Wednesday, 31 December 2014

අතීරණයෙන් සුභ අලුත් වසරක්

රජානෝ දිනු යුද්ධයක් ඇත  අනේ ජනයා  ලැබු  දෙයක් නැත
සිටාණෝලා බොහෝ නම් ඇත ජනී ජනයට වැලේ වැල්  නැත

මහා ජාතිය රවටලා ඇත සුළුවූ ජාතින් තලා  දා  ඇත
ජාතියේ මහ දේවතාවුන්  බෙන්ස් රථවල රහත් වී ඇත

ඇමතිලා මන්ත්‍රී තුමාලා පළාතේ හුන් සභාපතිලා
ගසා  කති බලන හැම තැන හදන ගම් පාරෙන් පවා

පාරවල් අධිවේගයන් වී හරිම ඉක්මන් ගමන් නම් ඇත
පිටරටින්  යන අපට නම් මේ, ගමන් ටික දැන් ජොලියෙ  කල හැක

මෛත්තිරියා  කඩා ගෙන ගොස් වාසලක් දෙදරුම් කවා  ඇත
චන්දි රාජිත දෙපොල හින්දා චන්ද ටික වල් වැදී  ගොස් ඇත

ප්‍රේමයා  කකුලෙන් අදින සඳ රනිල් මංගල වැටී යාදෝ
ජෝන්ස ලන්සා  මර්වින් හින්දා  රජා අතරමන් විලා යාදෝ

මන්දබුද්ධිකද ජනයා..... ඒකදෝ සල්මනා ගෙන්නුවෙ
ජැකාලින්ගේ කකුලෙ  සුදු දැක අනේ උන් චන්දය දේවිදෝ

එහෙම ජනයින් ඉන්න රටකට එහෙම නයුවන් ලැබී ඇත් දෝ
හත් පොලේ ගාගත් වම්මු හට ඇපත් චන්දත් නැතිවී යාදෝ

මේ මොකවුනත් හැම තැන බ්ලොග ලෝකයේ හැම එකා  වාගේ
නෙලුම් යායේ සහෘද සමුහය බැබලි බැබලී ඉන්නවානේ

කිරින් පැණියෙන් තව ලියන්නට පතමි තොප හැමට වාගේ
හොඳම  සුභ නව වසරක්ම  වේවා කියවනා හැම දෙනට අපගේ

- අජිත් ධර්මකීර්ති
නෙළුම් යායේ අප හැමෝටම සුභ නව වසරක් වේවා
с новым годом




Monday, 29 December 2014

කවියක්

හැමෝම කවි ලියනවා වගේ කියල හිතෙනවා. ඊයේ කියෙව්වේ අපේ හිතවත් ජයසිරි අලවත්තයන් ලියු "කාව්‍ය මකරන්ද විමංසා " එකට විචාරයක්. ඒක කියෙව්වහම හිතුනේ කවි නිසඳැස් ලිව්ව කාලයක් මතක නැහැ කියල. ඉඳල හිටලා මාතලන්ගේ දේශපාලන කවි පේලියක්, බස්සිගේ, කටුසු හදවතගේ , දිලාගේ, ශාශියගේ නිසඳැසක්, කවියක් කියවෙනකොට හිතෙනවා ලියන්න ඕනේ කියල.
ඒ අතරේදී තම මගේ සහෝදරිය මට මතක් කලේ මම  ලිව්ව නිසඳැසක් ගැන. මම ලිව්ව එක වුනත් අක්කා කිව්වේ ගොඩක් අය ඒක කොපි කරගෙන තමන් ලිව්වා වගේ සමරු පොත්වල හෙම ලියාගෙන හිටිය කියල. ඉතින් ඇත්තටම මේක මගේ. ඔරිජිනල් කොපිය ලියු පොත තවම අක්ක තියන් ඉන්නවා සිහිවටනයක්ලෙසට . (මම පිටරටක ජිවත් වෙන නිසා). මේක ලිව්වේ එක්තරා යුවතියක් ගැන 1982 විතර මම අපොස (උ.පෙ.) කරන කාලේ. කතාවත් කියලම හිටින්නම්.
ලස්සන ගෑණු ළමයෙක් හිටිය ගෙවල් ගාව. මගේ ගේ ළඟ නිසා මම සාමාන්‍යයෙන් කතාව දාගෙන  ඉන්නවා එයා එක්ක. ඒ දවස් වල මට ගණන් පුළුවන් කියල රාවයක් තිබ්බ නිසා මගෙන් ඉඳ හිට ගණන් අහගන්නත්  එනවා. හැබැයි එයා ටිකක් නම තියෙන බාලිකා විද්‍යාලයකට ගිය චුට්ටක් වෙන්න උඩඟු කෙනෙක්. මෙයාට කැමති පිරිමි ළමෙකුත් හිටිය ඒ ළඟම නුවන් කියමුකෝ නම.  ඉතින් මේ නුවන් කොළු ගැට තෙමේ මමත් දන්න කෙනෙක් වුනත් යාලුවෙක්ම නෙමේ. මිනිහ දවසක් මාව හමුවෙන්න ආව උදව්වක් ඉල්ලා ගෙන. උදව්ව මොකක්ද ඉතින් අර ගෑණු  ළමයාගෙන් අහන්න පොරට කැමතිද කියල. මන් කිව්වා මම ඔය කපු වැඩ වලට නැහැ කියල. පස්සේ මූ  කියනවා ඒ කියන්නේ උඹ යාලුයි නේද, උඹ ටියුෂන්  දෙනවා නේද ඒකද මේකද කියල. මාත් එක්ක වලිය දැන් . පස්සේ මල කරදරෙන් බේරෙන්න බැරි නිසා මම හා අහන්නම් කිව්ව.
දින දෙකකකට විතර පස්සේ කෙල්ල එක්ක කතා කරන ගමන් මම නිකමට කෝට්ටක් වතුරට දාල ඇනල බැලුව?
"ඔයා  දන්නවද නුවන් හෙම අර පල්ලහා  ගෙදර ඉන්නේ?"
කෙල්ල කියපි "අපොයි මම දන්නව ඒ වසංගතේ. අර කබල්  බයිසිකල් කට්ටත් තල්ලු කරගෙන ඇවිත් මගෙන් ඇහුවනේ යාලු වෙනවද කියල. මම බැනල එලව ගත්ත. ඌත්  එක්ක යාලුවෙන්න අර කොරියාවේ කෙල්ලක් හොයා ගන්න කිව්ව".  (කොරියාව කියන්නේ උතුරු දකුණු කොරියාව නෙමේ. ඒ දවස් වල තිබ්බ කොලඹ දුප්පත් කෑල්ලක්)
දැන් මට ටිකක් අප්සෙට්. නුවනයා  මට අහපු  කතාව කිව්වෙත්  නෑනෙ.
මං නුවනය  හම්බ වෙලා බැන්න. කලින් ඇහුව කියල කිව්වේ නැහැ කියල. මු මට කියනවා " මචන් උඹ ටියුෂන් දෙන නිසා උඹ කීවොත් ඒකි  කැමති වෙයි කියල මට හිතුන " නුවන් උසස් පෙළ අසමත් වෙලා පොඩි ජොබ් කට්ටක් පටන් අරන් හිටියේ. මම නුවන්ට කීව කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා. ඒකයි කේස් එක. උඹ වෙන අතක් බලා ගනින් කියල. නුවන් දුකින් ඔලුව පහත් කරගෙන යන්න ගියා.

