Saturday, 30 January 2021

එකිබස්තුස් ගමන

මම "පොල්කට්ටෙන් එපිටට"  පොතේ අගටම ඇති  ලිපියේ ලිවූ අදහසක් වූයේ කිසියම් අහඹු සිද්ධියකින් මුළු ජීවිතයේම ගමන්මග වෙනස් විය හැකි බවය. එය එක වරක් නොව කිහිප වතාවක්ම සිදු විය හැක්කේ  අපේ ජිවිත,  කොතරම් අපට අවශ්‍ය ආකාරයට රේඛීය දිශානතියකට ගෙනයාමට තැත් කළත් සැමවිටම එය එසේ වීම අනිවාර්ය නොවන නිසාය.  හැබැයි ඒවා එසේ සිදුවන්නේ කිසියම් අමුතු බලවේගයක් නිසා නොව අපගේ අතපසුවීමක් නිසාවෙන් හෝ අපට පාලනය කළ නොහැකි නීති රීති හෝ සිද්ධි සමුදායන් නිසාය.

මගේ එකිබස්තුස් ගමන ගැන දැනට සිටින යහළුවන් හෝ සෝවියට් දේශයේ සිටි යහළුවන් කිසිවෙකුත් දන්නේ නැත. මා කීවේ මගේ පියාට පමණි. ඒ හා සම්බන්ධ රැකියාව ලැබේද  නැත්ද යන්න  පිළිබඳව හරි ඇගයුමක් නොතිබීම නිසා විය හැක. 
 
සෝවියට් දේශය 1991 අවසානයේ බිඳ වැටුණු පසු සමුහාණ්ඩු පහලවම නිදහස ලබා වෙන්ව ගියහ. ඊට අනුරූපව යටපත් කර තිබූ මේ රටවල ජාතිවාදය ඉස්මුදුන් වලටම ගලා ආයේය. බහුතරයක්  මුස්ලිම්වරුන් වෙසෙන කසාක්ස්තානය (බොහෝ අය වැරදියට හඳුන්වන කසකස්ථානය ) ටද එයින් මිදෙන්නට නොහැකි විය. ස්ටාලින් ගේ කාලයේ පිටුවහල් කරන ලද බොහෝ ජර්මන් වරු එහි සිටියහ. මින් සමහරෙක්  දෙවන ලෝක යුද්ධය නිසා හසුවූ යුධ සිරකරුවන්ය. මොවුන් හැඳින්වුනේ සෝවියට් ජර්මන්වරු ලෙසය. කසාකයන් මුලින්ම රටින් එළවා දැමුවේ ඔවුන්වය. ජර්මන් රජය මේ සියල්ලන්ම භාර ගැනීමට කැමති විය. ඊළඟට පැමිණියේ සෝවියට් කාලයේ පදිංචි කරනලද  රුසියානුවන් හා අනිකුත් ජාතීන් ගේ වාරයයි. මෙසේ රුසියාවට ආපසු පිටමන් කරන ලද  රුසියානුන්ට හරි හමන් ඉන්නට හිටින්නට තැනක් තිබුනේද නැත. බොහෝ අය තම තමන්ගේ නෑදෑයන් ගේ යහළුවන් ගේ ගෙවල අමාරුවෙන් ජීවත් වූහ. 

මෙසේ එළවන ලද අය බොහොමයක් වෘත්තිකයන් විය. එනම් ඉංජිනේරු, වෛද්‍ය, කාර්මික ශිල්පින් , ගුරු වෘත්තියේ යෙදුනවුන් හෝ  කිසියම් ශිල්පයක් උගත් අය විය. කසාක් වරු හිතුවේ ඔවුන්ට ඇති ශ්‍රම ශක්තිය ප්‍රමාණවත් යැයි කියාය. නමුත් එසේ වූයේ නැත.      
ඒ දිනවල අයැදුම්පත් දැමූ  රැකියා දෙකක් මට මතකය.  එකක්  රදර්ෆර්ඩ් ඇපල්ටන් පර්යේෂණාගාරයේ කනිෂ්ඨ ඉංජිනේරු තනතුරකි. මේ අර එර්නස්ට් රද්ර්ෆර්ඩ් ගේ සිසුන් දෙදෙනෙකු වන ගෛගර් හා මාර්ස්ඩන් පරමාණුක න්‍යෂ්ටිය සොයාගත් රන් වළල්ලට ඇල්ෆා අංශුන් යැවූ පරීක්ෂණය කල තැනමය.  මට ඒ රැකියාව ලැබුනේ නැත. සම්මුඛ පරීක්ෂණයේදී මගේ ඉංග්‍රීසි හොඳ නැති බව මටම වැටහුණි. මට දැනුත්  සිතෙන්නේ  මා ඒ තැනට ගියේ එහි නමට ඇති ගෞරවය  හා ස්ථානය දැක ගැනීමට මිස රැකියාවක් ලැබේ යයි බලාපොරොත්තුවෙන් නොවන බවය. එකල මම රෝයල් ඊගල් නමැති හෝටලයක මොස්කව්  ස්ටේට් යුනියේ ලොමොනොසව් මණ්ඩපයේ උගත් බුද්ධි හිත්තැටිය සමග  කළමනාකාර තනතුරක් දැරුවෙමි. සම්මුඛ පරීක්ෂණ මඩුල්ල  මට ආපසු එම රැකියාවටම යන්නට කීහ.   

ඇමෙරිකානු  AES ආයතනයට  කෙන්ට් වල මෙඩ්වේ හි තාප (ගෑස්)  විදුලිබලාගාරය අයත්ව තිබුණි. පුවත්පත් දැන්වීමක ඔවුන් කසාක්ස්තාන්  එකිබස්තුස් බලාගාරයේ සේවයට ඉන්ජිනේරුවන් කැඳවන බව දැක අයදුම්පතක් දැමුවෙමි. ඔවුන් එයට ඒ වනවිට ආයෝජනය කර නොතිබූ  අතර දත්ත සෙවීමේ චාරිකාවක් සංවිධානය කර තිබුණි. (fact finding mission). මෙඩ්වේ බලාගාරයේ ප්‍රධාන විධායක ඉංජිනේරුවරුන් දෙදෙනා සහ අයර්ලන්ත අධි වෝල්ටීයතා ඉන්ජිනේරුවෙකුද ඊශ්‍රායල සම්භවයක් ඇති AES ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ගෙන්ද සමන්විතවූ  ගමනට මා බඳවා ගනු ලැබුවේ තාක්ෂණික පරිවර්තකයෙකු  ලෙසිනි. (technical translator). නමුත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය වූයේ කසාක්ස්වරුන් ප්‍රධාන සාකච්ඡා වලදී සඟවන දේ ඔවුන් සමග කතාබස් කොට දැනගැනීමයි.  ඇමෙරිකානු සමාගමට බලාගාරයේ ඇත්ත වටිනාකම දැනගැනීමට අවශ්‍යව තිබුණි. අධ්‍යක්ෂවරුන් හා වෙළඳ නියෝජිතයන් ගිය මුල් සංචාර වලදී කසාක්ස්වරුන් බොහෝ දේ සඟවන බව ඔවුන්ට වැටහී තිබුණි. ඉංජිනේරුවන් යැව්වේ ඒ නිසාය.  
 
මේ ගමනේදී මට පැහැදිලිවූ එක දෙයක් විය. ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා  එක්සත් ජනපදය වැනි රටවල රැකියාවන්ට ගිය සමහරු සෝවියට් අධ්‍යාපනය හා තාක්ෂණික, විද්‍යාත්මක ක්ෂේත්‍රයන් හි ජයග්‍රහණ බොහෝ විට අවතක්සේරු කරනු මම දිටිමි. ශ්‍රී ලංකාවේ  විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලද ඇතැමුන් අතරද මේ අදහස් ම තිබෙනු මා  දැක තිබේ. නමුත් අපේ කණ්ඩායමේ  ඇමෙරිකන් ප්‍රධාන ඉංජිනේරුවන් හෝ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවා සෝවියට් තාක්ෂණික හපන්කම් ගැන කතා කළේ ප්‍රශංසා මුඛයෙනි. සෝවියට්  ඉංජිනේරුවන්ට බටහිර තරම් පහසුකම් තිබුනේ වඩාත් දියුණු දේ නිපදවීමට හැකියාවක් තිබු බව ඔවුහු පිළිගත්හ.
  
ඒ දිනවල ලෝකයේ උසම චිම්නි දෙක  (මීටර 330) සහිත ගල් අඟුරු වලින් ක්‍රියා කරන තාප  විදුලි බලාගාරය තිබුනේ   එකිබස්තුස් වලය. මෙගාවොට් 500 ටර්බයින් හතරක් තිබූ එහි මුළු ධාරිතාවය මෙගාවොට් 4000කි. සෝවියට් වරු එය සාදා නිම කලේ 1980 දීය.  සෝවියට් දේශයේ අභාවයෙන් පසු කසාක්ස්වරුන්  අතට ගිය විදුලි බලාගාරයේ  නිසි අලුත්වැඩියා කිරීම් පැහැර හැර තිබුණි.    අලුත්වැඩියා කිරීමට ද්‍රව්‍ය, උපකරණ හා පුහුණු ශ්‍රමයද ඔවුන්ට නොතිබුණි. ඔවුන් ඉහත කි පරිදි  රුසියානු සහ ජර්මන් පුහුණු ශ්‍රමිකයන් රටින් එලවිමද තත්වය තවත් අල වීමට හේතුවක් විය.  මේ කාලයේදී එක  මෙගාවොට් පන්සීයක ටර්බයිනයක් පුපුරා ගොස් ටර්බයිනයේ කෑල්ලක් උස වහලය පසාරු කරගෙන ගොස් තිබුණි. එනිසා අප එහි යනවිට ඉතිරිව  තිබුනේ  ටර්බයින් තුනක් පමණි.  බලාගාරයේ  ධාරිතාවය මෙගාවොට් 650 කට පමණ අඩුවී තිබුණි. (මේ විනාශවුණු කොටස ඡායාරූප  ගත කරන්නට ඔවුන් මට අවසර දුන්නේ නැත). ඔවුන් බලාගාරයේ මුළු ධාරිතාවය පිලිබඳව  කලින් ලබාදුන් දත්ත වැරදි බව මේ ගමනේදී සොයා ගැනුනි. 
බලාගාරය 



අප  එකිබස්තුස් වලට ගමන් කලේ සැහැල්ලු ගුවන් යානයකිනි. එහිදී නැවතී සිටියේ අල්මාති නගරයේ රකත් මාළිගය නමින් හඳුන්වන විශාලතම  හෝටලයේය.   හෝටලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පිරිස් මෙන්ම බටහිර සමාගම් වල සේවකයන් බොහොමයක්ද රැඳී සිටියහ. සෝවියට් දේශයෙන් වෙන්වූ පසු මේ රටවල බටහිරයන්ගේ ආගමනය හා ආයෝජනය ගලා ඒම ප්‍රබලව සිදුවුණි. එකිබස්තුවලදී මට හමුවුණු පිරිස අතරේ නූර් නම් භාෂා පරිවර්තිකාවද වූවාය. කසාක්ස් නියෝජිතනයන්  හා බලාගාරයේ අධ්‍යක්ෂක වරුන් අපට ඉතා හොඳින් සැලකූහ.  
රකත් පැලස්  හෝටලය 
පැලස් හෝටලය  ඉදිරිපස 


අපේ කණ්ඩායම 


එකිබස්තුස් හි කුඩා ගුවන් තොටුපල 

එකිබස්තුස් පිලිබඳ කතා  කරන විට මතකයට එන  තවත් වැදගත් කාරනා දෙකක් තිබේ. එකක් නම් ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් නමැති මහා ලේඛකයා පිටුවහල් කෙරුණේද මේ නගරයට වීමයි. එසේ නම් එයට සම්බන්ධ දෙවන කරුණ කුප්‍රකට ගුලාග් නමැති කම්කරු කඳවුරද තිබුනේ මෙහි වීමයි. සොල්ෂෙනිට්සින් "ඉවාන් දෙනිසෝවිච් ගේ දවසක් පොත" ලියන්නේ  ද මේ ගුලාගය ගැනය. 

