Saturday 17 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - 1

පල්ලිය ඉදිරිපස - මෙය ග්‍රීසියේ ඇතිනා දෙවඟන සඳහා කළ පාර්තිනොන් මෙන් ඉදිරිපස කුළුණු රාශියක් පේලියට තිබේ.

පල්ලියේ ඇතුලත  මධ්‍ය ශාලාව ඉතා විශාලය.

මුළු පල්ලියම අඩ කවයක් ලෙස දෙපසට විහිදේ. මෙහි ඇති කුළුණු අතරින් ගමන් කළ හැකිය.
අප පසුගියදා රුසියාවේ කල සංචාරයේදී විශාල රෝමානු කතෝලික පල්ලියක් බලන්නට ගියෙමු. කතෝලික පල්ලි රුසියාවේ බහුලව නැත්තේ ඒ රටේ අදහන්නේ  ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය නිසාය. මේ පල්ලියේ විශේෂත්වය වන්නේ එය පමණක්ම නොවේ. සෝවියට් දේශයේ විප්ලවයෙන් පසු පල්ලි සමතලා කල අතර සමහර පල්ලි පිහිනුම් තටාක, ශිෂ්‍ය නිවාස ආදීයට පරිවර්තනය කෙරුණි. ඒ සෝවියට් රජය නිරාගමික එකක් වූ නිසාය. මේ තත්වය පැන නැගුනේ ලෙනින් ගේ කාලයේ නොව ස්ටාලින් ගේ කාලයේය.
පිහිනුම් තටාකයක් බවට පරිවර්තනය කළ ප්‍රොතෙස්තන්ත පල්ලිය 

ස්ටාලින් ඉහත සඳහන් විශාල පල්ලිය විනාශ කළේ නැත. ඒ වෙනුවට එය කෞතුකාගාරයක් කරන්නට නියෝග කළේය. පල්ලිය සතුව තිබූ රත්රන් රජය සතු කලේ ඒවායින් මාර්ග සැදිය යුතු බව දන්වමිනි.

මේ කෞතුකාගාරයේ ප්‍රධාන ලක්ෂණයක් නම් එහි එල්ලා  තිබූ විශාල ෆුකෝ ගේ අවලම්බයයි (Foucault pendulum). ප්‍රංශ භෞතික විද්‍යාඥයෙකු වන ලියොන් ෆුකෝ පෘථිවිය තමන්ගේ අක්ෂය වටා කරකැවෙන බව ඔප්පු කරන්නට විශාල අවලම්බයක් භාවිතා කළේය. එම ක්‍රමය මෙහි සඳහන්ව ඇත.  අවලම්බය පෘථිවිය කරකැවෙන ආකාරයට කරකැවෙන බව ඔහු ඔප්පු කළේය. අදේවවාදියෙකු වූ ස්ටාලින් එය එල්ලීමට අණ කලේ බයිබලය සාවද්‍ය බව පෙන්වීමට සාධකයක් වශයෙනි. මුළු පල්ලිය පුරාවට ආගම් ඇදහීමේ වැරදි  දක්වා ලිපි ලේඛණ හා ප්‍රදර්ශන භාණ්ඩ තබා තිබුණි.

සෝවියට් දේශය ට යාමට ප්‍රථම කාලයේ පවා මා පන්සල් වල හෝ කෝවිල් වල තිබූ  දේව ප්‍රතිමා වලට  වලට වන්දනා කලේ නැත. මේ ගැන මා මෙහි ලියා ඇත. සෝවියට් දේශයේ දී රුසියානු මිතුරු මිතුරියන් සමග ඉතිරිවී තිබූ ඔර්ත්ඩොක්ස් පල්ලි කිහිපයක් නැරඹීමට ගියෙමි.

සෝවියට් දේශයේ සිට ලංකාවට පැමිණි වරක බෙල්ලන්විල පන්සලට ගියේ මවගේ බල කිරීමට, ඇගේ සිත රිදවීමට නොහැකි නිසාය. පිටරට යන මා  වෙනුවෙන් ඇය මොකක්දෝ භාරයක් වී තිබිණි.

සෝවියට් දේශයේ සිට පැමිණ, එංගලන්තයේ ගතකළ කාලය තුල පන්සලකට ගියේ කවුරු හරි දානයක් දෙන විට එයට සහභාගී වීමට ආරාධනා ලැබුනොත් පමණකි.  නමුත් ඒ අතරතුර අමරාවතී නම් භාවනා මධ්‍යස්ථානයක් සහිත පන්සලට නම් කිහිප වතාවක් ගියෙමි. ඒ එය සුන්දර පරිසරයක පිහිටා  තිබීමත් සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් ලෙස බෞද්ධ කටයුතු සිදු කිරීමත් නිසාය.

මගේ පියා අවසන් හුස්ම හෙළුවේ 1998 දීය. පරිගණක භාෂා සහිතව ඉංජිනේරු කළමනාකරණය පිලිබඳ උපාධිය මා අවසන් කලේද එම වසරේය.  ඉන් පසු සෑම වසරකම ඔහු වෙනුවෙන් මව දෙන  දානයේ බරපැන මා දැරුවෙමි. අර කි අමරාවතී පන්සලටද දානය ගෙන ගියෙමි. මගේ පෙම්වතිය (දැන් බිරිඳ) බෞද්ධ පොත්පත් කියැවූ හෙයින් පන්සල් යාමට ඇයද එක්වුණේ කැමැත්තෙනි. ඇයට බෞද්ධ පොත්වල ඇති දේ විස්තර කිරීම සඳහා  මටද අවුරුදු ගණනාවකට  පසු ඒවා නැවත හැදෑරීමට සිදුවුණි. අමරාවතී පන්සලේ ඇති තිබ්බත රටේ  පොතපත ඈ වැඩිපුර කියවූවාය.
අමරාවතී භාවනා මධ්‍යස්ථානය 

ඉන් වසර දෙකකට පසු අප විවාහ වන විට මගේ බිරිඳට අවශ්‍ය වුයේ සිංහල සිරිතට උත්සවයක් ගැනීමටය. බොහොම අමාරුවෙන් ඉන්දියාවේ දී දෑතින් නිමවූ (යන්ත්‍ර වලින් නිමවූ සාරිද තිබේ යයි ඔවුන් කීහ )  සාරියක් වෙම්බ්ලි වලින් ගත්තෙමු. සිංහල සිරිතට ජාතික ඇඳුම හැඳිම  ඇගේ දැඩි අකමැත්ත මධ්‍යයේ මා  ප්‍රතික්ෂේප කළ හෙයින් ටයි එක නොමැතිව ඉන්දියානු ක්‍රමයට උඩුකය කබාය නිමකර ගත්තේද වෙම්බ්ලි හිදීය.

විවාහයෙන් පසු ඇගේ පවුලේ අය හා අපේ පවුලේ අයද සමග රට වටා කළ සංචාරයේ මුලින්ම ගියේ සුන්දර බදුල්ලටය. එහි දුන්හිඳ පැත්තේ හෝටලයක නතර වුනෙමු. මට එහි නම මතක නැත.

දුන්හිඳ බැලීමට යාමේදී එළියේ සිටින පිරිසක් බිරිඳ හා ඇගේ  පවුලේ අය දැක දුන්හිඳ බැලීම ට යාම ජීවිතයත් මරණයත් අතර සටනක් බව දක්වා රැගෙන යාමට නම් එක් අයෙකුට රුපියල් 2000 ගණනේ ගෙවිය යුතු බව කීවෝය . මම එය ප්‍රතික්ෂේප කලෙමි. මා නිතර පැමිණ ඇති බව පැවසූ විට ඔවුන් කිවේ මා  ගිය මාර්ගය දැන්  වතුරට සේදී ඇති බවත් එනිසා ඔවුන් පමණක් දන්නා මාර්ගයේ නිරුපද්‍රිතව යා හැකි බවත්ය.

මගේ පියා විසින් අප දුන්හිඳ බලන්නට රැගෙන ගිය අයුරු මට මතක තිබූ ඔවුන්ගේ කීම බැහැර කර දුන්හිඳ බැලීමට ගියෙමි. මගේ මව මෙහිදී පියා  සිහි කරමින් ඔහු මග පෙන්වනු ඇති යයි කීවාය. මම ඈට කිසිවක් නොකීවේ ඒ වනවිට ඔහු අපට අහිමිව අවුරුදු දෙකහමාරක් පමණක් වූ  නිසා ඇගේ මතකයට අනුකම්පාවෙනි.

මාර්ගයේ එක තැනක්  සෝදාගොස් තිබු අතර එතනින්  පැන යාමට ලෑලි දමා ඒදණ්ඩක් සකස් කර රුපියල් 100 බැගින් අය කරන දෙදෙනෙක් සිටියහ. මම මගේ පියා මට පෙන්වා ඇති, මේ මාර්ගයේ ඇති වෙනිවැල්ගැට වැල්, සුදු ජාතික තරුණියක් වතුරට වැටී මිය ගිය ස්ථානය ආදිය ද පියකරු දිය ඇල්ලද  පෙන්වා ආපසු පැමිණෙද්දී අර  කට්ටිය විමතියෙන් බලා සිටියහ.

මගේ වැඩිමහල් දුව අපට ලැබුණේ ඊට මාස දහයකට පසුය. මේ වනවිට මා නැවත   බෞද්ධ පොත්පත කියවා  පන්සලට දානයද ගෙන යන අයෙක් බවට  පත්වී සිටියෙමි. (මා ළමා වියේදී  දහම්පාසල් අවසන් විභාගයට පෙනී සිටි ,ශිලා ව්‍යාපාරද සංවිධානය කළ අයෙක්මි. )

මා ඉහත විස්තරය කළේ ඊළඟට කීමට යන කතාවට අවශ්‍ය පසුබිම සැකසීමටය.
https://en.wikipedia.org/wiki/Foucault_pendulum

Wednesday 7 September 2016

පලුටාව පුරා රැව්දෙන වේදනාවේ ගීතය

 මම මේ කියන්න යන්නේ වාර්තා චිත්‍රපටියක් ගැන. චිත්‍රපටියේ අධ්‍යක්ෂක නන්දන වීරරත්න. මේ වාර්තා චිත්‍රපටයෙන් විස්තර කරන්නේ  පලුටාවේ සිදුවූ දරුණු සිද්ධියකින් පසු වැසියන් තම දැඩි වේදනාවන් සමනය කර ගත්තේ කොහොමද යන්න ගැන.
(පළමු පින්තුරයේ ඇත්තේ පලුටාව යන නම ගිනි දැල්වෙන කහ අකුරෙන් ලියා දකුණු පස ගිනි ගොඩකි.)

