Sunday 24 April 2022

සටන


එක රතුමලක් තනිවී හිටියත් මෙහෙම 

දහසක් රතු මල්ම පිපුනලු හැමදාම 

ඒ මල් ගොඩට එක් වන්නට පැතුවාට 

නොහැකිය හැමට වන්නට ඒ රතු මලම 





හිටියත් ඈත දුරු රටකට වී මෙහෙම 

අපේ හිත් ඔබ ළඟයි ආදර ජන රෑන 

රතු මල්  ගොඩක් වගෙ  එක්වී හැමදාම 

නංවමු  රැක ගනිමු හද දිනු රට නොපමාව 

--කොළඹ ගමයා 



Saturday 16 April 2022

දයාබර විපුලියේ



ලන්ඩන් වල ඉඳන් මගේ 
බ්ලොගේ කියවන 
විටෙක රණ්ඩු වෙන 
විටෙක හිනැහෙන 

කඩයක් ඇරගෙන 
පැය ගණන් වාද කරන 
ඒත් පස්සේ කෝල් කරලා 
තරහද බං කියල අහන 

සරසවියේ කොළඹ, උගත්
"සිංහල" උගන්නපු ගුරුතුමී  
විටෙක බොරු සැර පෙන්නන 
දයාබර විපුලි 
 
ඔයා   ගියා කියල 
තවම හිතා ගන්න බැහැ බන් 
ඔයාගේ කෙල්ලයි කොල්ලයි හිනා වෙලා හිටියට 
දුෂාන්ත හිනා වුනාට 
උන් ඇතුලෙන් පිච්චෙනවා කියල 
මම දන්නවා 
ඉනෙස් නුයි කෙල්ලෝ දෙන්නත් 
කඳුළු පොරෝගෙන 

ඇයි බන් පොඩි දෙන්න හය-හත  කාලේ 
ටයික්වෝන්ඩෝ කරන්න ගෙනත් 
එදා ඉඳන් අද  වෙනකල් 
උන් දෙන්නගේ ලන්ඩන් නැන්ද උනේ උඹනේ 

ඕනෑ පාටියක මැද ඉඳන් හිනැහෙන 
වටේ අය මැදට අරන් නටන නටවන 
ඇවිදින්න ගමන් යන්න දුවගෙන එන 
ජිවිතේ ප්‍රශ්න මැද විඳපු හිනැහුණු 

ජිවිතේ තව ගොඩක් දුර 
දුෂා එක්ක යන්න හිටිය 
"කෙල්ල කොහොමහරි යුනි ගියා අජිත් 
සෙතා තමා ඉතින් කොහොමහරි 
මට  යවා ගන්න ඕනේ කියල" 
අන්තිමටම මට කියපු 

විපුලි උඹ ගියා කියල 
තවමත් හිතා ගන්න බැහැ 
යන තැනක උඹ හිනාවෙලා ඉඳී කියල 
අපි දන්නවා 
පෙරේදා හිනා වෙලා 
මේ හදිසියේ 
අද අපිව  දාලා ගියාට 
පැතූ  නිවනක් නුඹට ලැබේවි 

සුභ ගමන් විපුලියේ!
සුභ ගමන් නංගියේ !
සුභම සුභ ගමන් විපුලියේ!


**********************************
විපුලි මිනිත්තු 3.55 සිට:




Wednesday 13 April 2022

අරගලයේ කතා



මේ පහල තියෙන අරගල කතා ලිව්වේ කවුද කියන්න දන්නේ නැහැ. මම මේ කතා ටික උපුටා ගත්තේ solidarity කියන වට්ස්ඇප් කණ්ඩායමෙන්. දන්න කෙනෙක් ඉන්නවා ලියමනේ හිමිකරුගේ නම එවන්න. වැස්සේ ගෝල්ෆේස් තණ  බිමේ අරගලයට එකතු වුනු  ආදරණිය ජනතාව ගැන හා ඔවුන්ට උදව් කරන ජනතාව ගැන. මේක මධ්‍යම  පන්තික අරගලයක් වෙන්න පුළුවන්. අන්තරේ අරගලයක් වෙන්නත්  පුළුවන්. දෙගොල්ලම මධ්‍යම පන්තියේ.නමුත් එතන නිර්ධන  පන්තියත් හිටිය. වෙනත් තැන් වල ගාමන්ට් වල වැඩ කරන සොයුරියන් වගේම වතුකරයේ ජනතාවත් අරගලයේ සිටිනවා මම දැක්ක. එනිසා මේකට ලේබල් ගහන්න බැහැ.

ඉහත  වීඩියෝ එකේ ඉන්නේ අපි අතරේ ඉතා සිඝ්‍රයෙන් ජනප්‍රිය වුනු, මිහිරි ලෙස  අරගල ගීත ගයන ගීත කෝකිලාවියක් . නම  අන්ජලි බණ්ඩාර, අහල බලන්න.