මේ ගමනේදී මට අමුතුම සිදුවීමකට මුහුණ පෑමට සිදුවුණි. අපගේ  ගුවන් ටිකට් පත තිබුනේ ලන්ඩනයෙන් ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් වලටත් (ට්‍රාන්සිට්)   එතනින් අල්මාති (අල්මා අටා ) නගරයටත්ය.  ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් ගුවන් තොටුපළේදී යානයට පැමිණි ජර්මන් පොලිසිය මට  ඔවුන් සමග එන්න යැයි කියා මුළු ට්‍රාන්සිට් කාලය පුරාවට මා  ඔවුන් සමග තබා ගත්තේය. ඉන්පසු දෙවන යානයට ඇරලවද්දී කණ්ඩායමේ අනිකුත් හතර දෙනා කලබලයට පත්ව සිටියහ. මා පසුව දැනගත් පරිදි හේතුව වූයේ මගේ ශ්‍රී  ලංකා ගුවන් ගමන් බලපත්‍රයයි. මොස්කව් හා කසාක්ස්තාන්වල සිට වෙනත් රටකට ගුවන් ගමන් බලපත්‍ර ගෙන පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ෆ්‍රෑන්ක්ෆට් හි නතර වී දේශපාලන රැකවරණ ඉල්ලන  නිසා ඔවුන්  ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමි ට්‍රාන්සිට් මගීන් මෙලෙස තබා ගන්නා බව ඊශ්‍රායල සාමාජිකයා  දැන ගත්තේය. (ඔහුට හොඳින් ජර්මන් බස කතා කිරීමට හැකි අයෙකි )  ජර්මන් රජය මෙය පසුව ඉවත් කරගත්තේ ලන්ඩන් හා මොස්කව් වල නිලධාරීන් රඳවා තැබීමෙනි.

කෙසේ හෝ මේ සිද්ධිය නිසා මට කසාක්ස්ථානයේ බලාපොරොත්තු වූ ඉංජිනේරු රැකියාව නොලැබුණි. සමහරවිට ඔවුන්ට අවශ්‍යව තිබුනේ  රටවල් දෙක තුනක් අතර පහසුවෙන් සංචාරය කළ හැකි අයෙක් බව පසුව ප්‍රධාන විධායක ඉංජිනේරුවා හා කතා කිරීමේදී පැහැදිලි විය. ඔවුන් වසර දෙකකට පසු එම බලාගාරය මිලදී ගත් අතර (ආයෝජනය කළ අතර)  දැන් නැවතත්  එය කසාක්ස්තාන සමාගමකට භාර දී ඇත.
    
 පරිගණක ක්ෂේත්‍රය ඉදිරියේදී වඩා දියුණුවන බවට ප්‍රධාන ඉංජිනේරුවා මා රැකියාවට ගැනීම සඳහා කළ මූලික  සම්මුඛ පරීක්ෂණයේදී පැහැදිලි කළේය . ඔහු මා විසින් මොස්කව් වීදුලි බල හා බලශක්ති විශ්ව විද්‍යාලයේදී  උගත් ෆොර්ට්‍රන් නමැති පරිගණක භාෂාව  පිලිබඳ ප්‍රශ්න කිහිපයක්ම ඇසීය. මා ළඟ මමත් මගේ පාඨමාලාවේම සිටි යහලු  එන්ග් වෙන් සමග  එකතුව (නාඋච්න ඉස්ලෙදවතෙල්ස්කය රබෝතා හෙවත්) විද්‍යා පර්යේෂණ නමැති විෂයට ඉදිරිපත් කල  ප්‍රෝග්‍රෑම් එකද තිබුණි. එහි පිටපත  මා  රුසියාවෙන් එද්දී රැගෙන ආ එකකි. 



 මේ අනූවේ දශකයයි.  ඒ දිනවල මා ළඟ තිබුනේ ඉන්ටෙල් 80486 හා අම්ස්ට්‍රාඩ් නමැති පරණ පරිගණක දෙකකි.
 
නමුත්ඒ ඉංජිනේරුවා කී අදහස බලපැවැත්වූ නිසා  පරිගණක විෂයයන් හැදෑරීම සඳහා එංගලන්තයේ සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනෙමි. 

ඒ දිනවල සෝවියට් දේශයේ සිට පැමිණ ලන්ඩනයේ  ජීවත්වූ න්‍යෂ්ටික බලය පිලිබඳ විද්‍යාඥයෙකු ගෙන් වින්ඩෝව්ස් 95 තිබෙන කොම්පියුටරයක් මිලදී ගතිමි. ඔහු මට කොම්පියුටරය විකිණුවේ නැගෙනහිර ලන්ඩනයේ  උද්‍යානයකය. ඔහු එහි කීබෝඩ් එකට රුසියන් භාෂාවේ අකුරු අමුණා තිබුණු බව මට මතකය. ඒ දිනවල සෝවියට් දේශයේ හිටි න්‍යෂ්ටික බලය  සම්බන්ධ විද්‍යාඥයන්   බොහෝමයකට අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ , ජර්මනියේ ජිවත්වීමට අවසර සලසා තිබුණි.  මෙසේ කර ඇත්තේ එම රහස් වෙනත් ත්‍රස්තවාදී සංවිධානයකට හෝ ඉරානය වැනි රටකට  ලැබේ යයි සිතාය . ඔවුන්ට නිවසක්ද පඩියක්ද ලබා දී තිබු අතර  ඔහුගේ  දියණියටද බ්‍රිතාන්‍යයට පැමිණීමට වරම් දී තිබුණි. ඔහු මට පරිගණකය උද්‍යානය ට පැමිණ  විකුණුවේ නිවස නිරීක්ෂණයට භාජනය වී තිබෙන නිසා යයි මට කිවේය. ඔහු ලන්ඩනයේ සිටියේ අකමැත්තෙන් වන අතර නැවත  රුසියාවට යන්නට ඇතැයි සිතමි.
  
සවුත්බෑන්ක් හි  උපාධි පාඨමාලාව අවසානයේ උපාධි නිබන්ධනය සුපර්වයිස් කල ලරිසා ෆ්රද්කින් මහාචාර්යවරිය සෝවියට් දේශයේ ලෙනින්ග්‍රාද් නගරයේ පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ උගත් අයෙකි. ඇගේ සැමියාද  කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ රුසියානු මහාචාර්යවරයෙකි.  දෙදෙනාම දැනටත් කේම්බ්‍රිජ් වලට ආසන්න නගරයක ජීවත්වෙයි.  මගේ ලින්ක්ඩ්ඉන් ජාලයේ සිටින ඇය, මිට වසර කිහිපයකට පෙර  ඒ  හරහා මගේ විස්තර විමසුවාය.  අපට ඒ දිනවල සිටි  සෝවියට් ගුරුවරුන් සේම  ඇයද තමන්ගේ සිසුන් ගැන ඉඳහිට හෝ සොයා බලන බව වටහා ගතිමි.

මේ කතාවේ ඉතිරිය මේ බ්ලොගයේ  බොහෝවිට කියා ඇති නිසා කතාව මෙතනින් නවත්වමි. 





Tuesday, 19 January 2021

කළු මුහුදු වෙරළේ තහනම් නිවාඩුව


මතකද අර තාරාවෝ ඉගිලෙති එකේ සින්දුවක් තිබ්බ. "යාළුවෝ මාළුවෝ යාළුවෝ " කියල. මේ ඒවගේ යාලු කම් ගැන නෙමේ කියන්න හදන්නේ. "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී" කියල කවියක් පටන් ගන්නවා නේද සැළ ළිහිණි සංදේශයේ. "බිතු සිතුවම් රූ මෙන්  පිටු නොපාවති" ඔන්න ඔහොම. අන්න ඒ වගේ මිතුරෙක් ගැන. 

මම සියාමා පොත ලිව්ව කාලේ හැමෝම අහන්න ගත්ත ඒක අත්දැකීමක්ද  නැත්ද කියල. මට හිතාගන්න බැහැ දැන් ඔය ප්‍රසිද්ධ සම්මානනීය නවකතාකරුවන් පොත් පලකරද්දීත් ඒ අයගෙනුත් ඔය ප්‍රශ්නය අහනවද කියල?  " ඔබගේ මේ සම්මාන දිනූ  නවකතාව අත්දැකීමක්ද?" . 

මම ඒ පොත ලිව්වේ උත්තම පුරුෂයෙන්. කතා නායකයා "මම" වන අතරේ කථා නායිකාව "සියාම". 

ඉතින් ඔය හින්දම මම ප්‍රථම පුරුෂයෙන් තමා ඊළඟ පොත  "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " ලිව්වේ. මේ ප්‍රථම පුරුෂයෙන් ලියන එක ගැන  හෙවත් තෙවන පාර්ශවයෙන් ලිවීම ගැන හරියට දැන ගන්න මම ඇහුවේ විජිත ගුණරත්න ගෙන්. විජිත, සුමංගල හාමුදුරුවන් ගේ ශබ්ද කෝෂය බලල වැඩි හොඳට ඒ පිටුවෙ පින්තුරෙකුත් එව්වා. විජිතව සම්මානනීය නාට්‍ය කරුවෙකු ලෙස දැනන් හිටියත් අඳුර ගත්තේ ලන්ඩන් වල අගෝර කට්ටියගෙන්. එදා ඉඳන් අදටත් හොඳ යාලුවෙක්.


ඒත් ඉතින් ඒ පොත ගැනත් අර වගේ අත්දැකීමක් නේද කියන ප්‍රශ්නය එන්න ගත්ත.  "සියාමා" එක වගේ නෙමේ මේ පොත ගැන උත්තර දෙන්න අමාරුයි. ඇයි ඉතින් සෝවියට් දේශයේ හිටියනේ.  වැඩේ කියන්නේ ඔය ප්‍රශ්නේ අහන ඇතැම් අය ඒ දවස් වල මට හිටියා කියා හිතන යහළුවන් ගෙන් පවා විමසීම් කරල තිබුන.නිකන් හරියට  මම යාළුවන්ට කියලම තමයි  මගේ හැම වැඩක්ම කළේ වගේ. අනිත් එක මම උන්ට කීවත්  මගේ යාළුවෝ එහෙම කියයිද?

 ඒ වගේ යාලුවෝ හිටිය මටත්. එක්කෙනෙක් තමා ජනක ලක්මාල්. ලක්මාල් ඉගෙන ගත්තේ ජෝර්ජියාවේ ට්බිලිසි කියන නගරයේ. ලක්මාල් ඇතුළත් වුනේ  කොම්පියුටර්  එන්ජිනියරින් පාඨමාලාවට. ලංකාවට ඇවිත් ජෝන් කීල්ස් එකේ  වැඩ කරලා දැන් කිසියම් රජයට අර්ධ ලෙස සම්බන්ධයක් ඇති ආයතනයක  නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙක්. උඩ පින්තුරෙ ඉන්නේ එයා. 

ලක්මාල් ඉගෙන ගන්න කාලේ එක පාරක් ලන්ඩන් ඉඳන් එනගමන් ආව අපේ ශිෂ්‍ය නවාතැනට මොස්කව් වල විදුලිබල හා බලශක්ති සරසවියේ . මට ලන්ඩන් ඉඳන් එනකොට හොඳ පුල්ඕවර් එකක් (ජර්සියක්) ගේන්න අමතක වුනා. ලක්මාලය නියම හොඳ උණුසුම් ජර්සියක් මිලයට අරන් ඇඳන් හිටිය.  ඕක මට දීපන් බන්, මට නියමයි ඒක කියල මම කිව්ව.ලක්මාල්  එහෙම්ම  ඒක ගලවල මට දුන්න. අන්න ඒ වගේ බොක්කක්. මමත් ලංකාවට යනකොට පුළුවන් වුනොත් වොඩ්කා එකක්වත් අරන් යනවා ලක්මල්ට.  

ඒ කාලේ වීසා එකක් නැත්නම් අපට සෝවියට් දේශයේ නගරයකින්  නගරයකට යන්න බැහැ. ලංකාවට හෝ වෙන රටකට යන්න ගන්න  වීසා එකට තමයි හුඟක් ශිෂ්‍යයෝ මොස්කව් එන්නේ.  මම වීසා අරන් ගිහින් තියෙන්නේ දෙකකට විතරයි. ක්‍රස්නදාර් වලටයි සෆරෝෂි (Zaporizhzhia) වලටයි. සෆරෝෂි වලදී වෛද්‍ය ශ්‍යාමලී කොට්ටහච්චි ඇතුළු යාළුවෝ කට්ටියක් එක්ක  ජල විදුලි බලාගාරය බලන්න ගියා  ද්නීපර් නදිය ගාව. මං හිතන්නේ අපි බෝට්ටු චාරිකාවකුත් ගියා.

මම ට්බිලිසි යන්න සැලසුම් කළා  කෙනෙක් එක්ක. හොරෙන් යන්න තමයි ප්ලෑන් එක. හැබැයි ඇත්ත ගමනාන්තය ට්බිලිසි නෙමේ. එහෙන් සුඛුමි  කියන මුහුදු  වෙරළ පැත්තේ නගරයට සහ එතනින් කළු මුහුදු වෙරළට යන්න නිවාඩුවකට. මේවා ඔක්කොම තහනම් ගමන්. සුඛුමි කියන්නේ ඓතිහාසික නගරයක්. අභාසියා රාජධානියෙන් ජෝර්ජියන් වරු අල්ලගෙන එතනින් රුසියානු අධිරාජ්‍යයට අයිති වෙලා තිබිල ඊට පස්සේ සෝවියට්
 දේශයට ඇතුළත් වුනු කොටසක්. කොමියුනිස්ට් පක්ෂ නිලධාරින් හෙම නිතර යන්නේ ඒ අසල තියෙන සෝචි කියන මුහුදුබඩ  නගරයට නිවාඩුවට. ඒ දවස් වල ස්ටාලින්ට මාලිගාවක් වගේ නිවසක් තිබුන සෝචි වෙරළේ විවේක ගන්න. දැන් ජනාධිපති පුටින්ට තියෙනවා  ඒ වගේම මාළිගාවක් ඒ පැත්තේම.

