Sunday, 18 September 2022

බ්‍රිතාන්‍ය රජ පවුලේ ජර්මන් හා රුසියානු සම්බන්ධතා

 



එලිසබෙත් රැජින ඉංග්‍රීසි ජාතික වන්නේ එංගලන්තයේ ඉපදීම  නිසා පමණකි. එංගලන්තයේ වෙනත් ජාතිකයන්ට ඉපදුනු ළමයින්ට බ්‍රිතාන්‍ය ජාතිකත්වය අහිමි කරන්නට තැචර් සැරසුණු වෙලේ රැජින එයට විරුද්ධ වූයේ ද  එනිසා වන්නට ඇත. (අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් රැජිනගේ විරෝධය නොතකා එය සම්මත කර ගත්තාය)  රැජිනගේ පවුල මූලික වශයෙන් පැවත  එන්නේ සැක්සන් කොබර්ග් ගොතා යනුවෙන් හැඳින්වෙන ජර්මනියේ කොබර්ග් නගරය තම රාජ්‍ය ආසනය කරගත් රජ පවුලෙනි. රැජින ගේ  මුත්තා වන, ඒ රජ පවුලේ ඇල්බට් කුමාරයා කසාද බැන්දේ, පසුව ශ්‍රී  ලංකාව පාලනය කල වික්ටෝරියා රැජිනය.  වික්ටෝරියා රැජිනගේ මව සැක්සන් කොබර්ග් ගොතා පවුලේ මුල් ඩියුක් වන පළමුවන එර්නස්ට්  ගේ සහෝදරියය..(ජර්මන්) ඇල්බට් එනිසා වික්ටෝරියා ගේ මස්සිනාය. මේ දෙදෙනාගේ පුතා හත්වැනි එඩ්වර්ඩ්ය. ඔහුගේ පුතා පස්වැනි ජෝර්ජ් ය. පස්වැනි ජෝර්ජ් ගේ පුතා හයවැනි ජෝර්ජ් වන අතර හයවැනි ජෝර්ජ් ගේ දියණිය දෙවැනි එලිසබත් රැජිනය.  පස්‌වැනි ජෝර්ජ් රජ පවුලේ වාසගම කෝබර්ග් වෙනුවට වින්ඩ්සර් නමින් වෙනස් කලේ පළමු ලෝක යුද්ධය නිසාය. 

රුසියාවේ මහා රැජිණිය වූ  කැතරින් ද ජර්මන්ය. ඇය වික්ටෝරියා  රැජිනට නෑ කමින් මිත්තනිය වන්නීය. මේ දෙදෙනාම ලෝකයේ සාර්ථක මෙන්ම දරුණුම  අධිරාජ්‍යයන් දෙකක් ගොඩ නැගීමට  දායක වුවෝ වෙති.  මේ දෙදෙනාම නාමික  රැජින පදවියෙන් එහා ගොස් රටවල් පාලනය කළහ. 









ඉනෙස් ගේ දෙමාපියන් වෙසෙන කොබර්ග් නගරයේ එම පැරණි ජර්මන්  රජ පවුලට අයත් මාළිගයක්  තවමත් තිබෙන  අතර එහි දෙවන එළිසබත්  රැජිනගේ ජර්මන්  නෑදෑයින් තවමත් වාසය කරති. ජර්මනිය රාජාණ්ඩු ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව කිසිම බදු මුදලක් රජ පවුල් වල  අයට ලැබෙන්නේ නැත (ඉතාමත් හොඳ වැඩකි). නමුත් ඔවුන්ට තමන්ගේ නම්බුනාම (ටයිටල්) තබා ගත හැකිය. එම මාළිගයේ ක්‍රිස්මස් කැරොල් හා ක්‍රිස්මස් දිනට කලින් දින රාත්‍රියේ දේව මෙහෙය බැලීමට පළාතේ මිනිසුන් එහි යාම සිරිතක් කරගෙන සිටිති. (එය වසර තුන් හාරසීයක සිට පැවතෙන සිරිතකි ). අපි නත්තල්  නිවාඩුවට ගිය විට ඉනෙස් ගේ දෙමාපියන් යන නිසා ඔවුන් සමග එහි යන්නෙමු. මගේ දරුවන් කුඩා කාලයේ මේ මාලිගය හැඳින්වූයේ සින්ඩරෙල්ලා කාසල් එක නමිනි. සුන්දර කුඩා  කඳු මුදුනක පිහිටා ඇති එය පෙනෙන්නේ එලෙස යයි සිතමි.  නමුත් මාලිගය හදන්නට ඇත්තේ පෙදෙසේ ජර්මන් ජාතිකයන් ගේ බදු මුදලින් විය හැක. 

බ්‍රිතාන්‍ය රජ පවුලට රුසියානු සම්බන්ධය 

මේ පිළිබඳව ලියන්නට ඉල්ලීමක් ලැබුණු නිසා කරුණු දෙක තුනක් ලිවීමට ස්තුවෙමි.  කලින් ලියූ  කොටසේ රුසියාවේ කැතරින්  මහා රැජිණිය සහ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින නෑ සබඳකම පැහැදිලි කලෙමි. මේ තවත්  පැත්තකි.  හැමෝම දන්නා පරිදි  රුසියානු විප්ලවයෙන් පසු  බොල්ෂෙවික් වරු රුසියානු රජ පවුල මරා දැමූහ. ගැටලුවක් ලෙස තිබෙන්නේ ලෙනින්  ඒ සඳහා නියෝග දුන්නාද   නැත්ද යන්නය. මේ ගැන ඇසීමේදී දහසකුත් එකක් වැඩ අතර (ලෙනින්  මුළු රුසියාවටම විදුලිය ලබා දීමේ සාකච්ඡාවල නිරතව සිටියේ යයි කියන ලැබේ)   ලෙනින් ලියා දුන් තුණ්ඩුවේ තිබී ඇත්තේ "මේ ප්‍රශ්නය නිමා  කරන්න ඕනේ , ඉක්මනින් " වැනි දෙයකි. එහි අදහස සමහර විට ඉක්මන් විසඳුමක්  සෙවිය යුතුය යන්න විය හැක.  නමුත් රොමානොව්ලා  රඳවාගෙන සිටි  යෙකතරින්බර්ග්  නගරයේ බොල්ෂෙවික්  නායකයන් මෙය  ක්‍රිප්ටික් නැත්නම් රහස් පණිවිඩයක් යනුවෙන් වටහා ගෙන රොමානොව්ලා  මරා දැමීමට අණ දුන්හ.  (දුක් විඳි  සාමාන්‍ය ජනතාව  රොමානොව් ලාගේ රුධිරය ඉල්ලා සිටි බවටත් රොමානොව් ලා නැවත බලයට පැමිණීමේ හැකියාවක්  තිබූ බවටත් ඔවුන් පසු ලෙනින් ට හා ට්‍රොට්ස්කි ට පැහැදිලි කර තිබුණි.) එසේම සමහර බොල්ෂෙවික් නායකයන් ලෙනින් ජර්මනියේ කයිසර් ගෙන් මුදල් ලබා ගැනීම නිසා ඔහු පිළිබඳ අවිශ්වාසයක් ද ඇතැම් නායකයන් ඇති  කරගෙන තිබුණි. මේ ගැන ජෙහාන් ලෙනින් යනුවෙන් ලිපියක් මම 2018 දී ලියා තිබේ.  ) 

