Sunday 2 June 2019

සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද

පසුගිය සෙනසුරාදා දිනය විශේෂයෙන්ම  වෙන් කර ගත්තේ  අසාර්ථක විප්ලවයන් දෙකකට නායකත්වය දුන් අපූර්ව මිනිසෙකු ගැන වූ වෘත්තාන්ත චිත්‍රපටයක් නැරඹීමටය. මා උදක්ම ගියේ,  මාද  සෝවියට් දේශයේ උගෙනුම ලැබූවකු නිසා,  හැට ගණන් වල වැනි ඈත කාලයක  සෝවියට් දේශයේ ඉගෙනුමට ගොස් නැවත  පැමිණ  සමාජවාදී විප්ලවයක් දියත් කළ විප්ලව වාදියෙකු ගේ විප්ලවීය  දිවිය ධනවාදී රටක  සුළු ධනේශ්වර දිවියක් ගෙවන  අප වැන්නවුන් ට වඩා කොතරම් ශ්‍රේෂ්ඨ ද  යන්න වටහා ගැනීමට චිත්‍රපටය උදව්වක් වනු ඇති යයි සිතාය.


චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන අනුරුද්ධ ජයසිංහ මහතා තමන් හිටපු ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් බව  සරසවිය පුවත්පතට පවසා තිබුණි. ඒ අනුව  එතුමා තමන්ගේම  අත්දැකීම් සහ විජේවීර සහෝදරයා ට  තිබෙන අප්‍රමාණ ගෞරවය මත මේ චිත්‍රපටය නිර්මාණය කළ බවට අපට උපකල්පනය කළ හැකිය.   වඩා සුපරික්ෂාකාරිව විමසා බැලුවහොත්  රන්ජන් රාමනායක පන්නයේ චිත්‍රපට වලට වඩා  මෙය ඉතා උසස් සිනමා කෘතියක් බව නොකියා බැරිය.  සැබවින්ම පවසනවා නම් පිට රටවල  දිවි ගෙවන විප්‍රවාසීන් වන අප වාසනාවන්තයයෝ වෙමු.ඒ ඉතා හොඳ  හොඳ නිර්මාණශීලි  සිංහල චිත්‍රපට කිහිපයක්ම පසුගිය සමයේ නැරඹීමට හැකි වූ බැවිනි.

අනුරුද්ධ ජයසිංහ මහතා තෝරා ගත් නළු නිළි සමූහය ම විශිෂ්ඨ ලෙස තම රංගනයෙන් මේ සිනමා කෘතියේ දායකත්වය සැපයූ බව සඳහන් කළ යුතුයි.  කමල් අද්දර ආරච්චි යනු  කොහොමත් විශිෂ්ඨයෙකි. ඔහුගේ රංගන කුසලතාවන් පිලිබඳ විවාදයක් නැති අතර ඇතැම් සුළු තත්පර ගණනකට ඔහුට විජේවීර මගහැරී ගියත් අනුරුද්ධ වෙනුවෙනුත් අප වෙනුවෙනුත් ඔහු සාධාරණය ඉටු කොට තිබේ.      උපතිස්ස ගමනායක  ලෙස  ජගත් මනුවර්ණත් රංගනයෙන් ප්‍රබල සහයක් කමල්ට  දී තිබේ. විජේවීරගේ බිරිඳ ලෙස රඟපාන සුලෝචනාද , එසේම  සිරි අයියා, ලයියා හා නන්දන මාරසිංහ ගේ චරිත ද විහිද යන සිනමා පටයට නොමද ආලෝකයක් සපයා ඇත. එසේම ධනුෂ්ක ගුණතිලක නැවතත් තමන් සිනමා කැමරාකරණයේ ඇති දක්ෂයෙකු බව ඔප්පු කර ඇත.

 ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලයනල්  බෝපගේ මහත්මයා  සමගද කතා බහ කර උපදෙස් ලබා ගත් බව පවසා ඇති නිසා චිත්‍රපටයේ  ඒ මහතා සම්බන්ධ සිදුවීම්  ගොඩක් දුරට සැබැවින්ම සිදුවූ ඒවා යයි ද  උපකල්පනය කළ හැකිය.

නදීක ගුරුගේ ගේ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට බොහෝ සමාන යයි මට සිතුනි. සැබවින්ම ඉතා  නිර්මාණශීලි ආකාරයට  නදීක ගුරුග තම කාර්යය මැනවින් ඉටු කර තිබේ. චිත්‍රපටයේ සංගීතය අළලා වෙනම සී ඩී පටයක් වත් නිර්මාණය කිරීමට ඔහුට අදහසක් ඇත්තේ දැයි නොදනිමි. නමුත් මට නැගුන එක සිතිවිල්ලක් නම්  නන්දන මාරසිංහගේ විමුක්ති ගී වලින් ඒ දිනවල  ජනප්‍රිය වූ  ගීතයක් වත් ඇතුළත් කළානම් වඩා සාධාරණයක් ඉටු කිරීමට හැකිව තිබුනා යයි කියාය.

ඒ දිනවල හොරෙන් මෙන් ඇසූ   "සති පූජා දර සෑයේ , හිර වී මොට්ක්ටැක්කිලියේ , සාර සංඛ්‍ය කප්  සියයක් වධයට කැපවූ කතුනේ " වගේ ගීතයක කොටසක් හෝ  වාදනය වුණා නම් කියා නොස්ටැල්ජික හිතිවිල්ලක්ද පැන නැගුණි.

නන්දන මාරසිංහ ගැනද  සිහියට නැගුනේ මේ ආකාරයටය..
මට සිතෙන්නේ  නන්දන මාරසිංහ ඝාතනය සාධාරණීකරනය කිරීමක් යාන්තමට වගේ හැඟවුණු බවයි. චිත්‍රපටයේ "නන්දන සහෝදරයා  ව"  ඔහු සිටින අවසාන දර්ශනයක පෙන්වන්නේ නරඹන්නාට  පිටුපස හරවා ගෙන මේසයක  හිඳගෙන කාටදෝ කිසියම් දෙයක් පවසන ආකාරයකිනි. මට පෙනුනේ ඒ  නන්දනට එරෙහිව නගා ඇති "පොලිසියට ඔත්තු දීමක් " යන චෝදනාව අනුමත කිරීමක් වශයෙනි. ඊටත්  අමතරව විජේවීර සහෝදරයා කෙලින්ම නන්දන විවේචනය කරන තැනක්ද චිත්‍රපටයේ අනවශ්‍ය ලෙස ඇතුළත් කර ඇත. මට සිතුනේ මේ නම් නන්දන  මරා  දැමීමේ  තීරණයේ කැළල මග හරවා ගැනීමට කළ උපක්‍රමයක් ලෙසය.

ලන්ඩනයේ වෙසෙන  පැරණි විප්ලව වාදියෙකු වන ගාමිණී මුතුකුමාරණ සහෝදරයා මා සමග දිනක් දීර්ඝ වාදයක පැටලුනේ මේ ගැනය . ඒ මහතා දැඩි ලෙසින් අවධාරණය කර පැවසුවේ,  නන්දන  අනුරාධපුර පොලිසියට යන බව ඔහු පෞද්ගලිකවම දන්නා බවයි.    හේතුව එවැනි වූ අවස්ථාවක  ඔහුද සිටියේ  අනුරාධපුර පොලිසියේ කූඩුවක බවයි.

නමුත් ලන්ඩනයේදී   මට හමුවුන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා කීවේ වෙන කතාවකි. මා ලෙසින්ම ආචාර්ය සුනිල්ද  ඉගෙනුම ලැබුවේ  සෝවියට් දේශයේය. එසේම  විජේවීර මහතා ලෙසින්ම  ලුමුම්බා විශ්ව විද්‍යාලයේය. ඔහුත්,  සුනිලා  අබේසේකරත්  (මේ කියන්නේ අර " සොඳුරු සයනේ ගීතය" භාවාත්මක ලෙස ගයන , කාන්තා විමුක්තිය වෙනුවෙන් අභීතව  නිරතුරුව සටන් කල , 71 කැරැල්ලටද   සම්බන්ධව සිටි වීර සහෝදරිය ගැනය.) නන්දන ගේ ඝාතනයට  කලින් දිනක රැයේ සුනිලා සහ සුනිල් හිඳ ඇත්තේ නන්දන සමග අනුරාධපුරයේය. ඔවුන් ඝාතනය කිරීමට නියමිත බව  ජවිපෙ හිතවතෙකු ගෙන්ම  ඔත්තුවක්  ලැබී තිබේ. සුනිලාත් , සුනිලුත්   නන්දනට ආයාචනා කලේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවී  සිටින ලෙසය. නන්දන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ  "ජවිපෙ කොල්ලෝ ඔහුට  'අතක් තියන්නට' නොඑන බවට" දැඩි විශ්වාසයක්ද  පල  කරමිනි . පොලිසියට ඔත්තු සපයන අයෙකුට එවැනි විශ්වාසයක් තිබිය හැකිද?  අවම වශයෙන් පොඩි හෝ  සැකයක් මතු වන්නේ නැත්ද?
මේ මම 2016 දී නන්දන මාරසිංහ  ගැන ලියූ  ලිපියකි. නන්දන මාරසිංහ ගේ මරණය. මෙහි  රන්ජි නම් සහෝදරයා තරමක  වෙනස් ආකාරයක අන්දරයක් පවසයි.

චිත්‍රපටයේ ඉතාමත් අනවශ්‍ය ලෙස සඳහන් වන තව අයෙක් නම්  දයාන් ජයතිලකය. අද දින කෙසේ වෙතත් එදානම්  ජවිපෙ  සිටියේ දයාන් විරෝධීවය. මට මතක හැටියට  ඒ දිනවල  "කොක්ක ගහන්නට " පැමිණි සහෝදරයෙකු කීවේ දයාන් සීඅයිඒ කාරයෙක් බවය. ඔහු ඉටු කරන්නේ ශ්‍රී ලංකාවේ සීඅයිඒ ව්‍යපෘති බවය. ඉතින් ඒ නිසාම  මම දයාන්ගේ දේශන කිහිපයකට ගියෙමි. ලතින් අමෙරිකානු විප්ලව ගැන හා ලතින් ඇමෙරිකානු දේශපාලනය ගැන ඒ දිනවල  හොඳම අදහස් ප්‍රකාශ කළේ ආචාර්ය දයාන් ජයතිලක බව සිතමි. අනික් කාරණය නම්  මර්වින් සිල්වා මහත්මයාගේ ශ්‍රී ලංකා ගාර්ඩියන් යනු ඒ දිනවල ඉතා  හොඳ දේශපාලනික ලිපි පළවුණු සඟරාවකි. මට හිතෙන්නේ මේ දයාන් විරෝධය පැමිණියේත්  විජේවීරගේ නායකත්වයෙන් ජවිපෙ දෙමළ  අරගලය ඈත් කරමින් තනි සිංහල අරගලයක් වෙතට යොමු වීමෙන් පසුව බවයි. ඉතිහාසයේ සරදම නම් ඉන්පසු දයාන් ජයතිලක මහින්ද හරහා ගත්තේ ද ජවිපෙ ස්ථාවරයමය.

දෙමළ සංවිධාන වලට ඒ දිනවල සහය දුන්නේ ඉන්දියාවයි. ඉන්දියාව ඒ දිනවල විදේශ ප්‍රතිපත්තිය හා ඉන්දිරා ගේ මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක  කරමින් සිට ගත්තේ   සෝවියට් කඳවුරේය. දැන් මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග නොවේ. ඉදින්  විජේවීර "සහෝදරයා" පැවසූ   LTTE එක සම්බන්ධයෙන් තිබුනා යයි කියන ඇමෙරිකානු අතපෑම  පිළි  ගැනීමට හැකි එකක් නොවේ. ජූලි කලබල හා ඉන්පසු රජීව්/සෝනියා හරහා ඉන්දීය ස්ථාවරය  වෙනස් වීමෙන් පසු ඇමෙරිකා  එක්සත් ජනපදය වේදිකාවට  එළඹී බවත් ඔවුන් ට යම් ආකාරයක දෙමල ත්‍රස්තවාදී සංවිධාන වලට  බලපෑමක් කළ හැකිව තිබු බවත් සත්‍යයකි. නමුත් 1983,-1988 කාලයේ නම් නොවේ. ඒ දිනවල  ද්‍රවිඩ අරගලය පිටුපස තිබුනු  ප්‍රධානතම  විදේශ බලවේගය ඉන්දියාවයි.


චිත්‍රපටයේ ස්වයංනිර්ණය අයිතිය පිලිබඳ අදහස් පල කරන කොටසද අවශ්‍යම නැති එකකි. හේතුව විජේවීර මහත්මයාගේ (සහෝදරයා නොවේ)  ලෙනින් කිව්වාය කියන අදහසම මතභේදයට තුඩුදෙන එකකි.  විජේවීර මහතා පුන පුනා කියන්නේ ස්ටාලින්ගේ අදහස මිසක් ලෙනින්ගේ අදහස නොවේ.  ස්වයන් නිර්ණන අයිතිය පසෙකින් තබා දෙවන ලෝක යුද්ධයෙන් පසු නැගෙනහිර යුරෝපීය  රටවල් සෝවියට් චන්ද්‍රිකා  බවට පත් කර ගත්තේ ස්ටාලින්ය. ලෙනින් පැවසුවේ පීඩිත ජනතාවකගේ  ස්වයං නිර්ණය අයිතිය පිළිගත යුතුය, ඔවුන් මහා ජාතියේ බන්ධනයෙන් මුදවා ගන්නේ නැත්නම් මහා ජාතියේ කම්කරු පන්තිය නිදහස් නැත යනුවෙනි. (පහල ලෙනින් ගේ කෘති වල 22 වෙළුමෙන් උපුටා ගත් සටහන් බලන්න)   රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ ෆින්ලන්තය ළඳරු සෝවියට් රාජ්‍යයෙන් වෙන්වී යන්නේ මේ නිසාය. එසේම ෆින්ලන්තය ආර්ථික වශයෙන් වඩා දියුණු නිසා සෝවියට් රාජ්‍යය ට එය වාසියක් වේ යයිද  ලෙනින් සිතුවේය. ලෙනින්  නිවැරදි බව පසුව ඔප්පු වුනු අතර ෆින්ලන්තය අදත් සමෘද්ධිමත් ආදර්ශවත් රාජ්‍යයකි.

ඒ දිනවල මෙවැනි අදහස් වඩා හොඳින් ග්‍රහණය කරගෙන හිටියේ සුචරිත ගම්ලත්, කීර්ති බාලසූරිය වැනි අය මෙන්ම ස්වාධින ශිෂ්‍ය සංගමයේ දයා පතිරණය. දයා ඇතුළු කණ්ඩායම  ජවිපෙ සිසුන්ට රැක සිට පහරදුන් කතා මා අසා තිබේ. ඒ හේතුව හෝ වෙන හේතුන් හෝ  දයා මරන්නට  අණ දීමට  හේතුවක් නොවේ . මා සිතන්නේ එවකට පැවති ජවිපෙ මතවාදයට ප්‍රබල තර්ජනයක් විශ්ව විද්‍යාල දේශපාලනයේදී ඔහු  විසින් එල්ල කළ නිසා ඒ මරණය සිද්ධ වුණු බවයි. කොටින්ම  දයාගේ ස්වයං නිර්ණය පිළිබඳ ස්ථාවරය නිසා බවයි.  මා කලින් ලියූ  ලිපියකත් පැවසුවේ ස්වාධීන සිසු සංගමයේ ඇතැමුන්  රජයේ ආරක්ෂක අංශ වල සහයෝගයෙන්  ප්‍රා සංවිධානය ගොඩ නගා කරන ලද  තිරශ්චීන ක්‍රියා මා කිසි සේත්ම අනුමත කරන්නේ නැති බවයි. එහෙත්   දයා පතිරණ ඝාතනයෙන් ජවිපෙට වැදුණු  ඉතිහාසයේ කැළල මකා  දමන්නට නම් විජේවීර "සහෝදරයා"  විසින්  රචිත "දෙමළ  ඊළම් අරගලයට විසඳුම කුමක්ද " නම්  සිරි අයියා විසින්ද  විජේවීර සමග චිත්‍රපටයේ මතක් කරන ග්‍රන්ථය  ගැන නැවතත් දැඩි  විමසීමක් කළ  යුතු බවයි.