පලුටාව කියන්නේ මධ්‍යම පළාතේ පුංචි ගමක් . අධ්‍යක්ෂකවරයා පවසන විධිහට මේ ගම්වැසියන් ලංකාවේ  ආදී වාසීන් වන වැඩි ජනතාව ගෙන් පැවත එන අය. නන්දන විරරත්නට අනුව මුළු ගමේම වාසගම් හතරලු  තියෙන්නේ.

පලුටාවේ ජිවත් වුනු මිනිස්සු බොහෝ විට මියෑදුනේ ස්වභාවික හේතුවකින් මහලු වියේදී, නැත්නම් ඉඳ හිට අලියෙක් මුලිච්චි වෙලා, එහෙමත්  නැත්නම් ලෙඩකින්. වසර 1987 අග  වන කොට ලෝකේ විශාලම හමුදාවකින් ලක්ෂ දෙකහමාරක සොල්දාදුවෝ ලංකාවට ගොඩ බැස්ස. ඒ ගොඩ බැස්ස ඉන්දියන් හමුදාව සටන් කළේ වන්නිකරේ ඊලම් කොටි එක්ක. ඒක මේ ගමේ නිසසල බවට බලපෑමක් කළේ නැහැ.

නමුත් 1989 වප් මස (ඔක්තෝබර්) හත් වනදා  මේ හැම දෙයක්ම වෙනස් වුනේ ගම ළඟම සිදුවුණු  බෝම්බ පිපිරීමකින්.

ඒකාලේ වෙනකොට ඉන්දියන් හමුදාව හා කොටි එක පැත්තක රටේ සටන් වදින කොට ශ්‍රී ලංකාවේ  දකුණු පැත්තේ වෙනම සිවිල් යුද්ධයක්. පිඩිත කියල කියන ජනතාව  එකට සටන් කළ යුතුව තියෙද්දී සටන් කරන්නෙ  බෙදිලා. උතුරේ අය නාසිවාදීන් වගේ. දකුණේ අය  පොල්පොට් ල වගේ.  තනිකරම ලේ ගංගාවක් සුන්දර ශ්‍රී ලංකාව පුරා  ගලා යනවා.

(මේ පින්තුරයේ ඇත්තේ පියා  නැති මිනිබිරියට මිත්තනිය ඉතිහාස කතාවක්  වැව අද්දර සිට කියන අයුරුය. ඈතින් පෙනෙන්නේ සිගිරි ගලයි.)

ඒ තීරණාත්මක දවසේ 1998 ඔක්තෝබර් 7 පලුටාව ගම  අසල බිම් බෝම්බයක් පුපුරා යනවා.   දකුණේ සිංහල සටන්කාමීන් රජයේ හමුදාවට විරුද්ධව ඇටවූ බෝම්බයෙන් ගජබා රෙජිමේන්තුවෙන් යැවූ නිරීක්ෂණ හමුදා ඛණ්ඩයක සිංහල හමුදා භටයන් දෙදෙනෙක් මිය යනවා. දෙමළ සටන්කාමීන් සමග තිබූ යුද්ධයේ මෙවැනි තත්වයකදී මැරෙන  එක සොල්දාදුවෙකුට දහ  දෙනෙක් මරණ පුරුද්දක් රජයේ හමුදාවලට තිබුණලු. හැබැයි ඒ මරණ දහ දෙනා හොයා ගන්නේ අහල පහලින්. සටන්කාමීන් හෙවත් ත්‍රස්තවාදීන් පැනල යනවා  හමුදාව එනකොට. ඉතින් හමුදාව වාඩුව අල්ලන්නේ ළඟම තියෙන ගමෙන්. මේ දවසේ ඒ අවාසනාවන්ත වළාකුල පෑයුවේ පලුටාවට.

හමුදාවේ අනුපාතයට අනුව විස්සක් ඕනෑ වුනත් ඔවුන්ට විසි තුනක් ම හිටිය. මේ පිරිමි වයස දාහතරේ සිට හතළිස්  පහ දක්වා අය. පෝලිම් ගස්සල වෙඩි තියන කොට එක්කෙනෙක් වෙඩි වැදිලා වගේ වැටුන . ඒ ගමගෙදර අබේරත්න. මේ තේරුමක්  නැති සමූල ඝාතනයේ එකම සාක්ෂිය. මම අසූ ගණන් වල මේ වගේ දේවල් වෙනවා කියල ඇදහුවේ ලතින් ඇමෙරිකාවේ එල් සැල්වදෝරය වගේ රටවල. මා උපන් රටේ මෙහෙම වෙනවා කියල දැනීමත් දරුණු කම්පනයක් ඇති කරනවා.

(මේ පින්තුරයේ පලුටාව ප්‍රධාන මාර්ගය දැක්වේ.  හමුදා වහනය සිරකරුවන් රැගෙන ගිය මාර්ගයේ ගස් වල දෙපස ඇත.)

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වන නන්දන වීරරත්න පලුටාවේ වැසියන්ව මුලින්ම හමුවෙන්නේ 1990. ඔහු විසින් ඉන්පසු කඩින් කඩ ගමට යමින් චිත්‍රපටිය රූගත කළා.

මියගිය අහිංසකයන්ගේ සහෝදරියන්, බිරියන් , මව්වරුන් හිතේ දැවෙන දරුණු විරහය මැඩ ගෙන පිළිතුරු දෙනවා කැමරාවට. නමුත් ඒ මුහුණු මහන්සියෙන් දුක් ගින්නෙන් වේලිලා, වැටෙන කඳුළු වලින් ඒ මුහුණු තෙත් වෙන්නේ නැහැ. 

 තාත්ත නැති එක දරුවෙක් නෙමෙයි. දරුවෝ ගොඩක්. අපි දන්නවා තාත්තා නැති රණ විරුවන් ගේ ළමයි ඉන්නවා කියල. ඒ දරුවෝ විඳින දුකක් තිබෙනවා. නමුත් රට වෙනුවෙන් දිවි දුන් රණ විරුවන් ගේ දරුවන් හැටියට ඔවුන්ට ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ආධාර ලැබෙනවා . පාසල් ලැබෙනවා. නමුත් මේ "ද්‍රෝහීන්" ගේ ළමයි. ඇත්තටම ඔවුන් ගේ පියවරුන් වරදක් නොකලත් හමුදාවේ වරදක සාක්ෂි වෙන ළමයි රොත්තක් මේ. උන් ගැන කවුරුත් බලන්නේ නැහැ.

නන්දන වීරරත්න කැමරාව මෙහෙයවන්නේ ඉතාම සුක්ෂම නමුත් පියකරු ලෙසට.  සංචාරකයන් වශී වෙන සුන්දරත්වය විටෙක පෙන්වන ඔහු බුදු දහමින් සැනසෙන ජනතාවක් බුදුන් පුදන නිවී සැනහුන ස්වභාවය පෙන්වන කොට හිතෙන්නේ මේ සංචාරකයන් වෙනුවෙන් කළ චිත්‍රපටියක් කියල. සිගිරි ගල නිල්වන් ජලාශය උඩින් ඈතින් පෙනෙනවා. 

මේ අතිශයින් සුන්දර දර්ශන මැදින් දිළිඳුකමින් නිරන්තරයෙන් පීඩා විඳින ගම්වැසියන් සමුහයක් නෙතට හමුවෙනවා.  තමන්ගේ සිතේ වේදනාවක්, කරදරයක් කාට හරි කියන කොට ඒකෙන්   කියන කෙනාගේ හිතට සැහැල්ලුවක් ඇති වෙනවා කියල අදහසක් තිබෙනවා. සමහර විට ඔවුන් නන්දන වෙනුවෙන් මේ කතාව කිව්වේ එනිසා වෙන්න පුළුවන්.

ඔවුන්ගේ දුක් දෝමනස්සයන් කැටිව ගෙන කඳුළු අතරින් කියවෙන කතාව අවසන් වෙන්නේ අපේ නෙතටත්  කඳුලක් උනමින්. ඇත්තෙන්ම මේ වාර්තා චිත්‍රපටය එතරම්ම ප්‍රබලයි.  ඉතින් මේ වාර්තා චිත්‍රපටය අවසානයේ ලන්ඩනයේදී එක් රැස් වෙලා  අපි කතා කලා


මේ ගමට යුධ සෙබළුන් පැමිණියේ අසල තිබූ පැල්හවැර ගජබා රෙජිමේන්තුවේ හමුදා අණුකණ්ඩයෙන්. එම 1990 වසර අවසන් වනවිට සිංහල ත්‍රස්තවාදීන්  යැයි සැක  කල සියල්ල සමූල ඝාතනය කිරීමෙන් අනතුරුව සෙබළුන් දෙමළ ත්‍රස්තවාදීන් මර්දනයට උතුරට පිටත් කෙරුනා.



(පලුටාවේ ඝාතනයේදී දරුවන්, සැමියන්, සහෝදරයන් අහිමි වූ කාන්තාවන්)

එවකට ගජබා රෙජිමේන්තුවේ මාතලේ දිස්ත්‍රික්කය  භාර අණදෙන නිලධරයා වුයේ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතායි. (ඔහු මේ සිදුවීමට සම්බන්ධයක් ඇතැයි  මේ ලිපියෙන් අදහස් කෙරෙන්නේ නැති බවත් පැහැදිලිව කිව යුතුයි)
පලුටාව 
(ළා කොළ පැහැති  නව ගොයමින් පිරුණු සුන්දර පලුටාව ගම)

මට නම් ඛේදවාචකය හැටියට පෙනුනේ සෝමවංශ අමරසිංහ මහතාගේ හා ජවිපෙ භූමිකාව. එදා පැවති දේශපාලන ත්‍රස්තවාදය පටන් ගැනීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කාර්යභාරය අවතක්සේරු කරන්නට බැහැ. දයා පතිරණ, නන්දන මාරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ එල් ඩබ් පණ්ඩිත, එජාප නිලතල දරන්නන් වැනි  බොහෝ අය මරා දැමුණා.  හමුදාවේ සිට නිවසට එන අය මරා දමන්නට ජවිපෙ යයි කියන කොටසකින් නියෝගයක් එවුනා. නොයෙකුත් අනීතික හමුදා කණ්ඩායම් හා රජය  පැත්තෙන් එකට දහයේ නොව එකට  සියයේ අනුපාතයට තරුණයින් මරා දැමුණා හෝ අතුරුදහන් කෙරුණා.  සමහර අය ජවිපෙට කිසිම සම්බන්ධයක් නොතිබූ අහිංසකයින්. ජවිපෙ හිතවාදීන් ට තර්ජන එල්ල වුණා. ත්‍රිම විතාන, විජේදාස ලියනාරච්චි ආදීන් දරුණු වධ දී මරා දැමුණා. 

එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අය බිම් බෝම්බයක් තබා බියගුළුව  සැඟවුණා. ගම්  වැසියන් මරණ බව ඔවුන් නොදැන සිටින්නට විධිහක් නැහැ. ද්‍රවිඩ කොටිනුත් මේ දේම කළා. බිම්  බෝම්බ තබා පැන ගොස් හමුදාව දෙමළ ගම විනාශ කළ පසු ඒවා රූපගත කර බටහිර රටවල පෙන්වා මුදල් රැස්  කිරීම ඔවුන් කළා.  මිනිසුන් සැඟවී  සිටින කෝවිලක සිට ඉන්දියන් හමුදාවට පහරදී, ඉන්පසු ඉන්දියන් හමුදාව ඒ පහර දුන් තැනට ප්‍රති ප්‍රහාර එල්ල කරන විට එතැනින් පැන ගිය දෙමල සටන්කාමීන්, පසුව පැමිණ  ෂෙල් පහරින් මැරුණු මිනිසුන් වීඩියෝ කරන විට එයට විරුද්ධ වූ  කෙනෙක් තමා වෛද්‍ය නිර්මලා රාජසිංහම් (තිරාණගම) . ඔවුන් (ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සටන්කාමීන් )  ඇයව යාපනයේ දී මරා දැමුවේ ඒ නිසයි.

 ජවිපෙ ප්‍රසිද්ධ නායක සෝමවංශ අමරසිංහ හා නිල නොවන නායක කුමාර් ගුණරත්නම් ඉන්පසු උතුරේ යුද්ධයට හමුදාවට සහය දීමට ජවිපෙ මෙහෙය වූවා. මේ ගම වැනි තැනක වුනු සමුලඝාතන වලට විරුද්ධව  එදා හඬ නැගුවා නම් බොහෝ විට පසුව සිදුවූ දෙමළ වැසියන් ඝාතනය මග හැර ගන්නට ඉඩ තිබුන. 

ඉතින් අපි හමුදාවට චෝදනා කරනවද , දේශපාලකයන්ට චෝදනා කරනවද , මෙහෙයවන්නාට චෝදනා කරනවද කියල මට හිතා ගන්න බැහැ. මේ ලිපියේ අරමුණ මුළු හමුදාවකටම චෝදනා එල්ල කිරීම  නොවේ. හමුදාව කියන්නේ මනෝමුලික ආයතනයක්. එවැන්නක් පිහිටුවීම හෝ විසුරුවා හැරීම රජයකට හෝ ජනතාවකට කරන්න පුළුවන්. මේ මගේ අදහස පවසා  කාලයකට කලින් පල කෙරුව ලිපියක් . දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදී රජය බිඳ වැටුනට පස්සේ කළු හිරකරුවන්ට වධ දුන් හා මරා දැමූ   පොලිස් නිලධාරියෙකු සාක්කි දුන්නා. එම නිලදරුවා  කඳුලින් තෙත් කරමින් කළු සිරකරුවන් ඔහුට සමාව දුන්නේ ඔහු කළේ අණ පිලි පැදීම පමණක් කියා.

මේ සමුලඝාතනයෙන් මාස  14 කට පසු එවකට පැවති රජය මරණ සහතික නිකුත්  කරලා එක පවුලකට රුපියල් 50,000 බැගින් වන්දියක් ලබා දුන්නා. ගැමියන්  එම මුදලින් ඝන්ඨාර කුළුණක් ඉදි කර තිබෙනවා. මරණ සහතික වල දක්වා ඇත්තේ මේ හමුදාව හා ත්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවකදී මිය ගිය අය වශයෙන්.   

මා දකින්නේ මේ චිත්‍රපටිය යථාර්තවාදී සිනමාවක අති ප්‍රබල නිරුපණයක් ලෙසින්.

බටලන්ද ඝාතන ගැන චෝදනා ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය දැන් අතුරුදන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටවල තියනවා. ජනතා විමුක්ති පෙරමුණ එයට සහයෝගය දීල තිබෙනවා. ඇතැමුන් චෝදනා කරනවා මේ කරන්නේ හමුදාව එල්ලන්න වැඩක් කියල. නැහැ,  මුළු හමුදාවක්  එල්ලන්න කාටවත් බැහැ.  නමුත් සංහිදියාවක් ඇති කරන්නට හැමෝටම පුළුවන්. වේදනාව සමනය කර ගන්නට උදව් කරන්න පුළුවන්. එනිසා මෙවැනි දෙයකට දායක වුනු පක්ෂ දෙකකින් එහෙම කමිටුවක් බිහි කර ගැනීමම ජයග්‍රහණයක්. 

සමහර විට අපට මේ සොල්දාදුවන් සහ ගැමියන් මුණගස්වා අර පියවරු නැති ළමුන්ට තෑගි ටිකක් දුන්නා නම් හොඳයි කියලත් මට හිතෙනවා.  ඒකෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවත් ඇත්ත. නමුත් දුක තුනී වෙන්න පුළුවන්. රටේ ජනතාවට සත්‍යය පහද දෙන්න පුළුවන්.
"චිත්‍රපටිය අවසාන වන එක රූප රාමුවකි. තනි කොකෙකු අඳුරු දියේ නොසැලී බලා සිටි. ඒ අසල දියේ වැටී බිඳී ගිය ගහකි. මා සිතන පරිදි මේ පින්තුරයෙන් අතිශයින් ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි. ලෝකයේ තනිවූ බිඳී ගිය සිතක් සහිත රුවක් මගේ මනසේ මැවේ."

- ඉදිරිපත් කර ඇති චිත්‍ර වාර්තා චිත්‍රපටයේ රූප රාමු වලින් ගත්  ඒවාය.
- අධ්‍යක්ෂක වරයා විසින් චිත්‍රපටියේ ඩිවිඩි වෙළඳපලට ළඟදීම නිකුත් කරනු ඇත.

Wednesday 31 August 2016

වලා පටල (penumbra) ගැන අදහසක්

උතුරු ලන්ඩනයේ දී අපි වලා පටල චිත්‍රපටය  පෙන්වුයේ පසුගිය මැයි මාසයේය. මට වලා පටල ගැන ලියන්නට අදහසක් සිතේ තිබූමුත්  එයට සුදුසු අවස්ථාවක් නොලැබිණි. මගේ පෙර ලිපියේ යථාර්තවාදී කලාව පිලිබඳ ව වූ චිත්‍ර ප්‍රදර්ශනය ගැන ලියවුනු හෙයින් වලා පටල ඒ හා සම්බන්ධ කොට ලියන්නට සිතුවෙමි.  එදින මවිසින් ප්‍රවීන නාට්‍යවේදී විජිත ගුණරත්නයන් සභාවට හඳුන්වා දීමේ දී බ්‍රෙෂ්ට්ගේ  "එපික් තියෙටර්" පිලිබඳ කෙටි හැඳින්වීමක්  කලෙමි.  එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට,   නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට  (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක්   ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය.

මෙහිදී විජිත ගුණරත්නයන්ගේ  අදහසට අනුව හෙන්රි ජයසේන වැනි ප්‍රතිභාපුර්ණ කලාකරුවන් වුවද කලේ බ්‍රෙෂ්ට් සෞන්දර්යාත්මක කිරීමයි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යවල මෙය දැකිය නොහැකිය.  තවත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන නන්දන වීරරත්න එදා පැවසුවේ කිසියම් අන්දමකින් සෞන්දර්ය රසයක් ඉස්මතු  නොවන තැන නීරස ගතියක් මතුවන බවයි. බ්ලොග් ලියන අරුණ පෙරේරා මහතාගේ අදහස වූයේ වළා පටල වාර්තාමය චිත්‍රපටයක් විනා  වැඩි යමක් නොවන බවයි.

වලා පටල චිත්‍රපටියක් මිස වේදිකා නාට්‍යයක් නොවේ. බ්‍රෙෂ්ට්ගේ "එපික්" ක්‍රමය ඒ ආකාරයෙන්ම ගොඩ නැංවීමක් සිනමාව තුල කිරීම අපහසුය. නමුත් නොකළ හැක්කක් නොවේ. චිත්‍රපටය නරඹන අතරතුර  "වලා පටල  "  යථාර්තවාදී (realism )  සිනමා කෘතියක ඉදිරිපත් කිරීමක්  බව සිතුණි. මෙහිදී යථාර්තය යනු ඔබ හා මා අද දවසේ අත්විදින යථාර්තය නොවිය හැකිය.

චිත්‍රපටියේ පසුබිම නිර්මාණය කිරීම සඳහා අධ්‍යක්ෂකවරයා ඉමහත් වෙහෙසක් දරා තිබේ. ඒ සඳහා 1970 සමයේ ශ්‍රී ලකාවේ පැවති පන්නයේ අර්ධ නාගරික ගමක් වෙනමම නිර්මාණය කර තිබුණි. චිත්‍රපටිය නිම කරන ලද්දේ 2008 දී පමණ නිසා හැත්තෑව දශකයේ ඇඳුම් පැළඳුම් ද ඒ ආකාරයෙන්ම සැකසීමට මහත්  වෙහෙසක්  දරා  තිබුණි. එසේම ඒ කාලයේ භාවිතා කල රථ වාහන පවා ඉතා අපහසුවෙන් සපයා ගෙන තිබූ බවක් ද පෙනුනි. මා වැනි පරණ රථ වාහන වලට ඇළුම් කරන්නන්ගේ නෙත පිනවන දසුම් කිහිපයක් ද විනි..

චිත්‍රපටය  1971 අරගලයට ප්‍රථමයෙන් සිදුවුණු සත්‍ය සිද්ධින්  සමුහයක් විචාරය   කරන්නට ප්‍රේක්ෂකයා පොළඹවයි.  චිත්‍රපටයේ රූප රාමු කොටස් කිහිපයකට බෙදිය හැකිය.  එක කොටසක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන දෙමළ වෛද්‍යවරයා වන මනෝහරන් මහතා වටා රූගත වේ. දෙමළ දොස්තර මහතා හොඳ, මිනිසුන්ට කරුණාවෙන් රැකියාව කරන අයෙකු වන අතර ගමේ සුභ සිද්ධිය සඳහා වූ සමාජ වැඩ වලට උපකාරී වෙයි. ඔහු හා ගමේ ඒ සඳහා  වෙහෙසෙන තරුණ ගුරු මහතෙකු ද මිතුදමක් ද මේ නිසා ඇතිවේ. මේ දෙදෙනාගේ හා ගමේ තරුණ පෙලේ සුභ සාධන කටයුතු වලට ගමේ මන්ත්‍රීවරයා  නොසතුට පළ කරයි. මන්ත්‍රීවරයා සිතන්නේ ඔවුන් ඔහුට විරුද්ධව ගමේ චන්දදායකයන්  පෙළ ගස්වන බවයි.  ඒ සඳහා පෙරමුණ ගන්නේ මන්ත්‍රීට කේලාම් කියන ගමේ සුළු ධනවතුන්, කඩ හිමි මුදලාලි ආදීන්ය. සාමාන්‍යයෙන් වන පරිදි මන්ත්‍රීවරයා පැත්තේ  ගමේ චන්ඩින් වන ගණන් කාරයන් කිහිපයක්ද  පොලිසියද වේ.

