Wednesday 11 November 2020

ෆේස්බුක් පන්දාහ හා යාළු නොයාළු


මම ලඟදි දැක්ක යහළුවෝ කිහිප දෙනෙක්ම පන්දාහ සමරනවා, පෞද්ගලික දේවල් දමන්නේ නැතිව හුදී ජනයා කෙරෙහි අනුකම්පාවෙන්  ලියන කියන දේවල් විතරක් දානවා නම් පන්දාහේ  අවුලක් නැති බවයි මගේ හැඟීම. මොකද පන්දහ තියන කොට අනිත් අය පෝස්ට් කරන ඒවා පේනවා බොහොම  අඩුයි.  තමන් පෝස්ට් කරන එක විතරයි  වැඩිපුරම පේන්නේ. හරියට දේශපාලන කණ්ඩායම් වලට තමන්ගේ පක්ෂේ අය දාන පෝස්ට් විතරක් පේනවා වගේ.

මේ ඊයේ පෙරේද   උන දෙයක් තමයි ෆේස්බුක් එක අලුත් කරපු එක. ක්ලැසික් එක අයින් වුනහම මම follow කරපු යාලුවෝ ඔක්කොම ඉබේම unfollow වෙලා. (පස්සෙන් ගිය අය කියල ලියන්න බැරි නිසා ඉංග්‍රීසි වචනේ දානවා 😀- අනුගමනය කරන කියලත් කියත හැකි ඉතින්. නමුත් හරි තේරුම එන්නේ නැහැ. .)  ඉතින් දැන් හම්බ  වෙන වෙලාවට ආයි එයාලව follow කරගෙන යනවා.

  මම ෆේස්බුක් ආපු කාලේ ඒ කියන්නේ 2006 විතර දිගට හරහට යාළුවන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යැව්ව. අවුරුද්දකට පස්සේ වැඩේ නැවැත්වුවා. මොකද මට තේරුණා අනිත් අය මට එවන නිසා මම යවන්න ඕනේ නැහැ කියල.

පස්සේ කාලෙක තේරුණා මට ඕන දේශපාලන අදහස් හෙම ලියන්න බැහැ  ඔෆිස් එකේ  බුවාලා ටික ඉන්න කොට කියල. ඒ ගමන ඔෆිස් එකේ එවුන්ව නොයාළු (unfriend) කරලා දැම්ම. සන්නස්ගලගේ තැප්‍රෝබේන් ගිහින් ගත්ත මහැදුරු ගම්ලත් ගේ ශබ්ද කෝෂයේ තියෙන්නේ පසමිතුරු, අමිතුරා කියල ඕකට. ඉතින් මම කල්පනා කළා "නොයාළු " කියන වචනේ හොඳයි කියල. සමහර ඔෆිස් එකේ එවුන් තවමත් මට නෝක්කාඩු  කියනවා ඩ්‍රින්ක් එකක් දාන්න ගිය වෙලාවට . 
"උඹ මාව නොයාළු කළා නේද අජිත් " කියල. මම උන්ට කියන්නේ මම ෆේස්බුක් එකේ නොයාළු කල නිසා තමයි මම තවම  මෙතැන වැඩ කරන්නේ. උඹල තවම මගේ එක්ක වැඩ කරන්නේ කියල.

ඔහොම ඉන්න කොට යාළුවෝ ප්‍රමාණය දෙදහකට  වඩා  වැඩි වුනා. ඊට පස්සේ නිවාඩු කාලෙක කළේ එක්දාස් පන්සියක් විතර නොයාළු කරල දැමීම.
 
අර සම්මාන උළෙල කරන කාලේ එක එක ඒවා පල කරන්න ගිය වෙලේ ආයි වැඩි වුනා. ඒ පාර තුන්දාහක් විතර. ඊට පස්සේ ආයි දාහක් විතර නොයාළු කළා. තරහකට නෙමේ. මට යාළුවන්ගේ නෑදෑයන්ගේ පෝස්ට් පේන්නේ නැතිව ගිය නිසා. ඊට පස්සේ පොත් ලිවිම හෙම කරන්න පටන් ගත්තට පස්සේ ආයේ වැඩි වෙන්න ගත්ත යාළු ඉල්ලීම් . දැන් ඉල්ලීමක් කලහම නොපිළිගෙනත් බැහැනේ .ආඩම්බරේට කියල හිතයි අනුමත කළේ නැත්නම්.  පස්සේ මම හැදුව ගෘප් . ගොඩක් පෞද්ගලික දේවල්  ළඟම යාලුවෝ සහ නෑදෑ ගෘප් එකට. අනිත් ඒවා ඉතින්  ඔක්කොටම බලන්න හරි පේන්න හරි. සිංහල ගෘප් එක සිංහල කතා කරන අයට විතරයි. බ්ලොග් ගෘප් එක බ්ලොග් ලියන අයට විතරයි. ඉංග්‍රීසි පෝස්ට් එකක් නම්  ඔක්කොටම පේන්න දානවා. එනිසා මම දාන පොස්ට් ෂෙයාර් කරන්න බැහැ. පබ්ලික් දාන්නේ නැති නිසා.

මේ අතරේ මතක් වෙන සිද්ධි දෙක තුනක් තියනවා. මේවා මේ ඇරියස් කවර කරන්න ලියන ඒවා නෙමයි ඔන්න. යාලුවෝ දෙන්නෙක් හිටිය. ඩ්‍රින්ක් එකක්  දාගෙන ඉඳියප්පයක් කාගෙන විහිළුවක් කරගෙන ඉන්න පුළුවන් දෙන්නෙක් විධිහට දැනන් හිටියේ. සෝවියට් රුසියාවේ ඉගෙන ගත්ත අර ෂැම්පේන් සමාජවාදී තාලේ දෙන්නෙක් හැබැයි. වමේ වගේ ඒත් වමේ නොවේ ඉන්න. මම ඉතින් ෆේස්බුක් දාන හුඟක් දේශපාලන  විහිළු පෝස්ට් වලට  හිනා වෙන එකෙක් නේ. සමර වෙලාවට ඕකට යන්නෙත් හිනා වෙන්න. පොඩි වලියක් ඇදගෙන ඉතින් ආයි හිනාවෙන්න.  එතකොට ඒකට යාවජීව රනිල්ද, 'ස' ද, පුතානෝද විමල්ද කියන එක අදාළ නැහැ.   මම  එකපාරක් මොකක් හරි ලිව්ව අපේ විමල් වීරවංශ ඇමති තුමා ගැන. එයා අර එයාගේ ළමයි අදාල කරගෙන දාපු පොලිටිකල් සීන් එකක් ගැන. අර යාලුවෝ දෙන්නට තද වුනා මාත් එක්ක. විමල්ට හිනා වුනා කියල. මේ දෙන්නම තද රාජපක්ෂ වාදීන් කියලත් මට තේරිලා තිබ්බේ. අවුලක් නැහැ නොව. දෙන්නම මෙසේජ් එව්වා.  අපි ඔයාව නොයාළු කරනවා. "සෝවියට් දේශයේ ඉඳලත් මේ වගේ හැසිරෙන එක ගැන අපට කණගාටුයි." මට ඔය කොනෙක්ෂන් එක තේරුනෙම නැහැ. විමල් නුයි සෝවියට් දේශයයි. ජවිපෙ හිටි නිසාද? තවම දන්නේ නැහැ. මම ඉතින් හා කිව්වා. යකෝ මම මේ දාහ දෙදාහ නොයාළු කරන  මිනිහට  ඕක මොකක්ද?
 
අවුරුදු  ගාණකට පස්සේ, මට ඒ දෙන්නව හදිසියේ මතක් වුනා. මට දැන් කල්පනා වෙනවා විමල් ඇමති තුමා වැඩි සද්දයක් නැහැනේ ඉතින්. විස්සට සපෝර්ට්. ද්විත්වෙට සපෝර්ට්. මාත් සපෝර්ට් විමල්  වගේම.  පොම්පියෝ ඇවිත් ගියා. MCC එකට මොනවා වෙනවද දන්නේ නැහැ. මෙයා ල දෙන්න  රාජපක්ෂ මහත්වරුන්ව නොයාලු කරලද දන්නේ නෑ  නේද . විමල් මැතිඳු තියාගෙන.  

හැබැයි ඒ දෙන්න වගේම දේශපාලන අදහස් තියෙන අය ගොඩක් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා. මම හිතන්නේ ඒ අය අවබෝධයෙන් ඉන්නේ දේශපාලන අදහස් වෙනස් වෙච්ච  පලියට මම යාළුවන්ට වෙනස් කම් කරන්නේ නැහැ කියල. 

ඔන්න තව කෙනෙක් හිටිය. ඒ පැත්තෙන්ම තමයි. වෙදැදුරෙක්. මම පොස්ට් එකක් දැම්ම මේ මේ,  මුස්ලිම් ජනයා ගැන. අන්තවාදීන්ට විරුද්ධ වෙන්න. මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරන්න තාලයේ එකක්. මෙයාට මාත් එක්ක දැන් මල පැනලා . බැනගෙන බැන  ගෙන ගියා මට. අර ඒ කාලේ ජනප්‍රිය වුන  ජනගහන කතාවත් දාල. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්. හුඟක් වෙලාවට එහෙම ජනගහනය වැඩි වෙන්නෙත් නැහැ හැබැයි. 

නමුත් මට ඉතින් හැම  ජාතියේම යාලුවෝ ඉන්නව. මුස්ලිම් කියල වෙනසක් කරන්න මම ලෑස්ති නැහැ. මෙයත් රාජපක්ෂවාදී තමයි. නමුත් මට හිතෙන්නේ එයා ඒ මහත්වරුන් ව හරියට අඳුන ගෙන නැහැ. රාජපක්ෂලා කියන්නේ ජාතිවාදීන් නෙමෙයි, ආගම්වාදීනුත් නෙමෙයි. පවුලේ සංයුතියෙන්ම ඒක තේරෙනවා.  ඒක  ඒ දවස්වලම මට වැටහිච්ච  දෙයක්. හැබැයි ජාතිවාදය වාසියට භාවිතා කරන එක නම් එයාල කරනවා. ජේ ආර් සහ  ප්‍රේමදාසත් කරානේ. මට ඒ පාරනම් පොඩ්ඩක් තරහ ගිහින් මෑන් ව නොයාළු කරලා දැම්ම.

අනේ ඉතින් මේ දවස් වල මට හිතෙනවා අර නොයාළු කරල දාපු යාළුවා ගැන. මුස්ලිම් මන්ත්‍රී ල ගෙඩි පිටින් හතක්ම ආණ්ඩුවට චන්දෙ දීල 20 ගොඩ දාගන්න. ඒ මදිවට අලි සබ්රි කියල මුස්ලිම් මහත්මයෙක් නේ  අධිකරණ ඇමති. තව දිගට ලිස්ට් එක ගෙනිච්ච හැකියි. ඒත් ඉතින් මම ජාතිවාදී නැති නිසා ඕවා අදින්න කැමති නැහැ. නමුත් අර නොයාළු කරපු යාළුවා ගැන පව් දෙයියනේ කියල හිතෙනවා. මට බැනපු බැනුන් මුස්ලිම් මිනිසුන්ට කත් අදිනවා කියල. එයා මොනවා කරනවා ඇත්ද? ෆේස්බුක් වහල ගෙදර ඉඳන් අඬනවද, කලිසම නැතිව වැඩට යනවද දන්නේ නැහැ කියල හිතෙන කොට පපුව වාවන්නේ නැහැ.  දේශපාලනේ නැත්නම් හොඳ මනුස්සයෙක්. ඒකෙ දෙකක් නැහැ.

ආ, තව ටිකෙන් අමතක වෙනවා. මම අර කොරෝනා හැදිලා කන්දකාඩු  යවපු  ඉතාලි කට්ටියට අනුකම්පා කරලා  දාපු කොමෙන්ට් එකකට හිත රිදුනු බ්ලොග් නංගියෙක්  සහ යාළුවෙක් ඒක තමන්ගේ වෝල් වල දාගෙන නැටුවනේ.  ඔන්නොහෙ එයාල දෙන්නවත්  නොයාළු කරලා දැම්ම. මොන මිත්තණියගේ රෙද්දද කියල. මට දැන් වාවන්නේ නැහැ. කොරෝනා පැතිරෙන  ලැයිස්තුව දැකල. ඒ දෙන්න මොනවා කරනවා ඇත්ද?  

ඉතින් ඔන්න ඔහොමයි. ඇත්තටම ජීවිතේටම දන්නෙවත් නැති අය  යාලුවෙක් යෙහෙලියක් කර ගන්න එකයි  නොයාළු කරන එකයි කියන දෙක අතරේ ලොකු වෙනසක් නැහැ. එයාලට ප්‍රශ්නෙකුත් නෙමෙයි. මට ප්‍රශ්නෙකුත් නෙමෙයි.


ඉතින්  ඊයේ පෙරේද හාරදහ පිරුන වෙලේ දෙසීයක් විතර නොයාළු කරල දැම්ම. කිසි හේතුවක් නෑ මට මාරාන්තික බයක් තියෙන්නේ පන්දාහට යන්න. 

ඒත් දැන් ආයෙත් යාළු ඉල්ලීම් (friend request ) එනව. පෙරේද බලනකොට හතලිස් දෙකක්ද කොහෙද? ඇක්සෙප්ට් නොකලොත් කවදාවත් නොදන්න නොදැකපු මේ අය තරහ වෙයිද? මම ආඩම්බරකාරයෙක් කියල හිතයි ද? හිතුවත් මොකෝ ඉතින් . මම දන්න කෙනෙක්ය? ඒත් ඉතින් අනිත් පැත්තට හිතනවා කොච්චර උනත් අඳුරන්නේ නැතිව හරි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වනේ කියල. 

මුදල් ආධාර සහ , කටින් පින්කම් වලට දායක  වෙන්න එවන ඒවත් තියනව. මම දන්නා කෙනෙකුට ඇරෙන්න එහෙම  උදව් කරන්නේ නැති නිසා ඒවා වලට නම් කණගාටුවෙන් වුනත් කරන්න දෙයක් නැහැ. 
   
දැන් මම මේ කල්පනා කර කර ඉන්නේ  හදනව තව ගෘප් දෙකක් කියල.

 අඳුනන්නේ නැති යාළුවෝ ගෘප් එක. නොයාළු කිරීමට ඉඩ තිබේ ගෘප් එක.
  පන්දාහට නම් මේ කපේට යන්නේ නැහැ කියල හිත හදා ගෙන ඉන්නේ. ඊළඟ නිවාඩුවට තුන්දාහක් විතර නොයාළු කරන්න තමා බලන්නේ. වැරදිලා හරි නොයාළු වුනොත් තරහ වෙන්න එපා ඔන්න. ඔයාව හරි එයාව හරි දන්නේ නැහැ කියල හිතල කරන දෙයක් මිසක් අමනාපයකට නෙමෙයි.  



