Saturday, 31 December 2016

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 3

අරාබි වසන්තයේ ෆේස්බුක් බලපෑම 
සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් -2

අරාබි වසන්තය ගැන බොහෝ දේ කීමට මගේ අදහසක් නැතත් පටන්ගත්තේ කෙසේද යන්න  සඳහන් කල යුතුය.  එය පටන්ගත්තේ හදිසියේය. කිසිදු බාහිර බලවේගයකින් තොරවය. ටියුනිසියාවේ ප්‍රාදේශීය නුවරක් වන සිඩි බෞසිද් නගරයේ පදික වේදිකා වෙළෙන්දෙක් වන මොහමඩ් බෞසිසි රජයේ නිලධාරීන් අල්ලස් ඉල්ලා ඔහුගේ වෙළඳ කරත්තය අත් අඩංගුවට ගැනීමට විරුද්ධව තමාට ගිනි තබාගෙන මිය ගියේය.  දුප්පත් තරුණයෙකු වූ ඔහුට හා ඔහුගේ පවුලට ඉන් වූ අසාධාරණය දුටු අනිකුත් ටියුනිසියනුවෝ නැගී සිටි අතර මොබයිල් දුරකථන එස්එම් එස් පණිවුඩ, ට්විටර් හා ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා පැන නැගුනු විරෝධය  නගර ගම දනව්  වල වීථිවල මහා  විරෝධත්වයකට පරිවර්තනය විය.

ටියුනීසියාව  බටහිර හිතවාදී රටක් වන අතර එහි ඒකාධිපති නායකයා වූ බෙන් අසි ට බටහිරින් ප්‍රශ්නයක් තිබුනේ නැත. බටහිර සංචාරකයන් බොහොමයක් ටියුනිසියාවට ඇදී ආහ. නමුත් ඉස්ලාමික සහෝදරත්වය මෙන්ම වෙනත් රජයට එරෙහි සංවිධානද සටනට එළඹුණි. මෙහිදී ටියුනිසියානු හමුදා ඉතා වැදගත් තීරණයක් ගත්හ. ඒකාධිපති බෙන් අලි ට රටේ ජනතවගේ සහයෝගය නැති බවට තීරණය කල ඔවුන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළහ. බෙන් අලි පලා ගියේය.

අවසානයේදී හමුදාව තාවකාලික ආණ්ඩුවකට රටේ පාලනය භාර දුන් අතර දශක දෙකකට පසු නිදහස් මැතිවරණයක් පැවැත්වුණි. වාසනාවකට අන්තවාදී මුස්ලිම් සංවිධාන පරාජය වුනි. ටියුනිසියාවේ විප්ලවය සුභ වාදීව අවසන් වුනි. බටහිර මැදිහත්වීමක් කියා දෙයක් මෙහි සිදුවූයේ නැත.

නමුත් butterfly effect හෙවත් එක සිදුවීමකින් හටගන්නා තවත් සිදුවීමක් වශයෙන් වන සිදුවීම් පෙළක් වැනිව මුළු මැද  පෙරදිගම ජනතාව  තම රජයන්ට එරෙහිව පාරට බැස්සහ.    ඕමානය , යේමනය, ඊජිප්තුව, සිරියාව හා මොරොක්කෝව  මුල් තැනක් ගති.

කලකට ඉහත ඇමෙරිකන් විදුලි බල සමාගමක් වූ ඒඊ එස්  (AES) එංගලන්තයේ කෙන්ට් හි මෙඩ්වේ විදුලි බලාගාරය කළමනාකරණය කළේය. (ඔවුන්ට 25% අයත්ය). ඔවුන්ට 1996 දී පමණ කසක්ස්ථානයේ එකිබස්තුස් බලාගාරය මිලදී ගැනීමට අවශ්‍ය විය. රුසියානු භාෂාව දන්නා නිසා විදුලි ඉංජිනේරු පරිවර්තකයෙකු ලෙස එංගලන්තයෙන් ගිය කණ්ඩායම සමග මටද යාමට අවස්ථාවක්   උදවිය. මේ කාර්යය facilitate හෙවත් අතර මැදි  වශයෙන් කටයුතු කළේ ඊශ්‍රායල  කොම්නිපැයකි. එහි අයිතිකරු එම දිගු  ගමන තුලදී   මා සමග මිතුරු වුනු අතර ඔහු කී කතාවක්  මට හොඳට මතකය. (ඊශ්‍රායල පලස්තීන ප්‍රශ්නය  ගැනද අපි සාකච්ඡා කළෙමු.)

ඔහු කීවේ ඊශ්‍රායල රජයේ හා සියොන්වාදී සංවිධානය තුල ප්‍රධාන අදහසක් වන්නේ මැද පෙරදිග කිසිම බලවත් රටකට පැවැත්මට ඉඩක්  නොතැබීමයි. ඔවුන් එකිනෙකා සමග සටන් කර ගන්නා තරමට වාසිය ඊශ්‍රායලයට බවයි. ඔවුන්ගේ යුද්ධ පවතින තුරු ඊශ්‍රායලයට නිදහසේ ජිවත් විය හැකි බවයි. ඒ සඳහා කටයුතු කලයුතු බවයි.

එය වැරදි අසාධාරණ නැත්දැයි මා  ඇසූ  විට අර මා  මුලින් කී  ප්‍රථම  හා දෙවන අරාබි ඊශ්‍රායල යුද්ධ මතක් කරමින් ඔහු පැවසුවේ ඔවුන් සමගි වුවහොත් මුලින්ම  පහර දෙන්නේ ඊශ්‍රායලයට නිසා අරාබින්  එකිනෙකා   මරා ගනිමින් සිටීමට මොසාඩ් සංවිධානය ඕනෑම උදව්වක් කරන බවයි. රුසියාවේ සිටියදී අරාබින් ගේ ආඩම්බරකම් නිසා ඔවුන් සමග එතරම් හොඳින් නොසිටි මා  මේ ගැන සතුටු වූ බව මතකය.

ඇල්ජීරියාවේ අරාබි වසන්තය එලියට ආවේ මුස්ලිම් සහෝදරත්වය (අන්තවාදී සංවිධානයකි) හරහාය. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ ඇල්ජිරියානු හමුදා ලක්ෂයක පමණ පිරිසක් මරා බලය රැක  ගත්හ. ඇල්ජීරියාවේ හමුදාවේ මානව හිමිකම්  කඩ කිරීම් වලට වැඩි විරුද්ධත්වයක් බටහිර පැන නැගුනේ නැත.

 ඊජිප්තුවේ මුබාරක් රජය ඊශ්‍රායලය සමග ඇයි හොඳයිකම් පැවැත්විය. නමුත් මුබාරක්ට විරුද්ධව පැන  නැගුනු විරෝධතා බලවත් වූ අතර ඔහුද බලයෙන් පහවිය.  බලයට පත්වූයේ ඉස්ලාමික සහෝදරත්වයේ ඉත්තෙකු වූ මොර්සිය.

වසරකට පසු මොර්සිට විරුද්ධව සමාජ ජාලා  ආශ්‍රයෙන් මෙන්ම පාරේද විරෝධතා ඇරඹුණු අතර ඔහු බලයෙන් පහ කර බලය පැහැර  ගත්තේ සිසිය.  අබ්දෙල් එල් සිසි හිටපු හමුදා නායකයාය. එංගලන්තයේ හා ඇමෙරිකාවේ යුද විදුහල්වලින් පුහුණුව ලැබූ ඔහු ඊජිප්තු රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂකය. ඊශ්‍රායලයේ හිතවතෙකි.

බහරේන් ආදී බටහිරට සහයෝගය දුන් රටවල විරෝධතා දරුණු ලෙස මැඩ පවත්වන අතර  ඒවායේ මානුෂික අයිතීන් කඩ කිරීම් ගැන හඬක් නැගුවේ බටහිර වාමාංශික පුවත්පත්  කිහිපයක් පමණි.

වසර 2011 දී බටහිර හා ඊශ්‍රායලයේ සහයෝගයද ඇතිව ලිබියාවේ ගඩාෆි බලයෙන් පහ කෙරිණි. මෙහිදී ඇමෙරිකන් හමුදා උපදේශක වරු හා බ්‍රිතාන්‍ය , ප්‍රංශ කොමාන්ඩෝ භටයන් ද සිටියහ. වෙනත් අරාබි මුදල් ක්‍රමයක් ආරම්භ කිරීමට උත්සහ කිරීම නිසා ඇමෙරිකාව සිටියේ ගඩාෆි ට විරුද්ධවය. චීනය විසින්  අප්‍රිකාවේ මිනිසුන් එහි ඔවුන්ගේ පෞද්ගලික ට්‍රාන්ස් නැෂනල් කොම්පැනි වලට වහල් වැඩට ගන්නේ යයිද අප්‍රිකාවේ ඉඩම් මිලදී ගැනීමද විවේචනය කිරීම නිසා ගඩාෆි ට චීනයේ සහයෝගය හිමිව නොතිබුණි. බ්ලෙයාර් හමුවීමට එංගලන්තයට යාම නිසා රුසියාවේ සහයෝගයද අහිමිව තිබුණි.

සිරියාවේ විරෝධතාද පටන් ගත්තේ මේ කාලයේය. සිරියාව ලෙබනනයේ කරන ක්‍රියාදාමයන් නිසා ඊශ්‍රායලයට  සතුරු රටක් වශයෙන් ඔවුන් විසින් සලකන ලදී.  මා පෙර ලිපියේ සඳහන් කල ගෝලාන්  ප්‍රශ්නයද බල පෑවේය. ගෝලාන්  ප්‍රශ්නයේදී බටහිර වැසියන්ගේ හොඳ හිතද තිබුනේ සිරියාව සමගය.  මේ කාලයේදී මට මතක් වුයේ අර ඊශ්‍රායල් ජාතිකයා කී  කරුණය. ඊශ්‍රායලය දිනමින් සිටි.

සිරියාවේ විරෝධතා එක්වරම වගේ කැරලි බවට පත් විය. මුල්ම කැරැල්ල ආවේ අසාද් ගේ පියා දශකයකට ඉහත සංහාරයක් කල හෝම්ස් නගරයේය. "නිදහස් සිරියන් හමුදාව" එහි මුලිකත්වය ගත්තේය.  අසාද් කළේ බෝම්බ දැමීමය. මින්  සිවිල් වැසියන් 250 කට අධික සංඛ්‍යාවක් මිය ගියහ. කාරිමික හා සශ්‍රික වූ අලෙප්පෝ නගරයේද සටන් පැන නැගුණි. "නිදහස් සිරියන් හමුදාව" ලංකාවේ  එල්ටීටීඊ  සංවිධානයේ මෙන් එක උපක්‍රමයක් ක්‍රියාත්මක කළේය. ඒ ජනගහනය රැස්  වී ඇති තැන්  වල සිට සිරියන් රජයේ හමුදා වලට පහර දීමයි.  අසාද් ගේ හමුදා ඒ තැන වලට බෝම්බ දැමීමෙන් වැඩි හරියක් මියගියේ  සිවිල් වැසියන්ය. මින් බටහිර ජන මතය අසාද් ට විරුද්ධව තදින් ඇවිස්සුනි. (ශ්‍රී ලංකාවට විරුද්ධව බටහිර ජන මතය ඇවිස්සුනේද මේවා නිසාය - උදා  යාපනය කෝවිල් සංහාරය )

අසාද් ට විරුද්ධව බටහිර මෙන්ම මැද පෙරදිගද ජනතාව ඇවිස්සුනේ  මින් පසුවය. අසාද් බලයෙන් ඉවත්ව යාම සාකච්චා කිරීමටද චන්ද පැවැත්වීමටද හදිසියේ එකඟ විය.  නිදහස් සිරියන් හමුදාව (Free Syrian Army ) මුලදී කැරලි කරුවන් කණ්ඩායම් කිහිපයක් ගේ එකමුතුවකි.  ඔවුන්ට ඇමෙරිකා  උප ජනාධිපති ජෝ බයිඩන් ගේ මුලිකත්වයෙන් ආධාර ලැබුණු බව විකිලීක්ස් හෙළි කළේය. එසේම මුලින් සිටි ඉස්ලාමික සහෝදරත්වයේ කණ්ඩායමට ඊශ්‍රයලය සහයෝගය දුන් අතර අල් කයිඩා , අයිසිස් කණ්ඩායම් වලට තුර්කිය හා සවුදි අරාබියාව උදව් කළේය. ඇමෙරිකන් හමුදා ඉරාකයේ තබා ගිය ආයුධ බොහොමයක් අල්ලා ගත්තේ අයිසිස් ය.

නමුත් මේ හැමෝම අමතක කල කරුණක් විය. ඒ 1971 සිට අසාද් ගේ පියාගේ බාත් සමාජවාදී පක්ෂ රජය සමග සෝවියට් දේශය අත්සන් කල ගිවිසුමයි. මේ අනුව සිරියාවට ආරක්ෂාව සැපයීමට සෝවියට්  යුධ මධ්‍යස්ථානයක් ටර්ටුස් නගරයේ ඉදි විනි. එම නගරයට සෝවියට් දේශයට ඇති වැදගත් කම නම් එහි ඇති වරායයි . සෝවියට් යුද නෞකා  එහි රැඳවුනි . මැද  පෙරදිගට හා එහි මධ්‍යධරණී මුහුදට සෝවියට් බලපෑම් එල්ල කිරීමට අවශ්‍ය තැනක් සකස් වුනි.

සෝවියට් දේශය 1991 බිඳ වැටෙන විට එහි ණය ගිවිසුම් , යුධ මධ්‍යස්ථාන  හා අනිකුත් ගිවිසුම් භාර ගත්තේ රුසියන් සමුහාණ්ඩුවයි. මෙනිසා නිත්‍යානුකුලව සිරියානු යුද්ධයට අත පෙවීමට තවත් රටක් හෙවත් - තවත් අයෙක් ඉදිරිපත් විය. ඒ රුසියාව හා රුසියන් ජනාධිපති ව්ලැඩිමීර්  පුටින්ය. ඇෆ්ඝනිස්ථානයේ සිදුවූ දෙයෙහිම   අනිත් පැත්ත වන්නට පටන් ගත්තේ ඉන්පසුවය.

 - මතු සම්බන්ධයි

BBC Investigation Exposes Western Aid To Syrian Rebels As ‘Wal-Mart’ For Extremists


ප.ලි.
බ්ලොගය කියවන්නට පැමිනෙණ  ඔබ සැමට සැපත සෞභාග්‍යයෙන් පිරි  සුභ 2017 නව වසරක් වේවා. 

Thursday, 29 December 2016

තවත් සොඳුරු හදවතක් නත්තල් දා අපෙන් සමු ගති

ජෝර්ජ් මයිකල් සහ ඇන්ඩ්රූ රිජ්ලි 
ජෝර්ජ් මයිකල් ගේ මුල්ම වැම් ගීත එළි  දුටු සමයේ මා  සිටියේ සෝවියට් දේශයේය. රොක් ගීත කණ්ඩායම්  බොහොමයක් තහනම් කර තිබුනද ඔහුගේ "Wake Me Up Before You Go-Go" අපේ නේවාසිකාගාර වල පැවැත්වූ ඩිස්කෝ සාදවල වාදනය කෙරුණි. 

නමුත් මගේ ප්‍රියතම ගීතය වූයේ ද  බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ගීතය වූ "කෙයාර්ලස් විස්පර් careless whisper " ගීතයයි. එහි මේ කොටස සැමවිටම මතකයේ රැදුණු ගීත ඛණ්ඩයකි. ජෝර්ජ්  ගීතය ලියුවේ වයස 17 දී වුවද ඔහුගේ මිතුරා වන ඇන්ඩ්රූ ට කර්තෘ භාගයක් හිමිවන පරිදි සම කර්තෘ ලෙස මිතුරා  නම් කළේය. එසේ කළේ මිතුරාට මුදල් ප්‍රශ්නයක් පසු කලෙක ඇති නොවනු පිණිසය.

"යහළුවකු (යෙහෙළියක) ට වංචා නොකර සිටින්නට තිබුනත් 
මට ලැබුණු අවස්ථාව මග හැරියෙමි 
නැවත  මම නර්තනයේ නොයෙදෙමි 
මා ඔබ සමග යෙදුනු ලෙසින් 
Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you 
පහත ඇත්තේ ඒ ගීතයයි. 

සෝවියට්   දේශයේ ඩිස්කෝ වල වාදනය කෙරුණු "Wake Me Up Before You Go-Go"  ගීතයේ වීඩියෝව මා  දුටුවේ ගොර්බචෝව් ගේ පාලනයේ අවසන් කාලයේදී 1988 පමණ දිය. වීඩියෝව සෝවියට් දේශයේ සංස්කෘතියට අනුකුල නොවුවක් ලෙස තහනම් කර තිබී යයි සිතමි.
සෝවියට් දේශයේ තහනම් කරන ලද සංගීත කණ්ඩායම් සමුහයේ wham කණ්ඩායම තිබුනේ නැත. 
සෝවියට් දේශයේ තහනම් කර තිබු සංගීත කණ්ඩායම් 
සමහර විට ජෝර්ජ් මයිකල් සහ ඔහුගේ වැම් සාමාජික ඇන්ඩ්රූ රිජ්ලි 1985 දී චීනයේ කරන ලද සාර්ථක සංචාරය ද හේතුවක් වන්නට ඇත.

ඔහු විසින් 1987 දී එලි දක්වන ලද ෆේත් (විශ්වාසය) නමැති ඇල්බමයේ බොහෝ ගීත සොඳුරු ඒවා විය.  ෆේත් නමැති ගීතය ම ඉතා ප්‍රිය කරන්නකි.

ඔහුගේ "පියෙකු මෙන් - father figure  " ගීතයද එවැනිම සොඳුරු ගීතයකි.

