Wednesday, 12 May 2021

"සමබිම" දීප්ති ගේ දියවෙන සටනක්ද


මම කාලයකට කලින් මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග නමින් ලිපියක් ලීවෙමි.ඒ "මගේ ලෝකයෙන් පසු ලෝකය" කෘතිය  පිලිබඳව පැවති  සංවාදයක් ගැන ලිපියකි. මේ ලිපියට පිළිතුරක් ලියන හපුගොඩ සහෝදරයා සැලකුවේ එය ඔහුට කරනා විවේචනයක් ලෙසය. මේ නිසා ඔහු අපූරු පිළිතුරක් දී තිබුණි.  ඒ පිළිතුරේ වැදගත්ම වාක්‍යය වූයේ මෙයයි. 


"මා පිටරට සිට මෙරට ට චන්ඩි පාට් දමන වමේ දේශපාලනයක ද නිරත නොවෙමි. මා ඉන්නේ මේ ගෙන්දගම් පොළොවේ ය. " (ම.හ.)

ඉන්පසු  ඔහු මෙසේද ලියා තිබුණි.
මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’ යන්නය. 

ඒ කියන්නේ ඔහු සිතා සිටියේ මම පිටරට සිට ලංකාවට තග දමන්නෙකු හැටියටය. ඔහුගේ ෆිලොසොෆිය සමහර බයියන්, සමහර ටොයියන්, සමහර ජෙප්පන්/පෙසපන්  ගෙන් වෙනස් වන්නේ නැතිබවට මම පිළිතුරු දුනිමි.

එහිද සඳහන්  කළ පරිදි මම කෝබින් ගේ කම්කරු පක්ෂයේ සාමාජිකයෙක්ව සිටියෙමි.  එයින් ඉවත්වුනේ ඇයිද යන්න තවම ලීවේ නැත.


මගේ පිළිතුරෙන් කොටසක් මෙසේ විය. /මම නම් කියන්නේ දීප්ති වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ජිවිතේට අහන්නේ නැහැ කියල. මහේෂ් මේක ටිකක් බොළඳයි කියල හිතෙන්නේ නැත්ද? විවේචනයට උත්තර දෙනවා මිසක් උඹල මොනවාද කරන්නේ යකෝ අපිනේ භුමියේ දේශපාලනය කරන්නේ කියන තර්කය ඉස්සර මට දැම්මේ  සහ පෙසප සහෝදරවරු. දැන් ඔයත් පටන් ගත්තද? වැඩේ කියන්නේ මේකයි. අපි කරන හුඟක් දේවල් එළියේ ඉන්න අය දන්නේ නැහැ . දැනගන්න දෙන්නෙත් නැහැ. ඉතුරු ටිකට පිළිතුරක් බ්ලොග් එකෙන් දෙන්නම්. මගේ ලිපියේ උඩම කියල තියනවා මම දීප්ති සහ හපුගොඩ ගේ අදහස් වලට එකඟයි කියල . ඒක ඔයාට මිස් වුනේ කොහොමද දන්නේ නැහැ. මගේ ලිපියේ අදහස මොකක්ද කියලවිස්තර කරලා ලිපියක් බ්ලොග් එකේ දානවා.//

එම ලිපියේම මහේෂ් හපුගොඩ දුන් පිලිතුරද  තිබේ. ඔහු ගමෙන් පැමිණි බව ඔහුම පිලි ගැනීම හැර අනිකුත්  ඔහුගේ පැහැදිලි කිරීම් මම පිලි ගත්තා යයි නොසිතමි.
.
ලිපි පෙලේ  සඳහන් වූ මගේ ලෝකය පොත මා  දැන් කියවා  තිබේ.   එයට පිළිතුරක් ලෙස මහේෂ් හපුගොඩ හා ජයසිරි අලවත්ත එක්ව ලියු "මගේ ලෝකයෙන් පසු ලෝකය" පොතද කියෙව්වෙමි. එම පොත සැබවින්ම "මගේ ලෝකය " පොතට පිළිතුරක්ද නැත්නම් තමන්ගේ ම දැනුම විවරණය කිරීමක් ද  යන්න තවමත් සිතමි.



ඊට කලින් ජිජැක් ගැන ඔවුන් දෙදෙනා ලියු පොතේ අග දීප්ති ගුණරත්න මෙසේ ලියා තිබුණි.

//"මේ තරම් පොත් කියවපු සංවිධානයකින් මෙච්චර  මැට්ටෝ බිහි වුනේ කොහොමද? දෙවියන් අපිට ලබා දුන් තෑග්ග වන මහේෂ් හපුගොඩ හරහා  එම ප්‍රශ්නයට පිළිතුරු ලැබී ඇත. ජීසස් ගේ කියමන  වූයේ "දෙවියනේ ඔබ කොහිද?" මැට්ටන්ගෙන් මගේ ව්‍යාපෘතිය වෙන් කිරීමට මේ ලෝකයට එවූ තෑග්ගට දෙවියන්ට ස්තුති වේවා. ප්‍රාතිහාර්ය බලාපොරොත්තු නොවන්නා යථාර්ථවාදියෙක් නොවේ. මාක්ස්වාදය අද දවසේ ඉල්ලන්නේ භෞතිකවාදයද නොවේ. එය ඉල්ලන්නේ "රැඩිකල් විඥානවාදය' ය."- (පුනර්ජීවනය  -ජිජැක් අධ්‍යයනය)//

 ඇත්තටම ගතහොත් භෞතික  විද්‍යාව,  අභ්‍යවකාශ භෞතික විද්‍යාව වැනි විෂයයන් අද ඇත්තේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා ඔහුගේ පොත ලියන කාලයටත් වඩා පුළුල් පරාසයකය.

මේ ගැන මම තව ලිපියක් "හපුගොඩ ගේ කතාවක් " මැයෙන් ලීවෙමි. 

 
ඔය හපුගොඩ /අලවත්ත සහෝදරයින්ගේ පොත් දෙක පිටුපසම දීප්ති ගුණරත්න ගේ අවතාරය හොල්මන් කරන බව මම කියමි. 

