Sunday 15 July 2018

නොකියැවුණු කතාව - නිධානය

නිධානය 
දැනට මාසයකට පමණ පෙර "සුළඟ අප රැගෙන යාවි " චිත්‍රපටයේ තරුණ අධ්‍යක්ෂක වරයා වන නුවන් ජේත්, සිනමාවේදය උගන්නා  සිසුවකු වන සන්ජයත්, චන්දන ගුණසේකරත්,  අගෝරා කලා කවයේ සහෘදයනුත් එක්ව "නිධානය" සිනමාපටය  ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට උපහාර පිණිස ලන්ඩනයේ දී තිරගත  කළා. සභාව මෙහෙයවීමට ආරාධනාවක් ලැබී තිබුන නිසා කෙටියෙන්  කතාවක්ද සූදානම්  කරගෙන පැමිණි මුත් එයට අවස්ථාවක් ලැබුනේ නැහැ. එනිසා මම ඒ කියන්න හිටිදේ මෙතන ලියනව කියල හිතුව.

පහුගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ යාළුවෙක් එක්ක දවල්ට කෑමට ගියා ජා ඇල වෙළඳ මධ්‍යස්ථානයකට. එංගලන්තේ ස්ට්‍රට්ෆොර්ඩ් වෙළඳ මධ්‍යස්ථානයට ගිය කෙනෙක් දන්නවා ඒකෙ එක තට්ට්ටුවක ලෝකයේ රටවල් ගණනාවක  කෑම තිබෙන ආපන ශාලා තිබෙනවා  කියල. චීන, මැලේසියන්, කැරිබියන්,  ඉන්දියන්, ඉතාලි, ඉංග්‍රීසි ,  ඇමෙරිකන් ආදී වශයෙන්.  මේ ජා ඇල  මම කියන වෙළඳ මධ්‍යස්ථානයත් ඒ වගේ හැබැයි ටිකක් ප්‍රමාණයෙන් කුඩායි.

ඉතින් අපි ලංකාවට ගියහම අපේ යාලුවෝ අපිව එක්කන් යන්නේ හුඟක් වෙලාවට චයිනීස්, මැලේසියන් , මැක්ඩොනල්ඩ්ස්, කේ එෆ්සී වගේ තැන් වලට තමා වැඩියෙන්ම. අපිත් සද්ද නැතිව යනවා. මට හිතෙනවා වෙලාවකට ඒ ගොල්ලට ඕන පෙන්වන්න මේ මෙහෙත් මේවා තියනවා කියල. නැත්නම් ඒ ගොල්ලන්ගේ අවිඥානක ආශාවක් තියනව ඇති ඒ වලින් ආහාර ගන්න. නමුත් ඒක යටපත් කරගෙන ඉන්නවා ඇති. නැත්නම් "මේ බලන්නකෝ එංගලන්තේ විතරක් නෙමේ මෙහෙත් මැක්ඩොනල්ඩ් තියනවා, කේ එෆ් සී තියනවා" කියල කියාගන්න ඕන වෙන සියුම් ආශාව වෙන්න ඇති.

ඉති ඔය දවසෙත්  අපි ඔය කියන වෙළඳ සංකීර්ණයේ ඇවිද්ද දවල්ට කන තැනක් හොයාගෙන.  මැලේසියන් කෑම , චයිනීස් කෑම , ඉතාලි පැස්ටා, චිකන් තිබ්බත් ඔහේ ඇවිද්ද. එකක් වත් හිතට හරි ගියේ නැහැ. අන්තිමේදී දැක්ක මුල්ලක පොඩි කඩ කෑල්ලක්. හට්ටි වල මාළු ඇඹුල් තියල්, හාල් මැස්සෝ බැදලා, පොළොස්, කන්කුම්, ගොටුකොළ සලදේ, වම්බටු බැදලා, රතු බත්, සුදු බත්, පොල් සම්බෝල, නෙලුම් අල, කොහිල ඔක්කොම එක්ක. ගාණ අර අනිත් කෑම වගේමයි හැබැයි.  ඉතින් බත් එකට දෙන වෑංජන පහ දෙන්නට අරගෙන අතිරේක බත් එකක් ගත්ත අනිත් වෑංජන ටිකෙත්  රහ බලන්න. අර හැංගිලා හිටිය ගමයා එලියට පැන්නද? ලන්ඩන් වලින් ලංකාවට ගියහම අර හිතේ කොනක සැඟවී තිබූ අවිඥානක ආශාව එළියට ආවද?

මේ  අවිඥානක ආශාව ඇවිල්ල සෑහෙන්න බලගතු දෙයක්. භෞතික දේවලින් වගේම මානසිකව කරන බලපෑම් (manipulation) වලිනුත් එය පාලනය කරන්න පුළුවන් කියල හිතෙන්නේ නැත්ද? පාලනය වෙන්න පුළුවන් නේද .
ඒ කියන්නේ නිධානයක් ගැන ඇතිවන අවිඥානක ආශාව?  පුස්කොල පොතක් වගේ දෙයක ලියල තියෙන දේවල් සියල්ලම සත්‍ය යයි  විශ්වාස කිරීම වගේ අතාර්කික (irrational) දෙයක් වෙත මනස  යොමු කරවන්න මේ අවිඥානක ආශාවට පුළුවන්ද?

අවිඥානක ආශාව නිසා මානසිකව ලෙඩෙක් වෙන්න පුලුවන්ද? චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විලී අබේනායක අසු පිට නැගල මහා වැස්සේ නිධානය හොයන්න ගිහින් නැවත  නිවසට ඇවිත් බිමට  වැටෙනවා. පිටින් තුවාලයක් නැහැ. මානසිකව ලෙඩ වීමක්  නොවෙයිද එතැන පෙන්වන්නේ?

ඒ කියන්නේ මේ අවිඥානක ආශාව - නිධානය රැගෙන ණය මුදල් ගෙවා,  සින්න වීමට යන වලව්වද  බේරා ගෙන පරම්පරාවේ ගෞරවය රැක ගැනීම, අතීත ශ්‍රී විභූතිය කරා යාම සාක්ෂාත් කර ගන්න විලී ව  යොමු කරවනවා.  නමුත් ඒකෙන් යථාර්තය, නැත්නම් අර විධිහට සැලසුමක් ගහලා  අර තුන් කුළුඳුල්, උපන් ලපේ තියෙන කෙල්ල  (අයිරින්) කසාද බැඳලා ඒ දේ සැලසුමේ විධිහටම කරද්දී යථාර්තය විලී ගෙන් සැඟවෙන්නේ කොහොමද? යථාර්තය හා මායාව අතර ඉරක් ඇන්දොත් විලී මේ දෙක අතර දෝලනය වෙනවා කියල  හිතෙන්නේ නැත්ද?  එතකොට විලී ගේ සිත තුල ඇතිවන මේ මායාව හා සැබෑ ලෝකය අතර ඇති ගැටුම  දයලෙක්තික  විඝටනයක් නෙවෙයිද?

ලෙස්ටර් මේ ජවනිකා සුක්ෂම ලෙස පෙළ ගැසුවේ  එම හේතුවෙන්ද? මම හිතන්නේ නිධානය ලෝක සිනමාව තුලට යන්නේ මෙන්න මේ ගැටුම ( අවිඥානක ආශාව) අධි යථාර්තවාදී ලෙස (ultra realistic) (දීප්ති කියන විධිහට සිනමාත්මක  ෆැන්ටසිය) තමන්ගේ සිනමා කෘතිය තුලට ගෙන ඒම  නිසා කියලයි මට හැඟෙන්නේ.
ඉතින්ම ට හිතෙන්නේ මේ එක ක්‍රමයකින්  නිධානය කියවා  ගත හැකි විධිහක් කියල.

චිත්‍රපට  විචාරය හා දේශපාලනික විචාර වලට මනෝ විශ්ලේෂණය විෂයක් වශයෙන් යොදා ගත්තේ මම හිතන්නේ එක්ස් කණ්ඩායම සහ දීප්ති කුමාර ගුණරත්න කියලයි. එනිසා ඔහුගේ විචාර හැම එකක්ම වගේ මම කියවනවා.  දීප්ති කිහිප තැනකම  හයිඩගර් තෝරා
ගන්නවා. හයිඩගර් ගැන මම මේ "කැත ගැහැණියගේ අගෝරා සෙල්ෆිය" ලිපියේ කියලා තියනවා ටිකක්.
මම ගෙඩිය පිටින්ම ඒ ලිපියේ කොටස මෙතැන දානවා නැවත ලියන්න කම්මැලි නිසා.

'හයිඩගර් ලියනව  "කලා  කෘතියක මූලාශ්‍රය" (the origin of the Work of Art) කියල ලිපියක්.  මෙන්න මෙහෙම දෙයක් ඒ ලිපියේ ඔහු කියනවා. ඔහු පෙනී සිටින්නේ වර්තමාන (ඔහුගේ කාලයේ) සම්ප්‍රදායක දර්ශනවාදී සෞන්දර්යය සඳහා   නොවේය නමුත් සත්‍යම වූ සත්‍යයම පිළිඹිබු කරන  කලා කෘති සඳහාය කියල. (Heidegger is against the modern tradition of philosophical "aesthetics" because he is for the true "work of art"). ඔහු කියනවා නියම කලා කෘතිය සෞන්දර්යය නිසා අඳුරු වෙනවා (eclipsed) කියල. හැබැයි හෛඩගර් ම ඒ එක්කම කියනවා මේක මහා ඔක්සිමොරොන් (oxymoronic) එකක් කියල. ඒ කියන්නේ  "හතරැස් වෘත්තයක්" "කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවය" වගේ .  "ජිවත් වුනත් මැරිලා වගේ " ඉන්න මිනිස්සු. මැරිලා නම් ජිවත් වෙනවා කියන්න බැහැනේ.  "අවංක නීතිඥයෙක්", "කොළඹ ගමයා" වගේ තව උදාහරණ ගන්නත් පුළුවන් .
සුන්දරත්වයක් නැති කලා කෘති පවතින්න පුලුවන්ද? (ඔව් තියනවා, බොක්ස් ඔෆිස් එකේ වැඩිය සාර්ථක නොවිච්ච)

මොකද  කලාවේ  නියම ඓතිහාසික වටිනාකම හදුනාගන්නට බටහිර මිනිසාට හැකිවුණේ එය  සෞන්දර්යවාදී වීම නිසාම යයි කියල ඔහු නැවත නැවතත් අවධාරණය කරනවා ඒ එක්කම. හතරබීරි කතාවක්නේ. ඒ කියන්නේ තමන් කියන එකටම ඔහු විරුද්ධ වෙනවා.

දැන් නිධානයේ ආදර  ගීත , අයිරින් ගේ නැටුමක් හෙම නැහැ.  අනික ඒක  සුදු - කළු චිත්‍රපටයක්. වර්ණ ගැන්වීම්, පරිසරයේ සුන්දරත්වය අපට පේන්නේ නැහැ. හැබැයි අතීත කාලය මතක් වෙනවා.




හැබැයි ලෙස්ටර් සංගීතය අරන් එනවා චිත්‍රපටියට කේමදාසයන් හරහා. ආරම්භයේදී පසුබිම් සංගීතය ඉතා ප්‍රබලයි. "මට මතක විධිහට ගොළු හදවතින් තුන්වෙනි යාමයට " කියන කැසට් පටියේ ඒ කොටස අහන්න පුළුවනි.  විලී අබේනායක නිධානය තිබෙන තැන මුලින්ම බලන්නට යනවිට ඇති සංගීතය බෙර වාදන  සමග සම්මිශ්‍රණය වූ එකක්.  ටිකක පුස්කොළ පොත් කතා , බෙර වාදන එකට ගත්තම අර ගුප්ත ගතිය සිතේ ඇති කරවනවා.
 ඒ කියන්නේ ලෙස්ටර් සෞන්දර්යය පැත්ත අමතක කරලා නැහැයි කියන එක. නමුත් ලෙස්ටර් ඒක ගන්නේ හයිඩගර් කියන විධිහටම විලී  අබේනායක තම  මුහුණ දෙන  දෙමුහුන් යථාර්තය උලුප්පා    පෙන්වන්න. කොටින්ම  ඔක්සිමොරෝන් එකක් විධිහට.

මම ඇත්තටම කැමතියි කවුරු හරි ලැකානියානු මනෝ විශ්ලේෂණයක් (Psychoanalysis)  හරහා  මේ චිත්‍රපටය ගැන කියවීමක් කරනවා නම්. (එහෙම කරලා තියනවද දන්නේ නැහැ)/
ඒ කියන්නේ හැත්තෑව දශකයේ සිමියෝටික්ස්,  අපරේටස් තියරි  (Apparatus theory) (ඒ කියන්නේ සිනමාව ස්වභාවිකවම සංකල්පික  හා මතවාදීය යන අදහස) ආදිය උපයෝගී කරගෙන සහ ඉන් පසු දශක වල ජැකලින් රෝස් ආදීන්ගේ අදහස් (අතුරුදහන් වූ ආශාවේ අරමුණ)  උපයෝගී කරගෙන කරන විචාරයක්.  මට ඒ පිළිබඳව දැනුම අඩු නිසා ඒ ගැන කතා කරන්න  කැමති නැහැ. කාට හරි කරන්න  පුළුවන් නම් හොඳයි. 
**************************
මෙතැනින් එම කතාවේ අවසානය එළැඹෙනවා. තවත් අදහස් දෙකක් කියන්න කැමැතියි මෙන්න මේ සම්බන්ධව. මම හුඟක් කැමති (එයා ලියන පොත්  වලට වැඩියෙන්ම   ) මහාචාර්ය වරයෙක් ලියනවා චිත්‍රපටයක් ගැන කරන  එක්තරා විචාරයකදී, "එයා මේ විචාරය කරන්නේ බසාන් , ජිජෙක්, චිචෙක්, ලැකාන්    වැනි කෙනෙක් ඇසුරින් නොවේය".  එයා චිත්‍රපට පිස්සෙක් වශයෙන් ය  කියල. හැබැයි මෙතැන සියුම්ව කරන පහරදීමකුත්  තියනවා කියල හිතෙනවා  එවැනි චිත්‍රපට විචාර කරන අය කෙරෙහි. උදාහරණයක් වශයෙන් දිප්තිලා වගේ අයට මම හිතන්නේ . මේ මහාචාර්යතුමා අමෙරිකා එක්සත් ජනපදයේත් ඉගෙන ගත් අයෙක්. ඇත්තම කියනවා නම්  එයාට ඒ රටවල් වලට නොගිහින්ම ලංකාවේම ඉන්න තිබ්බ නේ. එහේ ගිහිල්ල මොකට ඉගෙන ගත්තද?
ඇත්තටම මෙවැනි මහාචාර්ය වරුන්ගෙන් අපි අපේක්ෂා කරන්නෙම අපි නොදන්න දේ, අපිට නොපෙනන සියුම් දේ, වෙනත් රටවල සංවර්ධනය වුනු අදහස්,  වෙනත් චින්තකයන් ගේ අදහස් ඔවුන්  ගේ ලිපි මගින් , කතා මගින් අපට පැහැදිලි කරලා  දෙයි කියලනේ. නැත්ද මං අහන්නේ.ඒ  වෙනුවට අපිට වෙලා තියෙන්නේ   දීප්ති ලා  වගේ විශ්ව විද්‍යාල වල ගිහින් ඉගෙන ගත්තේ නැති අයගේ ඒව කියවන්න.  ඒ යයි බලාගෙන ගියහම ඒ දැනුම අරන් එන්නේ.