 ඔය ගමනට රුසියානුනියක් හරහා ගත්ත ටිකට් දෙකින්, හතළිහක් විතර යන්න පුළුවන් පොඩි එයාරෝෆ්ලොට් ගුවන් යානයක  තමයි ට්බිලිසි වලට ගියේ. මට ටිකට් ගන්න බැහැ වීසා නැති නිසා.  හොරෙන් යන්නේ කොහොමද? යාලුවෝ ඒකත් කියල දුන්න. මොන ෆ්ලයිට්  එකද බුක් කරන්නේ, ස්ටුඩන්ට් කාඩ් එක ඇතුලට සල්ලි දාල කාටද දෙන්නේ වගේ ඒවාට නියමිත උපදෙස් ලැබුන. නැත්නම් ඉතින්  වීස නැතිව  යන්න බැහැ.   ගුවන් යානයේ ගමන අවුලක් නැතිව කෙරුණා.
  
ඔන්න ඉතින් ට්බිලිසි වලටත් ගියා. ලක්මාල් ගේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ තමයි  නවාතැන් ගත්තේ. මටයි තව කෙනෙකුටයි කාමරේ ඉන්න දීල ලකී ගියා වෙන කාමරේකට. චම්පා (දැන් කුරුණෑගල වෛද්‍ය අධ්‍යක්ෂ), නිරූපා හා අත්තනායක (නවසීලන්තයේ ඉංජිනේරුවෝ දෙදෙනෙක්), වාසල බණ්ඩාර (ඇමෙරිකාවේ වෙසෙන සීනියර් පරිගණක ඉංජිනේරුවෙක්) හෙම ඔය ගමනේදී කෑම බීම දීල, නගරය පෙන්වන්න  එක්ක ගිය හොඳ  යාළුවෝ යෙහෙළියෝ තමයි.  අද වුනත් මේ ගමන ගැන කෙළ බිඳක් හෙලනවා මට ආරංචි වෙලා නැහැ.
  
මතක තියෙන අපහසුතාවක් ඇතිවුණු සිද්ධි තමයි මදක්  ජාතිවාදී ලෙස හැසිරුණු ජෝර්ජියන් පිරිමි කිහිප දෙනෙක් අප සමග ගිය  කාන්තා පාර්ශ්වයේ කෙනෙක්ව කාරයකට  ඇද ගන්න තැත් කිරීම. ඒ වගේම අමුතු වැඩක් වුනා ට්බිලිසි ඕසෙරා හෙවත් ට්බිලිසි මුහුද කියන කෘතීම වැවට නාන්න ගිය වෙලාවේ. ජෝර්ජියන් කාරයෙක් බඩගාගෙන සංදර්ශනයක් දැම්ම.  විදේශිකයෙක් උන්ගේ තරුණියක් වගේ පේන කෙනෙක් එක්ක යනවට මේ පිරිමි කැමති නැතිලු.  මම නම් නෑවේ නැහැ. හැබැයි එතැන හරිම ලස්සනයි ඈතින් පෙනෙන මනරම් කඳු වළල්ල නිසා. පස්සේ කාලෙක දැන් අප අතර නැති යාළුවෙක් වෙන වෛද්‍ය සංජය සිගේරා රූමත් ජෝර්ජියානු කාන්තාවක් වන ඇනා විවාහ කරගත් වෙලේ මම ඔය කතාව කියල, අපි දෙන්නම  බඩ පැලෙන කල් හිනාවුනා. 


ට්බිලිසි වල නගරය  මැදින් යන කේබල් කාරෙකෙත් ගියා මතකයි. ඔය පින්තූරේ තියෙන්නේ ඒක තමයි. ට්බිලිසි  ඇත්තටම සුන්දර නගරයක්, කඳු වලින් වටවෙලා තිබෙන මිටියාවතක. පරණ බයිසැන්ටයින් අධිරාජ්‍යයේ (රෝමන්),ජෝර්ජියන්,  අර්මේනියන්, ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයන් ගෙන් හැදුනු රමණීය ගොඩනැගිලි දකින්න පුළුවන් මේ මිටියාවත හා ජෝර්ජියාව පුරාවට. 

ඒ අතරේම මම රුසියානු කෑම වලට කැමතියි වගේම  ජෝර්ජියානු කෑම දැක්කහමත් පිස්සු වැටුන.  හචිපුරි (චීස් පුරවපු අතින් හදපු පාන් එක උඩට බිත්තරයක් බැදල දාල), කින්කලි (ටිකක් පිල්මෙනි වගේ), කාචෝ (මස් ඉස්ටුවක් වගේ එකක්) හා සලියංක  එක හෙම (සොල්යන්ක සුප් එක නොවේ) ලක්මාල් ගේ නවාතැන පහලම වගේ ස්තලොවයා (කැන්ටිමක)  තිබුන. ජෝර්ජියන් වයින් නම් අමතක කරන්න බැහැ. බොහොම මධ්‍යධරණි රිච් ගතිය තිබෙන ස්පාඤ්ඤ වයින් වගේ. 

අර තමන්ගේ තරුණියන් වෙන අය එක්ක යනවට අකමැති සම්ප්‍රදායික බව හැරුනම ජෝර්ජියන් වරු ආසියානු සිසුන්ට හොඳට සංග්‍රහශීලිව සලකන බව ශිෂ්‍යයෝ හැමෝම වගේ කියන දෙයක්.  සමහරු සිකුරාදාට තමන්ගේ මිත්‍ර විදේශික ශිෂ්‍යයෝ නගරයෙන් පිටත මිටියාවතේ ලස්සන උද්‍යාන සහිත නිවෙස් වලට අරන් ගිහින් සංග්‍රහ කරන බවත් සිරිතක්ලු. එහිදී චාචා කියන ජෝර්ජියන් පලහාපු මස් සමග වයින් සහ නර්තන වලින් සමන්විත සන්ධ්‍යාවන්  ගත කරපු අය ඉන්නවා. 



දක්ෂයෙක් නම් පහල පින්තූරයෙන් මාව හොයාගන්න.


 ලක්මාල් අපිව දුම්රිය ස්ථානයට ගිහින් ඇරලුව කළු මුහුදේ නිවාඩුවට යන්න.  කළු මුහුදත් අමුතුම එකක්. ජෝර්ජියාව, රුසියාව, උක්රයිනය, රුමේනියාව, බල්ගේරියාව, තුර්කිය යන රටවල් ගානකින් වටවෙච්ච සංවෘත මුහුදක්. ඉතා ආදී කල්පික සමයක ලොකු විලක්.  නාවිකමය බලය අතින් රුසියාව තමා එය පාලනය කරන්නේ සෙවස්තෝපල් කියන මුහුදුබඩ නගරයේ නාවික කඳවුර හරහා. ඩැනියුබ්, ද්නිපර් සහ දොන් නදීන් සියල්ල අවසන් වෙන්නේ ඒකෙන්.   අත්ලාන්තික සාගරයට සම්බන්ධ වෙන්නේ ඒජියන් මුහුද පැත්තෙන්. 
 අපි කළු මුහුදේ නිවාඩු නිකේතනයට කරදරයක් නැතිව රමණීය දුම්රිය ගමනකින් පස්සේ ආව. ඒ යන  ගමනේ සුඛුමි පැත්තේ තේ වත්තක් බලන්න ගිහින් හරිම ලස්සන ස්වභාවික විලකත් නෑව. (පින්තූර දාන්න විධිහක් නැහැ. අවුරුදු 18 අඩු අය බැලුවොත් එහෙම) 

සෝවියට් දේශයේ ගෙවල් හෝ කාමර කුලියට දෙන්න තහනම් පෞද්ගලික අයට. නමුත් එහෙම දෙන අය ඉන්නවා. ඒකට පොඩි නෙට්වර්ක් එකක් තියනවා. ඒ කියන්නේ මොස්කව් වල අරයගෙ යාළුව ,එයාගේ අර,අරයගෙ යාළුවට සම්බන්ධකමක්  තියනවා කළු මුහුද පැත්තේ. එයා එයාගේ යාලුව හරහා දුරකථන නොම්මරයක්  හොයාගෙන අර ලයින් එක දිගේ මොස්කව් වල ඒක හොයන කෙනාට ලැබෙන්න සලස්වනවා. බලධාරීන්ට හොයන්න බැරිවෙන්න.  අපි අපේ තට්ටු නිවාසය හෙවත් එපාර්ට්මන්ට් එක  හොයා ගත්තේ එහෙම.  එතනට ගිහිල්ල සල්ලි දුන්නහම ඒ ගෙදර ගෑනු කෙනා ෆ්ලැට් එකේ යතුර අපිට දීල වෙන තැනකට ගියා. සල්ලි දෙන්නේ අන්තිම දවසේ. අපි හිටිය තැන ඔය පල්ලහ පින්තුරේ තියෙන්නේ. සෝවියට් දේශය දුප්පත් ගුහාවක් වගේ තිබ්බ කියල හිතන් හිටි අයටත් යමක් කල්පනා කරන්න පුළුවන්.  අසූවේ දශකයේ අග සෝවියට් දේශය. 



කළු මුහුදේ නාපු  තැනක් තමා ඔය තියෙන්නේ. ඔතන රුසියානු භාෂාවෙන් ලියල තියෙන දැන්වීමේ තියෙන්නේ ළමයින්ට නෑමට සුදුසුයි කියල. මම ඉතින් උසේ ප්‍රශ්නය නිසා රුස්සන්ගේ ළමයින් ගේ උසට තමයි වැටෙන්නේ. ඉතින් එතැන කිසි කරදරයක් නැතිව මුහුදු වතුරේ බැහැල හිටිය.  



දැන් අපේ විශ්ව විද්‍යාලවල හිටිය උපකුලපතිට පමණක් දෙවෙනි වන ප්‍රොරෙක්ටර් කියල විදේශික සිසුන්ට අදාල කාර්යයන් සඳහා පමණක් වන නියෝජ්‍ය උපකුලපති කෙනෙක්. එයට හැමෝම  කිව්වේ කේජීබී කාරය කියල. හිතා ගන්න පුළුවන්නේ කාර්යභාරය. වීසා නැතිව ගියොත් හුඟක් වෙලාවට දඬුවමක් ලැබෙනවා. පන්ති තහනම, වසරක පන්ති  තහනම හෝ ගෙදර යැවීම. ගියේ තමන්ගේම රටේ යාළුවෙක් හම්බ වෙන්න නම් දඬුවම සුළු එකක්. ඒ කාලේ කළු මුහුදු වෙරළ කියන්නේ විදේශික රහස් ඔත්තුකරුවො පිරිච්ච තැනක්. එනිසාම කේජිබී නිලධාරින් වැහි වැහැල.  මොක ද පක්ෂයේ උසස් නිලධාරීන් විවේක ගන්න එනවා. ඔවුන්ව අල්ල ගන්න ලෙසයි. හොර බඩු  හුවමාරුව පැත්තකින් වෙනවා. වෙනම  රටක් වගේ ඒ කොටස. අවසර නැතිව එතනට ගියා කියල අහුවුනා නම්  දඬුවම බරපතලයි.

එතකොට කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි අපිව අහුවුනේ නැත්තේ  කියල. අර නිලධාරීන් වැඩිය යන්නේ නැති පැත්තක් තියනව. ඒවා ගැන විස්තර කලින් හොයාගෙන  තමා ඔයවගේ ගමනක් යන්න ඕනේ.  මාත් එක්ක ගිය රුසියානුණිය ඒවා කලින්ම කේජිබි සම්බන්ධයක් හරහා හොයාගෙන තිබුනේ.  එහෙම දේවල් දන්නේ නැති අපේ දෙන්නෙක් බතුමි කියන කළු මුහුද අසල නගරයට ගිහින් තිබුන. අර මම ගිය විධිහටම වීසා නැතිව. ගිහිල්ල කේ ජී බී එකට අහුවුනා. ඒක වුනේ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න එමිල්ට  සහ ලන්ඩන් වල ඉන්න විපුලට . කතාව ඒ ගොල්ල දවසක් ලීවොත් කියන්නම් වෙනත් දවසක. 

