Wednesday, 29 June 2016

අසරණ වූ කැමරන් පරාජය කෝබින් පිටින් අරී - හොරු රැලකට එරෙහිව කෝබින්

සැබැවින්ම අස් විය යුත්තේ කවුද? 

 කොන්සර්වටිව් පක්ෂයේ යුරෝපා සංගමයට විරුද්ධ වුවන් සැනහීමට හා ජාතිවාදී ෆරාජ් වැන්නවුන් ගෙන් එන තර්ජන වලින් බේරීමට ජන මත විචාරණයක් පවත්වන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් 2013 දී පොරොන්දුවක් දුන්නේය. මේ පොරොන්දුවට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සහය දැක්වූයේ නැත. ඩේවිඩ් කැමරන් දෙවන වරටත්  එඩ් මිලිබෑන්ඩ් මෙහෙයවූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පරදවා බලයට පත් වූයේද යුරෝපිය බිල්ලා පෙන්වූ මන්ත්‍රීවරුනට නිදහසේ මැතිවරණ කතා කීමට නිදහස් දීමෙනි. යුරෝපා තනි වෙළඳපළ (Single European Market -ESM)  තබා ගෙන සංක්‍රමණිකයන් අඩු කරන බවට ඉටු කළ නොහැකි පොරොන්දුක් ද ඔහු රටට දුනි. එසේම සහනාධාර අඩු කරන බවටද පොරොන්දු විනි.

මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ යුරෝපා සංගමයේ නායකයන් සමග සාකච්චා වලදී අගමැති කැමරන් දිනා ගත්තේ ඉල්ලීම් කිහිපයක් පමණි. ඒ සහනාධාර රටට පැමිණි ගමන් එකවර  නොදී,  රැකියා කරන යුරෝපීය සංක්‍රමණිකයන්ට රැකියාව නැති වූ විට පමණක් සහනාධාර  ලබා දීමටය. එසේම ඔවුන් ගේ ළමයින්ට දෙන සහනධාරය නොදීමටද එකඟ විනි. යුරෝපීය නිදහස් සංක්‍රමණය ඉවත් කිරීමට මේ අනිකුත් යුරෝපිය රටවල් එකඟ නොවිණි.

මේ තත්වය යටතේ පැවති ජනමත  විචාරණය නිදහස් එකක් වුනි. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ හා කොන්සර්වටිව් පක්ෂයේ සාමාජිකයන්ට නිදහසේ ඕනෑම පිලකට බැඳීමට අවසර දී තිබුණි. නමුත් යුරෝපීය නිලධාරිවාදය නිතර විවේචනය කල කම්කරු පක්ෂයේ නව නායක ජෙරෙමි කෝබින් ට පක්ෂ මතයට සහය දීමට සිදු වුනි.  කම්කරු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ට සහය පල කළහ. කැමරන් ගේ කොන්සර්වටිව් පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු බොරිස් ජොන්සන් සමග යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට චන්දය දුන්හ.

ජෙරෙමි  කෝබින් අවංකවම කිවේ තමන් දහයෙන් හතක් 7/10 යුරෝපා සංගමයට කැමති බවත් නමුත් ඔවුන් කරන මුදල් නාස්තිය හා  නිලධාරිවාදී ක්‍රියා අඩු කල යුතු බවත්ය. එය නිවැරදි ස්ථාවරයකි.

යුරෝපා සංගමය පිලිබඳ චන්දයේදී බොහෝ කොන්සර්වටිව් පාක්ෂිකයන් ඉවත්ව යාමට චන්දය ප්‍රකාශ කල අතර බහුතරයක් කම්කරු පක්ෂ සාමාජිකයන් යුරෝපා සංගමය සමග සිටීමට සහය පල කළහ. මෙය වෙනස් වූයේ  සන්දර්ලන්ඩ් වැනි කම්කරු පක්ෂ අසනවලය. එයට හේතුව ඒවායේ කැමරන්ගේ සහනාධාර කප්පාදුවට හසුවුණු බොහෝ කම්කරු පක්ෂ හිතවාදීන් සිටීමය.

මේ නිසා මේ ජන මත විචාරණය පැරදීම මත ඉල්ලා අස් වන්නේ නම් අස්විය යුත්තේ කැමරන් මිස කෝබින්  නොවේ.

කෝබින් නායකත්ව  සටන ගිය අවුරුද්දේ ජය ගත්තේ කෙසේද?

කොන්සර්වටිව් පක්ෂයේ නායකයා පත් කෙරෙන්නේ මන්ත්‍රී වරුන්ගේ චන්දයෙනි. ඒ නිසා මන්ත්‍රීවරුන් නායකයාට ඉල්ලා අස්  වන්නට කිවහොත් ඔහු ඉල්ලා  අස් විය යුතුය. කම්කරු හෙවත් ලේබර් පක්ෂයේ එසේ නොවේ. එහි වෘත්තීය සමිති වලට හා මන්ත්‍රීන්ට චන්දයන් හිමිව තිබුණි. වෘත්තීය සමිති  සාමාජිකයන් ගේ බහුතර ඡන්දය  නොලැබෙන කිසිවකු දිනුවේ  නැත. ලේබර් පක්ෂයේ එඩ්  මිලිබෑන්ඩ් මේ නීති 2010 දී වෙනස් කළේය.  එනම් £3 ගෙවා පක්ෂ සාමාජිකත්වය ගන්නා ඕනෑම අයෙකුට චන්දය දිය හැකි බවයි. වෘත්තීය සමිති  හා මන්ත්‍රීන්ට ද සමාන චන්දයක් හිමි විනි.

පසුගිය වසරේ මැයි මස අට පැවති  චන්දයෙන් මුළු සාමාජිකත්වයෙන් 59.1% හෙවත් 251,417 ක් ලබා කොබින් මුල් තැන ගති.  දෙවැනි තැනට පත්වූ ඇන්ඩි බන්හම් ගත්තේ 19%කි. කෝබින්ට ඉල්ලා අස්  වෙන්නට කියන කූපර් ගත්තේ 17% කි. බ්ලෙයාර් වාදී ලිස් කෙන්ඩොල් ගත්තේ 4.5% කි. එනම් චන්ද හාරලක්ෂයකින් දහඅට දහසක් වැනි සුළු සංඛ්‍යාවකි. මන්ත්‍රීන් 172 දෙනෙකු ඉල්ලා අස් වෙන්නට කියන්නේ මෙවැන්නෙකුටය.

එසේ නම් සියලුම මාධ්‍ය හා මන්ත්‍රීන් කෝබින්ට එරෙහි ඇයි?

මෙයට බොහෝ දුරට හේතුවක් වන්නට තිබෙන්නේ චිල්කොට් වාර්තාවයි. හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍යය ඉරක යුද්ධයට කැඳවා  ගෙන ගියේ සදාම් හුසේන් මිනිසුන් සමුල ඝාතන කිරීමට අවි නිපයා ඇතැයි අමුලික බොරුවක් කියමිනි. එයට ඔහු වරද කරුවකු  කර තිබෙන  මේ වාර්තාව එලියට එන්නේ ජුලි 6 දාය. මේ අනුව ඉරාක  යුද්ධයට සහය දුන් සියලු මන්ත්‍රීවරුන් යුද අපරාධයකට වැරදි කරුවන් වෙයි.  ඉහත 172න්  අතර බහුතරය එවැනි අයයි. කොටින්ම මේ කැරකෙන්නේ ටෝනි ගේ  සල්ලිය.

ලෝකයේ වෙනත් රටවල යුධ අපරාධකරුවන් අල්ලා  පරසක්වළ ගැසීමට කතා කරන යුරෝපීයයන් තමන් ගේ අයෙකුට එවැනි චෝදනාවක් එනවිට සැරසෙන්නේ මෙසේය.
ජෙරෙමි කොබින් සෑම යුද්ධයකටම විරුද්ධ වූවෙකි. ඔහු ලංකාවේ යුද්ධයට මෙන්ම , ඉරාක යුද්ධය ට ද සිරියාවේ බෝම්බ දැමීමටද විරුද්ධ වූ අයෙකි. අද කෝබින්ට එරෙහිව චන්දය දුන් මන්ත්‍රීන් 172 න්  වැඩි දෙනා  ඉරාකයට පහර දීමට අත්  එසවූ යයි. චිල්කොට් වාර්තාවට ඔවුන් බිය වන්නේ එය එලියට ආ  පසු ඔවුන් පක්ෂයෙන් එළවා දැමීමට අවශ්‍ය නම් කොබින්ට හැකි බැවිනි.

ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත් වීමට සහය නොදුන් අයෙකි. නමුත් යුරෝපය ට පක්ෂව ඔහුගේ ඉදිරිපත් වීමෙන් සිදු වුයේ  කම්කරු පාක්ෂිකයන් අතිශයින් අප්‍රිය කරන තැනැත්තෙක් වූ ඔහු නිසා ජනමත විචාරණයේදී  තවත් චන්ද අඩු වීමයි.

අවසන් වශයෙන් ඇසීය  යුත්තේ බහුතර සාමාජිකයන් ගේ චන්දයෙන් පත් වූ
නායකයෙකු කැමරන් කිවූ පලියට, මන්ත්රිලා 172 කියූ පලියට අස්  වුනේ නැත්නම් ඒකාධිපතියෙකු වන්නේ කෙසේද යන්නයි.  ඔහු නැවතත් ඡන්දයකට සුදානම්ය. ඒකාධිපතියන් චන්ද වලට අකමැතිය.





Friday, 24 June 2016

"පොල්කට්ටෙන් එපිටට " පොත ගැන පුංචි විචාරයක්

දෙතුන් දෙනෙක්ගෙන් මට විචාර කිහිපයක් ලැබුන.  හැබැයි ලියවිල්ලක් හැටියට ලැබුනේ මේක විතරයි.

පොල් කට්ටෙන් එපිටට හෙවත් කැස්බෑවා දුටු මාලුන් නොදුටු ලෝකය.

පොත් වලට ඒව ඇතුලෙ තියෙන දේවල්වලට මෙලෝ සම්බන්ධයක් නැති නම් වැටෙන් කාලේ පොල් කට්ටෙන් එපිටට. නම කියවපු ගමන් මට මගේ ගමත් ජන වහරත් එක පාරටම හිතේ මැවුන. මමත් දුශ්කර කටුක ගමකින් කොලඹ හරහා ලන්ඩනයට පැමිනි උභය ජීවියෙක්. ඒනිසයි පොතේ ඇතුලාන්තයම එහි නමෙන් මට හැඟෙන්න ඇත්තේ. අපේ ගමේ ගෙවල් වලට නිතරම ගෙම්බො අමුත්තො හැටියට කඩා වදිනව. මෙහෙම එන ගෙම්බො නිදහස් වෙලාවකට එලියට ගිහින් දාන්න බලාගෙන පොල්කට්ටකින් වහල බරක් තියනව. මෙහෙම වැහුන ගෙම්බගෙ ලෝකෙ පරන ලෝකෙටත් වඩා පුන්චි වෙනව. මේ නිසයි අපේ ගැමි වහරේ 'ලින් මැඩිය වගෙ' එහෙමත් නැත්නම් පොල්කාට්ටෙන් වහපු ගෙම්බ වගේ' 'ගෙම්බ ගෙයින් එලියට විසි කරා වගේ', 'වැහි කලු මතුවෙන කොට බකබක ගාන ගෙම්බො වගේ' යන මේ කී නොකී උපහැරන තියෙන්නේ. මෙබඳු ජනශෘති මූලාශ්‍ර  මත පිහිටා හිතන කොටම රචකයා අපට කියන්න යන දේ ගැන අපුරු ඉඟි සපයනවා. 

රසිකයෙක් විදිහට මට රචකය පොල්කටුව ඇර පෙන්වූ ලෝකය හරියටම අපේ ගමේ බාසවෙන් කිවුවොත් 'අර ගොඩට ගිය කැස්බෑවා මූදෙ යාලු මාලුවන්ට ගොඩබිම ගැන විස්තර කිරීම' වගේ. අපි මුලු තරුන කාලයම සමාජවාදය වෙනුවෙන් සටන් කලත් ලෝකයේ මුල්ම කමකරු පලනයක් ඇතිකල සෝවියට් සන්ගමය වගේම පැරනි නැගෙනහිර යුරෝපය පිලිබඳ කතුවරයා අප සමග බෙදා ගන්නා අත්දැකීම් හරිම අපුරුයි.මට මේ පොත ජිවිත කාලයෙන් අවුරුදු කීපයක් ඉතිරි කරල දුන්න වගේ හැඟුන. ඒ කතුවරයා කියන ජීවන අත්දැක්කිම මට නැවත නොලැබිය යුතු නිසා. පොත් නැති ලෝකයක් තුල මනුශ්‍යයන්ට දුක්ම ගෙන අවුරැදු දහස් ගනක් ජීවත් වෙන්න වේවි. කොහොම වුනත් අපට පොල් කට්ටෙන් එලිය පෙන්වීම හොඳ කුශල කර්මයක්. ස්තුතියි අජිත්....!

Nandana Weerarathne
Documentary Film Maker/Writer
Formerly Stringer and Producer for BBC World Service's Sinhala Service, London

Thursday, 16 June 2016

තාරකා ඡායාරූපකරණය

තාරකා නිරීක්ෂණය ඡායාරුප ගැනීම සඳහා  හොඳ වෙබ් අඩවියක්  තිබෙනවා. එය නිර්මාණය කර ඇත්තේ නිශාන්ත කරුණාරත්නයි. මගේ බ්ලොගයට ඔහු ප්‍රතිචාරයක්  මිට බොහෝ දිනකට කලින් දමා තිබුනත් මට එහි යන්නට හැකි වුනේ නැහැ නෙළුම් යාය සම්මාන උලෙළේ කටයුතු නිසා. මේ දින ටිකේ මගේ අනිත් විනෝදාංශය වන තාරකා නිරීක්ෂණය පිලිබඳ ටිකක් හිත යොමු කලා නැවතත්.

 ඒ නිසාම මම නැවතත් නිශාන්තගේ වෙබ් අඩවියට ගියා.  එහි ආධුනිකයෙකුට අවශ්‍ය  බොහෝ විස්තර සමුහයක් තිබෙන අතර ඉහත පින්තුරය රැගෙන තිබෙන්නේත් නිශාන්ත විසින්මයි.  ඔහුගේ ඡායාරූප බොහොමයක් උසස් තත්වයේ.  බ්‍රහස්පති ග්‍රහයාගේ ඡායාරුප රැගෙන තිබෙන්නේ අඟල් අටේ  සෙලස්ට්‍රෝන් දුරදක්නයකින්.

ඔහුගේ වෙබ් අඩවියේ තාරක නිරීක්ෂණය හා ඡායාරුප ගැනීමට වැඩිදුර විස්තර සඳහා වෙනත් වෙබ් අඩවිවල විස්තරද බොහොමයක් සඳහන් වෙනවා.

මෙහි දක්වා ඇති සඳේ ඡායාරුපය විශිෂ්ටයි කියා මට සිතේ.

එසේම ඔහු ආධුනිකයන් සඳහා මුදල් අය කරන පන්තිද  පවත්වනවා.

ඔහුගේ වෙබ් අඩවියට   යොමුව  මෙතැනිනි.

Tuesday, 14 June 2016

නන්දන මාරසිංහ ගේ මරණය

ලඟකදී මාද  සම්බන්ධ වූ කතා බහකදී 1989 දී රජයට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසින් මරා දමා  හිස පමණක් වැටක  ගසා තිබු ඉතා අනුවේදනීය සිද්ධියක් ගැන සිහිපත් වීමක් කෙරුණි. එම කතාව  ඉතා ශෝකජනකය. කතාව පැවසූ මිතුරා ද හැඟුම්  බර වුනු බව පෙනුනි.

ඒ  එසේ වුවද 1987-1990 කාලය තුල ජවිපෙ නැවතත් කලේ නරෝද්නික් වාදී දේශපාලන ත්‍රස්තවාදයක් බව මම එදත් අදත් දැරූ  මතයයි. මෙය ජවිපෙ සාමාජිකයන්ගේ මුහුණටම පැවසීම ට 1987 දී මට ශක්තියක් තිබුණි.  නරෝද්නිකවාදී ත්‍රස්ත කියා හා ජනතා අරගල යනු එකක් නොව දෙකක් බව මුලින්ම කියා දුන්නේ ඔවුන් අනුගමනය කරනවා යයි කියන ලෙනින් මය. ලෙනින් තමන්ගේ සහෝදරයා විසින් කරන ලද සාර්  රජුට බෝම්බ ගැසීම වෙනුවට නරෝද්නික් වාදයේ තිබු ජනතා විරෝධතා පමණක් තෝරා ගත්තේ ඇයිද යන්න සුළු කාලයක් පමණක් රුසියාවේ සිටි විජේවීර නොදැන සිටියා වත්ද?

මට මෙය සිහිවුනේ  සමහරුන් තමන්ව මිනීමරුවන් ලෙස හඳුන්වන්නේ ඇයිදැයි ජවිපෙ හා ඉන් ඉවත්ව ගිය හිතවතුන්ට අදත් ප්‍රශ්නයක් වන හෙයිනි.

කලාත්මක මෙන්ම නිර්භීත  චරිතයක් වූ නන්දන මාරසිංහ ගේ මරණය මට ඉමහත් ශෝකයක් දැනවූ සිදුවීමක් විය. මේ වැරැද්ද නිවැරදි කිරීමක් ගැන මම ජවිපෙන් වෙන්වී ගිය පක්ෂයක සාමාජිකයෙකු ගෙන් වරක් විමසුවෙමි. ඔහු නන්දන මාරසිංහ කරන ලදැයි කියන ද්‍රෝහී ක්‍රියා කිහිපයක් ගැන මට පැවසීය. ආණ්ඩුවට ඔත්තු සැපයීමේ චෝදනාවක්ද ඒ අතර විය. මා ඔහුගෙන් ඇසුවේ ඒවා ඔප්පු කිරීමට ඔහුට හැකිද සහ ඒවා මිනිසකු මරා දැමීමට තරම් බරපතල ඒවා ද කියායි. සමහරවිට මරා නොදැමිය යුතුව තිබූ බව පමණක් ඔහු කිසියම් උදාසීන බවකින්  පැවසිය.

මේ සියල්ල නැවත මතක් වුයේ මේ ලිපිය නිසාය. 71 කැරැල්ලේ කළු රන්ජි කියන කතාවක් මෙහි ඇත.

ඒ සංවේදී මිනිසා  ගැන රන්ජි  කියන්නේ මෙසේය.