මොකද මහාචාර්ය වුනහම ඒ ගොල්ලෝ කියන්නේ අපිට නාථ දෙයියෝ අදහන්න, නැත්නම් අර හිටපු  ජනාධිපති කෙනක් දෙවියෙක් වෙලාය එයට වැඳුම් පිදුම් කරන්න , එහෙමත් නැතිනම් අපිට ඔය චින්තකයෝ වැඩක් නැහැ. චිත්‍රපටි  පිස්සෙක්  වගේ මම කියන  දේ අහන්න. මහාචාර්ය වරුන්ට ලංකාවේදී ඉනා බේත් වගේ මොනවා හරි කවනවද ?
(හැබැයි ඒ ලිපියේ ඉතිරිය නම් හොඳයි. එම චිත්‍රපටය ගැන හොඳ විචාරයක් හම්බවුනොත් කියවන්න)

දෙවෙනි එක තමයි, මේකත් බුකියේ දැක්ක දෙයක්. කෙනෙක් අහනව හිට්ලර් ගැන කතා කරන්න  එපා කියන වමේ බුවාලා හෙම හයිඩගර් වගේ අය කියපු දේවල් ගැන කතා කරනවා. ඇයි එතකොට හයිඩගර්  නාසි හිතවාදියෙක් නොවෙයිද කියල. ඔව් ඒක ඇත්ත. හයිඩගර් ට එහෙම ප්‍රශ්නයක් තිබුන. නාසි වාදියෙක් සහ ෆ්‍රිද්බර්ග් විශ්ව විද්‍යාලයේ කුලපතිත් වුණා. ප්‍රංශ හමුදා පරීක්ෂණයක් කරලා, හයිඩගර් ට අපහු උගන්වන්න අවසර දුන්න.
මේ කතාව කියල තියෙන්නේ මට පේන්නේ "බයියෝ" නමින්  ලංකාවේ හඳුන්වන ජන කොට්ඨාශයේ කෙනෙක් කියල. මොකද අර හිට්ලර්  ප්‍රශ්නය එතනට අදාල නිසා.

 මහින්ද රාජපක්ෂ  ජනාධිපති තුමාට අකමැති කෙනෙක් ගමු. (උදාහරණයක් වශයෙන් ඔය ටොයියෝ කියල හඳුන්වන ජන කොට්ඨාශයෙන් කෙනෙක් ) . ඉතින් ඔය ටොයිය කැමති වුනත් නැතත් මහින්ද සමයේ හදපු දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්න  එපැයි. ඇත්තම කියනවා නම් ගාල්ලට විනාඩි 45කින් යන්න පුළුවන්නේ. ඉතින් මහින්දට අකමැතියි කියා නොයා ඉන්නවයි? නැහැනේ.

අපි කැමති වුනත් නැතත් හයිඩගර් කියපු  දේ අපෙයි කියල ගන්න  බැහැනේ. කලාව හෝ යම් දෙයක් ගැන හයිඩගර් කියපු දේ කොතැනක හරි එයාගේ කියල ලියවිලා නම් තියෙන්නේ අපිට ඒකට  අයිතිවාසිකම් කියන්න බැහැ. හයිඩගර් තමයි  කිව්වේ කියල ඒ අයිතිය දීල තමයි භාවිතා කරන්න වෙන්නේ.

තව උදාහරණයක්  ගත්තොත් කොළඹ කුණු ඇළවල් පිරිසිදු කරලා, බෝට්ටු යන්න හදල ඒ පැත්ත ලස්සන  කරලා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්මය හිටපු කාලේ එයාගේ උපදේශකත්වයෙන් නේ.  අපි ඒක පිළි ගන්න  ඕනේ. දේශපාලකයෙකු වශයෙන් අපි ගෝඨාභයට කැමතිද නැත්ද හෝ ගෝඨාභය නාසිද නැත්ද  කියන එක එතනට අදාල වෙන්නේ නැහැනේ.

අනික දියත උයනට ටොයියොත් යනවනේ.

******************
ප.ලි :
(උපුටා ගැනීමකි.) https://media.edusites.co.uk/article/film-theory-and-language/
Apparatus Film Theory
‘Apparatus’ is another word for the means in which a specific production is created. In the case of film / cinema, the film projector and the screen. Apparatus Theory is a model of spectatorship and institutions. It argues that cinema is ideological (based on ideas) because the films are created to represent reality. This means that because film is created to illustrate different ideas, everything has meaning - from the camerawork to the editing. It argues that ideology is not imposed on cinema, but is part of its nature (through the viewer) and it shapes how we think. Apparatus theory was dominant in the 1970s (following the 1960s where psychoanalytical theories and debates were very popular) and is derived from a combination of Marxist theory, semiotics and psychoanalysis. In film theory, the idea is that representation must include the mechanics of film, for example the camera and editing. The production of meaning in a film text, the way a text constructs a viewing subject and the mechanics of making a film all affect the representation of the subject. This theory is that the central position of the spectator/ viewer within the perspective of the text is also ideological - it is a reproduced reality and the experience of cinema influences the viewer on a deep level.

This problematic theory is best explored in Jean-Louis Baudry’s work. Firstly, the idea that inactive viewers (the common people, or Marx’s ‘proletariat’) are unable to differentiate between the world of film / illusion and the real world is seen in the Hypodermic Needle Theory (see FilmEdu’s Understanding Audience). Also that viewers of film misidentify their identities with those on the screen (the characters), which makes them sensitive to ideological positioning.

Wednesday 11 July 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (30) - දුපතේ ගීතය

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (29) - හරිත දූපතට  

තමන් දුපතට එන බව තාන්යා ලේනාට දුරකතනයෙන් දැනුම් දී තිබුණි. ලේනා  පැමිණියේ ඔවුන්ගේ නිවෙස අසල ජීවත්වූ යහළුවන් පිරිසක් ද සමගය. එහි උක්රයින  ජාතික ඇන්ජලිකා  නම් පියකරු තරුණියක්ද වුවාය. ඇයට අසාමාන්‍ය ලෙස දිග කළු කොණ්ඩයක් තිබුණි. කොසැක්  තරුණයින් දෙදෙනෙකුද රුසියානු තරුණයන් හා තරුණියන් කිහිප දෙනෙක්ද  උස්බෙක් ජාතිකයෙක් ද විය .ගිටාරයක් හා බලලයිකාවක් ද  ඔවුන් අත විය.

එකෙකු වොඩ්කා බෝතල් කිහිපයක් බෑගයකින් ගෙන එළියෙන් තැබීය. . ඒවා ගිහාන් ගෙන් බව ලේනා පැවසීය. සාදයකට වුවමනා මොනවාදැයි ඇසූ විට තමන් වොඩ්කා ගන්නට මුදල් දුන් බව ගිහාන්ට සිහි විය. තරුණ සමූහය උණුසුම් ලෙස ගිහාන් වැළඳ ගත්හ. වොඩ්කා නිසාද සැබවින්ම සුහද කමටදැයි ගිහාන්ට සිතා ගත නොහැකි විය.

ලේනා ඇතුළු තරුණියන් කල්බසා, අගුර්සි, දුම් අල්ලන ලද මාළු වහ වහා බිම ඇතිරූ ඝන රෙදි කඩක තැබූහ. එක රුසියානුවෙකු ගේ  මල්ලකින් වීදුරු දහයක් දොළහක් එලියට ආවේ පිහියක්ද සමගය. මේ වීදුරු ස්තලොවායා (කෑම කැෆේ) වල තේ කෝපි බීමට දෙන ඒවා බව ගිහාන් දුටුවේය. ඔහු ඒ ගැන මුකුත් කීවේ නැත.

සෑම වොඩ්කා අඩියක් පාසාම එය ගැනීමට කලින් කුඩා හැඳින්වීමක් රුසියානුවන් කරති. ඇත්තටම ඒ කුඩා කතාවකි.  තාන්යා හෙමින් සීරුවේ කළු පාන් ගෙඩියක් කපන්නී  තමන්ගේ වොඩ්කා වීදුරුවට දමා ගත්තේ ඉතා කුඩා මත්පැන් ප්‍රමාණයකි.

"මම මෙච්චරයි  බොන්නේ "

"මෙයා දැන්ම ආසියානු බිරිඳක් වෙන්න  හදනවා " ලේනා කීවාය.
"මම කොහොමත් වොඩ්කා බොන්නේ අඩුවෙන්. වයින් වලට වඩා කැමැතියි"

ඇන්ජලිකා බල්ගේරියන් වයින් බෝතලයක් එලියට ගත්තාය.

"අපි දෙන්න මේක බොමු. හැබැයි අරින්න විධිහක් නැහැ" ඇබය පෙන්වා කීවාය.

හැඩි දැඩි රුස්සෙකුවූ ගේනා බටර් පිහියක් ඇබය උඩ  තබා එක පහරකින් එය බෝතලය ඇතුලට දමා කෙල්ලන් දෙදෙනාට වයින් වත් කර දුන්නේය.  හැමෝම ඔහුට අත්පුඩියක් ගැසීය.

ලේනාගේ පෙම්වතා වලෝද්යා සෑම විටම නායකයා සේ ක්‍රියා කල බව ගිහාන් දැන  සිටියේය.
"පළමුවෙනි වීදුරුව අපේ අමුත්තා වන ගිහාන් සහ ඔහුගේ සුන්දර පෙම්වතිය තාන්යා සඳහා." වලෝද්යා වීදුරුව එසවීය. ඔහු සමග සියල්ලෝම වොඩ්කා වීදුරු එක වරම හිස් කළෝය.

රුසියානුවන් වොඩ්කා වලට  කිසිවක් කලවම් කරන්නේ නැත.  වොඩ්කා එක උගුරට ගිල දමා ඉක්බිතිව දොඩම් (මැන්ඩරින් ) කෑම, කළු පාන් කෑල්ලක්  සැපීම, කල්බසා කෑම ඔවුන්ගේ සිරිතයි.

"උඹලගේ  රුසියන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියත් මාව හොඳින් පිළි ගත්ත එකට ස්තූතියි " ගිහාන් කීවේය.

"තාන්යා ට හොඳනම් ලේනාට හොඳනම් , අපේ රටට උඹව ගෙන්නලා උගන්වන්න  හොඳනම් අපි උඹට අකමැති වෙන්නේ ඇයි " රුස්සෙක් ඇසුවේය.
"මගේ යහළුවෙක් ජෝර්ජියාවේ ටිබිලිසි නගරයට ගියා එයාගේ රුසියානු පෙම්වතිය එක්ක. ඒ කෙල්ලගේ කොන්ඩේ රන්වන් පාට  නෙමේ. උන්ගේ කෙල්ලන්ගේ වගේ කළුයි. මෙයා වගේ" ඇන්ජලිකා පෙන්වමින් ගිහාන් කීවේය.

"පාරේ යනකොට කාරෙකක ගිය ජෝර්ජියන් කොල්ලෝ වගයක් එයාව කාරෙකට ඇද ගන්න හදල තියනවා. මෙහෙ වර වේසි විදේශිකයෝ එක්ක යන්නේ කියල.  ඒ මදිවට වැවකට නාන්න ගිය වෙලාවේ ජෝර්ජියන් කාරයෙක් ඇඳුම්  මාරු කරන අර කුටියක කෙල්ල ඉද්දි  යටින් බඩ ගාගෙන ඇවිත් බැලුවලු."

රුසියානුවන් නැවතත් බඩවල්  අල්ලාගෙන මහා හඬින් සිනා සුනහ.

"හොඳ වෙලාවට බරටශ්විලි ආවේ නැත්තේ " රුසියානුවෙක් ජෝර්ජියානු නමක් සඳහන් කරමින් කීවේය.

"එක පාරක් ට්බිලිසි (ජෝජියානු අගනුවර )  වල ලොකු රථවාහන ප්‍රශ්නයක්ලු. මහා පාරේ වාහන දෙපැත්තෙන්ම නවත්වලා මිනිස්සු ගොඩක් පොර කනවලු  පාර මාරු වෙන්න. ගයි කාරයා ගියාලු බලන්න (ගයි යනු පොලිස් රථවාහන හසුරුවන  නිලධාරීන් හඳුන්වන පදයකි). බලනකොට මේ අපේ තාන්යා වගේ  කොන්ඩේ රන්වන් උස ලස්සන රුසියන් කෙල්ලෙක් පාරු මාරු වෙනවලු. ජෝර්ජියන් කාරයෝ පෝලිමට එක පොදියට  ඒකිගේ පස්සෙන්  පෝලිමේ ඇවිත් පාර මාරු වෙන්න පොර කනවලු ".

තරුණ  පිරිස  නැවතත් කොක් හඬලා සිනා සුනහ.

වොඩ්කා දෙක තුනකින් පසු කතාබහ දේශපාලනයට මාරු විය. ඒ දිනවල  සෝවියට් නායකයා වූයේ ගොර්බචොව් ය. ඔහුගේ පෙරෙස්ට්‍රොයිකා හෙවත් නැවත  ගොඩ නැගීමත් ග්ලාස්නස්ට් හෙවත් විවෘත විවේචනයත් සෝවියට් වැසියන් දෙකඩ කරවීය. වලොද්යා ලේනා ඇතුළු කේජිබි විදුහලේ උදවිය ගොර්බා විශ්වාස කළේ අඩුවෙන් බව ගිහාන්ට පෙනුනි. උක්රයින කෙල්ල, උස්බෙක් ජාතිකයා ඇතුළු තවත් පිරිසක් මේ වෙනසට කැමති විය.

"අපට  නිදහස ඕනේ. දැන් ඇඳුම්  පැළඳුම්, බටහිර භාණ්ඩ හෙම එනවා.  කොකා කෝලා විකුනනවා, මැක්ඩොනල්ඩ් එකක් මොස්කව් වල ඇරලා. ගිහාන් ලා ගියාද ඒකට. මටත් යන්න  ආසයි. අපට පිටරට වල යන්නත් දෙනවලු " ඇන්ජලිකා උද්යෝගයෙන් කීවාය.

"අපි ගියා මැක්ඩොනල්ඩ්. ගිහාන් මාව එක්කන් ගියා. මම අර කිරි වලින් හදපු බීමට ආසයි. " තාන්යා කීවාය.
"මිල්ක් ෂෙයික් "  ඇන්ජලිකා තොල් උල්කර ඉංග්‍රීසි වදන් උච්චාරණය කලාය.
"ඒ උනාට මම වැඩිය කැමති ගිහාන් උයන ඒවා කන්න " තාන්යා ගිහාන්ට තුරුළු වෙමින් කීවාය.

"මම කිවේ මේකි  දැන්මම ආසියානු වෙලා."  ලේනා ඔලොක්කුවට මෙන් කීවාය.

"ඕවා එන එක හොඳයි. නමුත් වැඩි නිදහස දුන්නොත්, දේශ සිමා ඇරියොත්  බටහිර එවුන් මේකේ ඇවිල්ල කාල විනාස කරලා දායි " වලොද්යා උද්වේගයෙන් කීවේය.

"අපි සින්දු කියමු. අර සිගන් සින්දුව කියන්න මොෂින් "  දේශපාලන කතා උණුසුම් වූ නිසාදෝ ගිහාන්ට නම අමතක රුසියානු කෙල්ලක් උස්බෙක් ජාතිකයා අමතමින් කීවාය. සිගාන් යනු රුසියාවේ   අහිකුන්ඨක ජනතාවට  කියන නමයි. මොවුන් සෝවියට් දේශයේ වෙනම ජනපදවල පදිංචි වී සිටියා වුවත් අනිකුත් ජාතින් සමග මිශ්‍රවද  ජිවත් වූහ.