ඔය නිවාඩුවෙන් පස්සේ ආපහු මොස්කව් ඇවිත් සඳුදා දවසක, මම එනවා ඇවිදගෙන අපේ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ තුන්වෙනි තට්ටුවේ කොරිඩෝරය දිගේ. අර නියෝජ්‍ය උපකුලපති ගේ ඔෆිස් එක තියෙන්නේ එතන.  'තුමා මං  ඉස්සරහ නැවතුන. නැවතිලා ඇහැක් පුංචි කරලා ඇහුවා "ට්බිලිසි කොහොමද " කියල. මම කිව්වා මුකුත් නොදන්න ගානට  "හරිම ලස්සන නගරයක් " කියල. මම හෙමිජ්ජ වගේ එතැනින් ඇවිදලා ගියා. මෑන් ඔෆිස් එකේ දොර අරින ගමනුත් මං දිහා බලාගෙන කියල දැක්ක කොරිඩෝරෙන් හැරිලා පියගැට පෙළ බහින්න යද්දී.

කිව්ව කෙනා විස්තරේ භාගයයි  කියල තියෙන්නේ. මගේ යාලුවෝ එකෙක්වත් මාව පාවා දීල නැහැ.  ඒ දවස් වල, යාලුවෝ කිහිපදෙනෙක් හිටිය දනියෙස්ත්ක් කියන යුක්‍රේනයේ නගරයේ ඉඳන් හොරෙන් මොස්කව් එන.  උන් හොරෙන් එන වාරයක් ගානේ දෙකානත් හෙවත් ශිෂ්‍ය කාර්යාලයට කේලම කියන එවුන් ඉඳල තියනවා. සමහර එවුන් වීස හදන කෙල්ලට මොනවා හරි දීල ඕක කරගන්නවා. හැමදාම කරන්න පුළුවන් දෙයක් යැ හොර ගමන් යන හැම සැරේටම. ෆේස් බුක් එකට ලියන ල්වෝව් වල ඉගෙන ගත් ලාල්  විජේසිරිවර්ධන එහෙම වීසා නැතිව කරක්  ගැහුව දනියෙත්ස්ක් සිසුවෙක්  ගැන ලිපි පෙලකුත් ලිව්වා මතකයි.

ඔය වැඩ වලින්  මම තව දෙයක් දැන ගත්ත. කේජිබි යකා කියන තරම් දරුණු නැහැ කියන එක. ඒක මායාවක් විතරයි. එයාලට කෙනෙක්ව හොයන්න අමාරුයි හදිසියේ අහුවුනේ නැත්නම්. කෙලින්ම රටට එන විදේශිකයන් හා තානාපති කාර්යාල සේවකයෝ පස්සේ තමයි වැඩිපුර  දිව්වේ. නැත්නම් බිරියෝස්කා කියන විදේශීය භාණ්ඩ විකුණන කඩ ළඟ තමයි ඉන්නේ වැඩිපුරම. අනිත් හුඟක් වෙලාවට එයාල බලාපොරොත්තු වුනේ පවුලේ අය, ලඟම  යාලුවෝ,  අසල්වාසීන් කේලාම් කියයි කියල.  ස්ටාලින් ගේ කාලේ හැමෝම ඒ විධිහට වැඩ කළත් අසූව දශකය වෙනකොට ඒවාට හුඟක් මිනිස්සු තිත තියල ඉවරයි.  

   පොත ගැන කීවොත් ලන්ඩන් ගෙනාපු පිටපත් බොහොමයක් එහෙම්ම  තියනවා. කෝවිඩ්  වසංගතය නිසා හිතාගෙන සිටිය එළිදැක්ම කරන්න බැරිවුනා.  ඇණවුම් භාර ගන්නවා තවම. 

ලක්මල්ට සෙල්ෆි ගහන්න ඉස්සෙල්ලම කියල දුන්නේ මම. බොරුනම් අහල බලන්න.



මේ පින්තූර ලක්මල්ගේ. අපි කලින් හිටිය තැන දැන් හොඳ සංචාරක හෝටලයක්. 




කෙල්ලෝ රෑනක් නිදහසේ 



පරණ නගරය 




අර කියපු ආහාර වර්ග දෙකක් 




 




Sunday, 10 January 2021

ගිනි පුපුරේ අප වෙත එන්න

හා පුරා කියල පිරිසක් ඉදිරියේ නැතිවුනත් පිරිසකට බලන්න ගිටාර් ගහපු වීඩියෝ එක මෙතන. යුරී විස්බර් ගේ ගීතය මෙතන.  මේක  ප්‍රසිද්ධ ගීතයක්. එළිමහණෙ හෙම නිතර ගායනා කරන. මේ දෙවන ගීතය  සෝවියට් දේශයේ ඉගෙන ගත් හුඟක් සිසුන්  වුනත් නොදන්න එකක්. ඒකට හේතුව අසූවේ දශකයේ  දෙවන කාර්තුවේ අප ඉගෙන ගන්නා කාලයේ  ඒ කාලයේ මේ ගීතය තහනම් එකක් වීම වෙන්න ඕන. පෙරිස්ත්‍රෝයිකා (ප්‍රතිසංස්කරණය) හා ග්ලාස්නස්ත් (විනිවිද දැකීම හෙවත් විවේචනය) වලට අවසර දුන්  කාලේ එහෙම  දෙයක් කරයිද ? මම අහපු විධිහට මේක ඊට  ටිකක් කලින් තහනම් වෙලා තියෙන්නේ.

ගීතය මට ගිටාර් කෝඩ් සමග  ලියා දුන්නේ අපේ පන්තියේ හිටපු ලූදා. එයාව මම මේ ලිපියෙත් මතක් කරලා තියනවා.  

මේ  තියෙන්නේ ලූදා ගේ අත් අකුරින් ලියපු ගීතය. ඒ දවස් වල මියුසික් නෝට් ලියපු කහ ගැහිච්ච කොලයක් තමා   පසු බිමින් තියෙන්නේ. ඒවා තවම මගේ ළඟ තියෙන්නේ ඇයි වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. ෆයිල් එක්ක නිකං ඔහේ තිබුන. 
ලුද ගේ අත් අකුරු

දැන් මේ ගීතය ඇත්තටම තහනම් වෙලා තිබුනද කියන්න මම දන්නේ නැහැ. මම පස්සේ සින්දුව යූ ටියුබ් එකේ හෙව්වා. සින්දුව කියන්නේ ඇලෙක්සැන්ඩර් රෝසේන්බෞම් කියන රුසියානු ගායකයා. එයාගේ වීඩියෝවක් තියනවා 2012 ගහපු. ඊට කලින් ඒවා නැහැ. ඒ කියන්නේ තහනම් වෙලා තියෙන්න ඇති. ලුද ඕක ඉගැන්නුවෙත් හොරෙන්  වගේ වෙන කවුරුත් නැති වෙලාවට. ලූද නංගි කිව්ව හේතුව අන්තිමට කියන්නම්.
කියවන අයටත් පුලුවන්නම් කල්පනා කරන්න ඇයි සින්දුව ඇත්තටම  තහනම් කලේ කියල. (පින්තූරේ ඉන්නේ ලුද්මිලා)


මුල් කොටසේ කියවෙන්නේ මෙහෙම.

සහදිත්යේ ක් නම් නා අගන්යොක්  
පෙලා ස්ක්‍රිප්කා ලාස්කව ඉ තක් නේශ්නා 
ඒතත් වේචර් යා තක් අදිනෝක් 
යා තක් ප්‍රොමොක් , නලෙයි සිනොක් 

එන්න අප වෙත ගිනි පුපුර 
වයලීනය මුදු මියුරු හඩින් වැයෙන සඳ  
මේ සැන්දෑවේ මා  හුදෙකලාවේ 
මම   හොඳටම තෙතයි, වක්කරපං කොල්ලෝ  

(එන්න අප වෙත ගිනි පුපුර
වයලීනය මුදු මියුරු හඩින් වැයෙන සඳ  
මේ සැදෑවේ මා  හුදෙකලාවේ 
ආදරෙන් මත්වෙලා
මධුවිතක් තොලගාමු )

මිහායිල් ගොර්බචෝව් ජනාධිපති  සහ  කොමියුනිස්ට් පක්ෂ ලේකම්  ලෙස 1985 දී පත් වුනහම රුසියානුවන් ගේ බිම නවත්වන්න උත්සාහ  කරා. මම "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොතේ පරිච්චේදයක මේ ගැන ලියල තිබෙනවා. ඒ දිනවල යුරෝපයේ මත්පැන්  බිම වැඩිම රට වුනෙත් බිමෙන්  පිරිමින් මිය යාම වැඩිම රට වුනෙත් සෝවියට් දේශය. ගොර්බචොව්  රටේ  වොඩ්කා නිෂ්පාදනය එක පාරම   අඩු කළා. ගොර්බා අමද්‍යප ව්‍යාපාරය ගෙනිච්චේ එහෙම. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක විජේවීර සහෝදරයා  පක්ෂයේ අයට බොන්න තහනම් කළා කියල මම අහල තිබෙනවා. අප්‍රසිද්ධියේ බිමත් තහනම් කලාද කියල දන්නේ නැහැ. හැබයි ගොර්බ ගේ  ඒ වැඩෙන්  වුනේ  රුසියන් හොර කසිප්පු (සමගොන්කි කියල කියන්නේ)  නිෂ්පාදනය වැඩි වීමයි, රුසියානුව ඕඩි කොලෝන් වගේ සුවඳ විලවුන් වර්ග පවා බීමට ඇබ්බැහි වීමයි විතරයි. රජයට අදායම අඩු වෙනකොට ටික කාලෙකින් ආපහු  වොඩ්කා නිෂ්පාදනය යථා තත්වයට ආව. කරන්න පුළුවන් වැඩද මං අහන්නේ.

 මේ සින්දුවේ මුල්  කොටසේ  අන්තිම පද දෙක - නලෙයි සිනොක් කියන එක තේරුම වක්කරපං පුතා කියන එක . මෙතැන  පුතා කියන්නේ තමන්ගේ පුතාට නෙමේ , එකට බොන තමන්ට වඩා  බාල යහළුවාට "වක්කරපන් පුතා කියන්නේ  වක්කරපං අඩියක් කොල්ලෝ නැත්නම්  වක්කරපන් අඩියක් මචන් " කියන එක. ඉතින් ඕක  ගොර්බගේ අමද්‍යප ව්‍යාපාරයට පටහැනියි. අර බ්ලොග් ලියන අපේ නිමල් දිසානායක  හෙම හිටියනම් ඔය ව්‍යාපාරේ කරන හරියට කරන හැටි ගැන   ගොර්බට  කියල දෙනවා.  ඉතින් ඕනෑවට වැඩිය උඩ පනින පක්ෂ නිලධාරියෙක් තහනම් කරන්න ඇති කියන එකයි මගේ අදහස වුනේ.

හැබැයි ලූදා ඇහැක් ගහල කිව්වේ , එයා  නම් හිතන්නේ අර තෙත කතාවට කියල. අන්තිම ලයින් එකේ. මොකද කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ වැඩ වලදී එහෙම ඒවා කතා කරන්න  තහනම්ලු.

එතකොට දෙවෙනි පද පේලිය 

දෝමා ශ්ද්යොත් හලද්නයා පස්තෙල් 
ප්යානයා සසේද්කා ව් ග්ලසාක්(හ) පෝහත් 
ස්ද්‍රස්ත්වුයි ස්තාරි දෘග් , මෙට්‍රොදත්යෙල් 
මදමුසේල් , ප්‍රිව්යෙත් රෂෙල් 

ගෙදරදී හමුවන්නේ  සීතල ඇඳ ඇතිරිලි 
එහා ගෙදර බීමත් නඟා ගේ  දඩයම්කාරී නෙත්  
ආයුබෝවන් පරණ යාළුවා,  ප්‍රධාන වේටර් 
මැඩාම් , හලෝ රෂෙල් !

මේකේ පළමු  වාක්‍යය වෙන විධිහකටත් කිව්ව හැකි. ප්‍රියම්බිකාවක් නැති නිසා නිවසේ තමන් එනතුරු බලා සිටින්නේ සිතල ඇඳ  ඇතිරිලි. ඒ එක්කම මෙයා නිතරම බොන කෙනෙක්. හැබැයි අල්ලපු ගෙදර බීමත්  නංගි එයාව දඩයම් කරන්න එන නිසාද කොහෙද  තැබෑරුම ට  යනවා.  ගියහම ප්‍රධාන වේටර් ට කතා කරනවා. අහල පහල දන්නා අය ඉන්නේ, මැඩම් ලා , රෂෙල් ලා.   

ඊළඟට පද දෙකක් තිබෙනවා. අපේ අමද්‍යප නොවන යාළුවන්ට  හොඳට හැඟෙන.

සෙවොද්න්යා බෝලෙන් යා දුශෝයි 
තාක් විප්යෝම් ශේ දෘස්යා සම්නොයි 

අද මගේ ආත්මයට හොඳටම අමාරුයි 
එනිසා බොමු යාළුවනේ මා එක්ක 

(මගේ අදහස තහවරු වෙනව මෙතැන  නම්. ගොර්බා ගේ අමද්‍යප ව්‍යාපාරයට කෙලින්ම පහර දෙනවා) 

ඊලඟ පද පෙළ යන්නේ මෙහෙම. අපේ වෙරි වුන යාළුවා පියානෝ වාදකයා දෙසට හැරෙනවා. 

