Thursday 22 June 2017

ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින් 2

මෙවර පාර්ලිමේන්තු සැසිවාරය චාම් ලෙස ඇරඹුණි. රැජින සහ චාල්ස් කුමරු 

ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින් 1

ඉහත  ලිපියෙන් විස්තර කළේ දැන් ලන්ඩන් වල තත්වය. ඊයේ  අගමැතිනි තෙරේසා මේ  ආණ්ඩුවේ ඉදිරි කාලය පිලිබඳ වැඩ පිළිවෙල හෙළි දරව් කළා. ඒක කළේ සුපුරුදු පරිදි  පාර්ලිමේන්තුව මෙම  සැසි වාරයට විවෘත කළාට පස්සේ පළමුවන එලිසබත් රැජින විසින්. අර ලිපියේ ලිව්ව උතුරු  අයර්ලන්ත ප්‍රජාතන්ත්‍රවාදී   යුනියනිස්ට් (DUP) පක්ෂය තවම බහ දීල නැහැ සභාග ආණ්ඩුවක් හදන්න. ආණ්ඩුව පැරදෙන්න  වුනත් ඉඩ තියෙනවා. ඒ අතරේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සාකච්චා පටන් ගත්ත. ඒකෙදිත් කලින් කිව්වා වගේම බ්‍රිතාන්‍යය තද ස්ථාවරයක්  ගන්නේ නැති පාටයි.

අද දැක්ක නිව්ස් වල හැටියට ඔවුන්ගේ  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ අලුතින් ග්‍රමර් පාසැල් හදන එක, වයසක අයට බදු ගහන එක (dementia tax ) ආදිය අයින් කරලලු. ජෙරෙමි කෝබින් දිනන්න ඉඩ  තිබෙනවා ඊළඟ මැතිවරණයක් තිබ්බොත්. ඔහුගේ වාමවාදී යයි  කියන ප්‍රතිපත්ති බොහොමයක් යුරෝපයේ තිබෙන   සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ  රාජ්‍ය වල තිබෙන නිසා බොහෝ අය කැමතියි. නමුත් අර ගින්න නිසා එලියට විසිවුණු අයට පොහොසතුන් ගේ හිස් ගෙවල් දෙන්න ඕනේ කියල කෝබින් කියපු එක පාක්ෂිකයෝ උනත් වැඩිය අනුමත කළේ නැහැ. ඒ කියන්නේ වඩා වාමවාදී ප්‍රතිපත්තියකට ගියොත් කෝබින් අප්‍රසාදයට පත්වෙන්නත් පුළුවන්. (නොවෙන්නත් පුළුවන්) නමුත් කෝබින් ගේ කීමට ආණ්ඩුව වැඩ කරන බවක් පෙනෙනවා. අලුත්ම නිවාස යෝජනා ක්‍රමයක තිබෙන ඉතා  සුඛෝපභෝගී නිවාස  මේ ගින්නෙන් අසරණ වූ අයට දෙන්න කොන්සර්වටිව් රජය කටයුතු කරනවලු. මේ එක නිවසක් පවුම් මිලියන් 1.5 පමණ වෙනවා.
ජෙරෙමි කෝබින් සහ තෙරේසා මේ පාර්ලිමේන්තුවේ නව සැසි වාරයට ඇතුළු වෙමින් 

මැන්චෙස්ටර් හි  සියදිවි නසාගත් බෝම්බ කරු ගෙන් පස්සේ පාර්ලිමේන්තුව අසල ප්‍රහාරය සිදු වුනේ. ඉන් පස්සේ තෙරේසා මේ කිව්වා ත්‍රස්තවාදීන් ගේ මානුෂික අයිතීන් සීමා කළ යුතුයි කියල. (Curb human rights ). එයා තමා  ඊට කලින් හිටිය අභ්‍යන්තර කටයුතු භාර ඇමතිනිය. (home secretary) ." මම මේ මානුෂික අයිතීන් පිලිබඳ ලියවිල්ල ඉරා දමනවා කියල." කියල තමා කිව්වේ.

ඉතින් ඔය  කතාවට මේ රටේ මෙන්ම වෙනත් රටවල් වල ඉන්න ලාංකිකයෝ (සිංහල අය) ෆේස්බුක් එකේ හෙම සෑහෙන්න උඩ පැන්න. "ඇද්ද තොපිට. අපට තමයි උඹල උපදෙස් දෙන්න ආවේ ".  කොටින්ම "තොපිට හොඳ වැඩේ " වගේ කතා  තමයි හැම තැනම කියවුනේ. ආචාර්ය නාලක ගොඩහේවා  වඩා සමබර ලිපියක් ලියල තිබුන. නමුත් ඔහුගේ ලිපියේ LTTE සංවිධානය විසින් දකුණේ කරන ලද ප්‍රහාර මාලාවක් දක්වලා තිබුන වගේම, බ්‍රිතාන්‍යය හා යුරෝපය අපට මානව හිමිකම් රකින්න උපදෙස් දීපු හැටි ප්‍රශ්න කරලා තිබුන ත්‍රස්තවාදී මර්දනයට සහය නොදී.

