Wednesday 14 November 2018

බදුල්ලේදී පැරණි මිතුරෙකු සහ මහියංගනයේ දී බ්ලොග් රසිකයෙකු හමුවීම

පහුගිය  දවසක ලංකාවේ ඉන්දෙද්දී සමනලවැව  බලන්න ගියා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරියක හා  මගේ ළඟම  යෙහෙළියක තමයි අප රැගෙන ගිහින් මේ හැම තැනක්ම  පෙන්වූයේ. ඇය උගත්තේ මා ඉගෙනගත් සෝවියට් දේශයේ මොස්කව් විදුලිබල හා තාක්ෂණය පිලිබඳ විශ්ව විද්‍යාලයෙමයි. මේ යෙහෙළිය මා උගත් විශ්ව විද්‍යාලයේ මට  ජේෂ්ඨව සිටි  ශිෂ්‍යාවක් වගේම ඉතා දක්ෂ ලෙස ඉගෙනීම අවසන් කළ උපාධිධාරිනියක්.  ඇගෙන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට වන සේවයත් එතරම්ම උසස් බවයි මට දැන ගන්නට ලැබුනේ. ඒ ගැන පසුව ලියන්න හිතන් ඉන්නවා.
තරුණ ඉංජිනේරු මහතා විස්තර කරමින් 
දූලා දෙන්නටත් අපත් සමග ගිය අනිත් දරු දැරියන්ටත් සමනළ වැව ජල විදුලි බලා ගාරය බලන්නට ලැබීමත් විදුලි ඉංජිනේරු මහතෙකු විසින් බලාගාරය තුල පෙන්වමින් එහි විස්තර කියා දීමත් ඔවුන්ට සුවිශේෂී  අත් දැකීමක් වුනා. සෝවියට්  දේශයේ සිටියදී මා පුහුණුව සඳහා ගොස් සිටි සඵරෝෂි  බලාගාරය  නරඹා  තිබුනා. ඒ වගේම  පුහුණුව කාලයේදීම   රන්දෙනිගල දැක තිබුණා.   එනිසා ඔවුන්ට යම් යම් දේ මතකයෙන්  කියා දීමට හැකිවීම මටත් සතුටක් වුනා.
දුම්රිය එන්ජිම නතරවී 

සමනළ වැව සංචාරයෙන් පසුව  අපි ගියේ  බණ්ඩාරවෙලට. ඉන්පසු සෙමින් ධාවනය වන දුම්රියක නැගී බදුල්ලට ගියා. ඒ ගියේ බදුල්ලේ ජිවත් වන  මා කුඩා කාලයේ ලුණුගල ගමේ කෙළි සෙල්ලම් කළ සෝමතිලක මිතුරා හමුවීමටයි. දුම්රියේ යද්දී ලැබූ අපූරු අත්දැකීමක් වුනේ  සෝමතිලක  ලුණුගල සිටියදී  මිතුරෙකුව සිටි  බදුලු කොළඹ දුම්රියේ රියදුරු මහතා මා සමග ජංගම  දුරකතනයෙන් කතා කරමින් සිටියදීම මට  ජනේලයෙන් පිටත බලන්නට කීමයි.
ඒ මොහොතේ ඔහු දුම්රිය එන්ජිම හරියටම අපේ මැදිරියෙන්  පිටත නවතා මට අත වනනවා.  මගේ දියණියන් හා  බිරිඳ පුදුමයට හා සතුටට පත් කළ සොඳුරු අත්දැකීමක් වුනා ඒක.
ගුණරත්න අයියා  වම් පසින් මා හා සෝමතිලක මැද සුදත් දකුණෙන් 

  සෝමතිලක  ගැන මම මීට පෙර මේ  බ්ලොගයේ ලියා තිබෙනවා. අහම්බයකින් වගේ මා සමග එකම පන්තියේ උගත් තවත් මිතුරකුද මුණ ගැසුනා. ඒ සුදත්. මේ සියලු හමුවීම් වලට මග සලසා දුන්නේ එච් බී ගුණරත්න අයියා. (හිතුවක්කාරී පොත ලියුවේ ඔහු).   බදුල්ලේදී  සෝමතිලකයන් ගේ නිවසේ  අපට රස මසවුලෙන් පිරි ප්‍රනීත සංග්‍රහයක් සූදානම් කර තිබුණා.  අවශ්‍ය මධු පානය හා නැතිවම බැරි බයිට් එක සැපයුවේ සුදත්.

සෝමතිලකගේ පිය බිරිඳ, දරුවන් සහ නැදි  මයිලන්ද අප උණුසුම්ව පිළි ගත්තා. . ඉතා සොඳුරු මතකයන් සිහි ගන්වමින් ගතකල පැය කිහිපය ඉක්මනින් නිමවූ නිසා අපි බණ්ඩාරවෙල නවාතැනට ගියා. නමුත් අපට ඇත්තටම අවශ්‍ය වූයේ මහියංගන පැත්තට යන්නටයි. ගුණරත්න අයියා දුරකථන නොම්මරයක් දී තිබුණා මහියංගනයේ වෙසෙන ප්‍රසන්න නම් අයෙකු ගේ . උදව්වක් ඉල්ලන්න කියල.
මෙහෙමයි ගියේ කතාව.
"මම මේ ගුණරත්න අයියගේ යාළුවෙක්. නම අජිත්. ඔයාට කතා කරන්න කිව්වා නවතින්න තැනක්  බලන්න"
"ආ මේ කොළඹ ගමය නේ.  මම දන්නවා "
"කොහොමද දන්නේ "
"මම ඔයාගේ ෆෑන් කෙනෙක්. මම මුකුත් ලියන්නේ නැහැ. ඒත් කියවනවා. ඔයාගේ ෆේස්බුක් ලිස්ට් එකෙත් ඉන්නවා. මම ප්‍රසන්න "
"පළමුවෙනි වතාවට බ්ලොගය ප්‍රිය කරන නුදුටු කෙනෙක් හමු වුනේ. මම මේ නවතින්න තැනක් බලනවා. "
"මහියංගනේ මවුන්ට්එජස් රිජන්සි එක හොඳයි . එතන බලන්න "
මේ කතා බහෙන් පස්සේ ඒ නවාතැන තීන්දු කර ගත්ත"
ප්‍රසන්න සමග 
ප්‍රසන්න ගේ ඖෂධාලය ඉදිරිපස 

ඖෂධාලය

මහියංගනයට ගොස්  මගේ බ්ලොගය කියන සොඳුරු හිතවතා ප්‍රසන්න  සමරසේකරත් මුණ ගැහුණා.
ප්‍රසන්න ගැන මට පැහැදීමක් ඇතිවුනේ මගේ බ්ලොග් අඩවියේ රසිකයකු වීම නිසාමත් නොවේ. ඔහු පුහුණු ඖෂධවේදියෙක්. ඔහු මහියංගනයේ ඖෂධාලයක් පවත්වාගෙන යන්නේ තවත් තරුණ තරුණියන් දහ දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබා දෙමින්. එසේම ඔහුගේ  ඖෂධාලය  මා බොහෝ දුරට ලංකාවේ දැක තිබෙන නොයෙකුත් බඩු පුරවා ඇති ගබඩා වැනි නීරස ලෙස පවත්වා ගෙන යන ඖෂධාල මෙන් නොව එංගලන්තයේ හෝ ජර්මනියේ මා  දැක ඇති නවීන පන්නයේ ස්ථානයක්.

දෙවැන්න එවැනි කාර්යබහුල ජිවිතයක් ගත කලත් ඔහු සාහිත රසකාමියෙක් වීමයි. බ්ලොග් හා පොත් පත් කියවීම පමණක් නොව ඌවේ සංස්කෘතික  ජිවිතයට (යූ සර්කල් වැනි)  ඔහු ක්‍රියාශීලී ලෙස මැදිහත්වන බවත් දුටුවා. ඔහු වැන්නන් හමුවීමත් සතුටක්.

 සුන්දර මහියංගන චෛත්‍යයත්  බලන්න ගිහින් අපේ සොඳුරු නවාතැනට ගියා. සුන්දර දවසක් ගෙවී ගියේ එහෙමයි.

Monday 12 November 2018

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 2 දීප්ති කුමාර ගුණරත්න

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 1 නන්දන වීරරත්න



මා පළකල "සියාමා" කෘතිය  පිළිබඳ සම්මන්ත්‍රණයේදී දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා කළ දේශනය. (කොටස් තුනකින් පළවේ.)

දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා "චතූ" ගැන මෙහි අදහස් දක්වන්නේ නැත. එසේම ඒ මහතා හා ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිතුමා අතර සම්බන්ධයක් ඇත්ද නැත්ද  යන්නත් මම නොදනිමි. ඒවා බොහෝ විට කෙනෙකුගේ මඩ ප්‍රහාරයන් බවට  වැටහීමක් තිබේ.
මා  අගය කරන්නේ ඔහුගේ සමාජ, දේශපාලන, සිනමා විශ්ලේෂණයන් හා මනෝ විශ්ලේෂණයන්ය.

පළමුවන කොටස:


දෙවන කොටස:



තෙවන කොටස 




Saturday 10 November 2018

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 1 නන්දන වීරරත්න


ප්‍රධාන හැඳින්වීම කළ ඉවාන් පව්ලුෂා ගේ සම්පුර්ණ කතාව පටිගත කිරීමට නොහැකි විය.  එහෙත් ඔබගේ කතාවට ස්තූතියි ප්‍රගීත්.

නන්දන වීරරත්න සහෝදරයාගේ කතාව - ස්තූතියි
පළමුවන කොටස

නන්දන වීරරත්න සහෝදරයාගේ කතාව
දෙවන  කොටස

එසේම බෝධිනී සමරතුංග ලියු සටහන.
https://anithkona.blogspot.com/2018/10/siyama.html

Friday 9 November 2018

"සියාමා " කෘතියට ප්‍රතිචාර - ධම්මිකා චාන්දනී

පශු  වෛද්‍යවරියක ලෙස සේවය කරන ධම්මිකා චාන්දනී යෙහෙළිය  මේ සුන්දර සංවේදී කවි පෙළ ලියා එවා  තිබුනා.  කෘතියේ කියැවෙන එක්තරා අවස්ථාවක් මනස්පොතේ මවා ගැන්මක්.


It was a quick visit....
LIKE LIGHTENING
JUST about to fade off ......

In this stormy bond

Emotions on a roller coaster.....
a down pour  of tears..
soaking through my feelings...
My mind a battle ground
tearing me apart.

But,  there I was....
almost an Oscar nominee
struggling....
to hide the  feelings.....
to keep control.....     

Slowly.....
stealthily .....   
Keeping his hands on my shoulders....
When he kissed my forehead..... 
       
The current that went through my body..............         
My accelerated heart beat...... 
My trembling legs........

Slowly......
Carefully......
Reminded me .....
that he doesn't know 
how much I love him.

I wish he knew.
Hope is still fluttering its feathers...


MY LIFE

Weather stained with years...
Dreams were ceased....
If you want to know....
Scars are the road map.
My folks sailed across the sky....
boarding on clouds.
Leaving me behind
In a river of tears.
Lost was how I felt...
In the mines of dark.
Life was just a dream in the night....

Fought alone to conquer...

In the Autumn of my life
Appeared the Prince Charming
As an answer
For my silent prayers
Like a rope of ladder
Dropped from heaven
Into my world of dark mine
Hope fluttered and
Began to sing
It's best solo.

Time ticked Slowly
Stormy clouds brewing around
Wind blew thrashing
Against the tree limbs
The fog came in
On little cat feet
Along the bumpy road.
All the lights went dim
We were just shadows
On the walls.
Wounded each other
By the weapons of words.
Happiness sailed across the ocean
Crashing my sand castles.

-- Dhammika Chandani
Picture: taken from this website.

Monday 5 November 2018

ලංකාවේ වර්තමාන තත්වය

පුදුම වැඩක් කියන්නේ අපිත් එක්ක හිටිය හොඳ බ්ලොග් යාලුවෝ පවා කියන්න පටන් අරන් - මේ ඔයාල පිටරට නේද ඉන්නේ. ගිය විධිහකට ඉන්න අපි මෙහෙ බලා ගන්නම් කියල. ඒ කියන්නේ දැන් අදහසක් ප්‍රකාශ කරන්නවත් බහ පිටරටක ඉන්නවා නම්. හැබැයි මුදල් එව්වට කමක් නැහැ. මොකද ඩොලර් ,පවුම් වඩාත්ම ඕනේ කාලේ.

ඉතින් මෙදා සැරේ ලංකාවට ගිහින්  සති දෙකක් විතර හිටිය. සමනලවැව සර්කිට් එකට යන අතරමග එක පාරටම  රතිඥ්ඥා පත්තු වෙනවා මග. බලන කොට මහින්ද මහත්මයා අගමැති කරලා. මහියංගනේ දීත් රතිඥ්ඥා පත්තු වෙනව දැක්ක. ඒ ඇරෙන්න කවුරුත් වැඩිය මුකුත් කියන්නේ නැහැ. මිනිසුන් පාඩුවේ තමන්ගේ වැඩ. දේශපාලනය  කතා කරන්නෙත් නැහැ. ජිවත් වෙන්න කීයක් හරි හොයා ගන්න දඟලනවා වැඩි හරියක්.

  සති දෙකකින් පස්සේ තමා හරියටම වෙබ් ලෝකෙට හා බුකියට එන්ටර් වුනේ. මේකෙනේ අප්පා ඔක්කොම පෙරලි.  ලංකා ඊ නිව්ස් එකේ අගමැති - රනිල්,  ලංකා සී නිව්ස් එකේ අගමැති මහින්ද, බුකියේ දැනට මහින්ද හා  අනුර කුමාර අතර තීව්‍ර සටනක්.  අනිත් වෙබ් අඩවි සල්ලි ලැබෙන පැත්ත බලල අගමැති තීරණය කරයි වගේ. විචාරකයෝ වැහි වැහැල. මෙතැනනේ සොමිය.

තිබ්බ ආණ්ඩුව සෑහෙන්න ජන -අප්‍රිය වෙලා වගේ පෙනුන නිසා චන්දයක් තිබ්බ නම් මහින්ද ගේ පොහොට්ටුව  කොහොමත් දිනයි වගේනේ තිබුනේ. ආයි චන්ද තියන්න මහන්සි වෙන්නේ මොකටද කියල මයිත්‍රී හිතන්න ඇති.