"නන්දනව මරන්නෙ ඇයි?
87 විතර කාලේ මාරෙව කෙලීව අපි ඔක්කොම මරන්න ජේ.වී.පී. එක තීරණය කරලා තිබුණේ. අපිට එළියේ යම් හයියක් තිබුණු එක ජේ.වී.පී. එකට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒකෙනුත් මාරෙ විශේෂයි. මාරෙට අනතුරක් තියෙනවා කියලා දැනගත්තම කෙලීයි මමයි මාරෙව කොළඹ ගෙන්න ගන්න උත්සාහ කරනවා. එතකොට මාරෙ අනුරාධපුරේ හිටියෙ. මම අනුරාධපුරේ ගිහින් මාරෙ හම්බවෙලා කියනවා කොහොමහරි උඹව රට යවන්නම් කියලා. මම එතකොට මැලිබන් හන්දියේ කඩයක් කළා ඉලෙක්ට්‍රික්  බඩු විකුණන. මම ඒ බඩු ටික ඔක්කොම විකුණලා මාරෙව රට යවන්න හැදුවේ. මාරෙ ඒකට කැමැති වුණේ නෑ. එතකොට මාරෙ සෙරෙප්පු බිස්නස් එකක් කළා. මාරෙ කිව්වා සුමාන දෙකකින් විතර කොළඹ එන්නම් කියලා. හරියටම මාරෙ කොළඹ එනවා කියපු දවසෙ තමයි අනුරාධපුර පොළේදී වෙඩි තියලා මැරුවේ.

මාරෙ මට දවසක් කියනවා, ගාල්ලේ ගුරුවරයෙක් ඉන්නවා. එයා කොළඹ ගෙන්නලා කාමරයක් දීලා එයාට ලියන්න කියන්න පහසුකම් හදලා දෙන්න ඕන කියලා. පඩියක් දෙන්න විදියකුත් ලෑස්ති කරන්න ඕන කියලා කියනවා. මොකද එයා කවි සින්දු එහෙම ලියන කෙනෙක් කියලා මාරෙ මට කියනවා. මාත් ඒක බාරගන්නවා කරමු කියලා. ඒත් මාරෙ ඊට කලින් මැරෙනවා. ඒ ගාල්ලෙ ඉඳලා කොළඹ ගෙන්නමු කියපු කවි සින්දු ලියපු ගුරුවරයා තමයි රත්න ශ්‍රී විජේසිංහ. මාරෙ මැරුණට පස්සෙ මම මේක රත්නශ්‍රීට කිව්වම රත්නෙ ඇඬුවා. මාරෙ ඒ වගේ තමයි මිනිස්සුන්ට ආදරේ කළේ."

නන්දන මාරසිංහ ගැන ලියූ බ්ලොග් පොස්ටුවක් මෙහි ඇත. මේ බ්ලොගය කිසියම් හේතුවකින් දැන් ලියැවෙන්නේ නැත.

ඉහත රත්න ශ්‍රී විජේසිංහ ගේ කව උපුටා ගත්තේ මේ බ්ලොග් අඩවියෙනි.

එදවස කලාව ගැන කෙරුණු සංවාද සඳහා මුලිකයෙකු වූයේ නන්දන වීරරත්නයි. නන්දන වීරරත්නලා  මහජන පුස්තකාලයේ සංවිධානය කල නිර්මාණ සංවාද කුලකයේ රැස්වීම්  වලට මා සහභාගී වුයෙමි. 1985 වැනි කාලයක නන්දන වීරරත්න  ජවිපෙන් ඉවත් වුනු බව මට පැවසීය.

මට නැවතත් නන්දන මුණ ගැසුනේ ලන්ඩනයේ අගෝරා කලා කවයේ රැස්වීමකදීය.   පසුගිය දිනෙක ඔහුත් සමග නැවතත් කල දීර්ඝ කතා බහකදී අපට නැවතත් නන්දන මාරසිංහ සිහියට නැගුණි.

"මේ වගේ මිනිස්සු මරා කල හැකි විප්ලවය කුමක්දැයි " විජය කුමාරතුංග මාරසිංහගේ අවමගුල දා  විමසූ  බව ඉහත බ්ලොගයේ සඳහන් වේ. විජය කුමාරතුංග ද කිහිප දිනකින් ජිවිතයට සමු දුන්නේය.

අසූවේ වර්ජනයට සහභාගී වුන ගුරු මහතෙකු විය. ඔහු නව සම සමාජ පක්ෂයට සම්බන්ධව දේශපාලනය කළේය. ජවිපෙට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා  එවකට පැවති  රජය ආයුධ  බෙදා දුන් අවස්ථාවේ ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේය.   කිසිදා දුෂිතයෙකු නොවූ සැබෑ මානව හිතවාදියෙකු වූ මේ ගුරු මහතාගේ පුත්‍රයා  මගේ හා නන්දන වීරරත්න ගේ යහළුවෙකි. ඔහුගේ පියා මරා  දැමුනු  පසු අවමගුලට සහභාගී වීමට ඔහු මොස්කව් පැමිණ  ශ්‍රී ලංකාවට  ගිය දිනයේ මමද ශේරෙමිතොවා   ගුවන් තොටුපලට ගියෙමි. පියතුමාගේ ගේ දෙන පොළොවෙන් අඩි කිහිපයකට වඩා උසට ගෙන නොයෑමට නීතියක් ද පනවා තිබුණි. මා දන්නා පරිදි මගේ මිත්‍රයා   එය නොසලකා හැර තම පියාගේ දෙන ඉහළින් ඔසවාගෙන ගියේය. පියාගේ මරණයෙන් පසු ඔහු දැඩි ලෙසින් මත්පැන් පානය කරන වෙනස්ම චරිතයක් ඇත්තෙකු විය.

 ඕනෑම ගැටුමකදී මිනිසුන් මිය යති. මිනිසුන් දිවි දෙති. විප්ලවීය අවස්ථාවක මිනිසුන් මිය යෑම නොවැලැක්විය හැකි දෙයකි. කිසිවකු බලය ලෙහෙසියන් අත් නොහරින බැවිනි.  එහෙත් හිතා මතා  සැලසුම් කර මිනිසෙකුගේ දිවි තොර කිරීම මිනී මැරුමකි. එය කරන්නේ දේශපාලන අරමුණක් උදෙසා නම් එය දේශපාලන ත්‍රස්තවාදයකි. මේ ක්‍රම දෙකෙන්ම වන්නේ මිනිසුන්ගේ විමුක්තිය පිලිබඳ සිතුම් පැතුම්  අගරු කොට ඒවා විනාශ කර දැමීමයි.

මෙහිදී කිසිවිටෙක ඒ සමයේ සිදුවුනු  පැහැරගැනීම්, අහිංසකයන්ගේ ඝාතන හෝ  මුදා හැරුණු රාජ්‍ය භිෂණය සාධාරනීකරණයක් නොකෙරේ. බොහෝ තරුණ තරුණියන්  වධකාගාර වල දරුණු වධ විඳි බවත් මරා  දැමුණු බවත්  මම දනිමි. ඒ දරුණු මර්දනයට ද සමාවක් දිය නොහැකිය. එහෙත්  ඒ රාජ්‍ය භීෂණයට කලින් ආ පක්ෂ භිෂණය බොහෝ විට අමතක කෙරේ.

  දෙමළ  විමුක්ති ව්‍යාපාරය තමන් සතු කරගත් වේළු පිල්ලේ  ප්‍රභාකරන් වරක් තමන්ගේ සහෝදරයන් මෙන් සිටි වෙනත් සන්නද්ධ ව්‍යාපාරයක (TELO)  සගයන් එක් දිනකදී පන්සීයකට වැඩි ප්‍රමාණයක් මරා  දැම්මුවේය.

ප්‍රභාකරන් ගේ ඉරණම එලෙසින්ම විසඳෙන බව මම වරක් කොටි සංවිධානයට හිතැති නීතිඥ මහතෙකුට  පැවසුවෙමි. ඒ කොටි  සංවිධානය ලන්ඩනයේ සැණකෙළි  කෙළි කාලයකය. ඔහු මා සමග එදා එකඟ නොවුනත් පසුගිය අවුරුද්දේ ඔහු නැවත  හමුවූ වෙලේ ඔහු එය සිහිපත් කළේය.  මා  අනාවැකි කියන්නෙක් යයි ඔහුගේ බිරිය පැවසුවාය.  දේශපාලනය ගැන ඉගෙනීම හා කියවීම්  වැදගත් වන්නේ ඒ නිසා යැයි මා ඇයට පැවසුවෙමි. ඒවා අනාවැකි නොවේ.


ලංකානිව්ස්වෙබ් ලිපිය:  http://sinhala.lankanewsweb.net/interviews/item/4296-71
කවිය උපුටා ගැනීම: nandana-marasinghe-fallen-bird

Thursday, 9 June 2016

එට්කා ව එළවමු. ඉන්දියානුවන් පන්නමු

මට හදිසියේම ජන මාධ්‍යවේදියෙකු ලෙස රැකියාවක් ලැබුණි. මේ දිනවල ලංකාව  පුරාමත් සිරි ලාංකිකයන් ජිවත් වන ලෝකයේ සෑම රටකමත් පැන නගින අසාමාන්‍ය ආකාරයේ මහා උද්ඝෝෂණ පිළිබඳව වාර්තා කිරීමට  මගේ පුවත් පත් ආයතනය මා යැවීය.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් දිගින් දිගටම පෙළපාලි යමින් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා  සිටින්නේ  ඔවුන් සියල්ලන්ම ශ්‍රී ලංකාවට යවන ලෙසයි. ශ්‍රී ලංකාවෙන් ගුවන් යානා හා බෝට්ටු වලට බලයෙන් පටවා  ගෙන ඔස්ට්‍රේලියාවට ගෙන ඒම හා රැකියා අවස්ථා ලබාදීමෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට කළ අසාධාරණයට එරෙහිවය ඒ.  විශේෂයෙන්ම ආදිවාසී අබෝරිජින් වරුන්ට වෙන අසාධාරණය ගැන හැඬු කඳුලින් මට පැහැදිලි කල පෙළපාලි කරුවෝ තමන්ව ලංකාවට යවන තුරුම  දිගින් දිගටම උද්ඝෝෂණවල හා උපවාසයේ යෙදෙන බව පැවසූහ.

ඕස්ට්‍රේලියාවේ සිටින ජවිපෙ හා පෙසප නියෝජිතයන් දෙදෙනෙකුද යුඇන්පී හා සිරි ලංකා වරුන් අතර සිටිනු දුටු මම ඔවුන්ට කිට්ටු කලෙමි.
"කට්ටිය දැන් එකට වැඩද?"
"ඒකනේ. අපි සම්පුර්ණයෙන් එකඟයි. හැමෝම ලංකාවට යන්න. අපි ඕස්ට්‍රේලියන් කම්කරුවන්ගේ අයිතීන් සුරකින්න ඕනේ. මෙහේ වැඩ කරන එක සම්පුර්ණයෙන්ම වැරදියි. ඕස්ට්‍රේලියන් කම්කරු රස්සා අපි පැහැර ගන්න එක හොඳ නැහැ. අඩු පඩියට අපිව සූරා කන්න දෙන ගමන් උන්ගේ  රස්සාත් නැති කරන එක කොච්චර වැරදිද? "
"ඒක ඇත්ත. ඒක ඇත්ත"
ඔවුන්ට සුභ පතා අල්ලපු වත්තේ නවසීලන්තයට ගියෙමි. වෙලිංටන් පැත්තේ ලංකාවට එන්න බලන ප්රෝෆෙසනල්ලා හෝ ගාලාය. දොස්තර මල්ලි කෙනෙකුට කතා කෙරුවෙමි.
"දොස්තර මහත්මයා , මොකද ආපහු යන්න හදන්නේ "
"හරි නෑනේ,  අජිත්. අපි නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන මෙහෙ ආවහම එහෙ දොස්තරලා අඩු වෙනවනේ. ඔය අයිටම් බයිටම් කියල හොර ඒවා දාන්නෙත් දොස්තරලා අඩු නිසානේ. අපි ගියහම ඒවත් වැහෙනවා. දොස්තරලා වැඩි වෙනවනී"
"හොඳයි හොඳයි. මට නම් අදහන්නත් බැහැ "
"මොකද බැරි. බලන්න කොපමණ හොඳ වැඩක්ද? මෙහේ හකා නටන මල්ලිලා නංගිලා ඊට පස්සේ ඉගෙන ගනීනේ. අපි ඇවිත් මේ රස්සා ගත්තම හරි යනවද"
"හොඳයි මල්ලි නියමයි."
 ඔහු සමග සෙල්ෆියක් ගසා  බුකියට දැම්මෙමි.

එතනින් කෙලින්ම ගුවන් යානයකින් පැරිසියට පැමිණියෙමි. චාල්ස් ඩි ගෝල්  ගුවන් තොටුපලේ එකම කලබලයකි.කට්ටිය ලංකාවේ වගේ. සිරි ලංකා කාරයෙක් වගේ පෙනුණු  අයෙකුට  ලං වුනෙමි.
" මේ මොකෝ හදිසියේ ඔක්කොම ලංකාවට යන්න වගේ "
"ඔව්, ඔව් මේ ඉන්දියන් හැතිකරෙන් ලංකාව  බේරා ගන්න අපි  යනවා. අනික ප්‍රංශයේ දැන් හරියට රිෆුයුජි ලා. ඒ ගොල්ලන්ට රස්සා දෙන්නවත් රස්සා නැහැ. ඇයි එතකොට ප්‍රංශේ  මිනිස්සු. අපි  වැඩි පඩියට වැඩ නොකරන නිසා අපි ගියහම උන්ට ටිකක්  වැඩි ගානට මේ රස්සාම කරන්න  පුළුවන්. "

එතැනින්ම ආපසු හැරුන මා කෙලින්ම ඉතාලියට  ගියේ එහිද මේ කලබලය ඇත්දැයි බලන්නය.
වෙරෝනාවේ තිස් දහසක් වන ශ්‍රී ලාංකිකයෝ නගර මධ්‍යයේ බස් හා දුම්රිය වලට පොර කති.  පෙසපේ සගයෙක් ජනතාව හසුරුවයි.
"මොකෝ මේ. ඔක්කොම පෙසපෙට හැරිලද? "
"නැහැ සහෝදරයා. අපට වැටහුනේ දැනුයි. අපි ඉතාලි නිර්ධන පන්ති ජනතාවගේ,  කම්කරුවන්ගේ  රස්සා අඩු පඩියට රැගෙන ඉතාලියානු නිර්ධන පන්ති විප්ලවයටත් ලොකු හානියක් නේ කරන්නේ. මේ ජනතාව තමන්ගේ කාර්යභාරය තේරුම් ගෙන යුගයේ සුවිශේෂී වූ ස්ව යුතුකම් ඉටු කිරීම සඳහා මාතෘභූමිය වෙතට පිටත් වෙනවා. අපි එහි පෙරගමන්කරුවෙකු පමණයි. "
"හරි හරි අර ජවිපෙ කට්ටියත් ඉන්නේ."
"ඒ සහෝදරවරුත් යුගයේ අවශ්‍යතාවය සාධනීය ලෙස ඉටු කිරීමට අප සමග  එකතු වී සිටිනවා."
එතැනින් මිදුණු මම රෝමයට ආවේ ගුවන් යානයක ලන්ඩන් ඒමටය. කොහෙද? ඒවා පිරි ඉතිරි ගොස්ය. සිරි ලංකා කාරයන්, ඒකාබද්ධ  විපස්ස කාරයන් එකට එකතු වී කෝපි බොති.
"රස්සාවල් දාල යනවා වගේ "
"ඔව්, ඔව් ඉපදුනු මාතෘභූමිය බේරා  ගැනීමේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය කරන්න  මෙහෙ ඉඳල පුලුවනෑ "
බොහොම අමාරුවෙන් හිත්රෝ වලට පැමිණියෙමි.
අමෙරිකාවෙන් ලංකාවට යන අයගෙන් ට්‍රාන්සිට් කෑල්ල පිරි ඉතිරි ගොසිනි. අහලා වැඩක් නැත. සියල්ලෝම ලංකාවට යන්නේ ලංකාවේ  සියලුම රස්සා වලටද? අයිටී  රස්සා වලට  විතරද කියා හිතා ගන්නට වත් බැරිය.

හිත්‍රොව් වල යුඇන්පී කාරයන් ද පිරි  සිටිති.
"දැන් ඕගොල්ලෝ සපෝර්ට් කරන්නේ නැත්ද එට්කා  එකට? "
"පිස්සු කතා කරනවද? මේ යහපාලනේ අනා ගෙනනේ තියෙන්නේ. දැන් බලන්න. චීන්නුන්ගෙන් සල්ලි ගත්ත. වරාය  හැදුව, පාරවල් හැදුව. ඔක්කොම වැඩ කලේ වැඩිපුරම චීන්නු. කවුරුත් වචනයක් වත් කීවද? ගිවිසුම් ගහල කරනවද ඕව. ඔය හොරෙන් සල්ලි ටික අරගෙන අපටත් කියක් හරි හොයාගන්න දීල ඉන්දියන් කාරයන්ට සංචාරක වීස වලින් වැඩ කරන්න කිව්වා නම් ඉවරනේ."

"ඉතින් ඔයාල ලංකාවට  යන්නේ"
"අපිටත්  ගානක් හොයා ගන්න දෙන්නේ නැත්ද කියල අහන්න "
"අනික බලන්නකෝ අර ගිය ආණ්ඩුවේත් මාටියා ගහපු ජම්පින් ඇමතිලට දීලා තියන කිරි ටොයිය කාර්  ටික. අපට තමයි මුකුත් නැත්තේ "  තව කොළ සහෝදරයෙක් මැදින් පැන කීවේය. කට්ටිය සමග සෙල්ෆියක් ගසා යන්තම් එලියට පැන්නෙමි.

පෙසපේ පොරක් ජවිපේ  පොරක් සමග අත්වැල් අල්ලා ගෙන කඩයක් දමාගෙනය. මම හෙමිහිට කිට්ටු කලෙමි.
"අහන්න දෙයක් නැහැ. ඉතාලියේදී දැන ගත්තා . එංගලන්තේ විප්ලවෙට එකතු වෙලා සහයෝගය දෙන්න නේද හදන්නේ." මම කීවෙමි.
"එංගලන්තේ විප්ලවේ කරන්න නෙමේ.  අපි ලංකාවට යනව එංගලන්තේ කම්කරුවන්ට සහ රැකියා නැති වැසියන්ට රැකියා අවස්ථා ටික නැවත ලබා දෙන්න. " පෙසපේ සහෝ කීවේය.

