ලංකාවේ සිට ඉරිදා උදයේ පැමිණ දෙපැයක විරාමයකට පසු මම සූට්කේස් දෙක අස් කරන්නට ගතිමි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන්, කටාර් එයාවේස් තරම් බර කිලෝගණනක් නොදෙන නිසා ගෙන ඒමට ගත් සමහර දේ සුපුරුදු පරිදි දමා එන්නට සිදු වුනි. ඔය අතරේ ගේන්නට අමතකු වුනු වැදගත් දෙයකුත් තිබුණි.
බිරින්දෑතුමී පළමුවෙන්ම ඇහුවේ ඒ ගැනය.
"කෝ තුනපහ."
"මළ කෙළියයි, තුනපහ ගේන්න අමතක වුනානේ".
මම ඇයට අමාරුවෙන් ඔබාගෙන ආ අනිකුත් තෑගී පෙන්වූයෙමි.
" මේ තෑගී (ඇඳුම් වගයක් ගෙනාපුවා) , මේ කජු , ලෝකේ හොඳම කජු. මල්ලිගේ වයිෆ් කිරි ටොෆි, අලුව දුන්න. අක්කා මුං කැරලි දුන්න. හේමාලි ඉස්සෝ, මාළු හෙම දුන්න."
"ඉතින් ඒවාට ලොකු ඉඩක් ගිහිල්ල නැහැනේ. මම ඔයාට කීවේ හොඳ අලුත් තුනපහ ටිකක් ගේන්න කියලනේ. මේ කඩවල පරණ ඒවා කන්න පුලුවන්ද?"
එයාගේ සූදානම ගේමටය. ඉනෙස් කොහොමටත් ඉන්දියන් කඩවල තුනපහ ගැනීමට කැමැති නැත. ඈ කියන්නේ ඒවා හදා ඇත්තේ වර්ණ ගැන්වෙන රසායන, රස කාරක ආදිය දමා බවය. තුර්කි කඩවල විකුණන රතුම රතුපාට මිරිස් සහ කෑලි මිරිස් තද රක්ත වර්ණයකින් ඇත්තේ එබැවිනි.
මිත්‍රවරුනි, කලින් ලිපියේ ලියූ පරිදි ජර්මන් අයට බුද්ධාගම කියා දීමට යාම පමණක් නොව තුනපහ දැමූ කෑම කන්නට දීමද පසුව ප්‍රශ්න ඇති කරන දේ බව හිතට ගන්න. යූ ටියුබ් අම්මලා ගේ පිහිටෙන් ඉනේස්ට දැන් මටත් වඩා හොඳට තුනපහ දමා ඉවිය හැකිය. ප්‍රශ්නය වන්නේ දැන් ටික ටික ජර්මන් කෑම වලටද ඒවා එකතු වීමය.
"ඉතින් ඔයා කියන්නේ කිලෝ දෙක තුනක් ගේන්න නේ. කාටද ඕවට ඉඩ තියෙන්නේ" මම ශේප් එකේ කියුවෙමි.
"ඉඩ, ඉඩ මම හොයල දෙන්නද? මේ පොත් මොනවාද, ඕව බර වැඩියිනේ . ඔයා ගිය පාර ගෙනාව ඒවත් කියෙව්වද තවම. මේ පොත් මොනවාද , ගොඩක් ලොකු ඒවා. "
ඒ පොත් තුන හතර ටිකක් ප්‍රමාණයෙන් ලොකු බව ඇත්තය. පොඩි පොත් කියවන්න කියා නියමයක් මා දන්නා තරමින් නැත.
"ඔයාට තේරෙන්නේ නැහැ අනේ. මේ කාලේ පොත් ගේන්නේ කියවන්නම නෙමේනේ. ඕව කවද කියවන්න බැරිද? ඒ වගේද මම ඒවා දෙපැත්තෙනුයි , උඩිනුයි තියල, කෝපි කෝප්පයක් හෙම ළඟින් තියල, ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දැම්මම හොඳටම ඇති, කාටද ආඩම්බර"
"එතකොට දැන් ඔයා ෆේස් බුක් දාන්නද මේවත් ගෙනාවේ " ඉනෙස් ගේ මූණ දැන් දෙහි මිරිකා හැරි ලෙමන් ලෙල්ලක් වගේය.