බලලයිකාව වයමින් උස්බෙක් ජාතිකයා සින්දුවක් කිවේය. අංජලිකා හා රුසියන් කෙල්ල දර්ශනීය ලෙස සිගාන් නැටුමක් නැටූහ.
ගිහාන්ට මතක විධිහට එය "මහ්නාති ශ්මෙල්  හෙවත් මීවද සුවඳ " නමැති සින්දුවකි. සිගාන් වරයෙකු ගේ දියණියක් තමන් ගේ ආදරය සොයා අසු පිට නැගී තම ඉරණම කුමක් වන්නේ නැත්දැයි නොදැන යන ගමනක් ගැන කියවෙන චිත්‍රපටයක  ගීතයකි. ඉතා සෙමින් පටන් ගන්න ගීතයේ අවසානය ඉතා වේගවත් වෙයි. සියල්ලෝම නැගිට වේගයෙන්  නටන්නට පටන් ගත්  අතර තාන්යා ද ගිහාන් වටා කරකැවෙමින් නර්තනයේ යෙදුනාය.

එය අවසන් වෙත්ම කාමරෝවා නම් ගීතයද ඔවුහු එක්ව ගයන්නට හා නටන්නට වූහ.

දොන් නදිය අසබඩ ගුප්ත  දුපතේ රාත්‍රිය  එළඹෙමින් පැවතුණි. වොඩ්කා වලින් ද ගීත ගයා වයා නැටීමෙන් වෙහෙසට පත් පිරිස තැනින් තැන වැටී ගිමන් හරින්නට වූහ. කෑමද අවසන් වෙමින් පැවතුනි. අගුර්සි හා තක්කාලි දැමූ බෝතල් වල ඇඹුල්  වතුරද  රුස්සන් බොන්නට පටන් ගත්හ.

"මේ ඉන්දියන් කොල්ලා, ඔයා තාන්යා එක්ක තරහ වෙනවා නම් හෙම මට කතා කරන්න. මම නොම්මරේ දෙන්නද " අංජලිකා  ගිහාන් ගේ අතින් අදිමින් කීවාය.
ගිහාන් මදක් ලජ්ජා සහගත විය.

"ඕනනම් ගනින් මට මොකද , හැබැයි එයා ලංකාව කියන රටේ" තාන්යා සිනා සුනාය.

" මම මගේ තනුච්කා  ට විතරයි ආදරේ " ගිහාන් සිනාවෙමින් පැවසීය.

"නමත් වෙනස්  කලාද තත්යානා ගේ , තනුච්කා කියල " ඇන්ජලිකා  නැවතත් ඔහුගේ අතින් අදිමින් සිනා සුනාය.
තත්යානා යනු තාන්යා ගේ නියම විධිහට  කියැවෙන දීර්ඝ නමයි.

සියල්ලෝම  දිග ඇදී  සිටිද්දී ගිටාරය ගත් තාන්යා ගීයක් පටන් ගත්තාය. මව සංගීත ගුරිවරියක් නිසාදෝ ඇයට හොඳින් ගිටාරය වාදනය කිරීමට හැකිය. කොහොමත් බොහෝ රුසියානුන් තම දරුවන්ට කුමක් හෝ සංගීත භාණ්ඩයක් වැයීමට හෝ නර්තනයක් කිරීමට  උගන්වති. එය වඩාත් පැතිර ඇත්තේ රුසියානු යුදෙව් ජාතිකයන් අතරය. බොහෝ විට පියානෝව හා වයලීනය හෝ  ඔපෙරා නැටුම් ගැහැණු ළමුන්ටද ගිටාරය හා ජිම්නාස්ටික් පිරිමි ළමුන්ටද උගන්වති.

තාන්යා පටන් ගත් ගීතය මදක් දුර ගයන විට සියල්ලෝම  නිසොල්මන් වූහ.
ඇය දැන්මම අනාගතය දකින්නීද? ඇය ගයන්නේ විටින් විට මද සිනහවකින් මුව සරසා ගෙන ඔහු දෙස බලාගෙනය. ගිහාන් ගේ සිත වටහා ගත නොහැකි දුකකින් පිරී ගියේය.

"ව්ස්යෝ නාපොමිනායේත් අ තෙබ්යේ
 අ තී නි ග්ද්යේ
අස්තල්ස්යා මීර්
කතෝරි ව්ම්ස්ත්යේ විදෙල් නස්
ව් පස්ලෙද්නි රස්....."

  ලෙසින් ගැයූ ගීතයේ තේරුම රහසකට වඩා හදවතේ තෙරෙපෙන අදහසක් කියා පෑමක් වැනි විය.

"හැකි හැම විටම  මතකයට නැගෙනුයේ  නුඹයි
නමුත් නුඹ නැත පෙනෙනා මානයක
අප එක්ව සිටි හැටි දුටු   ලොව පමණක්
ඉතිරිව ඇත
අවසන් වරට (ව් පස්ලෙද්නි රස්)

බැල්කනිය සහ ජනේලය ඇති කාමරය
ආලෝකයෙන් පිරීලා
පිරිසිදුයි එදා වගේම
අප එක්ව සිටි හැටි දුටුවා  මෙන්
අවසන් වරට 

කාලය ඉක්ම යාවී , නුඹට අමතක වේවි
සිඳුවූ හැම දෙයක්ම අප අතර ,
සිඳුවූ  හැම දෙයක්ම  අප'තර

නැහැ , මා නුඹ වෙනුවෙන් බලා  සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම්  කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට

දිනත් ගෙවී යයි ,
හිම සමයන්ම කොපමණ ඉකුත් වී ද නොදනිම්
නැත්නම් වසර කීයක්  ගත වුනිද
සමහර විට  තවෙකෙකු සමග මා
තුටිව දිවි ගෙවනු  වනු ඇත
සමහර විට එහෙමත් නැතිව

කිසිවක් මේ සඳු යට සදාකාලික නොවේ 
එකම හෝරාවකදී  වත්
මට කිසිදා
අමතක නොවෙනු ඇත
නුඹ  මා සමග සිටියුරු
අවසන් වරට

කාලය ඉගිලී යාවී 

නුඹට අමතක වේවි 
සිදුවූ සියල්ලක්ම අප අතර
නැහැ , මා නුඹ වෙනුවෙන් බලා  සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම්  කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට"

ගීතය අවසන් වී බොහෝ වෙලාවක් යනතුරු කිසිවකු කතා කළේ නැත.  ෂෝලහොව් ලීවාක් මෙන් දොන් නදිය නිසලව ගලා යයි. නිහඬතාවය බිඳිමින්  ඉඳහිට වතුර පොදක් පමණක් වෙරළේ වැදුණි.

නිහඬ බව බිඳිමින් කතා කළේ වලොද්යා ය.
"උඹල දෙන්න දැන් තනියම මේ බෝට්ටුවේ රෑ ආපහු  යන්න එපා. ඒක ටිකක් අනතුරු දායකයි. ගිහාන් අපි එක්ක පාලමෙන් යමු. මිලිට්සියා (පොලිසිය) ඇහුවොත්  මම මොනව හරි කියන්නම්."

පාලමෙන් දොන් නදිය තරණය කළ  පසු ඒ අසලම වාගේ විසු අනික් සියල්ලෝම සමු ගෙන පයින්ම නික්ම ගියහ. වලොද්යා කුලී රථයක් නවතා ගත්තේය.  කුලී රථය තුල තාන්යා ගිහාන් ගේ අත තම දෑතට ගෙන  සිය උකුල මත  තබාගෙන ගමන අවසන් වනතුරු නිහඬව සිටියාය. වලොද්යා මොනවදෝ රියැදුරු  සමග කතා කළේය. ලේනා රථයේ ජනේලයෙන් මාර්ගය  දෙස බලාගෙන සිටියාය.

තාන්යා ගේ දෙමාපියන් ඔවුන් එනතුරු සිටියේ අවදියෙනි.







~~මතු සම්බන්ධයි

ප.ලි - 
මුල් රුසියානු ගීතය :

ඉහත දෙවැනි ගීතයේ වදන් ව්ලදිමීර් ලුගවොයි ගෙනි. මේ ගීතයේ තනුව සහ මුල් ගීතය ස්පාඤඤ හොසේ ලුයිසා ගේ "නුඹ  යන්නේ (ඇයි 0 කොහිද " යන ගීයෙනි.
මුල් ගීතය

Monday 9 July 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (29) - හරිත දූපතට

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (28) - තගන්රොග්

පසුදා දහවල් වනතුරු නිදා සිටි තාන්යා නිවසේ ඉදිරි විසිත්ත කාමරයේ රූපවාහිනිය නරඹමින් සිටි ගිහාන් අසලට වෙලෙවි  වෙමින් පැමිණියාය.

"මම මුහුණ හෝදාගෙන එන්නම්. ඔයා උදේට කෑවද "

"ඔයාගේ අම්මා නූඩ්ල්ස්  කාෂා එකක් හදල දුන්න. එයාලා වැඩට ගියා. ඔයාගේ එක තියනවා කුස්සියේ. "

"මම කන්නම්. කාෂා එක රහද " කාෂා යනු කැඳ වලට  රුසියානු භාෂාවෙන් කියන නමයි.  මේවා වර්ග කිහිපයකි. නූඩ්ල් කැඳ එක නූඩ්ල්ස් වලට කිරි සහ සීනි දමා පිළියෙළ කරන එකකි. බක්වීට්(තිරිඟු වැනි )  හා පොරිජ් (තලප වැනි)  වලින් හදන කැඳ මෙන්ම  කිරි බත් කැඳ ද තිබේ. බත් වලට කිරි සෑහෙන පමණ දමා කුරුඳු කුඩු දැමූ සීනි සමග කැඳ එකක් මෙන් කෑමට හැකිය.

"ඔව්" ගිහාන් කෙටියෙන් පිළිතුරු දුන්නාය.

"මම හෙට උදේ  ඔයාට බ්ලිනී (පෑන් කේක් වැනි) හදල දෙන්නම්." ඔහුගේ ගෙල වටා අතක් යවා හාදුවක් දෙමින් ඇය කීවාය.

ඊයෙ තිබ්බ ප්‍රශ්නේ ඉවරයි වගේ. ගිහාන්ට සිතුනි.

"අපි යමු සිල්යෝනි දුපතට. ඒක ගැන අහල තියෙනවා නේද ? අර අද්භූත එළි යන්නේ එන්නේ. වෙන කාල පරාසයකට හරි වෙන ලෝකෙකට  හරි යන්න උමගක් තියනවා කියන්නේ එතන හැංගිලා "

තාන්යා උද්යෝගයෙන් පැවසුවාය.

සිල්යෝනි (ЗЕЛЁНЫЙ)  යනු රුසියන් භාෂාවෙන් හරිත යන්නයි.  මේ කියන්නේ රොස්ටොව්  වල හරිත දූපත ගැනය.  එයට ඒ නම වැටී ඇත්තේ වර්ග කිලෝමීටර හතරක පමණ වපසරියක් ඇති එම දූපත පුරා  විලොව් ගස් සහ එම පෙදෙසට ආවේනික ගස්වැල් වලින් පිරී කොළ පැහැයෙන්  පෙනීම නිසාය.


හරිත දුපත 
"ඔව් ඔයා කිව්වේ. අපේ රටේ දේවතා එළි කියල ජාතියක් තියනවා ඔය වගේම මිථ්‍යා කතාවක් තමයි ඒකත්. යනව නම් යමු "

"යනවා නම් යමු නෙමේ. එතැන හරිම ලස්සනයි. ඒ වගේම අද්භූතයි. ඔයා බය නැහැනේ "

"කාටද? ඔයා යන ඕන තැනක මමත් එනව." ගිහාන් කීවේය.

"අපිට ඒ වෙන ලෝකෙකට හරි වෙන මානයකට හරි යන මාර්ගේ  හම්බවුනොත් දෙන්නම යමු. අපි දෙන්නට ගිහින් හිටිය හැකි. ලංකාවට යන්න ඕනේ නැහැනේ එතකොට."

ඊයේ සිට පැවති ඇගේ දොම්නසට හේතුව ගිහාන් ක්ෂණයකින්ම  වටහා ගත්තේය.

"තානිච්කා මම ඊයේ සද්ද නැතිව හිටියේ ඔයාව ලංකාවට එක්ක යන්න බැරි කමකට නෙමෙයි. එහෙම කෙළින්ම  යන්න බැහැනේ ඔයාලට. එකම ක්‍රමය අපි විවාහය ලියා පදිංචි කරන එක. ඒක එක පාරටම කියන්න බැරි නිසා මම සද්ද නැතිව හිටියේ. මම ඔයාව කොහොම හරි ගෙනියනවා. මම අනිත් සමහර අය වගේ රුසියාවේ ඉන්න නම් කැමති නැහැ"

"එහෙම කට්ටිය ඉන්නවද "

"ඕව පොත් පරිවර්තනය කරන ලේඛකයෙක් ඉන්නව රුද්‍රිගු කියලා. එතකොට අපේ තානාපති කාර්යාලයේ වැඩ කරන දෙතුන් දෙනෙක්  ඉන්නව. ඒත් මම කැමති නැහැ. මම මේ මාතෘකාව කතා නොකළේ ඒකයි. අපි  ඉවර කලාම කොහොම හරි යමු."



"මම උපාධිය ඉවර කරන්නේ ඔයාට පස්සෙනේ."



"ඒකනේ මම ගිහින් රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙලා කොහොම හරි ඔයාව ගන්නම්. අපේ හුඟක් අය ලංකාවේ වැඩ කරලා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට හෙම යනව කියල වැඩිහිටි ශිෂ්‍යයෝ කියනවා. එහෙම හරි කරන්න  පුළුවන්."

"ඔයා යන ඕන තැනකට මාත් එනවා"

ගිහාන් ගේ කම්මුලට සෙමින් පහරක් ගසා තාන්යා ගමනට සූදානම් වූවාය.

දුපතට යාමට පාලමක් තිබේ. නමුත් ඔහුත් සමග පාලමෙන් යාමට තාන්යා අකමැති වූවාය.

"ලේනා කිව්වා විදේශිකයන්ට යන්න බැහැ කියල ඒකට.   ඔයාගේ රොස්ටොව් ඉන්න ලංකාවේ  යහළුවන් ගෙන  අහන්න බැරිද? ලංකාවේ සිසුන්  ඉන්න නේවාසිකාගාර හොයාගෙන යන්න පුළුවන් "

"නැහැ ඕනේ නැහැ. වෙන විධිහක් නැත්නම් රෑ වෙලා යමු"

ලංකාවේ සිසුන් හමුවීමට ගිහාන් අකමැති විය.

"බෝට්ටුවක් තියනවා තාත්තා මාළු බාන්න යනවා යාලුවෝ කට්ටියක් එක්ක ඒකෙ සමහර දාට. කම්හලට අයිති වෙලා දැන් වැඩ කරන අයට දීල තියන එකක්. මම තියන තැන දන්නවා. මම කලින් හිතුවෙත් ඒකෙ යන්න "

"ඒකෙ යමු. "

දොන් නදියේ මෙහා පැත්තේ නිවාස යෝජනා ක්‍රමයක් අසලට ගිය තාන්යා මද වෙලාවකින් බෝට්ටුවේ භාරකරු ගේ අවසරය රැගෙන පැමිණියාය. ඇය කියා ඇත්තේ  සොයුරිය සමග යන බවකි.

