Sunday 2 July 2017

මෛත්‍රී - රනිල්! ඉතිහාසයට යනවාද - ඉතිහාසයේ කුණු බක්කියට යනවාද

ඩී එස් - චඡායාරුප  තුප්පහි බ්ලොග් අඩවියෙනි 
ශ්‍රී ලංකාවට නිදහස් ලැබුනේ 1948 දී යයි අපි උගත්තෙමු. ශ්‍රී ලංකාවට සැබෑ නිදහස ලැබුනේ අවසන් අධිරාජ්‍යවාදී යදම් බිඳ දමා 1972 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව යයිද ඉන්පසු  උගත්තෙමු. කෙසේ වුවද ශ්‍රී ලංකාව  අදටත් නිදහස සමරන්නේ පෙබරවාරි 4 දාය. ඒ 1948 වසර ට සම්බන්ධවය.  එසේම සුද්දා  හෙවත් ඉංග්‍රීසින් රට දමා යනවිට හොඳ සමබර ණය නැති ආර්ථිකයක් මෙන්ම ජන වාර්ගික ප්‍රශ්නයක් ද ඉතිරිකර ගිය බවද අප උගත්තෙමු.

එදා සිට ශ්‍රී ලංකාව  පාලනය කරන ලද නායකයන් ගෙන් බොහොමයක් ඉතිහාසගත වී තිබෙන්නේ නොයෙකුත්  හේතූන් වලටය.

ඩී ඇස් සේනානායක (1883-1952) මහතා ගල්ඔය ජනපද ව්‍යාපාරය ආරම්භ කළේය. ඔහුට "ජාතියේ  පියා " යයි නමක් ද   පට බැඳී තිබේ. බ්‍රිතාන්‍යයන් මගින් සිංහල ඉඩම් බලහත්කාරයෙන් අයත් කරගෙන  සිංහලයාට කඳුරට හා නැගෙනහිර  කරන ලද දැඩි අසාධාරණයන්ට පිළිතුරක් ලෙස නව ජනාවාස පිහිටුවා, ඉඩම් ලබාදී  කුඩා විදුලි බලාගාරයක් ද සාදා රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම ට  හොඳ පදනමක් දැමීමට මේ ව්‍යාපාරය සමත්  විය.  යාපනයේ  දෙමළ දේශපාලකයන් සිංහල කොලනිස්ට් නමින් හැඳින්වූයේ මේ සිංහල ජනතාවය. මෙම තුප්පහි නමැති බ්ලොග් අඩවියේ මේ පිලිබඳ ඉතා හොඳ විස්තරයක් (ඉංග්‍රීසියෙන්) තිබේ.
(මෙම බ්ලොග් අඩවිය හොඳම ඉංග්‍රීසි බ්ලොග් අඩවිය ලෙස සම්මානයක් සඳහාද නිර්දේශ කළෙමි .)

එම බ්ලොග් අඩවියේ සඳහන් අන්දමට කිසිම රටකින් ණයක්  නොගෙන දේශීය ඉංජිනේරුවන් යොදවා දේශීය දැනුමින් මුළු වාරිමාර්ග ව්‍යාපාරයම නිමවන ලදී. එසේම සිංහලවාදී නායකයකු වුවත්  කිසිම දෙමළ  ජාතිකයකුට අසාධාරණයක් වීමටද ඩී එස් ඉඩ නොතැබුවේය.

ලංකාවට ඩොමිනියන් තත්වය  ලබා ගැනීමටද මුලික වුනු ඔහු  ඉඩම් සංවර්ධන පනත ද ගෙන ආවේය. බොහෝ දෙනා  ඔහුගේ වරදකට දකින්නේ ඉංග්‍රීසින්  විසින් වතුකරයට අලුතින්  ගෙනා  මිලියන භාගයක්  පමණ වූ දෙමළ කම්කරුවන්ගේ  පුරවැසි භාවය අහෝසි කිරීමය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔහුගේ නම ලියා තැබීමට ඔහු සමත් විය.

යටත් විජිත සමයේ හමුදාවේ සේවය කල සර් ජෝන් කොතලාවල (1895-1980) එවකට පැවති 1953 හර්තාලයේදී ඩඩ්ලි සේනානායක මහතාගේ ඉල්ලා අස්වීම නිසා හදිසියේ අගමැති පදවියට පත්විය. ජනාධිපති ජේ අර ජයවර්ධන මහතා විසින් ඔහු ලංකා හමුදාවේ ප්‍රථම ජෙනරාල් වරයා ලෙස අභාවප්ප්‍රාප්ත වීමට සුළු කලකට පෙර පත් කරන ලදී.  කොතලාවල මහතා ඔහුගේ කඳවල  වලව්ව රජයට (හමුදාවට) පරිත්‍යාග කළේය.

ඩී ඇස් ගේ වැඩිමහල් පුතා ඩඩ්ලි සේනානායක (1911-1973) මුලින්  1952 හා  1960  වසර වල අගමැති පදවියේ සුළු කලක් සිටි අතර  1965-70 දක්වා අගමැති වරයා ලෙස රට පාලනය කළේය. ඔහු ආර්ථිකය සමබරව තබා ගැනීමට කටයුතු කලා මිස ඉතිහාසයට යාමට තරම් වැදගත් දෙයක් කලා යයි කොහේවත් ලියවී නැත. මුල් අගමැති පදවිය හිමි වුයේද "තාත්තාගෙන් පුතාට" ගිය උරුමයක් වශයෙනි.

"සිංහල පමණක් " රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රධාන සටන් පාඨයද සහිතව බලයට පත්වූ එස් ඩබ්. ආර් ඩී බණ්ඩාරනායක මහතා (1899 -1959)  ඒ පොරොන්දු වූ ලෙසටම සිංහලය රාජ්‍ය භාෂාව කළේය. එතෙක් සිංහලයාට වැසි තිබුණු රාජ්‍ය පරිපාලන  සේවයේ දොරවල් මෙනිසා ඔවුනට විවෘත වුන අතර සිංහල  සිසුන් ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ට ඉන් තල්ලුවක් ලැබුණි. විද්‍යෝදය හා විද්‍යා;ලංකාරය පිරිවෙන්  විශ්ව විද්‍යාල  බවට පත්වුනි. එසේම එතෙක් සුළු වශයෙන් ඉදිරියට එමින් තිබූ ජන වාර්ගික ප්‍රශ්නය "භාෂා ප්‍රශ්නය " මත වඩාත් දරුණු වීමද සිදු වුයේ මේ සමයේය. දෙමළ ජනතාවට  විරුද්ධ ප්‍රථම  ජන සංහාරය සිදු වුයේ ඔහුගේ පාලන සමය තුළදීය (1958). මෙහිදී යාපනය දෙමළ ජාතිවාදීන් විසින්  දකුණේ සිංහලයන්ට ප්‍රථමවරට පහර දෙන ලදී.

බ්‍රිතාන්‍යයන් යටතේ තිබූ කටුනායක හා ත්‍රිකුණාමල කඳවුරු ලංකා රජයට  යටතට පවරා  ගත් බණ්ඩාරනායක මහතා  කිසිඳු බල කඳවුරකට නොබැඳි කටයුතු කිරීමේ විදේශ ප්‍රතිපත්තියෙහි  පුරෝගාමියා විය. එසේම   සෝවියට් දේශය හා චීනය සමග ප්‍රථම වතාවට තානාපති සබඳතා ඇරඹුණේද  මේ සමයේය. බණ්ඩාරනායක මහතාගේ සමයේ කම්කරුවන්ට බලපාන  නීති සමුහයක්ද ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ජනතාව අතර සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේග ප්‍රථම වරට එක් කල බැවින්ද ඔහු ඉතිහාසගත වෙයි.
ලෝකයේ ප්‍රථම අගමැතිනිය ගේ දිවුරුම් දීම 

බණ්ඩාරනායක මහතා ගෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක(1916-2000) මැතිනිය බලයට පත් වූයේ බණ්ඩාරනායක මහතා මෙන්ම වාමාංශික පක්ෂ වල පිහිටෙනි. බණ්ඩාරනායක මහතාට කළ නොහැකිව තිබු තෙල් කොම්පැනි ජනසතු කළේ  බණ්ඩාරනායක මැතිනියයි. 1960 සිට 1965 දක්වා හා 1970 සිට 1977 දක්වා ශ්‍රී ලංකාව  පාලනය කළ ඇයගේ කාලයතුල  තේ වතු  ජනසතු කිරීම හා විශාල වතු හිමියන්ගේ වතු ජනසතු කිරීමද  (පසුව ඒවා නෑදෑයින් හා හෙන්චයියන්ට  දී විනාශ කිරීම ද ඇතුළුව) සිදු කෙරුණි.

තරුණයන්ගේ කැරැල්ලක් 1971 දී මැඩ පැවැත්වීමටද බණ්ඩාරනායක මහත්මියට සිදු විය.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම 1972  වූ නව ව්‍යවස්ථාවෙන් සිදු වූ අතර විශ්ව විද්‍යාල සිසුන් ඇතුලත් කර ගැනීම සඳහාවූ මතභේදාත්මක "දිස්ත්‍රික් පදනම් ක්‍රමය"  ඇරඹුණේ ද ඇගේ පාලන සමය තුලය. හාල් පොලු, මිරිස් පොලු ආදිය දමා ආහාර  සලාකයට දී ලාභ ඉන්දීය සාරි ලංකාවට  ගෙන්වමින් වාමාංශික මුදල් ඇමති ඇන්  ඇම්   පෙරේරා මහතා ලංකාවේ බාහිර විදේශ ණය සෑහෙන  ප්‍රමාණයකින්  අඩු කළේය. රාජ්‍ය මැණික් සංස්ථාව , දැව  සංස්ථාව ආදී සංස්ථා බොහොමයක් පිහිටවූයේද මේ කාලයේය.  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1976 දී නොබැඳි සමුළුවේ සභාපතිනිය වශයෙන් ශ්‍ර ලංකාවේ නොබැඳි සමුළුවද පැවැත්වූවාය. එහෙත් අසාර්ථක වූ ආර්ථික ප්‍රතිපත්ති නිසා විවෘත ආර්ථිකයක් ගෙන ඒමට පොරොන්දු වූ ජේ ආර් ජයවර්ධන මහතා ගේ පක්ෂයට  පරාජය වුවද සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අගමැතිනිය වශයෙන්ද ඉතිහාසයට එක් වූවාය.

ජේ ආර් ජයවර්ධන (1906-1996) මහතා 1965 එජාප රජයේ රාජ්‍ය ඇමති පදවිය දැරූ සමයේ  ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අඩිතාලම දැමුවේය. හයෙන් පහක ආසන සංඛ්‍යාවක් සහිතව 1977 දී  බලයට පත්වූ ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ එවකට පැවති  ව්‍යවස්ථාව සහමුලින්ම වෙනස් කරමින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ප්‍රථම අධි බලැති  විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්විය. එයට ප්‍රථම 1977 මැතිවරණයෙන් පසු  තවත් වතාවක් දෙමළ  ජනතාවට මෙන්ම ශ්‍රී ලනිප පාක්ෂික යන්ටද ප්‍රහාරයන් ට මුහුණු දීමට සිදු වුනි.
වික්ටෝරියා  වේල්ල 

එතෙක් පැවති  අර්ධ සමාජවාදී සංවෘත ආර්ථිකය මුලුමනින්ම විවෘත කරමින්, එම රජයේ  ආර්ථික ප්‍රතිපත්තීන් සහමුලින්ම වෙනස් කරමින් ලිබරල් ධනවාදී ආර්ථිකයක්  ස්ථාපිත කිරීමට  ජේ ආර් කටයුතු කළේය. එසේම ඔහුගේ පාලනයේ මුල් වසර කිහිපය තුල ශ්‍රී ලංකාව විශාල වෙනස් කමකට භාජනය විය. එසේම තමා  යටතේ සිටි ඇමතිවරුන් ගෙන් දක්ෂයන් හඳුනා කටයුතු කිරීමට ඔහුට හැකි විය. 1964 වැනි ඈත කාලයක යෝජනා වුවද 1978 දී ගාමිණී දිසානායක මහවැලි ඇමතිව සිටියදී දියත් කල මහවැලි යෝජනා ක්‍රමය , ලලිත් ඇතුලත් මුදලි ගේ මහපොළ ශිෂ්‍යත්ව (බුද්ධිමය දේපළ පනතේ නිර්මාතෘ ඔහුය) ,හා ප්‍රේමදාස මහතාගේ ගම්උදාව  ව්‍යාපාරය මගින් නිවාස  තනා  දීමද මේ කාලයේදී ඇරඹිණි.

ජාතික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් දිස්ත්‍රික් සංවර්ධන  සභා 1979 දී පිහිටවුවත් යාපනය මහජන පුස්තකාලය වටිනා  පොත් පත් සමගින් ගිනි තබා විනාශ කරන ලදී.

එසේම නිදහස් වෙළඳ කලාප පිහිටුවා සම්ප්‍රදායික අපනයන භාණ්ඩ වන තේ, පොල්, රබර් වලට අමතරව නිමි ඇඳුම් අපනයනය ආරම්භ කළේ  ජයවර්ධන සමයේය. එම වෙළඳ කලාප ශ්‍රමිකයන් මෙන්ම මැද  පෙරදිගට ශ්‍රමිකයන් යැවීමද මගින් ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට  ඔහුට හැකි විය. සම්ප්‍රදායික වම සංවිධානය කළ  1980 වැඩ  වර්ජනයට සහභාගී වූ සියල්ල ගෙදර යැවූ  ජයවර්ධන මහතා 1982 ජනමත විචාරණයක් පවත්වා එතරම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙසකින් නැවත බලයට පත් වුනි.