මේක තමයි ලිව්ව කවිය. දැන් බලන කොට බොළඳයි වගේ. වචනත් ඔහේ ලිව්වට තාරකාත් එහෙම නැහැ වගේ. ....

ඈත දිදුලන නිම්  වළල්ලෙන් 
සීත  මිදුම් කඩ තුරාවෙන් 
වැසී  ගිය රන් වළා හුයෙකින්  
දිදුල දිදුලා  සිත් කැලුම් දෙන 
නීල උත්පල දිමුතු තරුවක් 
එපා කිසිදින ඔබ පතන්නට 
විරහ ජිවන වේදනාවන් 
එහි රැඳී ඇත 
එහි රැඳී ඇත !

(ප.ලි.  මගේ අක්ක කියන විධිහට මේක ලියා  තිබුන මගේ මේ කවි පොත තියාගෙන ඉඳල තියෙන්නේ ඒ ළමය. ඒ ගොල්ලෝ ගෙවල් ඇරලා යනකොට ඒක  දීල ගිහිල්ල. (මං එතකොට වෙන රටක) ඒ ළමය හිතාගෙන ඉඳලා  තියෙන්නේ මං ගැනලු. කාටද ඉතින්  ඕව තේරෙන්නේ ඒ කාලේ. පොත්  කියව කියව හිටිය පොත් ගුල්ලනේ.)

Friday, 19 December 2014

අරිට්ටදාස කීවෙන්ඩුලා හා රතුපුටින්ස්ලා

 සාමාන්‍යයෙන් මම ඉතිහාස පොත් කියවන්න සෑහෙන්න කැමැතියිපුංචි  කාලේ ඉඳලම.
ඒ දවස් වල මතකද දන්නේ නැහැ විදියේ  බණ්ඩාර කියල චිත්‍ර කතා පොතක් තිබුන. (සඳ කුමරිය, පරංගි හටන වගේ ඒවත් එක්කම) මම හරි ආස  කතා වක්. හැබැයි විදියේ බණ්ඩාරට වඩා  මම කැමති වෙලා හිටියේ සිතාවක රාජසිංහ රජතුමාට.  ඒ දහම් පාසල් යන කාලේ, අනගාරික ධර්මපාල තුමාගේ පොත් කියවන කාලේ, පෘතුගීසින් ඇතුළු විජාතික බලවේග වලට එරෙහි කාලේ. දැන්නම් එරෙහිවන බලවේග මොනවද කියලවත් හිතා  ගන්න බැරි තරම් සංකීර්ණයි. දැන් විජාතික බලවේග කිව්වහම හිතට එන්නේ එතනෝල් විජාතික බලවේගය, හෙරොයින් විජාතික බලවේගය, චීන මහින්ද ණය විජාතික බලවේගය, ඉන්දියන් චන්ද්‍රිකා විජාතික බලවේගය, ඇමෙරිකන් රනිල් විජාතික බලවේගය, අතුරලියේ විජාතික බලවේගය, ඕස්ට්‍රේලියන් ගුණරත්නම් විජාතික බලවේගය, ටිල්වින් චීන බලවේගය වගේ. මේ යන රුපවාහිනී කතා වල හැටියට, හරි සමහර පත්තර වල කියන හැටියට අතුරලිය තියෙන්නේ ලංකාවේද කියලත් ෂුවර් නැහැ දැන්නම්.

ඉතින් අපි ඉතිහාසයට පොඩ්ඩක් හැරිලා බැලුවොත් ලංකාවේ රජවරුන් හරිම අමුතු ජාතියක් තමා. හත් වන විජයබාහු රජතුමා පුත් කුමාරයන් තුන්දෙනාව  මරන්න හැදුව. ඔවුන් බේරිලා පස්සේ පිය රජුට එරෙහිව කැරලි  ගැහුවා. හත්වන විජයබාහුව මැරුව  කියන්නේ විදේශිකයකු ලවා (විජයබා කොල්ලය) . කුමරුන් තිදෙනා රාජ්‍යය 3ට බෙදා ගත්ත. හත්වන බුවෙනකබාහු කෝට්ටේ රාජධානියත්, මායාදුන්නේ (1501-1581) සීතාවක රාජධානියත් , මහා රයිගම් බණ්ඩාර රයිගම් රාජධානියත් වශයෙන්. උදාහරණයක් වශයෙන් කෝට්ටේ රාජධානිය පාලනය කල බුවනෙකබාහු රජතුමා ගමුකො. එයාගේ ආරක්ෂාව භාර කරලා තිබ්බේ පෘතුගීසින්ට. මොකද ඒ රජා තමන්ගේ මල්ලි රජා වන මායදුන්නේට භයයි. මායාදුන්නේ තමා විජයබා කොල්ලයේ හෙවත් කැරැල්ලේ මහා මොළකරු . මායා දුන්නේට කොහොමටත් ඕනෑකම තිබ්බේ බුවනකෙබාහුවත් යටත් කරගෙන මුළු ලංකාවේම රජු වෙන්න. බුවෙනකබාහුව මැරුවේ මාලිගාවේ සඳලුතලේ ඉන්දෙද්දී පෘතුගිසි තුවක්කුකරුවකු විසින්. පස්සේ ඔහුගේ පුතා දොන් ජුවන් ධර්මපාල  පෘතුගිසි රැකවරණ යටතේ තමා  රාජ්‍යය කලේ දෙවියන් කෙරෙහි විශ්වාසය තබමින්.