"දැන් අජී  බලන්න.  වැඩ කරන ජනතාව අතරේ ජාත්‍යන්තර සහයෝගයක් තියෙන්න ඕන නේ. මේ යුරෝපිය වැසියනුත් ඇවිල්ල මෙහෙ මිනිස්සුන්ගේ රැකියා කොල්ල කාල නේද. අපි ඒවා කරන්න  හොඳ  නැහැ. අපි ලංකාවට ගිහිල්ල ඔය ඉන්දීය ආක්‍රමණය වහාම නවත්වන්න ඕනේ. අපේ රස්සා අපිට." ජවිපෙ ලොකු අයියා කිවේය.
"ඉතින් ඔයාට මෙහෙ පුරවැසි භාවය නේ තියෙන්නේ " මම ඇසුවෙමි.
"මේ සහෝදරයා. නිර්ධන පන්ති ජාත්‍යන්තරය රැස්වී සිටින මේ තීරණාත්මක මොහොතේ කඩාකප්පල් කාරී කතා කියන්න එපා. ඕව ප්‍රතිගාමී වැඩ"
"අම්මට හුඩු " මට ඉබේටම කියැවුණි. ඒ නිව් සෝෂලිස්ට් එකේ ට්‍රොට්ස්කිවාදියෙකි.

හීන් සීරුවේ එතනින් ෂේප් වී හිත්රෝවේ ටර්මිනල් එකෙන් පහතට එනවිට මුණ ගැසුනේ රට ජාතිය බේරා ගැනීමට පෙළපාලි යමින්, අන්තර්ජාල සටන් කරමින් කටයුතු කල ලන්ඩනයේ  සිංහල වීර ගැන්සියේ චේතිකා ය.
"ආ චෙතිකා නංගි මේ පාරනම් ලංකාවට ඇත්තටම යන්නම වගේ නේද "
"ඔයා මට ඔලොක්කුවටමයි අනී කතාව  අයියා.  මම මේ යන අයට උදව් සංවිධානය කරනවා"
"ඔයා යන්නේ නැත්ද?"
"මම ගියොත් කවුද මේව කරන්නේ. ඕනෙම වුනොත් යනවා. අනික ඔය ඉන්දියන් කාරයන්ට විරුද්ධව උද්ඝෝෂණයක් කරලා මෙහෙනුත් එළවන්න  ඕනේ. බලන්න අර හින්දුජා ලා හෙම කොච්චර සල්ලිද මෙහෙන් හූර කන්නේ "
"මම නම් හිතුවේ උන් ඉන්දියාව හූර කනවා කියල මෙහෙට ජොබ් ටික දීලා"
"ඔයා අනී පත්තරයක් වත් කියවනවයි. ඔය බ්ලොග් හුචක්කු කියවල මොනවාද දැන ගන්න පුළුවන්. අර ෆේස් බුක් එකටවත් ගියානම් ඔයාට ඇත්ත දැන ගන්න පුළුවන් අනේ." චේතිකා පොඩි කොමලයක් දැම්මාය.
අපි නම් අහුවෙයි ඕවට.
"ඒක තමයි. ඔයා කීව  හින්ද ඇස් පෑදුන . මාත් යනවා ලංකාවට."

චේතිකා ගෙන් වැඩි ගානට එවෙලේම  මිලදී ගත්  ටිකට් පතකින් යන්තම් සිරි ලන්කන් යානයක පුට්බෝඩයේ එල්ලි කටුනායකට පැමිණියෙමි.
එතනත් කලබලය. හෙන පෝලින්ය. එන එන දේශප්‍රේමී හැමෝම අඩුම කස්ටම් පරීක්ෂාවකින් වීසා බලන්නේ වත් නැතුව ඇතුලට යවති.

වදෙන් පොරෙන් එලියට එනවිට දන්නා අඳුනන පරිගණක ක්ෂේත්‍රයේ මල්ලිලා නංගිලා ටිකක් ඇතුලට එන්න පෝලිමේය.
  "හා අයි ටී මල්ලිලා මොකෝ මේ. අපිව පිලිගන්නද?"
"පිස්සුද අයියා, මමයි කෙල්ලයි මේ ලන්ඩන් යන්න කියල. මේ යාලුවෝ ඇමෙරිකාවට. මෙයා  ඔසී වලට. අර කට්ටිය  අරහෙට .... අර ගොල්ලෝ "
"ඒ කියන්නේ ඔයාල මෙහෙන් යනවා " මම හරස් කැපුවෙමි.

"අයියා මේ චාන්ස් එක අත අරින්න පුලුවන්ද? ජොබ් ගොඩක් ඕපන් වෙලානේ ලන්ඩන් වල, ඇමෙරිකාවේ වගේ රටවල. කියක් හරි හොයා ගන්න පුළුවන්නේ. අපේ ගේත් බාගෙට හදල තියෙන්නේ  "
"මල්ලි මම හිතුවේ ඔයාලට මාර හොඳයි කියලනේ මෙහෙ. ජොබ් වලත් හොඳට  ගෙවනවා නේද? අනික් ඔය එන්න ඉන්න ඉන්දියන් කාරයන්ට එන්න නොදී ඔය ජොබ් වලම ඉන්න එපැයි"
"ඔය කිව්වට අයියේ  ඉතින් හොඳම නැහැ. ගූගල් එකේ වගේ ජොබක් සෙට් වුනොත් කොහොමද? අය්යා සිලිකන් වැලි එහෙම යන්න කාටද ආස නැත්තේ "
"මල්ලි ඉතින් ඒවායේ ගොඩක් කොම්පැනි වල චිෆ් ලා සීඊඕ ලා ඉන්දියන් කාරයෝ නේ. අප්සෙට් නැත්ද උන් යටතේ වැඩ කරන්න."
"පඩි ගෙවනවා නම් මොකක්ද අයියා ප්‍රශ්නේ. අනික මෙහෙ ජොබ් වලට දැන් ඔය පිටරට අත හැරල එන කට්ටියට යන්න පුළුවන්නේ. " මල්ලියා කිවේය.

"අනී  අය්යා අපේ ගෙදර වැඩ කාරියෙක් වත් නෑ අයියෝ. අම්මිට හරී අමාරුයි. වැඩට ගන්න කට්ටිය ඔක්කොමල්ල ඩුබායි ගිහින් නේ . ඉන්දියන් ගෑණු ටිකක් ආවොත් අපේ අම්මිටත් අඩු පඩියට කෙනෙක් ගන්න පුළුවන්." අයිටී මල්ලිගේ   අතේ එල්ලී සිටි අයිටී නංගී තොඳෙලෙට කීවාය.
"අපේ ගේ හදන්න  බාස්ල වත් නෑ අයියා. අර මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ගෙන්නුවා  වගේ ශිල්ප ටිකක් දන්න බාස් ල ටිකක් ගෙන්වන්න කියන්න. මගේ ගේ වැඩ ගොඩක් ඉතුරු වෙලා" ඇමෙරිකාවට  යන්න  බලන් ඉන්න මල්ලියා කිවේය.

"හරි මල්ලි" ඔහුට අත වනාගෙන වහා ආපසු හැරුනෙමි. මගේ ඔළුව ඇඳ  විට්ටමේ දඩාස් ගා වැදිණි. ඒ සමගම මොබයිලේ එලාමය මහා හඬින්  වැදුනේය. දුවගෙන නාන  කාමරයට ගොස් මුහුණ සෝදා හැඳ පැළඳ ගෙන උදෑසන අහර ගැනීමට කෑම මේසයේ හිඳ  ගතිමි.

බිරිඳ රූපවාහිනිය ක්‍රියාත්මක කලාය.
යුරෝපා සංගමයෙන්  ඉවත්ව යාමට සහය දෙන කණ්ඩායම තිරය මත පෙනී සිටියහ.

නාසි වාදීන් රොත්තක්ද, බොරිස්  ජොන්සන්ද, අන්ත ජාති වාදී ඉංග්‍රීසි ලීගයේ එවුන්ද ,  නාසි පෙගිඩා එවුන්ද,  බංගලි දේශ කරි හවුස් සංවිධානයද, ඉන්දියන් කාරයින්ද , ඉන්දියන් මන්තිරි ලා ද යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමේ ව්‍යාපාරයට සහය දීමට එක වේදිකාවේ ය .
" එංගලන්තයේ රස්සා බේරා  ගනු. සෞඛ්‍ය සේවය බේරා  ගනු.  සංක්‍රමණිකයන් නවත්වනු.  " ඉන්දියන් කාරයෙක් කෑ ගැසුවේය.

මම හරියටම ඇහැරිලා දායි දැන ගැනීමට කිහිප වරක් මේසයට ඔළුව  ගැසුවෙමි. බිරිඳ ඇම්බියුලන්ස් එකට අමතනවා   හීනෙන් මෙන් ඇසුනි.

Sunday, 5 June 2016

අයිත්මාතව් හැඬවූ ගම්ලතුන් ගේ ශෝකාන්තය

ගුරුගීතය චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ උපාලි ගම්ලත් මහතා විසිනි. එය නිෂ්පාදනය කිරීමේදී ඉමහත් වෙහෙසක් දරා ඇති බව පැහැදිලිය.  නේපාලයේ, ඉන්දියාවේ හා රුසියාවේ එය රූගත කළ බව වෙළඳ ප්‍රචාරණ වල සඳහන් විය. රොෂාන්  රවීන්ද්‍රගේ (දුයිෂෙන්) හා කල්පනී ජයසිංහ (අල්තිනායි) ගේ රඟපෑම් විශිෂ්ඨය. එහෙත් කිසියම් අන්දමක මළානික බවක් (මෙලන්කොලියක්) චිත්‍රපටිය බැලීමෙන් පසු මසිතේ සටහන් විය.

චිත්‍රපටිය නරඹා එද්දී අපි ඒ ගැන අදහස් හුවමාරු කර ගත්තමු. මගේ බිරිඳගේ අදහස වූයේ එය කලාත්මක බැවින් උසස් බව මුත් එය  "පළමු ගුරුතුමා - පියෙර්වී උචිතියෙල්" නමැති කෘතිය කිසියම් ආසියාතික අදහසකින් ඉදිරිපත් කර ඇති බවත්ය.  ඇය එම ග්‍රන්ථය හඳුනාගෙන තිබුනේ දේශපාලනික එකක් හැටියටය. එයට හේතුව චින්ගීස් අයිත්මාතව් පොත ලියුවේද සමාජවාදී සමාජයක් ගොඩ නැගීමට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ කර්තව්‍යයට ආධාර පිණිස බව අන්තර්ජාලයේ විචාර වල අවධාරණය කර ඇති නිසාය.

 මගේ වැඩිමහල් දියණිය පැවසුවේ  චිත්‍රපටියේ අධ්‍යක්ෂක පොතට මෙන්ම ඉහත සඳහන් කළ නළු නිලි දෙපල ටද සාධාරණයක් ඉටු කර නොමැති බවයි. මටද තරමක්
දුරට එයට එකඟ වන්නට හැකි විය. උක්ත නළු නිළි දෙපලගේ රංගන හැකියාවන්
තුලින් මිට වඩා ප්‍රබල ලෙස කතාව ඉදිරිපත් කළ හැකිව තිබුණු බව සිතේ. ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂකවරයෙකුට ප්‍රශ්න  බොහොමයක් ඇති බවත් රටවල් තුනක් පමණ සම්බන්ධ කරමින් චිත්‍රපටියක් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවන බවත් මා ඇයට  පැවසීමි.

 වයසින් ළාබාල මගේ දෙවෙනි දියණියට තිබුනේ වෙනත් ප්‍රශ්නයකි. "අර ගැහැණු ළමයා හැම තිස්සේම අඬන්නේ මන්ද " යන්න ඇගේ ප්‍රශ්නය විය.  අල්තිනායි පැහැර   ගෙන ගොස් බලෙන් අඹු කමට ගත්  දිනට පසු හඬා වැළපීම ඔවුන්ට සාධාරනීකරණය කළ හැකි වුනත් චිත්‍රපටිය පුරා  ගලා යන ඇයගේ හැඩීම ශෝකාලාපයක් බවට පෙරලී  ඇති බවට ඔවුන්ගේ අදහසට මට ද එකඟ නොවී සිටීමට නොහැකිය.

සම්මාන දිනූ වාර්තා චිත්‍රපටයකින් සිනමාකරණයට පිවිසෙන උපාලි ගම්ලතුන්ගේ මේ කුළුඳුල්  වෑයම අප අගය කළ යුතුය. විවේචනයක් ඉදිරිපත් කිරීම යම් විටෙක පහසු දෙයක් වුවත් චිත්‍රපටියක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.  චිත්‍රපටියේ ඉතා ප්‍රබල දර්ශන කිහිපයක්ම තිබේ. අල්තීනා ගේ අකාරුණික නැන්දනිය ලෙස රඟපාන නිළියගේ රඟපෑම සහය නිළියක වශයෙන් විශිෂ්ඨය. නමුත් ඇයගේ ස්වාමි පුරුෂයා ගේ රඟපෑම බොහෝවිට ඉතා ආධුනික විලාසයක් ගනී. මෙවන් චරිත කිහිපයක්ම තිබෙන අතර ඒ රඟපෑම් නළු නිළියන්ගේ නොහැකියාවන් ටත්  වඩා අධ්‍යක්ෂක වරයාගේ නොසැලකිලිමත් වීම යයි සිතේ.

චිත්‍රපටියේ ආරම්භය ශ්‍රී ලංකාවේ දී රූප ගත කර ඇත. මුල් පොතේ දැක්වෙන පරිදි අල්තිනායි ගේ ගමට පැමිණෙන එම ගමේම උපන් ප්‍රසිද්ධ සිත්තරා වෙනුවට චිත්‍රපටියේ සිටින්නේ අසේල නමැති පියානෝ වාදකයෙකි. දර්ශනවාදය පිලිබඳ මොස්කව් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරියක වන අල්තිනා සුලෙයිමානොවා වෙනුවට චිත්‍රපටියේ සිටින්නේ සංගීත ගුරුවරියකි.  මේ වෙනස්කම් ප්‍රශ්නයක් නැත. පොතේ විධිහටම
කතාව ලියන්නට අවශ්‍යද නැත. නමුත් ශ්‍රී ලංකාවේ  කතාවෙන් එක්වරම පරණ රුසියාවේ දර්ශනයකට කතාව පිවිසෙයි. පසුව නැවතත් වර්තමානය ලංකාවේ ලෙස වෙනස් වේ.  එහි සංගීත පාසලේ අධ්‍යක්ෂක ලැප්ටොප් පරිගණකයක් වසනු රූප රාමුවක දැක්වෙතියි මගේ දියණිය පැවසුවාය.

එසේම පරණ ගල් අඟුරු දුම්රියේ කොන්දොස්තර ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ ඉන්දියාවේ සිටි කොන්දොස්තර වරයෙකුගේ නිල ඇඳුමෙන් සැරසී සිටියේය. අල්තිනායි දුම්රිය පළේදී හමුවන අනිත් සිසුන් අසල නවීන වර්ගයේ ඇඳුම්  ගෙනියන බෑග තිබුණි. පැරණි රුසියාවේ දුප්පත් මිනිසුන් බඩු  ගෙනිච්චේ බැඳගත් පෙට්ටි වලය.

මේ කොටස් සියල්ල මදක් ව්‍යාකුල සහගතය.  ලංකාවේ සිදුවන ආකාරයට ලිව්වා නම් නාමයන් සියල්ල එසේ වෙනස් කල හැකිව තිබුණි. හයිබ්‍රිඩ් වර්ගයේ ලංකාවේ නම් සහිත වර්තමානයකුත් රුසියානු නම් සහිත අතීතයකුත් කතාවේ නිර්මාණය කර තිබේ.

චිත්‍රපටියේ තැන්  කිහිපයකම අල්තිනායි හඬන්නීය.  මුල් කතාවේ එවන් තැන්  දෙක තුනක්  තිබුනද පැය  එකහමාරක සිනමා නිර්මාණයකට  ඒ සියල්ල අවශ්‍ය  නැත. සිනමා නිර්මාණයේ හඬන අවස්ථා වැඩිය. එයින්ම මේ කතාව, ප්‍රේමයේ වියෝගය,  විරහ වේදනාව,  සුන්දර එහෙත් අමතක කරන ලද ආසියානු ආදර කතාවක්  බවට අධ්‍යක්ෂක වරයා පරිවර්තනය කර තිබේ.  ඒ අනුව සංගීත අධ්‍යක්ෂක වරයා විසින් යෙදූ  ඉතා පියකරු කිර්ගිසියානු පන්නයේ ගීතය වෙනුවට වික්ටර් රත්නායක ගේ "දෛවයෝගයකින් නොවේදෝ" ගීතය පසුබිම් ගායනයට වඩාත් ගැලපේ. නෝ මෝර් මාක්ස් නමැති බ්ලොග්කරු ලාංකීය සමාජයේ පසුගාමීත්වය යනුවන් අදහස් කළේ මේ පරිවර්තන කරන ලද කතාව විය යුතුය.  ලංකාවේ ඒ දිනවල පළවූ "කුමරි" පත්‍රය හා "තරුණයා " පත්‍රය කියවන ප්‍රේමවන්තයන් ඉලක්ක කොටගත් කෙටි කතා හා නවකතා වල මේ හැඩිම්, වැළපීම් නම් සුලබය.

මාත් මෙවැනි කතා කිහිපයක්ම මගේ බ්ලොගයේ මේ දිනවල ලියන්නේ අනිවාර්යයෙන්ම ඒවා හිට් වේ යයි සිතමිනි.

මා දන්නා අයිත්මාතව් ගේ ගුරු ගීතය ලිව්වේ 1962 දීය (ලෙනින් ත්‍යාගය ලැබුණු) . ඒද ලෙනින් විප්ලවය කර බොහෝ කලකට පසුය.  අයිත්මාතව් ගේ පියා, ටොර්කුල් විප්ලවයට තම දිවිය කැප කළ මුල් කොමියුනිස්ට් වාදියෙකි.  ටොර්කුල් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස ඉතා පසුගාමී කිර්ගිස්ථානයේ දියුණුවට වැඩ කරද්දී  ස්ටාලින් ගේ දරුණු එන්කවද රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නේ "සුළු ධනේෂ්වර ජාතිවාදියෙකු" ලෙස චෝදනා කරමිනි. 1937 දී "ද්‍රෝහියෙකු" ලෙස බොරුවට හංවඩු ගසා ඔහුව මරා දැමිණි.

ඔහුගේ පියාට ආදරය කළ මිනිසුන් චින්ගීස් පුතා අනාථ කලේ නැත. අයිත්මාතව්, කෘෂෙව් ගේ ප්‍රතිසංසස් කරණ කාලයේදී සියලු "ස්ටාලින්ගේ ද්‍රෝහීන් හා පවුල් " පුනරුත්ථාපනය කිරීමෙන් පසු  මොස්කව් ගෝර්කි සාහිත්‍ය විශ්ව විද්‍යාල මණ්ඩපයට ඇතුලත් වුනි.