මම මේ බැලුවේ දැන් මෙහෙම  බල අරගලයක් ඇවිත් , ධනවාදයේ අර්බුදයක් ඇවිත් අර කවුද කිව්වා වගේ විෂය මූලික තත්ව සාක්ෂාත් වෙලා තියෙන කාලෙක - කෝ යකෝ වම කියල.
[දීප්ති කුමාර ගුණරත්න කියනවා හිච්කොක් ගේ psycho බලන්නලු. නෝර්මන් බේට්ස්  කියන්නේ සිරිසේන ජනාධිපතිටද ?]

අර  කාල් මාක්ස් කිව්වයි කියනවා නේද නැපෝලියන්ගේ 18වැනි බ්රුමියෙර් ගැන කියද්දී History repeats itself ... first as tragedy, then as farce - ඉතිහාසය පුනරාවර්තනය වන්නේ පළමුව ඛේදාන්තයක් ලෙස හා දෙවනුව ප්‍රහසනයක් ලෙස කියල.

1983 දී ජනාධිපති ජේ ආර් ජයවර්ධන කිසිම සාධාරණ හේතුවක් නැතිව ජවිපෙ ඇතුළු පක්ෂ තුනක් තහනම් කරනවා ප්‍රජාතන්ත්‍ර විරෝධීව. ඉන්පසු ඇතිවූ ඛේදාන්තය තමයි 88-89 (අජිත් පැරකුම් ජයසිංහගේ කේ පොයින්ට් කියවන්න).එතකොට ද්‍රවිඩ එක්සත්  විමුක්ති පෙරමුණු  මන්ත්‍රීන් පාර්ලිමේන්තුවෙන් තහනම් කරනවා.  අද ඔහුගේ බෑණා  රනිල් වික්‍රමසිංහ සඳහා (ඔහුගේ වරදක්ම නොවේ) ප්‍රජාතන්ත්‍රවාදය රකින්න වෙලා තියෙන්නේ ජවිපෙට සහ ද්‍රවිඩ ජාතික  සන්ධානයට. මේක එක්කෝ අර මිනිස්සු  කියන විධිහට කරුමයක් තියනවා නම් පල දෙන්න ඕනෙලු වගේ එකක්. නැත්නම් මාක්ස් කිව්වා වගේ  ප්‍රහසනයක් (farce එකක් ) වගෙයි මට පේන්නේ. තිබුන ආණ්ඩුව මහා මැතිවරණයක් තිබ්බ නම් පරදින තැනක හිටියේ කියල මතයක් තියනවා.

නමුත් අනුර කියන මෙන්න මේ කතාවට එකඟ වෙන්න පුළුවන්.
//“මහින්ද රාජපක්‍ෂත් මෛත්‍රීපාල සිරිසේනත් පෙන්නුම් කරමින් තිබෙන්නේ වරදාන, වරප‍්‍රසාද ලබාදී, කළු සල්ලි ලබාදී ආණ්ඩු හදන්න පුළුවන් කියලා. එම නිසා එම කුමන්ත‍්‍රණය පරාජය කළ යුතුයි. අපි කථානායකවරයාට කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මොකද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. බලය ලබාගැනීමේ කුමන්ත‍්‍රණයේම කොටසක් වන පාර්ලිමේන්තුව කල් දැමීමේ කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. කළු සල්ලිවලින් ආණ්ඩු හැදීමේ කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි.//

හැබැයි ඔහොම සල්ලි සඳහා මාරු වීම ප්‍රධාන පක්ෂ දෙකම කළා කියලයි මම හිතන්නේ. ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රජාතන්ත්‍රවාදය රැක්කේ නැහැ.

උපුටා ගැනීම: මෙතැනිනි. 

Saturday 3 November 2018

පද්මිගේ කවි හිත

පද්මිණී මාතරගේ මා හඳුනා ගත්තේ පුවත්පත් කලාවේදිනියක් වශයෙනි. මා ලියූ  සියමා කෘතිය ජනගත කරන දා ඇගේ  මිතුරියන් වන විපුලි පලිහක්කාර  සහ මාධ්‍යවේදිනියක වන ප්‍රියදර්ශනී සිවරාජා සමග පැමිණි අවස්ථාවේ ඇය සමග කතා බහ කිරීමට සුළු කාලයක් ලැබුණි. ඇය නිසඳැස් හා කවි  ලියන බව මා දැනගත්තේ එහිදීය. ඇයට කවි බ්ලොගයක් පටන් ගැනීමට ආරාධනයක්ද කලෙමි.
පද්මිණි මාතරගේ 

ඈ ලියූ මා සිත් ගත් නිර්මාණ  කිහිපයක් මෙහි පල කරමි. 

මුහමලේදී...

තල්ගස් යාය අතරින් 
කිලාලී කලපුව සිපගෙන
හමා එන
ලුනු රහ දැවටුනු
වියලුනු සුලං පොද 
හීන් හඩකින් අසයි
ඔබ කොහෙද යැයි කියා මගෙන්.....

තැන තැන වලදමා ඇති
දහස් ගණනක් බිම් බෝම්බ
කොයි මොහොතේ පිපිරේද
බියෙන් සැලෙන සිත අසයි
දෙපය තබනා හැමවිට ....
අනේ ඔබ මා ලග සිටී නම්
මේ බිම එකම මල් යායක් වනු ඇත
ඔබෙ සුරතේ එල්ලිලා
යන්න හැකිවේවී මහා සෙනෙහසින් 
මගෙ බොලද හිත කියයි...

දැඩි හිරු රැසින් ගිණියම් වූ 
කිලාලි කලපු තීරයේ
සුදු වැල්ලේ එරි එරී
අසීරුවෙන් බර අඩි තබන විට
පය පැකිල වැටෙන්නට යයි..
එසද ඔබ අත්වැලක් විණී නම්...
මේ මොහොත කොයිතරම්
සොදුරු වනු ඇතිද...
සිත අසන හඩ ඇසෙයි..

අප අපට අහිමි වග 
හමා එන වියලි සුලං රැල්
ආදරෙන් මුමුණනා හඩ ඇසෙයි
මගෙ හිතට....

පද්ම් 
පවන් රොදක් ලෙසින්
හමා ඇවිත් සෙමින්
හිතේ සිනා මලක්
පුබුදු කළා හොරෙන්

කුණාටුවක් ලෙසින් 
හමා ඇවිත් සැනින්
සුණු විසුණු කරන් හිතත්
ඔබ යන්න ගියා සැනෙන්

- පද්මි -

කොටු ගසා සතර අත ඇඳි
කටු සටහනක් වුණු ඉරි වගේ
හිතන්නට බැරි අවුලක්ව
ගලා ගිය ජිවිතයට

පාට පාට ගෑ 
සොදුරු දසුනක් මවා
හිත පුරා බැඳි සෙනෙහසින්
හදවතේ රිද්මය හා එක්ව
එකම හුස්මක රදවා

ආදරය සිත්තම් කෙරුව
ප්‍රේමයේ සිත්තරා නුඹය
සිහිනයක් වගේ ‍මා ලඟින් ඉන්නා
ඉතින් කවදාවත් 
අත් නොහැර යන

- පද්මි -

හද රිදුම් දෙයි
විටෙක මහ ගින්නකින්
හිත දැවී යනු දැනෙයි
තැවුල් පොදියක් සිත් ඉමේ
ඉකිබිඳින හඩ ඇසෙයි
කල්පයක දුර යන්න 
පිරු පෙරුමන් අපමණයි
පෙු්මයක මේ මතක සිහිනයන්
තනි හිතට උහුලන්න බැරි තරම් කටුකමයි
ඔබ ආයේ නැති වුනත්
හෙට උදාවෙන බවත් සත්තකයි
ජිවිතේ තනි මගේ ඉති්න් මා යුතුයි
ඔබ නැතත් ඒ ගමන යා යුතුයි..

- පද්මි-

ඔබේ සුවඳ දිගේ ඇවිදින්
ඒ සුවඳ විඳින්නට ආසයි
සිරිපොද සීතලේ ඇවිදින්
තුරුළු වෙන්නට ආසයි
මැදියමේ රෑ හීනෙන්
ඔබ දකින්නට ආසයි
ඒ හීනයම හැමදාමත්
සැබෑ වෙනවා නම් ආසයි
ළපළු තුරුවැල් අතරින්
ඇවිද යන්නට ආසයි
ඔය උරහිසේ එක ඇබින්දක්
හිස තියන්නට ආසයි
මේ විශ්වයම එක මොහොතක්
අපේ වෙනවා නම් ආසයි
ඒ විශ්වයටම රහසින්
ඔබ සිඹින්නට ආසයි.

දයාබර දුයිෂෙන්...........

ගිණි ගත්ත මේ විසල් පුරවරේ
සල්ලාල නපුරු ඇස් බොහෝමයි
මං නු‍ඹේ අල්තීනායි
අදත් ඒ වගේමයි
ඒ නපුරු ඇස් වලට වසං වි
නු‍ඹේ සෙනෙහෙ ගැන සිහින දකිනවා
වසිල්කි මල් පිපුණු වසන්තයේ
යෝද පොප්ලර් තුරු සෙවනේ
නුඹේ අතැගිල්ලක එල්ලී
හැමෝටම වසං වී
අයිලයේ බිම් කඩත
ජීවිතය ගැන නුඹ අකුරු කළ
අනේ ඒ පාඩම
කොයි තරම් සොදුරු දැයි සිතෙනවා
මේ කටුක පුරවරේ
සිහිල් සුළඟක් වගේ
නුඹේ මුදු සුවඳ මට දැනෙනවා
රළු කටුක ජිවිතේ
දුක් තැවුල් බොහෝමයි
හිත මගේ හඩන හඩ ඇහෙනවා
නුඹ හිදින ඉසව්වක
මං ලකුණු සොයා ගෙන
නුඹ සොයා දිව එන්න සිතෙනවා
දයාබර දුයිෂෙන්.....
නුඹ නැවැත්වූ තැනින්
ජීවිතය කියා දෙන
සැබෑ මිනිසුන් ඉතින්
නැතුවාම නම් නෙමෙයි
මේ කටුක ජීවිතය
බදා සිප වැළඳ ගෙන
හිනැහෙන්න නිමේශකට
එසඳ මට හිතෙනවා
දයාබර දුයිෂෙන්........
මං නුඹේ අල්තිනායි
අදත් ඒ වගේමයි
ජීවිතය කුමක් දැයි සොයනවා

පද්මි —


පෙරුම් පුරා ආ‍‍වෙමි දුර ඈත සිටා
සිතින් වැලඳ ගත්තෙමි සෙනෙහසින් සදා
ඉතින් මා දමා ඔබ යන දිහා බලා
කෙ‍‍සේ තුටින් ඉන්නෙද ඔබෙ යසෝදරා

සියක් දහස් දුක් ගිණි රහසින් වින්දා.
ඒ දුක් ගින්දරේ ඔබ උණුසුම සෙව්වා
හිතින් හඩා දුක කවියක සැගවූවා
ඒ කවි මල් තලා ඔබ පිය සටහන් තැබුවා..

- පද්මි-
01 11 2018


Thursday 1 November 2018

සියාමා ලත් ප්‍රතිචාර - බෝ සමරතුංග , නිපුන ප්‍රනාන්දු , ප්‍රසන්න සමරසේකර

පළමුව ගත් පොත නැති වී ඉන්පසු නැවත අද ඉයන් ලින්තොට අයියාගෙන් කෘතියක් තෑගි ලැබුණි. මා එය යුහුසුළුව කියවන්නට පටන් ගත්තේ ගෙදර යන ටිකට වාහනයේ සහ ජංගම දුරකථනයේ එළියෙනි.

පොත ලියා ඇති සරල මෙන්ම කියවිය හැකි ආකෘතිය නිසා එය එක හුස්මට කියවාගෙන ගියෙමි . 

61 වෙනි පිටුවෙන් ඔබ්බට යා නොහැකිව, බොහෝ බරැති සුසුම් සමගින් කඳුළු සැළුවෙමි.  හැම රටකම විනාශ වී යන විනාශ කරන දරුවන් ගැන සිහි කරමින් හැඬුවෙමි. 
අන්ත විනාශකාරී ආගම් අන්තවාදය මේ ලොවින් තුරන් විය යුතුම ය. හිත හදාගෙන පොතම කියෙව්වෙමි.

මෙය ඔබ කියවිය යුතුම බව මතක් කරමි.

තබ බිරිය හෝ දරුවා මැරුණත් කම් නෑ කියා ඇඳ ඉහපතේ සීසර් සැත්කමට විරුද්ධව අත්සන් තැබූ අන්තවාදය ද ගැහැණු දැරිවියන් වැඩි විය පැමිණි සැනින් විවාහ කර දෙන්න යැයි කියන්නාවූ අන්තවාදයද මා දැඩිව පිළිකුල් කරමි. 
කාන්තා සුන්නත් කිරීමට පක්ෂව වෛද්‍ය මතය ලියන්නට තරම් අඳබාල සමාජයකි. අලුත උපන් බිළිඳා ප්‍රතිශක්තිකරණයට විරුද්ධයැයි කියනා දහඅට වියැති මව්වරුන්‍ ය. 
අවාසනාව නම් ඒ සමාජ වලද උගතුන් බිහි වුනද ඔවුන් ද ඒ ආගමික අන්තවාදයට නතුව කල් ගෙවන එකය. වරද ඇත්තේ අන්තවාදය තුල මිසක ආගම හෝ දර්ශනය තුල නොවේ.

එවන් සමාජවල දහසක් කාමාතුරයින්ගේ ආශාවන් පිනවීමට විනාශ කරනා මල් කැකුළුය.
ගැහැණුන්ට දරුවන්ට දැරිවියන්ට අන්ත අසරණ දුකක් විඳ මියෙන්නට සිදුවෙනවානම් එවැනි රටවලට අත පොවන්නට ශිෂ්ට යැයි සම්මත ජාතීන් හෝ ජාත්‍යන්තර සංවිධාන වලට නොහැකි ඇයි දැයි මේ පොත කියවද්දී මසිතේ පැන නැඟි ප්‍රශ්නයකි.