එතකොට කන්ද උඩරට රජ කලේ ජයවීර රජු. යාපනයේ හා වන්නිය ස්වයං පාලන ඒකක දෙකක් තිබ්බ. යාපනයේ රජු කෝට්ටේ රාජධානියට බදු ගෙවූ අතර වන්නියේ රජු කන්ද උඩරටට ගෙව්වා. නැගෙනහිර දිස්ත්‍රික්කය පාලනය කලේ කන්ද උඩරටින්. දැන් ඇත්තටම මේ රජ ගොල්ල එකතු වෙලා රාජ සමුහාණ්ඩුවක් හදල අර ලිච්චවි රජුන් වගේ රට පාලනය කලා නම් මොකද? යාපනයටත් බදු ගෙවන්න කියල ස්වයං පාලනයක් තබාගෙන. කට්ටියටම එකතු වෙලා පෘතුගීසින්ට දුවන්න දෙන්න තිබුන. නමුත් උනේ වෙන දෙයක්. කෝට්ටේ රාජධානිය පෘතුගීසින් ගෙන් උදව් අරගත්ත සීතාවක රජුට විරුද්ධව. සීතාවක රජු හැම වෙලේම යුද්ධ කලා කන්ද උඩරටයි කෝට්ටෙයි එක්ක.

මායාදුන්නේ රජුගේ පුතා ටිකිරි බණ්ඩාර (වයස අවුරුදු 12 දී) , විදිය බණ්ඩාර මෙහෙයවූ කෝට්ටේ හමුදාවට පහරදී යටත් කලා අලුත්නුවරදී . (අලකේශ්වර යුද්ධය) මායාදුන්නේ මියගියාට පසුව ටිකිරි බණ්ඩාර පලමුවන රාජසිංහ  නමින් රජවුණා. ඔහු තම පියරජු මැරුවා කියා කියන නමුත් එයට සාක්ෂි නැහැ. ලංකාව එක්සේසත් කරන්නටත් පෘතුගීසින්ට විරුද්ධවත් සටන් කළ  සීතාවක රාජසිංහ රජතුමා වඩා  ප්‍රසිද්ධ මුල්ලේරියවේ කළ සටන සහ කොළඹ කොටුව වැටලීම පිලිබඳ. "කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා වුනා  " කියල සින්දු කෑල්ලකුත් තියෙන්නේ. පසුව පෘතුගීසින් යවපු කොන්නප්පු බණ්ඩාර උඩරට කලබල ඇති කරපු නිසා සීතාවකට පසු බැස්ස රාජසිංහ වික්‍රමසිංහ මුදලිට දෝෂාරෝපණය කරලා තිබෙනවා. කොහොමහරි අසනීප ව සිටි මෙම හොඳ  සෙනෙවියා කවුරුන් හරි වසදීම නිසා මැරුන.
මෙන්න මේ වෙලාවේ තමා  සොලී රටේ ඉඳන්  අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් කියන සන්නසියා තව හතර දෙනෙකු සමග ලංකාවට ගොඩ බැස්සේ. මේ යුද සටනේ දක්ෂයෙක් කියන සොලී ජාතික සන්‍නාසියාට මාන්නප්පෙරුම මොහොට්ටි කියන තනතුර ලබා දෙන රාජසිංහ රජතුමා තමන්ගේ අන්තඃපුර යුවතියකුත්  (රාජහෙට්ටිගේ දෝනියන්දෑ ) බාර  දෙනවා. මේ අරිට්ට කීවෙන්ඩු තම රජතුමාගේ සිත දින ගන්නවා ඊට පස්සේ. මේ කාලේදී තම රජතුමා බුද්ධාගම අත්හැරලා හින්දු දෙවිවරු අදහන්න පටන් ගන්නේ. මෙහෙම කරන්නේ අරිට්ට කීවෙන්ඩු  නිසා කියලයි කියන්නේ. බාර  හාර, බලි යාග  එහෙමත් කලාලු.
රාජසිංහ රජු කන්ද උඩරට රාජධානිය අල්ලන්න ගියත් කොනප්පු බණ්ඩාරට පැරදෙනවා. ඉන්පසු පෙතන්ගොඩට පසු බැස  විවේක ගන්නකොට කටුවක් ඇණිල ඔත්පලව මිය යනවා. අර කවියකුත් තියෙන්නේ.
"රුදුරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ  කටුව පතුලේ ඇනුණාය
ඉන්න සිටි සැවොම මතුලාය
රාජසිංහ දෙවි නා මෙත් මැකුණාය "

පස්සේ ආපු අරිට්ට කීවෙන්ඩු  ලොකු වුන එකත් ඔහුගේ කීම පිට බහුතරයේ ආගම අත හැරීමත් නිසා රාජසිංහ රජු තමන්ගේම නිලධාරීන් හා නෑදෑයින් අතරේ වෛරයට ලක්වූ නිසාත්  තමා  "ඉන්න සිටි සැවොම මතුලාය " කියා කියන්නේ මේ කවියේ.රජු මැරුනේ 1514 කියන සක වර්ෂයේ කියල රාජාවලියේ සඳහන් වෙන්නේ.
අරිට්ට කීවෙන්ඩු කියන්නෙත්  මාර චරිතයක්. රාජසිංහ මැරුනහම දොන් ජුවන් ධර්මපාල පෘතුගීසි හමුදාවක් යවනවා සීතාවකට. අරිට්ට කීවෙන්ඩු හෙවත් මාන්නප්පෙරුම මොහොට්ටි මීගමුවේදී මේ පෘතුගීසි සේනාව පරදවනව. සීතාවක මිනිස්සු සන්නාසිය කියා ගරහන නිසාය කියා පසුව දොන් ජුවන් ධර්මපාලට එකතු වෙනවා මේ මාන්නපෙරුම මොහොට්ටියා  හෙවත් අරිට්ට කීවෙන්ඩු  පෙරුමාල්. නමුත් ඇත්ත හේතුව නම් වඩා බලය ඇති තැනට පනිනවා පෙරුමාලයා. පසුව ජයවීර බණ්ඩාර නමින් ඔහු ධර්මපාලට සේවය කරනවා. ජයවීර බණ්ඩාර පෘතුගීසීන්ගේ උදව්වෙන් ගුරුබෑවිල සටනේදී සීතාවක හමුදා පරාජය  කරලා සිතාවක අල්ල ගන්නවා ධර්මපාල වෙනුවෙන්. රාජ්‍යය දෙන්න කුමාරයෙක් නැතුව මැරෙන ධර්මපාල නිසා පහතරට රාජ්‍යය පෘතුගාල රජුට අයිති වෙනවා.
මේ අතරේ දෙවනගල තෙරුන්නනස්සේ ප්‍රමුඛ වෙලා  කොන්නප්පු බණ්ඩාර පළවන  විමලධර්මසූරිය නමින් රජකමට පත්කරනවා. ඔහුට පසු  උඩරට රජවුනු  දෙවන රාජසිංහ පස්සේ ඉඟුරු දීලා  මිරිස් ගන්නවා.