"ඔයා ඔලුව පහත්  කරලා දිගා වෙන්න"

මහත් කැමැත්තෙන් ඇගේ උකුල මත හිස සඟවාගෙන, දුපතේ හිඳ ගැනීමට  තාන්යා ගෙනා පොරෝනයෙන් හිසද වසාගෙන ගිහාන් බෝට්ටුවේ ඇතිරුණේය. හබල් දෙකින් පදිමින් භාගයක් දුර දොන් නදිය දිගේ ගිය පසු ගිහාන්ට නැගිටින ලෙස  තාන්යා සන් කලාය. ගිහාන් හදිසියේ නැගිටි විලාසයට බෝට්ටුව මදක් පැත්තට ඇලවුනි.

"මේ පැත්තට එන්න" තාන්යා කෑ ගෑවාය.

දොන් නදිය දෙස බැලූ ගිහාන්ගේ ගතේ හී ගඩු පිපුනි. එය අති විශාල ගැඹුරු ගඟකි. යුරෝපයේ පස් වැනි දිගම ගඟ වන දොන් නදිය රොස්ටොව්  පෙදෙසේ දී වඩාත් පළල්ව ගලා යයි. ඔවුන් ගඟේ මැද හරියේය.

"මට හරියට පීනන්න වත් බැහැ"

"මේ හරියේ දිය රැල සැරයි. මගේ ඉස්සරහින්  බංකුවේ ඉඳ ගන්න. ඔයාගේ රට දුපතක් නේ පීනන්න පුරුදු වුනේ නැත්ද?" තාන්යා සිනා සුනාය.

බෝට්ටුවේ මැද බංකුවේ තාන්යා ඉදිරියෙන්  හිඳගත් ගිහාන් ඇය සිඝ්‍රයෙන් බෝට්ටුව පදින අයුරු නිරීක්ෂණය කළේය. ඇය මේ වැනි ගමන් කලින් ගොස් තිබේ.

හිත සැනසුමට පත් කරමින් දුපතේ වෙරළේ ගස් අඩු පෙදෙසක  බෝට්ටුව ගාල් කිරීමට ඔවුන් සමත් වුනි. තාන්යා බෝට්ටුවේ  බැඳ තිබූ ලණුව ගෙන එතනම තිබු කණුවකට  එය ගැට ගැසූ නිසා ඒ බෝට්ටුව නවත්වන සුපුරුදු ස්ථානයක් බව ගිහාන්ට වැටහුණි.

"මේ  පැත්තට යං. අනිත් පැත්තේ මිනිස්සු ඉන්න පුළුවන්. "

"ඔයා මීට  කලින් ඇවිත් තියෙනව නේද"

"ඕන තරම්. තාත්තා මාළු බාන්න එනකොට. ලේනා එක්ක හෙම"

ගස් වලින් හා නොයෙක් පඳුරු වලින් වටවූ එළි කරන ලද කුඩා පෙදෙසකට ඔවුහු පැමිණියහ.

"ඔයා මේ වගේ තැන්මයි  හොයන්නේ." ගිහාන් විහිළු කළේය.

"ඔයා අකමැතියි නේ නේද "

"එහම අකමැත්තක් තියනවනම් එනවය රොස්ටොව් "

ඔහු ඇය වැලි සහිත භූමියේ පෙරලා ගෙන සිප ගත්තේය.

"දැන් ටිකකට කලින් නම් ගඟ මැද බයේ හිටියේ. එහෙම බැහැ   සින්දුවක් කියන්න ඕනේ . හැබැයි වෙනද වගේම තේරුම කියලා"

ඇය ඔහු ගයන ගීත වලටත් වඩා ඒවායේ තේරුමට කැමති බව ඔහු දැන සිටියේය. ගීතයත් ඇගේ මනෝභාවයනුත් අතර අපූරු  සම්බන්ධයක් තිබේ.

"ලන්ඩනයේ හිටි දවස් වල යාළුවෙක් සින්දුවක් කියල දුන්න. හොඳට  සින්දු දන්න කෙනෙක්.  ඔයාව  මතක් වෙන නිසාම "

"කවුද සුහදද "

"නැහැ කුමාර කියල පළමු වෛද්‍ය විද්‍යාලේ  වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න යාළුවෙක්. ඔයා දැකල නැත්ද කොහෙද? සමහර විට දකින්නත් ඇති මගේ උපන් දිනේට අපි අර කෑමක්  දුන් දවසේ ආව මම හිතන්නේ. උඩු රැවුලක් හෙම තියෙන්නේ"

"ඉන්දියන් එක්කෙනද උඩු රැවුලක් තියෙන "

"නැහැ එයා නෙමේ. මෙයා  ලංකාවේ . ප්‍රියාන්  හෙම නිතර එහෙ යනව අලුත් ඉංග්‍රීසි සින්දු අහන්න.  සිංහල සින්දු කැසට් ගොඩක් තියනවා එයා ළඟ."

"ඉතින් කියන්නකෝ "

"මේකේ කියන්නේ සුන්දර කුරුළු ගීත හඬින් කණට ලං කරලා ඔයා ආදර කතා කියනවා කියල , හඳ ත් නොසිතුව විධිහට ඔයා සුවයක් රැගෙන එනවා කියල"

"හඳ කොහොමද සුවයක් රැගෙන එන්නේ "

"ඔය ඉතින්. අපේ රටේ හඳ  හරියට උපමා වලට ගන්නවා. සඳ තියෙන රැයක් සිසිලයි, සැපයි  කියල තමයි කියන්නේ. රස්නේ රටක් නේ . මීටත්  වැඩිය "

 "ඉතින් ඊළඟට "

  "ඊළඟට කියන්නේ මෙන්න මේවා ස්පර්ශ කරපු ගමන් ඔයා මත් වුනා කියල. "

ඇගේ බ්ලවුසය යටින්  අත යවා  පියයුරු තෙරපමින් ඔහු සිනා සුනේය.

 "ඉතින් මුළු දවසම සැපෙන් හිටිය කියල"

"නැත්නම්" ඇය දෙපා ඔහු වටා  පටලවමින් තුරුළු වූවා ඔහුවා නොනවත්වාම  සිප ගත්තාය.

 "ගීතයකට මෙතරම් දෙයක් කරන්න පුලුවන්ද " ගිහාන්ට සිතුනේය. ගීතයට නොව ගීතයේ  තේරුමට ඇය වශී වන්නීය.

 "ඉතින් අන්තිම හරියේ කියන්නේ ආදරයේ දෙවියා  ඊරෝස් අනුකම්පාවකින් තොරව එයාගේ හීය විදිනවා කියල හදවත තුවාල කරන්නම,  ආයි ඔයා කවදද  එන්නේ  කියල මග බලන් ඉන්නව. මම ලන්ඩන් වල හැමදාම ඔයා ගැන හිතපු නිසා සින්දුව හොඳට ගැලපුනා "

"ඉතින් කියන්න." ඇය ඔහුගේ උකුලට හිස තබා ගත්තාය.

 ඇගේ  උරහිසට තට්ටු අල්ලමින් ඔහු ගීය ගැයුවේය.

 අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතු ලෙසින්
ඔබය සුවය ගෙනා...

හස තුඩු ගැටුණු සැණින්
කැකුළ මත් වූවා
මතකයි නොහිම් සුවෙන්
දිනක් ගතවූවා...

මදරද නොමැත තෙතක්
විදි සැර ආදරයේ 
ළඳ ඔබ මවෙත යළිත්
කෙදින පැමිණේවි දෝ...

 සින්දුව අවසන් වීමට ප්‍රථම ඔහු සිප ගන්නට ඇයට ඕනෑ විය.

"ඔයා අර උපත් පාලන ඒවා ගෙනාවද "

"නැහැනේ. ඔයා කිව්වෙත් නැහැ "

"ඉතින් මම කියන්න  ඕනෙද , මට ළමයි හදා ගන්න බැහැ දැන්ම. මෙහෙ එනවා මම හිත වෙනස් කරන්න  කලින්.  "

 ඇය ඔහුත් ඇදගෙන එළි මහනට එපිටින් වූ පඳුරු  තුලට දිව ගියාය. ඒ කොටසේ  අතු පහළට නැමුණු විලෝ ගසක් විය. එය අසල  බිම මිනිසුන්  හිඳ සිටි ලකුණු තිබුණි.

"යකඩේ රත් වෙලා තියෙන වෙලාවේ තලා ගන්න  ඕනේ කියල අපේ කතාවක්  තියෙනවා "

ඇය ගසේ දෙබුක්කාවේ හිර කර  වැළඳ ගනිමින් ඔහු කීවේය.

 "ඔහොම නෙමේ "

ඔහු ගස පැත්තට හරවා තල්ලු කල ඈ  බිමට නැමුණු  අත්තේ දෑතින්ම එල්ලුනේ ඔහුගේ බඳ  වටා දෙකකුල් යවා ඇද බැඳ ගනිමිනි.

 "ස්ථානෝචිත ප්‍රඥාව " ඔහු කීවේය.

 "ෂ් ෂ් ෂ් " ඇඟිල්ලක් තබා ඔහුගේ මුව  වැසූ ඈ ඔහුගේ මුහුණ දෙපියොවුරු  අතර හොවා ගත්තාය.

"කවුරු හරි එන්න කලින්. " ඔහුගේ හිසට හාදුවක් දෙමින් ඈ සෙමින් තෙපලේ රිද්මයානුකුල  ප්‍රසංගය ආරම්භ කරමිනි.

 ඔහු තෘප්තියට පත්වන අවස්ථාව ඈ ඉවෙන් මෙන් දැන සිටියා වහා  දෙකකුල් මුදා හරිමින් ඉවත් වූවාය.

 නැවත එලි මහනට පැමිණ හෙවනැල්ලේ පොරෝනය එළා ඒ මත එකට තුරුළු වී දෙදෙනා කොපමණ  වෙලාවක් වැතිර සිටියේ දැයි මතක නැත.

 ඈතින් පිරිසක් ශබ්ද නගමින් කතා කරන  හඬ ඇසුනි.

"ලේනල එනවා " තාන්යා මිමිණුවාය.

 ඈතින් පෙනුනේ ඇගේ සොයුරිය ලේනා ත් ලේනා ගේ  පෙම්වතා වලොද්යා හා තවත් තරුණ තරුණියන්  පිරිසක් එන අයුරුය.

 ~~මතු සම්බන්ධයි


 ***********************************************************************************

ඉහත සඳහන්  ගීතයේ ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ගේය


 තනුව සහ සංගීතය : මොහමඩ් සාලි
ගායනය : ඩබ්ලිව්. ප්‍රේමරත්න



Thursday 5 July 2018

විජයකලා සම්බෝලයට ගැනීම සහ ....දයාපාල තිරාණගම

විජයකළා සහ දරුවන් සැමියා මිය ගිය දා 
දයාපාල තිරාණගම ගැන මා අසා තිබුනේ රාජිනි තිරාණගම  (රාජසිංහම්) නිසා යයි කිවොත් නිවැරදිය. හෙලන් ක්ලොදොව්ස්කි  රාජිනි ගැන කළ වාර්තා චිත්‍රපටය (No more tears sister) නරඹා ඉන්පසු වෙනත් දිනෙක ලන්ඩනයේ වොල්තම්ස්ටෝව් වල දයාපාල තිරාණගම සහ ඔහුගේ දියණියන් දෙදෙනා රාජිනි ගැන කල සංවාදය නැරඹීමටද ගියෙමි. මා  දයාපාල තිරාණගම  මහතා ප්‍රථම වරට දුටුවේ එදිනය.

රාජිනි තිරාණගම ද එක්ව ලිපි පල කරන ලද "මානව හිමිකම් සඳහා වන විශ්ව විද්‍යාල ඇදුරන් " ගේ වෙබ් අඩවිය  UTHR අප ඒ දිනවල යාපනයේ සහ උතුරේ සිදුවන සිද්ධීන් ගැන දැන  ගැනීමට කියවූ ප්‍රධානතම අපක්ෂාපාතී වෙබ් අඩවියක් විය.

එදින සංවාදයේදී  "රාජිනි සැබවින්ම  මරා  දමන ලද්දේ දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින්මද , ඒ ගැන ඔබට සාක්ෂි තිබේද?" යන ප්‍රශ්නය මම ඇසුවෙමි.  එය ඇසුවේ එංගලන්තයේ විසූ බොහෝ ද්‍රවිඩ පිරිස් එය එසේ බව නොපිළිගත් හෙයිනි.   ඔහුගේ දියණිය බොහෝවිට මා  LTTE සංවිධානයට පක්ෂ අයෙකු ලෙස සලකා  පිළිතුරු දුන් බවක් පෙනුනි.

මා දැන  සිටියේ කොටි සංවිධානය ජනතාව රැඳී සිටි කෝවිලක (නල්ලූර් කෝවිල විය හැකිය) සිට හමුදාවට ෂෙල් ප්‍රහාර එල්ල කල එතනින් ඉවතට දිව ගිය බවයි. ඉන්පසු හමුදාව විසින්  එතනට එල්ල කල  ෂෙල් ප්‍රහාර වලින්  රැස්ව සිටි අහිංසක  දමිළ ජනතාවෙන් සමහරක්  මිය ගිය පසු කොටි සංවිධානය ඒවා වීඩියෝ ගත කර බටහිරට  එවන ලද බවයි. රාජිනි දැඩි ලෙස මෙම ක්‍රියාවලිය විවේචනය කළ නිසා ඇය මරා දැමුණු බවයි.

විජයකලා කොටි සංවිධානය වැන්නක් නැවත අවශ්‍ය යයි කියන්නේත් දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දැඩි පාලකයෙක්  අපේක්ෂා කරන්නේත් එකම හේතුවක්  නිසාය. සමහරුන් හිට්ලර් ඉල්ලන තරමට මේ තත්වය දරුණු වී ඇත්තේ ඇයිදැයි හේතුව සොයනු මිස පණිවිඩය ගෙන ආ විජයකලා විවේචනය කිරීමෙන් පලක් නැත.

මේ ඇත්තේ රයිගමයා  හා ගම්පලයා විසින් කද  දෙපැත්තට ඇදීම නිසා  කදය කොහේටවත් නොයන බව අවබෝධ  කරගත නොහෙන  නායක දෙපොළක්  නිසා ඇතිවූ තත්වයක් පමණි. ඔවුන් දෙදෙනා සිතන්නේ  පණිවිඩය ගෙනා විජයකලා ඉවත් කිරීමෙන් ප්‍රශ්නය  විසඳෙනු ඇත කියානම් ඔවුන්ට වැරදී  ඇති ප්‍රමාණය ගැන ඔවුන්ටම අවබෝධයක් ඇත්තේ නැත.


තව දුරටත් කඳුළු  නොහෙළමු  සහෝදරියනි 

දයාපාල තිරාණගම මහතා මුහුණු පොතේ පළ කල මේ ලිපිය මෙහි පල කරන්නට සිතුවේ එහෙයිනි.

*******************************************************
විජයකලා සම්බෝලයට ගැනීම සහ ජාතිවාදයේ නරුම සවභාවය

ද්‍රවිඩ කොටි සංවිධානය නැවත හිස එසවීම සඳහා ඇති ඉඩකඩ නැත්නම් ඒ සඳහා අවශ්‍යවන දේශපාලන අවකාශය හුදෙක්ම අද පවතින්නේ සිංහල ජාතිවාදයේ බියකරු සිහිනයක් ලෙස පමණක් වුවද ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වුවමනා වෙන් ම මග හැරිම නිසා ජාතිවාදීන් බියට පත්වී ඇති බව පෙනේ.

