තර්ජාලයෙන් බා ගන්නවා වෙනුවට  බොහෝ විට මුදල් ගෙවා චිත්‍රපටි බැලීම කරමි.
 බටහිර රටවල නළුවන්ට මෙන්ම ගායකයන්ට ගෙවන මුදල අති විශාලය. ඔවුන් අතිශයින් ධනවත්ය. ඔවුන්ට එරෙහිව බොහෝ අය මේ අන්තර්ජාලය තුල චිත්‍රපටි හා ගීත  බෙදා හැරීම  කරන්නේ එහෙයිනි. මෙසේ නීත්‍යානුනුකුල නොවන ආකාරයට බා ගන්නා අයගේ තර්කයද කලා කෘති සමාජගත කළ පසු එය අයිති ජනතාවට  බවය.

සෝවියට් දේශයේ හා බොහොමයක් සමාජවාදී රටවල චිත්‍රපට සඳහා ප්‍රවේශ පත්‍ර ඉතාම ලාභයට තිබුණි.  බොහෝ දෙනා මේ නිසා චිත්‍රපට නැරඹීමට ගියහ. තිබෙන නිලධාරිවාදී පිඩාව මධ්යයේ වුවද හොඳ චිත්‍රපට තිබිණි. ගායකයන් ද ප්‍රසිද්ධ මුත් ඔවුන් ලොකු ධනවතුන්  නොවිනි.

වර්තමානයේ  බ්ලොග් වල  ෆේස් බුක් හෝ වට්පෑඩ් එකේ  පලවන නිර්මාණ නොමිලයේ භුක්ති වින්ද  හැකි වීමය. ඒ නිසා මා පොතක් පල කලද තව කාලයකට පසු එය නොමිලයේ අන්තර්ජාලය හරහා බෙදා හැරිය යුතු යයි මට සිතේ.

මට වැටහෙන ලෙසට සෝවියට් දේශය බිහි වී තිබුනේ කාලයට කලින් බවය. එය බිහි වන්නට  තිබුනේ බොහෝ පසුවය.

දියුණු ධනවාදී රටවල මාතලන් හා ඉයන් කියන්නාක් මෙන් ගීත ඇතුළු කලා කෘති සමාජ ගත  කල පසු ඒවා අන්තර්ජාලය නිසා  ඉබේම සමාජයට අයිතිවේ . ඒ නිසා ගීතයක් ඕනෑම කෙනෙකුට ගායනා කල හැකිය. මා  සිතන්නේ ගායකයාගේ අවසරය ඇතිව  සුළු මුදලක් ඔහුට ද  දී එසේ කල යුතු බවය. නිර්මාණය වඩා ප්‍රසිද්ධ ද වේ. අනිකුත් නිර්මාණද බෙදා ගත යුතුය. එවිට ඇති ධනවත් ගායකයන්, නළු නිලියන් ඇතිවන්නේ නැත. බොහෝ මිනිසුන්ටද අඩු මුදලට මේ නිර්මාණ  රස විඳිය හැකි වනු ඇත.

ඉයන් ලා  මාතලන් ලා සමාජවාදී කතා කියන්නේ මේ අනුව විය යුතුය.

මේ කියන්නේ නෝ  මෝ මාක්ස් කියා කිව්වාට  මාක්ස්  නිවැරදි බවය. පශ්චාද් මාක්ස්වාදය යනු එයය.   එනම් පිස්සු කෙල ඇත්තේ ලෙනින් බව වටහා ගැනීමද?



Monday 25 April 2016

අනිත් කොනේ බෝධිනීගේ හදවතේ සූත්‍රය

වෛද්‍යවරියක ලියන බ්ලොගයක් ඇති බව දැනගත්තේ ළඟකදිය. අනිත් කොන නම් වූ ඒ බ්ලොගයේ මම බොහෝ විට කරන්නේ කියවා ඒම හෝ ඉඳහිට කොමෙන්ටුවක් දමා ඒම පමණි. එහි ලිපි පිටපත් කර ගැනීම වළකා ඇති බැවින් එහි ලිපි නෙලුම් යායේ කිසිදා පල නොවිණි. අනිත් කොනේ පළවූ ලිපි එකතු කර පොතක් පල කර ඇති බව දැන සිටියත් එය අතට ලැබුනේ මේ නොබෝදාය. ඒ නෙළුම් යාය සම්මාන උළෙලේදී මිලදී ගත් බැවිනි. මගේ පොත එළි දැක්වූ දවසේ පැමිණි බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ඇගේ අත්සන සහිත තවත් පොතක් මට පරිත්‍යාග කලාය.

 මුලින්ම බ්ලොගයේ ලිපි කියවන විට මුලින්ම ඇතිවන අදහස් හෝ හැඟීම් දෙකක් තිබේ. එකක් නම් ඇය උතුරේ සිටින ශ්‍රී ලංකා හමුදාවේ විශේෂයන්ම සිංහල හමුදා භටයන්ගේ වීරත්වය හා කාරුණිකත්වය ගැන කතා කරන බවයි. මෙය විශේෂ වන්නේ පසුගිය කාලයේ බොහෝ බටහිර ජන මාධ්‍ය වල, දෙමළ ඩයස්පෝරාව මෙහෙයවන වෙබ් අඩවි වල හා මෙන්ම සමහර වාමාංශික යයි කිව හැකි වෙබ් අඩවි වලද සිංහල යුධ භටයන් විසින් සිදු කරන ලදැයි කියන යුධ අපරාධ පිළිබඳව චෝදනා බොහොමයක් එල්ලවූ බැවිනි. ඒ චෝදනා ප්‍රතික්ෂේප කළේ සිංහල පුවත්පත් හා ශ්‍රී ලංකාවේ එවකට පැවති රජයේ මාධ්‍ය පමණි.

 දෙවැනිව ඇතිවන හැඟීම නම් වෛද්‍යවරුන්ට ඇති සමහරක් චෝදනා වලට පිළිතුරක් ලෙස බ්ලොගක් ලියන බවයි. නමුත් බ්ලොගයේ අනිකුත් ලිපි කියවන විට හා ඇගේ පොත කියවන විට මේ අදහස දෙකම ප්‍රශ්නාර්ථයකට ලක් කිරීමට අපට සිදු වේ. මෙහිදී මේ පොත ගැන කිසිවක් ලිවීම පවා බිම් බෝම්බ මැදින් ගමන් කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

කොටි සංවිධානය විසින් ශ්‍රී ලංකා රජය එරෙහිව කරන ලද යුද්ධය විමුක්ති අරගලයක් ලෙසට සලකන රෝහිත භාෂණ අබේවර්ධන ජේඩිඑස් වෙබ් අඩියේ සමකයට ලියන ලද ලිපියක් මෙසේ අවසන් කරයි. "ඒ සා දුක් දොම්නසින් වැසුණු ඝෝර ඉරණම් නොතකා, තල් හකුරු සහ පිච්ච මල් ගැන ගොහොදු සිංහලෙන් ලියැවෙන පෙදෙහි රස හව් විඳ දෙමළුන් නිවී සැනහෙනු ඇතැයි සිතීම ද ඊට නොදෙවෙනි ප‍්‍රචණ්ඩත්වයකි". ඔහු එසේම තවමත් දෙමල තරුණයන් ගැනීම් හා දෙමළ ජනතාවට හිංසා කිරීම සිදුවන බව පවසයි.

රෝහිත භාෂණ ගේ අදහසට කෙලින්ම ප්‍රතිවිරුද්ධ මතය නාමල් උඩතලමත්ත විසින් මේ පොතේ අග ඇති ප්‍රතිචාර කොටසේ ලියා තිබේ. "ඒ මිනිස්සුන්ට ඕන මේ රටේ පපල්ල හැලිච්ච මාක්ස්වාදීන් ගේ වලව්කාරයින්ගේ ලිබරල්කාරයින්ගේ අනුකම්පාව නෙමේ. ආදරය කරුණාව ගෞරවය, සහෝදරත්වය." එසේම වෙනත් තැනක ඔහු මෙසේද ලියයි. "අද මේ රටට අවශ්‍ය 13 හරි පළාත් සභා හරි නෙමේ. "

මා බිම් බෝම්බ යයි කිව්වේ මේ අන්ත දෙකටය. ඔය අන්ත දෙක මැදින් සුක්කානම හැසිරවීම හරිම අමාරුය. එක අන්තයකින් දෙමළ ජනතාව ඉල්ලන්නේ ස්වයං නිර්ණන අයිතිය කියන අතර එසේ ලබා දුන් විට දකුණේ සමාජවාදය පිහිටවීම කජු කන්නාක් මෙන් ලෙහෙසි වනු ඇති බවට මතයකි. අනිත් අන්තයෙන් කියන්නේ ඔවුන්ට අවශ්‍ය සිංහලයන් ගේ අනුකම්පාව බවයි. ඒ අනුකම්පාව හා කරුණාව මිස බලය බෙදීමකින් කිසිවක් නොවිසඳේ යන්න ඔවුන් ගේ මතයයි. දැන් බෝදිනී තම සුක්කානම හසුරුවන්නේ මේ දෙකම සිහි තබා ගෙන යයි මට සිතෙයි.

ඉහත කී අදහස් දෙකටම හරියන විධිහේ පිළිතුරක් බෝධිනී මුලින්ම දෙයි. ඒ ඇය විසින් ඇගේ රැකියාව වඩා පහසු වීම සඳහා දෙමළ භාෂාව ඉගෙන ගැනීමයි. දකුණේ සිංහල ජනතාවට දෙමළ ඉගැන්වීම අනිවාර්ය කිරීමට මා එකඟ නැත. පාසලේ විෂයක් ලෙස තිබුනාට කමක් නැත. මා සිතන්නේ කැමති අයට පමණක් දෙමළ ඉගෙන ගැනීමට ඉඩ දිය යුතු බවයි.නමුත් දෙමල කතා කරන කඳු කරයේ, උතුරේ හෝ නැගෙනහිර සේවයට යන රජයේ සේවකයන්ට පමණක් දෙමළ අනිවාර්ය කල යුතුය. එසේ කලයුතු වන්නේ, නැත්නම් එහි සිටින ජනතාව හා රජය සම්බන්ධ කටයුතු වලදී අපහසුතා ඇති වන බැවිනි. වෙළඳපල ප්‍රමුඛව ඇති සමාජයක මේ භාෂාව ඉගෙන ගැනීම ඉබේ සිදු වනු ඇත. ඒ ධනවාදී සමාජයක ලාභ ගැනීමේදී එය වඩා හොඳ ක්‍රමය සොයන බැවිනි. දෙමළ දන්නා සේවකයන්/වෘත්තිකයන් වඩා හොඳින් භාණ්ඩ විකිණීම හෝ සේවා සැපයීම කරන්නේ නම් එය සමාගමක රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් වනු ඇත. එය පවතින ආර්ථිකය හෙවත් "ලාභය" මත රැඳී තිබේ.

බෝධිනී සමරතුංග රැකියාව කරන මුල් මාස කිහිපයේ දෙමල භාෂාව උගනියි. ඒ හරහා තමන් සේවය කරන බහුතරයක් දෙමල ජනතාව වෙත හදවතින් සමීප වෙයි. එසේ සමීප වන ඈ ඔවුන්ගේ සිත් දිනා ගැනීමට අමතරව ඔවුන්ගේ "අම්මා" කෙනෙකු බවටද පත්වෙයි. සමහරෙකුට මේ නිහතමානී වෛද්‍යවරිය ඩොක්ටර් අක්කා ය. මේ ඇගේ සටහන් අනුව මා අවබෝධ කරගත් අන්දමයි. ඇය ඇගේ සිංහල ජාතිය හා එහි අසීමිත කරුණාව ගැන බොහෝ දේ කියයි. නමුත් ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඇගේ භාවිතාවයි. දෙමළ ජනතාව වෙනුවෙන් කටින් බතල හිටවන බොහෝ දෙනාට වඩා, සමහරවිට දෙමල ඩයස්පෝරාවටත් වඩා මානුෂිකත්වයක්, ඒ පිඩනයට පත්වුණු ජනතාවට ප්‍රගතිශිලිව සේවය කරන රජයේ වෛද්‍යවරියක් වන ඇය තුලින් මතුවෙයි.

මා තුල මතුවන ප්‍රශ්නය නම් මේ රෝහිත භාෂණ පවසන ප්‍රචණ්ඩත්වය ද යන්නයි. සිංහලයන්ගේ කරුණාවන්තකම ගැන සඳහන් කිරීම වරදක්ද? යුදයෙන් බැට කෑ පිඩිත තත්වයට පත්වුණු ජන කොටසකට ඇය යම් බලාපොරොත්තුවක් හා සහනයක් ගෙන එයි. එසේම ඇයට මේ බ්ලොගය ලියන්නට වන්නේද හමුදා පාලනයක් සහිත පෙදෙසක සිටයි. ඕනෑම හමුදා පාලනයකදී තමන් ලියන කියන ඕනෑම දෙයක් ගැන දෙවරක් සිතන්නට සිදු වේ. ඒ දෙවරක් සිතීම මේ පොතේ බොහෝ පිටු හරහා අපට දකින්නට හැකිය. එසේම කාසියේ අනිත් පැත්තේ සිටින අයගෙන් ද අප ප්‍රශ්නයක් ඇසිය යුතුවේ.

තවමත් නිකරුනේ සිර ගත කෙරීම් කෙරෙනවා නම්, පළාතකට නොගැලපෙන ලෙස විශාල යුද භටයන් සංඛ්‍යාවක් තවමත් සිටිනවා නම් එයද ප්‍රශ්නයක් නොවේද? දෙමළ වැසියන් ඉල්ලන්නේ සිංහලයන්ගේ අනුකම්පාව නොවේ. ඔවුන්ට නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය සිංහලයන් විසින් දිය යුතු දෙයක් නොව එය ශ්‍රී ලංකාවේම ඉපදුන ඔවුනට සිංහලයන්ට මෙන්ම ඇති අයිතියකි. ඔවුන් සටන් කළේද කරන්නේද ඒ සඳහාය. එය ප්‍රචණ්ඩත්වයට හරවා එම සටන මගදී උදුරා ගත්තේ එල්ටීටීඊ සංවිධානයයි. ඔවුහු තමන් විමුක්තිය දෙන්නට පොරොන්දු වී සිටි ජනතාවටද එකසේ කුරිරු වුන් අවස්ථා රාශියක් විය. ලන්ඩනයේ සාමාන්‍ය වෙළඳාමක් හිමි දෙමළ ව්‍යාපාරිකයකු වරක් ශෝකයෙන් මට පැවසුවේ තමන් ගේ දියණියට හා පුතාට පාවහන් ගැනීමට තිබෙන මුදලත් ඔවුන් බලෙන් ගත් බවයි. ඔහුගේ ලාභය ගණනය කර ඉන් කොටසක් රැගෙන යාම පමණක් නොව සමහර විට ඔහුගේ මෝට්ගේජ් කර ඇති නිවස තවත් උගස් කර පවා මුදල් රැගෙන දිය යුතුව තිබිණි. ඒ ණය බරින් ඔහු පීඩිතව සිටියේය.

