Tuesday 24 August 2021

කළු රන්ජිත් සුදු බවට පත්වූ අරුමැසිය


මෙයට කලින් දිනයෙක උපහාසාත්මක රචනයක් ලියා තිබුනා මතකද? "අරක්කු බෝතලයෙන් ශේප් වුනු කළු රන්ජි ගේ සුදු පොත" නම්වූ  ඒ ලිපිය අවශ්‍ය නම් ඉහත යොමුවෙන් කියැවිය  හැකියි.  සෑහෙන පාඨකයන් ප්‍රමාණයක්  ලිපිය කියවා  තිබුණු බව නම් දුටුවෙමි.   උපහාස රචනයක් යනු කුමක්දැයි නොතේරෙන අයද සිටින බව මම එම ලිපිය නිසාම දැන  ගත්තෙමි. ඇත්තම මට ඒ පොතේ මාතෘකාව ගැන ප්‍රශ්නයක් නැත.  රචකයා හෝ ප්‍රකාශකයා  නම දමා ඇත්තේ ශ්‍රී ලංකාව යන රටේ ඇති යථාර්තය පිලි ගෙනය. එය ඇත්තක්  නොවේද? දැන් අසිරිමත් ලංකාවේඉන්නා  බයියන්, ටොයියන් ,  ජෙප්පන්, පෙරෙට්ටන්  , දාර්ශනිකයන්  ආදී මෙකි නොකී අය   පිටරට ඉන්නා උන් එහෙ නිදි වදින්නේ නැතිව අප හදන්නට එන්නේ යයි වැළපෙනු නිසැකය. ලංකාවේ වැඩි හරියක් සිතන්නේ එසේ නම් පොතකට එවැනි නමක් දැමීමේ වරදක් ඇත්ද? සුදු යන්නෙන් ලංකාවේ  බොහෝ විට අදහස් කරන්නේ හොඳ යන අරුතිනි? ලංකාවේ ඉන්නේ සුදු පුතා , සුදු දුව, සුදු පැටියා, සුදු මහත්තයා , සුදු අම්මි ආදීන්ය. තමන්ගේ එවුන්ට එසේ කියන ගමන් අර සුද්ද , අර සුද්දී යනුවෙන් පහත ආකාරයෙන් බැන වදින්නෝ ද සිටිති. තමන්ගේ ළමයාට සුදු මහත්තයා යයි  කියන ගමන් සුදු අධිරාජ්‍යවාදීන්ට බනින උන්ද සිටිති. එනිසා මේ පොතේ නම ඉතාමත් ගැලපේ.  

ලන්ඩනයේ  සිටින සහෘදයකු වන සරද සමරසිංහ ලියු නවතම කෙටිකථා  පොත වන "සුදු පාටේ සුරතාන්තය" පොතේ "කළු සුදු කර ගැනීමේ " ප්‍රවණතාවය   ගැන අපූරු  කෙටි කතාවක්  කියෙව්වෙමි. 

 කළු යනු ගතිගුණින් නරක හා සුදු යනු ගතිගුණින් හොඳ අය නිසා හමින් කළු වුනත් රන්ජි හදින් සුදු මිනිහෙකි. ඒ නිසා පොත ලියා  ඇත්තේ  මේ අපූරු ජනතාවට  ගැලපෙන භාෂාවෙනි. 

ඉතින් මම ලියු පොතට සුදු රුසියන් කෙල්ලෙකුගේ මුහුණක් දැම්මාට කම් නැත. තරුණ  කෙල්ලන්ගේ මුහුණු පොත් වල දමා ලියන පෙම්කතා බොහෝවිට විකිණෙන බව මම දැනගත්තේ 2019 දී ලංකාවේ දීය. මමත් ඒ කාලයේ මගේ සොයුරියන් කියවන නිසා හෝ කුමාරි පත්තරේ කියැවූ කෙනෙකි. ඒ "කුමරි" පන්නයේ පෙම්කතා කොපමණ දුක් කම්කටොලු තිබුනද අවසානයේ දී "සැබෑ පෙම " ජය ගන්නා ඒවාය.  ඒවායේ වැඩි  හරියක සුදු උස කොණ්ඩය දිගැති උගත්,  සමහර විට ඉංග්‍රීසි කතා කළ හැකි, කෙල්ල, සමහර විට විශ්ව විද්‍යාලයට යන ඩෙනිම් අඳින නංගි  , පෙමින් වෙලෙන්නේ තරුණ පොලිස් පරීක්ෂකවරයෙකු, වෛද්‍යවරයෙකු, රණවිරු හමුදාවේ කැප්ටන් කෙනෙකු, ගුවන් හමුදා ගෘප් කැප්ටන් කෙනෙකු,   අමෙරිකාවෙන් හදිසියේ පැමිණෙන පොහොසත් එහෙත්  හරිම නිහතමානි විද්‍යාඥයෙකු හෝ  ඉඳහිට ඉංජිනේරුවෙකු ආදී වශයෙනි.  එවැනි පොත් මිලදී ගන්නා පාඨක ප්‍රජාවක් සිටිති.

මම ප්‍රකාශක මහතා සමග කතා කල පසු පොතේ පළමු පිටුව ඇඳ දුන්  දියණියද අමනාප කරගෙන ගත් තීරණය වූයේ "සම්භාව්‍ය පොත්" කියවන්නාට  නොව , ඔවුන්ට කොහොමත් සම්භාව්‍ය ග්‍රන්ථ  ලියන කතුවරුන් සිටින නිසා , මේ අලුතින්  හඳුනාගත් ජන කොටස  මගේ පොත කියවිය යුතු බවටය. මා සිතූ පරිදිම පොත මිලදී ගත් සමහරුන් "පෙම්වතුන්" ගේ පෙම අවසානයේ ජය නොගත් බවට ප්‍රකාශක  තුමාට මැසිවිලි නගා තිබුණි.   

"මම ඔයාට කීවේ මේ වගේ පිටකවර  තියෙන පොත් කියවන කට්ටියට අවසානය හොඳ වෙන්න ඕනේ කියලා" ඔහු මට කීවේ ලංකාවේ දීමය. නමුත් පොතේ පිටපත් හත්සීයක් පමණ විකිණී ඇති බව දැනගතිමි. ඒ කියන්නේ අඩුම ගණනේ ඉංජිනේරුවෙකු හා රුසියානු දත් දොස්තරවරියක ගේ නොදිනූ  පෙම ගැන ඔවුන් කියවා ඇත. 

ජයසිරි අලවත්ත ගේ "කළු රන්ජිත් සුදු මිනිහෙකි" පොත ගැන මම බලන්නේ ඒ දෘෂ්ටි කෝණයෙනි. කළු රන්ජිත් "පළමු වරට " හමුවුනා යයි මා සිතුවේ මගේ පළමු පොත "පොල්කට්ටෙන් එපිටට " ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ත්‍රිකොන් හිදී එලි දැක්වූ දවසේය. එහිදී "හිතුවක්කාරී" නමැති පොත රැගෙන එලියට එන අයට බෙදමින් සිටියේ ඔහු බව පසුව දැන ගතිමි.  මා පොතට මුදල් දෙන්නට හැදුවද ඔහු එය භාර ගත්තේ නැත. ඔහු මටද එදා උදව්වක් හෝ දෙකක් කළේය. 1975 ලුණුගලින් ආ පසු එහි නැවත  නොගියද  " හිතුවක්කාරී" පොතේ තිබූ ලිපිනයකින් ගුණරත්න නමැති කතුවරයා නැවත හඳුනා ගන්නට ලැබීමයි. එක පරිච්චේදයක ලුණුගලද සම්බන්ධ  ඔය ඉහත ලියන ලද "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කතාව ලියන්නට සිතට අදහසක් ආවේද ලුණුගල මතක් වීමෙනි.  එනිසා රන්ජි මට නොදැනුවත්වම උදව් දෙකක් කර ඇත. මංජුල වෙඩිවර්ධන කියන්නාක් මෙන් "නොදැනුවත්ව" උදව් කළ හැක්කේ ශාන්තුවරයෙකුට පමණක් විය හැකිය.   

ඉන්පසු මට "කළු රන්ජි" හමු වුනේ පොත් ප්‍රදර්ශනයක දී විය යුතුය. එහිදී මගේ පොත්  කිහිපයක් ඔහුට දුන් බවට මතකයක් තිබේ.  
ජයසිරි අලවත්තගේ පොත  කියවද්දී මට මතකයට ආවේ මා ඊට කලින්ද කළු රන්ජි හමුවී ඇති බවය. එවකට සෝවියට් දේශයේ ශිෂ්‍යයෙකු වූ මා කොල්ලුපිටියේ හෝ කොටුවේ  පිහිටි  ඔහුගේ "ඩියුටි ෆ්‍රී එකෙන් භාණ්ඩ රැගෙන විකුණන " ව්‍යාපාරික ස්ථානයට මගේ ගමන් බලපත්‍රයේ අවසරය විකිණූ බව මතක් වීමෙනි.

මේ පොතේ මට ඉතාමත් වැදගත්ම කොටස් වන්නේ නන්දන මාරසිංග ගැන ලියා ඇති  කොටසයි. (පිටුව 183)  මීට කලින් නන්දන මාරසිංහ ගේ මරණය  මැයින් මා ලිපියක් ලියා තිබේ.   ඒ  චරිතය මා  බලවත් උනන්දුවක් දැක්වූ  එකක් වන්නේ ඉදිරියේදී ලියවෙන ලිපි කිහිපයක් සඳහාද එය වැදගත් නිසාය.  ඒ ගැන මතක් කර ලියූ තවත් ලිපියක මා  මෙසේ සඳහන් කර තිබුණි..

//මේ කාලයේ  සිදුවූ එවැනි තවත් ඝාතනයක් නම්  නන්දන මාරසිංහය. (යොමුව)මේ ඒ ගැන මා ලියු ලිපියකිනි.  "කාලයේ රාවය " ගීත සමුච්චය කළ නන්දන ජවිපෙ බැංකු කොල්ලයක් කළ අය  ගැන පොලිසියට දැනුම් දුන්නා යයි චෝදනාවක් කැන්ගරූ උසාවියක ඉදිරිපත්  කර මරා දැමුණි. (පොලිස් ඔත්තු කරුවෙකු ලෙස නම් කර ) එම ඝාතනයට දෙදිනකට පෙර ඔහු සමග සිටි, එසේම ඝාතන තර්ජනයකට ලක්ව සිටි සුනිලා  අබේසේකර මහත්මිය සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නන්දන ගෙන් ඉල්ලා සිට ඇත්තේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවෙන ලෙසයි. නමුත් විජේවීර බේරා ගැනීමට යාපනය සිර ගෙයට පවා ගිය නන්දන, විජේවීර එවැන්නකට නියෝග කරනු ඇතැයි නොසිතන්නට ඇත// (උපුටා ගැනීම අවසන්)

ඒ ගැන නැවතත් මා ලීයූ තවත්  ලිපියක් වන  "සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද නම් ලිපියේ  හි පෙසප හා ජවිපෙ සාමාජිකයන් නන්දන මාරසිංහ ඝාතනය පිලිබඳව තවමත්  දරන්නේ පරණ ජවිපෙ නිදොස් කීරීමේ ක්‍රියා පිලිවතක් බව පැවසුවෙමි.  රෝහණ විජේවීර තරම් ප්‍රබල ස්ටාලින්වාදියෙක් හැත්තෑව  අසූව දශකයේ සිටියේ නැත. මේ ඝාතන දෙස බැලිය යුත්තේ එම දෘෂ්ටි කෝණයෙනි. එබැවින් මේවා  සියල්ල දේශපාලන මරණ වේ.  ඒවා සාධාරණීකරණය කළ හැක්කේ ස්ටලින්වාදී න්‍යායයෙන් වාම දේශපාලනයේ නිරත වෙන අයට  පමණකි. නන්දන මාරසිංහ විමුක්ති ගී ප්‍රසංගය හා "කාලයේ රාවය" ප්‍රසංගයන් සඳහා කළ කැපවීම් ගැනද පොතේ සටහනක් තිබේ. එසේම ඔහු පක්ෂයෙන් ඉවත් කළ දිනයේ හඬා වැළපුන බව මෙන්ම ඔහු ගේ ඉවත් කිරීමට  නියම හේතුව සහෝදර නමින් පෙනී සිටි  ඊර්ෂ්‍යා කාරයන් බවට නගන චෝදනාවට මමද  එකඟ වෙමි.  