විජයකලාගේ දේශපාලන නොමෙරුම් කමේ මේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මහත්වරුන්ගේ අශෝභන සහ ද්වේශ සහගත  හැසිරීම මගින් පෙන්වුයේ එයයි.එබඳු සැහැසි දර්ශන මේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ උරුමය ලෙස පවතින්නේ නම් අපේ රටේ ජනවාර්ගික සමගිය ට ඇති අභියෝගයන් කල්ප ගණනකට ඉවත් කල නොහැකි වනු ඇත.

කොටි සංවිධානය විසින් කරනලද තිරස්චීන ඝාතනයන් සහ ජනතා පීඩනය මම හෙලා දකින්නෙමි. මගේ බිරිඳ රාජනී මරා  දැමුවේද ඔවුන් විසිනි .එ නමුදු 2009 දී ඔවුන් පරාජය කිරීම සමගිය සහ සංහිඳියාව ගොඩ නැගීමේ එකම කොන්දේසිය ලෙස පවත්වා ගැනීමට සිංහල දේශපාලන පංතීන් කැස කැවීම ද්‍රවිඩ ජනතාව අතර ප්‍රජාතන්ත්‍ර වාදය  සහ සමානාත්මතාවය සදහා වූ සටන අති විශාල ලෙස ශක්තිමත් කරන සහ වලංගු කරන දේශපාලන අවකාශයක් නිර්මාණය වනු ඇත.මෙය විජය කලාගේ නන් දෙඩවීමට වඩා බලවත්ය.වලංගුය.



ද්‍රවිඩ කොටිසංවිධානයේ නොපනත්කම්වලට වලට සහ විජයකලා වැන්නවුන්ගේ ලාබාල ප්‍රකාශයනට මුවා වී යුධයෙන් පසුව ද්‍රවිඩ ජනතාවගේ ජීවිතයට එල්ලවී ඇති බරපතල ප්‍රශ්නයන් අමතක කිරීම ද්‍රවිඩ අන්තවාදී කොටස්වල අභිප්‍රායන්ට  ජීවය ලබා දීම හැර වෙන යමක් කල නොහැකිය.

සිංහල ජාතිවාදය මෙයට දශක ගණනාවකට කලින් සහ අද පවා තේරුම් නොගන්නා ප්‍රශ්නය මෙයයි. ඔවුන්ගේ නිවාස සහ දේපල අපසු ලබා ගැනීම,ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කරනලෙස ඉල්ලා සිටීම,අතුරුදහන් කල දහස් ගණනකගේ ප්‍රශනය,පියෙක් නැති මව් වරුන් පමණක් ඇති දස දස දහස් ගානක් පවුල්වල දුෂ්කර පැවැත්ම මෙන්ම අපේක්ෂා බංගත්වය විජයකලා ගේ නොමේරු ප්‍රකාශයට වඩා දේශපාලන ගතිකත්වයක් ඇති කරගත් දාට සිංහල ජාතිවාදයට නැවතත් ඉතිරිව ඇත්තේ ප්‍රචණ්ඩත්වයේ විසඳුම පමණක් බව පෙනී යනු ඇත.


-දයාපාල තිරාණගම 



History of the Organisation - UTHR 


Friday 22 June 2018

අයිවෝ උපහාරයක්

මේ නිසඳස ලියා  තිබුනේ මගේ ලිපියකට ප්‍රතිචාරයක් වශයෙන්. අයිවෝ ඩෙනිසුන් ට උපහාරයක් නිසා එය මෙහි පළ කරන්නට සිතුවෙමි. ඇනෝ මහතා/මහත්මියට කැමති නම් නම එවන්න.



මට මතකයි ඔබ
නාවල පාරේ
'සුනිලුන් නිවහන'
පෙනෙනා මානේ
ආපසු යන්නට බසයක් එනතුරු
ඉවසීමෙන් හිටගෙන උන්නා

කුරුළු පරා දිසයේ
කුරුළු සිහින සාගරේ
ඔබ හා විසුමට එන්නෙමි
කුරුළු සුරපුරේ.....

සුනිලුන් ගිය දෙව් විමනට
යනු මැන
ගීතිකාවකින්
යලි එක්වනු මැන
ඔබට සුභ ගමන්



(අයිතිය) (C)  Anonymous 20 June 2018 at 00:39

"වළාකුලින් බැස " ගීතය මුලින්ම ගායනා කරන ලද්දේ සුනිල් ශාන්තයන්ය.



Artist: Ivor Dennis O. Music & O. Sung: Visarada Sunil Shantha Lyrics: Kalasuri Arisen Ahubudu

Tuesday 19 June 2018

ලන්ඩනයේ දී එක අහසක් යට පෑයූ හිරු, අඩ හඳ හා තරු රැස

සාමාන්‍යයෙන් මම ලන්ඩනයේ පවත්වන  සිංහල දෙමළ  අවුරුදු උත්සව වලට සහභාගී වෙන්නේ නැහැයි.  එක හේතුවක් නම් සෑහෙන කලකට ඉහතදී කිසියම් අමිහිරි අත්දැකීමක් ලැබීම.  මම හිතන් හිටියේ මේ සංස්කෘතික සංදර්ශන පවත් වන්නේ ලන්ඩනයේ ජීවත් වෙන අනිකුත් සංක්‍රමණික ජාතීන්ට, බහුතර සුදු ජාතිකයන්ට හෙම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, සංස්කෘතිය, හැදියාව පෙන්වල දීල ලංකාවට සංචාරකයෝ යවන්න, ආයෝජකයෝ ගෙන්වන්න, මේ රටේ ජනතාව එක්ක සමගියෙන්, සමාදානයෙන් ඉන්න වගේ දේවලට කියල. නමුත් එදා නම් මාත් එක්ක ගිය සුදු ජාතික උදවියට බොහොම නරකට සැලකුව එකයි වුනේ. ඉඳගෙන හිටි පුටු වලිනුත් නැගිට්ටවල මොකට අපේ ඒවාට එනවද වගේ කතා කියපු නිසා අපි එතනින් ආව. ඊට පස්සේ මම ඒවගේ තැන් මග හැරියා.

දෙවැනි හේතුව තමයි බ්‍රිතාන්‍යයේ සංවිධානය කරන  බොහොමයක් සංස්කෘතික උළෙලවල් මෙහෙයවන්නේ  සිංහලෙන් (හෝ දෙමළ නම් දෙමළෙන්) පමණයි. ඒවාට එන මෙහෙ ඉපදුනු ළමයින්ට වත් වෙනත් ජාතියක  කෙනෙකුටවත් වෙන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් හැමදාම නැගුන ප්‍රශ්නයක් තමයි හැමෝටම තේරෙන්න හැම ජන වර්ගයක්ම සහභාගී කරගෙන  ඔය වගේ උත්සවයක් සංවිධානය කරන්න  බැරිද කියන එක.

එහෙම  උත්සවයකට මම මේ  ඉරිදා සහභාගී වුනා. "එක අහසක්  යට" යන තේමාවෙන් අගෝරා කලා  කවය හා මිතුරු පිරිසක් වොට්ෆොර්ඩ් ප්‍රදේශයේ සංවිධානය කරන ලද ශ්‍රී ලංකික දිනයට.  අර හැම උත්සවයක වගේම කඹ ඇදිලි, කොට්ට පොර වගේ "ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා " තිබුන. වෙනසකට තිබුනේ පර්දාව හැඳ  සිටි මුස්ලිම් කාන්තාවන් , සිංහල හා දෙමළ  කාන්තාවන් සමග කඹ ඇදීම. දෙමල සිංහල මුස්ලිම්   තරුණ ළමයි දෙහි ගෙඩි හැන්දේ  තබාගෙන තරඟයට  දිවීම. ඒ වගේම සිං හලෙන් සහ දෙමලෙන් ඒ ඒ අංගයන්නිවේදන  කිරීම වගේ වෙනසක් ඇති උළෙලක්. ඒ එකමුතු කම දකින විටත් හරිම සුන්දර හැඟීමක් සිතට ආව.
හැරෝ නගරාධිපතිනි කරිමා මරික්කාර් 

ශාලාව තුළදීත් ඒ සම්ප්‍රදාය රැක ගන්න සංවිධායකයන් සමත් වුනු බව පෙනුනා.
ඉතා මෑත දිනෙක හැරෝ ප්‍රදේශයේ  නගරාධිපතිනිය ලෙස තේරී පත්වුණු, ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපත ලද මුස්ලිම් කාන්තාවක් වන කරීමා මරික්කාර් මහත්මිය භාෂා තුනෙන්ම සභාව  ඇමතුවා. ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සහ ජීවත්වී දැන් බ්‍රිතාන්‍ය වැනි රටවල සිටින බහුතරයක් මුස්ලිම්වරුන්ට ශ්‍රී ලංකාවේ භාවිතා වන භාෂා තුනෙන්ම සංනිවේදනය  කිරීමේ හැකියාව ඇත්තෙන්ම  පැසසිය යුතුයි. මරික්කාර් මහත්මිය පැමිණ සිටින ජනතාවගේ එකමුතුකම අගය කලා වගේම ඔවුන්ට ශ්‍රී ලංකා සුන්දර පාරාදීසයේ සංචාර කරන ලෙසද ආරාධනය කළා.

ප්‍රවීණ රංගධර රෙඩ්ලි සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් විදී නාට්‍යයක් ඉදිරිපත් වුණා මුලින්ම වගේ.
රෙඩ්ලි සමග වීදි නාට්‍ය කණ්ඩායම 
ඉනික්බිතිව ඉංග්‍රීසි භාෂාවෙන් සවන පිනවන සරල ගී කිහිපයක්ම ක්‍රිස් ඩන්ලොප් ප්‍රමුඛ  ගෘවී කලෙක්ටිව් වෙතින් ශ්‍රවණය කිරීමේ භාග්‍යය  ලැබුණා.
ක්‍රිස් ඩන්ලොප් 

මෙවැනි උත්සව කිහිපයකම මා දැක පුරුදු ලන්ඩනයේ ප්‍රසිද්ධ ඕලු නාට්‍ය කණ්ඩායමේ  අමා ප්‍රමුඛ තරුණ දැරිවියන්  දර්ශනීය නාට්‍ය අංගයන් කිහිපයකින් සභාව පිනැවූවා. 
ඕලු නාට්‍ය කණ්ඩායම 

මනෝහාරී කරුණාකරන්  පියකරු දකුණු ඉන්දීය ද්‍රවිඩ නාට්‍ය අංගයක්  ඉදිරිපත් කළා පමණක් නොවෙයි, සභාවේ සිටි ප්‍රේක්ෂකයන්  ඇගේ වේග රිද්ම   නැටුමට  අත්පුඩියෙන්  තාලය අල්ලන්නට පෙළඹවෙන පමණටම සභාව කුල්මත් කලා.


මනෝහාරී කරුණාකරන් 
ලන්ඩනයේ පදිංචි ද්‍රවිඩ ජාතික කූගන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කුඩා නාට්‍යයක් වේදිකා ගත කෙරුනා. කථා සාරය වූයේ  පසුගිය දිනෙක ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ බ්‍රිතාන්‍ය අධිකාරිත්වය  හිමි තඹ නිෂ්පාදන  කරන  වේදාන්ත සමාගමේ අනු කම්හලක විරෝධතාකරුවනට  තමිල්නාඩු පොලිසිය තිරශ්චින ලෙස පහර දීමට විරෝධතාවය දැක්වීමයි.
වේදාන්ත තඹ සමාගමට හා තමිල්නාඩු  පොලිසියට  විරෝධය පල කළ නාට්‍යය 
  
තමිල්නාඩු පොලිසිය බිම 
පිටියේ කෙලි සෙල්ලම් අංගයන් නිවේදනය කලේ බ්ලොග් රචකයෙකු හා ලේඛකයෙකු වන සරද සිංහල භාෂාවෙන්  සහ  මධු දෙමල භාෂාවෙන්. සභාව තුල  නිවේදනය කළේ පළපුරුදු නිදෙකයෙකු වන දිසා කෝනාර චතුර ලෙස සිංහලෙන් සහ මධු දෙමල භාෂාවෙන්. සේනක හෙට්ටි ආරච්චි ඉංග්‍රීසියෙන්  සභාව ඇමතුවා.

නාට්‍ය අංග අවසානයේ සොලිඩ් වාදක කණ්ඩායම සිංහල සහ දෙමල ගීත කිහිපයක්ම  වාදනය කරමින් සභාව ප්‍රීතිමත් කළ බවත් මතක් කල යුතුයි.

මේ ප්‍රසංගයේ සහ උත්සවයේඅඩුපාඩු නොතිබුණා  නෙමෙයි.

කන්ද උඩරට නැටුමක්, යක් නැටුමක්  හෝ හොඳ බෙර වාදනයක් තිබ්බ නම් අගෙයි.

කෝනා දිසා විශිෂ්ඨ ලෙස සභාව මෙහෙයවූවත් ඔහු ඇතැම් විට සංක්ෂිප්ත නිවේදනයන් වඩා දීර්ඝ ලෙස පැහැදිලි කරන්නට යාම ප්‍රේක්ෂකයන් මදක්  නොසන්සුන් කළා. ඒ වගේම ශබ්ද පරිපාලනයේ ඇතැම් අඩුපාඩුකම් මග  හරවා ගැනීමට නොහැකි වීම නාට්‍ය හා ගීත රසාස්වාදනයට බාධාවක් වුනු බව  සඳහන් කළ යුතුයි. 

වඩාත් පුදුම සහගත දෙය වුනේ වොට්ෆොර්ඩ් ප්‍රදේශයේ  ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මෙයට සහභාගී නොවන ලෙස තම ආධාරකරුවනට හා හිතවතුනට දැන්වූ බව දැන ගැනීමට ලැබීමයි.  මෙයට හේතුව වී ඇත්තේ සංවිධායක මණ්ඩලයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් සිටින බවට ඇති චෝදනාවක් කියාත් දැන  ගන්නට ලැබුනා. එසේම මේ ප්‍රදේශයේ ඇතැම් සිංහල ජාතිකයන්ද මුස්ලිම් සහ දෙමළ ජනතා සහභාගිත්වය විවේචනය කරමින් උත්සවය වර්ජනය කල බවත් දැන ගන්නට ලැබුණා.

පක්ෂ දේශපාලනයේදී  විරුද්ධවාදී අදහස් තිබීම  සාමාන්‍ය දෙයක්. නමුත් ජවිපෙ  නායකයන් හෝ පෙසපේ නායකයන් කෙසේ වෙතත් බිමේ සිටින සාමාජිකයන් විරසක වීම කණගාටුවට කරුණක්. මගේ අදහස නම් මේක හොඳ වැඩක්. ජවිපෙ පවා මේ දිනවල ලංකාවේ ජාතින් ගේ සමගිය ගැන හුඟක් සංවේදීව  කතා කරන බව පෙනෙනවා.  ඉතින් මෙවැනි දෙයක් වර්ජන කිරීම නම් ඉතා බොළඳ බවයි මගේ අදහස. උත්සව සංවිධානය වලදී දේශපාලනය අමතක කර එකමුතු වී සතුටු වීම වැරැද්දක් නෙමෙයි.

අවසානයේදී සඳහන් කරන්නට තියෙන්නේ අඩුපාඩු කිහිපයක් තිබුනත් වැඩේ විශිෂ්ඨයි කියල. මෙවැනි උළෙලවල් සංවිධානය කිරීම ලෙහෙසි නැහැ. ජනතාව  ගෙන්වා ගැනීම අමාරුයි. එසේම  විරසකව සිටි ජාතින් තුනක් එක්කහු කිරීම ඊටත් වඩා අමාරුයි. නමුත් අමාරුවෙන් හෝ මේ උඩුගං  බලා පිහිනීම අගය කළ යුතුයි. ස්තූතියි සංවිධායකවරුන්ට සහ මහන්සි වූ සැමට. 