******************************************************************
(උපුටා ගැනීමකි) 
මේ අරගලයේ ඉන්න අපේ රටේ ආදරණීය මිනිස්සු ගැන ❤🌹 🇱🇰 

එළිවෙනකල් වැහි 3 , 4 කින් හෙම්බත් වෙලා හිටිය අපි උදේ 6 ට අඩු වෙච්ච වැස්සත් එක්ක අලුත් දවසක් ගැන බලාපොරොත්තු තියන් ඉද්දි ආයෙත් නොනවතින අරගලයට නොනවතින වැස්සක්ම තිළිණ කරන්න ගත්තා.....

වැස්ස මාරම ආශිර්වාදයක් වුනා අරගලයට ඒ මොකද කියනව නම් , 

* මුලින්ම වාහන වල යන මිනිස්සු අරගලේ දැක්කම ඒ මූණු වල තිව්නෙ දෙයියනේ මුං තවම මේ වැස්සෙත් මෙතන වගේ මූඩ් එකක් ඒ මිනිස්සු අත උස්සල කෑ ගහගෙන යනව ඒක්කො වාහනේ නලාව අඬවගෙන යනවා...

* ටික වෙලාවක්‍ යද්දි වාහන එක දෙක නවත්තන්න ගත්තා ඒ හැමෝම කෑම , වතුර අරන් උදෙන්ම ඇවිල්ලා අපිව බලන්න 🥺 මේක උඹලට කියවද්දි ඒක දැනෙනවද කියන්න මං දන්නෙ නෑ ඒත් ඒක මාරයි  ❤

* විස්වාස කරන්න කොච්චර කෑම ලැබුනද කියනව නම් අපි පාරෙ යන බස් නවත්තල ඒවගෙ වැඩට යන මිනිස්සුන්ටත් කන්න දුන්න ඒ කෑම ...

* අපි ඉන්න තැනට  කෙල්ලෙක් ආවා ටික වෙලාවක් නිසොල්මනේ ඉදපු එයා ටික ටික කෑ ගහන්න, අරගලේ එක්ක සෙට් වුනා අපි කතා කරල අහල බැලුව විස්තර එතකොට කියුවෙ මං මේ එහා පැත්තෙ ගෙදර ගාව ඉද්දි පාරෙ ගිය බස් එකෙන් කිව්වා " අද නම් වැස්ස නිසා සෙනඟ මදි වගේ " කියලා.... එහෙම දෙයක් අහපු නිසා එහෙම්ම පයින්ම ඇවිල්ල තනියම... දන්නවද හොදම දේ එයා ටැමිල් ❤  ඉස්සර අපි බෙදුව උන්ට හෙන ගහන්න ඕන...

* උදේ 6.30  උනෙත් නෑ පුංචි මුස්ලිම් පැංචියො ටිකක් එක්ක ඒ බබාලගෙ අම්මල තාත්තල සීයලා ආව වැස්සත් අරන්ම , මං මෙහෙම දේවල්  ඇස් දෙකෙන් දැකල තිව්නෙ නෑ.... ඒ ළමයින්ගෙ අතට ජාතික කොඩිය දීලා ඒ අම්මා තාත්තා කිව්වෙ  ඉස්සරහට යන්න මේ අය රටට ආදරේට මේ ඉන්නෙ ඔයාලත් මේ වගේ වෙන්න කියලා... ඇස් දෙකට ආව කදුලු වැස්සටම හේදිලා ගියා... හිතන්න සෑහෙන්න දේවල් ඉතුරු වුනා... ඇයි අපි මේ බෙදිලා හිටියෙ මොනව බෙදාගන්න බැරුවද ? අපි බෙදුනෙ නෑ අපිව බෙදුවෙ මේ දේශපාලන හැතිකරේ....
මේ වගේ දරුවො ඉන්න අනාගත  ශ්‍රී ලංකාව කොච්චර ලස්සන වෙයිද ❤

* ඊ ළගට ඇවිල්ල නැවතුන වාහනෙන් ගෙනල්ලා තිව්නෙ වැහි කබා ( rain coat ) ඇස් අදහ ගන්න බැරි වුනා 😢  ඒ මිනිස්සුන්ටත් මේ කාලෙ අමාරු ඇති ඒත් වැස්සෙ තෙමෙන කෙල්ලො කොල්ලො වෙනුවෙන් රේන් කෝට් මහ ගොඩක් ගෙනාව ඒ මිනිස්සු.... ඇත්තටම ඒ කරපු දේ පින නම් ඇති සංසාරෙම හිසට සෙවනක් ලැබෙන්න ඒ මිනිස්සුන්ට  ❤🙏

* ඩොක්ටර් පාස් එකක් ගහපු කාර් එකක් ආවා මං හිතන්නෙ ඩියුටි ඕෆ් වෙලා යන පිරිමි ඩොක්ටර් කෙනෙක් එයා ළඟ ඒ වෙලේ දෙන්න දෙයක් තිව්නෙ නෑ එයා කරේ  කාර් එකේ වීදුරුව පහත් කරල එයාගෙ කුඩේ අපිට දීලා යන්න ගියා... මේව පොඩි දේවල්ද නෑ මේව මහ ලොකු දේවල්... පන්ති වලට බෙදල තිව්න ලංකාව එක පන්තියක් වෙනව ටිකෙන් ටික මේවා මාරයි ❤

