Wednesday 23 January 2019

චුන් ජූ යුන් හා කොරියන් කොමාන්ඩෝ මකුණා ගේ වික්‍රමය (ටයිකොන්ඩෝ සමුළුවේදී ඇසුණු කතාවක් -)

"අධිෂ්ඨානය විසින් අපරාජිත ව්‍යායාමයන් නිර්මාණ කරයි. සත්‍ය ආශ්චර්යයන්  හෙළිදරව්වට ඇති යතුර එයයි. මිනිසාගේ හැකියාවන් වල නිමක් නැත."-චුන් ජූ යුන්


පහුගිය ඔක්තෝබරයේ අප  ලංකාවට  ගියේ ප්‍රධාන කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි. ඉන්  එකක් වූයේ දරුවන් සහභාගී වූ  ටයෙක්වොන්ඩෝ තරඟාවලියයි. ඉන්පසු මගේ දෙවෙනි පොත වූ  "සියාමා" එලි දැක්වීමයි.

 ටයෙක්වොන්ඩෝ තරඟාවලිය අවසන් වූ  දවසේ එහි ප්‍රධාන   සංවිධායක දුෂාන්ත පෙරේරා සහ අනිත් ගුරුවරු  ටයෙක්වොන්ඩෝ සටන් කිහිපයක්,  කොරියන් නැටුම් ප්‍රදර්ශනයක් සමග කතාබහකුත් සැලසුම් කර තිබුණි. ඒ කතාබහේදී කොරියන් කණ්ඩායමේ ප්‍රධානියාගේ කතාව තදින්ම  මගේ සිත පැහැර ගැනීමට සමත් වුනි. මේ ඒ කතාවයි.

මේ කතාව ඇත්තටම චුන් ජූ යුන් නමැති කොරියානු ව්‍යාපාරිකයා වටා  ගෙතුනකි. ඔහු කොරියාවේ ඉතා ප්‍රසිද්ධ අයෙකි. ඒ හයිඋන්ඩයි (Hyundai) නමැති ලෝකයේ ප්‍රකට ව්‍යාපාර සමූහයේ අයිතිකරු බැවිනි. එම නමින් මෝටර් රථ ඇති නිසා  ඔහු ශ්‍රී ලංකාවට හෝ බ්‍රිතාන්‍යයට ද අමුත්තෙක් විය නොහැකිය.

මේ කතාව  අයින් රෑන්ඩ් (රුසියානු නමින්  අලිසා සිනොවියෙව්නා) පන්නයේ කතාවක් ලෙසද කෙනෙකුට හැඟෙනු ඇත.

කොරියන්  කණ්ඩායම් ප්‍රධානියා කතාව කළේ   ටයෙක්වොන්ඩෝ ක්‍රීඩාව පුහුණු වෙන දරුවන්ට "තම උත්සාහය කිසි විටෙක අත නොහැරිය යුතුය"  වැනි  පණිවිඩයක් දීම සඳහා බව මට සිතුනි.

චුන් ජූ දැන් උතුරු කොරියාව නමින් හඳුන්වන රටේ දරුවන් නම දෙනෙකු ගෙන්  යුත්  ගොවි පවුලක උපන්නෙකි. ඔහුගේ ළමා කාලය ඉතා දුෂ්කර එකක් විය. ඒ දිනවල කොරියාව ජපානයට යටත්ව තිබූ  කොලනියකි. චුන් ගේ පියා චුන් බොන්ග්  සික් , තමන්ගේ දරුවන්  තම ගොවිපලේ  වැඩට බොහෝ විට යොදා ගත්තේ වෙනත් විසඳුමක් නොවූ බැවිනි. ඒ පැතිවල බොහෝවිට ළමයි හදන්නේද ගෙදර සහ ගොවිපල වල වැඩට අත් උදව් ගැනීමටය. ඔවුන් ගේ දිවිය වටා බැඳී තිබූ  දිළිඳු කමින් කෙසේ හෝ මිදිය යුතුය යන අදහස ළමා කාලයේදීම චුන්ගේ හිතට ආවේ ගොවිපළේ අමාරු වැඩ වල යෙදී සිටිද්දීය.

චුන් සහ යහළුවෙකු  මුලින්ම කළේ ළඟම  ටවුමේ කැලෑවෙන් එක්කළ ලී අසල නගරයට ගොස් විකිණීමයි. උසස් අධ්‍යාපනයක් ලැබීම සිහිනයක් පමණක් ම වූ ඒ අවධියේ   ඔහුට ඉඩ ලැබුනේ ඔහුගේ සීයා විසින් සංවිධානය කල පාසැලේ තවකාලිකව කුඩා කාලයක් ඉගෙනීමට පමණි. ඉනික්බිතිව ඔහු කරන්නේ ගෙදරින්  පැන යාමය.  වයස අවුරුදු 16 දී චුන් චොන්ජින් නමැති නගරයේ රැකියාවක් සොයා පිටත් වෙයි. චුන් මාස දෙකක් පමණ කොවොන් අතරම තිබූ නගරයක  වැඩ බිමක රැකියාවක් සොයා ගනී.

මෙය දැඩි වෙහෙස දනවන අමාරු රැකියාවක් විය. හරියකට කෑමක්,  නෑමක් නොමැතිව මකුණන් ගහණ බූරු ඇඳන් වල ගතකල නිදි වර්ජිත රාත්‍රීන් බොහොමයක් විය .කුසට හරියට නොකා නිදා ගත්තත් මකුණන් ගෙන් එන ගැහැට ඔහුට කෙසේවත් ඉවසන්නට නොහැකි විය. බේරෙන්නට  මොනවා කළද එය හරි ගියේ නැත. වරෙක බූරු ඇඳ එළියේ සීතලේ තබාගෙන නිදා හිටියත්, දවල්ට  ගිනි අව්වට දමා තිබුනත් රාත්‍රියට අනිවාර්යයෙන්ම මකුණන් ගේ ආගමනය සිදු විය. අවසානයේ බූරු ඇඳ පසෙකට ලා  චුන්  ශාලාවේ තිබූ මේසයක උඩ නිදා ගනී.  පොරවගන්නා  රෙදිකඩ පවා සෝදා වේලා ගෙන සුවසේ නිදාගන්නට සිතා සිටියත් රාත්‍රියේ  මකුණුවන්ගේ ප්‍රහාරයෙන්   චුන්ට  ඇහැරේ. ඔහු  දකින්නේ පුදුමාකාර දෙයකි. අනික් ඇඳන් වලින් පැන බිත්තිය දිගේ වහලට එන මකුණෝ එකින් එකා  මේසේ සිටිනා  චුන් ගේ  ඇඟ උඩට පනින්නේ  කොමාන්ඩෝ භටයන්  ලෙසය.

දෙමසකට පමණ පසු චුං ගේ පියා ඔවුන් සිටින තැන සොයා පැමිණ චූන් ට බැණ අඬගසා නැවත නිවසට රැගෙන යයි. ඔහුට නැවතත් පරණ ආකාරයටම පියාගේ ගොවිපළේ  වැඩ කිරීමට සිදුවේ.  නමුත්  චුන් ට මකුණන්ගේ  වික්‍රමය අකිසි ලෙසකින්වත් මතක නොවේ. කොපමණ පුංචි සතෙක් වුවත් මකුණන්  තම  උත්සාහය  අත් නොහරී. චුන් සිතුවේ මකුණන් ඔහුන්ගේ ඇඟේ ලේ බීමට එන කාරණය  නොව මකුණාගේ අප්‍රතිහත ධෛර්යය ගැනය.

තවත් වසරක් පියාගේ ගොවිපලේ වැඩ කරන චුන් පවුලට තමාගෙන් ඉටු විය යුතු කාර්යයන් අවසන්  කර ගොවිපලේ එළදෙනක්ද විකුණා මුදල් සොයාගෙන සියෝල් නුවරට පැමිණේ. එවිට චුන්ට වයස 18 කි. බිල්ඩින් වැඩ වැනි වෙහෙසකර රැකියා කිහිපයකට පසු ඔහු ගිණුම් ලිපිකරුවෙකු ලෙස රැකියාවක් සොයාගනී. ඉන්පසු මුදල් ඉතිරි කර සහල් විකුණන ව්‍යාපාරයක් ආරම්භ කළත් දෙවන  ලෝක යුද්ධ සමයේ ජපනුන් අල්ලා ගැනීම නිසා එය අවසන් වේ.. වයස 24 දී වාහන අලුත්වැඩියා කරන සමාගමක් ජපන් වැසියෙක් සමග සහයෝගයෙන් පටන් ගත් නමුත් අවසානයේ එය ජපන්නුන්ටම  විකිණීමට සිදුවෙයි.

මින් පසුබට නොවෙන චුන්  කාර් මැනුවල් පොත්,  ව්‍යාපාරික පත්‍රිකා ආදිය කියවමින්  තනියම ඉගෙනීමේ යෙදෙයි. යහළුවන්ගෙන් ඉගෙනීම සඳහා රාත්‍රී පන්ති වලටද සහභාගී වෙයි. මේ කාලයේදී ඔහු වාහනයක් නිෂ්පාදනය සඳහා නිර්මාණය කළ සැලසුමක් හොන්ඩා (ජපාන) සමාගමට ඉදිරිපත් කරයි. එය වැඩි ගණනකට නොගෙනම  ප්‍රතික්ෂේප  වුවත්  මේ මිනිසා එයින් නොසැලේ.  දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවාත් සමගම ඔහු හයිඋන්ඩයි මෝටර් වාහන කර්මාන්ත ශාලාව හා සමාගම  පිහිටුන්නේය. ඒ සමගම 1946 දී  හයිඋන්ඩයි සිවිල් කර්මාන්ත සමාගමද එකවර පිහිටුවයි.

ඇමෙරිකන් හමුදාවෙන් මෙන්ම කොරියන් රජයෙන්ද ලැබෙන කොන්ත්‍රාත්තු නිසා දිගින් දිගටම ඔහුගේ සමාගම් දියුණු වේ. මහා මාර්ග (motor way ) සෑදීම සඳහා කොන්ත්‍රාත්  කොරියාවේ හා තායිලන්තයේ ගිවිසුම් ලබා ගැනීමට ඔහු සමත් වෙයි. එසේම නැව් නිපදවන නාවික තටාක අංගනයක්  (ඩොක්යාඩ් එකක්)  උල්සන් වල නිම කිරීමට  ඔහු සමත්වෙයි. එය ඒ දිනවල ලෝකයේ විශාලතම නෞකා නිපදවන නෞකාංගනය වේ. න්‍යෂ්ටික වීදුලි බලාගාරයක් 1970 දී ගොඩනගන ඔහුගේ සමාගම් අතරට රසායනික මූලද්‍රව්‍ය නිපදවන කම්හල් ද එක්වේ.  ෆෝඩ් සමාගම සමග එකතුව ඔහු ගේ මෝටර් රථ නිපදවන සමාගම  පළමු මෝටර් රථය වන කෝටිනා නිපදවන්නේ 1968 දීය. එම සමාගමම 1986 දී පෝනි එක්සෙල් නමැති රථය තනිවම නිපදවනු ලබයි.

උතුරු-දකුණු කොරියන් යුද්ධය පටන් ගන්නේ 1950 වසරේදීය. ඔහු බසාන් වලින් පැන සියෝල් වලට නැවතත් පැමිණේ. ඔහුගේ සමාගම් තව තවත් දියුණු වෙද්දී අලුතින් බිහිවූ උතුරු කොරියාවට වරෙක  එළදෙනුන් දහසක් පමණ පරිත්‍යාග කරන්නේ එහි ජීවන තත්වය නගා සිටවිමට දායක වන්නටය.  උතුරු කොරියාව සමග කතාබහක් ඇරඹීම සඳහා ප්‍රථම අඩිතාලම දැම්මේද ඔහුය. ඔහු සාමාන්‍ය ධනපතියෙකුට වඩා වෙනස් වන්නේ සමාගම් වල පාලන ශෛලිය සහ අනිකුත් අයට උදව් කිරීම මතය. හයිඋන්ඩයි සමාගමේ දියුණු වීමට, පාලනයේදී දක්ෂයන් තෝරා ඔවුන් වැඩ කරන සැටි නිරීක්ෂණය කර  ඔවුන් මත විශ්වාසය තැබීම ප්‍රධාන හේතු සාධකයක් විය.  එසේම පරිස්සම් සහගතව නොකඩවා උත්සාහ කරමින්  එලෙසම අනවරත වැඩ කිරීමද,  පරෙස්සම් සහගත වියදම් කිරීම්, සේවකයන් කෙරෙහි  කරුණාව හා ආදරය වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පාලනයේදී යොදා ගනු ලැබූ අතර එහි ඵලය වුයේ සමාගම් තවත් දියුණු වීමයි.