තමන්ගේ ජිවිතයේ අඳුරු කාලය  සෝවියට් ක්‍රමයේ වරදක් නොව මිනිසුන් ගේ ස්වභාවික හැසිරීමේ වරදක් ලෙස දුටු අයිත්මාතව් සෝවියට් හා කිර්ගිස් සමාජයේ දුර්වලතා, මිනිසුන්ගේ දෝෂ සහගත හැසිරීම් සෝවියට් ක්‍රමයේ ප්‍රගමනයේදී වෙනස් වනු  ඇති  බවට අවංකවම විශ්වාස කළේය.  ගුරු ගීතය ඒ විශ්වාසය මතම ලියූ කතාවකි.

"පළමු ගුරුවරයා " ලෙස චින්ගීස්  නම් කල කතාවේ දුයිෂෙන් වැඩි උගත්තකු නොවූවත් කොමියුනිස්ට් පක්ෂයේ නියෝගය පිළිපැද ගමට අධ්‍යාපනය ගෙන දීමට පැමිණි තරුණ කොම්සොමෝල් (කොමියුනිස්ට් සංගමය) සාමාජිකයෙකි,  හෙවත් චින්ගිස් ගේ පියා  මෙන් "මුල් කොමියුනිස්ට් කාරයෙකි".

අල්තිනායි ඔහුව අමතක නොකළාය. ප්‍රථම වතාවට නැවත දුයිෂෙන් බලන්නට ගමට පැමිණි ඇයට පොප්ලර් ගස් දෙක බලා සැනහෙන්නට වෙයි. දුයිෂෙන් සෝවියට් දේශය බේරා ගැනීමට යුද්ධයට ගොස්ය.

වරෙක ඇය හදිසි දම්වැල ඇද දුම්රියක් මග නවත්තා දුයිෂෙන් වැන්නකු සොයා දිව ගියාය. යුදයෙන් නැතිවූවන් සොයන්නියක ලෙස මිනිසුන් ඇයට අනුකම්පා කළහ.

කුරුකෙව් ගමේ අලුත් පාසැල විවෘත කිරීමට අර ගමේ උපන් පරසිඳු (කතාව කියන) සිත්තරා  මෙන්ම මොස්කව් වලින් මහාචාර්යවරිය අල්තිනායි ද ගමේ පක්ෂ කවුන්සිලයේ ආරාධනාවට අනුව  පැමිණෙයි. කවුදෝ දුයිෂෙන් ගැන උපහාසයෙන් කතා කරයි. නව සෝවියට් ගම්වැසියන් දුයිෂෙන් ගේ මුල් දිනයේ මෙන්ම ඔහුට උපහාසයෙන් සිනාසෙති.  ගමේ ප්‍රාදේශීය සභා සභාපති, පක්ෂ ලේකම් සිටින රැස්වීමට පැමිණෙන "තැපැල් කරු " දුයිෂෙන් ලියුම් බෙදයි. අවාසනාවකට මේ දුයිෂෙන් අර "දුයිෂෙන්" මය. ලේකම් වරයා ඔහුට ඇතුලට ඒමට ඇරයුම් කරතත් ඔහු වඩා වැදගත් ලියුම් බෙදීමට යයි. සෝවියට් රජයෙන් දෙන මේ අලුත් පාසැල විවෘත කිරීමට, එදා සියලු බාධක මධ්‍යයේ ගමට පැමිණි පළමු ගුරුවරයාට ආරාධනා කිරීමට කිසිවෙකුට මතක් නොවෙයි. පසු කාලින සෝවියට් නිලධාරීන්  "මුල් විප්ලව කරුවන් " අමතක කලේ එසේය.

කොටින්ම අල්තිනායි පවා තම ගුරුවරයා පිළිගන්නට එළියට  ගියේ නැත. අවසානයේ මොස්කව් යන ඇය තම සිතේ ඇතිවන වරදකාරී හැඟීමෙන් බේරෙන්නට සිත්තරාට ලිපියක් ලියන්නිය.  ගම්ලත්ට හසු නොවුනේ මේ සත්‍යයය.  අයිත්මාතව් දිගින් දිගටම ලිව්වේද ඒ ගැනය. 1988 පෙරෙස්ට්‍රොයිකා කාලයේ කිර්ගිස් සමාජයේ මත් ද්‍රව්‍ය භාවිතය ගැන නවකතාවක් ද ඔහු ලිවිය.

උපාලි ගම්ලත් ගේ ගුරු ගීතය ආදී කාලින ඩයිනොසර් යුගයේ හිටපු ඇතැම් ජවිපෙ සාමාජිකයන් ගේ සිහිනයක් සැබෑ වීමකි.  වර්තමාන (ජවිපෙ) පරපුර ඔයාකාරයේ   ගුරු ගීත පසුකර බොහෝ දුර ගොස්ය.



අයිත්මාතව් මිය ගිය දින ගාඩියන් පුවත්පතේ ලිපිය:
https://www.theguardian.com/books/2008/jul/15/culture.obituaries

Wednesday, 1 June 2016

පොල්කට්ටෙන් එපිටට පැමිණි සොඳුරු සැන්දෑව


උදයේ සිට දිගින් දිගටම නද දුන්  මගේ දුරකතනයෙන් පැවසුනේ බොහෝ අයට
 එදින පැමිණීමට නොහැකි  බවකි. මා විද්‍යුත් තැපෑලෙන් හා ෆේස්බුක් මගින් කළ දැනුම් දීම් හැරෙන්නට කිසිවකුට පෞද්ගලිකව අමතා ආරාධනා කලේද නැත. ලංකාවේ දී එළි දැක්වීමේ උළෙලට සහය දුන් බ්ලොග් මිතුරන් සමුහය හා චුලානන්ද සහෘදයා ද මෙහි නැත.   අවසානයේදී මා සිතුවේ විස්සට වඩා පිරිස වැඩි වුවහොත් එය හොඳ ලකුණක් බවයි.

නමුත් ඔවුහු පැමිණියෝය. ලන්ඩනයේ පොතක් එලි දැක්වීම සඳහා,  කියවීමට ලැදි අය තිස් ගණනක්  සොයා ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවේ. අවුරුදු සැණකෙළි වලට හා පන්සල් වල  දාන වලට මිස මිනිසුන් පොත් එළි දැක්වීමක් සඳහා යන්නේ නැති බවට වූ මිත්‍යාව බොරු කරමින් ඔවුහු පැමිණියහ.

පොල් ගෙඩියක් නැකතට දෙපලු කර දෙවන එළි දැක්වීමේ උළෙල ආරම්භ කෙරුවෙමි. නැකතට පසු පොල්කට්ටෙන් එපිටට මුලින්ම පැමිණියේ සරෝජ් පතිරණය. ඔහුගේ "ද්‍රෝහියාගේ දියණිය" පොත හඳුන්වා දීම සඳහා මා අප කියවූ රුසියානු හා සෝවියට් සාහිත්‍යය යුග වලට බෙදුවෙමි.

රුසියානු විප්ලවයට පෙර යුගයේ ලියෝ ටෝල්ස්ටෝයි (ඇනා කරෙනිනා),  ගොගොල් (මළ මිනිස්සු) , තුර්ගේනිව්,  දොස්තයෙව්ස්කි, පුෂ්කින් ආදී දැවැන්තයන්ගේ නිර්මාණ  මුලිකත්වය ගති. විප්ලවය අවධියේ  හා ඉන්පසු අවධියේ ඒ තැන ගත්තේ මැක්සිම් ගෝර්කි (අම්මා), මයකෝව්ස්කි, නිකොලායි ඔස්ත්රෝව්ස්කි (වානේ පන්නරය ලැබූ හැටි) ආදීන් ගේ විප්ලවීය නිර්මාණයන්ය. සමාජවාදී යථාර්ථවාදය යන අදහසේ නිර්මාතෘ ද ගොර්කිය. පසු කාලින සෝවියට් සාහිත්‍යය ගොඩ නැගුනේ මේ සමාජවාදී යථාර්ථවාදය (socialist realism) පදනම්වය. මා  මේ ගැන  මේ බ්ලොගයේ කිහිප විටක්ම සඳහන් කර ඇත.

දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් අළලා ලියවුනු ලෝක පුජිත නිර්මාණ ඉන්පසු බිහි විනි. මිහයිල් ෂෝලහොව් (පෙරළු නැවුම් පස, දොන්  නදිය නිසලව ගලා  බසී) , යුරි බොන්දර්යේව් (සැබෑ මිනිසෙකුගේ කතාවක්) සිහිපත් කළෙමි.
හැත්තෑව දශකයෙන් පසු කාලයේ සෝවියට් රජයට පක්ෂව මෙන්ම කොමියුනිස්ට්වාදී සර්ව සම්පුර්න සමාජයක් පිහිටුවා ඇති බවට  උදම් අනන වාර්තා වැනි සාහිත්‍ය නිර්මාණ බිහිවුණි.

ද්‍රෝහියෙකු ලෙස පසුව හැඳින්වුන මිහයිල් සොශේන්කෝ මෙන්ම මාස්ටර් සහ මර්ගරීටා ලියු මිහයිල් බුල්ගකොව්ද, සොල්ශේනිට්සින් සහ පැස්ටර්නක් ද මේ වාර්තාකාරි සෝවියට් සාහිත්‍යට එදිරිව විවේචනාත්මකව ලියු අයයි. එහිදී සමිස්දාත් යන රුසියානු වදනේ භාවිතාව  වැදගත්ය. රාජ්‍යයට විපක්ෂව රහසේ කරන නිර්මාණ මෙසේ හැඳින්විණි. මේ නිර්මාණ සෝවියට් සමාජවාදී යථාර්ථවාදය යටතේ ලියවුනු පක්ෂය හා රජය අලංකාර කරන ලද වාර්තා වෙනුවට "සැබෑ යථාර්ථයේ නියෝජනයක් " සහිත නිර්මාණ ලෙස හැඳින්විය හැකිය.

"ද්‍රෝහියා ගේ දියණිය" පොතේ විස්තර කරන්නේ මේ කාල පරිච්චේදයයි. එහිදී මේ පොතේ කියවීම තුල ඇත්තේ සෝවියට් සමාජයේදී ද්‍රෝහියෙකු කරන ලද පියෙකුගේ දියණියක වන අන්නා සැබවින්ම මුහුණ දෙන්නේ කුමන පීඩනයකටද  යන්නයි.
 ඇය මුහුණ දෙන්නේ  මිනිසුන් ගේ නරක සම්බන්ධතාවයන් හා කුහක කම් වලටද නැත්නම් සෝවියට් සමාජයේ සමාජවාදී දුර්වලතාවයන් හා නිලධාරිවාදයටද? ඇමෙරිකා  එක්සත් ජනපදයේදී ඇයට සිදුවුයේ කුමක්ද?  එහිදී ඇය වංචාවක ට ලක්වුයේ ඇයි?

ඉන්පසු එළඹුණු සංවාදයේදී නන්දන වීරරත්න, අරුණ පෙරේරා මෙන්ම ආශා සුරියබණ්ඩාර ද අදහස් දැක්වුහ.

ඉන්පසු මවිසින් ප්‍රවීන නාට්‍යවේදී විජිත ගුණරත්නයන් සභාවට හඳුන්වා දීමේ දී බ්‍රෙෂ්ට්
ගේ "එපික් තියෙටර්" පිලිබඳ කෙටි  හැඳින්වීමක්  කලෙමි.  එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට,   නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට  (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක්   ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය.  විජිත ගුණරත්නයන්ගේ  අදහසට අනුව හෙන්රි ජයසේන වැනි ප්‍රතිභාපුර්ණ කලාකරුවන් වුවද කලේ බ්‍රෙෂ්ට් සෞන්දර්යාත්මක කිරීමයි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යවල මෙය දැකිය නොහැකිය.  මේ ගැන රැස්වූ සභාවේ තියුණු සංවාදයක් ඇතිවූ අතර විපුලි පලිහක්කාර, නන්දන, සුදත්, ආශා හා ධරණී ගමගේද අදහස්  දැක්වූහ. මෙහිදී ඉස්මතු කළ එක් අදහසක් වුයේ  හෙන්රි ජයසේන, රන්ජිත් ධර්මකීර්ති ආදීන්ගේ සෞන්දර්යාත්මක නාට්‍ය කලාව ශ්‍රී ලංකාවට  වඩා  ගැලපෙන බවකි. සෞන්දර්යවේදීන් හා බ්‍රෙෂ්ට් වාදීන් අතර ගුරුකුලයන්  නිර්මාණය කෙරෙන තරමේ අදහස් ප්‍රමාණයක්  හුවමාරු වුනි.

විජිත ගුණරත්න විසින් කල ප්‍රධාන දේශනයේ දී ඔහු පැහැදිලි කලේ ජර්මනියේ බැවේරියාවේ උපන් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය කලා සම්ප්‍රදායයි.  ඊට හේතුව "පොල්කට්ටෙන් එපිටට" පොත පිලිබඳ ඔහුගේ විග්‍රහයේදී  බ්‍රෙෂ්ට් ගේ Verfremdungseffekt හෙවත් පරාත්වරෝපණය (රුසියානු භාෂාවෙන් ප්‍රි-අස්ත්‍රානේනිය)  යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පැහැදිලි කරමින් ඔහු දැක්වූ අදහසයි. මෙහි ඉංග්‍රීසි වදන "alienation effect" හෝ  "estrangement effect" යන්නය. එපික් තියෙටර් පිලිබඳ  අදහස   ක්‍රියාත්මක කිරීමේදී උපයෝගී කරගන්නා  ක්‍රමය (technique) වැඩි දියුණු කරන ලද්දේ මේ අදහසිනි. අර්වින් පිස්කටර්, ව්ලදිමීර් මයකොව්ස්කි හා ව්සේවෝලඩ් මෙයර්හෝල්ඩ්  විසින් මුලින්ම යොදා ගත්තේද  මේ ක්‍රමයයි.



මුල මැද  සහ අගක් මෙන්ම වෘත්තාන්තයක් ද නැති බ්‍රෙෂ්ට් නාට්‍ය කලාවේ එපික් තියෙටර් සම්ප්‍රදාය මෙන් "පොල්කට්ටෙන් එපිටට "  පොතේද මුලක් අගක් හා මැදක් නැති බව විජිත ගුණරත්න පැවසීය. ඕනෑම තැනකින් ලිපියක් තෝරා කියවා  ඒ දෙස, කතුවරයා ගෙන් වියුක්තව,  විවේචනාත්මක ඇසකින් බලන්න යයි ඔහු තව දුරත් පැවසිය.

"පොල්කට්ටෙන් එපිටට " කියවීමේදී බොහෝ විට ඇත්තේ කතුවරයාගේ අත්දැකීම් ඇසුරෙන් කිසියම් සංසිද්ධියක් ගැන විස්තරයකි. එහිදී ඔබ කතුවරයා පිලිබඳ බැඳීමක් ඇති නොකර ගත යුතුය. ඔබට ඇත්තේ ඒ පිලිබඳ විවේචනාත්මකව බැලීම හා හේතුවාදී ලෙස විග්‍රහ කිරීමය.

මේ ආකාරයේ නාට්‍යයක පිළිඹිබු වන්නේ යථාර්ථයේ නියෝජනයක් මිස යථාර්තය නොවේ. පොතේ අදහස් ද යථාර්ථයේ නියෝජනයක් පමණි. එහි අවසන් පරිච්චේදයේ පියා ගැන විවරණය හුදෙක් සංවේදී ලෙස බැලීමට වඩා කිසියම්  සුළු සිද්ධියකින් ඔබේ ජීවිතය වෙනස් වූවාදැයි බැලීම වටී. ඔබ එවැනි සිද්ධියක පාත්‍ර වර්ගයාගෙන් අයෙක් වූයේ ඇයි දැයි සිතුවේද?

කතුවර චූලානන්ද සමරනායක මහතා  ඒ (පියා ගැන)  ලිපිය තෝරා  ගැනීමේදී සිහිපත් කල සිද්ධියක් විය. ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේ අපිරිසිදු වැසිකිළියක දම්වැලකින් බැඳ සිටිය අයුරුත් ඉන්පසු එම වැසිකිලියටම "අත්  අඩංගුවට ගන්නා ලද පොත් "  ද භටයන් විසින්  "ගාල් " කල අයුරුත් මට පැවසීය. වැසිකිලියේ දම්වැලින් බැඳ සිටියදී ඔහු ඒ සියලු පොත් කියවූ අතර "මේ පොත් කියවන්නා  " දෙස  සානුකම්පිතව බලන හා එයට වක්‍රාකාරයෙන්  උදව් දෙන භට පිරිස පිළිබඳවද ඔහු දැනුවත් විය. ඔහුගේ ජීවිතය වෙනස් වීම සඳහා අඩිතාලම දැමුනේ එතැනින්ද? එය වෙනස් ආකාරයකින් විග්‍රහ කිරීමට අපට හැකිද?

එසේම කියුබාව සමාජවාදීද යන්න හෝ මාක්ස් ඇත්තටම ආගම අබිං කීවා ද යන්න ඔබම විමසිය යුතුය. පුටින් හා එර්ඩොගන් එකම කාසියක දෙපැත්ත බව ඔබට වැටහේද? විජේවීර හා ප්‍රභාකරන් එකම කාසියක දෙපැත්තද?  මහින්ද හා රනිල් එකම කාසියක දෙපැත්තද? මේ දෙයාකාරයට අනිත් ප්‍රතිවිරෝධය නැතුව පැවතිය හැකිද? රුසියානු යුධ බලය නැතුව නැටෝවට පැවතිය හැකිද?

 මෙහිදී බ්‍රෙෂ්ට් විසින් ඉදිරිපත් කල වේදිකාවේ රංගන ක්‍රියාවකට අදාළ "නිර්මාණාත්මක ක්‍රියාවක් නිපදවී ඇත්තේ තවත් එවැනිම ක්‍රියාවකට  ප්‍රතිවිරෝධයක් පෑමේ ආශාව (desire) නිසාය "  යන්න පොතෙහි භාවිතා විනිද යන්න සොයා ගැනීම කියවන්නාට භාරය.

පොත් එලි දැක්වීම අවසන් වුයේ වළා පටල  චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමෙන් හා සියල්ලෝම එක්ව මිදී යුෂ (wine) පානය කරමින් ගී ගැයිමෙනි.  මුලින්ම ගැයුනේ සෞන්දර්යවාදී හා ජනප්‍රිය නාට්‍ය කලාවේ පසිඳු ගීත වන "ප්‍රේමයෙන් මන රන්ජිත වේ  නන්දිත වේ "

හා "සෝභාව දේ" යන ගීතයන්ය. 