මේ ගැන මම මෙන්න මෙහෙම පෝස්ට් එකක් ෆේස්බුක් බිත්තියේ දැම්ම.

"ලංකාවේ අය නම් කමක් නැහැ කියමු. මේ රටේ ඉන්න සිංහලයන් නම් අරුම පුදුම කට්ටියක්. ඒ කියන්නේ මෙහෙ රැකියාව කරන්නේ. කන්නේ බොන්නේ. ලංකාවට සල්ලි යවන්නේ. ගෙවල් අරගෙන සැපෙන් ඉන්නේ. ඒත් හිනාවෙනවා බෝම්බයක් පිපිරුවම. තොපි අපිට කියන්න ආව . දැන් ඇත්ද තොපිට කියල. අනේ මන්ද මෙහෙමත් මිනිස්සු. මැරෙන්නේ මිනිස්සු හැම රටේම. මේ රටේත් වරදක් තියනවා ලෝකේ වටේ ගිහින් බෝම්බ දාන නිසා. නමුත් සාමාන්‍ය මිනිස්සු කොයි රටෙත් අහිංසකයි."

මෙතැනදී තවත් අය ඕක සිංහල  බෞද්ධත්වය පිළිබඳ  ප්‍රශ්නයක් කියල ලියල තිබ්බ. මම ඒක පිලි ගන්නේ නැහැ. තවත් අය ඒකට විරුද්ධව ලියල තිබුන. ඔතන සිංහල බෞද්ධකම ගාව ගන්නේ කුහක කමට කියල. සමහර විට ඒ අය (මම නෙමේ) සිංහල බෞද්ධකම ගාව ගත්තේ මෙහෙම සුද්දට හිනාවුන වැඩි දෙනෙක් තමන් සිංහල බෞද්ධ කියල හඳුන්වා ගන්න නිසා වෙන්න ඇති. සිංහල බෞද්ධ නම් ඒ වගේ වෛරී කතාවක් කියන එක වැරදියි කියල ඒ ගොල්ලෝ හිතනවා ඇති. මොකද බුදුන් වහන්සේ දේශනා කළේ "වෛරයෙන් වෛරය නොසන්සිඳේ " කියලනේ.

මම මෙතැන ලිව්වේ "ලංකාවේ අය නම් කමක් නැහැ කිව්වත් " කියල. ඊට හේතුව ලංකාවේ ඉන්න හුඟක් අයට යුරෝපයේ  රටවල මානුෂික  අයිතිවාසිකම් ගැන තියෙන සැලකිල්ල ගැන අවබෝධය අඩු නිසා. දක්ෂිනාංශික යයි කියන කැමරන්ගේ තිබුණ කොන්සර්වටිව් රජය හෝ තෙරේසා ගේ නව රජය වුවත් මේ රටවල තිබෙන මානුෂික අයිතීන් කැඩීමේදී පරිස්සම් වෙනවා.  ඕනෑම වාමාංශික හෝ අන්ත වාමාංශික , අන්ත දක්ෂිණාංශික පක්ෂයකට වුනත් කිසියම් සීමාවන් තුල තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.  දක්ෂිණාංශික බලය   අන්තයට ගියොත් ඔය අපි ඉන්න පිටරටවල ඉන්න සිංහලයන්ට වුනත් පහර වදින්න පුළුවන්. මොකද සුදු  එකාට සිංහලයාගේ, පකිස්තානුවගේ, බන්ගිලියගේ , ඉන්දියානුවගේ වෙනසක් තේරෙන්නේ නැහැ.

එසේම මේ රටවල මානුෂික අයිතිවාසිකම් රැකීමට තිබෙන සංවිධාන ඉතා බලවත්. දේශපාලන පක්ෂවල මෙන්ම මහා ජනතාවගේ සහයෝගයත් ඔවුන්ට තිබෙනවා.

  ඊළඟට මම කිව්වේ " මේ රටේත් වරදක් තියනවා ලෝකේ වටේ ගිහින් බෝම්බ දාන නිසා. " . තලිබාන් කාරයෝ ත්‍රස්ත ප්‍රහාරයක් (2001 සැප් 11) ඇමෙරිකාවට එල්ල කළ පසු  බ්‍රිතාන්‍යය  ඇෆ්ඝනිස්තාන ආක්‍රමණයේ දී එක්සත් ජනපදයට එකතු වුණා.   ඒ නිසාම ලංකාවටත් වාසියක් වුණා . බුෂ් සහ බ්ලෙයාර් ත්‍රස්ත විරෝධී යුධයක් හැටියට ඒක නම් කලේ. ඉන් පස්සේ ඉරාකය ආක්‍රමණය කලා. ඒ ආක්‍රමණයේදී ජෙරෙමි කෝබින් ඇතුළු වාමාංශික මන්ත්‍රී ලා තමන්ගේම කම්කරු රජයට විරුද්ධ වුණා.