ඔහු උල්සන් වෛද්‍ය විද්‍යාලය ගොඩ නගා බොහෝ අයට වෛද්‍ය ආධාරද නොමිලයේ ලබා දීමට මගක් සැලසීය. ඔහුගේ අසාන්  නමැති පදනමින්  රෝහල් නවයක්ම  දකුණු කොරියාවේ ගොඩ නගන ලදී.  එසේම ඔහු තමන් නොලද  අධ්‍යාපනය කොරියානු දරුවන්ට ලබා දෙන්නට ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කළේය. සින්යෝන්ග් පර්යේෂණ පදනම පිහිටුවා විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සඳහා විශ්ව  විද්‍යාල හා ආයතන වලට මුල්‍යාධාර දෙමින් උදව් කලේය.


ඔහු ගැන කිවූ දේ අතරින් මගේ වඩාත්ම සිත් ගත්තේ මෙන්න මේ කොටසය. කොරියාව දෙකඩ වන විට දෙපසේම ජනතාව යුද්ධ වලින්  බැට කා අන්ත අසරණව ජිවත්වූහ.   දකුණු කොරියාවේ බොහෝ මිනිසුන් ජීවත් වූයේ අනාථයන් සඳහා වූ විශාල පිට්ටනි වල හැදූ කුඩාරම් වලය . මිනිසුන්ට රැකියා  නැත. එනිසා ඔහුගේ සමාගම් වලින් රැකියා සැපයීම ආර්ථිකයේ දියුණුවට  හේතුවක් විය. උල්සාන් නගරය එහි වැසියන් හඳුන්වන්නේ හයිඋන්ඩයි නගරය නමිනි. ඔවුන් ඒ තරමට තමන්ට රැකියා ලබාදුන් සමාගම් සමූහයට උපහාර දක්වති.

නමුත් තවත් බොහෝ දෙනා සිටියේ දිළිඳු බැවින් මිරිකෙමිනි. කොරියානු ජනාධිපතිවරයාට රට ගොඩ නැගීමේ සැබෑ උවමනාවක් තිබුණි. මේ දිනවල  තෙල් ලැබෙන කාලයයි. මේ නිසා එහි රටවල්  විශේෂයෙන් සෞදි අරාබිය, ජෝර්දානය, එක්සත් අරාබි එමීරය ආදී රටවල් වල  බොහොමයක් සංවර්ධන  යෝජනා ක්‍රම දියත් විය. බොහෝ ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය සහ අනිකුත් යුරෝපීය රටවල් මේ රටවල ක්‍රියාත්මක වුවද ඒ කාලයේ ඔවුන් ජනගහනය අඩු කමින් පීඩා වින්දහ. දකුණු කොරියාව වැනි රටවල් ඒ හිඩැස පිරවීමට ඉදිරිපත් වුනි. මේ අනුව කොරියානු සමාගම් සෞදියේ ඉදි කිරීම්  කටයුතු කළහ.

සෞදි රජු විසින් ජුබයිල් වල විශාල වරායක් තැනීමට ටෙන්ඩර් කැඳවීය. ඩොලර් බිලියන් ගණනක් වටිනා මේ වරාය  තැනීම භාර ගතහොත් කොරියන් ආර්ථිකය ගොඩ නැංවීමට අවශ්‍ය විශාල ප්‍රාග්ධනයක් සැපයෙයි. ඒ කොරියන් කොම්පැනියට ලැබෙන ලාභය පමණක් නොව කොරියානුවන්ට රැකියා ද ලැබෙන  නිසාය. රැකියා නිසා ලැබෙන සෞදි මුදල් නිසා කොරියාවේ සිටින ඔවුන්ගේ පවුල් වල සාමාජිකයනට හොඳින් ජිවත් වීමට හැකිවනවා පමණක් නොව ආර්ථිකය  දියුණු වීමටද එය බලපාන බව කොරියානු ජනාධිපතිවරයා  වටහා ගත්තේය.

නමුත් ටෙන්ඩරයේ සඳහන් වරාය යෝජනා ක්‍රමය නැරඹීමට ගිය කොරියානු ව්‍යාපාර හිමියන් නොයෙකුත් හේතුන් කියා ටෙන්ඩරය ගැනීමේ අදහස ප්‍රතික්ෂේප  කළහ. වැඩ කිරීමට  නොහැකි තරම් අධික උෂ්ණත්වය  එක හේතුවකි. බීමට හා නෑමට අවශ්‍ය ජල  පහසුව නැතිකම තව එකකි. නිදාගන්නට අවශ්‍ය හොස්ටල් යනාදිය නොමැති වීම තවත්  එකකි. නිතර එන වැලි කුණාටු තවත් එකකි. (මේ හැත්තෑව දශකයයි. මුදල් තිබුනත් ඒ කාලයේ සවුදිය එතරම් දියුණු රටක් නොවේ)

    කොරියානු ජනාධිපතිවරයාට ඉවසුම් නැති විය. අන්තිමේදී ඔහු කතා කළේ අප කථා නායකයා වන චුන් ජූ යුන් ටය.

"ඔබගේ මකුණාගේ කතාව මට කිහිප දෙනෙක්ම කියා තිබෙනවා චුන්. ඔබ මේ වරාය  යෝජනා ක්‍රමය නැරඹීමට යන්න. හොඳින් සොයා බලා එය කළ හැක්කක් දැයි මට කියන්න. මෙවැනි යෝජනා ක්‍රමයක් අපේ රට දිළිඳු කමින් මුදවා ගැනීමට ලොකු පිටුවහලක් වේවි. මේ අය මොනවා කීවත් මෙය ක්‍රියාත්මක කිරමට නොහැකි යයි ඔබ කිවොත් මම පිළි ගන්නම්"
අල් ජුබයිල් වරාය 

සති දෙකක සෞදි චාරිකාවක නිරත වූ චුන් ජූ යුන් නැවත පැමිණි කොරියානු ජනාධිපතිට වාර්තා කලේ මෙසේය.

"සෞදියේ දහවල් කාලයේ වැඩ කිරීමට බැහැ. ඉතා රස්නෙයි. ඒ නිසා අපි රාත්‍රී කාලයේ වැඩ කරමු. වැලි කුණාටු එන නිසා අපේ රටේ  අනාථයන් සඳහා තිබෙන විශාල කුඩාරම් රැගෙන එහි පිහිටුවමු. කොරියානු යුද්ධයේ දී ඉතිරිවූ සොල්දාදුවන් සඳහා භාවිතා කළ යකඩ සැකිලි භාවිතා කර කූඩාරම්  ශක්තිමත් කරමු, එවිට ඒවා කුණාටු වලට ඔරොත්තු දේවි. අපට තෙල් දෙන්නේ සෞදියයි. ඒ එන තෙල් නැව් ආපසු යන්නේ හිස්වය. ඒවාට කොරියාවෙන් වතුර බැරල් පටවා  යවමු. එවිට රැකියා කරන කොරියානුවන්ට  ජල   හිඟයක් ඇති නොවේ. "

මකුණා ගෙන් උගත් පාඩම වූ ලබා ගැනීමට වෑයමක් නොකර යමක්  අත නොහරින චුන් ගේ අදහස වූයේ එයයි.

ටෙන්ඩරය හයිඋන්ඩයි සමාගමට භාර ගත්  චුන් ජූ යුන් ඒ යෝජනා කළ අයුරින්ම රාත්‍රියේ වැඩ කිරීමට කොරියානුවන් යෙදවීය. ජල ප්‍රශ්නයද සාර්ථකව විසඳා තිබුණි. හයිඋන්ඩයි සමාගමට විශාල ලාභයක්ද හිමි විය. මේ 1976 කාලයේය. කොරියානුවන්ට ඉන්පසු දිගින් දිගටම අරාබි රටවල යෝජනා ක්‍රම ලැබුණි.   දකුණු කොරියාව ලබාගත් ඉමහත් ආර්ථික දියුණුවට මේ මැද පෙරදිග යෝජනා ක්‍රම වලින් ගලා එන ධනය  ලොකු පිටුවහලක් වුනි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

මුලාශ්‍ර: https://en.wikipedia.org/wiki/Chung_Ju-yung





Thursday 17 January 2019

සහන් කසීර ගේ නැගෙනහිර ජර්මනිය

ඔබෙහොෆ් 
බුකියේ පළවෙන සහන් කසීර වික්‍රමසිංහ ලියන හුඟක් දේවල්  කියවන කෙනෙක් මම. එයා ලියන බොහොමයක් දේට කැමතිත් එක්ක. ගාල්ලේ  දී පැවැත්වීමට නියමිත  ෆෙයාවේ සාහිත්‍ය  උළෙලේ " සිංහල සාහිත්‍යයේ ස්ව ජීවන අත්දැකීම් " පිළිබඳව සහන් කසීර  කතා කිරීමටත් නියමිතයි. 

මම අද දැක්ක ලංකානිව්ස්වෙබ් වෙබ් අඩවියේ ලිපියක් පළ කරලා තියනවා සහන් කසීර  වික්‍රමසිංහ. මිහිපිට කිසිවක් අලුත් නොවේ ! කියන  ඒ ලිපියට මේ යොමුවෙන් යන්න පුළුවන්.

  ලිපිය කියවන කොට මට හිතුනේ  ඉඳල හිටලා ගුරුන්ටත් වරදිනවා ඇති කියල. මෙන්න මේ ඡේදයන් දැකලා.

මම මෙය උපුටා ගත්තේ එම වෙබ් අඩවියේ පළවී තිබුන ලිපියෙන්.

//සෝවියට් සංගමයේ බලපෑමෙන් සමාජවාදී පාලනයක් රැගත් නැගෙනහිර ජර්මනිය දිළින්දන්ගෙන් පිරුණු අපායක් ව තිබියදී බටහිර සහාය ලද බටහිර ජර්මනිය ඉන්ද්‍රජාලික ආර්ථිකයකින් කේතුමතියක් බවට පත්ව තිබිණ.
බර්ලින තාප්පය බිඳ දැමූ පසුව බටහිර කලාපයට පිවිසුණු නැගෙනහිර ජර්මානුවන් එහි සශ්‍රීකත්වය ; නාන කාමර වල සුවපහසුව දැක විස්මයට පත් වූ බව පැවසේ.//

සමහර වෙලාවට ලිපියේ අන්තිමට කියන මේ වාක්‍යයට අනුව,
//මිත්‍රවරුනි ; දේශපාලනික , සංස්කෘතික සහ ආගමික පඹවැල් තුළින් මිනිස් බව තවමත් නිදහස ලබා නැති බව ඔබ වැටහේද ?//  මම තවම ඔය කියන දේශපාලනික පඹ වැල් වලින් නිදහස ලබලා  නැතිව ඇති.

මම දන්නා තරමින් නැගෙනහිර ජර්මනිය දිළින්දන් ගේ අපායක්  බවට පත්වෙලා තිබ්බේ නැහැ. ඒ තර්කයෙන්ම ගත්තොත් ලංකාව තවමත් ඊට වැඩිය දිළිඳුයි. දිළින්දන්ගෙන්  පිරිලා කියල කිව්ව හැකි සමහර පැති. නැගෙනහිර ජර්මනිය කියන්නේ  සමාජවාදී ලෝකයේ වඩා හොඳට තිබ්බ රටවල් කිහිපය අතරින් එකක්. අදත් එහි කුඩා ළමුන්  සඳහා තිබු කෙයාර් හෝම්  පද්ධතිය තවමත් පාවිච්චි වෙනවා. මම එයින් එකකට ගිහිනුත් තිබෙනවා. ළමයින් බලන්නේ උපාධිය  දක්වා උගත් තරුණ ගුරුවර ගුරුවරියන්. ඒ උසස් තත්වය තවමත් එහෙමයි.

අනික් සමාජවාදී රටවල් තමා  හංගේරියාව, යුගෝස්ලාවියාව වගේ ඒවා. බටහිරට හිතවත්ව හිටි රුමේනියාව, ඇල්බේනියාව නම්  දිළින්දන් ගෙන් පිරි තිබු රටවල් . මම රුමේනියාවට ගිහින් තිබෙන නිසා ඇහින් දැක්කා ඒකනම්.