අපේ වාසනාවට එවන් අන්තවාදීන් මැද නොඉපිද , නිවහල් නිදහස් මානව හිතවාදී දහමක් මූලික කරගෙන කල් ගෙවමි. එනමුදු එහෙව් මානව හිතවාදී දහමෙහි නාමයෙන්ද සමාජය කෙළසන අන්තවාදීන්‍ බොහෝ ය. බොදු කිතුනු ඉස්ලාම් හින්දු මේ කවර ආගමක හෝ වේවා අන්තවාදීන් සහ අන්තවාදී ඉගැන්වීම් අපි පිළිකුල් කර බැහැර කරමු.
සියාමා... සමාජය වෙත කෙරෙන එවන් මතක් කිරීමකි.  දරුණු මග හැරීමක් පෙන්වාදීමකි. 

Lost my copy of සියාමා the novel of Ajith Dharmakeerthi ,  from the book fair... as i was reading it while traveling to work.
Got a book gift from Ian lintota aiya.... started reading it from where i left off...with my phone light.
I was stuck in page 61, heart throbbed with immense pain remembering all the innocent lives and little souls destroyed by so called religious or political goons,rapists and psycopaths. Ended up crying ....
සියාමා Is a must read ! 
nocountry , no society should let this happen to its children ! 

සියාමා
අජිත් ධර්මකීර්ති 
අහස ප්‍රකාශන
මිල රු 350
-වෛද්‍ය බෝධිනි සමරතුංග

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැහෙන කාලෙකින් කියවපු නියම (පට්ට) පොතක්.
කවදාවත් මෙහෙම නවකතාවක් කියවන්න හිතුවේ නෑ. පරිවර්තන වලින් දකින ලෝකෙට නවකතාවකින් යන්න පුළුවන් උන එක ගැන තියෙන්නේ මාරම සතුටක්'
උත්සවයේදී ගොඩක් අය කිව්වේ පොතේ කතාව එක පාරට කියල ඉවර කරලා කියල. ඒ උනාට එහෙම කරපු නිසා මේ කතාව හිතට දැනෙන ගතිය වැඩි වෙලා තියෙනවා.
මේ පොත තුලින් කිසි දිනක නොදුටු පැත්තක් පෙන්නුම් කිරීම ගැන බොහෝම ස්තුතී...

තවක් මෙවන් කතාවක් ලිවීමට ශක්තිය ලැබේවා,,
- නිපුන ප්‍රනාන්දු

ඔබ තිලිනකල සියාමා කියවා නිමකල වහාම ස්තුතිය පල කරන්නට සිතීමි. අතිශයින්ම කෘර අත්දැකීමකට ලක්වූ යුවතියකගේ කතාව මෙතරම් චමත්කාර ලෙස ගොනුකිරීම ඔබේ ප්‍රතිභාව මනාලෙස හෙලිකරන බව පෙනේ. වියමනේ ඇතැම් තැන්වල යම් වාර්තාමය ස්වරූපයක් පැවතීම මෙහි රිද්මයට බාධාවක් වී ඇතැයි හැගෙන නමුත් ඇතැම් විට මෙය ඔබේ ප්‍රකාශන ශෛලිය වන්නටද පිලිවන. හිංසනයට අන්තවාදට එරෙහි ඔබේ මානව ප්‍රේමය කෘතිය පුරාම දකින්නට හැක. 

සුබ රාත්‍රියක්!

ප්‍රසන්න සමරසේකර 

Thursday 11 October 2018

දවස ඔක්තෝබර් 23 - "සියාමා" ගැන කතා කරන්න එන්න

මේ බ්ලොග් අඩවියේ 2015 වසරේ පලවූ නවකතාවක් තමයි "සියාමා ". මම අද ගිහින් බැලුව ලැබුන ප්‍රතිචාර දිහා. අපි හැමෝම හොඳ  යාළුවෝ වගේ කතා කරපු කාලේ. මාතලන්, දේශකයා, කල්‍යාණ මිත්‍ර, එකොනොමැට්ට, රසික, බස්සි, ඉවාන් පව්ළුෂා , පැතුම් හේරත්, මහේෂ් රත්නායක, හැලපේ, අනුර, එළද බ්‍රා මෙන්ඩ, මධු මාධවී, මනෝජ් ප්‍රනාන්දු , රොටියා, සඳ වියමන්, රාජ් , ගස් ලබ්බ, සින්දු ඇනෝ , කටුසු හදවත , ඔමාගේ හීන, මනාගේ පින්තාරුව, අනෝෆිලිස් ඇතුළු ඔබ සැම හෘදයංගම ප්‍රතිචාරයන් ලබා දුන්නා.  ප්‍රියන්ති හංසමාලි නමැති නමින් පැමිණි ඔබ මේ කවිය ලියල තිබුන.

"තරු අතර සැඟව ගිය

සොයමි ඔබෙ නෙතු යුග
නිවි නිවී දැලවෙන 
අර ලස්සන පුංචි තරුව ළඟ
ඔබ සිටින බව දනිමි....
නුදුටු සේ යළි යළිත්
මම සොයමි මුළු අහස පුරාවට
ආයෙමත් හැංගෙනවා
එහෙම නොවෙයි ඔන්න...." 

තරු රසි පොත කෙටි නවකතාවකට හොඳයි කියල ලියල තිබුන. ඉතින් අන්තිමට මම ඒ කතාව පොතක් කළා. චූලානන්ද සමරනායක සහ අසංක සායක්කාර ගේ උදව්වෙන්. ඉතින් මේ පුංචි කෘතිය ගැන පොඩි කතාබහක්  සූදානම් කළා මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ. සවස .00 ඉඳන් මම එතන ඉන්නවා. කතා කර කර ඉන්න කැමති නම් ඒ වෙලාවට  එන්න. පටන් ගන්නේ තුනහමාරට හතරට විතර . 

කතා කරන්න  ඉන්නේ නන්දන විරරත්නයි, දීප්ති කුමාර ගුණරත්නයි. ගීතයක් දෙකක් ගායනා කරන්න දැරිවියක් ලෑස්ති වෙලා ඉන්නවා. පොඩි චිත්‍රපටයක් පෙන්වන්නත් ලැහැස්ති වෙනවා   කතා ඉවර වුනාට පස්සේ.  කතා ඉවරවෙනකොට හය වෙයි. ඊට පස්සේ කැමතිනම් වාර්තා චිත්‍රපටය නරඹන්න රැඳී සිටින්න පුළුවන්.

සභාව මෙහෙයවන්නේ අපි කවුරුත් දන්නා තරු රසි සහ ඉවාන් පව්ලුෂා.
ඔබ සැමට කරන සුහද ආරාධනයයි මේ.

ස්ථානය: මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රය, 281, ඩීන්ස් පාර, කොළඹ 10..


Wednesday 3 October 2018

"පාරාදීසයේ අමනුෂ්‍යයෝ"-( ජූඩ් රත්නම් ) වාරණය ට එරෙහි වෙමු

"පාරාදීසයේ අමනුෂ්‍යයෝ" (demons in paradise ) සිනමා කෘතිය පිලිබඳ මගේ මතය  "කිනෝ ප්‍රාව්දා හා පාරාදීසයේ අමනුෂ්‍යයෝ" නම් ලිපියෙන් ඉදිරිපැහැ කලෙමෙඉ. එයට විපක්ෂව් යම අදහස්
දැක්විමක්  සිනමා ශිල්පය හැදෑරු සන්ජේ දලුගොඩ මහතා විසින් ෆේස්බුක් සංවාදයක පළ කරන ලදී. එම සංවාදයද ඉහත ලිපියේ ප්‍රතිචාර කොටසේ කියවිය හැකිය.
මගේ ප්‍රධාන අදහසක් වුයේ ජූඩ් රත්මන් මහතාගේ ඩොකුමෙන්ටරිය හෙවත් කොටි සංවිධානයට විරෝධය දැක්වූ ඔහුගේ මාමා ගේ  ශ්‍රී ලංකා චාරිකාව හා ඔහු කරන LTTE සංවිධානය පිළිබඳ තදබල විවේචනය බොහෝ විට ඒක පාක්ෂික බවයි.  නමුත් මෙයින් මා LTTE හිතවාදියෙකු වන්නේ නැත. මම මුල සිටම එම සංවිධානයටත් එහි ඒකාධිපති මතවාදයන්ටත් සාපරාධී මනුෂ්‍ය ඝාතනයන්ටත් විරුද්ධ වූවෙකි. නමුත් ශ්‍රී ලංකාවේ පසුගිය වසර 30ටත් වඩා ඇදී ගිය  සිවිල් යුද්ධය ට හේතු සාධක  බොහෝය.  LTTE සංවිධානය යනුම දෙමළ සහ සිංහල ජාතිවාදී දේශපාලනයේත් සිංහල මහා ජාතිවාදයේත් අතුරු ඵලයකි.
ජූඩ් රත්නම් ගේ මාමා වනාහි සමාජවාදී ඊලාම් රාජ්‍යයක් සඳහා සටන් කල අයෙකි. සමාජවාදය සඳහා සටන් කල දෙමල ගරිල්ලන් යාපනය ප්‍රදේශයෙන් සහමුලින්ම වාගේ මුලිනුපුටා දැමුවේ විමුක්ති කොටි සංවිධානයයි.  එනිසා ජූඩ් රත්නම් ගේ පැත්තෙන් ඔහු කරන විවේචනය සාධාරණය . එහෙත් එය ඒක පාක්ෂිකය. මා අවධාරණය කෙළේ එයයි.
අප අමතක නොකළ යුත්තේ ඉන්දියන් සාම සාධක හමුදාව එවැනි "සමාජවාදී" ගරිල්ලා  සංවිධානයකට (EPRLF) උතුරු පළාත් සභාවේ මහා ඇමතිකම ප්‍රධානය කළ බවයි. දයාන් ජයතිලක වැන්නවුන් එහි ඇමැතිකම්ද දැරූ බවයි. එම පළාත් සභාවේ  මහා ඇමති වූයේ  ඉන්දීය හිතවාදී වර්ධරාජා පෙරුමාල්ය. ජූඩ් රත්නම් ගේ සිනමා පටය එම ක්‍රියාවලියටද කිසියම් ආවරණයක් සපයයි.

 නමුත් එනිසාම හෝ වෙනයම් හේතුවක් නිසා ඔහුගේ චිත්‍රපටය නොපෙන්වන්නේ නම් එය මුග්ධ ක්‍රියාවකි. එය පෙන්වීමට විරුද්ධ වන සංවිධානයක් ඇත්නම් ඔවුන් අනුගමනය කරන්නේද LTTE  සංවිධානය අනුගමනය කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපතිවාදී ෆැසිස්ට් වාදී ක්‍රියා කලාපයයි. එම මුග්ධ ක්‍රියා කලාපය සාම  සාකච්ඡා කඩාකප්පල් වීමට හේතු වූවා සේම උතුරු නැගෙනහිර දෙමළ  ජනතාව  යුද්ධයකට ඇද දමා අති මහත් විනාශයකට ඔවුන් බද්ධ කිරීමට හේතුවක් විය.

එමනිසාම කලා කෘතියකට එරෙහි මේ සමාජ සංවිධාන වාරණයට එක එල්ලේම අපේ  සාමූහික විරෝධය  එල්ල කල යුතුවා  පමණක් නොව හැකියාවක් ඇත්නම්  ජූඩ් ගේ චිත්‍රපටය යාපනයේ ප්‍රදර්ශනය කිරීමටද  කටයුතු කළ යුතුය.

Wednesday 26 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (44) - ලුණුගල මැදින් ගලනා ගඟ මනහරය

පූර්ව කොටස : ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (42) - නැහැ , ඒ ඔහුගේ පියා නොවේ
ලුණුගල 
පට්ටිපොළ කෝරළයේ සුන්දර ලුණුගල ග්‍රාමය පිහිටා ඇත්තේ බදුල්ලෙන් පස්සර පසුකොට බිබිලට යන A5 මාර්ගයේය. ලුණුගල ග්‍රාමය වටා කඳු වළල්ලක් එය වටකරමින්   ඇදී යන්නේ ජර්මනියේ  සිට  ගාමිෂ් නගරය පසු කර මහා ඇල්ප්ස් කඳුකරය  බලා යන විට ඇති කඳු වළල්ල මෙනි. ලුණුගල ගම වටා දර්ශනීය තේ වතු යායක්ම  දක්නට ලැබේ. අඩාවත්ත, හොෆ්ටන් ගෘප් එස්ටේට්, පාර්ක් වත්ත සහ මඩොල්සිම වතු එයින් සමහරක්ය. ලුණුගල ජිවත් වන සිංහල ජනතාව  ගෙන් අඩක් පමණ  ගොවිතැන් කර ජීවත් වෙන අයයි.  කුඩා ලියදි එකින් එක පියකරුව පඩි පෙළක් සේ දිස් වෙන කුඹුරු  යායවල් A5 මාර්ගයේ බිබිලට යනවිට  වම් පසින් දිස් වේ. ගම්මිරිස් හා කුරුදු වගාවද ලුණුගල පළාතේ දක්නට ලැබේ.

මහා මාර්ගය හා අඩාවත්තට යන පාර අතර ඇත්තේ ලුණුගල පොලිසියයි. අඩාවත්ත පැත්තට යන පාරේ වතු දෙමළ  ජනතාව ඔවුන්ගේ දුගී ලයින් කාමර වල දිවි ගෙවනු දක්නට ලැබේ.  ලැයිම් ඉදිරිපිටින් යන කෙනෙකුට මයියොක්කා ගාලවල්  බොහොමයක් නෙත ගැටෙනු ඇත. දහවලට මේවායේ ජිවත් වෙන දිළිඳු දෙමළ දරුවන් කන්නේ තැම්බූ මයියොක්කා දළු සමග බත්ය.

ලුණුගල ටවුම පසුකර බිබිල දෙසට යන විට දකුණු  අත පැත්තේ  පන්සල පාර පිහිටා තිබේ. පාර  අවසන් වන්නේ අති  පුරාණ විහාරයක් වූ  ශ්‍රී ලෝනගිරි පුරාණ රජ මහා විහාරයටය. ඒ පාරේ ම ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයද පිහිටා  තිබේ. බසයක් නොයන ඒ මාවතේ  සතියේ දිනවල හිමිදිරි උදයේ  සුදු ඇඳගත් ළමුන් මධ්‍ය මහා විද්‍යාලයට යනු කෙනෙකුට පෙනේ. උදයේ ඇති සීතල  නිසාම,  තුරු ලතා අතරින් පාරට වැටෙන අළුයම හිරු ගේ  රැස් දහර විඳින්නට  පාරේ තැනින් තැනට පනිමින් ළමෝ එක පෙළට ගමන් කරති.