ඉරාක යුද්ධයේදී සිදුවුණ මානව හිමිකම් කඩවීම් කිහිපයකට සමහර සොල්දාදුවෝ හිරේ ගියා . ඒකට (හිරේ යැවීමට)  විරුද්ධව ලංකාවේ වගේම චෝදනා ලත් හමුදා භටයන් ට පක්ෂව මෙහෙ පත්තර සහ මිනිස්සු උද්ඝෝෂණ කලා. 

ඊළඟට ලිබියාව ගත්තොත් එතනත්  බටහිර තමා උද්ඝෝෂණ ඇතිකරලා ගඩාෆි එලෙව්වේ. ඒ එළවන්න පුහුණු කරලා  ගත්ත ලිබියන් කාරයෙක් ගේ පුතෙක් තමයි මැන්චෙස්ටර් බෝම්බ කරු. පාර්ලිමේන්තු සිද්ධියේ එක අයෙක් රටේම ජිවත්වුන පකිස්තානුවෙක්. අනිත් දෙන්න යුරෝපෙන් ආව අය. ඉතින් මේ අය බ්‍රිතාන්‍යය සහ යුරෝපය විසින් "තමන්ම " හදා  ගත්ත ප්‍රශ්න.  එනිසාම තමයි මේ රටවල "මානුෂික අයිතිවාසිකම්" අඩු කරන්න ඕනේ කිව්වහම් ඒක ඔය ලංකාවේ වගේ දෙයක් නොවෙන්නේ.

අර ත්‍රස්තවාදියා කියන පුද්ගලයව යවන්න  රටක් නැහැ. බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය ගමන් බලපත්‍රයක් නම් තියෙන්නේ. රටට එනකොට අතරමගින් නවත්වන්නත් බැහැ.  "මානුෂික අයිතිවාසිකම් ඉරල දැමීම " කියල තෙරේසා මේ කියන්නේ ඔය ගමන් බලපත්‍ර ගැන හිතන්නේ නැතුව මුලින් ඉපදුනු රටට පිටුවහල් කිරීම. එහෙම නැත්නම් නඩු අහලා හිරේ දමන්න පුළුවන් නීති හැදීම.

ඉතින් ඕව ලංකාවේ තිබ්බ තත්වයට වඩා සෑහෙන්න වෙනස්. ලංකාව නිකන්  එල් සැල්වදෝරය වගේ තිබ්බේ. ද්‍රවිඩ කැරලිකරුවන් එකිනෙකා  මරා ගත්ත. ළමයි බලෙන් පැහැර  ගෙන ගියා යුද්දෙට. LTTE  එක විවේචනය කරපු රාජිනි තිරාණගම හෙම මරපු හැටි මතකද?  යුද්ධය අතරතුර මිනිසුන්ව අන්ත දුෂ්කරතා මැද ගාල් කරගෙන එහෙ මෙහෙ අරන් ගියා (LTTE  එකෙන්). පොඩි ළමුන් වින්ද දුක් දැක්කද?  ලංකාවේ  දකුණේ LTTE එකෙන් මරපු ගණන ගැන  ලියන කිසි කෙනෙක්  ඒ උතුරු හා නැගෙනහිර මිනිස්සු වින්ද කරදර ලියන්නේ නැහැ. මොකද 95% දෙමල මිනිස්සු LTTE  එකට   පක්ෂයි කියල හිතන නිසා.  එසේම ඔය මිනිස්සුවම  1956 , 1877, 1979 (යාපනය පුස්තකාලය ගිනි තැබීම) හා  1983 අවධීන් වල  ගහල , ගෙවල් කඩලා , ගිනි තියල මරල දැම්ම.  හැබැයි ඉතින් ඕකෙ  අනිත් පැත්තත් ඔහොම්මමයි.දෙමළ අය LTTE එකෙන් දකුණේ කරපු අපරාධ ගැන ලියනවත්  අඩුයි.

ඉතින් තරුණයන් මරා දැමීමේ සිට ජනගහනයට බෝම්බ දැමීම දක්වා සෑම ශ්‍රී ලාංකික රජයක්ම මානව හිමිකම් උල්ලංඝනය කරල තියෙන්නේ. ඔය අතරට පැහැරගෙන යාම්, පුවත්පත් වලට ගිනි තැබීම් , කර්තෘවරුන්ට පහරදීම, මරා දැමීමත් වුණා. අද වුනත් ලංකාවේ ජනතාව  ගැන  අපේම යහළුවෝ ගැන හිතන කොට දුකයි.  තව ගොඩක් දේ වෙන්න තියනවා.පොලිසියට අල්ලන් ගියහම පොඩි වරදකට හෝ වරදක් නැතුව   තවම පොලිසිය ගහනවා. රටේ නොයෙකුත් ආයතන වලින් හරි හමන් සේවයක් කෙරෙන්නේ  නැහැ. නගර වල කුණු අහක් කෙරෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ඔය මානුෂික අයිතීන් වල‍ට අයිතියි.