ස්ටලින්වාදී  ක්‍රම පිළිවෙත් අනුගමනය කළද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,  ට්‍රොට්ස්කි පිලේ ලංකා සමසමාජ පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කළා විනා මරා දමන්නට ගියේ නැත. ඒ එවකට සෝවියට් දේශයේ (නිකිතා කෘෂෙව් ගෙන් පසු) නායකත්වයේ ආශීර්වාදය හිමි වූයේද එවැනි සහයෝගිතා  ප්‍රතිපත්තියකට හා සභාග ආණ්ඩුවලට  බැවිනි. සෝවියට් දේශය ඒ වනවිට  ප්‍රචණ්ඩකාරී ස්ටලින්වාදයෙන් ඉවත්ව න්‍යායික කොටස පමණක් අනුගමනය කරන ලද රටකි. අසූ අට - අසූ නමය කාලයේ රන්ජිත් ව ඉවත් කිරීමට  ජවිපෙ නායකත්වය අණක් දුන්නාය  යන්න මම විශ්වාස කරන්නේද එබැවිනි. පක්ෂයේ පැරණි  සාමාජිකයන් සතුරන් ලෙස සැළකීම ස්ටලින්වාදය තුල කිඳා බැස ඇති ප්‍රතිපත්තියකි. මාඕ සේතුං මෙන්ම  පොල්පොට් ද එය එලෙසම ක්‍රියාත්මක කරන ලදී.   

ඒ අනුව කළු රන්ජිත්  හා ජයසිරි අලවත්ත, නන්දන මාරසිංහ මරණය ගැන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ට පසුව වඩාත් හොඳින් පැහැදිලි කළ දෙදෙනාය. ඒ මේ පොත හරහාය.  ඒ මරණයත් ඒ හා සම්බන්ධ  සිද්ධි මාලාවත් පිළිබඳ  වඩා නිවැරදි සත්‍ය විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන ඔවුන් දෙදෙනාට අප උදක්ම ස්තුතිවන්ත විය යුතුය.

පොත හරිහැටි ඇරඹෙන්නේ දෙවෙනි කැරැල්ල කොටසිනි. කළු රන්ජිත්ට  ජවිපෙට  සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් මෙන්ම ආරක්ෂක අංශ වලින්ද  තර්ජන එල්ල වූ  සමය ගැන ඇති ලියවිල්ලෙනි.  එසේම ඔහුගේ උතුම්ම ගුණය ලෙස මා  දකින්නේ තමන්ගේ ව්‍යාපාරයට  රාජ්‍ය මර්දන කණ්ඩායම් රැගෙන පැමිණ හතර දෙනෙකුට මරු කැඳවූ හිටපු  ජවිපෙ සාමාජිකයාට සමාව දීමෙනි. 

අප වැන්නන්  අය මාක්ස් අසාධාරණ ලෙස නම්කරන ලද යුතෝපියානු හෙවත් මනෝරාජික සමාජවාදීන් වන්නේ ප්‍රචණ්ඩ ක්‍රමයකින් බලය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරති. එසේම ධනවාදය එහි  ඉහලම දියුණුවක්  තවමත් ලබා  නැති බවත්,  ලෙනින් ලියන ලද  "අධිරාජ්‍යවාදය ධනවාදයේ උසස්ම අවධිය නමැති පොතේ න්‍යායාත්මක වැරැද්දක් ඇති බවත්" විශ්වාස කරන්නෙමු. . (Imperialism, the Highest Stage of Capitalism (1917), by Vladimir Lenin -  අධිරාජ්‍යවාදය මගීන් මූල්‍ය ධනවාදය වැඩිම ලාභයක් ඉපයීම ධනවාදයේ උසස්ම අවධිය බව ලෙනින් මෙහි කියා ඇත) . 

 එනිසා "කළු රන්ජි  මහා  සමාජ ව්‍යාපාරයක් තරම් බර මිනිසෙකිය" කියා වෙඩිවර්ධන සහෝදරයා කියන විට මට හිතෙන්නේ  ප්‍රචණ්ඩ ක්‍රමයකින් තොරව සමාජ සාධාරණත්වය ඉටු කිරීමට  නම් කළු රන්ජිලා වැඩි වැඩියෙන් සිටිය යුතු බවය. නොපෙරෙලෙන ධනවාදය රූපාන්තරණය කිරමට සමහරවිට අනාගතයේදී  අවශ්‍ය වන්නේ එවැන්නන් විය හැකිය. නමුත් දේශපාලන පක්ෂයකින් හෝ ව්‍යාපාරයකින් තොරව එවැන්නක් කළ හැකිද යන්න තදබල න්‍යායාත්මක ප්‍රශ්නයකි.

කළු රන්ජි   නොදැනුවත්ව හෝ මිනිසුන්ට උපකාර කිරීමට පෙළඹෙන්නේ හැත්තෑ එක කැරැල්ලේ  අසාර්ථකත්වය නිසා විය හැකිය. නමුත් ආදරය තුලින් මිනිසුන් දිනීමට ඔහු උත්සාහ  කරන්නේද ඒ නිසා විය හැකිය. තමන්ගේ වැඩ පසෙක ලා අනුන්ගේ වැඩට දිවයන්නේ ද එබැවින් විය හැකිය. මා "විය හැකිය" යන වදන් නැවත නැවත භාවිතා කරන්නේ මෙහි ඇත්තේ සම්භාවිතාවක් පමණක් බැවිනි. හැත්තෑ එක කැරැල්ලෙන් පසු  අපට හමුවන පියසිරි කුලරත්න  ගේ චරිතය කැරළි ගැසීමේ මගින් ඉවත්ව යෝගී මගක් ගැනීමත් එක්තරා විධිකට මේ හා සමාන නොවේද? අජිත් පැරකුම් ජයසිංහ අසූ අටේ භීෂණයට හසුව එළියකන්ද වධ කඳවුරේ සිටි වින්දිතයෙකි. එලියට පැමිණි ඔහු ලිවූ "ශාස්තෘ" නමැති පොත මම කියවා ඇත්තෙමි. ඒ පොතේ චරිතයද ඉහත  දෙදෙනාට සමාන එහෙත් වෙනත් දාර්ශනික පසුතලයක සිටින අයෙක් ගැන ලියවුණකි. 

 අපි හැමෝමත්  බොහෝවිට "මේ අනුනට උදව් කිරීම්" කර ඇත්තෙමු. බොහෝවිට ඒ සඳහා  අපි කිසිවක් බලාපොරොත්තු වන්නේද නැත. ඒ ගැන කියන්නට අවශ්‍ය වන්නේද නැත. නමුත් මා ද ඇතුළුව අප බොහෝ  දෙනෙක්  තමන්ට පාඩු සිදු කරගෙන හැම විටම උදව් කරන්න යන්නේද නැත. මම වැය  කරන්නේ මට උපරිමයෙන් වැය කළ හැකි කාලයත්, ශ්‍රමයත්  මගේ පසුම්බියට සරිලන පරිදි ආධාරත් පමණකි. කළු රන්ජිත් අපෙන් වෙනස් වන්නේ එතැනදීය.

නමුත් කතුවරයා හෝ කළු රන්ජිත්  ඇතැම් තැන්වලදී  මේ ක්‍රියාවන් වාමාංශික  දේශපාලනයට ආදේශකයක් ලෙස කරන බවට පෙන්වීමට තැත් කරන බවක් මට පෙනේ. සාමූහික දේශපාලන ක්‍රියාදාමයකින් තොරව  තනි මිනිසුන්ගේ පුණ්‍ය ක්‍රියාවලින් සමාජයට  ලොකු බලපෑමක් ලැබෙන්නේ යයි මට සිතෙන්නේ නැත.

 එනිසා මේ පොත ලිවීමේ අදහස කළු රන්ජිගෙන්ම පැන නැගුනා නම් ඒ සඳහා  ප්‍රබල දේශපාලනමය හේතුවක් හෝ සමාජ ප්‍රගමනයට බලපාන හේතුවක්  දැක්වීමට ඔහු අපොහොසත් වී ඇත. කතුවරයා කියන අන්දමට ප්‍රකාශිකාව හා රන්ජිගේ උදව් උපකාර ලැබූ සගයන්ට එය අවශ්‍ය වී නම් ඔවුන්ගේ වදනින් කළු රන්ජිගේ ක්‍රියාවන් පිළීබඳව කියා පාන්නට ඉඩ තිබුණි. එසේනම් පුණ්‍යක්‍රියාවක් හෝ උදව්වක් ඇගැයීමට ලිවූ පොතක් වශයෙන් අපට එය සැලකිය හැකිය. එසේ නැතිව අපේ සමාජයේ කරන ලද උදව්  ගැන කියවීම එක්තරා අන්දමකින් නොකරන දෙයකි. මගේ පෞද්ගලික මතය නම් එය උදව්ව කරන්නා හා ලබන්නා අතර ඇති සම්බන්ධයකි. සමහර අවස්ථාවල ඒ ගැන ඇගැයීමක් ලැබෙන්නේ නැත්නම් අපට උදව් කරන්නට නොසිතෙන්නට පුළුවන. බ්‍රිතාන්‍යය වැනි රටවල පුණ්‍යායතන තමන්ට ආධාර කරන අයට විශේෂ සැලකිල්ලක් දක්වයි. ඔවුන්ගේ කැමැත්තද ඇති ,  උපකාර ලබා ගත්බවට සමරු පොත්වල සටහන් කෙරෙයි. එනිසා මේ  පොත ඒ අනුසාරයෙන් ලීවුවක් යයි සිතිය හැකිය.

එසේම   ජයසිරි අලවත්ත කතුවරයා මේ පොත දඩිබිඩියේ ලියූවක් බවටනම් මට හැඟීමක් ඇතිවී තිබේ.ඒ ජයසිරි අලවත්ත අප කවුරුත් දන්නා පරිදි සිහල බස පිලිබඳ සුවිශේෂ හැකියාවක් ඇත්තෙකු නිසාය. ඔහුගේ සිහල බස  හැසිරවීම  "සාහිත්‍ය ශානර විමංසා" වැනි පොත් වලින්  හා ඔහුගේ  කාව්‍ය විචාර ආදියෙන් පෙනේ. ඔහු තමන්ගේ ඒ සුවිශේෂී හැකියාව මේ පොත සඳහා උපයෝගී කරගත් බවක් මට නොපෙනේ. 

නමුත් පොත කියවා  අවසන් වූ පසු "කළු රන්ජි " යනු සැබෑ මානව හිතවාදියෙකු බව මගේ හිතේ සටහන් වී ඇත.  මේ කෝවිඩ් සමයේ රජය රුපියල් 2000 අඩු ආදායම් ලාභීන්ට දීමට තැත්  කරයි. මේ මුදල ඉතාමත් අඩු බව ඔබත් මමත් දනිමු. රැකියා අහිමි වී සිටින අඩු අදායම් ලාභීන්,  දෙමාපියන් කොවිඩ් රෝගයෙන් මියගොස් අනාථ වෙන දරුවන් ඉදිරියේදී හමුවිය හැකිය.පාසැල් සිසුන්ට හැකි අන්දමින් මොබයිල් දුරකථන රැගෙන දීමේ පුණ්‍ය ව්‍යාපාරයක් මේ දිනවල ෆේස්බුක් මගින් ප්‍රචාරය වෙනු දැකිය හැකිය. කළු රන්ජි වැනි සහෝදරයනට මේ අසරණ වෙන මිනිසුන් සඳහා විශාල සමාජ සුභ සාධන ව්‍යාපාරයක දේශපාලනයෙන් තොරව සංවිධානය  කළ හැකි යයි ද සිතමි. සමහරවිට මේ එවැන්නක්ද  අවශ්‍යම මොහොතකි.  පසු කලෙක  රාජ්‍යයන්  , පාලන ක්‍රම වෙනස් කරන දේශපාලන ව්‍යාපාර වන්නේද මේවාය. 

  
පරණ ලිපි:






Sunday 8 August 2021

ජිජැක් ලංකාවේ නොකී කතාවක්



ජිජැක් ලංකාවේ නොකී  කතාවක් 
---------------------------------
ගුරුතුමියක කිරි කෝපි  එකක් බොන්නට කෝපි කඩේකට ගියාය.  කඩේ හිමියා කීවේ " නෝනා කිරි කෝපි  නම් නැහැ නිකන් කෝපි  එකක් දෙත  හැකි. කිරි පිටි ඉවරයි. "

"මම ගෙනත් දෙන්නම්. කොහෙද කිරි පිටි විකුණන්නේ " ගුරුතුමිය ඇසුවාය.

"අර ඉස්සරහ කඩේ කිරිපිටි විකුණනවා . ඒත් ඒකෙ කිරිපිටි නැහැ" කෝපි කඩකාරයා කීවේය.