රස්පුටින් රුසියානු සාර්  රජ පවුලට හේත්තු වෙලා එක එක මන්ත්‍ර ගුරුකම් වලින් රැජින අල්ලාගෙන , පවුලේ කුමාරිකාවන් හා අනිත් සේවිකාවන් වසඟයට ගෙන කාමභෝගී ජිවිතයක් ගත කරනවා. මිනිස්සු දුක් විඳිද්දී උන්ට පෙනුනේ සාර්  පවුල පාලනය කරන්නේ මන්ත්‍රකාරයෙක් කියලා. අර පළමුවන ආලවන්ත දාස ගෙයි බාබු මහත්තැන් ගෙයි පයුරු පාසානය වත් අඩුම ගානේ  ඒ කාලේ  පාරේ යන්න එපා කියලවත් සේනා  පියා  රතුපුටින්ස් කිව්වද? ඉතින් අමනදාස කීවෙන්ඩුලා රතුවපූටින්ස් ලා හැමකාලේම පහලවෙනවා මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා තිරුපති දේශවලට යවල තමන්ගේ මඩිය තර කරගන්න. දන්න බුද්ධාගම අදහගෙන ඉන්නේ නැතුව අපේ මිනිස්සු දෙය්යෝ අදහන්න ගියාම කෙළවෙන්නේ කාටද කියල දන්නේ වැඩේ වුනාට පස්සේ.

මුලාශ්‍ර: රාජාවලිය - ගුණසේකර බ .
විකිපෙඩියා http://en.wikipedia.org/wiki/Rajasinha_I_of_Sitawaka

- අජිත් ධර්මකීර්ති 

Thursday, 11 December 2014

විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම

ඔරායන් නෙබුලාව - විකිපෙඩියා වෙන් හබල් දුරේක්ෂයෙන් ගත්  එකක් 

මම පසුගිය ලිපියෙන් මන්දාකිනි හා අප අතර දුර මැනීමට දුරේක්ෂයන් භාවිතා කරමින් හබල් විසින් ඉදිරිපත් කල නියමය සාකච්චා කලා. දැන් දුරේක්ෂ වලින් නිරීක්ෂණය කර ලබා ගත්  ආලෝක වගු  ඇසුරින් මේ දුර මනින්නේ කෙලෙසද කියා බලමු.
පහත ඇත්තේ හයිඩ්‍රජන් ලාම්පුවක්  (පින්තුරය 1).  හයිඩ්‍රජන් වායුවේ වර්ණාවලිය එයටම ආවේනික වුවක්. එය ඊළඟ පින්තුරයේ දැක්වෙනවා. එක්තරා නිශ්චිත තරංග ආයාමයක්  එයට තිබෙනවා. මෙහි දෙවන පින්තුරයේ නැනෝ මීටර 656 රතු  ලකුණ (රතු ඉර) බලන්න.   මේ හයිඩ්‍රජන් වර්ණාවලිය අපට ලබාගන්න පුළුවන් පර්යේෂණාගාරයකදී එම තත්වයන් තුල. (in Laboratory conditions).

පින්තුරය 1

පින්තුරය 2
















මේ තුන්වන පින්තුරයෙන් පෙන්වන්නේ ඔරායන් නෙබුලාවයි. (nebula).  නෙබුලාවක් කියල කියන්නේ ඈත අභ්‍යවකාශයේ එක ගොණුවකට දිලිසෙන දුවිලි සහ වායු  වලාකුළු සමුහයක්. මේවායේ අලුත් තාරකා  පවා නිර්මාණය වෙනවා.. ඔරායන් නෙබුලාව කියල කියන්නේ අපේ චක්‍රාවාටයේ එවැනි තාරකා  සෑදෙන  අඩවියක්. ඉතින් මේ නෙබුලවල වැඩි හරියක් තියෙන්නේ හයිඩ්‍රජන්. ඔක්සිජන්නුත් යම් ප්‍රමාණයක් තිබෙනවා. දැන් බලමු මෙම ඔරායන් නෙබුලාවෙන් එන වර්ණාවලිය දිහා.
ඔරායන් නෙබුලාව 
හතරවන පින්තුරයේ පෙන්වන්නේ එයයි. හයිඩ්‍රජන් තිබෙන බව පෙන්වන නැනෝ මීටර 656 යේ රතු ඉරත් ඔක්සිජන් තිබෙන බව පෙන්වන කොළ පාට ඉරත් බලන්න.









පින්තුරය 4

දැන් අපි බලමු රක්ත විතැන් වීම (Red Shift රතු පාටේ වෙනස් වීම)  කියන්නේ මොකක්ද කියල. පහල පින්තුරය තවත් චක්‍රාවාටයක් වන UGC 12915. මෙය උප්සලා කියන අභ්‍යවකාශ වස්තු කැටලෝගයෙන් (නාමාවලිය) ගත්  එකක්. එහි උතුරු අර්ධගෝලයේ සිට පෙනෙන මෙවැනි මන්දාකිණි 12921 වගු ගත කර තිබෙනවා.  දැන් බලන්න එයින් ලැබෙන වර්ණාවලිය දිහා. (පින්තුරය 6) මෙය කලින් එක වගේම මන්දාකිණියක වර්ණාවලියක්. මෙම වර්ණාවලියේ  නැනෝ මීටර 656 යේ හයිඩ්‍රජන් ඉර එසේම තිබුනත් එය දකුණු පැත්තට ගිහින් (displaced) තිබෙන බව පේනවාද ? මෙයට කියන්නේ red shift කියල.
පින්තුරය 5 UGC 12915.