බෝධිනී දකුණේද සේවය කරනු ඇත්තේ ය මේ උතුරට පෙන්වන කරුණාවන්ත හදවතින්ම බව මගේ හැඟීමයි. කොටි සංවිධානය හෝ ශ්‍රී ලංකා හමුදාව ෂෙල් වෙඩි දැමුවේ නැත කියා දෙගොල්ලම ප්‍රතික්ෂේප කරනු ඒ දවස් වල පුවත් පත් වල කියෙව්වෙමු. නමුත් 20 පිටුවේ මිඩ් වයිෆ් කෙනෙකුගේ හිසේ ෂෙල් කැබැල්ලක්ය. දරු ප්‍රසුතියකට පැමිණි නිතර ෆිට් එක සැදෙන දෙමළ මවකගේ හිසේද ෂෙල් වෙඩිය. මේ ෂෙල් වෙඩි කැබලිද බෝම්බ කැබලිද කියා ඔවුන් දන්නවාද? මේ රෝගීන් හමුව සොයා බලය හැකිද? රජයහා කොටි සංවිධානය ප්‍රතික්ෂේප කළ ෂෙල් වෙඩි කතාව සත්‍යයක්ද? විසි තුන්වන පිටුවේ ඈ ලියන්නේ "ද්‍රවිඩ වෙළෙන්දා කීවේ එකම දෙයක් බවයි. අපිට යුද්ධේ ඉවර කරල දෙන්න කියලා" මෙය මදක් අදහා ගත නොහැකි කතාවකි. ඔවුන් යුද්ධය ඉවර කර දෙන්නට ඉල්ලුවේ ලංකා රජයෙන්ද? නැත්නම් ප්‍රභාකරන් ගෙන්ද?

කුරිරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට අසුවී ළමා සොල්දාදුවෙකු වුනු තම සොහොයුරා ගැන කතක් හඬයි. මෙහිදී "අපේ හමුදා " ඒ කියන්නේ සිංහල බෝධිනිගේ සිංහල අපේ හමුදා ඒ කුරිරු වකවානුව හමාර කොටය නිදහස ලබා දුන් නිසා අද ඇයටත් ජිවත් වීමේ භාග්‍යය හිමි වී තිබේ යන්නද? . නැත්නම් ඇය මැරෙන්නේ කෙසේද? බෝධිනී? හමුදාව අතින්ද? ත්‍රස්තවාදීන් අතින්ද?

ත්‍රස්තවාදීන් ගෙන් නිදහස ලැබී අද ඔවුන් නැවත සිංහල ග්‍රහණය යටතේ සිටින සෙයක් පෙන්නුම් නොකරන්නේද? මට හිතෙන්නේ මෙය ලිවිය යුතුව තිබුනේ වෙනස් ආකාරයටය.

කොටි සංවිධානය විසින් ළමුන් පැහැරගත් බව ඇත්තය. ශ්‍රී ලංකා හමුදාව විසින් එය අවසන් කර තිබේ. ශ්‍රී ලංකා හමුදාව සිංහලයන් ගේ මෙන්ම දෙමල හා මුස්ලිමුන් ගේ හමුදාවද වෙයි. තමන්ගේ ළමයි හොඳින් බටහිර ඉගෙන ගනිද්දී දෙමල ඩයස්පෝරාවේ ආධාරයෙන් යුද්ධය ගෙනි ගිය කොටි සංවිධානය දුප්පතුන් ගේ ළමයි පැහැර ගත්තේ අනිත් දෙමල ජනතාවගේ විමුක්තිය උදා කරන්නටය. නමුත් පියවර දෙකක් පස්සට යනවා වෙනුවට ඔවුන් මරාගෙන මැරුනහ. අවසානයේදී කිසිවකුට විමුක්තිය උදාවුයේ නැත. බෝම්බ වලට බියේ වාහන තුන හතරකින් පවුලේ උදවිය වෙන වෙන්ව ගමන් කල සිංහල ජනතාව සැනසුම් සුසුමක් හෙලු බව ඇත්තය. නමුත් ඒ බොහෝ මල කඳන් මතින් බවද ඇත්තය.

නර්ස් මිස්ලා , මිඩ් වයිෆ් මිස්ල හා විශේෂඥ වෙද තුමන් ලා මේ පොතේ හැම තැනම සිටිති. ඔවුන් හෙදි සොයුරියන්, හෙදියන්, මිඩ් වයිෆ් ල හෝ සාත්තු සේවිකාවන් හා විශේෂඥ වෛද්‍ය වරු නොවන්නේ මන්ද? සමහර විට පැජරෝ රථය පෙරලි රෝහලට පැමිණ (පිටුව 61) ආඩම්බරයෙන් තර්ජනය කල අයගේ මහා මානය වැන්නක් නිසාමද?

දෙමල ඉගෙනීමට අමතරව බෝධිනී මහසෝනා හා ප්‍රේත දිෂ්ටි වැදී දඟලන මානසික රෝගීන් ගැනද කතා කරයි. මෙහිදී ද ඇය ඉතාම ප්‍රගතිශීලි බවක් පෙන්වයි. (පිටු 63-67) බයිසිකලයකින් රැකියාවට යෑමෙන් ද ඇය එය සනාථ කරන්නීය. ඇගේ බයිසිකල් පාවිච්චිය මට මතක් කරවන්නේ ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ ආදී රටවල බයිසිකලයේ නැගී යන රජයේ නිලධාරීන් , වයිද්යවරුන්, නීතිඥයන්, දේශපාලනඥයන් ආදීන් ගැනය. ජෙරෙමි කෝබින් ද පාර්ලිමේන්තුවට එන්නේ බයිසිකලයෙනි.

ස්ටෙතස්කෝපය අතේ දවටාගෙන සුදු කබාය හැඳගෙන පාරේ ඇවිදින් වෙද සිසුන් ගැන යන්තමට සරදමක්ද එල්ල කරයි. ඒ ලංකාවේ වෛද්‍ය වෘත්තියට ඇති තත්වය හිසේ රැස් වළල්ලට ආරුඪ කර ගැනීම බව අප දනිමු. ඇත්තටම වෛද්‍ය වෘත්තීය යනු සම්භාවනීය එකකි. ඔවුන් බේරන්නේ ජීවිතය. බොහෝ විට හරි හැටි විවේකයක් පවා නොලබයි. රාත්‍රී යාමයන්හි බිරිඳ ගේ හෝ සැමියාගේ තුරුල්ලේ පහසුවෙන් නිදා ගැනීම වෙනුවට රෝහලේ වෙහෙසෙන්නේ ඔවුන්ය. කනිෂ්ඨ දොස්තරවරු වැඩ අධික කම නිසාම මේ දිනවල එංගලන්තයේ වර්ජන කරති. නමුත් ඒ සියලු වැඩ අතර හවසට පෞද්ගලික රෝහලක සේවය කිරීමට යන කොටසක්ද සිටිති. (ලංකාවේ) ඔවුන් කරන්නේ ද මුදලට හෝ සේවයකි යයි සිතමු නමුත් අය කරන මුදල සමහර විට සෞඛ්‍ය රක්ෂණයක් නැත්නම් සාමාන්‍ය ජනතාවට ඔරොත්තු නොදෙන තරම්ය.

අනවශ්‍ය ලෙස කරන වර්ජනයන්ට තමන් එතරම් කැමැත්තක් නොදක්වන බව බෝධිනී පවසන්නීය. ඒ ලෙඩුන්ගේ ජිවිත ඇත්තේ තමන් අතේ යයි ඈ සිතන බැවිනි . මුළු වෛද්‍ය සංගමයම මෙසේ සිතනවා නම් කොපමණ අගේද? පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන් ඇඳුම් ආදී දේ ගෙන්වාගෙන රෝහලේ සිටින දිලිනු රෝගීන්ට හා දරුවන්ට ඇඳුම පැළඳුම් ආදී දේ ලබා දෙන්නට තරම් කාරුණික හදවත් ඇත්තෝ ඇය රැකියා කල රෝහලේ සිටිති. පත්තර වලින්, සමාජයෙන් බොහෝ විට විවේචනය වන හෙදියන් හා වෛද්‍යවරුන් සිටින රටක මේ තොරතුරු දැක්වීම ඉතා යහපත් වන්නේ හැම දෙයක්ම සුදු හා කළු වශයෙන් සිතන මිනිසන් බොහොමයක් ඇති බැවිනි. විශාල මුදල් ප්‍රමානයක් වියදම් කරගෙන කරන බොරු ෂෝක් විවාහ උත්සව වෙනුවට ඒ මුදල් මෙවැනි අසරණයන් වෙනුවෙන් යෙදෙව්වා නම් හොඳ නොවේ දැයි ඇය විමසන්නිය.

ඉතින් මෙවන් ප්‍රගතිශීලි වෛද්‍යවරියක්, කරුණාවන්ත හදවතක් හිමිව ඇත්තේ සමහර විට ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක දුකසේ අකුරු කල, අරගල කල, වෛද්‍ය ශිෂ්‍යාවක විය හැකි යයි ඔබට සිතෙනු ඇත. නැත. ඇය වෛද්‍ය උපාධිය නිම කර ඇත්තේ පිටරට විශ්ව විද්යාලයකය. තමන්ගේ මුදලින්ය. නිදහස් අධ්‍යාපනය ලබා ඇත්තේ අපොස උසස් පෙළ දක්වා පමණි. නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණක් ඇතිව වෙනත් සහයක් නොමැතිව ඇය ශල්‍යකර්ම පවා කර තිබේ. විදුලිය නැති අවස්ථා වල විදුලි පන්දම් හෝ මොබයිල් දුරකතනයක එළියෙන් වැඩ කර තිබේ.

මට එකඟ විය හැකි තැන් මෙන්ම එකඟ විය නොහැකි තැන්ද තිබුනද මෙවන් අත්දැකීම් ගැන ලියවිය යුතුමය. අපේම සහෝදර ජනතාවක් ගැන අප දන්නේ අඩුවෙනි. ශ්‍රී ලංකා හමුදාව ගැන ඇත්තේ පරස්පර විරෝධී දැක්මවල්ය. එය තමන් සිටින දේශපාලන කඳවුර අනුව පවා වෙනස් විය හැකිය. නමුත් දෙමළ කතා කරන සිංහල වෛද්‍යවරියක ගෙන් හොඳ ආරම්භයක් ලැබී තිබේ. මේ පොත දෙමළ භාෂාවට හා ඉංග්රිසියටද පරිවර්තනය වන්නේ නම් හොඳ යයි සිතේ.

 ප.ලි. අනිත් කොන බ්ලොග් අඩවිය

Tuesday 19 April 2016

සිතින් මවාගන්න ජෝන් ලෙනන් ගේ imagine ගීතය

මේ ගීතය ගැන කාටවත් කියන්න ඕනේ නැහැනේ. චන්දිම විතාන ආරච්චි කියන වෙබ් මුදලාලියට ඕනේ වුනා මේ සින්දුව නෙළුම් යාය උළෙලේ ගායනා කරවන්න. ලඟදි පොත් මුදලලියෙක් වෙච්චි මමත් මේකට බොහොම කැමැත්තෙන් එකඟ වුනා. මොකද මමත් කැමතිම ගීතයක්. බ්ලොග් නුයි, සයිබර් කවියි, ෆේස් බුක් හෙවත් වත් පොතයි, අරවයි මේවයි ඔක්කොම අරගෙන මිනිසුන් අතර සංවාද කරමින් හැම අස්සක් මුල්ලක් ම අවදි කරවන්න හදන්නේ මේ වගේ ලෝකයක් හදන්න නේ. ඉතින් අපි අදහස දැම්මම අපේ ඊමේල් සංවිධායක මඩුල්ලත් කැමති වුනා.

සිංහලෙන් සින්දුව ගයන්න පුලුවන්ද කියල බලන්න බ්ලොග් කරුවෝ දෙදෙනෙක් පරිවර්තනත් කලා. ඒ දෙන්නගේ පරිවර්තන වලට වඩා හොඳින් ඔයාලටත් කරන්න පුලුවන්ද බලන්න. ඉතින් මේ වෙබ් මුදලාලිලා අපි ඔක්කොම එකතු වෙලා දේශපාලකයන්ට කියල සම්මාන දීගෙන මෙහෙම ලෝකයක් හදන එක නම් කරන්න බැරි වෙන්නත් පුළුවන්.
 ඒත් අපි උනන්දුව දෙන්නේ ඔයාල දිගටම බ්ලොග් ලියාගෙන, ක්‍රියාකාරිව අනිත් මිනිසාට උදව් කරගෙන වර්චුවල් (අන්තර්ජාලයේ) ලෝකේ මෙන්ම සැබෑ ලෝකෙත් හොඳින් ජිවත් වුනොත්, එහෙම සාධාරණ ලෝකයක් වෙනුවෙන් ඉදිරිපත් වුනොත් මේ ගීතයේ මවා ගන්නවා වගේ ලෝකයක් හදන්න වුනත් පුළුවන් වෙයි කියලා හිතන්න. ආගම් භේද, ජාති භේද, වර්ණ භේද නැති, දේශපාලන භේද වලින් මරා ගන්නේ නැති, තරාතිරම් සලකන්නේ නැති, යුද්ධ නැති , දිව්‍ය ලෝකයක් - අපායක් නැති ලෝකයක්. එය තමයි අපේ පැතුමත්.

https://youtu.be/DCX3ZNDZAwY

Imagine there's no heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today...

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people
Living life in peace...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will live as one

***********මේ පරිවර්තනය ලිව්වේ ඉයන්ගේ අඩවියේ ඉයන් විසින්.**********

ලෝවැසියන් හැමොමා
අද වෙනුවෙන් වසනා
දුගතියකට නොයනා
හැම වෙනුවෙන් වසනා
නිල් අහසින් වටවී...අපි
සුගතිය ලොව මවමූ


වැටකොටු සීමාවන්..
නොමැති ලොවක් තනමූ
නසනට හෝ නැසෙනා
හේතුව අපි නසමූ
ලොවේ දනන් හැමොමා..අපි
එකතුව එකට ඉමූ


සිහිනය මගේ නොවේ
පැතුමයි අපි හැමගේ
එනතුරු ඔබ මා හා
රැඳෙමී මඟ බලමින්


මගේ දෙයක් මට නෑ
අපේ ලොවක් ඇතිදා
කුසගිනි බර නොමැතී
නොතෙමෙන පියසකවී
සිතන්න පුළුවන්දා ..අපි
හැමෝම හිනැහෙන දා


සිහිනය මගේ නොවේ
පැතුමයි අපි හැමගේ
එනතුරු ඔබ මා හා
රැඳෙමී මඟ බලමින්

******************** මේ පරිවර්තනය කලාහිතේ කල්‍යාණ මිත්‍ර ගෙන්******

  ඉමැජින් ලෝකල් ස්ටයිල්..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

සුරලොවක් ඇත්තේ නෑ..
අපායකුත් ලොවෙත් නෑ..
ආගම් නෑ.. ජාතිත් නෑ..
රතු ලේ මිස වෙනසක් නෑ..