අපි සෝවියට් දේශයේ උගත් කාලයේ බටහිර ජර්මනියට එන්න  කලින් හොඳට මිල අඩුවට ආහාර ගන්නේ නැගෙනහිර බර්ලිනයේ රෙස්ටුරන්ට් වලින්.

උන්ට බටහිර මිනිසුන්ට තරම්  හොඳ ඇඳුම් පැළඳුම් කාර්  තිබ්බේ නැහැ. නමුත් බඩගින්නේ මුකුත් නැතිව හිටි හිඟන්නෝ නම් නෙමෙයි.
බටහිර ජර්මනිය ඉන්ද්‍රජාලික ආර්ථිකයකින් කොහොම වෙතත් ඇමෙරිකන් මාර්ෂල් ප්ලෑන් එක නිසා ගොඩ ආව රටක්. කොටින්ම ඇමෙරිකන් සල්ලි වලින් නැවත ගොඩ නැංවුන රටක්. බටහිර ජර්මනිය  පින් දෙන්න ඕනේ ඇමෙරිකාවට  ඒකට නම්.

මම ලියපු එක ලිපියක්   තියනවා මෙතන.  වර්තමාන ජර්මනිය එක රටක් වුනත් නැගෙනහිර වාසීන්ට තවම කියන්නේ ඔසී කියල. (ඕස්ට්‍රේලියානුවන්  නොවේ)  මගේ බිරිඳගේ සොයුරිය බැඳලා ඉන්නේ නැගෙනහිර ජර්මන් වැසියෙක්. නම අන්ද්‍රියාස් . ඔහුගේ ගම තුරින්ගියා ප්‍රාන්තයේ කර්ස්දොෆ්. ඔහු  ඔබෙහොෆ් වල ස්කි ජම්පින් කරපු ක්‍රීඩකයෙක්.  අපි නිවාඩුවට සමහර විටෙක  ඔවුන්ගේ තට්ටු හතරක නිවසේ නතර වෙනවා. එම නිවස 1920 හදපු එකක්. නාන කාමර හතරක් තිබෙනවා තට්ටුවට එක ගානේ. ඒවා සහ බටහිර ජර්මනියේ තිබ්බ නාන කාමර වල  වල වෙනසක් නැති බව සහතික කරලා කියන්න පුළුවන්. මොකද එකම වසර වල බටහිර ජර්මනියේත් ඉඳල තිබෙන නිසා.  මේ ගමේ අනිත් නිවෙස් හුඟක් ඒවගේ.

මේ ඒ ගම ගැන ලියපු එකක්.

ධනවාදී රටක සමාජවාදී ගම 


මේ නැගෙනහිර ජර්මනියේ නිවාස ගැන මම ලියු ලිපියක්. සහන්ට කැමතිනම් කියවන්න පුළුවන්.  

මේ ගමේ මගේ බිරිඳගේ තවත් ඥාතිවරියක් ඉන්නන නිසා අපි එහි ගියා. ලස්සන ගමක් නිසා දෙතුන් වරක් ම නැවතී ඉඳල තිබෙනවා  ශීත කාලයේ නිවාඩුවට.  ඥාතිවරියත් ඇය ගේ දරුවනුත් නැගෙනහිර රාජ්‍යය පැවති  සමය පුරා  ජීවත්වූ දෙමහල් නිවස තමයි පින්තූරයේ තිබෙන්නේ. ඔවුන් සහන්  කියන තරම් දිළින්දෝ කියල නම් හිතෙන්නේ නැහැ. නැගෙනහිර ජර්මනිය පැවති  කාලයේ ගත්  පින්තුර පවා තිබෙනවා තවමත්. ඔවුන්ගේ පරණ ට්‍රබන් කාරයේ විනෝද ගමන් ගිය ඒවා හෙම හැත්තෑව අසූව දශකයේ.  ලංකාවට වැඩිය නම් හොඳයි.
නැගෙනහිර ජර්මනියේ තුරින්ගියා වල සූල් සහ එර්ෆුට් කියන නගර දෙකටත් ගිහින් තිඑබෙනවා. නැගනහිර ජර්මන් රජය කාලේ හදපු තට්ටු නිවාස එහි තවම තිබෙනවා. බටහිර ජර්මනියේ කවුන්සිල් (රජයෙන් දෙන) ගෙවල් සහ ඒවා අතර වැඩි වෙනසක් නැහැ. ලංකාවේ ඒ කාලේ තිබුන තට්ටු නිවාස වලට වඩා දෙතුන් ගුණයක් හොඳයි.
  
මේ නැගෙනහිර ජර්මනියේ පුටීන් ගේ භූමිකාව ගැන ලියපු එකක්.
 විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය

හැබැයි එක දෙයක් ඉතා පැහැදිලිව කිව යුතුයි. බටහිර ජර්මනිය කේතුමතියක් වෙන්නේ නාන  කාමර නිසා නම් නෙමෙයි.  නිදහස නිසා. නැගෙනහිර ජර්මනියේ පවත්වාගෙන ගිය  කේජිබි එකේ ගෝලයා වුනු ස්ටාසි ඔත්තු සේවාව නිසා රටම  අපායක්  වෙලා තිබුන සමහරුන්ට. විශේෂයෙන්ම ලේඛකයන්ට, විද්‍යාඥයන්ට අනිකුත් බුද්ධිමතුන්ට.    ස්ටාසි එකට ඔත්තු දුන්නේ නැත්නම් වධ දෙන නිසා. තමන්ගේම යහළුවන් ගැන ඔත්තු දෙන්න බැරි නිසා දිවි  නසාගත් මිනිසුන් හිටිය. මිනිස්සු වෙඩි කාගෙන හරි බටහිරට පැනල ගියේ ආර්ථික සුව පහසුවක් සෙවීමට වඩා නිදහස සොයා .

හැබැයි තවමත් පරණ නැගෙනහිර ජර්මනියට කැමති මිනිසුත් ඉන්නවා. අර ගුඩ්බයි ලෙනින් කියන චිත්‍රපටයේ  කියවෙන්නේ එහෙම  කතාවක්.  කැමති නම් හොයාගෙන බලන්න හොඳ ක්ලැසික් චිත්‍රපටයක්.



අහ්, ලියන්න අමතක වුණා. සවුදි කෙල්ල ගැන කතාවට නම් සම්පුර්ණයෙන්ම එකඟයි. ඒ දෙන පබ්ලිසිටිය දැක්කම සැකත් හිතෙනවා. සම්පුර්ණයෙන්ම අනවශ්‍යයි වගේ.  ඔයාලටත් ජමාල් ඛශෝගී  අමතක වුනාද? නැත්නම් යේමනය.

Wednesday 2 January 2019

නව වසරට කතාවක් - සුභ 2019 නව වසරක් වේවා බ්ලොග් කියවන ලියන ඔබ සැමට

නොයෙකුත් හේතූන් නිසා වසර 2004 අපට හොඳට මතකයි. දේශපාලන කණ්ඩායමක පිපුරුණු බෝම්බයක් නිසා සමහරුන්ට මතකයි.   මට මතක බොක්සින් ඩේ සුනාමිය නිසා. මම හිටියේ ජර්මනියේ  කොබර්ග් නගරයේ. අපි නත්තලට හැම වසරකම වගේ  බිරිඳගේ දෙමාපියන්ගේ නිවසට යන නිසා එදා දෙසැම්බර් 26 දා හිටියෙත් එහෙ. ලන්ඩනයේ ජිවත්වන යාළුවෝ සහ ජර්මනියේ මගේ බිරිඳගේ නෑදෑයෝ එක දිගට කෝල් කරන්න  පටන් ගත්ත.
" ටීවී එක දාන්න "
 "ටීවී එකේ නිව්ස් දාන්න"
"ඔයාගේ ලංකාවේ පවුලට කොහොමද?" වගේ ප්‍රශ්න අහල.   එතකොට තමයි දැන ගත්තේ මුහුද ගොඩ ගලල කියල. දිගින් දිගටම පෙන්නුවේ ගාල්ල ඒ මුල් දවස් කිහිපයේ. මට දිගින් දිගටම කියන්න වුනා අපේ  නෑදෑයෝ හොඳින් ස්තූතියි කියල.  පස්සේ ඉන්දුනීසියාවට වඩා ප්‍රබලව සුනාමිය වැදිලා තියනව කියලත් දැනගත්ත. ලංකාවේ නැගෙනහිර  හා දකුණු වෙරළබඩ පෙදෙස් විනාශ වෙලා.

නිවාඩුවෙන් පස්සේ ලන්ඩනයට ඇවිත් සාගර, ශ්‍රීනාත් , ශාන්ත, මෙන්ඩිස් වැනි  යහළුවෝ කිහිප  දෙනෙක් එක්ක ෂෙයාර් ඇන්ඩ් කෙයාර් කියන පදනම පිහිටුවා ගත්ත. මුලින් අපි බඩු  කන්ටේනර් කිහිපයක් යැව්වා ලංකාවට. දකුණේ සහ නැගෙනහිර පාසැල් දෙකක ළමයින්ට  භාණ්ඩ බෙදල දුන්න.
මොනිකා ශාෆර්- ෆෙහ්ර 

ඉන් පස්සේ මව හෝ පියා අහිමි වුන ළමයි විසි ගණනකට ශිෂ්‍යත්ව දෙන්න පටන් ගත්ත ලංකාවේ දකුණේ  විහාරස්ථානයක තිබුන පදනමක් සමග එකතු වෙලා. මේ කතාවට  පාදක වෙන ජර්මන් ජාතික මහාචාර්ය මොනිකා ශාෆර්ෆෙහ්ර Monika Shaffer-Fehre      හඳුනාගන්නේ මේ වකවානුවේ. ඇයට ලංකාවේ ළමයි දෙන්නෙක් ස්පොන්සර් කරන්න  ඕන වුනා. එයින් පස්සේ අපේ පදනමේ නොයෙකුත් ආධාර එකතු කිරීමේ වැඩ වලට 2004 පටන් පහුගිය අවුරුදු 14 මුළුල්ලේ ඇය සහයෝගය දුන්න.

ඇය රැකියාව කලේ ලෝක ප්‍රසිද්ධ උද්භිද උද්‍යානයක් වන  කිව් ගාඩ්න් එකේ, ඇය ශාක වර්ග ගැන ප්‍රසිද්ධ උපදේශකවරියක්. Flora of Ceylon (ශ්‍රී ලංකාවේ ශාක වර්ග )  කියන පොතේ මූලික සම්පාදකවරිය (එම් ඩී දසනායක හා ක්ලේටන් සමග)  ඇය. තවත් පර්යේෂණාත්මක ලිපි බොහොමයක කතෘ. වරක් ඇය ශ්‍රී ලංකාවට යන අපේ යෙහෙළියක අත අන්වීක්ෂයක් යැව්වා ඉගෙන ගන්න දියණියකට. අද ඒ දියණිය ශ්‍රී ලංකාවෙන් ශිෂ්‍යත්වයක් ලබා  ඇමෙරිකාවට ඉගෙනීමට ගොස් දැන් ලන්ඩනයේ රැකියාව කරනවා කියල දැන ගන්න ලැබුන.
ඇය එවැනි උදව් බොහොමයක් නිහඬව කර තිබෙනවා. ඇගේ එක හීනයක් වුනේ ලංකාවට නැවත යන්න. වැඩ අධික කමක් ඇගේ  සැමියා මිය යාමත් නිසා එය කර ගන්නට නොහැකි වුනා. (සැමියා මයිකල් ශාෆර් නමැති ඉංග්‍රීසි ජාතිකයෙක්. )
ශාන්ත සමග 

දරුවන් සඳහා ඇයගෙන් දිගටම මුදල් ලැබුනත්  ගිය වසරේ  ඔක්තෝබරයේ  සිට ඇයගෙන් මේලයක් ලැබුනේ නැහැ. එනිසා මම ඊමේල් දෙක තුනක්ම යවා  බලා හිටිය. ඇය විශ්‍රාම  ගොස් නිසා කිව් ගාඩ්න් එකට කතා කර  වැඩකුත් නැහැ කියා හිතුව.

පහුගිය සතියේ ඇගෙන් මේලයක් ලැබුන.