හැබැයි පසුව මට පෙනී ගියේ මහේෂ් හපුගොඩ නමැති දර්ශනවාදියා දීප්තිගේ ත්‍රිමානය  තුල තව දුරටත් හොල්මන් නොකරන බවය. ඊට හේතුව වුයේ හපුගොඩ ගේ ලිපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හා ජවිපෙ සහෝදරවරු ෆේස්බුක් එකේ හෝගා බෙදා හදා ගන්නා  බැවිනි. මේ සංසිද්ධිය මම ඊට කලින්ද දැක තිබේ. එක්ස් කණ්ඩායමෙන්  හෝ පරණ පෙරටුගාමී (දැන් සමබිම) පක්ෂයෙන් යමෙකු වෙන්වූ වහාම අනිකුත්  වාමාංශික පක්ෂ දෙකට ඔවුන් ඉබේම  මාහැඟි වස්තූන් වේ. නමුත් කුමන  හෝ හේතුවකට ඒ බව ඔවුහු ප්‍රසිද්ධියේ පිලිගැනීමට මැලි වෙති.
 
එසේම මම හපුගොඩ සහෝදරයාගේ  ලිපි "ලංකා නිව්ස් වෙබ් " අඩවියේ මෙන්ම ලංකා ලීඩ් නිව්ස්, ලීඩර් වැනි ප්‍රකාශන  වලද දුටුවෙමි. ඔහුට වැඩි ඉඩකඩක් ලැබෙනවා කියන්නේ ඔහු දීප්ති සමග නැති බව බොහෝ දුරට අනුමාන කලෙමි.  මම මහේෂ් හපුගොඩ ට සුභ පතමි. ගමෙන් නගරයට එන අය එකතැන පල්විය  යුතු නැත. 


දීප්ති කියන දේ අසන පිළිපදින දීප්ති සමග සිටි අයට බුකියේ චෝදනා මිස වෙනත් දේවල් ලැබෙන්නේ නැත. ඒ කණ්ඩායම්ද අනිකුත් පැරණ එක්ස් කාරයන් සමග සැම විටම අවුලේය. එසේම  බොහෝ "විද්වතුන්" ලෙස තමන්වම තමන් හඳුන්වා ගන්නා  අය දීප්තිට බුකියේ සිනාසෙති.   බුකිය විකාරයක් බවට දීප්ති කියන්නේද එනිසා විය යුතුය.

දිප්තිද සියට සියක් බෝසතකු  නොවේ. ඔහු තමන් හැරගිය අයට ද ඒ අයගේ යහළුවන් යයි සිතන අයටද නිර්දය ලෙස පහර දෙයි. එනිසා ඔහුට තරහකාරයන් වැහි වැහැලාය. මට හිතෙන්නේ දීප්තිට මේ නිසා ජිවිතේට ලෙනින් කෙනෙකු වෙන්නට බැරිය.  මේ ගැන මගෙන් ඇසූ  ජවිපෙ සහෝදරයෙකුට මා දුන් පිළිතුර වූයේ, පක්ෂය හැරගිය නන්දන මාරසිංහ වැනි අයට විජේවීර පිළිතුරු දුන්නේ කළුකුඩුබස්නයෙන් බවයි.    ඒ නිසා සාපේක්ෂව දීප්ති විජේවීරට වඩා සාධාරණ බවය. ඔහු අවඥාසහගත ලෙස කිව්වේ දීප්තිට එවැනි හයියක්  නැති බවයි. 

මෙවර ලංකාවට ගිය වෙලේ යහළුවෙකු ගෙන් හපුගොඩ /දීප්ති සුසංයෝගයේ ඉරණම  පිළිබඳව විමසුවෙමි. ඔහු කීවේ දීප්ති තමන්ට වඩා කෙනෙකු පක්ෂයේ ඉහලට ගියහොත් ඔවුන්ව ඉවත් කරන බවය. එනම්ම දීප්ති තමන්ව බුද්ධිමය වශයෙන් පසු කරයන්නට පක්ෂයෙන් කෙනෙකුට  ඉඩ දෙන්නේ නැති බවත් ප්‍රභා මනුරත්න, බුද්ධික, කල්යානන්ද , නිර්මාල් දේවසිරි මෙන්ම හපුගොඩ ද ඉවත්ව ගියේ ඒ නිසා බවය. 

මට  ඒ අදහස පිළි ගැනීමට නොහැකි බව කීවෙමි. මගේ අදහස වූයේ,  දැන්  ජිජක් විශාරදයෙකු වී සිටින ජයසිරි අලවත්ත සහෝදරයා  හා ඉන් එහා ගොස් ජනප්‍රිය දර්ශනවාදී අදහස් බෙදා හදා ගන්නා හපුගොඩ සහෝදරයාගේ ග්‍රන්ථ ද්විත්වය පසුපස දීප්තිගේ බුද්ධිමය මැදිහත්වීමක් තිබුණු බව ඉතාමත් පැහැදිලිය.  එනිසාම දීප්තිට එවැනි අවශ්‍යතාවයක් තිබෙන්නට ඉඩක් නැත.එක්ස් කණ්ඩායමෙන් ගිය අයද දීප්ති ගෙන් තව දුරටත් ඔවුනට ගන්නට දෙයක් නොමැති නිසා නික්ම ගියා විය යුතුය. ඒ ගැන බොහෝ සෙයින් ත්‍රිමාණ වෙබ්  අඩවිය හා බුකිය තුල විවේචන-ප්‍රති විවේචනය යන නිසා ඒ ගැන කතා නොකර සිටිමු.  නමුත් සමන් පුෂ්ප කුමාර ඔහුගේ  පශ්චාත් උපාධියෙන් පසු නැවත  දීප්තිගේ පක්ෂයට නො ආවේ ද ඒ නිසාය යන තර්කය බැහැර කිරීම මදක් අපහසුය.  

මුලින් දීප්ති කුමාර ගුණරත්නට හා ඔහුගේ පක්ෂයට කැමතිව සිටි තවත් මා බ්ලොග් ලෝකයේ දැන සිටි සගයෙකු  දැන් සිටින්නේ විදර්ශන කන්නගර කණ්ඩායම සමගය.  ඔහුගේ  මුලික තර්කය දීප්ති චතුරිකා පසුපස යාම නිසා ක්‍රෙඩිබිලිටිය විනාශ කරගෙන ඇති බවය. නැතිනම් කාඩ් කුඩු කරගෙන ඇති බවය. චතුරිකා පසුපස යාමට වඩා දීප්ති  කලේ රැකියාවක් යන්න මගේ වැටහීමයි.  ඒ රැකියාවේ ප්‍රතිපල සමහර විට ඉදිරියේදී බලා ගන්නට හැකිවනු ඇත. මා හඳුනන බ්ලොග්  සගයා  දැන් අනුයන  විදර්ශනගේ සමහර ලිපි හා කියුම් දීප්ති ලියන ඒවා තරමට මට තේරෙන්නේ නැත. එනිසා මම ඒ සහෝදරයාව  බොහෝ සෙයින් මග හැර තිබේ.   