මේ රොමානොව්ලා  යෙකතරින්බර්ග් නගරයට යැව්වේ කෙරෙන්ස්කි ගේ ආණ්ඩුවය. බ්‍රිතාන්‍ය කිරුළ සමග  නැදෑකම් තිබෙන්නේ මෙසේය.  රුසියානු අධිරාජ්‍යයේ අවසන් අධිරාජයා වන නිකොලස් II ගේ බිසව,   අලෙක්සන්ද්‍රා ෆියෝදොරෝව්නා අධිරාජිණිය, ජර්මන් සම්භවයක් ඇත්තියකි. . ඇගේ මුල් නම ඇලික්ස් කුමරිය වන අතර ඇය  හෙස -රයින් ප්‍රදේශයේ  ආදිපාද වරයාගේ  දියණියයි. ඇලික්ස් කුමරියගේ පියා ජර්මන්ය. ඇගේ මව ඉංග්‍රීසි රජ පවුලේ ඇලිස් කුමරියයි. ඇලිස් කුමරිය වික්ටෝරියා මහා රැජිනගේ හා ඇගේ සැමියා ජර්මනියේ ඇල්බට් (සැක්සන්  කොබර්ග් ගෝතා) ගේ තෙවන දියණියයි. මේ  අනුව සාර් නිකොලස් ගේ දූවරුන් හා ඔටුන්න හිමි කුමරා ඇලෙක්සෙයි නිකොලායෙවිච් ,  දෙවන එලිසබත් රැජිනගේ සීයා පස්වැනි ජෝර්ජ්ගේ  ලේ නෑයන්ය.  

දෙවැනි නිකොලස් අධිරාජයාගේ මව ඩෙන්මාර්ක කුමරියකි. පියා රුසියාවේ තෙවන  ඇලෙක්සැන්ඩර් ය.  මේ සම්බන්ධය දෙවන ඇලෙක්සන්ඩර්, පළමුවැනි නිකොලස්, පළමු වන පෝල්  හා තෙවන පීටර් දක්වා දිවයයි. තුන්වැනි පීටර් ජර්මන්ය. ඔහුගේ බිසව රුසියාවේ කැතරින් මහා රැජිණිය තෙවැනි පීටර් බලයෙන් පහකර  රුසියානු අධිරාජ්‍යයයේ  බලය අල්ලා ගත්තාය. මා කලින් කී පරිදි ඇය හා වික්ටෝරියා රැජිනියද නෑදෑයන්ය.

මේ නිසා රුසියානු රජ පවුල හා එංගලන්ත රජ පවුල ඉතාමත් සමීපය.  නමුත් රුසියානු පෙබරවාරි විප්ලවයෙන්  බලයෙන් පහ වුනු නිකලස් අධිරාජයා ඇතුළු පවුලට එංගලන්තයට යන ලෙස කෙරෙන්ස්කි රජය අවසර දුන් මුත් ඔවුන් පැමිණියේ නැත. ලෙනින් ගේ රජයද මේ අවසරය එලෙසින්ම දුන්හ. නමුත් පස්වන ජෝර්ජ් රජු ගෙන් එංගලන්තයට පැමිණීමට ඔවුනට අවසරයක් ලැබී තිබුනේ නැත. තවත් රජ පවුලකට වියදම් කිරීමට  බ්‍රිතාන්‍ය රජය අකමැති වීම නිසා විය හැකිය.  මේ නිසා රොමානොව් ලගේ රුධිරය, බොල්ෂෙවික් වරුන් ගේ පමණක් නොව  බ්‍රිතාන්‍ය රජයේ දෑත් වලද තැවරී තිබේ.

 1991 දී ගොඩ ගන්නා ලද රොමානොව් පවුලේ සිරුරු  රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූටින්  ගේ අණින්    පීටර් සහ පෝල් පල්ලියේ ගෞරවණිය ලෙස තැන්පත් කර තිබේ. තමන්ට එලිසබත් රැජිනගේ අවමගුලට  ඒමට ඉඩ නොදීම ගැන ලිස් ගේ රජයට විරෝධය පල කරමින්  සාර් පූටින් සද්දයක් දැම්මේද  මේ නිසා විය හැකිය. 

ඔවුන්ගේ පැරැණි නෑදෑයන්ගේ සොහොන්ද එම පල්ලියේ  තිබේ.  මේ අප 2016 රුසියාවේ පිටර්ස්බර්ග් නගරයට ගිය විට ගත් ඡායාරූප කිහිපයකි. මේ සොහොන් සහිත පල්ලිය පිහිටා ඇත්තේ ට්සාර්ස්කොයේ සෙලෝ හෙවත්සාර් ලාගේ ගමේය. 










-අජිත් ධර්මකීර්ති 

ප.ලි: මම මේවා ලියන්නේ මම ඉතිහාස තොරුතුරු වලට කැමති නිසාය. මා රාජාණ්ඩු වාදියකු ද නොවේ.  සමුහාණ්ඩුවාදීන් ටිපර් විය යුතු නැත.  . 

ජෙහාන් ලෙනින්

රැජින වැළලීම 


Wednesday, 14 September 2022

ග්‍රීක රජයේ සේවක අතිරික්තය හා ශ්‍රී ලංකාව?

වසර 2015 දී පමණ මම සිරිසා සංවිධානය ගැන පළවූ සම්මුඛ සාකච්ඡාවක්  පරිවර්තනය කලෙමි. එය පරිවර්තනය කිරීමට මට යොමු කළේ දීප්තිය.  (දීප්ති කුමාර ගුණරත්න  ) - ඒ ලිපි පෙළෙහි අවසන් ලිපිය මෙයයි. සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 5 නමුත් මම සම්පූර්ණ සකච්ඡාවම  පරිවර්තනය නොකලෙමි. අවසන් කොටස ගැන හිතේ ඇතිවුණු විචිකිච්චාව නිසාය. ඒ සිරිසා යුරෝපා සංගමයෙන් ග්‍රීසියේ  ඉවතට යෑම හෝ අතිරික්ත සේවකයන්  ඉවත් කිරීම ආදිය නොවෙන දේ බවටත්  සිරිසා සංයුතියේ විවිධ දේශපාලන පක්ෂ වල කකුලෙන් ඇදීමක් වේයැයිත්  සිතු නිසාය. දීප්ති ඒ කොටස නොකිරීම ගැන  ගැන මගෙන් ඇසුවේද නැත.  