නමුත් විජේවීර මහතා ට නොතේරුන දෙය නම්  වාමාංශික දෙමළ  කණ්ඩායම් ජවිපෙ සාමාජිකයන්ට යුධ පුහුණුව දීමටද  කැමති වූ  අවස්ථාවේ  අර ජාතිවාදී රැල්ලට හසුවී දෙමළ වාමාන්ශිකයන්   ප්‍රතික්ෂේප කිරීම ජපන් සමුරායි වරුන්ගේ හරාකිරිය වැළඳ ගැනීමක් බවයි.  මම  දෙමළ  ත්‍රස්තවාදය පැත්තේ සිටි හෝ සිටින අයෙක් නොවේ.  නමුත් තර්කානුකූලව ගත හැකි හොඳම පියවර විජේවීර ඉවත දැමුවේය.   කල්පනා කර බලන්න.

මම වරක් සෝවියට් දේශයේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය  සංගමයේ   ප්‍රධාන ලේකම් ව සිටියදී  "වීර පුරන් අප්පු " චිත්‍රපටය රුසියානු කොම්සොමෝල් ශිෂ්‍යයන් සමුහයකට පෙන්වූයෙමි . ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රශ්නයක් වූයේ " අර තුවක්කු රැගෙන පේළියට විනයානුකූලව වෙඩි තබන ඉංග්‍රීසි භටයන් ඉදිරියට සිංහල කැරළි කරුවන්  කඩු රැගෙන  කෑ ගසමින් පැමිණ වෙඩි කා මැරී වැටෙන්නේ  ඇයිද යනුවෙනි. (කඳුකරයේ සැඟවී ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා  නොකර ). මා ඔවුන්ට පැවසුවේ, ඒ වීර කමට එසේ මිය යාම උතුම් ලෙස ශ්‍රී ලංකාවේ සිංහල වැසියන් සිතන නිසා විය හැකි බවයි. "අප මරා  දැමූවද අප නැගූ  හඬ සදා නොමියෙනු ඇත"  ලෙස ඔවුනුත් හිතන්න ට  ඇති . ලෙනින්,  ට්‍රොට්ස්කි, ෆිදෙල් යනාදීන් හැකි තරම්  උත්සාහ ගත්තේ  තමන්ගේ සගයන්ගේ මරණ අඩු කරගෙන කරන විප්ලවයක් කිරීමටය. තම සාමාජිකයන් ගේ ජිවිත ඔවුන්ට එතරම්ම වැදගත් විය.

ඉදින  1971 ගල් කටස්, ටින් බෝම්බ විප්ලවයෙන් අත්දැකීම් ('71 බාල්දු කිරීමක්  නොවේ) නොගත්තාද  කියා හිතුනේ දෙවෙනි වරටත්  ලී බට වලින් යුධ පුහුණුව ගන්නා විටදීය.  ප්‍රේමදාස ආණ්ඩුවෙන් ටී 56 ඒවා ටිකක් අහුවෙන්නට ඇරියේ තමන්ගේ විරුද්ධ වාදීන් කොටසක් මරා ගන්නට පමණක් යැයි  ජවිපෙ සහෝදරවරුන්ට තේරෙන්නට ඇත්තේ පසුව විය හැකිය. වාමාංශික  දෙමළ සංවිධාන වල සහය රැගෙන , ඔවුන්ගේ යුධ පුහුණුව ඉන්දියාවේදී හෝ නිමවා  ඔය කාර්යය කළානම් අද ලංකාවේ තිබෙන්නේ සමහරවිට වෙනත්  ආණ්ඩුවකි. කොටින්ම  වාමාංශික දෙමළ කණ්ඩායම් වල බලය වැඩිවී  ජාතිවාදී ප්‍රභාකරන් ඉදිරියට ඒම නොවීමට බොහෝ ඉඩකඩක් තිබුණි. මෙහි  ලොකුම සරදම නම්  විජේවීර යටතේ ජවිපෙ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉන්දීය විරෝධී වූ අතර  වාමාංශික  දෙමළ  කණ්ඩායම් අතුගා දැමු  ප්‍රභාකරන් උතුරේ  ඉන්දීය විරෝධී සටනක් දියත් කිරීමයි . දෙගොල්ලන්ම පසුව සටන් කලේ ශ්‍රී ලංකාවේ හමුදාවන් සමගය.   ලංකාවේ හමුදාවන්  කොපමණ ශක්තිමත්ද කියා මේ බොළඳ නරෝද්නික්වාදී විප්ලවකාරයන්ට නොතේරීම  ඔවුන්ගේම පමණක් නොව  රටේම අවාසනාවකි.

මම දන්නා විධිහට පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා ඉන්දීය හමුදාවට විරුද්ධව බෝම්බ  අටවා තිබේ. එය නවත්වන්නට යයි ඉන්දියන් හයි කොමිෂනර් ඩික්සිත් ඉල්ලා තිබෙන්නේ සිරි අයියා ගෙන් යයි මා අසා තිබේ. එසේනම් ඉන්දීය රෝ නියෝජිතයා වූයේ සිරි අයියාද?

ඉන්පසුව කුමාර් ශ්‍රී ලංකා අත් අඩංගුවට ගනු ලැබේ.  සිරි අයියා හා ඒ කාලේ ඉතුරු වී සිටි සටන් සගයන් ඔහුව බේරා අනූ නමයෙන් බේරා ගනිති. එතනදීද  මානව හිමිකම් සංවිධාන හා රතු කුරුසය හැර ඉන්දීය සම්බන්ධයක් තිබුනා  ද යන්න නොදනිමි.
චිත්‍රපටයේ ඉතා සංවේදී අයුරින් දක්වන්නේ  ඒ දිනවල පක්ෂ සාමාජිකයන් මුහුණ දුන් දරුණු භීෂණයයි. එල්ලලා ගැහීමේ සිට ධර්ම චක්‍රය  දක්වාත් සිදුවුණු දරුණු වධ දීම් ආදියත් ඒ අසීරු අවස්ථාවේ තම  නායකයා පාවා නොදුන් වීර සොයුරන් ගැනද හද දවනා ආකාරයෙන් සිනමාවට නැගේ. මේ පරිත්‍යාගයන් හා වධක කඳවුරු ගැන  හොඳ විස්තරයක් අජිත් පැරකුම් ජයසිංහ ගේ "කේ පොයින්ට් " නවකතාවෙන් කියවිය හැකිය.

හැබැයි ඔවුන්ට එසේ  වෙද්දී අසහාය විප්ලවීය නායකයා කරන්නේ හෝගා ළමයින් නිපදවීමය.  අනුරුද්ධ ජයසිංහ ගේ චිත්‍රපටයේ  විජේවීර පියා ඉතා සංවේදීව  ළමයින්ට  දැඩි ලෙස ආදරය කරන සුන්දර චරිතයකි. එහි වරදක් නැත. නමුත්  මගේ ප්‍රශ්නය නම්   මොන හත්තිලව්වට  විප්ලවයක්  කරන්න ගියාද යන්නය.

දැන් ලෙනින් සහ කෘප්ස්කයා ගේ ජීවිතය බලමු? ස්විට්සර්ලන්තයේ,  එංගලන්තයේ තැනින් තැන නතරවෙමින් ගතකල දුෂ්කර ජීවිතය තුළ  ළමයි හදා  ගත්ත නම්  ඔය සීන් කර කර ඉන්නට හැකිද? ලෙනින් ගෙන් ඔහුගේ  මිස්ට්‍රස් හෙවත් අනියම් පෙම්වතිය වන ඉනේස්සා අර්මන්ඩ්  ට දරුවෙක් ලැබීමට සිට නැති වුනු කතාවක් මා අසා තිබේ. මගේ දුක  සිරි අයියා , සදා ලෝයල් , කීකරු උපතිස්ස ගමනායක ආදීන් ගැනය. අර ළමයි සමූහයක් එක්ක විශාල පවුලක් එහෙ මෙහෙ හමුදාවට , පොලිසියට හොරෙන් ගෙනයාම, හංගන්න සිටීමට දරන උත්සාහය සුළු පටු එකක් නොවේ. ඒ කාලේ මොබයිල් දුරකතනද තිබුනේ නැත. පක්ෂේ කීකරු සාමාජිකාවන්ද නවත්වාගෙන ගෙන ගිය ඒ සටන වෙනමම  පොතක් ලියන්නට සෑහෙන එකකි.  විජේවීර මහතාට  කසාද බඳින්නට විප්ලවයටම අනුගත වුනු   විප්ලවීය සහෝදරියක් ජනතා විමුක්ති පෙරමුණේ ඇත්තටම හිටියෙම නැත්ද ? අර අකමැති චිත්‍රාංගනීවම කසාද බඳින්නට ඔහු  තීරණය කළේ ඇයි?
ඒ අහිංසක දැරිවිය   අපමණ  පක්ෂ සාමාජිකයන්  පොලිසියෙන් ගුටි කද්දී, ටයර් වල යද්දී විස්සෝප වනුයේ හැංගෙන්න යන්නට තමන්ගේ දිග කොණ්ඩය කැපීමට සිදු වීම ගැනය?  මට වෙලාවකට සිතෙන්නේ  මේ චිත්‍රපටය  කුමන්ත්‍රණයක් කියාය.

ලෙනින් හොඳින්ම දැන සිටියේ විශාල විප්ලවයක් කිරීමට  නම් තමන්ට  ආධාර අවශ්‍ය බවය.  මේ  ජෙහාන් ලෙනින් (-ජෙහාන් ලෙනින් – LENIN AS A PERVERT)  නැමති මා ලියූ  ලිපිය බලන්න. ලෙනින් ජර්මනිය   සමග පැවැත්වූ සම්බන්ධතාව  හා එයට ට්‍රොට්ස්කි එකඟවූ අන්දම මෙහි ඇත. ලෙනින් මොළයෙන් මිස හදවතින් තීරණ ගත් අයෙකු නොවේ.  අවශ්‍ය නම් මේ චිත්‍රපටය ද නැරඹිය හැකිය.


ස්ටාලින් බලය ගත් පසු බොරු කුමන්ත්‍රණ චෝදනා නගා විප්ලවීය සගයන් බොහොමයක් ඝාතනය කළේය.  අවසානයේ වෙඩි වැදී  දුබලව සිටි  ලෙනින් ද නිවාස අඩස්සියේ තැබුවේය. ලෙනින් ගේ අවසාන කාලය පිළිබඳව  සම්මාන දිනූ අති ශෝචනීය  චිත්‍රපටයක් ටෙලෙත්ස් (ටෞරුස්)  නමින් ඇලෙක්සැන්ඩර් සොකුරෝව් නිර්මානය කර තිබේ.    විජේවීර හිතුවේ මේ ගෝලීය අවධියේ තනියෙන් ගහන්නටය. ඔහුගේ ජීවිතය කෙළවර වන්නේද අති ශෝචනීය ලෙසය.  නමුත් අඩුම ගණනේ ලෙනින් තමන්ගේ අභිප්‍රාය මුදුන් පමුණුවා ගත්තේ  සෝවියට් රාජ්‍යය පිහිටුවීමෙනි.

  සාමාන්‍යයෙන් ලෙනින්, ෆිදෙල් වැනි විප්ලවීය නායකයන් ගැන නිපදවූ චිත්‍රපට බොහොමයක් වාර්තා චිත්‍රපට පන්නයේ ඒවාය  (documentary). හොඳ වාර්තා චිත්‍රපටයක් සෑදීම ලෙහෙසි පහසු කරණක් නොවේ. සංවේදී සිනමා පටයක් නිර්මාණය කිරීමද ලෙහෙසි පහසු දෙයක් නොවේ. නමුත් සංවේදී වෘත්තාන්තයක සැබෑ තොරතුරු පැවසීම අවශ්‍යම නැත.
 මේ චිත්‍රපටය නැරඹු බබාලන්ත වාසී කිහිප දෙනෙක් ඉතා සංවේදී වී අදහස් දක්වනු බුකියේ දුටුවෙමි. ඉන් සමහරක් අනිකුත් අවස්ථාවල ඉතා ජාතිවාදී හෝ, බටහිර නිදහස් සමාජය දැඩි ලෙස විවේචන කරන අදහස් දක්වනුද දුටුවෙමි. දෙයියෝ සාක්කි, විප්ලවීය ජවිපෙ ඇත්තටම හිටියේ ඔවුන් සමගද?

මේ චිත්‍රපටයෙන් ජනතා විමුක්ති පෙරමුණට දැඩි හානියක් වී නැත. රජයන් දෙකක්ම පෙරළන්නට හා නව රජයන් ගොඩ නගන්නට සෝමවංශ ගේ මෙන්ම අනුර කුමාර දිසානායක ගේද පශ්චාත් විජේවීර ජවිපෙය සමත් වී අත. අදද පාර්ලිමේන්තුවේ වැඩි හඬ ඔවුන්ගේ ය. ඔවුන් ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවත විජේවීර ගේ බොළඳ පිළිවෙත් වලින් ඈත් වී තිබේ. එසේම ලාල් කාන්ත සහෝදරයා මෑතක පැවසූ පෞද්ගලික විද්‍යාල ප්‍රශ්න, බීමත් වීමේ  ප්‍රශ්න තුලද ඉඳහිට අඩියක් ගහන   සුන්දර මිනිසුන් ගේ ජවිපෙට මින් හානියක් නැත. 

අනුරුද්ධ ජයසිංහ ගේ නිර්මාණය සුනු විසුණු කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පදනමය. මුට්ට කර ගැසූ විජේවීර නැමැති විප්ලවවාදියාගේ චරිතය වෙනුවට සංවේදී උණුසුම් දරුවන් කිහිප දෙනෙකුගේ පියා  විසින් කුමාර් ගුණරත්නම් මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය අංජ බජල්  කර තිබේ. ඉඳහිට හොරෙන් හෝ වයින් වීදුරුවක් වත් නොබොන, සමාව ගැනීම වෙනුවට ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මෙන්  හිරේ ගිය  කුමාර් මහත්තයාගේ  ගේ විජේවීර භාවිතාව ප්‍රශ්නයට ලක්වීමට   නියමිතය.  පුබුදු ජයගොඩ සහෝදරයා (මහතා ) දැනට කිසිවක් කියා නැත්නම් චිත්‍රපටය ගැන ඔහුගේ අදහස දැන ගැනීමට ඉතා කැමැත්තෙන් පසුවෙමි.

  චිත්‍රපටය ගැන සවුන්ඩ් බයිට් කිහිපයක් යූටියුබයේ දුටුවෙමි. චන්ද්‍රිකා කුමාරතුංග, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, යුධ හමුදාපති මහේෂ් සේනානායක ද ඒ අතර විය. විජේවීර අත් අඩංගුවට ගත්  හමුදා නිලධරයා විජේවීර සහෝදරයා ගේ බිරිඳ හා දරුවන් ට වහා ඉවත්ව යන්න ට අනතුරු හැඟවීමක් විජේවීර හරහා කරන ලදී. ප්‍රභාකරන් ගේ දරුවන් මිය ගියාට විජේවීර සහෝදරයා ගේ දරුවන්ට හමුදා ආරක්ෂාව හිමි විය. විජේවීර මහතාගේ උරුමය එයද?

Victorious socialism must achieve complete democracy and, consequently, not only bring about the complete equality of nations, but also give effect to the right of oppressed nations to self-determination, i.e., the right to free political secession. Socialist Parties which fail to prove by all their activities now, as well as during the revolution and after its victory, that they will free the enslaved nations and establish relations with them on the basis of a free union and a free union is a lying phrase without right to secession—such parties would be committing treachery to socialism.
The Socialist Revolution and the Right of Nations to Self-Determination - V. I.   Lenin
-V. I.   Lenin - The Discussion On Self-Determination Summed Up

ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2
සෝවියට් විවාහ හා නිකං ට්‍රොට්ස්කි - 4
සති පූජා දර සෑයේ ගීතය 
ලෙනින් ගේ අවසන් දින ගැන සකුරෝව් ගේ චිත්‍රපටය.