"දකුණ නැගෙනහිර බටහිර උතුරද "
පසුගියදා අභාවප්‍රාප්ත වූ අයිවෝ ඩෙනිස් මහතාට ගරු කිරීමක් ලෙසත්  මේ දිනය සැමරීමටත් මේ ගීතයද  එකතු කරමි.




Sunday 3 June 2018

මෙඝන් ගේ පෙනෙන ගවුම හා නොපෙනෙන පෑන්ටිය

මෙගන් මාකල් හා හැරී ගේ මංගල්‍යයේ නොපෙනෙන  පැති  කඩක් තිබේ. ත්‍රිමාණ  වෙබ් අඩවියේ මේ ලිපිය "හැරී දෙස බලා සිටින ඔබ ඇත්තටම නිදහස්ද " බලන්නේ දැනට රාජකීය පවුලට කැමැත්ත ඇති ජනයා දෙස සාමාන්‍ය  රැඩිකල් වම විවේචනාත්මකව බලන ලෙසින්මය. උදාහරණයක් වශයෙන් හැරී හා මෙගන් ට සුභ පතා  ෆේස්බුක් පොස්ට් එකක් මම පල කළෙමි. එයට විරුද්ධව අදහස් දැක්වූ ස්වීඩනයේ දර්ශනවාදය ඉගෙන ගන්නා  සහෝදරයෙක් මම මෙගන් ගේ මෙලනින් සංඛ්‍යාව සොයාබලා  සුභ පතන  බව පැවසීය.

ඔහුට  මගේ දියණිය දුන් පිලිතුරද සමග මෙහි බ්ලොග් පෝස්ට් (ඉංග්‍රීසියෙන් ඇති බ්ලොගයේ) එකක් දැමුවෙමි.  ඔව්, මෙගන් ද  මගේ දියණිය මෙන්ම  මික්ස්ඩ්  රේස් හෙවත් මිශ්‍ර විවාහ වලින් උපන් දරුවන්ය. එනිසා ස්වීඩන් සහෝදරයාගේ වාමාංශික කතාව බැලූ බැල්මට එක්තරා  ආකාරයකින් මිශ්‍ර විවාහ දරුවන් කෙරෙහි එල්ල වන ප්‍රහාරයක්  සේ පෙනේ. නමුත් මා සිතන පරිදි ඔහු අදහස් කරන්නේ හැරී රැඩිකල් වුනා කියා හෝ මෙඝන් භාගයක් කළු වුනා කියා හෝ රජ පවුල අපේ බදු මුදල් වලින් පරපෝෂිතයන් සේ ජිවත් වීම  නතර කරන්නේ නැති බවයි.

ත්‍රිමාණ  ලිපියෙන් ද මට වැටහෙන්නේ එයයි.

 හැරී ට අවශ්‍ය නම් රාජකීය ලේ සහිත කන්‍යා කුමාරිකාවක් සම්ප්‍රදාය අනුව යමින් විවාහ කර ගැනීමට අවකාශ තිබුණි. ඒ වෙනුවට ඔහු විවාහ වූයේ එක විවාහයකින්  දික්කසාද වුනු පෙම්වතුන්  කිහිප දෙනෙකු ඇසුරු කළ මිශ්‍ර විවාහයකින් (කළු ජාතික අප්‍රිකන් ඇමෙරිකන් මව හා සුදු ජාතික පියා )  උපන් මෙගන් ය. ත්‍රිමාණ හා අනිකුත් ලාංකික  රැඩිකල් වමේ අදහස නිවැරදි වන්නේ මෙන්න මේ පැත්තෙන්  පමණි.

 ඇත්තටම හැරී කළේ ජනප්‍රියතත්වය අඩු වෙමින් යන  රජ පවුල රැක   ගැනීමකි. සියයට හැටක් පමණ බ්‍රිතාන්‍ය ජනයා රජ පවුල ගැන තැකීමක් නොකරති.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක කෝබින් රිපබ්ලිකන් වාදියෙකි. එහෙත් කෝබින් ගේ කණ්ඩායම පවා රජ පවුල සම්පුර්ණයෙන්ම   ඉවත් කිරීමේ තර්කයක නැත. රජ පවුල තම ආදායමින්  බදු ප්‍රමාණයක් ගෙවමින් දිගටම පවත්වා ගැනීම  ගැන අකමැත්තක්  නැති ප්‍රවණතාවයක්  පවතී.

මෙයට හේතුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පවතින ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය තුළය.
උදාහරණයක් වශයෙන් මෙගන්, හැරී සමග කිසියම් රාජ්‍ය හෝ චැරිටි යෝජනා ක්‍රමයක්  විවෘත කිරීමකට  යනවිට අඳින ගවුමක් ගනිමු.  එම ගවුම සාමාන්‍යයෙන් පැයක්  තුල විකිණීමේ ප්‍රවණතාවයක් පවතී. මෙය හඳුන්වන්නේ මෙඝන් මාකල් එෆෙක්ට් (The Meghan Markle effect යනුවෙනි.

මේ ලිපියේ දැක්වෙන්නේ එසේ ගවුමක් විකුණන වෙබ් අඩවියක් ක්‍රෑෂ් වුනු අයුරුය.

ගෝට් නමැති වෙබ් අඩවියේ විකුණන  ගවුමේ වටිනාකම පවුම් 590 කි. (රුපියල් ලක්ෂයක් පමණ) . බොහෝ අය එය මිලදී ගැනීමට පොරකෑමේ හේතුවෙන් වෙබ් අඩවිය ක්‍රියා විරහිත විය.

එසේම වෙනත් දිනෙක ඇය හැඳ සිටි කබායක් මිනිත්තු කිහිපයකින් විකුණා අවසන් විය.
මෙඝන් විකුණා දුන් බෑගය 

ඇය ස්කොට්ලන්තයේ  කළ චාරිකාවේදී කුඩා වෙළඳ ආයතනයක බෑගයක් රැගෙන ගියාය. එයද  විකිණී අවසන් විය. මේ තිබෙන්නේ එවැනි එක බෑගයකි. එසේම එම වෙළඳ ආයතනයට  ලොවේ අනිකුත් රටවලින් (අමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, ජර්මනිය) ද ඇනවුම් ලැබෙමින් පවතී. මේ අනුව ඔවුන් එම බෑගය අපනයනය ද කරයි. වෙළඳ ආයතනය හා කම්හල  පසුගිය වසර තුල වැඩි දියුණු  වුනු අතර නව රැකියා අවස්ථා කිහිපයක්ද බිහිවී  තිබේ. එසේම එම ආයතනය වෙනත් රටක නිෂ්පාදන ගෙන්වා ගන්නා  අතර එම රටේද රැකියා අවස්ථා ඇතිවී තිබේ.

කේට් මිඩ්ල්ටන් හෙවත් කේම්බ්‍රිජ් ආදිපාදවරිය ගේ ඇඳුම් පැළඳුම් වලට ඇති සැලකිල්ල ද  මෙසේමය. වසර 2015 දී කේට් ගේ පවුම් 50 ඇඳුමක් විනාඩි  ගණනකින් විකිණී අවසන් විය.

මේ නිසා මේ කාන්තාවන්  දෙදෙනාගෙන් බ්‍රිතාන්‍යයේ කාන්තා නිමි ඇඳුම්  වෙළඳපලට
ඇති බලපෑම සැලකිල්ලට ගත යුතු තරම් විශාලය.

මෙඝන් අඳින  පෑන්ටිය කුමක්ද යන්න දැන  ගැනීමට ක්‍රමයක් නැත, එනිසා වෙළඳ ආයතන කරන්නේ මේ දෙදෙනාගේ ඡායාරූප ඇතුලත් යට ඇඳුම් නිෂ්පාදනය කිරීමය.

ඉදිරියේදී මේ වෙළඳ ප්‍රචාරණය තවත්  උග්‍ර විය හැකිය. මෙඝන් කන කෑම, දරුවෙකු ඉපදුනොත් ඔහුට හෝ ඇයට කවන කෑම ඉදිරියේදී මාකට් විය හැකිය.  ප්‍රින්ස් ජෝජ් ගේ ඇඳුම පැළඳුම් දැනටමත් විකිණේ.

කොටින්ම  හැරී කළේ රැඩිකල් දෙයක්ම නොවේ.  ඔහු කළේ පවතින යථාර්තයට අනුගත වීම පමණකි. මා  ඔහුට සුභ පතන්නේ ඔහු එය වඩා හොඳින් වටහා ගත් නිසාය.
ධනවාදය දියුණු වනවිට එයට අවශ්‍ය වනුයේ  භේදයකින්, කරදරයකින්, දම්වැල් වලින් තොර  ශ්‍රමයක්  ලබා ගැනීමය. එම ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ විකිණිය යුතුය. ඒවායින් ලාභ ලැබීමට නම් ඒ සඳහා වෙළඳපල  නිර්මාණය කල යුතුය.

කම්කරු පක්ෂයට ඇති ප්‍රශ්නය මේ තත්වය තුල බිහිවන නව රැකියා අවස්ථා නොසලකා හැරීමට නොහැකි වීමය.

වහල්  ක්‍රමය හා රදළ ක්‍රමය බිඳ වැටුනේ ශ්‍රමයට තහංචි පැනවීමට යාමෙනි. ශ්‍රමයට හා වාණිජ නිදහසට තහංචි දමා ධනවාදය දියුණු වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ආයෝජනයක් කරන්නට එන කෙනකුට ඇති තහංචි කොපමණද? නිලධාරිවාදී රතු පටි පමණක් නොව අල්ලස් ඉල්ලන මැති ඇමැතින් හා ව්‍යාපාර ලියා  පදිංචියේ ප්‍රශ්න ඇතුළු දහසකුත් එකක් බාධක තිබේ. එනිසා දියුණු ධනවාදයක් නොව හොරා කෑමේ හා කළු සල්ලි ආයෝජනයන් ඉහවහා ගිය  පාණ්ඩු ධනවාදයක් ලංකාවේ ක්‍රියාත්මක වේ.

බ්‍රිතාන්‍යය දැනට ප්‍රශ්න ගොඩක පැටලී සිටි. එක පසෙකින් ට්‍රම්ප් විසින් වෙළඳ බාධක හා නව බදු(ස්ටීල්) පනවා තිබේ. මෙහෙන් යුරෝපා සංගමයේ ඉවත් වීමේ ප්‍රශ්නයය. ඉරාක  හා සිරියන් යුද්ධ වලට සහභාගී වීම හෝ සහය දීම නිසා ආරක්ෂක වියදම් වැඩිවී ඇත. ජාම  බේරා ගැනීමට නම් කිසියම් වෙළඳ විප්ලවයක් අවශ්‍යය. මා  කියන්නේ එය සම්පුර්ණයෙන්  ගෙන එන්නේ මෙඝන් හෝ කේට් කියා නොවේ. ඔවුන් සැලසුමේ කොටසකි. හැරී අත  තිබ්බේ රන් කෙණ්ඩියකටය.

 මේ රටේ ආර්ථිකය හොඳ වනවිට මටත් හොඳවන නිසා මගේ නම් එයට විරුද්ධත්වයක්  නැත. ඒ සඳහා මේ පවුලට ගෙවන මුදලින් බද්දක් ගියාට ප්‍රශ්නයක් ද නැත. එකම දේ රජ පවුලට  වඩා  බදු ගෙවන ලෙස බල කිරීමය. දැනට රජ පවුල ට මිනිසුන් ගේ බදු වලින් බ්‍රිතාන්‍ය රජය  පවුම් මිලියන් 43 ක් ගෙවති. රැජින හා චාල්ස් මිලියන් 20 ක පමණ නැවත රජයට බදු ගෙවති.

මෙයට එරෙහිව කතා කරන කම්කරු පක්ෂයේ සමහරු රැකියාවක්  නොකර රජයේ සුභ සහනාධාර වලින් යැපෙන්නෝ වෙති. එනම් ඔවුන් යැපෙන්නේද අප ගෙවන බදු මුදල් වලිනි. නමුත් ඔවුන්ගෙන් ආර්ථිකයට කිසිදු  වාසියක් සැලසෙන්නේ නැත.  සමාජවාදය අවශ්‍ය රජ පවුලට බදු ගෙවීමට කීම සඳහා පමණක් නොවේ. සෝවියට් දේශයේ කලාක්  මෙන් මේ සියල්ලන්ටම රක්ෂාවක ට යාමට බල කිරීමටය.

ඩෝරියා රග්ලන්ඩ් ,  චාර්ල්ස් කුමරු  , කැමිලා , චාලට් කුමරිය  සහ කේට් 
වහල් වෙළඳාම  නිසා අමෙරිකාවට බලහත්කාරයෙන් ගෙන ආ අප්‍රිකානු  කළු ජාතිකයකු ගෙන්  පැවතෙන මෙගන් ගේ මවත්,  එම වහල් වෙළඳාමට අනුබලය හා ආරක්ෂාව සැපයූ රජ පවුලෙන් පැවත වෙන එලිසබත් රැජින හා ඇගේ පුත් කුමරා චාල්ස් නුත් වින්ඩ්සර් මාලිගාවේ පල්ලියේ  පඩි පෙළ උඩ  එකට සිට ගන්නේ අහම්බයකින් නොවේ.

ඔවුන්ගේ අනාගතය දෙස බලාගෙනය.

The Meghan Markle effect: Garden party Goat dress sells out in minutes and causes website to crash



Tuesday 29 May 2018

ඇය සමුගෙන ගියාය

රත්මලානේ හෙන්ට්ලි සහ මැක්සිම් යනුවෙන් ඇඟලුම් කම්හල් දෙකක් තිබුණි. මේවා නිදහස්  වෙළඳ කලාප පැමිණීමට පෙර  ශ්‍රී  ලංකාවේ පිහිටවූ එවැනි මුල්ම කම්හල්ය. ඇය හෙන්ට්ලි ආයතනයේ සුපර්වයිසර් හෙවත්, ඈ කිවූ අන්දමට "ළමයින්"  ගේ වැඩ පාලිකාවක් වූවාය . එවැන්නියන් කිහිප දෙනෙක් ශාලාවකට සිටිති. බොහෝ විට 'ලයින්' එකකට එක් අයෙකු බැගිනි. පසුව මැක්සිම් ඇඟළුම් කම්හලේ තත්ව පාලකවරියක් (quality control) ලෙස රැකියාව ලැබුවාය.

මේ ආයතන යුරෝපයට ඇඟළුම් සැපැයූ සාර්ථක කම්හල් දෙකක් විය. මේ ආයතනයන් රත්මලානේ බොහෝ අයට රැකියා සැපයූ  ස්ථානයන්ය.

මේ 1970 දශකයේ අග කාලයයි.  මැක්සිම් සහ හෙන්ට්ලි යන ආයතන දෙකෙහිම එක දිගට වර්ජන රැල්ලක් පටන් ගැනුනි. එය පටන් ගත්තේ මැක්සිම් ආයතනයේ සේවකයෙක් කිසියම් වරදකට එලියට දැමීම හා සේවකයන්ට වැසිකිලි පහසුකම් ලැබීමේ කාලය පිලිබඳ ප්‍රශ්නයකට විය යුතුය. ඒ දිනවල කුඩා ළමයෙකු වන මට ඒ පිලිබඳ හරි මතකයක් නැත.