තවත් පිරිමියෙකු සමග කල අවිනීත  ක්‍රියාවක් සම්බන්ධයෙන් ජෝර්ජ් මයිකල් ඇමෙරිකන් පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නේ 1998 දීය. බෙවර්ලි  හිල්ස් පොලිසියට ඔහු නම දී තිබුනේ  ජෝර්ජියෝස් කිරියකොස් පනයෝටු නම් ග්‍රීක නමයි. (Georgios Kyriacos Panayiotou).  ඔහු සම ලිංගික යයි කට කථා තිබුනද ඒ බවක් බොහෝ අය මෙන්ම මාද දැන  නොසිටියෙමි.  ඔහු ළමා අපචාර කරුවෙකු යයිද එංගලන්තයේ කටකතා පැතිරුණි.  බෙවර්ලි හිල් පොලිසියට උපහාසයක් ලෙස "එලියට යමු" නම් මෙම ගීතය ඔහු ගායනා කළේ මේ සිද්ධියෙන් පසුවය.


ඔහු ඇත්ත වශයෙන්ම මුලදී  බොහෝ පෙම්වතියන් ගණනක්ම  ඇසුරු කළේය. නමුත් 1998 දී සීඑන්එන් නාලිකාවට දුන් සම්මුඛ සාකච්ඡාවකදී තරුණියන් ඇසුරු කලද තමන් සම ලිංගික බව ඔහු පිලි ගත්තේය. මුලදී ඇත්ත වශයෙන්ම තමන් සම ලිංගික යයි නොසිතු බවද ඔහු පිලි ගත්තේය.

මෙහිදී අනුකම්පා සහගත කරුණ නම් ඔහු තම පියා හා මව වෙනුවෙන් තම ලිංගිකත්වය සඟවා ගෙන බොහෝ කලක් ජිවත් වීමයි. දැඩි ග්‍රීක ඔර්තොඩොක්ස් නිකායික ව්‍යාපාරිකයකු වූ පියාද පිළිකාවෙන් පෙලෙන මවගේද හිත් පාරා ජිවත් වීමට ඔහු අකමැති විය.  
මෙවැන්නක් දෙමාපියන් ගෙන් පමණක් නොව ලෝකයෙන්ම සඟවා ගෙන සිටීම කොතරම් දුෂ්කර වන්නට ඇත්ද? 
ඔහුගේ මේ "වෙනත් කොනක සිට A Different Corner " ගීතය ගයන්නේ ඒ නිසාද?

ඔහුගේ ආදරවන්තයා  වුයේ බ්‍රසීලියානු ජාතික අන්සෙල්මෝ ෆිලිප්ප නමැති තරුණයෙකි. එම පෙම්වතාට ඒඩ්ස් රෝගය සෑදී තිබෙන බවට ජෝර්ජ් දැන ගත්තේද පසුවය.  ඒ ගැන සන් පුවත්පතේ පලවන්නේ මෙලෙසය.  අන්සෙල්මෝ මිය ගියේ 1993 දීය. ඒ වනවිට තම සමලිංගික භාවය වසන් කර සිටි හෙයින් ජෝර්ජ් එය විඳ දරා  ගත්තේ තමන්ගේ හොඳම යහළුවා සමග පමණි. මේ මානසික ආතතීන් මෙන්ම තම ජනප්‍රියත්වයද ඔහුට දර ගන්නට නොහැකි වන්නට ඇත. ඔහුගේ දැඩි මත්ද්‍රව්‍ය භාවිතය ගැනද පුවත් පත් වල පල විය.

"ජේසුස් ගෙන් දරුවකුට" Jesus to a child ගීතය ඔහු ගායනා  කලේ මේ පෙම්වතා වන අන්සෙල්මෝ වෙනුවෙනි.

ඔහු 1998 දී කළ  ඉහත අවිනීත ක්‍රියාව සමහර විට  ජිවිතයේ මේ ඛේදාන්තය මත  සිදු වුවක් විය හැකිය. 

 එසේම 1997 දී  පිළිකාවෙන් මිය ගිය තම මව වෙනුවෙන් ඔහු පිළිකා වැළැක්වීම සඳහා කටයුතු කරන සංවිධාන වලට විශාල මුදල් පරිත්‍යාගයන් කළේය. තමන් ගැන ප්‍රසිද්ධ නොකරන පොරොන්දුව පිට පිලිකා  සැදුනු දරුවන් හා රෝගීන් ට උපස්ථාන කිරීමට රෝහල් වලට  ගිය ඔහු හෙදියනට තම ප්‍රසංග වලට ටිකට් නොමිලේ දුන්නේය. 
"ලන්ඩනයේ  ළමයෙකුට උදව් කරමු- help  a London child " යන ප්‍රජා උපකාර පදනමට වසරකට පවුම් ලක්ෂය බැගින් ප්‍රදානය කළේය.  වරෙක අයි වී එෆ් ප්‍රතිකාරයක් සඳහා මුදල් සොයන ළමයි නැති කතකට  පවුම් 15000 ක්ද හෙද ශිෂ්‍යාවකට ණය ගෙවීමට පවුම් 5000ක් ද ප්‍රදානය කර තිබේ. රැකියා නැති පතල් කම්කරුවන්ට සහය පිණිස කිහිප වතාවක් නොමිලේ ප්‍රසංග වලට සහභාගී වී තිබේ.  නිහඬව කල මේ පරිත්‍යාග එලි වන්නේ දැන්ය.  

ලන්ඩනයේ හිසට වහලක් නැති (homeless ) අනාථයන් සඳහා පවත්වන  සුප් දන්සල් වල මෙන්ම ඔවුන්ට නිදා ගැනීමට ඉඩ සලසන සෙන්ටර් පොයින්ට් වැනි ආයතන වල ස්වේච්ඡාවෙන්  කටයුතු කලේ රහසේය. 

ඔහුගේ ගීත අතුරින් මා තවත් ප්‍රිය කරන ගීතයක් වන්නේ  "ඉක්මන්  ආදරය fast Love " නමැති ගීයයි.

ඔහුගේ තවත් ඉහල ලෙස විකිණී ගිය  ඇල්බමයක ගීතයක් වන්නේ "අවසන් නත්තල  - last christmas " යන්නය. ඕනෑම නත්තල් කාලයක  ඉංග්‍රීසි කතා කරන ලෝකයේ මෙන්ම ජර්මනිය හා අනිකුත් යුරෝපිය රටවල මේ ගීතය අනිවාර්යයෙන්ම වාදනය වේ. වසර 1984 එලි දුටු එම  ඇල්බමයේ සියලු ලාභය ඔහු බෑන්ඩ් ඒඩ් (band aid )  සංවිධානයට පරිත්‍යාග කළේය.

මේ පරිත්‍යාගශීලි සොඳුරු ගායකයා ලෝකයට සමු දුන්නේද 2016 දෙසැම්බර්  25 නත්තල් දිනයේදීය. 

ප.ලි.
ඉහත සඳහන් සෝවියට් දේශයේ සංගීත කාණ්ඩ තහනම් ලේඛනය උපුටා ගත්තේ මෙතැනිනි.  http://www.spin.com/2014/06/list-western-bands-music-russia-banned-soviet-union/

ෆේත් වදන් ;

I feel so unsure
As I take your hand and lead you to the dance floor
As the music dies, something in your eyes
Calls to mind the silver screen
And all its sad good-byes

I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know you're not a fool

Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you

Time can never mend
The careless whispers of a good friend
To the heart and mind
Ignorance is kind

There's no comfort in the truth
Pain is all you'll find
I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know you're not a fool

I should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you

Never without your love
Tonight the music seems so loud
I wish that we could lose this crowd
Maybe it's better this way

We'd hurt each other with the things we'd want to say
We could have been so good together
We could have lived this dance forever
But no one's gonna dance with me

Please stay
And I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know you're not a fool

Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you

(Now that you're gone) Now that you're gone
(Now that you're gone) What I did's so wrong, so wrong
That you had to leave me alone

Wednesday, 21 December 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - දොළහ

රොස්තොව් මයෝනේස් බෝතලයක් 
යහළුවන් සමග ආහාර ගනිද්දී තාන්යා අමාරුවෙන් අතින්ම  කෑවාය. ඇය එසේ කලේ අතින් බත් කන විට රස බව ගිහාන් කී හෙයිනි. ඇඟිලි පහම පිඟාන වටින්ම බත් එකතු කරමින් කන ඇය දුටු  නේවාසිකාගාරයේ අනික් ශ්‍රී ලාංකික දෙදෙනා එයට උසුළු විසුළු කළේ හෙට අනිද්දා සාරියකුත් අන්දපන් කියමිනි. තාන්යා ට කෑම සැර බව දැනුණු ගිහාන් මෙයෝනේස්  (mayonnaise) ස්වල්පයක් පිඟානට දැමුවේය. ඔහු මෙයෝනේස් සමග බත් කෑම ප්‍රිය කරයි. තාන්යා කළේ කඳුළු පෙරමින්ම කුකුළ්මස් හා මාළු මිරිස් වෑන්ජනය සමග අමාරුවෙන් බත් ටික ගිලීමයි. බත් කෑ වහාම ඈ කළේ ශීතකරණයේ තිබු ස්මිතානා (රුසියානු යෝගට් වර්ගයක්)  වලින් භාගයක්ම ගිල දැමීමයි. ඇය සිටින විට සැරට ඉවීම නුවුමනා යයි ගිහාන් ට සිතිනි.

යහළුවන් පිරිස බොහෝ වේලා කතා කරමින් හිඳ විසිර ගියේ කහට තේ ද පානය කරමිනි. රුසියාවේ වරේනියා නම් පළතුරු ජෑම් වර්ගයක් සමග තේ බිම රුසියානුවන් නිතර කරන දෙයකි. තේ වලට කිරි දමන්නේ නැත. ඉතිරි වී තිබූ කේක් හා වරේනියා සමග ඔවුන් සෑහෙන වෙලාවක් තේ පානය කළේ රුපවාහිනියේ කතාවක්  ද නරඹමිනි.

රුපවාහිනී නරඹන අතරේ තුරුළු කරගෙන සුරතල් වුවද තාන්යා සිටියේ හැඟීම් බරව බව ගිහාන්ට වැටහිණි. එනිසා ඔහු වෙනදා  මෙන් ලිංගිකව එක්වීමට උත්සහ කළේද නැත. තුරුළු වී බැලුවේ රොක් ඔපෙරාවකි. එය සෝවියට් දේශයේ රුපවාහිනියේ නිතර පෙන්වන "යුනනා සහ අවොස් " නම් සංවේදී ගීතයක්ද  ඇතුලත් සංගීතමය ඔපෙරාවකි.
ඔපෙරාවේ සඳහන් යාත්‍රාව 

ඔපෙරාවේ අපූරු ගීතයක්  තිබේ. එහි සිංහල තේරුම ගැන ගිහාන් මතක් කළේය. අදත් ඔහුගේ සිතේ එය ගීතමය කාව්‍යයක් ලෙස රැඳී තිබේ.

"ඔබ හිමිදිරියේ  මා නැගිට වන්න
පාවහන් නොමැතිව මා ඉවතට යනු දකින්න
නුඹ මා කිසි දිනක අමතක නොකරනු ඇත
නුඹ මා කිසි දිනක  නැවත නොම දකිනු ඇත

ශීතලෙන් ඔබව  රැක  ගන්න
යදිමි මා දෙවියන්ගෙන්
මා කිසි දිනක නුඹව අමතක නොකරමි
මා කිසි දිනක නුඹ නැවත නොම දකිමි 

සුළඟට හසුවී ඉරී තැලී හඬන
බලාපොරොත්තුවක්  නැති දුඹුරු වී ගිය චෙරි
දෙන්නේ අඳුරු සලකුණක්මය
මා නැවත නුඹ  දකින්නේ නැත

තේරුමක් නැති  වදන් පෙළක් මෙහි සිට
පැද්දි පැද්දී  ඉගිල යනු ඇත උඩට
මා කිසි දිනක නුඹව අමතක නොකරමි
මා කිසි දිනක නුඹ නැවත නොම දකිමි

මා දනිමි, නුඹ නික්ම යන බව ඉක්මනින්
ඒ ඉක්මනින්ම  අපි එක්වෙනු ඇත සදාකාලිකවම
මට නුඹ නික්ම යනු දැකිය නොහැකියි
මට උඹ ඉක්මනින් නික්ම යන්නටත් අවැසියි
මට දැනෙන්නේ මට නුඹ අහිමි  වෙනවා වගේ

මා කිසි දිනක නුඹ නැවත නොම දකිමි
මා කිසි දිනක නුඹව අමතක නොකරමි  "


තාන්යා ඔපෙරාව තදින්  හිතට ගත්  බවක් පෙනුනි. ඔපෙරාවේ කතාවද සත්‍ය කතාවක්  මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි.

ඇලස්කාව ඒ දිනවල අයත්ව තිබුනේ රුසියාවටය. එහි ජනකායට අවශ්‍ය ආහාර හා අනිකුත් ද්‍රව්‍ය ලබා ගැනීමට ගිය ගවේෂණ කණ්ඩායමේ සිටි රෙසානොව් නමැති ධනවත් සිටුවරයා කැලිෆෝර්නියාවට ගියේය. ඒ 1806 දී පමණය. එහිදී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ හමුදා සේනාධිපති මුණ ගැසෙන අතරතුර ඔහුගේ දහසය හැවිරිදි දියණිය කොන්චිටා අර්ගුවේලෝ සමග පෙමින් බැඳෙයි. නමුත් රුසියානු ඔර්තොඩොක්ස් රේසානොව් ට කතෝලික කොන්චිටා සමග විවාහ වීමට තහනම් හෙයින් සාර් රජුගේ අවසරය ගැනීමට ඔහු නැවත රුසියාවට පැමිණෙයි.  ආපසු කැලිෆෝර්නියා  යන ගමනේ දී සයිබීරියාවේ ක්‍රස්නයර්ස්ක් නගරයේදී උණක් වැළඳුණු  ඔහු මියයයි. ඒ බව නොදත් කොන්චිටා ඔහු නැවත  එනතුරු බලා සිටී.

වසර 1842 දී ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් සිම්ප්සන් රෙසානොව් ගේ මරණය නිවැරදි ලෙස කොන්චිටා ට දන්වයි. වසර තිස් පහක්ම විවාහ නොවී රෙසානොව් ට බැඳී  ප්‍රේමය වෙනුවෙන්  දිවිය කැප කල කොන්චිටා ඩොමිනිකන් කන්‍යාරාමයක ට යයි. තවත්  වසර විස්සක් එහි ජිවත් වන ඇය මිය යන්නේ 1857 දීය.

රොක් සංගීතය තහනම්ව තිබු කාලයක සෑදු මෙම ඔපෙරාව තහනම් කරතියි බොහෝ අය බලාපොරොත්තු වුවත් එසේ වූයේ නැත.
 මේ සැබෑ කතාව  වුනත් ඔපෙරාවේ කතාව  මදක් වෙනස්ය. යුනනා සහ අවොස් යනු ඇමෙරිකා යන නැව් දෙකය. ඇමෙරිකාවේදී  කොන්චිටා විවාහ කර ගැනීමට එන සෙන්පති සමග රෙසානොව් ට සටන් කරන්නට වන සිදුවීමක් ද ඔපෙරාවට ඇතුළත්ය. ඔපෙරාව ගිය කාලයේ බටහිර ජන මාධ්‍යද එය වර්ණනා කළේ රොක් සංගීතය හා බැඳුනක් ලෙස හුවා දක්වමිනි.

තාන්යා ඇගේ නිල් පැහැ දෙනෙත් රවුම් කරමින් ඔහු දෙස බලා සිටියාය.
"ඔයත් මාව දාල යයි. කලින් මට ඒක කමක් නැහැ කියල හිතුනත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ. " ඇය කීවාය.
ඇයට  කිනම් පිළිතුරක් දෙන්න දැයි ඔහුට සිතාගත නොහැකි විය.
"මට ඔයාව අමතක කරන්න බැරි වෙයි " සෙමින් ඔහුගේ ගෙලට ලං වෙමින් චුම්බනයක් දුන් ඈ ඔහු ගේ උරහිසට හිස හේත්තු කළාය.

"යා ලුබ්ලු තෙබ්යා. යා තක් ලුබ්ලූ තෙබ්යා" (මම නුඹට ආදරෙයි. මම නුඹට එපමණ ආදරෙයි) ඇය ඔහුගේ කණට කොඳුලාය.

ගිහාන් තුෂ්නිම්භූත වූවේය. වචනයක් පිට කර ගත නොහැකිව ඔහු ලත වුනේය.

එය ඇසිය යුත්තේ රුසියානු භාෂාවෙන් මය. පෙමින් වෙලුනු  තරුණියක් මුදු ලෙසින් ආදරය පවසන හඬ හදවතේ  නින්නාද වන්නේ භාෂා භේදයකින් තොරව බව ගිහාන්ට දැනුණේය.

"ඔයා මුකුත් නොකිව්වට කමක් නැහැ " තාන්යා සිහින් කෙඳිරියකින් මෙන්  මිමිණුවාය.

ඇගේ දෙනෙත් තෙත් වී ඇති බව ඔහුට පෙනුනි. ඒ ඔපෙරාවටද නැත්නම් දැන් ඇය කියූ දෙයටද යන්න ඔහුට සිතා ගත නොහැකිය.

ඇය දැඩිව වැළඳගත් ඔහු "මම ඔයාට ආදරය කරන්න  ගත්තේ මුල් දවසෙම වගේ. කියන්නේ කොහොමද කියන එක තමා හිත හිත හිටියේ" ඔහු මදක් නැවතී ඉස්පාසුවක් ගත්තේය.

"මම ඔයාට ආදරෙයි" ඔහු සිංහලෙන් කීවේය. "යා ලුබ්ලු තෙබ්යා සිංහලෙන්. ඔහු නැවතත් පැවසීය"
"මාම ඔආට ආඩරයි" ඇය සුරතල් ලෙස පැවසුවාය.

තුරුළු වී නොනිදා  ගත කළ රැයෙන් පසුව ඔවුන් වඩා දැඩි ලෙස එකිනෙකාට බැඳුනු බව ගිහාන් සිතුවේය.

මාස දින ගණන් ගෙවී ගියේ නොදැනුවත්වමය. ඊළඟ වසන්ත සමය  එළඹෙමින් තිබුණි.

~ මතු සම්බන්ධයි.  ප්‍රබන්ධයකි. නම්ගම් සියල්ල  මනඃකල්පිතය.