පින්තූරයේ සිටින්නේ ආර්ථික විද්‍යාව හදාරා ගණකාධිකාරිවරයෙකු ලෙස වැඩ කරන නිකොස් ය. ඔහු දක්ෂිණාංශික නව ප්‍රජාතන්තවාදී (new demoracy)  පක්ෂයට සහය දක්වන්නෙකි. ඔහුගේ ප්‍රියම්බිකාව අනස්තාසියා සිරිසා සංවිධානයට සහය දක්වන්නියකි. ඇය ද ආර්ථික විද්‍යාව හැදෑරුවත් රැකියාව කරන්නේ ග්‍රීක සෞඛ්‍ය සේවයේය. (උගත් දෙයට අනුකුලව රැකියා නොමැති බවට ඇය චෝදනාවක් ද කළාය.)  දක්ෂිණාංශික නව ග්‍රීක රජයට සහය දක්වන නිකෝස් ට යනුස් වරෆාකිස් හොඳ  ආර්ථික විද්‍යාව මහාචාර්යවරයෙකු වන අතර අසාර්ථක දේශපාලනඥයෙකි. ඔහු සිතන්නේ ග්‍රීක රජයේ අතිරික්ත සේවක සංඛ්‍යාව අඩු කළ යුතු බවය.  අනස්තසියා  ඇලෙක්සිස් සිප්‍රස් ට කැමති අතර සිරිසා ඊළඟ  මහා මැතිවරණයෙන් බලයට ඒ යැයි සිතන්නීය. සිරිසා පක්ෂ සභාගය  සංක්‍රමණිකයන්ට මානුෂිය ලෙස සැලකීම,   රැකියා ඇති කිරීම සහ සහනාධාර   දුප්පතුන්ට ලබා දීම ආදී කරුණු නිසා ඇය ඔවුන්ට සහය දක්වන බව පැවසුවාය.

මේ දිනවල විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදියේ අතිරික්ත සේවකයන් ගැන බොහෝ අයද වත්මන් ශ්‍රී ලංකා රජයද  කතා කරති. අතිරික්තයක් ඇත්තේ ඒවායේ පමණක්ද? 

සිද්ධිය 1: මහින්ද තුමා දෙවන වර රජවී තිස්සමහාරාම පාරවල් යෝධ සංවර්ධනයකට ලක්කළ පසු අපි ඒ පැත්තේ ගියෙමු. තිස්සමහාරාමයේ දී මට යම් මුදල් ප්‍රමාණයක්  අවශ්‍ය විය. සාමාන්‍යයෙන් මම බාක්ලේස් ඩෙබිට් කාඩ් පතින්  මුදල් අදින මුත් අතේ පවුම් තිබු නිසා ඒ අසල ලංකා බැංකුවේ ශාඛාවට (මතක විධිහට)  ගියෙමි.  දහවලක් වූ ඒ වෙලේ උෂ්ණය ඉතා අධික විය.  මම බැංකුව තුලට ගොස් මුදල් මාරු කිරීමට ගියේ මිනිත්තු කිහිපයකින් සල්ලි මාරු කරගෙන ආපසු යාමටය. මගේ නිගමනය සම්පුර්ණයෙන්ම වැරදි විය. මාව මේසයෙන් මේසයට යැවු බැංකු නිලධාරීහු  (එය පාසලක පන්ති කාමරයකට ටිකක් විශාල ශාලාවක්ය). අහවල් පොතේ , අර පොතේ මේ පොතේ ලියමින්, විදේශ ගමන් බලපත්‍රයේ  ෆොටෝ කොපි ගනිමින් යකා නැටූහ.  එක පොතක ලේඛන කෙරවූ පසු පියන් මහතා  එය රැගෙන අනික් මේසයට යයි.  එක අයෙකු පමණක් තැනම නැගිට අනික් මෙසයට් එය භාර දුන්නේය. 
පවුම් සුළු ගණනක් මාරු කිරීමට පස් දෙනෙකු වැඩක්  බෙදාගෙන කරන මේ විගඩම කුමක්දැයි සිතනා තර මගේ බිරිඳ ඉනෙස් බැංකුවට පැමිණියාය. මගේ  සහෝදරයා වෑන් රථයේ එන්ජිම නවතාගෙන බලා සිටින නිසා රථය තුල ඉතා උණුසුම් වී තිබුණි. ඇයට එය උසුලාගත නොහැකි වීම නිසා බැංකුවට පැමිණ ඇත්තේ මොනවා වෙන්නේ දැයි බැලීමටය. මා ඇය සමග කතා කරනු දුටු මුල් ලිපිකරු, " ආ එයාගේද සල්ලි, මම මේක මහත්තයට පෙන්වන්නම්  " යැයි මට පවසා මගේ ගමන් බලපත්‍රයද, ෆෝරම ද රැගෙන රැගෙන දකුණු පැත්තේ  කාමරයකට ගියේය. කාමරයේ හිටියේ ලොකුම ලොකු මැනේජර් කෙනක් වෙන්නට ඇත. ලොකුම ලොකු මැනේජර් එලියට පැමිණ අප දෙදෙනා දෙස  බලා හිස වනා ඇතුලට ගියේය.  මාරු කරන ලද මුදල් ලැබුනේ ඉන් පසුවය.

රාජපක්ෂවරුන් උන්ඩියල් ක්‍රමය නිර්මාණය කළේ කේපී හරහා එල්ටිටිඊ සල්ලි ඇදීමට යයි ඇතැම් අය කියති. නැත්නම් ආධාර වලින් ගසා කන ඩොලර් තම ගිණුම් වලට දා ගැනීමට යයි කියති. ඒ මොන හේතුව වුවත් උන්ඩියල් ක්‍රමයට අපට මුදල් ඉතා ඉක්මණින් මාරු කර ගත හැකි විය. බැංකු අස්සේ බඩ ගා මුන්ගේ ඔළුකම් හා නිලධාරිවාදය අත් විඳින්නට අවශ්‍ය නැත. වැල්ලවත්තේ දැන් සීල් තබා වසා  ඇති තැනක ඒ සඳහා ගතවූයේ   මිනිත්තු කිහිපයකි.