මන්ත්‍රීවරයා ගේ වත්තේ කුලියට වැඩ කරන දිළිඳු ගැමියන් දෙදෙනෙක් වෙති. මන්ත්‍රී ඔවුන්ට සලකන්නේ ඉතා පහත්  ලෙසය. එක පස් කපන්නෙකු,  අනිකාගේ බිරිඳ  අසනිපවූ දරුවා රැගෙන රෝහලට  ගොස් ඇති බවත් පස්කපන්නා රෝහලට දිව ගිය බවත් පැවසූ විට මන්ත්‍රී කෝපයෙන් කඩා පනියි. මන්ත්‍රී ගෝරනාඩු කරන්නේ  "ඇයි , උඹ කියන්නේ මට පස් කපන්න කියලද?".

එහෙත් ඒ අසනීප වන දරුවා ට සැත්කමක් කරන දොස්තර හොඳහිත අමාරුවේ දැමීමට මෙයින් පොටක් පෑදෙන බව වැටහෙන මන්ත්‍රීවරයා ඉන්පසු පස් කපන  කුලී වැඩ කරුවාට මුදලින් සංග්‍රහාදිය  කරමින් හිත දිනාගනී. මේ සටකපට කම භාවිතා වෙන්නේ රෝහලේ වෛද්‍යවරයාගේ උපදෙසට විරුද්ධව ළමයා ප්‍රදේශයේ රජයේ රෝහලට ගෙනයාම සඳහාය.

චිත්‍රපටිය ආරම්භයේදී ඉහත කි දෙමළ ජාතික දොස්තර හොඳහිත හා ගුරුවරයා සංවිධානය කරන ගමේ රැස්වීමට කඩා වදින මන්ත්‍රීගේ මැර  පිරිසක් පහර දීමෙන් තරුණයෙකුගේ අතක් කැඩේ. මේ තරුණයා ද අර ගමේ රෝහලේම ප්‍රතිකාර ලබයි. ඒ අතර දොස්තර හොඳ හිත වටා මැවෙන ජවනිකාවද නිරීක්ෂණය කරයි.

මේ කරුණාවන්ත වෛද්‍යවරයා දරුවාට බෙහෙත් කර සුව කිරීමට එරෙහිව මන්ත්‍රී එතනට කඩා වදින අතර සමහර හෙදියන්ද, රෝහලේ සුළු සේවකයන්ද වෛද්‍යවරයාට එරෙහිව කුමන්ත්‍රණය කරයි. මුදල් දී බාගන්නා දරුවාගේ පියා මන්ත්‍රී ගේ බලපෑම මත  දරුවා රැගෙන දිස්ත්‍රික් රෝහලට යයි. එහිදී දරුවා මිය යයි. අසාධාරණ ලෙස එහි වරද එල්ල වන්නේද දොස්තර හොඳ හිතටය.

ඔය අතරවාරයේ වෙනත්  සම්බන්ධයක් නැති රූප රාමු  කිහිපයක් ලෙස පොලිසියෙන් මුද්‍රණාලයකට කඩා වැදී දේශපාලනික පත්‍රිකා මෙන්ම එහි වැඩ කරන සේවකයන්ද අත්අඩංගුවට ගනිති. මෙයින් ඉඟි කරන්නේ  1971 අරගලයට ප්‍රථම චේගුවේරා  කාරයන් ගැන ඉව වැටී එවකට පැවති  රජය ජවිපෙ හිතවාදීන් අත් අඩංගුවට ගැනීම යයි කෙනෙකුට  සිතිය හැකිය. තරුණ ගුරුවරයාගේ යහළුවෙකු ද අත් අඩංගුවට  ගන්නා  හෙයින් ගුරුවරයා ආරක්ෂාව තකා ගමින් පිටව යයි. එයට උපකාර කරන්නේද දෙමළ වෛද්‍යවරයාය.

නමුත් ඊට කලින් දා  දිනයක පොලිසියේ ලොකු මහත්තයාද  මුදලාලි හා පළාතේ මන්ත්‍රී  සමග මත්පැන් සාදයකට එක්වෙයි. එනිසා මෙයද මන්ත්‍රී සම්බන්ධ කුමන්ත්‍රණයක් යයි කිව හැකිය. තමන්ගේ චන්ද බලයට එදිරිව ඒ යැයි  සිතන ඕනෑම බලවේගයකට මන්ත්‍රීවරයා විරුද්ධය. ඉන් කාටවත් හානි වූවාට ඔහුට ප්‍රශ්නයක් නැත.

චිත්‍රපටිය පුරාවට ඉඳහිට අර රෝහලේ නතරවී ප්‍රතිකාර ලබන තරුණයා ද  පෙන්වයි. විටෙක විමතියෙන්ද, විටක බියෙන්ද,  විටෙක කුතුහලයෙන් ද  යුතුව ඔහු තිරයට පැමිණෙයි.   අතරමන් වූ තරුණ පරපුරක  ඉච්ඡා භංගත්වය තුලින් පැන නගින අසහනය, අවි අතට ගැනීමට හේතු සාධකයක් වන්නේ  කෙසේද යන්න පෙන්වා දෙන අයුරු අපූරුය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය 1970 දී  බරපතල ලෙස වෙනස් වූයේ වාමාංශික  පක්ෂ සමග සභාගයකට එළඹුණු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමිගි පෙරමුණු  රජය පිහිටුවීමෙනි. නමුත්  1971 වනවිට විජේවීර ගේ ජනතා විමුක්ති පෙරමුණ තරුණ බලවේගයක් ගොඩ නගා තිබුණි.

චිත්‍රපටියේ වෛද්‍ය මනෝහරන් උදව් කරන්නේ ගමේ සමාජ සුභ සාධන වැඩ සටහනකටය. එයට උදව් දෙන්නේ තරුණ ගුරුවරයෙකි. දෙදෙනාම මන්ත්‍රීගේ උදහසට හා ගමේ සුළු ධනපති මුදලාලි ආදීන්ගේත් උදහසට පත්‍ර වේ. ගුරුවරයා පලායයි. වෛද්‍යවරයාට රැකියාව අහිමි වෙයි. ගුටි කා අතක් කඩාගත් තරුණයාට මේ වැරැද්ද  පෙනුනන්ත් එය නිවැරැදි කිරීමට ක්‍රමයක් නැත.

දියුණු ධනවාදී සමාජයක මෙවැන්නක් සිදුවුවහොත් ඒ සඳහා පැමිණිලි කිරමට ස්වාධීන අධිකරණයක් තිබෙන අතර, ප්‍රබල සමාජ සංවිධාන මුලිකත්වය ගෙන උද්ඝෝෂණ පෙත්සම් ආදියෙන් එවැනි තත්වයන් වලකති.  ඒ කාලයේ  වැඩවසම් ක්‍රමයට වඩාත් හුරු ශ්‍රී ලාංකික සමාජය එවැනි බලවේග නොමැති කමින් අසරණ වෙයි. එවැනි අවස්ථාවක සමාජ සාධාරණය ගැන කතා කරන   සංවිධානයකට තරුණයාට බැඳීමට සිදු වන්නේ නම්  එසේ වීමට අවශ්‍ය ඕනෑ තරම් කරුණු තිබෙන  බව මේ චිත්‍රපටිය පුරාවට ඇදෙන සිද්ධි මාලාව තුලින් පෙන්වයි.

චිත්‍රපටියේ සෞන්දර්යාත්මක පැත්තක්  නොමැති බවට නැගෙන චෝදනාවේ ද  කිසියම්  සත්‍යයක් සාපේක්ෂව තිබිය හැකිය.  මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් හා මුදලාලි ආදීන් සමග මත්පැන් පානය කරන අවස්ථාවේ ඔහුගේ සහායකයන් එකතුවී ගී ගයනු වැන්නක් රූගත කල හැකිව තිබුණි. එසේ වුවද ගමේ පියකරු දොළක දරුවන්  කෙලි දෙලෙන්  ස්නානය කරන අයුරු එක  දර්ශනයක තිබේ. ඒ දර්ශනයක බෞද්ධ කවියක්ද පසුබිමින් ගායනා කෙරේ.

වෛද්‍ය මනෝහරන් ලෙස ගාමිණී හත්තොටුව  මහතා ගේ රංගනය ප්‍රශංසනාත්මක වුවද ඔහුගෙන් අපේක්ෂා කළ තරම් ප්‍රබල රංගනයක් ඉස්මතුවූ බවක් ද නොපෙනේ.  ඔහුගේ ප්‍රධානියා වන දෙල්ගොඩ නමැති වෛද්‍යවරයාගෙන් මෙන්ම මන්ත්‍රීවරයා ගෙන්ද වඩා ප්‍රබල රංගනයක් ඉස්මතු වෙයි.

සමහර විට මනෝහරන් වෙදැදුරු ගේ අහිංසකත්වය ඉස්මතු කිරීමට එසේ වූවාදැයි ද සිතේ. මේ ප්‍රශ්නය තුලින් පහත දැක්වෙන විමසීමකට යාමට මට සිත්විනි.

යථාර්තවාදී සිනමාවක් ගැන කතා කිරීමේදී සිදුවෙන හෝ සිදු වී ඇති යයි සිතෙන දේ ඒ ලෙසම රූගත  කිරීමම  අවශ්‍ය  නොවේ. වාර්තා චිත්‍රපටයක එය කළ හැකිය.