ඇයටත් සැමියාටත් ළමයි නැහැ. ඔවුන් ජිවත් වුනේ දකුණු ලන්ඩනයේ සුවපහසු නිවසක. ඔහු මිය ගිය පසුත් ඇය එහි ජිවත් වුනා. පහුගිය ඔක්තෝබරයේ ඇය නිවසේ ඇද වැටී තිබෙනවා. ලන්ඩනයේ  එක දෙයක් වන්නේ බොහෝ විට මෙහි  ජිවත්වන්නන් අනෙක් අයගේ දේවල් සොයා නොබැලීම හා ඇඟිලි නොගැසීම. අනිත් අයට කරන අපහසුතාවයක්  යයි සිතා  එසේ නොකිරීම එකේ හේතුවක්. එසේම අනුන්ගේ  පෞද්ගලිකත්වයට ගරු කිරීම. සමහර වෙලාවට වෙලාවක් නැතිකම.  ඇය මොබයිල් දුරකතනයක් භාවිතා නොකරන්නියක් නිසා  කිසිම සමාජ ජාලයකත්  නැහැ. "ලින්ක්ඩ් ඉන්" රැකියා ජාලයේ  ඇරෙන්න.  මා සමග ඉඳහිට ඊමේල් හුවමාරු කර ගන්නවා පමණයි.

ඉතින්  ඇද වැටුණු තැනින් නැගිට ගැනීමට නොහැකිව ඇය දින  අටක්ම  නොකා නොබී වතුර පොදක් නැතිව බිම වැතිරී ඉඳල. කාටවත් කියන්න විධිහක් වත් නැහැ. දුරකථනයත් ඈත.  අට වන දවසේදී, ඉඳහිට ඇය ස්වාධින සේවයක යෙදෙන ප්‍රොතෙස්තන්ත නිකායක චැරිටි පදනමේ යහළුවන්  දුරකතනයෙන් අමතලා . පිළිතුරක් නැති තැන පොලිසියට දන්වලා. පොලිසියෙන් ලන්ඩන් ඇම්බියුලන්ස් සේවාව සමග ඇවිත් දොර කඩා ඇතුළු වී තිබෙනවා.පොලිසියට පමණක් නොව  වෛද්‍යවරුන්ටත් යෙහෙළියන්ටත් පුදුමයි  වතුර පොදක් නැතිව දින අටක්  එක තැන වැතිරී මේ කුඩා කාන්තාව ජීවිතය රැක  ගැන්මට සටන් කළේ කොහොමද කියා. පොලිසිය බේරා ගන්න කොටත් ඇය හොඳ සිහියෙන්  ඉඳ තිබෙනවා.   අන්වීක්ෂය රැගෙන ලංකාවට ගිය  ඇය දැන  සිටි මගේ යෙහෙළියක් වන ආශා කිවේ ඇය කරන, කළ හොඳ වැඩ හේතුවෙන් කර්මානුකූලව ඇගේ දිවි බේරෙන්නට එය බලපාන්නට ඇත කියායි. කරුණාවන්ත මේ කාන්තාවගේ සිතේ මානසික ශක්තියත්  බලවත් හේතුවක් වන්නට ඇති.

මමත් අපේ පදනමේ අනිත් අධ්‍යක්ෂකවරයා වන ශාන්තත් වහාම  ඇය බලන්න කෑම බීමත් රැගෙන ඇගේ  නව නිවසට ගියා. ඇගේ නව නිවස තිබෙන්නේ  රෝහලක් ඉදිරිපිට. සැමියා සමග දිවි ගෙවූ නිවස විකුණා ඇය මෙහි පදිංචියට ඇවිත්.එහි වැඩිපුර ඉන්නේ මහලු අය . විදුලි සෝපානද  ඇතිව ඉතා පහසුවෙන් නිම කරන ලද්දක්.  මගේ බිරිඳ සාදා දුන ජර්මන් කෑම බීම ඇය ඉතා කැමැත්තෙන් ආහාරයට ගත්ත.

අද 2019 ජනවාරි පළමුවනදා උදයේම මට දුරකථන ඇමතුමක් දී සුභ පැතුවා ඇය.  ඉතින්  මේ  කාරුණික දිරිය කාන්තාවගේ  කතාවත් සමග මගේ බ්ලොග් අවුරුද්ද පටන් ගන්නයි  අදහස.

මෙතෙක් දවස් මෙය කියවන්නට පැමිණි පාඨක  ඔබ සැමටත් බ්ලොග් ලියන  සේම සින්ඩි පවත්වාගෙන යන සැමටත්  වාසනාවන්ත, සෞඛ්‍ය සම්පන්න, මිල මුදලින් මෙන්ම සතුටින් ද පිරුණු  සුභම සුභ 2019 නව වසරකට ආසිරි පතමි.

Saturday 29 December 2018

දැවෙන විහඟුන් සමග දැවුනෙමි

ලන්ඩනයේ දී  "Unseen Pictures london" මගින්   "දැවෙන විහඟුන්"  චිත්‍රපටය ප්‍රදර්ශනය කළා මසකට ඉහතදී. මේ ලඟදී මුහුණු පොතේ එයට හොඳ පාඨක  ප්‍රතිචාරයක් ලැබිල තිබුන. ඒ ප්‍රතිචාරයට එකඟ වෙන ගමන් තවත් යමක් ලියන්න හිතුන.

අනෝමා ජනාදරී (කුසුම්)

පටන් ගත යුත්තෙම ඕන අනෝමා ජනාදරී ගේ විශිෂ්ට රංගනය ගැන කියල.  මෑත කාලයකදී සිංහල හෝ වෙනත් ආසියානුඅප්‍රිකානු  චිත්‍රපටයක නොදැක්ක ප්‍රබලම  රංගනයක්. චිත්‍රපටයේ එක අවස්ථාවක් මගේ මතකයේ තදින්ම රැඳිලා තියනවා. ඒ තමයි මට මතක විධිහට මස් කඩේ මුදලාලි ගෙන් සහ ඔහුගේ පිරිවරෙන් දූෂණය වෙලා ඒ රැකියාවත් නැති වෙලා  කුසුම් නිවසට එනවා රෝහලෙන්. ජිවත් වෙන්න එන්නේ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක. නැන්දම්මා (සැමියාගේ මව) එක්ක කල්පනා කරනවා "ළමයි බඩ ගින්නේ", උන්ට කන්න දෙන්නේ කොහොමද , ජිවත් කරවන්නේ කොහොමද කියල.  ඒ මොහොතේ  දැඩි පීඩාවකින් සිටින කුසුම්, මහළු නැන්දණියගේ   උරහිස හෙමින් අල්ලනව ආදරෙන්. ඉන් පස්සේ දෙන්නම ජනේලෙන් එලිය බලාගෙන ඉන්නවා. අනෝමා ජනාදරී හෙවත් චිත්‍රපටයේ කුසුම් ගේ ඒ බැල්ම, සමාජ අසාධාරණය හමුවේ දරු මල්ලෝ හදන්න වෙර දරන  දහසකුත් එකක් දුක් විඳින මව්වරුන්ගේ ජීවිතය මූර්තිමත් කරනව. එතැනදී  ප්‍රබලයි ඇගේ මුහුණේ ඉරියව් වලින් දැනෙන නිරූපණය ඉතාම ප්‍රබලයි.
සමන්මලී ෆොන්සේකා 

ඊට පස්සේ මම කල්පනා කරා අනෝමාජනාදරී ගේ හා සමන්මලි ෆොන්සේකා ගේ ප්‍රබල හා සිත් කාවදින රංගනයන් සමග  ඒවගේ තව චිත්‍රපට මම බලලා  තියනවද  කියල.

මේ වගේම අයර්ලන්තයේ  කතාවක්  රැගත් චිත්‍රපටයක්  මම බලල තියනවා මතක් වුනා  කාලෙකට ඉහතදී. තාත්ත නැති වුනාට පස්සේ  අම්ම දරු පැටව් රැක ගන්න කරන යුද්ධේ. පොතකින් සිනමාවට නැගුනු නිර්මාණයක්. චිත්‍රපටයට  පාදක වුන පොත ලියල තියෙන්නේ ෆ්‍රෑන්ක් මැකෝට්. ඔහුගේම සත්‍ය ජිවිත කතාව.  කෘතියේ නම "ඇන්ජෙලා ගේ අළු - Angela's Ashes". චිත්‍රපටයේ නමත් ඒකමයි. ඒක ආවේ 1999 දී. අයර්ලන්තය ඉතාමත් දුප්පත් රටක් කාලයකට ඉහතදී. බ්‍රිතාන්‍ය  අධිරාජ්‍යවාදයත් ඒ දුප්පත්කමට බලපෑවා. මේ කතාවේ පියා බේබද්දෙක්. ලැබෙන සල්ලි වලින් ඔහු බොනවා. පියා අන්තිමට අතුරුදහන් වෙනවා. මව ඔහුගේ නෑදෑයෙක් ගාවට ළමයි එක්ක යනවා ගෙදරින් එලවන නිසා. මවට ඒ නෑදෑයා සමග නිදා ගන්න (රමණය කරන්න)  වෙනවා දරුවන්ට ඉන්න, කන්න දෙන්න නම්. ඔවුන් නිතරම ඉන්නේ කුස ගින්නේ.
ලොකු  පුතා ෆ්රැන්කි රැකියාවක් හොයා ගන්නවා. ඔහු දවසක් හිතේ අමාරුවකට බීල එනවා. බීල  ඇවිත් මවත් එක්ක රණ්ඩු  වෙලා මවගේ  කම්මුලට ගහනවා"

මේ වගේ සිද්ධියක්  "දැවෙන විහඟුන්" චිත්‍රපටයෙත්  වෙනවා. බස් කාරයෙක් මවට නරක  විහිළුවක් කරපු කතාව දියණිය අහනවා. එතනදී ඇතිවන දැඩි කතාබහේදී කුසුම් දුවට කම්මුල් පහරක් ගහනවා. කුසුම් කියන මවට ගණිකාවක් වෙලා හරි දරු පැටව් රකිනවා ඇරෙන්න  වෙන කරන්න  දෙයක් නැහැ. සමහර වෙලාවට, ඔව්  සමහර වෙලාවට හිතෙනවා දුව කියපු විධිහට නිදහස් වෙළඳ කලාපෙට වැඩ කරන්න  ඇරියනම් මොකද කියල? නමුත් හැම අහිංසක දෙමාපියෙක් ගේම බලාපොරොත්තුව තමන්ගේ ළමයින්ට කොහොම හරි කරලා උගන්වන්න. නිදහස් කලාපේ රැකියාවකට යනවට වඩා. ඒත් මම නම් අහල තියෙන්නේ උසස් පෙළ කරලත්  ඒ රැකියාවලට යන අය ඉන්නවා කියල. යථාර්ථය ඒකනේ. මේවැනි  රැකියා පහත්  කරලා පිළිගන්න මනෝ  භාවය නම් නැති කරන්නම ඕන දෙයක්.

ඔය චිත්‍රපට දෙක සංසන්දනය කලහම මට හිතුනේ Angela's Ashes චිතපටයේ එමිලි වොට්සන් හා සමානවම ප්‍රතිභාපූර්ණ රංගනයක් අනෝමා ජනාදරී ඉදිරිපත් කරනවා කියල.
අනෝමා දැවෙන විහඟුන් හි 

එමිලි වොට්සන් "ඇන්ජෙලා ගේ අළු " චිත්‍රපටයේ 

බ්‍රිතාන්‍යය හෝ ජර්මනිය වගේ දියුණු ධනවාදී සමාජයක නම් මවක් ගණිකා වෘත්තියේ යෙදිලා මුදල්  හම්බ කරලා ළමයින්ට කන්න දෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒ රටවල් ඇත්තටම   එහෙම කරන්න  අවශ්‍යතාවයකුත්   නැහැ. රැකියාවක් නැත්නම් රජයෙන් සහනාධාරයක් සහ ඉන්න ගෙයක් ලබා  දෙනවා. ගෙයින් එළවල දාන්නෙත් නැහැ. එනිසා කුසුමට අත්වුණු ඉරණම අත්වෙන්නෙත් නැහැ. අනික ගෙවල් වල කුණු එකතු කරණ රැකියාව  උනත් පහත්  එකක් නෙමේ මේ වගේ රටවල. ඒවගේ රැකියා වලටත් සෑහෙන ඉල්ලීමක් තියනව මේ රටවල.
මහේන්ද්‍ර පෙරේරා 

    මස් කඩේ මුදලාලිගේ (මහේන්ද්‍ර පෙරේරා මම හිතන්නේ) රංගනයත් අපූරුයි. හැම රටකම මස් කඩ මුදලාලිලා ඔය වගේද මන්ද? සුරුට්ටුවක් ගහගෙන කොකුවල එල්ලලා තියන මස් ගොඩවල් අස්සේ ගැවසෙන මස් කඩ  අයිතිකාරයෝ මම මේ වගේ රටවලත් දැකල තියනව. ඇත්තටම කියනවානම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා හැම නළු නිළියෙක්ගෙන්ම උපරිම ප්‍රයෝජනය අරන් තියනවා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙලාවක හරියට සියුම් කැටයම් දන්නා වඩුවෙක් වගේ. තව වෙලාවක දක්ෂ ගුරුවරයෙක් වගේ. ලීය කැටයම් වලින් ඔප නංවල ලස්සන කරලා ගන්න වඩු මහතාට  පුළුවන්. දක්ෂ ගුරුවරයෙකුට  සිසුවෙකුගේ හැකියාවන්  හඳුනගෙන සිසුවා දක්ෂයෙක් කරන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සංජිව පුෂ්පකුමාරට  ඒ හැකියාව තිබෙනවා.