Monday 20 May 2019

සොයමි මම ඔබ දයාබරය ජානිම් - ගුල්නාර් බෙජානෝවා

උස්බෙක් හෝ තුර්ක්මෙනිස්තානු  ගායිකාවක වන ගුල්නාර් බෙජානෝවා ගේ  ජාමින් නමැති  ගීතය රුසියානු භාෂාවෙන්    Jennet - Джаным (Canım) ගයන වීඩියෝව ෆේස්බුක් එක පල කර තිබුනේ මුදිත  ජයසූරිය . ඔහු එහි තේරුම සොයමින් සිටියා.

මේ ගීතය ඇසුවාම මටත් ඇත්තටම ඒකට ආස හිතුන. ගීතයේ කියවෙන්නේ   අහිමි වූ ප්‍රේමයක්  ගැන තලිබාන් කාරයෝ ඇෆ්ගනිස්ථානයේ සංගීතය ඇසීම හෝ ගායන  තහනම් කළාට උස්බෙකිස්ථානය , තුර්ක්මෙනිස්තානය, කසාස්ථානය  වැනි සෝවියට් සමුහාණ්ඩු වලට  ඒ සන්තෑසිය  අත් වුනේ නැහැ.

ඉන්දියානු හා අරාබි ආභාෂය ලැබූ පොහොසත් සංගීතයක් ඔවුන් සතුයි. ඔවුන් තමන්ගේ භාෂාවෙන් මෙන්ම රුසියානු භාෂාවෙනුත් ගයනවා.

සෝවියට් රජය මධ්‍යම ආසියාවටම අරාබි අකුරු ඉවත් කර රුසියානු අකුරු හඳුන්වා දුන්නේ  නවසිය විසි ගණන් වලදිමයි. එසේම ගැහැනුන්ට කතෝලික ආගමේ මෙන් හිස ආවරණය කරීම මිස මුහුණ ආවරණයට ඉඩ දුන්නේ නැහැ.  හැම ගැහැණු ළමයෙකුටම පාසල් යාමත් අනිවාර්ය කළා. 

මේ එම ගීතය උස්බෙක් හෝ තුර්ක්මෙන් භාෂාවෙන් ගයන ගුල්නාර් බෙජානෝවා




මේ තියෙන්නේ රුසියානු ගීතය ඉහත  ගිතයේම පරිවර්තනයක් 

මෙන්න තේරුම: (ජානිම් දයාබරය හෝ දයාබරිය යන තේරුම ගෙනෙන පදයකි. )

ඔබ සමග ජානිම් (දයාබරය)   ළඟින් ඉන්නට ඇත්නම් 
ඔබ සමගයි මට සුතුටෙන් ඉන්න හැකි 
කෝ කොහෙද ඔබ ජානිම් ? සොයමි ඔබ මා 
ඔබ සමග හිඳින්නට ඇවැසි මුත් තහනම්ය එය  මට

chorus

අමතමි ඔබට මම , අසන්නට කටහඬ 
ඔබ මා කරා එන්න  නැවතත් 
දුරකථනය ගෙන පිළිතුරක් දෙන්න මට  
  

කියන්න මට, "ජානිම් (දයාබරිය) , ආදරෙයි ඔබට ,
ඔබට ආදරෙයි මම, මට ඕන ඔබ විතරයි 
ඔබ සමග ළඟින් ඉන්නට පමණයි 

ඔබයි මා සිහින තුල  සැමදා සිටින්නේ 
මා අවදි  වන විට ඔබ නැත මා  අසලක  
ඔබ සමග සිටින්නට, නැත අවසරයක් මට කෙසේවත් 
ඔබ මගේ නොවේ දයාබරය සමාවෙන්න මට 

(මෙහි අබීද්න обидно යන වචනයේ තේරුම ගර්හාව වැනි එකකි. මුස්ලිම් යුවතියකට තවත් කෙනෙකු ගැන සිතීම ගර්හාවක් බව මින් කියවේ. මම එය සමාවෙන්න මට යනුවෙන් පරිවර්තනය කෙළෙමි.)
С тобой Джаным хочу быть рядом..
С тобой мой милый буду счастливой,
Но где ты джаным? Ищу тебя Я..
С тобой хочу быть ,но мне нельзя.

Припев:
Звоню тебе Я, услышать голос,
Твой снова нужно мне опять…
Возьми же трубку! Ответь мне снова,

Скажи мне: “Джаным, люблю тебя,
Люблю тебя я, ты мне нужна.
С тобою рядом хочу быть я!

А в снах моих ты всегда со мною.
Я просыпаюсь и тебя нет!
Ведь мне нельзя быть с тобою вместе!
Не мой ты джаным обидно мне.



Sunday 19 May 2019

ධර්ම චක්‍රය

ධර්ම චක්‍රය  ශ්‍රී ලංකාවට ආවේ ඉන්දියාවෙන්. ඒක බුද්ධාගමට වගේම ජයිනාගම සහ හින්දු ආගමටත් පොදු සංකේතයක්. 

ඉන්දියානු ජාතික කොඩියේ ඇති අශෝක චක්‍රයේ ඉතිහාසයත් ඒ ධර්ම චක්‍රයමයි .
 ඉන්දියාවේ කොඩියේ තියෙන්නේ ඒ අශෝක චක්‍රය. 
 ධර්ම චක්‍රයේ ඉතිහාසය එන්නේ  දොල්වරියා සංකේත වලින්. , ඉන්දියාවේ දොල්වරියා ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් වලින්   හොයාගත්ත සයින් බෝඩ් එකේ තමා ධර්ම චක්‍රය මුලින්ම තිබුන කියල කියන්නේ.
පහල පින්තුරය බලන්න.

මේවා අවුරුදු හය දහසකටත් පැරණි ඉන්දු නිම්නයේ බිහිවුණු  හරප්පා ශිෂ්ඨාචාරයේ සලකුණු 
බුදුන් වහන්සේ පන්සිල් පද පහ ජයිනාගමෙන් ගත්ත වගේ මේ ධර්ම චක්‍රයත් ආර්ය අෂ්ටාංගික මාර්ගය හෝ ආර්ය සත්‍ය හතර කියල දෙන්න භාවත කරන්න ඇති. එහෙම වුණාය කියල මේ එක ආගමක බුදලයක් හැටියට ලියා ගන්න බැහැ. 

අර කුලියාපිටියේ ස්වාමින් වහන්සේ වගේම  පොලිස් ස්ථානයත් වැරදියි.  

අනික නොඇලීම (non-attachment) උගන්වන ආගමක් පිලි පදින කොට ඕව බදාගන්නෙ මොකටද?  

භූතානය, තායි ලන්තය, සීකීම් , ටිබෙටය වගේ රටවල් කිහිපයකම භාවිතා වන සලකුණක්. 

Thursday 16 May 2019

කුලියාපිටියේ කලබල - මට ලැබුණු ප්‍රතිචාරයක්

කුලියාපිටියේ කලබල ඇතිව තිබෙන්නේ යම් යම් සැක කටයුතු දේවල් මන්දිරයකින් සොයා ගැනීමෙන් අනතුරුව එකී මන්දිරයේ හිමිකරු පොලීසිය මඟින් නිදහස් කිරීම නිසා කුපිත වූ ජනතාව පොලීසිය වටලා උද්ඝෝෂණය කිරීමෙන් පසුව ජාති ආල කට්ටිය බීමතින් ගොස් මුස්ලිම් කඩ සහ ගෙවල් කීපයකට ගල් ගසා අලාභ හානි කිරීම බව දැනගන්න තිබෙනවා. මාධ්‍ය වාරණයක් නොදා රජය සත්‍ය ප්‍රවෘත්ති ජනතාවට දෙන්නේ නම් මාධ්‍ය මගින්  කලබල ඇති කරන්නන් මෙන්ම සැකකරුවන් ද සොයා ගැනීම පහසු ‍වේවි. 

වැල්ලම්පිටිය පොලීසියේ විරෝධය නොතකා තඹ කම්හලේ සිටි සැකකරුවන් නම දෙනාට ඇප දී ඇති බව ස්ථානධිපති කියා තිබෙනවා. ඇප ලබා දීමට පොලීසිය දැඩි සේ විරුද්ධ වූ බවට දිවුරුම් පෙත්සමක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද ලබා දී තිබෙනවා. සිද්ධිය විවෘත අධිකරණයේ වූවක් නම් අනෙකුත් නීතිඥවරුන් ද එහි සිටියා විය යුතු යි. එහෙත් නීතිඥවරුන් වැඩි පිරිසක් මෙම මහේස්ත්‍රාත්වරයාට අකමැතියි. ඒ වාගේම මෙම නීතිඥවරුන් පොලීසිය සමඟ එකතුයි. එම නිසා මහේස්ත්‍රාත්වරයාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වීමේ ඉඩකඩක් ද නැතිවා නොවේ. 

කොට්ටරාමුල්ලේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ළමුන් ද ඇතුළු සිද්ධියට සම්බන්ධ නොමැති පිරිසක් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට නීතිඥවරයකු මාධ්‍ය ඉදිරියේ චෝදනා කළා. කෙසේ වෙතත් සියලු දෙනාම සති දෙකකට රිමාන්ඩ් කර අවසන්. කලබල ඇති කරන්නන් අත්අඩංගුවට ගැනීම ගැන සාමාන්‍ය ජනතාව විරුද්ධ නොවෙතත් අහිංසකයන් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීම - පොලීසියේ නොහැකියාව වසා ගැනීමට - ඉතා භයානකයි. එය කලබලකරුවන් අත්අඩංගුවට නොගෙන සිටීම තරම්ම භයානකයි. කලබලවලින් හානි වූ දේපළවලට රජයෙන් ගෙවයි. නිකරුණේ අත්අඩංගුවට ගත් අයගෙන් සමාව අයැදීමක්වත් පොලීසියෙන් කවදාවත් කෙරෙන්නේ නැති බව තමයි අපේ අත්දැකීම. ඒ වෙනුවට සිද්ධ වන්නේ ඔවුන් කලබලකාරීන් බවට ගොතන ලද සාක්ෂි පොලීසියෙන් ඉදිරිපත් කිරීම පමණයි. 

ඇල්ලේ ගුණවංශ ස්වාමීන්ද්‍රයන්වහන්සේ ද ජනතාවට කලබල කිරීමෙන් වැළකී සිටින ලෙසට මාධ්‍ය මගින් දන්වා සිටියා. ඒ ගැන අප සතුටු විය යුතු යි. වයසට ගිහින් හරි මැරෙන්න ඉස්සෙල්ලා බණ දහම් මතක් කර ගැනීම කාට කාටත් හොඳයි. 

ජනපති ලංකාවට නෑවිත්ම ඉන්නවා නම් තමා හොඳ. ඒත් සියල්ල වුණාට පස්සේ ආපහු ඒවි. අපේම රටවැසියෙකු නොවැ. 

මේ රට අරාජික තත්ත්වයට පත් කිරීමට මංගලත් අදහස් කරන බව මාධ්‍ය මගින් දැනගන්න ලැබුණා. මෙය ඇමැත්තන් අනිසි වාසි ලබා ගැනීමට වඩා තම හොරකම් හෙළිවීම වැළැක්වීම පිණිස කෙරෙන්නක් බවයි පෙනෙන්නේ. මුන්ගේ පෙරේතකම නිසා මේවා කොහෙන් කෙළවර වේද මන්දා. 
- ඉහත පළ කළේ ප්‍රතිචාරයයි.

මේ මගේ අදහස මංගල සමරවීර මහත්මයා ගැන 

මංගල ගැන මම ෆේස්බුක් එකේ මෙහෙම දෙයක් ලිව්වා. මංගල කියපු දේ, ජාතිවාදයට විරුද්ධ අදහස්, හැමෝම එක සමානයි වගේ දේ  , මේවා ඔක්කොම හරි. මන්ගල ට ස්තුතියි ඒ ගැන. සිංහල බෞද්ධ අන්තවාදයට විරුද්ධව කතා කිරීම සහ රටේ හැමෝම එක හා සමාන පුරවසියම් බව සැලකීම. ඉතා උතුම්. හොඳයි. ඒ වගේම ජාතිවාදී මිඩියා වලට දෙන  දැන්වීම් වරණයත් හොඳ වැඩක්.

ඒ වගේම මංගල ඇමති තුමාගේ ලිංගිකත්වයට එල්ල කරන මඩ ප්‍රහාර වලට සහය දෙන්නෙත් නැහැ. ඒවා බාල වැඩ.

නමුත් මේ වෙලේ මිනිස්සු කල්පනා කරන්නේ බඩ ගැන. මංගල නෙමේ සංහිඳියා ඇමැති . වෙන කෙනෙක්. මංගල මුදල් ඇමති. මංගල බලන්න ඕනේ ආර්ථිකය ගැන . ඒක වැටිලා තියෙන්නේ.
පළමු පියවර - තෙල් මිල අඩු කිරීම. 
මම බුකියේ ලිව්වේ මේක:
මංගල සමරවීර මහත්මයා ‍ව්‍යාපාර කඩන් වැටිලා, කඩවල් වැහිලා ,බඩු ගණන් ගිහින් . ඉන්ධන මිල අඩු කලොත් , ප්‍රවාහන මිල අඩු වෙලා සමහර බඩු වලවත් ගණන් අඩුවෙයි. මිනිස්සු එහෙමෙහේ යන එක වැඩි වෙයි. බඩු ගණන් අඩු වුනොත් අතේ ඉතිරි වෙන කීයෙන් හරි මිනිස්සු තව මොනවා හරි ගනියි . ආර්ථිකය ටිකක් හරි නගියි මුදල් සංසරණය වීම වැඩි වුනොත්. මිනිස්සුන්ට මේ ජනාධිපතියි මේ ආණ්ඩුවයි එපාම වෙලා ඉන්නේ. ඔහේ ඉන්ධන මිල වැඩි කරනව. . මේ වෙලාවේ තමයි මනුස්සයෝ සහනාධාර දෙන්න ඕනේ හැමෝටම. ඉන්ධන මිල අඩු කරන්න බයිලා නොකිය .
Oil price increases are generally thought to increase inflation and reduce economic growth. In terms of inflation, oil prices directly affect the prices of goods made with petroleum products. ... Increases in oil prices can depress the supply of other goods because they increase the costs of producing them.

Monday 13 May 2019

ආයි කෙලව ගන්නද - විරුද්ධ වෙන්න දැන්මම

අර අනගාරික ධර්මපාල තුමා මුන්ට කතා කරපු විධිහ හරි, එයා දීපු පණිවිඩේ වැරදි වුනත් කතා කරපු විධිහ හරි. 

1983 සංවිධානය වෙලා කඩ වලට ගෙවල් වලට ගහපු උන් කවුද කියල අපි දැක්ක.

 අවුරුදු හතර කට පස්සේ ලෝකයේ දෙවැනි විශාලතම හමුදාව ආව රටට. 
මහා ජාතියෙයි ප්‍රධාන සුළු ජාතියකයි රටේ හොඳම කොල්ලෝ කෙල්ලෝ ලක්ෂයක් දෙකක් විතර මරාගත්ත මතක නැත්ද?

 දැන් තොපි ආයිත් පටන් ගනියව්. මේ පාර එන්න ඉන්නේ ලෝකේ ලොකුම හමුදා තුනින් "ච" යන්නද "ඉ "යන්නද "අ "යන්නද කියන්න තවම අමාරුයි.
හැබැයි ආයිත් තව ලක්ෂයක් දෙකක් මරා ගනිල්ලා පුළුවන්නම්. 

ඒකට කැමති නැත්නම් මේ පිස්සු බල්ලන්ට විරුද්ධ වෙයල්ලා පක්ෂ භේද අත හැරලා.

දැන් කියන්න එන්න එපා පිටරට ඉන්න එක මෙහෙ වැඩක් බලා ගනිල්ලා , අපි අපේ රට බල ගන්නම් කියල. අපේ ආදරණියයෝ ඉන්න ජිවත් වෙන රට අපි හැමෝටම වැදගත්.