ත්‍රිමාණ වෙබ් අඩවියේ මෙසේ සඳහන්ව තිබුණි.  (ත්‍රිමාණ වෙබ් සඟරාවේ ලිපිය )

ලකාන් "සත්තාව" යනුවෙන් අදහස් කරන්නේ මෙය නොවේ. "සත්තාවට සිරුරේ දිග පළල පමණක්  නොව සංකේතාත්මක මානයක් ද ඇත.එම සංකේතයන් මේ පද්ධතිය තුල ව්‍යුහ ගත කරන්නේ  තවත් සම්බන්ධතා පද්ධතියක් තුල හා සංකේතයන් රැඳී  ස්ථාන වලින් "ලෝකය (සැදී ඇති) අනුපිළිවෙල" ට අනුවය.  මේ නිසා පද්ධතියක  ස්ථානගත වන  නිවැරදි සංකේතාත්මක සම්බන්ධයක් දෙයක ගුණාත්මක භාවයේ නිරූපණයක් ම නොවේ. 

මේ නිසා ලකාන් ට "සත්තාව" යනු පද්ධතියක රිකල්පනික කල්පිතයක්  හා සංකේතාත්මකයක් අතර  සහවාදයක් (synthesis) වන අතර  එහි  අනුපිළිවෙළ (order) එකිනෙකා (කල්පිතය හා සන්කෙතත්මකය) පරස්පර ලෙස ව්‍යුහගත කරයි.  මේ දෙ ආකාරයේ සංයෝගය, මිනිස් සිරුර හා සංකේතාත්මක සාමාජිය අනුපිලිවෙල ට ආශ්‍රිතව  ඇති ව්‍යුහගත පද්ධතියක, අප ඉදිරියේ සිදුවන දෘශ්‍යමානය මෙන්ම අතාත්වික ලෙස ප්‍රාදුර්භූත වීමද   තීරණය කරයි.  


"යථ" (The real) ලකානියානු විශ්ලේෂණයේදී මුළුමනින්ම වෙනත් දෙයකි. ලකාන් නැවත නැවතත් අවධාරණය කරන්නේ "යථ " යන "සත්තාව (reality ) නොවන බවයි. ඉහත සදහන් ලෙස සත්තාව හෙවත් යථාර්තය යනු කල්පිතයේ හා  සංකේතාත්මකයේ (නිමිත්තේ) සහසන්ධීය පද්ධතියකි. යථ යනු සත්තාව ඉක්මවා යන  සත්තාවේ අතිරික්තයක් වන සත්තාවෙන් මග හැර යන දෙයකි. එනයින්  යත යනු සත්තාවේ ස්ථානයක් (වෙන්ව)  නැත්තකි .  (The real is that which is -without- place in reality) 


මේ අනුව නරඹන අතරතුර   "වලා පටල " යනු  බ්‍රෙෂ්ට්ගේ නාට්‍යවාදී ස්වරූපයේ එපික් ක්‍රමයට රූගත කරන ලද යථාර්තවාදී සිනමාවේ වාර්තා චිත්‍රපටියක් යයි හැඟුනද චිත්‍රපටය අවසානයේ අපගේ චිත්ත විභාගයට ලක්වන්නේ වෙනත් දෙයකි. එනම් මේ අධ්‍යක්ෂකවරයාගේ පරිකල්පනයට හසුවූ යථාර්ථයේම  කල්පිතයක් හා සංකේතාත්මක සිද්ධීන් පද්ධතියක සහවාදයක් (synthesis) බවයි.

ප්‍රධාන දොස්තර මෙන්ම දෙමළ වෛද්‍යවරයාද ලකානියානු මනෝ විශේලේෂණයට හසුවෙන ප්‍රතිවිරුද්ධ ලෙස සාමාජිය මානසික පීඩනයකට ලක්වෙන චරිත දෙකකි. දරුවා අසනීපවන විට,  වෛද්‍යවරයා විවේකයෙන් නිවසේ සිටියදී එහි  යන මව මෙන්ම මන්ත්‍රීවරයා ගේ නිවස කුලී වැඩ කරන ඇගේ සැමියාද මේ මානසික පිඩනයට හසුවන්නේ වෙනත් සංකේතාත්මක සිද්ධීන් පද්ධතියක මුත් මේ පද්ධති දෙකම එකකට එකක් සම්බන්ධය.

 මන්ත්‍රීවරයා මෙන්ම ඔහුගේ සුළු ධනේෂ්වර හිතවතුන්ද රෝහල් සේවකයන් මෙන්ම ගැමියන්ද මේ මානසික පීඩනයටම ලක්වූවෝ වෙති.  ගුරුවරයා හා ඔහුගේ හිතවතුන්ද නීතිය ක්‍රියාත්මක කරන පොලිසියද මේ පද්ධතියටම සම්බන්ධ වන්නේද එතනින්ය. මෙහිදී අධක්ෂකවරයා සාමාන්‍ය  සෞන්දර්යාත්මක චිත්‍රපටයක මෙන් අපට ප්‍රධාන චරිත කිහිපයක් වටා යන ලෙහෙසි කතාවක යථාර්තවාදී නිරූපණයක්  වෙනුවට යථාර්තයෙන් පරිබාහිර සංකීර්ණ මනෝ විශ්ලේෂණයක් රූපරාමු අතරින් එළිදක්වයි. නමුත් මෙය අප සංවේදී වන යථාර්තයට කෙදිනක සම්බන්ධයක් තිබූ බවද අපට වැටහේ.

මේ නිසා ගාමිණී හත්තොටුව පිළිබඳව මා ඉහත සඳහන් කළ කල නිගමනය වැරදිය. ඔහුගේ චරිතයේ ඉස්මතුවීමක් තුලින් ඉහත කි සම්බන්ධයන් බිඳී යයි. එනිසා ඔහුගේ රඟපෑම් විලාසය චිත්‍රපටයේ මතුවෙන සංකීර්ණ මනෝභාවයන් හා සබැඳේ .

වර්තමාන ලංකාවේ පෞද්ගලික රෝහල් බහුලය. එවැන්නක දැකිය නොහැකි දර්ශනයක් වන්නේ රෝගීන් හා ඔවුන් බලන්නට එන්නන් විසි කරන බත් අනුභව  කරන දඩාවතේ යන සුනඛයන්ය. එවකට රජයේ රෝහල් අවට මේ දර්ශනය සුලභ බව මගේ මතකයේ තිබේ. චිත්‍රපටය අවසාන වන්නේ බල්ලෙකු රෝහලේ හිස් කොරිඩෝරය තුළින් යන දසුනකිනි. එක්තරා අන්දමක සුන්යාත හැඟීමක් මේ දසුන සිතේ  ඇති කරයි.මේ අවසන් දර්ශනය මගේ සිතේ තදින් කා වැදුනේ ඉහත සිදුවීම් සියල්ලේ අවසානය කුමක්ද යන්න  සිතීමේ දීය. අධ්‍යක්ෂකවරයා ගේ සිතේ මැවුන  මේ දර්ශනය  සිනමා කෘතියේ සංකේතාත්මක නිරූපණය තුලින් ඉහත කි සත්‍ය කතාවේ පරාජය වූයේ සමාජය බවත් ඇතිවන්නට තිබූ  සමාජීය දියුණුවේ හිඩැසත් දනවයි.

මේ චිත්‍රපටය ලංකාවේ තිරගත කිරීමට බාධා කිරීමට හේතුව මට සිතා  ගත නොහැකිය.  මා දැනගත් පරිදි 1971 සමයේ කතාවක් නිසා ජේවීපී ලේබලයක් වැදී  තිබීමයි. එකල තිබු මහින්ද රාජපක්ෂ පාලනය යටතේ නොයෙකුත් අවහිරතා බාධා කිරීම කරන ලදී. අධ්‍යක්ෂකවරයා විසින් ගම් දනව්  පුරා, විද්‍යාල ශාලාවල, සංස්කෘතික මධ්‍යස්ථානවල ප්‍රේක්ෂකයා  වෙනුවෙන් තිරගත කිරීමෙන් සාර්ථක විය හැකි චිත්‍රපටයක්  යයි සිතේ. ඉංග්‍රීසි උප සිරැසි සහිතව කිසියම් යුරෝපීය නාට්‍ය උළෙලෙකට ඉදිරිපත් කළා නම් සම්මාන ලැබිය හැකි අන්දමේ නිර්මාණයක් බව හඟිමි.   

Tuesday 23 August 2016

සාන්ත පිතර්බුර්ගයේ එර්මිතාෂ් (Hermitage) කෞතුකාගාරයේ "යථාර්ථවාදය" චිත්‍ර ප්‍රදර්ශනය

ගොගොන් - මිච් ග්‍රිෆින් 



සාන්ත පිතර්බුර්ගයේ චිත්‍ර සහ කලා නිර්මාණ මිලියන් 3ක ට වඩා ඇති  එර්මිතාෂ් (hermitage) කෞතුකාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ යථාර්තවාදී කලාව පිලිබඳ චිත්‍ර ප්‍රදර්ශනයක් එහි දෙවන ගොඩ නැගිල්ල වන ජෙනරල් ස්ටාෆ් හි පැවැත්වෙන බව දුටිමි.  එර්මිතාෂ් (hermitage) කෞතුකාගාරය පිළිබඳව ත් එහි පැරණි කළා නිර්මාණ පිළිබඳවත් වෙනත් ලිපියකින් ලියමි.

ඉහත ඇති පළමු පින්තූරයේ දැක්වෙන්නේ නිරුවත් ගැහැණු කෙනෙකු ඔසවාගෙන සිටින වෛද්‍යවරයෙක් සහ පිරිමි දෙදෙනෙකි. අගේ සිරුරට ආශා කරන අය මෙන්ම සිරුරට වෛද්‍යවරයෙකුද අවශ්‍යය.

දැනට ඉතා කෙටියෙන් හැඳින්වීමක් කරන්නේ නම් මෙය පිහිටවුයේ 1764 දී දෙවන කැතරින් අධිරාජිනිය විසින්ය. ලෝකයේ ඇති පරණම කෞතුකාගාරයක් වන මෙය  ට්සාර් රජවරුන් විසින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත  කරන ලද්දේ 1852 දීය.  සොවියට්  දේශය පිහිටවූ 1917 විප්ලවයෙන් පසු මෙහි ඇති නිර්මාණයන්හි වටිනාකම සලකා  සෝවියට් බලධාරීන් විසින් ජාතික සම්පතක් ලෙස එර්මිතාෂය  රැක  බලා ගන්නා ලදී. එහෙත් 1940 - 1944 අතර ඇතිවුණු දෙවන ලෝක සංග්‍රාමයේ දී ලෙනින්ග්‍ග්‍රාඩ්  නගරය දින 900 ක වැටලෑමකට  හසුවුණු අතර ඒ කාලයේ වැටුණු ජර්මන් බෝම්බ වලින් එර්මිතාෂයට බලවත් හානි සිදු වුනි. එහි තිබු වටිනා  කළා කෘති රුසියාවේ වෙනත් තැන්වල ට යවා  ආරක්ෂා කරන ලදී.  පසුව  පෙර ආකාරයෙන්ම ගොඩ නගන ලදුව පෙර ශ්‍රී විභුතියෙන්ම  අනගි මිල කළ නොහැකි කළා කෘති  ප්‍රදර්ශනයේ  තබා තිබේ.