ප.ලි: බ්ලොගය කියවන ඔබ සැමට ප්‍රීතිමත් නිවාඩු කාලයක්, නත්තල සමරන ඔබට සුභ නත්තලක් සහ සැමටම සුභ හා වාසනාවන්ත නව  වසරක් පතමි.

-වසර 2000 දී කැලිෆෝර්නියාවේ බෙශ්නික් නගරයේ ෂෙරිෆ් විසින් කොන්චිටා ගේ අළු ස්වල්පයක් ක්‍රස්නයරස්ක්  වලට රැගෙන එන ලදී. එහි සොහොනේ "මා ඔබ අමතක නොකරමි", "මා  ඔබ නැවත නොදකිමි" යනුවෙන් සටහන් කර තිබේ.

ගීතය යුටියුබ් වල බලන්න


රුසියානු වදන් පෙළ :


Ты меня на рассвете разбудишь
Проводить необутая выйдешь
Ты меня никогда не забудешь
Ты меня никогда не увидишь

Заслонивши тебя от простуды
Я подумаю: "Боже, Всевышний"
Я тебя никогда не забуду
Я тебя никогда не увижу

Не мигают, слезятся от ветра
Безнадежные карие вишни
Возвращаться - плохая примета
Я тебя никогда не увижу

И качнутся бессмысленной высью
Пара фраз залетевших отсюда
Я тебя никогда не увижу
Я тебя никогда не забуду

И качнутся бессмысленной высью
Пара фраз залетевших отсюда
Я тебя никогда не увижу
Я тебя никогда не забуду

Я знаю, чем скорее уедешь
Тем мы скорее вечно будем вместе
Как не хочу, чтоб уезжал
Как я хочу, чтоб ты скорее уехал
Мне кажется, что я тебя теряю

И качнутся бессмысленной высью
Пара фраз залетевших отсюда
Я тебя никогда не увижу
Я тебя никогда не забуду

Я тебя никогда не увижу
Я тебя никогда не забуду

Tuesday, 20 December 2016

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 2

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1 
හෆෙස් අල් අසාද් (වත්මන් ජනාධිපති ගේ පියා)
සිරියානු ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම පටන් ගත්තේ අද ඊයේ නොවේ. එය 1967 දක්වා දිවෙන්නකි. වසර 1948 අරාබි ඊශ්‍රායෙල්  යුදයෙන් ඊශ්‍රායලය බොහෝ පලස්තීන පෙදෙස් අලලා  ගත්තේය. වසර  1967 දී ඊජිප්තුව , ජෝර්දානය හා සිරියාව ඊශ්‍රායාලය සමග කල තුන්වන අරාබි ඊශ්‍රායල යුද්ධය සය දින යුද්ධය නමින් හැඳින්වෙයි. සිරියාව යුද්ධයට ඇද ගත්තේ ඊජිප්තු නායක ගමෙල් අබ්දුල් නසර්ය.

එහිදී  ගෝලාන් (golan heights ) නමැති පෙදෙසෙන් තුනෙන් දෙකක්ම ඊශ්‍රායාලය නතු වුනේ අරාබි රටවල් යුදයෙන් පැරදීම නිසාය. පරණ ඉස්ලාමික ලෙවන්ට් (මෑත කාලයේ අයි එස් අයි එස් ත්‍රස්තයන් අල්ලා ගත් පෙදෙස් ) රාජ්‍යයට අයත්ව තිබු ගෝලාන් කඳුකරයේ නැගෙනහිර කුඩා කොටසක් පමණක් සිරියාවට ඉතිරි විය. අන්තරජාතික නීතියට අනුව මුළු ගෝලන් පෙදෙසම අයිති සිරියාවටය. නමුත් එය ආක්‍රමණය කර අල්ලාගත් ඊශ්‍රායලය එය නැවත  දීමට අකමැති විය.  විශේෂයෙන් සම්මත කරගත් යුදෙව් පනතක් මගින් එම පෙදෙසේ පාලනය මෙන්ම අලුත් ජනාවාස අනවසරයෙන් ඉදි කිරීමටද ඊශ්‍රායාලය පටන් ගත්තේ,  එයට එරෙහිව සම්මත කරගත් එක්සත් ජාතින් ගේ සංවිධානයේ යෝජනාවටද විරුද්ධවය.

මෙයට හේතුව සියෝන්වාදීන් ගේ තර්කයකි. සියෝන්වාදීන්  යනු සියලු යුදෙව්වන් තම මව් රටට (පලස්තීනයට) ගෙන යාමට හා යුදෙව් ජාතිය ආරක්ෂා කර ගැනීමට 1897 දී තියෝදෝර් හර්සල් විසින් පිහිටවූ දේශපාලන සංවිධානයට  සහයෝගය දෙන්නන්ය.  ඔවුන් ගේ අදහස වුයේ නියම ඊශ්‍රායලය වටේ බෆර් සෝන් හෙවත් රට ආරක්ෂා කරන ගොඩබිම් වළල්ලක් තිබිය යුතු බවයි. එවිට ආක්‍රමණයක දී ඔවුන්ට තම රටට පසු බැසීමට හැකි වනු ඇත.  බලයෙන් ඉදි කරන ජනාවාස වලින් සතුරාගේ පහර දීම බලහීන  කරනු ඇත. ඊශ්‍රායලය පැත්තෙන් මෙයට වරදක් කිව නොහැකි වුවත් අන්තර්ජාතික නීතියට අනුව  එය වැරදිය.

අරාබිකරයේ බාත්  සමාජවාදී ව්‍යාපාරය නමින් දේශපලන ව්‍යාපාරයක් සිරියාවේ 1952 පමණ ස්ථාපිත විය.  අරාබි බාත් පක්ෂයේ සිරියානු ශාඛාව,   කුමන්ත්‍රණයකින් සිරියාවේ බලය වසර  1963 දී අල්ලා  ගන්න ලදී. එහි දෙවන කුමන්ත්‍රණයේ නායකයා වූ ජදීඩ්  බලයෙන් පහ කර හෆෙස් අල් අසාද් (වර්තමාන  ජනාධිපති ගේ පියා ) 1970 දී බලය පැහැර  ගත්තේය. වසර 2000 දී මිය යන තුරුම සිරියාවේ පාලකයා වුයේ ඔහුය.

ඔහු විසින් බාත් පක්ෂයේ යුද ලෙනින්වාදය නමින් හැඳින්වූ ක්‍රමය මුළුමනින්ම වෙනස් කර ස්ටාලින් මෙන්  එක පක්ෂයක් පමණක් ඇතිකර තමන් ජනාධිපති ලෙස නම් කළේය. ඔහුගේ සහ කියුබාවේ කස්ත්‍රෝ ගේ පාලන ක්‍රම අතර ප්‍රධාන වෙනස්කම් කිහිපයක් විය. ඔහු සිරියාවේ පෞද්ගලික දේපල ක්‍රමය පවත්වා ගත්තේය. කුඩා ව්‍යාපාර රජයට පවරා ගත්තේද නැත. සිරියානු ගැහැණුන්ට ඉගෙනීම ලබා දුන් අතර ඉස්ලාමික ෂරියා  නීතිය ඉවත් කර දික්කසාද වීමේ අයිතියද ලබා දුන්නේය. මේ නිසා ඉස්ලාමික සංවිධාන වල වෛරයට පත්‍ර  වුනු අතර 1980 ගණන් වන විට පාලනයට එරෙහිව ඉස්ලාමික කැරලි පැන  නැගුණි. ඔවුන්ට එරෙහිව දැඩිව කටයුතු කල බැවින් බටහිර රටවලින් මානව හිමිකම් කඩ කිරීමේ  චෝදනා වලට ලක් වුනි.  වසර 1982 දී හමා නගරයේ  මුස්ලිම් සහෝදරත්වය දියත් කල කැරැල්ලේ  සියලු දෙනා  මරා මැඩ පැවැත්වූ නිසා "හමා ඝාතකයා" වූ අතර බටහිරින් එන විවේචන මැද  ඔහු සෝවියට් දේශයට හේත්තු වුනි.

සෝවියට් හිතවාදී පිලිවෙතක් ඔහු හැත්තෑ ගණන් වල සිට ගෙන ගියේ ඊශ්‍රායලය ට තිබු ඇමෙරිකානු සහයෝගය නිසා බවද නොරහසකි. එසේම ඊශ්‍රායලය විසින් ගෝලාන් කඳුකරය යටත්  කර ගෙන සිටීම ඔහුට ඉවසුම් නොදුන් කරුණක් විය.  මේ නිසා හිස්බුල්ලා වැනි ලෙබනන ත්‍රස්ත සංවිධාන හා යසර් අරපත් ගේ පලස්තීන විමුක්ති සංවිධානයටද හමාස් සංවිධානයටද  මුදලින් මෙන්ම අවි ආයුධ වලින් ආධාර කිරීම නොකඩවා කළේය.  මේ නිසා අසාඩ් ගේ පාලනය ඊශ්‍රායල පාලනය කල සියෝන්වාදීන්ට දැඩි හිසරදයක් විය. මේ හේතුවෙන් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය   ඉරාකයේ, ඊජිප්තුවේ මෙන්ම සිරියාවේ පාලනයට විරුද්ධව කැරලි ගසන ඉස්ලාමික සහෝදරත්වයේ ත්‍රස්ත සංවිධාන වලට මුදලින් ආධාර කළේය.

  මේ කාලයේ ඉරාකයේ බලය ඉරාක  බාත් සමාජවාදී පක්ෂයට හිමිව තිබුණි. වසර 1979 සිට ඉරාකයේ නායකයා වුයේ තවත් ඒකාධිපතියකු වූ සදාම් හුසේන්ය.

මා සෝවියට් දේශයේ උගත් කාලයේ සිරියන් කුර්දිස්ථාන් ජාතිකයකු ද එම පාඨමාලා වේම  සිටියේය. ඔහු පැවසූ පරිදි තුර්කිය, ඉරාකය, ඉරානය හා සිරියාව බෙදාගෙන සිටි කුර්දිස්ථානයේ කුර්දි වරුන්ට හොඳින් සැළකු  එකම නායකයා අසාද් ය. සදාම් හුසේන් මෙන්ම  තුර්කියද  කුර්දි වරුන් සිරගත කල අතර දරුණු ලෙස මර්දනයද කළේය. සදාම් ගේ පාලනය වඩාත් මර්දනකාරී එකක් වූයේ ඔහු බොහෝ රාජ්‍ය විරෝධීන් සිර ගත කල නිසාය.

මේ රටවල් දෙකේ තවත් ලක්ෂණයක් වුයේ නිදහස් අධ්‍යාපනය හා රජයෙන් පවත්වා ගෙන ගිය සෞඛ්‍ය  සේවයයි. පෞද්ගලික වෙළඳාම ට ඉඩ දී තිබුනද මේ හේතූන් නිසා ඒවා අර්ධ සමාජවාදී රටවල් ලෙස බටහිර රටවල් සැලකූහ. මේ නිසා සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට්  රාජ්‍ය පද්ධතියට තිබු විරෝධයෙන් කොටසක් සිරියාවට ද හිමිව තිබුණි.
අසාද් ගේ දෙවෙනි පුතා බෂර් අල් අසාද් වත්මන්  ජනාධිපති 

 කෙසේ වුවද අසාද් ගේ පුතා මෙන්ම රජයේ ඉහල අයගේ දරුවන් ඉගෙන ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හා එංගලන්තයේය.  බෂාර් අල්  අසාද් ලන්ඩනයේ බටහිර අක්ෂි විශේෂඥ පාසලේ අක්ෂි විශේෂන්ඥයකු වීමට උගත්තේය.
ලන්ඩනයේ අක්ෂි විශේෂඥ ආරෝග්‍ය ශාලාව 

 ජනාධිපති වීමට නියමිතව සිටි ඔහුගේ වැඩිමල් සොහොයුරා රථ වාහන අනතුරක දී මිය ගියෙන් බෂාර් ලන්ඩනය හැර සිරියානු හමුදාවට බැඳීමට  ගියේය.  බෂාර් ගේ බිරිඳ අස්මා අල් අසාද් සිරියානු දෙමව්පියන්ට දාව බ්‍රිතාන්‍යයේ ඉපදුනු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇයට ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් (king's college) පරිගණක විද්‍යාවට උපාධියක් තිබෙන අතර ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ලබාගත් MBA උපාධියක් ද තිබේ. ඔවුන් දෙදෙනා විවාහ වුයේ වසර 2000 දීය. 

එංගලන්තයේ උගත් අසාද් පුතා හා ඔහුගේ බිරිඳට බටහිර මාධ්‍ය මෙන්ම බටහිර දේශපාලන නායකත්වයේද කැමැත්ත හිමිව තිබුණි.  පියාගේ මරණයෙන් පසු අසාද් ගේ දෙවෙනි පුතා ජනාධිපති කමට පත් විය. සවුදි  අරාබියේ මෙන් නොව කාන්තාවන්ට රථ වාහන පැදවීම මෙන්ම වෙනත් අයිතිවාසිකම් හිමිව තිබුණි. ක්‍රිස්තියානි හා බහායි ආගම ඇදහීමට බාධාවක් තිබුනේ ද නැත.
අස්මා අල් අසාද් බ්‍රිතාන්‍ය ජාතික ජනාධිපති බිරිඳ  

 බෂර් අසාද් විසින් මා මුල් ලිපියේ සඳහන් කළ පෞද්ගලික බැංකු ක්‍රමය හඳුන්වා දුන් අතර අස්මා ඉන්දියාවේ ක්‍රියාත්මක වුනු මයික්‍රෝ ක්‍රෙඩිට් ක්‍රමය සිරියාවේ ග්‍රාමීය පෙදෙස් වලට හඳුන්වා දුන්නාය. වසර 2011 වනතුරු මේ රටේ ඒකාධිපති පවුල් පාලනයට බටහිරින් එතරම් බාධාවක් වුනේ නැති වුවත් ඊශ්‍රායලයේ හා ඇමෙරිකානු ඔත්තු සේවා වල මුදල් නොකඩවා ඉස්ලාමික සහෝදරත්වයට ලැබී තිබුණි.

අරාබි වසන්තය එළඹියේ මේ අතරය.

  _ මතු සම්බන්ධයි.

මුලාශ්‍ර:
1.https://en.wikipedia.org/wiki/1948_Arab%E2%80%93Israeli_War
2.https://en.wikipedia.org/wiki/Six-Day_War
3. http://www.truetorahjews.org/whatiszionism


Sunday, 18 December 2016

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1

60 දශකයේ ඇෆ්ඝන් තරුණියන්  පෙළපාලියක 

ඇෆ්ගන් කතාව: හැටේ දශකයේ සහ හැත්තෑව දශකයේ  ඇෆ්ඝනිස්තානය නිදහස් රටකි. සාමාන්‍ය දියුණු වෙමින් පවතින මිශ්‍ර ආර්ථිකයක්, හොඳ විශ්ව විද්‍යාලයක් (කාබුල්) තිබූ රටකි. අතීතයේදී අවකන් නමින් හැඳින්වුණු බෞද්ධ රටක් වූ ඇෆ්ඝනිස්තානය හත්වන සහ අටවන ශතවර්ෂ වලදී මුස්ලිම් ආගමික රටක් විය.
කාබුල් වෛද්‍ය  විද්‍යාලයේ සිසුවියන් 

සෝවියට් දේශය  සමග ගෑස් අපනයන ගිවිසුමක් ආරම්භ කිරීම ප්‍රශ්නයක  උල්පත වුනු අතර සෝවියට් දේශය විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයකින් හස්ලාෆ් අමින් බලයට පත්විය. මුජහෙදින් ඉස්ලාමික සංවිධානය ඔහුට විරුද්ධ කැලෑ තුල සටන් කළහ. ඔවුන්ට තරමක ඇමෙරිකානු සහයක් විය.  එයට වැරැද්දක් මට කිව නොහැක.  සෝවියට් හමුදා 1979 දී ඇෆ්ඝනිස්තානය ට හමුදා යැව්වේ 20 වසරක මිත්‍ර ගිවිසුමක ප්‍රතිපලයක් ලෙසය. සෝවියට් වරු බබ්රක් කර්මාල් බලයේ පිහිටවූහ.
ඇෆ්ඝන් රජයේ (1966) මුද්‍රණාලය 

සෝවියට් හමුදාවලට එරෙහිව සටන් වැදුණු මුජහෙදින් වරුනට අවියෙන්, මුදලින් එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය උදව් කළහ. මුජහෙදින් වරු අල්ලාගත්  රුසියන් භටයන්ට සැලකුවේ ඉතා කෘර ලෙසය. දෙකකුල  පණ  පිටින් හම  ගසන ලද සෝවියට් සෙබලෙකු මම සෝවියට් දේශයේදී දුටුවෙමි. හම ගසා බෙලි කපා මරා දැමීම ඔවුන් නිතර කල දෙයකි.

බබ්‍රක් කර්මාල් අයින් කර මොහම්මඩ් නැජිබුල්ල්ලාහ් බලයට පැමිණියේ 1991 පමණය. බටහිර රටවලට කර්මාල් හා නජිබුල්ලා ඒකාධිපතියන් විය. ඔවුන් මරා සිරගත කලේ, මර දැමුවේ නිදහස සඳහා සටන් කරන ඉස්ලාමික තලිබාන් භටයන් යයි කිවූ අතර ඔවුන් බටහිරයන්ගේ  වීරයන් විය. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන බොහෝ විට කතා කෙරුණි.

සටන දරුණු වත්ම  සෝවියට් හමුදා 1987 දී ඇෆ්ඝනිස්තානය හැර ගියේය. ඇමෙරිකාව ස්ටින්ගර් නම් මිසයිල් වර්ගය පවා මේ සටන්කාමීන්ට සැපයුවේය.

මුජහෙදින් වරු තලිබාන් යනුවෙන් තමන් නම් කර ගත්  අතර 1991 වන විට ඇෆ්ඝනිස්ථානයේ බොහෝ පෙදෙස් අල්ලාගෙන සිටියහ.  1992 වනවිට තලිබාන් වරු කාබුල් අල්ල ගත්හ. වෘෂණ කෝෂ දෙක ගැට ගසා ජීප් රථයක ඇදගෙන ගොස් දැඩි වද හිංසා කර එල්ලා  මරණ ලද නජිබුල්ලා ගේ මළ  සිරුර පසුව හමුවුණි.