කඩ වර්ජනය කරන්න ඕනේ නම් කරාට කමක් නැහැ. මම නම් ඒකට විරුද්ධයි. නමුත් හලාල් මස් ගන්න  මුස්ලිම් වරුන්ට අයිතිය තියනවා නම් , කොෂර් කෑම විතරක් ගන්න යුදෙව් ජාතියට අයිතිය තියනවා නම් කඩ වර්ජනයටත් පුද්ගලයෙකුට අයිතිය තියනවා. එංගලන්තයේ  ලේබර් පක්ෂයේ සමහරු ගාසා තීරයේ  යුදෙව් භාණ්ඩ වර්ජනය කරනවා. 
  නමුත් කාගෙවත් දේපල ගිනි තියන්න, කඩා දමන්න කාටවත් අයිතියක් නැහැ. ඒක සිවිල් නීතිය  යටතේ වරදක්.

ඕක කරනවුන් අල්ලලා පොලිසියට භාර දෙන්න ගත්තේ නැතත්.

රෑ වැටුණ වලේ දවල් නොවැටෙමු. 



Sunday 5 May 2019

බටහිර භාෂණ නිදහසේ සීමාව

පසුගිය කාලයේ ම නිතර කියවූ ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් විය. මෙම බ්ලොග් අඩවිය බොහෝ විට ලෝකයේ කිසියම්ම හෝ තැනක සියදිවි නසා ගන්නා බෝම්බකරුවෙකු හෝ කණ්ඩායමක්  ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක ඒ පිළිබඳව තිබෙන විකල්ප වාර්තා ඉදිරිපත් කරන්නකි.
බ්ලොග් අඩවිය ඉවත් කර ඇත 

බොහෝ විට ඇතැම් රටවල ඩීප් ස්ටේට් නමින් හඳුන්වන රහස් ඔත්තු සේවා තුලම රහසේ ක්‍රියාත්මක වන රහස් ඔත්තු කණ්ඩායම් (ගෘප්) වල ක්‍රියා ද හෙළිදරව් කෙරිණි. (ගැඹුරු මුහුද සහ ඩීප් ස්ටේට් ලිපිය)   මෙවැනි ඇතැම් කණ්ඩායම් වල ක්‍රියා ඒ ඒ රටවල දේශපාලන නායකත්වයට නොදන්වාද   ක්‍රියාත්මක වේ. ඒ අතරම කිසියම් රටක දේශපාලන ප්‍රවණතාවන් වෙනස් කිරීමට යොදා ගන්නා ව්‍යාපාරයන් මෙහෙයවීමද මේවායින් කරනු ලබයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධව මා  ලිපියේදී ප්‍රශ්නයක් ඇසුවෙමි.
//අවසන් වශයෙන්  වසර දහයකට පෙර අවසන් වූ LTTE සමග යුද්ධයේදී   තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට සිටි බව ඇත්තක් ද?//

දැන් කවුරුත් දන්නා පරිදි එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා දැනුවත්ව එවැනි මුස්ලිම් ඔත්තුකරුවන් ප්‍රමාණයකට මුදල් ගෙවා තිබූ බව  දැන් නොරහසකි. දෙවැනි ලිපියේදී මා කිවේ ආරක්ෂක සේවා එවැනි දේ කරන බවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා එවැන්නක් කරන්නට ඇත්තේ එදා තිබූ තත්වය සළකා බලා විය හැක. නමුත් ඔවුන් (තව්හාද් ජමිත්) පසුව වෙනස් වන්නට ඇත. එය ඔහු  බලාපොරොත්තු නොවූ තත්වයක් වන්නට ඇත.

 මේ ළඟදී ෆේස්බුක් හි ගිය සංවාදයක  අයිසිස් සංවිධානය සැදුවේ එක්සත් ජනපදය නොවේ යයි කියා අනූප නම් මහතෙකු පළ කළ කොමෙන්ටුවකට පිළිතුරු වශයෙන් තවත් යොමු සමග පහත පින්තූර දෙක  පළ කළෙමි.
සෙනෙටර්ජෝ න් මැකේන් අයිසිල් (පසුව අයිසිස්) නායක සමග 

පළමු වැන්නේ  හිටපු ඇමෙරිකානු සෙනෙට් වරයෙකු වන  ජෝන් මැකේන්   හා පසුව අයිසිස් සංවිධානයේ සිරියාවේ නායකයා වූ තැනැත්තාගේ පින්තූරයකි. ඒ  ඇමෙරිකා එක්සත් ජනපදය  සිරියානු ජනාධිපති ඉවත් කිරීමට සිරියානු "නිදහස් විමුක්ති කාමීන්ට" උදව් කරන කාලයේය. අයිසිල් ලෙස එදා හැඳින්වූ අයිසිස් ඉන්  එක සංවිධානයක් විය.
මේ පින්තුරය නිවැරදි නොවන බව fact check වෙබ් අඩවිය පවසයි. ඔවුන් කියන්නේ ඒ සිටින්නේ නිදහස් සිරියානු හමුදාවේ (free Syrian army) නායකයා බවයි. එනම් අසාද්ට විරුද්ධව එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර සන්ධානය විසින් ආධාර කල සිරියානු විරුද්ධ පක්ෂයයි.

මෙහිද ප්‍රශ්නයක්  තිබේ. ජනාධිපති ඔබාමා ගේ උප ජනාධිපතිවරයාව සිටි ජෝ බයිඩන් කිහිප වතාවකදීම අසාඩ් ට විරුද්ධව ගොඩ නගන  ලද සන්ධානයේ අල් නුස්රා  බ්‍රිගේඩය , අල් කයිඩා සහ අයිසිල් වරු සිටින බව පිලි ගත්තේය. වෙනත් අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයේ යහළුවන් වන සෞදි අරාබිය සහ තුර්කිය  අයිසිල් එකට සහය දුන් බව පිලි ගත්තේය. මේ සඳහනට ඔහු පසුව සමාව ඉල්ලා සිටියේය.
(Obama’s “Anti-ISIS” Coalition Built ISIS, Biden Admits )
(Joe Biden apologised over IS remarks, but was he right?)
(Behind Biden’s gaffe lie real concerns about allies’ role in rise of the Islamic State)

දෙවැනි පින්තූරයේ  ඇත්තේ  නැටෝ රටක් වූ තුර්කි ජනාධිපති එර්ඩොගන්  අයිසිස් එකට ආයුධ සැපයූ වගුවකි. ඔහු අයිසිස් වරුන්ගෙන් නිත්‍යානුකුල නොවන ලෙසට අයිසිස් ඉරාකයේ  පාලනය කළ තෙල් නිධි වලින් තෙල්ද ලබා ගත්තේය. මේ ඇමෙරිකා  එක්සත් ජනපදය නොදැනුවත්ව නොවේ. (ලිපිය දිග වැඩි වන නිසා ඒ ගැන නොලියමි) මේ පින්තූර ලැබෙන්නේ කුර්දිවරුන් හරහාය. ඒ කුර්දි වරුන් තුර්කි ජනාධිපති එර්ඩොගන් ට විරුද්ධ බැවිනි.

 සෝවියට් හමුදා වලට සටන් කළ මුජහදීන් වරුන්ට සහය දුන් ඇමෙරිකා  එක්සත් ජනපදය එම ගරිල්ලා කණ්ඩායම්  පසුව අල් කයිඩා වශයෙන් සංවිධානය වී තමන්ට පහර දේ යයි කිසි විටෙක  නොසිතන්නට ඇත. බොහෝ විට ජෝන් මැකේන් ට   සිදුවන්නට ඇත්තේද එයයි. ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තමන්ගේ චන්ද ව්‍යාපාරයේදී හිලරි ක්ලින්ටන්  ගේ මේ විනාශකාරී විදේශ පිළිවෙත දැඩි ලෙස විවේචනය කළේය.  අන්තිමේදී ඇමෙරිකාවට සිදු වූයේ කුර්දි ගරිල්ලන් සමග එකතුව අයිසිස් එකට පහර දීමටය.

මේ ගැන ලිපියක් මම 2014 දී (The Kobeningrad)  ලීවෙමි. ඇමෙරිකා එක්සත් ජනපදය කෝබෙන් නගරය බේරා  ගැනීමට කුර්දි හමුදාවලට සහය දුනි.

අන්තවාදී ප්‍රහාරයක් වැනි සිද්ධියකදී එය මවාගත් හෝ දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම අරභයාකරන ලද්දක් දැයි සොයා බැලීම මා ඉහත සඳහන්  කල බ්ලොග් අඩවියේ සිරිතකි.

මා දන්නා පරිදි මෙම බ්ලොග් අඩවියට ලිපි ලිවූ කිහිප දෙනෙක් විය. ඉන් එක් අයෙකු මැද පෙරදිග සටන් කළ, ප්‍රබල රටක කමාන්ඩෝ සෙබළෙකි.

බ්ලොග් අඩවියේ  අවසන් ලිපි දෙක පළවූයේ ශ්‍රී ලංකාව ගැනය. මගේ මේ ලිපියට "ජනාධිපති සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය"  සම්බන්ධ කරුණු සෙවීමේදී යොදා ගත් ලිපිවල ඇතැම් මූලාශ්‍ර ගත්තේ මෙම බ්ලොග් අඩවියෙන්ය. මා පල කරන්නේ සිංහලෙන් නිසා ප්‍රශ්නයක් වේ යැයි නොසිතුවෙමි. නමුත් ආරක්ෂාව සඳහා  එම බ්ලොග් අඩවියේ යොමුව පළ නොකලෙමි.

කෙසේ වුවද මගේ බ්ලොග් ලිපිය පළකර දින පහකට පමණ පසු වර්ඩ් ප්‍රෙස් විසින් මේ බ්ලොග් අඩවිය ඉවත් කර ඇත. බ්ලොග් අඩවිය ලියූ අය  එය කරන ලද්දේ නිර්නාමික ලෙසය. බ්ලොග් අඩවිය කරන්නේ කවුද යන්න දැන  සිටියේ ඇතැම් කුර්දි ජාතික වාමාංශිකයන්ය. නමුත් මේ වාමාංශික කුර්දිවරු සිරියාවේ දී එක්සත් ජනපද ආරක්ෂාව හා හමුදා සහය ලැබූවන්ය. ජනාධිපති ට්‍රම්ප් ඔවුන් අත හැර දමාවිද යන්න  කීමට තවම කල් වැඩිය.  මේ නිසා මේ අඩවියේ බ්ලොග්කරුවන් හෙළිදරව් වීමට ඇති ඉඩකඩ ද වැඩි වූ බව දැන් සිතේ.

බටහිර රටවල හෝ රුසියාවේ භාෂණයේ නිදහස සීමාවන තැනක් තිබේ. ඒ එම රටවල රහස් ඔත්තු සේවාවන්  හා ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරීත්වයන්  පිලිබඳවය.  එතැනදී භාෂණයේ නිදහස සීමා කිරීමට ඔවුන් පැකිලෙන්නේ නැත. විශේෂයෙන් "ඩීප් ස්ටේට් " පැත්ත ඔවුන් දැඩි ලෙස ආරක්ෂා කරනු ලබයි. චීනය, ඉරානය සෞදි අරාබියාව වැනි රටවල එවැනි නිදහසක් නැති නිසා ඒ රටවල් කොහොමත් ප්‍රකාශන නිදහස රකින රටවල් ලෙස නොසිතමි.

කෙසේ හෝ වේවා ශ්‍රී ලංකාවේ තර්ජනය තවම පහව ගොස් නැත.  මුස්ලිම් වරුන් පල්ලිවල කඩු  ගෙනැවිත් තබමින් සංවිධානය වූයේ බොදුබල සේනා , මහසෝන් බලකා ආදීන් ගෙන් ආරක්ෂා වීමට බව මගේ  හැඟීමය. නමුත් ඉන් සමහරෙක් වඩාත් සංවිධානය වී ශ්‍රී ලංකාවට දරුණු පහරක් එල්ල කර තිබේ. මිනිස් ඝාතනයට අමතරව සංචාරක ව්‍යාපාරයටද එල්ලවී ඇත්තේ දරුණු පහරකි.ශ්‍රී ලංකාවේ ජනතාව සාමයෙන් සිටිනු දකින්නට අකමැති, එහි ආර්ථිකය දියුණු වනු දකින්නට  අකමැති ලංකාවේම ඉපදුනු මිනිසුන් සිටීම කණගාටුවට කරුණකි . චීනයේ උර්ගු මුස්ලිම් වරුන් මුහුණදී  ඇති දරුණු තත්වයට ද බොහෝ අන්තවාදී මුස්ලිම්වරු කැමති නැත . එනිසා ඉදිරියේදී ලෝකයේ චීනය හා සම්බන්ධ ව්‍යාපාර වලට පහර දේ යයි බියක් මා තුල පවතී. ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යාපාර බොහොමයක් ඇත්දැයි මම නොදනිමි.

මට කිව හැක්කේ පරිස්සම් වන්න මිතුරනි කියා පමණකි.

Saturday 27 April 2019

ජනාධිපති සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය

කොච්චිකඩේ දේවස්ථානය 
ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව දෙසිය පණහ ඉක්මවා ගොස්ය. නොයෙකුත් වාද විවාද බහුල මේ අවධියේ මෛත්‍රීට හා රනිල්ට දෝෂාරෝපණය කරන්නන්ද හතර පස් ගුණයකින් වැඩිවී තිබේ. මේ ලිපිය ඔවුන් ඒ අපවාද වලින් බේරා ගැනීමේ ප්‍රයත්නයක් නොවේ.

බටහිර මාධ්‍ය බොහොමයක ප්‍රධාන සිරස්තලය වූයේද මේ සිද්ධීන් මාලාවයි. මගේ සිතේ  නැගුනු ප්‍රශ්නයක් නම් මේ ප්‍රහාරය බටහිර මාධ්‍ය කියන පරිදි ක්‍රිස්තියානියට එරෙහි යුද්ධයක් ද?  එසේ නොමැති නම් බෞද්ධ රාජ්‍යයකට එරෙහිව  යුද්ධ ප්‍රකාශ කිරීමක්ද? බෞද්ධයන්ට එරෙහිව නම්  ප්‍රසිද්ධ  පන්සලකට ප්‍රහාරයක් එල්ල නොවූ යේ  මන්ද ?

මා 2018 අප්‍රේල් 02 දා ලියූ මේ ලිපිය ( සෝවියට් විවාහ ගැන නොවේ - 5)
 අවසන් කළේ අල්ලාහු අක්බර් කියාය.  ශ්‍රී ලංකාවේ දේශපාලන බල තුලනය වෙනස් කිරීමට කිසියම් රටක් අන්තවාදය උපයෝගී කරගනු ඇත යන අනතුරු ඇඟවීම කළේ ඒ ලිපියෙන්ය.

 රජය:
අගමැති  රනිල් ආරක්ෂක රැස්වීම් වලට කැඳවා නැත්තේ ජනාධිපති තුමාය. නියෝජ්‍ය ආරක්ෂක ඇමති රුවන් ජයවර්ධන ද ආරක්ෂක රැස්වීම් වල සිටියේ නැත? එසේ කියා ඔවුන්ට මේ වගකීමෙන් බේරිය හැකිද? පිළිතුර නැත යන්නය. ආරක්ෂක හමුවලට නොකැඳවීම පමණක් නොව නීතිය  හා සාමය අමාත්‍යංශය  ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාට භාර නොදීම පිළිබඳවද අගමැතිවරයා ක්‍රියා කලේ ඇල්මැරුණු ස්වභාවයකිනි.  ඒ ඇයි?

පොලිසිය භාරව  සිටින්නේ ජනාධිපතිය.  නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ප්‍රභූ ආරක්ෂක අංශ වලට ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් කර ලිපියක් යවා තිබේ. එසේනම්  මෙම අනතරු ඇඟවීම අගමැතිට යවන්නට එපා යයි කිවේ කවුද? ඔහුට (අගමැතිට)  සැබවින්ම එය නොලැබුනාද? ඇමති හරීන් ප්‍රනාන්දු ඇත්තටම දැන ගත්තේ පියාගෙන්ද? නැත්නම් අර ලිපියෙන්ද? ඔහුගේ බොළඳ ප්‍රකාශය ඇමතිවරයෙකුට නොවටිනා එකක් බව වෙනම කරුණකි.