ස්යාදෙම් උ තපෙරා සා ස්පිනොයි 
පස්මත්‍රිත්යේ , ලූදී, නා එවෝ රුකී 
 නු, දවයි සිග්‍රායි , මොයි සලතෝයි 
ති ශ්තෝ ෂ් තාකොයි , සව්ස්යෙම් සෙදොයි 

ඉඳගමු  එහෙනම් පියානෝ වාදකයා ළඟ    
බලහල්ලා මිනිසුනේ  ඔහුගේ දෑත දිහා 
කෝ , වාදනය කරන්න , මගේ රත්තරන් 
මොකද ඔහෙට වෙලා තියෙන්නේ , කොණ්ඩෙත් සුදුවෙලා 

ඔහු ඊලඟට කතා කරන්නේ  ගායිකාවට 

මා වෙනුවෙන් ගීයක් ගයාපන්, කෙල්ලේ ගයාපන් 
මගේ අහිමි වූ ආදරය ගැන
ජනේලය පැත්තෙන් ඇහෙන රැල්ලේ සද්දේ 
යමන් මාත් එක්ක මගේ නිවසට 

සින්දුව අන්තිම කොටසත් වැදගත්. මේ ඒ පද පේලි දෙක 

වොස්ම්යෝම් කොන්ෆෙට් , ඉ අනනාස් 
ඉ ද්වියේ බුතිල්කි ද්ල්‍යා නාස් 

අරගමු රස කැවිලි, අන්නාසි 
සමග බෝතල්  දෙකක් අපි දෙන්නට 

මේ කොටස  ආයෙත් ගයනවා. 
(අද මගේ ආත්මයට හොඳටම අමාරුයි 
එනිසා බොමු යාළුවනේ මා එක්ක )

දැන් මම දන්නා එක යහළුවෙක් ( ලංකාවේ හුඟක් එයාව දන්නා අය එයාව සැලකුවේ බොහිමියානුවෙක් හැටියට) මට කිව්වේ ඔය සින්දුව තහනම් කළේ අන්නාසි කතාවට  කියල.  එයාගෙන් ආයිත් අහන්න විධිහක් නැහැ එයා වඩා හොඳ තැනකට  ගිහිල්ල අපටත් නොකියම. මම තවත් යහළුවෙක් වන තේනුවර ගෙන් ඇහුවා එයට මතක නැහැ එහෙම දෙයක්. තේනු කීව තව යාළුවෙක් ගෙන් අහන්න කීව. මේල් එකක් දැම්මට උත්තරයක් නැහැ.

ඉතින් මමම හේතුව කියන්නම්. දැන් සාමාන්‍යයෙන් තරුණියකට හෝ විශ්ව විද්‍යාලයේ හිත ගිය කෙල්ලකුට අරාධනා කරන්න  චොකලට් එකක් හෙම ගන්නවනේ.  රුසියාවේ ඕක ටිකක් වෙනස්. පිටරට චොකලට්, හොඳ පිටරට බීම එකක් ( විදේශික ශිෂ්‍යයෝ නම්) නැත්නම් ඉතින් වොඩ්කා , හොඳ කල්බසා (සොස්ජස්) එකක් වගේ දේනේ ගන්නේ. මේ ගීතයේ  කියනවා ටොෆී එක්ක අන්නාසි. සෝවියට් දේශය අන්නාසි හැදෙන රටක් නෙමෙයිනේ. එනිසා  අන්නාසි  සුඛෝපභෝගී පළතුරක් (භාණ්ඩයක්) . මට මතකයි  අපේ සමහර යාලුවෝ අන්නාසි ගෙඩිය පිටින් ලංකාවෙන්  අරන් එනව. ටීචර්ලට, යාළුවන්ට , යාළුවෙලා ඉන්න රුසියන් සුන්දරියන්ට පෙන්වන්න. අහුවුනොත් ශේරෙමිතොවා කියන මොස්කව් ගුවන් තොටුපලේ රේගුවෙන් අර ගන්නවා. පළතුරු  ගෙන්න තහනම්  නිසා.

සින්දුවේ කියන්නේ නම්  ටින් වල දාපු අන්නාසි ගැන. ඒකේ පෙති හයක් විතර තමා තියෙන්නේ. කියුබාවෙන් හරි ඔය ලතින් ඇමෙරිකන් රටකින් එන එකක්. ඕක ආණ්ඩුවේ සුපර්මාකට් එකට දාල පැයෙන්  යනවා. මිනිස්සු පෝලිමේ  ඉඳන් අරන් යන නිසා  ලෙහෙසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමේ. නැත්නම් ඉතින් ඔය විකුණන තැනක කවුරුහරි යාලු කරගෙන ඉන්න ඕනේ.

සින්දුව තහනම් කරන්නේ සෝවියට් දේශයේ භාණ්ඩ හිඟයක්  ගැන කියන නිසා කියල තමයි යාලුවා කිව්වේ.

ඔයාලත් කල්පනා කරලා  බලන්න.
  
ගීතය ටිකක් වෙනස් කළා මේ විධිහට :

එන්න අප වෙත ගිනි පුපුර
වයලීනය මුදු මියුරු හඩින් වැයෙන සඳ  
මේ සැදෑවේ මා  හුදෙකලාවේ 
ආදරෙන් මත්වෙලා
මධුවිතක් තොලගාමු 
 
ආත්මය දෙදරලා 
එනිසා මධුවිතට එකතු වෙමු  
ගාන්ධර්වයා  අසල     
බලන්න දෙඅත් ඔහුගේ 
වයන්න, මගේ රත්තරන් 
ඔබට අපහසුද වයස්ගත බව දැනේ  
ගයන්න ගීයක් මා වෙනුවෙන් සොඳුරියේ 
අහිමි වූ ඒ ආදරය ගැන
මුහුදු රළ හමා එයි මහා හඬින්  
යමු මගේ නිවෙස වෙත 
රසකැවිලි හා අන්නාසි 
මධුවිතත් සමගින්  



සින්දුවේ කෝඩ් ලූද ලියල තිබ්බට හරියට මතක නැහැ. එනිසා ආයෙත් බැලුව. මම හොඳට මේක ගැයුවා  කියල හිතෙන්නේ  නැහැ. රුස්සෝ  නම් හොඳට දාගත්ත වෙලාවට කියන ගීතයක් තමා. 



සින්දුව රුසියානු භාෂාවෙන් 
— Заходите к нам на огонек, —
Пела скрипка ласково и так нежно.
В этот вечер я так одинок,
Я так промок, налей, сынок.

Дома ждет холодная постель,
Пьяная соседка, а в глазах — похоть.
Здравствуй, старый друг, метрдотель,
Мадемуазель, привет, Рашель!

Сегодня болен я душой,
Так выпьем же, друзья, со мной.

Сядем у тапера за спиной.
Посмотрите, люди, на его руки.
Ну, давай сыграй, мой золотой.
Ты что ж такой, совсем седой?

Спой мне песню, девочка, ну спой,
Про мою любовь, которой нет больше.
Как шумит за окнами прибой…
Пойдем со мной ко мне домой.

Возьмем конфет, и ананас,
И две бутылочки для нас.

Сегодня болен я душой,
Так выпьем же, друзья, со мной.

Saturday, 9 January 2021

රේඩියෝ රන් ලංකා සමග පිළිසඳරක්



මම  තාරකා භෞතික විද්‍යාව ලිපි පෙළ ලියල  සෑහෙන කාලයක්. මේ ලඟදි ඒ ලිපි සියල්ලම එකතු කරලා  තාරකා භෞතික විද්‍යාව (astrophysics) ලෙසින් නම්කර පිටුවක්  හැදුව.  මේ පිටුව හැදුවේ  බ්ලොග් එක වෙනස් කරන්න හිතාගෙන.  ලිපි ලිවීම නම් නතර වුනේ "සියාමා" සහ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත් දෙක ලියන්න ගත්ත නිසා ඒ කාලෙම වගේ. 

රේඩියෝ රන් ලංකා කියන සිංහල වෙබ් ගුවන් විදුලියේ  ප්‍රියංග  ප්‍රේමරත්න මල්ලි ගිය දෙසැම්බරයේ  ෆේස්බුක් එක හරහා  පණිවිඩයක් එවල තිබුන  කතා කරන්න කැමතියි කියල. ඔහුට අවශ්‍ය වුනේ මම තාරකා භෞතික විද්‍යා  විෂයට සම්බන්ධ වුනේ කොහොමද කියල දැන ගන්න. මම ඒක ඉගෙන ගත්තේ සහ ඉගෙන ගන්නේ විනෝදාංශයක් වශයෙන් කීවම මම හිතන්නේ ඔහු පුදුම වෙන්නත්  ඇති. 

මම "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි" කියල ලිපි පෙළකුත් 2016 විතර  ලීවා. ඒ ලිපි ලීවේ  මළවුන්  ගෙන්වන අය සමග සාකච්ඡා  කරලා. මම ඔය දෙපැත්තම එක වරම බැහැර කරන්නේ නැහැ.  අධි මානසික විද්‍යාවන් තියෙන්න පුළුවන් වගේම සමාන්තර විශ්වයන් තියෙන්නත් පුළුවන්.

ඉතින් ඒ කරුණු ගැන ප්‍රියංග ප්‍රේමරත්න සමග කළ පිළිසඳර තමයි මේ.




Sunday, 3 January 2021

කෝවිඩ් 19 වෛරසයේ පැවතීම, වර්ගයා බෝ කිරීම සහ පැතිරීම අතර වෙනස

විද්‍යාවයත්  අවිද්‍යාවත්  අතර වෙනස සෙවීමට තැත් කරන්නන් සඳහා විශේෂයෙනුත්, මේ ප්‍රශ්නය දඩ මීමාකරගෙන එක්තරා සුළු ජන කොටසකට  එරෙහිවන ජාතිවාදින්ටත්, ප්‍රශ්නයට දේශපාලනය ඇදගෙන දේශපාලන හේතු මත තම ස්ථාවරය වෙනස් කරන්නන් සඳහාත් ලියමි.

කෝවිඩ් 19 වෛරසයේ හෝ වෙනත් වෛරස් වල පැවතීම (live virus)  සහ පැතිරීම (trasnmission) යනු දෙකකි. මේ වෙනස එක්කෝ මේ අයට  නොතේරේ. නැතිනම් තේරුනත් බොරු වචන හරඹයක් කරමින් "මෙන්න අවිද්‍යාවට ලැදි අය වෛරස් වතුරෙන් බෝවෙනවා කියනවා" කියමින් ගේමක් ගෙනියති. 
මෙම කෝවිඩ් 19 වයිරසය ජලයෙන් බෝවෙනවා යයි කවුරුහරි කී  බවක් මම කොහේවත් කියවා නැත.  

මේ පහත  ලියන සියල්ල  මේ දක්වා විවිධ රටවල විද්‍යාගාර සහ රෝහල් වල කරන ලද පර්යේෂණ වාර්තා  මත පදනම්ව ලියන්නකි. 
 
කොවිඩ් 19 වෛරසයේ සීඝ්‍ර  පැතිරීම - මිනිසුන් ගෙන් මිනිසුන්ට සහ සතුන්ගෙන් මිනිසුන්ට (කහිනා විට, කතා කරන විට කිවිසුම් යන විට ආදී ලෙසින්) බෝවීමට හැකිය. මෙයට ප්‍රධාන පැතිරීමේ ක්‍රමය කියා (main form of transmission) වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් නිශ්චිතවම කියා තිබේ. 

වයිරසය වැඩිවීමට (multiply or reproduce) නැතිනම්  වර්ගයා බෝ කිරීමට නම් ජීවී ධාරක සෛලයන් අවශ්‍යමය. 

(ජලය ගැන අවසානයට ලියා ඇත)
කොවිඩ් 19 වෛරසයේ පැවතීම -   පර්යේෂණ වලින් සොයාගත් කරුණු අනුව පෘෂ්ඨ වල පවතින කාලය 
දොර යතුරු,ආභරණ , හැඳි ගෑරුප්පු - දවස් 5
පත්තර - දවස් 5 
වීදුරු, පිඟන්, කෝප්ප  - දවස් 5 
ලී බඩු, ඩෙක් - දවස් 4
ප්ලාස්ටික් - කිරි දමන ප්ලාස්ටික් බෝතල්, බස් සහ සුම්රිය සීට්, බෑග්, ලිෆ්ට් වල බොත්තම දවස් 2-3
වානේ (ශීතකරණ, කෑම උයන භාජන, සින්ක්) - දවස් 2-3
කාඩ්බෝඩ් - පැය 24
තඹ පෘෂ්ඨ - පැය 2 සිට 8 
ඉහත පෘෂ්ඨ ඩේටොල් වැනි විෂබීජ නාශක , මත්පැන්, බ්ලීච් ආදියෙන්  සෝදන්නට කියන්නේ එබැවිනි. ඒ මේවායින් වෛරස් සංක්‍රමණයක් වීමේ සම්භාවිතාවක් ඇති බැවිනි.