Sunday 8 November 2020

සුභාෂ් ජයවර්ධන සහ කොපිය ගැන

අර කොපි කිරීමේ කතාවක් බුකියේ දිගටම යනවනේ. ඒකට ඇදීලා  තියෙන දේශපාලන පක්ෂය මේ කතාවට ගාව ගන්න එක වැරදියි. පක්ෂයකට හැමෝවම පාලනය කරන්න බැහැ . ලියන කියන ඒවා එහෙම. හැබැයි පක්ෂයේ අය  නිශ්ශබ්දව ඉන්නව නම් හොඳයි මොකද අදාල නැති නිසා. සුභාෂ් වීරතුංග ජයවර්ධන පුවත්පත් කලාවේදියෙක්. මා වරක් දෙවරක් හමුවී තිබෙන හොඳ මහත්මයෙක්. (හොඳ කොල්ලෙක්  කියමුකෝ). මේ එයාගේ අදහස මම බුකියේ දැක්කේ. ඒක සුන්දර හොඳ අදහසක් . ලෝකයේ හැම බුද්ධිමය නිර්මාණයක්ම අපි හැමෝටම අයිතියි කියන එක. තමන්ට අයිතිවාසිකම් නැහැ කියන. නමුත් මගේ තර්කය වුනේ ඒකෙන් කොපි කිරීම සාධාරණය කරන්න බැහැ  කියන එක. නිර්මාණය ට නම තියන්නේ නිර්මාණය කරපු තැනැත්තා ගේ නමින්. එහෙම අවශ්‍ය නැතිනම් බැන්ක්සි වගේ නිර්නාමිකව හැසිරෙන්න පුළුවන්. මමත් එහෙම ඕන තරම් ලියල තියනවා. ඒවා වෙන තැන්වල සංසරණය වෙනවා දැකලත් තියනවා. නමුත් අපි නමක් යොදන්නේ අපේ නිර්මාණයකට ඒක අවශ්‍ය නිසා. ලෝකයේ තිබෙන  බොහොමයක් නිර්මාණ නමකට ඇඳිලා තියෙන්නේ ඒකයි . නම අවශ්‍ය නැහැ කියල ක්වන්ටම්  බෞතිකයෙන් නැත්නම් බුද්ධාගම  ආශ්‍රයෙන් තර්ක කරන්න පුළුවන්.   නමුත් මට අත්දැකීම්  තියනවා මිනිස්සු අපිව පාවිච්චි  කරනවා කියල. එනිසා ලියන්නේ කවුද කියන එක වැදගත්, වෙන නමකින් හරි. එහෙම  අය ඉන්නව. කට්ටකඩුවේ ලොකු මල්ලි, විනිවිද ශ්‍රී ලංකා, එකොනොමට්ට වගේ අය . ඒ අයගේ දේවල් ගත්තත් ඒ නම සඳහන් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. 

 *******************************************************************

සුභාෂ් වීරතුංග ජයවර්ධන: කොපි කිරීම ගැන මට විවේචනය කරන්න බෑ හෘද සාක්ෂියට එකඟව..මොකද මාත් මොනවා හරි ලියනවා කියලා ලියන්න පටන් ගත්තේ අනුන්ගෙ ඒවා කොපි කරලා.. මුළු පාසල් ජීවිත කාලේටම මං සිංහල රචනා 10 ක්වත් ලියා නැති බව මට සහතික කරලා කියන්න පුලුවන්. මම සාපෙ පංතියේ පාවිච්චි කරපු සිංහල එක්සයිස් පොත අපෙ මාමා කෙනෙක් ගාව මේ මෑතක් වෙනකම් තිබුණා. මිනිහා එක අරන් තියාගෙන. තාම තියෙනවද දන්නෙ නෑ. ඒක ලස්සනට කවරේදාලා වැඩ දාලා තිබ්බ පොතක්. සිංහල මිස් රචනාවලට, ව්‍යාකරණවලට, සාහිත්‍යට ආදි වශයෙන් පොත් බර ගානක් වෙන වෙනම තියාගන්න කිව්වට මං ගාව ඒ ඔක්කොටම තිබ්බේ පි‍ටු 120 පොතක්. පි‍ටු 30න් 30 වගේ වෙන් කරගෙන සියල්ලටම.. අපරාදෙ කියන්න බෑ සපෙ විභාගෙ වෙන කොට ඒ පොතේ පි‍ටු 10 කවත් දෙයක් ලියැවිලා තිබුණේ නෑ.. එකම එක රචනාවක් විතරයි රචනා කොටසේ තිබ්බේ. ඒකත් මගේ නෙවෙයි කොපියක්.
මගේ මිත්‍රයා සුමිත් පෙරේරා (මපට්) ලස්සනටම රචනා ලියන්න පුලුවන් එකා. මිනිහ වචන ගොඩාක් දැනගෙන හිටියා.. ඒවා ලස්සනට ගලපන්නත් දැනගෙන හිටියා...දේවල් පරිකල්පනය කරනවා හරි ලස්සනට. මට ලියන්න දන්නෙ නෑ..තාමත් එහෙම බෑ.. පොතේ පිටුවක් පිරෙන්න ලියා ගන්න බෑ.. මංම හිතලා ලියපු රචනා දෙක තුනක් ඇති ගූ හතයි.. මං කරන්නේ යාලුවාගෙ රචනාව කියවලා ඒක උඩ යට මැද ඔක්කොම කලවම් කරලා මොක හරි ගලපලා අමුතු රචනාවක් ලියන එක.. සමහර මෝඩ ගෝතයොත් හිටියා කෙලින්ම ගෙඩි පිටින් රචනා කොපි කරන් උන්. උන් ඉතින් මිස්ගෙන් ගු‍ටි කනවා.. මං නෑ එහෙම..වෙන කේස් වලට ගුටිකාපුවා..පංතියෙන් එළපුවා තමයි තියෙන්නේ.. ඒ කාලේ මං මගේ කොපි කිරීමේ නිර්මාණාත්මක හැකියාව ගැන සතුටෙන් හිටියේ..කොහොම හරි සිංහලවලට ඩී සමර්ථයක් ලැබුණා.. යාළුවාට නෑ...වැඩේ කියන්නෙ ජීවිතේට රචනා ලියල පුරුද්දක් නැති මං විභාගෙදි ලිව්ව ලිවිල්ලක්.. කොළ 18 ක් පිරෙන්න පත රචනාවක්. මතක විදිහට මාතෘකාව වුණේ 'රූපවාහිනිය ළමා මනස විකෘති කරයි' වගේ එකක්. කොහොම මොනවා ලිව්වද මංදා..
ඉතිං ඔය නිර්මාණ ගෙඩි පිටින් කොපි කරලා ඒකට අයිතිවාසිකම් කියන එක පිළිගන්නේ තක්කඩි වැඩක් විදිහට.. අහුනොවෙන්න කරන එක වෙන වැඩක්. ඒක නිර්මාණාත්මක තක්කඩි වැඩක්.. ඔය බුද්ධිමය දේපොල අයිතිය වගේ ඒවා තියෙන්නේ ඒ තක්කඩිකම් වලක්වන්න. නමුත් ඒක පදනම් වෙන්නේ නිර්මාණයක මුල්‍යමය අගය, ලාබය පදනම් කරගෙන.. එහෙම නැතිව මිනිස් නිර්මාණයක් කාටවත් අයිති බුද්ධිමය දේපලක් වෙන්න බෑ. මොකද එහෙම ඒවා මේ ලෝකේ කාටවත් තියෙන්න විදිහක් නෑ.. ඒක තියෙන පුලුවන් ලෝකය මැව්ව කියන දෙවියන් වහන්සේට විතරයි. මිනිහෙකුගේ බුද්ධිය කියන්නේ එයා තනිව නිර්මාණය කරගත්ත දෙයක් නෙවෙයි. ඒක සාමුහික ශ්‍රමයක්. ඒ මං හිතන විදිහ.
තව ලංකාවේ සුප්‍රකට සම්මානනීය කලාකාරයෝ ඉන්නවා අනුන්ගේ නිර්මාණ ගෙඩිපිටින් කොපිකරපු. ගොඩක් වෙලාවට ආධුනිකයන්ගේ ඒවා.
මට මතකයි චන්ද්‍රකුමාර වික්‍රමරත්න ජීවත්ව සිටියදී එයාගේ කවි, ගීත එකතුකරලා පොතක් ගහන්න සූදානම් කරලා අත්පිටපතේ ගුණදොස් අහගන්න සුප්‍රසිද්ධ කලාකාරයෙකුට දුන්නා... ටික කාලෙකින් එයාගේ අතින් අත්පිටපත නැතිවුණා කියවෙනවා..චන්ද්‍රකුමාරත් අතුරුදන් වෙනවා. හැබැයි මේ කලාකාරයාගේ නමින් අලුත් ගීත ගනනාවක් ඒ දවස්වලම ලියැවෙනවා.. ඔව් ඒ චන්දරේ ගලපලා ගත්තු වචන සහ අදහස්.. ඒ ගැන දන්න කවුරුවත් මොනවත් කිව්වෙත් නෑ..මං මොකුත් කිව්වෙත් නෑ.. අලුත් සිංදු රස වින්දා..
කොපියක් වුණත් රසයක් විඳින්න පුලුවන් විදියට තියෙන්න ඕන කියන එකයි ඒකේ තේරුම.
------------

මගේ පිළිතුර: මේක එකඟ වෙන්න  පුළුවන් කතාවක් නෙමේ සුභාෂ්. කාගෙන් හරි කොපි කලොත් දෙයක් එයාගෙන් ගත්ත කියල ලියන්න ඕනේ. නැත්නම් ඒක නිර්මාණ මංකොල්ලයක්. ඔය ඔයා කියන මුළු කොටසම //බුද්ධිමය දේපොල අයිතිය වගේ ඒවා තියෙන්නේ ඒ තක්කඩිකම් වලක්වන්න. නමුත් ඒක පදනම් වෙන්නේ නිර්මාණයක මුල්‍යමය අගය, ලාබය පදනම් කරගෙන.. එහෙම නැතිව මිනිස් නිර්මාණයක් කාටවත් අයිති බුද්ධිමය දේපලක් වෙන්න බෑ. මොකද එහෙම ඒවා මේ ලෝකේ කාටවත් තියෙන්න විදිහක් නෑ.. ඒක තියෙන පුලුවන් ලෝකය මැව්ව කියන දෙවියන් වහන්සේට විතරයි. මිනිහෙකුගේ බුද්ධිය කියන්නේ එයා තනිව නිර්මාණය කරගත්ත දෙයක් නෙවෙයි. ඒක සාමුහික ශ්‍රමයක්.// වාමාංශික දේශපාලන පක්ෂ අනුන්ගේ දේවල් අරගෙන තමන්ගේ ප්‍රකාශන වල පල කරගන්න කරන කියන තක්කඩි කමක් ඕක . ඊට පස්සේ උඩ යන්නේ ඒවා උස්සල දාපු එකා. ලියපු එකා ගැන කවුරුත් දන්නේ නැහැ. පක්ෂේ එකෙක් දන්නෙත් නැහැ. ඔය තක්කඩි කම වෙබ් සයිට් වලත් කරනවා. එහෙම නම් ඔයා හම්බ කරන කිසිම සත පහක් (ලියල හම්බ කරන දේ) ඔයාට අයිති නැහැ. ඒවා අයිති ඔයාට උගන්වපු ගුරුවරුන්ට. එනිසා ඒගොල්ලන්ට ඒවා දෙන්න. අපට බුද්දිය හම්බ වෙන්නේ අපි ඒ පිලිබඳ ශ්‍රමය වැය කරන නිසා මිසක් ඉබේ සමාජයෙන් වත් ඉබේ ගුරුවරුන්ගෙන් වත් නෙමේ.ඔයා , මම ඒකට ශ්‍රමයක් වැය කරනවා. ඒ ශ්‍රමයට සාධාරණ වටිනාකමක් තියනවා. ඔයා සින්දුවක් හොරකම් කලොත් ඒකෙ පාඩුව සින්දු කියන්නට විතරක් නෙමේ. සින්දුවෙන් යැපෙන තව දාහක් ඉන්නවා. සින්දුවට වාදනය දෙන එවුන්, ඒකට ලයිට් දෙන එවුන්. තේ හදන , වේදිකා හදන දහසක් මනුෂ්‍යයන්ගේ ශ්‍රමය එතන තියනවා. ඊට බැ****පුතෙක් ඇවිත් ඒක  හොරකම් කරහම ඒක සාධාරණ නැහැ. මමත් සින්දු හොරෙන් බාගෙන තියනව. චිත්‍රපට බාගෙන තියනවා. ඔය විධිහට තමා හිතුවේ. දැන් දෙකම කරන්නේ නැහැ. සල්ලි තියනවනම් ගෙවල බලනවා. ගෙවල අහනවා එපමණයි. මගේ පොත් තුනක් තියනවා. මට හමුවුනා  කොපි ගහපුව. මම කාගෙන් හරි ගත්ත නම් අනිවාර්යයෙන් ගත්ත තැන ලියනවා. බ්ලොග් එකේ ලින්ක් දානවා. නැත්නම් ඒක  කැත වැඩක්. ශ්‍රම කොල්ල කෑමක්. නිර්මාණ කොල්ල කන්න හා කම්කරුවාගේ ශ්‍රමය කොල්ල කන්න අතර වෙනසක් නැහැ. දෙකම එකයි. දෙන්නම කරන්නේ කාගෙහරි අවංක ශ්‍රමයක් කොල්ල කන එක.

--------------

සුභාෂ් වීරතුංග ජයවර්ධන: මං ලියපු ඇඳපු දේවල් වලට මං අයිතිවාසිකම් කියන එක හිරිකිත වැඩක් විදිහට මට දැනෙන දෙයක්..ඒ හිරිකිත වැඩේ මං කරලත් තියෙනවා. ලිපියක් ලියල නම දාන එක චිත්‍රයක් ඇඳලා නම දාන එක..ඊයා...එහෙම නැතිව හෝ ඇතිව මං කරපු වැඩ වෙන අය අයිතිකරගෙනත් තියෙනවා.ඒවා පාවිච්චි කරලා වෙන ලාභ ,මුදල්, රස්සාවල්, තනතුරු ගත්තු අයත් ඉන්නවා.... මගේ ඒ වැඩ වලට මාත් මුදල් අරගෙන තියෙනවා.මගේ මුලික අවශ්‍යතාවයන්ගේ ප්‍රමාණයට. ඒ ඒක කරන්න වෙච්ච මහන්සියට සහ ඒ කාලයට. නැත්නම් මටයි මගේ යැපෙන්නනටයි බඩගින්නෙ මැරෙන්න වෙන්නේ. ලබන සතියේ වැඩක් නැති වුණොත් වෙන්න නියමිතත් ඒකයි.. ඒත් ඒ මහන්සිය මගේ ශරීරය දැරුවට ඒ දැනුම මට අයිති නෑ මගේ ගුරුවරුන්ට අයිතිත් නෑ. මං කොහෙ හරි තිබ්බ දේවල් එකතුකර ගත්තේ. ඒවාට තනි අයිතිකාරයෝ ඉන්න විදිහක් නෑ.ඒවා තුල තියෙන මිනිස් ශ්‍රමය, මේ ලෝකය මිනිසාට වඩා යහපත් තැනක් කිරීම වෙනුවෙන් අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ වගුරවපු දෙයක්...ඒවා අපි නැවත පාවිච්චි කරනවා නම් ඒවා අයිති විය යුත්තේ මිනිස් සංහතියටමයි. හොයල බලන්න බුද්ධ දේශනාව. ඒක තනිකරම කොපියක්.ඒ කාලේ තිබ්බ දැනුම එයා පාවිච්චි කළේ ගෙඩි පිටින්ම කොපි කරලා. බෝහෝ වෙලාවට ඒවා අහවලාගෙන් ගත්තේ කියලවත් එයා කිව්වෙ නෑ..ඒ එහෙම කියන්න ඕන නෑ..එයා අලුත් නිර්මාණයක් කළේ. ඒත් ඒකට කොපිරයිට් ඉල්ලුවෙ නෑ. අඩු ගානෙ ඒක රකින්න කිව්වෙත් නෑ..ඒ අලුත් නිර්මාණය හැමෝම එක්ක රස විඳිමු කියලා එයා යෝජනා කළේ.
මිනිස් නිර්මාණයක් කාගේ හරි පෞද්ගලික බුද්ධිමය දේපොළ අයිතිවාසිකමක් කියලා පිළිගන්නේ ඇයි? ඇයි අපි ඒවාට මිළක් නියම කරන්නේ.? ඒවාට ගෙවනේ ඇයි.? ඇයි ඒ වටිනාකම් සහිත දේපොළ හොරකම් කරන්නේ?
ඕනෑම දෙයකට මුල්‍යමය අගයක් තීරණය කිරීම මේ දේශපාලන ආර්ථික ක්‍රමයේ නියමයක් නිසා. ඒක පිළිගන්නවා නම් අජිත් ඔයා හරි. මටත් මන් ලියන කරන දෙයකට කීයක් හම්බු වෙන්නෙ ඒ නිසා..නැත්නම් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ. මොකද අපි හම්බ කොළොත් අපි කෑවා තියරි එක තමයි හැම තැනම ප්‍රයෝගික ඇත්ත.
ඒ අනුව නිර්මාණයකට අයිතිවාසිකම් කියන, හැම නිර්මාණකරුවෙක්ම අමු තක්කඩියෙක් බවට මේ දේශපාලන ආර්ථික ක්‍රමය විසින් පත්කර තිබේ. කොපි කිරීම (නිර්මාණ මංකොල්ලය) වැරදියි කියන එකේ පදනම තියෙන්නේ එතන.
--------------