රටවල් නෑ.. ආණ්ඩු නෑ..
පාට පක්ෂ මොකවත් නෑ..
අපිට අපිට කියල ගන්න..
දේපොළ නෑ.. වැටකොටු නෑ..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

එක අහසයි- එක පොළොවයි
හිතන්නේ අද ගැන විතරයි..
සාමය සමගිය නැතිවෙන
හේතුව ඔය තණ්හාවයි..

කොහේදෝ යන පිස්සෙක් මූ
සමහරු නම් කියයි තමයි
ඒත් මෙහෙම හිතන එවුන්
තව ඉන්නා බව සත්තයි..

ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..
කාලේ වෙනස් වෙනවා මචං
අලුත් හිතන පැටන් වෙනස්..

කවද කොහොම කොතැනදී හරි
හිතන විදිය වෙනස් වේවි.
එදා ඉඳන් එක යායට..
මිනිස් හිනා මල් පිපේවි..

ටිකක් හිතපල්ලා.. හිතල කියපල්ලා..
වරද කොහෙද හොයල බලල..
වරදට පිළියම් කරවල..
හිතලා බලපල්ලා.. හිතල කියපල්ලා..////

Saturday 16 April 2016

නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 3


නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 1

නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 2


මුල් සම්මාන උළෙලේදී අපේ මතය වූයේ "අඩුම වශයෙන් දහ දෙනෙක්" සහභාගී වුව හොත් සම්මාන උළෙලෙ කරන බවයි. දෙවැන්නේදී එය පනහට වැඩි කෙරුවෙමු. එයට අඩුවෙන් පැමිණෙන්නේ නම් අපේ වැඩ පිළිවෙළේ කිසියම් අඩුවක් තිබියයුතුය. ෆේස්බුක් හි දවස දමා සැදූ ඉවෙන්ට් එකට 50 ට වැඩියෙන් පැමිණෙන බවට දන්වා තිබු බැවින් ප්‍රශ්නයක් නොවිණි.

 නාලක සහ අජිත් සමග ගනුදෙනු කරන්නට ඉවාන් ට භාර කෙරුවෙමු. ඔවුන් කතා කරන මාතෘකා පිලිබඳ අවබෝධයක් ගන්නටය. දිලිනිවද සම්බන්ධ කර ගැනීමට හැකිවුණ අතර සුමිත් සියලුම බ්ලොග් සම්මාන නාම ලේඛන සැදීමේ නිරතව සිටියේය. මා ලංකාවට පැමිණි පසු අපට එකිනෙකා මුණ ගැසෙන්නට හැකි විනි. මාත් සුමිත් සහ ඉවානුත් මෙහිදී වැඩියෙන්ම මුණ ගැසුණු අතර ලංකානිව්ස්වෙබ් හි සංජිව, උපුල් නිශාන්ත හා ජයම්පති බුලත්සිංහල සම්මාන සෑදීම, සහතික මුද්‍රණය, සමරු පොතේ මුද්‍රණය ආදී වැඩ වල යෙදී සිටියහ. ඔවුන්ට අපේ ස්තූතිය හිමි වේ.

එදා දවසේ ම කරන්නට සිතා සිටි කතාව ලිවිම අවසන් කලේ මාර්තු 25දා රැයේය. මා සුමිත්ට රාත්‍රී 2.00 ට කතා කරන විටත් ඔහු සිටියේ අවදියෙනි. ඔහු සම්මාන ලැබෙන බ්ලොග් පිලිබඳ හැඳින්වීම් ලියමින් සිටියේය. මා එය කරන්නට සිතා සිටි මුත් ඒ සඳහා කාලවේලා නැති විනි. නිර්දේශ කල බ්ලොග් වලින් ලකුණු එකතු කිරීම හා ස්ථාන නිර්ණයට දින තුනක් පමණ ගතවීමත් එක් හේතුවකි.

මෙහිදී ආණ්ඩු පක්ෂයට සම්බන්ධ බ්ලොග් වලට තැන දෙන බවට මෙන්ම එක් අංශයක සම්මාන දිනු බ්ලොගයක් ගැන එන විවේචනයද ප්‍රතික්ෂේප කරන්නෙමු. හේතුව ඒවා ලැබූ ලකුණු මත තෝරාගත් බැවිනි. සමහර බ්ලොග් එනම් උදාහරණයක් වශයෙන් SUV ගුණසිංහ මහතාගේ අලුත් නුවර දේවාලය ආදිය ගැන ලියු ලිපි වර්තමානයේ මෙන්ම අනාගතයේදී කවරෙකුට හෝ පර්යේෂණ පත්‍රිකාවක් ලිවීමට වුවත් විස්තර සොයා ගත හැකි බ්ලොග් අඩවියක් බවට තීරණය විය. සිංහල සංස්කෘතිය හා බැඳුනු සිරිත් විරිත් ලිවිම අනාගතයේදී අනිවාර්යයෙන්ම වැදගත් වන්නේ ඒ සමහර සිරිත් කාලයත් සමග අභාවයට යා හැකි බැවිනි. එසේම ඡායාරුප සඳහා වෘත්තීය ඡායාරුප වේදීන් ගැන නොව තමන් විසින් ගත් හොඳ ඡායාරුප පල කරන බ්ලොග් අඩවිය තෝරා ගැනුනි. අනිත් සියලු තේරීම් සඳහාද ඒ හා සමාන නිර්නායකයන් භාවිතා කෙරුණි. සමහර විට කිසියම් බ්ලොගයක් තේරුණු අංශය ගැන පප්‍රශ්න ඇති විය හැකිය. මේවා සාකච්චා මාර්ගයෙන් ඉදිරියේදී විසඳා ගත හැකිය.

මට පෙනී ගිය කරුණක් නම් අප වාමාංශික දේශපාලන අදහස් සඳහා වන බ්ලොග් තෝරා ගන්නේ නැත යන්නට එන විවේචනයයි.

මෙහිදී මට මතක් වන්නේ සෝවියට් දේශයේ තිබු යථාර්තවාදී කලාව සඳහා සමාජවාදී යථාර්ථවාදය (socialist realism as a style of realistic art) යොදා ගැනීමේ අදහසයි. මෙයින් සිදු වුනේ සෝවියට් සමාජයේ නැති දේ උළුප්පමින් බොරු අලංකාරයක් හා අතිශයෝක්තියක් දනවන සාහිත්‍යයක් නිර්මාණය වීමයි. එහි හිමි වරු සාහිත්‍ය සංගම් වල උසස් නිලතල දරමින් පිට රටවල නිවාඩු යමින් කෙලි දෙලින් ගත කරමින් සැබෑ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ පාගා දැමුහ. නිලධාරිවාදය විවේචනය කරන නිර්මාණ පමණක් නොව දේශපාලනයක් නැති උසස් නිර්මාණ පවා ඔවුන්ගේ ඉරිසියාවේ කතුරට හසු වුනි. අනිත් කාරණය නම් වාමාංශික අදහස් සඳහා අපගේ කිසිම විවේචනයක් නැති අතර දේශපාලන බ්ලොග් සඳහා ඒවාද නිර්දේශ කෙරුවෙමු. ඒවාට ලකුණු නොලැබීම ගැන කණගාටු නොවිය යුතුය. බොහෝ විට එවැනි අදහස් ඇත්තන් තමන්ගේ මතය පමණක් නිවැරදිය සිතීම ගැන අපට කළ හැකි දෙයක් නැත. වත්මන් රජය විවේචනය කරන ලිපි වලටද අප තැනක් දී ඇති අතර ඒවාට වෙනස් කමක්ද නොකෙරුවෙමු.

පවතින රජයට පක්ෂව ලියන ඒවා හා දේශපාලකයන් ගෙන්වා ගැනීම සඳහා විවේචන අලුත් දේවල් නොවේ. නාලක හා අජිත් සමග සංවාදයට එන්නට ගිය වර 2014-2015 උළෙලට මම සුරේඛා සමරසේන මහත්මිය (ෆේස් බුක් කිවිඳිය) පෞද්ගලිකව හමුවී ආරාධනා කලෙමි. ඇය එය ප්‍රතිකෙෂේප කලේ "ඔය වගේ දේශපාලකයන්ට කඩේ යන උත්සව කලින් කලට පැමිණෙනවා" යයි කියමිනි. "බොරුවට එකක් කරලා ආණ්ඩුවේ කට්ටිය ගෙනල්ල වැඩේ කරගෙන ඕගොල්ලෝ අයින් වෙයි" යන්න ඇගේ අදහස විය. මේ අදහස් මතුවීම සාධාරණය. සෑම විටම බොහෝ විට සිදුවන්නට ඇත්තේ ද එයයි. නමුත් රජයේ කිසියම් සම්බන්ධයක් අපට අවශ්‍ය වන්නේ බ්ලොග් හා වෙබ් අවකාශය සඳහා නීති පැනවීම් හා මර්දන ගෙන එන්නේද රජයක් මගින්ම වීමයි. නව රජයක් පත් වුවහොත් ඔවුන් සමගද සහයෝගයෙන් කටයතු කිරීමට අප කැමතිය. එංගලන්තය වැනි රටවල පොදු උත්සව දේශපාලන බලපෑමෙන් තොරව පැවැත්වේ. මෙය හොඳ දෙයකැයි අප සිතමු.

අප සෑම අයුරකම ජාතිවාදයට (සින්හල, දෙමල හෝ මුස්ලිම් වේවා) විරුද්ධ වන අතර ජාතිවාදය ඇවිස්සීමේ ලිපි පල නොකිරීමේ ප්‍රතිපත්තියක් ගෙන යන්නෙමු. එසේ වුවද සාධාරණ ලෙස පල කරන ඕනෑම අදහසක් සංවාදයට බඳුන් කිරීමටත් නිර්දේශ කිරීමටත් බාධක පනවා නොමැත.

විනිශ්චය මණ්ඩලයට නිර්දේශ බ්ලොග් අඩවි යැව්වේ මා පමණි. එහිදී භාවිතා කලේ BCC ක්‍රමය නිසා මණ්ඩලයේ සිටින්නේ කවුද යන්න දැන සිටියේ මා පමණි. එසේ කලේ විනිශ්චය මණ්ඩලයේ එකිනෙකා කතා බහ කර ලකුණු දීම වැළැක්වීමටය. සියලුම ලකුණු ලැබුනේද ඊමේල් හරහාය.

අටමාගේ හා සුමිත් ගේ මුලිකත්වයෙන් බ්ලොග් නිර්දේශ කිරීමේ ක්‍රියාවලියක් දැන් පටන් ගෙන තිබේ. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුම දැන් එයට සහය දෙති. අප පටන් ගත් දෙය කුමක්ද බ්ලොග් කරුවන්ට වැටහීම ගැන ඇත්තේ නිහතමානී සතුටකි.

අපේ එක අදහසක් වූයේ දැනට තිබෙන තත්වයෙන් බ්ලොග්කරණය මදක් ඔසවා තබන්නටය. ෆේස්බුක්, ට්විටර් ආදිය හොඳ වුවත් ඒවායේ තමන්ගේ ලිවිම් බ්ලොග් ලිපි සේ පිළිවෙලට සංරක්ෂණය කල නොහැකිය. දීර්ඝ ලිපියකට හෝ කෙටිකතාවකට මෙන්ම පර්යේෂණ පත්‍රිකාවක්, ඉතිහාස කතාවක් ආදියට හොඳ බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියකි. එසේම පුරවැසි මාධ්‍යකරණය ලංකාවේ අන්තිම කොනටද එළඹිය යුතුය. දැනුම ලබාදීමේ කාර්යයේදී බ්ලොග් වල බලපෑම අවතක්සේරු කල නොහැකිය. බ්ලොග් යනු ඉතාමත්ම නිදහස් මාධ්‍ය භාවිතාවකි. බ්ලොග්වලට කිසිවෙකුට වාරණ පැනවිය නොහැකිය. එසේම බ්ලොග් ලියන අය සොයා කරන පෞද්ගලික තර්ජන වැළැක්වීමට නම් සංවිධාන ගතවිය යුතුය. එසේම දේශපාලන බෙදීමකින් තොරව මෙය පවත්වා ගැනීමද වැදගත්ය.

එසේම අප කල්පනා කරන්නේ දැනුම ලබන ජනතාව රැවටිය නොහැකි බවය. එසේම සමාජ ජාල, බ්ලොග්, ට්විටර් ආදී මේ මොන ක්‍රමයකින් හෝ එකතු වී කතා කරන අය, සංවාදයට පෙළඹෙන අය ශාරීරික හානි එකිනෙකාට සිදු කර ගැනීම් වලින් තොරව ප්‍රශ්න විසඳා ගනු ඇති බවට මතයක් තිබේ. මේ නිගමනය සෑම විටම නිවැරදි නොවිය හැක. කෙසේ වුවද සිවිල් යුද්ධ යයි සැලකිය හැකි කැරලි තුනකට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි ආස්ථානයක් ඉතා වැදගත් බව අපේ වැටහීමයි. දෙවෙනි නෙළුම් යාය උත්සවයේදී කිසියම් ප්‍රමාණයකට වෙනස් අදහස් ඇත්තන් එකතු වි කතා බස් කල බවට අපට වැටහීමක් තිබේ.

අපට ලැබුණු නිර්දේශ මෙන්ම අප කියවා කරන ලද බ්ලොග් ලිපි වලට නිර්දේශිත සන්ක්‍යාව අනුව 1, 2, 3 ආදී වශයෙන් ලකුණු දීමට තීරණය විනි. බ්ලොග් 10ක් නිර්දේශ කර ඇත්නම් හොඳම බ්ලොගයට ලකුණු 10 හිමිවේ. ලැබී තිබූ බොහෝ නිර්දේශ අනුව ජනප්‍රියම බ්ලොගය ට නිර්දේශ වුනේ සුරංග ලියනගේ ගේ යාං හෑල්ලය. වඩා ජනප්‍රිය බ්ලොගය තේරුවා නම් ඉදිරියට එන්නේ එය බව අපේ වැටහීමයි. නමුත් ලකුණු ලැබීමේදී මුලදී "අසමි දකිමි සොයමි " හා "නිදහස් සිතුවිලිත්" ඉදිරියේ තිබුනු අතර සියලු ලකුණු එකතු කිරීමේදී බස්සිගේ නවාතැන ජයග්‍රහණය කරන ලදී. අපි කිසියම් බ්ලොගයකට මුල් තැන දීමට මුල සිටම අදිටන් කරගෙන සිටියාය යන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමු.

විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේ "සිව් මංසල කොලු ගැටයා" ලියන නාලක ගුණවර්ධන, චන්දිම විතාන ආරච්චි (ලංකා නිව්ස් වෙබ්), සරෝජ් පතිරණ (BBC), සුමිත් කලණසිරි (කළා හිත) හා මමය. ප්‍රා ජේ හෙවත් ප්‍රදීප් ජයතුංග හොඳම බ්ලොග් කරු තේරීමේදී පමණක් විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළේය. මේ සියලු කටයුතු ඊමේල් මගින් පමණක් සිදු විය.