අඩාවත්ත පාර අසලින් ජනතාපුර මාවත පිහිටා තිබේ.  ඒ අසලම  ඇති කුඩා සුදු වැලි පාර දෙපස දන්, හිඹුටු, බෝවිටියා ආදී පලතුරු වලින් පිරුණු තරමක කැලෑ ප්‍රදේශයකි.

පළාතේ ජිවත් වන වතුවල වැඩ කරන  දෙමළ ජනතාව වැඳුම් පිදුම් කරන කදිරේෂන් කෝවිල   කුඩා ටවුමේ පිහිටා ඇත. ලුණුගල ග්‍රාමයේ තුබූ නිසංසලත්වය ඉඳහිට බිඳී ගියේ රජ මහා විහාරයේ පෙරහැර දවසට හා කෝවිලේ වේල් කරත්තය රදම් යන දවසටය.

කේයස් නමින් හැඳින්වූ සාගර පලන්සූරිය  කවියාගේ    "කටුරොද   ගම්මානය " යන මැයින්  කවි පෙළක් එදවස පාසැල් වල සිංහල විෂයට  ඉගැන්වුනි. එහි එක පේළියක "එගම මැදින් ගලනා ගඟ මනහරය " යනුවෙන් යෙදුමක් තිබේ. සමහර විට ඒ යෙදුම යොදන්නට ඇත්තේ ලුණුගල සඳහා දැයි සිතෙන තරමට ලුණුගල මැදින් කුඹුක්කන් ඔය කොමලිය සුරතල් ලෙස ගලා යන්නීය. ඉහල කඳුවල දැඩි වැසි වසිනා සමයන් හි මේ පියකරු ගංගාව  උතුරා පිටාර  ගලයි. ඒ දිනවලට නම්  ලුණුගල පොලිසිය ඉදිරි පස ඇති වෙල් යායද යටවේ. ජනතා පුර පැත්තෙන් ඇදී එන කුඹුක්කන් ඔය විහාර මාවතට හැරෙන තැනට මදක් පහළට හැරී අත වනාගෙන ටවුම අසලින් පහළට ගලා යයි. ඒ නිසා ටවුමට යන්නට ලොකු පාළමක් ද ඇත.

ඉහත කී වෙල් යායත් ජනතා පුර පැත්තේ සිට ඇදී එන කුඹුක්කන් ඔයත් හමුවී එකිනෙකා සිප ගනිමින් ඇදී යන තීරුවේ දිය නෑමට ඒ පෙදෙසේ වෙසෙන බොහෝ ජනයා එක් රැස් වෙති. ඒ හරිය එතරම් ගැඹුර නැත්තේ ගඟ ඉතා පළල් බැවිනි.  විශාල කුඹුක්කන් ගස්  වැවී ඇති ඒ දෙපස ඉතා සිසිලක් දැනේ.

මේ සුන්දරත්වයත් ලුණුගල ග්‍රාමයේ නිසංසලත්වයත් සදහටම බිඳී ගියේ එකදාස් නමසිය  හැත්තෑවේ මැද හරියේය. ඒ ඉහත කී කුඹුක්කන් ඔය දෙපස ප්‍රදේශයේ මැණික් හමු වීමෙනි.

"නිලන්ත ගේ තාත්තා ගේ වාසගමත් වික්‍රමරත්න. මම එයට කතා කලේ විකී කියල.  ඔය මගේ දැන් මිනිහා වික්‍රමරත්න  ඒ දවස් වල අපේ ගේ පැත්තේ දැවටෙනවා . හරි හමන් රස්සාවක් නැහැ. මගේ කලින් කසාදේ විකී තමයි එහෙ මෙහෙ එක්කගෙන ගියේ මෙයාව එයාගේ වැඩ වලට. බදුල්ල ප්‍රදේශයේ  ටිකක්  පස්සර පැත්තට වෙන්න  අපට ඉඩ කඩම් වගයක් තිබ්බනේ  පුතේ.  ඒවා බලන්න මේ දෙන්නා ගිහින් තිබුනා. විකීයි මේ වික්‍රමරත්නයි. ඊට පස්සේ මේ ගොල්ල ඔය මඩොල්සිම පැත්තෙත්  ගියාලු. එහම්ම තව තේ වතු වගයකුත් බලන්න ගියාලු. ඒවා බලන්න ගිය වෙලේ අර ලුණුගල කියන ගම පැත්තේ මැණික් හම්බවෙන ආරංචියක් ගෙනත් තියනව ඔය වික්‍රමරත්න. විකී ගිහින් තියනවා මෙයා එක්ක ඔය කියන මැණික් හම්බවෙන තැන් බලන්න. ඔය වෙල් යායක් හෙම තියෙන තැනක තමා මැණික් හම්බ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දිගටම වළවල් හාරාගෙන මැණික් ගරනවලු. මුලදී  පොලිසියෙන් මැණික් ගරපු  අය අල්ලලා. පස්සේ  පොලිසියේ අයත් මැණික් ගරන්න උදව් කළාලු. විකී,  වික්‍රමරත්න එක්ක ගිහින් පස්සේ ආයේ හවස් වෙලා වගේ ආයෙත් ගිහිල්ලලු ඒ පැත්තට. ඕක කිව්වෙත් වික්‍රමරත්නම  තමයි. විකී උඩහ පැත්තට හවස් වෙලා ගිය වෙලේ මැණික් ඉල්ලම් ගන්න හාරපු   වලක වැටිලා තිබෙනවා. ඔළුව ඒ ළඟ ගලක වැදිලා හුඟක් ලේ ගිහින්. එතනම හුස්ම ටික ගිහින්. දවල් වෙලා ඒ පැත්තේ ගිය කෙනක් දැකලා පොලිසියට කියල  "

නිලන්ත ගේ මව මදක් නැවතී දිග සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තාය.

"මමත් පස්සේ එතනට ගියා. මට හිතා ගන්න අමාරු වුනා විකී  එහෙම ගියා කියල. කාටවත් නොකිය"

"එතකොට   වික්‍රමරත්න මොකද කලේ එයාගේ මුල් නම වින්ස්ටන් නේද? ඔය ඇත්ත නමමද?" ගිහාන් විචාළේය.

"ඔව් වින්ස්ටන් ඩැනියෙල්. වින්ස්ටන්  රා වගයක් හම්බ වෙලා බීවලු. පාලම පහු කරලා ටවුමට යනකොට දකුණු පැත්තේ තැබෑරුම ක් තියනවා, එතනිං. ඊට පස්සේ ලුණුගල  රෙස්ට් හවුසියේ දීත් පොලිසියේ කවුද එක්ක  බීල, රෑ වෙලා නිසා  නිදා ගන්න ගියාලු"

"ඇන්ටි එතැනදී සැක හිතුනේ නැත්ද? එයා එක්ක ආපු නිලන්තගේ හැබෑම තාත්තා රෑ ආවේ නැති වුනහම මිනිහ නිදා ගන්න ගියේ පොඩ්ඩක් වත් හොයල බලන්නේ නැතිව " ගිහාන් නැවතත් විචාලේ ඔහුට ඒ සිද්දිය වටහා ගැනීමට අසීරු වූ හෙයිනි.

"ගිහාන් පුතේ මම ඒක එයාගෙන් ඇහුවා. වින්ස්ටන් කීව නරුම කතාවක් , ආ මම හිතුවේ ඔය ලැයිම් පැත්තේ චීත්තයක් අස්සේ රින්ගන්න යන්න ඇති කියල . එනිසා එයා නිදා ගන්න ගියා බලාන ඉඳල කියල. ඔන්න ඔහොම. එතැන හිටි මිනිස්සු හිනා වුනා. පොලිසිය වුනත් කීවේ මැණිකක් ගන්න බලන්න   හවස යන්නැති. පස්සේ කුඹුකන් ඔය පැත්තේ ඇවිදින්න ගිහින් පය ලිස්සන්න ඇති කියල. මට සැක තිබුනත් මොනවා කරන්නද ? ළපටි දරුවෙක් එක්ක තරුණ අම්ම කෙනෙක්. මාව මුකුත් නොදන්න කෙනෙක් හැටියට තමයි හැමෝම සැලකුවේ." ඇගේ පැරණි ස්වාමි පුරුෂයා විකී මතක් වීමෙන්දෝ ඇගේ නෙතින් කඳුලක් ගලා යනු ගිහාන් දිටීය.

"ඇන්ටි" ගිහාන් ඇගේ අතක් අල්ලා ගත්තේය.

විශාඛා අනිත් පසින් "අම්මේ " කියා නැන්දණියගේ උරහිස සෙමින් පිරි මැද්දාය.

"විකී එහෙම නරක කෙනෙක් නෙමයි දුවේ. අපි දෙන්න හුඟක් ආදරෙන් හිටියේ. බැන්දේ විවාහ යෝජනාවකින් වුනාට අපි ආශ්‍රය කළා කාලයක්. මම මාස ගාණක පොඩි දරුවෙක්  එක්ක තනි වුනාම නෑදෑයෝ කිව්වා ඉඩ කඩම් දේපළ බලා ගන්න කෙනෙක් නැහැ. ළමයට තාත්ත කෙනෙක් ඕනේ. වින්ස්ටන් වික්‍රමරත්න ව  බඳින්න කියල. මට කොහෙත්ම ඕනේ වුනේ නැහැ. කැමැත්තක් තිබුනෙම නැහැ. වින්ස්ටන් හෙමින් සීරුවේ කට්ටියම එයාගේ පැත්තට හරවගෙන. විකී හිටියත් එයා තමා හැමදේම බලා ගත්තේ කරේ කියල ලොකු රඟපෑමක් කලා.  අන්තිමේදී විකී ගේ අම්මයි මගේ අප්පච්චියි දෙන්නම බල කලා.  විකී ගේ තාත්තා නැති වෙලානේ  එතකොට. මාමලා තමයි බැලුවේ පවුල ගැන. එයාලා වින්ස්ටන්ට කැමතියි, ඒගොල්ලන් ගේත් නෑදෑයෙක් වෙන නිසා. අම්මලා කීවේ මිනිහ මැරිච්ච කණවැන්දුම් ගෑණියක් කවුද භාර ගන්නේ. වින්ස්ටන් ඒකවත් බලන්නේ නැතිව උඹව භාර ගන්න එක උඹේ පෙර පිනක් කියල. කවුරුත් කල්පනා කළේ නැහැ ඉඩකඩම් වතුපිටි අයිති මට. වින්ස්ටන් එන්නේ ඒවල තණ්හාවට කියල. මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. මං කියන දේ කවුරුත් ඇහුවේ නැහැ. වින්ස්ටන්ට මාව කසාද බැඳලා දුන්න "

"මේක නිලන්තට කියන්න  ඕනෙමයි නැන්දේ " ගිහාන් තව දුරටත් ඇන්ටි කියා ඇමතුවේ නැත. නැන්දේ යන ඇමතීමෙහි වඩා ළගන්නා සුළු ස්වභාවයක්ද සමීප භාවයක් ද ඔහුට දැනුනි.

"තවත් නිලන්ත ගෙන් හංගගෙන ඉඳල වැඩක් නැහැ අම්මේ. එයාට එන්න කියල අම්මා විස්තරේ කියන්න. වික්‍රමරත්න ව  හිරේ දාන එක තමයි දැන් කරන්න තියෙන්නේ. මට මොනවා වුනත්. මම කියන්නේ ඌ මිනිමරුවෙක් වගේම ස්ත්‍රී දූෂකයෙක්. නිලන්තගේ තාත්තා මරලා තල්ලු කරන්න ඇති. නැත්නම් තල්ලු කරන්න ඇති දෝනාවට වැටෙන්න. අම්මගේ වැඩිහිටියෝ උගේ කට්ටකමට  අහු වෙච්ච  එකනේ පුදුමේ." විශාඛා සිටියේ දැඩි කෝපයකින් තැවෙමිනි.

"නැන්දා , මම කෝල් එකක් ගන්නවා නිලන්තට. නැන්දා කියන්න එයාට එන්න කියල ලංකාවට වහාම. මම කියන්නම් කාරණාව හුඟක් වැදගත් එකක් කියල" ගිහාන් දුරකථන ඇමතුමක් ගත්තේය.

තමන්ගේ මව මෙන්ම තාවකාලිකව අත්හැර ගිය බිරිඳද ගිහාන්ගේ නිවසේ සිටීමත් ගිහාන් විසින් වක්‍රාකාරයෙන් ඔහු ගේ පැමිණීම වැදගත් බවත් හෙළිදරව් කිරීමකට සූදානම්  බවත් පැවසීම නිසා දින දෙකක් තුල නිලන්ත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඊලඟ සති කිහිපය ඔවුන්ට ඉතා කාර්ය බහුල එකක් විය. ගිහාන්ද තම මිතුරාට ප්‍රශ්න කිහිපයක්ම විසඳා ගැනීමට උදව් කළේය. ඒ අස්සේ හිතේ මුල්ලක සැඟවී සිටිමින්  තාන්යා එබිකම් කළාය.  ඇගෙන් දුරකථන ඇමතුමක් හෝ ලියුමක් නොලැබීමේ සංකාවෙන් ඔහු පෙළුණේය.

නිලන්තගේ මව් පාර්ශ්වයේ නෑදෑයකු වන උසස් පොලිස් නිලධාරියෙකු ගේ ද උදව්වෙන් වින්ස්ටන් වික්‍රමරත්න නිවසින් එළවා දැමීමට නිලන්තට හැකිවිය. රන්ජනී උසාවි ගෙනයන බවට තර්ජනය කර වින්ස්ටන් ලියාගත් ඉඩම් කීපයක් ද නැවත ලබා ගත් නිලන්ත ඉන් එකක්  රන්ජනී ට ලියා දුන්නේ විශාල මුදලක් ද දරුවා වෙනුවෙන් බැංකුවේ තැන්පත් කරමිනි.  වින්ස්ටන්ට එරෙහිව නඩු යාමට  ළඟම නෑදෑයින් මෙන්ම නිලන්තද විරුද්ධ විය. ඔහු කෙසේ හෝ විශාඛා කැමති කරවා ගත්තේ පුවත්පත් ආදියේ  විස්තර පලවුව හොත් ඇතිවිය හැකි තත්වය ගැන පැහැදිලි කරමිනි. ඒ වෙනුවට කිහිප දෙනෙකු සමග ගොස්  වින්ස්ටන් ව සුමානයක් රෝහල් ගත වීමට තරම් රළු කිරීමට නිලන්තත් මාමා කෙනෙකුත් වග බලා ගත්හ .    වින්ස්ටන්ට වෙනත් අනියම් බිරිඳක් හා දරුවෙක් මොණරාගල පැත්තේ  සිටින බව ඔවුන් දැන  ගත්තේද  වින්සන් පලා යන්නට පෙර ඔවුන් බලා ගන්නා ලෙස නිලන්ත ඉදිරියේ  බැගෑපත් වූ බැවිනි.