අනිත් චෝදනාව තමා චීනය හා රුසියාව හැර අනිත් රටවල් යුද්දෙදි උදව් කළේ නැහැ කියන එක.  ඉන්දියාව කරපු ආධාර ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම කියල තිබුණ. ඇමෙරිකා එක්සත් ජනපදය ඇත්තටම ආයුධ තහනම් නියෝගයක් දැම්ම නම් දැන් ඔය රුසියාව ට හා කියුබාවට දාන සම්බාධක වගේ චීනයට නෙමේ මොන ජගතෙකුට වුනත් ලංකාවට ආයුධ විකුණන්න බැහැ. ඒ අතරේම  තිරයෙන් වහගෙන ඔවුන් ලංකාවට උදව් කලා. බ්‍රිතාන්‍යයත් එහෙමයි.  (SAS නිලධාරීන් ලංකාවේ භට පුහුණුවට) නමුත් 1983 ලංකාවේ සිංහලයෝ ගහල මරණ කොට දිවි බේරා  ගන්න එංගලන්තෙට පැනපු දෙමළ  ජනතාව ඔය හැම බටහිර රටකම ඉන්නව. බ්‍රිතාන්‍යයේ නම් ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධව වැඩ කරනවා." දෙමළ ජනතාව කොන්සර්වටිව් පක්ෂයට", සහ "දෙමළ ජනතාව  කම්කරු පක්ෂයට " කියන සංවිධාන හරහා. ඒ වගේම ප්‍රබල මානව හිමිකම් සංවිධාන තියනවා. ඒ බලපෑම් වලාට් ගරු කරමින් රජයක්  කටයුතු කළ යුතුයි.

යුද්දේ වෙලාවේ ලංකාවට ඇවිත් ගිය ඩේවිඩ් මිලිබෑන්ඩ් පස්සේ කියල තිබ්බ " එයා ලංකාවට ගියේ චන්ද ටික බේරා ගන්න කියල ". මම හිතන්නේ එයත් දැනගෙන හිටිය, මහින්ද රාජපක්ෂ මහතාත් දැනගෙන හිටියා  මේ කරන්නේ රඟපෑමක් බව.

ඉතින් ඔන්න ඔය පසුබිම මත තමා මම කියන්නේ ඔය වගේ "ඇද්ද උඹලට " කතා තේරුමක් නැහැ කියල.  මේ රටේ හැම ඊමේල එකක්ම ෆිල්ටර් හරහා යන්නේ (විශේෂිත වචන),  හැම දුරකථන කතාබහකටම (විශේෂිත වචන කියන්නේ නම් පමණක්) සවන් දෙනවා (Snooping bill ).  එනිසා ඔය තියෙන නීති ඇති. තෙරේසා මේ කියන දේට විරුද්ධ වෙලා මානුෂික අයිතීන් වලට තර්ජනයක්  එනවා නම් රැක ගැනීමයි කළ යුත්තේ. මේ රටවල්වල  මානව හිමිකම් රැකිලා තියනවා නම් ඒක අපට හොඳයි. ඒකවත් තේරුම් ගන්න  බැරි නම් ඇති වැඩේ මොකක්ද?

මුලාශ්‍ර: http://www.independent.co.uk/news/uk/politics/revealed-uk-sells-arms-to-sri-lankas-brutal-regime-8498768.html
https://www.theguardian.com/world/2014/jan/16/former-sas-officers-training-sri-lanka
http://johnpilger.com/articles/terror-in-britain-what-did-the-prime-minister-know
http://www.telegraph.co.uk/news/2017/06/04/absurd-scandalous-new-york-times-criticised-saying-uk-reeling/
https://www.theguardian.com/commentisfree/2017/jun/07/theresa-may-human-rights-european-charter-terrorists



Monday 19 June 2017

ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින් 1

ගිනිගත් ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාස  
ලංකාවේ ගං වතුර උවදුර ගැන ලියුවට පස්සේ හිතන්  හිටියේ හිත පොඩ්ඩක් හරි ගියහම බ්ලොගය සාමාන්‍ය විධිහට පටන් ගන්නව කියල.  නමුත් එහෙම වෙන්න කලින්ම මැන්චෙස්ටර් වලට ඉස්ලාමික ත්‍රස්තවාදීන් ගේ ප්‍රහාරයක් ආව.  ඊට පස්සේ ලන්ඩන් වලට ප්‍රහාරයක් ආව. අන්ත පරාජයකට පත් වෙනවාය කියල විචාරකයන් කියපු ජෙරෙමි කෝබින් ගේ කම්කරු පක්ෂයහිටපු අගමැති තෙරේසා  මේ ගේ ආසන   බහුතරය නැති වෙන තරමට ආසන ගණනක්  දිනුව. ඔවුන්ට ආණ්ඩු බලය පිහිටුවන්න බැරි වුනත් කෝබින් පෙන්නුවේ තමන් සාර්ථක නායකයෙක් බව. කොටින්ම පත්තර කාරයන්ටයි විචාරකයන්ටයි ආයෙත් වැරදුනා. තෙරේසා ට දැන් වෙලා තියෙන්නේ   කාලයක් අයර්ලන්ත කතෝලික ගරිල්ලන්ට විරුද්ධව සටන් කරපු ප්‍රොතෙස්තන්ත   ගරිල්ලා සංවිධානයක (DUP) දේශපාලන නායකත්වය සමග ගිවිසුමක් ගහන්න තමන්ට අඩු ආසන ගණන හදාගන්න.

 බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ට පියවර ගණනාවක් පස්සට ගන්න වුණා.මූලිකම එක තමා  "ඩිමෙන්ෂියා ටැක්ස් -dementia tax " කියන එක අයින් කරන එක. ඒ කියන්නේ මහලු අයට ඒ වගේ ලෙඩක් හැදුනොත් නොමිලේ දෙන ප්‍රතිකාර වෙනුවට ඉන්න නිවසේ  වටිනාකමට අනුව බදු මුදලක් අය කිරීම.  එංගලන්තේ නිවෙස් වල මිල ඉහල යාම අධික නිසා සමහර විටක තමන්ගේ රැකියා වල පඩිපතෙන් ගන්න පුළුවන් තරමටත් වඩා නිවෙස් වල මිල අධිකයි. එනිසා තමා මේක අසාධාරණ වැඩි. ඒ අතරේ තව ප්‍රතිපත්ති කිහිපයක්ම එයාටම ආපහු  හරවන්න වුණා. යුරෝපා සංගමයෙන් එලියට යන වැඩෙත් හිතපු විධිහට තදින් (hard Brexit) ඒ කියන්නේ බ්‍රිතාන්‍යයට වාසි විධිහට එලියට යන්න බැරි තත්වයක් ඇවිත්. ඒ කියන්නේ කොන්සර්වටිව් පක්ෂය දිනුවත් මේ පාර ඒක ලොකු හිල් සහිත දිනුමක්. 

තෙරේස මේ ගේ හිටපු නිවාස ඇමැති තමා ගැවින් බාවෙල්. මිනිහගේ ක්‍රොයිඩන් ආසනෙත් පැරදුනා.   තෙරේසා මේ ගේ ප්‍රබල අනුගාමිකයෙක් නිසා ඇයට එය තදින් වැදුනා. තෙරේසා මේ කළේ ගැවින්ව එයාගේ ප්‍රධාන කාර්යභාර නිලධාරියා හැටියට පත් කිරීම  (chief of staff ) .  මේ ගැවින් නිවාස ඇමැති කාලේ එයාට  වාර්තාවක් භාර දුන්නා  තට්ටු නිවාස  වල හදිසි ගිනි ගැනීම් වළකා ගැනීමට නිර්දේශ කිහිපයක් එක්ක. ලන්ඩනයේ කම්බර්වෙල් කියන හරියේ ලකනල් කියන නිවාස  යෝජනා ක්‍රමයේ 2009 වසරේදී තට්ටු නිවාසයක් ගිනි ගෙන හය දෙනෙක් මැරුණා.  ඒකෙන් පස්සේ පත් කළ කොමිසමේ වාර්තාව තියාගෙන මේ මනුස්සයා නිකන් හිටිය මිසක් මුකුත් කළේ නැහැ.

පසුගියදා ග්රෙන්ෆෙල් තට්ටු නිවාස ක්‍රමය ගිනි අරගෙන 79 ක් දැනට මිය ගිහින් කියල කියනවා.  ඔය කියන හරියේ ටිකක් එහාට වෙන්න ශ්‍රීලංකාවේ යහළුවෙක් ගේ නිවසක මම ඉඳල තියනවා අනූ ගණන් වල.  සෝවියට් දේශයේ ඉන්න කාලේ ලන්ඩන් ආවහම නතර වෙන්නෙත් ඔය  පැත්තේ.  නොටින් හිල් පැත්තට , පොර්ටබෙල්ලෝ මාකට් එක පැත්තට යනකොටත් ඔය නිවස පෙනෙනවා. එනිසා ඔය ගින්න දකිද්දී හිතට ඇතිවුනේ මිශ්‍ර හැඟීමක්. තරහවක් වේදනාවක් වගේම කුතුහලයක්.  කොහොමද මේ ටවර් එක (tower block)  ගිනි ගන්නේ මේ විධිහට?

දැන් වෙනකොට හේතු කිහිපයක්ම එලියට ඇවිත්. ශීතකරණයක වයර් එකක ඇ විලුනු ගින්න නිවල ගිනි භටයන් එලියට එද්දී දැකල තියෙනවා ගොඩනැගිල්ලේ එළියේ බිත්ති ඇවිලෙමින් යනවා. ඇතුලේ වුනු සුළු ගින්නක් නිසා නිවැසියන්ට එලියට එන්න එපා කියලයි අවවාදය දීලා තියෙන්නේ ඔවුන්. නමුත් එලියට පැතිර ගිය ගින්න පැය භාගයක් ඇතුලත තට්ටු 22 ම  බිත්ති ගිනි ගැනීමට තරම් බලවත් වුණා. මේක සමනය දෙයක් නෙමේ. එහෙම වෙන් විධිහක් නැහැ.
 ගිනි භටයෝ සහ එළියේ සිටි අය නිවැසියන්ට එළියට එන්න කියල  කෑ ගැහුවත් එතකොටත්  ප්‍රමාද වැඩී.  රෑ 12. 45 පටන් ගත්ත ගින්න එළිවනකනුත්  ඉවර වුනේ නැහැ. මිය ගිය  ගණන 150ට වඩා වැඩි වෙයි කියල තමයි කියන්නේ.