මගේ පිළිතුර: මම හිතන්නේ මේක පෞද්ගලික අදහසක්. ඔයා ලියපු දේවල් ඔයාගේ නෙමේ කියල හැඟෙනවා නම් ඒක එහෙමයි. නමුත් ඔයාට ඒක අනිත් අයට ආදේශ කරන්න බැහැ. ඔය අප්‍රසන්න බොරුව මාත් කාලයක් ඇදහුවා.  ඒවා තුල මිනිස් ශ්‍රමය මිනිස්සු අවුරුදු ගානක් තුල වැවපිරුවේ නැත්නම් ඔය දැනුම ඔයාට ලැබෙන්නෙත්  නැහැ  මට ලැබෙන්නත් නැහැ. නමුත් ඒ දුන්න අයව අපි දන්නවා . ඒවාට නමක් තියනවා.  එකයි අදත් අපි ඔවුන්ව ආදරයෙන් මතක් කරන්නේ. බුදුන් හොයා ගත්ත අලුතින් කියපු දේවල් නැතිව ඇති. ඒ දවස් වල කොපි රයිට් තිබ්බේ නැහැ. නමුත් එයාගේ නම කියනවා. එයා උද්දක රාම පුත්‍ර ගාවට , පස්වග මහනුන් ගාවට ගියා කියල අපි කියනව. ඔවුන්ගේ අදහස්  වලට අපි නමක් දෙනවා. මාක්ස් ගේ නම කියනවා. අනිත් එවුන්ගේ නම්  කියනවා. බුදුන්ට කොපි රයිට් ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් සටන් කරන්න එවුන් ඉන්දෙද්දී. තමන් ලියපු  දේ නිසා තමා  ගෝර්කි, ඇරිස්ටෝටල් , ශේක්ස්පියර් නම් වෙලා තියෙන්නේ. ශේක්ස්පියර් ගේ නාට්‍ය "එයා හරියට ලිව්වේ නැහැ" කියල ඔයා කෑලි  දාල ලියල ඔයාගේ නමින් ඒක  පල කරලා සම්මානයක්  ගත්තොත් ඒක  සදාචාරාත්මක නැහැ. තර්කය ඒකයි . ඔයා කියන්න ඕනේ මේක ශේක්ස්පියර් ගේ නාට්‍යයක්, මම වෙනම මගේ විධිහට හැදුව. එහෙම කරන්න පුළුවන්. ඔයා මූලාශ්‍රය නම් කරල තියෙන්නේ.  අයිතිකාරයා මතක් කරලා. තව එකක් මතක් වුනා. මූලාශ්‍ර  හොරු වැඩිපුරම  ඉන්නේ ලංකාවේ . ඒ ගොල්ල දාන තර්කයත් ඒක . අරය මෙයා ලිව්වට ඕව අයිති ලෝකෙට. මිත්තනියගේ වස්ත්‍රය තමයි. . ඔය අප්‍රසන්න තර්කය  නිසා අනුන්ගේ පහනෙන් එලිය බලල දියුණු වෙච්ච  අය සමාජයේ වැඩියි. . අදත් එහෙමයි ලේඛකයන්ට. දියුණු වෙන්නේ වෙන එකෙක්. ඒ අස්සේ උන් ලියපු දේවල්  බොරු තර්ක ගෙනල්ල උස්සනවා. . 
//ඕනෑම දෙයකට මුල්‍යමය අගයක් තීරණය කිරීම මේ දේශපාලන ආර්ථික ක්‍රමයේ නියමයක් නිසා// සෝවියට් දේශයේදී ලියන්නන්  හැමෝටම පඩියක් ගෙව්වා. එනිසා සමහර ලියන දේවල් වලට නමක් අවශ්‍ය වුනේ නැහැ. ඒ වගේම පඩිය ගන්න ලියපු එව්වොත්  හිටිය.  නමුත් නිර්මාණ වලට නම් දුන්න. මොකද ඒක වික්කත් නැතත් බුද්දිමය අයිතියක් නිසා.  ඔහොම වෙන දේවල් වලටත් නැහැ කියල කියපු සමාජවාදී රංචුවක් හිටිය. තවමත් ඉන්නවා. හැබැයි හොයල බැලුවහම උන්ට අර අනිත් එවුන්ට අත අරින්න  කියපු ඔක්කොම තියනවා. හාමුදුරුවරුත්  එහෙමයි. අනිත් එවුන්ට අත හරින්න  කියන දේවල් උන් පාවිච්චි  කරනවා. මම දන්නවා  ඔයා පෞද්ගලිකව එහෙම කෙනෙක් නෙමේ කියල. නමුත් ඔය තර්කය රකින්න එපා ඒක  සදාචාරාත්මක නැහැ. අමන තක්කඩි කම තමයි නිර්මාණකරුවෙක්  ගේ දෙයක් කොපි කරන එකයි , ඒවා අරගෙන විකුණලා ජිවත් වෙන එකයි.බොහොමයක්  නිර්මාණ කරුවන් ,ගත්  කතුවරුන් හිඟා කාලා මැරිලා තියෙන්නේ ඒ නිසා. කතුවරයා මිය ගිහින් අවුරුද 150 කට පස්සේ අවසර ගන්නේ නැතිව පරිවර්තන අයිතිය හෙම දෙනවා. ඒවා ලෝක සංස්කෘතියට අයත් දේ වශයෙන්. එහෙම උනත් ඒ කතුවරයාගේ නම් පල කල යුතුයි. තමන් ගේ නමින් පල කරන්න බැහැ . ලෝකය පිස්සු ගුහාවක් වෙනවා නැත්නම්. 

Tuesday 3 November 2020

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක්


දැන් ඔයාලා කවුරුත් අර නයිට් ඇට් ද  මියුසියම් චිත්‍රපටය බලල තියනවනේ.  මටත් ඔහොම වැඩක් වුනා. අර කට්ටකාඩුව බ්ලොග් එක ලියන කට්ටේ ළමයා  මට වැඩක් පැවරුවනේ. අපේ බිරින්දෑ ගේ සහ පවුලේ ළමයින්ගේ බලවත් විරෝධය නොතකා කට්ටකාඩු උන්නැහේට අවශ්‍ය දේ සොයා ගන්න මම බ්‍රිටිෂ් මියුසියම් එකට ගියා.  ඒ ගොල්ලෝ විරෝධය පල කලේ මේ  කෝවිඩ් ප්‍රශ්නය නිසා, පොදු ප්‍රවාහන  සේවයේ ගිහින්  මට අසනීපය වැළඳෙයි කියන බයට. 

(හැබෑට වුනේ වෙන දෙයක්. ඒ විස්තර පසුව දැන  ගන්න ලැබේවි. දැනට ගියා කියල හිතන්නකෝ.)

ඉතින් ඒ ගියේ බිරින්දෑ වැඩට ගියාට පස්සේ හොරෙන්ම ගිහිල්ල එයා ගෙදර එන්න කලින් එනවයි කියල හිතාගෙන. නමුත් වැඩේ බරපතල කම කියන්නේ මට වෙලාව යනවා දැනුනේ නැහැ. කෞතුකාගාරය ඇතුලේ ඉන්දෙද්දීම ආවා කෝල් එකක්.

"ඔයා කොහේද ඉන්නේ  ඇවිදින්න  ගියාද "
සාමාන්‍යයෙන් මම හවසට ඇවිදින්න යන නිසා බිරිඳ අහනවා.  

බොරුවක් වත් කියන්න ඕනේ කියල හිතන කොට අනවුන්ස්මන්ට් එකක්  එනවා. අන්තිම  පැය භාගය තමයි මේ . කොරන දෙයක් කොරාගෙන පිට වෙන්න තියෙන්නේ කියල.  

"ඔයා ගියා නේද එපා කියද්දී  මියුසියම් එකට. එන්න එපා ගෙදර ලෙඩ වෙලා කියාගෙන. ගියානම් ඔහෙම ඉන්නවා.  " බිරින්දෑ තිබ්බ ෆෝන් එක. 

දැන් මොකද කරන්නේ වැඩේ බකල්. කියව කියව හිටිය ලංකා ඉතිහාසය, රාජාවලිය, අති විශේෂ මන්ත්‍ර  ගැන පුස්කොල පොත් කන්දරාව ආපහු දාන්නත් වෙලා යනවා. හොයා ගන්න ගිය වෙලාව නිසා දාලා යන්නත් මොකද්ද වගේ. ආයි හෙට එන්න කියලද? 

හිමින්ම  බෑග් එක ඇරලා බැලුව.  

හරි සැන්ඩ්විච් එකක් තියනවා තවම ඇතුලේ කෙහෙල් ගෙඩියකුත් එක්ක. වතුර බෝතලෙත් ඉතුරුයි.

මෙහෙමම  අද රෑ හොරෙන් ඉඳල හෙට යනවා.  මේ වැඩේ ඉවර කරලා . එහෙම හිතාගෙන මේස වලින් පිටි පස්සේ කෞතුක වස්තු තියෙන කොටසේ ප්‍රතිමාවකට එහායින් හැන්ගුනා. පහට හරියට කෞතුකාගාරය වහලා කට්ටිය එලියට යනව.  ඔය අතරේ මියුසියම් එක හෙට උදේට අරින වෙලාව බලන්න මම ෆෝන් එකෙන් වෙබ් සයිට් එක චෙක් කළා. 

මළ ම කෙලියයි. මෙන්න ලොක් ඩවුන් නිසා මියුසියම් එක මාසයක් වහනවලු.. 
දැන් මට  මේක ඇතුලේ  මාසයක් හිර වෙන්න වෙනවා.  කන්නේ බොන්නේ කොහොමද? වීදුරුවක් කඩාගෙන පනින්නත් බැහැ . මම ඉන්නේ උඩම තට්ටුවේ   ආසියානු කෞතුක වස්තු, ලංකාවෙන් සුද්ද හොරෙන් අරන් ගියය කියන  පුස්කොල පොත් තියෙන පැත්තේ. පහල  බිම් මට්ටමේ  කවුරුවත් පේන්න නැහැ. ඔක්කොම ගිහින්.

මම ඔළුවේ අත ගහගෙන බිම වාඩී වුනා. ඔලුවේ කැක්කුමත් වගේ දැන්.

ඒ අතරේ ලොකු කහ පාට එළියක් එක පැත්තකින් තියෙන විදුරු ජනේලයක් තුළන් ප්‍රාදුර්භූත වුනා. එළිය ටික ටික ලොකු වෙනවා. 
ඒ මොකක්ද යකෝ - මටම කියවුනා.
එළිය ටිකින් ටික බිමට පාත් වෙලා ආයි උඩට යන්න ගත්ත. නැහැ මේ මැවෙන්නේ රූපයක් . මල කෙලියයි යේක යෙකෙක්ද කොහෙද? අත් දහයක් විතර, මගේ අම්මෝ ඔළු ගොඩයි.
මගේ ඔලුව කැරකෙන්න ගත්ත. ඒ ළඟම තිබ්බ කෞතුක වස්තුන් තියෙන මේසයක්. වීදුරුව කඩල ඒකෙ තිබ්බ කිනිස්සකුයි කඩුවකුයි ඉස්සුවා. හාහ් වර බලන්න .
මමත් අරින්නේ නැහැ.

"පුත බිය නොවන්න. ඔබ පැමිණියේ කට්ටකාඩුව සෙනෙවි තුමාගේ කාර්යභාරයකට නොවේද ? තමන්ට වෙන කරදරය  නොතකා අධිෂ්ඨාන ශීලීව මෙසේ නැවතී ඉතිහාසය ගොඩ නැංවීමේ ඒ කාර්යභාරයට  ඔබ ඉදිරිපත් වීමම  විශිෂ්ඨයි. මා පැමිණියේ ඔබට උදව් කර මේ තැනින් සුවසේ නිවසට පිටත් කිරීමටයි. "

යන්තන් ඇඟට ලේ ටිකක් ඉනුවා. මේ යකා මාව මරාන   කන්න නෙමේ ඇවිල්ල තියෙන්නේ.

"ඔබතුමා කවුද, අනික අර කට්ටකාඩුවා වේ ලොකු මලයාට  සෙනෙවිතුමා කිව්වේ මොකද  " කිනිස්ස අතේ තදින් අල්ල ගනිමින්ම මම ඇහුවා.

"ඔබ මා කවුද කියා අඳුනන්නේ නැතිද? ඉතාමත් කණගාටුයි. මා තමයි ශ්‍රී ලංකා අධිරාජ්‍යය හා ඉන්දියාව පාලනය කල රාවණා නරේන්ද්‍රයානන්. මා  දැන් සිටින්නේ වෙනත් විශ්වයක. කට්ට කාඩුවා යනු එදවස මා යටතේ සිටි ශූර වීර සෙනෙවියෙක්. එතුමාට මා පිලිබඳ මතකය ඇති නිසා තමා ඔබව තෝරා ගත්තේ මෙහි එවීමට.   මා පැමිණියේ මා පිළිබඳවත්,  ශ්‍රී ලංකාවේ බුදුන් උපන් දේශය බවටත් ප්‍රාමාණික  විද්වතුන් ගෙනියන ඝෝෂාව සනාථ කිරීමට ඔබට උදව් කරන්නටයි "   

"මාර වැඩේ ලංකාවට වුනේ - නෙමයි මට වුනේ " මම මටම කියා ගත්ත. මං ආවේ වෙන වැඩකට. මදැයි දැන් මොකද කරන්නේ . බොරුවක් වත් කියල ශේප් වෙනවා. සමහරවිට මේ රාවණා ට දොර ඇරලා දෙන්න පුළුවන් වුනොත්.

"එහෙමයි එහමයි දේවයන් වහන්ස. ඒ පුස්කොල පොත් බලා මට මෙතැනින් යහතින් යා හැකිද?"