සියල්ල සතුටුදායක ලෙස නිමාවූයේ නිලන්තගේ  මහ ගෙදර විකුණා නිලන්තගේ මව නිලන්ත, විශාඛා  හා මුණුපුරා   සමග ජිවත් වීමට පැමිණීමත් සමගය.

මවට ඉන්දියාවේ බෞද්ධ  සිද්ධස්ථාන වන පුදා  ගැනීමට නිලන්ත විසින් සැලසුම්  කල සංචාරයට යාමට පෙර සමු ගැන්මට ඔහු  ගිහාන් හමුවීමට පැමිණියේය. නිලන්ත, විශාඛා හා ගිහාන් සමග  ඊටත් කලින් ලුණුගල ප්‍රදේශයට ගොස් තම පියා මියගිය ස්ථානයද මිහිදන් කළ ස්ථානයද  දැක බලා ගත්තේය. ඔහුගේ මව කිසියම් සොහොන් කොතක මල් පොකුරක්  තැන්පත් කරනවා නිලන්තට  යාන්තමට මතකයේ තිබුණි. වින්ස්ටන් ඉන්පසු ඒ සොහොන් කොතට යාම නිලන්තගේ මවට තහනම් කොට තිබුණි.

"දැන් මොකද වෙන්නේ තාන්යා කවද්ද එන්නේ? මේ ප්‍රශ්න  නිසා උඹෙන් අහන්න බැරි වුනා"

"මාස කීපයක ඉඳන් ලියුමක්  නැහැ. කෝල් එකක් දුන්නෙත් නැහැ. මම තානිච්කා ගේ අම්මලාගේ ගෙදරට කතා කළා . එහෙන් ගන්නෙත්  නැහැ. ගෙදරින් ගිහිල්ලද දන්නේ නැහැ. තාත්තා ගේ රස්සාව අවිනිශ්චිත කතාවකුත්  ලියලා තිබ්බ. මම සල්ලි යැව්වේ නැහැනේ ටිකට් එක අරන් එන්න මෙහෙ. ඒකටත් ටිකක් අමනාපෙන් වගේ එයා හිටියේ.   මංගල්ලෙට අරවට මේවට වියදම් වුනු නිසා අතේ සල්ලිත් නැහැ, අනික එයා එනවනම් කීයක්  හරි අතේ තියෙන්නත් ඕනේ."

"ඉතින් බං හයියෝ උඹ වගේ එකෙක්. මගෙන් ඉල්ලුව නම් නොදී ඉන්නවද" නිලන්ත ගිහාන් ගේ පිටට වැරෙන් පහරක් ගැසුවේය.

"උඹටත්  කරදර නේ බන් ඒ දවස් වල? උඹේ ගෙදර ප්‍රශ්න  හෙම නිසා මම ඉල්ලන්න හිතුවේ නැහැ"

"කමක් නැහැ. මම දැන් දෙන්නම් ඉන්දියාව ට ගෙනියන්න ගත්ත සල්ලි මෙතන තියනව උඹ තාන්යාට යවපන්. දෙන දවසක දීපන්. නැත් නම් දෙන්න ඕනෙත් නැහැ. මට  බෑන්ක් එකෙන්  හෙට සල්ලි ගන්න පුළුවන්. තාන්යා ආවහම  අපි කට්ටියම  කොහේ හරි යමු ලංකාව පෙන්නන්නත් එක්ක. මට නිකන් මැවිලා පේනවා, විශාඛා යි , තාන්යා යි උඹව  මැදි  කරගෙන උඹ නිකන් හඳ වගේ මැද දිලිසි දිලිසි. වටේ තරු දෙක එක්ක  යන හැටියි, මං අහිංසකයා  පොඩි එකා එක්ක බෑග් ටික කරේ එල්ලන් යන හැටි."

"ඒ මොකක්ද බං ඒ කතාවේ තේරුම මම හඳ  වගේ උන් තරු වගේ, පිස්සුද උඹට"

"ඇයි බං පරණ  පෙම්වතියයි අලුත් පෙම්වතියයි"

"ඉතින් බලපන් මම විශාඛා ට ආදරේ මගේ නංගිට වගේ කට කැඩිච්ච කතා කියන්න එපා බං"

"ගිහාන්, මම දන්නවා. අපි දෙන්නම ආදරේ කලා. උඹ ලකි වුනා ඉස්සෙල්ල. මට හරිගියා ඊට පස්සේ. ගිහාන්...." නිලන්ත මදක් කල් ගත්තේ ඊලඟ වදන් පෙළ කියා ගැනීමට නොහැකිව මෙනි.

"මම උඹට ස්තූති කලේ නැහැ උඹ කළ උදව් වල ට. උඹ මගෙයි විශාඛා ගෙයි කසාදෙට ආශීර්වාද කළා විතරක් නෙමෙයි ඒ කසාදේ බේරලත්  දුන්න. මගේ පුතාගේ අනාගතෙත් බේරුනා. උඹ මගේ හොඳම යාළුවා විතරක් නෙමේ බන්. උඹ මගේ එක බඩවැල කඩන් ආපු සහෝදරයා වගේ. " නිලන්ත හැඟීම් බරව ගිහාන් වැළඳ ගත්තේය.

ගිහාන් ටද ඔහුගේ උගුර සිරවෙන්නාක් මෙන් දැනුනි.

"නිලා මට සතුටුයි මචං. ගොඩක්ම. අර උඹ කිව්වා  වගේ  තාන්යා ආවම, අපි ඔක්කොම  කොහේ හරි ඇවිදින්න යමු. මට හිතුනා උඹල දෙන්න මට ඉන්නවා නේද කියල කවුරු නැතත්. උඹ කොහොමත් තාන්යා ව කොයි කාලේ ඉඳන්ද දන්නේ. මට යාළුවෙක් ඉන්නවා ප්‍රියාන් කියල. උඹත් දන්නවා. ඌ ලන්ඩන් ගිහින් ඉන්නේ. මම අහල බලන්න ඉන්නේ  මොස්කව් වල කන්ටැක්ට් තියනවද කියල. උගෙත් කෙල්ල එහෙනේ. "

"අර මොස්කව් ඉඳන් බිස්නස් කරන සෙට් එකක් ඉන්නවා නේද තවම. උන්ගෙ එකෙක් ගෙන්  ඇහුවොත් "

"මම කැමති නැහැ  බං. ඒ දවස් වලත් වැඩි සම්බන්ධයක් තිබ්බේ නැහැනේ. බැරිම වුනොත් කොහොම හරි ටිකට් එකක් හදාන යනවා. මොකක් හරි හේතුවක් නැතිව තාන්යා සද්ද නැතිව  ඉන්නේ නැහැ. මම ලන්ඩන් ඉන්න කාලේ සමූහ ගොවිපලක අල ගලවන්න ගිහින් හිටියා. දැන් එයාට රස්සාවකුත් ලැබෙන්න කල් හරි. එහෙම ගියාද දන්නේ නැහැ"

"උඹ කියපන්කො මොකද වෙන්නේ කියල කතා කරලා බලල. විශාඛා උඹව මතක් කරන්න කිව්වා. මෙන්න අම්මයි විශාඛයි දෙන්නම කෑම වගයක් උයල. උඹට දවස් ගානක්  තියාගෙන කන්න. මාළු ඇඹුල් තියල්, සම්බෝල, හාල් මැස්සෝ බැදල.කරවිල බැදලා. වම්බටු  තෙල් දාල. යකෝ මටවත් මෙහෙම හදන්නේ නැහැ. තවත් මොනවද රස කැවිලි වගේකුත් තියෙනවා. උඹ උඹලගේ මහා  ගෙදර යන්නෙත් නැතිව තනිවම උයන් කනවා කියල ඒ ගොල්ල දුක් වෙනව."

"ඒ ගොල්ලෝ එහෙම තමයි දුක් වෙන්න ගත්තම. ඒත් ඉතින් මට  රුසියාවේ ඉන්න කොට උයාගෙන කාල පුරුදු  නේ මචන්. උඹල එහෙනං හොඳින් ගිහින් වරෙල්ල."

නිලන්ත නැවතත්   තදින් වැළඳ ගත් ගිහාන් ඔහුට සමු දුන්නේ තම යහළුවාගේත් ආදරණීය යෙහෙලියගේත්  අවුල් වී විනාශ වන්නට ගිය විවාහයත්, ජිවිතත් ඒ අවදානමෙන් බේරීම ගැන වූ උපන් හෘදයන්ගම සතුටකිනි.

ලිපියක් නැතිව දුරකථන ඇමතුමක් නැතිව අතුරුදන්ව සිටින තාන්යා සොයා ගත යුතුව තිබේ. මුලින්ම එදා හවසම ප්‍රියාන් ට කතා කර උදව් ඉල්ලීමට ඔහු සිතා ගත්තේය.

~~~~~මතු සම්බන්ධයි

පින්තූරය උපුටා ගත් වෙබ් අඩවිය.

Friday 21 September 2018

සියාමා ගැන තරුරසී ගෙන් සඳහනක්

සියාමා !
( විචාරයක් නොවේ. හිතවතකුගේ පොතක් හඳුන්වා දීමක් පමණි.)
වාර්ගික, ආගමික අන්තවාදය සමාජය මත පතිත කරවන මරණයේ, වේදනාවේ බියකරු අන්ධකාරය අපි හොඳින්ම අත්දැක ඇත්තෙමු. ලෝකය දියුණු වී ඇතැයි කොතරම් පම්පෝරි ගැසුවත්, තවමත් අපට මිනිසුන් බෙදා වෙන් නොකොට එකා වන්ව ආදරයෙන් පිළිගන්නට, වැළඳගන්නට තරම් පොහොසත් අධ්‍යාත්මයක් සකස් වී නැත. එහි ඛේදනීය ඉරණම බොහෝ අවස්ථාවල ඉතා දරුණු ලෙස බලපවත්වන්නේ දරුවන් සහ කාන්තාවන් කෙරෙහිය.

‘‘සියාමා‘‘ ද ඉන් එකියකි. අන්තවාදී ආගමික මතවාද නිසා ආසියානු රටකදී බිහිසුණු ඉරණමකට මුහුණ දුන් පවුලක හුදකලා වූ දැරියක් පසුකලෙක යුවතියක ලෙස එංගලන්තයේදී ජීවිතයට මුහුණ දෙන ආකාරය මේ කතාවෙහි අන්තර්ගත ය.
බ්ලොග් නිසාම මහ පොළවට බට සහෝදරත්වයකින් දැන හඳුනා ගත් ‘‘කොළඹ ගමයා‘‘ බ්ලොග් අඩවියේ රචක අජිත් ධර්මකීර්ති සහෝදරයා කොටස් වශයෙන් බ්ලොග් අඩවියේ පළ කළ මේ කතාව එදත් මා බොහෝ කම්පනයට පත් කළා මතකය. කඩිමුඩියේ බ්ලොගයට ලියැවෙන කතා, කඩිමුඩියේ පොත් වීම පිලිබඳව මගේ එකඟත්වයක් නැතත් මේ කෘතිය කියවා බලන්නැයි ඇරයුම් කරමි. අන්තවාදය විසින් මනුෂ්‍යත්වය හෙළාලන අගාධයේ තරම යම් තරමකින් හෝ වටහා ගන්නට, සංවේදීවන්නට ඉන් නොනැවතී, සියලු ආකාර අන්තවාදයන්හි කෘෘරත්වයට එරෙහි වන්නට සියාමාගේ කතාව බලපෑමක් කරනු ඇත.
සියාමා වෙනුවෙන් වචනයක් ලියන චූලානන්ද සමරනායකයන් මෙලෙස උපුටා දක්වමි.
‘‘කිසියම් රටක් කවර හෝ අන්තවාදයක සරණ යන්නේ නම් එය අවසන් වනු ඇත්තේ මිහිපිට නරකාදියක් තනා ගනිමිනි. ලංකාවේ අප දැනටමත් ඒ මඟෙහි සෑහෙන දුරක් පැමිණ හමාරය. ජාතිවාදයත්, ආගමික අන්තවාදයත් අතර දෝලනය වෙමින් මෙතෙක් අප ආ ගමන තුළ අන්තවාදීන් යුක්තිය සහ සාධාරණත්වය යටපත් කරමින් තර්ක බුද්ධියට පහර එල්ල කරද්දී අප දුටුවේ අතලොස්සක් හැරුණු විට යහපත් යැයි කියනා බහුතරයක් නිහඬවත පුරන ආකාරය සහ දේශපාලකයන් යැයි කියාගන්නා අවස්ථාවාදීන් බොර දියේ මාළු බාන ආකාරයයි.‘‘
‘‘සියාමා‘‘ - අජිත් ධර්මකීර්ති
රු.350.00
අහස ප්‍රකාශනයක් ( J 310 ) අහස පොත් කුටියෙන් ලබා ගත හැකිය.

~~~~~~~~~~~~~~~~~
ස්තූතියි තරුරසී


Wednesday 12 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (42) - සමාවෙන්න විශාඛා,

කලින් කතාව - ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (41) -පද් මොස්කව්නියේ වේචෙරා

මතකය රිදුම් දෙන සුළුය. ඇයගෙන් ලැබෙන ලිපි හදිසියේම නැවතී ඇති සෙයක් ඔහුට දැනේ. හේතුවක් සොයන්නට ප්‍රේමයෙන් මැඩුණු හිත ඉඩ නොදෙයි. අවසන් ලිපියේ තිබුනේ කුමක්දැයි සිතීමට ඔහු වෙහෙස විය.