ගින්නට කලින් පහු ගිය අවුරුදු දෙක මුළුල්ලේ පවුම් මිලියන් 8.7 වියදමකින් ඔය තට්ටු නිවාස  ගොඩනැගිල්ල අලුත්වැඩියා කරලා තියනවා.  නමුත් ඒ කළ කාලය පුරා  නිවැසියන් විටින් විට චෝදනා කරලා තියනවා රයිඩන් නමැති සමගම හරියට වැඩ කරන්නේ නැහැ. ලාභෙට කරන්නේ කියල. ටවර් බ්ලොක් එක වටේ බිත්තියේ  cladding හෙවත් ආරක්ෂක ආවරණයක් යොදා තිබෙන්නේ ඔවුන්. මේවා දමන්නේ සීතලෙන්, හිම වලින්, වැස්සෙන් ආරක්ෂා වීමට වගේම ගොඩ නැගිල්ලට පියකරු බවක් දීමට.  නමුත් ඔවුන් ප්‍රධාන වරදක් කරල තියනවා. සාමාන්‍යයෙන් මේ ආවරණ ගින්නට ඔරොත්තු දෙන ඒවා, නමුත් ගින්නට ඔරොත්තු දෙන්නැති ඒවා තමා යොදල තියෙන්නේ. මේ ජාති දෙකේ වෙනස  වර්ග මීටරයට  පවුම් දෙකලු (ගිනි ගන්නා / නොගන්නා ).  ඒ පවුම්  දෙක ඉතුරු කරත් මුළු ගොඩනැගිල්ලෙන්ම ඉතුරු වෙන්නේ පවුම් 7000 වගේ සුළු ගණනක් ලු. (අර මිලියන් 8.7 ට සාපේක්ෂව).

ඒ ලාභෙ බලන්න ගිහින් සෑහෙන ගණනක ට ජීවිතය අහිමි වුණා. ඒ විතරක් නෙමේ . අර ගැවින් කියන හිටපු නිවාස ඇමති අර වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කෙරුව නම් ඒ කියන්නේ මේ ආවරණ වර්ග ගැන හොයල, sprinklers හෙවත් ගින්නකදී ඉබේ ක්‍රියාත්මක වෙන  වතුර විදිනයන් සවි කරලා,  ගිනි ගැනීමකදී  ඉවත් වීමට අමතර මාර්ග (fire exit) සහ  එකතු වීමේ ස්ථාන හදල තිබ්බ නම් හානිය අවම කර ගන්න තිබුන කියල කියනවා. මොන රටකත් ඇමතියෝ එකයිද?

මේ අතර තුර ඉස්ලාමික ත්‍රස්තවාදීන් මෑතකදී කළ ත්‍රස්ත ප්‍රහාර වලට පිළිතුරක් වේල්සයේ ජිවත් වුනු සුදු ජාතික අන්තවාදියෙකු විසින් ඊයේ  දීල තියනවා.  මේ රටේ හිටියත්  ද්වේශ සහගත ලෙස සුදු  ජාතිකයන්ට හා අන්‍යාගමිකයන්ට  බනින මුස්ලිම් ඉමාම් කෙනෙක් ඉන්නවා අන්දම් චවුද්රි කියල. මිනිහ දේශන කරපු ප්‍රධාන පල්ලියක් තමයි ඔය ෆින්ස්බරි පාක් පල්ලිය. ඒකෙ වඳින මුස්ලිම් බැතිමතුන්ට  තමයි ප්‍රහාරය වුනේ.  ඔය වගේ ප්‍රහාර තමා මුස්ලිම් අන්තවාදියෝ බලාපොරොත්තු වෙන්නේ. රටවල සාමකාමිව ජිවත්වන ජනතාව බෙදා එකිනෙකා  මරා ගැනීම තුල, කුළල් කා ගැනීම තුල තමා උන්ගේ පැවැත්ම තියෙන්නේ. මේක තමයි මේ සියවසේ අපට අත් දකින්න ලැබෙන ලොකුම ඛේදවාචකය.

එක්සත් ජනපදයේ ජනාධිපති ට්‍රම්ප් සිරියානු යානයක් වට්ටලා රුසියාව ඒකට  විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරලා. ට්‍රම්ප් කරන්නේ තව ගිනි අවුලන එක මිසක් නිවන එක නෙමෙයි. යුරෝපය බෙදිලා ඉන්නේ. බහුතරයක් ට්‍රම්ප් ට විරුද්ධයි. ඒත් රුසියාවට පක්ෂ නැහැ.