ඇමෙරිකානු හිතවාදියකු වන ජයවර්ධන මහතා ලලිත් ඇතුලත්මුදලි විසින් ඊශ්‍රායලය සමග  සම්බන්ධතා ඇරඹීම ගැන විරෝධයක් පළ  නොකළේය. මේ තත්වය සෝවියට් හිතවාදී ඉන්දීය  රජය රිස්සුවේ නැත. තමිල්නාඩුව හරහා ඉන්දියාව දෙමළ  කැරලිකරුවන්ට ආධාර සැපයූ  ඉන්දීය රජය  ලංකාව  අස්ථාවර කිරීමට මාන බැලීය. දෙමළ  කැරලිකරුවන් හමුදා භටයින් පිරිසක් මරා   දැමීම හරහා ඇවිලුණු 1983 ජාතිවාදී ප්‍රහාරය දරුණුම  දෙමළ  ජන සංහාරය ලෙස ඉතිහාස ගතවුණු  අතර බොහෝ දෙමළ  ජාතිකයින් බටහිරට පලා යාම   සමග ප්‍රබල දෙමළ  ඩයස්පෝරාවක් බිහි වීමේ අඩිතාලම වැටුණි. එසේම ජනතා විමුක්ති පෙරමුණ හේතු විරහිතව තහනම් කිරම මගින් දකුණේ කැරැල්ලක් නිර්මාණය වීමේ වටපිටාව ද ජයවර්ධන මහතා නිර්මාණය කර දුනි.
 ජේ ආර් - රජීව් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම

කොටි සංවිධානය වඩමාරච්චි යේදී සහමුලින් පරාජය කිරීමට  ඔන්න මෙන්න තිබියදී ඉන්දීය මැදිහත්වීමක් සිදුවුණු අතර 1987 දී ඉන්දු ලංකා ගිවිසුම ජේ ආර්  සහ රජීව් ගාන්ධි අත්සන් කළහ. ශ්‍රී ලංකාවේ බලය විමධ්‍ය ගත කිරීමට ප්‍රාදේශීය සභා පිහිට වුනේ මේ ගිවිසුමට අනුවය.

එසේ වුවත්  උතුරේ කැරලිකාරී තත්වය වර්ධනය වුනු අතර ප්‍රජාතන්ත්‍රවාදය ට පිටුපෑමේ  ප්‍රතිපලයක් ලෙස දකුණේ කැරැල්ලක්ද  වර්ධනය විය. පක්ෂ නායකත්වය ප්‍රේමදාස මහතාට පවරා ජයවර්ධන මහතා පාලනයෙන්  සමු ගති. නමුත් ඉතිහාසයේ ලියවෙන ප්‍රබල වෙනස් කම් රාශියක් ඔහුගේ පාලන සමය තුල සිදු වුනි.

උතුරේ හා දකුණේ  කැරලි දෙකක් සමග රටේ පාලනය භාර ගත් ආර් ර ප්‍රේමදාස මහතා දකුණේ කැරැල්ල දරුණු ලෙස මර්දනය කළේය. එසේ කලේ තාවකාලිකව උතුර සමග මායාකාරී සාමයක ට එළඹෙමින් ය. මේ බව වටහා ගත් දෙමළ  ත්‍රස්තවාදීන් දකුණේ කැරැල්ලේ  මර්දනය නිම වීමත් සමග1991 දී  ප්‍රේමදාස මහතා ඝාතනය කළහ. ගම්  උදාව  වැඩ පිළිවෙළ  ( හා රේඩියෝ සිලෝන් ආයතනය 1967 සංස්ථාවක් කිරීම)  මගින් ප්‍රේමදාස ජනාධිපති වරයාද ඉතිහාසයට එක්  වෙයි.

ඉන්පසු බලයට පත්වූයේ  සංකාන්ත්‍රී ජනාධිපති වූ ඩී බී විජේතුන්ගය.

ජනාධිපති විජේතුංග ගෙන් පසු 1994 දී  බලයට පත්වූයේ චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංගය. සාමයේ නායිකාව ලෙස බලයට පත් වුවද නැවත කොටි සංවිධානය සමග වූ  යාපනය බේරා   ගැනීමේ යුද්ධයට මුහුණ දීමට ඇයට  සිදු වුනි.  ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඇසක් ද අහිමි වුනු ඇයගේ පාලන සමය තුල  රටේ දකුණු පළාතට මද විරාමයක්  ලැබුනද ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට ජනධිපතිනි  චන්ද්‍රිකා කුමාරතුංග අසමත් වූවාය.

චන්ද්‍රිකා  ගේ පාලනයෙන් පසු ශ්‍රී ලංකාව පාලනය කළේ ජනාධිපති බවට 2005 දී පත්වූ  මහින්ද රාජපක්ෂ මහතාය. උතුරේ චන්ද වර්ජනයක කිරීම ට ත්‍රස්තවාදීන් ට අල්ලස් දී  තම ප්‍රතිවාදියා පරදු බවට චෝදනා ඇති ඒ මහතා  ජනාධිපති බවට පත් වූ පසු,  රටේ කොටසක සිවිල් පාලනයක්ද නීති විරෝධිව පවත්වා ගෙන ගිය එම කැරලි කරුවන්ම  දරුණු සිවිල් යුද්ධයක් දියත් කොට පරාජය කළේය. එම යුද්ධයේදී බොහෝ සිවිල් ජනතාව හමුදා අතින් මිය ගිය බවටද, මානව හිමිකම් උල්ලංඝනය කළ  බවටද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ මාර්ග පද්ධතියට අධිවේගී මාර්ගයක් එක්  වූයේද  මාර්ග හොඳින් පිළිසකර වූයේද  ඔහුගේ පාලන සමය තුලය.  පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන වරායක්  හා නව ගුවන් තොටුපලක් ද හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට ඔහු මූලික වුනි.  චීනය විසින් නොයෙකුත් ව්‍යපෘති සඳහා ණය  මුදල් ලබා දුන් අතර ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක්ද විය. නමුත් නොයෙකුත් අල්ලස් හා දුෂණ චෝදනා වලට මෙන්ම මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලටද මුහුණ දුන් ද ඔහුගේ රජය ඊළඟ මැතිවරණයෙන් පරාජයට පත් විය. එසේ වුවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ තම නම් ප්‍රබලව  සනිටුහන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි විය.

මේ අනුව නිදහසින් පසු ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලනයේ ප්‍රබල වෙනස් කම් කල නායකයන් හැටියට හඳුනා ගත හැක්කේ ඩී  ඇස්  සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක , ජේ ආර්  ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂය.

මෛත්‍රී - රනිල් සභාග ආණ්ඩුව පත්වී වසර දෙකහමාරක් ගත වී තිබේ.  ඉන්දියාවෙන් ගෙන්වූ රථ යොදා දියත් කළ හදිසි අනතුරු සේවය හැරෙන්නට මේ රජය මගින් කළ  ප්‍රබල වෙනස් කම් කිසිවක් මම නොදනිමි.   අපක්ෂපාතිව කටයුතු කිරීම සඳහා ස්වාධීන  කොමිසම් පත් කිරීමත්, තොරතුරු දැන  ගැනීමේ පනත  සම්මත කිරීමත් මහා ජනතාවට දැනෙන වෙනස් කම් නොවේ.

පසුගිය වසර දෙකක කාලය තුල දෙවරක් ගංවතුරෙන් දකුණ පීඩා විඳි අතර, අග නගරයේ කුණු කන්දක් කඩා වැටී බොහෝ දෙනෙකු  මිය ගියහ.  කොළඹ නගරය හා අවට ප්‍රදේශ කැලි  කසළ  වලින් ගහණ වී තිබේ. ඩෙංගු උවදුර  රට පුරා  පැතිර යයි. විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යාපනය බේරා  ගැනීමේ සටනකය. රට සැබවින්ම පාලනය වන්නේද යන්න ගැන ජනතාව  තුල ඇත්තේ කුකුසකි.

රජයට ගං  වතුර උවදුර වළක්වා ලීම සඳහා දිගු කාලීන  පියවරක් ගත හැකිය. කැළණි ගඟ හැරවීම වැනි යෝජනා ක්‍රමයක් පටන් ගත හැකිය. එය තවත් උමා  ඔය  ව්‍යාපෘතියකට වඩා  සියලු පාරසරික දත්ත පිරික්සා  බලා නිරවද්‍ය ලෙස ආරම්භ කළ  යුතු ව්‍යාපෘතියකි.

කුණු කසල බැහැර කිරීම සඳහා  දීර්ඝ හා ඵලදායි ක්‍රමයක් ක්‍රියාත්මක කළ  හැකිය.

ඩෙංගු මර්දනය සඳහා මුළු රටම මධ්‍යගත කර ජාතික වැඩ පිළිවෙලක් මගින් ජනතාව ඩෙංගු උවදුරින් බේරා  ගැනීම සඳහා කටයුතු කළ  හැකිය.

අවම වශයෙන් සුද්දා  විසින්  ඉදි කර ගිය දුම්රිය මාර්ග පද්ධතිය  ත්‍රිකුණාමලයට හෝ මාතරින් එහාට ඉදි කර දියුණු කළ  හැකිය.


නැතිනම් මුකුත් නොකර ඔහේ රට යන්නට ඉඩ දී  2020 දී එන ඕනෑම රූකඩයකට  රට භාරදී ඉතිහාසයේ කුණු බක්කියට යා  හැකිය.



මුලාශ්‍ර:
තුප්පහි  බ්ලොග් අඩවිය 

Sri Lanka's biggest river basin development project




Thursday 22 June 2017

ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින් 2

මෙවර පාර්ලිමේන්තු සැසිවාරය චාම් ලෙස ඇරඹුණි. රැජින සහ චාල්ස් කුමරු 

ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින් 1

ඉහත  ලිපියෙන් විස්තර කළේ දැන් ලන්ඩන් වල තත්වය. ඊයේ  අගමැතිනි තෙරේසා මේ  ආණ්ඩුවේ ඉදිරි කාලය පිලිබඳ වැඩ පිළිවෙල හෙළි දරව් කළා. ඒක කළේ සුපුරුදු පරිදි  පාර්ලිමේන්තුව මෙම  සැසි වාරයට විවෘත කළාට පස්සේ පළමුවන එලිසබත් රැජින විසින්. අර ලිපියේ ලිව්ව උතුරු  අයර්ලන්ත ප්‍රජාතන්ත්‍රවාදී   යුනියනිස්ට් (DUP) පක්ෂය තවම බහ දීල නැහැ සභාග ආණ්ඩුවක් හදන්න. ආණ්ඩුව පැරදෙන්න  වුනත් ඉඩ තියෙනවා. ඒ අතරේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සාකච්චා පටන් ගත්ත. ඒකෙදිත් කලින් කිව්වා වගේම බ්‍රිතාන්‍යය තද ස්ථාවරයක්  ගන්නේ නැති පාටයි.

අද දැක්ක නිව්ස් වල හැටියට ඔවුන්ගේ  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ අලුතින් ග්‍රමර් පාසැල් හදන එක, වයසක අයට බදු ගහන එක (dementia tax ) ආදිය අයින් කරලලු. ජෙරෙමි කෝබින් දිනන්න ඉඩ  තිබෙනවා ඊළඟ මැතිවරණයක් තිබ්බොත්. ඔහුගේ වාමවාදී යයි  කියන ප්‍රතිපත්ති බොහොමයක් යුරෝපයේ තිබෙන   සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ  රාජ්‍ය වල තිබෙන නිසා බොහෝ අය කැමතියි. නමුත් අර ගින්න නිසා එලියට විසිවුණු අයට පොහොසතුන් ගේ හිස් ගෙවල් දෙන්න ඕනේ කියල කෝබින් කියපු එක පාක්ෂිකයෝ උනත් වැඩිය අනුමත කළේ නැහැ. ඒ කියන්නේ වඩා වාමවාදී ප්‍රතිපත්තියකට ගියොත් කෝබින් අප්‍රසාදයට පත්වෙන්නත් පුළුවන්. (නොවෙන්නත් පුළුවන්) නමුත් කෝබින් ගේ කීමට ආණ්ඩුව වැඩ කරන බවක් පෙනෙනවා. අලුත්ම නිවාස යෝජනා ක්‍රමයක තිබෙන ඉතා  සුඛෝපභෝගී නිවාස  මේ ගින්නෙන් අසරණ වූ අයට දෙන්න කොන්සර්වටිව් රජය කටයුතු කරනවලු. මේ එක නිවසක් පවුම් මිලියන් 1.5 පමණ වෙනවා.
ජෙරෙමි කෝබින් සහ තෙරේසා මේ පාර්ලිමේන්තුවේ නව සැසි වාරයට ඇතුළු වෙමින් 

මැන්චෙස්ටර් හි  සියදිවි නසාගත් බෝම්බ කරු ගෙන් පස්සේ පාර්ලිමේන්තුව අසල ප්‍රහාරය සිදු වුනේ. ඉන් පස්සේ තෙරේසා මේ කිව්වා ත්‍රස්තවාදීන් ගේ මානුෂික අයිතීන් සීමා කළ යුතුයි කියල. (Curb human rights ). එයා තමා  ඊට කලින් හිටිය අභ්‍යන්තර කටයුතු භාර ඇමතිනිය. (home secretary) ." මම මේ මානුෂික අයිතීන් පිලිබඳ ලියවිල්ල ඉරා දමනවා කියල." කියල තමා කිව්වේ.

ඉතින් ඔය  කතාවට මේ රටේ මෙන්ම වෙනත් රටවල් වල ඉන්න ලාංකිකයෝ (සිංහල අය) ෆේස්බුක් එකේ හෙම සෑහෙන්න උඩ පැන්න. "ඇද්ද තොපිට. අපට තමයි උඹල උපදෙස් දෙන්න ආවේ ".  කොටින්ම "තොපිට හොඳ වැඩේ " වගේ කතා  තමයි හැම තැනම කියවුනේ. ආචාර්ය නාලක ගොඩහේවා  වඩා සමබර ලිපියක් ලියල තිබුන. නමුත් ඔහුගේ ලිපියේ LTTE සංවිධානය විසින් දකුණේ කරන ලද ප්‍රහාර මාලාවක් දක්වලා තිබුන වගේම, බ්‍රිතාන්‍යය හා යුරෝපය අපට මානව හිමිකම් රකින්න උපදෙස් දීපු හැටි ප්‍රශ්න කරලා තිබුන ත්‍රස්තවාදී මර්දනයට සහය නොදී.

මේ ගැන මම මෙන්න මෙහෙම පෝස්ට් එකක් ෆේස්බුක් බිත්තියේ දැම්ම.

"ලංකාවේ අය නම් කමක් නැහැ කියමු. මේ රටේ ඉන්න සිංහලයන් නම් අරුම පුදුම කට්ටියක්. ඒ කියන්නේ මෙහෙ රැකියාව කරන්නේ. කන්නේ බොන්නේ. ලංකාවට සල්ලි යවන්නේ. ගෙවල් අරගෙන සැපෙන් ඉන්නේ. ඒත් හිනාවෙනවා බෝම්බයක් පිපිරුවම. තොපි අපිට කියන්න ආව . දැන් ඇත්ද තොපිට කියල. අනේ මන්ද මෙහෙමත් මිනිස්සු. මැරෙන්නේ මිනිස්සු හැම රටේම. මේ රටේත් වරදක් තියනවා ලෝකේ වටේ ගිහින් බෝම්බ දාන නිසා. නමුත් සාමාන්‍ය මිනිස්සු කොයි රටෙත් අහිංසකයි."