කථානායක කරු ජයසුරිය, මාධ්‍ය නියෝජ්‍ය ඇමති කරු පරණවිතාන මහතුන් අපට කිසිම බලපෑමක් මොනම විධිහකින් නොකළ බව පැවසිය යුතුය. පරණවිතාන මහතා කලේ මාධ්‍ය කටයුත්තක් ලෙස සලකා ශාලාව හා තේ පැන් සංග්‍රහය සලසා දීම ය. ඔවුන් දෙදෙනාටම අපේ ස්තුතිය පල කරමු.

බ්ලොග් උළෙල අවසානයේ දෙහිවල වාඩිය නමැති ස්ථානයේ සොඳුරු හමුවක්ද පවතී අතර ලංකානිව්ස්වෙබ් හි කටයුතු කරන වෙබ් මාධ්‍යවේදීන් හා බ්ලොග් කරුවන් සමුහයක් එතන එකතු වී සිටියහ. රසිකලොජිස්ට්, කවදාවත් දැන හඳුනාගෙන නොසිටි චෙෆාකි, මනෝ මන්දිර, ජිවන මෙන්ම 30කට අසන්න බ්ලොග් කරුවන් සමග රැස්වී ගීත ගයමින් සුන්දර ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ සොඳුරු සන්ධ්‍යාවක් ගත කෙරුවෙමු. සජ්ජා, මනා හා ජිවන කන්කළු සංගීතයෙන් සබාව පිනවිය. උළෙලේ වියදම් සඳහා මට ප්‍රධාන සහයෝගයක් දුන්නේ ඉයන් ගේ අඩවියේ ඉයන් සහ චන්දිම විසිනි. ඉයන් එහිදී වැඩි බරක් දැරුවා පමණක් නොව සාදයේ බර පැන සඳහාද සහයක් දුනි.



අප්‍රේල් 18 වනදා විදානේ, සබරේ ඇනෝ (සි ජේ විදාන පතිරණ) ඇතුළු බ්ලොග් කරුවන් සමුහයක් විසින් රත්නපුරේ ගොඩකවෙල උඩරංවල විදුහලට පොටෝකොපි මැෂිමක් අලුත්වැඩියා කර දී තිබේ. අපි දෙදෙනා (ඉයන් හා මම) එදා සාදයට වෙන් කල මුදලින් ඉතිරිය වූ රුපියල් 15000 ක මුදල , මැෂිමේ අලුත්වැඩියාවේ ඉතිරි මුදල් පියවීමට වෙන් කෙරුවෙමු.
එසේම රත්නපුරේ විදුහලකට වයර් ඇද විදුලිය ලබාදීමේ දී හිඟ මුදලක්ද තිබේ. ඉයන් එයටද දායක වන අතර අවශ්‍ය නම් අපෙන් බජට් ඉල්ලන මහතුන්ටද ද ඉතිරි හිඟ මුදල පියවීම සඳහා දායක විය හැකිය. එසේම මේ විදුහල් දෙකෙහිම විවෘත කිරීමේ උත්සව පැවැත්වෙන අතර එහිදී ළමුන්ට ත්‍යාග වශයෙන් අභ්‍යාස පොත් දීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් අගේය. එසේම පැහැදිලි කල යුත්තේ මේ උළෙලට ගිය වියදම් හා ලැබුන මුල්‍ය ආධාර ගැන විස්තර දන්නේ ලංකානිව්ස්වෙබ් නියෝජ්‍ය කර්තෘ උපුල් නිශාන්ත බවයි. එහි වගකීම ඇත්තේ ඔහුට පමණි. මා එයට ඇඟිලි ගැසුවේ නැත. එසේම වෙනත් කිසිදු රටකට සම්බන්ධ කිසිම ආයතනයකින් කිසිදු මුදලක් ලැබී නැති බව පමණක් දනිමි. ඉදිරියේදී බ්ලොග් කරුවන් විසින් නෙළුම් යාය සඳහා ගිණුමක් ආරම්භ කරන්නේ නම් වඩා හොඳ බව සිතමි.


අවසාන වශයෙන් මෙම කොළඹ ගමයා ගේ වෙබ් අඩවිය නිර්දේශ පළ කිරීම සඳහා සහ උළෙල සංවිධානය කිරීම සඳහා භාවිතා කරන ලද්දේ මා නෙළුම් යාය සංස්කාරක ලෙස කටයුතු කරන බැවිනි. දෙවැනි උළෙල සාර්ථක ලෙස පැවැත්වීමට බ්ලොග් කරුවන් සමග පවතින සම්බන්ධය සහ ඔවුන් දක්වන අදහස් වැදගත් නිසා කොළඹ ගමයා ගේ බ්ලොග් අඩවිය භාවිතා කලෙමි. මෙය ප්‍රශනයක් ඇති කරවන්නේ "නෙලුම් යාය ඔබේ නොවේය " වශයෙන් කිසියම් චෝදනාවක්ද එල්ල වීම නිසාවෙනි. ඇත්ත වශයෙන්ම නෙලුම් යාය මා සංස්කරණය කරන වෙබ් අඩවියකි. එයත් "කොළඹ ගමයා " බ්ලොග් අඩවියත් අතර සම්බන්ධය ඇත්තේ එතන පමණය. දෙවන සම්මාන උලෙළ සඳහා කොළඹ ගමයා වෙබ් අඩවිය මෙන්ම, මාතලන් ගේ, සුමිත් කලනසිරිගේ, බස්සිගේ, දේශකයාගේ, යාන් හෑල්ලේ , කුරුටු ගෑ ගී පවුර අඩවියේ සහ වෙනත් බ්ලොග් අඩවි වල සහය ලැබිණි. මේ නිසා කොළඹ ගමයා බ්ලොග් අඩවියද එවැනි සහයක් පමණක් ඉදිරියේදී දක්වනු ඇත.

මවිසින් විශේෂයෙන් මතක් කිරීමක් නොකළ මුත් සහභාගී වූ හා ආධාර කර සියල්ලන්ටම ස්තුතියි.

එසේම මේ විස්තර ඉඅවසිමෙන් කියවූ ඔබ සැමට ස්තූතියි. ඊළඟ අවුරුද්දේ බ්ලොග් සම්මාන උළෙලට ක්‍රියාකාරී ලෙස සහය දක්වන ලෙසට හා එක්වන ලෙසට ඉල්ලීමක් කරමු.

Tuesday 12 April 2016

අනන්තයට ඉගිල ගිය රාමුනුජන් ශ්රිනිවාසන්

 ලඟදි කියවා නිම කළ බ්ලොග් කරුවන් දෙතුන් දෙනෙකුගේ පොත් ගැන යමක් ලියන්නට සිතේ සටහන් කරගෙන සිටිමි. නමුත් ලඟදී නැරඹු මේ චිත්‍රපටිය ගැන හදවතේ ඇතිවූ තෙරපීම අකුරු කරගන්නට ඇති අවශ්‍යතාවය ඒ සියල්ලටම වඩා බලවත් විය.

 මගේ වීරයකු වන සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ගැන ලිවූ ලිපිය මෙන්ම මගේ තවත් වීරයෙකු වන ස්රිනිවසන් රාමනුජන් ගැන ලියන්නේත් ඔහු ගණිතයට මෙන්ම තාරකා විද්‍යාවටද සම්බන්ධ නිසාය.

රාමනුජන් ගැන චිත්‍රපටියක් එලි දැක්වෙන බව මුලින්ම සොයා ගත්තේ මගේ බිරිඳය. චිත්‍රපටිය අවසානයේ මගේ දියණියන් දෙදෙනා මෙන්ම බිරිඳගේ නෙතු අග ද රාමනුජන් වෙනුවෙන් නැඟුණු කඳුලු දුටිමි. ගණිතයේ කෙළ පැමිණියෙකු වූ ඔහුගේ ජීවිතය අසාධාරණ ලෙස වයස 32න් අවසන් වූයේ ලෝකය ඔහුගෙන් ගත්තා මිස කිසිවක් ඔහුට නැවත නොදුන් නිසා බව මට සිතිනි. ඔහු එය බලාපොරොත්තු වූයේ නැතත් ඔහු වැන්නකු වඩා හොඳින් රැක ගත යුතුව තිබිණි.

බ්‍රාහ්මණ වංශික දිළිඳු පවුලක ඔහු ඉපදුනේ 1887 දෙසැම්බර් 22 වනදා මැද්රාස් හි එරෝඩ් නමැති නගරයේය. වයස එකොළහේදී ත්‍රිකෝණමිතිය පොතක් තනියම හදාරා එහි ප්‍රමේයන් ස්වයංඅධ්‍යනයෙන් නැවත සොයා ගත් ඔහු වයස් 16 දී ජී එස් කාර් ගේ ශුද්ධ හා ව්‍යවහාරික ගණිතය පොතේ ප්රමේයන් 5000 පමණ හදාරා තමන්ගේ ගණිතමය දැනුම මුවහත් කර ගති. ඔහුගේ ගණිතය පිලිබඳ පිබිදීම ඇති වුයේ එහිදී යයි කියති. ඉන්දියානු සිරිතට අනුව 1909 දී දස වියැති පුංචි කෙල්ලක ඔහුට කරකාර කමට ගන්නට සිදු විය. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහුට ශිෂ්‍යත්වක් ලැබුනේ කලාව අධ්‍යයනයට ට නිසා ගණිතය හැර අනෙක් විෂයන් ගෙන් ඔහු අසමත් විය. රාමනුජන් ට මේ නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් හෝ උපාධියක් ලබා ගීමට නොහැකි විනි. තම ලාබාල බිරිඳ හා මව කැටුව වෙනත් නගරයක රැකියාවක් සොයා යන්නේ ඉන් පසුවය. එහිදී ඔහුගේ ගණිත සටහන් කියවූ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ අංශයේ නියෝජ්‍ය කළමනාකරු වන රාමසාමි අයියර් ඔහු එහි රැකියාවට බඳවා ගති. එසේම ඔහුගේ ගණිතමය සටහන් ඉන්දීය ගණිත සංගමයට මෙන්ම බ්‍රිතාන්‍යයේ ගණිතඥයන්ට යැවීමටද ඔහු රාමනුජන්ව උනන්දු කරවිය.

මේ පළමු වන ලෝක යුද්ධයට ප්‍රථම තිබුණු බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාව බව අප අමතක නොකල යුතුය. ඉන්දියාවේ ස්වාමින් වූ සුදු ජාතික මහාචාර්ය වරු හෝ සමාගම් අයිතිකරුවන් වූ ඇතැමෙක් ඔවුන් කරා ගිය රාමනුජන් එලවා ගත්තේ තමන් යටතේ රැකියාවන් කරන හා අශිලාචාර යයි ඔවුන් සිතන ඉන්දියානුවන් ට මොලයක් තිබිය නොහැකි බව ප්‍රකාශ කරමිනි. මේවයින් නොසැලුණු රාමනුජන් තමන්ගේ ගණිතමය සොයා ගැනීම් එංගලන්තයේ නොයෙකුත් ගණිතඥයන්ට, මහාචාර්ය වරුන්ට විශ්ව විද්‍යාල වල ගණිත දෙපාර්තමේන්තු වලට යැවිය. මින් එක ලිපියක් අත්පත් වුනු කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ජොෆ්රි හාඩි එම ලිපිය තමන්ගේ යහළු ආචාර්යවරයෙකු වන ආචාර්ය ලිට්ල්වුඩ් ගේ විහිළුවක් යයි සිතයි. එසේ නොවන බව ලිට්ල්වුඩ් ගෙන් දැන ගන්නා හාඩි විශ්මයට පත් වී රාමනුජන් ට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කර එංගලන්තයට ගෙන්වීමට කටයුතු කරන්නේ ඉන් පසුවය.

බ්‍රාහ්මණ වංශිකයන් රටින් පිට නොයන්නේ යැයි ඔහුගේ දෙමාපියන් ගේ විරුද්ධත්වය තිබුනද පසුව හාඩි ගේ ආරාධනය පිළිගෙන රාමනුජන් එංගලන්තය බලා පිටත් වෙයි. ඒ පළමුවන ලෝක යුද්ධය ඇරඹුණු සමයයි. එංගලන්තයේ වර්ණ භේද වාදී ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් මෙන්ම ඔහුගේ ගණතමය දැනුම නොඉවසූ සමහර ආචාර්යවරුන්ගේ ද ප්‍රශ්න තිබුනද හාඩි ලිට්ල්වුඩ් හා බර්ට්‍රන්ඩ් රසල් ඔහුව විශ්වාස කරමින් ඔහුගේ පස ගැනීම නිසා ඒ බාධක මැඩ ගැනීමට ඔහු සමත් වෙයි. එහෙත් යුද්ධය නිසා ඇති වූ එළවලු හිඟ කමින් කිසිම මාංශ වර්ගයක් ආහාරයට නොගන්නා ඔහු පීඩාවට පත්වෙයි. එහෙත් ඒ නොසලකා හාඩි සමඟ තමන්ගේ ප්ප්‍රමේයන්ට අවශ්‍ය සාධක සැපයීමට වෙහෙස වෙයි.

මුලදී ඇත්තටම මේ දෙදෙනාගේ සුසංයෝගය ප්‍රශ්නයක් වන්නේ දැඩි හින්දු භක්තිකයෙකු වන රාමනුජන් තමන්ට ගණිත සමීකරණ එන්නේ දෙවියන්ගෙන් බවට ඇදහීමයි. බොහෝ හින්දුන් කරන අයුරින්ම තම පවුලේ දෙවඟන වන නමගිරි තමන්ට උදව් කරතියි රාමනුජන් දැඩි ලෙස විශ්වාස කරයි. අදේවවාදියෙකු වන හාඩි ඔප්පු කිරීමකින් (Proof) තොරව රාමනුජන් ගේ සමීකරණ පිළි ගැනීමට මැලි වෙයි. සාමන්‍යයෙන් පවතින අධ්‍යයන ක්‍රමය හා පර්යේෂණ පත්‍රිකාවක් පල කරන ක්‍රමය එය බව හාඩි පෙන්වා දෙයි. එහෙත් රාමනුජන් කියන්නේ දෙවියන්ගේ සිතිවිලි ගණිතමය සමීකරණ හරහා තමන් ට ප්‍රකාශ වෙන බවයි.
මුළු මහත් විශ්වයම දෙවියන් යයි සැලකුවොත් විශ්වය අප හඳුනා ගන්නේ ගණිතමය සමීකරණ හා විද්‍යාත්මක සොයා ගැනීම් වලිනි. ඒවා අප විසින් නිර්මාණය කරන සමීකරණ නොව විශ්වයේ රහස් හෙළි කිරමට අප සොයා ගන්නා සමීකරණය. ඒ අරුතින් අප විශ්වය නමැති දෙවියන්ගේ රහස් හෙළි දරව් කර ගැනීමට ගණිතය උපයෝගී කර ගනිමු යයි සිතන හාඩි රාමනුජන් ගේ අදහස ට එකඟ වෙයි. නමුත් ඔහු අවශ්‍ය සාධනය කිරීම් රාමනුජන් ගෙන් ඉල්ලයි. එසේ නොලැබෙන මුල් අවස්ථාවේ තමන් විසින්ම ඔප්පු කරන ලද රාමනුජන් ගේ ගණිතමය සමීකරණ හාඩි විසින් පර්යේෂණ පත්‍රිකාවක් ලෙස පල කරයි. මින් උදම් වන රාමනුජන් හාඩි ට අවශ්‍ය ආකාරයට ගණිතමය ලෙස ඔප්පු කරන ලද සමීකරණ ඇති සටහන් හාඩි ට ලබා දෙයි.