දීප්ති කුමාර ගුණරත්න ගෙන් මේවා ගැන විමසු විට කිවේ මහේෂ් හපුගොඩ පක්ෂයෙන් පිටත සිටියත්  තවමත් ඔවුන් සමග සිටින බවය.  සමහරවිට මේ  මේ  සියල්ල බැඳ තබන හුය රුවන් ෆෙර්ඩිනන්ඩ් විය හැකිය.  නිව්ස්වෙබ් අධිපතියන් සාමාන්‍යයෙන් ජිජැක් ට සිනාසෙති. එසේම නූතන මාක්ස්වාදය සමගද ඔවුන්ගේ සමබන්ධ්යක් නැත. මංගලගේ ලිබරල්වාදය සඳහා එහි ඉඩක් තිබේ. එනිසා හපුගොඩ ගේ නව මිතුරන් ඔහු පිළිගන්නේ දීප්ති ඉක්මවා ගියා යයි  සිතන නිසාද?

ලංකාවේ පරිවර්තන නොව ස්වතන්ත්‍ර පොත් පලකරන්නට ගොස් ප්‍රකාශකයන්ගේ, එම ක්ෂේත්‍රයේ කෙලි කාරයන් ගේ හා   අනිකුත් ලේඛකයන් ගේ නරුමවාදයට මුහුණ දුන් මට දීප්ති මුහුණ දෙන්නේ කුමන නරුමවාදයකටද  යන්න ගැන යම් තරමක අවබෝධයක් ඇත. වාමාංශික  පක්ෂ වල සමහරු ක්‍රියා කරන්නේද  අර නරුමවාදය තුලමය. 
 
බලාගෙන යනවිට සියල්ල නැවතත් අවුල් වී ගොස්ය. අවුල ලිහන්නට කෝවිඩ් 19 හොඳ අවස්ථාවක්  දී තිබේ. 


පරණ ලිපි පෙළ:

Saturday, 8 May 2021

කෝවිඩ් තර්ජනය මැද ලංකාවට ගිය ගමන

මම පසුගිය මාර්තු 14 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේ මගේ මවට හදිසියේ හෘදයාබාධයක් වැළඳීම නිසාය. ඇස්ට්‍රසෙනෙකා පළමු එන්නත පමණක් විද තිබු නිසා දින දහ  හතරක් නිරෝධායනය  වූයේ බේරුවල සිනමන් බේ නැමැති හෝටල් සංකීර්ණයෙහිය.  ශ්‍රී ලංකාවට ඒමට ප්‍රථම මම බ්‍රිතාන්‍ය ස්ටර්ලින්  149 (රුපියල් හතලිස් දහසක් පමණ) ගෙවා පිසීඅර් පරීක්ෂණයක් කර ගතිමි. පරීක්ෂණය  නෙගටිව් වුනු පසු පමණක් අපට ගුවන් යානයට ගොඩ විය හැකිය.  කටාර් ගුවන් සේවයේ ඩෝහා වලට පැමිණ එතනින් ශ්‍රී ලංකාවට පැමිණෙන යානයකට ගොඩ වුනෙමි. මේ යානා දෙකෙහිම සෙනග සිටියේ ඉතාමත් අඩුවෙනි. මගේ ඉදිරිපස සහ පිටුපස ආසන පේලි හිස්ව පැවතුනි.

  මේ පීසීආර්  සහතිකය  හීත්‍රෝ ගුවන් තොටේදී තදබල ලෙස හා  ලංකාවේදී ද පරික්ෂාවට ලක් කෙරුණි. ලංකාවේදී ෆෝම් එකක් ද පුරවන්නට  තිබේ. හැබැයි ලංකාවේ ආරක්ෂක නිලධරයා පරික්ෂා සහතිකය තේරුම්  ගත්තාද කියා නොදනිමි. ඔහු කිසිදු ප්‍රශ්නයක් පරීක්ෂණය ගැන ඇසුවේද  නැත. (වරදක් කියනවා නොවේ).

මා පැමිණියේ පෞද්ගලිකව නිසා ගුවන් තොටුපලින් එවෙලේම වාගේ පිට වුනෙමි. ඒ අතරේ හමුදා නිලධාරීන් මගීන් ලියා පදිංචි කරමින් බොහෝ අය එක තැනක පෝලිමට ගොනු කරනු දුටිමි. ඒ පෝලිමේ මීටරයේ දුරනම් තිබුනේ නැත.

සිනමන් බේ හෝටලයේදී පළමු දින, හත්වන දින සහ දහතුන් වන දිනයේදී රුපියල්  8775 ගණනේ    තවත් පීසීආර් ටෙස්ට්  තුනක් කල යුතුවිය.  එහිදී පීසීආර් පොසිටිව් වුනු දෙතුන් දෙනෙකු තම කාමරවලම  නිරෝධායනය කර තිබෙනු දුටුවෙමි. ට්‍රැවල්  බබ්ල් (සංචාරක බුබුල) නිසා කොවිඩ් බෝ වෙනු ඇතැයි  බොහෝ අය සංචාරකයන් ගෙන්වීම විවේචනය කළද ඒ සම්බන්ධයෙන් මගේ එදා පැවතුනු  අදහස නම් දැන් වෙනස් වී ඇත. 

  කසක්ස්ථානයෙන්, රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණි සංචාරකයන් සියලු දෙනා එම රටවල දී පීසීආර් පරික්ෂාවක් කර පැමිණෙන අතර ඔවුන් සංචාරක නිකේතන වල රැඳී සිටින දින 7 දී තවත් දෙකක්ද කරති. තම රටේ දී  පොසිටිව් නම් ලංකාවට එන්නට ලැබෙන්නේ නැත.  එසේම ඒ කිසිවෙකුටත් සංචාරක හෝටලයෙන් එළියට යන්නට අවස්ථාවක්  ලැබුනේද නැත. කලින් එක්තරා  පිරිසක් එසේ සංචාරය සඳහා ලංකාවේ යම් ස්ථාන වලට රැගෙන ගිය බව දැනගත්තද අප සිටි සංචාරක නිකේතනයේ එසේ කළේ නැත. කලින් සිද්ධියේදී කළ විවේචන දේශපාලනය මත පදනම්ව සිදුවූවක් යයි සිතමි. පීසීආර් පරීක්ෂණය නෙගටිව් නම් එසේ කිරීමේ වරදක් තිබේද?