මෙතැනදී තවත් අය ඕක සිංහල  බෞද්ධත්වය පිළිබඳ  ප්‍රශ්නයක් කියල ලියල තිබ්බ. මම ඒක පිලි ගන්නේ නැහැ. තවත් අය ඒකට විරුද්ධව ලියල තිබුන. ඔතන සිංහල බෞද්ධකම ගාව ගන්නේ කුහක කමට කියල. සමහර විට ඒ අය (මම නෙමේ) සිංහල බෞද්ධකම ගාව ගත්තේ මෙහෙම සුද්දට හිනාවුන වැඩි දෙනෙක් තමන් සිංහල බෞද්ධ කියල හඳුන්වා ගන්න නිසා වෙන්න ඇති. සිංහල බෞද්ධ නම් ඒ වගේ වෛරී කතාවක් කියන එක වැරදියි කියල ඒ ගොල්ලෝ හිතනවා ඇති. මොකද බුදුන් වහන්සේ දේශනා කළේ "වෛරයෙන් වෛරය නොසන්සිඳේ " කියලනේ.

මම මෙතැන ලිව්වේ "ලංකාවේ අය නම් කමක් නැහැ කිව්වත් " කියල. ඊට හේතුව ලංකාවේ ඉන්න හුඟක් අයට යුරෝපයේ  රටවල මානුෂික  අයිතිවාසිකම් ගැන තියෙන සැලකිල්ල ගැන අවබෝධය අඩු නිසා. දක්ෂිනාංශික යයි කියන කැමරන්ගේ තිබුණ කොන්සර්වටිව් රජය හෝ තෙරේසා ගේ නව රජය වුවත් මේ රටවල තිබෙන මානුෂික අයිතීන් කැඩීමේදී පරිස්සම් වෙනවා.  ඕනෑම වාමාංශික හෝ අන්ත වාමාංශික , අන්ත දක්ෂිණාංශික පක්ෂයකට වුනත් කිසියම් සීමාවන් තුල තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.  දක්ෂිණාංශික බලය   අන්තයට ගියොත් ඔය අපි ඉන්න පිටරටවල ඉන්න සිංහලයන්ට වුනත් පහර වදින්න පුළුවන්. මොකද සුදු  එකාට සිංහලයාගේ, පකිස්තානුවගේ, බන්ගිලියගේ , ඉන්දියානුවගේ වෙනසක් තේරෙන්නේ නැහැ.

එසේම මේ රටවල මානුෂික අයිතිවාසිකම් රැකීමට තිබෙන සංවිධාන ඉතා බලවත්. දේශපාලන පක්ෂවල මෙන්ම මහා ජනතාවගේ සහයෝගයත් ඔවුන්ට තිබෙනවා.

  ඊළඟට මම කිව්වේ " මේ රටේත් වරදක් තියනවා ලෝකේ වටේ ගිහින් බෝම්බ දාන නිසා. " . තලිබාන් කාරයෝ ත්‍රස්ත ප්‍රහාරයක් (2001 සැප් 11) ඇමෙරිකාවට එල්ල කළ පසු  බ්‍රිතාන්‍යය  ඇෆ්ඝනිස්තාන ආක්‍රමණයේ දී එක්සත් ජනපදයට එකතු වුණා.   ඒ නිසාම ලංකාවටත් වාසියක් වුණා . බුෂ් සහ බ්ලෙයාර් ත්‍රස්ත විරෝධී යුධයක් හැටියට ඒක නම් කලේ. ඉන් පස්සේ ඉරාකය ආක්‍රමණය කලා. ඒ ආක්‍රමණයේදී ජෙරෙමි කෝබින් ඇතුළු වාමාංශික මන්ත්‍රී ලා තමන්ගේම කම්කරු රජයට විරුද්ධ වුණා.

ඉරාක යුද්ධයේදී සිදුවුණ මානව හිමිකම් කඩවීම් කිහිපයකට සමහර සොල්දාදුවෝ හිරේ ගියා . ඒකට (හිරේ යැවීමට)  විරුද්ධව ලංකාවේ වගේම චෝදනා ලත් හමුදා භටයන් ට පක්ෂව මෙහෙ පත්තර සහ මිනිස්සු උද්ඝෝෂණ කලා. 

ඊළඟට ලිබියාව ගත්තොත් එතනත්  බටහිර තමා උද්ඝෝෂණ ඇතිකරලා ගඩාෆි එලෙව්වේ. ඒ එළවන්න පුහුණු කරලා  ගත්ත ලිබියන් කාරයෙක් ගේ පුතෙක් තමයි මැන්චෙස්ටර් බෝම්බ කරු. පාර්ලිමේන්තු සිද්ධියේ එක අයෙක් රටේම ජිවත්වුන පකිස්තානුවෙක්. අනිත් දෙන්න යුරෝපෙන් ආව අය. ඉතින් මේ අය බ්‍රිතාන්‍යය සහ යුරෝපය විසින් "තමන්ම " හදා  ගත්ත ප්‍රශ්න.  එනිසාම තමයි මේ රටවල "මානුෂික අයිතිවාසිකම්" අඩු කරන්න ඕනේ කිව්වහම් ඒක ඔය ලංකාවේ වගේ දෙයක් නොවෙන්නේ.

අර ත්‍රස්තවාදියා කියන පුද්ගලයව යවන්න  රටක් නැහැ. බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය ගමන් බලපත්‍රයක් නම් තියෙන්නේ. රටට එනකොට අතරමගින් නවත්වන්නත් බැහැ.  "මානුෂික අයිතිවාසිකම් ඉරල දැමීම " කියල තෙරේසා මේ කියන්නේ ඔය ගමන් බලපත්‍ර ගැන හිතන්නේ නැතුව මුලින් ඉපදුනු රටට පිටුවහල් කිරීම. එහෙම නැත්නම් නඩු අහලා හිරේ දමන්න පුළුවන් නීති හැදීම.

ඉතින් ඕව ලංකාවේ තිබ්බ තත්වයට වඩා සෑහෙන්න වෙනස්. ලංකාව නිකන්  එල් සැල්වදෝරය වගේ තිබ්බේ. ද්‍රවිඩ කැරලිකරුවන් එකිනෙකා  මරා ගත්ත. ළමයි බලෙන් පැහැර  ගෙන ගියා යුද්දෙට. LTTE  එක විවේචනය කරපු රාජිනි තිරාණගම හෙම මරපු හැටි මතකද?  යුද්ධය අතරතුර මිනිසුන්ව අන්ත දුෂ්කරතා මැද ගාල් කරගෙන එහෙ මෙහෙ අරන් ගියා (LTTE  එකෙන්). පොඩි ළමුන් වින්ද දුක් දැක්කද?  ලංකාවේ  දකුණේ LTTE එකෙන් මරපු ගණන ගැන  ලියන කිසි කෙනෙක්  ඒ උතුරු හා නැගෙනහිර මිනිස්සු වින්ද කරදර ලියන්නේ නැහැ. මොකද 95% දෙමල මිනිස්සු LTTE  එකට   පක්ෂයි කියල හිතන නිසා.  එසේම ඔය මිනිස්සුවම  1956 , 1877, 1979 (යාපනය පුස්තකාලය ගිනි තැබීම) හා  1983 අවධීන් වල  ගහල , ගෙවල් කඩලා , ගිනි තියල මරල දැම්ම.  හැබැයි ඉතින් ඕකෙ  අනිත් පැත්තත් ඔහොම්මමයි.දෙමළ අය LTTE එකෙන් දකුණේ කරපු අපරාධ ගැන ලියනවත්  අඩුයි.

ඉතින් තරුණයන් මරා දැමීමේ සිට ජනගහනයට බෝම්බ දැමීම දක්වා සෑම ශ්‍රී ලාංකික රජයක්ම මානව හිමිකම් උල්ලංඝනය කරල තියෙන්නේ. ඔය අතරට පැහැරගෙන යාම්, පුවත්පත් වලට ගිනි තැබීම් , කර්තෘවරුන්ට පහරදීම, මරා දැමීමත් වුණා. අද වුනත් ලංකාවේ ජනතාව  ගැන  අපේම යහළුවෝ ගැන හිතන කොට දුකයි.  තව ගොඩක් දේ වෙන්න තියනවා.පොලිසියට අල්ලන් ගියහම පොඩි වරදකට හෝ වරදක් නැතුව   තවම පොලිසිය ගහනවා. රටේ නොයෙකුත් ආයතන වලින් හරි හමන් සේවයක් කෙරෙන්නේ  නැහැ. නගර වල කුණු අහක් කෙරෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ඔය මානුෂික අයිතීන් වල‍ට අයිතියි.

අනිත් චෝදනාව තමා චීනය හා රුසියාව හැර අනිත් රටවල් යුද්දෙදි උදව් කළේ නැහැ කියන එක.  ඉන්දියාව කරපු ආධාර ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම කියල තිබුණ. ඇමෙරිකා එක්සත් ජනපදය ඇත්තටම ආයුධ තහනම් නියෝගයක් දැම්ම නම් දැන් ඔය රුසියාව ට හා කියුබාවට දාන සම්බාධක වගේ චීනයට නෙමේ මොන ජගතෙකුට වුනත් ලංකාවට ආයුධ විකුණන්න බැහැ. ඒ අතරේම  තිරයෙන් වහගෙන ඔවුන් ලංකාවට උදව් කලා. බ්‍රිතාන්‍යයත් එහෙමයි.  (SAS නිලධාරීන් ලංකාවේ භට පුහුණුවට) නමුත් 1983 ලංකාවේ සිංහලයෝ ගහල මරණ කොට දිවි බේරා  ගන්න එංගලන්තෙට පැනපු දෙමළ  ජනතාව ඔය හැම බටහිර රටකම ඉන්නව. බ්‍රිතාන්‍යයේ නම් ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධව වැඩ කරනවා." දෙමළ ජනතාව කොන්සර්වටිව් පක්ෂයට", සහ "දෙමළ ජනතාව  කම්කරු පක්ෂයට " කියන සංවිධාන හරහා. ඒ වගේම ප්‍රබල මානව හිමිකම් සංවිධාන තියනවා. ඒ බලපෑම් වලාට් ගරු කරමින් රජයක්  කටයුතු කළ යුතුයි.

යුද්දේ වෙලාවේ ලංකාවට ඇවිත් ගිය ඩේවිඩ් මිලිබෑන්ඩ් පස්සේ කියල තිබ්බ " එයා ලංකාවට ගියේ චන්ද ටික බේරා ගන්න කියල ". මම හිතන්නේ එයත් දැනගෙන හිටිය, මහින්ද රාජපක්ෂ මහතාත් දැනගෙන හිටියා  මේ කරන්නේ රඟපෑමක් බව.

ඉතින් ඔන්න ඔය පසුබිම මත තමා මම කියන්නේ ඔය වගේ "ඇද්ද උඹලට " කතා තේරුමක් නැහැ කියල.  මේ රටේ හැම ඊමේල එකක්ම ෆිල්ටර් හරහා යන්නේ (විශේෂිත වචන),  හැම දුරකථන කතාබහකටම (විශේෂිත වචන කියන්නේ නම් පමණක්) සවන් දෙනවා (Snooping bill ).  එනිසා ඔය තියෙන නීති ඇති. තෙරේසා මේ කියන දේට විරුද්ධ වෙලා මානුෂික අයිතීන් වලට තර්ජනයක්  එනවා නම් රැක ගැනීමයි කළ යුත්තේ. මේ රටවල්වල  මානව හිමිකම් රැකිලා තියනවා නම් ඒක අපට හොඳයි. ඒකවත් තේරුම් ගන්න  බැරි නම් ඇති වැඩේ මොකක්ද?

මුලාශ්‍ර: http://www.independent.co.uk/news/uk/politics/revealed-uk-sells-arms-to-sri-lankas-brutal-regime-8498768.html
https://www.theguardian.com/world/2014/jan/16/former-sas-officers-training-sri-lanka
http://johnpilger.com/articles/terror-in-britain-what-did-the-prime-minister-know
http://www.telegraph.co.uk/news/2017/06/04/absurd-scandalous-new-york-times-criticised-saying-uk-reeling/
https://www.theguardian.com/commentisfree/2017/jun/07/theresa-may-human-rights-european-charter-terrorists



Monday 19 June 2017

ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින් 1

ගිනිගත් ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාස  
ලංකාවේ ගං වතුර උවදුර ගැන ලියුවට පස්සේ හිතන්  හිටියේ හිත පොඩ්ඩක් හරි ගියහම බ්ලොගය සාමාන්‍ය විධිහට පටන් ගන්නව කියල.  නමුත් එහෙම වෙන්න කලින්ම මැන්චෙස්ටර් වලට ඉස්ලාමික ත්‍රස්තවාදීන් ගේ ප්‍රහාරයක් ආව.  ඊට පස්සේ ලන්ඩන් වලට ප්‍රහාරයක් ආව. අන්ත පරාජයකට පත් වෙනවාය කියල විචාරකයන් කියපු ජෙරෙමි කෝබින් ගේ කම්කරු පක්ෂයහිටපු අගමැති තෙරේසා  මේ ගේ ආසන   බහුතරය නැති වෙන තරමට ආසන ගණනක්  දිනුව. ඔවුන්ට ආණ්ඩු බලය පිහිටුවන්න බැරි වුනත් කෝබින් පෙන්නුවේ තමන් සාර්ථක නායකයෙක් බව. කොටින්ම පත්තර කාරයන්ටයි විචාරකයන්ටයි ආයෙත් වැරදුනා. තෙරේසා ට දැන් වෙලා තියෙන්නේ   කාලයක් අයර්ලන්ත කතෝලික ගරිල්ලන්ට විරුද්ධව සටන් කරපු ප්‍රොතෙස්තන්ත   ගරිල්ලා සංවිධානයක (DUP) දේශපාලන නායකත්වය සමග ගිවිසුමක් ගහන්න තමන්ට අඩු ආසන ගණන හදාගන්න.

 බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ට පියවර ගණනාවක් පස්සට ගන්න වුණා.මූලිකම එක තමා  "ඩිමෙන්ෂියා ටැක්ස් -dementia tax " කියන එක අයින් කරන එක. ඒ කියන්නේ මහලු අයට ඒ වගේ ලෙඩක් හැදුනොත් නොමිලේ දෙන ප්‍රතිකාර වෙනුවට ඉන්න නිවසේ  වටිනාකමට අනුව බදු මුදලක් අය කිරීම.  එංගලන්තේ නිවෙස් වල මිල ඉහල යාම අධික නිසා සමහර විටක තමන්ගේ රැකියා වල පඩිපතෙන් ගන්න පුළුවන් තරමටත් වඩා නිවෙස් වල මිල අධිකයි. එනිසා තමා මේක අසාධාරණ වැඩි. ඒ අතරේ තව ප්‍රතිපත්ති කිහිපයක්ම එයාටම ආපහු  හරවන්න වුණා. යුරෝපා සංගමයෙන් එලියට යන වැඩෙත් හිතපු විධිහට තදින් (hard Brexit) ඒ කියන්නේ බ්‍රිතාන්‍යයට වාසි විධිහට එලියට යන්න බැරි තත්වයක් ඇවිත්. ඒ කියන්නේ කොන්සර්වටිව් පක්ෂය දිනුවත් මේ පාර ඒක ලොකු හිල් සහිත දිනුමක්. 

තෙරේස මේ ගේ හිටපු නිවාස ඇමැති තමා ගැවින් බාවෙල්. මිනිහගේ ක්‍රොයිඩන් ආසනෙත් පැරදුනා.   තෙරේසා මේ ගේ ප්‍රබල අනුගාමිකයෙක් නිසා ඇයට එය තදින් වැදුනා. තෙරේසා මේ කළේ ගැවින්ව එයාගේ ප්‍රධාන කාර්යභාර නිලධාරියා හැටියට පත් කිරීම  (chief of staff ) .  මේ ගැවින් නිවාස ඇමැති කාලේ එයාට  වාර්තාවක් භාර දුන්නා  තට්ටු නිවාස  වල හදිසි ගිනි ගැනීම් වළකා ගැනීමට නිර්දේශ කිහිපයක් එක්ක. ලන්ඩනයේ කම්බර්වෙල් කියන හරියේ ලකනල් කියන නිවාස  යෝජනා ක්‍රමයේ 2009 වසරේදී තට්ටු නිවාසයක් ගිනි ගෙන හය දෙනෙක් මැරුණා.  ඒකෙන් පස්සේ පත් කළ කොමිසමේ වාර්තාව තියාගෙන මේ මනුස්සයා නිකන් හිටිය මිසක් මුකුත් කළේ නැහැ.

පසුගියදා ග්රෙන්ෆෙල් තට්ටු නිවාස ක්‍රමය ගිනි අරගෙන 79 ක් දැනට මිය ගිහින් කියල කියනවා.  ඔය කියන හරියේ ටිකක් එහාට වෙන්න ශ්‍රීලංකාවේ යහළුවෙක් ගේ නිවසක මම ඉඳල තියනවා අනූ ගණන් වල.  සෝවියට් දේශයේ ඉන්න කාලේ ලන්ඩන් ආවහම නතර වෙන්නෙත් ඔය  පැත්තේ.  නොටින් හිල් පැත්තට , පොර්ටබෙල්ලෝ මාකට් එක පැත්තට යනකොටත් ඔය නිවස පෙනෙනවා. එනිසා ඔය ගින්න දකිද්දී හිතට ඇතිවුනේ මිශ්‍ර හැඟීමක්. තරහවක් වේදනාවක් වගේම කුතුහලයක්.  කොහොමද මේ ටවර් එක (tower block)  ගිනි ගන්නේ මේ විධිහට?

දැන් වෙනකොට හේතු කිහිපයක්ම එලියට ඇවිත්. ශීතකරණයක වයර් එකක ඇ විලුනු ගින්න නිවල ගිනි භටයන් එලියට එද්දී දැකල තියෙනවා ගොඩනැගිල්ලේ එළියේ බිත්ති ඇවිලෙමින් යනවා. ඇතුලේ වුනු සුළු ගින්නක් නිසා නිවැසියන්ට එලියට එන්න එපා කියලයි අවවාදය දීලා තියෙන්නේ ඔවුන්. නමුත් එලියට පැතිර ගිය ගින්න පැය භාගයක් ඇතුලත තට්ටු 22 ම  බිත්ති ගිනි ගැනීමට තරම් බලවත් වුණා. මේක සමනය දෙයක් නෙමේ. එහෙම වෙන් විධිහක් නැහැ.
 ගිනි භටයෝ සහ එළියේ සිටි අය නිවැසියන්ට එළියට එන්න කියල  කෑ ගැහුවත් එතකොටත්  ප්‍රමාද වැඩී.  රෑ 12. 45 පටන් ගත්ත ගින්න එළිවනකනුත්  ඉවර වුනේ නැහැ. මිය ගිය  ගණන 150ට වඩා වැඩි වෙයි කියල තමයි කියන්නේ.

ගින්නට කලින් පහු ගිය අවුරුදු දෙක මුළුල්ලේ පවුම් මිලියන් 8.7 වියදමකින් ඔය තට්ටු නිවාස  ගොඩනැගිල්ල අලුත්වැඩියා කරලා තියනවා.  නමුත් ඒ කළ කාලය පුරා  නිවැසියන් විටින් විට චෝදනා කරලා තියනවා රයිඩන් නමැති සමගම හරියට වැඩ කරන්නේ නැහැ. ලාභෙට කරන්නේ කියල. ටවර් බ්ලොක් එක වටේ බිත්තියේ  cladding හෙවත් ආරක්ෂක ආවරණයක් යොදා තිබෙන්නේ ඔවුන්. මේවා දමන්නේ සීතලෙන්, හිම වලින්, වැස්සෙන් ආරක්ෂා වීමට වගේම ගොඩ නැගිල්ලට පියකරු බවක් දීමට.  නමුත් ඔවුන් ප්‍රධාන වරදක් කරල තියනවා. සාමාන්‍යයෙන් මේ ආවරණ ගින්නට ඔරොත්තු දෙන ඒවා, නමුත් ගින්නට ඔරොත්තු දෙන්නැති ඒවා තමා යොදල තියෙන්නේ. මේ ජාති දෙකේ වෙනස  වර්ග මීටරයට  පවුම් දෙකලු (ගිනි ගන්නා / නොගන්නා ).  ඒ පවුම්  දෙක ඉතුරු කරත් මුළු ගොඩනැගිල්ලෙන්ම ඉතුරු වෙන්නේ පවුම් 7000 වගේ සුළු ගණනක් ලු. (අර මිලියන් 8.7 ට සාපේක්ෂව).

ඒ ලාභෙ බලන්න ගිහින් සෑහෙන ගණනක ට ජීවිතය අහිමි වුණා. ඒ විතරක් නෙමේ . අර ගැවින් කියන හිටපු නිවාස ඇමති අර වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කෙරුව නම් ඒ කියන්නේ මේ ආවරණ වර්ග ගැන හොයල, sprinklers හෙවත් ගින්නකදී ඉබේ ක්‍රියාත්මක වෙන  වතුර විදිනයන් සවි කරලා,  ගිනි ගැනීමකදී  ඉවත් වීමට අමතර මාර්ග (fire exit) සහ  එකතු වීමේ ස්ථාන හදල තිබ්බ නම් හානිය අවම කර ගන්න තිබුන කියල කියනවා. මොන රටකත් ඇමතියෝ එකයිද?

මේ අතර තුර ඉස්ලාමික ත්‍රස්තවාදීන් මෑතකදී කළ ත්‍රස්ත ප්‍රහාර වලට පිළිතුරක් වේල්සයේ ජිවත් වුනු සුදු ජාතික අන්තවාදියෙකු විසින් ඊයේ  දීල තියනවා.  මේ රටේ හිටියත්  ද්වේශ සහගත ලෙස සුදු  ජාතිකයන්ට හා අන්‍යාගමිකයන්ට  බනින මුස්ලිම් ඉමාම් කෙනෙක් ඉන්නවා අන්දම් චවුද්රි කියල. මිනිහ දේශන කරපු ප්‍රධාන පල්ලියක් තමයි ඔය ෆින්ස්බරි පාක් පල්ලිය. ඒකෙ වඳින මුස්ලිම් බැතිමතුන්ට  තමයි ප්‍රහාරය වුනේ.  ඔය වගේ ප්‍රහාර තමා මුස්ලිම් අන්තවාදියෝ බලාපොරොත්තු වෙන්නේ. රටවල සාමකාමිව ජිවත්වන ජනතාව බෙදා එකිනෙකා  මරා ගැනීම තුල, කුළල් කා ගැනීම තුල තමා උන්ගේ පැවැත්ම තියෙන්නේ. මේක තමයි මේ සියවසේ අපට අත් දකින්න ලැබෙන ලොකුම ඛේදවාචකය.

එක්සත් ජනපදයේ ජනාධිපති ට්‍රම්ප් සිරියානු යානයක් වට්ටලා රුසියාව ඒකට  විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරලා. ට්‍රම්ප් කරන්නේ තව ගිනි අවුලන එක මිසක් නිවන එක නෙමෙයි. යුරෝපය බෙදිලා ඉන්නේ. බහුතරයක් ට්‍රම්ප් ට විරුද්ධයි. ඒත් රුසියාවට පක්ෂ නැහැ.

 බ්‍රිතාන්‍යයේ ප්‍රශ්න ගොඩයි. මේ රට තවම යුරෝපයේ රැකියා විරහිත භාවය අඩුම තියන රටක්, තවම හොඳ ආර්ථිකය වර්ධනයක් තියන රටක්. ඒ තව කොපමණ කලකටද කියන එක තමයි ප්‍රශ්නේ?




Sunday 11 June 2017

නෙළුම් යාය පදනම සහ සමාජ සත්කාරක වැඩ

නෙළුම් යාය සමාජ සත්කාරක ව්‍යාපෘති 
පසුගිය 2017  මාර්තු මාසයේ පැවති  සම්මාන උළෙලින් පසුව නෙලුම් යාය පදනම නියෝජනය කරමින් රූපවාහිනී සාකච්ඡාවකදී රාධා කෝදාගොඩ මෙනෙවිය පළ කළ අදහස් ගැන කිසියම් පැහැදිලි කිරීමක් සිදු කිරීම  අවශ්‍ය යයි සිතමි.  ඇය එම සාකච්ඡාවේදී සැළකිල්ලට ගත්  උදාහරණය නම් නෙළුම් යාය වෙබ් අඩවිය සංවිධානය කළ මොණරාගල මියාගල විදුහලට ජලය ලබා දීමේ ව්‍යාපෘතියයි. නෙළුම් යාය කියා කීවේ ඉන්දික කොඩිතුවක්කු මහතාගේ ඔත්තුවකට ඔවුන්ට ඇති මුදල් ප්‍රමාණය මදි නිසා නෙළුම් යායෙන් කරන්නට පුළුවන් දි විමසා බැලීමක්  කළ බව සුමිත් කලණසිරි මහතා විසින් කළ  දැන්වීම හේතුවෙනි. ඒ ඊමේල් මා  සතුව තිබේ.  ඒ පිලිබඳ සියලු විස්තර සුමිත් හෙවත් කල්‍යාණ මිත්‍ර ලියු මේ බ්ලොග් ලිපි වල ඇත. "වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්... මොණරාගල වතුර project grand finale"

ඉතින් මේ ව්‍යාපෘතිය කලාහිතේ සුමිත් කලණසිරි, කටුසු හදවත, ප්‍රසන්න, ලංකා නිව්ස් වෙබ් හි  උපුල් ආදී සියල්ලගේ සහයෝගයෙන් කල බවත් මතක ඇති. එහි වැඩිම මුදල් ප්‍රමාණය ඉන්දික හා ඉයන් විසින් සපයා ඇති බවත් ඉන්පසු නෙළුම් යාය (චන්දිම) විසින් සපයා ඇති බවත් දැන  ගතිමි. ඒ අතරේ  මාද ඇතුළුව  රසික, භාග්‍යා,  තිලක සිත, සිත් ආර , සජ්ජා , කවිඳු, මෙත්මා, සඳ වියමන් ආදී බොහෝ අයද උදව් කළ අය අතර විය.

 රාධා කෝදාගොඩ මෙනෙවිය එදා පැවසුවේ අපි CSR ව්‍යපෘති නෙළුම් යායපදනම  හරහා කරනවා යන්නය. CSR  හෙවත් corporate social responsibility යනු සමාගම් විසින් තම ව්‍යාපාර මගින්  සමාජ වලට හා පාරිසරික පද්ධතීන්  වලට වන බලපෑම්  වන හානිය අඩු කිරීමට සමාජ සත්කාරක ව්‍යාපාර මගින් දායක වීමකි.  එසේම තම ව්‍යාපාරයේ දියුණුවත් සමග ව්‍යාපාරයේ අඩිතාලම දමා ඇති සමාජයේ දියුණුවටද ආයෝජනය කිරීම  හා අදාල ජන කණ්ඩායම් වල හිතසුව සඳහා දායක වීමද එසේ හැඳින්විය හැකිය. ඒ සඳහා උදාහරණයකට ගත්තේ මියාගල පාසැලට  ජලය ලබා දීමයි.

දේශපාලකයකු වන නන්දන ගුණතිලක මහතා ඒවා දේශපාලකයන්ට භාර නොදෙන්නේ ඇයි දැයි අසා තිබුණි. මගේ පෞද්ගලික අදහස නම් දේශපාලකයන් ට පොල් ගගා  නොසිට  මෙවැනි දේ කිරීමට පසුගිය අවුරුදු 66 කාලයක්ම තිබුණාය යන්නය. ඔවුන් නොකර සිට ඇත්තේද ඒවාය.

නෙළුම් යාය විසින් කඳුකරයේ  පාසැල් වල ව්‍යාපෘතීන් කිහිපයක් ද ක්‍රියාත්මක කර තිබුණි. සමහර ඒවාට බ්ලොග්කරුවන් ද දායක වී තිබුණි. (නෙළුම් යායෙන් තලවකැලේ ට නෑගම් යාම)
 මේ ලඟදි සිරාගේ කාමරේ බ්ලොගය ලියන  මහත්මයා ඇතුළු කණ්ඩායම  ඉතා සාර්ථක ව්‍යාපෘතියක් කිසිවකුගේ බාහිර උපකාරයක් නොමැතිව ස්වාධීනව ක්‍රියාත්මක කර තිබුණි.