"අපෝ නෑ , ඒවා මේ ගුණරත්න අයිය හම්බවෙලා කරේ ගහපුවනේ. හොඳ පොත් ටිකක් කියල තමයි දුන්නේ. මතකනේ අර අපි ගිය සැරේ ලුණුගල ගිහිල්ල හම්බ වුනේ "
"මට මතකයි, ඒත් මේ පොතේ ලොකු"
"ආ ඒක මේ අම්බලවනර් සිවානන්දන් කියල දෙමළ ලේඛකයෙක් ගේ හොඳ පොතක්. එයාගේ ඉංග්‍රීසි පොත තියනවා මම අරන් දෙන්නම් ". වැඩේ ශේප් කර ගන්නට කීවෙමි.
"එතකොට මේ කළු එක්කෙනක් ගේ පොතක් තියෙන්නේ. ඒකත් ලොකු වැඩියි. ඒ කවුද ලංකාවේ මැන්ඩෙලා ද " ඒ කියන්නේ කළු රන්ජිත් ගැනය.
"ඒකනම් එච්චරම ෂුවර් නැහැ. එයා මේ හැමෝටම උදව් කරන කෙනෙක් ලු. පොතේ නම කළු රන්ජිත් සුදු මිනිහෙක් (මේක මම කීවේත් ඉංග්‍රීසියෙන් ඈ - Black Ranjith is a white man)"
"මොකක්ද ඒකෙ තේරුම. එයා අර ඉන්දියාවේ ලංකාවේ වගේ බ්ලිච්නුයි අරවයි මේවයි ගාල හම සුදු කරගෙනද? දැන් පිරිමින්ටත් ඒ පිස්සුවද "
මා කළ බරපතල වැරැද්ද මට තේරුනේ එවිටය.
"මේකයි, දැන් ඔය කළු කියල තියෙන්නේ ඉතින් පාටින් කළු වුනත්, එයා ඇත්තටම මුළු හදින්ම සුදුයි කියල. ඒ කියන්නේ මේ ඔයා වගේ සුදු මිනිස්සු ගැන නෙමේ මේ කියල තියෙන්නේ. සුදු නමින් ඇඟවෙන මේ හොඳ මිනිසුන් සමූහයක් ගැන. හැමෝටම උදව් කරන හොඳ කරුණාවන්ත මදර් තෙරේස වගේ කෙනෙක් ගැන"
එයාගේ ඇස් දෙක ජම නාරං ගෙඩි දෙකක් සේ විශාල වූ සයිස් එකෙන්ම මට තේරුණේ මම තවත් දිගින් දිගටම ඇන ගනිමින් සිටින බවය.
"ඔයා කොහොම කීවත් ඕක වර්ණවාදී (racist) කතාවක් නේ. ඕක ලියපු මනුස්සය දන්නේ නැත්ද මේ දවස් වල ලෝකේ බීඑල්එම් (Black Lives Matter) කියල ව්‍යාපාරයක් යනවා කියල. ජෝජ් ෆ්ලොයිඩ් මැරුවට පස්සේ. එහෙම තියෙද්දී ද ඕව ලියන්නේ"
සාමාන්‍යයෙන් වාද වල එල්ලී එල්ලී යන මම මේ වාදයෙන් ගැලවෙන මගක් කල්පනා කරමින් සිටියෙමි.
"නැහැ මේකයි ලියපු කෙනා වැඩිය ඉංග්‍රීසියෙන් කියවන්නේ නැතිව ඇති. එහම නැත්නම් අර මගේ පොතේ පිට කවරේට උනා වගේ ප්‍රකාශක තුමා කියන්න ඇති මෙහම ටයිටල් එකක් දැම්මේ නැතිනම් ලංකාවේ පොත විකුණන්න බැරි වෙයි කියල. "
"ඒ කියන්නේ අර ඔයාගෙම යාළුවෙක් කීවේ ආසියාවත් හරිම වර්ණවාදී කියල. සුදු අයට බැන්නට. ඒක ඇත්ත. ඒක නෙමේ ඔයා අළුත් ගම්මිරිස් ගෙනෙල්ලත් නැහැ."