"එසේය පුතා. අවශ්‍ය කාලයක් මෙහි රැඳි සිටින්න. ඔබට අවශ්‍ය කෑම බිම පමණක් නොව අප විශ්වයේ  රාවනා මන්දිරයේ සේවයේ නියුතු අති සුරූපී රාවණා ලඳුන් කිහිප දෙනෙකුන් ද තව ස්වල්ප වෙලාවකින් ඔබගේ ආවතේව කිරීමට මෙහි ගෙන්වමි. ඔබට නිදා ගැනීමට රාවණා ෂටල්  නව යානයේ කොටසක්ද වෙන් කරමි.  ඉතින් අපේ මනරම් දිවයිනේ තතු කෙසේද"
 
අම්මට සිරි. රාවණා ළඳුනුත් එනවනම් ඉතින් කොහේ යන්නද? කෑම බිමත්  ගේනවලුනේ. යක්කු කන කෑම වුනත් මොකද?

"දේවයන් වහන්ස , අපේ දේශයේ මෙන්ම  මුළු මහත් ලෝක තලයේම මහා රෝ බියක් පැතිර යනවා. ඇත්තෙන්ම වසංගතයක්. නමුත් දේවයන් වහන්ස, අපට බිය වීමට කාරියක් නැහැ "

"මගේ සිත ඉතා දුකට පත්වුණා දරුවා. නමුත් ඇයි බිය වීමට කාරියක් නැත්තේ . අපට ඔබලා  වෙනුවෙන් යම් උපකාරයක් කළ හැකිද?"

"අපෝ අවශ්‍ය  නැහැ දේවයාණන් වහන්ස. අපට රාවණා  පරපුරෙන් පැවත එන නෑ   යකුන් බොහෝයි . ඒ අතරින් පවිත්‍රා දේවියන් වැනි සේනාධිනයිකාවන් සිටිති. සුදු එලියා වැනි සේනාධිනායකයන් සිටිති. ඔවුන් රාවණා මහිමයෙන් විශ්ව ශක්තීන් උපදවා රට රකිති. රාවණාවබෝධයෙන් යුත් රහතුන් දඬු මොනරකොප්ටරයෙන් ගොස් රට පුරා රාවණා ජලය ඉස ආශීර්වාද කරති.   රට වැසියෝ මොන ප්‍රශ්න පැමිණියත් නොබියවම ඉතා සතුටින්  කල් ගෙවති. "  එහෙම කියල යන්තම් ශේප් එකක් දැම්ම.