සෝවියට් දේශය පැවති සමයේ සමාජවාදී යථාර්ථවාදය මුලික කරගත් කළා නිර්මාණ ඉදිරිපත් කල යුතු යයි රීතියක් විය. ඒ ගැන පෙරදීද මා ලියා  ඇත. එහිදී රජයේ බලපෑම ඉස්මතුවීම නිසා එම රීතියට වෙනස්ව ස්වාධින කළා නිර්මාණ කරන්නට ඇතැම් කලා කරුවන් වෙහෙස ගත්  අතර එතුල සිටිමින් හොඳ නිර්මාණ බිහි  කරන්නට චින්ගීස් අයිත්මාතව්  වැනි කලාකරුවන් තැත්  කළහ.

මේ ප්‍රදර්ශනය ගැන කරන හැඳින්වීමේ මෙසේ ලියැවෙයි.

"කලාව සම්බන්ධයෙන් ගත් කළ යථාර්ථවාදය අද ඉතා වැදගත්  මාතෘකාවක් වන්නේ ඇයි? එර්මිතාෂ් කෞතුකාගාරයේ "යථාර්ථවාදය පිලිබඳ චිත්‍ර ප්‍රදර්ශනය" වනාහී මෙම මාතෘකාවට පිළිතුරක් සපයන්නට ගත් උත්සාහයකි. එරිමිතාෂ් හි හමුදා වෘත්තික ගොඩ නැගිල්ල (General Staff building - ancient name of the building) 2015 සිට දහ නමවන ශතවර්ෂයේ සිට විසි එක්වන ශතවර්ෂය දක්වා වන යථාර්ථවාදය පිලිබඳ කළා කෘති ඒකරාශී කර තිබෙන  ස්ථානයකි. එමනිසා මෙම ව්‍යායාමය යථාර්ථවාදයේ ස්වරූපය හා මතවාදය පිලිබඳ බහුවිධ සංවාදයන් මතු කිරීමට ගත්  ප්‍රයත්නයකි.

විසිවන සියවසේ යථාර්ථවාදයේ ස්වරූප බොහොමයකි. හයිපර් - හෙවති අධිතාත්විකවාදය  (Hyper-realism), සර් හෙවත් අතාත්විකවාදය (surrealism), ඡායා-යථාර්තවාදය (Photo-realism), සමාජ යථාර්ථවාදය (Social-realism)  හා මායාවී යථාර්ථවාදය (magical-realism)  මේ අතරින් කිහිපයකි.  මේ සියවස අගභාගයේ සිට තාත්විකවාදී නැඹුරුව වඩා උනන්දුවට මෙන්ම සාකච්චාවට බඳුන්වී තිබේ.

යථාර්තවාදී එළඹුමේ  මුලික පදනම - සත්තාව සෙවීම - යනු ආත්මඥාණය ලබා ගැනීමේ සරලම නිර්මාණාත්මක ක්‍රමයයි.  කථනයන් ප්‍රමුඛ කොට ගත්  පුරාතනික කළා ලෝකයේ දැවැන්තයන් ගේ සිතුවම් වලින් පටන් ගෙන, යථාර්ථවාදී කලාව  අද තාක්ෂණික හා මනෝමූලික වූ සංකීර්ණ නිර්දේශයන් පද්ධතියක් මත පදනම්ව භෞතිකවාදී ලෝකයේ මනෝමූලික දැක්ම නිරූපණය කරයි.

යථාර්ථයේ වෙනස පිලිබඳ සංජානනය රඳා පවතින්නේ වත්මන් පෞද්ගලික හා සාමාජිය ප්‍රමුඛතා මතය. දැන් නැවතත් මේ ආස්ථානය වැදගත් වෙමින් යයි. කලාව විසින් මෙම වෙනස උරා ගනිමින් සෑම අවස්ථාවකම සත්තාවේ විවිධාකාර පිළිබිඹු  නිපදවයි.  ප්‍රදර්ශනයේ ඇති  සමකාලීන කලාකරුවන්ගේ නිර්මාණ තමන්ගේම මුලාශ්‍රයන් හඳුන්වා දෙයි. මේ සෑම කලා කෘතියක්ම පවතින්නාවූ මොහොත තුල පැවැත්මේ අත්දැකීමෙහි   (අනුභූතික හෝ සංදෘෂ්ටික අත්දැකීමෙහි) නිරවද්‍යවූ පිටපතක් වනවා මෙන්ම, රූපකයක,   ව්‍යන්ගයක, කේතයක, සංකේතාත්මක තේරුමක හෝ සංස්කෘතික සම්බන්ධයක  ශක්‍යතාවයක් සහිතය.

ඇමෙරිකානු කලාකරුවකු වන ටෝනි මටෙලි ගේ  අධිතාත්විකවාදී ප්‍රතිමා නිර්මාණය (ගැරී ටටින්ස්ටියන් කලා කෘති සමූහය) නම් කර ඇත්තේ ඉංග්‍රීසියෙන්  F*ck'd(Couple) - යුවලකගේ විනාශය යනුවෙනි. මෙහි නවීන තාක්ෂණික ක්‍රමවේදයක් ඇසුරෙන්  ඉන්ද්‍රියගෝචර  යථාර්ථයේ (sensual reality) ගැඹුරු හා භාවාත්මික ශෝකය හා සානුකම්පික සොබාව අනුකරණය ඇසුරෙන් විදහා පෙන්වයි.
යුවලකගේ විනාශය චිත්‍රයේ අතක් කැපී වෙන්වුන මිනිසෙකි. ගැහැණිය හා මිනිසා යට ඇඳුම් වලින් පමණක් සැරැසී සසිටී . ඔවුන් දෙදෙනා වටේම විනාශය , බිඳී ගිය භාණ්ඩ ආදිය වේ.

ප්‍රදර්ශනයට සහභාගී වන අනිත් කලාකරුවන් දෙදෙනා නම් ඇමරිකානු ජාතික ජිම් ෂෝ සහ බ්‍රිතාන්‍ය ජාතික මිච් ග්රිෆිත්ය.  මිච් ග්‍රිෆිත් ගේ නිර්මාණ සම්භාවණිය යථාර්ථවාදයේ සුසමාදර්ශයකි. "

මිච් ග්‍රිෆිත් ගේ ඉහත නිර්මාණයේ තරුණයාගේ හිසේ ඇත්තේ ක්‍රෙඩිට්  කාර්ඩ් වලින් සාදන ලද ඔටුන්නකි. නවීන සමාජය වැඳ පුදන්නේ ධනය, බලය, තත්වය හා ප්‍රසිද්ධියට බව මෙමගින් පෙන්වයි. ඔටුන්න මගින් පෙන්වන්නේ තමන් කෙරෙහි ඇති ආලය ප්‍රමුඛවූ (narcissism) ව්‍යාජ වටිනාකම් හරහා මිනිස් ප්‍රතිමා හා  හොර රජුන් නව සමාජයේ බලය  පැතිරවන බවයි.

මේ තරුණය හැඳගෙන සිටින්නේ යට ඇඳුම පමණකි. අත් දෙක යමක් පැහැදිලි කරන්නට මෙන් දෙපසට විහිද ගෙන සිටී.

අද සමාජය සිරුර පිලිබඳ අනවශ්‍ය අවධානයක් පෙන්වයි. සිරුර සඳහා වන ව්‍යායාම මෙන්ම සිරුරේ බලය, ශක්තිය, මුදු බව, ලස්සන  ආදී සියල්ල ගොඩ නැංවීම සඳහා විශේෂිත ආහාර පානද විකිණෙයි.සාමාන්‍ය ලෙස ඇවිදීම, දිවීම, ස්වභාව ධර්මයේ රස විඳීම වෙනුවට ජිම් එකක් තුල දහදිය හෙළීම  සුලබ  දෙයක් වුවද එහි අන්තයකට යාම තුල සිරුර අනිකාට පෙන්වීමේ දැඩි නාසිස්මික ආශාව පැන නගී.

 සිරුර අනිකුන් සමුහයකට පුද කිරීම තුලින් ආශාව සමනය වේවිද?

ඉතා පින්තුරයේ ඇත්තේ නිරුවත් ගැහැණිය ඔසවා ගෙන සිටිනවාක් මෙන්ම ලේ ගල යටි කයක් ඇති කඩවසම් පිරිමි සිරුර ඔසවා ගෙන සිටින ගැහැනුන් හා මිනිසුන් සමුහයකි.

ඉහත  චිත්‍රයේ ඇත්තේ තමන්ගේ ශරීරයේ බර ගැන පසුතැවෙන යුවලකි. ඔවුන් දෙදෙනාම බර කිරි. ගැහැණිය සින්දු ඇසීමට හෝ ශෝෂාවෙන් ඉවත් වීමට කනේ ඉයර් ෆෝන් ගසාගෙන සිටි. මිනිසා හිස බදාගෙන බෙරිහන් දෙයි.

පහත  චිත්‍රය ගැන ඔබට සිතෙන්නේ මොනවාද? ශරීරය ව්‍යායාම වලින් හැඩ නංවන පිරිමියෙකු දකුණේ ද  මුහුණ ලස්සන කර ගැනීමට ක්‍රීම් තවරා කැකිරි පෙති දෙනෙත මත  තබා ගෙන සිටින ගැහැණියක වම් පැත්තේ ද සිටී.  මැද සිටගෙන සිටින්නේ පිළිකාව නිසා පියයුරක්  අහිමි වුනු කාන්තාවකි. 

"කළා නිර්මාණයේදී සැමවිටම නිකායන් දෙකක් තිබුණි. එකක් විඥානවාදීන්ගේය. අනෙක යථාර්ථවාදීන් ගේය."  - තියොෆයිල් ගෝටියේ

"There have always been two schools of thought in painting: That of the idealists and that of Realists. "-Theophile Gautier


මේ වනාහී ඉතාලියානු කලාකරුවකු වන කරවගියෝ ගේ ගොර්ගොන් වරුන්ගේ   මෙඩුසා නමැති දෙව්දුවගේ මුහුණට කෙලින්ම සමානකම දක්වන චිත්‍රයකි. ග්‍රීක මිථ්‍යා කතා වලට අනුව මෙඩුසා  දෙස  බලන හැම කෙනෙක්ම ඇගේ  දරුණු ඇස් වලින්  ශෛලමය පාෂාණයක් බවට පත්වේ. ග්‍රිෆිත් ගේ මෙඩුසා මුහුණ තෙල් වලින් නැහැවී ඇගේ ඇස් තදින් වැසී  බලය අඩුවී තිබේ.   මෙහිදී ඔහු ප්‍රශ්න කරන්නේ සොබාදහම වනසමින් ඇතිවෙන කර්මාන්ත වල වර්ධනයට එරෙහි වන්නන් යක්ෂයන් කිරීමේ මාධ්‍ය හා දේශපාලන ව්‍යාපාරයයි.