ජලය -බොන වතුර -  යුරෝපයේ හා ඇමෙරිකාවේ බොන වතුර ඉතා පිරිසිදු කර එවන නිසා වෛරසය ඒවායේ නැත. (ටැප් වතුර ඉතා සුරක්ෂිතය ) 
පිහිනුම් තටාක - ක්ලෝරීන් සාන්ද්‍රණය වැඩි නිසා මෙන්ම වෛරසය  ජලයේ පැතිර යන නිසා පැවතිය හැකි වුවත් බෝවන්නට තරම් වෛරස් සාන්ද්‍රණයක් නැත. මිනිසුන් තටාක භාවිතා කරනවා නම් පමණක් සම්ප්‍රේෂණයේ සම්භාවිතාවක් තිබිය හැක. පිහිනුම් තටාක වසා ඇත්තේ එබැවිනි.

ස්වභාවික වැව් ආදිය - වෛරසය දින  5 සිට සති කිහිපයක්  දක්වා පැවතිය. වෛරස් සාන්ද්‍රණය ඉතා අඩු නිසා මිනිසුන්ට බෝවීමේ හැකියාව අවමය. ස්නානය කරන්නේ  නම් සබන් භාවිතා කිරීම  නිසා වෛරස ලෙඩක් සෑදීමේ සම්භාවිතාව ඉතා අඩුය.

මළපහ ආදිය මුසුවන කුණු කානු, හෝ මළාපවාහන පද්ධති - දවස් 5 සිට දවස් 25 දක්වා පැවතිය හැකිය.

 දැන් මිනිසුන් ගෙන් මිනිසෙකුට පමණක් බෝවනවා නම් පෘෂ්ඨ ශුද්ධ කරන්නේ ඇයි? එම පෘෂ්ඨ වෛරසය තිබෙද්දී අතින් ස්පර්ශ කර පසුව   නාසය, ඇස හෝ මුව ඇල්ලීමෙන් බෝවීමේ සම්භාවිතාවක් තිබේ. මේ තත්වයම අප ජලයටත් තිබිය හැකිය. එය එසේ නොවේ යයි කිසිදු පරීක්ෂණයකින් කියා නැත. 

මියගිය තැනැත්තෙකුගේ ශරීරයේ වයිරසය කොපමණ කල් තිබේදැයි තවමත් කිසිවෙකු හරියටම සොයා බලා නැත. සාමාන්‍ය පිලි ගැනීම නම්  පැය හතරේ සිට  දිනකින් දෙකකින් වයිරස විනාශ වනු ඇත කියාය. එහෙත් වියලි නොවන පෘෂ්ඨයක හෝ වියලි නොවන පසුබිමක වෛරසය ට පැවතීමේ හැකියාවක් ඇත. මතක තබා ගත යුත්තේ  බෝවෙන්නට හෝ වර්ගයා බෝ කරන්නට නොව පැවතීමට හැකියාවක් ඇත යන්නය. මේ දින 5 ක සිට 25 දක්වා වියහැක. එම වෛරසයට ජීවී සෛලයක් විනාශ වීමට කලින් මුණ ගැසුනොත් සංක්‍රමණය සිදු නොවන්නේ යයි අපට තර්ක කළ හැකිද? 

මහාචාර්ය මලික් පීරිස් මහතා  ගේ පර්යේෂණ වාර්තාවේ වයිරසා සම්ප්‍රේෂණය හෝ  සංක්‍රමණය (transmission)  වන ආකාර ගැන හොඳ පැහැදිලි කිරීමක් කර ඇත.(ලිපිය අංක 5) 

භූමදානය හෝ ආදාහනය අතර ප්‍රශ්නය සඳහා මගේ අදහස නම් ඉහත කි වෛරසය දින කිහිපයකට පැවතීමට අවකාශ නොමැති ඕනෑම තැනක භූමදානයකට ප්‍රශ්නයක් නොමැති බවය. 
එසේම  සෞඛ්‍ය බලධාරීන් සහ විද්‍යාඥයන්, වෛද්‍යවරුන් (දේශපාලුවන් නොවේ) කිසියම් ජලාශ්‍රිත පෙදෙස් පිලිබඳ අවදානමක් ඇතියයි  සිතන්නේ නම් ඔවුන්ගේ අවවාද පිළිපැදිය යුතු බවය. 



මූලාශ්‍ර:  


Friday, 1 January 2021

සම්ප්‍රදායික ජර්මන් කෑම වේලක්

සම්ප්‍රදායික ජර්මන් කෑම වේලක් 
**********************************
(ඔබ මස් නොකන අයෙකුනම් මේ ලිපිය කියවන්න එපා.)
මේ අවුරුද්දේ මුල්ම බ්ලොග් පෝස්ට් එක කෑම ගැන ලියන්න වෙන් කළා. වැඩිය ලියල නැති මාතෘකාවක්. බිරින්දෑ ගැනත් ලියනවා කියල පොරොන්දු වුන නිසා මේකෙන්ම පටන් ගත්ත. නැත්නම් දැන් එන්න එන්නම වෙලාව හොයා ගන්න අමාරුයි. ඇයි පහුගිය මාස දහයම ගෙදර ඉඳන් වැඩ කළ නිසා වෙලාව හරියන කොට කෑ ගහනව. "දැන් වැඩ ඉවරයි නේද. තවත් ඉන්න ඕනෙද කොම්පියුටරේ ලැග ගෙන කියල". මම කරන්නේ ඉතින් ඔෆිස් එකෙන් ගෙදර එකට  මාරු වෙන එක විතරයිනේ. 

 සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිමට ජර්මනියට ගියහම රෙස්ටුරන්ට් දෙක තුනකට යන එක සිරිතක්. හේතුව මේකයි. මේ සීත කාලෙට ගොඩක් තැන්වල කන්න දෙන්නේ මස් වර්ග විතරයි.සීත සමයේ  බැවේරියාවේ ආපන ශාලා වල් පාත්තයෝ (wild geese) , (ෆාම් වල හදන්නේ හොඳ පාත්තයෝ), වල් ගෝන්නු (wild stags) සහ වල් ඌරෝ (wild boar) තමා කෑමට තියෙන්නේ වැඩිපුරම. ඒව තමා ජනප්‍රිය. මාළු කන අයට ටිකක් අපලයි මේ කාලේ. අවුරුදු දෙක තුනකට කලින් අපි ගිය එක ආපන ශාලාවක තිබ්බේ එකම එක මාළු වර්ගයයි. ඒකත් කිරි මිශ්‍ර සෝස් එකක් එක්ක .මට කොහොමටවත් කන්න බැහැ.  වෙජිටේරියන් කට්ටියටත් ගෙදර තමයි කෑම හදන්න වෙන්නේ. 

ලන්ඩන් වල ක්‍රිස්මස් එකට කළුකුම් මස් (turkey) තමා හදන්නේ. කන්න නම් ටිකක් අමාරුයි. ලොකු රහක් නැහැ. මේ අවුරුද්දේ කෝවිඩ් නිසා ඔෆිස් පාටි එකත් නැහැ.      
ඉතින් ක්‍රිස්මස් දවසට කලින් දවසේ බිරිඳ සාමාන්‍යයෙන් හදන්නේ මාළු. මොකක් හරි සම්බන්ධයක් තියනවා ජේසු කතාවට. ක්‍රිස්මස් දවසට කළුකුම් හෝ කුකුළු මස්. නැත්නම් ෆාම් වල හැදුනු කීකරු පාත්තයෙක්. නමුත් මේ සැරේ අල්ලපු ගෙදරත් එක්ක මස් පලහාපු නිසා පාත්තයා සෙට් වුනේ පරණ අවුරුද්දේ රෑ ඒ කියන්නේ 31 රෑට.








 පාත්තයා රෝස්ට් කර ගන්නේ හිස කරපු මැදට ඇපල්, වියලි අප්රිකොට් ආදිය දාල. ලුණු, ගම්මිරිස් අතුරලා සමහර විට සොයි සෝස් වටේට ගානවා. පැය දෙකක් විතර අවන් එකේ තියල ගන්නේ. බෝංචි ඇට වර්ගයක් සහ කෝන් වලින් හදපු කෑමක් තිබෙනවා. 
එසේම මේ ආහාර වෙලට්  රතු ගෝවා ( කැබේජ්) සයිඩ් එකෙන් තියෙන්නම  ඕනේ. රතු කීවට ඒවා ඇත්තටම දම් පාටයි. රතු   ගෝව බැදලා ඊට පස්සේ උයල තියෙන්නේ වයින් සෝස්  දාල. ඒකට වේලිච්ච මිදිත් දානවා. 

බත් වෙනුවට තියෙන්නේ අල ඩම්ප්ලින්ස් (dumplings). කර්ටෝෆෙල්ක්ලුසෙ කියල ජර්මන් වලින් කියන්නේ.  ඒවා හදන්නේ අල පොඩි කරලා, කෝන් පිටි ටිකක්, බිත්තරයක් හෙම දාල ඊට පස්සේ තම්බල අරගෙන. අර පාත්තයා බැදුණු වතුරෙන්ම සෝස් එකකුත් හදනව. ඔපමණයි. 

මේ පින්තුරේ තියෙන්නේ අල්ලපු ගෙදර උදවියගේ කෑම. ඔවුන් ඉතාලියන්/ඇමෙරිකන් සහ බ්‍රසීල යුවලක්. වැඩිපුරම මස් පලහා කෑම තමා කරන්නේ. මම ඉතින් කරි හැදුවම හෝ කරියක් ලැබුනොත් එයාලටත් දෙනවා. ඒකට සෑහෙන්න පෙරේතයි. මෑන්ස් හදන්නෙම හරක් මස්  සහ ඌරු මස්. 
මම නම් මේ අවුරුද්දේ ඉඳන් මස් කෑම අඩු කරලා තියෙන්නේ. මොකද ඒක අවශ්‍යම නැති නිසා. එළවලු තමයි වැඩි පුරාම කන්නේ. ඒත් ඉතින් මේ වගේ දවසක අනුගත වෙන්න වෙනවා. උයල දෙන දේ එපැයි කන්න. මේ කෑම කිසි දෙයක් තුනපහ දැම්මේ නැහැ කියල මටනම් රසින් අඩුවක් නැහැ. 

සාමාන්‍යයෙන් ලංකාවට කතා කළාම අම්ම අහනවා මොනවාද කෑවේ කියල. හැබැයි මේ කෑම වේල ගැන  අපේ අම්මට කීවහම කියන්නේ 
"අනේ මේ දරුවට හරියට කන්නත් නැහැනේ." කියල.  මට ඉතින් හොල්මන්. මේ තියෙන්නේ  කන්න නෙමෙයිද? අම්මගේ අදහස බත් තිබ්බේ නැත්නම්, අර පාත්තයට මිරිස් තුනපහ දාල තිබ්බේ නැත්නම් මම බඩ ගින්නේ කියල. 
චිකන් ඵහිටා


එක පාරක් අම්ම එක්ක ගියා  චිකිටෝ  කියන මෙක්සිකන් රෙස්ටුරන්ට්  එකට. එයා චිකන් විතරයි කන්නේ. ඉතින් අරන් දුන්න ෆහිටා එකක් ටෝටිලා එක්ක. (මෙක්සිකන් රොටි)
අපේ  මව්තුමී චිකන් කෑල්ලක් කෑව , රොටියෙන් කෑල්ලක් කෑව. චිකන් හරියට හදල නැහැ අමුයි, රොටිය හරියට දාල නැහැ, එළවලු හැදිලා නැහැ කීව. 
මටයි ඉනෙස් ටයි කියනව  "ඇයි ළමයෝ ඔය අමුවට උයපුව කාල බඩේ අමාරුව හැදෙන්නේ නැත්ද කියල. තුනපහ පෙන්නලාවත් නැහැනේ." මම කිව්වා  මෙක්සිකන් කාරයන්ට ඒ කාලේ තුනපහ තිබ්බේ නැහැ කියල.  ඉන්දියන් තැනකට ගියොත් මිසක්  ඊට පස්සේ නම් කන්න ගියේ නැහැ වෙන තැන්වලට.  

ඉතින් මේ තමයි 31 දා අපි අනුභව කරපු ජර්මන් කෑම වේල. 

ඉතින් මේ බ්ලොගයට පටන්ගත් දවසේ ඉඳන් ගොඩ වෙච්ච ඔබ හැම දෙනාටම සුභ නව වසරක්. කොවිඩ් ප්‍රශ්නය අවසන් වී ,ඒ එන්නත් ලැබී, රැකියා වලට  යාමට ලැබී , රැකියා නොමැති අයට රැකියාවන් ලැබී වඩා සුභ පල ගෙන දෙන සෞඛ්‍ය සම්පන්න   නව වසරක් වෙන්නය කියලත්  පතනවා. 