දෙවන කාරණය  නම්  මෙම සංචාරක නිකේතනයේ  වැඩ කරන සුළු සේවකයන් මට පැවසූ දේවල්ය. ඔවුන්ගේ මූලික  වැටුප මසකට රුපියල් දොළොස්දහසක් පමණ වේ. (මා  කියන්නේ සාමාන්‍ය  වේටර් වරුන්, කාමර පිරිසිදු කරන්නන් ආදීන් ගැනය)  ඊට අමතරව සංචාරකයන්  වියදම් කළහොත් බිලට එකතුවන සන්තෝෂම් (ටිප්) වලින්ද ඔවුන්ට මුදලක් ලැබේ. ඇත්තම කියන්නේ නම් එවැනි අඩු පඩි තවමත් ලංකාවේ තිබෙන බව මා දන සිටියේ නැත. ඇඟළුම් කම්හල් සේවිකාවන්ට ද   රුපියල් හතලිස්පන්දහකට  වඩා පඩි ලැබෙන බව මට දැන  ගන්නට ලැබී තිබුණි.  සංචාරකයන් විසින් ටිප් දෙන අවස්ථා ඇතත් බොහෝ සේවකයන්  පැවසුවේ එසේ ලැබෙන්නේ බටහිරින් පැමිණෙන සංචාරකයන්ගෙන් බවය. නැගෙනහිර යුරෝපයේ අය ටිප් දීම දුලබ බව ඔවුහු පැවසූහ. සේවකයන්ට  කෑම බිම එම නිකේතනයෙන්ම සැපයේ.මාස  හත අටක් රැකියා නොමැතිව  සිටි ඔවුහු තම ජිවිත  ගැට ගහ ගත්තේ  බොහෝ අමාරුවෙන් බව කියූහ. ඔවුන් ණය බරින් මිරිකී සිටිති. ඔවුන් දින 14 හෝ දින 28ක්  එම නිකේතනයේම නිරෝධායනය විය යුතුය. එනිසා ඔවුන්ගෙන් කෝවිඩ් රටට ව්‍යාප්ත වුනායයි ද  කිව නොහැකිය. 

මා දුටු තවත්දෙ යක්නම් වෙරළ ආශ්‍රිතව ජිවත්වන්නන් බොහොමයක්ද සංචාරක ව්‍යාපාරය නැතිකමින් පීඩා විඳින බවය. සංචාරකයන් රැගෙන මුහුදට යාම , බෙල්ලන් හා වෙනත් භාණ්ඩ අලෙවි කිරීමද ඔවුන්ට කළ නොහැකිය. අප සමග  සිටි සංචාරකයන් දෙදෙනෙකු රුපියල් හතලිස් දහසකට  රහසේ වැටෙන්  පන්නාගෙන ගැඹුරු මුහුදේ කොරල් පෙන්වන්නට ගොස් ඒ ගමේ දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්වී තිබුණි. ඉතිරි අය නොයෙකුත් පලතුරු, ෂැම්පු වර්ග, ආයුර්වේද බෙහෙත් ආදිය ගෙනැවිත් ඈතින් සිට විකිණීමට තැත් කරති, සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම නවත්වන්නට කලින් මේ මිනිසුන් ජිවත් වන්නේ කෙසේ දැයි ද සළකා බැලිය යුතුය. 

සංචාරක  බුබුල යටතේ හෝ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ නම් ඔවුන් කැමතිය. ආණ්ඩුවේ ලොක්කන් හෝ හිතවතුන්ට මුදල් ලැබේද නැත්ද යන්න මම නොදනිමි. නමුත් සංචාරක මණ්ඩලය ඒ සඳහා සුදුසුකම් සපුරාගත් සංචාරක හෝටල් වල නම් වෙබ් අඩවියට ඇතුලත් කර සංචාරකයන් ගෙන්වීමේ වැඩ පිලිවෙලට විරුද්ධ වීමට මට නම් නොහැකිය. එයින් යැපෙන්නන් බොහොමයක් සිටින බැවිනි.

මට සිනමන් බේ නිකේතනයේ දී ලෙබනන් ජාතිකයෙකු, ඉරාන ජාතිකයෙකු සහ ඉන්දියානුවකු මුණ  ගැසුන අතර ඔවුන් තිදෙනාම තම රටින් කරගත්  පීසීආර් පරීක්ෂණ හැඳුනුම්කම් මාර්ගයෙන් කරගත් බව  පිළිගත්හ. හොඳ  වෙලාවට සිනමන් බේ හිදී කරන ලද ඒවා නෙගටිව් විය. ඔවුන් පැමිණ තිබුනේ, සවුදි අරාබිය, බ්‍රිතාන්‍යය වැනි රටවල් ඉන්දියාව, ඉරානය, ලෙබනනය ආදී රටවල් වල සිට තමන්ගේ රටවලට  පැමිණීම තහනම් කර ඇති නිසා ලංකාවේ නිරෝධායනය වී එමගින් ඉහතකී රටවලට  පැන ගැනීමටය. බොහෝවිට මේ නිසාම බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ සිට පැමිණීම් ද තහනම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. 

එසේම මෙවැනි අයගෙන් කටුනායක ගුවන් තොටුපලේදීම කොවිඩ් පැතිරීම සිදුවිය හැකිය. කෝවිඩ් 19 වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය මා ලංකාවට  එනවිටත් රටවල් 60 කට පැමිණ පැතිරී තිබුණි. ඒ අතර බොහෝ මැද පෙරදිග රටවල්ද විය. (ලෙබනනය, ග්‍රීසිය හා සයිප්‍රසයද  ඇතුළුව) මේ රටවලින් ලංකාවට  එන බොහෝ දෙනෙක් පැමිණෙන්නේ පීසීආර් නොකර බව නොරහසකි. කිසියම් ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේදී පොසිටිව් ලෙස හඳුනාගන්නා ලද බවත් එසේම නොරහසකි. 