පදනමේ අදහස නම් ප්‍රශ්න ඇති තැන් ආදිය  බ්ලොග්කරුවන් මගින් හඳුනාගෙන ඒ ස්ථාන වලට ආධාර දීමේ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී බ්ලොග්කරුවන්ගේ මුදල් දායකත්වයක්  බලාපොරොත්තු වන්නේ නැත. ඒ වෙනුවට ඒ සඳහා කැමැත්ත පල කරන ව්‍යාපාරික ස්ථාන වලට දන්වා සමාජ සත්කාරක වැඩ සටහන් වලට  සංවිධානාත්මක ලෙස මැදිහත්වීමක් කිරීමක් පදනම මගින් කරනු ලැබේ.

මෙහිදී පැහැදිලි කිරීමක් කල යුතුය. අප මුලින් රත්නපුරයේ, බදුල්ලේ හා ඉහත කි මොණරාගල ආදියේ  කල සුළු ආධාර ව්‍යපෘති මා ඇතුළු බ්ලොග්කරුවන් ගෙන්   මුදල් එකතු කර කළ ඒවාය. නෙළුම් යාය පදනමෙන් කරන්නේ වෙනස් දෙයකි. බ්ලොග්කරුවන්ගෙන් එවන් ආධාර අවශ්‍ය තැන් ගැන විස්තර ලබාගෙන ඒ සඳහා  උදව් කිරීමට කැමැත්ත පළ කර ඇති සමාගම් වලට දන්වා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම ඔවුන්ගේ අදහසයි.

ලංකා බ්ලොග් සංසදය නම් සංවිධානයක් (පදනමක්)  ගැන කතා කළද එය පිහිටුවා නැත. එයට මාතලන් සහ කල්‍යාණ මිත්‍ර ආදී බ්ලොග්කරුවන් සම්බන්ධ කරවීම සඳහා ආරාධනා කර තිබු මුත්ඔවුන් ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසා ඒ වෙනුවට නෙළුම් යාය පදනම පිහිටුවීමට සංවිධායකයන් තීරණය කරන ලද බව අනුමාන කරමි.

නෙළුම් යාය පදනම ක්‍රියාත්මක වන්නේ ලංකානිව්ස්වෙබ් කාර්යාලය හරහාය. මට දන්වා  ඇත්තේ ලංකානිව්ස්වෙබ් කර්තෘ වරුන් එහි විධායක සාමාජිකයන් බවයි.  මට මෙම පදනමේ මුල්‍ය කටයුතු ගැන අවබෝධයක් නැති අතර එසේම එයත් අනිකුත් දායක සමාගම් අතර ඇති සම්බන්ධයන් ගැන අදහසක්ද නැත. මා  පසුගිය කාලයේ කලේ කිසියම් බ්ලොග්කරුවන් සමුහයක් ආධාර අවශ්‍ය  තැනක් ගැන සඳහන් කල විට එය නෙලුම් යායේ පළකර ඔවුන්ගේ අවධානයට යොමු කිරීම හෝ ඒ සම්බන්ධව විද්‍යුත් තැපෑලක් යැවීම  පමණකි. 


මා දන්නා පරිදි මිළඟ 2018 සම්මාන උළෙලද නෙළුම් යාය පදනමින් සංවිධානය වනු ඇත.  සම්මාන සඳහා තෝරා ගන්නා  බ්ලොග් බොහෝවිට නෙළුම් යාය වෙබ් අඩවියේ පල කරන ලද ඒවා විය හැක.  වෙනත් පෞද්ගලික කටයුතු කිහිපයක යෙදී ඇති බැවින් මගේ සහභාගී වීම බොහෝවිට අවම විය හැකිය. සම්මාන  උළෙලේ සංවිධාන කටයුතු වලට  සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත දක්වා ඇති ඊමේල් ලිපිනයන් හරහා එය කළ හැකිය.

එසේම මීලඟ නෙලුම් යාය සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලංකාවේ ඩෙංගු උවදුර මර්දනය කිරීම  සඳහා කරන සටනට බැඳී තිබේ. බොහෝ සමාගම් මෙයට අනුග්‍රහ දැක්වීමට කැමැත්ත පල කර ඇතැයි පදනම දන්වා තිබේ.  බ්ලොග්කරුවන්ගේ ද සහය ලබා ගැනීමට එහි සංවිධායක නෙලුම් යාය පදනම අපේක්ෂා කරන බව දන්වා තිබේ.  ඒ සඳහා සහයෝගය දීමට කැමැති අය  පහත ඊමේල් ලිපිනයන් වලට දන්වන්න.

editor@nelumyaya.com,
deputyeditor@lankanewsweb.net
editor@lankanewsweb.com>
editor@lankanewsweb.net

ස්තූතියි

Sunday 28 May 2017

ශ්‍රී ලංකාවේ ගං වතුර උවදුර

සංඝයා වහන්සේලා ආධාර බෙදීමේ 
ලංකාවේ ගං වතුර තත්වය නිසා මුකුත් ලියන්න හිතෙන්නෙත් නැහැ. අද දවස පුරාම ෆේස්බුක් එකේ පෝස්ට් බල බල ගංවතුර තත්වය ගැන හිත හිත හිටියේ. සොඳුරු සිත වගේ බ්ලොග් ලියන යෙහෙලියන් ගේ ගෙවල් යට වෙලා. කල්‍යාණ මිත්‍ර ඉන්න ගෙවල් හරිය යට වෙලා. පස්සේ වැඩි තොරතුරු ලැබෙයි. ඒ අතරේ චන්දන ගුණසේකර සොයුරා මෙහෙ ආධාර එකතු කරන බව දැන ගන්නට ලැබී ඔහුගේ ගිණුමට ආධාරයක් බැර කලා. අපිට ඉතින් කරන්න පුළුවන් එච්චරයි පිට රටක ඉඳන්. හැකි තරම් ෆේස්බුක් ආපදා සහන ගැන තියෙන පෝස්ට් ෂෙයාර් කලා .

දේශකයා කියල තිබ්බ පරිස්සමින් ෂෙයාර් කරන්න කියල සමහර ඒවා පණිවුඩ බොරු ඒවා වෙන්න පුළුවන් නිසා. එතන තිබ්බ ප්‍රශ්නය තමා කොහොමද නිවැරදි එක කොහොමද වැරදි එක තෝරා ගන්නේ කියල.
යාපාරත්න මහතා 

ගුවන් හමුදා නිලධාරියෙක් වන යාපාරත්න මහතා තවත් අයෙක් බේරා ගන්න  යද්දී තමන්ගේ ජීවිතය පුද කරල තියනවා. ඔහු ඇත්තටම වීරයෙක්. ඔහුගේ චූටි පුතු කඳුළු සලන අයුරු දැක්කම අපේ දෑසටත් කඳුළු උනනවා. එතන කේබල් එක කැඩුන නම් ඇයි එහෙම කැඩෙන්න පුළුවන් කේබල් එකක් හෙලිකොප්ටරයේ සවි කරලා තිබුනේ කියන එක ප්‍රශ්නයක්. මේ අනතුර ඉවර වුනහම ඒ ගැන පරීක්ෂණයක් වත් තියයිද අඩුම තරමේ.
සතුන් සාමකාමීව ඉන් හිටිං තැන බෙදා ගෙන (පින්තුරයේ අයිතිකරු නොදනී) 

ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අතරවාරයේ දරුණුවට ජාතිවාදය පවා ඇදී ඒම. ගිය පාර ගං වතුරේදී මුස්ලිම් අය උදව් කලේ නැහැ කියල මේ පාරත් එම පින්තුරම දාල තියනවා දැක්ක. ඒ වීඩියෝව එක්කම. ඒ අතර සංඝයා වහන්සේලා,  කතෝලික පියතුමන් ලා මෙන්ම ඇතැම් මුස්ලිම් සහෝදරවරුත්  උදව් කරනවා දැක්කා. මට හිතෙන්නේ ෆේස්බුක් එකේ ජාතිවාදී පින්තූර පළ කරන උදවිය බිමේ නැති බවයි. නැතිනම් ඔය හැම දෙයක්ම පේන්න එපාය. ජවිපෙ රතු තරුව වගේම වෙනත් සංවිධානද රූපවාහිනී ආයතනද සහනාධාර  බෙදන බව පෙනුනා. මේ හැම දෙයක්ම සකර්බර්ග් ගේ ෆේස්බුක් එකෙන් තමයි දැක බලාගත්තේ .

ගංවතුර සහනාධාර හෙම සපයන්න වගේම අනතුරට පත්වෙලා ඉන්න අය බේරා ගන්නත් සමාජ ජාලා කොතරම් වැදගත් ද කියල මෙයින් පෙනෙනවා. සමාජ ජාලා වලට තහංචි පනවන්න හිතන් ඉන්න අය මෙන්ම ඒවායේ ගාස්තු වැඩි කරන අයත්  මේ ගැන කල්පනා කෙරුවොත් හොඳයි.

මේ වගේ විපත් එනකොට වතුරට අහු නොවී තිබෙන ප්‍රතිමා , පන්සල් පල්ලි ගැන භක්තිවන්තයෝ පොස්ට් දානවා. ඒ සමහර ඒවාට හිනා යන බවත් ඇත්ත . ඒ අතරේම දේවාලයක් යටවීම ගැන, තමන්ගේ දේවාලය බේරා නොගැනීම ගැන  දෙවියන්ට හිනා වෙන ඒවත් තිබුණා. මම නම් හිතන්නේ ඔය දෙකම අනවශ්‍යයයි කියල මේ වගේ වෙලාවක.  මමත් අදේවවාදියෙක් තමයි. නමුත් ඒවා කතා කරන්න වෙලාවක් තැනක් තියනවා. මිනිසුන්ට වෙන ආපදාවකදී ඒවා එච්චර අදාළ නැහැ. කොටින්ම අනතුරට ලක්වෙලා ඉන්න කෙනෙකු ගෙන් ඔහුගේ ආගම , භක්තිය ගැන අහල වැඩක් නැහැ. ඔහුට/ඇයට  දේශපාලනය උගන්වන්න යන්නටත්   අවශ්‍ය නැහැ. බේරන්න පුලුවන්නම් බේරන්න. උදව් කරන්න  පුලුවන්නම් උදව් කරන්න.

රජයේ ප්‍රතිචාරය නැවතත් හුඟක්ම ප්‍රමාදයි. ආපදා සඳහා  ඉන්න ඇමැතිවරයා කොහෙද ගිහින්. නියෝජ්‍ය එක්කෙනා  හිටියේ ලංකාවේ  වුනත් කොහෙද කියල හොයා ගන්න නැහැ. අගමැතිතුමා පස්සේ කතා කරලා තිබුන. මංගල  සමරවීර මහතාත් ගිහින් තිබුන මාතර. බුකියේ ස්කෝර් කලේ නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම.  ජනාධිපති තුමා  නිල චාරිකාවක නිසා සමාව දෙන්න පුළුවන් කියමු. අනිත් අය?  මොකක්ද මේ තියෙන පසුබෑම.

හැබැයි ඉතින් හමුදාවන්  සහ  පොලිසියේ ආධාර සහ ක්‍රියාකාරිත්වයත් රජය යටතේ තමා ගැනෙන්නේ කියන එකත් හුඟක් අය අමතක කරලා  තිබුන. කෙසේ වෙතත් රජයේ දේශපාලකයන් ගේ ප්‍රතිචාරය ඉතා මන්දගාමියි. ඒ අතර තමන්ට රථ වාහන ගන්න පරිපුරක ඇස්තමේන්තුවක් සම්මත  කරගෙන තිබුන. ඒක පස්සේ ඕනේ නම් කරගන්න තිබුන නේද? ඒකද  දැවෙන අවශ්‍යතාවය. මේ රජයට කොහොමත් 2020න් පස්සේ ඉන්න අවශ්‍යතාවයක් නැහැ කියල තමයි පෙන්වන්නේ. පොඩි කාලෙකට කියක් හරි හොයාගෙන යන්න  ආපු කට්ටියක් කියල කාටහරි හිතුනොත් ඒකෙ වැරැද්දක් කියන්න පුලුවන්ද?

මේ අතරේ සුජීව කොකාවල  හොඳ ලිපියක් පළ කරලා තිබුණ ඔහුගේ බ්ලොගයේ.  "එම්බා ගංගා දුවයනු දුවයනු දුවයනු දුවයනු ." කියලා. ඔහු අරඹල  තියෙන  කතිකාවත ඉදිරියට ගෙනි යන්න පුලුවන්නම් හොඳයි. මේ ගංවතුර වසර  කිහිපයකට වතාවක් වත් එන දෙයක්.  නමුත් හොඳ විසඳුමක් නැහැ. 

 මගේ අදහස නම් ටිකක් බොළඳ එකක් වෙන්න පුළුවන්. කැළණි ගඟ ගංගා තුන හතරකින් පටන් අරන් සීතාවක පෙදෙසේ දී තමා එකතු වෙන්නේ. ඒ ලඟින්ම වගේ  කැළණි ගඟ , මහ ඔය හා දැදුරු ඔය ට එනකන් හරස් ඇලක් කපලා වැඩි වතුර ඒ පැත්තට යවන එක හොඳ නැත්ද? මේ ඇල සෑහෙන්න දිග වෙයි.  බෝට්ටු යවන්න ඒ කියන්නේ ගමනාගමනයත් පුලුවන් වෙන්න හදන්න පුළුවන්. 
කැළණි ගඟ 
සීතාවක  පෙදෙස 
තෙත්  කලාපයට වැස්සත් පුත්තලමින් එහාට ඉඩෝරය. දැදුරු ඔයත් සමහර කාල වලට ගලනවා තමයි. දැදුරු  ඔය දක්වා ගෙන යන ඇල ඉන් එහාටත් කපන්න පුළුවන්. අනුරාධපුර වගේ පැතිවල වතුර නිසා හැදෙන වකුගඩු රෝග වලටත් කිසියම් විසඳුමක් සපයන්න පුළුවන්. නමුත් මේ වගේ ව්‍යාපෘතියක් කියන්නේ විශාල එකක්. 