සමිස්දාත්: මමම ලියමි, මමම ව්‍යාකරණ  නිවැරදි කරමි, මමම වාරණය කරමි,  මමම බෙදා හරිමි. මමම ඒ වෙනුවෙන් සිරයේ ලගිමි. - ව්ලදිමීර් බුකොව්ස්කි

ව්ලදිමීර් බුකොව්ස්කි යනු සෝවියට් රජය විසින් සිර ගෙට යැවූ නිදහස් මතධාරියෙකි.

"Samizdat: I write it myself, edit it myself, censor it myself, publish it myself, distribute it myself, and spend jail time for it myself "- Vladimir Bukovsky 

ඡායාරුප -බුද්ධික සුදර්ශන 

Wednesday, 25 May 2016

පොල්කට්ටෙන් එපිටට පැමිණ ද්‍රෝහියාගේ දියණිය හමු වෙමු - වාද විවාද ගිනි කෙළි බලන්න එන්න

පොල්කට්ටෙන් එපිටට පැමිණ ද්‍රෝහියාගේ දියණිය හමු වෙමු.

වාද විවාද ගිනි කෙළි බලන්න එන්න 

"මම බ්‍රෙෂ්ට් ගැන කතා කරලා, නාට්‍ය ගැන විවරණයක් දීල, චිත්‍ර පටිය ගැනත් සාකච්ඡා කරලා, පොත් දෙක ගැනත් කියන්නම්. වෙලා ඇති වෙයිද. කට්ටිය නිදිය ගනීද දන්නේ නැහැ නේද? " - විජිත ගුණරත්න

"මචං , මම බීබීසී එකට සම්බන්ධ නිසා කට්ටිය  එයිද මේ වැඩේට. මටත් ද්‍රෝහියා කියලනේ කියන්නේ. මට නම් ෂුවර්  නැහැ. කමක් නැහැ ඔන්නොහෙ මගේ පොත ගේන්නම්.  " - සරෝජ් පතිරණ

"මේ පරණ සෝවියට් කතා කියවල ඇති වැඩේ මොකක්ද? ඔයා  මේ ගරිල්ලා කාරයා වගේ බ්ලොග් ලෝකෙට ඇවිත් දැන් පොතුත් ගහනවා. මේවා තනි කරම  බොරු වැඩ. "
 - අරුණ  පෙරේරා

"මේ කොළඹ ගමයාගේ වැඩේ තනිකරම ප්‍රෝඩාවක්. ඔය කරන්න  හදන්නේ බොරුවට පොතක් එලියට දානවා කියල ජනතාව නොමග යවන්න.  " - සරද සමරසිංහ

"ටයෙක්වොන්ඩෝ වලට තැනක් ඇත්තෙම නැත්ද?" දුෂාන්ත පෙරේරා

"චිත්‍රපටි ගැන කතා කරනව නම් මටත් අවස්ථාවක් දෙයිද? අපි කලොත් නම් ඉතින් අපිමයි කතා කරන්නේ." - බැද්දේ සුදත්

"විචේචන වලට  සූදානම්. ජිම් එකට ගියා. ටයෙක්වොන්ඩෝ ප්‍රක්ටිස් කලා.  කවුරු හරි එයාර් ගන් එකක් එහෙම විකුණනවද. නිකමට අතේ තියා ගන්න " - අජිත්
  
සරෝජ් පතිරණ - "ද්‍රෝහියාගේ දියණිය සමග "


විජිත ගුණරත්න - පොල්කට්ටෙන් එපිටට ගමනක්   

අජිත් ධර්මකීර්ති - කොළඹ ගමයා සමග පොල්කට්ට 


විජිත ගුණරත්නයන්  ගේ   "වලා  පටල " 


සංවාදය හා චිත්‍රපටිය 


මැයි 28 වනදා විට් ශීෆ් ශාලාවේදී සවස ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා 



WHEATSHEAF HALL
Main Avenue (by A10 Dual Carriageway)
Enfield
EN1 1DS
Nearest Station Bush Hill park, From Enfield Town Station bus number 121, 307 
අජිත් - 077985 245418 සරෝජ් - 07803 727516 


Inline images 1

Tuesday, 24 May 2016

නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා හෙළා දකිමු - නමුත් ඔහු මුස්ලිම් නිසා නොවේ


නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමති නසීර් අහමඩ් මහතා නැගෙනහිර ආණ්ඩුකාරවරයා හා අමෙරිකානු තානාපතිවරයා ඉදිරියේ නාවික හමුදා නිලධාරයෙකුට බැණ වැදී තිබේ.  මා මෙය මුලින්ම දුටුවේ බ්ලොග් කරුවෙකු වන සින්දු ඇනෝ විසින් ෆේස් බුක් හි පලකළ සටහනකිනි. මම එහිදී නසීර් මහතා ගේ ක්‍රියාවට විරෝධය පළ කලෙමි. එයට හේතුව ඔහුට නාවික හමුදා නිලධාරියා සමග ප්‍රශ්නයක් තිබුනා නම් එය විසඳිය යුතුව තිබුනේ තමන් ගේ කාර්යාලයේදී හෝ නාවික හමුදාපතිට පැමිණිලි කිරීමෙනි.  නාවික හමුදා නිලධරයා කළ වැරැද්ද කුමක්ද යැයි මම නොදනිමි. ඔහු එවෙලේ වැරදි වුවත් නොවූවත්  මෙහිදී ප්‍රධාන ඇමැතිවරයා හැසිරුණු ආකාරය ඊටත් වඩා අතිශයින්ම වැරදි සහගත බව මගේ අදහසයි.

මෙහිදී සින්දු ඇනෝ ගේ කොමෙන්ටුවේ මෙන්ම මේ ලිපිය පළවී තිබෙන වෙබ් අඩවියකද ප්‍රතිචාර දෙස  බැලීමෙන් හෙළි වන්නේ වෙනත් කතාවකි. ඒවා  තනිකරම ජාතිවාදී ස්වරුපයක් ගෙන ඇත . එනම්
මුස්ලිම් ඇමතියෙක් විසින් සිංහල නාවික හමුදා දු නිලධාරියෙකුට බැනීම පිළිබඳව මහා ජාතියේ ආකල්පයෙන් බැණ වැදීමකි.
 ඒවායේ ඇත්තේ "තෝ කොහොමද යකෝ සිංහල නිලධාරියෙකුට බැන්නේ හම්බයෝ " ආකාරයේ ප්‍රතිචාරය. මේ ප්‍රතිචාර දක්වන්නන් ද වැරදිය. එහි ඇත්තේ කෙලින්ම ජාතිවාදී ස්වරුපයක් මිස නාවික හමුදාවේ ගෞරවයට හානි කිරීම  ගැන ප්‍රශ්න කිරීමක් නොවේ.

මෙහිදී මතකයට එන්නේ  විමල් විරවංශ මහතා  විසින් කළ උද්ඝෝෂණයකදී එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා  විසින් උසස් පොලිස් නිලධාරයෙකුට බැණ වැදී  එතැනින් ඉවත් වන්නට කීමයි. ආරක්ෂක ලේකම් වරයා  වශයෙන් ඒ මහතාට ඒ අයිතිය තිබුණා විය හැකිය. නමුත් ඉන්පසු විරවංශ මහතා  මෙන්ම අනිත් අයත් ඒ "සිංහල " උසස් පොලිස් නිලධාරීන්ට බැන වැදුණු අතර ගහන්නට පවා ගියහ . ඔවුන්ගේ රාජකාරි හිස්වැසුම් පවා උදුරා ගැනිණි. වෙබ් අඩවියට එය අමතකදැයි නොදනිමි.


එසේම එවකට දෙතුන් වතාවක දීම සමහර පළාත් සභා මන්ත්‍රීවරුන්  විසින් පොලිස් නිලධාරීන්ට  පහර දෙන  හා තර්ජනය කෙරෙන ප්‍රවෘත්ති දුටුවෙමි. නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයාද පොලිසියට බලපෑම් කල ප්‍රවෘත්තියක් අසන්නට ලැබුණි. අප එදා ඒවා විවේචනය කෙරුවේ නීතියට එරෙහිව කටයුතු කිරීම පමණක් නොව ඒවා එම ආයතනයන් ට කළ තර්ජනයන්  ලෙසය.

මේ සිද්ධියේ දී ද අප විසින් කල යුතුව ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාගේ  ක්‍රියාවට විරෝධය පෑමයි. ඔහු මුස්ලිම් නිසා නොව එම ක්‍රියාව වැරදි බැවිනි.

මෙතන ඇත්තේ රණවිරු කතාවක් නොවේ. 

Sunday, 22 May 2016

සමාජවාදය එළඹෙන තුරු උදව් නොකරමු - රජය අහෝසි වී යාමට ඉඩ නොදෙමු

සමාජවාදය යයි කියා රාජ්‍ය ධනවාදය කර පින්නා  ගත් රටවල් බොහොමයක් දියවී ගියහ.  ඉතිරිව ඇත්තේ උතුරු කොරියාව, චීනය හා කියුබාව පමණකි. රාජ්‍ය ධනවාදය ගැන මා මුල් වරට කතා කලේ අරුණි ශපිරෝ ගේ බ්ලොගයේ 2012 පමණ දීය. කාල් මාක්ස් ගේ දාස් කැපිටාල් කෘතියට බෝවෙර්ම් බර්ක් ගේ අදහස් මගින් කල විවේචනයකට දුන් පිලිතුරකදී එය සඳහන් කලෙමි.

රාජ්‍ය ධනවාදය යනු රජය විසින් ශ්‍රමිකයා සූරා කමේදී ඇතිවන තත්වයයි. බොහෝ විට දියුණු ධනවාදී රටකට වඩා දරුණු ලෙස සමාජවාදී රටවල ශ්‍රමිකයා  හෙවත් තමන් ට වැඩ කරන අය ගේ මුදල් බදු හරහා මෙන්ම අඩු පඩි හරහාත් සූරා කෑහ. ඉහල නිලධාරීන් නොයෙකුත් දුෂිත ක්‍රම මගින් තම ආදායම සරි කර ගත්හ.  පහල නිලධාරීන් ද එය අනුගමනය කළහ.

ධනවාදය වෙනුවට රාජ්‍ය ධනවාදය පිහිටුවීමේ තේරුමක් නැති බව වටහා ගත්  ටිටෝ යුගෝස්ලාවියාවේ නිර්මාණශීලි ජනතාවට සුළු පරිමාණ වෙළඳාම් හා කර්මාන්ත ක්‍රමයක් හඳුන්වා දුන් මුත් ඔහුගේ ඇවෑමෙන් එය කඩා වැටුණි.

මහජන චීනය එළිපිටම රජය සමගම ධනවත් සමාගම් පිහිටුවීම මගින් ක්‍රමය වෙනස් කරගෙන තිබේ. නමුත් එහි ශක්තිමත්ම බලය ඇත්තේ රාජ්‍යය හා පක්ෂය අතය.

රාජ්‍යය අහෝසි වී යා  යුත්තේ කිනම් අවධියකදී ද ? එය වියැකි යායුත්තේ නම් ඒ බලය මාරු විය යුත්තේ කා  හටද?

මට මේ සියල්ල  මතක් වුයේ w3ලංකා බ්ලොගයේ මේ ලිපියට අරුණ පෙරේරා දැමු ප්‍රතිචාරය කියවිමේදීය.
//මට හිතෙන්නේ මේ අත්‍යාවශ්යම අවස්තාවේත් සමහරුන්ගේ අදහස් පටු දේශපාලනිකයි සහ න්‍යායත්මකයි කියලා. ආපහු පට්ට ගහන තියරි ටික ගංවතුරත් එක්ක එලියට ගේනවා. මීඩියා කාරයෝ දන්නවා උන්ගේ ගේම. පක්ෂ දන්නවා උන්ගේ ඇජෙන්ඩා එක. හැබැයි මේ මොහොතේ කන පරිප්පුවට ඔය කිසිම මගුලක් අදාල නැහැ. බඩගින්නට පාන් බාගයක් ඕන මිනිස්සුන්ට, සමාජවාදය හැදෙනකම් ඉන්න කියනවාට වඩා රතු කොඩියක් හෝ රතු ලන්කට් එකක් ගහගෙන හරි වැඩේට බැහපු එවුන් පිලිබඳ විවේචන තියෙන්න බැහැ. එතන තියෙන්නේ දේශපාලනික කුහකත්වය. සමාජවාදී සුපිරි රාජ්‍ය ගොඩනගනකම්, ඔලුවට උඩින් වතුර ගලන කම් බලා ඉමු. මලවුන් අතරින් නිර්මානය වෙන ඒ රාජ්‍යයේ අපි ස්විමින්ග් සූට් ඇඳන් පීනමු. පීනන ගමන් මැරිච්ච එවුන්ට රතු රෙදි අන්දලා ජීවිත පුදකරපු එවුන්ට දිනයක් වෙන්කරමු. දාස් කැපිටාල් එකේ හරි පිටුව හොයාගන්නකං තොපි ගිලිලා මැරියවු.//
- අරුණ පෙරේරා

 මේ ලිපියට විරුද්ධ අදහසක් දරන  ලිපියක් ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවී තිබේ. මගේ මිතුරෙකුද ෆේස්බුක් හි පින්තූරයක් හා ලිපියක් බෙදා ගෙන තිබුණි. සිරස, දෙරණ වැනි මාධ්‍ය මේ ගංවතුර විපත උපයෝගී කර ගනිමින් තම ආයතන වල ප්‍රසිද්ධිය වැඩි කර ගැනීමට කරන ක්‍රියා මාර්ග එහි විවේචනය කර ඇත. පල කර ඇත්තේ විවර නිව්ස් ය.   නමුත් පින්තුරයේ ඇත්තේ ජවිපෙ නායකයෙක්ය. 

මෙහි තක්කඩින් වශයෙන් බැණ  වැදී ඇත්තේ සිරස ඇතුළු මාධ්‍ය ජාලයටය. නමුත් ඡායාරූපයේ සිටින්නේ ජවිපෙ නායකයෙකි.  මෙහිදී සිරස අයිති කරුට  බනින ගමන්ම වෙබ් අඩවිය සියුම් පහරක් තමාගේ මහා අනිකාට ගසා තිබේ.

මා මෙහිදී ඇසුවේ මෙවැනි ප්‍රශ්නයකි. 2004 දී සුනාමියේදී කුමාර් ගුණරත්නම් මහතා ද නායකයෙකු වශයෙන් සිටි ජවිපෙ රතු තරුව සංවිධානය මෙවැනි උදව් කලේ නැත්ද යන්නය. එසේ නම් එදා එය වැරැද්දක් නොවුයේ ෆේස්බුක් එතරම් ජනප්‍රිය නොවුණු නිසාද? නමුත් පුවත්පත් වල විස්තර ගිය අතර එය වැරැද්දක් හැටියට මම නොදකිමි.  ජවිපෙ යනු පාර්ලිමේන්තුවාදී පක්ෂයකි.  චතුරිකා සිරිසේනට, නාමල් රාජපක්ෂට, හිරන්ති රාජපක්ෂට , සුජීව සේනසිංහට, දහම් සිරිසේනට හොඳ නම් ජවිපෙට එය නොකිරීමට හේතුවක් නොමැත. පාර්ලිමේන්තුවට යාමට ඡන්ද අවශ්‍යය.  ඡන්දයට නොඉල්ලන කුඩා පක්ෂ වලට මේ දෙය කිරීමේ තේරුමක් නැත.

ත්‍රිමාණ වෙබ් අඩවියේ වසන්ත මහතා අර්ථ දක්වා ඇත්තේ මේ mass hysteria තත්වයක්  තුල ඇතිවුණු  mass altruism එකක් බවයි. මේ ආස්ථානයන් දෙකෙහිම කිසියම් වැරැද්දක් මම දකිමි.

ඔහුගේ ඉහත අර්ථ දැක්වීම මෙන්ම විවර නිව්ස් අර්ථ දැක්වීමද සිහියට නගන්නේ ස්මාර්ට් ෆෝන් එකක් අත ඇත්තෙක් ගිලෙන්නෙකු ගේ ඡායාරුපයක් ගැනීමටය.

ආපදාවේ  මුල් දින කිහිපයේ රජය නොව ආධාර දීමට හා තම අසල්වැසියා රැක ගැනීමට ඉදිරිපත් වූයේ සහෝදර ජනතාවය . ෆේස්බුක් වැනි සමාජ ජාලා භාවිතා කරමින් ඔවුන් සංවිධානය වූහ. රජයට කලින් මාධ්‍ය වලට කලින් ඔවුන් ගේ සංවිධානය වීම බුකියට පින්තුරයක් දැමීමට යයි කීම මේ තත්වය ඉතා ලඝු කොට ගැනීමකි. පින්තූරය රැගෙන වුවත් උදව්ව කෙරී තිබුණි.

මහත්වරුනි, කාල් මාක්ස් කිවේ ධනවාදීන් ගේ කාර්යයන් සඳහා පමණක්ම රාජ්‍ය බලය පවතින්නේය යන්නය. ඔහුගේ අදහස වුයේ පසු ධනවාදී සමාජයක රජය අහෝසි වී යා හැකි බවයි. ( "The executive of the modern state is but a committee for managing the common affairs of the whole bourgeoisie." )
ඉතින් මහත්වරුනි, මිනිසුන් රජයක් තමන් පාලනය කරන බව අමතක කර තමන් සංවිධානය වන විට ඔබ බිය වන්නේ ඇයි? රජයේ මැදිහත්වීම ඉල්ලා හඬන්නේ ඇයි?

එංගලන්තයේ හා ග්‍රීසියේ මොමන්ටම් සංවිධානය මෙන්ම නගර චතුරශ්‍ර වල හිඳගෙන විරෝධය පෑමේ සංවිධානද ගොඩ නැගුනේ සමාජ ජාල, වෙබ් අඩවි  හා බ්ලොග් අඩවි  හරහාය.

මා නිරීක්ෂණය කල දෙවැනි කරුණ නම් රජය උදව් නොකරනවා  යනුවෙන් විවේචනය කරන බොහෝ අය හමුදාව විසින් කරන ආධාර දීමේ කටයුතු පිලිබඳ වාර්තා ඉතා කැමැත්තෙන් ලයික් දමමින් ෂෙයාර් කරන බවය. මමද නාවික හමුදාව, ගුවන් හමුදාව හා යුධ හමුදාවේ එවන් කටයුතු ගැන පලවූ ඡායාරුප වලට ලයික් දැමුවෙමි. (මේ නැත්නම් හොඳ නෑනේ යන හැඟීමෙනි. එනම් කවුරුන් කළත් හොඳ වැඩක් නම් අගය කරමු න්‍යායෙනි.)