මගේ වැරැද්ද ඒ දෙවෙනි රැල්ල ලෙස හඳුනාගැනීමයි. මේ යන්නේ ඇත්තටම තෙවන කෝවිඩ් රැල්ලයි. ඉන්දියාව තවම උච්ච (පීක්) තත්වයට පැමිණ නොමැති නිසා ශ්‍රී ලංකාව ප්‍රවේශම් විය යුතු වන්නේ ඉදිරි මාස දෙක, තුන තුලදී බව දත්ත විශ්ලේෂණය කරන විට පෙනේ. කොපමණ  පුවත්පත් සහ සමාජ ජාලා මගින්  හඬ නැගුවත් මගේ අදහස නම් සාපේක්ෂව තවමත්  දරුණු තත්වයකට ශ්‍රී ලංකාව  පැමිණ නොමැති බවයි. දරුණු තත්වය එන්නේ තව ,මාසයකින් දෙකකින් ඉන්දියානු ප්‍රභේදය ද ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසුවය. රට සම්පුර්ණ ලොක් ඩවුන් කිරීමට යාමක්සි දුවිය හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය එන්න එන්නම දරුණු වෙමින් පවතින අතර එයින් මිදිය හැක්කේ වෙළඳාම, තේ නිෂ්පාදනය , ඉදි කිරීම්  හා සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යාමෙන්ය. එනිසා ලොක්ඩවුන් කිරීමේදී ඒ පිලිබඳ වද  සිතීම වැදගත්ය. මේ සඳහා කුමන සැලසුමක් පවතින රජය ක්‍රියාත්මක කරන්නට යන්නේද යන්න පැහැදිලි නැත.

කටාර් ගුවන් සේවය විසින් හොර පීසීආර් සහතික හරි හැටි හඳුනා නොගත් නිසා බ්‍රිතාන්‍ය රජය එම ගුවන් සේවයට රටට ඒම තහනම් කරන ලදී. එනිසා මම ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නව ප්‍රවේශ පත්‍රයක් මිලදී ගතිමි.  ශ්‍රී ලංකන් ගුවන් යානයේ තත්වය නම් අබලන්ය. (පින්තුරය බලන්න) හිඳගත් ආසන දෙක තුනෙහිම ඉන්ෆ්ලයිට් එන්ටටේන්මන්ට් හි පෙන්වන චිත්‍රපට භාගයකින් නතර වෙයි. සමහර ආසනවල හෙඩ්ෆෝන් එක ගහන්නට බැරි ලෙස කැඩී ඇත. යුඑස්බී වැඩ කරන්නේ නැත. ලොකුම ෂොක් එක එය නොවේ. සාමාන්‍යයෙන් ඉතා  උසස් තත්වයෙන් දෙන ශ්‍රී ලන්කන් සේවයේ එකොනොමි පන්තියේ කෑම වේල දුටුවිට දුක හිතුනි.  මට එකොනොමි  ආසනය බිස්නස් පන්තියට ප්‍රතිශතයක් ගෙවා  අප්ග්‍රේඩ් කිරීමට ඇරයුමක් ලැබුනත් එසේ නොකළේ යානය බොහෝ විට හිස්ව යන බව දන්නා හෙයිනි. එම ඔෆර් එක කාටත් ලැබෙන එකකි. බිස්නස් පන්තිය කටාර් යානයේ මෙන්ම පිරී  පැවතුනි. කොවිඩ් වලින් බේරෙන්නට සිතා  බිස්නස් පන්තියේ යන අය ගැන දුක හිතුනේ එකොනොමි  පංතියේ මා ඉදිරිපස හා පසුපස පේලි දෙක තුනක්ම  හිස්ව යන බව දැකීමෙනි.


මේ යානයේ තේ දුන්නේ නැත. වතර බෝතලයක් හැර වෙන බීමක් (සාමාන්‍යයෙන් වයින්, විස්කි. කොකා කොලා , ලෙමනේඩ් හෝ දොඩම් යුෂ ලැබේ) දුන්නේ ද  නැත. නිදිමත නිසා තේ නොඉල්ලුවෙමි. මදක් සීතල දැනුන නිසා පොරවනයක්  ඉල්ලු මුත් ඒවා  කොවිඩ් නිසා දෙන්නේ නැතැයි කියූහ. වාසනාවකට  මෙන් යානය උණුසුම් වූයේ මධ්‍යම ආසියාවට  ඉහලින් යන බැවිනි. කටාර් යානයේ දී මේ සියල්ල ලැබුන බව මම ගුවන් සේවක මහතාට කීවෙමි. "ඔවුන්ට" මුදල් ඇති බව ඔහුගේ පිලිතුර විය. මුදල් ඇති කතාව ගැන හිතමින් සිටියේදී මට නින්ද ගියේය. ලන්ඩනය  ලඟා වීමට ප්‍රථම උදේ ආහාරය ලැබුණි. ඔම්ලටයේ කියන්නට  වරදක් නැති  මුත් ඊට වඩා හොඳ උදය ආහාර එමිරේට් හෝ කටාර් යානයේ ලැබේ. 


උදය ආහාරයෙන් පසුවද තේ නැත. ගුවන්ගමනට ගෙවූ  මුදල පෙර  වාර වලට වඩා වැඩි වීම  වීම නිසා මේ සැලකිල්ල නම් මගේ  සිත් නොගත්තේය. මම ගුවන් සේවක මහතා කැඳවා තේ ඉල්ලුවෙමි. ඔහු පැවසුවේ තේ දෙන්නේ බිස්නස් පන්තියට බවය. මගේ මුහුණේ කෝප සහගත ස්වරූපය ඔහුට වැටහෙන්නට ඇත. 

"මම අරන් එන්නම් මහත්මයා " කිවූ ඔහු තේ රැගෙන පැමිණියේය. ඉන්පසු බ්‍රෙඩ් රෝල කන්නට බටර් පමණක් තිබූ බැවින්  ජෑම් ඉල්ලුවෙමි.  ජෑම් දෙන්නේද බිස්නස් පන්තියට පමණක් බව ඔහු කීවේය. එවර නම් මට තරහ වෙනුවට හිනා ගියේය. 

"බිස්නස්  පන්තියට තේයි ජෑම් නුයි දෙන එක හොඳයි. අපරාදේ නේ නැත්නම් වැඩිපුර ගෙවපු  සල්ලි. අනික පිරිලත් වගේ නේද. හොඳ වෙලාවට මම ඔෆර් එක ගත්තේ නැත්තේ". 