"එසේ නම් අපි පුස්කොල පොත් සොයා ඒවා කියවා  ගනිමු. මම ඔබට එකල අපේ ඉතිහාසයේ  වූ ශ්‍රී විභූතිය අපේ විශ්වයේ ඇති මේ ඔබලාගේ රුපවාහිණියක්  වැනි  කාලමාන යන්ත්‍රයෙන් පණ පොවා පෙන්වමි. ඔබට අවශ්‍ය නම් අතීතයටම ගොස් නැරඹිය හැකිය."

~~~මතු සම්බන්ධයි 

***********************************************************
 දැන් මෙතැනින්  තමයි කතාව  පටන් ගන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මට මාසයක් රාවනා එක්ක බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඇතුලේ ලොක් ඩවුන් ඉවර වෙනකන් ඉන්න උදව් කරන්න.

 ඒ කියන්නේ රාවණා මොන කල වකවානුවට ගිහිල්ල මොන කතාවද පෙන්වන්නේ කියල ලියන්න.
අපහාස නෙමේ. උපහාස සහ හිනාව පමණයි.

බ්ලොග් නැති කට්ටියගේ කතාව මගේ බ්ලොග් එකේ පල කරනව.
මේ අදහස මගේ ඔළුවට ආවේ  කට්ටකඩුවේ ලොකු මලයා කියපු දෙයක් නිසා.   
කතාව 1, 2, 3, කියල ගෙන යන්න පුළුවන්. 

...................

Monday 2 November 2020

ඇඳිරි නීතිය හා ලොක් ඩවුන්


බ්‍රිතාන්‍යයේ ලොක් ඩවුන් කිරිල්ල ලංකාවේ ඇඳිරි නිතිය හා සමානයි කියල බොහොමයක් දෙනා හිතන බවක් පේනවා.  මගේ මල්ලිත් මේ බව ඇහුවා ඊයේ මොකද ප්‍රවෘත්ති වලට කිව්ව කියල. ජර්මනිය, බෙල්ජියම් සහ ප්‍රංශය පවා ලොක් ඩවුන්. 

හැබැයි  මේ රටවල ලොක් ඩවුන් එකකදී වහන්නේ ආපන ශාලා, පබ් (බියර්), අත්‍යවශ්‍ය නොවන වෙළඳ ශාලා, මාකට් , සිනමා හල් වගේ ඒවා. අපි ගෙදර ඉඳන් වැඩ. (මම නම් මාර්තු මාසයේ සිට) . ඔෆිස් ඔක්කොම වගේ වහල. (අත්‍යවශ්‍ය සේවා නොවේ නම්). ආණ්ඩුවෙන් පඩියෙන් 80% ගෙවනවා රස්සාව කරන ආයතනයට ගෙවන්න බැරිනම් ඒවා බේරා ගන්න. මේකට විරුද්ධවත් මිනිස්සු පෙළපාලි යනව. අපට ලෝක ඩවුන් එපා කියල.

කොරොනා පොසිටිව් වෙලා නිරෝධායනය වී සිටි බිරිඳත් අද වැඩට ගියා. පාසැල් වහල නැති නිසා. විශ්ව විද්‍යාල වහල නැහැ. සුපර්මාකට් සහ ෆාමසි වහල නැහැ. බස්, දුම්රිය සේවා වැඩ. ටැක්සි වැඩ. අත්‍යවශ්‍ය ගමනක් නොවේ නම් එලියට යන්න එපා කියල කියන්නේ.

ඒත් ඉතින් අමාරුයි . කෝවිඩ් හැදෙන  ගාන වැඩි වෙනවා.  වැඩේ බැලන්ස් කරගෙන යන්න ඕනේ.

ඇඳිරි නීතිය  දැම්මහම එළවලු ගොවියෙක් එළවලු ටික විකුණා ගන්නේ කොහොමද? සාමාන්‍ය කඩකරන කෙනෙක් වෙළඳාම ගෙනියන්නේ කොහොමද? එදා වේල  ටුවර්ස් කට්ටිය ජිවත් වෙන්නේ කොහොමද? මිනිස්සු අත්‍යවශ්‍ය බඩු ගන්නේ කොහොමද? ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවට මිනිස්සු එක පොදියට  එලියට එනකොට ආයේ වැඩි වෙන්නේ නැත්ද? 

හැබැයි ඉතින් තමන්ට හරියන  වැඩ පිළිවෙල තමන් කරන්න ඕනේ. රටක් වුනත්.

Saturday 31 October 2020

කොරෝනා හැදුනු පසු මොන බෙහෙත් ද ගන්නේ -ආයුර්වේද එපාද

 


මම මීට ප්‍රථමයෙන්  ලිපියක් පලකළා කොරෝනා හැදුන  රෝගියකුගේ සටහනක් කියල එකක්. ඒ හැදුණේ අරුණ පෙරේරා සහෝදරයාට  (ලන්ඩන්). අරුණ ගෙන් මම ඇහුව ලංකාවේ ඔය කියන ආයුර්වේද බෙහෙත් භාවිතා කලාද කියල. අපි හැමදාම භාවිතා කරන බෙහෙත් වර්ග ඔහුත් භාවිතා කරල තිබෙනවා. 

අද වෙනකොට ලන්ඩනයේ මම දන්නා පස් දෙනෙක් ම නොඑන ගමන් ගිහින් කෝවිඩ් 19 වෛරසය නිසා. ඒ වගේම කොරෝනා අපේ නිවසත් ආක්‍රමණය කළා. මගේ බිරිඳට හැදුනා.  ඇය රැකියාව කරන විදුහලින් හැදෙන්නට ඇතිය කියා තමයි අපි හිතන්නේ. ගොඩක් සිසුන් මීටර දෙකේ සීමාව තියා  ගන්නේ නැහැ. ඒ වගේම මාස්ක් දාගන්නේ කිව්වොත් විතරයි.  

මමත් බිරිඳත්   සාමාන්‍යයෙන් දවසට කිලෝ මීටර 5-10 ඇවිදින දෙන්නෙක් ව්‍යායාමයට. ඒ වගේම එයා කඳු නගින්න හෙමත් දක්ෂයි. නිරෝගී කියල කියත හැකි අතුරු අබාධ නැති සෑහෙන්න ශක්තිමත් කෙනෙක් කියල එයා අඳුරන අය උනත් දන්නවා.

හිටපු ගමන් කලන්තේ වගේ කිව්වා. නිදිමත ගතියක් එනවා කිව්වා. ඇඟට හුඟක් මහන්සියිලු. ඇඳට වැටුන ගිහින්. සාමාන්‍යයෙන් මොහොතක් නිකන් ඉන්නේ නැති ක්‍රියාශීලි කෙනක් වන එයා  එහෙම වුනහම අමුත්තක් දැනෙනවා. 

ඊට පස්සේ අපි ලඟම තියෙන සෙන්ටර් එකෙන් කෝවිඩ්  ටෙස්ට් එක කළා. පොසිටිව්. 

ඒ අස්සේ මම සුපර්මාකට් ගිහින් සති දෙකකට විතර අවශ්‍ය කෑම බීම ගෙනාව. දවස් 14 ක නිරෝධායනයක් නේ.

 එයා ආව ගමන් ඇඳට වැටුන . දවස් දෙකක් ගියා නැගිටින්න. 

  අපේ දූලා  පොඩි කාලේ පැරසිටිමෝල් (ළමයින්ට දෙන්නේ කැල්පොල් වැනි අඩු මාත්‍රාවක් ඇති බෙහෙත) නියුරෆෙන් හෙම දෙනවට බිරිඳ විරුද්ධ වුණා . එනිසා අපි ඒ බෙහෙත් දුන්නේ නිවාඩු ගිය වෙලේක අසනීපයක් වුනොත් හෝ ඉතාමත් හදිසියකදී පමණයි.

හුඟක් වෙලාවට ලංකාවේ තේ කියල අපි දුවලට දුන්නේ කොත්තමල්ලි. මේ පර්යේෂණ ලිපිවල  කොත්තමල්ලි  බඩේ ඇති  අම්ලකාරී ගතියට භාවිතා කළ හැකි බව කියනවා.   එසේම ප්‍රතිජිවකයක් වශයෙනුත්. මගේ ළමයින්ට දින කිහිපයක් දෙනකොට ඔවුන් සෙම් ප්‍රතිශ්‍යා  ඉබේම සනීප වෙනවා. කොහොමත් වයිරස් රෝග ඉබේ සනීප වෙන ඒවනේ. සමහර විට කොත්තමල්ලි වලින් උදව්වක් ඇති.

  මගේ බිරිඳ බඩේ අමාරුවට මට වගේම එයාලටත් කැමමයිල් තේ දුන්නා. නැත්නම් මාදුරු (caraway seed ) තම්බා දුන්න. කැස්සට තවත් ජර්මන් තේ වර්ග කිහිපයක්  තිබුන. 


 අපේ පස් පංගුව (පත්පාඩගම් , වෙනිවල්ටගැට  ආදී ) වැනි පැකට් එකක් ජර්මන් ෆාමසි එකකින් ගෙනත් තිබ්බ. මේ නිසා මම ඇහුවා කොහොමද මේවා ගැන දන්නේ කියල. එතකොට තමා දැන ගත්තේ ජර්මන් දොස්තරවරුන් විසින් මේ අනිත් ප්‍රතිකාර විධි ගැනත්  රෝගියාව දැනුවත් කළ යුතුයි කියල.


එනිසා අදත් අපි සමහන්, කොත්තමල්ලි, සහ පස්පංගුව මුලික සෙම් ප්‍රතිශ්‍යාවක් හෝ උණක් හැදුනොත්  භාවිතා කරනව. කරවිල කනවා සීනි අඩුවෙන්න. කරපිංචා මැල්ලුම හදනව කොලෙස්ටරෝල් බහින්න. 

ඒ දවස් වල පැපොල වගේ ලෙඩ හැදුනම කොහොඹ කොළත් ගෙවල් වල තියනවා නේද. හොයල බලන්න, ඒකත් හොඳ ඖෂධයක්.

එම අතරතුර බටහිර බෙහෙතුත් ගන්නවා. මොකද ඒවා ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන නිසා. විද්‍යාවේ දියුණුව අපි හෙලා දකින්නේ නැහැ. නමුත් ආයුර්වේද බෙහෙත් දන්නා පරිදි භාවිතා කරනවා.

මම දැන් මේ ටික ලිව්වේ හුඟක් අය ආයුර්වේද බෙහත් ගන්න එක ගැන හිනාවෙන නිසා. තමන්ට කෝවිඩ් 19 වෛරසය වැළඳුනොත් තමන් කොහොමද ක්‍රියා කරන්නේ  කියල පොඩ්ඩක් හිතන්න මුලින්ම. අර සරදමට හිනාවුනු   බෙහත් හොරෙන් ගන්නවද ? නැත්නම් රෝහලට ගෙනියනකන් ඉන්නවද? ලංකාවෙත් දැන් රෝහල් වල ඉඩ නැති නිසා ආශ්‍රිතයන් ගෙනියන්නේ නැහැ. හෙට අනිද්දට අමාරු නැති රෝගීන්  ගෙනියන එකකුත් නැහැ.

එංගලන්තේ නම් හොඳටම අමාරු වුනොත් විතරයි ගෙනියන්නේ.  ඒ නිසා දන්න බෙහෙත් (හැම එකම නෙමේ) භාවිතා කරන්න වෙනවා.

මම කෙළේ මුලින්ම මුළු ගෙදරම හොඳට පිරිසිදු කරපු එක. බැක්ටීරියා නාශක  වැඩක් නැති නිසා වයිරස් නාශක කියල කියන ක්ලීනින් ප්‍රඩක්ට් එකක්  තමා භාවිතා කළේ. බ්ලීච් හෙමත් භාවිතා කළා . ඩෙටෝල් එක්ක.  මේකට මෙහෙ කියන්නේ deep cleaning කියල. පොළොව හෙම හොඳට මෝප් කරනවා විෂබීජ නාශක දාල. 

බිරිඳට  උණු වතුර දුන්න බොන්න ෆ්ලාස්ක් එකකට දාල. ඒකට ඉඟුරු කෑල්ලක් තලලා දාල දෙන්න කියල එයාම ඉල්ලුව. මි පැණිත් දැම්ම.එයාගේ උගුරට හොඳයි කිව්ව නිසා. මේකෙන් වයිරසය මැරෙන්නේ නැති වෙයි. නමුත් කන්න බොන්න එනිසා පහසුයි.දුම් අල්ලන ඒවා ගැන  මම  දන්නේ නැහැ. එනිසා ඒවා කලේ නැහැ.

දුවලට නාසය හිර වුනහම වතුර උණු කරලා සිද්ධාලේප ටිකක් දාල කාමරෙන් තිබ්බහම නාසය බුරුල් වෙලා හුස්ම ගන්න පුළුවන්  කියල අත්දැකීමෙන්   දන්නා  නිසා ඒකත්  කළා.

ලක් පේයාව, සංස්ථා පේයාව, සමහන් - ඔය තුනම වරින් වර දුන්න. ඉනෙස් කොහොමත් ඒවා බොන්න කැමතියි.  පුළුවන්තරම් පලතුරු කන්න දුන්නා. පලතුරු යුෂ බොන්න  දුන්න. මි පැණි ගාලා ටෝස්ට් කරපු පාන් දුන්න. මී පැණි හුඟක් හොඳ ඖෂධයක්  නිසා. 




කෑම රස දැනුනේ නැහැ එයාට.

එක දවසක් කරවිල හොඳට තුනපහ  දාල හදල දුන්න. ඒකෙ රහ දැනුන. ඒ කියන්නේ හොඳ වේගන වෙනවා. 

දවස් හතකින් විතර හොඳයි.

අපට පාන් ඉවර වුනා. අපේ මිත්‍රයෙක් වන ටයෙක්වොන්දෝ මාස්ටර් දුෂාන්ත පෙරේරා පාන් ටික ගෙනල්ල දුන්න ඉඟුරු හා ලෙමන් එක්ක. ස්තූතියි දුෂාන්ත. ඇවිත් එළියෙන් තියල ගියා. ඒ වගේ යාලුවෝ ඉන්න එක ලොකු දෙයක්. කියල තියෙන එක හොඳයි කාට  හරි.

මොකද්ද ඉඟුරු කතාව. අපි කොහොමත් ඉඟුරු දාල කහට තේ බොන කට්ටිය. සාමාන්‍යයෙන් පොඩි කන්දක්  නගින්න යනකොට, කිලෝමීටර ගාණක් ඇවිදින්න යනකොට ඉඟුරු දාපු තේ ගෙනියන එක මගේ පුරුද්දක්. 

ඉඟුරු දුන්නේ වමනේ යන එක වලක්වන්න.

මොකද මේ ලෙඩේට සමහර අයට වමනේ යනවා.

ඉතින් තේ කහට ඉඟුරු දාල ලෙමන් දාල හදල දුන්න නිතරම.

මේ හැම වෙලේම අපි මීටර දෙකේ දුර තියා ගත්ත. 

 ඒ වගේම කියන්න ඕනේ මාර්තු මාසෙට කලින් ඉඳන් අපි විටමින් D ගත්ත.

තව එකක්. ජර්මන් වෛද්‍යවරුන් ගේ නිර්දේශයක් තමයි පුළුවන් තරම් පිරිසිදු වාතාශ්‍රය රෝගියාගේ කාමරේ ඇති කරන්න කියන එක. අපි කාමරේ ජනේලේ වැහුවේම නැහැ. සිතල එයාට ඔරොත්තු දෙනවා. අවශ්‍ය නම් පොරොව ගන්න පුළුවන්. නැත්නම් heatin දාන්න පුළුවන් ජනේලේ ඇරලා. මුළු ගෙදරමත් ජනෙල හුඟක් වෙලාවට ඇරිය . වාතයේ වෛරස් සාන්ද්‍රණයක් පැතිරිලා තියෙනවනම් ඒක අඩු වෙනවා. 

එයාට ට දැන් හොඳයි. මට කියන්න බැහැ  ඔය පේයාව ගත්ත නිසා හොඳ වුනා, කොත්තමල්ලි නිසා හොඳ වුනා කියල. උණු වතුර නිසා වයිරසේ මැරුණා කියල.  නමුත් ඒ දේවලින් කිසියම් සහනයක් ලැබෙනවා කියල දැන් දන්නවා අත්දැකීම නිසාම.  

රෝහලට ගෙනියන්න බැහැ  අමාරුම නැත්නම්. අපිට අපි විතරයි. උඩ  පනින්නේ හිනා වෙන්නේ නැතිව තමන් දන්නා විධිහට බේරෙන්නයි තියෙන්නේ. අපි අද පොඩ්ඩක් ඇවිද්ද. එයාට  තවම අමාරුයි ඉස්සර වගේ ඇවිදින්න. කිලෝ මීටර් දෙකයි ඇවිද්දේ. 

මම ගිහින් PCR ටෙස්ට් එක කලා . මට නෙගටිව්. හේතුව ඉතින් සෑහෙන්න පරිස්සම් වුන නිසා වෙන්න ඇති.

The Amazing and Mighty Ginger

11 Proven Health Benefits of Ginger

coriander-coriandrum-sativum-research

8 Surprising Health Benefits of Coriander

Effects of Different Levels of Coriander (Coriandrum sativum) Seed Powder and Extract on Serum Biochemical Parameters, Microbiota, and Immunity in Broiler Chicks

Friday 23 October 2020

කෝවිඩ් තවම සමාජයට ගොස් නැත - හම්බෙන උන්අඟහරු ලොවින් පැමිණි උන්ය


මම මුලින්ම ඉතාලියෙන් ආ උන් ගැන කෝපයෙන් වෙළුනෙමි 
වැරැද්ද උන්ගේ යයි කීමි  

මම  ඉන්පසු නාවික නිලධරයන් දෙසට හැරුනෙමි  
වැරැද්ද උන්ගේ යයි කීමි 

මුස්ලිම් ගම්මාන කෝවිඩ් පතුරන්නේ යැයි උදහස් ගතිමි  
වැරැද්ද  උන්ගේ යැයි කීමි  

පිටරටින් එන උන් රටට වසංගත ගෙන එන්නේ යැයි කියා බැණ වැදුනෙමි 
වැරැද්ද උන්ගේ යයි කීමි 

බ්‍රැන්ඩික්ස් සේවිකාවන් මගේ ජාතිය අනතුරේ හෙලා  ඇතැයි කිමි 
වැරැද්ද උන්ගේ යයි කීමි 

මාළු වෙළෙඳුන් මාළු වෙනුවට කෝවිඩ් විකුනන්නේ යැයි බැන්නෙමි 
වැරැද්ද උන්ගේ යයි කීමි  

අන්තිමේ දී කෝවිඩ් මා සොයා පැමිණියේය 

මම මටම ඇඟිල්ල දිගු කර ගතිමි 
මට බනින්නට කෙනෙක් ඉතුරුව සිටියේ නැත 