2009 නන්දිකඩාල් වලින් අවසන් වූ යුද්ධයේ ජයග්‍රහණය පිලිබඳ ගෞරවය ලැබුනේ දේශපාලන බලයකටය. දේශපාලන නියෝජනයටය. හමුදාවට නොවේ.  හමුදාව  රණ විරුවන් වූවා පමණි. නමුත් මේ ආපදා  සමයේ හමුදාවේ ක්‍රියා ජනතාව (බුකියේ ජනතාව හා නිව්ස් වලින් පෙනෙන පරිදි) හමුදාවන් ගේ ස්වාධින ක්‍රියා වශයෙන් පිලි ගත්තා මිස ඔවුන් (හමුදාව)  රජයේ නියෝජිතයන් බව පිළි ගත්තේ නැත. රජය කිසිවක් නොකළේ යයි කියන අයද හමුදාවේ පින්තුර බෙදා ගත්හ. මෙය අපූරු තත්වයකි.

   මේ හැම දෙනාම හදිසියේ ම  මේ රජය නොව හමුදාව යයි සිතුවේ කෙසේද? හමුදාවන් යනු රාජ්‍ය බලයේ (executive) නියෝජිතයන්ය. රාජ්‍යය වෙනුවෙන් ඔවුන් ගේ වගකීම හිරිහැරයට පත් ජනතාවට  උදව් කිරීමය. එය රාජකාරියයි. අවාසනාවට ජනතාව ඝාතනය කිරීම ද ඒ රාජකාරියටම අයත්ය.  හමුදාව කලින් කලේ එයයි. ඒද රජයේ නියෝගය පරිදිය. මා  මේ සඳහන් කරන්නේ  රජයට විරෝධය එල්ල කළ අවි අතට ගත්
සංවිධාන වල සාමාජිකයන් සමග සටන් කර ඔවුන් ඝාතනය කිරීම  ගැන නොවේ. එය නිත්‍යානුකුලව  රජයේ හමුදාවක් ඉටු කරන හෙවත් රජයේ ආධිපත්‍යය පතුරුවලීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයකි.  ලෝකයේ ඕනෑම රටක එය එසේය.


මේ ආපදාවන් පිලිබඳ  ස්වයං සංවිධානය මෙතනින් නතර වී නොමැත.  පශ්චාත් ආපදා කාල සීමාව සඳහාද ඔවුන් සංවිධාන ගොඩ නංවති. ගං වතුරෙන් පසු නිවෙස් වල රැඳෙන කුණු කසල ඉවත් කරන්නට උදව් වීමට ස්වේඡාවෙන් ඉදිරිපත් වෙති .

මේ ශ්‍රමදාන වැඩ පිලිවෙළම  බයිකල් අමුර් දුම්රිය මග ගොඩ නැංවීමටද සෝවියට් ජනතාව ක්‍රියාත්මක කළහ.  ආඃ, මට අමතක වුනු කරුණක් තිබේ. එය පක්ෂය විසින්  සංවිධානය කරන ලද්දකි. (ස්වේඡා සේවකයන්ට පසුව මුදල් ගෙවන ලදී). පක්ෂය විසින් සංවිධානය වී රාජ්‍යයේ අනුග්‍රහයෙන් කිරීම මිස ජනතාව තමන්ම සංවිධානය වී ක්‍රියා කිරීම මාස් හිස්ටිරියාවකි. දැන ගත්තේ ලඟදිය.

 උදව් කරන්න යයි ඉල්ලා එවුනු ෆේස්බුක් හරහා පණිවිඩයක අතහිත නැමති වෙබ් අඩවියක් ගැන දක්වා තිබුණි. ඒ තමන්ගේ පොත් පත් හා අධ්‍යාපන සටහන් ගංවතුරෙන් විනාශ වුනු  සිසුන් ගේ උපකාරයට නිර්මාණය කරන ලද වෙබ් අඩවියකි. ඒ හරහා සංවිධානය වී ඔවුන්ට අවශ්‍ය සටහන් පිටපත් කර දෙන්නට , නිදහස් අධ්‍යාපනයට සහයෝගය දෙන්නට ඉදිරිපත් වීමකි. එසේ ඉදිරිපත් වන ඇතැමෙක් පෞද්ගලික විදුහල් වලින්ය.

ඊළඟට  එන උපද්‍රවයකදී මෙතනින් නොනැවතී රජය සතු ශාලා, ගබඩා, යාන  වාහන ද මේ සන්ධානය වන ජනතාව විසින් පවර ගත හොත් කුමක් වේද?.  විශේෂයෙන්ම දේශපාලකයන් ගේ වටිනා යාන වාහන ආදියද, . තමන් ගෙවූ බදු මුදලින් ගත් ඒවා නිසා ඒවා අයිති මිනිසුන් විසින් බලහත්කාරයෙන්  ඒ වාහන අත්පත් කරගෙන  මේ ආධාර බෙදා දීම ආදියට යෙදුවොත් කුමක් සිදු වේද?

අවාසනාවකට මෙන් ලංකාවේ වාමාංශික  පක්ෂ මෙන්ම රජයේ හා විපක්ෂ දේශපාලකයන් ද සිටින්නේ තරුණ පිරිසට ගව් ගානක් පිටුපසින්ය.

බස්සිගේ මේ වචන ස්වල්පයෙන් ලිපිය හමාර කරමි. උපුටා ගත්තේ ෆේස්බුක් එකෙනි.

//ඉවසලා ඉවසල බැරිම තැන මේ ටික කියන්නෙ.
අනිත් මිනිස්සු වෙනුවෙන් තම තමන්ට පුළුවන් capacity එකේ වැඩ කරන මිනිස්සුන්ගෙ සේවය හෑල්ලු කරන හාන්සිපුටු විචාරකතුමාලා, ප්ලීස් උණුවතුර ටිකක් බීලා නිදාගන්ඩ.
අරූ ඕක කරන්නෙ නම අප් කරගන්ඩ, මේකිලා ඔය සහන සේවෙට බැස්සෙ තමන්ගෙ සංවිධානෙට ලකුණු දාගන්ඩ වගේ අනුන්ගේ ඇජෙන්ඩා දිවැසින් දැක්ක වක්තෘ මහත්තුරු නෝනලා, වැඩක් නැත්නං කටපියාගෙන ගිහින් ස්වප්නා බලන්ඩ.
වතුර බහින්ඩ ගත්තු වෙලේ ඉඳන් කැමරා කරේ තියන් කන සාක්කුවෙ වැටෙන්ඩ බීලා ඩිසාස්ටර් වොචින් යන පොස් නෝනා මහත්තුරු මිනිස්සුන්ගෙන් ගල් පාරවල් නොවදින්ඩ කෝකටත් කියලා හෙල්මට් බොඩි ආමර් ඇඳගෙන යන්ඩ.
මේ මිනිස්සු ක්ෂුද්‍ර පරිමාණයෙන් තමන්ට පුලුවන් දේ කරන්නෙ එයාල මහ දානපතියො නිසාවත්, ඕනෙ තරම් ෆ්‍රී ටයිම් තියෙන්න ජොබ්ලස් නිසාවත් නෙමෙයි. "අච්චරක් ස්පෙන්ඩ් කරන්න බැරි මොකද?, මෙච්චර වෙලා ගිහිනුත් එච්චරද කලේ?, කොච්චර දුරට ප්ලෑන් එක හැදුවද?" වගේ මරිමෝඩ ප්‍රශ්ණ අහලා ඒ මිනිස්සුන්ගේ මූඩ් කාබාසිනියා කරන්නෙ නැතුව, වෙන වැඩක් ඇත්තෙම නැත්තං ගිහිං වත්ත පහල කංකුං ටිකක් හිටවගන්ඩ.// - බස්සි 

Thursday, 19 May 2016

විපතට පත් ජනතාවට උදව්වක් කරමුද? ඉවාන් පව්ලුෂා ගැන ආරංචියක් නැත.

අපේ සහෘද බ්ලොග්කරුවකු වන ඉවාන් පව්ලුෂා (ප්‍රගීත්)  කිසිම ආරංචියක් නැති බව දැනගන්නට තිබේ, බස්සි ද දුරකතනයෙන් අමතන ලද නමුත් පිළිතුරක් නොමැති බව ලියා ඇත. කවුරුන් හෝ විස්තරයක් දන්නවාද?
වර්ෂාව මෙන්  ජල ගැලීම් ද වැඩි වී ඇති අතර බොහෝ අය විපතට පත් වී තිබේ.

ශ්‍රී ලංකාවට සුපුරුදු ලෙස බොහෝ අය විපතට පත් ජනතාවට   උදව් කිරීමට ඉදිරිපත් වී සිටිනු  නොයෙකුත් වෙබ් අඩවි වලින් දුටුවෙමි.  නාවික හමුදාව ප්‍රමුඛ ශ්‍රී ලංකා හමුදාවන් ද පොලිසියද විපතට පත් ජනතාව බේරා ගැනීමේ සහ සහන සැලසීමේ සිටිනු දුටුවෙමි. හමුදාවන්ගේ ඒ මානුෂික කටයුත්ත කෘතඥතා පුර්වකව අගය කරමු. බ්ලොග් කරුවෙකු හා මාධ්‍යවේදියෙකු වන නලින් දිල්රුක්ෂ මහතාද ආහාර  පාන බෙදා හැරීමේ වැඩ පිළිවෙලක නිරතව සිටි.

බ්ලොග් ලියන රසිකයා ගුණවර්ධන මල්ලිද අරනායක ප්‍රදේශයේ ජනතාවට උදව් කිරීමට හැකිදැයි සොයා බලන ලෙස අද මගෙන් ඉල්ලා සිටියේය. මේ නිසා ඔහුගේ පෝස්ටුව  මෙහි පලකරමි. ලන්ඩනයේ  සිටින යහළුවන් ගෙන්ද විමසා බලමි. කිසියම් සහයෝගයක් දිය හැකි නම් මේ අවස්ථාවේ  එය කරමු.

මුදල් ආධාර එකතු කළහොත් ලංකාවේ සිටින ඇතැම් මනෝ විකාර කාරයන් ගෙන්  චෝදනා එල්ල විය හැකි නිසා රසික ද්‍රව්‍යමය ආධාර පමණක් දැනට බලා පොරොත්තු වේ.

ලන්ඩනයේ සිට ද්‍රව්‍යමය ආධාර යැවීම අපහසු නිසා මුදල් වලින් ආධාරයක් කිරීම පමණක් කළ හැකිය.

රසිකගේ පෝස්ටුව:

අසරණ අපේම මිනිසුන්ට සහයක් වීම...😍
පැවති අවපීඩන තත්වය දකුණු ඉන්දියාව දක්වා පැතිරීමට ආරම්භ වීමත් සමගම දිවයිනේ පැවති අයහපත් කාලගුණය මේ වන විට ක්‍රමක්‍රමයෙන් පහ වී යන අයුරු අද උදේ වන විට දැකගන්නට ලැබුණි. දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ හිරු රැස් අද උදයේම පොලෝ තලයට වැටී තිබීම සතුටට කරුනක්. අයහපත් කාලගුණයෙන් අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව අඩු බලපෑමක් ඇති නගරයකි, කුරුණෑගල. එවන් නගරයක ජීවත් වුවත් අවට නගරවල දකින්නට අසන්නට ලැබෙන ආපදා තත්වයන් හමුවේ කම්පා නොවී සිටිය හැක්කේ කෙසේද ?
මෙහිදී විශේෂයෙන්ම අප කාගේත් මතකයට නැගෙන්නේ 'අරණායක' ඛේදවාචකයයි. එම ඛේදවාචකය සිදුවූ අයුරු පිලිබදව තොරතුරු, සටහනක් ලෙස මෙහි තැබීමට අදහස් නොකරන්නේ එය පිළිබදව නොදන්නා කෙනෙක් සිටිය නොහැකි නිසාය.
එහි අවතැන් වී සිටින අපේම ජනතාවට අපිට හැකි අයුරින් පිහිටක් වීමට හැකිනම් එය කෙතරම් උතුම්ද ?
අප ඒ අපේම ජනයාට උපකාර කිරීමට තීරනය කලෙමු....ඒ සදහා අප වියලි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔව්නට ලබා දීමට කටයුතු කරමින් සිටී.....කුරුණෑගල අවට ඔබට ඒ සඳරා ඔබටද දායක විය හැක....ඔබත් දායක වීමට කැමති නම් අපගේ පත දුරකථන අංක වලට අමතන්න...
076 807 96 99
037 397 72 15
[නොදන්නා අයවලුන්ට දැනුවත් වීමට මෙය ශෙයාකර සහයෝගය දැක්වීමට කටයුතු කරන්නේන් නම් ස්තූතිවන්ත වෙමි..]

සංඛ රණධිර  විතාන ගෙන් 

ගංවතුර හා නායයෑම් සහ අපේ දායකත්වය

SANKHA RANADHEERA VITHANA·THURSDAY, 19 MAY 2016
ලංකාව තුළ ඇතිව තිබෙන ගංවතුර සහ නායයාම් ආශ්‍රිත හදිසි තත්ත්වය තුළ ලංකාවේ සමාජ මාධ්‍ය (ෆේස්බුක්) හි හැසිරීම ප්‍රශංශනීයය. සුපුරුදු නොදියුණු, පසුගාමී කතාබස් අල්පයක් පැවතියා වුවත් සමස්තයක් ලෙස ෆේස්බුක් තුළින් සාධනීය මෙන්ම, වඩාත් සක්‍රීය දායකත්වයක් මේ වනවිටත් ලබාදෙමින් සිටී.

බොහෝ පිරිස් සහ සංවිධාන මේ වන විටත් බඩුභාණ්ඩ එකතුකිරීමේ කර්තව්‍යයන්වල නිරතවෙමින් සිටී. ඒ පිරිස් මගින් රජයේ අසවිධානාත්මක තත්ත්වය අභිබවා හදිසි තත්ත්වයෙන් එතෙරවීමට දායකත්වය ලබාදෙමින් සිටී.

කෑගල්ලේ වෙසෙන මගේ පුද්ගලික මිතුරෙකුට අනුව, අරනායක සහ බුලත්කොහුපිටිය තුළ පවතින තත්ත්වය තුළදී එතරම් ශ්‍රම අඩුපාඩුවක් නොමැත. විශේෂයෙන් රජයේ හමුදාවන් ඒ වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබාදෙමින් සිටී. එසේම එදිනෙදා කෑමබීමද ප්‍රදේශවාසීන් විසින් සපයමින් සිටිති. කෑගල්ල ප්‍රදේශයට ආධාර රැගෙන යන අයවළුන් විසින් විශේෂයෙන් අවධානයට ලක්කළ යුතු බඩු භාණ්ඩ නම් වියළි ආහාර, සනීපාරක්ෂක උපකරණ, බෙහෙත්, කුඩා ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් වූ භාණඩ වැනි දෑය. මගේ මිතුරා අදාළ ප්‍රදේශය තුළ ස්වේඡ්ඡා සේවය තුළ නිරතව සිටින අතර ඔහුගේ විශ්වාසවන්ත භාවය පිළිබදව මට වගකිවහැක. අවශ්‍ය ඕනෑම කෙනෙකුට ඔහුව සම්බන්ධ කරගැනීමට 0716244202 (ඉන්දික) තුළින් සිදුකළ හැක.

අවධාරනය - කැමරා බහුල සමාජයක සියළුදෙනාහටම මාධ්‍ය කාර්යභාරයක් ඇත. එහෙත් ඡායාරූප ගැනීමේදී මූලික මාධ්‍ය සදාචාරයන්වත් පිළිපැදීමට සිහිතබා ගන්න. විශේෂයෙන් මළසිරුරු සම්බන්ධයෙන් වන ඡායාරූප සමාජජාල තුළ සංසරණය නොවන්නේ නම් වඩාත් හොදය. මියගොස් ඇත්තේ අපවැනිම ගෞරවයකින් ජීවත් වූ අපේම සහෝදර සහෝදරියන්ය.

මේ හිමාශි කරුණාරත්න ගෙන්.

අරණායක මිනිස්සු සිය ගණනකගේ,
ප්‍රාණ වායුව මහ පොළොව යට මිහිදන් වුණා ..
ඒ විතරක්ද කොළඹ අවිස්සාවේල්ල තව හුඟාක් පැතිවල
අහිංසක මිණිසුන්ගේ පුංචි දරු පැටවු
ඇගට ඇදගන්න රෙදී කෑල්ලක් නැතුව හීතලේ හැහෙනවා
සමහර විට හීතලක් දැනෙන්නේ නැතුව ඇති
උන්ගේ සිත් වල කැකෑරෙන වේදනාව හීතල වසං කරලත් ඇති.
පුංචි රෙදි කෑල්ලක් , ඇදුමක් පැලදුමක් , බිස්කට් පැකට් එකක්
සිද්දාලේප කුප්පියක් පැනඩෝල් පෙත්තක්
තව මොන තරම් දේවල් මේ අහිංසක මිනිසුන්ට උවමනා වෙලා ඇත්ද?
ආදරණිය මිනිසුනි.....!!
අපි එකතු වෙලා මේ අහිංසකයන්ගේ නැතිවුන ජීවිත ගන්න බැරි උනත්
මේ මොහොතේ සිදු විය යුතු යුතුකම ඉටු කරමුද
දේශපානය අරමුණු , වර්ග වාද , ගෝත්‍රවාද ගැන හිතන්න කලින්
මිනිස්සු විදිහට අපට දෙයක් කරන්න තියෙනවා
ඔයාලට පුළුවන්නම් හෙට හා අනිද්දා දවස් දෙකේ
මේ අය වෙනුවෙන් පුංචිම දෙයක් හරි අරන් එන්න
* කොළඹ - අංක 56,දාබරේ මාවත,කොළඹ 5
* කැළණිය - ගුරුකුල විද්‍යාලය අසල විහාරය
*කිරිබත්ගොඩ සහ දළුගම - ඔටෝ ලර්න් රියදුරු පාසල කියන ලිපින වල ඔයාලගේ ආදරය ඒ හද ගැහෙන මිනිස්සුන්ට එකතු කරන් යන්න අපේ කට්ටිය බලා ගෙන ඉන්නවා.
ඒ අයව සම්භන්ධ කරගන්න ඔනි නම් දුරකථන අංක තුනක්ම තියෙනවා
ෂේන් - 071 933 6444
රන්දික - 0775685930
Kasun - 077 2345168
ආදරණිය මිතුරනි,
ඔයාලාගේ පුංචිම පුංචි පැනඩෝල් පෙත්තත්
ඒඅයට ලොකු සවියක් වේවි



Saturday, 14 May 2016

අවසානයේ දී කහසල්ලි සරදයා ද බ්ලොග් ලියන්නට ආවේය......................