* උදේ වැඩට යන තාත්තා කෙනෙක් අනේ ඒ මනුස්සයත් ඉටිකොලයක් ඇගට දාගෙන හිටියෙ වැස්සෙන් බේරෙන්න... ඒ තාත්තා ඉදන් කිව්වෙ "අනේ පුතේ මං එහෙම මොනවත් ගෙනාවෙ නෑ මං ගාව වැඩිපුර රුපියල් සීයක් තියෙනව මේක ගන්න " කිව්වා.... පපුව පිච්චිලා ගියා මේ රටේ මිනිස්සු කොච්චර ලස්සනද 😢🥺
වැඩියෙන් තියෙන රුපියල් සීය අපිට දෙන්න හදනව වැස්සෙන් බේරෙන්න මොකක් හරි ගන්න කියලා... 
මෙහෙම සිතුවිලිම මිනිස්සුන්ට එනව කියන්නෙ අරගලේ ජය මාවතට ඇවිල්ලා....

* කෑම බීම මදි නොකියන්න එද්දි ඉටිකොල , ඉටි රෙදි රෝල් ගනන් මිනිස්සු අරන් ආවා... ඒ මිනිස්සුන්ට පුළුවන්කම තිව්නෙ ගාර්බේජ් බෑග් ටිකක් ගෙනල්ල දෙන්නද ඒක ගෙනල්ල දුන්න ඔලුවට දාගන්න කියලා....

* මං මගේ ජීවිතේට හිතුවෙ නෑ ටැමිල් පවුලකින් මට උදේ තේ බොන්න ලැබෙයි කියලා...ටැමිල් අම්මෙකුයි තාත්තෙකුයි ආවා එක කුඩයක් යටින් ලොකු ප්ලාස්ක් එකක් පිරෙන්න තේ හදාගෙන....
ඒ  තේ එක හරි රහයි ජාති වාදෙ නෙවෙයි ආදරෙන් මත් වෙලා තිව්නා ❤

* මහ වැස්සෙ අයියා කෙනෙක් ඇවිල්ල කියනව මල්ලි මං ගානෙ උදේට කෑම සීයක් ගෙනාව බාරගන්න එන්න කියලා..ඒ වෙද්ශි ශෝටීස් කාලා තේ බීලා ඉදපු අපිට බඩගින්නක් තිව්නෙම නෑ.. අනික ඒ වෙලාවෙ ඒ වැස්සත් එක්ක බත් කන්න තැනකුත් නෑ.... 7 අපි ඒ කෑම ටික ළමා නිවාසෙකට යවන්න විදියක් හදලා දුන්නා... ඒ අයියා කිව්වෙ  "මල්ලි අපි ඊයෙ කල්පනා කරා මිනිස්සු වෙනුවෙන් කරන්න දෙයක් එහෙම හිතලා කෑම පැකට් 100 හැදුවෙ "  හිතන්න මේ වගේ අමාරු කාලෙක තනි මනුස්සයෙක් 100 කන්න දෙන්න එනවා .. එයාට වාසියකටද නෑ....

*තව තාත්තා කෙනෙක් ආව බෑග් එකක් උස්සන්.. දන්නවද ඒකෙ තිව්නෙ සී විටමින් පෙති 🥺 එයා කියනව ඔයාල වැස්සෙ තෙමුනනෙ කෝකටත් හොදයි මේක ගන්න කියලා.. අපේ අම්මට තාත්තටවත් එහෙම දේවල් මතක් වෙයිද  ?

* තව කෙනෙක් ඇවිල්ලා කිව්වා tv එකෙන් දැක්කා ඔයාල තෙමෙනව ඒ නිසා මං සමහන් හදන් ආවලු 🥺❤

* තව අම්මා කෙනෙක් වාහනේ නවත්තලා දරුවො දෙන්න එක්ක එනව ලොකු මලු උස්සගෙන විස්වාස කරන්න ඒ මලු වල තිව්නෙ බැන්ඩඩ් ටවල්... ඒ මිනිස්සු තුවා අරන් ඇවිල්ලා මේ තෙමුන මිනිස්සුන්ට පිහදාගන්න... මේක ආදරයද මොකක්ද අපි දෙන්න ඕන වචනෙ  🥺❤

*  ඔයාලා ජීවිතේට දැකල තිව්නද මහ පාරෙ නෙස්කැෆේ හදල දෙනව... ඒ මිනිස්සු අරගලේට නෙස්කැෆේ දෙන්න ජෙනරේටරයකුත් අරන් ඇවිල්ලා... මේව විස්වාස කරන්නත් අමාරු දේවල් 🥺❤

* ඒ ඔක්කොම අස්සෙ ඉන්දියාවෙ abp  මීඩියා එකෙන් ඇවිල්ලා හිටියා.. ඉන්දියාවෙ ඉදල ලංකාවට වැඩම කරපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් හින්දියෙන් වොයිස් කට් දෙනව... ඊට පස්සෙ මිනිස්සු අස්සෙ ඉදපු ලංකාව් එකෙක් හින්දියෙන් වොයිස් කට් දෙනවා.... උන්ටත් හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා....