මම දැන් තව තවත් එරිලාය. ගම්මිරිස් ගෙනෙන්නටද අමතක වෙලාය. පොත දුන්නාට මම දැන් ගුණරත්න අයියාට හිතින් බැන්නෙමි .
හදිසියේම වාසනාව එලියට පැන්නේ බෝතලයක් ලෙසින් ය. අමර පලිහවඩන නමැති මගේ අතිජාත මිතුරු තෙමේ යන්නට කලින් දවසේ කුමුදු විජිත් සමග පැමිණ හොඳ වර්ගයේ එක්ස්පෝර්ට් ක්වොලිටි අරක්කු බෝතලයක් දී ගියේය. පින්තූරයේ ඇත්තේ එයයි.
"මේක කාටද"
" ආ ඕක පලිහවඩන දුන්නේ. ඔයාගේ අම්මටයි තාත්තටයි දෙමු. අප දෙන්නට විපුලි එක්ක බොන්න මම තවත් ඕල්ඩ් ඇරැක් එකක් ගෙනාව."
පලිහවඩන එදා ආවේ උන්දැගේ ආදරණිය මවද එතරම් හොඳ තත්වයකින් සිටියදී නොවන බව පසුව දැන ගතිමි. ඌ එතරම්ම හොඳ බොක්කකි. මට පසුව කුමුදු විජිත් ගෙන් ආරංචි වුනේ ඒ සුන්දර කරුණාවන්ත මාතාව අවසන් ගමන් ගිය බවය. අමරයා කවදාවත් පෞද්ගලික දේ නොකියන නිසා අපේ විදුහලේ 83 ගෘප් එකේද ඒ බවක් නොකියැවිණි.
මම කිහිප වරක්ම අමරගේ උඩහමුල්ලේ නිවසට ඒ ලෙවල් කරන කාලයේ ගොස් ඇත්තෙමි. අපේ දේශපාලන වාද විවාද බොහොමයක් ගියේ එහිය. තමර අයියා සහ ඔවුන්ගේ නිවසේ සිටි සේවකයෙකුද මේ විවාද වලට වරෙක දෙවරක හවුල් විය. සෝවියට් දේශයට ආ පසු ලෙනින්ගේ හිස ඇඹු පිළිරුවක් ඔහුට දෙන්නට මම එහි ගියෙමි. අමරගේ මව මට දිවා ආහාරය දෙන්නට හරියට යමක් නැතිය කියා බිත්තර දෙකක් එවෙලේම බැද්දාය. එළවළු මාළු පිණි හතක් අටක් පිඟාන පුරා තිබියදීත් කන්නට යමක් නැත්තේ ඇයිද යන්න මට වැටහුනේ නැත. සෝවියට් දේශයේදී අපි කෑවේ මසුයි බතුයි පමණක් බවත් කෙල්ලන් නම් මාළු මිරිස් හෝ බීට් රූට් වැනි දේ ඉවූ බවත් මට මතකය.
සමහර විට මගේ මවද මම කෝල් කරන විට එවැනිම කතා කියයි.
"අද කන්න හරියට මුකුත් නැහැ."
" ඇත්තට, අනේ, අම්මා මොනවාද කෑවේ"
"කරෝල බැදලා , සම්බෝල එක්ක මේ , පරිප්පු වලට තම්පලා දාල , තව බටුද මොනවද, කොස් ඇට මාළුවකුත් තිබ්බද කොහෙද, අනේ කන්න බැහැ"
"ඉතින් අම්මේ ඔය හොඳයිනේ. මම මේ පොඩි සැන්ඩ්විච් එකක් දවල්ට කාල රෑට යන්තන් චිකන් එක්ක බත් ටිකක් කෑව "
මට හිතන්නේ අපි එංගලන්තයේ, ලංකාවේ තරම් හොඳට එළවලු හතරක් පහක් සමග බත් නම් නොකන බවය. කොහොමත් එහෙම හදන්නට වෙලාවක් ද නැත. අපි වෙන අනම් මනම් කනවා මිස බත් හැම වෙලේම කන්නේද නැත. ඉනෙස් කොහොමත් විනාඩි තිහෙන් හතළිහෙන් හදා ගන්නට පුළුවන් කෑම වලට වැඩි කැමැත්තක් දක්වන්නීය.