"මම ටීචර කෙනෙක්. උදේ ඉඳන් ළමයින්ට උගන්වලම නිදිමතයි. මහන්සියි.  මට එහනම් නිකන් කෝපි එකක් හරි  දෙන්න. මට ගෑස් එකක් ගන්න තැනක් කියනවද " ගුරුතුමී ඇසුවාය.

"ඉස්සරහ කිරිපිටි කඩේට අල්ලපු කඩේ  ගෑස්  විකුණනවා. ඒත් එයාල ගුරුතුමියන්ට විකුණන එකක් නැහැ "

"ඒ මොකෝ ඒක හරි වැඩක් නේ " ගුරුතුමිය ඇසුවාය.

"එයාලගේ ගෑස් ඉවරයි" කෝපි කඩකාරයා පිළිතුරු දුන්නේය. 

ගුරුතුමිය කෝපි එක බොන  තුරු කල්මරමින් සිටි ගුරුතුමෙකු වන අනියම් හස්බන්ඩා ගුරුවරිය කැටුව  ලැගුම් හලකට ගියේය.

පිළිගැනීමේ නිලධාරිනිය කීවේ ඇමැති ආරක්ෂක අංශයෙන් වටලා ඇති නිසා කාමර නැති බවයි.

"ඒ මොකෝ " ඔවුන් දෙදෙනාම එකවර ඇසුහ.

"රහැළිය කෙඹුක්වැල්ල කොටුවක් පනිනවා " පිළිගැනීමේ නිලධාරිනිය කීවාය. 

එය අසා සිටි ටී ෂර්ට් හැඳගත් නිලදරුවන් දෙදෙනෙක් වහා පැමිණ , රාජ්‍ය රහසක් හෙළිදරව් කිරීමේ වරදට පිළිගැනීමේ නිලධාරිනිය අත් අඩංගුවට ගෙන ත්‍රීවිල් එකක පටවාගෙන රැගෙන ගියහ.

ජිජැක් වෙනුවට ලීවේ  අජිත් 
 
 
-ජිජැක් ගේ ඔරිජිනල් කතාවේ තියෙන්නේ මගියෙකු බැරිස්ටා ගෙන් ක්‍රීම් දැමු කෝපි එකක් ඉල්ලීමයි. (කැපුචිනෝ එකක් වැනි) . බැරිස්ටා කියන්නේ (කළු කොපි එකක් දෙනවා වෙනුවට ක්‍රීම් නැති කෝපි එකක් දීමට හැකි බවයි.  කෝපි කඩේ ක්‍රීම් නැත. ජිජක් කියන්නේ ක්‍රිම් නැති කෝපි එක හා කළු කෝපි යනු එකක් නොව දෙකක් බවයි. එනම් මෙහි identity crisis එකක් තිබේ. (ඇමෙරිකානෝ කෝපි එකද කළු කෝපි එකක් නොවේ.) දෙවෙනි කතාව සෝවියට් ජෝක් එකකි. 
මස් ගන්නට කඩයකට යන පාරිභෝගිකයාට කඩයේ වැඩ කරන තරුණිය කියන්නේ අපි ළඟ මාළු නැහැ. මස් නැති කඩේ පාරෙන් එහා පැත්තේ තියෙන්නේ. මේ විහිලුව් තව බොහෝ ආකාරයට ලියැවී/කියවී තිබේ.

A man walks into a shop. He asks the clerk, “You don’t have any meat?” The clerk says, “No, here we don’t have any fish. The shop that doesn’t have any meat is across the street.”



Tuesday 27 July 2021

රන් කහවණු සොයන්නියෝ


අලුත්ම රුසියානු රුපවාහිනී කතා මාලාවක් නැරඹුවෙමි. එය පෙන්වුයේ 
බ්‍රිතාන්‍ය රුපවාහිනියේය. මුළු කතා මාලාව පුරා  ප්‍රසිද්ධ  සුරූපී රුසියානු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායකත්වය දෙන අතර රුසියානු භාෂාවෙන් නිමකළ කතා මාලාවක් වුවද   ඉංග්‍රීසි හා ජර්මන් භාෂා  උප සිරැසි සමග නැරඹිය හැකිය.  මොස්කව්  නුවර  ධනවත්  ඉහළ පෙලන්තිය සම්බන්ධ කතා  පුවතක් වන මෙහි ඒ පෙලන්තිය බටහිර ධනවාදයේ ජිවන ක්‍රමය එලෙසින්ම අනුගමනය කරන බවද පෙන්වයි. 




කතාවේ තේමාව අනුව සෝවියට් සමයේ  සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ හා ගැස්ප්‍රොම් ගෑස් සමාගම  වැනි සමාගම් වල ඉහල අධ්‍යක්ෂකවරුන්ගේ ජිවන රටාවම වෙනසක් නැතිව වර්තමාන  රුසියානු ධනපතියන් අනුගමනය  කරන බවක් පෙනේ.  කොමියුනිස්ට් පක්ෂ නිලධරයන්  බිරිඳන් සමග  හොඳ තට්ටු නිවාස වල සිටිමින් අනියම් පෙම්වතියන්ට කුඩා තට්ටු නිවාස මොස්කව්  අසබඩ නගරවල ලබාදී තිබුණි. එසේම අනියම් පෙම්වතියන් රැගෙන දාචා හෙවත් ගිම්හාන නිවෙස් වලට සති අන්තයට යාමේ පුරුද්දක්ද ඔවුන්ට විය. 

කොටස් අටකින් සමන්විත කතා මාලාවේ ඉංග්‍රීසි නම "රන් කහවණු සොයන්නියන්" යන අදහස දෙන්නකි. නමුත් රුසියානු භාෂාවෙන්  සදෙර්ශංකා (содершанка)" රඳවාගන්නීය" යන අදහස ගෙන දෙයි. ජර්මන් භාෂාවෙන් කතා මාලාව හඳුන්වන්නේ "රුසියානු සම්බන්ධතා" යනුවෙනි. 

දැන් වෙනස් වී ඇත්තේ මෙසේය . පසුගිය වසර විසිපහ තුල ඇතිවූ නව ධනවත් රුසියානු ඉහල පෙළන්තිය ඉතා දැකුම්කළු නිවාස  මොස්කව් නගරාසන්නයේ  ගොඩ නගාගෙන  තිබේ . කලින් දාචා හෙවත් ගිම්හාන නිවෙස් තිබූ  පැතිවල පවා මෙම දර්ශනීය විශාල  නිවෙස් ගොඩ නැගී ඇත. මොස්කව් නගරය තුල මේව අයත්  ධනපති පිරිමින් ගේ අනියම් පෙම්වතියන් පියකරු අපාට්මන්ට් බ්ලොක් වල (තට්ටු නිවාස)  ජිවත් වෙති.  මේ ධනපති පිරිමින්ට හෝ මාෆියා බොස්ලාට හා  කළු සල්ලි සුදු කරන පදනම් පිහිටුවා ගෙන සිටින්නන්ට කෙනෙකු මරා දමා නීතියෙන් ගැලවී සිටින්නටද හැකියාව තිබේ. ඒ රුසියානු අපරාධ පරීක්ෂණ කොමිටියේ පරීක්ෂකයන් ඔවුන්ගේ සාක්කුවේ බැවිනි.

වසර 2019 දී ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය" නමින් මම ලිපියක් ලීවෙමි. මෙය ත්‍රිමාණ සනගරවෙහි පළවිය.  (මෙහි පෙරටුගාමින් යනුවෙන් සඳහන් කරන ලද්දේ වර්තමාන "සමබි"ම පක්ෂයයි) . සෝවියට්  නංගිලා ගෙන් ඇතැම් කොටසක් කටයුතු කළ ආකාරය ගැන එම ලිපියේ සංවාදයට බඳුන් විය. 

මේ අනියම් බිරින්දන් ගේ අභිලාශය  තම ධනවත් පිරිමියා විසින් තමන්ට ජිවත්වීමට හොඳ   තට්ටු නිවසක් ලබා ගැනීම, වියදමට මුදල් හා හොඳ  ඇඳුම්  පැළඳුම් පමණි. මෙම ඉතා සුරූපී කාන්තාවන් බොහෝ විට පැමිණෙන්නේ මොස්කව් අසබඩ නගර වලින් හෝ ගම්වලිනි.  මේ පිරිමින් ගේ නිත්‍යානුකුල බිරින්දන්ද ප්‍රංශ සමාජය අනුගමනය කරමින් තමන්ට අනියම් පෙම්වතුන් ප්‍රමාණයක් නඩත්තු කරති.  මේ ක්‍රමයට ලෝකයට පෙනෙන්නට තමන්ගේ විවාහයද රැක  ගනිති. අර අනියම් පෙම්වතියන් රඳවා ගන්නියන් වන්නේ එබැවිනි. 

නමුත් මේ කතාවේ මේ සාමකාමී සහජීවනය බිඳීයන සිදුවීමක් වේ . ඒ මරීනා නමැති එවන්  අනියම් පෙම්වතියක්  ඝාතනය වීමෙනි.  කතාව අපරාධයක් පිලිබඳ  රහස් පරීක්ෂක කතාවක් බවට පත්වේ. 

මෙහි අධ්‍යක්ෂණය, පිටපත් රචකයා සහ සියලු නළු නිලියන් රුසියානුන් වන අතර එය නිමවා ඇත්තේද මොස්කව් නගරයේය. රුසියානු ජනාධිපති   පූටින් මෙවැනි කතාවක් නිදහසේ පෙන්වීමට ඉඩ දී ඇත්තේ කෙසේද? රුසියානු නව ධනපති පන්තිය ගොඩ නැංවූ ඔහුම එහි සදාචාරමය පරිහානිය පෙන්වන කතා මාලාවක් පිළිබඳ ව නොදත්තේද ? මට නම් හිතෙන්නේ එම කතා මාලාව  ඔහු මිට දශකයකට ප්‍රථම කළාක් මෙන් ධනපති පන්තියේ මාෆියා ආකාරයට කටයුතු කරන ඇතැමුන් ට දුන් අනතුරු  ඇඟවීමක් කියාය. මොස්කව් හා රුසියානු වාසීන්ගේ පිළිකුල එල්ලවන ක්‍රියා කිරීමෙන් වැලකි සිටීමට බල කරන  හිටි හැටියේ එන පිරිසිදු කිරීමකට (cleaning operation ) ඔහු සැරසෙනවා විය හැකිය. 

අවවාදයයි: ගෙදර ළමුන් සමග එකට නැරඹිය හැකි කතා මාලාවක් නොවේ. 

Gold Diggers 

Saturday 24 July 2021

නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම

ජුලි 12 ලිව්ව බ්ලොග් ලිපියේ මේ ප්‍රශ්න ටික මම අහල තිබ්බ. ප්‍රශ්න ටික ඇහුවේ සෝවියට් දේශයේ උගත් මගේ මිතුරියක් වන වෛද්‍යවරියක් කොතලාවල  පනතට විරුද්ධව  ප්‍රොෆයිල් එක වෙනස් කරගෙන හිටි නිසා. පස්සේ දැක්ක මගේ යහළුවෝ හරියටම දෙපැත්තට බෙදිලා වග. කට්ටියක් පක්ෂයි. කට්ටියක් විරුද්ධයි. යහපාලනය මේ හා සමාන පනතක් ගේන කොට බයියන් නමින් හඳුන්වන පොහොට්ටු කට්ටිය විරුද්ධ වුනා. "නිදහස් අධ්‍යාපනය" බේරා ගන්න සටන් වැදුන.  දැන් පොහොට්ටු කට්ටිය පනත ගේනවා. ටොයියන්  නමින් හඳුන්වන රනිල් සජිත්  දෙපිලේ රැඩිකල් කියල හිතන් ඉන්න සෙට් එක සටනට බැහැල "නිදහස් අධ්‍යාපනය බේරා ගන්න " සමහරු කියනවා අපි පෞද්ගලික එකට විරුද්ධ වුනත් මේ මිලිටරිකරණයට විරුද්ධයි ලු.  ඒ කියන්නේ මේ දෙගොල්ල නිදහස් අධ්‍යාපනය බේරා  ගන්න සටන් කරන්නේ තමන් විපක්ෂයේ ඉන්න කොට. 

මේ දෙගොල්ල  රට බේරා  ගන්න ජාතිවාදය ගෙනාවෙත් එහෙමයි. දෙමල ප්‍රශ්නය ඔපමණ  දුර දිග ගියෙත් මේ අමන දෙපිටකාට්ටු  වැඩේ නිසා. 