තලිබාන් පාලනය ඉතා දරුණු විය. සෝවියට් දේශයේ මාදි නම් විශ්ව විද්‍යාලයේ උගත් ඉංජිනේරුවකු වන මගේ මිතුරකු තලිබාන් විසින් මරා  දමා තිබුණි. ඇෆ්ඝන් රටේ බොහෝ සෝවියට් උපාධිධාරීන් සිටි  අතර බොහෝ අය පකිස්ථානයට මෙන්ම  එංගලන්තටද සමහරක් සෝවියට් දේශයටද පලා ගියහ. බොහෝ අය මරා දැමුණි. මගේ මිතුරාගේ බිරිඳගේ රැකියාවෙන් ඇයව එලවා  දමා තිබුණි. ගැහැනුන්ට වැඩ කිරීම තහනම් විය. ඔවුන් එළියේ යනවිට හිස සහ ඇඟ සම්පුර්නයෙන්ම ආවරණය කර යා යුතුය. වෙනත් රැකියා කිරීමට නොහැකි හෙයින්  ඇය හිඟා කෑවාය. දරු තිදෙනා කුසගින්නේය. ඔවුන් ජිවත් වුයේ ගුහාවකය.

ලන්ඩනයෙන් ගිය මිතුරකු අත ඇයට පවුම් පනහක් යැවීමි. මට ඒ දවස් වල එය ලොකු මුදලකි.  ඇය බිම දිගාවී ඔහුගේ දෙපා නමදිමින් බොහෝ වේලාවක් හැඬු  බව ඔහු මට පැවසිය. රූමත් ගැහැණියක වූ ඇය තලිබාන් සටන්කාමීන් අතින්  සොළොස් වතාවකට වඩා දුෂණ ය වී තිබුණි.  පවුම් පනහ ඇයට විශාල මුදලක් වී තිබුනි. ඇයට දරුවන් සමග පකිස්ථානයට පලා යාමට  ඒ මුදල ප්‍රමාණවත් බව පවසා තිබුණි. අසල තිබු තවත් ගුහා  වල දරුවන් සමග කනවැන්දුම් ගැහැණුන්  අති විශාල ප්‍රමාණයක් සිටි බවත් කන්නට යමක් නැතිව  සාගින්නෙන් මියය යන දරුවන් සිටි බවත් ඔහු පැවසුවේය.

මේ විස්තර කිසිවක් ඒ දිනවල බටහිර මාධ්‍ය මගින් වාර්තා කලේ නැත. මුජහෙදින් යනු මිතුරන්ය.

තලිබාන් වරු පෞරාණික ඉමහත් වැදගත් කමක් ඇති බෞද්ධ ප්‍රතිමා මෙන්ම වෙනත් ඓතිහාසික නටබුන් විනාශ කිරීමත් ත් සමග ලොවේ අවධානය ඔවුන් කෙරේ වඩාත් යොමු වුනි.

නමුත් සියල්ල වෙනස් වුයේ 2001 දී  ඇමෙරිකාවට  ත්‍රස්තවාදීන් පහර දීමත් සමගය. බින් ලාඩන් ඒවා මෙහෙයවුයේ ඇෆ්ඝනිස්ථානයේ හා සවුදියේ සිටය. ඉන්පසු  බටහිර මාධ්‍ය  මගින් දිනපතාම වගේ තලිබාන් කණ්ඩායමේ  දුෂ්ට ක්‍රියා ගැන වාර්තා කෙරිණි. ඇමරිකන්/බ්‍රිතාන්‍ය හමුදා මගින් කළ ඇෆ්ඝනිස්ථාන් ආක්‍රමණයට අප හැමෝගෙම සහය පළවිනි. අදත් ඇෆ්ඝනිස්ථානයේ සේවය කරන බ්‍රිතාන්‍ය හමුදාවට සහය පල කරමි. ඔවුන් කරන්නේ මානුෂික සේවයකි. දුෂ්ට  අගතිගාමී ආගම්වාදී  තලිබාන් වරුන් ගෙන් ජනතාව බේරා ගැනීමට  ඔවුන් දෙන සහය බලවත්ය.

මේ සියල්ල මට බටහිර සමහරුන්  සමාජවාදී ඒකාධිපතියන් යයි හඳුන්වන අය ගැන අදහස මදක් වෙනස් කරන්නට හේතුවුනි. තලිබාන් වරු විනාශ කල බොහොමයක් දේ මේ "ඒකාධිපතින් " විසින් රැක ගෙන තිබුණි. ඔවුන් යටතේ  ඇෆ්ඝන් වරුන්ට තලිබාන් වරුන් දුන්නාට වඩා  නිදහස තිබුණි.  ගැහැනුන්ට ඉගෙනීමට මෙන්ම රැකියා කිරීමටද නිදහස තිබුණි.

සිරියානු පාලක අසාඩ් දරුණු විය හැකිය. ඔහු දරුණු වුයේ ඇතැම් විටක මේ අන්තවාදී  ආගම්වාදී එවුන් සිර ගත කිරම නිසාය. ඇතැම් විට ඔහු අහිංසකයන් සිර කරන්නටද සුන්නි ජාතිකයන්ට පහර දෙන්නටද ඇත.

එහෙත් සමස්තයක් වශයෙන්ගත් කල ඉස්ලාම්වාදීන්ට වඩා ඔහු ප්‍රගතිශිලිය.  සිරියාවේ ගැහැණු පිරිමි දෙපසම එක පන්තිවල උගනිති. විශ්ව විද්‍යාල වලද එසේමය. ඔවුන් ගේ ජිවන තත්වය සවුදියට වඩා අඩු වුවද ශ්‍රී ලංකාව වැනි රටවලට වඩා  ඉහලින් තිබුණි.  අසමත්වූ සමාජවාදී ක්‍රමයන් මදින්  මද වෙනස් කරමින් පෞද්ගලික බැංකු වලට ඉඩ දීම සිදු වුයේ 2001 පමණය. අසාද් යටතේ අනිකුත් ආගම් ඇදහීමට බාධාවක් ද නැත.

එසේ නම් සිවිල් යුද්ධයක් පටන් ගත්තේ ඇයි?

~මතු සම්බන්ධයි

පින්තූර : http://www.theatlantic.com/photo/2013/07/afghanistan-in-the-1950s-and-60s/100544/
සිරියාවේ දැන් ආර්ථිකය : https://www.bloomberg.com/news/articles/2015-07-29/how-war-has-destroyed-syria-s-economy-in-four-charts

Thursday, 15 December 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - එකොළහ

ප්‍රාග් නමැති චොකලට් කේක් වර්ගය රුසියාවේ ජනප්‍රිය එකකි.

දහවන කොටස 

විශ්ව විද්‍යාල නේවාසිකාගාරයට පැමිණි විගස ගිහාන් කළේ පෙරදා ගත් කුකුල් මස ශිතකරණයෙන් එලියට ගැනීමය. ඉන්පසු මගදී කඩයෙන් ගත් කේක් ගෙඩිය තාන්යා අතට දීමය.  සුහද හා මරියාද එන බැවින් කේක් ගෙඩිය ලස්සනට කපා පිඟානක සැකසු ඇය ගිහාන් ගේ කාමරයේ පසෙක තිබූ නවා අයින් කළ හැකි කුඩා මේසය සාදා එය මත  තැබුවාය.

මේ කුඩා නවා අයින් කළ හැකි  මේස (folding table) වල පොත් තබාගෙන  ඇඳේ හෝ ඩිවානයේ සිට පාඩම් කිරීම සඳහා ඉතා පහසු  වූයෙන් ගිහාන් හා සුහද මේස දෙකක්ම රැගෙන තිබිණි.

විදුලි කේතලයට වතුර රැගෙන ආ තාන්යා එය ගසා "සාහිත්‍ය පුවත් " නම් පත්තරය  ගෙන ඩිවානයේ දිගා වුනාය. (ලිතෙරතුර්නයා ගැසෙතා යනු පුෂ්කින් ගේ කාලයේ පටන් පවතාගෙන ආ සාහිත්‍යය පිලිබඳ  පුවත්පතකි.)

"ඔයා මේ වගේ පත්තර කියවනවා කියල මම දන්නේ නැහැ . මගේ තාත්තා අර ගන්නවා මේක "
"අපට රුසියානු භාෂාව හොඳට ඉගෙන ගන්න නම් පත්තරයක් කියවනං කිව්වා ටීචර්. ඒකයි මම ගන්නේ. ඔකේ හොඳ කෙටි කතා යනවා. මට සමහර වෙලාවට වචන තේරෙන්නේ නැහැ. " ගිහාන් පැවසීය.
"මම කියල දෙන්නම්කො," ඇය මුව උල් කර ගනිමින් අමුතු ආකාරයකට පැවසුවාය. ගිහාන් ට බකස් ගා  හිනා ගියේය.
සුහද හා මරියා පැමිණ සියලු දෙනා තේබි අවසන් වූ පසු  මරිය හා සතුටු සාමීචියේ යෙදී සිටි තාන්යා මේසය අස්කර කෝප්ප හා පිඟන් සේදීමට ගෙන ගියාය. ගිහාන් ඇයට උදව් කරන්නට පසුපස යනු දුටු සුහද කෑ ගෑවේය.
"දීපන් බං එයාට  හෝදන් එන්න. නරක් කරන්න එපා.  තෝ දැන් බැන්ද වගේ තමයි. හිටපන් මම අනිත් එවුන්ට කියනකන් ."
"මං උන්ට කියන්නම්කො උඹ මරියව හොරෙන් බැඳලා ඉන්නේ කියල."

ඔවුන්ගේ කුස්සිය තිබ්බේ කොරිඩෝරයේ කෙළවරක නිසා කුකුළා කපා උයන්නට සිතු ගිහාන් එයද භාජනයක්ද රැගෙන ගියේය. කුස්සියේ ඉන්දියන් කාරයන් දෙදෙනෙක් උයති. ඒ අසල කාමරයක වෙසෙන ජෝර්දාන් ජාතික ඇබ්බා අසීස් ද තව දෙතුන් දෙනෙක්ද කුස්සියේ  සිටියහ.

සුහදට සහ අනිත් ලාංකික යහළුවන්ට ඉන්දියන් දෙදෙනා හා ඇබ්බා පෙන්නන්ට බැරිය. ඒ අනුන් විසින් යහළු කරගෙන නේවාසිකාගාරයට කැඳවා ගෙන එන තරුණියන් තම වසඟයට ගැනීමට ඔවුන් දක්ෂ හෙයිනි.  මේ තරුණියන් බොහෝ විට සති අන්තයේ "පෙම්වතුන්" සොයා එන තාවකාලික පෙම්වතියන්  බැවින් ඔවුන් සමග කළහ කර ගැනීමටද බැරිය. නමුත් ලැට්ටන් (ලතින් ඇමෙරිකානු සිසුන්)  නම් වරක් එවැන්නකට තැත් කළ ඇබ්බන් සමුහයකයට  දුවන්නටම  නෙලූහ.

මරියා යහළු වීමට ප්‍රථම සුහද සමග යහළු වී නේවාසිකාගාරයට පැමිණි රූමත් කෙල්ලන් දෙදෙනෙකු සුහද එහා මෙහා වෙනකන්  සිට ඔවුන්ගේ  කාමරයේ හින්දි චිත්‍රපට බලන්නට යයි කියවා කැඳවා ගෙන ගිය ඉන්දියන් කාරයයන් දෙදෙනා  පහුවදා  උදේ තරුණියන් එළියට කැඳවා ගෙන යන ගමන් සුහද ගේ කාමරයේ දොරට තට්ටු කරන්නට ද  අමතක නොකළේය. එදා සිට සුහදට ඌ දුටු මනතින්  මල පනී.

තාන්යා දුටු එක්  ඉන්දියන් සිසුවකු වූ විජේ ගේ කට මදක් අඇද වෙනු ගිහාන් දුටුවේය. "මෙච්චර  කෙල්ලෝ ඉඳලත් මූට ඉරිසියාව" ගිහාන් සිතීය.  තාන්යා පිගන් සෝදද්දී ගිහාන් කුකුළා පිළියෙල කරන්නට පටන් ගත්තේය.
විජේ "මේ උඹේ යාලුවෙක්ද" තාන්යා පෙන්වමින් ගිහාන් අසලට පැමිණියේය.  ඒ අතරවාරයේ අනිත් එකා අරුන් හිමිහිට තාන්යා සමග කතාවක් පටන් ගති.   ගිහාන් ගේ දෙකන රතුවී  ගෙන එන බව ඔහුට දැනිණි.
"එයා එහෙම යයිද අරුන් ගේ කාමරේට. අපි අතරේ මුකුත් ම නැත්ද?" ඔහුට සිතිනි.

සාමාන්‍යයෙන් සෝවියට් තරුණියන්, විශේෂයෙන්ම රුසියානු තරුණියන් ඕනෑම කෙනෙකු සමග කතා බහ කරති. බොහෝවිට සබකෝලයක් නැති ඔවුන් කතාබහ කිරීමට විහිළු තහළු කිරීමට ලැජ්ජා වන්නේ ද නැත. ඔවුන් කතා කරන්නේ පිරිමියෙකු සමග නම් ඇය ඔහුට කැමති යයි ඉන් අදහස් වන්නේද නැත.

අරුන් කාරයා ඔහුගේ කාමරයේ තිබෙන චිත්‍රපට හා ගීත ගැන මෙන්ම අළුත් ම මත්පැන් බෝතලයක් ගැනද කියවයි. සාමාන්‍යයෙන් බටහිර හොඳ මත්පැන් බෝතලයක් බීමට ඇත්නම් හා හොඳ ගීත ඇත්නම්  කෙල්ලන් එතැනට වහ වැටෙති.   ඒ අතරේ ඇරබ්බා ගිහාන් සමග ඌ ළඟ තිබෙන මොකක්දෝ කෑමක් ගැන කතාවක්  පටන් ගත්තේ  තාන්යාට ඇසෙන්නට ය.

පිගන් සෝදා පැත්තකට කර අරුන් සමග කතා කරමින් සිටි තාන්යා ගිහාන් කුකුළා කපා සෝදන තැනට පැමිණියාය. කිසිවක් නොකියාම ඔහුගේ අත් යටින් සිය දෙඅත් යවා ඔහුව  වැළඳගත් ඇය  මදක් උස්වී ඔහුගේ කණ පෙදෙස සිම්බාය.
"ඕක තවම ඉවර නැත්ද  " සිය වත ඔහු දෙසට ලං කරමින් විචාලාය.
 ඉන්දියානුවා ඉදිරිපිටදීම ඇය කළ ක්‍රියාවෙන්  ඔහු දුර්මුඛව යනු ගිහාන්ට දැනුණේය. අරුන් තමන් උයා අවසන් යයි කියමින් පිටව ගියේය.

තාන්යා තවමත් ඔහු වැළඳ ගෙන සෙමින් සෙමින් තාලයට නටන්නාක් මෙන් වැනුනායය. ඇගේ පිරිණු පයෝධර යුගල ඔහුගේ පිටේ  තදින් ඇතිල්ලේ. අත්දෙක වතුරෙන්  සෝදාගත් ඔහු ඇගේ මුව සිම්බේය. "එන්ජෝයි ද ඉව්නින්ග් - සන්ධ්‍යාව සතුටෙන් ගත කරන්න " යයි ඉංග්‍රීසියෙන් කියමින් විජේ කාරයා ද මාරුවී ගියේය. කුස්සිය තුල පෙමින් වේලි මදක් වේලා සිටි ඔවුන් කාමරයට ගියේ තුනපහ ආදිය  රැගෙන එන්නටය.

ගිහාන් සුහදට ඉන්දියානුවන් දෙදෙනා ගේ වෑයම කියද්දී සුහදට යකා නැංගේය.
"යන් බං . ඇදල අරන් ගහමු. අර ලැට්ටෝ වගේ. මුන් ඕනෑවට වැඩියි. "
"ඕනේ නැහැ. " ගිහාන් තාන්යා කළ ක්‍රියාව විස්තර කළේය. තාන්යා ගිහාන් සිංහලෙන්  විස්තර කරන්නේ කුමක්ද වටහා ගත්තාය.
"අරුන් මට කාමරයට එන්න කතා කළා. මට වැඩිය ඇල්ලුවේ නැහැ. ඔයා ගාවට ආවේ ඒකයි. " ඇය කීවාය.
"උන් මහා ඇඹලයෝ . කොල්ල ළඟ නැත්නම් හැම කෙල්ල ගාවටම ගිහින් දණින් වැටෙනවා " මරියා පෝර දැම්මාය.