පින්තුරය 6
එතකොට මෙහි (මන්දාකිණියේ ) අපෙන් ඉවත්වී යන වේගයත් මැනලා  තිබෙනව. එය තත්පරයකට කිලෝමීටර 4350ක්. (Recession velocity: 4350 km/s). දැන් හබල්ගේ නියමය මෙතනට දැම්මහම අපට පුළුවන් දුර මැනගන්න.  (හබලයාගේ නියමය) .
අපි තව දුරටත් බලමු මේ ප්‍රසාරණය වන විශ්වය ගැන තියෙන සාක්ෂි. පින්තුර වලින් මේක පැහැදිලි කරන එක ලේසි නිසා ගොඩක් පින්තුර මේකේ දානවා. චක්‍රාවාටය ඈතට යන්න යන්න red shift එක එහෙම නැත්නම් වර්ණාවලියේ හයිඩ්‍රජන් ලකුණ රතු පැත්තට යනවා වැඩිය. UGC 12508 මන්දාකිනිය තත්පරයට කිලෝමීටර 9100 ක වේගයෙන්  අපෙන් ඉවතට යන එකක්. එහි වර්ණාවලියේ  red shift එක බල ඉහත එක එක්ක සසඳන්න. රතු ලකුණ තව දකුණට ගොස් ඇත.
පින්තුරය 7 UGC 12508 මන්දාකිණිය 



















පින්තුරය 8 තරංග ආයාමය තව දකුණට 

දැන් මෙහිදී තේරෙනවා ඇති මේ red ශිෆ්ට් එක වෙන්නේ  අවකාශය (space)  ප්‍රසාරණය වීම නිසා කියල. red shift එක වැඩි වෙන තරමට චක්‍රාවාටය ඉවත් වී යන වේගය (receding) වැඩියි. 
අවසන් වශයෙන් මේ පින්තුර දෙකත් බලන්න. පින්තුරය 9 යේ තිබෙන්නේ KUG 1217 කියන චක්‍රාවාටය.
මෙහි වේගය ඉතාම වැඩියි. තත්පරයට කිලෝමීටර 31400ක් (Recession velocity: 31,400 km/s).
මෙය තිබෙන්නේ ursa Major හෙවත් මහා වලහ කියන තාරකා මණ්ඩලයේ. KUG කියල කියන්නේ Kiso Ultraviolet Galaxies කියන එක.
පින්තුරය 9 kug 1217

පින්තුරය 10 red ශිෆ්ට් තවත් එහාට 
දහවන පින්තුරයේ හයිඩ්‍රජන් 656 ලයින් එක redshifted එහෙම නැත්නම් ඉතාමත් රතු පැත්තට ගිහින්. ඒ කියන්නේ infrared අධෝරක්ත කිරණ පෙන්වන හරියටම ගිහින්. එයින් පෙනෙන්නේ ඉතාමත් සීග්‍රයෙන් අපෙන් ඉවත් වී යන බව. 

අන්තිමට මම මේ පින්තුරය පල කරනවා. "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොගයේත් මේ පින්තුරය තිබුන. විශ්වය ප්‍රසාරණය  වීමේ සාක්ෂි අපට තිබෙන නිසා දැන් මෙය වඩාත් අදාලයි. විශ්වය බැලුමක් ප්‍රසාරණය වෙනවා වගේ ප්‍රසාරණය වෙන්නේ කියන අදහස තමා  එන්නේ.


කලින් ලියු ලිපිවල ලින්ක් පහත ඇත:
බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි

බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB

නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට  මග පෑදුවේද?

අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් 

හබලයාගේ නියමය

මුලාශ්‍ර හා පින්තුර : නාසා වෙබ් අඩවියෙනි.

- අජිත් ධර්මකීර්ති 

Wednesday, 10 December 2014

කොන්ඩෝම් පාලනය

මේ දවස් වල සෑහෙන්න වැඩ අධික නිසා දාන්න හිතන් ඉන්න පොස්ට් ටික ඔක්කොම හිර වෙලා. නමුත්  කොන්සේර්වටිව්  රජය ගැන කියන්න මේ ලෝගෝ එක මීට සෑහෙන කාලෙකට කලින් කාර්යාලයේ වැඩ කරන සගයකු (ඉංග්‍රීසි ජාතිකයකු) එවුවක්, ලෝකේ බොහොමයක් ආණ්ඩුවලට ගැලපෙනවා කියල හිතුන නිසා පොස්ට් කරන්න හිතුන.

මේකේ කියන්නේ මෙහෙම අදහසක්. 
"අද ආණ්ඩුව නිවේදනය කලා ආණ්ඩුවේ ලෝගෝ එක එහෙම නැත්නම් රාජ්‍ය ලාංචනය වෙනස් කරනවා කියල කොන්ඩෝම් පින්තුරයකට. ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා දේශපාලන ස්ථාවරය හොඳින් නිරුපනය වන්නේ ඒකෙන් කියල.
කොන්ඩෝම් එකක් උද්ධමනයට එරෙහිව ඉදිරිපත් වෙනවා, නිෂ්පාදනය නවත්වනවා, ඊළඟ පරම්පරාව විනාශ කරලා දානවා, මොලේ නැති හොරු   ටික ආරක්ෂා කරනවා,   ඔවුන් ඔබට ඇත්තටම කෙළවන මුත් ඔබට දැනෙන්නේ  ඔවුන් ඔබට ආරක්ෂාව ලබා දෙනවා යයි හැඟීමකි. 