 අපරාදේ කියන්න බැහැ පරණ ජවිපෙ, අලුත් ජවිපෙ සහ  පෙසප පක්ෂ සහ  ආධාරකරුවන් හැමදාම හිටියේ එකතැන. එකම ප්‍රතිපත්තිය.පෞද්ගලික  වෛද්‍ය විද්‍යාල පිහිටෙව්වොත් නිදහස් අධ්‍යාපනයට කෙල වෙනවා කියන එක. දිවි පුදලා හරි ඒක නවත්වන්න ඕනේ කියන එක තමයි තර්කය.  දැන් ඒකට කොතලාවල මිලිටරිකරණයත් අදාල කරගෙන. ඒ විශ්ව විද්‍යාලය  කොහොමත් තිබ්බේ එහමම තමයි. රැල්ල යන පැත්තට ආණ්ඩුවට කොහොමත් බහුතර ජනතාවක්  දැන් විරුද්ධ නිසා හා හරිහැටි ඇමතිකම් නොලැබුන නිසා ශ්‍රීලනිප කට්ටියත් දැන් විරුද්ධයි ලු. 

ඔය අතරේ ජවිපෙ පෙසප සහෝලගේ ළමයි හෝ නෑදෑ ළමයි පිටරට ගිහින් ඉගෙන ගන්නවා කියන සාධාරණ චෝදනාවත්  තියනවා. මේ පෞද්ගලික විශ්ව විද්‍යාල  චෙක් රටේ, රුසියාවේ, ඉන්දියාවේ, මැලේසියාවේ , උක්රයිනයේ වගේ රටවල තියෙන්නේ. ඉතා විශාල ලාංකික සිසුන් ප්‍රමානයක් ඉන්නව ඒ රටවල.
පරණ සෝවියට් දේශයේ , කොරියාවේ , කියුබාවේ, චීනයේ විශ්ව විද්‍යාල සිසුන්ට අරගල කරන්න බැහැ. ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. එක්තර ක්‍රමයක මිලිටරි පන්නයේ පාලනයක් තිබ්බේ. හමුදා පුහුණුවටත් යන්න ඕනේ. ජවිපෙ/පෙසපේ පාලනයක් ආවොත් ඒක අනුගමනය අක්රන්නේ නැත්ද?  
 
ආ ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වැනි  විෂයයන්ට පෞද්ගලිකව ගෙවල  ඉගෙන ගන්න පහසුකම් තියනවා.  

කවුද අයියා පොරක්  ඒ අතර ගුරුවරුන්ට "කාලකන්නි " කිව්වලු. කට්ටියක් ඒක සාධාරණී කරණය කරනවා.  කිව්ව එකා කොහොමත් ඉගෙන ගත්තේ එකෙක් වෙන්න බැහැ. දුර හරියට හිතා  ගන්න බැරුව පැනල කකුල කඩා ගත්ත නිසා.  

අම්මලා තාත්තල ශිෂ්‍යත්වේ ට අවුරුදු දෙක තුනකට කලින් ටියුෂන් යවන ළමයින් ගේ ටියුෂන් නවත්වන්නේ ඒ ලෙවල් වලින් පස්සේ.  අපිත් ළමයි යැව්වා එන්ගලන්තේ ඉන්නවා වෙලත්. හේතුව තරඟය  මෙහෙට ඇවිල්ල තියෙන්නේ. සුද්දන් ගෙන් නෙමෙයි. අපේම දකුණු ආසියා සබ් කොන්ටිනන්ට්  එකෙන් සහ චීන දෙමපියන් ගෙන්. මමත් ටියුෂන් දුන්න ළමයි කිහිප දෙනෙකුට.  

ආ අමතක වුනා චීනය  1994 ඉඳන් පෞද්ගලික පාසැල් ඇති කරන්න  අවසර දීලා තියෙන්නේ. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 700 ට වැඩියි. චීන ළමයි බටහිට යුරෝපයේ, එංගලන්තයේ අති  විශාල මුදලක් ගෙවල ඉගෙන ගන්නව.  චීන වාමාංශිකයන්  ඒවා කියන්නේ නැති නිසා ලිව්වේ. කියුබාවේ හා කොරියාවේ විතරයි තවම නැත්තේ සීන් එක. 

ඒ වගේම ගුරුවරු ඉන්නව පාසල් ඉවර වෙලා ඒ පන්තියේම ළමයින ටියුෂන් දෙන. ඒපාඩමට ආවේ  නැතිනම් පලි ගන්න, ආඩපාලි කියන  ගුරුවරුත් හිටියලු. අත්දැකීමක් දෙකක් මටත්  කියල තියෙනවා. 

තනිකරම අච්චාරුවක්. මම දෙයියන්ට කියා කියා හිටියේ අනේ ත්‍රිමා විතානයි අපේ විදුහලේ ඉගෙන ගත් වෙනුරයි ගේන්න එපා මෙතනට කියල. බලනකොට සිසිර යාපා සහෝදරයා ඒකත් මතක් කරලා ලියල. අසූ නමයේ තිබුනට වඩා ප්‍රශ්නය වෙනස්  සහෝ. යුද්ධය ඉවරයි.  

ගොඩක්  මිනිසුන් ගේ ප්‍රධාන ප්‍රශ්නය වෛද්‍ය වෘත්තීය හෝ කොතලාවල විෂව  විද්‍යාලය බේරා ගන්න එක නෙමේ. ජීවත් වෙන්නේ කොහොමද කියන එක. එක පැත්තකින් කොරෝනා මාරයා  , අනිත් පැත්තෙන් රස්සාව කරන එක. පොඩි ව්‍යාපාර ගැට ගහ ගන්නේ කොහොමද කියන එක. සමහරුන්ට ඉතාම සරලව බඩගින්න. 

මෙන්න අර ප්‍රශ්න ටික නැවතත්.


Wednesday 14 July 2021

ජිවිතයේ ඔයිල් පැල්ලම් නැත්තෙක් සිටීද


ඔයිල් පැල්ලම් ගැන ලිවීමට පටන් ගන්නේ කොතැනින් දැයි මාසයක්ම කල්පනා කළෙමි. අවසන සිතුනේ පොතකට කළහැකි හොඳම උපහාරය වන්නේ මගේ ජිවිතයේ ඔයිල් පැල්ලම් වලින්ම පටන් ගැනීමෙන් කියාය. වසර විස්සකට මත්තෙන් මගේත්  වෙන්ඩ බිරින්දෑ ගේත් සංචාර සඳහා ප්‍රියතම ක්‍රමයක වූයේ දුම්රියයි.  දුම්රිය කාල වේලාවට යන නිසාත් අපි නිතරම අන්තිම මොහොතේ දුව පැමිණ එල්ලෙන නිසාත් ඉන්පසු ගමන් යාමට බොහෝ  විට නිසාන් මයික්‍රා කාරයක් කුලියට ගතිමු. අප මිලයට ගත් පළමු කාරය වූයේ  මිනි කූපරයකි. ඉන්  අපි දීර්ඝ සංචාර  හතර පහක් ගිය මුත් එය  නිතර අතර මග නවතින්නට විය. ඒ බැටරිය බැසීම නිසාය. අලුත් බැටරි දැම්මද එය ට්‍රැෆික් ලයිට් ළඟ නැවැත්වුව හොත්  නැවත පණ ගැන්වීම අසීරු විය. වාහන හදන දෙතුන් දෙනෙකු ගෙන් විමසුවත් ඔවුන්ට ප්‍රශ්නය සොයා ගත නොහැකි විය. අන්තිමේදී දී එය අප සිටි නිවස ඉදිරිපිට  ගාල් කර තැබුවෙමු. දවසක ගරාජ් හිමියකු පැමිණ එය   පවුම් 25 කට එනම්  දැන් කාලයේ මුදලින් රුපියල්  පන්දාහකට පමණ රැගෙන ගියේය.

මාස දෙක තුනකින් පමණ ලන්ඩනයේ ටල්ස් හිල් පෙදෙසේ ඔහුගේ ගරාජය අසලින් යන විට එය අලුත්වැඩියා කර පවුම් 1800 කට විකිණීමට තබා තිබෙනු දුටුවෙමු. (රු ලක්ෂ පහකට පමණ). මේ අවුරුදු  25 කට පමණ පෙරය. මම ගරාජ හිමියාගෙන් කාරයේ තිබූ වැරැද්ද කුමක් දැයි විමසුවෙමි. මිනි කූපරයේ බොඩිය හරහා  විදුලි පරිපථය සම්බන්ධ වන බවත් එක තැනකින් එම බිඳුණු පරිපථය වෙල්ඩින් කල පසු ප්‍රශ්නයක් ඇති නොවූ බවත්ය. ඔහු කීවේ ඇත්තද බොරුද යන්න අදටත් නොදනිමි. විදුලි පරිපථ  සටහන් වල එවැන්නක්  නොදුටුවෙමි.

ඉන්පසු වෙන්ඩ බිරින්දෑ ඒ දිනවල රැකියාව  කල ඩෙල්ටා ගුවන් සේවයේ ජර්මන් ජාතිකයෙකු ජර්මනියේ දී  සම්පූර්ණයෙන් ම වගේ නිමවන  ලද වමෙන් පදවන ෆෝඩ් ෆියෙස්ටා එකක් අඩුවට විකුණා ගියේය.  ෆියෙස්ටා එකට මම බොහෝ සේ ඇළුම් කලෙමි. එහි එන්ජම ඉතා සරල එහෙත් හොඳින් වැඩ කළ එකකි. පස් දෙනෙකුට යා හැකි  එම කුඩා කාරය අප දෙදෙනා බොහෝ තැන්වල විශ්වාසනීය ලෙස රැගෙන ගියේය. මගේ මලයා  බෙල්ජියමේ සිටින විට ඔහු බැලීමට බෙල්ජියමටද  ඔහු සමග ප්‍රංශයටද  ගිය ගමන එයින් ගිය දිගම ගමනයි. 

එහි තෙර්මොස්ටාටය වැඩ නොකර එන්ජිමේ උණුසුම වැඩි වුනු විට එය ගලවා අලුත් එකක් සවි කිරීමට  මෙන්ම කාරයේ  ඔයිල් මාරු කිරීම, ස්පාක්  ෆ්ලග් මාරු කිරීම ඇතුළු සර්විස් එකකදී කරන වැඩද මට කළ හැකි විය. 
කළු පැහැ පරණ ෆෝඩ්  ෆියෙස්ටා එකේ පින්තූරය පහල තිබේ. 


වරෙක සති අන්තයේ හෙඩ් ගෑස්කට් එක ගලවා අලුත් එකක් සවි කරන විට අසල නිවසක චීන කාන්තාවක් පැමිණ ඇගේ කාරයේ ප්‍රශ්නයක් පවසා  හදා දෙන්නට කීවාය. මම වාහන රෙපයාර් කරන්නේ නැති බවත් මගේ කාරයේ  පමණක් ආසාවට වැඩ කරන බවත් මගේ ළඟ තිබූ මැනුවල් පෙන්වා කීවෙමි. ඒ දවස් වල යූ බටය තිබුනේද නැත.  "උඹ  රන්වන් හිස කේ තියෙන සුදු ගැහැණුන් ගේ කාර් පමණක් හදන වර්ණවාදියෙකු බව" පවසා ඇය ඉවත ගියාය. මේ මොන කුණුහරපයක් දැයි කල්පනා කරන විට මට මතක් වුනේ ඇය, මා  වෙන්ඩ බිරින්දෑ සමග කාරයේ  යනවා දකින්නට ඇති බවයි.  ඒ දවස් පරණ මළකඩ කෑ එහෙත්  ක්ලැසික් බෙන්ස් එකක්  භාවිතා කල  මිනි කූපරය මට තල්ලු කළ මගේ මිතුරකු  නිතර කීවේ දකුණෙන් පදවන  හොඳ කාරයක් ගන්නා  ලෙසය. මට මේ කියමන තේරුනේ නැත්තේ ෆියෙස්ටා එකේ වරදක් මා නොදුටු බැවිනි.  මේ පරණ කාරය පසුව තුර්කි ජාතිකයෙකුට ගත් ගණනටම  වාගේ  විකුණා දැමුවෙමි. අවුරුදු 20කට පසු  එය තවමත් තුර්කියේ නෑදෑයෙක් භාවිතා කරන බව ඔහු පැවසුවේය.   ඉන්පසු වොක්සොල් ඇස්ට්‍රා (ඕපල්) එකක් , හා ෆෝර්ඩ් එස්කෝට් කාර්  දෙකක් ද අප සතුව විය. එස්කෝට් එක කාරයක් වුවද ලොරියක් මෙන් බර අදින වාහනයකි.  අප වරක නිවසකින් නිවසකට  බඩු ඇද්දේද ඒවායිනි. 