 සිනාසුනු සේවක මහතා මදෙසට මදක් නැමී කිවේ "සල්ලි නැහැ සර්. කොස්ට් කටින් නේ. " එවිට මම ආසනයේ ඉරුණු තැන් (ඉහල පින්තූරය ) පෙන්වා   මට තේරුණ බවත් සීට් දෙක තුනේම In-flight entertainment (IFE) වැඩ නොකරන බවද කීවෙමි. ඒ වනවිට   මම හතරවෙන ආසනයට මාරු වී සිටියෙමි. සේවක මහතා කටාර් වලට සල්ලි ඇති බව කියුවේ මන්දැයි මට වැටහුනේ එවිටය. 
 ශ්‍රී ලංකන් යානයේ කැබිනය තුල සේවාව කවදත් ඉහළ මට්ටමේ විය. තනිවම ගමන් ගත්  මහළු ද්‍රවිඩ කාන්තාවකට භාෂා අපහසුතා මැද ඔවුන්ම හත් ආදරයෙන් උපස්ථාන කරනු දුටුවෙමි.

හැබැයි ශ්‍රී ලංකන් ගුවන්සේවාව නම් ඇත්තේ  කඩා වැටෙන තැනකය. එනිසා සංචාරක බුබුළු ලෙස හෝ සංචාරකයන් ගෙන්වීමට විරුද්ධ වීමට පෙර ඒ ගැනත් සිතා බැලිය යුතු වේ. හොඳට හෝ නරකට ශ්‍රී ලංකාවට ඇත්තේ මේ ගුවන් සේවාව පමණකි. මිහින් ලංකා ගොඩබිම් ගතව බොහෝ කල් යයි සිතමි.

හීත්‍රෝ ගුවන් තොටේ ලොකු  පෝලිමක් තිබුනේ නැත. නමුත් මට තවත් පීසීආර් දෙකකට පවුම් 169 ක් ගෙවා මුදල් බැඳිය යුතු විය. දවස් දහයක් නිරෝධායනය  වෙමින් සිටියදී ඒවාද නෙගටිව් ලෙසට දන්වා තිබුණි. 
 
  මේ මා ශ්‍රී ලංකාවට මා  ගිය අපූරුම ගමනක් විය. ගිය වියදම එතරම් ප්‍රශ්නයක් නොවුනේ මව තරමක් සුව වූ හෙයිනි. සති හයෙන් සති හතරක්ම ලංකාවේ සිටියදී රැකියාව කිරීමටද සිදු වුනි. මට නිවාඩු තිබුනේ සති දෙකක් පමණි. ලංකාවේ අත්දැකීම් කිහිපයක්ද ලිවීමට ඉඩ තබාගෙන නවතිමි.  

Thursday, 29 April 2021

ගුවන් විදුලියේ මහා ගෙදරට පා තැබුවෙමි

මට ගුවන් විදුලි සංස්ථාවේ සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා ලැබුනේ චිත්‍රපට වලට හා නාට්‍ය වලට හඬ කවන ශිල්පිනියක් වන ඉනෝකා බොතේජු මහත්මියගෙනි. ඒ ඉනෝකා බොතේජු ගේ "සඳ සංහිතාව" වැඩ සටහනට සහභාගී වන්නටය. 

 ඇගේ සැමියා ශාන්ත බණ්ඩාර ද රැකියාව කලේද ගුවන් විදුලි සංස්ථාවේමය.ඔහු බොහෝ ජාතක කතා නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම මෙන්ම නාට්‍ය  පිටපත් රචනයේද යෙදී සිටි.ඉනෝකා ගේ ආරාධනය මා භාර ගත්තේ ගුවන් විදුලි සංස්ථාව යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය සන්නිවේදන ඉතිහාසයේ සුවිසේෂි ස්ථානයක් සළකුණු කෙරෙනා ස්ථානයක් මෙන්ම ගුවන් විදුලි සේවයන්හි මහා ගෙදරද වීම නිසාය. 

 එනිසාම  ඉනෝකා බොතේජු මහත්මිය ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි කරා සංචාරයක් කිරීමටද ආරාධනා කල විට එය සතුටින් භාර ගතිමි. අප මුලින්ම නැරඹුවේ ඩී එම්කො ළඹගේ මැදිරියයි. ගුවන් විදුලියේ නාට්‍ය පිටපත් පුහුණු වෙන කවාකාර මේසයක් සහිත තැනකට ගිය විට පසුගිය දවසක රුපවාහිනිය නැති කලෙක රේඩියෝව ළඟට  එකතුව ඇසූ  ඇසූ මොනරතැන්න, මුවන් පැලැස්ස මෙන්ම ළමා නාට්‍යද සිහිපත් විනි. සමන් අතාවුද හෙට්ටි හඬ කැවූ ජිල්ජෝනා හා වැන්දබෝනා ගේ "ලන්දේසි දූපත" කතාව  මතකද? 

 පාවහන්  එළියේ ගලවා තබා  මැදිරියකට ඇතුළුවී  දහවල් ප්‍රවෘත්ති විකාශනයකට  සවන් දුනිමි. විකාශනයට කලින් දැන් යන වාදනය "ඇන් ඇම් ට පුලුවන්ද හත් හවුල පෙරලන්න" හෝ එදා ජාතිවාදී ප්‍රකාශනයක් වූ "සිරිමක්ක දැන් ඉන්නේ දෙමලුන්ගේ පිටි පස්සේ " යන්න නම් නොවේ. ගුවන් විදුලියේ එදා අතීතයේ සිට විකාශනයන් සඳහා  භාවිතා කරන ලද උපකරණ නරඹමින් යන අතරේ එහි ප්‍රධාන කොරිඩෝරයක සිට ඡායාරුපයක් ගත්තෙමි. සුනිල්  ශාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව, ජෝතිපාල, එම් එස් ප්‍රනාන්දු, මිල්ටන් ලා දෙදෙනා, සිසිර-ඉන්ද්‍රානි, සනත්-මල්කාන්ති නන්දසිරි, නන්දා මාලිනි,  ශ්‍රීමති තිලකරත්න, මාලනී  බුලත්සිංහල ආදී සියල්ලෝම නිතර මෙහි ඇවිදින්නට ඇත.
සුභාෂිනී ද සිල්වා සහ ඉනෝකා බොතේජු සමග

ඉතා පැරණි ගීත


පැරණි පටිගත කරන ලද නිදහස් උත්සවයක්
සනත් මෙන්ඩිස් සමග


මා විශ්මයට පත් කළ, කලින්  අසා තිබුනද එහෙත් එහි  අගය හරිහැටි  නොවැටහුණු ස්ථානයකට අප එළඹුණේ ඉන් පසුවය. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගීත (තැටි) සංරක්ෂනාගාරයයි. මෙය දකුණු ආසියාවේ දැනට පවතින විශාලතම එවැනි පුස්තකාලය යයි අසා ඇත්තෙමි. 