අනිකුත් ඇමතිවරුන් පුවත්පත් සාකච්චාවේදී සිනහ වෙමින් සිටියේ රටේ  ආරක්ෂාව භාරව සිටි ප්‍රධානියා ජනාධිපතිවරයා වූ  නිසා "කෙළ  වුණා නේද ඔහෙට " යන හැඟීමෙන් ද?

අර ගිය වසරේ ලියූ මුල් ලිපියේ මා කිවේ මුස්ලිම් රටවල්ද මේ සමීකරණයට එක්වෙන බවය. නැගෙනහිර දිගින් දිගටම වහබිවාදය ව්‍යාප්ත වෙමින් සිදු වූයේ එයයි. ඒ සඳහා මූලික අඩිතාලම දැමුවේ සෞදි  අරාබියට ශිෂ්‍යත්ව ලැබ එහි ඉගෙනුම ලබා පැමිණි අයයි.  ඊට අමතරව සෞදි  මුදල්ද නොයෙකුත් ව්‍යපෘති වලට යයි කියමින් නැගෙනහිරට ගලා එන්නට විය. මුස්ලිම් ඡන්ද නැති කර ගැනීමට නොහැකි නිසා රනිල් පාර්ශ්වය මෙන්ම මහින්ද පාර්ශ්වයද  නිහඬව සිටි බව රහසක් නොවේ.

රාජපක්ෂ කණ්ඩායම:
ගෝඨාවාදී කණ්ඩායම අගමැති රනිල් සහ කැබිනට්ටුවට විරුද්ධව හඬ නගනු පෙනේ. මහින්ද සහ  ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සමග තව්හිඩ් ජමාල් සම්බන්ධය පිළිබඳවද ප්‍රබල හෙළි දරව්වක් තිබේ.
ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ තව්හිත් ජමාඩ් හි ලේකම් වරයා බුද්ධි අංශයේ ඔත්තුකරුවකුව සිටි බවට චෝදනාවක් පවතී. එසේම එම කණ්ඩායම මහින්ද මහතා සමග සිටියදී ගත් ඡායා රූපයක් ද ඇත. එසේම ජනතා  විමුක්ති පෙරමුණේ නාම  යෝජනා මාලාවක එක බෝම්බ කරුවෙකුගේ පියා සිටී. චෝදනා කෙසේ වුවත් ජවිපෙ නායකත්වය මේ තැනැත්තා මුස්ලිම් ජාතිවාදයට සම්බන්ධ බවට දැන සිටි බවට සාක්ෂි නොමැත. ඒ බව බොහෝ විට පවසන්නේ (බුකියේ) ගෝඨා වාදීන් ය.  මට සිතෙන විධිහට ඒ මහින්ද - හා ගෝඨා ට එල්ලවන අපවාදයෙන් මිදීමට විය හැකිය. එසේම එම  මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධ ඇමතිවරු යුඇන්පී කැබිනෙට්ටුවේ සිටින බවට චෝදනා ඇත.

මේ පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානින් ට එරෙහිව ලෝක ශුද්ධ යුද්ධයේ එක ජවනිකාවක්ද ? බටහිර හා පෙරදිග (east and west ) ශිෂ්ටාචාරයන් හි ගැටීමක්ද? බොහෝ අය ඔබට අවබෝධ කරවන්නට හදන්නේ එයයි. ශ්‍රී ලංකාව පෙරදිග රටකි. ශ්‍රී ලංකාවේ  සිංහල  බෞද්ධ ශිෂ්ඨාචාරය පිලිබඳ බොහෝ කියැවීම් තිබේ. බොහෝ කතෝලික ප්‍රගතිශීලින් මෙන්ම සිංහල වාමාංශික හා ලිබරල්වාදී (බෞද්ධ විය හැකිය) අය මේ "සිංහල බෞද්ධ" දැක්මට නිරන්තරයෙන් සමාජ මාධ්‍ය, රූපවාහිනී පුවත්පත් මගින් විවේචන කරනු දැකිය හැකිය. සිංහල බෞද්ධයා කොඩිය ඔසවාගෙන යන මහා සොහොන්  බලකාය ඇතුළු අනිකුත් ජාතිවාදී සංවිධාන වලට   මුස්ලිම් සහ කතෝලික ජන වර්ග දෙකම  සමග ඇරියස් තිබේ. එනිසා අර ශිෂ්ටාචාර සමග ගැටීමේ බටහිර මතය ඉවත දැමිය හැකිය. ක්‍රිස්තියානි - ඉස්ලාම් ගැටීම ලංකාවේ පෙන්වන්නට ඔවුන්ට අවශ්‍යතාවයක් තිබෙන්නෙට නොහැකිය.

ප්‍රහාර පිළිබඳ මූලික චෝදනාව එල්ල වන්නේ ජාතික තව්හිත් ජමාත් නැමති කුඩා ත්‍රස්තවාදී සංවිධානයටය.  නමුත් අර අහම්බෙන්  නියෝජ්‍ය පොලිස්පතිවරයා  යැවූ ලියුම ඇරෙන්නට ඔවුන් මෙයට සම්බන්ධ  වෙන්නේ මැරුණු මුහුණු වලින්ය. ඒ කියන්නේ මොවුන් පහර දෙන බව, මේ කුඩා කණ්ඩායම පහර දෙන බව පොලිසිය, ආරක්ෂක ලේකම්, විපක්ෂ නායක ආදීන් දැන  සිට ඇත. ඒ කියන්නේ ජනාධිපතිද දැන  සිටීමට අවකාශය වැඩිය. නමුත් කුඩා කණ්ඩායමක් පැමිණ  රතිඤ්ඤා දෙක තුනක් පුපුරා යාවි යයි ඔවුන් සිතා  ඇති බව හිටපු ආරක්ෂක  ලේකම්වරයා  ගේ කතාවකින් හෙළි විය.

නමුත් මෙය කාලයක් මුළුල්ලේ ඉතා සූක්ෂමව සැලසුම් කර ඉතා නිවැරදි ලෙස එල්ල කළ ප්‍රහාරයකි.   දෙදෙනෙක්  ව්‍යාපාර හිමි ධනවතෙකුගේ පුතුන්ය. අවශ්‍ය ලොජිස්ටික් හා රහස්‍ය තොරතුරු සඳහා විසි කරන්නට මුදල් තිබී ඇත. ඒ ඇරෙන්නට කිසියම් දේශපාලන හා පාතාල ප්‍රබලයන්  කිහිප දෙනෙකුගේ හා විදේශ රහස් සංවිධානයක ආධාර ලැබී නැතැයි කිව හැකිද? මොවුන්ට මෙතරම් ප්‍රබල ප්‍රහාරයක්  කරන්නට අවශ්‍ය දත්ත හා සැලසුම්  සපයා ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.  නැත. ඒවා සපයා තිබේ. ඒ කවුද?

දැන් මා මේ ලිපිය ඉන්දියාව සමග නැගිටිමු  ලියුවේ 2018 පෙබරවාරි වලය. එහි ජේ ආර් ගේ ඇමෙරිකානු හිතැති රජය පෙරලීමට ද්‍රවිඩ කණ්ඩායම් වලට ආරක්ෂක හෙවනක් තමිල්නාඩුවේ සැපයුවේ ඉන්දියාවේ ඉන්දිරා  බව සඳහන් කළෙමි. ජේ ආර් හා යුඇන්පී එකට විරුද්ධ නිසා සිරිමා- මහින්ද ඉන්දියාවේ මේ අශුද්ධ ගේමට  වැඩිය විරුද්ධ වුයේ නැත. විරුද්ධ වුයේ ජවිපෙ හා ජාතික චින්තන කණ්ඩායම පමනි. ඉන්පසු වූයේ කුමක්දැයි අපි දනිමු.  සිවිල් යුද්ධය ජය ගැනීමට මහින්ද රජයට ඉන්දියාව  දැඩි ලෙස උදව් කල බවද දැන් අපි දනිමු.  ඒ තමන් කිරි පොවා දැඩි කල ප්‍රභාකරන් මහතාම  ඔවුන්ට දෂ්ඨ  කළ හෙයිනි.

පශ්චාත් යුද සමයේ  දැඩි ලෙස චීනයට ඇදෙන මහින්ද රජය  නවත්වන්නට මුස්ලිම් ප්‍රශ්නයක්ද දඩමීමා කරගෙන එම රජය පෙරලීමට පිටුපසින් සහය වූ විදේශ බලවේගය කුමක්ද  යන්නද දැන් අපි දන්නෙමු. ඒ කියන්නේ බොදු බල සේනාව නිර්මාණය වූයේ කෙසේද යන්න දෑස් වැසුනු ජාතිවාදී පිස්සන්ට  ඇරෙන්නට අන් අයට රහසක් නොවේ.

ඇඩම් ගැරී ගේ මේ ලිපිය බලන්න." කිසියම් බලවත් විදේශ රටක් ඇටවූ උගුලක ශ්‍රී ලංකා රජය වැටුණාද" 
ඔහු කියන අන්දමට ලංකාවේ මුස්ලිම් ජනගහනය 8% කි. මේ කුඩා ජනගහනයෙන් වැඩි හරියක් සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් වලින්  සුළු ප්‍රශ්න තිබුනද සිංහල  බෞද්ධයන් සමග සාමයෙන්  වෙසෙති.  එනිසා හෝටල් ගණනාවක් සම්බන්ධ කර මෙවැනි ප්‍රහාරයක් ලොජිස්ටිකලි එල්ල කිරමට මෙවැනි කුඩා ජනගහණයකට නොහැකිය. එයට විදේශ බලවේගයක් හෝ විදේශ රහස් ඔත්තු සේවයක සහය ලැබී නැති යයි කිව හැකිද?

වඩාත් වැදගත් ලිපියක් ඇත්තේ මෙහිය. රනිල් වික්‍රමසිංහ රජය නිදාගෙන සිට නැත. ගිය දෙසැම්බරයේ සිට යුදෙව් හත්සල්ලා එකමුතුව (United Hatzallah ) සහ ඇමෙරිකානු යුදෙව් කමිටුව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කර ඇත්තේ  කුමක්ද? එය විශාල ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දීමට කණ්ඩායම් කිහිපයක් පුහුණු කර ඇත. යොමුවට යන්න. 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා  රටේ අගමැතිව  බලයෙන් පහ කලේ ගිය ඔක්තෝබරයේය. එක හේතුවක් වූයේ ඔහු ඝාතනය කිරීමට ඉන්දීය කුමන්ත්‍රණයක් ඇති බව පවසමිනි. ඔහු  පසුව ඉන්දීය අගමැති මෝදි අමතා එසේ නොකී බව පැවසුවේය.  ඉන්දීය - ඇමෙරිකානු ටිකට්ටුවෙන් බලයට පැමිණි ජනාධිපති වරයා හිටු කියා චීනයට කඩේ යන්නට පටන් ගත්තේ පසු කාලයකදීය. චීන වරාය  නගරය තව දුරටත් සිහිනයක් නොවේ. රනිල් රජයේ ගැලවුම්කරුවා වී ඇත්තේද චීනයමය. පසුගිය කාලයේ අත්සන් කල ගිවිසුම් දෙස  බලන්න.

ජනාධිපති කෙරෙහිද  බිජිං බලපෑම උත්සන්න වූ බව දිල්ලියට රහසක් නොවේ.

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය අසූ  ගණන්වල ඇමෙරිකාව දෙසට හැරීම "භාග සමාජවාදී " ඉන්දිරාගේ ඉන්දියාව නොඉවසුවාක් මෙන්ම මහින්ද සහ  සිරිසේන  කොමියුනිස්ට් චීනා ගේ  පැත්තට හැරීමද ඔවුන් ඉවසන්නේ නැත. සිරිමාවෝ වැනි මාඕ , චෞ එන් ලායි හා ඉන්දිරා  සමග ජාම බේරාගෙන  එකසේ කටයුතු කළ නායිකාවක් ලංකාවට  දැන් නැත. එසේ නම් ඉන්දියාව කළ යුත්තේ කුමක්ද?

ඇඩම් ගැරී ට අනුව යුද්ධය අවසන් වී වසර දහයක් පමණ ගතවී ඇති නිසා ලංකාවේ  ආරක්ෂණ යාන්ත්‍රණය ලිහිල්  වී ඇත. එය ස්වභාවික දෙයකි.  ලංකාවේ දේශපාලන භුමියේ වීරයා  වීමට ඉස්ලාමෆෝබියාව දහම කරගත් මෝදී ගේ ඉන්දියාව කළ යුත්තේ කුමක්ද?

රනිල් වික්‍රමසිංහ කෙතරම් ඉන්දීය වාදියෙකු වුවද ඔහුද චීනයේ සිල්ක් මාවත  යෝජනා ක්‍රමයට සහය දක්වන්නෙකි. එනිසා සිඝ්‍රයෙන් වර්ධනය වන  චීන සිල්ක් මාර්ග ව්‍යාපෘතිය හා චීන සම්බන්ධකම් වලට දඬුවම් පැමිණවීමට ඉන්දියාවට හා ඇමෙරිකා එක්සත් ජනපදයට වුවමනා නම් සංචාරක ව්‍යාපාරයට පහර දීම ගන්නේ මුල් තැනකි. ලංකාවේ කොන්ද කැඩීම ට එය ප්‍රමාණවත්ය.

පසුගිය කාලවල ඉන්දියාවේ සිදුවූ ජිහාඩි ප්‍රහාර  වල පිටුපස පකිස්ථානුවන් සිටියා  යයි කීවද වඩා ලඟින් සොයා බැලීමේදී හෙළිවන්නේ ඔවුන්ට පකිස්ථානයේ කතා කරන උර්දු භාෂාව පවා  කතා කිරීමට නොහැකි බවයි.  මේ මුසොල්මානුවන් ආගමික අන්තවාදීන් බව සැබෑය. නමුත් ඔවුන් හසුරුවන්නේ පිටරට අයිසිස් සංවිධානය යයි බොහෝ අය සිතති. නමුත් බොහෝ විට ඔවුන් හසුරුවන්නේ වෙනත් සංවිධානයක් විසිනි. සිරියාවේ එවැනි "වෙනත් අය " හසුරුවන සංවිධාන බොහෝය.

ඉන්දීය  හා ඊශ්‍රයල සංවිධාන ලංකාවේ කරන්නේ කුමක්ද? ඔවුන් විශාල ත්‍රස්ත පහර දීමකට මුහුණ දීමට 2018 දෙසැම්බරයේ මිනිසුන් පුහුණු කෙරුවේ ඇයි ? එසේම අප්‍රේල් හතර වැනිදා ඉන්දියානු ඔත්තු සේවා ප්‍රහාරයක් ගැන දැනුම් දී තිබුන බව දැන් හෙළිවී ඇත. මේවා පල්ලි වලට නොකීවේ ඇයි? කුඩා මුස්ලිම් ජනගහනයකින් මතුවූ කුඩා කණ්ඩායමක් ඔවුන් වැනිම වූ  කුඩා කතෝලික  ජනගහනයකට පහර දෙන්නේ ඇයි? ඔවුන්ට ඉන් ලැබෙන දේ කුමක්ද? සමහර විට ලෝක ප්‍රසිද්ධිය පමණි.  සිංහල  හා දෙමල ජනතාවගේ කෝපය මිස මුස්ලිම් ජනයාට ලැබෙන දෙයක් නැත.