නමුත් අප බැලීමට පැමිණෙන ඇය අත සැමවිටම හොඳ රස කැවිලි තිබුණු බව මතකය.  ඉඳ හිට ඇඳුම් පැළඳුම්  තෑගී වශයෙන් ලැබුණි.

මේ කාලයේ ඇය, පෙමින් බැඳුණේ ඇයට වඩා  රැකියාවෙන් පහළ කම්කරු ශ්‍රේණියේ කෙනෙකු සමගය. ඔහු වාමාංශික පක්ෂයක සාමාජික ගාස්තු ගෙවන ඒ දිනවල  කොළඹ කම්කරු පන්තිය මෙහෙයවූ වා...හා බා ...දෙදෙනාගේ භක්තිවන්ත සපෝටර් කෙනෙකු විය. මේ සම්බන්ධයට විරුද්ධව මගේ පියා ඇතුළු අය  කොතෙකුත් අය කරුණු කීවද සැලුනේ ඇය නොවේ. (ඔවුන් විරුද්ධ වූයේ රැකියාව ගැන නොව ඔහු නිතරම බීමතින් සිටීම නිසාය)

ඇයට දරුවෙකුද ලැබුණි. ඇය සැමියා සමග මැයි දින රැලි වලටද  ගියාය.  මේ කාලයේ සෝවියට් සඟරා  මෙන්ම සෝවියට් පොත පත කියවමින් තරමක මාක්ස්වාදී මතයක සිටි මට ඇය පෙනුනේ සම්මතයට එරෙහිව යන, මේ  පොත් පත්වල සිටින වීරවරියක ලෙසිනි.  මා ළඟ තිබූ  "අම්මා " සහ ගෝර්කිගේ පොත් පෙළ ,"ගුරු ගීතය",  "වානේ පන්නරය ලැබූ හැටි","සැබෑ මිනිසෙකුගේ කතාවක්" ආදී සියල්ල ඇය ඉල්ලාගෙන ගෙන ගොස්  කියවා  තිබුණාය . ඇයට තමන්ව පෙනුනේ "පාවෙල්" ගේ මව ලෙසය.

මැක්සිම් ආයතනය තුල පක්ෂය මෙහෙයවූ ඊළඟ වර්ජනයට නායකත්වය දුන් අයගෙන් කෙනෙක් ඇය වූවාය. ඇය රැකියාවෙන් නෙරපා දැමුණි. අසූවේ  වර්ජනයට සහභාගී වීමෙන්  ඇගේ ස්වාමියා ගේ රැකියාව ද අහිමි වුනි.

ඒ කාලයේ එක්තරා වලව්වකට  සම්බන්ධයක් ඇති වාමාංශික නායකයෙකු ගේ නිවසට ගිය විට ගේට්ටුව වත් නොඇරවුනු බව ඇය කීවාය.

වරෙක් දහවල කෑම කන වෙලාවේ පැමිණි ඇයට අප කෑමට ආරාධනා කල විට කුස ගින්නේ සිටි  පුතාට කෑම දී ඇය කෑම නොගෙනම පිටව ගියාය. ඇගේ අභිමානය නොසැලී තිබුණි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කල ඇන් ඇම් ගැන කොල්වින් ගැන, බ්‍රේස්ගර්ඩ්ල් ගැන මා  මුලින්ම දැනගත්තේ ඇගෙන්ය.

යුඇන්පී රෝයල් එකට පුතා ඇතුලත් කිරීම ගැන ඇය මපියාට උපහාසයෙන් සිනාසුනාය. මා  ශිෂ්‍යත්වයෙන් සමත්ව එසේ ඇතුළත් වූ බව මම ඇයට පැවසුවෙමි.

ඇගේ පුතාට හොඳ විදුහලක් සොයා වමේ නායකයන් ගේ උදව් පැතූ බව දනිමි.  ඔහු ගියේ ඇස්වාට්ටුව පැත්තේ   රජයේ  පාසැලකටය.

මා සෝවියට් දේශයට ඉගෙනුමට යන බව අසා ඈ සතුටු වූවාය. පාවෙල්ලා ඒ රටේ තව දුරටත් නොමැති බව අසා ඈ කම්පා නොවුනාය. ඒ වනවිට ඇගෙන් පළවූයේ උපේක්ෂා සහගත බැල්මක් පමණි.

ඇය ඇගේ රැකියාව අතහැර දැමීම වරදක් බව මම ඇයට නිතර කීවෙමි. වර්ජනය කිරීම ජනතාවගේ පරම අයිතියක් බව ඇය මට නිතර කීවාය.

වර්ජනය කිරීම ගැන සමාව ඉල්ලා එජාප මන්ත්‍රී කෙනෙකු හරහා ඇගේ සැමියා රැකියාව නැවත  ලබාගත්තේ නොකළ බැරිකමට බව මම  දනිමි.

 සැමියා වෙනත් ගැහැනියක සමග සම්බන්ධයක් පටන් ගනිද්දී ඇය නොසැලී සිටියාය.

ඇගේ පුතා අතුරුදහන් විය.

ඇගේ කිසිදු වාමාංශික සගයෙකු ඇය බැලීමට පසුගිය අවුරුදු 25 තුල නොපැමිණියහ. සමහර විට ඔවුන්ද  ජිවිත සටනින් පැරදී සිටිනවා විය හැකිය.

ඇගේ දෑසේ තිබු දීප්තිය  මම ඉන්පසු නොදිටිමි. ඉඳහිට මුදලින් කල සුළු උපකාරයක්, චොකලට් එකක් දීමක් හැර වෙනත් උපකාරයක් නොකෙලෙමි. 

කිහිප දෙනෙකුගේ පමණක් දෙනෙත් තුල කඳුලක් රඳවා ඈ හුදෙකලාවම නික්ම ගොස්ය.

ලංකාවට කතා කර ඇගේ අවමගුලේ වියදම් පිළිබඳ  වගකීම භාර ගතිමි.

බ්‍රිතාන්‍යයේ රැකියාව කර ලැබෙන මුදලින් එය පියවීමට සිදුවීම ගැන ඇය මට සමාව දෙනවා නිසැකය.

සමහර ෆයර් බ්‍රෑන්ඩ් සෝෂලිස්ට් (firebrand socialist) ලා එක්කෝ අවසානයේ තම සටන පාවාදෙන බවත් නැත්නම් හුදෙකලාව මිය යන බවත් මම දැන් අත්දැකීමෙන් දනිමි.

අයිරීන් සහෝදරිය (අයිරීන් නැන්දේ)  ඔබට සුභ ගමන්.




Thursday 17 May 2018

ජර්මන් තානාපති කාර්යාලයේ සික්කා හා සික්කි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය 
සික්කන් යනු ආරක්ෂක නිලධාරී මහතුන් ට ඔවුන් නැති තැන හඳුන්වන ගෞරවනීය නාමයයි.බොහොම අමාරුවෙන් උදේ සිට හවස් වෙනකම් හෝ රැයක් නිදි මරාගෙන දරු පවුල රැක ගැනීමට රැකියාව කරන ආරක්ෂක නිලධාරී මහතුන් සිටි. ඒ අය පාලනය කරන්නේ බොහෝවිට විශ්‍රාම ගිය උසස් පොලිස් නිලධාරියකු හෝ විශ්‍රාම ගිය උසස් හමුදා නිලධාරියෙකි. ඔවුන්ගේ තර්ජන ගර්ජන විඳිමින් රැකියා කරන මේ මහතුන් ගේ ජිවිත කතාවල්  බොහොමයක් ශෝචනීයය. එයට හේතුව ඔවුන් ගේ රැකියාවවල විටෙක   කිසිම සුරක්ෂිත භාවයක් නැති වීම මෙන්ම අඩු පඩි ද විය හැකිය.

නමුත් සමහර  සික්කන් වැඩක් කර ගැනීමට එන මිනිසුන්ට ගෝරනාඩු කරන්නේ ඔවුන් රකිනා කාර්යාලය හෝ ස්ථානයේ අයිතිකරු තමන් යයි සිතාය. ඒ සික්කන්  යුනිෆෝම් ඇන්දාම එන අමුතු උෂ්ණත්වයද නැත්නම් වෙන හේතුවක්ද යන් මට වටහා ගත නොහැකිය.

මේ කියන කතාව  සිදුවන්නේ දැනට වසර 19 පමණ ඉහත දීය.

මගේ බිරිඳට විවාහ වීමට අවශ්‍ය වූයේ සින්හල චාරිත්‍රානුකුලවය. ඒ නිසා අපි ඒ උත්සවය ගත්තේ ශ්‍රී ලංකාවේය. ඉන්පසු සිංහල විවාහ සහතිකය ඉංග්‍රීසියට පෙරලා ගැනීම මදක් අපහසු විය. උදේ වරුවේ කොටුව පැත්තේ තිබූ එම රජයේ කාර්යාලයට ගිය විට  පරිවර්තක එදා වැඩ නැති බවත්,  නිවාඩු ගොස් ඇති බවත් කියා  දින තුනකින් එන ලෙසත් දන්වන ලදී. අපට නැවත ලන්ඩන්  යාමට තිබුනේ දින  දෙකකිනි. මෙනිසා එදාම මේ වැඩය  කර ගත යුතුව තිබුණි.

මදක් එලියට පැමිණි මම බිරියට පසෙකට වී සිටින්නට කියා නැවත ඇතුළට ගොස් කාර්ය කාර්ය සහයක උත්තමයෙකු හමුවී අවශ්‍ය ප්‍රදානයන් කලෙමි.  සෝවියට් දේශයේ හිටි  කාලයේ මේවා හොඳින් පුරුදු වී තිබුණි.  නිවාඩු ගිය පරිවර්තකයා හදිසියේ නැවත කාර්යාලයට පැමිණ තිබුණි. විනාඩි  තිහකින් පමණ ඒ වැඩේ කරගෙන අප ගියේ ජර්මන් තානාපති කාර්යාලයටය. එතනින් අපට අවශ්‍ය සීල් ගසා යුරෝපයේ සහතික කර ගත යුතුව තිබුණි.

බිරිඳ ජර්මන් තානාපති කාර්යාලයට කලින් ඇමතුමක්  දුන්නාය. තානාපති කාර්යාලයේ සිවිල්  වැඩ කටයුතු භාර නිලධාරියා සවස දෙකට  අපට එන ලෙස දැන්වීය. මුහුද පැත්තේ ටිකක් ඇවිද දහවල්  ආහාරයද ගෙන හරියට දෙකට විනාඩි දහයක්  තබා අපි එහි ගියෙමු. ජර්මානුවන් හරියටම වෙලාවට වැඩ කරන නිසා අප පමා  වීමට සිතුවේ නැත.

තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙක් සහ නිලධාරිනියක් ඇර තිබුණු ගේට්ටුව ළඟ සිටියහ. අපට විවාහය සහතික කර ගැනීමට ඇතුළට යාමට අවශ්‍ය බව කීවෙමු. ඔහු අපට  යාමට දීම එකහෙලාම ප්‍රතික්ෂේප  කළේය.  මම ඔහුට කතා කලේ සිංහලෙනි. ඒ ඔහු කැඩුණු ඉංග්‍රීසියෙන් අපට කතා කළ බැවිනි. බිරිඳ ඔහු අමතා අපට අපොයින්ට්මන්ට් එකක් තිබෙන බවත් ජර්මානු  මහතාගේ නමත් කියා නැවතත් ඇතුළට  යාමට අවසර ඉල්ලුවාය .

ඔහු වහාම කිවේ ඒ මහතා කිසිවකු හමු නොවන බවත් අප බොරු කියන බවත්ය. වහා  එලියට යන ලෙසද තර්ජනාත්මකව දැන්විය.

"නෝනව  රවට්ටගෙන පනින්නද කොහෙද?" නිලධාරිනිය කීවාය.
"මම එංගලන්තේ ඉන්නේ. මට එහෙ වීසා  තියනවා. පනින්න දෙයක් නැහැ. " කියා ගමන් බලපත්‍රය පෙන්වුවත් ඔවුන් එදෙස බැලුවේ වත් නැත.

සික්කා මුස්ලිම්  ජාතිකයකු බවද සික්කිය සිංහල බවද ඔවුන්ගේ නම් ටැග් වලින් තේරුම් ගතිමි.

මා කළේ බිරිඳට මොබයිල් එක දී (ඒ දිනවල මෝටරෝලා හෝ නොකියා  මොබයිල් එකක් මා ළඟ තිබුණි. මිල අධික නිසා භාවිතා නොකළ මුත් වෙලාවේ හැටියට කල හැකි දෙයක් නොමැති විය.) ජර්මනුවාට කතා කරන්නට  කීවෙමි. බිරිඳ දුරකතනයෙන් කතා කරන විට සික්කා ගේ තර්ජනය දැඩි විය.
තානාපති භූමිය තුල මොබයිල් පාවිච්චිය තහනම් බව කී  ඔහු පොලිසිය ගෙන්වන බවට තර්ජනය කළේය.

"ගෙන්නනව  ඕයි පුලුවන්නම් " මම කීවෙමි.
කොහොමත් ඒ පැත්තේ පොලිසි දෙක තුනකම යහළුවන් කිහිප දෙනෙක් ද සිටින බව මට මතක් විය. එසේම තානාපති කාර්යාල භුමියේ පොලිසියට කරන්නට පුළුවන් දෙයක් නැති බව මම දැන සිටියෙමි.

බිරිඳ මදක් පසුබට වූවාය. ඇයට නීතියට ගරු කිරීමට උගන්වා තිබු බැවින් සික්කාට කීකරුව ඉවත්ව යාමට සුදානම්ව  සිටි බව දැන  සිටියෙමි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නා නීතිය  නවන බව ඇය දැන  සිටියේ නැත.  මා සිටියේ රතු කට්ට ආසන්නයේය.

"Go ahead and make the call. Ignore this bloody idiot.  The man is a fool with a head full of shit.  "  මම ඇයට මදක් තදින් කීවෙමි.
"මේ අර නෝනට හොඳටම බනිනවා. මොනවා හරි කරන්න ". සික්කී සික්කා  වීරයාට කීවාය.
ඉංග්‍රීසි වත් නොතේරෙන ඇය මේ රස්සාවට පැමිණියේ කෙසේදැයි මට කුතුහලයක් ඇති විය.
බිරිඳ කතා කර විස්තරය කිවේ අර නිලධරයාටමය. ජර්මන්  තානාපති කාර්යාලයේ තානාපතිට  පසුව සිටින සිවිල් කටයුතු (මිනිස්ටර් කවුන්සිලර් ) නිලධාරියා වන ඔහු නිහතමානීව කාර්යාලයෙන්  එලියට පැමිණ අප කැඳවා ගෙන ගියේය. ඔවුන් තමන්ගේ රටේ වැසියන්ට සලකන්නේ ලෙසය.

විනාඩි  පහක් තුල  සහතිකය, සහතික කරදී ඔහු එලියටම පැමිණ සමු දුන්නේය. අප ඔහුට සික්කා ගැන පැවසුවෙමු. ඔහු මද සිනහවක් පා "ගණන් ගන්නට එපා" යයි කිවේය.
අප ගේට්ටුව  අසලට එන විට සික්කා  හා සික්කිගේ මුහුනවල් චප්පවූ තක්කාලි ගෙඩි දෙකක් මෙන් විය.

"සර් කියන්න එපාය . මම හිතුවේ මේ ගයිඩ් කෙනෙක් කියල "  ඔහු යාප්පුවෙන් කීවේය.