- මාටින් නීමොලර් ගේ මුණුපුරා 


(තව කණ්ඩායම් මතකනම් එකතු කරන්න. ලිපිය යාවත්කාලින කරන්නම් )

Sunday 11 October 2020

ලංකාවේ කොවිඩ් හා ලෝකයේ කෝවිඩ්

ලෝකයේ කොවිඩ් තත්වය


//මගේ යෝජනාව  නම් ශ්‍රී ලංකාව ඉන්දියාවට, මාල  දිවයින සහ බංගලා දේශයට දොර වැසිය  යුතු බවයි.  (සංචාරකයන්ට) දෙවන රැල්ල එන්නේ ඒ පැති වලිනි. ශ්‍රී ලංකා නාවික  හමුදාවේ සයුර යාත්‍රාව ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම  සඳහා යොදා ගත හැකිය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආදිය ඉක්මනින් ඇඳන් යොදා පිළියෙළ කළ හැකිය. එසේ නොමැති  නම් පන්සල් සහ පල්ලි වල ඇති ශාලා රජයට පවරා ගත යුතුය.   //මේ අදහස බොහෝ විට සැබෑ වී ඇත්තේ මේ දෙවන රැල්ලේ රෝගීන්ගේ ආසාදනයේ මූලය  ඉන්දියාවෙන් එන්නට ඇති සිතෙන බැවිනි.

එකම ප්‍රශ්නය මේ කොරෝනා රෝගීන් ලංකාවට පැමිණීම හෝ ඔවුන් මගින් තවත් අය අසාදිත වීමම නොවේ. 
එසේ අසාදිත වුවන්ට ශ්‍රී ලංකාවේ සමාජය සලකන ආකාරයයි. 

මෙන්න මේ " කොරෝනා වසංගතයට කළ යුත්තේ කුමක්ද? කුමක්ද ලෙනින්"  ලිපියේ මා ලීවේ ඉතාලියෙන් පැමිණි අය කොරෝනා වසංගත මර්දනයට එක්වෙන්නේ නැතිව සැඟවී සිටින්න "රෝගය වැළඳීම ම  අපරාධයක්  ලෙස සලකන නිසා බවයි. මා ඉල්ලා සිටියේ ඒ තත්වයෙන්  මිදෙන්න කියාය.  එම ලිපියේම ම ලීවේ එක්තරා ෆේස්බුක් සහ බ්ලොග් ලියන්නියක් මා එසේ කි බව විවේචනය කර අපහාස පොස්ටුවක් බුකියේ පල කල බවයි. එවැනි පිරිස් එදා  එසේ උන්මාදයෙන් හැසිරුනේ ඉදිරියට පැවැත්වීමට නියමිතව තිබූ  මැතිවරණය  නිසාය. අපට කෝවිඩ් ආසාදිතයන් වැඩිවෙන ගණන  හෝ මරණ සංඛ්‍යාව ගැන සැක පල කිරීම පවා ලිවිය නොහැකි තත්වයක් තිබුණි. බ්‍රිතාන්‍යයේ අදත් මරණ සංඛ්‍යාව ඉතා වැඩිය. ඒ ගැන විචේචනය කරන ලංකාවේ සහ ඕස්ට්‍රේලියාව අවනී රටවල් වෙසෙන සමහරු කල්පනා නොකරන කාරණයක් වන්නේ මේ රටේ රැකියා නොමැති අයට මෙන්ම  රැකියාවෙන් තාවකාලිකව ඉවත් කරන ලද අයට පවා වැටුප් තවමත් ගෙවන බවයි.   බ්‍රිතාන්‍යය ගැන සැලකීමේදී  ඇතැම් ස්ථුල මිනිසුන්, වෙනත් දීර්ඝ කාලින ලෙඩ රෝග ඇත්තන් මෙන්ම විටමින් D ඌනතාවයෙන් පෙළෙන්නන් ද ඉදිරි පෙල රැකියා කරන්නන්  (හෙදියන්, පිරිසිදු කරන්නන්,රියදුරන් ආදීන් ) අතර මරණ වැඩිවුනු බව නිරීක්ෂණය විය. 

දැන් ලංකාවේ  මැතිවරණය  ඉවරය. තුනෙන් දෙකඩ හරිය.ලංකාවේ ඇතැමුන්  තවමත් සිහි බුද්දියෙන් නොව  උන්මාදයෙන් මෙන් හැසිරෙන්නේ ඇයි? මා මිත්‍ර සිසිර යාපා  මවිබිම පුවත්පතේ ලිපියක් කියැවීමට කියා පණිවිඩයක් එවා  තිබුණි.  හදිසියේ කෝවිඩ් ධනාත්මක ලෙස හඳුනා ගත්  ප්‍රදීපිකා රත්නායක ට දිවුලපිටිය පොලිසියේ ඇතැමුන් බැණ වැදී  ඇත? ඒ නිලධාරීන් එසේ  හැසිරෙන්නේ මොලයේ තණකොළ වවා ඇති නිසාද?  ඇයට කෝවිඩ් වැළඳීම ඇගේ වරදක්ද? ලෙඩෙකුට බැණ වැදීමට පොලිසියට ඇති අයිතිය කුමක්ද?

ඒ විතරක්ම නොවේ? ඇතැමුන් ඒ මහත්මිය ගැන කිසියම් අපවාද රාශියක්ද ජනගත කර තිබේ. මේ මිනිසුන්ට ඇත්තටම අමු කැවිලාද?

අප ජිවත් වන  එන්ෆිල්ඩ් පෙදෙසේ දැනට 300 පමණ කෝව්ඩ් ආසාදිතයන් පිරිසක් ඇත. පොලිසියවත්  පුවත්පත් වත් අප කිසිවෙකුත් මෙලෙස නොහැසිරෙන්නෙමු.  රෝගයක් සැදුනු කෙනෙකුට උදව්  කරනවා මිස බැණ වැදීමේ සිරිතක් ඇති කරගත්තේ කොහෙන්ද? බුදු හාමුදුරුවන් එසේ හැසිරී තිබේද? 

ධාතුසේන නම් රජතුමෙක්  නයෙකුගේ ගෙඩියක් පලා සැත්කමක් කලා කියන්නෙත් ඔය රටේම නොවේද?
මා දුටු තවත් ප්‍රවෘත්තියක් පල කර තිබුනේ ලංකාදීප දිනපතා පුවත්පතේය. ඒ හාරසීයක් පමණ බ්‍රැන්ඩික්ස් සේවකයන් පොලිසියට භාර වීමට පැමිණ ඇති බවයි. පොලිසිය කියා  ඇත්තේ පැමිණියේ නැත්නම් ඔවුන්ගේ දේපල රාජසන්තක කරන බවය.  පොලිසියට  භාර වීමට මේ මිනිසුන් ලොකු අපරාධයක් කර නැත. ඔවුන් සැඟව සිටීම වරදක් බව සැබෑය. 
යුරෝපීය  රටවල  රෝගය වැළඳී සිටින්නන් නොව පිටරට සිට පැමිණ  රෝගය වැළඳී බව දැන  දැනත් නිරෝධායනය නොවී සිටින්නන් ට දඩයක් නියම කරති. ලංකාවේ පොලිසිය සැබවින්ම කල යුත්තේ රෝගය වැළඳුන බව දැනගෙන මෙරටට පැමිණ බ්‍රන්ඩික්ස් ආයතනයේ සිට නික්ම ගිය අයට (බොහෝවිට ඉන්දියාවේ සිට පමණ ඇති ) දඩයක් නියම කිරීමය. 
  බ්‍රිතාන්‍යය, යුරෝපීය  රටවල් සහ වියට්නාමය වැනි තත්වය මර්දනය කළ ඇති රටවල් නිවසේ සිට නිරෝධායනය වීමට හැකිය. එසේ නිවේදනය කර  එම අයගේ නිවෙස් තොරතුරු බ්‍රැන්ඩික්ස් සමාගමෙන් ලබාගත හැකිය. එසේ ලබාගෙන පොලිසියට රහසේ ගොස් ඒ අය සියල්ල  නිරෝධායනයට  ලක්කළ හැකිය. අඬබෙර ගසා  මිනිසුන් අපහාසයට ලක් කිරීම  කලයුතු දෙයක් නොව නොකළ යුතු දෙයකි.

මා මිත්‍ර සිරිමල් විජේසිංහ කියා තිබුනේ ඇමරිකානු ජනාධිපති  ඩොනල්ඩ්  ට්‍රම්ප් මෙන් රට ඇර තැබිය යුතු බවය. එනම් රෝගය වැළඳී මිය යන අය සිටියත් ඒ බව නොතකා ආර්ථිකය රැක ගත යුතු බවය. ට්‍රම්ප් ගේ මෙන්ම බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ගේ ද එම ප්‍රතිපත්තිය අද තදින්  විවේචනයට  ලක්වේ. ස්වීඩනය ක්‍රියාත්මක කරන්නේද එම ප්‍රතිපත්තියමය. නමුත් ස්වීඩනයේ තත්වය සුවිශේෂී  එකකි. එහි සිටින්නේ මිලියන දහයක ජනතාවකි. විශාලත්වය වර්ග කිලෝමීටර හාර  ලක්ෂයකි. ලංකාවට වඩා  හය ගුණයක් විශාල එම  රටේ ජනගහනය ලංකාවෙන්  භාගයකි.  වර්ග කිලෝමිටර්යට මිනිසුන් 25කි. මේ ඉතා කුඩා අගයකි. එසේම බොහෝ මිනිසුන් සෞඛ්‍ය සම්පන්නව වෙසෙන නිසා එම රටට  ලොක් ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.
රට හැර තබා බ්‍රසීලයේ දක්ෂිණාංශික ජනාධිපතිවරයා ද මියයන මිනිසුන් ගේ ගණන අධික වුවත් තවමත් ජනප්‍රියය. ඒ ඔහු සහනාධාර දීම නිසාය. මිනිසුන් සොයන්නේ  තමන්ගේ  හා දරුවන්ගේ කුස ගින්න නිවා ගැනීමේ ප්‍රශ්නයට පිළිතුරු මිස කෝවිඩ් වසංගතය පැතිරීම ගැන නොවේ.
 
 මා  සිතන්නේ ශ්‍රී ලංකාවේ දැනට කෙරෙන පරිදිය ප්‍රාදේශීය ලොක්  ඩවුන් කිරීම් පවත්වා ගැනීම අවශ්‍ය  බවය. හැබැයි මාර්තු මාසයේ සිටම මගේ අදහස වූයේ  රටටම ඇඳිරි නිතිය  පැනවීමේ අවශ්‍යතාවයක් නැති බවයි.  මිනිසුන්ට හැකි පමණ තම තමන්ගේ රැකියා  වලට යාමට ඉඩ සැලසිය යුතුය. ඒ නිසාම බ්‍රැන්ඩික්ස් මෙන්ම අනිකුත් සමාගම් රැකියා අවස්ථා ලබා දීම ගැන ඇත්තෙන්ම  සතුටු විය යුතුය.  අසනීපයට ප්‍රතිකාර ගැනීමට මුදල් සොයන, මහලු දෙමාපියන්ට මුදල් යවන, සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය ට වියදම් කරන,  බෝඩිමේ ගාස්තුව පවා අමාරුවෙන් ගෙවන මේ ජනතාව රැකියා  විරහිත භාවයට පත් කිරීම  ඔවුන් කබලෙන් ලිපට දැමීමක් වන නිසාය. සිරිමල්  විජේසිංහ ගේ අදහසට යම් තාක් දුරට  මා  එකඟ වන්නේ ඒ ගැන සිතාය.

වරද ඇත්තේ  නිලධාරීන් අතය. ඔවුන් අසනීපයෙන් පෙළෙන්නවුන් ගේ  ඒ තත්වය නොතකා වැඩ ගත් බව හෙළිවී තිබේ.  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ ද ඒ බව යූටියුබ් වීඩියෝවක පවසා ඇත. එසේම ඉන්දීය සම්බන්ධතාවයද ඔහු හෙළි කර තිබේ.    ප්‍රශ්න කල යුත්තේ නිලධාරීන් ගෙන්ය.   
 
 

පින්තුරය ගත්තේ මෙතැනිනි ;https://www.ecdc.europa.eu/en/geographical-distribution-2019-ncov-cases

Saturday 10 October 2020

සාන්ත පිතර්බුර්ගයේ මැදියම් රැයේ පාලම් විවෘත කිරීම

නේවා ගඟ දිගේ ඇවිදීම මා  ඉතා ප්‍රිය කරන දෙයකි.. ලෙනින්ග්‍රාද් නමින් හඳුන්වන කාලයේ දෙතුන් වරකුත් ඉන්පසු නැවතත් 2016 දී රුසියවට් ගිය අවස්ථාවේත් නදීබඩ මාර්ගයේ ඇවිද්දෙමි. එය නෙවි දිනය නිසා බොහෝ ප්‍රීතිමත් නැවියන්, ඔවුන්ගේ පෙම්වතියන්, බිරින්දන්  දරුවන් ඒ පෙදෙසේ සැරි සැරූහ. අප රාත්‍රිය වනතුරු බලාසිටියේ දූ වරුන් දෙදෙනාට මේ පාලම් සංදර්ශනය නැරඹීමට අවස්ථාව දීම සඳහාය.

   ශාන්ත පීටර්ස්බර්ග් හි පාලම් විවෘත කිරීම හා වසා දැමීම සැබවින්ම දීප්තිමත් සංදර්ශනයකි. එය අප්‍රියෙල් මස  සිට නොවැම්බර් දක්වා සිදු වේ.  මෙවැනි  පාලම් දොළහක් නේවා ගඟ දිගට  සාදවා තිබේ. ප්‍රධාන වශයෙන් බඩු  නැව් නෙවා ගඟ දිගේ ෆින්ලන්ත බොක්ක වෙත ගමන් කරයි. (gulf of finland ) නේවා ගඟේ  මෙම අන්තිම කොටස සෝවියට් යුගයේදී ඉදිකරන ලද්දකි.


Wednesday 30 September 2020

පිතර්බුර්ගයේ රුසියානු සින්දුවක්

අර්බට්ස්කායා වීදියේ නොයෙකුත් වීදි නාට්‍ය කණ්ඩායම්, සංගීතඥයන් ගේ  රංගනයන් මම නිතර දුටුවෙමි (එම මාවත  රුසියානු භාෂාවෙන් උලිට්සා අර්බාත්  ලෙස හැඳින්වේ). එම වීදි නිර්මාණ හා රඟපෑම්, ගායනා ය රුසියාව අලුත් දෙයක් නොවේ. 
 ඒ දිනවල යහළු වී සිටි රුසියානු පෙම්වතියගේ නිවෙස තිබුනේ අර්බාත් විදියේ ඉහල කොනේ මෙර්ස්ලකොව්ස්කයා විදියේ නිසා අප දෙදෙනා  නිතර අර්බාත් විදියේ  කෝපි කඩ වලට වී මේ ගැයුම් වැයුම් ඇසුවෙමු.

සියවස් ගණනාවක් පුරා වීදි කලාකරුවන් රුසියාව පුරා රඟ දැක්වීය. ශාන්ත පීටර්ස්බර්ග් හි බොහෝ විට ඔවුන් නිව්ස්කි ප්‍රොස්පෙක්ට්, මාළිගා චතුරශ්‍රය (ඩිවර්ට්සෝවි ප්ලොෂාඩ් - Дворцовая площадь) සහ ගොස්ටිනි ඩෝවර් (ආගන්තුක දොර -гостиный гостиный) හි රඟ දැක්වීය. සෝවියට් දේශයේ කලාව හා සාහිත්‍ය කාණ්ඩ දෙකක් තිබුණි. එකක් සමාජ සත්තා  යථාර්ථවාදය (soviet realism ) උත්කර්ෂයට නැංවූම  අතර අනෙක එයින් පිටත බොහෝ දුරට රාජ්‍ය බලපෑමෙන්  සැඟවී ජනප්‍රිය විය. එය  ආකෘති විරෝධී කලාවක්  ලෙස හැඳින්වවුනු අතර ස්ටාලින්ගේ මරණයෙන් පසු කාලයේ සිට  පෙරෙස්ට්‍රොයිකා යුගය දක්වා වර්ධනය විය. ඒ 1953 සිට 1986 දක්වාය.  එය "භූගත කලාව" ලෙසද හැඳින්විණි. පෙරෙස්ට්‍රොයිකාව  ආරම්භ වීමෙන්   පසු මෙම කලාකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ජනප්‍රිය සංස්කෘතියට අවතීර්ණ වූ අතර සෝවියට් සමාජ සත්තා යථාර්ථවාදයේ බලපෑම කෙමෙන්  රුසියානු කලාවට  අමතක වී ගියේය.



Thursday 24 September 2020

එංගලන්තයේ වැව් බැඳී රාජ්‍යය හෙවත් ලේක් දිස්ත්‍රික්කය රැක ගත් හැටි


පහුගිය දවස් වල ලේක් දිස්ත්‍රික්කය ගැන ලිපි තුනක්ම ලීව. ඔය අපි නිවාඩුවට එහෙ ගිය තුන් වෙනි පාර. ඒ අතරම එංගලන්තයේ ඉන්න අනිත් යාලුවෝ වගේම පීක් දිස්ත්‍රික්කයට, කෝන්වෝල් වලට, වේල්සයට , සහ ස්කොට්ලන්තයටත් අපි ගිහින් තියනවා. හුඟක් වෙලාවට  අපි වැඩිය කැමති කඳු නගින්න. වෙරළ ආසන්නයේ කැරවෑන් වලත් ඉඳලා තියනවා නිවාඩුවට.
සාමාන්‍යයෙන් වසර දහයක විතර ඉඳන් මම පින්තූර ෆේස්බුක් එකට  දානකොට, මම දැක හඳුනාගත් යහළුවෝ හා නෑදෑයෝ 200-300 කට පේන්න විතරයි දාන්නේ.  මම හුඟක් වෙලාවට  පබ්ලික්  දාන්නේ නැහැ. අවුරුද්දකට දෙකකට  කලින් නම් කොහොමටත් දැම්මේ නැහැ. තට්ටයගේ කොලම බ්ලොග් පෝස්ට් ලියන මල්ලි හැමදාම අහන ප්‍රශ්නයක් තමා "අයියේ ඇයි මේක ෂෙයාර් කරන්න බැරි කියල". පබ්ලික් දාන්නේ නැති නිසා. ළමයි පොඩි කාලේ මම පබ්ලික් පින්තූර දාලම නැහැ. මොකද ෆේස්බුක් කියන්නේ ජෝර්ජ් ඕවෙල් ලිව්ව 1984 පොතේ බිග් බ්‍රදර් ඉන්න තැන.   නමුත් මේ පාර මම පින්තූර සහ ලිපි හැමෝම එක්ක බෙදා ගත්ත. ඒකට හේතුව තමා මේ ලියන්නේ.

එකක් තමා සොබා දහමේ සුන්දරත්වය හැමෝම එක්ක බෙදා ගන්න එක. තව යාළුවෝ එවැනි  ඡායාරූප බෙදාගෙන තියනවා පේනවා. මම ඇත්තටම කැමතියි ඒවා බලන්න.