තාන්යා ලඟට පැමිණ ඔහුව වැළඳගත් ආකාරයත් ඉන්දියානුන් හා ඇබ්බා පිටව ගිය ආකාරයත් විස්තර කරද්දී සුහද ගේ මුවට හිනාවක් නැගුණේය.
"නියමයි. නෝන්ඩි වෙලාම යන්නැති. මේ කෙල්ල උඹට ලව් බං " ගිහාන්ගේ පිටට තට්ටු කරමින් සුහද පැවසීය.
"තවම කියල නං නැහැ. "ගිහාන්  කීවේය.
"ඔහොම යන කොට කියයි. " සුහද පැවසීය.
"සිංහලෙන් කතා කලොත් අපට තේරෙන්නේ නැහැ". මරියා  නුරුස්නා  ස්වරයෙන් කීවාය.
යහළුවන් දෙදෙනා කෙල්ලන් කාමරයේ තබා උයන්නට ගියේය. නමුත් ව්‍යංජනයක් හදන්නේ කෙසේදැයි  බලන්නට තාන්යා ද පිටුපසින් වැටුනාය.

~~~~~~මතු සම්බන්ධයි.

මෙය ප්‍රබන්ධයකි.  සියළු නම් ගම්  මනඃකල්පිතය.

  

Friday, 9 December 2016

ගෝඨා හෝ මා හෝ ගංගා හෝ

අළුත් කරන ලද මාවතක් සහ ඇළක් 
ළඟකදී හදිස්සියේ ලංකාවට  ගිය අවස්ථාවේ  බස් දඩ ව්‍යාපාරය අත් විඳීම මෙන්ම තවත් රැල්ලක් ගැනද  දැන  ගැනීමට ලැබුණි. ඒ ගෝඨා රැල්ලයි. මේ ගෝඨා රැල්ල එන්නේ හෝ ආවේ කෙසේද යන්න පිලිබඳ කිසියම් හැඟීමක්  යුඇන්පී ආණ්ඩුවට ජනවාරි 8 චන්දය දුන් තරුණ විධායක නිලධාරියෙකු  සමග නගර සංචාරය කිරීමෙන් මට මනාව පසක් විනි.

 ඒ මෙසේය.

"බලන්නකෝ මේ අලුත් ආගමන විගමන එකේ ගොඩ නැගිල්ල. ඇතුල නියමයි. වැඩ පිළිවෙළයි . කාක්කන්ගේ බලපෑම අඩුයි. ඉක්මන්. වැඩ කරන උදවිය නම් තවම කට්ටිවාදියි. බොරු කිව්වා මට නම්. නමුත් වැඩ කරන අයට හොඳ නවීන තැනක් වැඩ කරන්න. යුරෝපේ කාර්යාලයක් වගේ." මම කියමි.

"ගෝඨා නේ හැදුවේ." මගේ මිතුරා පවසයි.

"හොඳ වැඩක්". මම කියමි.
 කාරය මිනිසා විසින් සාදන ලද වැවක් පසු කරයි. වැව  වටේ කට්ටිය ව්‍යායාමයට ඇවිදිති.
"ගෝඨා වෙන්නැති." මම කියමි.
"ඔව් නේ.  ඕක විතරක් නෙමේ. අර කුණු ඇළත් පිරිසිදු කරා. ඒක දිගේ හොඳ පාරක්  හදල. ඇවිදින්න පුළුවන් හවසට ." ඔහු පවසයි.

"ඒ කියන්නේ මිනිසුන්ට ක්වොලිටි ලෙස හවස ගත කරන්න හදල දීල.  කොළඹ  පැත්තේ අයට පොඩි ඉස්පාසුවක් දීල වගේ. අපි ඉස්සර හැත්තෑවේ අග කාලේ ගෝල් ෆේස් එකේ ඇවිදින්න එනවා හවසට. අම්මත් එක්ක. ඒක ඇත්තටම හොඳයි. වික්ටෝරියා  පාක් එකට සෙල්ලම් කරන්නත්  යනව. " මම කියමි.

"ඔව් අයියේ නියමයි තමා. වික්ටෝරියා  පාක් කිව්වේ විහාර මහා දෙවි එකට නේද?  ඒකත් ලස්සනට හැදුව ගෝඨා හිටිය කාලේ. හැබැයි  ඔය කපල් වලට වැඩිය වැඩ කිඩ දාන්න දුන්නේ නැහැ." ඔහු පවසයි.

"පව් නේ මල්ලි. කපල් නුත් මනුස්සයොනේ. ඒ  අහිංසකයන්ට වෙන යන්න තැන්  නැහැනේ.  හෝටල් වලට යන්නැය පෝසත්  මිනිසුන්ට වගේ. ඒවානම් ගඳ වැඩ." මම කියමි.
"පිස්සුද අයියේ. හැමෝම කැමතියි කපල් එලෙව්වට."

"ලංකාවනේ. තමා හැර අනිත් අය සතුටු වීම වරදක් හැටියට දකින රටක් නේ" මම කියමි.

" ඒ වුනාට අයියේ තැන් තැන්  වල කුණු දාන්න දුන්නේ නැහැ. දැම්ම නම් සබ්බුව  තමා . කොළඹ පිරිසිදු කරලා ගත්තනේ"
"ස්ටාලින් වගේමයි."  මම කියමි.

අපි මදක් නගරයෙන් ඉවත්ව කොළඹ - පිළියන්දල රත්නපුර පාරේ   ධාවනය කරන්නෙමු.
" පාරවල් ටික නම් ඉතින් ඉටිකිරි. එක වලක්  නැහැ. " මම කියමි.
"මහින්ද නේ අයියේ. අධිවේග දෙකත් යුද්දේ ඉවර කළාට පස්සේ කළානේ."

"ඒක නම් ඇත්ත තමයි. ටක් ගාල යන්න  පුළුවන් ගාල්ලට. කටුනායක ඉඳන් එන එකත් ලේසියි. ඒත් පාරවල් දෙක අර එකතු වෙන  හරිය හදල නැති නිසා ඒ ටිකට විනාඩි 45 ට වැඩිය යනව. " මම කියමි
"කෝ ඒක  හදන්න කලින් පැරදුනනේ "
"ඉතින් ඔයලානේ පැරැද්දුවේ. " මම කියමි.

"මේකනේ  අයියේ. අන්තිම කාලේ පොඩ්ඩක් අප්සෙට් ගියානේ. අහල පහල හිටි ප්‍රාදේශීය කාරයොයි, මන්තිරිලයි  ඇමතිලයි පුතාලයි  වනසන්න ගත්තනේ. ලොක්ක කට පියාගෙන නිකන් හිටියනේ ඕන සේද්දක් කියල. ඒකනේ  මිනිසුන්ට මළ පැන්නේ. කෝ ඒ වුනාට මේ මුන්ගෙන් වැඩක් වෙන බවක් පේන්නෙ නැහැ නේ."

"ඒකමත්  නෙමේ. දැන් ඔයා ඔය  පෙන්නපු ගොඩක් දේ හදල තියෙන්නේ එක්කෝ ගෝඨාභය මහත්මය. එයා  රජයේ නිලධාරියෙක්. නමුත් අයිය ජනපති නිසා ලෙහෙසියෙන්ම ප්‍රතිපාදන ආව, අනිත් ටික ඔයා  කියන විධිහට මහින්ද මහත්මය කලේ. යුද්දේ මෙහෙයවුයේ  අවංකවම ගත්තොත් ෆොන්සේකා මහත්මයයි, රාජපක්ෂ තුන්දෙනයි එකට. එතකොට මල්ලි අනිත් ඇමැතියෝ  ඔක්කොම නිකන් නේ ඉඳල තියෙන්නේ.  ඉන් කොටසකට දැන් නඩු. ඉතිරි කොටස මේ ආණ්ඩුවේ. ඉතින් වැඩක් කෙරෙයි ද? "

"ඒක නේ මම කියන්නේ ගෝඨාභය ගේන්න ඕනේ කියල."
"ඕකනම් දැන් අර බ්ලොග් ලියන මාතලන් ගොයියායි  සරසා ගොයියායි  නිතර කියන කතාවනේ. ජනවාරි 8 වෙනසට චන්දෙ දීපු ඔයත් කියනවා කියන්නේ වැඩේ ස් ..ස් ..සීරියස්. හැබැයි ගෝඨා එන්නේ නැහැ මල්ලි"
"ඒ  මොකද"

"දැන් බලන්නකෝ එයාට  පක්ෂයක් නැහැ. විමල් ගේ සන්ධානේ එයා නැහැ. විමල් පොඩි සප්  එකක් දුන්නට විමල්ට ඕනේ එයා උඩට එන්න. අලුත් පක්ෂේ පිහිටෙව්වේ බැසිල්.  අර ඇහින්දාස් ඇමති - මන්ත්‍රී සෙට් එක වඩාත් කැමති තමන්ට ශේප් කර ගන්න පුළුවන්, ශේප් වෙලා ගේම දීගන්න  පුළුවන් නායකයෙක්. එහෙම කෙනෙක් තමයි මහින්ද. එහෙම කෙනෙක් තමයි රනිල්.  එහෙම කෙනෙක් තමයි බැසිල්. නමුත් ගෝඨා හමුදා නිලධාරියෙක්. ෆොන්සේකා වගේම එයාට ත් කෙලින් කතාව කෙලින් වැඩ තමා පුළුවන්. මර්වින් ව හරි තැන තිබ්බෙත් එයානේ. ඒ නිසා මේ කපේට ඔය මන්ත්‍රී සෙට් එක එයා ට සපෝර්ට් කරන්නේ නැහැ. මහින්දට තමා ඒ සහයෝගය තියෙන්නේ. ඊළඟට බැසිල්ට. ඒක  නිසා බැසිල් ව කවදාවත් මේ රජයෙන් හිරේ යවන්නේ නැහැ. මොනවා කලත්.  බැසිල් එළියේ ඉඳන් ගේම් ගහන එක රනිල් මහත්මයට වාසියි. "

මල්ලි හෙන කල්පනාවේය.
"එහෙම නම් ඉතින් ජවිපෙ තමා ඉතුරු වෙලා තියෙන්නේ. උන්නම් හොඳයි තවම වංචා කරලා නැහැ"
"ඔයා  යුඇන්පී නේද. ජවිපෙ එක්ක 88-89 කාලෙත්  වලියක් තිබුනනේ."
"දැන් ඒවා නැහැ.  අනුර ඒවාට සමාවත් ඉල්ලුව. ජවිපෙ තමා අයියේ ඉතුරු වෙලා ඉන්නේ."

"වෙන්නේ නැහැ මල්ලි. ජවිපෙ හැම වෙලේම  කළේ වෙන කවුරුහරි කෙනෙක්කරේ තියාගෙන ගිහින් ලොකු පුටුවට තල්ලු කරන එක . අනික දැන් නම් ඔලුව උස්සන්න හම්බ වෙන්නේ නැහැ. වමේ වලිය ආයිත් පටන් ගනී. ජවිපෙ මහා අනෙකා  ආවනේ එලියට."
"ඒ කිව්වේ?"
"අර ජවිපෙ හිටියේ නැහැයි කියන කුමාර් ගුණරත්නම් නිදහස් වෙලා එලියෙනේ මල්ලි. "

මිතුරා තුෂ්නිම්භූත වෙලාය.
"ඒ කියන්නේ මොන ඔප්ෂන් එකක් වත්   නැහැ කියලද ඔයා  කියන්නේ."

"අපොයි නැහැ. බෞද්ධ රාජ්‍යයක් හදන්නකෝ.  අර ඥානසාර හාමුදුරුවෝ ඉන්නේ. එයාව ජනපති කරලා අර නැගෙනහිර වැඩ කිඩ දාන අම්පිටියේ හන්දුරුවෝ  ගෙනල්ල ආරක්ෂක අමත්‍යාන්ශේ  භාර දෙන්න.  එයා  පොලිසියට භය නැහැනේ. මුරුත්තෙට්ටුවේ ගෙනල්ල අගමැති කම දුන්නම  ආයේ නර්ස්ල දොස්තරලා ගෙන් වලියකුත් නැහැ.

එතකොට අර පිටිදුවේ ඉන්න මහා රහතන් වහන්සේ ගෙනල්ල මුදල් අමත්‍යාන්ශේ  භාර දුන්න නම් රට ගොඩ. එය අත තියන තැන රත්රන් වෙනවනේ මල්ලි."

අපි අපේ ගමනාන්තය ට  පැමිණියෙමු. රට තවම මගය. 


Tuesday, 6 December 2016

රවී ගේ දඩ, ලංකාවේ ඩැයිවර් ලා හා බස් වර්ජන

ජේසන් බෝන් පළමු චිත්‍රපටියේ කාරය  වැරදි දිසාවෙන් ධාවනය කර පඩි පෙළකට හරවයි.
කුමන හෝ හේතුවකට ලංකාවට යන මට බස් වලට පහර දෙනවා  දකින්නට ලැබෙන්නේ ඇයිද නොදනිමි. අවසාන වතාවේදී එසේ දුටුවේ 1987 පිටකොටුවේ  ඉන්දිය සාම ගිවිසුමට එරෙහිව විරෝධතාවේ දීය. මම හදිසියේ පසුගිය සඳුදා ලංකාවට ගියේ ළඟම ඥාතියෙකු අසනීප වූ නිසාවෙනි. ඒ අතරේ රවීගේ අයවැයෙන් ඉහල දැමූ දඩ ගැන ඇතිවූ විරෝධතාවය පුවත්පත් වලින් පමණක් නොව ඇසින්ද දුටුවෙමි.  බස් වර්ජනය හේතුවෙන් අවශ්‍ය තැනට නොපැමිණි අය නිසා මගේ වැඩ කිහිපයක් ද කඩා කප්පල් විනි.

මේ නිසා මා සිතුවේ වර්ජනය ඇත්තටම සාර්ථක යයි සිතාය. ඒ අතර බස් කිහිපයකට පහර දී අලාභ හානි කිරීම, මගීන්ට මෙන්ම ත්‍රි රෝද රථවලට පහර දීම් ද වාර්තා විය.

ඉතින් නිවසේ අහල පහල සිටි වර්ජනයට සහයෝගය දැක්වූ මහින්ද වාදීන්, ගෝඨා වාදීන් , එක එක --ලේ සංවිධාන අනුගමනය කරන්නන් මෙන්ම බස් හා වෑන් හිමි යුඇන්පී කාරයන් සමගද  එකඟ වන්නට මට සිදු වුනි.

ඒ මෙසේය.

"දැන් ඔය වමෙන් ඕවර්ටේක් කරන එකට දඬුවම්  කරන්න බැහැ. නැත්නම් හරියට වෙලාවට යන්න බැහැ. උදේට වැඩට යන්න තියා හවසට ගෙදර එන්න වත් බැහැ." ඔවුහු කියති.

"වමෙන් ඕවර්ටේක් කරන එක වැරදියි නේ මේ රටේ. වෙන රටවල වුනත් එහමයි. (වමින් පදවන රටවල් දකුණෙන් ඕවර්ටේක් කළ නොහැක). අනතුරු සිදු වෙන්න පුළුවන්." මම කියමි.

"පිස්සුද මේ රටේ ඕව බැහැ. අපට වෙලාවට යන්න ඕනේ. අපි හිමින් යන්නේ මෙහේ  ඔහොම අනතුරු   වෙන්නේ නැහැ" ඔවුහු කියති.

"අනික ඔය ගෑනු ඩ්‍රයිවර්ලා පාර මැදින් ම නැත්නම් දකුණට වෙන්නම හෙමින් යන්නේ. ඉතින් කොහොමද කරන්නේ. " ඔවුහු කියති.
"පිටි පස්සෙන් ගිහිල්ල, තැනක් ආවහම  දකුණෙන් ඕවටේක් කරන්න" මම කියමි.
"මොන පිස්සුද? ඕව කරන්න  පුලුවන්ද? කොච්චර  වෙලා පිටිපස්සෙන් යන්නද? එන්ගලන්තේ වගේද මෙහෙ "  ඔවුහු කියති.

"බස් වලට ගහන එක , අලාභ හානි කරන එක වැරදියි. තමන්ගේ බදු මුදලින් ගෙව්වා තමන්ගේ දේ තමන්ම විනාශ කරලා දාන එක හරි නැහැනේ. " මම කියමි.

"ඉතින් අපේ දේවල් අපි විනාශ කළහම මොකද? ඇමතිවරු සැප විඳින්නෙත් අපෙ මුදලින්නේ. මම නම් බස් වල යන්නේ නැහැ." එකෙක් කියයි.

"ඕව අපේ නෙමේ. ආණ්ඩුවේ. ඔය ජහපාලන ආණ්ඩුවේ ඒවා කැඩුවට කමක් නැහැ." තවකෙක් කියයි.

"ඒවා ආණ්ඩුවේ නෙමේ. අපේ. " පාසැල් යන වයසේ පුංචි එකෙක් බයෙන් බයෙන් පවසයි.

"අනික, දැන් බලන්න.  ඔය අහුවෙනවා. දඩේ රුපියල් විසි පන්දහයි කියල. ට්‍රැෆික් පොලිස් කාරයෝ දැනුත්  හොර වැඩ කරන එකේ, කියයි දහදාහක් දීල යන්න කියල. විසි පහක් දෙනවට වැඩිය ලබයිනේ. "
"ඉතින් අවම දඩය 2500 නේ. " මම කියමි.

"පොලිස් කාරයෝ දාහක් අරන් යන්න දෙයි. එච්චරයි. ඔය රවී කරූ කියන විධිහට ආණ්ඩුවට ආදායම ලැබෙන්නේ නැහැ. පොලිස්  කාරයෝ තමා පෝසත්  වෙන්නේ." ඔවුහු කියති.

අන්තිමේදී මම එකඟ වීමි. රවියා  හත් පොලේ ගාගෙනම ඇණ ගෙනය.  මෙහෙම ගියොත් ආණ්ඩුව රැකේද යන්න වත් සැක සහිතය.

"ගෝඨාභය  හිටියනම් ඔහොම වෙන්නේ නැහැ " නැගී එන රැල්ලේ ගෝඨා වාදියෙකු කිවේය.

" ඒ කියන්නේ ස්ට්‍රයික් කරන්න දෙන්නේ නැහැ කියන එකද. කට්ටිය බයටම ස්ට්‍රයික් නොකර ඉඳි කියලද? දඩ ගහන්නනේ නැහැ කියලද? ඒක  වෙන්න බැහැ . මොකද අධිවේගේ හොඳ දඩ ටිකක් තියෙන්නේ. ඒවා ගෙව්වේ යස අගේට." මම ඇසුවෙමි.

"ගෝඨා හිටියනම් මොන ස්ට්‍රයික් වත් නැහැ." ඔහු නැවතත් කිවේය.

ස්ට්‍රයික් එකට පක්ෂව මෙපමණ වේලා කතා කල අය කට පියා ගෙනය.

මගේ ළඟ ඥාතියා වෙනුවෙන් දින කිහිපයක් ගත කල නිසා ප්‍රා ජේ සමග ඇන්ටිවෙනම් මුමන්ට් එකේ දේශකයා , ඕනයා , ප්‍රසන්නයා එකතු වුනු සාදයට යාමටද  නොහැකි විය.  කටුනායක ගුවන් තොටට එන ගමනේදී  සෝවියට් දේශයට කෝචෝක් කර  නිමවන ලාභ ඇමරිකන් චිත්‍රපටයක රහස් ඔත්තු කාර වීරයා මෙන් අනුලා විද්‍යාලය අසලදී  මා රැගෙන ගිය කාරය නවත්වාගෙන, ට්‍රැෆික් පොලිස් ලාට  හොරෙන් කාරය නවතා  බලා ගෙන සිටි   ප්‍රාජේ ගෙන් පාර්සලයක්ද ලබා ගතිමි. ඉතාම රහසින් චන්දීම ට  දෙන්නට කියා දුන් වටිනා  තේ කොළ පැකට් එකක් සහ රහස් කිරි ටොෆි වගයක් එහි තිබුණි. කිරි ටොෆි රස නිසා ඒවා කෑවේ අපිය.