 ඉන්පසු වඩාත් සුවපහසු කාරයක් වන එන්ගලන්තයේම  බොඩිය ගැසූ රෝවර් 416  SLI වාහනයක් ගතිමු. මෙහි සුවිශේෂත්වය වූයේ එහි තිබුනේ හොන්ඩා ස්පෝර්ට් එන්ජිමක් වීමයි.  ඒ කියන්නේ ට්‍රැෆික් ලයිට් එකක නැවැත්වූ පසු ඇදලා යා හැකි කවදාවත් කැඩුනේ නැති වාහනයකි. එනිසාම මේ පරණ කාරයට තවමත් එංගලන්තයේ ඉල්ලුමක් තිබේ.  මේ නිසාම මගේ ඊළඟ කාරය වූයේ හොන්ඩා සිවික් එස්ටේට් එකකි.  මේ කාලය වන විට මා ළඟ තිබූ  තරු බලන දුරේක්ෂය මෙන්ම දරු දෙදෙනෙකු සිටින නිසා සංචාරයන් හි යනවිට ගෙනයන  බඩු  බාහිරාදිය වැඩි වීමද එස්ටේට් එකක් ගැනීමට හේතුවක් විය.  මේ වනවිට බිරිඳ බවට පත්වී  උන් වෙන්ඩ  බිරින්දෑ  දරු දෙදෙනා ද සිටි නිසා වෙනම කාරයක්  භාවිතා කල අතර ෆෝඩ් එස්කෝට්  එකෙන් පසු ඇය දිගටම  ගත්තේ ජර්මනියේ නිෂ්පාදිත  වොක්ස්වැගන් ගොල්ෆ් කාර්ය.  හොන්ඩා එකෙන් පසු BMW 320 ටර්බෝ ඩීසල් එස්ටේට් එකක් සෑහෙන කාලයක් පාවිච්චි කර බෙන්ස් C180 කොම්ප්‍රෙසර්  එස්ටේට් කාරයක් ගත්තෙමි.  එයද ට්‍රැෆික් කණුවක අසල  නැවත්වූ පසු ඉක්මනින් රේස් කර යා හැකි එකකි. වොක්සෝල් එකෙන් පසු මම කාර් හදන්නට නොගියෙමි. ඒවා වඩා සංකීර්ණ වූ අතර වෙලාවක ද ඉතා සීමිත වීමද හේතුවකි. මට පුළුවන් වූයේ හදිසියේ කැඩුණු ලයිට් එකක් මාරු කිරීම පමණය.

හැබැයි මම පරණ කාර් වල කුඩා ආකෘති එකතු කිරීම  නම් දිගටම කරගෙන යමි. 
 
එන්ෆිල්ඩ් නගරයේ එන්ෆිල්ඩ් අජිත් නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ පුද්ගලයෙක් වාසය කරයි. වෘත්තියෙන් ගණකාධිවරයෙක් වන ඔහු විනෝදයට කරන්නේ ගෙය පිටුපස ඇති ගරාජයක කාර් හැදීමය. ඒවායින් ලැබෙන අතිරේක මුදලින් ඔහු ලොව වටා සංචාරය කරයි.  අපේ කාර් වල සර්විස්  එකේ සිට ඕනෑම වැඩක් කර දෙන්නේ මේ කාර් හදන්නට ලෙජෙන්ඩ් එකක්වූ අජිත් ජ.  අයියාය. "කොල්ලන්" කියන්නේ වාහනයක් ඔහුගේ ගරාජය පැත්තට එනවිට ඔහුට සද්දෙන් වාහනයේ වර්ගය කියත හැකි බවයි. මම එය ඔහුගෙන් කවදාවත් අසා නැත.

මගේ  ඔයිල් පැල්ලම් කතාව ඉතා කෙටියෙන් ඕකය. තව රස කතා තිබුනත් ලිපිය දිග වැඩි වනු ඇත.  තරිඳු ශ්‍රී ලොකු ගමගේ ගේ "ජිවිතයේ ඔයිල් පැල්ලම් " මම කලකින් කියවූ වෙනස්ම අන්දමේ කුතුහලය, හාස්‍ය රසය, දුක සතුට දනවන හඟවන ලියැවිල්ලකි. 

තරිඳු ශ්‍රී ලොකුගමගේ මා  හඳුනන්නේ බ්ලොග්කරුවෙකු ලෙසය. ඔහුගේ කාර් පිස්සුව බ්ලොගය නිසා  රසවත් ලිපි ලියන්නෙකු බව මෙන්ම තරිඳුවා යනු  හොස්ස ළඟින් මැස්සා ගියොත් බොනට්ටුව නැතිව ගෙදර යවන ජාතියේ එකෙකු බවද දැන ගතිමි. ඒ කාලයේ දරුවන් ගැන කතා කළොත් තරිඳු ඉන්නේ වැරදි පැත්තේ බව ඉක්මණින්ම අවබෝධ වුවත් ප්‍රග්යාන් ගේ ආගමනයෙන් පසු ඒ සුන්දර කොලු පැටියා නැති ෆේස්බුක් පොස්ට් එකක් හොයා ගැනීමට අමාරු තරමට තරිඳු ශ්‍රී ලොකු ගමගේ දැන් පරණ බෙලෙක්කයක් මෙන් මෙළෙක්  වෙලාය.

පොත එක හුස්මට කියැවිය හැකි විටෙක රහස් පරීක්ෂක නවකතාවක මෙන් ත්‍රාසය දනවන එකකි. කතුවරයා ශ්‍රී  ලංකාවේ  පැවති  දේශපාලන ප්‍රචණ්ඩ අවධිය මෙන්ම බොහෝ විට අප අසා ඇති වාහන සම්බන්ධ අපරාධ සිද්ධීන් ද කාටත් නොදැනෙන්නට කතාවේ ගලායාමට ස්පාක් ප්ලග් මෙන් අටවන්නේය.
  
මේ නවකතාවේ මා දුටු විශේෂිතම ලක්ෂණය නම් කතුවරයාගේ උපමා භාවිතයයි. මේ තරම්ම උපමාවන්  හාස්‍ය රසය දනවමින් භාවිතා කල පොතක් මා කවදාවත්කි යවා  නැත. අන්තිමේදී මට සිතුනේ මෙහි හොඳම උපමාව හා නරකම උපමාව සොයා ගැනීමට පාඨක තරඟයක් පැවැත්විය යුතු බවයි. තේරුමක් නැතිම  උපමාව ලෙස මට හිතෙන්නේ  "ඩෙංගු හැදෙන්නට කලින් වේලිච්ච බුලත් අතක් මෙන් සිටි කපිලයා දැන් වේලිච්ච දුන්කොල නැට්ටක් මෙනි." (පි. 160)  බුලත් කන්නේ නැති මට ඔය දෙකේ වෙනස් තේරුම් ගැනීමටද බැරිය. හැබැයි මේ උපමා වලින් අවස්ථාව පහදා  දෙන්නට කතුවරයා දරන වෑයම ඉතා සාර්ථකය. අපට සිද්ධිය  මැවී පෙනෙන්නට ඒවා ප්‍රමාණවත්ය.

"කපිලයා  දොර පැත්තට හැරුනේ විද්‍යා ප්‍රබන්ධ ජාතියේ චිත්‍රපටි වල රහස් ගබඩා දොරවල් ඇරෙන තරමට සෙමිනි" (පි 163) මේ උපමා දීමේ උත්කර්ශවත් තැනක් නම් තරිඳු ඔස්ටින් ඇට්ලන්ටික් කාරය  හඳුන්වා දෙන අන්දමය. එය කියවාම  බැලිය යුතුය. මම එය මෙහි උපුටා නොදක්වමි. 
ඔස්ටින් අට්ලන්ටික් A 90


මට අල්ලන්නෙම නැති උපමාව "ගස්ලබු ගෙඩියකට දිවුල් ගෙඩියක් මුහු කළා වගේ බැන්දට මුහුවෙන හෙඩ් ලයිට් දෙක" යන යෙදුමය. කොහොම බැලුවත් ඔස්ටින් ඇට්ලන්ටික් A නයින්ටියේ එහෙම  දෙයක් පේන්නේ නැත. (උඩ පින්තූරය) මේ කාර් පිස්සුව හොඳටම මෝරා ගොස් අවුල්  වූ මොහොතක ලියුවක් විය යුතුය.
 
කෙසේ වුවත්  මට සැබෑවටම හොඳම උපමාව හොයා ගත නොහැකිය. "පන්තියේ කෙල්ලෙකුගේ හෙයා බෑන්ඩ් එක කඩා මට්ටු වූ කොල්ලෙකු ටීචර් දෙස බලන්නාක් වැනි බැල්මක්" (පි 153) යෙදුම නම් අත්දැකීමෙන් ම කියවන්නාගේ ඔළුවට රින්ගනු ඇත.  "අට ලෝ දහමට ඔරොත්තු දෙන්නට කාර් හදන්නට දැනගෙන හිටි ලෝකයක් ලෝකයක්, වතුර බින්දුවක් ගිය විට උස්ස ගෙන ගොස් ස්කෑන් කරන තැන හොයන්නට වෙන වාහන හදන මට්ටමකට වැටුනේ කෙසේද " යන ප්‍රශ්නයට අන්තරේ එකෙක් උත්තර දී තිබුනේ ධනවාදය කියාය. මට නම් උත්තරය හැටියට දෙන්න වෙන්නේ  වර්ගයාගේ දියුණුව කියාය. සමාජවාදී ලෝකයේ සිටි සමයේ වොල්ගා කාරය හෝ ලාඩා වක්  දැඩි ශීතයට හසුව හිම අයිස් වී  ගල් මෙන් බොනට්ටුවේ මිදී තිබියදී කාරයේ එන්ජිම යට ගිනි මැලයක් ගසා එන්ජිම රත් කර  ස්ටාට් කරන රුස්සන් දැක ඇති මට මේ ප්‍රශ්නය නම් තේරුම් ගත හැකිය. 

ඇන්ටනි අයියා දවසක හමුවීමට ඇත්නම් හොඳ  යයි මටත් සිතේ. කොපමණ ඇන්ටනි අයියලා  අපේ ජිවිතයේ හමු වන්නට ඇත්ද? එහෙත් හැමටම  එවැනි අපුර්ව චරිත වදන් වලට පෙරලා සිත්  සතන් වල ජීවමාන කිරීමට නොහැකිය. 

මේ පොත ඔබේ සුපුරුදු වට්ටෝරුවේ පොත ක් නොවේ. එනිසාම හා තරිඳු ශ්‍රී ලොකු ගමගේ යනු පොත් සම්මාන දෙන කුලක වල නැති කතුවරයෙක් නිසා මේ පොතට සම්මානයක් නම් සමහර විට ලැබෙන්නේ නැති වනු ඇත. ලැබෙන්නේ නම් වඩාත් සතුටු වන්නේ මමය. එසේ  කුලකයකට අයත්  නැති පිටින් ඉන්න ග්‍රන්ථ කතුවරයන් මම හඳුන්වන්නේ වෙඩිවර්ධන කුලකයට අයත් අය  කියාය.   ඉතින් සමහර විට හිටි හැටියේ සම්මාන උත්සව කරන්නට ගොස් ඇණගත් ලැජ්ජා නැති එකෙකු නිසා මම  ගමයා පොත් සම්මාන යනුවෙන් විකල්ප  උළෙලක් පටන් ගත්තොත් හොඳම විකල්ප නවකතාවට හිමි සම්මානය  පිදෙන්නේ තරිඳු ශ්‍රී ලොකු ගමගේ ගේ "ජිවිතයේ ඔයිල් පැල්ලම් " පොතටය.

තරිඳු  ශ්‍රී ලොකු ගමගේ වෙනුවෙන් ඔස්ටින් හීලියක පින්තුරයක් සමග මේ ලිපිය අවසන් කරමි.




   

Sunday 11 July 2021

කොතලාවල පනත හා නිදහස් අධ්‍යාපනය

මට ඔය පහල තියෙන පණත ගැන විස්තරය යාළුවෙක් එව්වේ. මම මේ පනතට පක්ෂත්  නැහැ විපක්ෂත් නැහැ. දන්නා කරුණු ප්‍රමාණය අඩු බවයි හැඟෙන්නේ.


මට ප්‍රශ්න  කිහිපයක් තිබෙනවා. දන්නා කෙනෙක් පිළිතුරු ලියන්න.