ඇගේ පියා  රැකියාව කරන කම්හලේ පඩි ගෙවීම නතර කර දමා ඇත.  ඒ වෙනුවට ඔවුන්ට භාණ්ඩ වලින් පඩි ගෙවති. ඈ  පවසන පරිදි  පඩි ගෙවන්නේ අර්තාපල්, පාන් , සීනි, මස් ආදියෙනි. දෙවැනි ලෝක යුද සමයෙන් පසු එවැනි කාලයක් ආවේ දැන්ය.  ඇය ඉගෙන ගන්නේද  අසීරුවෙනි. උද්ධමනය කෘතිමව පාලනය කරමින් තිබූ සෝවියට් දේශයේ බඩු මිල ඉහල ගියේ නැත. සීනි හෝ හාල් කිලෝවක මිල 1984 දීත් 1988 දීත් එක හා සමාන විය. පාන් ගෙඩියක මිලද එසේමය. නමුත් දැන් එවැනි භාණ්ඩ වල  මිල ඉහල දැමීමට  ඉඩ දී තිබේ. භාණ්ඩ මිල ඉහල යාමත් සමග දෛනික ජිවිතයේ වියදම් පියවා ගැනීමටත් අසීරු බව ඇය ලියා  තිබුණි.

ඔහු කිසියම්  මුදලක් , ඩොලර් වලින් ඇය අත තබා ඒමට සැරසුණු මුත් ඇය එය ප්‍රතික්ෂේප කළාය. එනිසා ඔහු හඳුනන සිසුවකුට ඒ මුදල් භාර දී ආවේ අවශ්‍ය වුවහොත් තාන්යාට ලබා දීමේ අටියෙනි. නමුත් ඒ සිසුවා එංගලන්තයට යාමට  එය වියදම් කර තිබුණි. එනිසා කෙසේ හෝ  ඩොලර් සියයක පමණ මුදලක් සොයා ගත් ගිහාන් වෙස්ටන් යුනියන් නම් මුදල් යවන සමාගමක  ආධාරයෙන් මොස්කව් වලට යැවීය. නමුත් ඉන්පසු ඔහු අත වැඩි මුදලක් ගැවසුණේද  නැත.

ඇය දැකීමට නම් ගෙන්වා ගැනීමට මුදල් යැවිය යුතුය. සෝවියට් දේශයට යාමට වීසා හදා  ගැනීමට ක්‍රමයක් නැත. එකම ක්‍රමය පශ්චාත් උපාධියක් කෙසේ හෝ හදාගෙන යාමය. මේ දෙකටම මුදල් අවශ්‍යය. නැත්නම් පරණ හැඳුනුම්කම් ඇති මොස්කව් නැවතී ව්‍යාපාර කරන සිසුන් සම්බන්ධ කර ගත යුතුය. ගිහාන් ට එයටද කැමැත්තක් නැත.

ඒ අතරේම සෝවියට් දේශයේ කුමන්ත්‍රණයක් ගැන කතාබහක්  ආරංචි විය. සියලුම සෝවියට් සමූහාණ්ඩු මධ්‍යම රජයෙන් ඉවත්වී ගොස්ය. ගොර්බචොව්  ගෙන් බලය අල්ලා ගැනීමට සෝවියට් කොමියුනිස්ට්  පක්ෂ මධ්‍යම කාරක  සභාවේ පිරිසක් උත්සාහ දරා ඇත. යෙල්ට්සින් ටැංකියක් උඩ නැග  කතා කරනු ගිහාන් රූපවාහිනියෙන් දුටුවේය. එම කුමන්ත්‍රණය පරාජය වී ඇත.

ප්‍රියාන් හා තවත් සිසුන් ගෙන් ඔහුට වැඩි විස්තර දැන ගැනීමට හැකිවිය. මිනිසුන්ට පඩි ගෙවන්නේ නැති බවට තාන්යා ලියා තිබූ දේවල් සත්‍ය බව ඔහුට  දැන ගන්නට ලැබුණි. කුඩා කඩ හා සාමාන්‍ය    ප්‍රමාණයේ ව්‍යාපාර බිහි වී ඇත . ඒවායේ සමුහ පාලනය ක්‍රිශා (වහල) නමින් රුසියානු භාෂාවෙන් හඳුන්වන මාෆියා කණ්ඩායම් වලිනි. ඔවුන්ට කප්පම් නොදුන්නොත් ව්‍යාපාර කල නොහැකිය. ඔවුන් මිනිසුන් මරා දැමීමට පවා එළඹෙන බව දැනගත්  ඉමහත් විස්සෝපයට  පත්විය. සෝවියට් දේශයේ තිබූ ආරක්‍ෂිත භාවට නැතිවී ඇත.

තව තවත් දිළිදු භාවයටත් රැකියා විරහිත භාවයටත්  ඇද දමන ලද රුසියානුන් ජාතිවාදී වී ඇති බවටත් ඇතැම් තැන්වල  විදේශිකයන්ට පහරදීම් කරන බවටත් ඔහුට ආරංචි විය.

ප්‍රියාන් සමග  කතා කරද්දී දැනගන්නට ලැබුනේ යෙල්ට්සින් ටැංකිය උඩ කතා කරන දවසේ ඔහුද ඒ අසල අර්බාත්සකයා වල සිටි බවයි. සෝවියට් හමුදා මොස්කව් නගරයේ රැස්ව  සිටි ජනතාවට විරුද්ධව අවි භාවිතා කිරීම ප්‍රතිකෙෂේප කළහ.

"  මේ රතු හමුදාව  ඇත්තටම දේශප්‍රේමී බං. එහෙම හිතුනෙම නැහැ ඉස්සර.ඒ කියන්නේ උන් ඉන්නේ ජනතාව පැත්තේ.  බලපං මුන් තමන්ගේ මිනිසුන්ට විරුද්ධව වෙඩි තියන එක ප්‍රතික්ෂේප  කලා. ගොර්බචොව් ගේ බලයත් ඉවරයි එතැනින්ම"

"දැන් මොකද වෙන්නේ "

"රූබල් එක තව බැහැල. එයාරෝෆ්ලොට් ටිකට්, ලන්ඩන් යන කෝච්චි ටිකට්  ගණන් ගිහින්. කෑම ගණන් ගිහින්. ආණ්ඩුවේ සුපර්මාකට්, ගොඩනැගිලි, පොඩි කම්හල් කුණු කොල්ලෙට විකුණනවා. සල්ලි තියෙන ඕන මාෆියා කාරයෙකුට, කේජිබී කාරයෙකුට , හොරෙකුට ගන්න පුළුවන්. යෙල්ට්සින් කාරයා හැම වෙලේම බීපු ගමන්. හොඳකට තියෙන්නේ රුස්සන්ට  දැන් ඕන දෙයක් කියන්න, ඕන කෙනෙකුට බනින්න නිදහස  තියෙනවා." ප්‍රියාන් කීවේ අවඥාවෙන් ද යන්න ඔහුට නොවැටහුණි.

නංගීගේ විවාහය හොඳින්  කිරීමට ගිහාන් සමත් විය.

අම්මාට හා නංගීට කොළඹ විශාල හෝටලයක අධික මුදලක් ගෙවා විවාහය ගැනීමට අවශ්‍යව තිබුණි. එයට ගිය වියදමද තවම ගෙවා අවසන් නැත. එය විකාර වියදමක් යැයි ඔහුට සිතුනද  ලංකාවේ කටයුතු කෙරෙනා අන්දමට හැඩ ගැසීම වැදගත් යයි සිතා නිහඬ විය. ඔහු කම්පාවට පත්වුණේ   ඔවුන්ට අයත් කුඩා ඉඩමක් ද විකිණීමට  සිදු වීමෙනි. කොළඹට එතරම් දුර නැති වුවත් තවමත් කුඹුරු හා තුරු වැල් පිරී ඇති  සුන්දර පෙදෙසක පිහිටි එම ඉඩමේ කෙසේ හෝ නිවසක් තනා ගෙන තාන්යා සමග ජිවත් වීමට ගිහාන් සිතා සිටියේය. ඒ අදහස නිකම්ම අත්  හැරීමට සිදුවිය .

ගිහාන්ගේ හිත රිදුනේ නංගි තාන්යා අමතක කිරීමට ගිහාන්ට කි වේලේය.
"අයියේ ඔය පිටරට සුදු ගෑණු විශ්වාස කරන්න බැහැ. අනික රුසියන් කෙල්ලෝ කිව්වහම මෙහෙ ප්‍රසිද්ධ මොනවටද? හෝටල් ගානේ ඉන්න අයටනේ. හේෂාන් නුත් කීව ඔය කතාව "

 "ඇයි හේෂාන් ගිහිල්ල පාවිච්චි කරලා තියනවද?හොයල බැලුවද ඔයාට බොරු කියල ගියාද කියල? ඇයි උන් විතරද වල්  කමේ යන්නේ, අනිත් රටවල ගෑණු යන්නේ නැත්ද?  මම දන්නා තරමට  රුසියාවේ හෙම හිටිය ලංකාවේ, ඉන්දියාවේ, අප්‍රිකාවේ සමහර  කෙල්ලන්ගේ  පට්ටන්දරේ දිග අරින්නද  "  ගිහාන් කඩා පැන්නේය.

"ඔය ඉතින් ඔයත් එක්ක කතා කරන්න  පුලුවන්ද? හොඳ අය ඇති . මම කියන්නේ ඔයාගේ හොඳට. මෙහෙ ගෙනල්ල ඔයාට ලෙහෙසි වෙන්නේ නැහැ. අම්මව තාත්තව  බලන්න වෙන්නේ මට විතරද. ඔයා එහෙ හිටිය කාලේ මම බැලුවේ. දැන් ඔයාගේ වාරේ."

"ආ ඒකද දැන් ඔයාගේ ප්‍රශ්නේ? දෙමාපියෝ ගැන මම බලා ගන්නම්. ඔයා ඉන්න කරදර නොවී. තාන්යා අම්ම තාත්තා ඔයාට වැඩිය හොඳට බලා ගනී"

"අනේ ඔයා  ඉන්නේ හීන ලෝකේ. අපි දන්නේ නැත්ද? ඒ ගෑණු කෙනා දැන් වෙන කවුරුහරි යාළු වෙලත් ඇති"

"පලයන් යන්න. උඹ දන්නේ මොනවාද මමයි තාන්යයි ගැන " ගිහාන් නංගිව එළවා ගත්තේය.

මව සිටියේ නංගීගේ පැත්තේ බව ඔහු දැන  සිටියේය.
පියානම් කතා කළේ වඩා අනුකම්පා පෙරදැරිවය. ඔහු මුලින් ආලය  කල ද්‍රවිඩ පෙම්වතිය සිහි වෙන්නටද ඇත.

"පුතා කැමතිනම් මගේ අමනාපයක් නැහැ. හිත ගිය තැන මාළිගාව කියනවනේ. පුතා ගේන ඕන දැරිවියක් මගේ දුවෙක්" තම පියාණන් දැඩිව වැළඳ ගැනීමට තරම් ස්නේහයක් ගිහාන්ගේ සිතේ පහලවිනි. එහෙත් තාන්යා ගේ පියා ඇලෙක්සෙයි වැළඳ ගත්තාක්  මෙන් හුරුවක්  ලංකාවේදී  පුරුදු නැත.

දොරේ සීනුව නොකඩවා නාදවිය. ඒ මදිවාට දොරට තඩි බාන හඬද ඇසුනි.

 "විශාඛා, මොකද මේ පොඩිත්තත් එක්කම "

විශාඛා පොඩි දරුවාද රැගෙන දොර අසලය. එදා හිත හදාගෙන ගියාට පසු ඇය දුටුවේ අදය.

පොඩිත්තා රැගෙන නිවස තුලට පැමිණි විශාඛා දරුවාට  සෙටිය උඩ හිඳ ගැනීමට සලසා ඇය රැගෙන ආ සෙල්ලම් භාණ්ඩ කිහිපයක් හා පාට කරන  පොතක් දරුවා අතට දුන්නාය.

නිවසේ තිබූ කුඩා කෑම මේසයේ පුටුවක් එලියට ගෙන පැත්තකින් මෙන් හිඳගත් ඈ තවමත් විමතියෙන් මෙන් දොර අසල සිටගෙන සිටි ගිහාන් දෙස බැලුවාය.

"මම පහුගිය දවස් කිහිපයම කල්පනා කලා ගිහාන් අයියේ. අම්මල ගාවට යනවද දරුවා එක්ක ඉන්නවද තනියම  කියල. කෝච්චියට  පනින්නත් හිතෙනවා වෙලාවකට. මං මෙහෙ ආවේ අයියේ ..." විශාඛා වාක්‍යය  අවසන් කිරීමට  තැතනුවාය.
ගිහාන් ඈ දෙස බලා සිටියේ තාන්යා පිලිබඳ කල්පනාවේ ගිලී සිටියදී හදිසියේ මෙන් පැමිණි විශාඛා නිසා තෝන්තු වී ගිය මනසින් යුතුවය.

"ඔයාට මං ගැන පොඩ්ඩක් හරි අදහසක් නැද්ද ගිහාන් අයියේ. මං දරුවත් අරන් ආවේ ඒකයි. මං හුඟක් අසරණයි.  මට යන්න  කියන්න එපා අයියේ එදා වගේ"

ඇයට කිව යුත්තේ  කුමක්ද යන්න ඔහුට එකවර සිතාගත නොහැකි විය.

"නංගි එහෙම කරන්න බැහැනේ අපි දෙන්නට. ඔයා තවම නිලන්ත බැඳලා ඉන්නේ. ඔයා  නීතියෙන් වෙන්වුනත් නිලන්තගෙන් මට..." ඔහු කීමට ගිය ඉතිරිය ගිල ගත්තේය.
  " නිලන්තට  එදා තරහට ගියාට ආපහු එයි. ඒ දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඉඳන් නැවකට යන්න පැපුවා යනවා කීවට ගිහින් නැහැ.  මම දන්නවනේ මගේ යාලුව ගැන. නංගි මම කතා කරන්නම් එයාට. "

"අයියේ, ඒ දීගේ හරියන එකක් නැහැ. ඔයා නොදන්නා  ගොඩක් දේ තියනවා. මට ඔයා ඇරෙන්න යන්න  වෙන තැනකුත් නැහැ වගේ අයියේ.  ඔයා මාත් එක්ක තවම තරහද මම නිලන්තව බැන්දට. ඔයා රුසියානු ගෑණු ළමයෙක් එක්ක යාළුවෙලා කියල දැන ගත්තට පස්සෙයි මම නිලන්තට කැමැති වුනේ. එයා ඔයාගෙත් හොඳම යාලුවා නිසා. අනික නිලන්ත  ඒ කාලේ ඉඳන්ම  මට කැමැත්තෙන් හිටියේ කියල මම දන්නවා. "

"නංගි  මමම තමයි නිලන්තට කිව්වේ  තාන්යා ගැන ඔයාට කිව්වට කමක් නැහැ කියල. ඔයා නිරපරාදේ මං ගැන බලාපොරොත්තු තියන් එහෙම ඉන්නවද කියල නොදැන හිටි නිසා "

"නොදැන හිටියා කියන්නේ අයියේ. අනේ ඔයාට එච්චරටම  මාව අමතක වුනාද? අපි ගඟ අද්දර බලන්න ගියා මතකද ඔයාට? ඔයා ඒ  ෆිල්ම් එකේ සින්දු ලස්සනට කියනව මට තවම මතකයි. පහුගිය දවස්වල මට ඒ හැමදෙයක්ම මතක් වුනා?"