මේ කාරයේ යන්නේ සුප්‍රසිද්ධ නළු ජේසන් බෝන් විය හැකිය.
හිටපු ජනපති මහින්ද මහත්මයාට ස්තුති කරමින් ගැලනිගම සිට කොට්ටාවට කරදරයක් නැතුව වාහන නැති අධි වේගයේ පැමිණුනෙමු.  ඒත් ගැලනිගමට දමද්දී අපව වමට තල්ලු කරමින් (හාර්ඩ් ශෝල්ඩර් එකට හෙවත් වමේ මන් තීරුවට - මෙහි රථ ධාවන  තහනම්ය) කාරයක් ඉගිලී ගියේය.  බලන් සිටි පොලිසියේ මහත්වරුනට වගේ වගක් වත් නැත.

මේ කටුනායකට යන ගමන පැය  දෙකක පමණ කාලයක් ගති. මමත් වාහනය පැදවූ මල්ලිත් සෙල්ලමට මෙන් මාර්ග නීති කඩ කිරීම් ගණනය කළෙමු.

වමෙන් ඉස්සර කිරීම්  පහලවක් පමණ ගණනය කිරීමෙන් පසු වැඩේ නැවැත්වූයෙමු.   අනිත් වාහනයේ වද්දන්නට ඔන්න මෙන්න තියා වාහන හසුරුවා ගත් අය  ඉන් හතර දෙනෙක් පමණ විය.

ඉන්පසු තවත් අමුතු  දර්ශනයක් දුටුවෙමි. ජේසන් බෝන්  "බෝන්  අයිඩෙන්ටිටි " චිත්‍රපටියේ මෙන්ම ලඟදි පෙන්වූ අවසන් චිත්‍රපටියේද පාරේ වාහන එන දිසාවට මුහණලා දක්ෂ ලෙස රිය හසුරුවමින් රථය පදවන දර්ශන ඇත. ඒ සිනමාවේය. නමුත් මේවා හැබැහින් ශ්‍රී ලංකාවේ දැකිය හැකිය.  නුගේගොඩ අනුලා විද්‍යාලය පසුකර මදක් ඉදිරියට ගිය පසු දකුණට හරවන්නට මගක් තිබෙන අතර මංතීරු දෙකක් හෝ තුනක්  පමණ අප මෙන් ඉදිරියට යන වාහන වලට තිබේ .එසේ හරවන පැත්තේ සිට තවත් මං තීරුවක්  විරුද්ධ දිශාවට එයි.  (අප දිසාවට) ඔය පින්තුරයේ ඇති සිල්වර් පැහැති  කාරය යන්නේ එම පාරේ එසේ වාහන තමන් ඉදිරියට එන දිශාවටය. එංගලන්තයේ නම් මම මෙවැනි දෙයක් විහිළුවට වත් කරන්නේ නැත. මේ රියැදුරා  තමන් ඉදිරියට එන වාහන ගැන තැකීමක් නැතිවම  එම මාර්ගය පාවිච්චි කරයි. ප්‍රශ්නය එය නොවේ. ඔහු අනුගමනය කරමින් තවත් කිහිප දෙනක්ද එයම කිරීමයි.

ජේසන් බෝන් මෙන්ම ජේමිස් බන්ඩලා සොයා ගැනීමෙන් පසු අප දැක්කේ අමුතුම අන්දමේ යු ටර්න් වගයකි. මේ පැත්තෙන් පැමිණ අනිත් පැත්තට යාම හෝ මේ පැත්තේ සිට රිවර්ස් යු ටර්න් එකක් ගෙන  අනිත් පැත්තට යාම  වෙනුවට රියදුරෙකු කෙලින්ම වාහන එන පැත්තට  තම පසුපස හරවා ඉන්පසු  අංශක 360 කරකවා අනිත් පැත්තට යාමක් දුටිමි.  එසේම තවත් අයෙක් යන ගමන්ම ඉස්සරහ මාර්ගය අවහිර කොට අංශක අනුවකින් කපා අනිත් පැත්තට ගොස්  තවත් දෙවරක් කර කැවීමෙන් එම  පැත්තටම  වහනය පැදවිය. වාසනාවකට අනතුරක් සිදු වුනේ නැත. මේවට කිව යුත්තේ XYZ ටර්න් කියාය.



 යන්තමට හෝ අපට සිනාවක් ගියේ මේ කාරය දැකීමෙනි. තරුණියක් විසින් ඉතා සෙමින් ධාවනය කළ  කාරයේ පිටු පස වම් පැත්තේ "ප්ලේ බෝයි  " සඟරාවේ සලකුණ තිබුණි.

කිසිවකු අපට පිටුපසින් තදින් හැප්පවිමේ ආශාවෙන් යුතුව ධාවනය කරන අයුරු ද අත් වින්දෙමු.

පෞද්ගලික බස් රථ අඩුවක් ඉරිදා තිබුණු අතර සමහරු ඉතා කෙටි ධාවන මාර්ග පවත්වා ගැනීමෙන් පමණක් සැනසුනහ.  නමුත් ඒ පෞද්ගලික බස් රථ අනිත් වාහන පසු කර ගියේ වමෙන් දකුණට දැමීමෙනි. වෙනත් වාහන  වල අඩුවක්  නොදුටුවෙමු.

අවසානයේදී කටුනායකට පැමිණි පසු අප දෙදෙනාගේ තීරණය වුයේ රවීගේ මොන වැරදි තිබුනත් දඩ වැඩි කිරීම නම් හොඳ වැඩක් බවය. දුප්පත් අයට මෙන්ම මධ්‍යම පාන්තිකයන්ට   මේ දඩය ගෙවන්නට නොහැකි නම් වමින් ඉස්සර කිරීම නොකළ යුතුය. පොලෝසිය  හෝ වෙනත් අය හොර නොකරන්නට ඩෑෂ් කෑම් සවි කරීම වටී.

මෙවැනි  රියැදුරන්  බලෙන් ආණ්ඩු කිරිම රජයකට කල නොහැක්කකි.  දඩ වැඩි කර නීති කඩ කිරීමේ අවස්ථා අහිමි කිරීමෙන්  ඔවුන් නිකන්ම මෙම නීති වලට අනුකූල වී රථ ධාවනය  කිරීමට ඉගෙන ගනු ඇත. නැත්නම් හැමෝටම අබ සරණය.

- කොළඹ ගමයා 

Saturday, 26 November 2016

කස්ත්‍රෝ සහ කියුබානුවන්ගේ නිදහස

ඉහත  පින්තුරය අරගත්තේ නාලක ගුණවර්ධන ෆේස්බුක් එකේ  දාල තිබ්බ පෝස්ට්   එකකින්.  අන්තර්ජාලයේ මේ වගේ පින්තුර ගොඩක් සැරි සරනවා. ෆිදෙල් කස්ත්‍රෝ ට මම ගෞරව කරන එක හේතුවක් මේක. ලෝකයේ බලවත්ම රටෙන් සිය ගණනකට වැඩිය මරණ තර්ජන, කුමන්ත්‍රණ ආවත් තමන්ගේ ආයු කාලය ගෙවා ගත්ත.

කියුබානුවන්ගේ නිදහස ගැන ලියන්න හිතුනේ මාතලන් "දැන් අන්තිමට  කියුබානුවන්ට නිදහස ලැබෙයි" කියල බුකියේ දාපු කොමෙන්ටුව දැකල. එනිසා මම ඔහුට ගෞරව කරන දෙවන හේතුව කියන්න කලින් මගේ පරණ ලිපි දෙක ඉස්මතු කරන්න ඕනේ. කියුබාව සමාජවාදිද කියල මම ලිපි දෙකක් ලිව්වා කාලෙකට කලින්.  කියුබාව සමාජවාදිද 1,  සහ කියුබාව සමාජවාදී ද 2  කියල.

ෆිදෙල් ගේ සහෝදරයා රාවුල් කස්ත්‍රෝ ජනාධිපති වුනාට පස්සේ කියුබාවේ පෞද්ගලික නිවාස අයිති කර ගන්න ඉඩ දීල තිබෙනවා. තමන්ට තමන්ගේ ගේ විකුණා ගන්නත් තව එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම යුගෝස්ලාවියාවේ ටිටෝ කලා වගේ පස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට  රැකියා දෙන කර්මාන්ත හා ව්‍යාපාර අරඹන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධනය එකතු කරන්න දෙනවා.  කියුබානු ආර්ථිකය දියුණු වෙනවා කියල කියනවා.  ඒ කියන්නේ පහුගිය අවුරුදු දෙක තුල  GDP එක දෙගුණයකින්  වැඩි වෙලා. ෆිදෙල් දන්නවා මල්ලි මේකට ඉඩ දීල තිබෙනවා කියල.

මගේ ඔය දෙවැනි ලිපියේ කියා තිබෙන විධිහට මම ඉගෙන ගත්තේ කියුබන් උන් රංචුවක් එක්ක.  මාත් එක්ක වාද කරන හැම වෙලාවෙම මට පෙනිච්ච දේ තමයි උන් චේ ට කැමති බව. ඒ එක්කම උන්ගේ මොකක්දෝ ආදරයක්, ගෞරවයක් ෆිදෙල් ගැන තියෙන බව.

එනිසා මාතලන් කියුබානුන්ගේ නිදහස ගැන කියන කොට මට හිනා යන්නේ ඒකයි. උන් අපි හිරගේ කියල හිටිය එකේ හිටියේ කැමැත්තෙන්. ලංකාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන ලංකාවේ උන් වගේ ඇමෙරිකාවට පැනල යන එවුන් ඉන්නවා තමයි. හැම රජයක් යටතේ ලංකාවේ උනා  වගේ තුන්වන ලෝකෙට ටිකක් උඩින් තියන නිසා කියුබවෙත් ඒක එහෙම වුනා. වෙනවා.

මම කියුබන් ශිෂ්‍යයන්ගෙන් ඉගෙන ගත්ත දේ තමයි බැටිස්ටා කියන්නේ අන්ත දුර්දාන්ත පාලකයෙක් වග. මාතලන් වගේ අයත්  බැටිස්ටාට විරුද්ධව මිසක් පක්ෂව යන එකක් නැහැ එතන හිටිය නම්.  බැටිස්ටා තමන්ට අකමැති පෙම්වතියන් විතරක් නෙමේ තමන්ගේ විරුද්ධ කාරයොත් උගේ මාලිගාව ඉස්සරහ තටාකයක කිඹුලන්ට කන්න දීපු එකෙක්. ඒ රටේ ධනය විතරක් නෙමේ, තරුණ තරුණියෝ දෙගොල්ලම උගේ සහ යාලුවන්ගේ පෞද්ගලික බුදලයක් කියල සලකපු අත්තනෝමතික රජෙක් වගේ පාලකයෙක්.

කස්ත්‍රෝ , චේ ගුවේරා කලේ  ඒ වයසේ තරුණයන්ට කරන්න තිබුන එකම දේ. බැටිස්ටා ගේ ආණ්ඩුව පෙරලීම.  පළවෙනි පාර වැරදුන. දෙවෙනි පාර හරි ගියා. දෙවෙනි පාර මුළු රටෙන්ම තුනෙන් දෙකකටත් වැඩිය ජනතාව  හා කියුබන් හමුදාවේ කොටසකත් සහයෝගය තිබුන.   ඒක ජනතාවගේ  විප්ලවයක්.

මුල් අවුරුදු දෙක තුල කියුබාව සමාජවාදී වත් කොමියුනිස්ට් රටක් වත් නෙමේ. චේ සහ කස්ත්‍රෝ දෙන්නම ඇමෙරිකාවට තමයි උදව් ඉල්ලා ගෙන ඉස්සෙල්ලම ගියේ. තමන්ගේ ළඳරු නිදහස්  කියුබානු රජයට ලෝකයේ නිදහස ගැන කෑ ගහන ඇමෙරිකානු රජය උදව් කරාවි කියල හිතාගෙන. නමුත් ඇමෙරිකාවට ඕන වුනේ සමාගම් වල පාලනය බැටිස්ටා හා ඔහු අනුගමනය කරන කෙනෙකුට දෙන්න මිසක් කියුබානු මිනිසුන් ගේ නිදහස නෙමේ. එනිසා එක්සත් ජනපදය කලේ ආර්ථික සම්බාධක පනවපු එක. කියුබන් බැංකු වල සල්ලි තහනම් කරපු එක. රට එක රැයෙන්  දුප්පත් වුණා ඒ කරපු වැඩෙන්.

අන්තිමට කස්ත්‍රෝට  සිදුවුනේ සෝවියට් දේශයේ සහය පතන්න. නමුත් ඒ සහය ගන්න නම් කස්ත්‍රෝ සෝවියට් ක්‍රමයට රට හදන්න ඕනේ. ඒක තමයි කොන්දේසිය. කස්ත්‍රෝ සහ චේ සෝවියට් දේශයට ආවේ එහෙම. ඒ ක්‍රමය බලන්න. ඉන් පස්සේ කස්ත්‍රෝ නිවේදනය කළා තමන් හදන්නේ සමාජවාදී කොමියුනිස්ට් ආණ්ඩුවක් කියල.

බැටිස්ටා ගේ රජය පෙරලා නව ආණ්ඩුව හැදුවේ 1959 ජනවාරි පළමු වෙනිදා.  ඇමෙරිකානු සම්බාධක නිසා රට සොවියට්  ක්‍රමයට තල්ලු වුනාට පස්සේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය පිහිටවන්නේ 1965 ඔක්තෝබර් 13.  ඒ කාලයේ තිබුන ලෝක දේශපාලන තත්වය අනුව කැස්ත්‍රෝ  ගත්ත තීරණයක් ඒක.

කියුබන් එවුන් දුප්පත් බව ඇත්ත. නමුත් උන්ට මාර ආත්ම  අභිමානයක් තියනවා. උන් දන්නවා ඇමෙරිකානු සම්බාධක නිසා තමන්ගේ රටට ඉදිරියට යන්න බැරිවුනා  කියල. ඒ නිසා රටෙන් වැඩි කොටසක් කස්ත්‍රෝ කියන විධිහට ජිවත් වුණා මිසක් කස්ත්‍රෝට බැන්නේ නැහැ. වර්ෂ 1991 සෝවියට් දේශය බිඳ වැටුනයින් පස්සේ මාත් එක්ක ඉගෙන ගත්තු කියුබන් කාරයන්ට ඕනේ නම් පනින්න තිබ්බ බටහිර රටකට. රුසියන් කෙල්ලෙක් බැඳලා හිටිය එකෙක් රුසියාවේ නැවතුන ඇරෙන්න අනිත් එවුන් ඔක්කොම ආපහු ගියා.

දැන් ඇමෙරිකාවේ, එංගලන්තේ, ලංකාවේ පත්තර කියනවා තමයි කැස්ත්‍රෝ  මිනිස්සු හිරකරගෙන හිටිය. ඒක සිර කඳවුරක් කියල. නමුත් තමන්ට තියෙන පොඩි දෙයින් සැනහිලා , සුරුට්ටුවක් පත්තු කරගෙන, ගිටාරයක් ගහගෙන, කෙල්ලෝ කොල්ලෝ ඉන්න සොමිය දැක්කම මට නම් හිතෙන්නේ ඕකේ  අනිත් පැත්ත. කොටින්ම  හොර බිස්නස් එකක් කරන එඑකාට  වුනත් ඕන තරම් අපේ ඉස්සරහ කැස්ත්‍රෝ ට  බනින්න තිබ්බ. මොකද අපිත් විදේශික ශිෂ්‍යයෝ නිසා. නමුත් උන් කවදාවත් එහෙම කලේ නැහැ.

හුඟක් වෙලාවට කියුබානු ආර්ථිකය නිදහස් වෙයි.  මම හිතන්නේ රාවුල්ට  රජය භාර දෙන කොටම  කස්ත්‍රෝ දැනගෙන හිටිය ආර්ථිකය වෙනස් කරයි කියල.  රවුල් කස්ත්‍රෝ කියන්නේ චේ වගේම කස්ත්‍රෝ එක්ක මුල ඉඳන්ම සටන් කරපු සටන් සගයෙක්. සහෝදරයා වුනත්. පැරචුට්ටෙක් නෙමෙයි.

අපි කැමති වුනත් නැතත් කස්ත්‍රෝ කියන්නේ අති විශාල රටක බලපෑම් වලට භය නොවී තීරණ ගත්ත නායකයෙක්. ඒ රටෙන් එල්ල කරපු ජිවිත තර්ජන සියල්ල  පරාජය කළ කෙනෙක්.

මම ඇමෙරිකාවේ දියුණුවට වගේම ඒ රටේ නිදහසටත් කැමති කෙනෙක්. නමුත් ඇමෙරිකාව අනිත් රටවල ආණ්ඩු වෙනස් කරන්න බලය යෙදෙව්වා කියන එකත්පි, නොචෙට් , මාර්කෝස් වගේ ඒකාධිපතියන්ට ඒ කාලෙ උදව් කලා කියන එකත් අමතක කරන්න  බැහැ. ඇමෙරිකාව පස්සෙයි වෙනස් වුනේ.  ඒ කාලේ ඒකාධිපතියෙකුට විරුද්ධව සටන් කලේ කස්ත්‍රෝ වගේ එවුන්.

කස්ත්‍රෝ කියන්නේ යුග පුරුෂයෙක්. එහෙම එවුන් මේ ලෝකේ වැඩිය හිටියේ  නැහැ.

කස්ත්‍රෝ ඔබට සුභ ගමන්.
කැස්ත්‍රෝ, රාවුල් සහ චේ 






Tuesday, 22 November 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - දහවන කොටස

නමවන කොටස

ඔවුන් දෙදෙනා උදයේ ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් එලියට එනවිටත් කිසිවෙක් අවදිව සිටියේ නැත. ඒ සෙනසුරාදා නිසාය. දවල් වනතුරු නිදා ගැනීම බොහෝ සිසුන් කරන දෙයකි. උමං දුම්රියේදී තාන්යා කලේ ඇගේ හිස ඔහුගේ උරය මත තබාගෙන ඔහු වැළඳ ගෙන සිටීමයි. ඉඳහිට ගිහාන් ඔවුන් පසුකර යන ඇතැම් දුම්රිය පලක් ගැන හැඳින්වීමක් කළේය. මොස්කව් උමන් දුම්රියපළවල් ස්ටාලින්ගේ කාලයේ හැදු ඒවාය. මේවයින් බොහොමයක් ඉතා පියකරු ලෙස නිමවා තිබේ. ලන්ඩනයේ තිබෙන උමං  දුම්රිය පලවලට වඩා  පිරිසිදුය. ගිහාන් එයට හේතුව කුමක්ද කියා කල්පනා කරමින් ගියේය. සමහරවිට සංචාරකයන් ලන්ඩනයේ වැඩිවීම විය හැක.