 බ්‍රිතාන්‍යයේ ප්‍රශ්න ගොඩයි. මේ රට තවම යුරෝපයේ රැකියා විරහිත භාවය අඩුම තියන රටක්, තවම හොඳ ආර්ථිකය වර්ධනයක් තියන රටක්. ඒ තව කොපමණ කලකටද කියන එක තමයි ප්‍රශ්නේ?




Sunday 11 June 2017

නෙළුම් යාය පදනම සහ සමාජ සත්කාරක වැඩ

නෙළුම් යාය සමාජ සත්කාරක ව්‍යාපෘති 
පසුගිය 2017  මාර්තු මාසයේ පැවති  සම්මාන උළෙලින් පසුව නෙලුම් යාය පදනම නියෝජනය කරමින් රූපවාහිනී සාකච්ඡාවකදී රාධා කෝදාගොඩ මෙනෙවිය පළ කළ අදහස් ගැන කිසියම් පැහැදිලි කිරීමක් සිදු කිරීම  අවශ්‍ය යයි සිතමි.  ඇය එම සාකච්ඡාවේදී සැළකිල්ලට ගත්  උදාහරණය නම් නෙළුම් යාය වෙබ් අඩවිය සංවිධානය කළ මොණරාගල මියාගල විදුහලට ජලය ලබා දීමේ ව්‍යාපෘතියයි. නෙළුම් යාය කියා කීවේ ඉන්දික කොඩිතුවක්කු මහතාගේ ඔත්තුවකට ඔවුන්ට ඇති මුදල් ප්‍රමාණය මදි නිසා නෙළුම් යායෙන් කරන්නට පුළුවන් දි විමසා බැලීමක්  කළ බව සුමිත් කලණසිරි මහතා විසින් කළ  දැන්වීම හේතුවෙනි. ඒ ඊමේල් මා  සතුව තිබේ.  ඒ පිලිබඳ සියලු විස්තර සුමිත් හෙවත් කල්‍යාණ මිත්‍ර ලියු මේ බ්ලොග් ලිපි වල ඇත. "වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්... මොණරාගල වතුර project grand finale"

ඉතින් මේ ව්‍යාපෘතිය කලාහිතේ සුමිත් කලණසිරි, කටුසු හදවත, ප්‍රසන්න, ලංකා නිව්ස් වෙබ් හි  උපුල් ආදී සියල්ලගේ සහයෝගයෙන් කල බවත් මතක ඇති. එහි වැඩිම මුදල් ප්‍රමාණය ඉන්දික හා ඉයන් විසින් සපයා ඇති බවත් ඉන්පසු නෙළුම් යාය (චන්දිම) විසින් සපයා ඇති බවත් දැන  ගතිමි. ඒ අතරේ  මාද ඇතුළුව  රසික, භාග්‍යා,  තිලක සිත, සිත් ආර , සජ්ජා , කවිඳු, මෙත්මා, සඳ වියමන් ආදී බොහෝ අයද උදව් කළ අය අතර විය.

 රාධා කෝදාගොඩ මෙනෙවිය එදා පැවසුවේ අපි CSR ව්‍යපෘති නෙළුම් යායපදනම  හරහා කරනවා යන්නය. CSR  හෙවත් corporate social responsibility යනු සමාගම් විසින් තම ව්‍යාපාර මගින්  සමාජ වලට හා පාරිසරික පද්ධතීන්  වලට වන බලපෑම්  වන හානිය අඩු කිරීමට සමාජ සත්කාරක ව්‍යාපාර මගින් දායක වීමකි.  එසේම තම ව්‍යාපාරයේ දියුණුවත් සමග ව්‍යාපාරයේ අඩිතාලම දමා ඇති සමාජයේ දියුණුවටද ආයෝජනය කිරීම  හා අදාල ජන කණ්ඩායම් වල හිතසුව සඳහා දායක වීමද එසේ හැඳින්විය හැකිය. ඒ සඳහා උදාහරණයකට ගත්තේ මියාගල පාසැලට  ජලය ලබා දීමයි.

දේශපාලකයකු වන නන්දන ගුණතිලක මහතා ඒවා දේශපාලකයන්ට භාර නොදෙන්නේ ඇයි දැයි අසා තිබුණි. මගේ පෞද්ගලික අදහස නම් දේශපාලකයන් ට පොල් ගගා  නොසිට  මෙවැනි දේ කිරීමට පසුගිය අවුරුදු 66 කාලයක්ම තිබුණාය යන්නය. ඔවුන් නොකර සිට ඇත්තේද ඒවාය.

නෙළුම් යාය විසින් කඳුකරයේ  පාසැල් වල ව්‍යාපෘතීන් කිහිපයක් ද ක්‍රියාත්මක කර තිබුණි. සමහර ඒවාට බ්ලොග්කරුවන් ද දායක වී තිබුණි. (නෙළුම් යායෙන් තලවකැලේ ට නෑගම් යාම)
 මේ ලඟදි සිරාගේ කාමරේ බ්ලොගය ලියන  මහත්මයා ඇතුළු කණ්ඩායම  ඉතා සාර්ථක ව්‍යාපෘතියක් කිසිවකුගේ බාහිර උපකාරයක් නොමැතිව ස්වාධීනව ක්‍රියාත්මක කර තිබුණි.