*  විශේෂයෙන්ම කියන්න ඕන Ratta  ගැන.. උඹ ඇත්තටම පොරක් මං ඇස් දෙකන් දැක්කා උඹ විදින දුක , කන කට්ට මේ වැඩේ ගොඩ දාගන්න තියෙන උනන්දුව  ❤ උඹල වගේ උන් තමයි  මේ වැඩ වලට ඉස්සරහට එන්න ඕන... අනිත් පොරවල් කියාගන්න ගෑනු හැංගෙද්දි හැමෝම වෙනුවෙන් මේ කට්ට කන එක ගැන මාර ගෞරවයක් තියෙනවා මචං ❤🙏

මේ මං ඇස් දෙකට දැකපු ටික විතරයි  අද හවස් වරුවෙ බෙහෙත් ද්‍රව්‍ය එක් රැස් කරගෙන......
කොස් එහෙමත් උයාගෙන ,ජංගම වැසිකිළි පහසුකම් දීලා , කෑම්පින් ටෙන්ට් ගහගත්‍ත මිනිස්සු තවම ඉන්නවා.....

අපේ රටේ මිනිස්සු කොයි තරම් පරිත්‍යාගශීලි ද ? 
එකතු වෙද්දි හමෝම එකා වගේ ඉන්න ආසද ?
නැති ප්‍රශ්න ඔලුවට දාල අපිව බෙදල වෙන් කරේ?

නිසැකවම දේශපාලන උප්පරවැට්ටි නිසා මිනිස්සු බෙඳල වෙන් කරළ තිව්නට මින් පස්සෙ ඒවා සුම්මා  අපි ඔක්කොම එක පව්ලක්....
මේ එකමුතුව ආදරේ කවදාවත්  දශමෙකින් වත් අඩු වෙන්න නොදී  ඉමු....

නොනිදන නොනවතින අරගලයට ජයවේවා  🇱🇰 

අරගල කියන්නෙ මොනවද , අරගල දිනන්නෙ කොහොමද ?  හැම වෙපන් එකකටම වඩා ආදරේ බලවත් බව අපි ලෝකෙටම කියල දෙමු ❤ 

මේ රට අපේ..අපි කොහොම හරි මේ රට ජරා දේශපාලුවොන්ගන් බේරගමු !

ආදරේ අරගෙන ඔයත් එන්න ගෝල්ෆේස් එකට ❤

ඔව් අපි මේක දිනනවා !

අරගලයට ජය 🇱🇰❤

(උපුටා ගැනීම අවසන්)


ඔබ සැමට අරගල සතුටුදායක ලෙස අවසන් වන සුබ නව  වසරක් වේවා. !

Monday 4 April 2022

දෙවියන් අතර සටනේ ජය කාටද

ඤානක්ක බේරා  ගන්න දෙයියන්ගේ පොලිසිය 

 සීතාවක රාජසිංහ රජුට අරිට්ට කීවෙන්ඩු හිටිය වගේ, සාර්  නිකොලස් ට රස්පුටින් හිටිය වගේ ලංකාවේ නන්දිකඩාල්  රජ්ජුරුවන්ට ඉන්නේ ඥානක්ක . මේක ලියන්නේ "ඤානක්ක "කියලද මන්ද. එයා දෙවියන්ගේ ලෝකල් නියෝජිතයා කියලයි කියන්නේ. රට කරවන ලොක්කෝ  වගේම මැති ඇමැති ගොල්ලොත් , හමුදා ලොක්කොත් බිස්නස් කරන  කට්ටියත් මේ  දෙවියන්ගේ ආශීර්වාද ලබනවා කියලයි ආරංචිය. 

මේ ඉන්නේ ඒ  අක්කලු 


වැඩේ කියන්නේ අන්තිමට ඥානක්ක ට ගාඩ් එක දෙන්න වුනෙත් පොලිසියට.  දෙයියෝ නිවාඩු  දාලා ගිහින්ලු  පාස්කු නිවාඩුවට.  ඒක දැනගෙන එතනට ගිහින් වලි ඇදල තියෙන්නේ හිරුණිකා.  හිරුණිකා මිරිහානේ ඉඳන් ඒ ගැම්මටම  අනුරාධපුරෙත් ගිහින්. කොටින්ම  කියනවනම් සජිත්, පාඨලී විතරක් නෙමෙයි අනුර කුමාර ගේත් රෙදි ගලවලා තමයි හිරුණිකා  ගියේ. එනිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් උඩට ආව . ඒ ගමන්ම වගේ ජාතික කොඩිය එපා කීව කියල කතාවකට එයාව එලවනවාත් දැක්කා. සමහරු ජාතික කොඩිය ජාතිවාදී වුවමනාවකට අරන් යන බවත් පේනවා. තවත් සමහරු ගෙනියන්නේ ඇත්තටම රටට ආදරේ නිසා. හිරුණිකා ජාතික කොඩිය එපා කියනවා බවක් ඒ පටිගත කළ   වීඩියෝවේ ඇහෙන්නේ නැහැ. මේ වෙලාවේ හැමෝම අවශ්‍ය වෙනකොට හිරුණිකා ඉලක්ක කරල පහර දෙන්නේ ඇයි කියන එක තේරෙන්නේ නැහැ. මම හිතන්නේ එතන ජවිපෙ/සජබ අරගලයේ මූලික භූමිකාව ගන්න උත්සාහ කරනවා ඇති.   