1. දැන් මේ ලියල තියෙන විධිහට මේක අදාල වෙන්නේ කොතලාවලආරක්ෂණ විද්යාල පනතට විතරක් නෙමේද? ලංකාවේ හැම විශ්ව විද්යාලයටම බල පානවද ?
2. මේකෙන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය අහෝසි වෙන්නේ කොහොමද?
2. a එකේ පන්තියේ සිට උසස් පෙළ දක්වා වන නාමික නිදහස් අධ්යාපනය අහෝසි වෙනවද (ටියුෂන් සහිත)?
2. b ටියුෂන් තහනම් වෙන්නේ නැත්ද?

3. විශ්ව විද්යාල පනත වෙනස් වෙනවද?

4. නැවතත් වෛද්‍ය වෘත්තීය පමණක් රැක ගන්න කරන සටනක්ද? එහෙනම් වෛද්ය සංගමය පෙරමුණ ගත යුතු නැත්ද?
6. එහෙම නැත්නම් විදේශ සංචිත නැතිව, රජය ගෙනයන්න මුදල් නැතිව කඩා වැටී තිබෙන රජය කොහොම හරි ගෙනියන්න ගෙනාපු උප්පරවැට්ටියක්ද?
(රජයට ණය ගෙවන්න වත් මුදල් නැහැ කියන එක පැහැදිලියි)

7. අවුරුදු දෙක තුනක් ජවිපෙ, පෙසප, වමේ චීන සයිඩ් එක මේ විරෝධතාවල ඇදන් ගියාට පස්සේ මේක දීල දාල ආණ්ඩුව ශේප් වෙන්න ගෙනියන ගේම් එකක්ද? ------🧐

8. මට පෙනෙන විධිහට බරපතලම ප්රශ්නය මිනිසුන්ට රස්සාවක් කර ගන්න බැහැ. මිනිසුන් ගේ අතේ සල්ලි නැහැ. රජයට මුදල් නැහැ. උද්ධමනය වැඩියි. රටෙන් භාගයක් දැන් දුප්පත් වෙලා. එහෙම වෙලාවක වම අවුළුවන එක තමා ගැලවිජ්ජාවට කරන්න පුළුවන් හොඳම දේ කියන එක වගේ අත්දැකීම් මිට පෙර තිබුනේ නැත්ද?

9. විමල් සහ උදය කරන්නේ රඟපෑමක් නෙමේද?


උපුටා ගැනීම (ෆේස්බුක්) 

මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya

01. උසස් අධ්යාපන අමාත්යාංශය
02. අධ්යාපන අමාත්යාංශය
03. විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව
04. වෘත්තීය ප්රමිති ආයතන (උදා. SLMC, IESL)
05. විශ්ව විද්යාල සනාතන සභාවන් හා පාලක සභාවන්
මේ ඔක්කොම ආයතන වල බලය, එක මණ්ඩලයකට දුන්නොත් කොහොමට තියෙයිද?
ඒ මණ්ඩලයේ 10 දෙනා ගෙන් 5 දෙනෙක් හමුදා නිලධාරීන්. දෙදෙනෙක් ආරක්ෂක ඇමතිගේ ලේකම්ලා. ඉතුරු තුන් දෙනාත් අඩු වැඩි වශයෙන් දේශපාලන පත්වීම්.
තාම ඉවර නෑ... තව තියෙනවා.
1. දැනට ලංකාවෙ ක්රියාත්මක වෙන 1978 විශ්ව විද්යාල පණත මේ මණ්ඩලයට බලපාන්නෙ නෑ.
2. ඕනෑම පුද්ගලික විශ්ව විද්යාලයකට, මේ මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන, කොතලාවල විශ්ව විද්යාලයට අනුබද්ධ වෙලා "උපාධි පිරිනැමීමේ තත්වය" (Degree Awarding Status) ලබා ගන්න පුලුවන්.
3. මේ මණ්ඩලයෙන් අනුමත කරන උපාධි වලට ප්රමිති ආයතන වල පිලිගැනීමක් අවශ්ය නෑ. තමන්ගෙ උපාධි ප්රමිතිය හොඳයි කියලා ඒ මණ්ඩලයටම තීරණය කරන්න පුලුවන්.
4. මේ මණ්ඩලය වග කියන්නෙ ආරක්ෂක ඇමතිට විතරයි. මුදල් නියාමනය, විගණනය තමන්ම කර ගන්නවා. තමන්ගෙ උපාධි වල මිල තීරණය කරන්නෙත් මේ මණ්ඩලය විසින්මයි.
5. විශ්ව විද්යාල විතරක් නෙමෙයි, පාසල් පිහිටුවන්න, ඒවල විෂය නිර්දේශය තීරණය කරන්න, විභාග පවත්වන්නත් සම්පූර්ණ බලතල මේ මණ්ඩලයට හිමියි. අධ්යාපන අමාත්යාංශය අදාලම නෑ.
6. තව ලස්සන වගන්තියක් ගැනත් කියන්න ඕනෙ.
විශ්ව විද්යාලය ඇතුලෙ සිදුවෙන ඕනෙම විරෝධතාවයක්, ""තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම පියවරක්"" අරගෙන මර්දනය කරන්න ආරක්ෂක ඇමතිට සම්පූර්ණය බලය තියෙනවා. ඒ කියන්නෙ ඕනෑම අසාධාරණයකදි ඔලුව නමාගෙන ඉන්න පුලුවන්.
හරි සංතෝසයි නේද?
මේ දවස් වල, කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හදන "කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පණත" ගැන සාරංශයක් තමයි මේ කිව්වෙ.
ලංකාවෙ දේශපාලකයන්ට සම්පූර්ණයෙන් විනාශ කරන්න බැරි උනු දේවල් 2යි තියෙන්නේ.
01. නිදහස් අධ්යාපනය
02. නිදහස් සෞඛ්
මේ පණත සම්මත උනොත්, මෙතනින් එකක් ඉවරයි. හැබැයි අධ්යාපනය විකිණීමටත් වඩා භයානක දෙයක් මෙතන වෙනවා. ඒ අධ්යාපන මිලිටරීකරණය. පාසල් මට්ටමේ ඉඳලා විශ්ව විද්යාල මට්ටම දක්වාම.
නිදහසේ හිතන්න පුලුවන්, හරි වැරැද්ද දකින්න පුලුවන් මිනිස්සු වෙනුවට, අණ පිලිපදින, කොන්ද කඩපු පරම්පරාවක් ඉස්සරහට දැක ගන්න පුලුවන් වෙයි...
උපුටාගැනීමකි

Thursday 8 July 2021

ජර්මන් ජාතිකයාගේ ලංකා සිහිනය


මට අමුතු ඉල්ලීමක් ලැබුනා මගේ ජර්මන් නෑන කැතරින් ගෙන්. (බිරිඳ ගේ නංගි )  සිංහලෙන් උපන් දින සුභ පැතුමක් ලියල දෙන්න කියල.  එයාගේ ස්වාමියා ගේ ගමේ ඉන්න කෙනෙකුගේ පනස් වැනි උපන්දිනයට.  එයාට  මැරෙන්න කලින් කරන්න ඕන බකට් ලිස්ට් එකක් තියනවාලු. ඉටු කරගන්න තියන හීන ටිකක් කියමු. ඉන් ප්‍රධානම එකක් තමයි ශ්‍රී ලංකාවට යන එක.

  (මේ පැත්තේම තමයි ඉන්නේ මම කලින් කතාවක ලීව ලංකාවට හැම අවුරුද්දෙම නොවරදවාම යන ජර්මන් පවුල ඉන්නේ. මුලින් මවයි, පියයි කසාද බඳින්න අවුරුදු 25 කට කලින් ගිය ගමන දැන් එයාගේ දූ දරුවොයි, දූ දරුවෝ බැඳපු අයයි එයාලගේ ළමයි සහ දෙමාපියන් වශයෙන් ගුවන් යානයක තුනෙන් එකක්  පමණ සීට් වෙන්  කරගෙන ලංකාවට  යන වන්දනා ගමනක් වගේ ඒක. )

ඉහින් මම කියන කෙනාට යාලුවෝ ටික සල්ලි එකතු කරලා ටුවර් පැකේජ් එකක් අරන් දෙන්න යන්නේ පනස් වැනි උපන් දිනයට  ලංකාවට යන්න. ජර්මන් කෙනෙකුට ලංකාවට යන්න සල්ලි නැත්ද කියල හිතෙන්න පුළුවන්නේ.

මෙයා ඉන්නේ මම 2019 වගේ ලියපු ලිපියේ ඉන්න තවමත් යන්තමට සමාජවාදය තියන් ඉන්න ගමේ (පරණ නැගෙනහිර ජර්මනිය). මම ලීවේ වැඩිය මුදල් භාවිතයක්  නැති ගමක් ඒක කියල.
මේ තියෙන්නේ ඒ ලිපිය. ධනවාදී රටක සමාජවාදී ගම 

යහළුවෝ කට්ටියම මුදල් එකතු කරලා මගේ හීනය සැබෑ කරන්න ලංකාවට යවන්න ඉන්නේ.

කෝවිඩ් වැඩේ පිළිවෙලක් වුනහම යනවලු.

මේ මම ලියල යවපු එක.  ගොඩක් ලිව්වේ නැහැ , ඉඩ ටිකක් මදි කියල. හැමෝම උපන් දින සුභ පැතුම් පතේ අත්සන් කරන නිසා.

****************************

පතන්නෙමු ඔබට 
සුභම සුභ  පනස් වැනි උපන් දිනයක්
එසේම අඩ සිය වස 
සමරන්නට පිදෙන 
මේ තිළිණය 
සුන්දර ශ්‍රී ලංකාවට සුභ ගමනක් 

රුසියානු බ්ලොගර් තරුණියකගෙන් ඇගේ මිතුරිය අසන්නේ ගවුම ඉවත් කර පිහිනුම් ඇඳුමින් පෙනී සිටින ලෙසය. ඒ ඇයට වීඩියෝ කිරීමටය. ට්‍රොලි බසයේ කොන්දොස්තරවරිය තරුණිය වන කාත්‍යා ට බැණ වදින්නේ ඇය මුඛ ආවරණයක් නොපැළඳ සිටීම ගැනය. බසයේ අනිත් මගීහු නෑසුන සේ සිටිති.😏
බ්ලොගර්ස් ලා මේවා ලංකාවේ කිරීමට නොයන්න


Sunday 4 July 2021

දොස්තර බෙහෙත් සහ විනෝදයට බෙහෙත් ගිලින ලාංකිකයෝ


කලින් ලිපියේ ලීවේ මා ලංකාවට ගියේ මවට හෘදයාබාධයක් වැළඳීම නිසා කියාය. නමුත් සත්‍යය ඊට වඩා මදක් වෙනස් එකකි. හෘදයාබාධය වැළඳෙන විට ඇය රැගෙන ගොස් තිබුනේ ළඟම තිබු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතය. එහි කල ඊසීජී පරීක්ෂාවකින් පසු ඇය **** දිස්ත්‍රික් රෝහලේ අයිසීයූ යුනිට් එකටද එතැනින් රෝහලේ ප්‍රසිද්ධ * වන වාට්ටුව ටද  ඇතුලත් කරන ලදී. මේ වාට්ටුවේ වෛද්‍යවරුන් ද හෙදියන්ද කරුණාවෙන් කටයුතු කරන බවටත් බොහෝ ලෙඩුන් එතැනින් පණ බේරාගෙන එන බවත් කියති.මාද  දුටුවේ එම වාට්ටු ඉතාමත් පිරිසිදු බවත්ය හොඳින් පාලනය වන බවත්ය. එසේම *** වාට්ටුවද එවැනි පිරිසිදු එකකි. එහි වැසිකිලි පවා පිරිසිදුය. ඇත්තටම රෝහලද හොඳින් ක්‍රියාත්මක වන බව  කිව යුතුය.  


හෘදයාබාධය වැළඳුන මවට ICU යුනිට් එකේදී  රුපියල් අසූදහසක් වටිනා එන්නතක් විද්ද බවට එහි සිටි තරුණ වෛද්‍යවරයා කී බව මව මට පැවසුවාය. හෘදයබාධයක දී රුධිරය කැටි ගැසීම වළකාලන්නට බෙහෙතක් දෙන්නට ඇති මම අනුමාන කළෙමි. බොහෝ විට මේවා එන්නත් වශයෙන් දෙන ත්‍රෝම්බෝලයිටික් හෝ ෆ්‍රිබ්රිනොලයිටික්  වර්ගයේ බෙහෙතක් වන්නට ඇත.ඒවා දෙන්නේ රුධිරය  කැටි  ගැසීමට හේතුවන ෆිබ්‍රින් නම් ප්‍රෝටීනය විනාශ කරන්නට බව සඳහන් වේ.  