සිද්ධිය 2: පහුගිය දිනවල ග්‍රීසියේ සංචාරයක යෙදුනෙමු. ඇතැන්ස් නුවරදී  මම මුදල් මාරු නොකළ බැවින් යුරෝ සීයක් පමණ අතේ තිබුනොත් මැනවයි සිතා පවුම් සීයක් මාරු කිරීමට ගියේ බැංකුවකින් ක්‍රියාත්මක වන මුදල් මාරු කරන තැනකටය. එහි සිටියේ එක කාන්තාවක වුනත් ඇය මුලින්ම දුරකථන උපදෙස් ගත්තාය. ඉන්පසු ගමන් බලපත්‍රය රැගෙන ෆෝරම පුරවන්නට ගත්තාය. මගේ නම, ලිපිනය ආදිය ලියාගෙන මගේ පියාගේ නමද විමසුවාය. මේ වෙලාවේ හොඳටම  තරහ ගිය මම මුදල් ආපසු ඉල්ලුවෙමි. ඉනෙස් ද ඇතුලට පැමිණ මුදල රැගෙන ආපසු යමු යැයි කීවේ අමනාපයෙනි.  එහිදී සමාව ඉල්ලු කාන්තාව ඇයට ඒ සියල්ල කළ යුතු බව පවසා  පිරවූ ෆෝරමය ෆැක්ස් කලාය . අනුමැතිය ලැබුණු පසු මට ලැබිය යුතු  යුරෝ 116 වෙනුවට ලැබුනේ යුරෝ 89කි. ඒ කියන්නේ මාරු කල යුතු නියම රේට් එකට නොව ඉතා අඩු රේට් එකකි.   එතැන කිසිවකු නොඑන වේලෙන  තැනක් බව මම  නිරීක්ෂණය කළෙමි. එසේම  කෙලින්ම ඩෙබිට් කාඩ් පතින් ගෙවීම ග්‍රීසියේදී වඩා ලාභදායක  බවද වටහා ගතිමි.


සිද්ධිය 3: ඇක්‍රෝපොලිස් හි  අගෝරාව බැලීමට  ගිය ගමනේදී ග්‍රීක ස්ටොආ (Stoa) තුල පිහිට ඇති කෞතුකාගාරයේ කුඩා කියෝස්ක් එකට ගියෙමි. එහි එම  කෞතුකාගාරය හා වෙනත් කෞතුකාගාර ගැනද , අගෝරාව ගැනද , වෙනත් නටබුන් සහිත ස්ථාන ගැනද පොත් සහ සිහිවටන විකිනීමට  තිබුණි.  එතැන වැඩ කිරීමට එක් අයෙකු සිටියොත් ඇතිය. නමුත් ඒ වෙනුවට උපාධිධාරීන් තිදෙනෙකු ඒ කුඩා කඩයේ වැඩ කළහ. අපට අවශ්‍ය පොත නොතිබුණු අතර තිබුනේ ගණන් සඳහන් කළ ඩිස්ප්ලේ කොපියකි (පොත කියවා  බැලීමට ඇති කොපිය) . අප එය මුදලට ඉල්ලුවේ ඔවුන්ට තවත් එකක් ගෙන්වා ගත හැකි බැවිනි. ඔවුන් එය ප්‍රතික්ෂේප කළහ. එක අයෙකු අප ගත්  පොත් දෙක එකතු කර පොතක ලියූ අතර  තව අයෙකු කාඩ් වලට බිල් දෙන යන්ත්‍රය ඇල්ලුවේය. තව අයෙක් පිටු පසින් සිටගෙන මේ සියල්ල අධීක්ෂණය කරමින් උපදෙස් දුන්නේය. අපි දෙදෙනා සිනා වෙමින් පොත් දෙක මිලදීගෙන එතනින් පිටව ආවෙමු.


මෙවැනි සිද්ධීන් බොහොමයක් ලංකාව හා ග්‍රීසිය අලලා ලිවිය හැකිය. කෙටියෙන් කියන්නේ නම් අතිරික්ත සේවකයන් ග්‍රීසියේ සිවිල් සේවයේ  සිටින්නේ එරට පාලනය කල ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් නිසය. නව ප්‍රජාතන්ත්‍රවාදී හා පැසොක් යනු එම පක්ෂ දෙකයි. (පැසොක් තරමක් දුරට  ශ්‍රීලනිප, එක්සත් සමාජවාදී  පෙරමුණ සභාගය  හා සමානය) පැසොක් දැනට දුබල වී ඒ තැනට  සිරිසා පැමිණ  තිබේ.  ඉහත පක්ෂ දෙකම ඡන්ද ලබා ගැනීම සඳහා රජයේ පාලන ආයතන ආධාරකරුවන්ගෙන් පිරවීය. ප්‍රශ්නය වන්නේ සිරිසා ට සම්බන්ධ වෘත්තීය සමිති වල මේ අතිරේක සේවකයන් ද සාමාජිකයන් වීමය. එනිස සිරිසා නායක ඇලෙක්සිස් ට්සිප්‍රස් ඔවුන් රැකියා වලින් එළවීමට අකැමත්ත දක්වයි. නමුත් හිටපු මුදල් ඇමැති යානිස්  වරෆාකිස් මේ ප්‍රතිසංස්කරණ  වැඩ පිළිවෙලට කැමැතිය. යුරෝපා මධ්‍යම බැංකුව (ECB), යුරෝපා සංගමය, සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඔහු සාකච්ඡා කර ග්‍රීසිය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්ති මාලාවක් සැදුවේය. නමුත් ජනමත විචාරණයේදී එය පරාජයට පත්වී යානිස් ට ඉල්ලා  අස් වන්නට සිදුවුණි. සිරිසා මැතිවරණයෙන් පරාජයට පත්විය. අද ග්‍රීසියේ ඇත්තේ දක්ෂිණාංශික රජයකි.    


  
අප ක්‍රීටයේ සිටියදී හවස ආහාර ගත් කුඩා අවන්හලේ අයිතිකරු ලන්ඩන් වල සිටි ආර්ථික උපාධිධරයෙකි. ජෝර්ජියොස් සේර්වකිස් ගේ ආපන ශාලාව ගැන මගේ ඉංගිරිස් බ්ලොගයේ ලියා ඇත. එම ලිපියම ෆේස්බුක් වෝල් එකේද පල කර ඇත. ඔහුත් මා අදහස් හුවමාරු කරගත් හේරක්ලියොන් නගරයේ ප්‍රසිද්ධ මාකට් එකේ සාප්පු  හිමි සුළු වෙළඳන් කිහිප දෙනෙකුම යනිස් වරෆාකිස් ට කැමතිය. .   එසේනම් ඔහුගේ යෝජනා පැරදුනේ ඇයි? ඒ අය කියන්නේ  ට්සිප්‍රස් යුරෝපා සංගමයෙන් ඉවත්වීම පොරොන්දු දී එසේ නොකළ බවය. සිරිසාවේ සහයෝගය හිමි බොහෝ අයගේ රැකියා අහිමි වීමත් බදු ප්‍රශ්නයත් ඔවුන්ට වැදගත්ය. විශාල ව්‍යාපාරිකයන් ගෙන් අය වියයුතු  බදුත් ගෙවා නැත්නම් සුළු වෙළඳුන් වන තමන් බදු ගෙවිමද අනවශ්‍ය බව ඔවුන්ගේ තර්කයයි.  රටේම පෙරලියක් ඇතිකිරීම මිස කොටස් වශයෙන්කරන  පෙරළියකට කවුරුත් කැමති නැත.