මේ චිත්‍රපටය නිකම්  වාර්තාවක් වගේ කියල කෙනෙක් කියනවා ඇහුන මට. මටනම් ඇත්තටම එහෙම හිතෙන්නේ නැහැ. ඒ අදහසම මගේ   "සියාමා" කෘතිය ගැනත් කියනව. ඒ කියන්නේ මෙවැනි සිද්ධීන් තියනවා, ලෝකේ වෙනවා. අපි ඒවා මේ  වගේ පෙන්වන්න ඕනෙද නැත්නම් ලියන්න ඕනෙද කියල. එහෙම  නැත්නම් ඒකට  සින්දුවක්, කලාත්මක විස්තරයක් බලෙන් දාල ඔප මට්ටම් කරලා භාෂා සෙල්ලමක්, කලා සෙල්ලමක් දාල  ගත  සිත පිනවන්න ඉදිරිපත් කරනවද? මම හිතන්නේ මේ වගේ චිත්‍රපට බිහි වෙන්නෙ ගත සිත පිනවන්නම  නෙමේ. පොප්කෝන් කාල හිනා වේගෙන ශා මරුනේ කියල සිනමාහලෙන් එලියට එන්න හදන චිත්‍රපට  වෙනම  තියනව. ස්ටාර් වෝර්ස් හරි බ්‍රැඩ් පිට් ගේ මිස්ට ඇන්ඩ්  මිසිස් හරි බැලුවහම ඒ මනදොල සපුරගන්න පුළුවන්.

මේ චිත්‍රපටය 88-89 බිහිසුණු වකවානුව තුල දිවි අහිමි කළ පියෙකුගේ පවුලක් වටා ගෙතෙන්නක්. එහෙම ඒවා ගොඩක් වුනාය කියල ඒ ගැන නොඅසපු කතාවක් තියෙන්න බැරිද? දෙවන ලෝකය යුද්ධය ගැන තවම කතා ගොතනවා. සිනමා පට නිපදවෙනවා. ප්‍රයිවෙට් රයන් වගේ ඒවා බලන්න. ඕනෑම ඓතිහාසික සිද්ධියක, යුද සමයක නොකියවුණු නොලියවුණු කතා දහස් ගණන් ඇති. එයින් එකක් අරගෙන අධ්‍යක්ෂක   වරයෙක් උත්සාහ දරනවා ඒක ලෝකයට කියන්න. ඒ වෑයම ඒ දහිරිය අගය කළ යුතු දෙයක් හැටියටයි  මට හැඟෙන්නේ.

   මම චිත්‍රපට විචාර ලිපි කිහිපයකම   කියෙව්වා, සිංහල සිනමාව අගාධයකට වැටිලා කියල. මට නම් එහෙම පෙනෙන්නේ නැහැ.   පහුගිය කාලේ  සංවිධාන කිහිපයක් නිසාම හොඳ සිංහල චිත්‍රපට කිහිපයක්ම ලන්ඩනයේදී නරඹන්න වාසනාව ලැබුන. බොරදිය පොකුණ, දැකල පුරුදු කෙනෙක්, සුළඟ එනු පිණිස, ඔබ නැතිව ඔබ එක්ක, ගුරු ගීතය,  ඇගේ ඇස අග, 28,  සුළඟ අප රැගෙන යාවි , උසාවිය නිහඬයි වැනි හොඳ චිත්‍රපට 2016 ඉඳන්ම  ඇවිත් තියනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒවා පෙන්වන්න චිත්‍රපට පෝලිමේ සිටින්නට සිදුවීම මිසක් චිත්‍රපට හදන්නේ නැතිකම නෙමෙයි. විශාල  මුදලක් වැය කරලා සිනමා පටයක් නිර්මාණය කරලා රජයේ කවුද නිලධාරී ගොන්නක් සිනමා හලක් දෙනතුරු අවුරුදු  ගණන් ඉන්න ඕනේ . ප්‍රශ්නය  තියෙන්නේ එතැන මිසක් සිංහල සිනමාවේ නෙමේ.

ඉතින් සිනමා කෘතිය ගෙනත් පෙන්වීම ගැන "නුවන් ජේ, සන්ජේ දලුගොඩ" චිත්‍රපට ඔස්තාර්ල දෙදෙනාට ස්තූතියි. එසේම  සංජය පුෂ්ප  කුමාර මහතාට  තවත් මෙවැනි සිනමා කෘති නිර්මාණය කරන්න අවකාශයක් ලැබෙනවා නම් අගෙයි.
  

Friday 28 December 2018

නවකතාවක ගැටළු - "සියාමා" එළි දැක්වීමේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් කළ කතාව - 2, 3

නවකතාවක ගැටළු - "සියාමා"  එළි දැක්වීමේ දී  දීප්ති කුමාර ගුණරත්න විසින් කල කතාව -  1
දීප්ති කුමාර ගුණරත්න 


2 කොටස

පොතෙන් උපුටා ගැනීම

“එහෙත් අප සැම අත්විදිමින් ඉන්නා පොදු ඛේදයක්  අප හමුවේ නිරාවරණය කරන්නකි. දක්ෂ කතන්දරකරුවෙකු  ලෙස අජිත් ගොඩ නගන මෙම නවකථාව සියලු අන්තවාදයන් පිළිකෙව් කරන්නට පාඨක සිත් අවධිකරයි. 
               
                අපි ගත්තොත් නවකථාව පිළිබඳව මූලික නීති රීති සහ  න්‍යායට අනුව මේ නවකතාව වර්ගීකරණය කරලා නැහැ. දැන් ලංකාවේ මේ වෙලාවේ මේ  විචාරකයෝ කවුරුත් මේවා කරන්නේ නැහැ. කවුරුත් මේවා මේ වෙලාවේ කරන්නේවත් නැ. ඒ නිසා අපි හිතනවා දැන් යන විදිය හරියි කියලා. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්.   
මම දේශපාලනයට එන 80 ගණන් වලදී ඒ වෙලාවේ මතුවෙච්ච ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය තමයි පවුල ගතානුගතිකයි, රැඩිකල් නොවීම. ප්‍රඡාතන්ත්‍රවාදය සවුත්තු වීගෙන යනවා. මේක මීට වඩා රැඩිකල් වෙන්න ඕනි කියලා. බොහෝ පැරණි රාජ්‍ය ය, පවුල , ලිංගිකත්වය මේවා රැඩිකල් වෙන්න ඕනි කියන එක තමයි 80 දශකයේ මතු වුණු දේ.

            දැන් ඇවිත්  පවුල, රාජ්‍ය නැවත Restore නැතිනම් ප්‍රතිෂ්ඨාපනය කරන්න කියන තැනට ඉල්ලීම් ඇවිත්, නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න පවුල, නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න සමාජය, නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න රාජ්‍යය  කියන තැනට ඇවිත්. ඒකයි මං කියන්නේ දයලෙක්තිකව අපි මේ චේන්ජ් එක තේරුම් ගත යුතුයි.

මම මේ දැන් කරන්නේ නව කතාව කියන Structure එක මොකක්ද, ඒක analyse කරන්නේ කොහොමද, ඒවට අපි යටත් වෙන්න ඕනිද සන්නස්ගල වගේ පිස්සො කියන කතා වලට, මේ කාලේ. ගොඩක් අය බයයි මේව එළිපිට කියන්න. මේවා මම හොයලා බලලා කියන්නේ. අපි මේවා කිව්වේ නැත්නම් නිවට වෙනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරු නිහඬයි.  යන්න කොළඹ විශ්ව විද්‍යාලය ඉස්සරහ පාරට. පර්මීට් වලට ගත්තු තඩි වාහන කොච්චර තියෙනවද කියල බලන්න. ඒ වාහන වලින් මොනවද අපිට ගම්‍ය කරන්නේ? කිසිම Study එකක් නැති වාහන ආතල් ටිකක් එතන තියෙනවා කියලා. ඉතිං ඒ මිනිස්සු කොහොමද නවකතාවල් සම්බන්ධයෙන් න්‍යායන් හදන්නෙ මේ වගේ පාදඩයොත් එක්ක. බෑ බයයි.
  
අපි ඔන්න ඔය දේවල් තේරුම් ගන්න ඕනේ. කලබල වෙන්න ඕනේ නැහැ මං කියන්නේ. අපි මේවා කතා කරලයි නවකතාවට එන්න ඕනි. අපි මේක හරියට කිව්වේ නැත්නම් අපි ආත්ම වංචනිකයෝ. මම කිව්වේ මූලික වශයෙන් ඒ වෙනස .
Mia Farrow

මම තව උදාහරණයක් කියන්නම්. ඇමරිකානු සිනමා අධ්‍යක්ෂ වූඩි ඇලන් සහ මියා ෆරෝව් අතර සම්බන්ධයක් තිබුණා. එක් අවස්ථාවක මියා ෆරොව් වූඩි ඇලන් ගැන ලොකු විවේචනයක් කරලා එයාව අත හැරලා දානවා. එතනදි ඇමරිකානු මාධ්‍ය ගත්තේ මියා ෆරොව් ගේ පැත්ත නෙමේ  වූඩි ඇලන්ගේ පැත්ත. ඇමරිකානු  මාධ්‍ය කිව්වේ "කරුණාකර ඔබලාගේ පෞද්ගලික ප්‍රශ්න ගෙදරදී බලා ගන්න. එය සිනමාවට සම්බන්ධ නැහැ."
Woody Allen

 අපේ රටේ නම් ඒ සිද්ධිය වෙන්නේ අනිත් පැත්තට. අශෝක හඳගමගෙයි, අනෝමා ජනාදරීගෙයි ප්‍රශ්නේ අපේ පත්තරකාරයෝ උඩගෙඩි දුන්නේ අනෝමට. මෙන්න මේක තමයි වෙනස. අනෝමා ජනාදරීව හොයාගෙන ගිහින් අහනවා අරයගෙ පුරුෂ ශක්තිය හෙම කොහොමද කියල. ඉන්පස්සෙ ඉතින් අනෝමාත් ඇරලා දානවා දිගට හරහට. ඒවා පල  කරන්නේ මහා බෞද්ධයෙක් වන සිරි රණසිංහ. තක්කඩියා. ඒවා තමයි අපේ දරුවන්ට ඉන් පස්සේ යන්නේ. අපේ රටට  මුග්ධකම දෛනිකව දෙන ජඩයා මං කියන්නේ. ඒ යක්කු මැරෙන්නෙත් නැහැ. ලංකාවේ හොඳ හදවතක් තියෙන සංවේදී මිනිස්සු ඉක්මනින් මැරෙනවා. සේකර වගේ කෙනෙකු ඉක්මනින් මැරුණා. මෙයාලා අවුරුදු 150 ක් විතර ජීවත් වෙනවා. රට ඉවරයි මං කියන්නේ. ඒ ගොල්ලො තමයි දවසින් දවස, ලංකාව ව්‍යුහගත කරන්නේ. උදේට මොනවාද වෙන්නේ , දවල්ට මොනවද වෙන්නේ කියලා. ඒවා ව්‍යුහගත කරන්නේ මේ තක්කඩි රැළ. මේවා කිව්වම මාත් එක්ක තරහ වෙනවා. මේවා මෙවැනි සංවාද වලට හොඳ  නැහැ කියල, ගෙන්නනත් හොඳ නැහැ කියල හිතනවා. නමුත් මේවා  ඇත්ත.