රෝහලින් සුවය ලබා මව නිවසට පැමිණ පසුව ඇය යලිත් රෝගාතුර වූවාය. රෝග ලක්ෂණ ඇය ට හෘදයාබාධය ට කලින් තිබූ සමහර රෝග ලක්ෂණ බව මට පසක් වුනි.  බොහෝ අය මට කිවේ පෞද්ගලික රෝහලකට වහා ඇතුලත් කරන ලෙසය. මගේ පියාගේ අසනීපය සහ හදිසි අභාවය නිසා මට ඒ පැත්තෙන් ප්‍රශ්නයක් තිබේ. ඒ ගැන මෙහි ලියා ඇත එසේම මවටද එවැනි ප්‍රශ්නයක් දෙකක් තිබුණි. වසර ගණනකට පෙර පෞද්ගලික රෝහලකට පරික්ෂාවකට ඇතුලත් කර තිබියදී ඇයට කිසියම් බෙහෙතකට අසාත්මිකතාවයක්  ඇතිව තිබේ. ඇය හදිසි අනතුරු කාමරයට ගෙන (ICU) ප්‍රතිකාර කළ වෛද්‍යවරු ඇය මෙලොවට නැවත ගෙනාහ. රෝහලේ පරිපාලනය සිදුවූ කිසිවක් එතන සිටි ඥාතීන් ට පැහැදිලි කලේ නැත. ඔවුන් කළේ අසාමාන්‍ය මුනිවතක් රැකීමය. අප සිදුවූයේ කුමක්ද කියා දැන ගත්තේ හඳුනන හෙද සොයුරියක් මාර්ගයෙනි. එනිසාම  පෞද්ගලික රෝහලකට ඇතුළු වීමට ඇය තදින් අකැමැත්ත දක්වන්නීය.

ගිය වර ලංකාවට පැමිණි වෙලේ මිතුරන් ගේ අවවාදයන්ම නිසා මම  ඇය අර්ධ පෞද්ගලික,  රජයේ රෝහලකට ඇතුළත් කලෙමි. එය කිසියම් මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු රජයට අයත් රෝහලකි. ඉන්පසු ඇයට එහි සායනික සේවාවන්ට යාමට සිදුවිය. තරමක මුදලක්  ගෙවා වාහනයක හෝ ත්‍රී විලයක  ඉංගිරියේ  සිට කොළඹ පිහිටි එම රෝහලට යාමට සෑහෙන වෙලාවක් ගතවේ. ඇය මට කීවේ එම රෝහලේ වෛද්‍යවරු ඇය කියන කිසිම අමාරුවක් ගණන් ගන්නේ නැති අතර සායනික පොතේ කළින්  පිටුව බලා ඔහේ එම බෙහෙත්ම  ලියා දෙන බවය. මේ නිසා ඇය නිවස අසලම සිටි පෞද්ගලික වෙදකම් කරන වෛද්‍ය වරයාගෙන් ද ඔහු නැතිනම්  **** හෙල්ප් හි වෛද්‍යවරුන් (පෞද්ගලික  සේවා) ගෙන්ද නොයෙකුත් අමාරු වලට බෙහෙත් ගත්තාය. ඇයට තිබුනේ  මොනවාට බෙහෙත් බොනවාද යන්න නිනව්වක් නැති අන්දමේ බෙහෙත් ගොඩකි. දිය වැඩියාවට , අධික රුධිර පීඩනයට, කොලෙස්ටරෝල් වලට දෙන බෙහෙත් ද  ඒ අතරම වීය. හෘදයාබාධය හැදුනේ මේ අතරය.

මේ **** රෝහලෙන් රෝගීන් ගේ  ජීවිත හදිසි තත්වයෙන් බේරාගත් පසු  පෞද්ගලික රෝහලකට ගොස් හද සැත්කමක් (ස්ටෙන්ට් දැමීම වැනි) පෝලිමකින් තොරව කර ගත හැකිය.  

මගේ මවද හදිසි තත්වයෙන් සුවය ලබා මේ වාට්ටුවෙන් ගියද ඇය දිගින්  දිගටම අසනීප තත්වයෙන් පසු වූවාය. හැමෝම කීවේ සුපුරුදු පරිදී මව  වහාම හොඳ  පෞද්ගලික රෝහලකට ඇතුළු කරන ලෙසයි.  බොහෝ මිතුරු මිතුරියන් මට හෘද රෝග පිලිබඳ විශේෂන්ඥ වෛද්‍යවරුන්ගේ නම් පවා එවූහ.  

නමුත් මට තිබුනේ සැකයකි. මවගේ සමහර රෝග ලක්ෂණ හෘදයාබාධයකට ලක්වූවක ගේ නොවීම එයට හේතු විය. ඇයට කෑම ගැනීම අප්‍රිය වී තිබුණි. එසේම වමනය, පාචනය, හිස රදය ,ආදිය එකවර තිබුණු  අතර කොහොමත් එක ඇසක් පමණක් පෙනෙන ඇයගේ එම ඇසේ පෙනීමද දුර්වල විය. එසේම නිතර සිටියේ අවුල් සහගත තත්වයෙනි. (confused state) නිතරම වමනයට  (nausea)එන බවද කීවාය.  (එක ඇසක් පමණක් පෙනෙන්නේ අක්ෂි රෝහලේ කරන ලද සැත්කමක වරද්ද්දක් නිසාය)  හෘදයාබාධය එතරම් තද  එකක් නොවූ බවත්   ඇයට ස්ටෙන්ට්  එකක් දැමීමට අවශ්‍ය නම්  ඇගේ කොලෙස්ටෙරෝල් තත්වය හා  අධික රුධිර පීඩනය ඉහල යාම මිස මෙවැනි ලෙඩ තිබිය නොහැකි යයි මට සිතුනි. ඉන්පසු පළාතේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලඟට ගිය පසු ඔහු වමනය හා කෑම අරුචියට යම් බෙහෙතක් දී අනිකුත් රෝග ලක්ෂණ ඇය තමන්ට අවධානය ගන්නට කරන ඒවා බව පවසා තිබුණි. මගේ සහෝදරයා හා ඇගේ බිරිඳට මගේ මවට කිසියම් කෑමක් කැවීමද බරපතල ප්‍රශ්නයක්  විය.

මට මවට දුන් බෙහෙත් ගැන සැක  ඇතිවූ නිසා සහෝදරයාට වට්ස්ඇප් හරහා බෙහෙත් තුණ්ඩුව එවන ලෙස කීවෙමි.  මා රැකියාව කරන සමාගමේ නයිජල් නමැති ඉංග්‍රීසි ජාතිකයා ගේ බිරිඳ ජූලියා  ප්‍රධාන හෙද නිලධාරිනියකි. ඔහුට හෘදයාබාධයක් වැළඳුන මුල්ම  අවස්ථාවේම එය හඳුනාගෙන රෝහලට ගෙනගොස් ජීවිතය බේරා ගත්තේ ඈය.  මට බෙහෙත් තුණ්ඩුව එවන ලෙසට කී ඈ ,   විශේෂන්ඥ වෛද්‍යවරයෙකුට එය පෙන්වා මා අමතන බවත් කීවාය.

    මට කතා කළ ජූලියා පැවසුවේ විශේෂන්ඥ වෛද්‍යවරයා  බෙහෙත් වර්ග කිහිපයක්  පෙන්වා මේවා  එකවර රෝගියාට දීම අනවශ්‍ය විය හැකි බවත් ඩිගොක්සින් වලින් ඇතිවන අතුරු ආබාධ මගේ මව දක්වන රෝග ලක්ෂණ වලට සමාන බවත්ය.  එම බෙහෙත්  වර්ග තුන, බ්ලඩ්  ක්ලොට් හැදීම වලක්වන ක්ලොපිඩොග්‍රෙල්  (clopidogrel)  (මේවා ස්ටෙන්ට් දැමූ පසු එම  රෝගීන්ට ලබා දේ ) , හදවතේ අක්‍රමවත් හද ගැස්ම වැළැක්වීම සඳහා දෙන  ඩිගොක්සින් (digoxin) සහ හදවතේ වේදනාව සමනයට සහ ඇන්ජයිනා (angina) තත්වයට දෙන ඖෂධයක් වූ නිකරන්ඩිල් ය. ඇන්ජයිනා යනු හෘද පේශි වලට රුධිරය සැපයීම අඩු වීම නිසා ඇතිවන වේදනා සහගත තත්වයයි. මිට අමතරව අධික රුධිර පීඩනය ට හා ඇන්ජයිනා තත්වයන්ට දෙන වෙරපමිල් (verapamil) ද විය. මේ වෙරපමිල් ඩිගොක්සින් මෙන් අක්‍රමවත් හද ගැස්ම සඳහාද  දෙන ඖෂධයකි. (treat irregular heartbeats).  එනොක්සපරින් නමැති ඖෂධය බ්ලඩ් ක්ලොට් වැළැක්වීමට දෙන තවත් ඖෂධයකි. එයද නියම කර තිබුණි.

මීට අමතරව කොලේටරෝල් (ඇටෝර්වස්ටටින්) , දියවැඩියාව  (මෙට්ෆෝමින්) හා ඇස්පිරින් ආදී  සාමාන්‍යයෙන් නියම කරන ඖෂධ ද  තිබුණි. එංගලන්තයේ වෛද්‍යවරයා ජූලියා හරහා පැවසුවේ ඖෂධයක් නැවැත්වීම සුදුසු බවත් වෛද්‍යවරයා සමග කතාබස්  කර එය කිරීම  වඩා යෝග්‍ය  බවත්ය.  මා  ශ්‍රී ලංකාවට පැමිණියේ  ඉන් පසුවය. 

බේරුවල සිනමන් බේ හි නිරෝධායනය අවසන් වූ වහාම මම මව සමග ගොස් විශේසන්ඥ වෛද්‍යවරයා හමු වුනේ ඔහු නිතර පැමිණෙන පෞද්ගලික සායනයේ දීය. මම  මුලින් කතා කලේ සිංහලෙනි. ඔහු මුව ආවරණ පළඳින ලෙස මට දැන්වූයේය. එහි වරදක් නැත. නමුත් මා කීදේ නොතේරුන බවක් පෙන්වූ පසු  මම මුඛ ආවරණය පහත හෙලු විට නැවතත් මුඛ ආවරණය පළඳින ලෙස කෙටි දෙසුමක් කළේය.මමත් මවත් සිටියේ  ඔහුත් ඔහුගේ සහයිකාවත් අතර මීටර එකහමාරක දුරක ප්ලාස්ටික වලින් සෑදු ආවරණයක එපිටය. මුඛ ආවරණය පහත් කිරීමට මා  තීරණය කලේ එබැවිනි. බෙහෙත් වලින් ප්‍රශ්න ඇතැයි මා කී පසු නියම කළ බෙහෙත් නොගෙනාවේ මන්දැයි ඔහු මදක් සැරෙන් ඇසීය. මගේ මව බෙහෙත් මල්ල ගෙන යාමට තැත් කලත් මා එය වැළකුවේ බෙහෙත් තුණ්ඩුව තිබෙන බැවිණි. 

මව දැන් බියවී සිටියාය. ඇය "මම ඔයාට  කීවේ බෙහෙත් පෙති ගේන්න කියල. කෝ කියන දේ ඇහුවේ නැහැනේ . දැන් යමු, දොස්තර මහත්මයා බනී දැන් "    යනුවෙන් ඇවිටිලි කරන්නට ගත්තාය. මවගේ  කරදරය නිසාත්,  ඉවසීමෙන් පිළිතුරු දීම සඳහා මම රැජිනගේ භාෂාවට බැස්සෙමි.  මා වෛද්‍යවරයාට පැවසුවේ අප  ළඟ බෙහෙත් තුණ්ඩුව (prescription) තිබෙන බවත් මගේ මොබයිල් එකේද එහි  පින්තුරයක් ද තිබෙන බවත් රෝහලෙන් වැරදි බෙහෙත් නොදී ඇත්නම් එයින් ඔබලා දුන් බෙහෙත් මොනවා දැයි දැනගත හැකි බවත්ය. ඔහු මදක් නිහඬ විය.

ඉන්පසු මම එංගලන්තයේ විශේෂන්ඥ වෛද්‍යවරයා  පැවසූ ආකාරයට ඩිගොක්සින් හි අතුරු අබාධ මවට ඇති බව පැවසුවෙමි. ඔහු එය පිලි ගත්තේ නැත.ඔහු පැවසුවේ  ඔහුගේ දශකයක ට වඩා ඇති  වෛද්‍ය අත්දැකීම් වල එසේ නොදුටු බවයි. ඉන්පසු මම ඔහුගෙන් ඇසුවේ වෙරපමිල් වැනි ඒ දේම ඉටු කරන බෙහෙත් දී ඇති නිසාත් බ්ලඩ් ක්ලොට් වලටද එකම බෙහෙත්ද දී ඇති නිසාත් එසේ එකම බෙහෙත් දුන්නේ කුමක් නිසාද  යන්නය. එසේම හැකිනම්  එය නැවැත්වීමට හැකිද යන්නය.      