- ආණ්ඩුව පිලිබඳ මිට වඩා හොඳ ලාංචනයක් තිබේද ?
එංගලන්තේ මෙහෙම වුනාට වෙන රටවල මෙහෙම වෙන්නේ නැත. - සුනිල් පෙරේරා 



(ප.ලි: pricks යනු slang එකකි. එය පුරුෂ ලිංගය සම්බන්ධ කර මොලේ නැති විධිහට වැඩ කරන පිරිමියා යන අරුත දෙයි)

Tuesday, 2 December 2014

යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්

යුගෝස්ලාවියාවේ අර්ථ ක්‍රමය  ගැන  හෙම දන්නවද කියල අහපු කොමෙන්ටුවක් තිබුනා. එතකොට මට මතක් වුනේ මා අනූ ගණන්වල දැන  සිටි ළාබාල යුගොස්ලාවියන් තරුණියන් තිදෙනෙකු  ගැන. මම අනූ ගණන්වල කාමර එකසිය ගාණක් තිබුන ලන්ඩනයේ  හෝටලයක කළමණාකාර තනතුරක වැඩ කලා.  මුලදී ඒක  සංචාරක හෝටලයක් වුනත් පස්සේ පස්සේ දේශපාලන (හෝ ආර්ථික) අනාථයන් වයි   අර ගත්තේ. මේකට හේතුව සංචාරකයන් ගන්න නොයකුත් දැන්වීම් දාන්න ඕනේ. ඒජන්සි වලට ගෙවන්න ඕනේ. නමුත් අනාථයන්ගේ කාමර කුලිය ආණ්ඩුවෙන් ගෙවනවා. අනික බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ වීසා ලබනකන් අනාථභාවය ඉල්ලපු අයට ඉන්න වෙනවා  ටිකක් දිග කාලයක් හෝටලයේ නැවතිලා. ඉතින් මේක හෝටලයට ස්ථිර ආදායමක්.
අර යුවතියන් තුන් දෙනාත් එකටම හිටපු නිසා මම එකම කාමරයකට දැම්මා. තුන් දෙනාම හරිම ලස්සනයි. මාත්  එක්කත් හොඳට කතා බස් කරනවා දැක්ක තැන. ඔය තුන්දෙනාට හෝටලේ ඇතුලෙත් පිටතත් කොල්ලොත් හරියට බැලුම් හෙලනවා. වැඩිපුරම බොස්නියා වල මුස්ලිම් කට්ටිය තමා  හිටියේ. ඒ දවස් වල ජාතිවාදී සර්බියානුවන්,  බොස්නියන් හා ක්‍රෝශියන්  වරු සමග යුද වැදුණු කාලය මේ.

ඔන්න එක දවසක් හෙන රණ්ඩුවක් එළියේ. හෝටලේ සිකියුරිටි හිටිය ඊජිප්තු ජාතිකයා මට ඇවිත් කිව්වා අර ගෑනු ළමයින්ට ප්‍රශ්නයක් ඇතිවෙලා කියල. එළියේ පුංචි යුද්ධයක් වගේ. අර තරුණියන් සමග හිතවත්ව හිටි ඉංග්‍රීසි ජාතික තරුණයන්ට හෝටලේම බොස්නියන් කොල්ලෝ කට්ටියක්  ගහන්න හදනවා.
මම මැදිහත්වෙලා පොලිසියට කතා කරනවා, උන්ව හෝටලෙන්  එලියට දානවා හෙම කියල තර්ජනය කරලා ඉංග්‍රීසි තරුණයන්ව බේරලා යැව්වා.  මම කෙල්ලන්ගෙන්  ඇහුව මොකද වුනේ කියලා. බොස්නියන් මුස්ලිම් කොල්ලෝ තර්ජනය කලාලු උන්ගේ කෙල්ලෝ එක්ක යාලු වෙන්න එන්න එපා හෙම කියල. සර්බියන් කෙල්ල මැදිහත් වුනහම එයටත් තර්ජනය කරලා අපේ කෙල්ලව නරක්  කරන්නේ උඹ තමා  කියල.  පස්සේ මම බොස්නියන් කොල්ලන්ට පොඩි තර්ජනයක් දැම්මා උඹලගේ රටේ ජාතිවාදය මෙතනට අරන් එන්න එපා කියල.  මෙතැනදී මම ඇහුව ඒගොල්ල  මොන රටවලින්ද කියල. එතකොට දැන ගන්නට ලැබුනේ එක තරුණියක් සර්බියාවේ ක්‍රිස්ටියන් ඔර්තොදොක්ස් ආගමේ (අද්රියානා කියමු නම). දෙවැනි යුවතිය බොස්නියාවේ මුස්ලිම් යුවතියක් (අයිඩා කියමු නම). තුන් වැන්නිය ක්‍රෝෂියාවේ කතෝලික යුවතියක්, වෙරේනා කියමුකෝ නම . මට එක පාරටම ඇහුනා,  උඹල මරාගන්න ඕනේ එවුන් එක කාමරේ ඉන්න කොහොමද කියල. මුස්ලිම් තරුණිය අඬන්න පටන් ගත්ත. ක්‍රෝෂියන් කෙල්ල වෙරේනා ගේ  ඇස් වලත් කඳුළු. ඇය කාමරයට දුව ගියා මොනවාද අරන් එන්න. සර්බියන් කෙල්ල අද්රියානා ත්  ඇස් වල කඳුළු පුරෝගෙන හෝටලේ කුස්සියට ගිහින් තේ හදා ගෙන ආවා ඔක්කොටම බොන්න.  වෙරේනා ඇල්බම් පොදියක් අරන් ආව.
ඇල්බම් වල තිබ්බේ තුන්දෙනාම සරාජිවෝ වල විශ්ව විද්‍යාලේ ඉගෙන ගත්ත හැටි. බොස්නියන් මුස්ලිම් අයිඩා ගේ ගෙදර වත්තේ තේ බිව හැටි. කට්ටිය සයිකල් සවාරි ගිය හැකි. මේවා දැකල මම ඔවුන් ගෙන් ඇහුව යුගෝස්ලාවියාවේ ජීවිතය ගැන. ඔවුන් හැමෝටම හොඳ  ගෙවල් තිබුන (පින්තුර වල හැටියට).  ඒවායේ තත්වය බටහිර යුරෝපියානු තත්වයටම වගේ උසස්. වාහන තිබුන හැම ගෙදරකම. නමුත් වාහන හොඳ ජපන් වාහන නෙමේ. ඉතාම ටිකක් ජර්මන් වාහන හා ඉතාලියානු වාහන තිබුන.  වැදගත්ම දේ තමා 1990 ගණන්වල
යුගෝස්ලාවියාව බෙදී එකිනෙකා  අතර යුද වැදීමට කලින් ඔවුන් හොඳ ජිවිතයක් ගත කල බව.