             අපි බලමු මීළඟට  සියාමා සහ අපේ මේ කතා වස්තුවේ තියෙන ප්‍රධාන ටර්න්  එක. ඔබට පැහැදිලි ඇති නවකතාව සම්බන්ධයෙන්  විචාරයක් කරනවා නම් මූළික ගැටුම තමයි ආකෘතිවාදය සහ සදාචාරය. ඒ කියන්නේ form එක. මේ ෆෝම් එක සියාමා ගත්තත්, "රළ" ගත්තත් දෙකේම ආකෘතියේ තියෙනවා සමානාත්මතාවයක්. හැබැයි රළ නවකතාවට  වඩා සියාමා කියන නව කථාවේ සදාචාර පණිවිඩයක් තියනවා. අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි මොකක්ද ඒ  සදාචාරය?

             එහි සදාචාරත්මක පණිවිඩය කියන දේ ගැන කාට හරි කතාකරන්න ඕන නම් කල්පනා කරන්න ඕන නම් කතා කරන්න  පුළුවන් නමුත් වෙලා නැහැ. මොකද මටත් තියෙන්නේ අර කිව්ව වගේම වෙලාවක්නෙ. ග්‍රැහැම් ග්‍රීන් ගේ සාහිත්‍ය විචාර රචනා , ඒක මහාචාර්ය සුරවීර පරිවර්තනය කරලා තියෙන්නෙ. ඇත්තම කියනවා නම් ලංකාවේ නවකතා විචාරය කළයුතු, අධ්‍යනය කළ යුතු සියලුම න්‍යායන් සහිත පොත් ටික පිළිවෙලට තියෙනවා. ඔය පහුගිය කාලේ කතා කරපු  කිසි කෙනෙක්  ඒවා බලන්නේ නැහැ. මම දැක්කා පහුගිය කාලේ ටෙනිසන් පෙරේරා මහතා ලොකු විවේචනයක් විචාරයක් පලකරලා තියෙනවා. මේ කාලේ පළවෙන  නවකතා පුද්ගලික අත්දැකීම් කියලා. එයාට තේරෙන්නේ නැහැ. එයා ඒක කිව්වේ මොකටද? "අප්පච්චි ඇවිත්" කියන නවකතාවට. "අප්පච්චි ඇවිත්" කියන නවකථාව කියවලා කියනවා මේකේ තියෙන්නේ  පුද්ගලික අත්දැකීමක් කියල. දැන් මෙයා මේ නවල් ගැන තියෙන තියරිය එක දන්නේ නැහැ. 

අපි ගමු "ඇනා කැරනිනා" නැතිනම් "යුද්ධය හා සාමය", දැන් මේවා  ඇතුලේ තියෙන්නේ මොකක්ද? පුද්ගලයන්ගේ ආත්මීය කාරණා ටික. ඒ ඒ දේවල් වලට මුහුණ දෙත්දි තියෙන ආත්මීය කාරණාටික. අපි කීවොත් එහෙම ඇයි  "දුහුළු මලක්" චිත්‍රපටියට වඩා විශිෂ්ඨ නිර්මාණයක්  ලෙස "හංසවිලක්"  ගන්නේ කියල. දෙකේම තියෙන්නේ එකම විවාහය හා  විකල්ප සම්බන්ධයක් අතර තියන ප්‍රශ්නය. හැබැයි ඇයි එකක් අනිත් එකට වඩා විශිෂ්ඨයි කියන්නේ. දෙවැන්න සදාචාරවාදය.. හංසවිලක් සාදාචාරවාදීයි. ඒ තුළ ආකෘතිය විතරයි තියෙන්නේ. ඒකෙන් කියන්නේ අරකත් නෙවී , මේකත් නෙවී කියලා. "දුහුළු මලක්" හිදි කියන්නේ "ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ" කියන නන්දා මාලනිගේ ලස්සන සිංදුව කියලා නැවත කසාදේ අස්සට යනවා.

            එතකොට අපි රළ සහ සියාමා නව කතාව දෙක සන්සන්දනය කරන කොට සියාමා එකේ තියෙන Love story එකේ තියෙන මූලික  ප්‍රශ්නෙ තමයි, අපි ටිකක කල්පනා කරලා කියන්න ඕනේ. අපි හිතමු මෙහෙම, භක්ති කියන විචාරකයා කියන දෙයක් තමයි නවකථාවට විවිධ අයගේ හඬ  තියෙන්න ඕනි. එක්කෙනෙක් ගේ හඬ  විතරක් නොවෙයි.නවකතාවක විවිධ චරිත දේවල් කතා කරන්න ඕනි. බොහෝ දෙනාගේ කථිකා හඬ අප ඇසිය යුතුයි. දැන් සියාමා එකේ ගැටලුවක් නෙමෙයි  සියාමා එකේ තියෙන්නේ ඇත්තටම,  කොහොමද පිරිමියෙක් ෆැන්ටසයිස් කරන්නේ තමා කැමති ගැහැණියව? ඒකට සම්බන්ධ වෙනවා කියලා අපි හිතනවා යම්කිසි ඉන්  බාහිර දෙයක්. ඒ තමයි අර අන්තවාදය. නමුත් අපි කල්පනාවෙන් මේ නව කතාවේ ආත්මීය  පැත්ත බලනවා නම් නවකතාවේ වැඩිපුර තියෙන්නේ  ජාතිය පැත්ත. ඒකේ නැහැ විසදුම්.  සමහර කතාවල විසඳුම් දෙන්න යනවනේ.

            එතකොට මේ නවකතාවේ මූලිකම වැදගත්ම දේ තමයි එක තැනක තියෙනවා  සියාමා කියනවා අර පිරිමි  චරිතෙට. "අපි දෙන්නා ටිකක් ආශ්‍රයක්  කරගෙන යනවා."  නමුත් ඒක ‘’නම්කරන්න එපා. මේකට යන්න දෙන්න ඔහේ. ඒකට දෙන්න එපා ආකෘතියක්. මේක කියන්නත්  එපා කාටවත්. ..... මම හිතන්නේ මේ නව කතාවේ මතු කරගන්නම තිබුණු තැනක් අවස්ථාවක්. නමුත් ඒක එච්චර එළියට ආවේ නැ. ඉන්පස්සේ යටපත් වෙලා, වෙන වෙන පැතිවලට යනවා. ඉස්සරහට නවකතාවක බීජය සංවර්ධනය කරනවා නම් ඔන්න ඔය දේ වැදගත්. 


3 කොටස

ඔන්න NGO එකක් තියනවා. ඒකෙ පිරිමියෙක් තමයි ප්‍රධානියා. වැඩ කරන ලස්සන තරුණියෝ ඉන්නවා. එක තරුණියක් කැමතියි මේ හොඳ, ගුණ ගරුක, දේශපාලන වශයෙන් ඉතා සංවේදී හිත හොඳ නායක පිරිමියාට. අග්නිදිග ආසියාවටම මානව හිමිකම් බෙදා හරින පිරිමියෙක්. ඉතින් ඔහු  දෙසට  ඇය හැරෙනවා. ඇය හැරිලා අහනවා" මම නම් ඔබට පණවගේ ආදරෙයි. ඔබ මට ආදරේද?". එතකොට අපේ  කකුල් වෙව්ලන්න පටන් ගන්නවා. සට සට ගාල.  මොකද එයා ඒ වගේ පිරිමියෙක් කියන්නේ බොහෝ විට OBSESSIONAL.  

LOVE  එකේ තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි LOVE එකේ වස්තුව ලබා ගත නොහැකි වීම. දැන් ඒ කියන්නේ TITANIC  වගේ. මේ සියාමා නව කතාවේ ඒක තියෙනවා. මෙතන ඉන්න මේ සාර්ථක විවාහ ගත කරන අය ඉන්නවනේ. සාමාන්‍යයයෙන්  රේඩියෝ වැඩ සටහන් වලට ගියාම අහනවා 
"ඔබගේ විවාහ ජීවිතය සාර්ථකද?" වැනි දේවල්. 
"ඔව් අති සාර්ථකයි "කියල අපි උත්තර දෙනවා. 
එවිට නිවේදකයා කියනවා "අපිට තේරුණා ඔබ සාර්ථකයි"කියලා. ඒ වෙන දෙයක් නොවෙයි. සාර්ථකයි කියන්නේ නීරසයි කියන එක. ආදරේ කියන්නේ ලැබෙන්නේ නැති වස්තුවකට. ලැබෙන්න බෑ . FAIL වෙනවා කියන එක. ඒ FAIL විල්ල මේකේ තියෙනවා. මේ FAIL විල්ල පොඩ්ඩක් අවුල් වෙලා තියනවා හොස්පිටල් එකක් ඇතුලේ. සාමාන්‍යයෙන් හොද LOVE එකක් HOSPITAL වලට යන්න හොඳ නෑ කියල මම කියන්නෙ. ඒක පොඩ්ඩක් ඊට මෙහායින් වුණා නම් අර මොකක් හරි මල්වත්තක වගෙ වුණා නම් හොඳයි. මම ඒකයි කියන්නේ .  අජිත්ට මේ ප්‍රශ්නය එන්නේ බ්ලොග් වල ලියන එක. මේක එහෙම එකක් නෙවී (වෙනත් පොතක් පෙන්වමින් ). ටිකක් වාඩි වෙලා හුඟක් වෙලා ලියපු එකක්. ඉක්මනින් බිත්තර දානවා වගේ ලියපු එකක් නෙමේ. අජිත්ටත් පුළුවන්නේ ලියන්න. අජිත්ගේ නවකතාවේ වස්තුබීජය ඉතාම හොදයි. හැබැයි මේක සවුත්තු වෙනවා හයියෙන් ලියන්න ගිහින්. දැන් මේ වගෙ හයියෙන් ලියන අය ඉන්නවා විශාල ප්‍රමාණයක්. අපේ සමන් කුමාර එහෙම ලියන්නේ අත් දෙකෙන්. අත් දෙකෙන් නවකතා දෙකක් ලියනවා. 

            පහුගිය කාලේ හුගාක් අය මගෙන් ඇහුවා ඔයා ඇයි න්‍යායික කෘතියක් ඉදිරිපත් නොකරන්නේ කියලත්, වෙලා නැහැ. එහෙම දඩ බඩ ගාලා ලියන්න ගියොත් මොකද වෙන්නේ.  ලියන්න බැහැ. 
           
මේ වගෙ වස්තු බීජයක්  තව ටිකක් මෝරන්න දීලා, තවත් අය එක්ක සාකච්ඡාවට බඳුන්  කළා නම් වඩා හොදයි කියලයි මම කියන්නේ. ඒක වෙලා නෑ. මම ඊළඟට කියන්න ගියේ සාමාන්‍යයෙන් OBSESSIONAL ඒ කියන්නේ ග්‍රස්ථික නියුරෝසිකයන්  ට වැටෙන ගැහැණු පිරිමි  structure දෙක ඔය දෙක. අනික පර්වර්ට් අය. පර්වර්ට් අය මෙතැනට එන්නේ නැහැ. මම එනවා කිව්වම ඩ්‍රැකියුලා ආව වගේ තමයි උදාහරණකෙට සන්නස්ගලල වගේ අය  එන්නේ නැහැ කවදාවත්. ඒ ඩ්‍රැකියුලා සූර්යා දැක්කම පිච්චෙනවානෙ. ඒ වගේ පර්වර්ට් අය ඒ කියන්නේ සරලව අනෙකාගෙ විනෝදය රඟ දක්වන එක කරන අය. ඒ සඳහා උදාහරණයක් ගමු හිට්ලර් ව. හිට්ලර් ජර්මන්  ජාතියේ විනෝදය දන්නවා එයා. ජර්මන් ජාතියේ විනෝදය කුමක්ද? ජර්මන් ජාතිය කියන්නේ මොකක්ද ? පාරිශුද්ධ ජාතියක්. වෙන කිසිම ජාතියක් මිශ්‍රවී නොමැති ශුද්ධ වූ ජාතියක්. ප්‍රශ්න නැති ජාතියක්. ධනවාදය නැමැති නරක දෙයක් ඇවිත් ජර්මන් ජාතියව විනාශ කරනවා. ඒ නිසා මේ ධනවාදය කියන එකේ ප්‍රතිවිරෝධතා නැතිව නියම පරමාදර්ශි ධනවාදයක් ජර්මනියේ හදන්න. මොකද දැන් ඒක කරන්න ගියාම සිද්ධ වුනේ. අනුන්ගේ විනෝදය තමන් දන්නවාද?   දැන් අපි මෙහෙම කියමු.