සී ඩබ් ඩබ් කන්නන්ගර 
බ්ලොග් ලියන්නට අළුතින්ම  පැමිණි "කහසල්ලි" ලියන සරදට තමන් එසේ පැමිණියේ නෙළුම් යාය විසින් ඇති කළ "පිබිදීම" බව පිලි ගන්නට දිව පැටලෙන  බව පෙනේ. ඒ වෙනුවට බොහෝ වාමාංශික  "සහෝදරවරු"  පුරුද්දට (habitually) කරන්නාක්  මෙන් "විවේචනයක්" ඉදිරිපත් කරයි.

ඔහුගේ පළමු විවේචනය දේශපාලකයන් ට බ්ලොග් සම්මාන දීමට ආරාධනා කිරීම ගැනයි. කරු පරණවිතාන සම්බන්ධ කර ගැනීම ගැන "නොකී කතා"ද දෝෂාරෝපණය කල අතර ඒ ගැන පිළිතරු දී ඇති නිසා නැවත  ලියන්නට නොයමි.

සරද මෙහිදී අමුතු කතාවක්  කියයි. ඔහුගේ අන්වීක්ෂ පරීක්ෂාවෙන් පසු ඔහුට පෙනෙන්නේ අප කරු ජයසුරිය ගෙන්වන්නේ පිරිසුදු ජාතිවාදී නොවන දේශපාලකයෙකු නිසා බවයි. හැබැයි අප කොහේවත් එසේ කියා නැති බව ද ඔහු පිළිගනී.  මට නම් පෙනෙන්නේ සරද වැන්නවුන් අනිත් පාර්ශවයේ ලිපි නොකියවා අනුමාන කර ලියන බවයි. ඉන්පසු ඔහු කියන්නේ "හුදෙකලා හොඳ මිනිසුන්ට හුදකලා වීම හැර සමාජයේ තීරණාත්මකව කල හැකි දෙයක් නැත" යන්නය.   දැන් අපි මේ කතාව මදක් විශ්ලේෂණය කර බලමු.

දීප්ති  කුමාර ගුණරත්න වරක් සඳහන් කල පරිදි අපේ යුගයේ  දේශපාලන විපරිත භාවය කුමක් ද කියා හදුනා ගැනීම වැදගත්ය. මම මේ ගැන බොහෝ දුරට කල්පනා කලෙමි. මට සිතෙන්නේ මෙසේය.

පේරාදෙණි ගිය කිසියම් බ්ලොග් කරුවෙකු කි පරිදි රාජකීය විදුහලෙන් එන නවකයන්ට නවක වද දෙන සීනියර් උත්තමයන් හඳුන්වන්නේ "කුණු කන්නන්ගරෙන් " එන එවුන් කියාය.  කුණු කන්නගරේට යන එවුන් ගෙන් භාගයක්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වී රාජකීය විදුහලට එන බවද  ඔවුන් හොඳින්ම දනී.  නමුත් අර ඉරිසියාව එලෙසමය. කන්නගර කියන්නේ කවුද?

ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ලංකාවේ බ්‍රිතන්‍ය පාලනයට  එරෙහිව නැගුනු නිදහස් ව්‍යාපාරයේ සිටි පුද්ගලයෙකි.  ඔහු ගැන සරදට අනතර්ජාලයේ කියවා ගත හැකිය. ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ඇමතිය. එස් ඒ වික්‍රමසිංහ ආදීන් ගේ සහයද ඇතිව නිදහස් අධ්‍යාපනය ඇති කලේ ඔහුය. ආදී කාලීන එජාපයේ ඩි ඇස් සේනානායක විරුද්ධ වෙද්දී  ජේ ආර්, ඩඩ්ලි, (ඔව් ජේ ආර්) , ඔලිවර් ගුණතිලක, ඇන් ඇම් පෙරේරා, මලලසේකර ආදීන්ගේ සහයෙන් ඔහු අධ්‍යාපන පනත  සම්මත කර ගත්තේය.  සරද  වැනි අය උගත් බණ්ඩාරවෙල මැදි මහා විදුහල වැනි මධ්‍ය මහා විද්‍යාල රාජකීය විදුහලේ ඌරුවට ඇති කලේත් ඔහුය. පේරාදෙණිය ද ඇතුලත් ලංකා විශ්ව විද්‍යාලය පිහිටෙව්වේද පිරිවෙන් අධ්‍යාපනයට තැනක් දුන්නේද ඔහුගේ අවුරුදු දහසයක අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කල කාලය තුලය.

අසුව දශකයේ අග භාගයේ පෞද්ගලික වෛද්‍ය විදුහල පිහිටුවද්දී එයට එරෙහිව නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ජනතාව පෙළ ගැස්වූයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශික පක්ෂයන්ය.  "කුණු කන්නන්ගරය " කියා පේරාදෙණි ගියවුන් අපහාස  කරන්නේ ද තමන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමට තම පක්ෂයේම නායකයන්ගේ විරුද්ධතා මැද  කටයුතු කල යුඇන්පී කාරයෙකුටය. විපරීත භාවය ඇත්තේ මෙතනය. නිදහස අධ්‍යාපනයට අද විරුද්ධ වන්නේ යුඇන්පී සහ සමහර ශ්‍රීලංකා කාරයන්ය.

සාමාන්‍යයෙන් වාමාන්ශිකයන් අනිත් අයගේ ලිපි කියවන්නේ නැත. (දීප්ති වැනි කීප දෙනෙකු හැර )  තමන්ගේ ලිපි හෝ තමන්ට අනුබද්ධිත වෙබ් අඩවියක පත්තරයක මිස අනිකුත් දේවල් නොකියවිමේ සිරිතක් ඔවුන් තුල පවතී.  එනිසා කරු ජයසුරියට 2015 ප්‍රථම සම්මාන උළෙලට ආරාධනා කළේ ඇයිද යන්නේ මෙහි ලියා ඇති  බව කියමි.
සරද මෙතන කියවන්න.  යාපනයේදී අනවසර වැලි ගොඩ දැමීමක් කිරීම ගැන ලියු සමාජ ජාල ක්‍රියාකරුවෙකු මරා දමා තිබුණි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන පනතක් ශ්‍රී ලංකාවේ නැති නිසා ඒ ගැන තොරතුරු දැන ගන්නට ක්‍රමයක් නැත.

මේ ලිපියේ තිබෙන්නේ  අප ඔහුට ආරාධනා කළ හේතුවයි. අපි 2015 නෙළුම් යාය උළෙලේදී කරු ජයසුරිය  මහතාට තොරතුරු දැන ගැනීමේ නිදහස තහවුරු කිරීමේ පනත සම්මත කිරීමට ඔහු ගෙනයන සටන ගැන  විස්තර කිරීමට ඉල්ලීමක් කළෙමු.  කරු ජයසුරිය මහතා දෙවරක්ම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ  පනත ඉදිරියට  ගෙන ආවත් එය  දෙවරක්ම පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේප වුණි. බ්‍රිතාන්‍යයේ  සමහර මන්ත්‍රීවරු  මේ Freedom of Information Act  පනතට බියය. සමහර  රජයේ ආයතන ද බිවෙති. පසුගිය අවුරුද්දේ පමණක් 30,000 පමණ දෙන තොරතුරු පනතට අදාලව රජයේ ආයතන හා මන්තිවරුන් ගේ විස්තර ඉල්ලා තිබුණි .  මේ  පනත ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආණ්ඩුවක් මගින් වසර 2000 දී පමණය.

රාජ්‍ය දුෂණ අවම රටක් වන ස්වීඩනයේ මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය 1766 සිට පවතී. එක්සත් ජනපදයේ ලින්ඩන්  ජොන්සන් එය අනුමත කලේ 1966 දීය.

ලංකාවේ දේශපාලකයන්  මේ පනත  ගැන බියවීම  අහන්නත් දෙයක්ද?  2016 මාර්තු 24 දා කරු ජයසූරිය මහතා  කථානායක ධුරය හොබවන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එය සම්මත කෙරුනි.  ඔහු වෙනුවෙන් පනත සභාවට ඉදිරිපත් කලේ ජන මාධ්‍ය අමාත්‍ය
ගයන්ත කරුණාතිලකය.  නෙළුම් යාය උළෙලේට පැමිණි කරු ජයසුරිය මහතා පනත පැය 72ට කලින් සම්මත වූ බව සාඩම්බරයෙන් ප්‍රකාශ කළේය.
2016 නෙළුම් යාය සම්මාන උළෙලේ  නිමේශයක් 

 මෙවර  නෙළුම් යාය  සම්මාන දෙන අතරතුර කථානායක තුමා පනත  සම්මත වීම ගැන මගේ අදහස විමසීය.  "ජනතාව  මේ ගැන වැඩිය දන්නේ නැහැ නේද " යන්න  ඔහුගේ ප්‍රශ්නය විය.  මම ඒ මහතාට පැවසුවේ, මේ පනත  මගින් ඔහු ඉතිහාසයට එක්වන බවයි. ජනතාවට පනතේ  වටිනාකම වැටහෙන්නේ පසුව බවයි.

ශ්‍රී ලංකාවේ පවතින විපරිත ඩීල් දේශපාලනය අනුව තවත්  අවුරුද දහයකින් පමණ සමහර විට ලංකාවේ බලයට පත් වන්නේ එක්කෝ දහම් සිරිසේනය. නැත්නම් නාමල් රාජපක්ෂය. නැත්නම් සජිත්  ප්‍රේමදාසය. දහම් හෝ සජිත් ජවිපෙ අනුර කුමාර හෝ වෙනයම් නායකයකු සමග ඩීල් දමනු ඇත. පෙසපේ ගුණරත්නම් නාමල් හෝ තවත් අයෙකු සමග ඩීල් දමනු ඇත. ඉන්පසු උනුත් එකයි මුනුත් එකයි කියා ආණ්ඩුවට එක්  නොවනු ඇත.  අර පත්ව එන නායකයාට සහය ගැනීමට සිටිනා  මන්ත්‍රීවරු මෙන්ම  රජයේ නිලධාරින් බේරා  ගැනීමට නම් උන් පිලිබඳ සත්‍ය තොරතුරු හෙළි දරව් වීම  අවාසිදායක  වනු ඇත. මාතලන් වැනි හැම කුණු මුල්ලකටම හොට දමන නසරාණි බ්ලොග් කරුවන්, සමාජ ජාලා ක්‍රියාකාරීන් පනත ආධාරයෙන් තොරතුරු සොයනු ඇත. ඒ නායකයන් එවිට මේ පනත අවහිර කිරීමට  කටයුතු කරනු ඇත.

අන්න ඒ දිනට කරු ජයසුරිය ඉතිහාසගතවනු ඇත. ඔහුගේ මේ  පනත වෙනුවෙන්, අනාගතයේ එවන් දිනක පෙළපාලි යනු ඇත්තේ  ජවිපෙ හෝ පෙසප වැනි වාමාංශික දේශපාලන පක්ෂයක් හා එවකට තිබෙන විපක්ෂය වනු ඇත. එදිනට සරදට මාවද නෙළුම් යායද  මතක් වනු ඇත.

පරණම යුඇන්පී (formerly ceylon national congress ) කාරයෙක් ඉදිරිපත් කල නිදහස් අධ්‍යාපන පනතෙන් පිහිටවූ අධ්‍යාපන ක්‍රමය රැක ගැනීමට ගුණරත්නම් මහතාද සිටි ජවිපෙ බොහෝ කැපකිරීම් කළේය. සරද ද දැන් මගෙන් කරු ජයසුරිය ගැන ප්‍රශ්න කළාට අනාගතයේදී අප සමග මේ පනත  රැක ගැනීමට සටන් කරනු ඇත. මේ සරදට නොපෙනන දීප්ති වැන්නවුන්ට පෙනෙන දෙයයි.

මා දිප්තිව අදාල කර ගත්තේ  මෙවැනිම චෝදනාවක් චමීර කොස්වත්ත විසින් දීප්තිට විරුද්ධව  එල්ල කල හෙයිනි. දීප්ති යුඇන්පී එකට වැඩ කරන බවත්  සමහර විට රජයට පවා එක්විය හැකි බවත් ඔහු කිවේය.

ඉන්පසු සරද විසින් "පිරිසිදු කරූ පවා මේ රජයේ දැති රෝදයක්" බව කියමින් ලොකු කතාවක් කියයි. එය අවසන් වන්නේ මෙසේය. "අවසාන විග්‍රහයේදී රාජ්‍ය හිටගන්නේ දැනුමට අනික් පැත්තේ."

සරද අඩුම ගනනේ මගේ කතාව  හෝ කියෙව්වා නම්.  මෙන්න මේ කොටස "පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් මේ සම්මාන උළෙල කරන්නෙමු.  එසේම අප කල්පනා කරන්නේ දැනුම ලබන ජනතාව රැවටිය නොහැකි බවය. " මගේ පිළි ගැනීමේ කතාවේදී  මා ඒ බව කෙලින්ම කියා සිටියෙමි.

රාජ්‍යය සිට ගන්නේ දැනුමට අනිත් පැත්තේ විය හැකිය. එහෙත්  අපේ අදහස දැනුම ලබන ජනතාව  රැවටිය නොහැකි බවත් ඒ නිසා බ්ලොග් හා අනෙකුත් සියලුම මාධ්‍යයන් භාවිතා කර අප ජනතාවට  දැනුම ගෙන යන බවත්ය.  රජයක් එයට විරුද්ධ වන අවස්ථාවක අප සිට ගන්නේ රජයට විරුද්ධ පැත්තේය. එතැනදී එය මොන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේද යන්න  අපට අදාල නැත. අප නිවැරදි බව බ්ලොග් ලියන්නට මෙන්ම කියවන්නට එකතුවන ජනකායෙන් පෙනේ.  දැන් සරද ද ඒ අතර සිටීම අපේ සතුටට කරුණකි.

කරුණාරත්න පරණවිතාන යටතේ සිටින නිලධාරීන් නෙලුම් යායට කුඩම්මාගේ සැලකිලි දැක්වීම හා ඔවුන් ගෝඨා ගේ මිනිසුන් බව අර්ථ දැක්වීම සරදගේ කියවීමක් පමණකි.  මේ තියෙන්නේ හයිබ්‍රිඩ් ආණ්ඩුවකි.  ලංකා දේශපාලන  ඉතිහාසයේ ප්‍රථම වතාවට, අලුතින් පැමිණි ආණ්ඩුවේ  දේශපාලකයන් විසින් පරණ ආණ්ඩුවේ රැකියා කරන නිලධාරීන් එළවා කරන  දේශපාලන පලි  ගැනීම් කිරීමට  ඉඩක් නැති විය. අමරබන්දු  ගැන ලියු අරුණ පෙරේරා ගෙන් ඇසුවා  නම් ඔහු මේ අතීත දේශපාලන පලිගැනීම් ගැන හා ඉන් සිදුවුන ජිවිත විනාශ සරදට කියනු ඇත.  නිලධාරීන් ගුරුවරුන්ට කරන හිංසා  ගැන මනොෂ් හා හෙන්රි වැනි බ්ලොග් කරුවන් ලියූ  දේ සරද කියෙව්වා ද?  අප විරුද්ධ මේ නිලධාරිවාදයට මිස ගෝඨා කතාවකට  නොවේ.

බොහෝවිට ගෝඨාභය තමන්ගේ නම මේ නිලධාරීන් භාවිතා කරන බව දන්නේ හෝ ඒවා අනුමැත කරන්නේ වත් නැතිවිය හැකිය. ඔහු කතා කරන්නේ පවා ඊට වඩා බරපතල දේවල් ගැනය. අප පෙන්වා දුන්නේ මිනිසුන්ගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වෙන රජයේ ආයතනයක් ගැනය. එවන් ආයතනයක නිලධාරීන් ගැන ප්‍රශ්න කිරීමට ජනතාව ගෙන් කොටසකට අයිතියක් ඇත. අප කළේද එයයි. නැතිව රජය සමග ගැටී අප සසල වූවා යයි කීම සරද ගේ හිතළුවක් පමණි.

විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධවද එය එසේමය සරද. ජනතාවගේ  බදු මුදලින් පවත්වා ගෙන යන නිදහස් විශ්ව විද්‍යාල වල උගන්නා  සිසුන් ගේ නවකවද  හෝ වෙනයම්ම කටයුතු ගැන විමසීමට මොන උප සංස්කෘති තිබුනද, එම රටේ ජනතාවට  අයිතියක් තිබේ.  මුලින් නවක වදය කර ජනතාව  එයට එරෙහි වූ පසු රජය නීතිය අතට ගත්තේය. රජය නවකවදය මුවාවෙන්  සිසුන් මර්දනය කරනවා කීම දැන් විහිළුවකි. රජය කලේ රැල්ල යන පැත්තට අමුඩය ගැසීම පමණි. විශ්ව විද්‍යාල සිසුන්ට තිබුනේ අපත් මේ නවක වදයට විරුද්ධයි. මේ සිසුන් නිදහස් කරන්න. අපි ඔවුනට නවක ශිෂ්‍යාව ගෙන් සමාව ඉල්විමට පවසන්නෙමු කියා වැඩේ ගොඩින් බේරා ගැනීමට ය.  ඔවුන්ට අවශ්‍ය එය නොව සිසුන් අතරේ වීරයන් වීමය. දැන් පෙළපාලි යාමට තවත්  නිමිත්තක් හදිසියේ ලැබී තිබේ. මෙන්න මගෙන් අත්පුඩි.

 රාජ්‍ය නම් විශාල ඝනකම් පර්වතයේ පුංචි විය සිදුරක් හමුවීම නිසා සමස්ථය සසලවී ඇත්තේ අපට නම් නොවේ. රජය යනු කුමක් දැයි අප හොඳින් හදාරා ඇති බැවිනි.

පරණවිතාන ගේ උදව් ගැන කිවේ ඔහු නෙළුම් යායට  බලපෑමක් නොකළ  බව පැහැදිලි කිරීමටය.  සරද තනිකරම රාජ්‍යයේ සහභාගිත්වය ප්‍රශ්න  කරන්නේ ඔහු පවතින රජයට විරුද්ධ පක්ෂයක අයෙක් නිසා වීම පමණකි. නොකී කතා විරුද්ධ වන්නේද ඒ අනුවය. නමුත් එසේ නොමැති බව වටහා ගත්  මොහොතේදීම නොකී කතා නොහොත් හෙන්රි වර්ණකුලසුරිය මහතා වේදිකාවට අවතීරණ වීමට පැකිලුනේ නැත . ඒ තීරණය ගැන ඔහුට ස්තූතිවන්ත වෙමි.