Thursday, 17 December 2020

විසි වසරකට පෙර




විසි වසරකට පෙර 
අද වැනි දිනක 
වැවක් අසබඩ 
අතිනත ගතිමු 

බිඳුණු හදක් 
සුවපත් කර ගන්නට 
නොහැකි යයි
මා නිබඳ සිතුවත් 
ඔබේ ඉවසුම 

ඔබේ සිනහව 
ඔබේ කරුණාව 
ඔබේ තරහව 
ඔබේ දැඩි කම 

ඒ සියල්ල අමතක කර 
ජීවිතය නැවතත් 
අරඹන්නට 
නව මගක් යන්නට 

ආලෝකයක්ම විය 

ඔයා  කවදද අපේ කතාව 
ලියන්නේ සිංහලෙන් හරි 
ඔබ නිතර ඇසුවත් 
මට තවමත් හිතෙන්නේ 
ඒ කතාව හිතේ තිබුනම 
ඇති 




Sunday, 6 December 2020

කියුබාව, සත්‍යය සහ කැමරාකරු

Cuban Houses
ළඟකදී මා සමග එකට සෝවියට් දේශයේ උගත් කියුබානු මිතුරන් හතර දෙනෙකු නැවත සොයා ගැනීමට හැකි වුනි. ඒ සඳහා උපකාර  කලේ රතනපාල නමැති මහතෙකි. ඔහු කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ අයෙකි. 
මා සමග උගත් කියුබන් යහළුවන් ගැන වසර පහකට පමණ ඉහතදී මගේ බ්ලොගයේ ලියා තිබුනු බව  සමහර පාඨකයන්ට මතකයේ තිබෙන්නට පුළුවන. මේ ඒ ලිපි වලින් දෙකකි..

They still have these carts like in Eastern Europe

මේ ලිපි මාලාවේ දෙවන ලිපියේ සඳහන් එචේවාරියා අරියෙල්, කස්තියෝ, ඔස්වල්ඩෝ ඔලිවා ආදීන් නැවත  හමුවීමත් සමග ඔවුන්ගෙන් ලත් තොරුතුරු මත,  කියුබාව පත්වූ  තත්වය ගැන ලිවිම මේ ලිපියේ අරමුණයි. මම සැමවිටම ලැබෙන තොරතුරු සොයා බලන අතර මගේ අදහස්ද යාවත්කාලීන කර ගන්නා අයෙක්මි. මගේ පරණ ලිපි හා නව ලිපි කියවන විට ඒ බව වැටහෙනු ඇති.   

කියුබාව ගැන මගේ සිතේ කොහොමත් තිබුනේ මෘදු අදහසකි. එක හේතුවක් නම් අපේ  තරුණ වියේදී අප විසින් රොමැන්තිකරණය කරගත්  කියුබානු විප්ලවයයි. දෙවන හේතුව වූයේ එය මෙහෙයවූ චාම්, එහෙත් වීරත්වය මුසු නායකයන් දෙපල වූ චේ ගෙවාරා හා පිදෙල් කස්ත්‍රෝය. අපේ පාරිශුද්ධ වූ පරමාදර්ශී සිහින ලෝකයේ කියුබාව සමාජවාදී පාරාදීසයක් නම් සෝවියට් දේශය  සමාජවාදී දෙව්ලොව විය. 

මගේ මහත් පුදුමයට හේතුවක් වූයේ කියුබාව සමාජවාදී රටකට තිබෙන හොඳම මොඩලය ලෙස බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂයේ ඇතැම්  සාමාජිකයන් සළකන බව දැන ගැනීමයි. වසර කිහිපයකට පෙරාතුව, කෝබින් ගේ අවධියේ දී සමහරු කියුබාවට ගොස් ජීවත් වීමට පවා කැමැත්තෙන් සිටියහ. නමුත් ඒ දිනවලදීම මගේ සිතට නැගුනු සිතිවිල්ලක් නම් සම්පූර්ණ බටහිර මාධ්‍ය ජාලා සමූහයම කියුබාවේ නොයෙකුත් හිඟකම් , පසුගාමී භාවයන් පෙන්වද්දීම  ඔවුන් එසේ සිතන්නේ ඇයිද යන්නය. බටහිරදී ඔබට ඔබේ දේශපාලකයා තෝරා ගැනීමට ඡන්දය දිය හැකි අතර ජීවිතය කියුබාවේ තරමටම අපහසු නොවන සුඛෝපභෝගී එකකි. (සැමටම සුඛෝපභෝගී නොවන බවද සැබෑවැකි). මේ  ටෝරි පාලනය හැර එක්සත් රාජධානියේ ඇති ප්‍රශ්නය කුමක්ද? එය ධනවාදී රටක් බව සැබෑය . එහෙත් ඔබට නොමිලේ ප්‍රතිකාර ගැනීමට නිදහස් සෞඛ්‍ය සේවයක් තිබේ. ඔබ රැකියා විරහිතයෙක් නම් රජය ඔබට සහනාධාර මුදලක් ලබා දෙයි. ඔබේ නිවසේ කුලිය ගෙවයි. දරුවන්ට ආහාර කූපන් පත් ලබා දෙයි. ඇඳුම් කූපන් ලබා දෙයි. නොමිලේ දන්ත වෛද්‍ය පහසුකම් ලබා දෙයි. නොමිලේ ඇස් කණ්නාඩි  සහ බෙහෙත් ලබා දෙයි. ලබා දෙන තට්ටු ගෙවල් අති සුඛෝපභෝගී ඒවා නොවුවත් කියුබාව හෝ ලංකාව වැනි රටවල ඇති සමහර නිවාස වලට වඩා ඒවා හොඳය. (මේ ලංකාවේ පොහොසත් මධ්‍යම පන්තිකයන් ගැන කියන්නක් නොවන නිසා කලබල නොවන්න) 

මා කිසි දිනක කියුබාවට නොගියද සමාජවාදී සෝවියට් දේශයේ උගත්තෙක්මි. මා ඉතා ඉක්මනින් වටහා ගත්  දෙය නම් සෝවියට් දේශය එහි වැසියන්ට සමාජවාදී දෙව්ලොවක් නොවන බවයි. ඒ එසේ වුවද සෝවියට් දේශය සමග ඉමහත් සොඳුරු බැඳියාවක් අපට තිබුණි. සමහර විට ඒ පියකරු රුසියානු කෙල්ලන් නිසාද නැතහොත් ආසියානු රටකදී, නිවසකදී නොලැබෙන තරමේ නිදහසක් යුරෝපීය රටක විඳින  නිසාද යන්න නොදනිමි. නමුත් සෝවියට් දේශය එදවස අසූව දශකයේ ශ්‍රී ලංකාවට  වඩා නම් දියුණු රටක් විය.   ඔවුන් අපට ඉතා සංග්‍රහ ශීලි වූ අතර නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලබා දුනි. එය එක්තරා ආකාරයකට විශේෂිත වූ රටක් විය. දූපත් රටක් වූ ශ්‍රී ලංකාවෙන් පැමිණි මට ලෝකයට   අභිමුඛ වීමට දෑස් විවර කර දුන්නේ සෝවියට් දේශයයි.  

එක්සත් රාජධානියේ ජීවිතය අපට දියුණු වීමට හා මුදල් උපයා ගැනීමට අවස්ථාවක් ලබා දුනි. සෝවියට් දේශයේ උගත් අනිකුත් බොහෝ විදේශීය උපාධිධරයන්ද ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය හා යුරෝපීය රටවල් වලට සංක්‍රමණයව පදිංචි වුනි. ඔවුන්ගේ ජිවන තත්වයන්ද වඩා යහපත් ඒවා බව සැඟවිය නොහැකිය. එසේම ඉන්  බොහෝ දෙනා වැඩිදුර ඉගෙන අධ්‍යාපනඥයන්, විද්‍යාඥයන් සහ තම ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් බවටද පත්වූහ. බටහිර රටවලින් ජිවිත දියුණුවට ලැබුණු අවස්‌ථාවන් ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට ඔවුහු දක්ෂයන් වූහ.    එහෙත්  සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවේ ගතකල ජීවිතය පිළිබඳ නොස්ටල්ජියාව සහ බැඳීම ඔවුනතර තවමත් නොවෙනස්ව පවතී. 

මගේ කියුබානු මිතුරන් කොහේ වෙසෙනු ඇත්ද යන්න  ගැන මම නිතරම සිතුවෙමි. විශ්ව විද්‍යාල සාමය තුලදී ඔවුහු මට නිතරම පාපන්දු ක්‍රීඩා කිරීමට යාමට ආරාධනය කළහ. රුසියාවේ දරුණු ශීත සමය තුල පවා අපි පාපන්දු ක්‍රීඩා කළෙමු. ෆේස්බුක් හරහා නැවත  හඳුනා ගන්නට ලැබුනේ මට ඉන් හතර දෙනෙකි . ෆේස්බුක් ගිණුම තවමත් රැගෙන යන්නට එයත් හොඳ හේතුවකි.  බොහෝ  මිතුරන් වඩා හොඳ ජිවන තත්වයන් උදෙසා කියුබාවෙන් ඉවතට පියාඹා ගොස් තිබුණි. මම ඔවුන්ගේ වරදක් නොදකිමි. අප කළේද එයමය. මා හඳුනා ගත්තේ එචේවරියා අරියෙල්, රූබෙන්, ඔස්වල්දෝ ඔලිවා සහ උදෙය් රමිරස් මෝසා ය.   උදේයි සහ අරියෙල් තවමත් සතුටින් ජීවත් වන්නේ කියුබාවේය. උදෙයි තමන්ගේ විවාහක පවුල මෙන්ම මව, සහෝදරිය හා නෑදෑයන් සමග ජිවත් වෙයි. ඔස්වල්දෝ රැකියාව කරන්නේ ටෙනරිෆ් වලය. රූබෙන් රැකියාව කරන්නේ ආර්ජන්ටිනාවේය. අරියෙල් කියුබාවේ රාජ්‍ය විදුලි බල සමාගමක අධ්‍යක්ෂකවරයෙකි. 

අරියෙල් පැවසුවේ සෝවියට් දේශය බිඳ වැටුණු පසු කියුබාවේ ජීවිතය ඉතා දුෂ්කර එකක් වූ බවයි. එය කියුබානු සමාජවාදී ආණ්ඩුවටඉතා අපහසු වූ  කාලයක් බව මම දැන සිටියෙමි. සෝවියට් දේශය කියුබාවේ සීනි සහ අනිකුත් නිෂ්පාදන වල ප්‍රධාන ගැනුම්කරුවා වූවා  පමණක් නොව යුධ ආධාර සපයන්නා ද, අඩු මිලට ඛනිජ තෙල් සැපයුම් කරුවාද   විය. එසේම සමාජවාදී රටවල් සමූහය සමගම කියුබාව හොඳ ආර්ථික සම්බන්ධතාවයක්ද වෙළඳාමක්ද  පවත්වා ගෙන ගියේය. සමාජවාදී රටවල බිඳ වැටීමත් සමග මේ සියල්ල නතර විය. කියුබාවට එදිරිව එක්දාස් නමසිය හැට ගණන් වල සිට පවත්වාගෙන එන ඇමෙරිකානු සම්බාධක නිසා තත්වය තව තවත් දරුණු විය.  

කියුබාව පිළිබඳව එකිනෙකට ප්‍රතිවිරෝධී මතයන් දෙකක් සැමදාමත් පැවතුනි. සමාජවාදීන් පවසන්නේ කියුබාව සීග්‍රයෙන් දියුණු වන, තෙවැනි ලෝකයේ නොවන රටක් බව හා, ඇමරිකානු සම්බාධක නොමැති වූවා නම් වඩාත් දියුණු රටක් විය හැකිව තිබෙන බවයි.   ප්‍රතිවිරුද්ධ මතවාදීන් පවසන්නේ එය තෙවන ලෝකයේ, සාමාන්‍යයෙන්  "බනානා රිපබ්ලික්" ලෙස උපහාසයෙන් හඳුන්වන, මානව හිමිකම් නොමැති අපායක් බවයි. අප දැන් දන්නේ කියුබාව විදේශ සංචාරකයන්ට රට විවෘත කිරීමත්  සමග සෑහෙන දියුණුවක් ලබා ඇති බවයි. එසේනම් මේ දෙපසටම පක්ෂාපාතී නොවන මතයක් අපට සොයා ගත හැකිද?   