"අරුම පුදුම රෝද හතර" වැඩ සටහනේ නුවන් ජූඩ් ලියනගේ මේ සංරක්ෂනාගාරයේ මිනිස් පරිගණකය වන සනත් මෙන්ඩිස් මහතා සමග ඒ ගැන විමසන අයුරු පහල ඇති යොමුවෙන් නැරඹිය හැකිය. 

සනත් මෙන්ඩිස් ට ඕනෑම ගීත තැටියක් තිබෙන ස්ථානය මතකය. ඔහු මටද මා ඇසූ සැනින් ගීත තැටියක් තෝරා දුන්නේය. ගීත වාදනය කරන විශාල ටේප් එක සහිත යන්ත්‍රය වාදනය කර පෙන්වූයේ තිලකරත්න අධිකාරී මහතා ය. සංරක්ෂණාගාරය සනත් මෙන්ඩිස් ඇතුළු තවත් හතර දෙනෙකුන්  සමග ඉතා හොඳින් රැක බලා ගනිමින් පවතාගෙන යන්නේ සුභාෂිණී ද සිල්වා මහත්මියයි. ඇය බොහෝ කාලයක් එහි රැකියාව කරන්නීය.

සුභාෂිනී ද සිල්වා  පැවසූ පරිදි මෙහි ගීත තැටි දෙලක්ෂ පනස්දහසකට වැඩි ගණනක් සුරක්ෂිතව  ඇත. ඒ අනුව තනි ගීත (එක තැටියක ගීත කිහිපයක් අඩංගු වන විට) මිලියන දෙකකට වඩා තිබිය යුතුය. මෙහි ඇත්තේ ගීත තැටි පමණක්ම නොවේ. එක්දහස් නමසිය හතලිස් ගණන් වල සිට පැවැත්වූ ගුවන් විදුලිය මගින් පටිගත කළ සෑම නිදහස් උත්සවයක්ම, පාර්ලිමේන්තුව විවෘත කිරීමක් හෝ වෙනත් රටවල් රාජ්‍ය නායකයන් ගේ පැමිණීමක් පිලිබඳ විස්තර ද මෙහි ගබඩා කර ඇත. කෙනකුට කිසියම් වසරක නිදහස් උත්සවයකදී  රටේ අග්‍රාමාත්‍යවරයා කළ කතාවක් මෙහි ඇති පරිගණක මගින්  සොයා ගත හැකිය. සන්නිවේදන අංශයේ රැකියා කරන්නන්ට මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට , සන්නිවේදන මාධ්‍යයන් ගැන පර්යේෂණ කරන්නන්ටද මේ දත්ත ගබඩාවෙන් ඇති ප්‍රයෝජනය ඉමහත්ය. සුභාෂිනි ද සිල්වා මහත්මිය ඇතුළු සංරක්ෂනාගාරයේ සේවයේ නියුතු සියලුම මහත්ම මහත්මීන් ඒ ගැන ඉතා කැපවීමකින් කටයුතු කරමින් මේ සියලු හඬපට පරිගණකගත කර රැක ගැනීමේ කාර්යයේ  යෙදී සිටිති.  මේ ස්ථානය රක ගැනීම ජාතික වගකීමක් ලෙස සිතමි.

 මේ සංරක්ෂනාගරයට ඇතුලත් විය යුත්තේ පාවහන් ගලවා තබාය. වැලි දූවිලි ආදිය ඇතුලත් වීම වැළැක්වීමටය. එසේම බොහෝ පටිගත කිරීමේ මැදිරි වලටද ඇතුළු විය යුතු වන්නේ පාවහන් ගලවා තබා ආගමික ස්ථානයකට ඇතුළු වන්නාක් මෙනි. අප ඉන්පසු ගුවන් විදුලියේ සුභාවිත වැඩ සරල ගී වැඩ සටහනක් පටිගත කරනු නැරඹුවෙමු. 
 එම් එස් ප්‍රනාන්දු මහතාගේ ගීයක් වන "ඔබට තිබෙන ආදරේ මම "සරල ගී ශිල්පී පසන් කරුණාරත්න විසින් ගයනු මම යූටියුබයට ඇතුලත් කලෙමි. (යොමුව)  ඔහුගේ කටහඬ එම් එස් ප්‍රනාන්දු මහතාගේ මෙන්ම ගැඹුරු සවන පිනවන්නක් විය.

එසේම සරල ගී ශිල්පිණී සඳලි දිල්හාරා විසින් ඇන්ජලින් ගුණතිලකගේ "පෙම්වතියන්නේ" ගීතය ගයනු මේ යොමුවෙන් නැරඹිය හැකිය. ඇගේ කටහඬ ද විස්මය දනවන සේ ඇන්ජලින් ගුණතිලකගායන ශිල්පිනියගේ මධුර කටහඬ ට බොහෝ සෙයින් සමානයයි මට හැඟිණි. 

ආනන්ද සමරකෝන් මැදිරියේ දී පටිගත කෙරුණු, සිංහල හා දෙමළ  අලුත් අවුරුද්ද සැමරීමට පැවැත්වුණු  සංගීතාන්ජලී වැඩ සටහන නැරඹීමේ අවස්ථාවක් ද  ලදිමි. එහිදී විශාරද ටි එම් ජයරත්න, වෝල්ටර් ප්‍රනාන්දු, අමිතා වැදිසිංහ, ඩිස්නි නාකන්දල  ගේ ගීත ද සහ ගයාන් මිහිඳුකුල ගේ සංගීතය හා එම කණ්ඩායමේ විසිතුරු නර්තනයන්ද රස වින්දෙමි.