ඔහුගේ ගණිතමය සොයා ගැනීම් වලින් එකක් වන්නේ තේටා සමිකරනයි. (theta functions-modular forms) විශ්වයේ සැකැස්ම සොයා යාමේදි අපට හමුවන ස්ට්‍රින්ග් තියරි (බහුමාන ප්‍රමේය) වල අති-සමමිතික භාවය (supersymmetry) සැලකීමේ දී මේ රාමනුජන් ගේ සමීකරණ අවශ්‍ය වන බව එමරි විශ්ව විද්‍යාලයේ ගණිතඥ කෙන් ඔනෝ පර්යේෂණ පත්‍රිකාවක් පල කරමින් 2012 දී පැවසිය. මේ සමීකරණ දැන් කළු කුහර වල කැළඹීම් ස්වභාවයන් හැදෑරීමට උපයෝගී කර ගනු ලැබේ. එකද නමසිය විසි ගණන් වල රාමනුජන් සොයා ගත්තේ 2002 දී ගණිතඥයන් පළමුවරට භාවිතා කිරමට උගන්නා සමිකරනයි.

මිට අමතරව රාමනුජන් විසින් රාමනුජන්-සටෝ ශ්‍රේණිය, පෛ (PI ) සමීකරණ ආදියද සොයා ගති.

හරි ආහාර හා විටමින් ආදිය මදි කමින් නැවත අසනීප වන රමනුජන්ට ක්ෂය රෝගයද වැළඳෙයි. එසේම ඔහුගේ මව විසින් ලිපි සැඟවීම නිසා තමන් ආදරය කරන බිරිඳ ගෙන් ඔහුට ලිපි නොලැබීමේ ශෝකයෙන් ද පෙලෙන රාමනුජන් වරක් දුම්රියෙන් පැන සිය දිවි නසා ගැනීමට තැත් කරයි. හාඩි විසින් එංගලන්තයේ දී ඔහුට ප්‍රතිකාර ගැනීමට සැලැස්වුවද ඔහු සම්පුර්ණයෙන්ම සුව වන්නේ නැත.

හාඩි හා ලිට්ල්වුඩ් රසල් ගේද සහයෝගයෙන් ශ්‍රිනිවාස් රාමනුජන් රාජකීය විද්‍යා සංගමයේ සාමාජිකත්වයට යෝජනා කරන මුත් (fellowship) ඔහුට එය නොලැබෙන්නේ ඉන්දියානුවන් ඒ කාලයේ පහත් කොට සලකන වර්ණභේද වාදී විද්‍යාඥයන් පිරිසක් එහි අරක් ගෙන සිටීමෙනි. නමුත් ඔහුගේ තවත් ගණිතමය බෙදීම් හා මුලික සංඛ්‍යා (Prime numbers) පිලිබඳ සමීකරණ එලි දැකීමෙන් පසුව එම සංගමයේ සාමාජිකත්වය ලැබෙන දෙවන ඉන්දියානුවා බවට පත් වෙයි. ඉනික්බිති කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උසස් ලෙස සලකන ට්‍රිනිටි විද්‍යාලයේ සාමාජිකත්වය ද (fellowship) ඔහුට පිරිනැමෙයි. ගණිතමය බෙදීම් (Continued fraction) පිලිබඳ ඔහුගේ සටහන් කේම්බ්‍රිජ් සරසවියේදී සොරා ගන්නා අතර ඒවා ඇත්තේ තමන්ගේ හිසේ යයි කියමින් ඔහු එය මග හරියි. නැවත 1976 වසරේදී ඒවා සොයා ගැනෙන අතර දැන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

මේ කලාත්මක ශෝක ජනක චිත්‍රපටිය අවසන් වන්නේ නැවත ඉන්දියාව බලා යන රාමනුජන් අවුරුද්දකට පසු වයස 32 දී මිය යාමෙනි. ඔහුගේ බිරිඳ ජානකී වයස් 94 වන තෙක් ජිවත් වී මිය ගියේ 1994 දීය .

චිත්‍රපටිය: The Man Who knew Infinity 

-අජිත් ධර්මකීර්ති 2016-04-12
රාමනුජන් පිලිබඳ මගේ ඉංග්‍රීසි ලිපිය: http://quantumchecks.blogspot.co.uk/2016/04/the-man-who-knew-infinity-film-about.html

මුලාශ්‍ර: 1. http://www.businessinsider.com/researchers-unlock-formula-mathematician-srinivasa-ramanujan-2012-12?IR=T
2. http://www.britannica.com/biography/Srinivasa-Ramanujan
3. http://ajitvadakayil.blogspot.co.uk/2011/11/fractal-mind-of-srinivasa-ramanujan.html3. Picture from: http://www.famousscientists.org/srinivasa-ramanujan/

Wednesday 6 April 2016

නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 2


දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 පවත්වන බව අප දැන්වූයේ 2015 අප්‍රේල් මාසයේය.  අප සමග එවකට එකතුව සිටි බ්ලොග් කරුවන්ගේ හා මිතුරන් ගේ නම් ඒ ලිපියේ දැකිය හැක. ඒ මාතලන්, කල්‍යාණ මිත්‍ර, බස්සි ගේ නවාතැන , දිලා ගේ ලෝකය, මනා ගේ පින්තාරුව, ඉවාන් පව්ලුෂා, අටම්පහුර, අජිත් පැරකුම් (W3ලංකා) හා ප්‍රාජේ ය.

අටමා අවසන් මාස කිහිපයේ ඉවත්ව සිටි හෙයින් ඔහුට හැර ඉහත කී බ්ලොග් හා කොමන්ට් කරුවන්ට වැඩ සටහන දන්වා මුල්ම ඊමේලය යැවුනේ 2015 දෙසැම්බර් 18 වනදාය. ඒ සඳහා තවත් බ්ලොග් කරුවන්ට ආරාධනා කල යුතුය කී නිසාවෙන් ඉහත සඳහන් අයට අමතරව ලංකා නිව්ස් වෙබ් හි උපුල් නිශාන්ත හා චන්දිම විතාන ආරච්චි, රන්දිකා , හිමාශි, මම දසයා , කටුස්සා , සුරංග, කුරුට්ටෝ , මධු මාධවී , විදානේ , සින්දු ඇනෝ, සහන් , මනා, ලොකු පුතා කැලුම්, රවී, නාලක ගුණවර්ධන හා ඉයන් ද ඊමේල් ගොන්නට එකතු වුනි. මින් ඇත්තටම ක්‍රියාශිලිව සංවාදයට තමන්ගේ අදහස් ද එකතු කරමින් ඉදිරිපත් වුයේ ඉවාන්, කල්යාන මිත්‍ර, මාතලන්, බස්සි, කැලුම්, කුරුට්ටෝ, සුරංග වැනි කිහිප දෙනෙකි.

එදින සිට මාර්තු මාසය දක්වා ඊමේල් ත්‍රෙඩ් දෙකක 220 කට අධික ඊමේල් සංඛ්‍යාවක් හුවමාරු වුනි. දවසේ වැඩ සටහන (agenda) හැදුනේ එලෙසය. බස්සි විසින් නාට්‍යයක් සොයා ගැනීමට තරු රසී හඳුන්වා දීම නිසා ඇයද අන්තිමට එම මේල ගොනුවට එක් විනි. තරු රසි විසින් නාට්‍ය දෙකක් යෝජනා කල අතර දෙවන නාට්‍යය "ආණ්ඩුවේ රස්සාවක්" හි පිටපත මාත් චන්දිමත් කියවා බලා අනුමැත කෙළෙමු.

මෙහිදී වඩාත් උද්යෝගයෙන් යෝජනා එව්වේ සුමිත්, බස්සි, ඉවාන් සහ මාතලන් බව නොකියා බැරිය.
මේ අතර අපේ විනිශ්චය කරුවන්ගෙන් නිර්දේශ හා ලකුණු ලැබෙන්නට විය. පාර්ශ්වීය නොවනු පිණිස බස්සි ඇතුළු කිහිප දෙනෙකුට ඔවුන් නිර්දේශ වී ඇති බව දැන්වූයෙමු. බස්සි ඇතුළු කිහිප දෙනෙක් සංවිධාන කටයුතු වලින්  ඉවත් වුයේ මින් පසුවය. මගේ බ්ලොගයේ නිර්දේශ නම් කර ඉන් පසු ඒවා නෙලුම් යායේ පල කෙරුවෙමු. මෙහිදී විනිශ්චය කරුවන්ට ලකුණු එවීමට නිතර නිතර මතක් කර දීමට සිදු වුනි. මේ අතරේ මියාගල කටයුත්ත සඳහාද ඊමේල් 100 කට අධික සංක්‍යාවක් හුවමාරු වුනි. කල්යාන මිත්‍ර (සුමිත්), ඉවාන් පව්ලුෂා (ප්‍රගීත්) සහ මාතලන් තමන්ගේ බ්ලොග් අඩවි නිර්දේශ කිරීමෙන් ඉවත් කර ගත්තේ අපක්ෂපාති වීමටය. "සොඳුරු සිත" හා තවත් බ්ලොග් අඩවි කිහිපයක් එසේ මුලදීම ඉවත් වුනි.

මේ අතරේ සයිබර් අවකාශයේදී පමණක් දැන හඳුනා ගත් බ්ලොග් කරුවෙකු මුලින් නිර්නාමිකවද පසුව බ්ලොග් අඩවියේ නමින්ම ඉදිරිපත් වී සියලුම ත්‍යාග මුදල් සඳහා දායකත්වය දීමට එකඟ වුනි. මෙය අප බලාපොරොත්තු නොවූ සුභ ලකුණක්ම විය. නෙලුම් යාය සම්මාන උළෙලට මුල් වරට වඩා පිලි ගැනීමක් ලැබෙන බවට හැඟවීමක් ඉන් ලැබිණි.

නාලක ඇතුළු පිරිස ගෙන් නිර්දේශිත බ්ලොග් සඳහා ලකුණු ලැබුනේ මාර්තු මුල හරියේය. කල්‍යාණ මිත්‍රයා තමන්ගේ නිර්දේශිත බ්ලොග් කලින්ම එවා තිබුනත් එහි ප්‍රශ්නයක් තිබු බැවින් එය සංශෝධනය කර එවන්නට නැවත ඔහු වෙත යැවුණු අතර නෙළුම් යායේ පලවූ ලිපි වලින් මුල් කොටස තෝරා ඉන්පසු අනිත් බ්ලොග් අඩවි සිසාරා නිර්දේශිත බ්ලොග් කියවීමේ කාර්යය ඇරඹුවෙමු. මතලන්ගේ සින්ඩිය මෙන්ම මෙවර අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය බොහෝ මහෝපකාරී වූ බව සඳහන් කළ යුතුය. බ්ලොග් සින්ඩි වලට සම්මානයක් දීමට යෝජනා වූ මුත් එයට වැඩි කැමැත්තක් නොතිබුනේ අංශ 18 කින් ස්ථාන 54 කට සම්මාන දෙන බැවිනි. ප්‍රථම වරට තමරී කුලම් නැමති අපේ සහෝදර දෙමල වෙබ් අඩවියේ තෝරා ගැනීම් තුනකට මේ සමගම සම්මාන දීමට තීරණය විනි.

බ්ලොග් නිර්දේශ කිරීමේදී කවුරුන් කා සමග සම්බන්ධතා පවත්වන්නේද යන්න, ඔවුන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ග්‍රන්ථ රචකයන්ද යන්න ආදිය සැලකිල්ලට ගැනුනේ නැත.  පරිවර්තන සඳහා නිර්දේශ කිරීමේදී අති විශිෂ්ඨ පරිවර්තනයක් රැගෙන ආ "සිහසුනට තරඟ වැද " බ්ලොගය නිර්දේශ නොකෙරුනේ අප එක් ලිපියක් බ්ලොගයෙන් තෝරාගෙන සම්මාන දීම නිසා හා බ්ලොගය දැනට නවතා ඇති නිසා ඒ පිලිබඳ චෝදනා එල්ල විය හැකි බැවිනි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම සංවිධානයෙන් පෙන් ඩ්‍රයිව් එකක් ඇතුළු තෑගි පාර්සලයක් ලබා දිය හැකි බව දැන්වීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැන්නක් සහභාගී කර ගැනීමට වූ යෝජනාවෙන් නෙළුම් යායේ පුරවැසි මාධ්‍යකරණය බල මුළු ගැන්වීමේ වැඩ පිළිවෙලට ලැබෙන ගැම්ම සලකා බලා එය පිලි ගැනීමට තීරණය කෙරුවෙමු.


අප විසින් මෙවර සංගීත කණ්ඩායමකට ගිය වර මෙන් ආරාධනා කරන්නට නොසිතුවේ බ්ලොග් කරුවන්ට තැනක් දීමටය. මනා, සජ්ජා, සහන් හා තවත් බ්ලොග් කරුවන් කණ්ඩායමක් මේ සඳහා ඉදිරිපත් වෙනවා කියා කියුවත් අවසානයේදී සජ්ජා සහ මනා පමණක් ඉතිරි වුනි. එසේම අවශ්‍ය ශබ්ද වාහිනී යන්ත්‍ර (sound systems) ද නොලැබෙන සෙයක් දිස් වුනි. මේ නිසා අවසන් මොහොතේ ඉවාන් පවුලුෂා තමන්ගේ අතින්ද මුදලක් දී සංගීත කණ්ඩායමක් කැඳවා තිබුණි. ඒ සඳහා ඔහුට අපේ ස්තුතිය හිමි වේ.

ඉයන්ගේ අඩවියේ ඉයන් ගායන ශිල්පී අජන්ත පිරිස් ගෙන්වා ඉදිරපත් කල අංකයට ස්තුති වන අතර අමාරුකම් අන්දමේ භාර ගත් ගායනයන් සජ්ජා  හා මනා විසින් මැනවින් ඉටු කළෝය.

මේ වර උළෙලේදී නෙලුම් යාය විසින් පුරෝගාමී මෙහෙවරක් ඉටු කල බ්ලොග් කරුවන්ට නෙලුම් යාය hall of fame විශේෂ සම්මාන පිරි නමන්නට තීරණය කෙරුවෙමු. ඒ සඳහා නාලක ගුණවර්ධන තෝරා ගත්තේ බ්ලොග්කරණය මෙන්ම සමාජ ජාල භාවිතය හා නවීන සන්නිවේදන මාර්ග ගැන හසල දැනුමක් ඇති ඔහු කරන සේවය අගැයිමටය.