දැන් බලාගෙන යනකොට දෙයියෝ ගැන බැලුවොත්  එක්කෝ විමලයායි, පිලයායි  නැව ගිලෙනවා කියල දැනගෙන මාරු වෙනකොට ඒ එක්කම  මාරු වුනාද එහෙම නැත්නම් සන්ධ්‍යා එක්නැළිගොඩ ගේ සාපයට  භය වුනාද කියල සැකයකුත් එනවා. එහෙම  කතාවකුත් කණින්  කොනින් ඇහුන. 

මේ  සන්ධ්‍යා   එක්නැළිගොඩ මහත්මිය පොල් ගහපු දවසේ

පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට දඬුවම් නොදීමත් ලොකු ප්‍රශ්නයක්. හරියටම ඒ සැමරීම ලං   වෙනකොටම මේ අරගලයත් ඇරඹෙන්නේ.  ඒ නිසා පේන්නේ දෙවියන් දෙතුන් දෙනෙකු ගෙන්  එක්කෙනෙක් දිනාගෙන යනව වගේ. මම නම් ඔය පොල් ගැහිලි වත් ඥානක්ක වගේ අයගේ ගේම් වත් කවදාවත් විශ්වාස  කලේ නැති වුනත් අදහන අය ඉන්නවා. ඒ නිසා දැනට පේන විධිහට සන්ධ්‍යා ගහපු  පොල් ගෙඩියේ විතරක් නෙමේ පාස්කු ප්‍රහාරයේ කර්මයත් පල දෙනවා වගෙයි පේන්නේ.  අමතක කරන්න එපා අප්‍රේල් පහ විරු සමරු දිනයත් වැටිලා තියෙන්නේ අදට  කියල. 

දිගට හරහට රුසියාව - යුක්‍රේන යුද්ධය  ගැන කතා කරන කොට  ලංකාවෙත් ඇවිලුනා නේ. . ගෝඨාභය රාජපක්ෂ  ආණ්ඩුවට රුසියාවෙන් තෙල් අඩු මිලට දෙන්න ගිය සතියේ  පොරොන්දු වෙලා  තිබුණය කියල ආරංචියක් ආවා. 'ස' ගේ කරුමෙටද ඥානක්ක ගේ  කරුමෙට ද මන්ද  වික්ටෝරියා නියුලන්ඩ් ඉන්දියාවට යන ගමන් ගොඩ බැහැල තර්ජනයක් දාල ගිහින්ලු  ඒ රුසියන්  තෙල් ගන්න තහනම් කියල.  දැන් අහන්න එපා උක්රයිනයට ස්වයං නිර්ණය  අයිතිය තියනවනම් නේටෝවට එකතු වෙන්න,  ශ්‍රී ලංකාවට රුසියන් තෙල් ගන්න අයිතියක් නැත්ද කියල.  නැහැ. යුක්රේනය අමෙරිකාවෙන් අහල ගන්න අවසරය "ස්වයං නිර්ණය අයිතියක්"  කියල හිතන අයත් ඉන්නවා.  නමුත් ලෝකයේ බල තුලනය තියෙන පැත්තේ කීම අහන්න වෙනවා.  ඇමෙරිකාව ඉන්නේ මොන දෙයියටත් උඩිං. නැත්නම්  ඒ පවුලේ අය ඇමෙරිකන් පුරවැසිකම් ගනියිද?  
නිදහස් වෙළඳ කලාපයේ සොහොයුරියන් පාරට බැහැල ඉන්නව දැක්ක.


මම ඉතින් ඇමෙරිකාවට විරුද්ධ නැති වුනත් ඉඳල හිටලා ඔය වගේ  ප්‍රශ්න  අහනවා.  තෙල් නැවක්  ආව කියලම වුනත් ඉතින් රාජපක්ෂ පවුලේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.මෙතැනදී  කරන ඕන දෙයක් ඉන්දියා- ඇමෙරිකා - චයිනා කියන සරල නොවන රේඛා තුනකට මැදිවෙලා කරන්න වෙන්නේ.  ඔන්න ඔතන නම් ප්‍රශ්නයක් තිබෙනවා. ඔය තුනින් මුලින්ම අත දානවා නම් අත දාන්නේ ඉන්දියාව.  එනිසා අරගල කරන අය සෑහෙන්න ප්‍රවේසම් වෙන්න ඕනේ.  