ග්‍රීසිය වනාහි සෙනසුරාදා දහවලට කඩසාප්පු  වසා විවේකයක් ගෙන හවසට පැමිණ ඒවා විවෘත  කරන වෙළෙඳුන් සිටින සහ සිකුරාදා දහවල් වනවිට කන්තෝරුවේ බොසා  සමග සියල්ලෝම එලියට බසින රටකි. 



ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය මම දන්නේ නැත. බොහෝ දුරට ඔවුන් අන්තර්ජාතික  මූල්‍ය අරමුදලේ චෝදනාවන්ට මෙන්ම ඔවුන්ගෙන් ණය ගැනීමටද විරුද්ධ බව සිතමි. හිතවතෙකුට අනුව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තර්කය , ඇමතිවරුන් සංඛ්‍යාව අඩු කිරීම හා  දේශපාලකයන් ගෙන් ඇති බර අඩුකිරීම රැකියා කප්පාදුවකට කලින් කළ යුතු බවය. ඒ අදහසට මටද  එකඟ විය හැකිය. 

ශ්‍රී ලංකාවේ ජනතාවට තෙල් සහ විදුලිය පිළිබඳ ප්‍රශ්නයක්,  එනම් ඒවායේ හිඟයක් සහ විදුලි කප්පාදුවක් ඇති නිසා එම ආයතන වල අතිරේක සේවක සංඛ්‍යාවන් ගේ සිට අතිකාල හා වෙනත් දීමනා පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවීම සාධාරණය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ආයතන දෙකක් පමණක් නොව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුලය. ඒ හැම තැනකම ප්‍රතිසංස්කරණය කරන්නට යාම ඕනෑම රජයකට සියතින් ගෙල සිඳ ගැනීමකි. කිසිවකුත් තමන්ගේ රැකියාව අහිමි වෙනවාට කැමති නැත.

එනිසා රජය විසින් දේශපාලකයන් ගේ දීමනා හා අනිකුත් වරප්‍රසාද කප්පාදුවෙන් සියල්ල පටන් ගත යුතුව ඇත. පළාත් සභා වැනි වැඩක් නොකෙරෙන සුදු අලින් ගෙන් එක්කෝ වැඩක් ගත  යුතුය. නැත්නම් ඒවා දේශපාලනඥයන් සමගම වසා දැමිය යුතුය.  එවිට අනිකුත් රජයේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම් වලට ඇති ජනතා විරෝධය අඩු වනු ඇත. 

පෞද්ගලිකරණය කිරීම හැම ලෙඩටම තෛලය නොවේ. ජර්මනියේ හා ප්‍රංශයේ දුම්රිය සේවයන් භාග රාජ්‍ය ආයතන වෙති. ඒවා යුරෝපයේ හොඳම දුම්රිය සේවාවන් ය. නමුත් අවශ්‍ය තැන්වල දී පෞද්ගලික අංශයට ඇතැම් සේවාවන් භාර දීමෙන් හොඳ ප්‍රතිපල අත් විය හැකිය. දේශපාලනඥයන් ගෙන්  පටන් ගෙන සාමාන්‍ය වැසියා දක්වා වන අනවශ්‍ය රැකියා හා වරප්‍රසාද ඉවත් කිරීමද සුළු ව්‍යාපාර දියුණු කිරීමද සීමිත පෞද්ගලීකරණ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමේ වැරැද්දක් තිබේද? 

මේ යොමුවල  වැදගත් ලියවිලි දෙකක් ඇත.




Monday, 12 September 2022

රැජින වැළලීම

මේ වගේ ලිපි සහ පෝස්ට් කිහිපයක්ම කියෙව්වා. ලංකාවෙන් අරන් ගිය මැණික් වල සිට අබෝරිජින් වරු මරපු ඒවා ගැන රැජිණගේ මරණය වෙනුවෙන් ලියපු. රෙඩ්ලි සිල්වා දිගින් දිගටම කියනවා මම ෆේස්බුක් වෝල් එකේ ලියපු දේ රැජින ගැන කඳුළු හෙලීමක් කියල. (පහත බලන්න) මිත්තනයක් හැටියට රජ පවුල රැක ගන්න මැරෙන්න දවස් දෙකක් තබා මේ අබල දුබල ගැහැණිය නැගිටලා බ්‍රිතාන්‍ය අගමැතිනිය පිලි ගත්ත හැටි තමා මම ලීවේ.ඒක දැකල මට දුක හිතුනේ තවත් මිත්තණියක් නිසා කියන එක වාමාංශික රෙඩ්ලි ටතේරෙන්නේ නැහැ. එයාගේ ලන්ඩන් නායකයා කියල හිතන් ඉන්න ජෙරෙමි කෝබින් පවා මරණය ගැන කණගාටුව දක්වල නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ඒකට සහකම්පනය empathy කියල කියන්නේ. වාමාංශික අයෙක් කියන්නේ හැඟීම් නැත්තෙක් වෙන්න බැහැනේ. (පොල්පොට් ඇරුනහම) අනිත් මිනිසුන් වෙනුවන් අරගල කරනවා නම්. නමුත් ඇත්තට ගත්තොත් මරණයෙන් සහ ගිනි තැබීමෙන් සතුටු වෙන මිනිසුන්ට සහකම්පනය තිබෙනවද?
ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින් දරුවන් අරන් ගිහින් හදන්න කියල වධ හිංසා කලේ කතෝලික පල්ලිය. ඔවුන් මේ ලඟකදී සමාව ඉල්ලුව. කළ වැරදි මකන්න බැහැ තමයි. ඔස්ට්‍රේලියාව ලංකාව වැනි රටවලට වැඩිම රැකියා දෙන රටක්. . මම හිතනවා ඇබොරිජින් වරු ගැන ඒ රටේ රජය කාලෙකට කලින් සමාව ඉල්ලුව. රසල් දන්නවද දන්නේ නැහැ රැජින අබෝරිජන් නායකයන් ලන්ඩන් ගෙනත් පිලි ගත්ත වග සහ සමාව ඉල්ලපු බව.