ඔවුන් (ඔහු හෝ ඇය) මට ආදරය කරතිද නැතිද? සියවසකට එහාදී මලක  පෙති කඩමින් කල ප්‍රශ්නයම රමණයෙන් පසු සිගරැට්ටුවක් දල්වාගෙන සිතීමට ඇය  පුරුදු වූයේ කෙසේද? 
අඩ නිරුවත් තරුණියක් රමාණයෙන් පසු සිගරට්ටුවක් බොයි.

ඉහත චිත්‍රයෙන් ප්‍රශ්න කරන්නේ තරුණියන් බ්ලු චිත්‍රපටි සඳහා රැගෙන බන්ධන කරන (bondage) ආකාරය ටම පිරිමියාව එතනට පත් කිරීමයි. තරුණයා පුඋවකට තබා බැඳ ඇත. ඔහුගේ දෙඇඳ සිටින කමිසය ඔලුව වටා ඔතා  දෙනෙත් වසා ඇත. තරුණිය ඔහුගේ මුහුණට ශම්පෙන් වත් කරයි.  

ඔවුන් රැගෙන යන දේ - මිච් ග්‍රිෆිත් 
දුම් වළාවල් හා විනාශය මැද  සොල්දාදුවකු විසින් තමන්ගේ රටින් පලායන තරුණ අනාථ වූ ගැහැනියක රැගෙන යයි. මෙය සිරියාවේ පෞරාණික නගරයක් වූ පල්මිරා හි සිදුවූ විනාශය සංකේතවත් කරයි. එසේම ඉතිහාසයේ නිතර කියවෙන කවුරුන් හෝ පැමිණ තමන් බේරා ගනීවි යන  සංකල්පයද ඉසමතු කරයි. සිංහලයන්ගේ දියසේන කුමාරයා පිලිබඳ මිථ්‍යා විශ්වාසය  වැන්නකි. 

පළමුවන වෙඩික්කරු - යුදයට කතා කිරීම - මිච්ග්‍රිපිත්ස්  
මේ චිත්‍රයේ වෙඩික්කරු යුද්ධයට යාමට සැරසේ. පෙම්වතිය ඔහුගේ කකුල් බදාගෙන වැළපෙයි.
නවීන යුධෝපක්‍රම 

හොඳම පැය 
ඉහත සිත්තම් ත්‍රිත්වයෙන් පෙන්වන්නේ වීඩියෝ ගේම් වල සිටින වෙඩික්කරුවෙක්  වැන්නකි. ඔහුගේ අවසන් එල්ලය තමන්ට හමුවන සියල්ලන්ම මරා දැමීමයි. මෙහි පෙන්වන බ්‍රිතාන්‍ය සොල්දාදුවා ඔහුගේ  සිතට විරුද්ධව  ජාත්‍යන්තර යුද්ධයකට යැවූවෙකි. ඔහුගේ දෛනික ප්‍රශ්නය ඔහුට දුන් අණ  ක්‍රියාත්මක කිරීම අපරාධයක්ද යන්නය? එනම් ඔහු යුධ අපරාධකරුවෙකු වන්නේද  යන්නය. 


ජාන පාලම - මිච් ග්‍රිෆිත් 
මෙහි පෙන්වන්නේ ඓතිහාසිකව එන පියෙක්ගේ හා පුතෙක්ගේ සම්බන්ධයයි. යුරෝපයේ පුනරුදය (renaissance) සමයේ හැම සිත්තමකම වැඩකරු තම ආයුධ හා උපකරණ  පෙන්වීම සිරිතක් විය.  වැටෙන කොළ පත් පෙන්වන්නේ කාලයේ ගලා යාමයි. 
ද්‍රෝන් යානය - මිච් ග්‍රිෆිත් 
ඇතැම් මාධ්‍ය මගින් වාණිජකරණය හා මෝහනය කරන ලද යුද්ධය සඳහා පින්තුර ලබා ගන්නේ පරිගණක යුද ක්‍රීඩා ආභාෂයෙන්ය. මේ ගැහැණිය හරියට නියමුවෙකු නැති ද්‍රෝන යානයක් වැනි මිසයිලයකි. යුද්ධයේ ඇති බිහිසුණු බව,  නොදත් බව පෙන්වමින්  අවතාර (zombi)  මෙන් හැසිරෙන ජනතාව ගෙන් වසන් කර ඇත. ලින්ගිකකරණය (sexualised) කරන ලද කාන්තා සොල්දාදුවාගේ මොබයිල් දුරකථනය රයිෆලයට බැඳ තබා ඇත්තේ මෙහි අතාත්විකභාවය පෙන්වීමටය.

ඇරිස්ටෝටල් ගේ  කියමනකින් ලිපිය අවසන් කරමි.

"ඇතැම් විට වස්තූන් (objects)  දෙස බැලීම වේදනාකාරී වුවද අපි ප්‍රමෝදයට   පත්වන්නේ කලාව තුලින් යථාර්ථය වඩාත්  තාත්වික ලෙස නිරූපණය  වන්නේ නම් පමණි. උදාහරණයක් වශයෙන් මියගිය සත්වයන්ගේ හෝ මිනිසුන්ගේ ශරිර වල ස්වරූපය (පෙන්වීම) ගත හැකිය. මෙය තේරුම් ගැනීමට උපකාර කරගත හැකි හේතුව මෙයයි: එනම් අපේ ධාරිතාවය කොපමණ කුඩා වුවත්, දර්ශනවාදියෙකුට පමණක් නොව සාමාන්‍ය ජනතාවට පවා යමක් ඉගෙන  ගැනීමට ලැබීම ඉහල  වින්දනයක් ලැබිය හැකි දෙයක් වීමයි. අප ලබන ප්‍රමෝදයට හේතුව නම් චිත්‍රය දැකීමෙන් ලබන සතුට මෙන්ම යමක් ඉගෙනීමෙන් ලබන සතුටද සංයුක්තව ගත් කල යමක තේරුම අපට වැටහී යාමයි.

අල්මාරිය Closet - Ilya and Emiliya Kabakov



පහත යොමුවල වැඩි විස්තර තිබේ.

Links to the exhibition information 
About Mitch Griffin


මගේ ෆේස්බුක් හා ගූගල්ප්ලස් අවකාශය   තුල අනිකුත් ඡායාරූප පළවේ. ඔබ උපුටා ගන්නේ නම් එර්මිතාෂ් ප්‍රදර්ශනය හා කලාකරුවන්ගේ නම් සඳහන් කරන්න.


Complete exhibition is in my facebook page and in Google+. If you copy please make sure you mention artist's names and place of the exhibition.

Tuesday 16 August 2016

සංචාරක සටහන් පැත්තකය - කැමති සින්දු දහසය රැල්ලය

මම කැමතිම සින්දු ටිකක් අටම දාල තිබෙනවා. ඒ මෙතන. ඉයන් ගේ සින්දු ටික සම්පුර්ණයෙන්ම අහන්න   බැරි වුනා තවම. මිල්ටන් ගේ සින්දුව බොහොම කැමති එකක්. කලණ ගේ තේරීමත් ඉතා හොඳයි කියමු.  එඩ්වර්ඩ් ජයකොඩිගේ සින්දුවට තමයි මම වැඩිපුරම කැමති.  හන්සිගේ තේරීම් වලින් සිත හොරෙන් හොරෙන්, සිහිල් සුලන් රැල්ලේ හෙම කැමතිම ගීත. හැබැයි එයා  දාල තියන අලුත් ඒවා වැඩිය දන්නේ නැහැ.  නිර්මාණි ගේ තේරීම් වලින් සිහිනයකි ඔබ මම කැමතිම ගීතයක්. තරිඳුගේ එගොඩහ යන්නෝ හුඟක් කැමති ගීතයක් .

නිර්මාණි කියනවා වගේ ඉයන් ගේ අභියෝගය හිත ඇවිස්සු , කලම්බපු එකක් බව ඇත්ත. මම අද උදේ වැඩට යද්දී කල්පනා කළෙත් මම කැමතිම ගීත මොනවාද කියල. එහෙම  අත අරින්න පුළුවන්ය. මෙන්න මගේ කැමතිම සිංහල ගීත දහසය. ටිකක් පරණ ඒවා තමයි වයසේ හැටියට.

1. වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා - පෙම් රස වෑහෙන
පෙම් රස වෑහෙන පද ටික මෙන්න.
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ

දෙතොල'ග ගී සැරේ
මී වද සුවඳ සදා දේ

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා

සින්දුව ට මම කැමතිම මේක මගෙයි බිරිඳ ගෙයි පුංචි කැදැල්ලේ දරු දෙන්න එක්ක ගෙවන ජිවිතේ වගේ නිසා. එකම කණගාටුව මගේ බිරිඳ ට සින්දුව තේරෙන්නේ නැති එක.
2. නන්දා  මාලිනි - තරුද නිදන මහා රෑ 
 නන්දා මාලිනී කියන්නේ කැමතිම ගායිකාවක්. එයාගේ සින්දු වලින් කුරුටු ගෑ ගී පොතේ සහ ගලන ගඟකි ජිවිතේ කියන සින්දු දෙකටත් මම ගොඩක් කැමතියි. නමුත් රෑ තරු පිරුන අහසක මේ සින්දුව නිතර හිතට එනවා. තරු බලන නිසා වෙන්න ඇති. මගේ සොයුරිය නිතර ගයනවා මේක. එයාගේ පුංචි පැරදුන ආදරයක් තිබ්බා කාලෙකට කලින්. 
 
3. අබේවර්ධන බාලසුරිය  - පියාණෙනි මා  නැවත උපන්නොත් 
මට හැම වෙලේම මගේ පියා  සිහි වෙනවා මේ සින්දුව නිසා.  මම උපාධියක්  ගත්ත පළමුවන අවස්ථාවේදී එයාට එන්න වීසා  හදන්න බැරිවුණා. දෙවෙනි අවස්ථාවේදී පුළුවන් වුනත් එයා අසනීපෙන්. තුන්වන අවස්ථවේදී  එයා මෙලොව හැර ගිහින්. අහන හැම අවස්ථාවකම හිත සංවේදී වෙනවා. 