පසුගිය දිනෙකදී මම විශිෂ්ඨ යයි කිවහැකි වාර්තා චිත්‍රපටයක්  නැරඹුවෙමි. මා අසා ඇති පරිදි ෆිදෙල් කස්ත්‍රෝ කිසි දිනෙක ඇමෙරිකානු ජනතාවට දොස්නගා,  විවේචන කර නොමැත. ඔහුගේ දරුණු විවේචන නිතර එල්ල වූයේ ඇමෙරිකානු විදෙස් පිළිවෙතට හා ඇමෙරිකානු රජයටය. ඔහු කිසිදු දිනෙක ඇමෙරිකාව විසින් අත්කරගත් විද්‍යාත්මක ක්ෂේත්‍රයන් හි  ජයග්‍රහණ මෙන්ම සංගීතය හා වෙනත් ක්ෂේත්‍රයන් හි ජයග්‍රහනද හෙලා නොදුටු බව මෙම වාර්තා චිත්‍රපටය ඔප්පු කර පෙන්වයි.   නමුත් එක්සත් ජාතින් ගේ සංවිධානය  ඇමතීමට පළමුවරට එක්සත් ජනපදයට ගොඩ බට වෙලේ ඇමෙරිකානු ආගමන විගමන නිලධරයන් ජනාධිපතිවරයෙකුට සුදුසු ලෙසට කස්ත්‍රෝට  සැලකුවේ නැත. ඔහු එයද සිනාමුසු මුහුණින් භාර ගත්තේය. ඔහුගේ එදා රැස්ව සිටි ලෝක නායකයන් ගෙන් විනාඩි ගණනක අත්පොළසන් නාදයක් ලැබුණි.   

චිත්‍රපටයේ තිර රචනය ලියා, නිෂ්පාදනය  සහ අධ්‍යක්ෂණය ද කරන ලද්දේ ජෝන් ඇල්පට් විසිනි. ඔහු කියුබාවට යාම් ඊම් පටන් ගත්තේ හැත්තෑ දශකයේ මුල සිටය. කියුබානු ඉතිහාසය හා දේශපාලනය හැදෑරීම ඔහුගේ එක අභිලාශයක් විය. භාණ්ඩ හිඟකම් පැවතුනත් කියුබාව තම හොඳම කාලය ගත කලේ හැත්තෑව, අසූව දශකයන්හිදීය.  මිනිසුන් ගේ සාපේක්ෂව කරදරයකින් තොර, සෞඛ්‍ය ආරක්ෂාව ඇති ජීවිත ගත කළහ. මේ කියන්නේ දියුණු බටහිර රටකට සාපේක්ෂව නොවේ. තෙවැනි ලෝකයේ රටකට සාපේක්ෂවය. නමුත් 1992 වනවිට සම්පුර්ණ වූ සෝවියට් දේශය ප්‍රමුඛ  සමාජවාදී කඳවුරේ නාය යාමත්  සමග කියුබානු ආර්ථිකයේ බිඳ වැටීම ඇරඹුණි.  ඒ වනතුරුම  අතිශයින්ම සෘජු රාජ්‍ය  මැදිහත්වීමක් සහිත ආර්ථිකයට ගසා තිබූ සෝවියට් මුක්කු ශක්තිමත්ව තිබුණි.

ජෝන් ඇල්පට් මේ අතිශය සංවේදී කාලය වාර්තාගත කරන්නේ ඉතා සංයමයෙනි. ඔහු නිතර  හමුවී රූපගත කළ පවුලක ගොවින් තිදෙනෙක් සහ ඔවුන්ගේ සහෝදරියද සතුටින් විසීය. නමුත් ආර්ථිකය කඩා වැටුණු අවධියේ කිසිම මසක් සොයා ගැනීමට අපහසු විය. මස් ග්‍රෑම් පන්සියක් සතියට වරක් කූපන් වලින් දෙනු ලැබේ. අහල පහල අසල්වැසියන් මේ ගොවීන්ගේ ගවයින් දෙදෙනා සොරකම් කළහ. ඔවුන්ට ගොවිතැන් කිරීමට ගවයන් නොමැතිව අසරණ විය. ජෝන් සොරකම් කල පාර්ශ්වයන්  විවේචනය කලේ නැත. ඔහු එදෙස බැලුවේ සානුකම්පිතවය.  ඉන් එක ගොවියෙකුට උගුරේ පිළිකාවකින්  කතා කල නොහැකි වූ විට අමෙරිකාවෙන් ගෙනෙන කෘතීම ශබ්ද යන්ත්‍රයක් සවි කර ගැනීමට ජෝන් මුදලින් උපකාර කළේය. දෙදාස් ගණන් වල දී ඔහු කලින් දැන සිටි පවුල් කිහිපයක්ම කියුබාවෙන් වෙනත් රටවලට ගොස් තිබුණි. මගේ මිතුරන්ට මෙන්ම ඔවුන්ගේද ඉවසීමේ සීමාව  ඉක්මවා ගොස් තිබුණි. කියුබාවෙන් ඉවතට සංක්‍රමණය බොහෝ අයට දරුවන් සිටියහ. ඔවුන්ට තම දරුවනට හරි යමක් කෑමට බිමට දීමේ නොහැකියාව  එවැනි තීරණයක් ගැනීමට බල පාන්නට ඇත.  

මේ සමහර පවුල් වලට මුලින් තිබූ වැසිකිලි පහසුකම් පවා තිබුනේ නැත. හේතුව ඒවා කැඩී බිඳී ගිය විට අලුත්වැඩියා කිරීමට රජයේ ආයතන නොපැමිණීමයි. ඒවාට මුදල් නොතිබුණි. 

ටෙනරිෆ් හි රැකියාව  කරන ඔස්වල්ඩෝ නිවාඩුවට ගමට යන්න ඉතා ප්‍රීතියෙනි. ඔහු මට කියන්නේ ටෙනරිෆ් හි රැකියාව කළද ඔහු කියුබාවේ තමන්ගේ ගමේ ජීවත් වීමට කැමති බවයි. ටෙනරිෆ් හි රැකියාවෙන් ලැබෙන මුදල ජිවත් වීමට සෑහේ. ශ්‍රී ලංකාවේ සිට රැකියා කිරීමට මැද පෙරදිග, දකුණු කොරියාව ආදී රට වලට යන්නක් මෙනි. ඔස්වල්දෝ සිතන්නේ කියුබාවට අවශ්‍ය බහුපාක්ෂික දේශපාලන ක්‍රමයක්  හා එම පක්ෂ වලට බලයට ඒමට නිදහස් මැතිවරණයක් බවයි. එහි වැරදි තිබිය හැකි බව ඔහු පිළිගනී. නමුත් ඒක පාක්ෂික ක්‍රමයේ ඊට වඩා වැරදි ඇතැයි ඔහු විශ්වාස කරයි.

උදේයි ගේ අදහස  ඊට හාත්පසින්ම වෙනස් ය. ඔහු තවමත් කියුබාවේම ජිවත් වේ. තමන්ගේ ජිවිතයෙන් තරමක සෑහීමකට පත්වන්නේ යයි පවසන ඔහු ඒක පාක්ෂික ක්‍රමයට විරුද්ධ නොවේ. නමුත් ඔහුද පවසන්නේ කියුබාවට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. ජීවිතය ගෙනයාමට අපහසු බව ඔහුද පිලි ගනී. මට පෙනෙන්නේ ඔහුගේ කැමැත්ත ඇත්තේ චීන ක්‍රමයට  බවයි. බහු පාක්ෂික ක්‍රමයෙන් කියුබාවේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ඔහු තරයේ පවසයි. ආර්ථික ක්‍රම උඩු යටිකුරු කල යුතු බවට ඔහුද පිළි  ගනී.     

බහු පාක්ෂික ක්‍රමයේ වැරදි නැත්තේ නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ "ඉක්මනින්ම හිටපු ජනාධිපති වීමට නියමිත ට්‍රම්ප් දෙස   බලන්න.  ඔහු ලෝකයේ බලවත්ම ජනාධිපති පදවිය විහිළුවක් කරගෙන  තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලා දේශය වැනි බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙස බලන්න. බලය ලබා ගත් සෑම පක්ෂයකම දුෂිත දේශපාලකයන් ගෙන් පිරී ඇති  ඒවායේ පාලනයේ ප්‍රශ්න බොහොමයක් තිබේ. නමුත් අද වන විට බටහිර දේශපාලනය වඩාත් ඉදිරියට ගොස් තිබේ. දරුණු වංචා දූෂණ කිරීමට දේශපාලකයන්ට ඉඩක් නැත. ඒවායේ බහුජන සංවිධාන හා නීතිය ඉතා ශක්තිමත්ය. ආර්ථික වශයෙන්  බටහිර ලෝකයද නමින් පමණක් සමාජවාදය ඇති, ධනවාදී අර්ථ ක්‍රමයක් ඇති මහජන චීනයද තවමත්  ශක්තිමත්ය. (කොරෝනා වසංගතයේ අනිසි ප්‍රතිඵල නොසලකා හැර)

(ඉහත පින්තුරය 1985 හෝ 1986 දී මොස්කව් විදුලිබල හා තාක්ෂණික විශ්ව විද්‍යාලයේදී (මාද උගත්) ගත්තකි. ඉදිරි පෙලේ  රූබෙන් හා උදේයි ද පසු පෙලේ හුඑටස්, ජෝර්ජ් බෙනිටෙස් , බදියා හා ඕමාර් සිටී. )

ජෝන් ඇල්පට් ගේ චිත්‍රපටය පුරා රැඳෙන ඔහුගේ ප්‍රබල කථනය මගින් කියුබාවේ සමාජවාදී ප්‍රයත්නය දියවෙමින් යන ආකාරය සියුම්ව පැහැදිලි කරයි. අවසානයේදී සමාජවාදී ආර්ථිකයේ පිහිටට එන්නේ චේ ගේ ප්‍රසිද්ධියෙන් කොටසක් උකහා ගන්නට පැමිණෙන බටහිර සංචාරකයන් ගෙනි. ඇමෙරිකාවේ වෙසෙන කියුබානුන් ගේ නෑදෑයන්ටද මුදල් එවීමට, භාණ්ඩ එවීමට, ඇවිත් යන්නට අවසර දී තිබේ. කියුබාව සමාජවාදය අපනයනය කිරීම අත් හිටුවා ඇත. දැන් ඇත්තේ කලාපීය වාමාංශික රජයන් සමග සහයෝගිතාවයක් පමණකි. තමන්ගේ අසීරු බව යටපත් කරගෙන වෙනිසියුලාව තවමත් ඉතා අඩු මිලකට කියුබාවට  ඛනිජ තෙල් සපයන්නේ එහෙයිනි.  ෆිදෙල් ගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝ ඉතා සෙමින් වුව කියුබානු ආර්ථිකය ලිහිල් කරමින් යයි. සීමිත වෙළඳ කටයුතු සඳහා අවසර තිබේ. සමාජවාදී පොදු දේපල අයිතිය ඉවත් වෙමින්  තමන්ගේ නිවසක් සාදා ගැනීමට, මිලදී ගැනීමට මෙන්ම  විකිණිමටද අවසර තිබේ. එසේම දක්ෂයන්ට මෙන්ම විශේෂිත ක්ෂේත්‍ර වල යෙදෙන වැසියන්ට තම දක්ෂතා වෙළඳ පොලේ විකිණිය හැකිය. ඒ කියන්නේ පෞද්ගලිකව  කොණ්ඩා කපන්නට, වඩු වැඩ වලට, ගොවිතැනට, කුඩා ආපන ශාලා වලට, ඉංජිනේරු කාර්යයන්ට අවසර තිබේ.  ඔස්වල්ඩෝ වැනි අයට  ටෙනරිෆ් වැනි බටහිර යුරෝපයට අයත් රටවල රැකියාව කිරීමට  හැකිය. ඔහුගේ සීයා පැමිණියේ ස්පාඤයෙන් බැවිනි.       

කියුබානු වෛද්‍යවරුන් වෙන රටවල ජාත්‍යන්තර සේවයට යන බව සැබෑය. ඔවුන්ගේ සෞඛ්‍ය සේවාව තවමත් ඉතා උසස් තත්වයෙන් පවතින බවද සැබෑය. එහෙත් කියුබානු සමාජවාදය අසමත්ව ඇති බවත් ඔවුන් තමන්ගේ ආර්ථික පිළිවෙත  දැඩි ලෙස වෙනස් කල යුතු බවත් මගේ හැඟීමයි. ඔස්වල්ඩෝ හා රූබෙන් මෙන්ම කියුබාවේ සිටීමට කැමති උදෙයි ගේද අදහසත් එයයි. කොතරම් අමිහිරි හා හදවතට එකඟ නොවුනද තර්කානුකූලව පිළිගත යුතු සත්‍යයද  එයයි. ජෝන් ඇල්පට් ගේ "කියුබාව සහ කැමරාකරු " චිත්‍රපටය පෙන්වා දුන්නේද  එයයි. 

සමාජවාදී කඳවුරේ හා සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු  කියුබාව කොතරම් අගාධයකට වැටී තිබුනේද යන්න මා දුටුවේ මේ වාර්තා චිත්‍රපටියෙනි.   

Director John Alpert on Making the Documentary 

ප.ලි.  ඉතා සරල දිවි පෙවෙතක් ඇති වැඩි අවශ්‍යතා නැති අයට කියුබාවේ ජිවත් වීම ඉතා පහසුය. 

පින්තූර ඔස්වල්දෝ ඔලිවා ගේය.