මේ නිසාම වෙන්නේ ඕනේ දීප්ති කුමාර ගුණරත්නට මේ ජනතා නැගිටීම පේන්නේ අරාජකවාදයක් හැටියට. එහෙම හිතෙන්නේ කැපී පෙනෙන දේශපාලන නායකත්වයක් නැති නිසා වෙන්න පුළුවන්. නමුත් 1917 පෙබරවාරි  මාසයේ  සිදූවූ රුසියානු විප්ලවයේ පැහැදිලි දේශපාලන  නායකත්වයක් තිබුනේ නැහැ. නමුත්  ඒක අවසන් වුනේ සාර් පලව හැරීමෙන්. 

හුඟක් අය නොයෙකුත් විසඳුම් අරන් එනවා. මට පෙනෙන්නේ මෙච්චරයි. හිරුනිකා  මිරිහානට ගිහිල්ල හරි නැතුව හරි අනිත් පක්ෂ වලට කලින් ජනතා අරගලය පටන් ගන්න කැටලිස්ට් එක දුන්න. ගෑස්නැහැ, භූමිතෙල් නැහැ උයන්න. නගර වල මිනිසුන්ට දරත් නැහැ. ළමයින්ට කන්න දෙන්න විධිහක් නැහැ. රැකියා කරගන්න විධිහක් නැහැ.  ඩීසල් , පෙට්රෝල් අස්ප  ගණන්. අපනයන වලින්  එන ඩොලර් ටිකටත් සැප වාහන අරගෙන කෙලිනවා.  කෝවිඩ් නිසා ඇතිවුන ප්‍රශ්න තිබුන. ඒක හරි. නමුත් වැට් අඩු කිරීම , බදු අඩු කිරීම,  පොහොර ප්‍රශ්නය වගේ අනා ගත්ත තැන්  තිබුන. ඒ නිසා මේ මහජන නැගිටීම සාධාරණයි.

හැබැයි දැනට නායකත්වයක් නැතිව ඉබේ තැන තැන සමාජ ජාලා, වට්ස්ඇප් කණ්ඩායම් ආදිය  හරහා සංවිධනය වෙන මේ නැගිටීම වෙනතකට හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපතිතුමා  අස් වෙන්නේ නැතිව තවත් හිටියොත් අරගලය ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. එනිසා දැනට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය රජය සහ ජනාධිපති සම්පුර්ණයෙන් ම ඉල්ලා අස් වෙන එක. රනිල් කීව වගේ අග්‍ර විනිශ්චයකාර තුමාට රජය තාවකාලිකව භාර දීලා දහ  දෙනෙකු විතර ඉන්න තාවකාලික  ඇමැති මණ්ඩලයක් පත් කළා නම් හරි.

ඊට පස්සේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් අයි එම් එෆ් ගිහින් දැනට ගෙවන්න  තියෙන ණය වාරික ප්‍රතිව්‍යුහගත කරගෙන ගෙවන වාරික අඩු කර ගැනීම. ඊට පස්සේ  ලැබෙන අපනයන ආදායම් වලින්ට ඩීසල් වැනි අත්‍යවශ්‍ය ආනයන වලට ගෙවන එක. ඒ එක්කම බදු වැඩි කරලා, රාජ්‍ය සේවකයෝ අඩු කරලා, රජයේ ආදායම වැඩි කර ගන්න එක.  සහනාධාර  යම් ප්‍රමාණයකට කපා හරින්න වෙයි. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආර්ථිකය ගොඩ දාගත්තොත්. ඉතින් මේ   තත්වෙට එනකොට සංචාරක කර්මන්තයත් සෑහෙන්න ගොඩ දාගන්න පුලුවන් වේවි. හැබැයි ඒක මේ ආණ්ඩුවට කර ගන්න බැහැ . පුලුවන්නම් මෙලහට කරලා. එයාල ෆේල්.  ඒක  කරන්න වෙන්නේ  තාවකාලික ආණ්ඩුවක ට හෝ අළුතින් පත් වන ආණ්ඩුවකට.  එහෙම ආණ්ඩුවක බලය බොහෝ විට සජබයට යාවි.  එයාලට  19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපහු ගේන  එකත් කරන්න වෙනවා . 

දීප්ති ගුණරත්න ඉදිරිපත් කරන විසඳුමත් මෙයට සමානයි. //අප මේ ව්‍යාජ බොල් උද්ඝෝෂණවාදීන්ට කඩේ යන්නේ නැත. අප රාජපක්ෂලා බලයට ගෙන ආවේ ද නැත. නමුත්, ලංකාව අලුතින් නිර්මාණය කළ හැකි මංසන්ධියක් දැන් බිහි වී ඇත. මහජන බදු මුදල් විනාශ කරන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන ඕනෑම වැඩසටහනක්, මේ මොහොතේ දී විප්ලවීය යැයි අපි බය නැතිව ප්‍රකාශ කරන්නෙමු.//-දීප්ති -උපුටා ගැනීම මගෙනි.
බදුල්ලේ ජනතාව අරගලයේ 