දෙවන විශේෂ සම්මානය සඳහා නම් කිහිපයක් යෝජනා වූ අතර ජාතිවාදයට ආගම්වාදය ට එරෙහිව බොහෝ ලිපි මෙන්ම කවිද රචනා කර සමහර බ්ලොග් කරුවන්ට අතහිත දුන් රසික සූරියආරච්චි තෝරා ගතිමු. මෙහිදී ඔහුට එල්ලව තිබු චෝදනාද සැලකිල්ලට ගත් බව සටහන් කරමු. ඔප්පු කල නොහැකි චෝදනා වලට වඩා බ්ලොග් ජනප්‍රිය කිරීමට ඔහුගෙන් සේවයක් වුණිය යන්න පිලි ගැනීමට අප මැලි නොවුනෙමු. මෙහිදී ඔහුට මා ඒ පිළිබඳව දැන්වූ පසු අප විමතියට හා බලවත් සතුටට පත් වුනේ ඔහු සම්මානය ගැනීමට ඕස්ට්‍රේලියාවේ සිට එන බව දැන ගැනීමෙනි. ඊශ්‍රායලයේ සිට ඔමාද සම්මාන උත්සවය ඉලක්ක කර ගනිමින් පැමිණි අතර මේ දෙදෙනාම එසේ කරමින් අපේ උළෙලට ගෞරවයක් ලබා දුන් බව සිතමු.

 ඔමා මෙන්ම හිරු නැතී හෝරාවේ කෞශි ද පාසල් සිසුන් සඳහා අප ගෙනයන ආධාර වැඩ පිළිවෙලට තම සම්මාන මුදල් ප්‍රධානය කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.


Monday 4 April 2016

නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 1

පසුගිය වසරේ මාර්තු 26 වනදා ම ලංකාවට ගියේ නෙළුම් යාය ප්‍රථම බ්ලොග් සම්මාන උළෙල සංවිධානයේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම සඳහාය. ඒ සඳහා ත්‍යාග සහ වෙනත් වියදම් සඳහා මුදල් ලැබුනේ කෙසේද යන්න ගැන මේ බ්ලොග් ලිපි වල සඳහන් කර ඇත.
නෙළුම් යාය සම්මාන උළෙලේදී කළ හැඳින්වීම

නෙලුම්යාය ප්‍රථම සමරු සඟරාවේ හැඳින්වීම

ප්‍රථම උළෙලේ බ්ලොග් සම්මාන දිනා ගත් බ්ලොග් අඩවි මේ ලිපියෙන් ඉදිරිපත් කර ඇත.
 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2014

එදා මේ ප්‍රථම උළෙල සංවිධානය කලේ තනිකරම ඊමේල් ගනු දෙනු වලිනි. විනිසුරු මඬුල්ලේ සිටියේ අප දෙතුන් දෙනෙකි. ඉනුත් බ්ලොග් හරි හැටි කියවුයේ අප දෙදෙනෙකු පමණි. අපට පුළුවන් විධිහට බ්ලොග් සියයකට අධික සංක්‍යාවක් කියවුයෙමු. අපට පිහිටට සිටියේ මාතලන් ගේ සින්ඩියයි.

එදා අපේ ප්‍රධානම ප්‍රශ්නයක් වුයේ 2014 වසරේ හොඳම බ්ලොග් කරු සම්මානය දෙන්නේ කාටද යන්නයි. ඒ සඳහා ට්‍රාන්සිල්වේනියා හි වෛද්‍ය රුවන් ජයතුංග, කතන්දර කාරයා (රසික),  අරුණි ශපීරෝ, ටැබූ සබ්ජෙක්ට්ස්, w3ලංකා හි අජිත් පැරකුම් සහ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ සලකා බැලුවෙමු. අවසාන නම් දෙකකට වැඩි ලකුණු ලැබුණි. ඒ අජිත් පැරකුම් ට හා මාතලන්ටයි. ඉනුදු වැඩිම බ්ලොග් ලිපි ගනනක් හා දේශපාලන ප්‍රහසන ලියන මාතලන්ට වැඩි ලකුණු ලැබුණි. ඔහුගේ අඩවියේ පළවුණු කොමෙන්ට් සංක්යාව හා ඔහුගේ පිළිතුරුද අවධානයට ලක් විනි.

අමාරුම කාර්යය වුයේ බ්ලොග් දිනූ අයට ඒ ඒ බ්ලොග් අඩවි වලට ගොස් මට ඊමේලයක් එවන්නට දැනුම් දීමයි. වාසනාවකට මෙන් සියල්ලෝම ඊමේල් එවුහ. ඉන්පසු එසේ දැන හඳුනා ගත් ඉවාන් පව්ලුෂා සම්මාන උළෙල සඳහා ශාලාවක් සෙවීමට පොරොන්දු වූ මුත් ඔහුට වැඩ අධිකවී එය පමා විනි. දිනයද ළඟ ළඟාව එන බැවින් හා ලංකාවේ සම්බන්ධයක් නොමැතිව අප අසරණ වූයෙමු.

ලංකා නිව්ස් වෙබ් ප්‍රධාන කර්තෘ චන්දිම විතාන ආරච්චි මෙහිදී පරණ බ්ලොග් ලියන්නෙකු වන කරුණාරත්න පරණවිතාන ඇමතුවේය. බ්ලොග් ලිපි පල කිරීමට ලංකා නිව්ස් වෙබ් හි නෙලුම් යාය කොටසේ ඉඩ ලබා දුන්නේද ඔහුය. අපේ වාසනාවට පරණේ ළඟ ශාලාවක් තිබුණි. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශාලාවයි. මෙහිදී අප මදක් පැකිලුන මුත් පරණේ පැවසුවේ අමාත්‍යංශයේ නමම "ජනමාධ්‍ය ප්‍රවර්ධන අමාත්යංශය " බවත් බ්ලොග් යනු ප්‍රබල ජනතා මාධ්‍යයක් බවත්ය. බ්ලොග් යනු පුරවැසි මාධ්‍යකරණයේ ප්‍රබල අංගයක් බව දැන සිටි මාධ්‍ය ලේකම්වරයෙකු සිටීම අපේ වාසනාවක් විය.

මෙහිදී පැවසිය යුතු වැදගත්ම කරුණ නම් අප කාහට සම්මාන ලබා දෙන්නේද යන්න ගැන වචනයක් වත් පරණේ විසින් නො ඇසීමයි.

මාතලන්ට ප්‍රධාන සම්මානය දීමට තීරණය කෙරුණු අතර දෙවන තැනට පත් අජිත් පැරකුම් ට සභාව ඇමතීමට අවස්ථාවක් දීමට තීරණය කළෙමු. එසේම සභාව ඇමතීමට ආචාර්ය ලියනගේ අමරකිර්ති, නාලක ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙකුට ඊමේල් හා ෆේස්බුක් මැසේජ් යැව්වත් පිළිතුරු ලැබුනේ අජිත් හා නාලකගෙන් පමණි. එසේම බ්ලොග් ගැන දැඩි අවබෝධයකින් සිටි සුදුසුම දෙදෙනාද ඔවුන් වූ අතර ඊමේලයක් යනු නීත්‍යානුකුල වැදගත් සන්නිවේදන මාධ්‍යයක් බවද දෙදෙනාම දැන හුන් බව සිතමි.

මාතලන්, ඉවාන් පව්ලුෂා ඇතුළු අනිකුත් බ්ලොග්කරුවන් සහභාගී වන බව දැන් වූ පසු මම ශ්‍රී ලංකාවට ගියෙමි. එහිදී චන්දිම විතාන ආරච්චි මහතා විසින් ලංකා ඩේලි පුවත් පතේ කර්තෘ හිමාශි කරුණාරත්න, ලංකා නිව්ස්වෙබ් හි උපුල් නිශාන්ත මගේ සහයට කැඳවා තිබුණි. ඇත්තෙන්ම වැඩි පුරම බර ඇද්දේ ඔවුන් දෙදෙනාය. ඒ දිනවල යහළුවෙකු ගෙන් ඉල්ලා ගත් මෝටර් රථයක් මගේ අතින් හැපීමෙන් එය පිළිසකර කරන්නට පවා ගෙවන්නට සිදු වුනි. ඒ සඳහා මෙන්ම අනිකුත් වැඩ සඳහාද උදව් වුයේ ශ්‍රී ලංකා මිරර් අඩවියේ කැලුම් ශිවන්තය.

කෙසේ හෝ නොයෙකුත් පසුබෑම් මධ්‍යයේ වුවද හිමාශි, උපුල් සහ මම බ්ලොග් සම්මාන උළෙල පැවැත්වූයෙමු. නාලකගේ හා අජිත් ගේ දේශනා අසන්නට නොහැකි වුනත්, බ්ලොග් කරුවන්ට වඩා මීඩියා කරුවන් සිටියත් ඒ උළෙල සාර්ථක බව මම කියමි.

ඊට හේතු කීපයකි. සම්මාන දිනු කිසිම බ්ලොග්කරුවෙකු නමින්වත් හඳුනාගෙන නොසිටි මා ප්‍රථම වරට ඔවුන් ඊමේල් කර එවූ නොම්මර වලට කතා කල දැන හඳුනා ගතිමි. සුමිත් කළනසිරි හා මම ෆේස්බුක් මගින් පණිවිඩ හුවමාරු කරගතිමු. මාතලන්ට මුහුණ වසාගෙන ඒමට හෝ වෙනත් අයෙකු ත්‍යාගය ගැනීමට එවන ලෙස කීවත් එය නිහතමානිව ප්‍රතික්ෂේප කරමින් තමන් සහභාගී වන බව පැවසුවේය. මුල් සම්මාන උළෙල ඔවුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර ඉන් පසු මා නැවතී සිටි හෝටලයට මාතලන්, ප්‍රසන්න, සුදීක, අටමා ඇතුලු පිරිස පැමිණියහ.

මාතලන් සමග එදා ශ්‍රී ලංකා බ්ලොග් සංසදය පිහිටුවන්නට තවත් තඩි උස මහත බ්ලොග්කරුවෙකු ඉදිරිපත් විනි. ඒ කල්‍යාණ මිත්‍රයි.

අපි මේ බ්ලොග් උළෙල මුළුමනින්ම සංවිධානය කළේ එකිනෙකා නොදැනය. කොටින්ම හිමාශි කරුණාරත්න හා උපුල් නිශාන්ත ස්කයිප් වලින් දැන සිටියද ජීවමානව දැක ගත්තේ ලංකාවට පැමිණි පසුය. මාතලන් ඇතුළු අනිකුත් බ්ලොග් කරුවන් ප්‍රථම වරට දැක්කේද 2015 මාර්තු 26 වනදාය. එනිසා මට සැබවින්ම ප්‍රථම බ්ලොග් උළෙලේ සාර්ථක එකක් විය.

ඉන්පසු එළඹුණේ අටමා, බස්සි, දීලා, මාතලන්, ප්රාජේ, කල්‍යාණ මිත්‍ර, මනා, කටුස්සා ආදීන් සමග කෙරුණු ඊමේල් ගනුදෙනුවයි. බ්ලොග් සංසදය පිහිටුවීමට නොයෙකුත් බාධා ඇතිවිණි. අපගේ බ්ලොග් මිතුරන් සමහරෙක් ද එයට විරුද්ධ විනි. අපේ ඇති අමුතුම අජෙන්ඩා එකක් ගැන චෝදනා එල්ල විනි.

මේ අතර වාරයේ නෙලුම් යායේ බ්ලොග් පල කිරීම අප විසින් නොකඩවා කළ අතර සුමිත් කලනසිරිද කාල වේලා  ඇති පමණින් එයට උදව් කළේය. විශේෂයෙන්ම මම නිවාඩු යන දිනවල ඔහු ඒ කාර්යය මැනැවින් ඉටු කළේය. උපුල් නිශාන්තද හැකි පමණ දායක වුනි. අනිත් තැනැත්තා වූයේ අටමාය. ඔහු විසින් බ්ලොග්  තෝරා ඒවායේ යොමුව එවූ අතර මට හැකි පමණ ඒවා පල කෙරුවෙමු. අටමා එසේ කළේ පෞද්ගලිකව තිබුණු නොයෙකුත් කරදර මධ්‍යයේය. අටමා එවන ඒවා පල කිරීම අප අතින් අතපසු වන්නේ අපේ කාල වෙලාවේ මද කම බව තේරුම් නොගත් බවක් ද දුටුවෙමි. කෙසේ හෝ නෙළුම් යාය පිලිබඳ කතා බහ මෙන්ම සම්මාන උළෙලේ නිර්මාණ තේරීම සඳහාද මා පටන් ගත් මාසික ත්‍යාග ප්‍රදානය කිරීම තුල ඇතිවුන ප්‍රශ්නයක් මත අටමා ඉවත් විනි.

අප තලවකැලේ ගමන සංවිධානය කලේ ඒ අතරය. එහි මුලික වැඩ කොටසක් හිමාශි කරුණාරත්න, පලනි විජයනන්දන් හා සුමිත් යාපා (කල්‍යාණ මිත්‍ර) විසින් කරන ලදී. ක්‍රිකට් උළෙලක්, නෙලුම් යායෙන් සම්මාන සහ තෑගි බෙදා දීමක් මෙන්ම ළමුන්ට පොත්පත් ආදී දේ බෙදා දීමක්ද සිදු වුනි. මෙය කලේ අපේ සම්මාන උළෙලෙන් අපට ලැබී ඉතිරිව තුබූ මුදල් ප්‍රමාණයක් අනුව පමණය. මේ නිසා අවශ්‍ය තරම් ළමයින්ට බෙදා දීමට තෑගි ගැනීමට නොහැකි වුනි. "බිත්තියේ" පැතුම් හේරත් හා ඉවාන් පව්ලුෂා මුදලින් ආධාර කල අතර කටුස්සා, ප්‍රසන්න, සහන් ඇතුළු බ්ලොග් කරුවන්ද ගමනට එකතු වුහ. එය අවසානයේ කිසියම් ප්‍රශ්න කිහිපයක් පැන නැගුනු අතර එයට සහභාගී වූ කටුස්සා වේදනා කාරී ලෙස කිසියම් කාලයක් නිහඬව සිටි බව දුටිමි. ඉතා සුමුදු හදවතක් ඇති කටුස්සාගේ නිහඬව සිටීම තලවාකැලේ ගමනට අදාලව නොවන බව දැනගත් විට අප්‍රමාණ සතුටට පත් වීමි. මුල් පියවර වශයෙන් අඩුපාඩු තිබුනත් තලවාකැලේ ගමන හොඳ අත්දැකීම් සමුහයක් එක් කළේය.