මේ ගැන ලිපියක් අයිලන්ඩ් පත්තරේ තිබ්බ කියල සුජීව කියල තියෙනවා.  ඒ මෙතන.  මම නම් විශාල වේල්ලවල් බැඳලා වතුර හරවනවට කැමති නැහැ. ඇලවල් හරහා වතුර හැරවීම ආදී කාලයේ සිට කරන පරිසරයට වැඩි හානියක් නොවන දෙයක්. වේල්ලක් හැදුව වගේ නෙමෙයි. 
කළු ගඟ හා රටේ දකුණු පැත්ත පිළිබඳවත් මගේ තියෙන්නේ එවැනිම අදහසක්. 
කළු ගඟ ඇරඹෙන තැන් 
කළු ගඟ හැදෙන්න කලින් එන ඇළ මාර් ග කිහිපයක් තිබෙනවා. මේක ටිකක් අමාරු  කර්තව්‍යයක්. ඒත් කරන්න බැරි කමක් නැහැ. රත්නපුරයත් බේරා ගෙන කරන්න  පුළුවන් වැඩක්. වතුර අඩු හම්බන්තොට පැත්තට යන විධිහට.

හැබැයි මේ දේවල් වලට මගේ තියෙන දැනුම අඩුයි. අපිට හිතෙන දේවල් වගේ නෙමේ. ශ්‍රී ලංකාවේ තියෙන තත්වයන් හුඟක් සලකලා බලල කරන්න ඕනේ ඉතා බැරෑරුම් කර්තව්‍යයක්.

  ඒ අතරෙම මේ විධිහට කරුණු කාරණා සිද්ධ වුනොත් රජයක් වැඩක් නැහැ, අපි අපිටම රට පාලනය වුනත් කරගන්න  පුළුවන් කියල මිනිස්සු හිතන්න පටන් ගනීවි.

අපි ඉපදුන අපේ නෑදෑ සහෝදර සහෝදරියන් , යහළු මිත්‍රයන් ඉවත් වන රට අපට හැමදාම සමීපයි අපි කොහේ ජිවත් වුනත්. මේ ව්‍යසෙනයෙන්නුත් බේරිලා වෙනද වගේම  වීර්යයෙන් නැගිටීවි කියන පුංචි බලාපොරොත්තුවක් හිතේ තියෙනවා.

පින්තූර: AP/PT ඉන්දියන් එක්ස්ප්‍රෙස් ලිපියක්  සහ ගූගල් මැප්ස් 

Thursday 25 May 2017

ජෙරෙමි කෝබින් මාක්ස්වාදියෙක්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ද?

කෝබින් සමග තෙරේසා පඹයින් ලෙස 
මා 2015 සැප්තැම්බර් මාසයේ මා " කෝබින් ගේ ජයග්‍රහණය හා වමේ වම හා දකුණේ දකුණ" මැයෙන් ලිපියක් ලීවෙමි. මේ ලිපිය අවසානයට මා  කෝබින් හැඳින්වූයේ  පශ්චාත් නූතන මාක්ස්වාදියෙකු ලෙසය. පසුගිය වසර එකහමාර තුල තම පක්ෂය තුල දෙවන ඡන්ද විමසිමකටද මුහුණ දී දැවැන්ත ඡන්ද සංඛ්‍යාවකින් ප්‍රබල ලෙස නැවතත් නායකයා  ලෙස තේරී පත්වුණු කෝබින් දැන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා  මේ සමග මහා මැතිවරණයකට මුහුණ දී සිටියි.

එම වසර එකහමාර තුල මා කෝබින් ගේ දේශන  මෙන්ම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ දේශපාලනය පිලිබඳ දැඩි විමසිල්ලකින් පසුවීමි.  කෝබින් මාක්ස්වාදියෙකු හෝ පශ්චාත් නූතන මාක්ස්වාදියෙකු නොවේය යන තීරණයට එළඹුණේ ඉන් පසුවය.

මාක්ස්වාදියෙක් යනු අප කවුරුත් දන්නා පරිදි මාක්ස්ගේ "ප්‍රාග්ධනය" කෘතිය කියවා හෝ උඩින් පල්ලෙන් කියවා  හෝ  නොකියවා හෝ මාක්ස් සහ එංගල්ස් ගේ ආර්ථික නියමයන් සහ අදහස් අනුමත කරන්නෙකි. එසේම ඒ අනුව විප්ලවීය වෙනසක් ඇති කිරීම තුලින් කොමියුනිස්ට් වාදී  සමාජයක් පිහිටුවීමට කටයුතු කළ හෝ කරන්නෙකි.

ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින් ආදීන් මාක්ස්වාදීන් වූහ.

මාක්ස්ගෙ හා එංගල්ස් ගෙන් පසු මාක්ස් ගේ නියමයන් හා ආර්ථික විද්‍යා තර්ක වඩා දියුණු කළා යයි සැලකෙන ලෙනින්, ට්‍රොට්ස්කි හා ස්ටාලින් ගෙන් ඒ  ඒ වාදයන් ද පසුව මාඕ ගෙන් මාඕ වාදයද බිහි විය. මේ අනුව  මාක්ස්ලෙනින්වාදය, ට්‍රොට්ස්කි වාදය, ස්ටාලින් වාදය සියල්ලම පශ්චාත් මාක්ස්වාදී  (post-marxist) ගණයට දැමිය හැකිය.  චේ ගුවේරා හා කස්ත්‍රෝ මාක්ස්වාදීන් වූයේ පසුවය. මාඕ සේතුන්,  කාම්බෝජයේ පොල්පොට්, වියට්නාමයේ හෝචි මින්,  උතුරු කොරියාවේ කිම් ඉල් සුන් මෙන්ම ලංකාවේ විජේවීර ද පශ්චාත් මාක්ස්වාදීන් ලෙස සැලකිය හැකිය. ඔවුන් මාක්ස්ලෙනින්වාදය මෙන්ම මාඕ වාදයද අනුගමනය කළහ.

පශ්චාත් නුතනවාදය හෙවත් postmodernism ගැන සම්පුර්ණ පොත් පවා ලියා  පළ කර ඇති හෙයින් ඒ ගැන වඩා කිසිවක් නොලියමි. ගූගල් සෙවුමේ බොහෝ ලිපි තිබේ.

පශ්චාත් නුතනවාදීන් ගෙන් සමහරක් මාක්ස්වාදය හා පන්තිය (පන්ති අරගලය)  මියගොස් ඇති බවත් ඇත්තේ භූගෝලීය (වශයෙන් සම්බන්ධ) ප්‍රාදේශීය තත්වයන් පමණක් බවත් කියති.  පශ්චාත් නුතනවාදී බහුත්ව වාදය (pluralism), බලය සහ ආශාව, සුළු පරිමාණ නිෂ්පාදනය, ප්‍රාදේශීය කථනය (narrative), ස්වදේශීය ගෘහනිර්මාණය හා ස්වදේශීය ස්ථානයන් වඩා වැදගත් ස්ථානයක් ගනී. (ජුලී ග්‍රැහැම් - post-modernism and marxism)

මේ කුලකය තුල සැඟවෙන පශ්චාත් නූතන  මාක්ස්වාදීන් බොහොමයක් සිටි.  පශ්චාත් නුතන මාක්ස්වාදීන් ගැන කතා කිරීමේදී මුලින්ම මතකයට නැගෙන්නේ ෆ්‍රෙඩ්රික් ජැමිසන් බව සැබෑය. නමුත් පශ්චාත් නුතන මාක්ස්වාදියා යනු මාක්ස්වාදී අඩිතාලමේ හිඳිමින්ම සියළුම අනිකුත් වාදයන් (ලෙනින්/මාඕ ආදී වශයෙන්) අතික්‍රමණය කරමින් නුතන ධනවාදයට සාර්ථකව මුහුණ දීමට හෙවත් මාක්ස්වාදයේ පසුබෑමට හේතු සොයන්නෙකි යයි කිවහොත් නිවැරදි යයි සිතමි.

පශ්චාත් නුතන මාක්ස්වාදීන් මාක්ස්වාදය මියගොස් ඇති බවක් විශ්වාස නොකරයි. මාක්ස්වාදී අඩිතාලමේ සිට ඉදිරියට යාමට හැකි මං පෙත් සෙවීමක්  සඳහා ඔවුහු නොයෙකුත් ගුරුකුල නිර්මාණය කිරීමේ කාර්යයක යෙදී  සිටිති.  මගේ අදහස නම් ඒ බටහිර චින්තකයන් වන ඇලන් බදියූ, පියරේ බදියූ, අන්තෝනියෝ  ග්‍රාම්ස්චි, එර්නේස්ටෝ ලක්ලව්,  ඇලෙක්සැන්ඩර් ටරාසොව් හා ස්ලාවොයි ජිජැක් ආදීන් බවයි.  විකිපෙඩියා හි මේ යොමුවේ එවැනි චින්තකයන් ගේ නම් හා විස්තරයක් දක්වා තිබේ. 

මේ අනුව මා  ඉහත මුල් ලිපියේ (කෝබින් ගේ ජයග්‍රහණය හා වමේ වම හා දකුණේ දකුණ) සඳහන් කළ අන්දමට කෝබින් පශ්චාත් නූතන  මාක්ස්වාදියෙකු වන්නේ නැත. කෝබින් රූපවාහිනී සාකච්චාවකදී  කීවේ ඔහු මාක්ස් ආර්ථිකය පිලිබඳ විශේෂන්ඥයකු ලෙස අගයන බවයි. එසේම ඔහු ඇඩම් ස්මිත් හා රිකාඩෝ ආදීන්ගේ ලේඛන ද කියවූ බව පැවසීය.    නමුත් හේතුව එයම පමණක් නොවේ.

උත්තරය ඇත්තේ කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලය. කම්කරු පක්ෂයේ ඡායා මුදල් ඇමති ජෝන් මැක්ඩොනල්ඩ් කියුවේ මාක්ස් ගේ "ප්‍රාග්ධනය " කියවීමෙන් ඔහු බොහෝ දේ දැනගත් බවයි. ඔබ එම පොතට එකඟ වූවත් නොවූවත් එය කියවීම වැදගත්ය. "ප්‍රාග්ධනයට" එරෙහිව බවෙර්ක් වැනි අය පොත් පළකලේ එය කියවාය.

නමුත් කම්කරු පක්ෂ මැතිවරණ ප්‍රකාශනයේ ඇත්තේ නෝර්ඩික් මොඩලයයි. එනම් එහි දැක්වෙන්නේ ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය හා නොර්වේ රටවල ආර්ථික   මොඩලයට සමාන ආර්ථික ක්‍රමයකි . මෙය බ්‍රිතාන්‍ය ආර්ථික විශේෂන්ඥයකු වන ජෝන් මේනාර්ඩ් කේන් කෙය්නිසියානු (Keynesian) ගේ ආර්ථික  දැක්මට වඩාත්  සමානය.

උදාහරණයක් වශයෙන් මේ මැතිවරණ ප්‍රකාශනයේ ඇත්තේ දුම්රිය සේවා නැවත රාජ්‍ය පාලනයට හෙවත් මහජන පාලනයකට යටත් කරන බවයි. (public ownership). මෙය තැචර්වාදයෙන් පිට පැනීමකි. ඇත්තටම බ්‍රිතාන්‍යයේ දුම්රිය සේවා මිල අධික (ටිකට් පත්) වන අතරම සේවාවන්ද දුර්වලය.  වෙලාවට වැඩ කරන ලාභ ලබන රජයට අයත් දුම්රිය සේවා ජර්මනිය, ප්‍රංශය , ඉතාලිය, ස්වීඩනය හා අනිකුත් යුරෝපා  රටවල තිබේ. ඒ කියන්නේ මේ ගෙනෙන්නට හදන්නේ යුරෝපයේ නොතිබෙන ප්‍රතිපත්තියක්    නොව යුරෝපීය ජනතාව අතර ජනප්‍රිය(populist)  ප්‍රතිපත්තියක් බවයි.

මේ අක්ෂය වෙබ් අඩවියේ ලිපියේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතත් එහි අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධ ලියවිල්ල අපැහැදිලිය. ලිපියේ මාතෘකාව වන්නේ "තම ආණ්ඩුවක් යටතේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන බවට බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂය ප්‍රතිඥා දෙයි" යන්නකි.  මේ මාතෘකාවම  වරද සහගතය. මගේ ඉහත මුල් ලිපියේද සඳහන්  අයුරු බ්‍රිතාන්‍යයේ නිදහස් අධ්‍යාපනය නැති වූයේ නැත. එංගලන්තයේ  අධ්‍යාපනය පළමු පන්තියේ සිට විශ්ව විද්‍යාලවල තෙක් 1998 වසර දක්වා නොමිලේ ලබා දුන් අතර රාජ්‍ය විශ්ව විද්‍යාල බොහොමයක්ද පෞද්ගලික විශ්ව විද්‍යාල 7ක්  පමණද විය. 1998 දී එවකට ටෝනි බ්ලෙයාර් ගේ කම්කරු පක්ෂ ආණ්ඩුව මගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වසරකට පවුම් 1000 ක මුදලක් අය කිරීමට යෝජනා කර සම්මත කර ගති. මේ මුදල පසුව කම්කරු පක්ෂ ආණ්ඩුව මගින්ම වැඩි කරන ලද අතර කොන්සර්වටිව් ආණ්ඩු කාලයේ දී මේ ටියුෂන් ගාස්තුව වසරකට පවුම් 9000 දක්වා වැඩිවිණි. සියලුම සිසුන්ට පොලී  රහිත සිසු ණයකට අයදුම් කළ හැකිය. වසරකට පවුම් 10,000 වඩා පඩි ඇති රැකියාවක් කරන්නේ එම ණය කපා ගනු ලැබේ. නමුත් මේ අය කිරීම ක්‍රියාත්මක වූයේ එංගලන්තයේ පමණි. වේල්සය හා ස්කොට්ලන්තය දිගටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තුරුම අධ්‍යාපනය නොමිලේ ලබා දේ. 