දෙවන  ක්‍රියා මාර්ගය  අරගලය දිගටම ගෙනියන එක.    ගෙනිහින් සම්පුර්ණ ක්‍රමයම උඩු යටිකුරු කරන එක. හැබැයි ඒකට ජවිපෙ ලැහැස්ති බවක් නම් පේන්න නැහැ. අනුර කුමාර කියන විධිහට ජනතාව වැඩේ කරල එයාලට කතා කරන්න ඕනේ බලය අරගෙන  ආණ්ඩුවක් පිහිටුවන්න. බලය අතට ගත්තොත්  ඉදිරියෙන් ඉන්න පිරිස ජවිපෙට කතා කරන එකක් නැහැ. දෙගොල්ල ගෙන් කවුරු ගත්තත්  සම්පූර්ණ සමාජවාදී ක්‍රමයකට යන්න ඕනේ. සිරිමාවොගේ  වගේ අර්ධ සමාජවාදී,  මිශ්‍ර  ආර්ථිකයක් හා නැදෑ ආණ්ඩුවක්  නෙමෙයි. හැබැයි හුඟක් වෙලාවට චීන මොඩලය තමයි ලංකාවට හරි යන්නේ. තනි පක්ෂ ආණ්ඩු ක්‍රමයක් යටතේ පෞද්ගලික වෙළදාම ට සහ පෞද්ගලික දේපල අයිතියට සීමා සහිතව ඉඩ දීම. අනිත් රාජ්‍ය  ආයතන හා ප්‍රතිපත්ති  සියල්ලම  සමාජවාදී ක්‍රමයට අනුව පිහිටුවීම. එතැනදී මේ අර්බුදය මදක් පාලනය කර ගන්න පුළුවන්.  වඩා සාධාරණ සම්පත් බෙදීමක් යටතේ කිසියම් සහන ප්‍රමාණය පහල පන්තිවලට ලැබෙනවා. හැබැයි ඒ වගේ ක්‍රමයක් මේ අර්බුදය තවත් තීව්‍ර වීමෙන් මිසක් එන්නේ නැහැ.

අරගලයේ විවිධ අය ඉන්නව. නිදහස් වෙළඳ කලාපයේ සහෝදරියෝ වගේම අයිටි (තොරතුරු තාක්ෂනවේදීන්)   සෙක්ටර් එකේ කට්ටිය, කොළඹ පොෂ් පන්තිය එක්ක උරෙන් උර ගැටෙමින් කොළඹ සාමාන්‍ය රැකියාව වල යෙදෙන ජනතාව, ත්‍රී වීල වලින් රැකියාවල යෙදෙන අය, සුළු නාගරික ජනතාව, සූ වෙළඳ පන්තිය , ග්‍රාමීය ගොවි ජනතාව, මේ ඔක්කොම   එලියට බැහැල අවසන්. ඒක මේ පෝස්ටර්  වලින් හොඳට තේරුම් ගන්න පුළුවන්. දුෂණය අවසාන  කිරීමත් , වී අයි පි ලට විශේෂ  ලෙස නොසැලකීමත්, ඩොලර් උපයන පෞද්ගලික අංශයේ සහ ගාමන්ට් සේවක සේවිකාවන් ගේ පඩි වැඩි කිරීමත්    වැනි  ඉල්ලීම් ඉදිරියට ඇවිත්. තව දුරටත් නිකම්ම් නිකම් ගෑස් අඩු කරන, පාන් අඩුවට දෙන සිල්ලර සටනක් නෙමේ මේක. වෙනද වගේ පොඩි හෝල් එකක ඉටිපන්දම් පත්තු නොකර  අප්‍රේල් පහ සමරු දිනය නිවැරදි ලෙස  සමරන්න පුළුවන් ජවිපෙට සහ පෙසපෙට හිතට  ගත්තොත්. පොල්පොට්වාදී වෙන්න ගියොත් අනා ගනී.  

එනිසා හුඟක් වෙලාවට අර ප්‍රථම තාවකාලික ආණ්ඩුව  කියන අදහස  වඩා ආකර්ෂණිය  එකක් වේවි  මේ හැමෝටම. 
වී අයි පී මෝටර් කේඩ් වලට එරෙහිව 


දුෂණයට එරෙහිව 

මිත්‍යාවට එරෙහිව 

රැවටීමට එරෙහිව 

ලයිට්  කැපීමට එරෙහිව 

කෙළවරක් නැතිව ඇන්නවීමට එරෙහිව 



අවසන් කරන්නම් මංජුල වෙඩිවර්ධන ගේ මේ පෝස්ටරයෙන්.

Sunday 3 April 2022

ආන්ඩුව, හදිසි නීතිය, හමුදාව, ව්‍යවස්ථාව, නීතිය, ජනතාව සහ පාරාවලල්ල


පහත ලිපිය ලියා ඇත්තේ මගේ යහළුවෙකු වන මහේෂ  ත්‍රිමාන්න ය.  මෙහි සියලුම අදහස ඔහුගේය. 

ආන්ඩුව, හදිසි නීතිය, හමුදාව, ව්‍යවස්ථාව, නීතිය, ජනතාව සහ පාරාවලල්ල.

ආන්ඩුව හදිසි නීතිය පනවා ඇත. හොඳයි, හැබැයි ආන්ඩුව සිය අංක ගණිතය ගෙදර වැඩ කර ඇත්ද?