තලවකැලේ ගමනින් ලැබූ අත් දැකීම මත බ්ලොග් කරුවන්ට සම්පුර්නයෙන්ම මේ වැනි සද් කාර්යයක් සංවිධානය කිරීම භාර දිය යුතු යයි සිතුවෙමු. හරියටම එවැන්නක් සිදු වුනේ රත්නපුරයේ බලන්ගොඩ ප්‍රදේශයේ පාසලකට පොත්පත් ඇතුළු උපකරණ බෙදා දීමට "කුරුටු ගෑ ගී පවුර " බ්ලොගය හා තවත් බ්ලොග් කරුවන් සමුහයක් සංවිධානය වනු දැකීමෙනි. ඊමේල් මගින් සාදාගත් සම්බන්ධයක් මත නෙළුම් යායෙන් අපේ දායකත්වය දැක්වීමු . එය සාර්ථක වුනු බව කුරුටුලා දැමු පොස්ටුවකින් පැහැදිලි විය.
මේ අත්දැකීම සුමිත්, ඉවාන්, සුරංග (කමියා) ඇතුළු බදුල්ලේ පිරිසට දැන්වූ පසු නෙලුම් යායේ ආධාරයෙන් බදුල්ලේ පාසලක එවැනිම සද් කාර්යයක් සංවිධානය කෙරුවෙමු. එයට ඒ පළාතේ බ්ලොග් කරුවන් බොහොමයකගේ නොමද සහයෝගයද ලැබුණි. නෙළුම් යාය ඉදිරියට යන බව මේ එකිනෙක සම්බන්ධ නොවන සේ පෙනෙන කාර්යයන්ගෙන් අපට පැහැදිලි විය. අපට අවශ්‍ය වුයේ බ්ලොග් අවකාශය සමග මහා පොළොවේ ජිවිතයක්ද බැඳී ඇති බව පසක් කර ගැනීමයි.

අවසාන වැඩ පිළිවෙල වුයේ ඉන්දිකගේ ඔත්තුවක් මත ඇරඹුණු මොණරාගල මියාගල පාසලට ජලය ලබා දීමේ ව්‍යාපෘතියයි. මෙය ළමයින්ට එක ජල කරාමයක් පමණක් සාදා දීම නොව මුල් ගුරු නිවාසයට ජලය සැපයීම, සියලුම් වැසිකිලි වලට, පාසැලේ ගුරු කාමරයට මෙන්ම පන්ති ශාලා කිහිපයකට ද නළ දමා ජාල කරාම සවි කර වතුර සැපයමේ ලොකු වැඩකි. අප සුමිත් යාපා ඇතුළු බ්ලොග් නඩයට කිවේ බ්ලොග් සම්මාන උළෙල පවතින බැවින් එයින් පසු මෙය කරන්නටය. නමුත් සුමිත් ඇතුළු පිරිස එය මසකින් නිම කරන්නට පොරොන්දු වුනි. අප නොසිතු ලෙස සහෘද බ්ලොග් කරුවන්ගෙන් ආධාරද ලැබෙන්නට විය. සුමිත් ඇතුළු කණ්ඩායම තම පවුල් වල නොයෙකුත් භාරදුර කටයුතු මධ්යයේම මේ සද් කාර්යයට අත ගසා පොරොන්දු වූ පරිදිම එය සාර්ථකව නිම කළහ.


  ගුරුවරයෙකු විසින් ලුනුගල පාසලක දරුවෙකුගේ පාසල් ගමන නිමා කල බව මෙහිදී ලීවෙමි. එදා සුමිත් හෙවත් කමියා දරුවෙකුට කරාමය හැර වතුර බොන්නට දෙන විට ඒ දරුවාගේ මුවේ පිපුන සුන්දර සිනහව අර පාසල් නැවැත්වූ සගයාට කල පිදීමක් විය මට. චන්දිමත් මමත් ඒ පින්තුර බලමින් දැඩි සතුටක් ලැබුවෙමු.

මේ සියල්ල සංවිධානය  කලේ අජිත් පැරකුම් බ්ලොග් සහෘදයා කියන්නාක් මෙන් ඊමේල් වලින් සහ ෆේස්බුක් පණිවුඩ ක්‍රමය හා වයිබර් හරහා වීම විශේෂත්වයකි. බොහෝ දෙන එකිනෙකා නොහඳුනන මුත් සයිබර් අවකාශයේ ගොඩ නැගුනු මිත්‍රත්වය ඒ සියල්ල පරයා නැගී සිටියේය.

අන්තිමට එළඹියේ දෙවන බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කිරීමේ කටයුත්තයි. නැවතත් ඊමේල් වල පිහිට පතන්නට සිදුවුණි.

~~~~~~~~~~~~මතු සම්බන්ධයි.~~~~~~~~~~~

Monday 28 March 2016

පොල්කට්ටෙන් එපිටට එන්න සුහද ආරාධනාවක්

"පොල්කට්ටෙන් එපිටට " කියන නම දැම්මේ මගේ අනිත් භාගෙ කියල මම නිතර හඳුන්වන මගේ පිය බිරිඳ ඉනෙස්. "ඔයා කියන්නේ ඔයා හැම වෙලේම කතා කරන්නේ බොක්ස් එකෙන් එලියට කියලනේ". එහෙම අදහසක් එන්න ලංකාවට ගැලපෙන්නේ පොල් ගෙඩිය හා පොල් කට්ට කියන එක තමයි එයා කිව්වේ. අනික මම නිතරම කියන දෙයක් තමයි විවේචනය කරන්න කලින් විවේචනයට භාජනය කරන තැනැත්තාගේ සපත්තු දෙක දාගෙන හැතැප්මක් ඇවිදින්න කියන එක. ඔය කාරනා දෙකම එකතු කරලා තමා මම මේ නමට එකඟ වුනේ.

දොරට වැඩුම ගැන ලිව්ව මුල් ලිපිය මෙතන. පොල්කට්ටෙන් එපිටට - කොළඹ ගමයාගේ පොත පෙරලීම හෙවත් දොරට වැඩුම

බ්ලොගයේ ලිපි මුලින්ම ත්රිමානයේ පලකළ පෙරවදන ලියා දුන් දීප්ති කුමාර ගුණරත්න මහතාට,



ශාලාව ලබාදෙන ප්‍රවීන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාට, දිගින් දිගටම උදව් කරන ප්‍රවීණ පරිවර්තක චුලානන්ද සමරනායක මිතුරාට වගේම සුභාවි ප්‍රකාශක නිශාන්ත පරණගම මල්ලි,  පිට කවරය ඇඳ දුන් මගේ ලොකු දුව ශනායා, චුටි දුව ශකිරා ටත් පිට කවරය සකස් කළ සංජය ඈපා සෙනෙවිරත්න මල්ලි ටත් ස්තුතියි.

මම මුලින්ම යුද්ධයට සක්‍රියව සහභාගී වුනු උස මහත නාවික හමුදා නිලධාරියෙකුගේ සංවේදී හා සුන්දර කම හා අනුන් වෙනුවෙන් කැපවීමට හැකිවෙන මහඟු ගුණාංගයන් දැන හඳුනා ගත්තේ අවුරදු කීපයකට කලින් පළවුණු බ්ලොග් පොස්ටුවකින්. වත්පොතේ පොතේ දොරට වැඩුම පිළිබඳව සුන්දර සටහනක් තැබුවාට සුමිත් යාපාට බොහොම ස්තූතියි .



තැන බලා ගන්නත් එක්ක ගියා ධර්මසිරි බණ්ඩාරනායක අයියා හමු වෙන්න.




මම දැනුයි දැක්කේ . පෙරේද බ්ලොග් තාරකාවිය වුන බස්සිත් ලස්සන පෝස්ට් එකක් දාල . ස්තූතියි බස්සි.
පොතේ දොරට වැඩුම ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ රාජගිරියේ තිබෙන "ත්‍රිකෝණය " ශාලාවේ මේ මස 29 අඟහරුවාදා සවස 4.00 ට පවත්වන්න කටයුතු යොදා තිබෙන්නේ.පොත එලි දක්වන්නට උදව් වුන සියලූම හිත මිතුරන්ට ස්තුති කරන අතරේ ඒ සඳහා සහභාගිවෙන්න කියල සැමට ආරධනය කරනවා.

නෙලුම් යාය උත්සවයෙන් පසුව එළඹෙන අඟහරුවාදා සවස 4.00 ට "ත්‍රිකෝණයේදී " හමු වෙමු. - කොළඹ ගමයා

ලිපිනය : ධර්මසිරි බණ්ඩාරනායක ත්‍රිකෝණ සංස්කෘතික මධ්‍යස්ථානය නො 1003/4
පාර්ක් විදිය රාජගිරිය

 Address of the Trikone center is as follows.
Dharmasiri Bandaranayake
Trikone Cultural Center
No 1003/04
Park Lane, Rajagiriya.


When driving towards Battaramulla from Rajagiriya junction you see Park Lane  just opposite the petrol shed.

Why Shania did the picture: Her Reasoning:
Mummy and I both agreed on the fact that if the balloons are not there, the meaning behind the picture is too simplified.
Lifting the Earth by oneself is a strenuous task, especially when not standing on firm ground. This completely contradicts the little man's half smile, because as the viewer you then think, 'how can he smile when trying to lift the entire earth whilst balancing in a coconut shell?' It is challenging, if not impossible... too strenuous to see joy/satisfaction in.
        Now, you can relate the ridiculous impossibility of this to the way that you as the author are thinking "out of the box". However your book does not consist of ridiculous explanations and proclamations, despite the impossible depths you may go to express your views. 
        The point I am trying to make with this, is that the simplicity the picture is left with when there are NO balloons does not properly represent the vast content of the book, which you do, I presume want to somewhat ensure is not mislead by the picture on the front cover. From what you have previously described to me when talking about what you write about, your views are clearly somewhat out-of-the-box...an out-of-the-box interesting. Not everything you say is simple, and yet the design of the picture is SO simple. 
        Without the balloons, it is immediately identifiable as a struggle the little man is going through. A struggle. Your book does not describe the struggle of reaching such extensive thoughts, but the struggles that go on in the world and your views around them. You are standing in the coconut shell because although you look at everything from an outside view, you are still part of this world. You, however do not get along and agree with all that goes on around you. And so yes, it may have been a struggle collecting all your thoughts and putting them together, but your views concerning politics, people, feelings. They themselves are not one kind of struggle to get through.  With the balloons, the focus is not exactly on a specific struggle.
        The thing is, the world is not broken. But there are things wrong with it and so metaphorically you're are picking up the pieces that are. You're bringing them to attention. 
         
A man cannot just lift the earth of its orbit but the balloons represent outside forces (also political once) which lead our decisions and influence our actions.

THe balloons represent outside forces that affect the way we live, and without them it is as if you are only taking yourself into consideration. The balloons are vital in representing that this book is open-minded, yet in depth. Not just sullen thoughts in bringing problems of the world to attention, but joy in how your views can somewhat seek understanding in them. Without the balloons, the little man's smile is in vain.

Friday 25 March 2016

දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 වසරේ මැදින් මස 26

පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු සීමා අතික්‍රමණය කිරීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 වසරේ මැදින් මස 26 වනදා සවස 2.30 සිට සවස 5.30 දක්වා පැවැත්වෙයි.

ඉවාන් පව්ලුෂා (ප්‍රගීත් අනුරාධ) ගේ මෙයවිමෙන් නෙලුම්යාය සංස්කාරකවරයාගේ (කොළඹ ගමයා) විසින් "2015 බ්ලොග් සම්මාන උළෙල දක්වා නෙලුම් යාය ආ මඟ" පිලිබඳ හැඳින්වීමකින් හා මෙතෙක් කරන ලද ප්‍රජා සත්කාර වැඩ පිලිබඳ හැදින්විමකින් ආරම්භ වන මෙවර උළෙල ගිය වසර ට වඩා ගුණාත්මක ලෙස වෙනස්ව සංවිධානය කිරමට සහෘද බ්ලොග්කරුවන් විසින්ම සංවාද කොට අනුමැත කරගත් වැඩ පිළිවෙලක් තුලින් කටයුතු යොදා ඇත.

නෙලුම් යායේ තේමා ගීතය මෙවරද "මනාගේ ගේ පින්තුරය" බ්ලොගයේ මනෝජ් පෙරේරා විසින් ගයනු ලබයි.

ප්‍රවීන විද්‍යා ලේඛකයෙකු හා "සිව් මංසල කොලු ගැටයා " බ්ලොගය ලියන නාලක ගුණවර්ධන මහතාත් W3ලංකා බ්ලොගය ලියන ප්‍රවීන හා වෘත්තීය බ්ලොග් කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතාත් මෙවර ප්‍රධාන දේශනය ඔවුනතර සංවාදයක් ලෙස බ්ලොග් පිලිබඳ කතිකාවක් සේ ඉදිරිපත් කරනු ඇත.

Unnamed theater group කණ්ඩායම විසින් ඉදිරිපත් කරන "ආණ්ඩුවේ රස්සාවක්" නාට්‍යය හා අසංග සායක්කාර ඉදිරිපත් කරන "පුවක් එෂනින් " අංගයකින් සභාව රස ගැන්වෙනු ඇත.

සභාව සංගීතයෙන් රසවත් කිරීමට බ්ලොග් කරුවන්ගෙන්ම සමන්විත සංගීත කණ්ඩායමක් මෙවර ඉදිරිපත් වෙයි. මේ සඳහා මනාගේ පින්තරුවේ මනෝජ් සහ සජ්ජා  ගායනයෙන් සහ වාදනයෙන් සහය දක්වනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු විසින්ම ලියන ලද ආධුනික ගීත ගායනා කිරමට තෝරා ගැනීමයි. අජන්තා පිරිස් ද ගීතයක් ගායනා කරනු ඇත.

සම්මාන සඳහා තෝරාගත් බ්ලොග් අඩවි එදිනට හෙළි කරනු ලබන අතර සම්මාන සඳහා ත්‍යාග මුදල් පිරිනමනු ලබන්නේ ප්‍රවීන බ්ලොග් කරුවෙකු ගේ පරිත්‍යාගයෙන් හා ද නේෂන් බිල්ඩින්ග් සොසයිටි සමාගම විසිනි. එක්සත් ජාතින් ගේ සංවිධානය විසින් බ්ලොග් කරුවන්ට තෑගි පාර්සලයක් ද ලබා දෙනු ඇත.

සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

~~~~~~~~~~ඔබ සැමට කරන සුහද ආරාධනයි මේ.~~~~~~~~~~~

ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරය
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
නො 163, කිරුලපන මාවත, කොළඹ 5
දිනය - මාර්තු 26 වන සෙනසුරාදා 2016 ​
​අසුන් ගැනීම ප.ව. 2.00 සිට

Monday 21 March 2016

පොල්කට්ටෙන් එපිටට - කොළඹ ගමයාගේ පොත පෙරලීම හෙවත් දොරට වැඩුම

ඉලෙක්ට්‍රොනික් පොතක් හෙවත් ඊ බුක් එකක් ගහන්නේ නැතිව කොළඹ ගමයා ඇයි පොතක් ගහන්නේ කියල දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊ බුක් එක නම් කලකට පෙර ලියල තියෙන්නේ. නමුත් යථාර්තය නම් පොතක් රාක්කයෙන් අරන් කියවීම තුල තවම කිසියම් සුන්දරත්වයක් ගැබ් වෙලා තිබෙනවා යන්න මත ගත් තීරණයක් ඒක. අනික තිලක සිත, හෙන්රි, රුවන් ,රසික , බෝධිනී, බස්සි ඇතුළු මෙකි නොකී බ්ලොග් කරුවන්ගේ නාම ලේඛනයට එකතු වීමත් ප්‍රීතියක්.