කෝර්බින් ගේ කම්කරු පක්ෂ ප්‍රකාශනයේ අහෝසි කරන්නට යෝජනා කරන්නේ කම්කරු පක්ෂයම පැනවූ මේ  එංගලන්තයේ විශ්ව විද්‍යාල අය කරන ගාස්තුවයි. එනම් 1998 තිබු තත්වයට රැගෙන යාමයි. එසේම තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල සුළු ප්‍රමාණය  අහෝසි වන්නේද නැත. පදනම් (trust - ලාභ නොලබන ආයතන ) මගින් පාලනය වන විලියම් කුමරු උගත් ස්කොට්ලන්තයේ සෙන්ට් ඇන්දෘව්ස් වැනි විශ්ව විද්‍යාල , ඔක්ස්ෆර්ඩ් , කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල වලට දිගටම ළමුන්ගෙන් මුදල් අය කිරීමට  හැකිය. ඒවා නැති  කරන්නේද නැත.  එයට හේතුව එම විද්‍යාල වලට  ලැබෙන මුදල් පර්යේෂණ ආදිය  සඳහා නොමසුරුව වැය කරන බැවින් හා ඒවා පාලනය වන්නේ ලාභ නොලබන පදනම් වලින් බැවිනි.

ඊළඟට කෝබින්ලා කියන්නේ බලශක්තිය (විදුලිය , ගෑස් ) හා ජලය විකුණන ව්‍යාපාර මහජන පාලනයට පවරා ගන්නා බවයි. මිට ද හොඳ හේතු  කිහිපයක් තිබේ. එකක්  නම් මේ පෞද්ගලික ව්‍යාපාර වල තරඟකාරීත්වය නිසා වඩා හොඳ අඩු මිල සේවාවක් ජනතාවට දෙතියි බලා පොරොත්තු වූවත් එය සිදු නොවීමයි. එම ආයතන එකිනෙකා   හා සාකච්චා කර මිල ඉහල නැංවූ අතර ලාභය නැවත ආයෝජනය කරන්නටද මැලි වුනි. ජලය සපයන තේම්ස් වෝටර් කොම්පැනියේ ජල  නාස්තිය පසුගිය අවුරුදු වල ජලය ලීටර දශ ලක්ෂ ගණනක් විය.  එනිසා මේවා පවරා ගැනීමට මහජන සහය තිබෙන බව ජනමත විමසුම් වලින් පෙනී යයි. 

අනිකුත් ප්‍රතිපත්ති ගැන කතා කරනවා නම් පෞද්ගලික රක්ෂණය මගින් අවශ්‍ය අයට  පුද්ගලික රෝහල් වල පෞද්ගලික ප්‍රතිකාර ලබා ගත හැකි අතර නිදහස් සෞඛ්‍ය සේවයට යොදන මුදල් ප්‍රමාණය වැඩි කර එය දියුණු කිරීමට  යෝජනා කරනු ලැබේ. එහි සේවා පෞද්ගලික ආයතන වලට දීම නතර කෙරේ.  

මේ සියල්ල අඩු  වැඩි වශයෙන් යුරෝපා රටවල හා නොර්ඩික් රටවල ක්‍රියාත්මක වේ. මේ නිසා මේ රටවල ජනයාගෙන් අය කරන බදු මුදල වැඩිය.  කම්කරු පක්ෂ ප්‍රකාශනයේද සඳහන් වන්නේ වසරකට පවුම් 123,000 වැඩියෙන් වේතන ලබන අයගෙන් 50% බදු අය  කරන්නටය. බ්‍රිතාන්‍යයේ ඉහල වේතන ලබන 5% ප්‍රමාණයක් මේ බදු වැඩි කිරීම බල පායි. මහා පරිමාණ ව්‍යාපාර  (corporate tax)  බදු 19% සිට 26% දක්වා වැඩි කෙරේ. මෙය එක්සත් ජනපදයේ 39% හා ප්‍රංශයේ 33% ට වඩා අඩු බදු ප්‍රමාණයකි. එසේම දැනට බදු නොගෙවා කුඩා කැරිබියන් රටවල  (tax heavens නමින් හැඳින්වෙන )  ලියා  පදිංචි කර ඇති මහා පරිමාණ ව්‍යාපාර වලට බදු ගෙවන්නට අණ කෙරේ.

මේ යෝජනා මාක්ස්වාදී කොමියුනිස්ට් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවේ. එවැන්නක නම්  අනිවාර්යයෙන්ම පෞද්ගලික දේපල අයිතිය තහනම් කරේ.  පෞද්ගලික ව්‍යාපාර නඩත්තුවක් නැත. කෝබින්  සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සහය දීමට ඒවායේ බදු අඩු කිරීමට ද ණය මුදල් පහසුවෙන් ලබා දීමේ ක්‍රමයක්ද යෝජනා කරයි. පෞද්ගලික නිවෙස් පවරා  ගැනීමක් මෙහි නැත. ඒ වෙනුවට නිවාස 100000 ඉදි කිරමට යෝජනා කර තිබේ.

කෝබින් සහ පිරිස තමන්ව හඳුන්වා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් පිරිසක් වශයෙනි.
තෙරේසා මේ හා කෝබින් පාර්ලිමේන්තු ප්‍රශ්න වාරයේ 

එසේ තමන් හඳුන්වාගත් රටවල් දෙකක් මගේ සිහියට නැගේ. එකක් නම් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයයි (නැගෙනහිර ජර්මනිය) . (DDR).  නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂයට අමතරව තවත් ගොවි ජන පක්ෂ දෙකක් රාජ්‍ය පාලනයේ සිටි අතර රටවැසියන්ගේ නිවාස සහ සමහර ඉඩම් පවරා ගත්තේ නැත. මේ නිසා ඔවුන් සමාජවාදී රටක් වශයෙන් නම් කරන්නට සෝවියට් දේශය කැමැත්ත පල කෙළේද නැත. සමාජවාදී කඳවුරේ  සිටියත් ස්ටාසි ඔත්තු සේවා හරහා දරුණු පාලනයක් ගෙන ගියත් ඔවුන් තමන් නම් කර ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවාදීන් වශයෙනි.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවාදීන් ලෙස හඳුන්වන තවත්  රටක් තිබේ. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන 1978 ව්‍යවස්ථා වෙනසක් කර ජනාධිපති ධුරයට  පත්වන විට ශ්‍රී ලංකාව  නම් කලේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙසයි.  නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය සහ රජය මගින් පාලනය වන දුම්රිය සේවයක් මෙන්ම පර්මිට් වලට සුඛෝපභෝගී වාහන ලබා ගන්නා නිලධාරී පන්තියක් ද සිටින හෙයින් මෙසේ නම් කළා වෙන්නට පුළුවන.

මෙම මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කළ දවසේ සිට කෝබින් හා කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය වැඩි වී තිබේ.

පහත සඳහන් අනුපිලිවෙල බලන්න.

1.මැයි 21 දා වනවිට - මැතිවරණයක් පවත්වන බව ප්‍රකාශ කරද්දී කොන්සර්වටිව් හෙවත් ටෝරින් ගේ පක්ෂය කෝබින් ට වඩා 20% ප්‍රතිශතයකින් ඉහල සිටියේය. (කොන්සර්වටිව් 49%, ලේබර් 29%) පසුගිය 21ද වනවිට මේ තත්වය සහමුලින්ම වෙනස් වී කොන්සර්වටිව් 44% සහ ලේබර් 35% වී පරතරය 9% දක්වා පහත වැටුණි. බ්ලෙයාර් දිනන විට ඔහුට තිබුනේ 34% ජන මත විමසුම් සහයකි (poll ratings)

2. ප්‍රථම වරට වේල්සයේ ලේබර් පක්ෂය අංක 16% ඉහල ගියේය. එනම් මැතිවරණයට සති දෙකක් තිබියෙදී කෝබින් ගේ ජනප්‍රියත්වය වේල්සයේ දෙගුණ විය.

3. චන්දයට ලියා පදිංචි කරන අන්තිම දවසේ තරුණ තරුණියන් 250,000 ලියා පදිංචි වුනහ.  ඔවුන්ගෙන් වැඩි හරියක් කෝබින්ට ඡන්දය දෙන බවටද ප්‍රකාශ කළහ.

4.  හදිසියේම ලිබියන්  අන්තවාදියෙකු බෝම්බයක් පුපුරවන ලදී. ළමුන් හා වැඩිහිටියන් ඇතුළු 22 ක් මියගොස්  64ක්  තුවාල ලැබූහ.  තරුණ තරුණියන් රැස්වූ සංගීත සංදර්ශනයකදී බෝම්බකරු පුපුරුවා  ගත්තේය.

5. මේ ලිබියන් අන්තවාදියා අබේදී ගේ පියා, ගඩාෆි ඉවත් කිරීමට  ඇමෙරිකන් සහය ඇතුව සටන් කළ ගරිල්ලා කණ්ඩායමේ අයෙකි.  අබේදී  සිරියාවේ අසාඩ් ට විරුද්ධ සටනේ සිටි අතර ඔහු සිරියානු අයිසිස් වරුන් සමග පුහුණු වූ අයෙකි.

5.  මේ ලිබියන් "අබේදී" බවට මුලින්ම කරුණු ප්‍රකශ කළේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවන්ය. ඔත්තු සේවාවන් ඔහු ගැන දැන සිට ඇත.

6. මැන්චෙස්ටර් යනු ලේබර් බලකොටුවකි. එහි නගරාධිපති ඇන්ඩි බර්න්හම් 62% ඡන්දයක් ලබා පසුගිය සතියේ බලයට පත් විය.

7. තෙරේසා  මේ පවසන්නේ  ඇය කෝබින්ට වඩා තීරණාත්මක නායිකාවක් බවත් කෝබින් වැනි දුර්වල අයෙකුට ත්‍රස්තවාදය පරදවන්නට නොහැකි බවත්ය.  බ්‍රිතාන්‍ය හමුදා රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමට කැඳවා ඇත.

ඉදිරි සති දෙක බ්‍රිතාන්‍යයට තීරණාත්මකය.

බොහෝ විට කෝබින් සමාජ  ප්‍රජාතන්ත්‍රවාදියෙක් (social democratic)  හා  ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙක් (democratic socialist) අතර දෝලනය වන චරිතයක් බවට පත්ව තිබේ. ජූනි 8 දා පවත්වන මැතිවරණයෙන් දිනනේ කවුරුන්ද යන්න  මත බ්‍රිතාන්‍ය ඉතිහාසය වෙනස් වීමට නියමිතය.

මුලාශ්‍ර:
1. කෝබින් ගේ ජයග්‍රහණය හා වමේ වම හා දකුණේ දකුණ
2. postmodernism 
3. ජුලී ග්‍රැහැම් - post-modernism and marxism)
4. post marxists 
5. JEREMY CORBYN  has read the works of both Karl Marx and free market pioneer Adam Smith 
6. තම ආණ්ඩුවක් යටතේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන බවට බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂය ප්‍රතිඥා දෙයි - අක්ෂය 
7. බ්‍රිතාන්‍යයේ පෞද්ගලික විශ්ව විද්‍යාල
8.  කෙය්නිසියානු (Keynesian) ගේ ආර්ථික  දැක්ම
9. කියුබාව ගැන කීමට ප්‍රථම - නැගෙනහිර ජර්මනියේ නිවෙස්



Saturday 20 May 2017

පරිසරයට හිතකර නිවාඩුවක් 3 - බැටළු නෑම්බියන් ගෙන් ලෑමින් - lambing

මුල් ලිපිය දර පෝරණුව 
දෙවන ලිපිය - පරිසරයට හිතකර නිවාඩුවක් 2 -ක්‍රිස් හා ලීසා විදුලිය ගන්නා හැටි

මේ කොටසේ වීඩියෝව  සමහර අයට බැලීමට  අපහසුතාවයක් ඇතිවිය හැකියි. එනිසා ඒ ගැන සමාවෙන්න. ඉංග්‍රීසියෙන් ලෑමින් (ඇමෙරිකන් ව්‍යවහාරය ලෑම්බින්  lambing) කියන්නේ බැටළු ධේනුවන් ගෙන් පැටව් ලැබෙන කාලයට ගොවියන් යොදන වචනය.  අපි මේ නිවාඩුවට ගිය කාලය තමා පුංචි බැටළු පැටවුන් ඉපැදෙන කාලය . ඉතින් ගොවියන් රෑ නිදි මරාගෙන බැටළු ධේනුවට උදව් වෙනවා පැටවා හෝ පැටවුන් බිහි කරන්න.   ඊළඟ දිනයේ ක්‍රිස් සහ ගොවි බිරිඳ ලීසා අපට අඬ ගැහුවා ඒක බලන්න.

එක අතකින් මේක වැදගත්. එංගලන්තයේ ක්‍රමයට දියණියන් දෙදෙනාට  පශු වෛද්‍ය විද්‍යාව හෙම හදාරන්න අවශ්‍ය නම් ඔවුන් විශ්ව විද්‍යාලයට අයැදුම් කරන්න කලින් ගොවිපළක සතුන් නඩත්තු කරන හැටි හැදෑරිය යුතුයි. මෙයට මුදල් ලැබෙන්නේ නැහැ. ඉඳුම් හිටුම් ගොවිපලේ ලැබෙනවා.මම ලීසා ගෙන් ඇහුවම ඇය කීවා දියණියන්ට අවශ්‍ය නම් එසේ  ඉඩ සලසා හැකි බව. නමුත්  දියණියන් එම විෂය හදාරන්න කැමති නැහැ . ගොවිපලේ ජීවිතය අමාරු බව කියන ඔවුන් වෙනත් විෂයන්  හදාරන්නයි වඩා කැමති . මම ඔවුන්ට කීවේ ගොවිප[අලවලට නිතර ඒම අවශ්‍ය නොවන බව. නමුත් ඔවුන් සතුන්ට කැමති වුනත් එවැනි රැකියාවක් ගැන එතරම් උනන්දුවක් තිබුනේ නැහැ.

ක්‍රිස් එදා පාන්දර  තුනට පමණ බැටළු පැටව්   තුන් දෙනෙකුට උපදින්න බැටළු  මාතෘ සායන  වැඩ කරලා තිබ්බ. උදේ මහන්සි වුනත් ප්‍රීතියෙන් හිටියේ. ලීසා ළමයින් තුන් දෙනෙකුත් හදන ගමන් මේ ගොවිපලේ වැඩ කරන්නේ. මුළු දවස පුරා මත ඒ දෙන්න වැඩ. ඒ අතින් අපේ ජිවිත කොතරම් ලෙහෙසිද කියල හිතෙනවා.
කඳු මුදුන හා අනිත් බාර්න් එක 
පැත්තක ඇත්තේ ගොවි නිවස 
අසළින් ගලන   දොළ 
 පසු ගිය ලිපි දෙකට නොදැම්ම පින්තුර දෙක තුනක් දානව ගොවිපල අවට.
