මම මේ කරන්න  හදන්නේ ලේක් දිස්ත්‍රික්කයේ සුන්දරත්වය බේරා ගත්තේ කවුද කියල මතක් කරන්න. ෆේස්බුක් කියල දෙයක් නොතිබුන කාලෙක . දහස් ගණන් ෆේස්බුක් පෝස්ට් වල වනාන්තර විනාශය ගැන කියවෙනවා. මුකුත් වෙන්නේ නැහැ නේද.
ඔක්ටෙවියා හිල්



නමුත් එංගලන්තයේ එක ගැහැනියක් මේ රටේ වනාන්තර සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දේවල් බේරා ගත්ත. ඒ කොහොමද? ඉංග්‍රීසියෙන් කියවගන්න කැමති අයට මෙතනින්  එහාට ලින්ක් එකෙන් කියවන්න පුළුවන් වෙයි අන්තර්ජාලයේ. ඒකට කම්මැලි අයටයි  මේ ලියන්නේ මෙතැන ඉඳන්. පලමුවෙනියට කියන්න ඕනේ ඔක්ටේවියා හිල් ගැන.

එයා ඉපදිලා තියෙන්නේ 1838. එංගලන්තයේ කාර්මික විප්ලවය ඇරඹිලා අවසන් වෙන කාලේ.  මෙයා සාමාජිය ප්‍රතිසංස්කරණ වලට තමා ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ වුනේ. මුලින්ම  කියමු එයාගේ සීයා දොස්තර තෝමස් සවුත්වුඩ් ස්මිත් ගැන.  සීයා එංගලන්තයේ ජනතා සෞඛ්‍යය  පිලිබඳ ප්‍රතිසංස්කරණ  සඳහා ජීවිතය කැප කල කෙනෙක්. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට සහ වැඩකරන මිනිසුන්ට හොඳ තත්වයේ නිවාස ලබා දීමට සටන් කළ කෙනෙක්.  එතකොට ඔක්ටේවියාට ඒ බලපෑමට අමතරව  සමාජවාදියෙකු වන රොබට් ඔවෙන් ගේ අදහස් නුත් බලපාල තියනවා ඒ කාලේ.  රොබට් ඔවෙන් යුතෝපියානු සමාජවාදය කියන අදහස් සමූහයේ පුරෝගාමියෙක්. 

එතකොට මේ අපේ ඔක්ටේවියා පටන් ගන්නවා සමාජයේ හරිහැටි නිවාස නැති දුප්පත් අයට අඩු ගන්නට කුලියට නිවාස  ලබාදීමේ ව්‍යාපාරයක්. මේ කාලේ එංගලන්තයේ වැඩි හරියක් මිනිස්සු ජිවත් වුනේ මුඩුක්කු (slum) වල. කිසිම සනීපාරක්ෂක ක්‍රමයක් නැතිව. ලෙඩ රෝග වලට ගොදුරු වෙවි.  එයාලා වෙනුවෙන් ඔක්ටේවියා ගෙවල් මිලදී ගන්නවා. උදව් කරන්නේ ප්‍රසිද්ධ කළා විචාරකයෙක් සහ රැඩිකල් දාර්ශනිකයෙක් වුන  ජෝන් රස්කින්.  
දැන් කෝවිඩ් 19 ට එලියට එන්න එපා කියුවට ලන්ඩන් වල තට්ටු ගෙවල් වල මිනිස්සු පාක් වල පිරුන. ඒවා වල ඕන තරම් ඉඩ තියෙනවානේ. ගේ ඇතුලටම වෙලා හිටියම මිනිසුන්ට විශාදිය පවා හැදෙනව.
 
ඉතින්මේ  ඔක්ටේවියා  හිල් නිවාස  3000 විතර කලමනාකරණය කළා. එයට තේරුණා මේ නාගරික කම්කරු ප්‍රජාවට එලියට බැහැල ඇවිදින්න ඕනේ, හිරු එලිය විඳින්න ඕනේ, පිරිසිදු  වාතාශ්‍රය ඕනේ කියල, සොබා දහමේ ඇවිදින මිනිසා සන්සුන් වෙනවා කියල තේරුනා. 

ඔන්න ඔක්ටේවියා හිල් තව දෙන්නෙක් එක්ක එකතු වෙලා බ්‍රිතාන්‍යයේ නැෂනල් ට්‍රස්ට් (ජාතික පදනම) කියන චැරිටි එක නැත්නම්  පුණ්‍යායතනය පිහිටුවනවා. ඒ අනිත් දෙන්න තමා කැනොන් (පල්ලියේ කැනොන් දේවගැති වරයෙක්)  හාඩ්වික් ඩ්‍රමොන්ඩ් රොන්ස්ලි සහ ශ්‍රීමත් රොබට් හන්ටර්. හාඩ්වික් රොන්ස්ලි  ඇන්ග්ලිකන් දේවගැති තුමෙක් වගේම හොඳ කවියෙක්, සොබාදහම රැක ගන්නට කටයුතු කරපු පරිසරවේදියෙක්. ලේක් දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා වශයෙනුත් ඔහුව හැඳින්වෙනවා. 
 
එතකොට මේ පදනම පිහිටුවීමේ වටිනා අදහස රොබට් හන්ටර් ගේ. එසේම මෙතන නීතිමය පැත්ත ගැන කටයුතු කරන්න මොළය යෙදෙව්වේ ඔහු.  මෙයා පටන් ගත්ත නීතිඥ සමාගමක්  පොදු ඉඩම් අල්ලා  ගැනීමේ හා සංවර්ධනය සඳහා  යොදා ගැනීමේ ව්‍යාපාර වලට එරෙහිව සටන් කරන්න.  ඒ කාලය වනවිට හාඩ්වික් පටන් අරන් තිබුන ලේක් දිස්ත්‍රික්කය හෙවත් එංගලන්තයේ වැව් බැඳී රාජ්‍යය සංරක්ෂණය කිරීමේ සංවිධානය කියල එකක්.

හරිම තුන්දෙනා තමා එකතු වුනේ. පටන් ගත්තේ 1895 ජනවාරි 12. මේ සුසංයෝගය යාලුවන්ගේ සල්ලිත් එකතු කරලා ගත්ත පලමු රාජ්‍ය නිවාසය සහ වත්ත තමා අල්ෆ්රිස්ටන් ක්ලජි හවුස් (පුජකයන් ගේ නිවස සහ  වත්ත) පවුම් දහයකට. අද දවසේ පවුම් හයසීයක් නැත්නම් රුපියල් එක්  ලක්ෂ  හතලිස් දාහක්. එපමණ විශාල නැති පරණ ගෙයක් සහ පොඩි වත්තක්.  මුලදී දිළිඳු ජනතාවට අඩු මිලට ඉන්න දීලා දැන් අමුත්තන්ට ඇවිත් බලන්න පුළුවන් තැනක්  කරල. 

ඊට පස්සේ 1899 දී එයාලගේ ප්‍රධාන ආයෝජනය කරනවා  විකන් ෆෙන් කියන විශාල මුතුරාජවෙල වගේ රක්ෂිතය රැක ගන්න. ඒ තමා බ්‍රිතානයේ පරණම ස්වභාවික රක්ෂිතය. හෙක්ටයාර් 254.5 හෙවත්  අක්කර 629ක්.  ගොවිපළක්, සත්ව හා පැළෑටි සංරක්ෂණය වෙන ස්වභාවික වෙරළ තීරයක්  (fenland), ගොහොරු බිමක් සහ බට පඳුරු සහිත භුමියක් මෙයට අයිතියි.  මේවා අරගන්නේ යාළුවො එකතු කරලා  දෙන සල්ලි වලින්. මේ වනවිට මේ ව්‍යාපාරයට බොහෝ අය එකතු වෙනවා සහයෝගය දෙනවා.

රජයක් පත් වන්නේ රටක් සංවර්ධනය කරන්න. පාරවල් හැදීම, රේල් පාරවල් හැදීම, නගර සංවර්ධනය රජයක් විසින් කරන දේවල්. ඒවා නවත්වන්න අමාරුයි. එංගලන්තයේ කාර්මික විප්ලවයෙන් පස්සේ නාගරීකරණය අති වේගවත් වුනා.
 නමුත් ඔබ මුදලට අරන් ඔබ විසින්ම රැක බලා ගන්නව නම් රජයකට ඇඟිලි ගහන්න බැහැ. ඔවුන් ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ, රොබට් හන්ටර් වටහා ගත්තේ ඒක.

1900 දී අයර්ලන්තයේ මෙම පදනමේ ශාඛාවට කන්ටක් කියන  බලකොටුව ලැබෙනවා. මේ වෙනකොට තමන්ට කියල දරු මල්ලෝ නැති ධනවත් මහලු අය අන්තිම කැමති පත්‍ර මගින් ඉඩකඩම් මේ ව්‍යාපාරයට ලියල දෙනව. ඔව් එහෙම  මිනිස්සු මේ රටවල ඉන්නවා.

තවත් හැරවුම් ලක්ෂයක් තමයි ලේක් දිස්ත්‍රික්කයේ, අපිත් ඊයේ පෙරේදා ඇවිදින්න ගිය බ්‍රන්ඩල්හෝ උද්‍යානය මිලට ගත්ත එක. ඒක ඩර්වෙන්ට් වෝටර් කියන පැත්තේ තියෙන්නේ. මේක බේරගන්න ඔවුන් නඩු දැම්ම. මුදල් එකතු කළා මහජනතාව  ගෙන්. වික්ටෝරිය රැජිනගේ දුව ලුසියා විතරක් නෙමේ මිඩ්ලන්ඩ් වල කර්මාන්ත ශාලාවල කම්කරුවෝ පවා   සල්ලි එකතු කරල දුන්න. අද මිනිසුන්ට ඇවිදින්න පුළුවන්වෙලා තියෙන ලස්සන උද්‍යානය සහ ජලාශ සංඛ්‍යාව  බේරා ගත්තේ එහෙම.
 
රොබට් හන්ටර් 1907 දී පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්ත. නැෂනල් ට්‍රස්ට් (ජාතික පදනම) ට ජනතාව ගේ සුභ සිද්ධිය උදෙසා ජාතියේ වැදගත් පුරා විද්‍යාත්මක ස්ථාන සහ වනාන්තර ඇතුළු දේපල රැක බලා ගැනීමේ අයිතිය පැවරිය යුතුය කියල.

ඔහු මිය ගියාට පස්සේදීත්  1923  ග්‍රේට්ගේබල්  කියන කඳු පේළිය සහිත කොටස  නැෂනල් ට්‍රස්ට් එකට ප්‍රදානය කරනවා. ඒ ගොල්ලන්ගේ සාමජිකයන් වුන කඳු හා පර්වත තරණය කරන්නන් ගේ සංගමය තමා එය  මිලදී අරගෙන පරිත්‍යාග කරන්නේ. හෙක්ටයාර් 750ක් එතනම. ඊයේ පෙරේද අපි ඇවිදින්න ගිය තැන ස්කෆෙල් තියෙන්නෙත් එතනම තමයි.


තවත් එක්කෙනෙක් ගැන මතක් කරලම ලිවිම නවත්වනවා. ඒ තමා හෙලන්  බියට්‍රික්ස්  පොටර් මහත්මිය . පීටර් රැබිට් කියන කතාව ලීවේ එයා . කර්තෘවරියක් වගේම 
පරිසර වේදිනියක් . එයා 1905 දී  හිල් ටොප් කියන 17 ශත වර්ෂයේ හදපු ගොවිපළ සහ නිවස මිලදී ගන්නවා. 1943 දී එයා  මියයන කොට එයාගේ මුළු දේපල ඔක්කොම නැෂනල් ට්‍රස්ට් එකට දෙනවා. ලේක් දිස්ත්‍රික්කයේ ජාතික  උද්‍යාන කියන කොටස හැදෙන්නේ එහෙම. මේ  පාර එන්න කලින් ඒකත් බලලම තමා ආවේ.

ඉතින් අද වෙනකොට ට්‍රස්ට් එකේ සාමාජිකයෝ මිලියන 5.6 ක් ඉන්නව. ඒ ගොල්ලන්ගේ සාමාජික මුදල් ලැබෙනවා.  ස්වාධින උදව් කාරයන් 65000 ක් ඉන්නවා. රැකියාව  කරනවා 14000ක්. යුරෝපයේ විශාලතම පරිසරය සංරක්ෂණය කිරීමේ පදනම තමා මේ.  හෙක්ටෙයාර් 250,000 ක් හෙවත් අක්කර ලක්ෂ හයකට වැඩි ගොවිබිම්, වන රක්‍ෂිතයන් ප්‍රමාණයක් ආරක්ෂා කරනවා. හැතැප්ම 780 කවෙරළ තීරයක්  අයත් කරගෙන රකිනවා. පන්සියකට  වැඩිය පරණ ඓතිහාසික දේපල රැකගෙන තිබෙනවා. ඒ හැම තැනකටම මහජනතාව ට  යන්න පුළුවන්.
 
හරිත පක්ෂය  කියල දේශපාලන  පක්ෂයක්  හැදිලා ලෝකයේ  පරිසරය, දේශගුණය   බේරා ගැනීමට සටන් වදිනවා නේ.  තරමක හොඳ වැඩක් වුනත් දේශපාලනික ක්‍රියාධරයන් පරිසරවේදීන් හැටියට පෙනී හිටලා වැඩ කරනකොට, මට හුඟක් දුරට පෙනිච්ච දෙයක් තමයි එයාලගේ ඒ වෑයම තමන් අයිති  දේශපාලන පක්ෂයට සම්බන්ධ කරලයි  තියෙන්නේ කියල. සමහර විට ඒ දේශපාලන  පක්ෂයම බලයට ආවොත් අර සටන් කරපුවා මතකත් නැහැ. ඒ වගේම බලයේ ඉන්න රජය එතකොට ස්වභාවිකවම විරුද්ධ වෙනවා. අරගොල්ලන්ට විරුද්ධ වෙන්න ඕනේ නිසා. එයාලගේ අනුගාගමිකයන්ටත් සිද්ධ වෙනවා ඒ ස්ථාවරයම ගන්න. අකමැත්තෙන් වුනත්. 

 ඒ වගේම ෆේස්බුක් පෝස්ට් දහස්  ගණන් හුවමාරු වුනා කියල කෙරෙන දේකුත් නැහැ, සෑඩ්   (කණගාටුයි) කියල ලකුණක් දාල මාරුවෙන එක විතරයි නේ අපි කරන්නේ. ෆේස්බුක් එකේ තිබ්බ නම් ඔක්ටෙවියා හිල්, හඩ්වික්  හා හන්ටර් එක්ක "හායි අනේ, බලන්න මේ කැළෑ කපන හැටි" කිය කියා ෂෙයාර් කරලා ඊළඟ පෝස්ට් එකට යයි, හොඳ වෙලාවට තිබිබේ නැත්තේ. එහෙම වුනා නම් අපි ඊයේ පෙරේදා  ඇවිද්ද ලස්සන තැන්  අද නැහැ.

ෆේස්බුක් පෝස්ට් දාන ඔක්කොම රුපියල් 1000 ගානේ දහසක් දෙනා රුපියල් දස ලක්ෂයක් එකතු කලොත් ලුණුගල වගේ ලස්සන ගම් බේරා  ගන්න පුළුවන්. ලංකාගම ඉඩම් මිලදී ගත්ත නම් ඒ වගේ පදනමකට ඒවා ඉබේම රැකෙනවා.  ඔක්ටේවියා ල මුලින්ම කළේ මිනිසුන්ට උදව් කරන එක. ඒ මිනිසුන් වෙනුවෙන්ම  තමා ඒ අය වන ගහණය බේරා ගන්න කටයුතු කළේ. ඒ එංගලන්තයේ ඒ කාලේ සිට අද දක්වා මිනිසුන්ට තේරුණේ ඒක.

ලේක් දිස්ත්‍රික්කයේ බැඳපු වැව වල් නැත කියා  ඇනෝ මහතෙකු කියන නිසා මේක  දැම්මේ. තල්මියර් වැව වික්ටෝරියානු යුගයේ හදපු එකක්. මෙතැන යොමුව. අපි මෙතනට ගියා පළමු දවසෙම වගේ. 
Thirlmere lake KEswick




මුල් ලිපි:
 


 

Monday 21 September 2020

ස්කෆෙල් පයික් කඳු තරණය

අගෝස්තු තෙවැනි සතියේ ලේක් දිස්ත්‍රික්කයේ ගමන් 

කෝවිඩ් අභියෝගය - ග්‍රේට් ලැන්ඩෙල් කඳු තරණය   -ලැන්ඩෙල් පයික් සහ පවේ ආර්ක්  

ලේක් දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ස්කේල් ෆෝස් 
scafell pike map

Scafell Pike route



මෙම වසර සඳහා අපගේ අවසන් කඳු හරහා ඇවිදීමේ ගමන  වූයේ ස්කැෆෙල් පයික් වෙත  අගෝස්තු 29 වන දින කළ ගමනය. ඒ  ලැන්ග්ඩේල් පයික්හි ඇවිදීමෙන් පසුව සහ විල් (ලේක් දිස්ත්‍රික්කය)  දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල වන ස්කේල් ෆෝස්  නැරඹීමෙන් පසුවය. අපේ වැඩිමහල් දියණිය වන ශනායා  සිය විශ්ව විද්‍යාල අයදුම්පත් පිරවීමටත් ,  ඇගේ විලාසිතා ව්‍යාපාරයේ වැඩ කටයුතු කිරීමත්  සඳහා දුම්රියෙන් පිටත් වූවාය.  ඇය දුම්රියට හැරලවා අප නැවත නවාතැන කරා  පැමිණියේ මදක් කණගාටුවෙනි. එංගලන්තයේ උසම කන්ද තරණය කිරීමට ඉතිරිව ඇත්තේ අප තිදෙනෙකු පමණි. ස්කැෆෙල් පයික්හි උස මීටර් 978 කි. එය අඩි 3209 ක් පමණ වන අතර එය එතරම් ඉහළ මට්ටමක නොපෙනුනත්, කඳු මුදුනට දිගු ගමනක් යාම අවතක්සේරු කළ නොහැකි බව ගමනේ මුල් හරියේදීම අපට පසක් වුණි. 







මේ කඳු මුදුනට නැගීමට   පැය 3 ක් හා බැසීමට ඊට සමාන කාලයක් ගත වන බව සංචාරක මාර්ගෝපදේශක පොත් පින්චවල් වල සටහන්ව තිබුණි. ඒ කෙලින්ම ස්කෆෙල් පයික් තරණය කර ඒ පැත්තෙන්ම බැස්සොත් පමණි.  නමුත් මගේ බිරිඳ  ඉනෙස් සහ අපේ බාල දියණිය ෂකිරාට තරමක් වෙනස් අදහසක් තිබූ අතර එය මට හෙළි කළේ අවසාන දිනයේ දී මා මවිත කරන්නටය.  වොස්ඩේල් සිට ස්කැෆල් දක්වා ගොස් ඒමට සාමාන්‍යයෙන්  කිලෝමීටර් 9 ක් පමණ වේ, නමුත් ෂකිරාට අවශ්‍ය වූයේ වඩා වැඩි දුරක් ගමන් කර ස්කැෆල් පයික්හි අනෙක් පැත්තෙන් බැසීමටය. මින් අදහස් වන්නේ එම කඳු යායේ නැගීමට තවත් කඳු දෙකක් ඇති බවය - මේ නිසා ගමනේ මුළු දිග කිලෝමීටර් 11 කට මදක් වැඩි වේ. මේ කඳු දෙක නම් මුහුදු මට්ටමේ සිට මීටර් 931 උස   (අඩි  3055) බ්‍රෝඩ් ක්‍රැග් සහ මීටර් 910 (අඩි 2955) උස ග්‍රේට් එන්ඩ් ය.  (සිතියම් බලන්න) 