මේ සමග අමුණා ඇති ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය හෙමින් කියවන්න. තේරුම් ගන්න. 3 වගන්තිය  අනුව පරමාධිපත්‍ය ජනතාව සතුයි 4 වගන්තිය එය විවිධ අයට දී ඇති ආකාරය පැහැදිලි කරයි.


ගෝඨා ප්‍රමුඛ ආන්ඩුව ඊයේ සාකච්ඡා කර හදිසි නීතිය පනවයි. 4 වගන්තියෙන් ජනතාවට තිබුණු එකම රැකවරණය නීතියේ රැකවරණය අහිමි කර ඇත. 

ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුව තේරුම් ගත යුත්තේ මේ 88/89 වත් 2005- 2015 වත් නොව 2022 බවයි.

ලංකාවේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයකට හෙවත් මිලියන 22 ආසන්නයි.
පහත අමුනා ඇති අන්තර්ජාලයෙන් ලබාගන්නා ලද දත්ත අනුව 2010 ලංකාවේ අවුරුදු 16- 49 කාන්ඩය තුල ලක්ෂ 86 සිටී (කාන්තා පිරිමි). එයට දැන් 2022 දී තවත් ලක්ෂ 30  එකතු උනත් ලක්ෂ 116 සිටී.

පහත අමුනා ඇති  GOOGLE  දත්ත අනුවම ලංකාවේ 
ත්‍රිවිධ හමුදාවේ          346,000
ස්වේච්ඡා හමුදාවේ      90,000
පොලීසිය                        84,000
එකතුව                        520,000  සිටී.



මේ සියලුම දෙනා රාජපක්ෂික නැත පවතින පීඩනය හමුවේ විරුද්ධ කොටසක් සිටී.

මෙයින් තවත් කොටසක් ප්‍රභූ ආරක්ෂාව සහ අනෙකුත් ආර්ථික මර්මස්ථාන සඳහා ද යොදා ඇත. 

69 ලක්ෂයේ බහුතරයක් අද ආන්ඩුවට නැත.

අවසානයේ මේ පීඩනය මීට පෙර මේ රටේ ඉතිහාසයේ ඇති වූ පීඩනයක් නොවේ. ජනතාව යුද්ධය, නියඟය, වගා හානි, හදිසි විදුලිය බිඳවැටීම ඉවසා ගත්තේය. අද පීඩනය බොහෝම සුළු පිරිසකට හැර බහුතරයකට දැනී ඇත. පාරේ සපත්තු මසන්නාගේ නාට්ටාමි ගේ සිට මහා ව්‍යාපාරිකයන් දක්වා පීඩනය පුපුරා ගොස් ඇත.

පක්ෂ පාට ජාති ආගම් බේදය කින් තොරව මිනිස්සු පාරේය. ආන්ඩුව හොයන්නේ මර්දනය නම් මේ අංක ගණිතය හදන්න.

ගෝඨා සහ ආන්ඩුව තාම යුද්ධ ආතල් එකේ ඉන්නවා නම් එදා සමස්ථ රටම බොහෝ යාපනයේ ජනතාවද ආන්ඩුවට පක්ෂපාතී විය. අද ඒ මොකුත්ම නැත රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ චෞර වලල්ල පමණක් ඇත. ඒකේ ද සමහර උන් දැන් එලියට පනිමින් ඇත. 

අවසාන වශයෙන් සියලුම හමුදාව එකතු කලත් පාරට බස්සන්න ඉන්නේ ලක්ෂ 4 පමණි, ජනතාව ලක්ෂ 120 සිටී. වෙඩිතියා හෝ හදිසි නීතිය යටතේ හිරේ විලංගුවේ දාන්නද හිතන්නේ. එක හමුදා නිලධාරියෙක් 30 මරන්න ? ලක්ෂ ගනනක් හිරේ දාන්න ........ 
මිනිස්සු හදිසි නීතිය ගනන් ගන්නේ නැතුව තවත් ප්‍රකෝප කිරීමේ අභිලාෂය කුමක්ද?

මේ  හදිසි නීතිය ආන්ඩුවට පාරාවලල්ලක් වෙන දවස වැඩි ඈතක නොවේ. අනිත් ගැසට් මෙන්ම මේක රිවස් කරන්න, ඒක කොහොමත් පුරුදුයි නේ.......

ලොකු වැරදීමක්, ජනතා බලයේ ලොකු අවතක්සේරුවක් ආන්ඩුව කරන්නේ. ජාත්‍යන්තර මාද්‍ය තුළ ආන්ඩුව ගැන යන දේවල් කිංස්ලි සුදේව කියන්නේ නැද්ද මං හිතන්නේ උන්ට තේරුම් ගන්න බෑ ඒවා.

රට ලේ විලක් වී විනාශ වීමට ආසන්න බවත් රාජපක්ෂලාට මේක කොරන්න බැරි බව දැන් වත් තේරුම් ගන්නේ නම් වටී.

-නීතිඥ මහේෂ ත්‍රීමාන්න