ඊට අමතරව රැජින තැචර් ගේ කාලේ දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදයට සහය දීමට විරුද්ධව  තැචර් සමග වාද කල බවත් නෙල්සන් මැන්ඩෙලා සඳහන් කර තිබෙනවා. මැන්ඩෙලා සහ එලිසබෙත් රැජින හොන්ඩ යාළුවෝ. උබලගේ ආණ්ඩුව තමා වර්ණභේද වාදය ගෙනාවේ අපව යයත් කරගෙන කියල මැන්ඩෙලා රැජින ගෙන් ගේම ඉල්ලුවේ නැහැ. මොකද මැන්ඩෙලා දැනගෙන හිටිය ඒව කලේ රැජිනගේ නමින් හෝ වෙන කවුරුවත් කියල.  මට මතකයි එංගලන්තයේ උපදින අයට ජාතිකත්වය නොදීමට ගත්ත  තැචර් ගේ තීරණයටත් රැජින විරුද්ධ වුනා. 

පෞද්ගලිකව ගත්තොත් කෝබින් වගේම මමත් සමුහාණ්ඩු වාදියෙක්. ඒ කියන්නේ රාජාණ්ඩු ක්‍රමයට විරුද්ධයි. ඒක පහුගිය කාලය පුරාම තිබ්බ එකක්. ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යය යන අදහස මත පදනම්ව. හැබැයි මේ කට්ටියක් ඉන්නව ඒ අයට මේවා මතක් වෙන්න කවුරුහරි මැරෙන්නම ඕනේ.

දැන් ඉංග්‍රීසින් ඌව වෙල්ලස්ස ට කරපු විනාශය නොදන්න කෙනෙක් නැහැනේ. ලංකාවේ කිහිප දෙනෙක් කාලයක් පුරා උත්සාහ කරල අත් හැරලා තියෙනව ඉංග්‍රීසි රජයෙන් ඒ පිළිබඳව වන්දි ඉල්ලන එක. වන්දි ඉල්ලන්න ඕනේ රජ පවුලෙන් නෙමේ. බ්‍රිතාන්‍ය රජයෙන් එංගලන්තයේ 1649 දී ඔලිවර් ක්‍රොම්වෙල් විසින් පළමුවැනි චාල්ස් මරල දැම්මට පස්සේ රජ පදවිය නාම මාත්‍රික එකක්. පවුලේ සල්ලි වලින් දේශපාලකයෝ මෙහෙයවන තැන් තිබ්බත් වංශාධිපතියන් සහ පාර්ලිමේන්තුව තමා රට පාලනය කලේ.

ශ්‍රී ලංකාව වැනි රටවල් කරන්න ඕනේ ග්‍රීසියේ වගේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති කිරීම. ආක්‍රමණය කරපු රටවල් වලින් වන්දි ඉල්ලන්න ඕනේ සාක්ෂි ඉදිරිපත් කරමින්. ඌව වෙල්ලස්ස විතරක් නෙමේ, රැජිනලට දීල ශේප් කරගන්න අරන් ගිය මුතු මැණික් වෙනුවෙනුත් වන්දි ඉල්ලන්න ඕනේ. ඕලන්ද සහ පෘතුගීසි ආක්‍රමණ වලින් වුන හානියටත් වන්දි ඉල්ලන්න ඕනේ. මේවට නඩු දාන්නත් පුළුවන්.

මේ මුතු මැණික් ආපහු දෙන්න කියල ඉල්ලලා වැඩක් නැහැ. මොකද එක එක පුතාණෝ ලා පියාණෝ ලා ඇවිල්ල ගෙදර ගෙනියයි, කඩු හන්ගයි. දන්නවනේ පුස්කොල පොත්එ වලට වෙන දේ. නිසා මුදල් වන්දි වශයෙන් ඉල්ලන එක හොඳයි.
හැබැයි ඉතින් හම්බවෙන්න සල්ලි රාජ්‍ය ඇමතිලට, මන්ත්රිලට වාහන ගන්නයි, ගෙවල් හදන්නයි වියදම් කරන්න හොඳ නැහැ. ඒවා සෞඛ්‍ය සේවයට ,කෞතුකාගාර කරන්න , සංචාරක ව්‍යාපාරයට, අතීත උරුමය රැක ගන්න යොදන්න පුළුවන්.

ඒත් ඉතින් මේ තියෙන රජයවල් යටතේ මේවා වෙයිද කියන්න දන්නේ නැහැ, ඔන්නොහෙ අනුරකුමාර දිසානායක එනකම්ම ඉමු. එතකොට ලැබෙන සල්ලි අඩුම ගානේ බෙදා හරින්න හරි පුළුවන් වෙයි මිනිසුන්ට. ඉතුරු මුදලක් වෙතොත් හඳුන්නෙත්ති ඩොක්ට්‍රින් එක යටතේ කමිස කිහිපයක් අරන් දෙන්නත් පුළුවන්.

රසල් බණ්ඩාරවත්ත ඉන්න ස්වීඩනයේ රජ පවුලක් තිබෙනවා. ඒ ගොල්ලන්ටත් යටත් විජිත තිබ්බ. ඒ රජ පවුලත් අහෝසි කරන්න ව්‍යාපාරයක් පටන් ගත්ත නම් හරි මේ එක්කම. කොටින්ම කියනවනම් මුළු යුරෝපෙම රජ පවුල් ටික අයින් කරල දැම්මා නම් ඉවරයි. මිනිසුන්ට ඊට පස්සේ තේරෙයි ඊළගට අයින් කරන්න තව සෑහෙන කොටසක් ඉන්නව කියල.

මැරුණ රැජින ඒ ගොල්ල වළලයි. බුද්ධාගමේ හැටියට නිවන් සුව පතන්න පුළුවන්. නැත්නම් රෙස්ට් ඉන් පීස් කියමු. ඒකට කියන්නේ සහකම්පනය.