අපි වස්ඩෙල් වෙතට යනවිට, රථගාල ඒ වන විටත් පිරී තිබුණි. වාසනාවකට අපට නැග්ම පටන් ගැනෙනා උද්‍යානයේ ගේට්ටුව අසල රථය ගාල් කිරීමට ස්ථානයක් හමු විය. කෙසේ වෙතත් අප පිටුපස බොහෝ මෝටර් රථ තිබූ අතර ඔවුන් සියල්ලන්ටම කණගාටුදායක ලෙස ආපසු හැරී යාමට සිදුවුනේ රථ ගාල් කරීමට කිසිම ඉඩක් නොතිබූ බැවිනි.

අපි කඳු නැගීම ආරම්භ කරන විට, අප සමඟ වෙනත් කඳු නගින්නන් වැඩිපුර දෙනෙක් සිටියේ නැත. මෙය  ඔබට පින්තූර වලින් ද දැකිය හැකිය. නමුත් නැග්ම අරඹා පැය භාගයක් පමණ වන  විට අප කළ වැරැද්ද තේරුම්  ගත්තෙමු.  මේ වන විටත් බොහෝ දෙනෙක් කඳු මුදුනට ආසන්නයටම නැග සිටියහ. කොවිඩ් -19 වෛරසය නිසා මිනිසුන් පොකුරු වලට හසුවීම වළක්වා ගැනීමට මාර්ගය පටුව තිබූ   සෑම අවස්ථාවකම අප එක්කෝ නගින හෝ බසින අයට මග ඉඩදී මාර්ගයෙන් ඉවත් වූයෙමු.  නමුත් සමහරු කෝවිඩ් 19 වසංගතයක් නොමැති ආකාරයෙන් කටයුතු කරන බව අපි දුටුවෙමු. මේ නිසාම සමහර විට අපට සාමාන්‍ය මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදුවුනි. මිනිසුන් ඉහළට හෝ පහළට කණ්ඩායම් වශයෙන් ගමන් කළහ.  ඒ අවස්ථාවේදී අපට හැරී  ආපසු යා හැකි තත්වයක් ද  නොතිබුණි.






මේ ඉහළ සිට පහලට එන කණ්ඩායම් දුටුවිට මට ශ්‍රී පාද නැග්ම සිහිපත් විය. "වැඳලා බහින මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි " කියා ඉහළට යන අය හඬ නගති. "වඳින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි " කියා බහින අය කියති.  ලංකාවේ පවතී මේ සුහදත්වය මනරම්ය. හැබැයි කෝවිඩ් තර්ජනය තිබුනත් සමහරු එකිනෙකාට ආචාර සමාචාර කර ගත්හ. අපට මාර්ගය  කියා දීමට , සිනහවකින් සංග්‍රහ කිරීමට කිහිප දෙනෙක්ම උත්සුක වුනි. 

අපි කඳු මුදුනට ළඟා වන විට දුටුවේ මුදුනේ ඇති වර්ග මීටර හතරත් හයත් අතර කුඩා චතුරශ්‍රාකාර ඉඩ ප්‍රමාණය තුල  බොහෝ අය සිටි අතර නවත්ත අපට සිතුනේ ඔවුන් කිසිවෙකුටත්  කෝවිඩ් 19 වසංගතයක් තිබෙන වගක් වත් මතකයේ නොතිබෙන බවයි. නොඑසේ නම් ඔවුන් එසේ හැසිරුනි. එසේම ඒ කුඩා මිටර දෙකේ ඉතිරි කොටස නැගීමට බොහෝ අය පෝලිමේ සිටියහ. අප එතනට නොගොස් එය වටේ ඇති මාර්ගයේ ගියෙමු. එනිසා අප තිදෙනාම මීටර් 978  ක්ම තරණය නොකෙලෙමු. ඒ අනුව අප නැග්ගේ  මීටර් 976 ක් පමණි.

පුද්ගලයන් 6 දෙනෙකුගේ පමණක් එකතු වීමට අවසර දෙන ජනයා පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට  පත් කිරීමට එක්සත් රාජධානියේ රජයට සිදුවූයේ මිනිසුන්ගේ මේ හැසිරීම නිසා විය යුතුය. බොහෝ දෙනා කෝවිඩ් 19 බේරීම සඳහා පනවා තිබෙන මීටර  දෙකේ  'ආරක්ෂිත දුර' නොසලකා හැර කටයුතු කරන බැවිනි.


ඉතින්, අපි ස්කැෆෙල් පයික් වල තරමක් බෑවුම් සහිත හා විශාල ගල් වලින් පිරි තිබුණු මග තරණය කර ඉහළට ලඟා වුනෙමු. අයර්ලන්ත මුහුදේ සිට හමන තද සීතල සුළඟ දරා ගැනීමට අපහසු බව අපට ඉක්මනින්ම වැටහුණි. කාරුණික හදවත් ඇති කඳු නගින්නන් පැතලි ගල් එකතු කොට තැනූ කුඩා ගුහාවක් වන්නක් තුළ අපි වාඩි වුණෙමු. කඳු මුදුන වටා එවැනි ව්‍යුහයන තුන හතරක් ම විය. නමුත් ඒවායේ සිටියද සිතල සුළං මග හරිම අපහසු විය. මම ශීතලට වෙව්ලමින් සිටියදී ඉනෙස් අවධාරනය කරමින් සිටියේ අපි ඉක්මනින් නැවතත් ගමන් ඇරඹිය යුතු බවයි. නමුත් ෂකිරා නිවසේ රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී සිටින්නාක් මෙන් ඇගේ සැන්ඩ්විචය සෙමෙන් කෑමට කාලය ගත්තාය. තරුණ ළමයෙකු වූ ඇයට ඉතා ඉක්මණින් ඉහළට හා පහළට නැගීමට හැකිවූ ගමනේ හැමවිටම පමාව සිදු වූයේ මම සෙමින් ඇවිදින නිසාය. මම මගේ දණහිස ගැන නිතර කනස්සල්ලට පත්ව සිටියෙමි. ගමන් ඉක්මන් කළ වහාම දණහිස රිදුම් දෙන්නට පටන් ගැනීම එයට හේතුවයි. කඳු බැසිමේදී මෙය වඩාත් උග්‍ර අතට හැරුණි.

ස්කෆෙල්අ පයික් කඳු මුදුනේ අනිත් පැත්තෙන් බ්‍රෝඩ් ක්‍රැග් දෙසට කන්දේ මීටර දෙසීයක් පමණ බැස ඉන්පසු නැවතත් බ්‍රෝඩ් ක්‍රැග් කන්ද නැගීම දුෂ්කර හා දැඩි වෙහෙසකර කාර්යයක් විය. මට ලේක් දිස්ත්‍රිකයේ දී හමුවුණු ඉංග්‍රීසි ජාතිකයකු මේ පැත්තේ ගැන අවවාදයක් කලේ එයවඩා බෑවුම් සහිත නිසා පරිස්සම්වන ලෙසය. ඔහු තව දුරත් පැවසුවේ කඳු මුදුනේ අනෙක් පැත්තේ මීට වසර කිහිපයකට පෙර මරණ කිහිපයක්ද සිදුවූ බවයි. බැස යන මාර්ගය වැරදියට වටහාගෙන කඳු මුදුනේ වඩාත් කඳු බෑවුමක කෙළවරට ගොස් එතනින් ඇදවැටී මියගිය කඳු නගින්නන් දෙතුන් දෙනෙකු ගැන ඔහු පැවසිය. . අපි බ්‍රෝඩ් ක්‍රැග් දෙසට යන විට ඉනෙස් ලිස්සා වැටෙනු මම දුටුවෙමි. මට ඇයට උදව් කිරීමට ක්‍රමයක් තිබුණේ නැත. මම අඩි කිහිපයක් ම පිටු පසින් ලිස්ස නොයා කන්ද බැසීමට පොරබදමින් සිටියෙමි . කාන්තාවන් දෙදෙනෙක් උදව් සඳහා ඇය දෙසට දිව ගියහ. නමුත් ඉනෙස් ඉක්මනින් ම නැඟිට ගත්තාය. බ්‍රෝඩ් පර්වතයට නැගීම දුෂ්කර වූ නමුත් එහි මුදුනට ගිය පසු එය පුදුම සහගත දර්ශනයක් විය.

එයට හේතුවවූයේ ස්වාභාවිකවම නිර්මාණය වූ විශාල ගල් පවුර කඳු නගින්නන්ට අයර්ලන්ත මුහුදෙන් එන සීතල සුළඟින් ආරක්ෂා වීමට කඩඉම් ආවරණයක් සපයා දීම නිසාය. ආදී හතළිහක් පමණ වූ ගල් බිත්තියේ එක පැත්තක් කෙනෙකුට විවේක ගත හැකි අතර අවට පරිසරයේ සුන්දරත්වය නිදහසේ භුක්ති විඳීමටදහැකිය. මට එතන ටික වේලාවක් එහි රැඳී සිටීමට අවශ්‍ය වූ නමුත් ඉතා සුළු පිරිසක් පමණක් මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි නිසා ඉනෙස්ට නැවතත් ඉක්මනින් ගමන ආරම්භ කරීමට අවශ්‍ය විය. එසේම ඒ කඳුකර මුදුන හරහා නිසි මාර්ගයක් නොතිබුණි. කඳුකරයේ මුදුනේ ඇති විශාල ගල් කුට්ටි හරහා ඒවායින් පනිමින් ගමන් කළ යුතු විය. පය ලිස්සුවෙත් කකුල කඩා ගැනීමට වන හෙයින් මම ඉතා සීරුවෙන් ගමන් කලෙමි. ගමන් කළාටත් වඩා වුයේ ගලින් ගලට පැනීමකි. මුහුදු මට්ටමේ සිට මීටර 910 උස ග්‍රේට් එන්ඩ් දක්වා ගිය අපි එතැනට දකුණට හැරී වඩා පහසුවෙන් ඒ කොටස බැස ගත්තෙමු. ගමනේ අවසාන කොටස සඳහා වමට හැරුණු විට පහළ නිම්නයේ 'ස්පින්කින් ටෑම්' නම් සුන්දර විල දැකගත හැකි විය.

විල අසල සිට පහළට පැමිණීම එතරම් අපහසු නොවූ නමුත් එය ඉතා දිගු හා වෙහෙසකාරී ගමනක් විය . නමුත් අවසානයේදී, පැය අටකට නවයකට පසු හමාර වූ ගමන් තුල සාර්ථකව අවසන් කළ කඳු නැග්ම සිතේ ජනිත කළේ බලවත් ප්‍රීතියකි.

පහලට බසින විට සැන්දෑ යාමය එළඹ තිබුණි. බැස යන හිරු අවට අහස රත් පැහැයෙන් සරසා තිබුණි. එය කැමරාවේ සටහන්ව තිබුනේ මෙසේය.






Wednesday 16 September 2020

ධර්මසිරි බණ්ඩාරනායක




වම් ඉවුරේ තුන්වැන්නා  කියල ධර්මසිරි බණ්ඩාරනායකයන් ගේ චරිතාපදානයක් පළවෙලා තිබෙනවා දැක්ක. චින්තන ධර්මදාස ලියල තිබෙන ලිපියකුත් කියෙව්වා. එයා ලියල තිබ්බ මෙහෙම..//මගේ ජීවිතේ හොල්ලපු චිත්රපටි දෙකක් ධර්මසිරි තෑගි කරලා තියෙනවා. එකක් හංස විලක්. අනික තුන්වෙනි යාමය// ඒකට එකඟයි. ඊටත් පස්සේ චින්තන කියනවා "මිනිස්සු කිසිදු ලාබයක් නොලබා රටේ සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්න වෙන මහන්සිය ගැන අපි නිකමට තැන්ක් යූ වත් කියන ජාතියක් නෙමෙයි. " මම නම් දන්නේ නැහැ ඒක. හුඟක් කලාකාරයෝ දේශපාලනයට සම්බන්ධ වෙනකොට මිනිසුන් ගේ ලැදියාව ඉබේම බෙදෙනවා. එනිසා මම හිතන්නේ අපි , ඒ සාහිත්‍ය රස විඳින අය වශයෙන් ඒ කලාකරුවන්ගේ ප්‍රතිභාව ගැන, ඔවුන්ගේ නිර්මාණ ගැන සතුටු වෙන්න ඕනේ කියල වෙනසක් නැතිව. ඔවුන් මොන දේශපාලන කඳවුරේද කියන එක අදාළ කර ගන්න අවශ්‍ය නැහැ. ධර්මසිරි බණ්ඩාරනායක වගේම ජැක්සන් ඇන්තනි ටත් ඒක අදාලයි.


අපි ලංකාවේදී පවුලේ ඔක්කොම එක්ක පවුලක් වශයෙන් අන්තිමට ගිහින් බලපු චිත්‍රපටය "තුන්වෙනි යාමය". ඒ 1983 දී. ඒ චිත්‍රපටය එහෙම එකක් නොවුනත් ඒ කාලේ මම පලමු වරට උසස් පෙළ ලියනවා. ගෙදර දරුවෝ හතර දෙනාම ලොකු නිසා අවුලක් වුනේ නැහැ. තාත්තා චිත්‍රපටය ගැන නිහඬව හිටියා පස්සේ . අම්මට වැඩිය තේරුනේ නැහැ. "අපරාදේ ඒ ගෑනු මනුස්සා එල්ලුනේ කීව". මේ අපි ඒ දවස් වල හොරෙන් වගේ බ්ලු ලැගුන්, ලේඩි චැටලි , කොනන් ද බාබේරියන් වගේ ෆිල්ම්ස් බලන කාලේ . රියෝ එකේ ඇඩම්ස් ට විතරක් ඔන්ලි චිත්‍රපටත් බැලුවේ නැහැයි කියන්න අමාරුයි.

ඉතින්, ඒනිසා "තුන්වෙනි යාමය" හැරවුම් ලක්ෂයක් වුනා මටනම් සංගීතයත් එක්කම.
ධර්මසිරි බණ්ඩාරනායක කියන්නෙම එතකොටත් මහා දැවැන්තයෙක් අපට. හංස විලක් කරලා තිබුනේ එතකොටත් මහිතේ. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායක කියන නළුවා "වීර පුරන් අප්පු" සහ "පළගැටියෝ" චිත්‍රපට වල රඟපාල ඒ වෙනකොටත්.

ඒ කාලයට පස්සේ ඒකාධිපති, මකරාක්ෂයා සහ ධවල භිෂණය කියන නාට්‍ය ආවා වම් ඉවුරට. ඉතින් මේ වගේ සිනමාවේ සහ නාට්‍ය කලාවේ දැවැන්තයෙක්, සහ අපූරු ප්‍රතිභාවක් තියන සුන්දර චරිතයක් මට හම්බ වෙන්න ලැබුන 2016 දී අහම්බෙන් වගේ.

මගේ පළමු පොත "කොළඹ ගමයා " බ්ලොග් අඩවියේ තීරු ලිපි ටිකක් "පොල්කට්ටෙන් එපිටට " කියල පල කරලා පොත එලි දක්වන්න තැනක් හොයමින් හිටිය. චූල (චූලානන්ද සමරනායක) කිව්වා, "අජිත් ඔහොම ඉන්න මම ධර්මසිරි අයියා ගෙන් අහන්නම්. එයාට ත්‍රිකොන් කියල තැනක් තියනවා. " කියල. මට හරියටම මතක නැහැ චූල "අයිය" කිව්වද ධර්මසිරි බණ්ඩාරනායක කීවද කියල නම්. කොහොම හරි මේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා කැමති වෙලා තිබුන. මම ඉතින් ගෙවන්න ඇහුව. සල්ලි ඕනේ නැහැ ඇවිල්ල පොතේ ලෝන්ච් එක කරන්න කීව.

මම චූල එක්ක ගිහින් හමුවුනා ඊට කලින් දවසේ. මේ හෙළ සිනමාවේ දැවැන්තයෙක් හැටියට හිතේ මැවී තිබුන චරිතය නිසා පොඩි චකිතයකුත් තිබ්බ. බොහොම නිහතමානී මහා පොලොවට ලංව ඉන්න සුන්දර මනුෂ්‍යයෙක් මට හමුවුනේ. අවුරුදු ගාණක් දන්නා කියන විධිහට කතා කළා මාත් එක්ක.

මම තවම දන්නේ නැහැ එතුමාට "තුන්වෙනි යාමය " චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න අවශ්‍ය මුළු මුදලම ලැබුනද කියල. මිනිස්සු අර චින්තන ධර්මදාස කියපු විධියට තෑන්ක් යූ කියන්න ඕනේ නම් කරන්න තිබ්බේ ඒ චිත්‍රපටය බේරා ගන්න එක.


පොත එළි දක්වපු දවසෙත් ධර්මසිරි බණ්ඩාරනායක මහත්මය හිමින් සීරුවේ පිටි පස්සට ඇවිත් වාඩිවෙලා රැස්වීම ඉවර වෙනකන්ම හිටිය. වැඩිපුරම ඇවිල්ල හිටියේ බ්ලොග් යාලුවෝ සෙට් එක. කට්ටියට මතක ත් ඇති. මම හිතන්නේ සැර පානයක් තියනවා දකින්නත් ඇති. චූලා නම් ෆැන්ටා බෝතලයක්ම බිල වෙරි වෙලා හිටියා.
ඕගොල්ලන්ට ඕන වෙලාවක් ගන්න කියල ධර්මසිරි බණ්ඩාරනායක ගියා.







ඒ තමයි මගේ මතකය. අර බලපු චිත්‍රපට හා නාට්‍ය වලට අමතරව.
ඉතින් ඔහු ගැන පොතක් ලියපු එක සාධාරණයි, කාලෝචිතයි.

දීර්ඝායු වේවා ධර්මසිරි බණ්ඩාරනායක මහතාණෙනි.