දැන් මෙන්න මේ ලිපිය බලන්න. වෛද්‍ය ෆෞස්ට් යනු ජර්මන් කතාවක එන චරිතයකි. ඔහු යක්ෂයා සමග ගිවිසුමකට යන්නේ ලෝකයේ තිබෙන සියලුම දැනුම හා විනෝදය ලැබීමේ වාසි තකාය.  ලිපියේ මාතෘකාව ෆෞස්ට් මෙන් ශ්‍රී ලංකාවද  යක්ෂයා  සමග සම්බන්ධයකට ගිය බවකි.  මෙහි සඳහන්  යක්ෂයා  පකිස්ථානය සහ එහි රහස් ඔත්තු සංවිධානය වන ISI එකය (Inter-Services Intelligence). ඉන්දියාව ප්‍රතික්ෂේප  කල පසු LTTE සමග යුද්ධයේදී යුද උපකරණ ලංකාවට  වික්කේ චීනය සහ පකිස්ථානය බව ජෙනරාල් ෆොන්සේකා කියා ඇත. මේ නිසාම කඩි මුඩියේ LTTEය  අවසන් කිරීමට සහය දීමට ඉන්දියාවද තීරණය කළාය. ඇමෙරිකානු සහ ඉන්දීය රහස් ඔත්තු සේවා LTTE නෞකා ගැන ඔත්තු දුන්නේ එලෙසය. (ගෝඨාභය  මහතා ගෙන් අහන්න)

LTTE පරාජය කල පසු ලංකාවේ හිඩැස පිරවූයේ ඉන්දියාව නොව චීනය සහ පකිස්ථානය බව මේ ලිපියේ කියයි. එසේම 1971 පක් - බංග්ලා යුද්ධයේදී සිරිමාවෝ රජය පකිස්ථානයට ගුවන් හා ඉන්ධන පහසුකම් දීම ගැන මේ ලිපියේ කතා කරන්නේ අති  මහත් ද්වේෂයකිනි.   ඊට අමතරව ඉස්ලාමික ප්‍රහාර සහ ඉස්ලාමික අන්තවාදය  ශ්‍රී ලංකාවේ පතුරුවන්නේ පකිස්ථාන රහස් ඔත්තු සේවය  ISI බවට මෙහි කෙලින්ම චෝදනා කරයි.  මෙහි තරමක සත්‍යතාවයක් නැත්තේම නොවේ. සෝවියට් හමුදා ඇෆ්ඝන් මුජහදීන් සමග කළ  සටනේදී ඇමෙරිකානු - සෞදි ආධාර මුජහදීන් ගරිල්ලන්ට ලැබුනේ මේ අයිඑස්අයි හරහාය. ඔවුන්ට සෞදි සම්බන්ධයක් තිබේ. නමුත් අල්  කයිඩා ප්‍රධානි ඔසාමා බින් ලාඩන් මරු දුටුවේ  පකිස්ථානයේය.මේ නිසා  සෞදිය තවත් අයි එස් අයි කෙරෙහි එතරම් විශ්වාසය තබන්නේ යයි කිව නොහැකිය. ඔවුන්ට කෙලින්ම එහි වහබිවාදය ඉගෙනීමට  එන ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණ තරුණියන් සිටී.  මේ නිසා පකිස්ථානය ශ්‍රී ලංකාවේ  උතුරු නැගෙනහිර ඉස්ලාමික අන්තවාදීන් පුහුණු කර දකුණු ඉන්දියාවට පහර එල්ල කිරීමට සැරසෙන බවට එන චෝදනාව බිඳ වැටේ. පකිස්ථානය සමග  ශ්‍රී ලංකාවේ ඇති සුහද යුධ සම්බන්ධතාවය ඉන්දියාවේ රුස්සන්නේ නැත.
බෝම්බ කරුවන් යයි කියන ඡායාරුපය 

ඒ අතරම වසර 2016 සත්හඬ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් සමාජ ජාල වල සැරි සරයි ඒ තව්හිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ට   බුද්ධි අංශය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ මුදල් ගෙවූ බවයි. මේ ලිපිය බලන්න.
මෙහි ඇත්ත නැත්ත කෙසේ වුවත් මේ පිළිබඳව විරෝධයක් පෑමට මට නොහැකිය. ආරක්ෂක ලේකම් වශයෙන් බුද්ධි තොරතුරු සපයා ගන්නට එවැන්නක් කිරීම වරදක් ලෙස දැකිය නොහැකිය. එවැනි දෑ ඕනෑ  තරම් ඇමෙරිකන්, රුසියන්, බ්‍රිතාන්‍ය ආරක්ෂක ජාලයන් කරති.  ප්‍රශ්නය වන්නේ ඔහු එම ජාලය  දැන් භාවිතා කළේද යන්නයි. ඔහුට චෝදනා කරන අය ඔහු එසේ කළ බවට සාක්ෂි සැපයිය යුතුය.

මේ ලිපියේ ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය ගැන සඳහනක් එයි. පකිස්ථානය සමග ඇති සම්බන්ධතාවයට ඉන්දියාව එදා විරුද්ධ නොවුනේ ශ්‍රී ලංකාව හරහා LTTE සංවිධානය පරාජය වනු දැකීම ඉන්දියාවේ අභිප්‍රාය වූ නිසාය. නමුත් 2003 දෙසැම්බර් මස පකිස්ථාන  ජෙනරාල් ඛාන් ගේ ශ්‍රී ලංකා ගමන ඉන්දියාව අනුමත කළේ නැත. එයට හේතුව ඉන්දියාවට විරුද්ධ ජිහාඩ් යුද්ධයේ සැපයුම් කරුවක ඔහු බවට ඉන්දියාවේ සිතීමයි. දැන් මේ ටැමිල් ගාඩියන් එකේ කර්තෘවරයා ම බිබීසී සේවයට කිවූ කතාවක් අන්තර්ජාලයේ සැරිසරයි. ඒ සිංහල බෞද්ධ අන්තවාදය මේ ප්‍රහාරයට හේතුව බව ඔහු පුන පුනා පැවසීමයි. එම ප්‍රක්ෂයට විරුද්ධව පෙත්සමක්ද මේ දිනවල අන්තර්ජාලයේ  සැරිසරයි.   මතක තබා ගන්න බිබිසී දකුණු ආසියානු සේවයේ රැකියා කරන්නන් බොහොමයක් දකුණු ඉන්දීය ජාතිකයන්ය. ඔහු කිවූ දෙයෙහි සම්පූර්ණ වැරැද්දක් නැත්තේ සිංහල බෞද්ධ අන්තවාදයේ පැවැත්ම  බොරුවක් නොවන නිසාය. නමුත් මේ සිද්ධියේ බෝම්බ පිපිරුනේ සිංහල බෞද්ධ ස්ථාන වල නොව කතෝලික පල්ලි  හා සංචාරක හෝටල් වලය. චීන ආයෝජනයක් වූ ෂන්ග්‍රි- ලා ද එකකි. ඉන්දියානු  සම්භවයක් ඇති ටාජ් සමුද්‍රා හෝටලයට ගහන්නට පැමිණි ත්‍රස්තවාදියා අනිත්ම මොහොතේ හැරී ගොස් තමන්ම බෝම්බ පුපුරුවාගෙන අහිංසක පෙම්වතුන් දෙදෙනෙක්ද මරාගෙන මැරුණේය.
ටැමිල් ගාඩියන් කර්තෘ වුවමනාවෙන්ම හෝ ඔහුට ලැබුණු උපදෙසකට අනුව මෙවැනි ප්‍රකාශයක් කළාද? හේතුව මේ කරන්නේ සිංහල බෞද්ධයන් යි හඳුන්වා ගන්නා  කණ්ඩායම් ඕනෑ කමින්  ඇවිස්සීමක් හෙයිනි.

රකේෂ් ක්‍රිෂ්ණන් ගේ ලිපියේ අවසාන කොටස බලන්න.  ඔහු කියන්නේ   ශ්‍රී ලංකාව මේ ව්‍යාකුල තත්වයේ සිටීමට ඉන්දියාව වගකිව යුතු බවය. "ශ්‍රී ලංකාවේ දෙමළ  ඊලාම් රාජ්‍යයක් නොසැදීමෙන් ඉන්දියාවට සැමවිටම අවනත වෙමින්  කටයුතු කළ ශ්‍රී ලංකා දෙමළ  ජනතාවට  ඉන්දියාව  කලේ මහත් අසාධාරණයකි.  කාශ්මීර මිනිසුන්ට වඩා මේ දෙමළ ජනතාව ඉන්දියාවට ආදරය  කරති. ශ්‍රී ලංකාව පකිස්ථාන ඔත්තු සේවය  අයිඑස්අයි තුරුලේ තබාගෙන නළවයි. 
සිංහල නායකත්වයට මතක් කර දිය යුත්තේ ශ්‍රී ලංකාව ඇත්තේ ඉන්දියාවේ පිටුපස (backyard) බවය. පකිස්ථානය ඇත්තේ ශ්‍රී ලංකාවට  සැතපුම් දහස් ගනණක් ඈත්වය.දේශීය ගිනි නිවන්නට ජලය ඈත රටවලින් ගෙන ඒමට කොළඹට නොහැකිය. " මේ මුළු ලිපියම පාහේ  තර්ජනයකි.

සිරිසේන ජනාධිපතිගේ ඩිලෙම්මාව 

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔහුට මරණ තර්ජනයක් ඇතැයිද එය රෝ
(ඉන්දියානු රහස් ඔත්තු සංවිධානය) එකෙන් විය හැකි යයිද නාමල් නමැති විහිළුකාරයෙකු ලවා  ප්‍රකාශයක් කෙරෙව්වේය. එය තව දුරටත් විහිළුවක් යයි මට සිතිය නොහැකිය. ඔහු එළඹෙන අන්තරාය දැන දැනම සිංගප්පූරුව ට  වී සිටියේ ඇයිදැයි මට දැන් සිතා  ගත හැකිය. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාට දිගින් දිගටම නීතිය හා සාමය ආරක්ෂක අමාත්යංශය සමග භාර  නොදෙන්නේ ජනාධිපතිට ඔහුගේ ඇති පෞද්ගලික වෛරයකට වඩා විශාල රටකට ෆොන්සේකා අවශ්‍ය නැති වීම විය නොහැකිද? ෆොන්සේකා මහතා යුද්ධය අවසන් කාලයේ සිටියේ චීනයේය. ඔහු චීනයට  හා පකිස්ථානයට වඩා හිතවත් බවට ඉන්දියාව සිතන්නේ යයි කිව නොහැකිද?

එසේ නම් රනිල් වික්‍රමසිංහ මහතා වැනි ඉන්දියාවට  විරුද්ධ නොවූ ඉන්දීය උදව්වෙන් පත්වුවෙකු ෆොන්සේකා මහතා  පත් කිරීමට ඉල්ලන නේ ඇයි? බොහෝවිට රටෙන් හා එජාපයේ අනිකුත් අයගෙන් ලැබෙන බලපෑම නිසා විය හැකිය. එසේම ඔහු ෆොන්සේකා මහතා ආරක්ෂා අමාත්‍යංශයට යැවීමට පහුගිය කාලයේදි එතරම් උනන්දු වූවා යයි මට නොසිතේ. අගමැති කම රැක ගැනීමට සටන් කළත් නීතිය  හා සාමය රකිම ගැන ඔහු සටන් කළේ නැත.

රනිල් වික්‍රමසිංහ සේද මාවත  ව්‍යාපෘතියට මෙන්ම වරාය නගරයටද විරුද්ධ නැත. එනිසා  ඉන්දියාවට  තව දුරටත් අනවශ්‍ය  අවලංගු කාසියකි.  ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ පැත්තේ තබා ගැනීමට ඇමෙරිකාව පනවන ඕනෑම කොන්දේසියකට යටත් වීමට  රනිල් වික්‍රමසිංහට සිදුවේ. එනිසා ඇමෙරිකාවද දිනුම්ය.

මා  2018 පෙබරවාරි මාසයේ ලියු ලිපියේ සඳහන්  කළේ සිංහල බෞද්ධ නායකයකු චන්දයෙන් පත් කිරීමට ශ්‍රී  ලංකාවේ  ප්‍රශ්න ඇති කළ යුතු බවයි. මා කීවේ මෙයයි.
"එවැනි රටකට නැගෙනහිර පැත්තේ මුස්ලිම් වරුන් සමග හෝ උතුරේ ඉතිරිවී සිටින දෙමල කණ්ඩායම් සමග සම්බන්ධතා  ඇති කර ගත හැකිය. විදේශයේ විශේෂයෙන්ම  එංගලන්තයේ හා කැනඩාවේ සිටින විසිරුන එල්ටීටීඊ කණ්ඩායම් සමග මුදල් මත  සම්බන්ධතා ගොඩ නගා  ගත හැකිය. බෝම්බයක් දෙකක් පිපිරවීම , පොඩි ප්‍රශ්නයක් ඇති කර සිංහල පෙදෙස් කුපිත කිරීම කළ හැකිය. සිංහල සංවිධාන කිහිපයකට  මුදල් පොම්ප කල හැකිය. සමහර විට පසුගියදා දිගන හා අම්පාර ප්‍රදේශයේ සිදුවුයේ ට්‍රයල් රන් එකක් විය හැකිය. මුදල් විසි කරන ප්‍රමාණය අනුව ලංකාවේ  "ප්‍රශ්න" හා "අරගල" ඇති කල හැකි බව පසුගිය කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් වලින් පැහැදිලි වේ"


ඔවුන් නැගෙනහිරින් ශ්‍රී ලංකාව අවුළුවා තිබේ, නමුත් තෝරා  ගන්නා සිංහල බෞද්ධ නායකයා කවුද? මට පෙනෙන විධිහට  එදා කිවූ පරිදි බැසිල් රාජපක්ෂ සමීකරණයේ තව දුරටත් නැත. මට සිහි වන්නේ තිදෙනෙකි. මුල් දෙදෙනා  ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ  අමාත්‍ය චම්පික රණවකය.  නෝර්වීජියානු ආධාර සමග ඉන්දියානු කුමන්ත්‍රණයකින් නිපදවුණු බොදු බල සේනාවට හසුවී තම සහෝදරයාගේ පරාජයට මග කැපුවේ ගෝඨාභය රාජපක්ෂය. දැන් ඔහු තමන්ගේම සංවිධාන සමග ජනාධිපති සටනට එළි බැස ඇත. ඉන්දියානු භක්තිමතකු ලෙස මා සිතන රාජිත සේනාරත්න මහතා චම්පික  රණවක ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගන්නවාට  අකමැති බව ඔහු විසින් දුන් සම්මුඛ සාකච්ඡාවකින් පැහැදිලි විය. නමුත් රාජිත ජාතිවාදී පැත්තේ කවදාවත් සිටියේ නැත. එනිසාම ඉන්දියාවට ඔහු තෝරා ගැනීමටද  නොහැකිය.  තුන් වැන්නා වන්නේ ජනාධිපති සිරිසේනමය. අයිසිස් යයි කියන ත්‍රස්තවාදීන් ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඉන්පසු ඔවුන් පරදවා  ජාතික නායකයෙකු ලෙස කරලියට  ආවොත් ඔහු දිනනවා සිකුරුය. ඉන්දියානු දාදුව  මේ තිදෙනා  වටා කැරකෙනවා ඇත යන්න මගේ හැඟීමයි.

කවුරු මොනවා කීවත් ඊළඟ ජනාධිපති වන්නේද ඉන්දියාව කමැති නායකයාය. විමල් වීරවංශ මහතා මොනවා කීවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති  බලතල නැති කිරීමේ නව ව්‍යවස්ථාවට සහයෝගය දෙන්නේ ඒ නිසා විය හැකිය. පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙකු  ශ්‍රී ලංකාවට  වඩා හිතකරය.

අසාර්ථක විප්ලවයක් (1971) හා නරෝද්නික් වාදී මරණීය ව්‍යාපාරයක් (1988-1989) මෙහෙයවූ රෝහණ විජේවීර මහතා ගේ පන්ති පහෙන් එක පන්තියක් වූයේ ඉන්දියානු ව්‍යප්තවාදයයි. ඔහුට එය නම් කරන්නට තිබුනේ "ඉන්දියානු අත පෙවීම් " කියාය.


Sri Lankan Authorities May Have Fallen Into a Trap Set by a Foreign Power

How Israel helped Sri Lanka prepare for mega-attacks

Israeli emergency responders share expertise in India, Sri Lanka

Sri Lanka's Faustian bargain with Pakistan: Exit LTTE, enter ISI

සෝවියට් විවාහ ගැන නොවේ - 5

ජාතික තව්හිත් ජමාල් සංවිධානයේ සාමාජිකයින්ට බුද්ධි අංශ ලැයිස්තු වලින් ගෝඨාභය පඩි ගෙවූ හැටි හෙළිවේ




Monday 22 April 2019

සිදුවීම් පිළිබඳ ප්‍රශ්න කිහිපයක්

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා සිට අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධනට ආරක්ෂක රැස්වීම් වලට සහභාගී  වීමට ඉඩ නුදුන්නා නම් ඒ  ඇයි ?