පදනමේ අදහස නම් ප්‍රශ්න ඇති තැන් ආදිය  බ්ලොග්කරුවන් මගින් හඳුනාගෙන ඒ ස්ථාන වලට ආධාර දීමේ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී බ්ලොග්කරුවන්ගේ මුදල් දායකත්වයක්  බලාපොරොත්තු වන්නේ නැත. ඒ වෙනුවට ඒ සඳහා කැමැත්ත පල කරන ව්‍යාපාරික ස්ථාන වලට දන්වා සමාජ සත්කාරක වැඩ සටහන් වලට  සංවිධානාත්මක ලෙස මැදිහත්වීමක් කිරීමක් පදනම මගින් කරනු ලැබේ.

මෙහිදී පැහැදිලි කිරීමක් කල යුතුය. අප මුලින් රත්නපුරයේ, බදුල්ලේ හා ඉහත කි මොණරාගල ආදියේ  කල සුළු ආධාර ව්‍යපෘති මා ඇතුළු බ්ලොග්කරුවන් ගෙන්   මුදල් එකතු කර කළ ඒවාය. නෙළුම් යාය පදනමෙන් කරන්නේ වෙනස් දෙයකි. බ්ලොග්කරුවන්ගෙන් එවන් ආධාර අවශ්‍ය තැන් ගැන විස්තර ලබාගෙන ඒ සඳහා  උදව් කිරීමට කැමැත්ත පළ කර ඇති සමාගම් වලට දන්වා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම ඔවුන්ගේ අදහසයි.

ලංකා බ්ලොග් සංසදය නම් සංවිධානයක් (පදනමක්)  ගැන කතා කළද එය පිහිටුවා නැත. එයට මාතලන් සහ කල්‍යාණ මිත්‍ර ආදී බ්ලොග්කරුවන් සම්බන්ධ කරවීම සඳහා ආරාධනා කර තිබු මුත්ඔවුන් ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසා ඒ වෙනුවට නෙළුම් යාය පදනම පිහිටුවීමට සංවිධායකයන් තීරණය කරන ලද බව අනුමාන කරමි.

නෙළුම් යාය පදනම ක්‍රියාත්මක වන්නේ ලංකානිව්ස්වෙබ් කාර්යාලය හරහාය. මට දන්වා  ඇත්තේ ලංකානිව්ස්වෙබ් කර්තෘ වරුන් එහි විධායක සාමාජිකයන් බවයි.  මට මෙම පදනමේ මුල්‍ය කටයුතු ගැන අවබෝධයක් නැති අතර එසේම එයත් අනිකුත් දායක සමාගම් අතර ඇති සම්බන්ධයන් ගැන අදහසක්ද නැත. මා  පසුගිය කාලයේ කලේ කිසියම් බ්ලොග්කරුවන් සමුහයක් ආධාර අවශ්‍ය  තැනක් ගැන සඳහන් කල විට එය නෙලුම් යායේ පළකර ඔවුන්ගේ අවධානයට යොමු කිරීම හෝ ඒ සම්බන්ධව විද්‍යුත් තැපෑලක් යැවීම  පමණකි. 


මා දන්නා පරිදි මිළඟ 2018 සම්මාන උළෙලද නෙළුම් යාය පදනමින් සංවිධානය වනු ඇත.  සම්මාන සඳහා තෝරා ගන්නා  බ්ලොග් බොහෝවිට නෙළුම් යාය වෙබ් අඩවියේ පල කරන ලද ඒවා විය හැක.  වෙනත් පෞද්ගලික කටයුතු කිහිපයක යෙදී ඇති බැවින් මගේ සහභාගී වීම බොහෝවිට අවම විය හැකිය. සම්මාන  උළෙලේ සංවිධාන කටයුතු වලට  සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත දක්වා ඇති ඊමේල් ලිපිනයන් හරහා එය කළ හැකිය.

එසේම මීලඟ නෙලුම් යාය සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලංකාවේ ඩෙංගු උවදුර මර්දනය කිරීම  සඳහා කරන සටනට බැඳී තිබේ. බොහෝ සමාගම් මෙයට අනුග්‍රහ දැක්වීමට කැමැත්ත පල කර ඇතැයි පදනම දන්වා තිබේ.  බ්ලොග්කරුවන්ගේ ද සහය ලබා ගැනීමට එහි සංවිධායක නෙලුම් යාය පදනම අපේක්ෂා කරන බව දන්වා තිබේ.  ඒ සඳහා සහයෝගය දීමට කැමැති අය  පහත ඊමේල් ලිපිනයන් වලට දන්වන්න.

editor@nelumyaya.com,
deputyeditor@lankanewsweb.net
editor@lankanewsweb.com>
editor@lankanewsweb.net

ස්තූතියි