සෝවියට් දේශයේ සිටියදී උදේට පොඩි කැන්ටිමෙන් බිත්තර නිතරම කන නිසා මට බිත්තර වැඩිය දිරෙව්වෙ නැත. අමරයා මට දුන් බැදපු බිත්තරය එදා ඩැහැ ගත්තේය.
ඉතින් පළිහවඩන ගේ ඒ කරුණාවන්ත අම්මාද නික්ම ගොස්ය. අමරයා ගේ දැන් ෆෙමස් අක්කා ඒ දවස් වල වෛද්‍ය විද්‍යාලයේය. යන්තමින් හිනාවීගෙන කාමරයට මාරු වෙන නිසා මට ඒ දවස් වල හිතුනේ වෛද්‍ය විද්‍යාලයේ නිසා හෙන ආඩම්බර ඩයලයක් වන්නට ඇති බවය. පහුගිය කාලයේ ඇගේ නම හැම වෙබ්සයිට් එකකම වාගේ දුටු නිසා දැන්නම් කොහොමත් ෂුවර් නැත. නමුත් පලිහවඩනලා, ගුරුතුමියක සේ මා දැන සිටි ඔවුන්ගේ මවගේ නික්ම යාම ඉතාමත් නිහඬව විඳ දරාගෙන ඇත. මම ඒ ගැන අමරයාට කතා කොට දෝස් මුරයක් දැමුවෙමි.
"අපට එන්න බැහැ තමයි. ඒත් උඹට මට කියන්න තිබ්බ. ඇන්ටි හදපු තේකක් හරි බීලා තියනවා. අනික මට බැදලා දුන් බිත්තරේ උඹ ඉස්සුවා."
ඌට ඒක මතක නැත.
බිරින්දෑ ගේ මුහුණේ මල් හතයි තවත් එකක් පිපුනා වගේය. ඉනෙස් ගේ අම්මයි තාත්තායි කියන්නේ ලෝකේ හොඳම රම් එක ලංකාවේ අරක්කු බවය. ඔවුන්ට එය ඒ තරම්ම ප්‍රිය ජනක බීමකි. අනික ස්ට්‍රෝබෙරි , තේ, කෝපි කේක් ආදී හැම එකටමත් එය දමති. බිරින්දෑ ට පොත ගැනද අමතකය.
ඉතින් එදා දවසේ පලිහවඩනයාගේ අරක්කු බෝතලය මගේ ජාම බේරුවේ එසේය.
ඊයේ පෙරේදා ඉනෙස් කවුදෝ අඹරා දුන්නු තුනපහ බෝතල් දෙකක් ගෙනාවාය.
"මේ බලන්න සුවඳ "
"කොහෙන්ද මේ " මම ඇසුවෙමි.
"අපේ ලැටිමර් එකේ (ඉනෙස් රැකියාව කරන විදුහල) වැඩ කරනවා බංග්ලා දේශ ලේඩි කෙනෙක්. එයාට මම කිව්වා ඔයා මේ පාර ලංකාවට ගිහින් එනකොට තුනපහ ගෙනාවේ නැහැ කියල. එයාට අළුත් ඒවා තියනවා කියල මේවා ගෙදරම අඹරල ගෙනත් දුන්න "
"හා හා ඒ කියන්නේ ඔයා දැන් බංගලා දේශ කට්ටියගෙන්ද තුනපහ ගන්නේ . මම ලංකාවෙන් ගෙන්න ගන්න හැදුවේ මල්ලිට කියල "
"ඕගොල්ලන්ගේ ලංකාව බංග්ලා දේශයෙන් ණය ගන්නවනම් මම තුන පහ ගත්තම මොකද "
මම ආයෙත් පාරක් බ්ලාස් වී ගියෙමි.
මම කියන්නේ මේ පත්තර කාරයන් හා මාධ්‍ය නිසා කිසි දෙයක් කර ගන්නට බැරි බවය. වහාම ඔය වගේ නිව්ස් පිටට දෙන දේශද්‍රෝහී විදේශ මාධ්‍ය වේදීන් ට දඬුවම් කළ යුතුය. නැත්නම් ඉදිරියේදී අපට මුහුණවල් මාස්ක් දෙකකින් පමණ වසාගෙන ඉන්නට වනු ඇත.