1970 දශකය අවසන් වනතුරු යුගෝස්ලාවියාවේ තිබ්බේ හොඳ කාලයක්. ලංකාවේ 70-77 ආණ්ඩුවත් ටිකක් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් හදන්න හැදුවත්  වංචා දුෂණ නිසා හරි ගියේ නැහැ. අනික පෝලිම් යුගය මතකනේ. සෝවියට් දේශයේ බලපෑමෙන් යුගෝස්ලාවියාව ඉවත්වී හිටියත් එහි කොමියුනිස්ට් පක්ෂයක් තිබුන.ජෝසප්  ටිටෝ තමයි ඒකාධිපති පාලකයෙක් වගේ හිටියේ. නමුත් ඔහු දැඩි පාලකයෙක්ම නොවෙයි. ඔහුගේ වඩාත් හොඳම අත්හදා බැලීම තමා ආශ්‍රිත ශ්‍රමය නමැති ක්‍රමය. (партнер труда හෙවත් පර්ත්නොයිර් ත්රුදා ) මෙහිදී කලේ කම්හලක වැඩ කරන කම්කරුවන්ට සහ ඉහල නිලධාරීන්ටත් ඉන්ජිනේරුවන්ටත් එහි කොටස් අයිතිය පැවරීම. වැඩියෙන් වැඩ කරන කට්ටියට වැඩියෙන් කොටස් ලැබෙනවා. අද්රියානා ගේ තාත්තත් ඉංජිනේරුවෙක්. ඔහුටත් තමන්ගේ කම්හලේ කොටස් අයිතිව තිබුන. අනිත් දෙදෙනාගේම මව් පියන් ගුරුවරු. ඔවුන්ගේ වැටුප එතරම් ඉහල නොවුනත් ඉන්ජිනේරුවෙකුගේ හෝ දොස්තර කෙනෙකුගේ වැටුපට වඩා වැඩි වෙනසක් තිබුනේ නැහැ.  මේ තත්වය මත ඔවුන් ජිවන තත්වය ඉහල මට්ටමක තිබුන.

ගොවියන්ගේ තත්වය වුනේත් මිශ්‍ර ක්‍රමයකට වගා කටයුතු කිරීම. එනම් සුළු ගොවීන්ට තමන්ගේ වගා  කිරීම කරගෙන යන්නට ඉඩ තිබු අතර තමන්ගේ කැමැත්තෙන් රජයේ ගොවිපලවලට එකතු වීමට ඉඩ කඩ තිබුනා. ඊට අමතරව පෞද්ගලික පොළක්  නොහොත් සුළු ගොවීන්ට හෝ තමන්ගේ ගෙදර වත්තේ බව බෝග හදන අයට පවා විකුණ  ගන්න හැම නගරයකම වගේ පොළක් තිබුන. හැබැයි තමන්ම තමා විකුනන්න ඕනේ.

මීට  අමතරව  ඕනෑම කෙනෙකුට සුළු ව්‍යාපාර අරඹන්න පුළුවන්. තමන් සමාජයට,  කම්හලකට හෝ ගොවිපලකට අවශ්‍ය දෙයක් නිෂ්පාදනය කරන්න දන්නවා නම් සුළු ව්‍යාපාරයක් , සුළු කර්මාන්තයක් අරඹන්න පුළුවන්. ඒ සඳහා හතර දෙනෙක් වෙනකම් වැඩට ගන්න පුවන්. හුඟක් වෙලාවට හතර දෙනාම යහළුවෝ හෝ අසල්වාසීන්. ඔවුන් සමග කතා කරලා ලාභය ශ්‍රමයට සරිලන පරිදි බෙදා ගන්න ඕනේ. ව්‍යාපාරය පටන් ගත්  කෙනාට තමයි වැඩි පඩිය ලැබෙන්නේ.  එයටම බදු ක්‍රමයත් වෙනස් ලෙස හරි ගස්සල තිබුන.
ටිටෝ ගේ මරණය සිදුවුනේ 1980දී.  ෆෙඩරල් යුගෝස්ලාවියාව කොන්ෆෙදරේෂණයක් විය යුතුයි කියන අදහස ආවේ මේ කාලේ. සමුහාණ්ඩුවේ රටවල් (republics) වල (සර්බියාව, මොන්ටෙනෙග්‍රෝ , ස්ලවේනියාව,  බොස්නියා සහ හර්සගොවිනාව , ක්‍රෝෂියාව, මැසිඩෝනියාව) නායකයෝ එකිනෙකා  අවුරුද්ද බැගින් නායකත්ව මණ්ඩලයට පත් වුනා. නමුත් මේ කාලේදී යුගෝස්ලාවියාව ඩොලර් මිලියන් 16,000 පමණ ණයවී තිබුනා . වැඩියෙන්ම මුදල් ආවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්. මුලදී ණය  මුදල් ලැබුනේ යුරෝපයේ නිපදවන සුඛෝපභෝගී බඩු  ගන්න. එනම් බෙන්ස්, BMW වගේ වාහන ජර්මනියෙන්, ප්‍රංශයෙන් සුවඳ විලවුන් හා ඉහල පන්නයේ නිමි ඇඳුම් ඉතාලියෙන්, මෙන්න මේ වගේ. මිට අමතරව බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව , ජපානය වැනි රටවලින් යුගොස්ලවියානු කම්හල් දියුණු කිරීමට අවශ්‍ය උපකරණ අමතර කොටස්.  නමුත් පසුව ණය ලැබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සහිතව. ආශ්‍රිත ශ්‍රමය නමැති ක්‍රමය නැති කිරීම,
ව්‍යාපාර වලට තමන්ට අවශ්‍ය සංඛ්‍යාවක්  බඳවා ගැනීමට ඉඩ දීම හා අයිතිකරු විසින් පඩි නඩි තීරණය කිරීම. රටේ ශ්‍රම අතිරික්තයක් ඇති කිරීම. ඒ කියන්නේ ආණ්ඩුවේ "වැඩි" සේවකයන් අස්  කිරීම වැනි කොන්දේසින්.