සමහර විට අප පුබුදු ජයගොඩ මහතා ටත්  ආරාධනා කළා නම්  සරද මෙසේ නොලියන්නට ඉඩ තිබේ.  එසේම සමහර විට වාමාංශික රජයක් යටතේ එහි ඇමතිවරයෙකුට කතා කලා නම් ද ඔහු විරුද්ධ නොවනු ඇත.  මෙය පුහු යුඇන්පී විරෝධයක් පමණි. අපට එවැන්නක් නැත.


සිංහල  බ්ලොග් ඉතිහාසය අවුරුදු දහයකට එහා දිවෙන්නෙකි. ඒ අතරතුර  බොහෝ සින්ඩි බිහිවිය.  ඈත කාලයක එක පේලියට බ්ලොග් ලිපින ඇති වෙබ් පිටුවකින් බ්ලොග් කියෙව්වා මතකය.ඒ ලංකා බ්ලොග් කියවනය හෝ වෙන එකක්ද යන්න මට මතක නැත.

මේ බ්ලොග් ලෝකය ට වෙනත් විධිහකට ඉදිරිපත් වන්නට  අදහසක් ඇති වුනේ ඇයිද යන්න හා එයට ලංකානිව්ස්වෙබ් අඩවියේ නෙළුම් යාය අංශය එක් වුයේ කෙලෙසද යන්නත් දහ දොළොස් පාරක්  ලියා ඇති නිසා  ඒවා නැවත  ලියන්නේ නැත. සරදට අවශ්‍ය නම්  මගේ බ්ලොගයේ ඒවා කියවා  ගත හැකිය.

ඒ කිසි  තැනක නොලියු දෙයක් දැන් ලියමි.

මින් වසර දෙකකට පමණ පෙර නෙලුම් යාය සම්මාන උළෙලක්  පටන් ගැනීමට පෙර ඒ සඳහා සාකච්චාවට මගේ නිවසට පැමිණීමට මා ඇරියුම් කළේ හතර දෙනකුටය. අගෝරාවේ සිටින දැන් කහ සල්ලි බ්ලොගය පටන් ගත් සරද සමරසිංහ, සංඛ රණධිර විතාන, අරූගෙ අඩවිය ලියන අරුණ පෙරේරා හා ලංකානිව්ස්වෙබ් හි එවකට ප්‍රධාන කර්තෘ චන්දිම විතනාරච්චිටය.  මුලින් කි දෙදෙනා සරද්ද හා සංඛ කිසියම් හේතුවක් දක්වා නොපැමිණියහ. බ්ලොග් සම්බන්ධව ඔවුන්ගේ තිබුනේ මේවා වැඩක් නැති දේ  වැනි හැඟීමක් බව මට සිතුනි.  සංඛ කිවේ ඔහු බූන්දියට ලියන බවයි. එසේ නැතහොත් ප්‍රතිචාර දමන බවයි.  බුන්දියට දමන ප්‍රතිචාර වලින් වැඩක් නැත්තේ කිසිවකු ඒවාට පිළිතුරු  සපයන්නේ වත් සංවාදයට එන්නේ වත් නැති හෙයිනි. සරද ගේ ලිපි කිහිපයක්ම බුන්දියෙන් මට හමුවී තිබේ. මා දන්නා පරිදි බූන්දියේ පල වෙන්නේ කිසියම් "ප්‍රගතිශීලි" ලේබලයක ට වැටුණු ඒවා පමණි. එයිනුත් රුවන් ජයතුංග හැර අනිත් ලේඛකයන් කිසියම් කණ්ඩායමකට අයත් විය යුතුය යන හැඟීමක් මට තිබේ. මා වැරදි වෙන්නට පුළුවන. ඔවුන්ගේ වෙබ් අඩවියට යොමුව නෙළුම් යායේ තිබේ.

සාකච්චාවට පැමිණි දෙදෙනා ගෙන් අරූ එයට මුලදී කැමති වුනත් බෝතලයක සහයෝගයකින් පසු සියල්ල අවුල් වන බව මට පැහැදිලි විය. මගේ ඉංග්‍රීසි බ්ලොගයේ කිසියම් ලිපියක්  ලිවූ පසු මට හදිසියේ  මට ලැබුණු ඊමේලයක් ගැන සාකච්චාවේදී සඳහන් කලෙමි. සිංහල බ්ලොග් පවා අවශ්‍ය නම් කිසියම් ආයතනයක  හෝ කණ්ඩායමක නිරීක්ෂණයකට ලක් කල හැකි බවටත් ඒවා සම්පුර්ණයෙන් ම නිදහස් යයි  සිතීම මිත්‍යාවක් බවටත් ඇතිවූ කතා බහේදී අරූ ද සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය. මා  ඔහුට කිවේ සත්‍යයකි.

නමුත් ඉන් අවුරුද්දකට පසු දෙල්කඳ හන්දිය නමින් ලංකානිව්ස්වෙබ් අඩවියට කොලමක් ලිවීමට නම් අරූ එකඟ විය. ඒ අනුව පෙනී ගියේ මෙතන  තිබුනේ වෙනත් ප්‍රශ්නයක් බවයි.  මා ප්‍රදීප් ජයතුංග නමැති සුප්‍රසිද්ධ බ්ලොග් ප්‍රතිචාර දමන්නා සමග අරූ හමුවීමට ගිය විට ඔහු එය කිවේ මෙලෙසය. "උඹ නිකන් ගරිල්ලා කාරයෙක් වගේ නේ මෙතනට කඩා වැදුනේ. එක පාරටම ඇවිත් මෙතන එක එක දේවල් කරන්න  ආවා. නිදහස්ව තිබබ් අවකාශය නැති කලා. " යනුවෙනි. මා ඔහුට මුලින්ම ආරාධනා කල බව අමතක විද? නෙළුම් යාය මුල්ම සංස්කාරක පදවිය  ඔහුට දීමට යෝජනා කල බව ඔහුට අමතක වීද?

මා  අදත් කියන්නේ කාගේවත් නිදහස් අවකාශයක් අප බදු නොගත් බවයි. ලියන අයට මොනවා ලියන්නදැයි අප කියන්නේ නැත. දැන් නැවත අරූ ද එක්තරා ප්‍රමාණයකට බ්ලොග් නිර්දේශ කිරීමට නැවත  එකඟ වී තිබේ.

සරද ගේ අනිත් අදහස  නම් මදක් විහිළු සහගතය. බ්ලොග් ලිවීමෙන් විප්ලව කල නොහැකි බවයි. බ්ලොග් වලින් විප්ලව කරන්නට අප කවදාවත්, මම පෞද්ගලිකවත් පොරොන්දු වී නොමැත.

හැබැයි විප්ලව කරන්නට යන පක්ෂ වලට නම්, වෙබ් අඩවි, පත්තර , පුවත්පත් ගණනාවක් තිබේ. ඒ පක්ෂ වලට අදාල අය බ්ලොග්ද කරති. ඔබ ඒ ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසුවාද? ඔවුන් විමුක්තිය දෙන්නට යන්නේ තමන්ගේ  වෙබ් අඩවි හා පත්තර කියවන
සුළුතර පාඨක සංඛ්‍යාවකට පමණක් වන නිසා හා  වඩා  පළල්  අවකාශයක වැඩ කිරීමට ඔවුන්ට ඇති නොහැකියාව මා  දැක ඇති නිසා  ඔවුන්ගේ  විප්ලව ගැන මගේ විශ්වාසයක් ද නැත.

බ්ලොග් වලින් හා නෙළුම් යායෙන් කරන්නට යන්නේ ජනතාවට  දැනුම ලබාදීම, කලාව සහ සාහිත්‍ය පිලිබඳ සංවාදයන් දියුණු කිරීම  හා ඒවා කරන අය ඇගයීම පමණකි.

මට අද තවත්   සතුටුදායක  ආරංචියක් ලැබුණි. කේම්බ්‍රිජ් සරසවියේ Narratology පිලිබඳ පර්යේෂණ නිබන්ධනයක් ලියන ආචාර්යවරියක්  නෙළුම් යාය  සහ සිංහල බ්ලොග් කරුවන්ගේ සංවාද පිලිබඳ පරිච්ඡේදයක්  ඇගේ නිබන්ධනයට ඇතුලත් කර ඇති බවයි. ඉදිරියේදී ඒ ගැන ලියමි.

සරද ලා දැන් බ්ලොග් අවකාශයට එන්නේ දෙවන බ්ලොග් සම්මාන උළෙලෙන් දැනුනු දැඩි ඌශ්ණය නිසාය.  සාදරයෙන් පිළිගනිමු.


Tuesday, 10 May 2016

මොස්කව් නවක වදය 2


මොස්කව් නවක වදය 1

මා මොස්කව් හි සිටි මාදි නේවාසිකාගාරයේ තත්වය ගැන කියවූ   බොහෝ අයගේ සෝවියට් දේශය ගැන කිසියම් වික්ෂෝපයක් හටගෙන තිබුණි දුටිමි. සෝවියට් දේශයේ හොඳ නේවාසිකාගාර ඇති විශ්ව විද්‍යාල තිබුණු අතර එය  තීරණය වන්නේ කුමන රජයේ ආයතන ඒවාට සම්බන්ද ද යන්න මතය.  හැම තැනම  සියල්ල එක හා සමානව තිබුනේ නැත. උදාහරණයක් ලෙස මොස්කව් ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිලිබඳ විශ්ව විද්‍යාලය ගනිමු. ඔවුන්ට තිබුනේ හෝටල් වැනි නේවාසිකාගාරය. කුස්සියක්, කාමරය හා පුද්ගලික නාන කාමරය හා වැසිකිලියක් ද , සමහර  තැන්වල හිඳගෙන කතා කිරීමට කුඩා කාමරයක් ද තිබුණි. විශ්ව විද්‍යාලයද අළුත්ය. එයට හේතුව ගැස්ප්‍රොම් හෙවත් සෝවියට් රුසියාවේ ඛනිජ තෙල් අපනයන කරන රාජ්‍ය සමාගම සමග ඔවුන්ගේ සම්බන්ධතාවයයි. එය අදත් රුසියාවේ ධනවත්ම රාජ්‍ය සමාගමයි.

සෝවියට් මිත්‍ර පදනමේ මුදල් වෙන් කෙරුණු ලුමුම්බා වේ සාමාන්‍ය තරමක හොඳ නේවාසිකාගාර තිබුණු අතර වෛද්‍ය  විද්‍යාල හා ගුවන් යානා තාක්ෂණ විද්‍යාල මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ඇතැම් කොටස් ද ඉතා හොඳ විය. එයට හේතුව ඔවුන් හා සම්බන්ධ රාජ්‍ය ආයතනද මුදල් ඇති ඒවා වීමයි. අපගේ මූලික අවුරුද්ද තිබු මාදි විශ්ව විද්‍යාලය 1930 පටන් ගත්  එකක් වන අතර අපේ නේවාසිකාගාරය ඒ කාලයේ සෑදු පරණම එකක් විය. එහි අනිත් නේවාසිකාගාර හොඳ තත්වයේ ඒවා විය. මේ නේවාසිකාගාර සියල්ලේ වාසය කිරීමද  නොමිලයේ ය. මා ඉන්පසු ඉගෙන ගත් මොස්කව් විදුලි ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ තමන් ගේම තාප විදුලි බලාගාරයක් ද තිබුණි.

මා එහි ගොස් මාස කිහිපයකට පසු ශීත සෘතුව එළඹුණු අතර ඒ නවක වදය නම් ඉතා දරුණු විය.  නේවාසිකාගාරයට යන මාර්ගයේ හිම ඉවත් කර නැත්නම් යාම ඉතා දුෂ්කරය. එහිදී අපහට නොමිලයේ ලබා දුන් පල්තෝව හෙවත් විශාල හිම කබාය ඉතා බර එකක් විය. සෘණ අංශක 15 කට පමණ උෂ්ණත්වය අඩුවෙන හෙයින් මේවා ඇඳීම අත්‍යවශ්‍යය. ඇතුලටත් හොඳින් ඇඳ බර වින්ටර් බූට්ස් දාගත් පසු ඇවිදීම සමාන වන්නේ අභ්‍යවකාශගාමියෙකු ගේ අමාරුවෙන් ඇවිදීමටය.

එක් දිනක  පන්ති ගොස් ඉන්පසු අසල වෙළඳ හල් කිහිපයකින් රාත්‍රියට  ඉවීම සඳහා (ජිවිතයට කිසි දෙයක් උයා නැති මට  චිකන් කරියක් හා එළවළුවක් හදන්නට ඉගැන්වූයේ කාරුණික ජ්‍යෙෂ්ඨ සිසුන්ය. ඒ නිසා අප මාරුවෙන් මාරුවට  කෑම ඉව්වෙමු.) මස් ආදිය  රැගෙන හිම ගොඩේ ඇවිදගෙන එද්ද ඇති වූ මහන්සියට මට එහි සිටීම එපාවිය. එදා රැයේ මගේ දුක කියා මවට  කවි පෙළක් ලීවෙමි. අර එපාකරපු ජ්‍යෙෂ්ඨයන් රැල  එයද උදුරාගෙන කියෙව්වෝය. කවි පෙළ මට දැන් මතක නැත.

මා පැමිණි අවුරුද්දට කලින් සිදුවුණු සිද්ධියකදී  ලංකාවෙන් ඉගෙනීමට ආ  ගැහැණු ළමුන් සමුහයකට ජ්‍යෙෂ්ඨ අයියලා රාත්‍රී කෑමකට ආරාධනා කර තිබිණි.  ඔවුන්ට හොඳට හොඳට ඇඳගෙන එන්න යැයි ද අවවාදයක්‌ ද කර තිබිණි. භය වුනු නංගිලා ටික උත්සවයකට අඳින්නට ලංකාවෙන් ඔතා ගෙන ආ සාරි හැට්ට, ඔසරි එලියට ගෙන ඒවා ඇඳගෙන අඩි  උස සපත්තු පැළඳගෙන,    හිමේ එරී ගෙන කට කට ගගා සීතලෙන් වෙව්ලමින් අයියලා  සිටි  නවාතැනට ගොස් ඇත. උන් ටික පුදුම වී අසා ඇත්තේ "මේ මොකද " කියාය. "ඇයි යි .. අයි යයි ..යි යලා  හොඳට ඇඳගෙන එ...න්න කිව්..වේ " යි සීතලෙන් ගැහෙමින්ම නංගිලා පිළිතුරු දී තිබේ,. "නැහැ මේ අපි හොඳට ඇඳගෙන එන්න  කිව්වේ මේස් දෙකක් වත් එක්ක බූට් දාලා  , ඝන ස්වෙටරයකුයි කබායකුයි ශීත  එන්නැති වෙන්න ඇඳන් එන්න කියල. " ඇඟට නොදැනී ඔවුන්  පිළිතුරු දී ඇත.

ඊළඟ මාසයේ අග වෙන විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ සිසුන් අලුත් සිසුන් වූ මටත් මගේ රූමා ටත් රාත්‍රී කෑමට ආරාධනා කළහ.  ආනන්දියකු වන මගේ රූමා දැන් සිටින්නේ ඔස්ට්‍රේලියාවේය.   මස්, බත් සහ වොඩ්කා  වලින් සමන්විත රාත්‍රී සාදයක් ඔවුන් සංවිධානය කර තිබු අතර පියකරු රුසියන් හා ලතින් ඇමෙරිකානු යුවතියන්ද බොහෝ වූහ. සාදය සංවිධානය කල ජ්‍යෙෂ්ඨයා දැන් ලංකාවේ  පෞද්ගලික විශ්ව විද්‍යාලයක සීඊඕ කෙනෙකි.

මේ ජෙෂ්ඨයා මා සහ රූමා බලා ගැනීමට කියා පියකරු යුවතියන්  දෙදෙනෙකුට  භාර දුනි.  "හොඳින් කාල බිල එන්ජෝයි කරපල්ලා. ඉන්න  අල්ලපු කාමරේත් තියනවා"  කී   ඔහු අප අනිත් අයටද හඳුන් වා  දුන්නේය.  ඔහුගේ කාමරයේ සින්ක් එකක්ද තිබු අතර පුද්ගලික නාන කාමර ද   විය.

ජිවිතේ පළමු වරට බිව් වොඩ්කා  දෙක තුනකින් මා හොඳටම   කරකැවි ගියේය. කට්ටියම නටන්නට පටන් ගත්හ. අර හඳුන්වා දුන රූමත් ගෑනු ළමයාද මා  සමගම නටන්නට වූවාය. ඇය  මගේ ගෙලට  අත දා ගැනීම හා මා  ඇය වටා  කරකැවීම හොඳටම වෙරිවී සිටි මට මහා වදයක් වූ නමුත් ජ්‍යෙෂ්ඨයන් රැල  හොඳ විනෝදයක් ලබනු පෙනිණි.   රුසියාවට පැමිණ මාස  කිහිපයක් නිසා ඇය කියන කිසිම දෙයක් මට තේරුනේද නැත.

කෑමත් කා තවත් බිබී සිටින  අතරේ කාමරේ මද අඳුරේ මගේ  ගෙල වටා අත යවා  ගෙන නටමින් සිටි කෙලි පැටික්කිය මගේ කණ වික්කාය. යකා ආරුඪ වුනු මම ඇයට බැන වැදී තල්ලු කලෙමි. බිය වූ ඇය  වහ වහා  අනිත් අය අතරට ගියාය. පසුව කවුරුන්දෝ සමග ඇය ගිය බවක්ද  පෙනුනි.

රෑ බොහෝ වු අපි අපේ නේවාසිකාගාරයට ඇරලීමට එලියට පැමිණි ජ්‍යෙෂ්ඨයා කෙල්ල සමග වුනේ කුමක්දැයි මගෙන් ඇසුවේය.  "උන්  පළමු අවුරුද්දේ අලුත් කෙල්ලෝ. ඔන්න උඹල දෙන්න අලුත්  හින්දමයි අඳුන්වල දුන්නේ". ඔහු කිවේය.  මම ඔහුට සිදුවූ දෙය පැහැදිලි කලෙමි.  සුද්ද සිංහලෙන් පද කිහිපයක් කී  ඔහු බඩ අල්ලා  ගෙන පෙරලි පෙරලී  සිනා සුනේය.  "කණ විකන්නේ ආදරේට යකෝ, තෝ  වගේ ගොනෙක් ".

රුසියානු කෙල්ලන් කණ විකන්නේ ආදරේට බව පළමුවරට දැන ගත්තේ ඒ නවක වදය දවසේය.  හැමෝගෙම නක්කලය හා ආචාර මැද  නැවත  පැමිණීමට  අප දෙදෙනා ටැක්සියට නැග්ගෙමු.

මගදී ටැක්සිය නවතා  වීදුරුව  පහත් කර සුදු පාට හිමේ රුසියාවේ ප්‍රථම හෝටලය දැම්මෙමි.

උදේ පාන්දර අවදි වුනේ කොහොමදැයි මතක නැත.