"ගඟ අද්දර බලන්න ගියා කියල මට මතකයි. අපි දෙන්න විතරක් නෙමේ නේද ගියේ "

"බේරේ වැවේ තියන සීමා මාලකෙට ගිහින් මල් පූජා කරනවා මතකද ඔයාට. පාරේ ඉඳන් එතන ඇතුලට යනකොට තමයි ඔයා මට  නිලන්තයි අනිත් යාළුවොයි අඳුන්වල දුන්නේ. අපි හුඟක් දවස් වල එතනට ගියා? දවසක් , ඩුප්ලිකේෂන් පාරේ  කොල්ලුපිටියට ගිහින් අර මග පාරකින් මල් පාරට ඇවිල්ල අපහු හිටපු තැනටම ආවේ.  අපි කොච්චර  ඔහේ ඇවිද්ද ද? ඔයා ඒ පාරවල් හොඳට දන්නවා."
විශාඛා ඔහු දෙස බල මද සිනහවක් පෑවාය.

"හයියෝ ඉතින් මේ ඒලෙවල් කරන කාලේ අපි හැම වෙලේම තනියම ගියාද? යාළුවොත් එක්කමනේ වැඩි හරියක් ගියේ. විශාඛා අපි දෙන්න කවදාවත් ආදරෙයි කියල තියෙනවද? අපි එක පාරක් පබ්ලික් ලයිබ්‍රරියේ පාඩම් කරද්දී මම ඔයාගෙන් ඇහුවේ එළියේ ඇවිදින්න යමුද කියල? ඔයාමනේ හෙන රැවිල්ලක් දාල ගස්සල පොත දිහා බලන් හිටියේ. අපි අතරේ සෙනෙහසක් වගේ දෙයක් තිබ්බ තමා. ඒත්  දැන් ඔයා නිලන්තව බැඳලත්  අවුරුදු කීයක්ද නංගි ? "

"අනේ ඉතින්" විශාඛා හඬන්නට ගත්තාය .

"මම ඉස්කෝලේ ඇරිලා බඩගින්නේ ඉන්නවා බස් යද්දී නගින්නේ නැතිව. ඔයා එන බස් එක එනකන්. ආදරේ කියල කියන්නම ඕනෙද? ඔයාට තේරුනේ නැත්ද? ඔයා හරිම කුරිරු මනුස්සයෙක් වෙලා . තාන්යා තමා ඔයාව  කුරිරු කරලා තියෙන්නේ. නිලන්ත මාව දාල ගියාට පස්සේ මට ඔයා ගැනමයි හිතුනේ. මට හිතුනෙම  ඔයා එනකන් හිටියේ නැති නිසා මට මේ දඬුවම ලැබුන කියල. " විශාඛා නැවතත් හඬන්නට පටන් ගත්තාය.

"විශාඛා, අපි එකට ඇවිද්ද, කෑව බීව, යාළුවෝ එක්ක එකම එක විනෝද ගමනක් ගියා. ඒත් අම්මලත් ගියා ඒවාට.  මට ඔයා ගැන හැඟීමක් තිබ්බේ නැහැ කියලම  මට කියන්න අමාරුයි. මම සෝවියට් යන දවසේ ඔයා මගේ ටයි එක හැදුව මතකද? ඒවා මට තියෙන ලස්සන මතක ඔයා ගැන. ඒත් නංගි වෙලාවකට මට හිතෙනවා මගේ නංගිට වගේම ආදරයක් එතන තිබ්බේ කියල. ඒක එතනින් එහාට ගියේ නැහැ. "

ගිහාන් විශාඛා ඉදිරියෙන් වූ පුටුවේ හිඳ ගත්තේය.
මවගේ හැඬිම දුටු කුඩා දරුවා පැමිණ විශාඛා ගේ උකුල ලඟින් හේත්තු වූවේය. දරුවා වඩා ගත්  විශාඛා ගවුමේ කොනකින් කඳුළු පිසදා ගත්තාය. සෙටියේ කොනක හිඳගත් ඈ දරුවා තමන්ට තුරුළු කරගත්තාය.

"පුතාට නිදි මතයි වගේ. රෑ වුනානේ. "

"ඔයා පුතාව ගිහින් අනික් කාමරේ ඇඳේ තියන්න. කිරි එක තියනවද මම රත් කරන් එන්න"
"බෑග් එකේ " කියූ විශාඛා දරුවා රැගෙන කාමරයට වැදුනාය.
මද පමණට රත් කළ කිරි බෝතලයට දමා විශාඛා ට දුන් ගිහාන් දොර අසල බලා සිටියේ ඇතුළට නොයාය.

මද වෙලාවකින් කුඩා දරුවා නින්දට ගියේය. ගිහාන් සෙටියේ වාඩිවී  සිටියදී විශාඛා විසිත්ත කාමරයට ඇතුළුවන හරියේ ඇති බිත්තියට වාරු දී සිට ගත්තාය.

"ඉඳගන්න මෙතැනින්" ගිහාන් ඇයට පැවසීය.

"තාන්යා එක්ක මගේ සම්බන්ධය  අර කුමරි පත්තරේයන පුංචි ආදර කතා වගේ එකක්ම නෙමෙයි. ඔයා ඒවාට ආසයිනේ "

"ඔයාට ඒවත් මතකද "

"තාන්යා මුණ ගැසුන දවසේ ඉඳන් ඒ සම්බන්ධය පටන් ගැනුණේ  ශාරීරික ආකර්ෂණයකින්  වෙන්න පුළුවන්. නමුත් ඒක අපි ඔය  පොත්වල කියවල තියනවා වගේ හිතේ ගැඹුරුම  තැනින් පටන් ගත්ත ක්‍රමයෙන් වැඩිවෙලා මුල් බැස ගත්ත ආදරයක් . හිතින් ගතින් දෙකින්ම. ඔයා මට සමාවෙන්න දහස් වාරයක් මෙහෙම කියනවට.  ඔය කවියෝ, ප්‍රේම කතා ලියන නවකතා කාරයෝ කියන ප්‍රථම ප්‍රේමය කියා එකක් තියනවානම් , මුළු හදින්ම පෙම් කරපු ප්‍රථම ප්‍රේමයක් තියනවා නම් මට ඒ තාන්යා එක්ක. මට එයාව අමතක කරන්න  බැහැ.  මට  සමාවෙන්න හොඳ නංගි වගේ."

විශාඛාගේ සිහින් කෙඳිරියක් සවනට වැකෙන සේ  ඉකියක් ගැසුවාය .

"මම පොඩි එකත් අරන් යනවා අම්මලාගේ ගෙදර. ඒ මිනිසුන්ගේ හිත රිදවන්න බැරි නිසා මෙපමණ දවසක් හිත හිත හිටියේ. ගිහාන් අයියේ මට සමාවෙන්න ඔයාට කරදරයක් කෙරුවට "

"ඔයා කොහෙවත් යන්න ඕනේ නැහැ විශා. මම තනියම  මෙහෙ ඉන්නේ. තව කාමරේකුත් තියනවා. ඔයාගේ අම්මලට මුකුත් කියන්නේ නැතිව ඉමු. අපි නිලන්තට කතා කරමු. අපිට මේක විසඳ ගන්න පුළුවන්"

"අනේ අයියේ, මට එයට ආයි කතා කරන්න  කියන්න එපා. ඔයා   දන්නේ  නැහැ මට වෙලා තියන දේවල්. " විශාඛා නැවතත් මහා හඬින් හඬන්නට පටන් ගත්තාය.

විශාඛා හා නිලන්තගේ පොඩි පුතු නැගිට කාමරයේ දොර අසල සිට තම මව දෙස බලා සිටිනු ගිහාන් දුටුවේය.

"යමු පුතා දොයියන්න " ඔහු දරුවා වඩාගෙන ගොස් ඇඳෙහි තබා ඔහුගේ අතකින්  අල්ලාගෙන නළල හා හිස සෙමින් පිරි මැද්දේය. පොඩි එක  ටිකකින් යලිත් නින්දට වැටුණි.

සෙටියේ කොනක ඈඳීගෙන සිටි විශාඛා හැඬිම නවතා ජනේලයෙන් එපිට බලා සිටියේ හැඟීම් විරහිත වූ හිස් බැල්මකිනි.

ගිහාන් සීනි යහමින් දමා  තේ දෙකක් සදා එකක් විශාඛා ගේ අතට දුන්නේය.

"නංගි මට මොකද වුනේ කියන්න. ඔය දෙන්නට. ඔයාලගේ රණ්ඩුවයි  නිලන්තට වෙන ගෑණු එක්ක නිදා ගත්ත කියල ඔයාට ආපු නිර්නාමික ලියුනුයි ඔයා එයාට කෑ ගහපු ඒවායි ඇරුණහම මොකක්ද? බටහිර රටවල කවුන්සලින් කියල එකක් තියනවා. ඒ කියන්නේ විවාහක යුවල ගිහින් මනෝ උපදේශකයෙක් ගාව කතා කරන එක. ඒ ගොල්ලන්ගේ උපදෙස්නුත් අරගෙන විවාහය බේරා ගන්න පුලුවන්ද කියල උත්සාහ කරන එක. මෙහෙ මම දන්නේ නැහැ තවම එහෙම තියනවද කියල. නමුත් අපිට කතා කරලා විසඳ ගන්න  පුළුවන් දෙයක්......."

විශාඛා ඔහුට වාක්‍යය අවසන් කිරීමට ඉඩක් නොතබා කතා කළාය.

"අයියේ ඔයාට මට මේවා කොහොම කියන්නද කියල තේරෙන්නේ නැහැ. කාටවත් නොකියපු දේවල් තියනවා අයියේ. " විශාඛා අගේ මුහුණ දෝතින්  වසාගෙන ඉකි බිඳින්නට ගත්තාය.

ගිහාන්  ඇගේ උරහිස සෙමින් පිරි මැද්දේය.

"නංගි, ඔය මගේම සහෝදරියක් වගේ. නිලන්ත මගේ හොඳම යාළුවා. මගේ සහෝදරයා ඌ. අපි දෙන්න අතරේ පොඩි හරි ඇඟැලුම් කමක් තිබුනනේ. ඔයාට මට නොකියා ඉන්න පුළුවන්  දෙයක් නැහැ කියල හිතන්න."

විශාඛා අපහසුවෙන් හිස එසවූවාය. හැඬිම නිසා ඇගේ දෙඇස් රතුවී ඉදිමි කොණ්ඩය අවුල්වී තිබුණි.