උමං  දුම්රිය පලක් - පින්තූරය අජිත් 

 ගිහාන්ගේ නේවාසිකාගාරයට යන මග ගස්වැල් එළඹෙන ශීත සෘතුවට සූදානම් වෙමින් තිබේ. තවමත් වටපිටාවේ ග්‍රීෂ්ම සෘතුවේ උණුසුම තිබුනත් කොළ හැලෙන්නට මෙන්ම කොළ වල පාට වෙනස් වීමද ඇරඹි ඇත. කහ, රෝස, ලා  දුඹුරු හා කොළ පාටින් ගස් වැසි ගොස්ය. උදෑසන හිරු එළියෙන් චමත්කාරවූ මාවතේ ඇවිද යන තමන්ගේ සිත ආහ්ලාදයෙන් හා අමුතුම උන්මාදයකින් පිරී ඇති බව ගිහාන්ට සිතේ. තාන්යා ටද එය බෝවී ඇත. ඇය යන ගමන් ගසක අත්තක් අල්ලාගන්නට මෙන් උඩ පනිමින් යන්නී, හදිසියේ හැරී කුඩා දැරියක මෙන් ඔහු වෙතට පැමිණ උරයේ එල්ලෙයි.  එසේ පැමිණ හැම වතාවකම ඔහු ඇගේ මුදු දෙතොල හෝ රත් පැහැ කම්මුල් සිඹීය.

"බඩගිනිද ස්තලෝවයා (කැන්ටිම) එකට රින්ගමු නේද?"
ගිහාන් ඇගේ කණට කොඳුළේය.
"මොකද කොඳුරන්නේ" - තාන්යා ඔහුගේ මුහුණ  නහයෙන් තල්ලු කළාය.

"මොකද හොම්බෙන් තල්ලු කරන්නේ"
 ගිහාන් තරහ මුහුණක් පෑවේය. කැන්ටිම තුලට ගිය තාන්යා උදය ආහාරයට දෙන දිය කිරි බත් දෙකක් හා කිරි කෝපි  දෙකක් ගෙනාවාය. ලංකාවේ කිරිබතට  වඩා වෙනස් මෙය කාශා (කැඳ) නමින් හැඳින්වේ. හුණු හාලේ කැඳ වලට කිරි දමා සීනි දමා ගත් විටක මෙනි.  තාන්යා එයට කැමති බව ගිහාන් දනී. ගිහාන්ට ඒ මදිය. ඔහු නැගිට ගොස් මස් දැමු පිරශ්කි කිහිපයක් ද ගෙනාවේය.

උදයේ කාමරයට යනවිට සුහද හා මරියා තවම නින්දේය. දොර හෙමින් හැරියද සුහද නැගිට්ටේය . මරියා ඈලි මෑළි කඩමින් අනිත්පසට හැරුණාය.
"මචං අපි අතනට ගිහින් රෙදි හෝදගෙන එන්නම්. දැනටමත් නමය පහු වෙලා."
ගිහාන් සුහදට කෙඳිරුවේය.
"අම්මට හුඩු රෙදි හෝදන්නත් යනවද එකට. මේකෙන් ගැලවෙන්න ලේසි නෑ උඹට පුතේ "
සුහදයා බැරෑරුම් ගතියක් පාමින්  කීවේය . ඌ හැම විටම අම්මට හුඩු යයි කියයි.සුහද ගේ විහිළුව හිනාවෙන් භාර ගත් ගිහාන් තමන්ගේ කිලිටි රෙදිද බෑගයකට දමාගෙන එළියට පැමිණියේය.


රෙදි සෝදන තැන පිහිටියේ ටිකක් ඈතට වෙන්නට සාමාන්‍ය ජනතාව වෙසෙන රජයේ නිවාස සමූහයක් අසලය. මෙය තරමක් විශාල ලොන්ඩරියකි.  දරුවකු සිටින එහෙත් සැමියන්ගෙන් වෙන්වී ජිවත් වන තරුණ මව්වරු (single mothers) ගැවසෙන තැනක් හෙයින් සමහර පිරිමි සිසුන් මේ පැත්තේ කරක් ගසන බව ගිහාන් දනී.

තාන්යා ඇඳුම් ගොනුකර ලොකු බැරලය වැනි මැෂින් එකට දමා කොපෙක් විස්සක් දමා එය පණ ගැන්වූවාය. ඔවුන් දෙදෙනා අසල බැංකුවක හිඳ  ගත්තේ එකිනෙකාට තුරුළු විය. 

අසල බංකුවක සිටින බාබුෂ්කලා (ආච්චිලා ) තිදෙනෙක් ඔවුන් දෙස සිනාසෙමින් බලන බව දුටු තාන්යා  ඔවුන්ට "ස්ද්‍රස්ත්විතියේ" කියා ආචාර කලාය . ගැහැණු තිදෙනා ඔවුන් වෙතට විත් කයියකට සුදානම් විනි.

මේ විශ්‍රාම ගිය රුසියානු බාබුෂ්කලා ඉතා කරුණාවන්තය. වරක් ශීත සෘතුවේ බසයක් එන තෙක් අසල තාප්පයක සීතලේ ගැහෙමින් ඉඳගෙන සිටි ගිහාන් වෙතට පැමිණි බාබුෂ්කා කෙනෙක් ගිහාන් එතනින් බිමට ඇද දැමුවාය. ඉන්පසු ඇගේ  බෑගයේ තිබු රෙද්දක්  ගෙන  නවා ඔහුට එය උඩ ඉඳ ගැනීමට අණ කලාය. ඇය ඔහුට කිවේ පස්ස බිම තබාගෙන සිතලේ ඉඳගෙන සිටියොත් ලෙඩ වන බවයි. බසයට ඔහු සමග ගොඩවුණු  ඈ තවත් නොයෙකුත් අවවාද  දුන්නාය. ගිහාන් සිනා මුසු මුහුණින් ඒවා ඉවසා සිටියේය.

නේවාසිකාගාරයේ දී වැඩිහිටි සිසුන් පැවසුවේ බාබුෂ්කා ගේ කතාව සත්‍යයක් බවය. දැඩි ශීතලේ එසේඉඳ  ගැනීමෙන් කොන්දේ අමාරු සෑදෙන බව ඔවුහු අනුමත කලහ.

බාබුෂ්කලා පෙම් යුවලට කැමැත්තක් දැක්වූහ. එකියක් ගිහාන්ගේ අත අල්ලා බැලුවාය. තම දුඹුරු සමට  ඔවුන් ඇලුම් කරන බව ගිහාන් දැන  සිටියේය. විස්තර කතා කරමින් සිටි එකියක් තාන්යා ගැබ්බර දැයි ඇසුවාය. ඇය විලියෙන් රතුවුණු බව ගිහාන් දුටුවේය. හිටපු ගුරුවරියක් වන අනිත් බාබුෂ්කා හතු හා බත් කලවම් කර සෑදු පිරශ්කි ගෙන සියල්ලටම කෑමට දුන්නාය. ඔවුන් තිදෙනාම එකහෙලා කියා සිටියේ ගිහාන් හා තාන්යා විවාහ වී ලස්සන, දක්ෂ  දරු මල්ලන් සැදිය යුතු බවයි. මේ මේ කතාව පොල්ලෙන් ගැහුවාක් මෙන් දැනුනු බව ගිහාන්ට සිහි විය. නමුත් කතාබහ මුළුල්ලේම ගිහාන්ට තුරුළු වෙමින් සිනාවෙමින් සිටි තාන්යා ගේ රුව ගිහාන්ට අද මෙන් මතකය.

රෙදි හෝදා වේලාගෙන ඔවුන් නේවාසිකාගාරය බලා පිටත් වුහ.
"අද බත් උයන්නම්. ඔයා කාලම නැහැනේ අපේ කෑම. ටිකක් සැර වුනාට කමක් නැහැනේ. සුහදටයි තව යාලුවෝ දෙන්නෙකුටයි  එන්න කියමු. "
"ඔයා දෙන ඕන කෑමක් කනවා. වස දෙන්නේ නැහැනේ මට" තාන්යා ඔහුගේ දෑතේ වෙලෙමින්  කීවාය. 
  


laundrette  pictue from http://starkwhite.blogspot.co.uk/2012/08/russian-artist-installs-soviet-style.html

මේ කතාව  පරිවර්තනයක් නොව මගේ නිර්මාණයකි.  සියළු නම් ගම්  මනඃකල්පිතය.

ප ලි - උමන් දුම්රිය පලේ පින්තුරය මෙවර රුසියාවට ගිය අවස්ථාවේ ගත්  එකකි.

Thursday, 17 November 2016

අන්තරාභවය, ගන්ධබ්බ, බාඩෝ සංකල්පය හෙවත් ධර්මාත හා මළවුන් සමග කතා කිරීම

මේ ලිපිය ලියවෙන්නේ "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි" ලිපි පෙලට සම්බන්ධ අතුරු ලිපියක් ලෙසය. එහි එකොලොස්වන කොටස හා සබැඳේ.
"නයනේ සිතුවිලි" ගේ ප්‍රතිචාරය:  //අජිත්
පළමුවෙන්ම මාව ඔබේ මනසේ ඇති "ථේරවාදී" "බෞද්ධ" යන කැටගරි දෙකෙන් ඉවත් කරන්න එය ඔබ විසින් හේතුවක් නොමැතිව සාදාගත් වර්ගීකරනයක් තුලට මා දැමීමකි. ථේරවාදී දහමෙහි දෙවියන් හා ප්‍රේතයන් ගැන සඳහන් වෙයි. එවැනි සංකල්ප මහා යානයෙහි නැති බවක් ඔබ කියන්නේද? //
//මා එසේ කියන්නේ නැත. //
//දෙවියන් හා ප්‍රේථයන් පසෙක ලන්න. බුදු දහම සාකච්චා කරන්නේ මිනිස් ඉන්ද්‍රියයන්ට ගෝචර වන හා නොවන සත්ත්ව කොට්ඨාශ ගැනයි.
ගධබ්බයා යනු අන්තරාභවිකයෙකි යන්න කවුරුන් කෙසේ දුන් අර්ථකථනයක් දැයි මා නොදන්නා මුත් ඔබ එසේ කියන නිසා ඔබේ මතය මත රැඳී පිළිතුරු දෙන්නෙමි. //
බුදු දහමෙහි ඇති මූලිකම ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාදය ඇසුරින් මම අතරාභවිකයෙකුගේ පැවැත්ම අභව්‍ය බව පෙර සඳහන් කලෙමි. // 
මේ ගැන මගේ පිළිතුර පහත ඇත. 
මෙය වටහා ගැනීමට බුදුදහමේහි ඉගැන්වෙන භවය යන සංකල්පය වඩා හොඳින් වටහා ගත යුතුය. එසේම මා විසින් පෙර ඔබ මා ඇතුළු සැම මලගියවුන්ය යනුවෙන් කල සඳහන ඔබ වටහා ගත්තාද?
ඉතින් මේවා ගැන වටහා ගැනීමකට හෝ හැදෑරීමකට නොපෙළැඹී පෙර මතයම පුනරුච්චාරණය කරන විට එය නැවත කීම හරසුන් බැවින් මා ඒ ගැන කතා නොකිරීමට තීරනය කලා මිස ස්වයං වාරණයක් පනවා නොගතිමි.
//මේ ගැන සම්පුර්ණ ලිපියක්ම ලියන්නට තීරණය කලේ මා මෙය හදාරා නැති බවට ඔබ සිතන හෙයිනි. //
ඔබ කියන අන්තරාභවිකයා, සිතුවිලි පහල කරන්නෙකු නම්, ලෝභ මෝහ ද්වේශ ගති ඇත්තෙකු නම්, කුමන අයුරකින් හෝ අන්‍යයන් හා ගනුදෙනු කරයිනම් ඒ අන්තරාභවිකයෙකු නොව යම්කිසි භවයක වෙසෙන සත්ත්වයෙකු බව මා කියමි. එසේම ඒ සත්ත්වයා දෙවියෙකු හෝ ප්‍රේතයෙකු යැයි යමෙකු කියනවානම් මා ඒ පිළිබඳව නොදනිමි. එහෙත් ඒ මිනිසාට ගෝචර නොවන යම්කිසි කොට්ඨාශයකට අයත් සත්ත්වයෙකු විය හැකි බව මාද කියමි. එසේ නැතිනම් ඔබ කියන මලගිය පුද්ගලයා (හෝ අන්තරාභවිකයා ) යනු නොනැසෙන ආත්මයක මරණින් පසු පැවැත්මක් ලෙස අප විසින් වටහා ගත යුතුය. බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය. ආත්ම සංකල්පය මහායානයෙහිද ප්‍රතික්ශේප වන බව ඔබ පිළිගන්නවාද?

මෙහිදී ඔබ දරන්නේ ඔබ විසින් හැදෑරූ කරුනු වලින් බැහැරව අන්‍යයන්ගේ මතවාද නිසා වාදය පලක් නැති වේවි. එහෙත් මුලින් ලේකන ගත වූවාය යන්නට අමතරව මේ දෙකින් කුමක් වඩා නිවැරදිදැයි කීමට ඔබ සතුව වෙනත් හේතූන් නැති බවක් පෙනී යයි. එවැනි සරළ හේතුන් මත එකක් වැරදිය අනෙක නිවැරදිය කීමට වඩා දෙකම හදාරා දෙකෙහිම කියැවෙන පොදු කරුනු තුලින් ඔබට මීට වඩා වැඩි වැටහීමක ලබා ගත හැකි වනු ඇත.එහෙත් ඔබේ උත්සාහය ථේරවාදය හෝ මහා යානය ගැන විමසීම නොවනා නිසා ඒ ගැන මෙහි වාද කිරීමෙන් ඇති ඵලය කුමක්ද?

මා ඔබේ ලිපිපෙල ආශාවෙන් කියවමි. ඉදිරියටද ඒ හා හැකි සෑම විට සම්බන්ධ වෙන්නෙමි.
හරවත් යමක් සාකච්චා කරමු එය අපි සැමගේම දැනුම අවබෝධයට හේතු වේවි.//

මේ ප්‍රතිචාරයට පිළිතුරක් දීම කොමෙන්ටුවේ අපහසු හෙයින් වෙනම ලිපියක් ලිවීමට තීරණය කළෙමි.  ඇත්තටම මට අවශ්‍ය ආගම් ගැන සාකච්ඡාවක් නොවුනත්  මෙය පැහැදිලි නොකර ඉදිරියට යාමට නොහැකි බව පෙනේ. සමහරවිට නයනේ කියන්නාක් මෙන් මට කිසියම් වචන පැටලීමක් සිදුවී ඇත්දැයි සොයා බැලීමි.  නයනේ ගේ ප්‍රතිචාරයට වෙනම පිළිතුරු දීමට සිතුවේ මා මුල් අවධියේ සිට මේ අධිමානසික විද්‍යාවන් ගැන සොයද්දී සහභාගී වූ මිතුරා ද ඒ පිළිබඳව මේලයක් එවූ බැවිනි. එය මෙහි අගට ඉංග්‍රීසියෙන් දක්වා ඇත.

නයනේ කියන මේ කොටස මගේ අදහස් සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත හරවයි. //බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය//
මා මුල සිටම (ලිපි අංක 1-10 දක්වා) කීවේ මළගිය අය කියන්නේ ඔවුන් සිටින ස්ථානයේ (plain) සිට ආලෝකය දෙසට යන බවයි. ලවුලන් ඇතුළු මිඩියම් ලා පවසන්නේත් එය බවයි. නමුත් රුපවාහිනියේ පෙනී සිටින ඇතැම්  බටහිර මීඩියම් ලා තමන්ගේ ක්‍රිස්තියාන දහම ලං කරගෙන ආත්මයක් ගැන සමහරවිට කතා කරයි. එයට කිසිම සාක්ෂියක් "මළ ගිය අය " කියන කතාවල නැත. එඩ්ගාර් කේසි විශ්වාස කළ නොහැකි බව මා ලිව්වේද එබැවිනි. එනිසා ආත්ම කතාවක් මා කොහෙවත් කියා නැත.

දැන්  පටිච්ච සමුප්පාදය ගනිමු. මෙහි පටි + ඉච්ච හි  පටි යනු බැඳීම (bonding) හා ඉච්ඡ යනු කැමැත්ත (liking) යන අදහස දෙයි. එනම්  යමෙකට ඇති ඇලීම හා සම්බන්ධයයි. මෙයට ආශාව (craving) කියාද කිව හැක.  සම + උත්පාද = සමුප්පාද හි සම යනු එකම (same) හා උප්පාද යනු ඇතිවීම, තිබීම උපදීම යන අදහස, හෙවත් භව (existence) යන අදහස දෙයි.  එනිසා සමුප්පාද යනු පැවැත්ම හෙවත් භවය සඳහා යොමු කරවන්නක් හෙවත් බැඳීම ඇති කරවන්නක්  වෙයි.

උදාහරණයක් වශයෙන් යමෙකු එල්ල කර කෙනෙකුට සතෙකුට තරම් තද කෝපයක් පහල වුණායයි සිතමු.  එහිදී අප අර සතාට සමාන ලෙස පහුරු ගාන්නට, ගහන්නට යනවා යයිද සිතමු. අප භෞතිකව (ශාරීරිකව) නොකලත් සිතින් හෝ කරන්නේ යයි සිතමු. එවිට එතන අප විසින් "භවයක්" උපදවයි. එනම් සතෙකුට සමාන ක්‍රෝධාත්මක භවයක් අපේ සිතේ උපදී. එය අපේ  ජාති හෙවත් නැවත උපතකට හේතුවක් විය හැක.   එසේ වන්නේ අප ඒ මොහොත සඳහා බැඳීමක් ඇති කරගත් නිසාය. ථෙරවාද හාමුදුරුවරු පොලිසියට, විරුද්ධකරුවන් ට ගහ බැනගෙන යනු ඔබ බොහෝවිට දකින්නට ඇත. ඔවුන් එහිදී මේ බැඳීම හා නැවත උත්පත්තිය ඇති කර ගන්නා බව සිතිය හැකිය.