පහත  වීඩියෝ වල තියෙන්නේ බැටළුවෝ පැටවුන් බිහි කරන හැටි සහ ක්‍රිස් උදව් කරන හැටි. පැටවෙක් ඉපදුනහම ක්‍රිස් සහ ලීසා උන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් දෙනවා. ඊට අමතරව අයඩින් වලින් තුවාල තෙමනව. බෙහෙත් පිරුණු බාල්දියක් කෑම දෙනවා ලෙඩ හැදෙන්නේ නැතිවෙන්න. ඒ සත්ව ගාල ඉතා උණුසුමින් තබනවා.


ක්‍රිස් උපතට උදව් කරන ආකාරය 

මෙහිදී පෙනෙනවා ඇති මෙය ලෙහෙඉ කාර්යයක් නොවන බව. මේ කාලය පුරාවට දවසට බැටළු ධේනුවන් හතර දෙනෙක් වත් විවිධ වෙලාවට පැටවුන් ප්‍රසූත  කරනවා. ඒ හැම අවස්ථාවකම ඔවුන් ළඟ සිටිය යුතුයි. රාත්‍රියටත්  නින්දක් නැහැ.

ඉපදී මිනිත්තුවකට පමණ පසු 

ඉපදී මිනිත්තුවකට පමණ පසු 

ඉපදුනු ගමන් පැය කිහිපයකට පසු පැටවා මව සමග 
බැටළු ධේනුවන් සාමාන්‍යයෙන් පිරිමි බැටළුවකු සමග එක්වීමට දෙන්නේ සරත් සෘතුවේ අවසානය හා ශීත සෘතුවේ එළැඹීම සමගයි. පැටවා පිළිසිඳ මාස  හයක කාලයකින් පමණ උපදිනවා. ඉතින් ගොවියන් දන්නවා ඊස්ටර් එක එහෙම  නැත්නම් මාර්තු අප්‍රේල් කාලය තුල උපදිනවා කියල. හැම අවුරුද්දකම එහෙමයි. අප්‍රේල් කාලයේ තමා නැවත තණකොළ හොඳට වැවෙන්න පටන් ගන්නේ. එළදෙනුන් හා ගවයන් මෙන් නොව බැටළුවන් ට   බොහෝ විට දෙන්නේ තණකොළ. මේ පැටව් (නැත්නම් lamb)  මාස  9 කින් පමණ මස් පිණිස විකුණනවා. ලෑම්බ් මස් කියා සුපර් මාකට් වල විකුණන්නේ මේ මාස නමයේ පැටවුන්ගේ මස්. එතකොට මට්න් (mutton) කියන්නේ  හොඳට වැඩුණු බැටලුවකුගේ මස්. (ලංකව වැනි රටවල මට්න් කියන්නේ එළු මස් වලට) . බැටළුවෙක් ජිවිත කාලය අවුරුදු  10-12 පමණ වෙනවා. (ඒ අනුව අවුරුද්දක් බැටළුවෙක් මිනිස් වර්ෂ 6 ක වගේ වයස ) ක්‍රිස් හා ලීසා ගේ ගොවිපලේ බැටළු පැටවුන් 100-150 පමණ උපදිනවා මේ කාලයතුල. ඒ දෙදෙනාට වැඩ අධිකම කාලයක් තමා මේ.

(සමහර කරුණු දැන ගත්තේ ක්‍රිස් සහ ලීසා ගෙන්)

Thursday 18 May 2017

පරිසරයට හිතකර නිවාඩුවක් 2 -ක්‍රිස් හා ලීසා විදුලිය ගන්නා හැටි

මුල් ලිපිය දර පෝරණුව 

ගොවි මහතාගේ බිරිඳ වන එලිසබෙත් හෙවත් ලිස් මගේ බිරිඳට ඔවුන් විදුලිය සපයා ගන්නේ ජලයෙන් බව කියා තිබුණි. සරෝජ්  අපේ ගොවි  මහතා වන ක්‍රිස් ගෙන් ඒ බව විමසුවේය. ක්‍රිස් ගේ දර උදුන නරඹමින් සිටින අපට එතැන ගලා යන දොළින් එහා පැත්තේ කුඩා මඩුවක් දක්නට ලැබිණි. එය පෙන්වමින් ක්‍රිස් කීවේ ඒ ඔහුගේ ජල විදුලි බලාගාරය බවයි. මගේ දියණියන් ද  ඇතුළු සියල්ලෝම ක්‍රිස් විහිළුවක් කරන්නේ යැයි සිතා සිනාසුනු නමුත් මාත් සරෝජ් නුත් ක්‍රිස් අමතා එය පෙන්වන මෙන්  ඉල්ලා සිටියෙමු. සරෝජ් ලේඛනයට හා ජන මාධ්‍ය වලට ඇති ඇල්ම නිසා බිබීසියේ රැකියාව කලත් ඔහුත්මා මොස්කව් වල  ඉගෙනුම ලැබූ අයුරෙන්ම සෝවියට් උකරයිනයේ  කීව් නගරයේ අවසන් කලේද  විදුලි ඉංජිනේරු උපාධියකි. එනිසා විදුලි උත්පාදන ක්‍රම ගැන අප දෙදෙනාගේම සෑහෙන උනන්දුවක් තිබේ.
කුඩා මඩුව කුමක්ද 
බංගලාව හා ගොවි නිවස අසලින්  දොළ පහරක් ගොවිපල මැදින් ගලා යයි.  එහි එතරම් වතුර නැත. සාමාන්‍යයෙන් අප දැක ඇත්තේ මිල් හෙවත් මෝලක් ක්‍රියා කරන ආකාරයයි. බැම්මක් බැඳ වතුර එකතු කර එය විශාල දැති රෝදයක් හරහා යවමින් මෝලවල්  ක්‍රියාත්මක කලද ඉන් විදුලිය නිපදවීම අපහසුය. එසේම මේ දොළේ  එතරම් වතුරද නැත.
දොළ පහර උද කුඩා කඳු මුදු නේ ජාල උල්පත තිබේ  
පෙල්ටන් ටර්බයින් එකක් 
  ක්‍රිස් ගේ ජල විදුලිය නිපදවීමේ ක්‍රමය අප දුටුවේ මඩුවට ගිය පසුය. ඔහුගේ එම දොළ අසල කුඩා කන්දක් තිබේ. එහි මුදුනේ වතුර උල්පතක් තිබේ. ඔහු කළේ එම වතුර උල්පතට බටයක් දමා ජලය පහලට ගැනීමයි. එම drop එක හෙවත් බෑවුම මීටර 40 කි. (අඩි 120 පමණ )  කුඩා (mini) ජල ටර්බයිනයක් කරකැවීමට එය ප්‍රමාණවත්ය. පෙල්ටන් හා නෞටිලස් මෙවැනි  මිනි ටර්බයින් ය. (තලබමනය)
මෙවැනි පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය 
ඔබට ඉහත පින්තුරයෙන් මෙවැනි පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය දැනගත හැකිය. ඉහළ උස බිමක ඇති වතුර  පයිප්පයක් මගින් පහළට ගෙන එනු ලැබේ. ඉන් ටර්බයිනය කරකැවෙන අතර යාන්ත්‍රික ශක්තිය විදුලි බලය ලෙස ජෙනරේටරයෙන් පරිවර්තනය කෙරේ. ඉන්පසු කුඩා ට්‍රාන්ස්ෆොර්මරයක් මගින් එය ග්‍රිඩ් එකට සම්බන්ධ කිරමට  අවශ්‍ය විදුලි පරිපථයේ වෝල්ටේජ්එකේ අගයට  "ස්ටෙප් අප්" කරනු ලැබේ. 
ටර්බයින් එක ඇත්තේ සිමෙන්තියෙන් සෑදු රඳවනය තුලය.
නිල් පැහැයට තිබෙන්නේ විදුලිය නිපදවන ජෙනරේටරයයි.  
ක්‍රිස් මිනි ජෙනරේටරය සමග 
ජෙනරේටරය අසල විදුලිය නිපදවන ප්‍රමාණය දැන  ගැනීමට මීටර පුවරුවක් සවි කර ඇත.
මිටර පුවරුව 
මින් පෙන්වන්නේ මුළු පද්ධතියමය.

උත්පාදනය වන විදුලිය ප්‍රමාණය 
උත්පාදනය වන විදුලිය ප්‍රමාණය මිනිත්තු 15 ඇතුළත 
මෙම පද්ධතිය අප සිටින විට කිලෝවොට් දෙකක පමණ විදුලියක් මිනිත්තු 12 පමණ වේලාවකදී නිපදවීය. ක්‍රිස් ට අවශ්‍ය  ලෙස තලබමනයට යන ජල ප්‍රමාණය අඩු වැඩි කළ හැකිය.  ජල ප්‍රමාණය උපරිම අවස්ථාවේ උත්පාදනය වන විදුලි බලය පැයකට කිලෝ වොට් පැය 5 - 6 පමණ වේ. එය පහක් ලෙස ගතහොත් පැය  24 කට මෙම පද්ධතිය මගින් කිලෝ වොට් පැය 120 ක පමණ විදුලිය නිපද වේ. මාසයකට මෙය කිලෝ වොට් පැය 720 පමණ වේ. එංගලන්තයේ නිවසක සාමාන්‍ය පරිභෝජනය කිලෝ වොට් පැය 380- 400  පමණ වන නිසා මෙය ගොවිපලට ප්‍රමාණවත් බව සිතිය හැකිය.

 ක්‍රිස් පවසන අන්දමට වතුර වැඩි ශීත  සමයේ පද්ධතිය  පුර්ණ ධාරිතාවයෙන්  විදුලිය නිපදවයි.  වතුර අඩු ග්‍රීෂ්ම සමයේ (වේල්සයේ මේ කාලයටත් වැස්ස ඇති නිසා ලංකාවේ  වැසි නැති කාලය සමග සැසඳිය නොහැකිය.) අඩු කිලෝවොට් ගණනක් නිපදවයි. ඒ කාලයට ගොවිපලට ප්‍රධාන පද්ධතියෙන් (main grid) විදුලිය සැපයේ.

ක්‍රිස් පැවසූ අන්දමට පවුම් 8000 පමණ ආයෝජනයක් ඔහු කළ  අතර මුළු මුදලම වසර තුනකින් පියවා ගෙන ඇත. දැන් තනිකරම මේ පද්ධතියෙන් ලැබෙන්නේ ලාභයකි. භාවිතා නොවන විදුලියෙන්  ඒකකයක් පැන්ස   70 ගානේ ප්‍රධාන පද්ධතියට විකුණන නිසා අමතර අදායමක් ද  ලැබේ.  ඒ විදුලි බිල 90% පමණ අඩු  වීමෙන් ලැබෙන ලාභයට අමතරවය.

ටර්බයිනයෙන් ඉවත වන ජලය  අසල ඇති දොළට යොමු කෙරේ.

ක්‍රිස් පැවසූ අන්දමට දර උදුන වැඩිපුර පාවිච්චි වන්නේ ශීත  කාලයට පමණක් වන නිසා එහි වියදම (ආයෝජනය ) පියවා ගන්නට වසර 4-5 ක් ගතවී තිබේ. ඒ ඔවුන් ඉවීමට ගෑස්‌  පාවිච්චි කරන නිසාය.  කෙසේ වුවද දැන් ආයෝජනයන් දෙකම පියවා ඇති නිසා ඔහු උපයන්නේ ලාභයකි. එසේත් නැතිනම් බල ශක්ති පාවිච්චියට ඔහු ගෙවන්නේ අවම අගයකි. මා  දැනගත් පරිදි ක්‍රිස් ගෙන් පසු එම පළාතේ ගොවිපලවල් දහයක් පමණ මේ කුඩා විදුලි උත්පදන් යන්ත්‍ර සවි කරගෙන් තිබේ. ගොවිපලවල් දෙක තුන එකතුව මධ්‍යම ප්‍රමාණයේ ජල  විදුලි බලාගාරයක්ද පිහිටුවා අවට නිවෙස්  වලටද විදුලිය දෙන බව ඔහු පැවසීය.   තමන්ගේ දිරියෙන් කල්පනා කර කටයුතු කරන මේ ගොවි මහතුන්  හිමිදිරි  පාන්දර සිට නැගිට දවස පුරා මහන්සි වී වැඩ කරති.

මෙහිදී මට මතක්වූ කතාවක් නම් ලෙනින් හා රුසියන් විප්ලවය ගැනය. රුසියන් විප්ලවයෙන් පසු ලෙනින් හා බෝල්ෂෙවික් ආණ්ඩුව ප්‍රවේණි ගොවීන්ට ඉඩම් බෙදා දුන්හ. විශාල ඉඩම් යායවල් වල ගොවි ජනපද පිහිටවූහ. ලෙනින් කීවා යයි පොත් වල තිබෙන්නේ  මේ ගොවීන් ස්වේච්ඡාවෙන් එකතුවී විශාල ගොවිපලවල් පිහිටවනු ඇත යන්නය. එසේ එකතුවී වැඩ කරීමෙන් ඔවුන්ගේ ගොවි නිෂ්පාදනද දියුණු වී සමුහ ගොවිපළවල් බිහිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

ලෙනින් මිය ගිය පසු සෝවියට් දේශයේ බලයට පත්වූ ස්ටාලින් රතු හමුදා ලවා  සියළු ගොවීන් බලහත්කාරයෙන් සමුහ ගොවිපළ වලට ගාල් කරන ලදී. එයට එරෙහි වුවන්ට වෙඩි තබා මරා  දමන ලදී.  උක්රයිනයේ එක්දාස් නමසිය විසි ගණන්වල සාගතයක් ඇතිවී මිලියන් ගණනක්  මිය ගියේ ඒ හේතුව නිසා යයි කියනු ලැබේ.

සෝවියට් දේශයේ අවසාන කාලයේ මේ සමුහ ගොවිපලවල නිෂ්පාදන අඩුත් නොවී වැඩිත් නොවී තිබුණි. එනම් පස් අවුරදු  සැලැස්මවල් අඩුවට හදා තිබුණි. නිෂ්පාදන ධාරිතාව එකම තැනක තිබුණි. ඒවායේ වැඩ කල වැඩි හරියක් ගොවි මැනේජර් ලා  පලදාව පස්ස දොරෙන් පන්නා පෞද්ගලික මාකට් එකේ විකුණා තිබුණි. නැතිනම් තම තමන්ගේ පාවිච්චියට  ගෙන තිබුණි.

ඊළඟට - බැටළු නෑම්බියන් ගේ ලෑම්බින්