"මම මූණ  හෝදගෙන එන්නම් අයියේ "

~~~~~~~මතු සම්බන්ධයි

Saturday 8 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (41) -පද් මොස්කව්නියේ වේචෙරා

රුස්සන්ගේ ඝෝෂාව සෙමින් මැකී ගියේය. කාමරය පුරාවට ඇසුණු සංගීතය මැද ගිහාන්  තම පෙම්වතිය දෙස සෙනෙහසින් බලා සිටියේය. ඇය ඔහුට අත දිගු කර ළඟට එන ලෙස සන් කලාය.

"තානිච්කා, දුක හිතෙන්න ඕන දවසක මට හරි සතුටුයි. නමුත් ලේනා, ඕල්යා, ඉන්ගා ඔක්කොම එකතුවෙලා අපි දෙන්නව බන්දපු එක  විහිළුවට හරි.   ඒක හරිම ආදරණීයයි. "

"මට කිව්වෙත් නැහැ ඔහොම කරනව කියල. මම කාමරේ ඉල්ලුව විතරයි. මටත් සතුටුයි ගිහන්චික් මොයි" ගිහන්චික් ආදරයට ගිහාන් නම වෙනස් කර කියුමකි. මොයි යනු "මගේ" යන අරුත දෙයි.

"තාන්යා, එදා ඔයා කීව  එක හරි. මම ගොඩක් කල්පනා කලා ඒ ගැන. ඔයාට ඕනේ නම් අපි දරුවෙක් ...."

"ෂ් ෂ්" ඇය ඔහුගේ දෙතොලට ඇඟිල්ල තැබුවාය.

"ගිහාන්චික්, නැහැ අවශ්‍ය නැහැ. ලේනා කීවෙත් ඔයා කීව දේ. මගේ හැඟීම් වලින් අනාගතේ තීරණය කරන්න එපා කියල. අපි අද සතුටින් ඉඳිමු ඉතිරි පැය කීපයයි නේ තියෙන්නේ. පවුලක් හදන්න  පුළුවන් පස්සේ"

"මම හෙට ගියත් ඔයාව එහෙම අමතක කරන්න බැහැ. මම හිතන් හිටියේ මම ලංකාවේ දැන හඳුනාගෙන හිටපු විශාඛා මම මුලින්ම ආදරය කළ කෙනා කියල. නමුත් දැන් හිතෙනවා එයා ගැන මට තිබ්බේ නිකම් ආදරණීය  හැඟීමක් වගේ එකක් කියල . අපේ රටේ විධිහට වැඩිමහල් සහෝදරයා හා බාල  සහෝදරිය වගේ අපි දෙන්න කතා කළේ . ඒ ඇමතුමට කියන්නේ අයියා හා නංගී කියල."

" ඒ කියන්නේ සහෝදර සහෝදරියෝ  අතරේ තියන ලෙන්ගතුකම , මායි ලේනයි අතරේ වගේ. මම ලේනට හුඟක් ආදරෙයි. මගේ එකම සහෝදරී. ඔයත් ඒ වගේ එයාට ආදරේද? එහෙනම් ඒක ගැඹුරු එකක්නේ "

"නැහැ එහෙමත් නැහැ.අපි දෙන්න ඥාතීන් නෙමේනේ. ඒක මට පැහැදිලි කරන්න අමාරුයි. නමුත් මම ඇත්තටම හිතින්, ගතින්, හදවතින් කොටින්ම මුළුමනින් ම මම  ආදරේ කරන්නේ ඔයාට." ඔහු ඇයගේ මුහුණ දෝතට ගෙන සිප ගත්තේය.

"ඔයාට මතකද අපි අර මොස්ක්වා ස්ල්යෝසම් නි වේරිත් චිත්‍රපටය බලන්න ගියා. සෝකල්  පැත්තේ සිනමා ශාලාවක. ඔයාගේ යාළුවොත් හිටිය නේද.   එතැන පොඩි වැවක් තිබ්බ නේද? ඔයා  ලිස්සල වැටුනේ අයිස් මිදුන පඩි පෙලේ. මම ඔයාව අල්ලන්න ගියහම මාත් වැටුනා. මම තී උපාලි දා කියල ඇහුවම ඔය කිව්වා නෑ මම ගිහාන් කියල " තාන්යා පරණ සිද්ධියක මතකයකින් සිනා සුනාය.

" ඔයා ඔහොම හිනාවෙලා ඉන්න එක මගේ හිතට සහනයක්. ඔයාව දාල තාවකාලිකව හරි යන්න වෙන එක ගැන හුඟක් හිතේ බරකින් මම ඉන්නේ. "

මොස්ක්වා ස්ල්යෝසම් නි වේරිත් යනු මොස්කව් කඳුළු මත රඳන්නේ නැත (moscow does not believe in tears ) යනුවෙන් හැඳින්වෙන ජනප්‍රිය චිත්‍රපටයකි. කෘර පෙම්වතෙකු විසින් දරුවකුද ලබා දී අතරමන් කරන ලද තරුණියක් ස්වෝත්සාහයෙන් උගෙන , අමාරුවෙන් දරුවා ද හදා වඩාගෙන, උපාධිය සීරුවෙන් අවසන් කර පසුව කම්හලක අධ්‍යක්ෂිකාවක වෙයි. එසේ  සිටියදී කෘර පෙම්වතා ඇයත් ඇගේ නව පෙම්වතාත් අතරට නැවත පිවිසෙයි. කතාව සතුටුදායක ලෙස අවසන් වේ. හොඳම විදේශ චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය 1981 දී ලැබුණි.

 "උපාලි" යනු රුසියානු භාෂාවෙන් වැටුනා යන තේරුම දෙයි. "තී උපාලි දා" යනුවෙන් තාන්යා එදා ඇසුවේ "උඹ වැටුනා නේද" කියාය. ගිහාන් එය විහිළුවකට ගෙන "උඹ උපාලි ද " යන අරුතින් ගෙන නැහැ මගේ නම ගිහාන්  යයි කීවේය.  

"මතකද අපි ප්‍රියානුයි  නතාෂායි හිටි අර්බාත්ස්කයා තට්ටු නිවසේ ඉඳල මොස්කව් ගඟ ගාවට ඇවිත් පැයක් විතර ගඟ දිගේ ඇවිද්ද හවස. ඔයා  කකුල් රිදෙනවා කියල බොරුවට රණ්ඩු කලා. ඒත් ඇවිද්දනේ මා එක්ක."
"ඉතින් රුෂ්කයා නබෙරෙශ්නයා එනකන්ද කොහෙද ඇවිද්දනේ. ඔයාට ඇවිදලා පුරුදුයිනේ. ඊට පස්සේ සර්යද්යේ උද්‍යානයට ගිහින් ඉඳගෙන ඉඳල අයිස්ක්‍රීම් කෑවේ." 
නබෙර්ශ්නයා යනු ගඟ අසබඩ යන අරුත දෙන්නකි. අර්බත්ස්කයා , බරෝවිත්ස්කයා පෙදෙස් පසු කර  ගඟ දිගේ බල්ශෝයි (මහා) උස්තින්ස්කි පාලම අසලට ගොස් පාලමින් ගඟ තරණය කර සර්යද්යේ උද්‍යානයට ගඟ අනිත් පැත්තෙන් පැමිණිය හැකිය. 

  "මට ඒ ගමන් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මතකද ගෝර්කි ලෙනින්ස්කියේ  ගියා.  ඒ මුළු පැත්තේම අපි ඇවිද්දේ කෞතුකගාරේටත් ගිහිල්ල. අර මහා පාර දෙපැත්තේ  ගස් වල කොළ එක එක පාට. වැඩිපුරම ලා  රත් පාට යි , කහ පාටයි නිකන් සිතුවමක් වගේ. පුදුම ලස්සනයි. ඔයා මාව ගහකට හේත්තු කරන් සිප ගත්තා කවුරුත් නැති වෙනකන් ඉඳල. " තාන්යා ඔහුට තුරුළු වුනේ අතීත මතකයක ස්නේහය  විඳිමිනි.
"මට මතකයි හොඳටම ඒක" ඔහු ඇගේ රතුවූ දෙතොල් නැවත නැවතත් සිප ගත්තේය.

"අර ඔයාගේ යාළුවෙක් හමුවුනා මතකද මගදී කෙට්ටුම කෙට්ටුයි, එක පාරයි හමු වුනේ ඒත් මට ඒ මුහුණ හරියට මතකයි මූණ පුරාම රැවුල වවාගෙන කොණ්ඩේ අවුල් වෙලා ටෝල්ස්ටෝයි වගේ,  හැබැයි ලස්සන කෙල්ලෝ දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙන ගියේ. ඔයා දර්ශනවාදියා කියල කිව්වේ. එයා කිව්ව නේද සතුටු වෙන්නද මොකක්ද එකක් ?"

 "හා ඔව්. ප්‍රශාන්  නේ. ජීවිතය විඳිනවද බං කියල මගෙන් ඇහුවා.  මම කිව්වා මම එක පැත්තකින් විතරයි. උඹ දෙපැත්තෙන්ම විඳිනවා කියල."
ඒ කතාව මතක් වී ගිහාන්ට මහා සිනාවක් ගියේය.

"එයා කියන්නෙත්  ගොර්බචොව්  මේ ක්‍රමය නැති කරලා දානව නම් හොඳයි එයාට එපා වෙලා කියල. ප්‍රියාන්ල කියන්නෙත් ඒකමයි. මට තේරෙන්නේ නැත්තෙත් ඒකමයි. එයා ගියා ලංකාවට ඉවර කරලා. "

" මේ ක්‍රමය තමයි අපි දන්නේ. මට ඒක දැනට හොඳයි අපි දෙන්නට ඉන්න දෙනවා නම් සතුටින්. එහෙම දෙන්න  දෙන්න සතුටින් හොඳට  හිටියොත් ඔක්කොම වගේ හොඳින් ඉඳී  නේද? මගේ අම්මයි තාත්තයි සතුටින් ඉන්නේ. එයා ආයේ හම්බවුනොත් ඔයා කියනවද ජීවිතය වින්ද කියල."

"එහෙම වෙනවා නම් හොඳයි. ඒත් අපි දෙන්න ගැන විතරක් අපි හිතුවට ලෝකේ වෙනස් වෙන විධිහට අපිට හැඩ ගැහෙන්න වෙනවනේ. එතන තමා අමාරු. ඔයත් එක්ක මේ ගත කරපු ජිවිතේ මගේ කෙටි ජිවිතයේ හොඳම දවස් තාන්යා. ඉගෙනීම කරන්න විතරක් හිතන් හිටිය මට ජිවිතේ මෙපමණ  සුන්දර දෙයක් කියල වැටහෙන්න ගත්තේ ඔයා හමු වුනාට පස්සේ "

ඒ අවස්ථාවේ ඉදිරියේ සිදුවීමට නියමිත   භුමි කම්පාවක් වැනිවූ මහා දේශපාලන වෙනස්කම් පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. ඔවුන් දන්නා , ජිවත් වූ සෝවියට් දේශය නමැති  මහා දේශය බිඳ වැටී කැබැලි වලට කැඩී යාමට නියමිත බව කෙසේ සිතන්නද? දේශපාලනය හෝ එදිනෙදා සිදුවන සිද්ධීන් ගැන වැඩි අවධානයක් නොදී, එතරම්   බරක් පතලක් නොමැතිව  ඉගෙනීම, ප්‍රේමය හා  එකට බැඳුණු තරුණ දිවියේ කිසියම් සන්ධිස්ථානයකට එළඹුණු ඒ වැනි මොහොතක  දේශපාලන පෙරලියක් විසින් තමන්ගේ ජීවිත බරපතල වෙනස්කම්වලට භාජනය කරනු ඇතැයි කිසිවෙකුට සිතෙවිද? කොතරම් අවට ලෝකයට නිරාවරණය නොවී දිවි ගෙවීමට තැත් කළද ඕනෑම මොහොතක සිදුවිය හැකි  ප්‍රබල දේශපාලන පෙරළියක, ආර්ථික කම්පනයක දැඩි  තිගැස්මක් හැමෝටම අනිවාර්යයෙන්ම ලැබේ. එයින් වියුක්තව ජිවත් වීමට නම් නගරයෙන් හා ගමින්  බැහැරව හුදෙකලාව වනයක ජිවත් විය යුතුය.

පෙම්වතුන් දෙදෙනාටද එවැනි කිසිදු දෙයක හැඟවීමක් තිබුනේ නැත.       

ඔහුගේ දණහිස් තුල හිස රඳවා ගෙන සිටි තාන්යා ඔහුගේ ඉළයට අතක් තබා බර කරමින් හීන් සීරුවේ  ඇඳෙන් නැගිට ගොස් ගී තැටිය මාරු කළාය.

"ඔයා අහන්න කැමති ගීතයක් තියෙනව. මේ හැන්දෑව  වෙනුවෙන්".

තැටියෙන් වාදනය වූයේ ගිහාන් නිතර ඇසීමට කැමැති රුසියානු ගීතයකි. ඇත්තටම එය කිසියම් අයෙකු සුන්දර නගරයක් වූ මොස්කව් ජීවත්වී හැරගිය අයෙකුට ඇතිවන  නොස්ටල්ගියාව, සංකාව  විස්තර කෙරෙමින් ගයන ගීයකි. ඉතා ප්‍රසිද්ධ ස්වර රචනයක් වන එය "පද් මොස්කව්නියේ වේචෙරා " හෙවත් මොස්කව් අසබඩ සන්ධ්‍යාවක් නමින් හැඳින්වේ.
   ගිහාන් කැමති සෝවියට් රතු හමුදා වාද්‍ය  ඛණ්ඩයක් විසින් සාමූහිකව ගයන ගීතයට බව තාන්යා දැන සිටියාය.

සෙමින් ඇඳ වෙත පැමිණි ඇය හෙමින් ඔහුගේ උකුලට හිස තබා  ගිහාන්ගේ සිරුරට තුරුළුව ඇඳේ ගුලි ගැහුනාය. මෙවැනි සැඳෑවන්, රාත්‍රීන් කොපමණක් ගත වෙන්නට ඇත්ද? මින්පසු කිලෝමීටර හය දහසක් පමණ ඈත සිට සිතින් පමණක් හමුවිය යුතුය.

ඇය සිහින් හඬින් පද් මොස්කව්නියේ වේචෙරා ගයන්නට පටන් ගත්තාය. ගිහාන් මද වේලාවකින් ඇයට එක්වුනේය. ඒ මොහොත එකතකට අතිශය හැඟුම්බර එකක්ද මේ රැයෙන් පසු  මුහුණ දීමට සිදුවන යථාර්තයට  පෙළ ගැසීමක් ද  විය.

"කෙඳුරුමක් වත් නෑසෙන ගෙඋයන් කොනේ
සැම දෙයක්ම මියගිහින් ය උදෑසන එළඹෙන තුරු
ඔබට වැටහේ නම් කොතරම් දයාබරද මට
මේ මොස්කව්හි  සන්ධ්‍යාවන් ,

නදිය විටෙකදී ගලා යයි විටෙකදී නිසලය
හැමෙකක්ම රිදී සඳ රැස් හි ගිලී
ගීතයක්  ඇසෙයි නෑසී යයි
මේ නිහඬ සන්ධ්‍යාවන්හි,"

තෙවෙනි පද පේලිය තාන්යා ගයන්නේ බිඳුණු හඬින් බව ගිහාන්ට වැටහිණි.

"ඇයි මගේ දයාබරිය සැකයෙන් බලන්නේ
ඔබේ හිස නැඹුරු කරගෙන
ඉතා අපහසුයි මට පවසන්නත් , එළෙසම අපහසුයි සඟවාගන්නත්
මගේ හදවතේ ඇති සැම දෙයක්ම"

නිල් පාට රවුම් ඇස්  ලොකු කරමින් ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඇගේ දෑස කඳුලින් පිරි තිබුනි. ඇයට අවසන් පද ගීතයත් සමග ගයන්නට නොහැක. තාන්යා සිටියේ ඒ තරමටම හැඟීම්බරවය.

ගිහාන් අවසාන පද පේලිය ගැයුවේ උස්  හඬිනි.
"මා පිරිමියෙකි. ඇය ඉදිරියේ හඬන්නට මට නොහැකිය. ඉන් වන්නේ දුක වැඩිවීම පමණකි." ඔහුට සිතුනි.

"හිමිදිරිය උදාවේ,  එළිය වැටීගෙන එයි
එනිසා, කරුණාව පාන්න දයාවී
අමතක නොකරන්න නුඹ, මේ ගිම්හානයේ
මොස්කව් අසබඩ   සන්ධ්‍යාවන්"

ඔහු ගේ අවසන් දහිරිය ද සිඳී යාමට ඉඩ නොදී ඔහු ඇය වැරෙන්  සිප ගත්තේය.

ඇත්තටම සාදය බොහෝ වෙලාවක් ඇදී ගිය නිසා ඒ  රාත්‍රිය ඉක්මනින්ම අවසන්ව යමින් පැවතුනි. අරුණ නැගී ගෙන එයි. සතුට මෙන්ම ශෝකයද පෙම්වතුන් ගේ එක්වීමට උත්තේජනයන්  සපයයි. ඉතා සෙමින් ඇගේ සිරුර පිරි මදිමින් ඔහුත්, ඔහු  පුරාවට සිප ගනිමින් ඇයත් එකිනෙකාගේ ශෝකය නිවාලන්නට තැත් දැරූහ.



නිදා නොනිඳා ඒ රාත්‍රිය අවසන් වූයේ එලෙසය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


~ මතු සම්බන්ධයි

කතෘ සටහන: පද් මොස්කව්නියේ වේචෙරා මුල් ගීතය ගයන්නේ ව්ලදිමීර් ට්‍රොචින් ය.
මේ ඇත්තේ සෝවියට් රතු හමුදා වාද්‍ය කණ්ඩායම ගයන විලාසයකි.