තිලංග සුමතිපාල මහතා එම රැස්වීම්  වල සිටියානම් ඒ කුමන වගකීමකින්ද?

ආරක්ෂක ලේකම්වරයා ට මේ ගැන කලින් දැන්වීමක් එවා  තිබුනා නම්, ඔහු ඒ ගැන ක්‍රියා නොකළා නම් ඔහු ඉල්ලා අස්  නොවන්නේ ඇයි ?

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යැවූ ප්‍රහාර ගැන අනතුරු හැඟවීම් ඇතුලත් ලිපිය සමාජ මාධ්‍ය ජාලයන්ට හෙළි කලේ කවුද?

ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති අර ලියුම ගැන දැන  සිටියානම් ප්‍රධාන පල්ලි වල ආරක්ෂාව තර නොකළේ ඇයි ?
හමුදාපති නොදැන සිටි බවට ආරංචියක් තිබේ.

Army says Police did not share intelligence report


හරීන්  ප්‍රනාන්දුගේ පියා පවා  දැනගත් දෙයක් රනිල්, රුවන් ඇතුළු කැබිනට්  මණ්ඩලය දැන  නොසිටියේ යයි කීම ඇත්තක්  වන්නේ කෙසේද?

ආරක්ෂක මණ්ඩලයට නොගෙන් වූවාට අගමැතිට හදිසි අවස්ථාවක ආරක්ෂක හමුදාවලට අණ දීමට නොහැකිද?

සිරියාවේ අයිසිස් සංවිධානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියායි කියන  25ක්  පමණ වූ අන්තවාදීන් අත් අඩංගුවට නොගත්තේ ඇයි?

අවසන් වශයෙන්  වසර දහයකට පෙර අවසන් වූ LTTE සමග යුද්ධයේදී   තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට සිටි බව ඇත්තක් ද?



Saturday 20 April 2019

පාස්කු බිත්තර සහ බෝජා පවුල

ජෙරෙමි අයන් ඇලෙක්සැන්ඩර් සෙක්ස්ටස් ලෙස 
අද ශ්‍රී ලංකාවෙන් ලැබුණු ආරංචි නිසා මේ ලිපිය ඉවත් කරන්න හිතුවත් එසේම තබනවා. ලිපිය ලිව්වේ කතෝලික ජනතාව දැන්  කොතරම් සාමකාමී දැයි පවසන්නත් එක්ක. ඔවුන්ගේ පල්ලියේ ඉතිහාසය  සම්බන්ධ රූපවාහිනී වැඩ සටහන් මාලාවක් ගිය විටදී පවා ඔවුන් ඒ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විරුද්ධ නොවූ අන්දම පෙන්වන්න. 

 සියළුම මනුෂ්‍ය ඝාතන සහ අන්තවාදී ක්‍රියා තරයේ හෙලා දකිමි.

********************************************************
අපේ ළමයි පුංචි කාලේ, අපි පාස්කු ආහාරය ගත්තට පස්සේ පාස්කුවට ඇවිදින්න යනවා. එහෙම යද්දී  යද්දී චොකලට් වලින් තැනූ පාස්කු බිත්තර (easter eggs)  තැන තැන සඟවනවා. ඒවා හංගල තියෙන්නේ පාස්කු හාව කියලයි ඒ ගොල්ලන්ට කිව්වේ. නත්තලට එන නත්තල් සීය හරි, දතක් වැටුනහම සල්ලි හරි තෑග්ගක් හරි කොට්ටේ යට තියන  සුරංගනාව  (tooth fairy) වගේම පාස්කු හාව චොකලට් බිත්තර ගස් යට හංගනවා ඇති  කියල පොඩි උන් විශ්වාස කලා ද කියල  මම දන්නේ නැහැ. . අපි මේ නිවාඩුව එක්කෝ ජර්මනියේ නැත්නම් ලන්ඩන් වල ගත කළේ. ඉතින් මේවා සිරිතකට වගේ කළ දේවල්.

ළඟදී පොඩි දුව කීව එයාට ඕන  වුනේ හංගල තියෙන චොකලට් කන්න විතරයි කියල.  නත්තලට තෑගි හදිසියේ මතුවුන එක පුදුමයක් වුනත් හොඳම අත්දැකීම තෑගි විවෘත කරන එක කියල.  කොටින්ම ඒ ගොල්ල ඒවා වැඩිය විශ්වාස කරල නැහැ. අවස්ථාව වින්ද විතරයි කියල තමා කිව්වේ. වෙන්නත් පුළුවන්.

අපේ පවුලේ සංස්කෘතීන්  දෙක අනුව අලුත් අවුරුද්ද සමරලා පාස්කු සමරන එක අලුත් දෙයක් නෙමෙයි.  ඒවා වැඩියෙන්ම ළමයි වෙනුවෙන් කළ දේවල්. පස්සේ කාලෙක ඒ ගොල්ලන්ට ඉක්මනින් තේරුණා චොකලට් හංගන්නේ අම්මයි  තාත්තයි කියල. ඒත් උන්ට ළමා විය සුන්දර මතකයක්.  වෙසක් වලට කූඩුවක් දෙකක් හැදුවට උන්ට ඒක දැනුනේ නැහැ. හේතුව ඒක මේ පැත්තේ අනිත් ගෙවල් වල සැමරීමක් නොවීම. ඒ කියන්නේ එහෙම සංස්කෘතික අත්දැකීමක් එන්නේ වැඩි දෙනෙක් එකට එකතුවෙනවානම් විතරයි. ඒ කියන්නේ මේවා සාමාජිය දේවල්.

සත්‍ය ඡායා රූපයක් 

වසර 1500 කියන්නේ ක්‍රිස්තියානි කැලැන්ඩරයේ වැදගත් එකක්. හයවැනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ ජුබිලියක් ප්‍රකාශයට පත් කලා.  මේ ජුබිලියේදී එයා කොන්ස්තන්තිනෝපලයෙන් පලා එන යුදෙව්වන්ට රෝමයේ ආරක්ෂාව සලසන ගමන් ඔවුනගෙන් එහි හිලව්වට ලබාගත්  ජේසුස්  වහන්සේගේ ශුද්ධවූ රුධිරයෙන් තෙත් වුනු හෙල්ල (The Holy Lance  ප්‍රදර්ශනය කලා . ඒක නරඹන්න නම්  වන්දනා කරුවන්  සෙන්ට් පීටර්ස් පෙන්ස් යනුවෙන් හඳුන්වන මුදලක් පාප් වහන්සේට (වතිකානයට) පල්ලියට ප්‍රදානය කළ යුතුද වුණා.

මෙහිදී තවත් මිල ගණන් සඳහන් මෙනු එකක් පාපෝච්චාරණය කරන කූඩු අසල තබා තිබුනා. උදාහරණයක් වශයෙන් ඔබ සොරකමකට පාපොච්ඡාරණය කරනවා නම් ඩුකට් 11 ගෙවන්න ඕනේ දෙවියන්ගෙන් සමාව ගන්න. මිනිහෙක්  මැරුවා නම් ඩුකට් 25. ස්ත්‍රී දූෂණයකට ඩුකට් විස්සක්. පොඩි වැරදි වලට අඩු ගණන්. කොටින්ම  කතෝලික පල්ලිය හෙවත් වතිකානය  දෙවියන්ගේ සමාව විකුණුවා. ඕන වරදක් කරලා වන්දනාවේ එන බැතිමතෙකුට  මුදල් ගෙවල තමන් කළ වරදවල් වලට සමාව අරගෙන ගිය හැකියි.
.
සුරූපී ලුකේසියා 

මේ හයවැනි ඇලෙක්සැන්ඩර් කියන්නේ අමුතුම පාප් වහන්සේ කෙනෙක්. සල්ලාල කම් libertinism  සහ ඥාති සංග්‍රහය  (nepotism)   ට අළුතින්ම හොඳ තේරුමක් දුන් අයෙකු ලෙස ඉතිහාසයට එක්වූ අයෙක්.

ඔහු ස්පාඤ්ඤ යේ වැලන්සියා හි රොඩ්රිගෝ දී බෝජා උ දොම් ලෙස 1431 දී උපත ලැබුවා. ස්පාඤ්ඤයේ  බලවත්  බෝජා පවුලේ ඔහුගේ මාමා අලෝන්සෝ ඩි බොර්ජා  වලෙන්සියා හි බිෂොප් වරයායි.  ඔහු යටතේ අධ්‍යාපනය ලැබූ  රොඩ්රිගෝට   තරුණ වියේදී ම පල්ලියේ කටයුතු භාරදෙනු ලැබුවා. මේ වනවිට  ඔහුගේ මාමා තුන්වන කැලික්ටස් නමින් පාප් තුමා බවට පත් වී සිටියා. ඔහු විසින් වසර 1456 දී වතිකානයේ කාදිනල් වරයෙකු ලෙස පත් කළ රොඩ්රිගෝ වයිස් චාන්සලර් (රෝමානු කතෝලික පල්ලි වල උප කුලපති ) ලෙස පත්වුණු පසු අතිශයින් විශාල ධනයක් රැස් කලා. මෙය කළේ දෙවැනි පෝප් පයස් ගේ බරපතල විරෝධය මැද. යුරෝපීය පුනරුදයේ (Renaissance) කුමරකු ලෙස හැසිරුණු රොඩ්රිගෝ පල්ලියේ අධ්‍යාත්මික ගුණ වගාවන්හි  දියුණුවක් ගැන  සත පහකට මායිම්  කලේ නැහැ .

ඔහු ප්‍රංශ රජු චාල්ස් ඉතාලිය ආක්‍රමණය කිරීමේදී  නේපල්ස් රාජධානිය  ප්‍රංශයට  ලබා දීම ප්‍රතික්ශේප කලා වගේම වෙනිසියට බලපෑ තුර්කි වෙළඳ කොල්ලයද නැවැත්වුවා. ඒවා ඔහුගේ ජයග්‍රහණයන් ලෙස සැලකිය හැකියි.

අනිකුත් කාඩිනල් වරුන්ට වගේම මේ පෝප් වහන්සේට වනෙස්සා කැටනේ නමින් නිත්‍යානුකූල  නොවන බිරිඳක්  සිටියා. ඇය ඔහුට  දාව චිසරේ, ජුවාන් (ස්පාඤ්ඤ හුවාන්),  ලුක්රේසියා හා ජෝෆ්රි නමින් දරුවන් හතර දෙනෙකු වැදුවා. ඇයට හොඳ මාලිගාවක් වතිකානයේ වියදමින් ඔහු විසින් ලබා දී තිබුන. ඊට අමතරව ඔහුගේදුර ඥාති යෙකු වූ  වූ ඔරිසිනි ගේ බිරිඳ ජුලියා ෆර්නේසි  ද හොර අඹුවක් ලෙස (වැනේස්සාට අමතරව)  වතිකාන මාලිගාවක තබා ගත්තා. තවත් රාජධානියක ප්‍රාදේශීය රජ කෙනෙක්ගේ බිරිඳත් ප්‍රංශ රජු අතර යුද්ධයේදී තම වසඟයට ගත් බව සඳහන් වෙනවා.

එසේම ඔහු ප්‍රන්ශුවන් ට  එරෙහිව  යුද්ධය ශුද්ධ වූ යුද්ධයක් ලෙස නම් කර යුධ භූමියට ගොස් (මිනිසුන් මැරීමට) භටයන්ට ආශීර්වාද කළා.

මේ  පාප වහන්සේ තමන්ගේ නිත්‍යානුකූල නොවූ දරුවන්ට මහත් ලෙස ආදරය කළ කෙනෙක්. එසේම තමන්ගේ බලය රැක  ගැනීමට ඔවුන්ව භාවිතා කිරීමට පසුබට වූවේ නැහැ.

    ඔහුගේ පුතා චිසරේ බෝජා ව (බෝජියා ඉතාලි භාෂාවෙන් Borgia)
කාඩිනල් වරයෙකු බවට පත් කලා , අනිත් පුතා හුවාන් (juan) පපාල් හමුදාවේ ජෙනරාල් වරයෙක් කලා. හුවාන් බෝජා   ගැහැණු ලෝලියෙක් වගේම බීමත්ව ගණිකා මඩම් වල  හැසිරෙන්නෙක්. දියණිය ලුක්රෙසියා ව පළමුව මිලාන්වල ජියෝවන්නි ෆොර්සා ට විවාහ කර දුන්නත් බලාපොරොත්තු හමුදා සහය ලැබුනේ නැහැ. එම විවාහය අවලංගු කර නැවත ඇයව අරගොන්හි අල්ෆොන්සෝ ටත් පසුව ෆෙරරාහී ඩියුක් වරයාටත් බඳවා දුන්න. මේ සියල්ල කලේ උපායමාර්ගික ලෙස බලය රඳවා ගන්නයි. හුවාන් ස්පාඤ්ඤ කුමරියකට පාවා දුන්නෙත් එලෙසමයි. චිසරේ පසුව ප්‍රංශයේ කුමරියක් විවාහ කර ගත්ත.  ජෙෆ්රි ගේ බිරිඳ නේපල්ස්  හි කුමරියක්. එයත් බලය රඳවා ගැනීමේ වෑයමකට. ජෙෆ්රි ට වයස 13යි බඳින කොට. එනිසා ඔහුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගත්තේ හුවාන් (දෙවැනි සහෝදරයා).

ලුකේසියා සහ ඇගේ වැඩිමහල් සහෝදරයා චිසරේ අතර අසම්මත ආදරයක්ද තිබූ බව කියැවෙනවා.

කන්ටරෙල්ලා නම් විෂ භාවිතා කර තමන්ට විරුද්ධ වූ බොහෝ අය  ඝාතනය කළ බවද අද රහසක් නොවෙයි.

  ඔහුව මරා දැමීමට නොයෙකුත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. වතිකානයේ බලය රඳවා ගැනීමට ඔහු කාඩිනල්වරුන් හිතුමතයට පත් කලා. ඉන් එක අයෙකු නම් ඔහුගේ හොර අඹුවක් වන ජුලිය ඵනෙසී   ගේ සහෝදරයා අල්සන්ද්රෝ ෆර්නේසි. පසුව තුන්වන පොල් නමින් අති උත්තම පාප් පදවියට පත් වුනේ ඔහුයි.

හුවාන් ව පසුව මරා දැමුවේ වැඩිමහල් සහෝදරයා චිසරේ  බව කියැවෙනවා.

මේ පාප්වහන්සේ කළ හොඳ වැඩ අතරට ගැනෙන්නේ ඔහු කලාව සම්බන්ධ දේ දියුණු කළ බැවින් . මයිකල් ඇන්ජලෝ ට සිස්ටීන් පල්ලියේ කළා කෘති නිම කිරීමට  අනුබල දීම, සිමොනි (Simony)  නමින් ඔහුට දෝෂාරෝපණයක් ලැබුණු අධ්‍යාත්මික  දේ විකිණීම හෝ  මිලදී ගැනීම අවම කිරීම,  කාඩිනල් සහ පල්ලියේ බිෂොප් වරුන් හොර අඹුවන් තබ ගැනීම සීමා කිරීම මේ අතර වනවා. ඔහු නැවතත් රෝමයේ අනාථ දරුවනට නිවස්නයක් ඇති කලා . වතිකානයේ බලයද යුරෝපයේ වැඩි වුනේ ඔහුගේ බලයට තිබූ අසීමාන්තික ආශාව නිසයි.
ලියනාඩෝ ඩා වින්චි මිලාන් වල සිටියේත් මේ කාලයේ.  ඔහුට දැඩි ලෙස විරුද්ධ වුන බවක් පෙනෙන්නට නැහැ. 