අවුරුදු ගාණක (1998 විතර)ඉඳන් එම්එස්එන් ගෘප් එකකුයි, ගූගල් ගෘප් එකකුයි කරගෙන ඔය පරණ බ්ලොග් කියව කියව හිටි වෙලේ බ්ලොග් ලිපියක් පල කරන්න හිතුනේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ මගේ දීර්ඝ කොමෙන්ටුවක් එම වෙබ් අඩවියේම පල වුනාට පස්සේ. ඊට පස්සේ මගේ ලිපි යැව්වොත් ඒවා පල කරන තරමට ත්‍රිමාණ වෙබ් අඩවිය කාරුණික වුණා. ඒ අතරේදී තමා චන්දිම විතානආරච්චි මහතා මම යවන ලිපි ලංකා නිව්ස් වෙබ් එකේ නෙලුම් යායේ දාන්න ගත්තේ. ඒකෙ ඉඳල හිටලා සුනිලා අබේසේකර ගේ ලිපි වගේම නාලක ගුණවර්ධනගේ බ්ලොග් ලිපිත් පළ වුනා.

ඔය අතරේදී මම චන්දිමට යෝජනා කළා අපි අනිත් බ්ලොග් කරුවන් ගේ ලිපිත් දාමු කියල. පළවෙනියට තේරුවේ අරූගේ අඩවිය. මොකද මම කාලෙක ඉඳන් කියවපු බ්ලොගයක් නිසා. ඊට පස්සේ එතනින් මාතලන්, දේශකයා, බස්සි ඇතුළු අනිත් අයගේ ලිපිත් පල කරන්න පටන් ගත්ත. ඒ වැඩේම දිගුවක් හැටියට අපට හිතුන මේ හොඳට ලියන බ්ලොග් කරුවන්ට සම්මානයක් දෙමු මේ කරන නිර්මාණශීලි වැඩේ දිරිමත් කරන්න කියල. අනික අපි හිතුව මේකෙන් අනිත් බ්ලොග් කරුවන් දිරිමත් වෙනවා වගේම තව නිර්මාණශීලි අය ලියන්න පෙලෙඹෙයි කියලත්. සමහර ප්‍රවීණ බ්ලොග්කරුවන් ඉවත් වෙලා ඉන්න අතරේ ආධුනිකයන්ටත් වඩා හොඳ තැනකුත් නිර්මාණය කරන අතරේම බ්ලොග් සම්බන්ධ කතිකාව වඩා පුළුල්ව සමාජයට යාවි කියලත් හිතුන. ඉතින් නෙළුම් යායේ දෙවන සම්මාන උළෙල මෙම 26 වනද අපට සුපුරුදු ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා.

ඉතින් ඒ අතරේ ප්‍රවීණ පරිවර්තක චුලානන්ද සමරනායක මිතුරා ලන්ඩනයේදී හමු වුනු වෙලේ මගේ ලිපි ගැන කතා බහක් ඇතිවුණා. දැන් ඇත්තටම මිතුරෙකු ලෙස නිතර කතා කරන නිසාම, අදහස් හුවමාරු වෙන නිසාම සුමිතුරෙකු බවට පත් වුනු ඔහු "අජිත් අපි පොතක් ගහමු. මම ලංකාවට ගියහම උදව් කරන්නම් " කියල පොරොන්දු වුනා විතරක් නෙමෙයි ඒ වගේම නිශාන්ත පරණගම මල්ලි එක්ක එකතු වෙලා අකුරු අමුණුවල ඒ වැඩේ කරලත් දුන්න. පොතේ පිට කවරේ ඇන්දේ මගේ ලොකු දුව ශනායා. උඩ තිබෙන්නේ ඒ පින්තූරේ. දුවට කියල පින්තුරේ ඇඳගන්න අදහස ආවේ තිලකසිත ගෙන්. තිලකගේ දියණිය පියකරු සිත්තම් වලින් බ්ලොග් පිටු සරසන බව දුටු නිසා මමත් දුවල දෙන්නට අදහස කිව්වා. දුවටත් ඇත්තටම අඳින්නත් පුළුවන්. තරඟ හතර පහකින්ම ජය අරගෙනත් තිබෙනවා,  පොඩි දුව අන්තර්ජාලයෙන් සොයාගත් පින්තුර එකතු කර හැදු පින්තුරය තමා මෙතන තිබෙන්නේ.

එයාලාට මගේ අදහස සහ පොත ගැන කිව්වම නිවසේ ඇති වුණා සංවාදයක්. පොල්කට්ටෙන් එපිටට කියන නම ආවේ එහෙම. පොල් කටුවක හිරවුණු කෙනෙක් නොව ඉන් එලියට ඇවිත් හිතෙන කෙනෙක් ගේ අදහස්. "out of the box " කියන අදහස. පොල් කට්ටක වඩා සමීප ගතියක් තිබෙනවා කියල හිතුන. ඒ අතරේ ඇතුල සුදු හෙවත් ඇතුල ඉංග්‍රීසි විධිහට හිතන පිට සම පමණක් දුඹුරු මිනිසුන්ට කොකනට් හෙවත් පොල් ගෙඩියක් කියල කියනවා. එක්තරා විධිහකට බැලුවොත් මම යුරෝපීය විධිහට මෙන්ම පෙරදිග විධිහටත් හිතන කෙනෙක්. සෝවියට් දේශයේ ගත කරපු කාලය මෙන්ම දියුණු බටහිර රටක ගත කරන ජිවිතයෙනුත් උකහා ගත් අත්දැකීම් සමුදායක් සමග නිතර දෙවේලේ සිත තුල ඇති කෙරෙන ද්වි ඝටනාත්මක සිතුවිලි සමුහය බ්ලොගය හරහා අකුරුවී දැන් පොතක් වශයෙන් එලියට එනවා.

පොතේ දොරට වැඩුම ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ රාජගිරියේ තිබෙන "ත්‍රිකෝණය " ශාලාවේ මේ මස 29 අඟහරුවාදා සවස 3.00 ට පවත්වන්න කටයුතු යොදා තිබෙන්නේ. ඒ මහතා චූලා කියූ පරිදි මට එම ස්ථානය නොමිලයේම ලබා දුන්න. මා උසස් පෙළ කරන අවධියේ සිට ඔහුගේ විශිෂ්ට සිනමා කෘති නරඹපු ඔහුගේ දේශන, ලිපි කියවපු අයෙක්. ඉතින් එවන් ප්‍රසිද්ධ කලාකරුවෙක් මෙවැනි උදව්වක් කරනවා කියන්නෙත් සිත සතුටු කරවන්නක්. පොත එලි දක්වන්නට උදව් වුන සියලූම හිත මිතුරන්ට ස්තුති කරන අතරේ ඒ සඳහා සහභාගිවෙන්න කියල සැමට ආරධනය කරනවා.

නෙලුම් යාය උත්සවයෙන් පසුව එළඹෙන අඟහරුවාදා සවස 3.00 ට "ත්‍රිකෝණයේදීත් " හමු වෙමු. - කොළඹ ගමයා

ලිපිනය : ධර්මසිරි බණ්ඩාරනායක ත්‍රිකෝණ සංස්කෘතික මධ්‍යස්ථානය නො 1003 පාර්ක් විදිය රාජගිරිය Address of the Trikone center is as follows.
Dharmasiri Bandaranayake
Trikone Cultural Center
No 1003/04
Park Lane, Rajagiriya.


When driving towards Battaramulla from Rajagiriya junction you see Park Lane  just opposite the petrol shed.

Friday 18 March 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - අනිකුත් අංශ

නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ අනිකුත් අංශ සඳහා නිර්දේශ කර ඇති බ්ලොග් අඩවි මෙසේය.

බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.

කෙටි නවකතා

කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් - 1 -18 - නුවර කුමාරි

එකෝමත් එක කාලෙක - සිත්තමි.

මංගල සීනු 1, 2, 3 - නිහඬ සිත්තරාවි

නමක් නැති කතාවක්..1 - 10 - අම්බලන්ගොඩ කථා

කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද-1-12 - කැලේ පිපුන මල්


 ප්‍රහසන 

වඳුරා......කුරුටු ගෑ ගී පවුර

 සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල - රවී වීරසිංහ

සෝභමාන ගුවන් ඇටෙන්ඩොං -දුමි ගේ කට කහන කතා

ලියුං කියුං කටිං කෙරුං- තනි තරුව 

පරණ විහිලු පොත // same old joke - පින්ච් පොයින්ට්

 අතීත කාමය

දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි..- අවන්හල

සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය - සොඳුරු අතීතයෙන් බිඳක්..

පොත් සමගින් ගැටවර විය..- කටුසු හදවත 

අපේ දිව්‍ය භෝජන අංක 1 සහ 2- ඉන්ද්‍රනාත තේනුවර

 භිෂණය මැදින් ටෙලිනාට්‍ය සමඟ ජීවිතය කොටස් 1 සිට 7 දක්වා- හැලපයා

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ - මා සඳු මල්

කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා.....- නොකී කතා .

මෙතෙක් කතාව සහ අද එතැන් සිට - හෙන්රි බ්ලොග් වෝකර්

 සංගීතය

මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද? - මනාගේ පින්තාරුව

කොළඹදී කම්පලක් නැතුව සෙනගක් මරාදාලා.. හද ගී පොත- තිස්ස දොඩන්ගොඩ 

ලෝකය නමැති ගමේ.. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා ගී එකතුව - සින්දු ඇනෝ

 දෘෂ්ටි රසය- ඉවාන් පවුලුෂා

කුලගෙදරින් - බන්දුල විජේවීර - ගී පැදුර

ABBA පස්වන කොටස - ජනප්‍රියත්වයේ මුල් පියවර- දම්පාට දේදුන්න


 සංචාරක -

වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 - අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්... ලොකු පුතා

අතීත මුතුන් මිත්තන් විසූ පුරාණ ලෙන - බෙලිලෙන - දසත සැරිසර

වෙසක්  සඳ සමග තිරුකේතීෂ්වරම් - ලෝකයේ කොනක

ප්‍රාග් ඓතිහාසික ගුහා සංචාරය - The Dark Cave - බිත්තිය

විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස - ඔමා ගේ හීන


 ඉතිහාසය

මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical Figure - ඩ්රැකී ගේ අඩවිය

පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ -- රිටිගල - දසත සැරිසර (ශානිකා පවනි හේවගේ)

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 6 - sugv ගුණසිංහ

විජයබා කොල්ලය - රාජාවලිය XXXVII -පහන් යාය



පරිවර්තන

The story of my marriage - නිදහස් සිතුවිලි (රවී)

ඌරන් බලාගත් රාජ කුමාරයා - නිලූක කදුරුගමුව

බොරු නේද ඔය කියන්නේ? -මට හිතෙන හැටි


ගෘහස්ත කාරණා

එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි ......- ඇවිද්ද පය

වෙඩිං කතා...- හිරු නැති හෝරාව .

දියවැඩියාව පරදවන්නට නම් - ප්‍රභාෂ්වර

ඡායාරුප

උතුරේ සංචාරයක් - අසීමි දකිමි සොයමි

ඡායාරූප පිස්සුවෙ හොඳ එක. ටයිල් රටා. -මගේ ඩෙනිම - ඩුඩ් (1/1)

The Earth is Art, The Photographer is only a Witness part 2. ඕමාගේ හීන

පොටෝකාරයා වටින්නෙම නැද්ද..? - කැමරාවෙන් එහා ලෝකය


 18ප්ලස්

අනේ දෙයියනේ......!!!- කුරුටු ගෑ ගී පවුර

 සුවපත් කිරීම- මධු මාධවී

නෝනාගේ වයස - රාජ් ගේ නවාතැන

ලඹේ හොඳයිද මිස්? ගස් ලබ්බ. (3/3)

රත්තරන් ජංගිය - හෙනහුරා  


නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් - දේශපාලන

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් -කෙටි කතා අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් - විද්‍යා හා තාක්ෂණ , විද්‍යා ප්‍රබන්ධ 

ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

Tuesday 15 March 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - විද්‍යා හා තාක්ෂණ , විද්‍යා ප්‍රබන්ධ

නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ විද්‍යා හා තාක්ෂණ , විද්‍යා ප්‍රබන්ධ සඳහා නිර්දේශ කර ඇති බ්ලොග් අඩවි මෙසේය.

බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.

විද්‍යා හා තාක්ෂණ:

විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ-ටෙක් සයුර

තාරකා පරිණාමනය - මන්දාකිණියෙන් ඔබ්බට

අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ - සොඳුරු සුව අසපුව 

වයි-ෆයි ඔබේ සෞඛ්‍යයට අවදානම්ද ?...... Is Your Health at Risk From Wi-Fi ? - ඇවිද්ද පය සුදීක

සොෆ්ට් සරණිය - පොතේ විදියට සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි - බිත්තිය - පැතුම් හේරත්

විද්‍යූත් ජවය, නැතිනම් වොට් අගය(W) ගැන දැනගනිමු..- ELECTRONIC පන්තිය

පුපුරා යන විල් - වගතුග  

විද්‍යා ප්‍රබන්ධ  

දමනය - බස්සිගේ නවාතැන ඉවාන් පව්ලුශා පුංචි කැකුළු මල්න්දාකිණියෙන් ඔබ්බට


Patient X [ X රෝගියා - විද්‍යා ප්‍රබන්ධය, 1 කොටස] - විද්‍යා ගවේෂණ

අපට විද්‍යා ප්‍රබන්ධ සඳහා වෙනත් බ්ලොග් අඩවි සොයා ගැනීමට නොහැකි විනි.



නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් - දේශපාලන

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් -කෙටි කතා අංශය

ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

Monday 14 March 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් -කෙටි කතා අංශය

නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ කෙටි කතා අංශය සඳහා නිර්දේශ කර ඇති බ්ලොග් අඩවි මෙසේය.

බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු.

සුන්දරී - සඳ වියමන්

ඇයද මවකි - දිනේෂ් උමගිලිය (වර්ණ) 

අහන් ඉන්න අහගෙන ඉන්න - හංසි

සාක්ෂිකරුවන් නොමැතිව - ට්‍රාන්සිල්වේනියා -රුවන් එම් ජයතුංග

චරිත තුනක් - ඉවාන් පව්ලුෂා  පොඩි කුමාරිහාමි

මාමේ…-  ගස් ලබ්බ

ගං වතුර...-විදානේ ගේ **දානේ...

සමාජ සේවය පිණිසයි - වැව් ඉස්මත්ත

කුඩ්ඩා ගේ සොහොන | Grave of the Umbrella Repairman

පද්මිනීට ලියුමක්.- බීට්ල් ලියන අකුරු

මාරුව...!-බිත්තිය -පැතුම් හේරත්


නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති  බ්ලොග් - දේශපාලන


ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.