//"අපෙන් කොල්ලකා හැඩවුණ රාජකීය පුස් තේජස."🙂
බ්රිතාන්යය කිරීටය යනු අපවැනි රටවල ලේ කඳුළු දහදිය වලින් පෙඟුනු අපවිත්ර මෙවලමකි. තම අධිරාජ්යය දුගී දුප්පත් අසරණ මිනිසුන් සිටින ඈත පෙරදිගට දිගේලි කරන ලද්දේ තුවක්කුවේ බලයෙනි. බ්රිතාන්යයේ සිට සැතපුම් දහස් ගණනක් ඈත ජීවත්වූ ජනී ජනයා මරා දමමින් රටවල් යටත් කරගත් රජපවුල එවන් රටවල තිබූ අමිල වටිණාකම් වලට හිමිකම් කියන දියමන්ති මුතු මැණික් රාජකීය ආභරණ වලට ඔබා ගත්තේය. බ්රිතාන්ය රාජකීය ඔටුන්නේ ඇති සියළුම මැණික් රැගෙන ආවේ ලංකාවෙනි. එහි ඇති The Koh-i-Noor නැමති පවුම් මිලියන 500 කට වඩා වටිණා කැරට් 105.6 ක බරින් යුතු දියමන්තිය පමණක් ඉංදියාවෙන් රැගෙන ආවේය. Black Prince Ruby නමින් තක්සේරු කළ නොහැකි තරම් වටිණා ලාංකික පොලොවෙන් බිහිවූ රතුකැටය අදත් කිසිදු හැඩතලයකට භාජනය නොකර රැජිනගේ ඔටුන්නේ ඇත. එය බරින් කැරට් 170 කි. ලාංකාවෙන් කොල්ලකෑ මෙම රතු මැණික 2016 දී බ්රිතාන්යය පවුම් මිලියන 10 ක වටිණාකමක් ලෝක ප්රකට ක්රිස්ටීන් වෙන්දේසි සමාගම ලබාදුන්නේය. මෙම මැණික් අතරින් තවත් සුවිශේෂී මැණිකක් වන්නේ කැරට් 105 ක බරින් යුත් Chrysoberyl cat's eye (කණක වෛරෝඩියයි. ) මෙම ලාංකිය මැණික් වලින් සැරසූ ඔටුන්න VII එඩ්වඩ් V ජෝර්ජ් VIII එඩ්වඩ් මෙන්ම දෙවන එළිසබෙත් රැජිනද අඛණ්ඩව භාවිතා කර ඇත.
මෙම ඔටුන්නට අමතරව වික්ටෝරියා රැජින විසින් ලංකාවෙන් කොල්ලකා රැගෙන ආ සුවිශාල වටිණාකමකට හිමිකම් කියන රතුගල් වලින් නිමැවූ ගෙලපළඳනාවක් භාවිතා කළේය. එය නමින් The Timur Ruby ය. මෙම මැණික් ගල්වල බර කැරට් 361 කි. එය එළිසබෙත් රැජිනගේ රාජකීය ආභරණ අතර අදටද දැකිය හැක.
මෙතරම් තේජසක් බ්රිතාන්ය රජපවුලට ලබාගැනීමට ඔස්ට්රේලියාවෙ නම් ඇබෝජියන්වරු දහස් ගණනින් මරා දැමීය. කිවුලේගෙදර පුරන්අප්පු වැනි සටන්කාමීන් මේ ආක්රමණික කොල්ලකරුවන්ට යටත් නොවී සටන් වැදුනේ අපේ උරුමය තව දුරටත් කොල්ලකනවාට එරෙහිවය. ඌව වෙල්ලස්සේ පමණක් බ්රිතාන්ය රජපවුලේ අණසකින් ලාංකිකයින් ලක්ෂයකට අධික පිරිසක් කපාකොටා වෙඩිතබා පනපිටින් පුළුස්සා ඝාතනය කළ බව ලක් ඉතිහාසයේ ලියවී ඇත. බ්රිතාන්ය කිරීටයේ පට්ටන්තරය තවත් බොහෝ අමනකම් මත ලියැවී ඇත. ඉංදියාවේ ලක්ෂ 20 ක් මරණයට පත්කළ සාගතයද කෘතිමව නිර්මාණය කළ මිලේච්ඡ ක්රියාදාමයකි.


මා ෆේස්බුක් හි ලිවු දේ
ඔබට අවුරුදු 96 ක් වන මිත්තණියක් සිටී යයි සිතන්න. ඔබ ඇයට තේ හෝ කෝපි ගෙන දෙනු ඇත. ඇගේ අතින් අල්ලාගෙන ඇවිදිනු ඇත. බෙහෙත් දෙනු ඇත. රැක බලාගනු ඇත. අතට පයට වැඩ කාරයන් සිටියත් ඔබම කෑම බිම ගෙනත් දෙනු ඇත. ඇය බොහෝ විට ලෙඩ ඇඳේ වැතිර සිටිනු ඇත. ඉඳහිට ජනේලයක් අසල වාඩිවී ඉවත බලාගෙන සිටිනු ඇත. නැත්නම් රුපවාහිනිය නරඹනු ඇත. ඔබ ඇයට කිසිවකු හමුවී යමක් කිරීමට නොයවනු ඇත. නමුත් ඒ වෙනුවට, මේ අසනීපයෙන් පෙළෙන, දුබල, ලේ ගමනය හරි හැටි නැති සිහින් දෑත් අඳුරු වුනු මේ මිත්තණිය පවුලේ අනාගතය ගැන සිතා අතට අත දීමට නැගිට්ටාය. මට හද සසල කළ කණගාටුව දැනුනු මොහොත එයයි. ඒ ඇය මිය යාමට ප්‍රථමවය.



Monday, 5 September 2022

සැන්ටොරීනි මුහුදු කල්දේරාව කඳු මුදුනක සිට - 4



සැන්ටොරීනි යන නම හැදී ඇත්තේ සෙන්ට් අයිරින් යන ඉතාලියානු ශාන්තුවරියගේ නමින් බව කියැවේ. එහි මුල් ග්‍රීක් නම ස්ට්‍රොගිලි ය, ක්‍රිස්තු පූර්ව  16-17 සියවසේදී (අවුරුදු 3600 කට ඉහත) මිනෝවන් පිපිරිම නමින් හැඳින්වෙන  මහා  භුමිකම්පාවකින්  හා ඉනික්බිතිව ඇතිවූ අඩි  600 පමණ උස සුනාමියෙන් මේ දූපත හා  එහි ජනාවාස සහමුලින්ම විනාශ වී ගොස් සැන්ටොරීනි, නියා කමේනි, පලායා කමේනි, අස්ප්‍රොනිසි සහ ක්‍රිස්ටියානා නමින් දුපත් පහක් නිර්මාණය වුනි.භූමිකම්පාවේ විශාලත්වය නිසාම කිලෝමීටර 20-40 අතර විශ්කම්භයක් සහිත  ආවාටයක් ඇතිවී එය මුහුදු වතුරෙන් පිරි ගියේය. පින්තූරයේ පෙනෙන්නේ එයයි. මේ අති විශාල වතුර පිරි ආවාටය කල්දේරා නමින් හැදින්වේ. මෙය ඇත්තටම මුහුදු වතුර පිරුණු විශාල කල්දේරමකි.  මේ පෙදෙසේ  ගිනිකඳු පිපිරීම් ආරම්භ වී ඇත්තේ වසර මිලියන් දෙකකට පමණ ඉහත  සිටය.  ආවාටයේ මැද ඇති දුපතේ තවමත් නිද්‍රාශීලි  ගිනි කන්දක් පවතී. ඒ ගැන ඉදිරියේ දී ලිපියක් ලියමි.