මේ භවය විසින්  එම නිසාම කම්ම බිජ ඇති කරයි. එනම් සංඛාර, කම්ම, කම්ම බීජ, කම්ම විපාක යනුවෙනි. මෙය ඊට පසු "ගතියක්" හෙවත් සංසාරයේ  ගතියක් හෝ ආසාවක් වෙයි. (ලිංගික අදහසක් ඉපදීමද මේ වැනිමය). කොටින්ම පටිච්ච සමුප්පාදයේ කියන්නේ ඇලීම/සම්බන්ධය නිසා ඇතිවන භවය මගින් නැවත ඉපදීම් සිදු කරන බවය.
මේ "භවය" යනු ඔබේ සිතෙහි නිතර ඉපිද මැරෙන සිතුවිලිය. (එනිසාම අපිද නැවත නැවතත් සිතුවිලි වශයෙන් ඉපිද මැරේ හෝ අපද මළවුන් වැනි යයි නයනේගේ තර්කයද නැගිය හැකිය).  මේ ඇලීම හා ඉන් උපදින භවය නිසා නැවත ඉපදීමද ඇතිවේ.
උදාහරණයක් වශයන් ආචාර්ය නලින්ද සිල්වා විද්වතා සඳහන් කරන  "සිංහල බෞද්ධයා" එම ඇලීම නිසාම නැවත ඉපදිය හැකිය. ඒ අනුව සිංහල බෞද්ධ සංකල්පයම පටිච්ඡ සමුප්පාද විරෝධිය.

දැන් මේ භව හෙවත් (existence) නමැති කොටස ගත්තොත් මා  දහවෙනි ලිපියේ  අප මේ  සොයන්නේ පැවැත්ම ගැන බව, එනම් එහි  ඔන්ටෝලොජිය (දේ යනු කුමක්ද) හා එපිස්ටමලොජිය (ඒ ගැන අප දන්නේ මොනවාද) ගැන බව  කීවේ එහෙයිනි. නාගර්ජුන ගේ ශුන්යාතය වටහා ගත  යුත්තේද මෙතනය.  පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයෙහිය.
ඔබට වෛරී භාවයක් ඉපදුනොත් එය මැඩ ගත්තොත් ගතියක් නොවුන හොත් "ජාති" හෙවත් නැවත ජන්මයක් ඇති නොවිය හැකිය. නමුත් ඔබ ඒ තුල තදින් ඇලී ගැලී සිට මරණ අවස්ථාවේදී පවා සිතුවොත් ඔබ අනිවාර්යයෙන්ම වෛරී ආත්මයක උපදී.

බුදු දහමේ ඇත්තේ හේතු-ඵල වාදයකි. පැවැත්මට හේතුවක් ඇත. ඉපදීමට හේතුවක් ඇත. මෙය නිව්ටෝනියානු සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත යන්නට වෙනස් බව මුල් ලිපියක සඳහන් කලෙමි.  පටිච්ච සමුප්පාදයෙන් මෙය මනාව  විස්තර කෙරේ.

මුලින්ම ම අශ්වඝෝෂ, නාගර්ජුන ආදීන් ගැන කතා කිරීමේදී (දහවෙනි කොටස) ඔවුන් අදහස් කළ  ධර්මකාය ගැන සටහන් කළෙමි.
නයනේ හා ප්‍රබෝද් නිවැරදිව කියන්නාක් මෙන් මහායානයේ දෙවි වරු (deities) සිටිති. එය මට ප්‍රශ්නයක් නොවන්නේ ගන්ධබ්බ අවස්ථාව ඔවුන් පිලි ගන්නා හෙයිනි.  ඔවුන්ට මෙහිදී මගේ තර්කය කිසියම්  විධිහකින් නොවැටහෙන්නේ ගන්ධබ්බ හා අන්තරා භවය යන වදන භාවිතා කිරීම  නිසා බව හඟිමි.

මා එම වදන භාවිතා කළේ එය පහත සඳහන්  සුත්‍රවල ඇති  නිසාය.  මේ සඳහා මේ ලිපිය අන්තර්ජාලයෙන් බාගෙන බලන්න. අන්තරාභාවය ගැන සඳහන් නොකරන්නේ ථෙරවාදීන් නිතර පරිශීලනය කරන මොග්ගලීපුත්ත තෙරුන්ගේ කථාවත්ථු පොතේ එය නැති නිසා බවද  11 වන ලිපියේ සඳහන් කළෙමි.

ථෙරවාදීන් කියන්නේ බුදුන් මේ අන්තර් අවස්ථාව ගැන නොකී බවයි. බුදුන් වදාළේ පැවැත්මේ (existence) අවස්ථා 3ක් ගැන බවයි. එනම් සංවේදී ලෝකය (ඇසට, කනට දැනෙන  sense world), රූප ලෝකය (form world ) සහ අරූප ලෝකය (formless world ) ගැන පමණක් බවයි. - (කථාවත්ථු පොත)- මිලින්ද ප්‍රශ්නයේ නාගසේන හිමි ග්‍රීක රජු මිලින්ද හෙවත් මෙනන්දොස් ට පවසන්නේ නැවත ඉපදීම මැරුණු ක්ෂණයකින්ම සිදුවන බවයි.  මේ ථෙරවාදී පාසලේ හැර අනි සියලු ගුරුකුල වල මහායානයේ හා වජ්රයානයේ (තන්ත්‍රයානයේ) ගන්ධබ්බයා ගැන පවසා තිබේ. මහා තණ්හා සංඛය සුත්‍රයේ මවගේ හා පියාගේ සංවාසයක්  නැත්නම්, මව තම සෘතුවේ නොසිටී නම් ගන්ධබ්බයකු (being-to-be-born) ඇති වන බව කියවේ. ඒ අනුව නැවත ඉපදීමට මව හා පියා අතර සංවාසය, මව සෘතුවේ සිටීම හා ගන්ධබ්බයකු සිටීම අනිවාර්ය වේ.


ථෙරවාදීන් හඳුන්වන්නේ පහත්  දේව කුලයක් වන  ශුද්ධවාසයේ උපදින්නේ ගන්ධබ්බයා යනුවෙනි.

අස්සලායන සුත්‍රයේ බ්‍රාහ්මණ වරුන් හත් දෙනෙකුට දෙසන බණේ දීද මේ අවස්ථා තුන ගැන කියවේ. එසේම වච්ඡට දෙසන කුතුහලාසල සුත්‍රයේ මෙසේ කියයි. උපාදානයක් (හේතුවක්, ආශාවක්) ඇතුව නැවත උපදිම  මිස ආශාවක් නොමැතිව නැවත ඉපදීමක් නැත. නැවත ඉපදීමට සිරුරක් සොයන්නේ ආශාවෙන් මඬනා ලද බැවිනි. මේ සිරුර සොයන්නේ ගන්ධබ්බ (intermediate state) තෙමේය.

බොජ්ජංග සීල සුත්‍රයේ සත්‍ය අවබෝධ කර ගන්නා සත් දෙනෙකු ගැන කියවේ. පළමු වැන්නා තම ජීවිතය තුල නිවන අවබෝධ කරගනී. දෙවැන්නා දහම ඉගෙනීම කරතත් ජීවිතය තුල අවබෝධ කර නොගෙන මරණය අවස්ථාවේ නිවන අවබෝධ කර ගනී. (ගන්ධබ්බයෙකු නැත) ඉන්පසු නැවත  නොඑනා (නුපදින)පස් දෙනෙකු ගැන කියවේ.

 තුන්වැන්නා නිර්වාණය තම ජීවිතයේ තුල දී අවබෝධ කර නොගෙන, මරණය එළඹෙන මොහොතේදී අවබෝධ කර නොගෙන නමුත් ගන්ධබ්බ අවස්ථාවේ , (අන්තරා පරිනිබ්බායි) (intermediate state)හි තණ්හා, ආශා ආදීන් මැඩ නිවන අවබෝධ කර ගනී. නැවත  නුපදී.

හතර වැන්නා තම ජීවිතයේදී, මරණයේදී, ගන්ධබ්බ අවස්ථාවේදී නිවන අවබෝධ නොකර ඉහත යදම් බිඳ ඉපදීමට තැත් දරන වෙලේ නිවන අවබෝධ කරගනී.

පහ සහ හය වැන්නවුන් දේව ලෝක දෙකක ඉපිද නිවන අවබෝධ කර ගන්නා අතර සත්වැන්නා අකනිටා නම් ඉහල ස්තරයක (ලෝකයක් ?) දී නිවනට පත්වෙයි. මේ සෑම අවස්ථාවකම  අන්තරා භවික අවස්ථාව පැහැදිලිව දක්වා තිබේ. මිට අමතරව තවත්  සුත්‍ර 18ක අන්තරාභවික හෙවත් ගන්ධබ්බ අවස්ථාව දැක්වේ.

 අන්තරා භාවයේ සැරිසරන ගන්ධබ්බ තෙමේ මුල් දින හත තුල මව්පිය සංවාසය හා මවගේ සෘතු පිහිටීම අනුව සුදුසු  ගැබ නොලැබිණි නම් දින හතකින් නැවත  මරණය වූ මුලින් ජීවත්වූ  පෙදෙසට පැමිණේ. (හත් දවසේ දානය) ඉන්පසු සති 7 කින්  පැමිණේ.  (දවස් 28 -තුන් මාසයේ දානය සති 12කි). ඉන්පසු සති 49 කින් පැමිණේ. (අවුරුද්දේ දානය සති 52). එසේම බිරිඳට ආදරයෙන්, පෙම්වතියට නිවසට ඇල්මෙන්, ක්‍රෝධයකින් මිය ගිය විට ගන්ධබ්බයා ඒ ඇල්ම සහිතව සැරිසරයි. නැවත උපදීමට ප්‍රිය කරයි. මේ ජිවිතයේ මියයන  හැමෝම වගේ එලෙස ඇල්මක් ඇතිව මියෙන අය නොවේද?  මෙය පිලි ගැනීමට ථෙරවාදීන් අකැමැත්ත දක්වන්නේ මේ නිසා විය හැකිය.

මා "තිබ්බතයේ මළපොත" කියවුයේ 1983 අපොස උසස්  පෙළ විභාගය කර ප්‍රතිඵල එනතෙක් ලැබුණු විවේක කාලසීමාවේ මහජන පුස්තකාලයේ තිබු පිටපතක් සොයා ගැනීමෙනි. ඉන්පසු නැවත සොග්යාල් රින්පෝචේ තුමාගේ "ජිවත් වන අයගේ සහ මළවුන්ගේ ටිබෙටන් පොත" (The Tibetan book of living and dying )   කියවූයේ මේ ගැන වඩාත් දැන  ගැනීමටය.

මේ පොතේ "බර්දොස් (Bardos and  other  realities ) සහ අනිකුත් යථාර්තයන්" නමින් පරිච්ඡේදයක් තිබේ. (පිටුව 106) තිබ්බතයේ ඇත්තේ වජ්‍රයානය හෙවත් තන්ත්‍රයානයයි. එය මහායානය තරම් ම පැරණි හා ගැඹුරු දහමකි.

බර්දොස් හි අවස්ථා හතරකි. ස්වභාවික බර්දෝ හෙවත් මේ ජීවිතය බර්දෝ , වේදනාකාරී බර්දෝ හෙවත් මියයන බර්දෝ , ලුමිනස් (luminous - දීප්තිය සහිත ) බර්දෝ හෙවත් ධර්මාත බර්දෝ  (නාගර්ජුන ගේ ධර්මකාය අදහස ) , කර්මයානුකුල බර්දෝ හෙවත් උපදින බර්දෝ (becoming) . මින් ධර්මාත හෙවත් දීප්තියක් ඇති බර්දෝ ගන්ධබ්බ අවස්ථාව හෙවත් අන්තරා භව අවස්ථාවයි.

මෙහිදී මරණින් පසු ඇති අත්දැකීම හෙවත් දීප්තියක් සහිත බර්දෝ (ආලෝකය සහිත) සිතේ දීප්තිමත් ස්වභාවය පෙන්නුම් කරන  ශබ්දය, වර්ණ සහ ආලෝක තුනෙන් සමන්විත  පිරිසිදු ආලෝකයකි. ලවුලන් ලා මියගිය වුන් ආලෝකය දෙසට යන බව කිහිප විටක්ම මට කියා තිබේ.

ඔවුන් (තිබ්බතයේ) කියන්නේ මුලික (primordial) බුදුවරයකු වන සමන්තභද්‍ර හිමි (අටවිසි බුදුන් ගෙන් කෙනෙක්) විසින් එම ධර්මය වදාළ බවයි.

මේ ගන්ධබ්බයා ට හෝ බර්දෝ හෙවත් ධර්මාත ට මුදල් අවශ්‍ය නැත. එනිසා එයින් ලොතරැයි නොම්මර ඉල්ලා ගත නොහැකිය. මීඩියම් වරු නිතර කියන කරුණක් නම් මුදල් ගැන ඔවුන්ගේ ඇල්මක් නැති බවයි. මුදල් ගැන ඇල්මක් ඇතිව මියගිය කෙනෙක් හමු වුවහොත් බොහෝවිට පෙර ජිවිතයේ මුදල් උපයා ගත් ආකාරය කියනු ඇත.

ඉතින් ලවුලන්ලා ඇතුළු මීඩියම් ලාගේ මොළයේ වෙනස් කම් සොයන ගමන්ම, පොළොවේ චුම්බක ක්ෂේත්‍ර සොයන ගමන්ම  බෞද්ධ දර්ශනයේ මේ පිලිබඳ ඇත්තේ මොනවාදැයි සෙව්වෙමි. එසේ කලේ මේරි බ්ලවට්ස්කි ගැන අහම්බෙන් කියවීමෙනි. ඇය හා ඕල්කට් ගේ සම්බන්ධය සොයාගෙන ඔවුන් මළවුන් ගෙන්වා දර්ශන (seance) කළ බව දැන, ඔවුන්ද ඉන්දියාවට බුදු දහම සොයා ගිය බව කියවීමෙනි.  මේ ගැන හතරවෙනි පස්වැනි කොටස් වල ලියා  ඇත. ඉන්දියාවෙන් ලංකාවට  පැමිණි ඔවුහු බෞද්ධ පුනරුදයටද උදව් වුනු අතර අනගාරික ධර්මපාල තුමන් සමග ඇති කරගත් ප්‍රශ්නය වන්නේ මේ ගන්ධබ්බ ප්‍රශ්නය බව සිතමි. එය ආත්මයේ දිගුවක් බවට කවුරුන් හෝ අනගාරික තුමාට වරදවා කියා තිබෙන්නට ඇත. සමහර විට ආචාර්ය නලින්ද සිල්වා මහතා ඕල්කට් බුදු දහමට විරුද්ධ වන්නේ, ඕල්කට් බෞද්ධයා යනු  බටහිර බෞද්ධයා ලෙස සඳහන් කර සිංහල බෞද්ධ අදහස් ඉදිරිපත්  කරන්නේත් මේ නිසා විය හැක.

නමුත් මට  එය අදාළ නැත. ලවුලන් ඇතුළු මීඩියම්  වරු සම්බන්ධ වන  මළගියවුන් (ගැන) කියන දේ මේ ගන්ධබ්බ හෙවත් අන්තරාභව අවස්ථාවෙන්  මට පැහැදිලි කර ගත හැකි විය.  ප්‍රශ්නය මෙය විද්‍යාත්මකව ඔප්පු කළ හැකිද යන්නය. ලිපි පෙළ ලියන්නේ ඒ සඳහා මගේ වූ උත්සාහය පමණි.

මගේ මිතුරා මේ ගැන එවූ සටහන පහත ඇත. ඔහුටද පිළිතුර ඉහත  දක්වා තිබේ.

//Ajith, you refuse to believe what.you have learnt since your childhood because of the wool that others have drawn over that. You don't test them because you need a physical explanation for everything. You think it is foolish or naive to accept anything which could not be explained physically. Am I right Ajith? Luckily you are open enough to investigate everything. But you try to explain everything from a physical point of view, which is limited to five senses. Unfortunately I am not wise or knowledgeable enough to explain those things to you at the moment. (From the blog posts I have seen in your blog so far, Nayane sithuvili is the best I have seen. He/she is such a good storehouse of knowledge and much more advanced than us in that respect. I do not know who that is, but what she/he has said so far is correct according to what I know). There are so many things that you have to accept as possible, without necessarily believing them to be true. - //

මගේ මිතුරා කියන ආකාරයට යමක් පිලිගන්නවා නම් දෙවියන් ලෝකය මැවූ  ලෙසද එවැනි මැවුම්කාර දෙවියකු ඇතැයිද  පිලිගත හැකි විය යුතුය. ඇයි තමන්ගේ සංවේදනයන්ට ගෝචර නොවූවාට දෙවියන් සිටිය හැකිය.  මා එයට සුදානම් නැත.
විද්‍යාවේ කියන ක්වන්ටම් අංශුන් හෝ වෙනත් කුඩා අංශුන් අපට ගෝචර නොවේ. නමුත් පරීක්ෂණ, නිරීක්ෂණ සහ ගණිතමය ආකාරයෙන් අපට ඒවා ඇතැයි කීමට පිළිගත හැකි සාක්ෂි ඕනෑ තරම් ඇත.

අන්තර්ජාල ලිපිය:                    http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/2.17-Is-rebirth-immediate.-piya.pdf
පටිච්ච සමුප්පාදය - https://puredhamma.net/paticca-samuppada/paticca-samuppada-introduction/