 දැන් කවුරුහරි පර්වර්ට් කෙනෙක් එනවා මං  ළඟට. එයා ඇවිත් කියනවා 
"මම ඔයාගේ කණ සූප්පු කරන්න කැමතියි"
කියලා. මම අහනවා,
"ඔයා කොහොමද දන්නේ මගේ කණ සූප්පු කරන්න? ඇයි මොකටද මගේ කණ සූප්පු කරන්නේ"
කියලා. 
එයා කියනවා 
"මම දන්නවා ඒක" කියලා. මම නැවත අහනවා, 
"ඔයා කොහොමද ඒක දන්නේ" කියලා. 
එතකොට එයා කියනවා 
"මම දන්න නිසාම නොවෙයි ඔයාගේ මූණ දිහා බැලුවම මට  හිතෙනවා ඔයාට කණ සූප්පු කරගන්න  ඕනේ කියල වගේ ." කියලා.

දැන් අපේ සමහරු ඉන්නවා කණ දෙනවා. දැන් මගේ විනෝදය මාත් එක්කනේ, මමනේ තීන්දු කරන්න ඕන. නමුත් ඒක එයා තීන්දු  කරන්නේ. ඔන්න ඕකයි පර්වර්ට් කියන්නේ. ඔන්න ඔය pervert අයගෙන් තමයි දැන්  අද ලංකාවේ දේශපාලනඥයෝ, කලාකාරයෝ කියන අය, කෙටිනාට්‍ය කාරයෝ, අර  නාට්‍ය මේ නාට්‍ය  වර්ග පිරිලා තියෙන්නෙ. ඒ අය ඇවිත් කියන්නේ  ඒකනේ, 
"ඔබගේ විනෝදය මම දන්නවා".

 මේ සියාමා කෘතියට අපේ වාසනාවට ඒවා ඇවිත් නැහැ. මේ පොතේ කියනවා ඔබගේ ආශාව මම දන්නේ නැහැ කියලා. සියාමා ගේ ආශාව දන්නේ නැහැ පෙම්වතා. පෙම්වතාගේ ආශාව ඒ දෙන්නම දන්නේ නැහැ. ඒ නිසා තමයි මේක ආදර කතාවක් වෙන්නෙ. අපි ඒක තේරුම්ගන්න ඕනි.

            මේ වගේ කාලෙක ආදර කතාවක් ලියන්න පුළුවන් වීම  හරි වැදගත්. ඒ ඇයි? මේ කාලේ කවුරුත් ආදරේ විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු හැමෝම අනික් කෙනා ගැන අවිශ්වාසයෙන් ඉන්නෙ. එතකොට ආදරේ කරන්න බෑනේ. ආදරේ කරන හැටි මේකෙත් තියෙනවා. හම්බුවුණා, ටක් ගාල ආදරෙයි කිව්වා, ෆේස් බුක් එකට ගිහිල්ල ප්‍රොෆයිල් එක චෙක් කළා. ආ මෙයා කොහෙද ඉන්නේ , මෙයා මෙහමයි වගේ. ඒවා හොයන්න ගියොත් ආදරේ කරන්න බැහැනෙ. මම හැබැයි මේ කතාව බලත්දි එක දෙයක් හිතුවා. අනිවාර්යයෙන්ම වෙයි කියල. එහෙම වුනේ නැහැ. මම හිතුව අන්තිම හරියේ ,  සියාමා කියයි කියලා 
"මම අද ඔයාට මේ දුක් වේදනා ටිකක්  කිව්වේ බොරුවක්, ඔයාගේ අවධානය යොමු කර ගන්න." එහෙම වුණානම් මේ කතාව රෝමියෝ ජුලියට් වගේ වෙනවා.

            මම කියන්නේ නන්දනල කැමති වෙන එකක් නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මේකේ තියෙන දේවල් ඔක්කොම වෙන්න ඕනේ. මේකේ කියනවානේ එයාට වෙච්ච විශාල අකරතැබ්බ ගොඩක්, මාව දූෂණය කරපු හැටි, මගේ පවුල විනාශ කරපු හැටි, කොච්චර මම තාත්තට ආදරය කළාද ඒ තත්ත්ව  මෙච්චර  විනාශ කලා. ඔන්න ඔහොම ඔහොම  ඇවිල්ල ආයිමත් කිව්වා නම්,
"ඔබේ ආදරය දිනා ගැනීමට සඳහා  මා කළ බොරුවක් මේය" කියලා.
 මම හිතන්නේ,  ලෝකෙ ගොඩක් දේවල් හා දේශපාලන ව්‍යාපාර වෙනස් වෙනවා.  මොකද බොහෝ දෙනා දේශපාලනය  කරනවා කියා කරන්නේ බොරු. ඒ බොරුවට ගහන්න තිබ්බෙ මේකෙන්.

 චිත්‍රපටියත් තිබ්බා The leader කියලා. ඒකේ ඒ චරිතය මැරුම් කනවා. ඒක කියන්නේ නැහැ. ඒ නිසා එයා ලියපු ඒ Art work  එක ග්‍රේට් එකක්. එතකොට අපි තේරුම්ගත යුතු දේ තමයි ඔන්න ඔය ආදරයේ මූළික structure එක මේ සියාමා තුළ තියෙනවා.

            ලෝකේ තියෙන ශේෂ්ඨතම ආදර නව කතාවල තියෙන ලක්ෂණය තමයි ඒ දෙන්නා එකතු වෙන්නේ නැහැ. වෙන් වෙනවා. ඉතිං ඒක මේකෙ තියෙනවා. මොකක්ද එහෙනම් තියෙන ගැටළුව. ගැටළුව තමයි මම කිව්ව මේ කතාවේ අන්තර්ගතය ගොතනකොට ඉල්ලා සිටින කාලය ලැබිලා නෑ. ඒ නිසා හයියෙන් ලියලා දාලා. ඉතාම  ප්‍රවේගකාරී ලෙස ලියලා දාලා තියෙනවා. මම හිතන්නේ ඒකම තියෙනවා අප්පච්චි ඇවිත් නව කතාවත් අධික වේගයෙන් ලියලා දාන්නෙ.

මෙන්න මේකත් තියෙනවා මේ කාලේ සමාජ වැඩ කරන අයට ඇතිවන ආතතියත් ඒක.  මේක ඉක්මනින් කළේ නැත්නම් ඔබ අසාර්ථක වනු ඇත.  මේ පොත ඉක්මනින් නොලියා ඔබ බදාදට මියගියහොත්  ඒ නිසා මම ටග් ගාලා අඟහරුවාදාට පොත ලියනවා.  මේ කාලේ අපි හැමෝම බියක් තියෙනවා අපි අසාර්ථක වෙයි දෝ කියලා. ඒ නිසා ඉක්මනින් ඉක්මනින් දේවල් කරනවා. ඒවා මේ නව කතාවේ දියුණු කරගත යුතු තැන්  අජිත්ට තියනවා. මේ නව කතාවේ කියන්න ඕන දේවල් තියෙනවා.  මේවා විචාර කලාවේ හුඟක් අය කියන්න ඕන දේවල්.
නමුත් ඒවා කියන්නේ නැහැ.  හරි තව ටිකක් තියනවා කියන්න.. නමුත් මේ ඇති.බොහොම ස්තූතියි.

~~දීප්ති කුමාර ගුණරත්න 

Tuesday 25 December 2018

නවකතාවක ගැටළු - "සියාමා" එළි දැක්වීමේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් කල කතාව - 1


දීප්ති ගුණරත්න 
දීප්ති සමග චතුරිකා සිරිසේන ගේ සම්බන්ධය ගැන මා දන්නේ නැත. ඇතැමුන් කියන්නේ ඔහු ඔවුන්ගේ මාධ්‍ය  ජාලයක උපදේශක බවයි. එසේම ඔහු ඇය ලිවූ "ජනාධිපති තාත්තා " කෘතිය එළි දක්වන දින දේශනයක්ද කළේය. ජනාධිපති සිරිසේන මහතා බොහෝ යුඇන්පී හා ජවිපෙ පාක්ෂිකයන්ගේ ද මධ්‍යස්ත ජනයා ගේද වෛරයකට භාජනය වී ඇති අවස්ථාවක දිප්තිටද මේ පිළිබඳව  චෝදනා එල්ල වනු පෙනේ.දීප්ති මුලදී මංගල සමරවීර මහතා හරහා  "මාවත" සඟරාවේ වැඩ කල බවත් ඔහු හා රුවන් ෆර්ඩිනන්ඩ් මහතා අතර තිබූ හෝ තිබෙන මිත්‍රත්වයත් නොරහසකි.

"සියාමා" පොත එලි දැක්වීමේදී  මම ඔහුට ආරාධනා කළේ ඉහත කී කිසිදු කරුණක් නිසා නොවේ.  හයිඩගර්  නැමැති  ජර්මානු දාර්ශනිකයාට  නාසිවාදයට සහයෝගය දැක්වූ අයෙක් හැටියට චෝදනාවක් තිබේ. එම චෝදනාවේ  තරමක් දුරට සත්‍යභාවයක් තිබේ. නමුත් ඔහු කලාව ගැන පලකළ අදහස් හෝ ප්‍රපන්චවේදය සහ සන්දෘෂ්ටිකවාදය (ෆෙනමෙනලොජි සහ එක්සිටෙන්ෂලිස්ම්   phenomenology and existentialism, ) ගැන ඉදිරිපත් කළ ආඛ්‍යාන  අදටත් භාවිතාවේ.

  මනෝ විශ්ලේෂණය පිළිබඳව විෂය දැනුමක් ලෙස වඩාත් පිළිගත හැකි ආකාරයකට ලංකාවේ මුලින්ම ඉදිරිපත් කළේ දීප්ති කුමාර ගුණරත්න බව මගේ හැඟීමයි. මුලින් සිටි කණ්ඩායමේ සිට බෙදීම දක්වා වූ කාලය තුල හිස්ටීරියාව , ඇසිඩ් වැස්ස වැනි පොත් වලිනුත් සහ ලන්ඩන්, පෙරදිග සුළං වැනි සඟරා  ආදියෙනුත් ඒ බව පැහැදිලි වේ.  එසේම ලැකාන්, ශිෂෙක් ගේ සිට බදියූ ආදීන් ගේ අදහස් වඩා පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම පැත්තෙනුත් ඔහු ඉදිරියෙන්ම සිටින්නෙකි.

"දීප්ති කියන්නේ මුකුත් දන්නේ නැති මෝඩයෙක්, එහෙම නැත්නම් පිස්සෙක්  " වැනි කතා මම ෆේස්බුක් හි අනන්ත කියවා තිබේ. වඩා ලඟින් විශ්ලේෂණය කළහොත් බොහෝ විට එසේ  කියන අය දීප්ති කතා කරන්නේ කුමක් ගැනද වත් නොදන්නා අය බව පැහැදිලිය. එවැන්නන් ගෙන් සමහරෙකුට මුදල් වංචා, ගැහැණු ප්‍රශ්න ආදී දේ ගැන විටින් විට වෙනත් අයගෙන් චෝදනා එල්ල වී ඇති බවද ඇතැම් විට පෙනේ. එසේත්  නැත්නම් මොවුන් කුහකත්වය නිසා හෝ, නැත්නම් අතීතයේ  යම් දවසක දීප්ති ඔවුන් ව විවේචනය කළ නිසා ඇතිවූ  දරුණු ද්වේශයක් හිතේ තබාගෙන විඳවන අය නිසා එල්ල කරන විවේචනයය. එවැනි විවේචන බොහෝවිට  එල්ල වන්නේ දීප්ති ගේ මා නොදන්නා දුර්වලකම් නිසා විය හැකිය. හැබැයි  දීප්තිගේ සමහර විවේචකයන් නම් අන්තිම විපරීතයන්  බවට අදහසක් මා තුල තිබේ.    