එසේම මෙහි මුලින් ජනාවාස ඉදිකළ මිනෝවන් වරුන් සහමුලින්ම වැනසී ගොස් ඇත්තේ මේ භුමි කම්පාව නිසාය. මිනොවන් වරුන්ගේ අතීත ශ්‍රී විභූතිය හා ඔවුන්ගේ මාලිගා පිහිටි අක්‍රොටිරි හා නොසස් ජනාවාස බැලීමට අපි ගියෙමු. ඒ පිළිබඳවද ඉදිරියේදී ලියන්නට සිතා සිටිමි.  විනාශ වී ගිය  ඇට්ලන්ටිස් නගරයද මිනෝවන් වරුන්ගේ බවට විශ්වාසයක් පවතී. ඒ සඳහා සාක්ෂි ද තිබේ. ඒවාද ඉදිරියේදී සඳහන්  කරමි. 

ඉන්පසු  මෙහි පදිංචියට පැමිණි ෆිනිශියන් වරු එයට කලිස්ටි යන නම තැබුහ. ක්‍රි.පූ. 9 වන ශතවර්ෂයේ (අවුරුදු  2920 කට ප්‍රථම) එය ආක්‍රමණය කල ස්පර්ටා හි  ඩෝරියන් වරු එයට ඔවුන්ගේ සෙනෙවියා වන තෙරාස් ගේ නම තැබුහ, තවමත් මේ දූපතේ කොටසක් තේරා නමින් හැඳින්වේ. හතරවන සියවසේ කුරුස යුද්ධය සමයේ එය අත්පත් කරගත් ක්‍රිස්තියානි  යුධකාමින් එය සැන්ටා අයිරිනි නමින් හැඳින්වූයේ එනමින් පල්ලියක් පෙරිස්සා පෙදෙසේ තිබු නිසා බව කියවේ,

අප ගමන් කල නැව සැන්ටොරීනි කරා ලඟා වෙනු පහත පින්තූර වල ඇත. ඉහත කි දූපත් ද පසුබිමින් පෙනේ. 












සැන්ටොරීනි වලට පැමිණි පසු අපි නවාතැනට යාමට ටැක්සියක් ගත්තෙමු. අපව රැගෙන ගිය කුලී රථයේ රියදුරු මහතා පැවසුවේ බස් ඇත්තේ ඉතා කලාතුරකින් බැවින් අපට බොහෝ තැන්වලට යාම අපහසු බවය. එය ඇත්තකි. ඔහු භාගයක් දුර  අප රැගෙන ගොස් තිබුනත් ආපසු හරවා ගෙන පැමිණ රථයක් කුලියට ගන්නට අවවාද කොට ඒ සඳහා  අපට උදව්ද  කළේය.  ඔහු අප රැගෙන ගියේ ඉහත  පින්තූරයේ ඇති තොටුපලේ සිට කඳු මුදුනේ භාගයක් පමණ දුරය. අය කළ මුදල් කුලී රථය ගැනීමට  සඳහා නැවත ලබා දුන්නේය. අප වැනි සංචාරකයන්ගෙන් ගසා කෑමට ඔහුට හැකියාව තිබුනද ඔහු එසේ නොකළේය.  

ඉතින් මුලින්ම අප කලේ නවාතැනට ගොස් බඩු මුට්ටු තබා ස්ටව්රෝස් පල්ලිය  බලා යෑමය.  එහි මුදුනේ සිට පහල කල්දේරම හොඳින් නැරඹිය හැකිය.  පල්ලිය ඇත්තේ අපි නැවතී සිටි ෆීරා පෙදෙසේ සිට මිනිත්තු 30 පමණ එහා ඇති  OIA අයා පෙදෙසේය.
 







අපි එහි වාහනය  නතර කල විට දුටුවේ බුරුවන් මගින් කන්ද උඩට ගිය හැකි බවය. ඇත්තටම එය අසීරු නැග්මකි. මහන්සි වී සිටි අප කලේ එතන සිටි තැනැත්තා ගෙන් ඒ ගැන විමසිමයි. උන් බුරුවන් නොව කොටළුවන් (mule) බව කි ඔහු කිසියම් මුදලකට අපව  උඩට රැගෙන ගියේය. පනස් ගණන්වල සිට හැත්තෑ ගණන් දක්වා  සංචාරකයන්  ගමන් ගොස් ඇත්තේ බුරුවන් හා කොටළුවන් මතිනි.  ගමන් පටන් ගැනීමට ප්‍රථම  ඔහු තම බිරිඳට කතා කොට ඔහු විසින්ම සාදන ලද වයින් ලිකියුර් බොන්නට දුන්නේ ඇය විසින් මිදී වලින්  සාදන ලද ජෑම් වර්ගයක්ද  කෑමට දෙමිනි. 

කොටළුවන් ඉතා පහසුවෙන් ගමන් කළද එය ලෙහෙසි ගමනක් නොවන බව අපට තේරුම් ගියේ ප්‍රපාතය අයිනෙන් ගමන් කරන විට පයක් ලිස්සුවොත් අප නවතින්නේ මුහුදේ බැවිනි. හැබැයි ඊට කලින් බෙල්ල බේරා ගැනීමටද නොහැකි  වනු ඇත. නමුත් පහල ආවාටය සහිත දර්ශනය ඇති සුන්දර එකකි. මේ සමග ඇති යුටියුබ් විඩියෝවෙන් එය නැරඹීය  හැකිය.


බසල්ට් 




බොහෝ පිරිස් මේ  කන්ද නගින්නේ එහි සිට පහලට කල්දේරාව මනරම් ලෙස නරමිය හැකි නිසාම පමණක් නොවේ. බැස යන හිරුගේ චමත්කාරය  ඉතා දර්ශනීය ලෙස නැරඹිය හැකි නිසාත්ය. නැවක් හිරු දෙසට යන දර්ශනය මට පෙනුනේ ඉමක් නොපෙනෙන තෙරක් නොපෙනෙන ගමනාන්තයකට යන ලෙසකි.  

කන්ද පහලට අප පැමිණියේ කොටළුවන් මතින් නොව පයින්ය. ඒ සඳහා පැය භාගයකට වඩා ගත වුනත්  වඩා හොඳින් ආවාට දසුන් නරඹන්නට හැකිවිය. එසේම ගිනි කන්ද පිපිරුණු පසු බිහිවූ ලාවා කොටස් හා බසල්ට් පාෂාණ ද වසර 3500 කට පසුත්  එහි වේ. මා අල්ලාගෙන  සිටින බිත්තිය එවන් බසල්ට් පාෂාණ වලින් සැදුනකි. 






ආපසු කන්ද බසින් එද්දී  පල්ලියේ පූජකතුමාද අපට මුණ ගැසුණි. නැවතී අප සමග කතා බහ කල ඔහු ඔහු අපේ නිවාඩුවට ආශීර්වාදයක් දීමටද  අමතක නොකළේය. 

ප.ලි - අංක තුන යටතේ ලිවීමට නියමිත් බෙසෝ දූපත් ගමන් පසුව ලිවීමට තබා ගතිමි.   

මුල් ලිපි