4. වික්ටර් රත්නායක - ආදරයේ  උල්පත වූ අම්මා 
අම්මා ගැන ගයන මේ ගීතයත් ජෝතිපාල මහතාගේ තව ගීතයකුත් තියනවා. ඒ වගේම අම්මාවරුනේ ගීතයටත් මම කැමතියි. 


5 ගුණදාස කපුගේ - තරු මල් යායම 

මෙහෙම කතාවකුත්  තිබුනා ජිවිතයේ.  නැවත මතක කරන්නේ නැතුව සින්දුව ඇහුවම හරි. 

තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේඅඳ්රේ උන්නෙමි ලොවම එපාවීමා හැරදා ඈ ගිය දවසේ
දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැතිපාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැතිතැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනිඑකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
නුවර උයන් මැද හමුවු ළඳුන් නැතීයටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතීතැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනිඑකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි





6. ඩබ්ලිව් ඩි අමරදේව - සන්නාලියනේ 

මම මේක සින්දුව අහපු මුල් දවස වල ඉඳලම වගේ කැමතියි. ජීවිතය ගැන ලස්සනට ගීතයකින් මැවෙනවා. ඉපදීම, ජීවිතය හා මරණය එකට ඈඳලා.

7. එච් ආර් ජෝතිපාල - පාට පොදක් තිලකලා 



8. මිල්ටන් මල්ලවාරච්චි -  පෙර එක දවසක 
මේක අංක පහට සම්බන්ධයි.


9. පියුම් නිල විල උපන්නියේ - ටි එම් ජයරත්න 
අපේ ගෙවල් ගාව හිටිය ලස්සන ගැහැණු ළමයෙක්. ලස්සන වැඩි කමට කොල්ලෝ පස්සෙන් යනවත් වැඩියි. මේ සින්දුව එයාටම ලියපු එකක් කියල හිතුන වාර අනන්තයි.


10. ක්ලැරන්ස් වීජේවර්ධන - හිරුගේ ලොවේදී 


11. සනත් නන්දසිරි -එදා මෙදා  තුර 
මගේ යහළුවකුට වුණා කියමුකො. ජිවිතේ දුක තමයි වෙලාවකට.


12- ප්‍රිය සුර්යසේන - ආදරණිය නේරංජනා 


13.  සුනිල් එදිරිසිංහ - සන්තාප මාවතේ
14. 
ශ්‍රීමති තිලකරත්න - ආත්ම ගණනක සිතිවිලි අතරේ

15. සුනිල් එදිරිසිංහ - සඳකඩ පහනක
16.  ටි එම් ජයරත්න , සුනිලා - හෙමින් සැරේ පියා  විදා
 

මේ සින්දු දහසයට  අමතරව තවත් සින්දු කීපයක්ම  හිතේ තිබෙනවා. ඒ අමරදේව මාස්ටර්ගේ "රෑ දුරු රට මේ ". පිටරට සීතල දවසක අහන් හොඳ සින්දුවක් කෝපි කොප්පෙකුත් හදාගෙන.
දයාරත්න රණතුංග ගේ මංගල මධු සමය පතා , සෝමතිලක ජයමහ ගේ දෙනුවර මින්පසු,  මොහිදීන් බෙග් ගේ සුදු සඳරැස් ගලන ,  මර්වින් පෙරේරාගේ මා සනසා , විජය කුමාරතුංග ගේ ගඟ  අද්දර .  බණ්ඩාර ආතාවුද ගේ සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ 
  නිරංජලා සරෝජිනී ගේ මේ ගඟ  මේ දුර කතර ගෙවා
ඒ වගේම මම කැමතිම පරණ ගීතයක් මේක.
අයිරින් ඩි අල්විස් , රොම්ලස්  පෙරේරා - නීල   ජලේ යමුනා සමිරේ 



මධුර යාමේ අමතක කරලා කොහොමද. ඔන්නොහේ ඒකත් එකතු කලා .



ඒ නිසා ඉයන් මේක සින්දු 25 ක්ම කළොත් නරකද?  ඇත්තටම හිතුවොත් ඉයන් මේ සින්දු ගැන ලියපු එකෙන් තවත්  දෙයක් ඉස්මතු වෙනවා. අපි මේ සින්දු කියපු, සින්දු ලියපු, සංගීතය සපයපු ආදරණිය සංගීතඥයන්ට කොපමණ ණය ගැතිද කියල. හිත වේදනාවෙන් පිරුණු වෙලාවක වගේම, හිත සතුටින් උදම් අනපු වෙලාවක,  තේ කෝප්පයක් හදාගෙන හිත තනි කර ගත්ත වෙලාවක මේ සහෘදයන්ගේ සොඳුරු ගීත අපව කොතරම් මන්මත් කළාද? ඇත්තටම හිතා  ගෙන යනකොට මට විසි පහෙනුත් නවත්වන්න බැහැ  වගේ. ඉයන්ට ස්තුතියි.  

Sunday 14 August 2016

සාන්ත පිතර්බුර්ගයේ දීය - 2 - ලෙනින් මැතිඳු අද තනියම වෙල මැද්දේ

පළමු ලිපිය 

මා  දන්නා පරිදි ස්ටාලින් ගේ බොහොමයක් ප්‍රතිමා  සෝවියට් දේශය බිඳ වැටුණු පසු ඉවත් කරන ලදී. නැතහොත් ඔහුගේ පාලන සමයේ  භීෂණයට අසුවුණු අයගේ නෑදෑයින් විසින් කඩා  දමන ලදී. ලෙනින් ගේ ප්‍රතිමා  බොහෝ විට බලයට පැමිණි යෙල්ට්සින්ගේ පක්ෂයේ  නාගරික සභා මගින් ඉවත් කරන ලදී.  ලෙනින්ගේ පිළිමයක් තිබේ දැයි සොයා බැලූ මට ඉලිචා චතුරශ්‍රයේ පිළිරුව ඉවත් කර නොමැති බවට ආරංචි විය. ඉලිචා හෙවත් ඉලිච් යනු ලෙනින් ගේ දෙවැනි නමයි.

සාන්ත පිතර්බුර්ගයේ ඉතා පියකරු පෙදෙසක පිහිටි මේ චතුරශ්‍රයේ ලෙනින් බලා සිටින්නේ නේවා  ගඟ දෙසය.

ඉලිචා  චතුරශ්‍රය 

ලෙනින් සිටි හරියේ නේවා  ගඟේ සිට අප නැවතී සිටි නෙව්ස්කි විදියේ නිවෙස බලා  විනාඩි 25 පමණ පයින්ම ඇවිද්දෙමි. ඒ අතර නේවා ගඟේ පින්තුර කිහිපයක් ගන්නා  අතරතුර මට කල්පනා වුනේ අනිකුත් සෝවියට් කාලයේ තිබූ  පිළිම බොහොමයක් අතුරුදහන්ව ඇති බවයි.
එසේම ව්ලදිමීර් පුටින් ඉතා දක්ෂ ලෙස රාජාණ්ඩුවාදීන් හා කොමියුනිස්ට් පාක්ෂිකයන් අතර එකිනෙකා  කෙරෙහි ප්‍රතිවිරෝධතාවයන් අවුළුවා  තමන්ට එරෙහි විරෝධතා අවම කරගෙන ඇති බවයි.
අප මහා පීටර් රජුගේ සොහොන මෙන්ම සාන්ත ඉසාක්  දෙව්මැදුරු  ආදිය බලන්නට ගිය ගමන් වලදී බෝල්ෂෙවික් වරුන් විසින් මරා දැමුණු  රජ පවුලේ සාමාජිකයන් මෙන්ම බොහෝ සිටුවරුන්, කුමාරයන් , කුමරියන් ගේ හා සෝවියට් දේශයෙන් පළාගොස් 1991 න් පසු නැවත පැමිණි රදළයන්ගේ සොහොන්  පිහිටුවීමට පුටින් ඉඩ දී තිබේ. 
එනිසා රාජාණ්ඩුවාදීන් ඔහුගේ ගුණ ගයන අතර ලෙනින් ගේ පිළිම ඉවත් කිරීම නතර කිරීමෙන් ඔහු කොමියුනිස්ට් වාදීන්ගේ හොඳ හිත තබාගෙන තිබේ. මේ මිනිසා මැකියාවෙලි වැනිම කපටියෙක් (දක්ෂයෙක්?) යැයි මට සිතේ.


පහත ඇත්තේ කාලතුවක්කු (artillery) සඳහා පිහිටුවා ඇති හමුදා ඇකඩමියයි. මෙහි කාලතුවක්කු වර්ග, යුධ ටැංකිවල කාලතුවක්කු පිහිටුවන ආකාරය, ෂෙල් වැටෙන දුර නිර්ණය කිරීම ආදිය සියල්ල උගන්වන අතර කාලතුවක්කු පිලිබඳ විශේෂඥයන් බිහි කිරීම මෙහි පරමාර්ථයයි. මෙහි ඉගෙනුම පිලිබඳ වියදම දරන්නේ යුධ හමුදාවයි.





මේ මගේ හෙවනැලි සෙල්ෆියකි.



නේවා ගඟ අසල  හිරු බැසයන අන්දම

 ගඟ අසබඩින් ඇවිද ඉන්පසු අලෙක්සන්ද්රෝව්කි සද් නමැති ගිම්හාන සෘතුවේ  ඇවිදීමට සාදා ඇති උද්‍යානයට පිවිසුනෙමි. මේ එහි ඇති රෝම හා ග්‍රීක ප්‍රතිමා කිහිපයකි.







මේ රුසියාවේ ජනවර්ග ගැන හදාරන කෞතුකාගාරයකි.

 ශාන්ත පිතර්බුර්ග් නගර මධ්‍යයේ සුන්දර ශීත මාලිගාව ඉදිරිපිට චතුරශ්‍රයේ පිහිට ඇති මෙම කුළුණ 1917 විප්ලවයෙන් පසුව ඉවත් නොකරන ලද්දකි. එය පිහිටුවා ඇත්තේ රුසියානු ජෙනරාල් කුතුසොව්  ගේ හමුදා 1812 දී නැපෝලියන් බොනපාට් ප්‍රංශ හමුදා පරාජය කිරීම සිහි කිරීමටය. මේ කුලුනේ විශේෂත්වය වන්නේ එය එහි පිහිටා  ඇත්තේ එහි බරින් පමණක් වීමයි.  එනම් පදනමක් (foundation) නැතිවය.
 මේ එම චතුරශ්‍රයේ ඡායාරූප  කිහිපයකි.