තවත් වැදගත් දෙයක්  නම් කොලම්බස් "නව ලෝකය" සොයා ගත්තට පස්සේ ඒවායේ ජිවත්වන "වනචාරීන් " හොඳචාරීන් කරන්න මේ පාප් වහන්සේ අනුමැතිය දුන්න. එනයින් මේ පාප් වහන්සේ ශ්‍රී ලංකාව ටත් වැදගත් වන කෙනෙක්.  ලෝක ගෝලය දෙකට බෙදා බටහිර අර්ධ ගෝලය ස්පාඤ්ඤයටත් නැගෙනහිර පෘතුගාලය ටත් භාර දුන්න ජය ගන්න කියල. මේ බෙදීම සනිටුහන් කල ටොදෙසිල්ලස් නම් ගිවිසුම 1494 දී අත්සන් කලේ. වෙනත් යුරෝපීය රාජ්‍යයන් මේ ගිවිසුම ගණන් ගත්තේ නැහැ. (ඕලන්දය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය) පෘතුගීසින් ඉන්දියාවේ ගෝවට සහ 1505 දී ලංකාවට ආවේත් එහෙමයි.   

චිසරේ බෝජා ගේ යුධ ජයග්‍රහණ ආදිය පිටුපස් තවත් සුප්‍රසිද්ධ නමක් කියවෙනවා. ඒ මැකියාවෙලි. මැකියාවෙලි ගේ "කුමරා" පොත කියවා  තිබෙනවා නම් චිසරේ ගේ උපායයන් දැන ගත හැකියි. 

කෙසේ වුවත් චිසරේ බෝජා කියන්නේ ඉතිහාසයේ මගේ ප්‍රියතම චරිතයක්. මම සීතාවක රාජසිංහ, වීදියේ බණ්ඩාර, ජනරාල් කුතුසෝව් වැනි චරිත සමග එකට තබන කෙනෙක්.  

හයවැනි ඇලක්සන්ඩර් පොන්ටිෆ්  කළ හොඳ  දේට වඩා නරක දේ වැඩියි. මේ නිසාම ඥාති සංග්‍රහය ඉහල කොට සැළකූ  බලයට කෑදර දූෂිත පාප් වහන්සේ කෙනකු ලෙස ඔහු ඉතිහාසයට එක්වී තිබෙනවා.
දෙවියන් වහන්සේ ගේ මිහිපිට නියෝජිතයා හැසිරුණේ ඉතා අවලස්සන ලෙස බව හෙළිවුණා .

ඔහු ගැන රූපවාහිනී කතා මාලාවක් (සීරිස්) බටහිර රටවල රූපවාහිනියේ පෙන්වූවා  මෙයට කියන්නේ බෝජා (හෝ ඉතාලියානු බෝජියාස් ) කියල. පාප් වහන්සේ සහ ඔහුගේ පුතා චිසරේ අතර සම්බන්ධය ඔවුන් කළ ඝාතන ආදිය ඓතිහාසික මුලාශ්‍ර ඇසුරු කරගෙන කළ අනගිතම නිර්මාණයක්.

හැබැයි කතෝලික ලෝකයේ මේ රූපවාහිනි චිත්‍රපට මාලාවට ලොකු විරෝධයක් එල්ල වුනේ නැහැ. හයවෙනි ඇලෙක්සැන්ඩර් මදක් ශුද්ධ කරන්න කතාවල් ගියා වුනත්. කවුරුත් පෙළපාලි ගියේ නැහැ. නිර්මාතෘ නීල් ජෝර්ඩන් කවුරුත් ම උසාවියට දක්කන් ගියෙත් නැහැ. ඇප නැතිව හිර කලෙත් නැහැ. ජෙරමි අයන් ඇතුළු නළුවන් හොඳින් ඉන්නවා.  ඔවුන්ගේ භාෂණයේ සහ නිර්මාණ කිරීමේ නිදහස කවුරුන් වත් උදුරා ගත්තේ නැහැ.

මේ පාප් වහන්සේ ගැන විවේචන හා නැගුනු ජනතා විරෝධය නිසා  කතෝලික වතිකානුවේ පාලනය හොඳ අතට වෙනස් වුනු බවත් සඳහන් කළ යුතුයි.

තමන් අදහන ආගම කුමක් වුවත් එයට භක්තිවන්ත වීමේදී අන්ධ භක්තිය හානිකරයි.  වසර දහස් ගණන් පැරණි ආගම් වලට විවේචන එල්ලවීම ස්වභාවිකයි. ඒ  වගේම ඒවා භාර ගැනීමේදී ආවේගී නොවී පිළිතුරු දිය යුතුයි. වැරදි කරන අය සිටිනවා නම් ඔවුන් එළවා දැමිය යුතුයි. 

ලෝකය එදාට වඩා අද වෙනස්. දේවල් සඟවා තබන්න ඊයේ ට වඩා අද අමාරුයි.   කාගේ හෝ ලිපියක් , පොතක් නිසා භක්තියකට හෝ ඇදහීමකට හානි වෙනවා කියන්නේම  ඒ ගැන සැකයක් ඇති නිසා කියන එක නෙමෙයිද?  එසේ කළ  යමෙකු සිර කර තබනවා නම් ඒ මානව වර්ගයාට එරෙහිවීමක්. එවැනි ආගම්වල ශාස්තෘන් වහන්සේ කෙනෙක් අද සිටියානම් කරන්නේ එක්කෝ නිහඬව සත්‍යය හෙළි දරව් වන්නට  සැලැස්වීම. නැත්නම් තම අනුගාමිකයන්ට සත්‍යය පැහැදිලි කිරීම. තමන්ට ඇති රාජ්‍ය සම්බන්ධතා හා රජවරුන් මගින් ඕනෑම දෙයක් කරන්නට බලය තිබුණත් ඔවුන් ඒවා භාවිතා කලේ නැහැ. 

ඔබට සුභ පාස්කුවක්.




මූලාශ්‍ර :
Cesare Borgia
Pope Alexander VI, born Rodrigo de Borja
Treaty of Tordesillas
Simony
Giulia Farnese
Pope Paul III
උපුටා ගැනීමේදී කරුණාකර යොමුව ඇතුලත් කරන්න.

Sunday 14 April 2019

සුභ නව වසරක් ෆේස්බුක් සමාජවාදය එක්ක

මම මේ කල්පනා කළේ ඇත්තෙන්ම අපේ සිංහල සහ දෙමල යහළුවෝ අවුරුද්ද සමරන්නේ කොහොමද කියල. සමරන හැම දෙයක්ම ෆේස්බුක් එකේ බෙදා ගත්තේ නැත්නම් ඒක අඩුවක් කියල හිතන අය ඉන්න බව පේනවා.

මට ඊයේ රෑ ඉඳන්ම මෙසේන්ජර්, වයිබර් , වට්සැප් වලින් අවුරුදු සුභ පැතුම් ගලා එනවා. සමහර ඒවා මට එල්ල කරලම නෙමේ මුළු ගෘප් එකකටම. ඇයි දැන් හරිම ලෙහෙසියි ගෘප් එකකට සුභ පැතුමක් යවන්න. ඒකෙ වරදක් නැහැ. නමුත් එතකොට අර පෞද්ගලික ලෙන්ගතුකම එතැන නැති වෙලා ගිහින් තියෙන්නේ.  පොදු සුභ පැතුමක්  දන්නා කියන යාළුවෝ ඔක්කොටම. ඔව්,  කිසිම  වෙනසක් නැතිව. හරිම සමාජවාදියි.

හැබැයි වෙන වෙනම එවන ඒවාට මුකුත් කියන්නත් හොඳ නැහැ. යාලුවෝ නේ එවන්නේ.  ඉතින් බැරි මරගාතේ හරි අකුරු කිහිපයක් කොටලා සුභ පැතුමක් යවනවා. නැත්නම් ඉතින් මම ගැන විතරක් සලකල එහෙම එවන යාලුවෝ නෑදෑයෝ ගැනත් හිතන්න එපයි. හැබැයි පණිවිඩ විස්ස තිහ පැන්නම ටිකක් කම්මැලියි උත්තර ලියන්න. එකම පණිවිඩේ කොපි කරලා පෝස්ට් කලා. අන්තිමට ඒකත් එපා වුණා.

ඕන මගුලක් කියල කුරුල්ලෙක් වගේ තියෙන  ඕකිඩ් මලකට හැපී නිව් ඉයර් කියල ලියල යාළුවන් ඔක්කොටම පෙනෙන්න දැම්ම බුකියේ . ඔය උඩ තියෙන්නේ.

මෙන්න එනවා තව ඒවා . එක වීඩියෝ එකක්  නගරේ කට්ටියක් සරන් ගහල යනවා පැලක් වටේ. පැලක්  කිව්වට ගැමි ගෙයක් පිදුරු හෙවිලි කරපු.  සිසිර සේනාරත්න මහත්මයාගේ සින්දුව දැම්මේ නම් නැහැ වෙන එකක් දැම්මේ අවුරුද්ද  ගැන.


හැබෑටම මොකටද මේ  පිදුරු හෙවිලි කරපු ගෙවල්. දැන් කොළඹ විතරක් නෙමේ වෙනත් පැති වලත් තට්ටු නිවාස  තියනවා.  උළු හරි ඇස්බැස්ටෝස් හරි  දාපු ගෙවල් තියනවා. ඒවල  අවුරුදු සමරන්නේ නැත්ද?  තරහ ගන්න එපා. ගමක අසිරිය පෙන්වීම ගැන මගේ කිසිදු විරෝධයක් නැහැ. ඒත් කෘතිමව හදපුවා?

ඒක කිව්වම මතක් වුනේ. මම මෙන්න මේ පෝස්ට් එකත් දැම්ම.
"දැන් ඉතින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වන ෆේස්බුක් එකේ රැඳෙන්න නැතිව පවුලේ අය නෑදෑ හිත මිතුරන් සමග විනෝද වෙන්න. ඒ ගොල්ලන්ව අඳුනගන්න , පංචි දමන්න, කැට ගහන්න ඒවා නැත්නම් කොම්පියුටර් ගේම් එකක්වත් ගහන්න දුව හෝ පුතා එක්ක . එලියට බැහැල එල්ලේ ගහන්න , චක් ගුඩු ගහන්න , පොල් කටු ගහන්න , කටු මැටි ගහල පිදුරු හෙවිල්ලපු ගෙයක් හොයාගෙන විහිළුවට හරි වටයක් ඇවිදලා සෙල්ෆි එකක් ගහන්න. මේ ෆේස්බුක් එකේ ටැග් ගැහෙන්නේ නැතිව කට්ටියම."
මට හිතුන කට්ටියම ෆේස්බුක් ඉන්නව මිසක් පවුලේ ඇත්තෝ  ගැනවත් හොයා බලනව ද කියල. මම නම් ඊයේ රාත්තිරියේ ඉඳන්ම පොඩි දුව එක්ක ස්පයිබෝර්ග් ගේම් එක සෙල්ලම් කලා. පැය හතක්  තවම ඉවර නැහැ.  අන්තිමට නවත්තල දාල නිදා ගන්න හිතුනා. එවෙලේ හිතුන පංච දැම්මනම් ඊට හොඳයි කියල. කොහෙද ඉතින් ඒවා හොයන්නේ. දුව කියනව ස්නේක් ඇන්ඩ් ලැඩර් සෙල්ලම් කරමුලු. කොම්පියුටර් එකේ. ම්හු  හරියන්නේ නැහැ.

ඔය අතරේ කල්පනා වුනා  ඇයි හැමෝම ෆේස්බුක් ඉන්නේ කියල. සමාජවාදී කට්ටිය. පරණ වමේ කට්ටිය. නව ලිබරල් වාදී කට්ටිය. පැරණි  එක්ස් කණ්ඩායම,  අලුත් එක්ස් කණ්ඩායමේ ප්‍රහාරක එකවුන්ට් බලඇණි, ධනපති කට්ටිය, ජාතිවාදී කට්ටිය, සිංහල බෞද්ධ කට්ටිය, කතෝලික බෞද්ධ කට්ටිය, කතෝලික අන්තවාදීන් , මුස්ලිම් අන්තවාදීන් , මුස්ලිම් කට්ටිය , අධිරාජ්‍ය විරෝධී ජාතිවාදීන් , අධිරාජ්‍ය විරෝධී මාක්ස්වාදීන් - තව ඉන්නවා නම් මතක් කරලා කියන්න, ඔය ඔක්කොම කිසිම භේදයක් නැතිව එකිනෙකා ට බැණ අඬ ගසාගෙන ඉන්නේ එකම බුකියේ එක වහලක් යටනේ ඉතින්.

තමන් කන දේ,බොන දේ, රෙන දේ , යන වාහනේ , නොයන වාහනේ, බිරිඳ, පෙම්වතිය , පෙම්වතා , කුක්කු ටෝක් ඔක්කොම යන්නෙත් ඒකෙ.  ඇමතිලා, පලා  බබාල , අගමැති අකවුන්ට්, ජනපති එකවුන්ට් , හමුදාවල් , පොලිසිය ඒ ඔක්කොමත් එතන. ඒ කියන්නේ ෆෙස්බුක් එකේ හැමෝම එක සමානයි. ඒකෙ සමාජවාදය පිහිටුවල ඉවරයි. කිසිම ලේ හෙලවීමක් නැතිව.

ඉතින් යාලුවනේ මට හරිම සතුටුයි. යන්තම් මාක්ස් කියපු දෙයක් ෆෙස්බුකෙන් හරි සාක්ෂාත් කරගන්න ලෝකවාසී  ජනතාව සමත්වීම ගැන.

සකල ලෝක වාසී ෆේස්බුක් අරගලකරුවනි එක්වව්.

බ්ලොග්  ජනතාවට සතුට සැපත සෞභාග්‍යය, විදුලිය  හා මැතිවරණ පිරි  සුභ නව වසරක්.  




Monday 8 April 2019

හදවත් සනහා දෙසවන් පිනවා ඔබ යන්න ගියා ඇය නැවත සොයා


පසුගිය දවසක ඔබ තනුවක් ලියූ
අමරසිරි පීරිස් ගේ ගැඹුරු හඬින් ගැයූ
හදවත පතුලටම කිඳා බහින ගීතයක්
අර ගත්තා මතකයි මගේ
මතකයක් ගැන ලියන්නට

ඇත්තටම පසුව දැන ගන්නට ලැබුනේ
ඔබ අසනීපයෙන් බව
ඒ දැනගත්තෙත්
ඔබේ ධජයත්  ඉහලින්ම ඔසවන් යන
කසුන් කල්හාර ගායකයාණන් ගැන
අවිනීතයින් පිරිසක්
ලියූ දෙයක් ගැන හිතවතෙක්
ලියූ පිළිතුරක්  දැක


එදා ඇත්තටම දැනුණත් කණගාටුවක්
ඒ ජීවිතය මැයි සිතා  සැනසුනේ
සුවහසකුත් එකක්
ගී තනු තුල ඔබ ජිවත්වන බව
ඔබ නොමියෙන බව දැනගෙනයි

කසුන් ගේ සවන් පිනවන මියුරු හඬ
ඔහු ගේ දස්කම ඔහුගේම වගේම
ගීතවත් වූ පවුලක ඔබේ
බලපෑමත් තිබෙනවා  ඇති
අප සවන් පිනවූ
සුන්දරවූ ඔහුගේ මව් තුමියගේ  සේම

ප්‍රේමයේ විල් තෙරක සිට
කඩ මන්ඩියේ දොළ අයින දක්වාත්
අහසින් තරුවක් කඩා හැලුණු කළ
එක යායට මල් පීරුනු බිම් තීරයකටත්
පණ පෙවූ ගී තනු ඔබෙයි

හද සැනහූ ගී ලියූ ඒ සොඳුරු මිනිසුන්ගේ
වදන්වැලට  පණ පෙවූ එගී  ගැයූවන්ගේ
ගේය පද ඇඳ බැඳ තබන්නට
මනරම් වූ සංගීත හුයකින්  බැන්දේ  නුඹයි

ඒ පිනම ඇති දෙව්ලොවක් ඇත්නම්
සැප විඳින්නට
නිවනක් ඇත්නම්
එය ලබන්නට

සුභම වූ  ගමනක්  මහා කලා කරුවාණෙනි
සඳ තරු නිහඬයි - ගායනය ඩබ්ලිව් ඩී අමරදේව
ගී පද : කුලරත්න ආරියවංශ සංගීතය : එච් එම් ජයවර්ධන