බෙහෙත් ලියන්නේ  ඔහු නොව කනිෂ්ඨ වෛද්‍යවරුන්  බව පැවසූ ඔහු බෙහෙත් වල නම් කියා ඇසූ නිසාදෝ   ඔහුගේ ටැබ් එකෙන් කිසියම් දෙයක් පරික්ෂා කළේය. මට සිතුනේ ඔහු ඩිගොක්සින් වල අතුරු ආබාධ සොයන්නට ඇති කියාය. අනතුරුව බොහෝ නිහතමානිව විශේෂන්ඥ වෛද්‍යවරයා පැවසුවේ මව පසුදාට ඔහුගේ වාට්ටුවට  රැගෙන එන ලෙසය. බෙහෙත් නවතා පරීක්ෂා කර බලමු යයි ඔහු සන්සුන්ව පැවසීය.

එදා සවස මම මවට  ඩිගොක්සින් නොදී සිටියෙමි. උදයේ වාට්ටුවේදී සියලු බෙහෙත් නැවත්වූ පසු දහවල් වන විට මා කෑම සහ සුප් රැගෙන යන විටත් දින ගණනාවක්  කෑම  නොකා සිටි මව,  බඩගිනි යයි කියා වාට්ටුවෙන් දුන් සෝයා මස් සහිත බත ඇය බලා ගැනීමට සිටි කාන්තාවගේ අතින් කවා ගෙන තිබුණි. 

වාට්ටු රවුමේ යන අර විශේෂන්ඥ දොස්තර  මහතා පැමිණ ඇය බලා "පුතා ටිකක් කතා කරනවා වැඩි නේද" යයි විමසා තිබුණි.  ඉන්පසු අම්මාගෙන් මගේ රැකියාව, ඉන්නේ කොහෙද ආදී විස්තර අසා තිබුණි.  මම වාට්ටුවට යන විට හෙදියන් දෙතුන් දෙනෙක් ම සිනහ මුසු මුහුණින් කතා කළහ. නමුත් දොස්තර මහතා නම් මුහුණ වත් බැලුවේ නැත්තේ ඇයිදැයි මම නොදනිමි. කෙසේ හෝ මෙට්ෆෝමින් සහ ඩිගොක්සින් යන බෙහෙත් වර්ග දෙකම ඔවුන් නවතා  තිබුණි. ඇත්තම පැවසුවොත්  අඩුවෙන් කන කෙනෙකුට ලේ පරික්ෂා  නොකර  දිගින් දිගටම  මෙට්ෆෝමින් දීමේ තේරුමක්  නැත. ඔවුන් මුලින්ම කලේ ලේ පරික්ෂාව බැවින් සීනි අඩු බව වටහා ගන්නට ඇත. හොඳටම සුවවී පහුවදා  ටිකට් කපාගෙන ඇය ගෙදර ගෙන ආවෙමි. බොහෝ අය කීවේ සියල්ල ලියා අවසන් වනතුරු මට පහුවද   හවස් වනතුරම  රෝහලේ කල් මරන්නට වනු ඇත කියාය.  නමුත් වාට්ටුවේ සිටින තරුණ වෛද්‍යවරියක් දහවල් දොළහමාරට පමණම සියලු ෆයිල් ආදිය ලියා අවසන් කර මව රැගෙන යාමට ඉඩ දුන්නාය.

අප හවස හතරට පමණ රැගෙන යාමට සිටි හඳුනන ත්‍රී වීල් මල්ලි විමසුවේ "සර් මෙපමණ ඉකමනින් දොළහමාරට  ආවේ කොහොමද කියාය". මා ඔහුට කිවේ රැජිනගේ භාෂාවෙන් තවමත් ලංකාවේ වැඩ කිරීම පහසු බවයි. 

මේ කතාවේ අනිත් පැත්ත ලංකාවේ මිනිසුන්ගේ අසීමිත බෙහෙත් භාවිතයයි. රෝහලින් දුන් පළමු බෙහෙත් ටික අවසන් වන විට අම්මා ළඟම  සිටින වෛද්‍යවරයා හමුවී බෙහෙත් ගන්නේ නැත්දැයි ඇසුවාය. මම ඇගෙන් ඇසුවේ රෝහලින් නිවැරදිව දවස් ගණනට බෙහෙත්දී  ඇත්නම් තව බෙහෙත් හොයන්නේ මොන මගුලටද කියාය. දැන් ඇය ගන්නේ නියමිත් බෙහෙත් පමණි. අර අර්ධ රජයේ රෝහලින් රෝගියා නොබලා , මුදල්ද ගෙවා ලබා ගත් ඖෂධ සියල්ල විසි කරන්නට සිදු වුනි.

මේ කතාව අසු මගේ යහළුවෙකු පැවසුවේමෙවැනි  දෙයකි. ඔහුගේ බිරිය අනුරාධපුර රෝහලේ රැකියාව කරද්දී කියා ඇත්තේ  එහි එන මහලු රෝගීන් වැඩි දෙනෙකු එන්නේ පුරුද්දට බවය. ඇය ඔවුන්ට සමහර විට පැනඩෝල් ගන්නට බෙහෙත් ලියාදී තිබේ. ඇය වරක එසේ පැමිණි ආච්චි අම්මා කෙනෙකු ගේ  නිවස දැක එහි ගොඩ වැදී  තිබුණි. ආච්චි අම්මා රෝහලින් නොමිලේ  දී තිබූ බෙහෙත් පඬුරු සේ  රෙදි වල ගැට ගසා  වත්තේ මල් පඳුරු හා ගෙයි තැන තැන  එල්ලා තබා තිබු බව  ඇය දැක තිබේ.

එසේම කිසියම් වෛද්‍යවරයෙකු බෙහෙත් වර්ග කිහිපයක් නොදෙන්නේ නම් ඔහු එතරම් හොඳ වෛද්‍යවරයෙකු නොවේය යන මතයද ශ්‍රී ලාංකිකයන් අතර පවතී. එවැනි වෛද්‍ය්යවරයෙකු ලඟට ඉන්පසු යන්නේද නැත. එසේම සාමාන්‍ය හෙම්බිරිස්සාවක ට ද අමොක්සිලින් වැනි ප්‍රතිජිවක ඖෂධ වෛද්‍ය උපදෙස් ඇතිව හෝ නැතිව ගන්නටද බොහෝ අය පුරුදු වී සිටිති. එංගලන්තයේ වෛද්‍යවරු ප්‍රතිජීවක ඖෂධ එකවරම නියම කරන්නේ නැත. ඒවාට පුරුදු වීමෙන්  බැක්ටීරියා රෝග මර්දනයට එය බාධාවක් වන බැවිනි.  

මෙයට ප්‍රථම  2010 වසරේ ලංකාවට පැමිණ ආපසු ලන්ඩන් යාමට නොහැකිව සති දෙකක් වැඩිපුර  ලංකාවේ නතර වී සිටින්නට වුනේ අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා ගොස් යුරෝපය දුමාරයකින් වැසී ගිය නිසාය. අපි කටුනායක ගුවන් තොටුපල  අසල මිතුරෙකුගේ නිවසක හදිසියේ  නතර වුනෙමු.  මිතුරාගේ නිවසේ ෆෑන් තිබුනද බොහෝ රස්නය සහිත එකක් වූයේ අවට ගස් වැල්  නැති නිසා මෙන්ම එය කොන්ක්‍රීට් බිත්ති වලින් ආරක්ෂා කාරී ලෙස නිමවා තිබු නිවසක්නි සා විය හැක. අපේ වැඩි මහල්  දියණිය ශනායා හදිසියේ අසනීප වුනේ තද උණක් සෑදීමෙනි. මීගමුවේ පෞද්ගලික රෝහලකට ගෙන ගිය විට ඇයට ඩෙංගු සඳහා රුධිර පරීක්ෂාවක් කර එය නැති බව පවසා එහෙත්බෙ හෙත් වර්ග අටක් පමණ වෛද්‍යවරිය නියම කලාය. රුපියල්  දෙදාහක්  පමණ ගෙවා ඒවා මිලයට ගත්  පසු ඒවායේ නම් වත් ලියා තිබුනේ නැත. අප මේ බෙහෙත් දරුවාට දීමට මැලිවූ නිසා වෛද්‍යවරියව නැවත  හමු වුනෙමු. ඇය පැවසුවේ බෙහෙත් වර්ග දෙකක් ඩෙංගු සඳහාත්  තව බෙහෙත් වර්ග ඇඟේ දුර්වල කමට ආදී ලෙසටත්ය. ඩෙංගු නැති රිධිර පරීක්ෂණයෙන් තීරණය කළ පසු ඒවා දෙන්නේ ඇයිදැයි අප ඇසුවෙමු. වැඩි හොඳට යයි ඇය පැවසුවාය.  ඇගේ කාමරයෙන් එලියට පැමිණි වහාම පැනඩෝල් පමණක් තබාගෙන ඉතිරි බෙහෙත් සියල්ල  රෝහලේම කුණු බක්කියකට දමා පිටව ආයෙමු .

අප කලේ මීගමුවේ රෙඩ් රෝස් නමැති හෝටලයේ, කාමර දෙකක් හා විසිත්ත කාමරයක් සහිත  හොඳින් වාතාශ්‍රය ඉඩ කඩ ඇති  අපාර්ට්මන්ට් එකක් වූ උඩම තට්ටුව කුලියට ගැනීමයි. එහි නැවතී  දිනකින් පමණ  දියණියට සුව විය. ඇය ඉන්පසු මුහුදු වෙරළේ අප සමග ක්‍රීඩා කිරීමට සහ දුව පැන ඇවිදී ටද වූවාය.  හොඳ වෙලාවට අර නියම කල අපද නොදන්නා  බෙහෙත් අප දුන්නේ නැත. මෙය හැම විටම කලයුතු දෙයක් නොවේ. අප වෛද්‍යවරයන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. එසේම ඔවුන්ද එම විශ්වාසය රැකිය යුතුය.  

 සමහර විට මහාචාර්ය නලින්ද සිල්වා මහතා බටහිර දේට  සහ බටහිර වෙදකමට විරුද්ධ මේ නිසා විය හැකිය.  නොදන්නා බෙහෙත් වර්ග දී හැදෙන අතුරු අබාධ වැඩි නිසා ඔහු ලංකාවේ බටහිර වෙදකමට විරුද්ධ යයි මට සිතේ. හේතුව, බ්‍රිතාන්‍ය යේ හෝ යුරෝපයේ මෙය සිදු නොවන නිසාය. ජර්මනියේ පවුලේ වෛද්‍යවරු (බටහිර )  සමහර විට හෝමියෝපති හෝ  ආයුර්වේද තේ වර්ග පවා නියම කරති. 

මට සිතෙන්නේ ශ්‍රී ලංකාවේ රෝගීන් සඳහා වන සංවිධානයක්/සංගමයක්  දේශපාලන භේදයකින් තොරව  පිහිටුවිය යුතු බවය. බ්‍රිතාන්‍යයේ දියවැඩියාව රෝගයේ සිට නොයෙක් පිළිකා වර්ග නිසා රෝගී වුනු අය සඳහාද එවැනි සංවිධාන තිබේ. ඔවුන් රෝගීන්  ගේ යහපත තකා කටයුතු කරති. ශ්‍රී ලංකාවේ  රෝගීන් ගේ යහපත සඳහා එවැන්නක් පිහිටුවීම ඉතා කාලෝචිත බව මගේ අදහසයි. 


(Clopidogrel is an antiplatelet medicine. It prevents platelets (a type of blood cell) from sticking together and forming a dangerous blood clot.

 Digoxin is a type of medicine called a cardiac glycoside. It’s used to control some heart problems, such as irregular heartbeats (arrhythmias) including atrial fibrillation. It can also help to manage the symptoms of heart failure, usually with other medicines.

Nicorandil is a medicine used to prevent and treat chest pain caused by angina.

Your doctor will usually prescribe nicorandil when other heart medicines have not worked or are not suitable for you.

Enoxaparin is an anticoagulant that helps prevent the formation of blood clots. Enoxaparin is used to treat or prevent a type of blood clot called deep vein thrombosis (DVT), which can lead to blood clots in the lungs (pulmonary embolism)

The Danger of Antibiotic Overuse

ඇන්ජයිනා 

පියා ගැන ලියූ ලිපිය.