"ගයිඩ් කේස් එකක් නෙමේ මෙතන තියෙන්නේ ඕයි . තමුසෙලාට තමන්ගේ රටේ කෙනෙකුට සලකන්න බැරි කුහක කම. අර ජර්මන් කාරය උගේ රටේ එකෙකුටත් ඒ රටේ නොවන මටත් එකම විධිහට සැලකුවට තමුසෙලට ඒවා පුරුදු නැහැ. යුනිෆෝම් දැම්මම  පොර පාට් දානවා මිනිස්සුන්ට "

සික්කා  සිටියේ නිහඬවය.
කාර්යාල නිලධාරීන් පේන්නට සිටි හෙයින් වැඩි තර්ජනයක් නැතිව මෙසේද කීවෙමි.

"තමුසේ දන්නවද ලංකාවේ  පොලිසියට මේ ගේට්ටුවෙන් ඇතුලට  එන්න බැහැ  කියල. ගේට්ටුවෙන් ඇතුලේ භුමිය අයිති ජර්මනියට. පොලිසියට  මාව  අල්ලන්න පුළුවන් ආයේ එලියට  ගියොත්  විතරයි."

 එසේ කියා පිටව ආවෙමු.

මේ කතාව  කිවූ පසු බොහෝ සිංහල මිතුරන් කීවේ  මෙවැනි දෙයකි.

බටහිර තානාපති කාර්යාලවල මෙවැනි  රැකියා  වලට ගන්නේ දෙමළ  හා මුස්ලිම් අය බවත් ඔවුන් සිංහලයන් කෙරෙහි කටයුතු කරන්නේ ද්වේශයෙන් බවත් විසා වුවත් වැඩිපුර ලැබෙන්නේ ඔවුන්ට බවත්ය .

මෙහි ඇත්ත නැත්ත මම නොදනිමි.

එසේ නම් සිංහල ආරක්ෂක නිලධාරිනිය ඔහුට උඩගෙඩි දුන්නේ  ඇයි? යන්නට පිළිතුරක් තිබුනේ නැත.

ටුවරිස්ට් ගයිඩ් තනතුර හෙවත් සංචාරක මග පෙන්වන්නන් හට හොඳ තත්වයක් එකල තිබුනේ නැත.  නමුත් දශක දෙකකට පසු දැන් තත්වය බොහෝ වෙනස්ය. මා දන්නා පරිදි සෝවියට් රුසියාවේ හා එංගලන්තයේ උපාධි ලද අයද, අවම වශයෙන් ආචාර්ය උපාධි ලද දෙදෙනෙක්ද සංචාරක මාර්ගෝපදේශකවරු  ලෙස සේවය කරති. ඔවුන් ඉහල ආදායම් ලබන අයයි.  මාසයකට රුපියල් ලක්ෂ තුන ඉක්මවා උපයන අය සිටිති.

සික්කලා තවමත් එතනය.

අජිත් ධර්මකීර්ති  


Saturday 12 May 2018

නුතන ලාංකික කලාවන්හි අවසාන ප්‍රභූවරයා ලෙස්ටර් ජේම්ස් පීරිස්

[මැයි 13 දා ලන්ඩනයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණය කෙරෙමින් නිධානය සිනමා දැක්ම වෙනුවෙනි]

-නන්දන වීරරත්න 


ලාංකික කලාවන්හිදී අපට මුල්න්ම හමුවෙන ප්‍රභූ පංතියෙන් එන බලවත් නිර්මාණකරුවා කලිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත ගෞරව නාමයෙන් ඉතිහාසාය වාර්තා කරන කව්සිළුමිණ හෙවත් කුසජාතක කාව්‍යයේ කතුවරයා වූ දෙවන පැරකුම්බාවන්ය.[කැමතිනම් ඔබට මීට පෙර සීගිරි කාශ්‍යපයන්ද මුලට දමා ගැනීමට පුලුවනි] එතනින් පටන් ගැනෙන ලංකාවේ ප්‍රභූ පංතියෙ නිර්මාන පෙලහර තොටගමුවේ රාහුල, අලගියවන්න මුකවෙටි හරහා සුර්ය ශන්කර් මොල්ලිගොඩ, දේවාර් සුර්යසේන , ජොර්ජ් කීට් හා ලයනල් වෙන්ඩ් මතින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ලැබෙන්නේය. ලෙස්ටරයන් ස්වකීය මාර්ගෝපදේශකයා ලයනල් වෙන්ට්යන් බව නිතර පුනරුච්චාරනය කිරීමෙන් මේ බව තහවුරු වන්නේය.
ලෙස්ටර් 

ප්‍රභූ පංතියක කලා නිර්මාන හා පීඩිත මැද හා පහල මැද පංතිකයන්ගේ නිරමාණ අතර බලවත් වෙනසක් ඇත්තේය. මේ බව තේරුම් ගැනීමට ඇලෙක්සැන්දර් පුෂ්කින්, ලියෝ තොල්ස්තෝයි, තර්කොස්කි, තාගෝර් හෝ අල් රුමි වෙතට යායුතු නැත. ජොර්ජ් කීට් සමඟ පාල පොතුපිට්ය හෝ එස්. එච්. සරත් ගේ නිර්මාන සසඳා බලන්න. ලෙස්ටරයන් සමඟ සන්ජය පුෂ්ප කුමාර හෝ අසෝක හඳගමගේ නිර්මාන සසඳා බලන්න. මේ සියල්ලම පසෙක ලා මාර්ටින් වික්‍රමසිංහගේ අපේ ගම සමඟ ජිනදාස විජේතුන්ගගේ මා පයට තණ නිල්ල එකට කියවා බලන්න. එසේත් නැතිනම් විමලරත්න කුමාරගමගේ කවි සමඟ මහගම සේකරගේ කවි කියවන්න එවිට ප්‍රභූ පංතියේ කලාවේ බලවත් කම නිර්ප්‍රභූන් පරයා නැඟෙන අපුරුව ඔබට විඳින්නට පුලුවන.


මැද හා පහල මැද පංතික නිර්මානකාරුවන්ගේ නිර්මාණ තුල ඇති ජාතිකවාද, ආගම්වාද, ප්‍රාදේශය වාද හෝ දරිද්‍රතාවය දේවවරමක් සේ උත්කර්ශයට නැඟ්වීම ප්‍රභූ පංතියෙන් පැමිනෙන නිර්මාණ තුල නැත. ලයනල් වෙන්ට් ගේ අගනා පිංතුරද කීට් ගේ චිත්‍රද කුමාරගමගේ කවිද ආනන්ද සමරකොන්ගේ ගීතද ලෙස්ටරයන්ගේ සිනමාවද අප ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නේය. අපේ බුද්ධියේ නිම්වළලු පුළුල් කරන්නේය.


පසුගිය සියවසේදී ලාංකික කලාවට නිර්මානාත්මක දායකත්වයක් සපයන්නට පැමිනි අවසාන ප්‍රභූවරයා හැටියට ලෙස්ටරයන් නම් කරද්දී අපට පියානෝවාදක එශාන්ත පිරීස් හා වයලීනවාදක ලක්ෂ්මන් ජොසප් ඩි සේරම් අමතක කල නොහැකිය. නමුත් ඔවුන් දෙදෙනාගේම බලවත් නිර්මානයන් තවමත් අප ඉදිරියේ දර්ශනය වී නැත. එශාන්ත ලාංකික කලාව සොයා ගනිමින් සිටියත් අප මිත්‍ර ලක්ශ්මනයන්ට තවමත් එය හමුවී ඇති බවක් පෙනෙන්නට නැත. 

මේ ගැටලුවම ලෙස්ටරයන් කෙරෙන් අපට හමුවන්නේ බැද්දේගමදීය. ලෙනාඩ් වුල්ෆ් නැමැති බ්‍රිරිතානි යුදෙව් බුද්ධිමතා ඉන්ගිරිසි අධිරාජ්‍ය වෙනුවෙන් රටවල් පාලනයට හවුල්වීමට මට උවමනාවක් නැතැයි කියා යටත් විජිත සිවිල් සේවයෙන් ඉල්ලා අස්වී ගොස් රචනා කල බැද්දේගමට බතික් අමුඩ ගස්සවා සිනමාවට නැඟුවේ මන්දැයි වරක් අපි ලෙස්ටරයන්ගෙන් ඇසු විට ඔහු උපහාසයෙන් සිනාසුනේය. විමතියට පත් අපට මද වේලාවක් නිහඬව සිට දුන්නේ අපුරු පිලිතුරකි. "මගේ චිත්‍රපටවලින් වැඩිහරියක් පාඩුවුනා. මම වැඩිම මුදලක් පොතක් සිනාමාවට නැඟිම වෙනුවෙන් ගෙව්වේ බැද්දේගමට. නමුත් මම වැඩිම ආදායම්ක් ඉපයුවේ බැද්දේගම චිත්‍රපටයෙන්. මම බැද්දේගම ජපානයට, රුසියාවට හා ප්‍රංශයට ඉහලම මිලකට විකිනුව. ලංකාවේ රසිකයෝ නොබලපු එක මට දැනුනෙ නැ" 

ලෙස්ටරයන්ට ලන්ඩනය ගැන බලවත් අතීතකාමයක් තිබුනේය. ඔහු කලක් ෆ්ලීට්විදියේ පුවත්පත්වල සේවය කර තිබු නිසාම ස්ට්‍රැන්ඩය අවට බොහො මධුශාලා බොහොමයක නම් ජීවිතේ අවසානය දක්වාම මතකයේ තිබුනේය. කිසිම තැනක සඳහන් නොවෙන ඔහුගේ ප්‍රථම විවාහයද ඉන්ගිරිසි තරුනියක් සමඟ සිදුවීම මේ අමතක කිරීමට බල කෙරුනු අතීතය තුල සැඟවී තිබෙන්නට ඇත. ඔහුගේ මස්සිනාවු ලන්ඩනයේ ප්‍රකට වාම රැඩිකල් නායකයෙක්වූ කුරු ගුනවර්ධන එක්ව ජර්මානු ටෙලිවිශනය්ක් හා හතරවැනි චැනලය සමඟ දෙමස්සිනෝ දෙදෙන රොබට් නොක්ස් සිනමාවට නැඟීමට වසර පහක් තිස්සේ දැරු අසාර්ථක උත්සාහය ඔහුගේ යුරෝපා මතකය රිදවන්නට අත. නමුත් හැමදාමත් ඔහු සිටියේ නවීන යුරෝපීයෙකු වගේය. ඇන්දේ පැලන්දේත් කතාකලේත් මනසින් යුරෝපයේ ජීවත්වෙමිනි. නමුත් ඔහුගේ මේ නුතනත්වය ජනප්‍රිය ගෝලයන් වෙනුවට මිත්‍රයන් ලබා දුන්නේය තරඟකරුවන් වෙනුවට සමකාලීනයන් ලබා දුන්නේය. ඔහු සමඟ නිර්මානවලට හවුල්වූ ඒ.ජේ. ගුනවර්ධන, රෙජී සිරිවර්ධන, තිස්ස අබේසේකර මෙන්ම ජනප්‍රිය ගාමිනි ෆෝන්සේකාද ගෝලයෝ නොවුහ මිත්‍රයෝම වූහ. 


ඔහු ලාංකික ප්‍රභූ පංතියෙන් පැමිනි එකම සිනමාකරුවා වීම නිසාම වසන්ත ඔබේසේකරට, ධර්මසේන පතිරාජට මෙන් ජීවිතේ අවසාන කාලයේ ජනාධිපති උපදෙශක, සංස්ථා අධ්‍යක්ශක හෝ වෙනත් ආන්ඩුවේ හිඟන තනතුරු වලින් ජීවිතය ගැටගසා ගැනීමට සිදු නූනේය. කොළඹ හතරේ ඩික්මන් පාරේ කුලී ගෙයක සිටියත් ලාංකික සිනමාවේ ඒකායන ප්‍රභූවරයා හැටියට මරනය තෙක්ම වැජඹුනේය. ඉතින් ලාංකීය කලාවන්ට නව නිර්මානකරුවන් ප්‍රභූ පංතියෙන් දැන්දැන් නොයෙන්නේ මන්දැයි අපි සොයා බැලිය යුතු නොවේද?



[මතකය අවදිකලාට ලන්ඩනයේ වෙසෙන ලසන්ත වික්‍රමරත්න, ගාමිනි මුතුකුමාරන හා චන්ද්‍රගුප්ත මිතුරන්ට ස්තුතියි]

- නන්දන වීරරත්න 


Thursday 10 May 2018

ගැඹුරු මුහුද සහ ඩීප් ස්ටේට්

ගැඹුරු මුහුද ඇතුලේ සිදුවන දේවල් බොහොමයක් තවම අපි දන්නේ නැහැ. ද ඩීප් රේන්ජ් කියල පොතකුත් ආතර් සී ක්ලාක් හෙම ලියල තියනවා.

මම කියන්න යන්නේ ගැඹුරු මුහුද ගැන නෙමේ . ගැඹුරු රජය ගැන. දන්නා තරමින් නම් රජයක් ගැඹුරු නැහැනේ. ලංකාව , මාල දිවයින වගේ බලපුවහම. හැබැයි ඉන්දියාව ගැන එහෙම කියන්න බැහැ. චීනය වුනත් එහෙමයි.  ඉන්දියාවේ ආණ්ඩුව පැරදුනාට සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න  වෙනම කට්ටියක් ඉන්නව.

කියුබාව, උතුරු කොරියාව වගේ රටවල පාලනය කරන උඩින් පෙනෙන පාලක  නිලධාරී  පෙලන්තිය යට තව එකක් තියනවා. හරියට අර සමහර පක්ෂ  වගේ. එළියේ කට්ටියක් පේන්න වැඩ කරන කොට   ඇතුලේ පක්ෂය මෙහෙයෙව්වේ වෙන කට්ටියක්.

ඉතින් මම මේ කියන්න හැදුවේ "ගැඹුරු රජය " කියල බටහිර කියන්නේ රජයට ම තමයි. නමුත් රජය මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක වන අපට නොපෙනෙන සැඟවුණු රාජ්‍ය බලයක් ගැන සහ  ඒ බලය ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන ආයතනික පද්ධතියට.  "ඩීප් ස්ටේට් "කියල හඳුන්වන්නේ ඒක. ඒක බොරුවක් නෙමෙයි.

සෝවියට් දේශයේ ඒක ක්‍රියාත්මක වුනේ කේජිබි එක හරහා කියල කවුරුත් දැනන් හිටිය. රුසියාවේ නම් තවම හදාගෙන යනවා.

ඉතින් ට්‍රම්ප් ඊයේ, ඉරානයට සිමිත න්‍යෂ්ටික බලයක් (ජනතා සේවා සඳහා පමණක්) භාවිතයට අවසර දීම සඳහා  එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බලවත් රටවල් අතර අත්සන් කිරීමට  නියමිත න්‍යෂ්ටික ගිවිසුමෙන් එලියට ආව. යුරෝපා සංගමය විතරක් නෙමේ බ්‍රිතාන්‍යයත් විරුද්ධයි ට්‍රම්ප් ගේ ඒ ක්‍රියාවට. ඊශ්‍රායලය විතරක් පක්ෂයි.

ට්‍රම්ප් එහෙම කලේ ඇයි කියල තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ රුපවාහිනී චිත්‍රපට මාලාව බැලුවොත්. අවාසනාවකට වගේ ඔවුන් ඒක හරියටම කියනවා. "ඩීප් ස්ටේට් ".