 මෙහිදී (මේ නිසාමත්)  80 මැද හරිය වනවිට ලක්ෂ අටක පමණ රැකියා විරහිතයන්  සංඛ්‍යාවක් බිහිවී තිබුනා. මෙතැනදී ජර්මනිය ප්‍රමුඛ යුරෝපා සංගමය යුගොස්ලාවියානු  රටවල් වලට වෙන  වෙනම බලපෑම් කලා යුරෝපා සංගමයට එකතු වෙන ලෙස. හිට්ලර්ගේ නාසි යුද සමයේ (දෙවන ලෝක යුද්ධය )  නාසින්ට වැඩිපුරම උදව් කලේ ක්‍රෝෂියන් වරු හා බොස්නියන් වරු (තුර්කින් සමග). ඔවුන් නැවත හිස ඔසවන්නට වුනා . ජර්මනියේ දඬුවම් නොලබා බේරුණු නාසිවාදීන් හා ව්‍යාපාර මේ සඳහා සක්‍රිය දායකත්වයක් දැරුවා  කියා කියනවා. කෙසේ හෝ 1980 අග භාගය වනවිට තම තමන් පාලනය කල කොමියුනිස්ට් පක්ෂ මාර්ගයෙන්ම මෙම රටවල් ස්වයං නිර්ණන අයිතිය ක්‍රියාත්මක කරවීමට ඉල්ලුවා. ප්‍රශ්නයක් නැතුවම ඉවත්වන්නට පුළුවන් වුනේ මොන්ටෙනේග්රෝවට හා ස්ලවේනියාවට පමණයි. ඊට හේතුව මේ රටවල සිටි ජාතිය,  සජාතීය (හෙවත් homogeneous හෝ සමජාතීය)  වීමයි. ස්ලවේනියන්වරු හා  ස්ලාව් වරුන් වන සර්බියන් වරුන් හා  වැඩි වෙනෙසක් නැති ජාතියක් වුන අතර මොන්ටෙනෙග්‍රෝ වරුන්ගේ රටේ සිටියේද ඔවුන් පමණයි. (හන්ගේරියන් වරුන් ඉතාමත් සුළුතරයක් සහිතව). එනිසා මේ සජාතීය  රටවලට වෙන්වීම ප්‍රශ්නයක් වුනේ නැහැ . නමුත් සර්බියානුන් වැඩිපුර සිටි ක්‍රෝෂියාවේ සහ බොස්නියා - හර්ට්සගොවේනියාවේ වල සර්බ වරු සුළු ජාතියක් වන්නට කැමති වුනේ නැහැ. මේවා multicultural හෙවත් බහු සංස්කෘතික රටවල්. මෙහි ක්‍රෝෂියන්  වරු හා බොස්නියක් ලා සර්බියන් වරුන් දෙවන ලෝක යුද්ධයෙන් පසු පදිංචි වුනු ආක්‍රමණිකයන් යයි කියා (මෙහිදී  සර්බවරුන් ප්‍රමුඛව නාසිවාදයෙන් රටවල් ගලවා  ගත්  බව ඉතා පහසුවෙන් අමතක කරමින්)  ඔවුන් එලවන්නට හා මරා  දමන්නට, ගෙවල් ගිනි තියන්නට පටන් ගත්තා. (සමජාතීය වීම සඳහා - අප දන්නා රටකත් මේ පිළිවෙතම මෙසේ එක්තරා සුළු ජාතික අවිගත් කණ්ඩායමක් මගින් ක්‍රියාත්මක කල අතර ඇතැම් වමේ පක්ෂ ස්වයං නිර්ණන  කතාවේදී මෙය වුවමනාවෙන්ම කතා කිරීමෙන් මග හරිති.)
ක්‍රෝෂියාවේ  සර්බවරුන් හා මුස්ලිම් වරුන්ට එරෙහිවත් බොස්නියාවේ සර්බියන්, මුස්ලිම් බොස්නියන් හා ක්‍රෝෂියන්  වරු අතරත් සටන් පණ නැගුනා. අවාසනාවකට ජාතිවාදය තදින් ඇවිස්සු පක්ෂයක් සර්බියාවේ බලයට පත්වූ අතර ඔවුන් සර්බියන් වරු බේරා ගැනීමට  යයි කියා අර රටවල් ආක්‍රමණය කර මිනිසුන් බොහොමයක් මරා දැමුණ,  ම්ලේච්ච ජාතිවාදී යුද්ධයක් ක්‍රියාත්මක කලා. ඉන්පසු අමෙරිකා එක්සත් ජනපදය හා නැටෝව මැදිහත්වී සර්බියාවට බෝම්බ දමා තත්වය පාලනය කරමින් ඉතිරි රටවල් බෙදා දැමුවා.

අර තරුණියන් තිදෙනා එංගලන්තයේ සරණාධාර පතා  ආවේ එලෙසයි. අර සිද්ධියෙන් පසු ඔවුන් හැඬුවේ තමන්ට අහිමි වුනු, ඔවුන් ජාතින් වශයෙන් නොබෙදී සිටි ඒ සුන්දර අතීතය වෙනුවෙනුයි.

පසු වදන: ඉහත  පින්තුරයෙන් දැක්වෙන්නේ සර්බියන් පෙම්වතා හා ඔහුගේ ක්‍රෝෂියන් පෙම්වතිය සිප ගන්නා  ආකාරයයි. වැඩිහිටි ක්‍රෝෂියන් ජාතිවාදී කාන්තාවක් සර්බ පෙම්වතාගේ අත අල්ලාගෙන සිටින ක්‍රෝෂියන් පෙම්වතියට දෝෂාරෝපනය කරනවා. මෙය අසා පෙම්වතිය ඕනෑ කමින්ම හැමෝම ඉදිරිපිට පෙම්වතාව සිපගන්නවා.
http://www.huffingtonpost.com/2013/03/10/croatian-girl-kisses-serb_n_2839945.html
දැන් නැවතත් සර්බියන් හා ක්‍රෝෂියන් වරු සමගියෙන් සිටින බවක් පේනවා.ක්‍රෝෂියාව, ස්ලවේනියාව ස්වයං නිර්ණය ලැබීමෙන් පසු යුරෝපා සංගමයට එකතුවුණු අතර  ඔවුන් සර්බියාවට යුරෝපා සංගමයට ඇතුලත් වෙන්න උදව් කරනවා.

- අජිත්