දිප්තිව වාමාංශික පැත්තෙන් විවේචනය  කරන ඇතැම් වාමාංශික මහතුන්  ගැන නම් කතා කිරීමේ තේරුමක් නැත.  ඉතිහාසය   පුරා ඔවුන් දීප්ති දැනට මයිත්‍රී ගේ දියණිය සමග වැඩ කරනවා කියන චෝදනාවට වඩා වැඩි වෙනසකින් වැඩ කර නැත. ෆේස්බුක් ආදියේ එළිපිට ඉන්න ඇතැම් වාමාංශිකයන්ගේ  දෙබිඩි භාවයන් ගැන මම අත්දැකීමෙන් දනිමි.  පෞද්ගලික විශ්ව විද්‍යාලයකට විරුද්ධ වෙන ගමන් තමන්ගේ දරුවන් ඒවාට යවන්නේ ධනවාදී ලෝකයක ඉන්න නිසාය කියන අයද ඒ ගණයේමය. ඔවුන් උදාහරණයකට ගන්නේ පෞද්ගලික බස් භාවිතා කිරීමය. ඔබට විකල්පයක් නැති තැන යමක් භාවිතා කිරීම හා විකල්පයක් ඇති තැන වෙනත් යමක් භාවිතා කිරීමෙහි  වෙනසක් ඇති බව මේ ඇතැම් වාමාංශිකයන්  නොදන්නවා විය නොහැකිය.   කෙසේ වුවද මට ඒ අය සමග වුව කටයුතු කිරීමට අවුලක් නැත. ඔවුන්ගේ දැක්මේ වෙනස මා දකිනා යුරු නොවීම ඔවුන් සහමුලින්ම ඉවත දැමීමට හේතුවක් නොවේ. වඩා ප්‍රගතිශීලී ලෙස සිතන වාමාංශික හෝ දක්ෂිණාංශික කරුණු සමග වුව ලොකු ප්‍රශ්නයක් තබා ගැනීමට මා අකමැතිය.  දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා අරභයා තිබෙන්නේත් එවැනිම වූ ප්‍රතිපත්තියකි. (මා කතා කරන්නේ බොහෝ අය මේ දිනවල කරන ඉහත සදහන් කළ චෝදනාව ගැනය)

"සියාමා" වැනි කෘතියක්  ගැන සාකච්ඡා කිරීමට දීප්ති සහෝදරයා මෙන්ම නන්දන වීරරත්න සහෝදරයාද පැමිණීම ගැන ඉතා සතුටට පත්වීමි. පහත පලවන්නේ  දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා කළ කතාවේ පළමු වැනි කොටසයි. 


*********************************************************************************ලංකාවේ පොදුවේ කලාව සම්බන්ධයෙන් හෝ සංගීතය සම්බන්ධයෙන් තිබෙන්නේ අවුරුදු 5ක වගේ ඉදලා නැතිනම් 10 ක වගේ ඉදල යුද්ධෙ ඉවර වුණාට පස්සේ  මහින්ද රාජපක්ෂ මහතා යුද්ධෙ දිනුවට පස්සේ, ඔක්කොම තියෙන්නේ OPINION. නිදහස් චින්තකයින් ඕන වෙන්නේ නෑ. සමස්ථයක් විදිහට යුද්දෙන් පස්සේ කලාව සම්බන්ධයෙන් තිබුණා විරෝධාකල්පයක මුහුණුවරක්, දැන් යුද්ධය අවසන් වුණාට පස්සේ ඒ තත්වයත් නැති වුණා. කලාව විදිහට ගත්තම කවුරුත් පිළිගන්න එකක් නැහැ කවිය ඉවර වුණා, කෙටිකථාව ඉවර වුණා, නාට්‍ය ඉවර වුණා කියලා. කවුරුත් කියන්නේ ඒක ඉවර වුණා කියලා කියනවා කියලා විතරයි.

 සමහර කථා MARKET එකෙන් කියන්නේ, මෙන්න මේ දේවල් හොඳයි  කියලා. අපි හොඳද, නරකද, කියන එක නොවෙයි. අපි ගත්තොත් මෙහෙම සමන් කුමාරගේ නවකථා, සන්නස්ගලගේ භික්ෂු චරිතය ...... මම කියන්නේ මේ පිස්සු කවුරුත් පිළිගන්නේ නැහැ. 

මේ කාලේ මාර තත්වයක් උදාවෙලා තියෙනවා. DIVORCE CASE වලට සම්බන්ධවන නීතීඥවරු නන්නත්තාර වෙන කාලයක් මේක. අවුරුදු 5 ක් විතර හොඳට පවුල් තියාගෙන හිටපු අය එක පාරටම වංකගිරියක වගේ ගිහින් ඔළුව නන්නත්තාර කර ගන්නවා. දැන් වෙන කොට තේරෙනවා 2002-2003 වන විට මානසික රෝග කියල ප්‍රපංචයක් නැතිනම් Mental Illness එහෙම එකක් තියෙනවා කියල.  කට්ටිය හිතන් ඉන්නේ මානසික රෝග කියන්නේ අංගොඩ ප්‍රශ්නයක් කියලා. නමුත් මානසික රෝග කියන්නේ අංගොඩ ප්‍රශ්නයක් නෙවෙයි. නන්දන කොහේ ගියත් කුලේ කියනවා වගේ මම කොහේ ගියත් මානසික රෝග ගැන කියනවා. හැබැයි මම හිතනවා නන්දන කියන එකට වඩා දරුණු තත්වයකට ඇවිත් මම කියන එක. මොකද ඒ නීතීඥවරු මගෙන් ඉල්ලා ඉල්ලා හිටියා සල්ලි වුණත් ගෙවන්නම් මේ ලෙඩ වර්ග ටික උගන්වන්න කියලා. හිස්ටීරියාව තමයි ගොඩක් අය ඉල්ලා හිටියේ.



2003-2004 වසරවලින් පස්සේ මට දැඩි විවේචනයක් ආවා ගෑණුන්ට හිස්ටීරියාව තියෙනවා කියල කිව්වා කියලා. මම හිතන්නේ ඒවයින් තමයි දරුණු විදිහට පාලනය වෙන්නේ. පිරිමි -ගැහැණු දෙගොල්ලම පිළිගන්නවා දැන් මානසික රෝග තියෙන බවට. තමන්ගේ පවුල් ඇතුළේ මානසික ප්‍රශ්න පාලනය කරන්න දන්නේ නැහැ.  පක්ෂ ඇතුලේ ඉන්නෙත් විපරිත අය නැතිනම් PERVATION තියෙන අය නිසා පක්ෂ කොච්චර ඉවර වෙලාද කියන එක පක්ෂේ අයවත් දන්නේ නැහැ. මේ පක්ෂේ අය ගොඩක් අය ඒව දන්නේ නැහැ. ඒව දන්නේ නැතිව අහනවා ඉදිරි සංවර්ධන යෝජනා ගැන. ඒ අය සවසට අර අදින මත්ද්‍රව්‍ය තුල ඉන්නෙ. එයින් එකක් රුපියල් 17,000/- විතර වෙනවා. ඒ අය තමයි ගොඩක් ආයතන වල සභාපතිවරු බවට පත්වෙලා ඉන්නෙ.

අපි තේරුම් ගත යුතුයි අපි මේ තත්වෙට ඇවිත් ඉන්නේ. නන්දන කියනවට වඩා දරුණුයි මේ තත්වය. ගෝලීයකරණය අපව කෙතරම් වෙනස් කරලද කියල? මම නම් කියන්නේ වෙනස් වෙලා කියලා. අභ්‍යන්තරයෙන් වෙනස් වෙලා. අපි ඒක තමයි මේ නව කතාවට ගතුයුතු ප්‍රවිශ්ඨය. ගෝලීයකරණයත් එක්ක තමයි විවිධ අය රැකියා සොයන් මැදපෙරදිග කලාපයේ රැකියා වලට ගිහින්. ඒ අය ලංකාවට ඇවිත් කරන දේවල් ටෙලිනාට්‍යවල දමනවා. අපි වටහා ගත යුතු දේ තමයි මේ ගෝලීයකරණය කියන ප්‍රපංචය අවසාන අර්ථයෙන් ගත්තම ඒ ප්‍රාග්ධනය (CAPITAL) ලෝක ගෝලය පුරාම යනවා කියන එකයි අදහස. සමහරවිට පහුගිය අවුරුදු කීපය පුරාම ජවිපෙ ධනවාදියට විරුද්ධවීම අතහැරලා තියෙන්නෙ. මට තේරෙන විදිහට. මේ මෑතක ඉදලා මම දැක්කා අපේ පක්ෂේ ඉස්සර මාත් එක්ක දේශපාලන වැඩ කරපු, විවිධ මානසික ගැටළු නිසා අපෙන් ඉවත්වුණු අය දැන් එයාල ගන්නවා. ඒක ඉතාම හොඳ තත්වයක් විදිහටයි මා දකින්නෙ, ජවිපෙ ට එහෙම කලක් ගිය එක. 

මේ වගේ ලොකු පෙරළි වෙලා තියෙනවා රටේ. මේ පෙරළි මිනිස්සු දන්නෙ නැහැ. මිනිස්සුන්ට ඒ පිළිබඳව අවබෝධයකුත් නැහැ. ඒ නිසා මිනිස්සු පැරණි ඉල්ලීම්ම ඉල්ලනවා. හාල් ආයේ  දෙන්නලු. පෙට්ට්‍රල් අඩු කරලා දෙන්නලු. ඒවා දෙන්න විදිහක් නැහැ. රට පාලනය කරන්නේ  ලංකාවේ පාර්ලිමේන්තුවට පත්කරල යවපු අය නොවෙයි. ඒ අය නොවෙයි මේකේ අධිකාරිය පාලනය කරන්නේ. ආධිපත්‍ය තියෙන්නේ . එය තියෙන්නේ බටහිර සහ තවත් තැන්වල. දැන් නම් චීනයේ මා හිතන්නේ. ඉතිං අපි කියනවා පෙට්ට්‍රල් අඩු කරල දෙන්න කියලා. මහින්ද රාජපක්ෂ පව්. ඒ මනුස්සයා ගැන මට දුකයි මොකද මේ මහ ක්‍රියාවලිය ගැන ඔහුට තේරෙනවාද? කියලා මිනිස්සුන්ට තේරෙනවද?

හොඳයි  අපි දේශපාලනය කියන පැත්ත අයින් කරලා මේ වැඩේට එමු.

දැන් මේ නවකතාව ගැන මතයක්, ලංකාවේ බොහෝ වෙලාවට තියෙන්නේ ඔපීනියන්. මේ ඔපීනියන් නැතිව මම පොඩ්ඩක් අවතීර්ණ වෙන්නම්. මොකක්ද  අපි නවකතාවක් කියන්නේ කියලා. නවකතාවක් හදුනා ගැනීමේ මූළික ලක්ෂණ කිහිපයක් තියෙනවා.

                එකක් තමයි ඒ කතාව දීර්ඝවීම, මේ සියාමා නව කතාවේ තියෙවා දීර්ඝ කතාවක්. අන්න ඒකයි ගැටළුව.. ඒ තමයි මොකක්ද නවකතාවේ තියෙන ප්‍රධාන ගැටළුව. මේ සියාමා කතාවේ ප්‍රබන්ධය ඉදිරිපත් කරන කොට මේ ප්‍රබන්ධය සඳහා දේශපාලන ප්‍රශ්නයක් ගේනවා. අපි ගත්තොත් මේක ජනතා ගැටළුව නැතිනම් ජාතිවාදයට විරුද්ධව අරගලය. මූලික වශයෙන් මෙහි තියෙන ගැටළුව තමයි සියාමා කියන ඒ ආදර කතාව කියවගෙන යනකොට කථාව පුද්ගල ගැටීමකට යන්නේ නැතිව, සමාජයේ තියෙන විශාල ගැටළුවක් මේකට එනවා. මේක මම හිතන්නේ පහුගිය කාලේ ලංකාවේ ප්‍රධාන ගැටළුවක් විදිහටයි මම දකින්නේ.  මොකක් හරි කථාවක් කියාගෙන එනවිට 71 කැරැල්ලට සම්බන්ධවෙනවා, නැතිනම් 89 කැරැල්ලට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් උතුරේ ප්‍රශ්නයට සම්බන්ධවෙනව. අපි අහන්නේ ඇයි එහෙම වෙන්නෙ ? ඒක තමයි ප්‍රධාන ගැටළුව. දැන් ඒකට අදාළව මම හිතන්නේ මම මේක කලක් කතා කරලා තියෙනවා. ලොවීණා කියලා කතාවක් තියෙනවා. ඒක ලොකු නවකතාවක්. එහි කර්තෘ මොහාන් රාජ්මඩවල, ඔහු මට දේශනවලට අඩ ගැහුවා. ඉන්පසුව කතා කලේ නැහැ. 
~~~~~ මතු සම්බන්ධයි 

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 2 දීප්ති කුමාර ගුණරත්න 

අගෝරා හමුවට එවූ නිශ්ශංක  විජේමාන්න ගේ "සියාමා " පිළිබඳව වූ  විවරණය 

අප වැනි සමාජයක් තුල අන්තවාදයේ පැවැත්ම කුමක්ද - 'සියාමා' සමග නන්දන වීරරත්න - 1