මේ දවස උදා  කර දීම ගැන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉනෝකා  බොතේජු සොයුරියට සහ ලංකාදීප මාධ්‍යවේදිනී පද්මි මාතරගේ සොයුරියට  ස්තුතිවන්ත වෙමි.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයට  - FM 91.7/91.9 ඔස්සේ සවන් දිය හැකිය. 


Friday, 5 March 2021

ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය

කාන්තා විප්ලවය
1917 පෙබරවාරි මාසයේ රුසියානු කාන්තාවෝ Photograph: Fototeca Storica

ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය යන මාතෘකාව අනුව මේ ලියන්නේ නිදහස් වෙළඳ කලාපය සම්බන්ධව යයි ඔබට සිතෙන්නට ඇත. මාර්තු අට වනදාට එළඹෙන කාන්තා දිනය සැමරීමට මීට වඩා  වෙන මාතෘකාවක් සොයා ගැනීමට මට අපහසුය. නමුත් මා පවසන්නට යන්නේ ඊට වඩා වෙනස්, ඉතිහාසයෙන් එම භූමිකාව අමතක කෙරුණු  විප්ලවයක් ගැනය. ඒ විප්ලවය ඇරඹුණේ වසර 1917 දී පෙබරවාරි මාසයේ රුසියානු අධිරාජ්‍යය ලෙසින් නම් කෙරුණු  එවකට තිබූ  බලවත් රාජ්‍යයකය.  පෙබරවාරි මාසයේ රුසියාවේ සිදු වුනු දේ ධනපති හෝ සුළු ධනේශ්වර විප්ලවයක් යයි ඊට පසුව නොවැම්බරයේ සිදුවුණ විප්ලවයක පුරෝගාමියෝ අපට කීහ. මමද එය ඒ ලෙසින්ම විශ්වාස කළෙමි.

නමුදු ඒ අදහස වෙනස් වුනු හේතුව මෙසේ පැහැදිලි කරමි. පලමුවැන්න  නම් මනෝරාජික සමාජවාදියෙකු (utopian socialist)  ලෙස සැලකිය හැකි නීතිඥ ඇලෙක්සැන්ඩර් ෆෙදොරෝවිච් කෙරෙන්ස්කි ගැන සෙවීමේදී ය. ඔහු 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු පිහිටවුනු රුසියානු භාරකාර  ආණ්ඩුවේ අගමැතිය. පළමුව අධිකරණ ඇමැතිද , ඉන්පසු යුද්ධය භාර ඇමතිවරයා වශයෙන්ද කටයුතු කල ඔහු සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ (තෘදවික් කාණ්ඩය - තෘදවික් යනු කම්කරුවා යන තේරුම එන රුසියානු පදයකි) නායකයාය. ඔහු බලවත්  පෙත්‍රෝග්‍රාඩ් (පසුව ලෙනින්ග්‍රාද් )  සෝවියට් සභාවේ උප සභාපතිය. පැරණි දින දර්ශනයට අනුව 1917 ඔක්තෝබර් (හෙවත් නොවැම්බර්) විප්ලවයෙන් පසු බලයෙන් පහ  කෙරුනේ ඔහුගේ තාවකාලික  රජයයි. 

මනෝරාජික සමාජවාදීන් යනු දියුණු ධනවාදයෙන් පසු කොමියුනිස්ට්වාදී හෙවත් පූර්ණ  සමාජවාදී සමාජයක් එළඹෙන්නේය යන විශ්වාසයෙන් කටයුතු කරන්නෝ වෙති. ඔවුන් පන්ති අරගලයකින් බලය ලැබීමේ අවශ්‍යතාවයක්  නැති බවට ද විශ්වාස කරති. ලිපිය ඔවුන් ගැන නොවන නිසාත් විකියේ  බොහෝ විස්තර ඇති නිසාත් මෙයින් නවතිමි.  

ලෝකයේ බලවත් රාජ්‍ය කිහිපයක් 1917 වන විට යුද්ධයක පැටලී සිටියහ. මිත්‍ර පක්ෂයේ රුසියානු අධිරාජ්‍යය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය,  ප්‍රංශ අධිරාජ්‍යය හා කුඩා රටවල් වූ යුගෝස්ලෝවියානු රාජධානිය හා ග්‍රීසිය ද වූ අතර විරුද්ධ (අක්ෂ)  පක්ෂයේ සිටියේ ජර්මන් අධිරාජ්‍යය, ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යය හා තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයයි.

ඇමෙරිකා  එක්සත් ජනපදය සුපුරුදු පරිදි දිනන පක්ෂයට එකතු වුනද යුද්ධය ආරම්භයේ  දෙපසටම අවි ආයුධ සැපයීය.  ඔස්ට්‍රේලියාව එකතු වූයේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව පැවති නිසාය. යුද්ධ කාලයක පොදු සාධකයක් වන ආර්ථිකයේ ඇද වැටීමත්, යුද්ධයට යන පිරිමින් ගේ මිය යාමත්, රටවල වැසියන්ගේ නිදහස සීමා වීමත් ආදී කරුණු  නිසා සාමාජිය වශයෙන් මේ රටවල් වල තත්වය යහපත් වූයේ නැත. විප්ලව ඇතිවන්නේ මේ කාලවලදී වන්නේ එබැවිනි. 
 
වැදගත් කරුණක් සඳහන් කරමි. ඒ රුසියානු අධිරාජ්‍යයේ සිම්බිර්ස්ක් ප්‍රදේශයේ  උපන් කෙරෙන්ස්කි ගේ පියා කවුද යන්නය. සිම්බිර්ස්ක් හි උපන් අනිත් වැදගත් තැනැත්තා පසු කලකදී ලෙනින් නමින් හැඳින්වුණු ව්ලැදිමීර් ඉලිච් උල්යානොව්ය.  කෙරෙන්ස්කි ගේ පියා මේ කියන ව්ලැදිමීර් ඉලිච් හෙවත් ලෙනින් උගත් පාසලේ විදුහල්පතිවරයාය. (රුසියාවේ ඔවුන් හැඳින්වුණේ පාසැල් අධ්‍යක්ෂක වරුන් ලෙසය. ව්ලැදිමීර් ඉලිච් ගේ පියා ද පාසැල් කිහිපයක අධ්‍යක්ෂකවරයෙකු විය.) කෙරෙන්ස්කිගේ පියා ෆෙයෝදෝර් කෙරෙන්ස්කි, ව්ලැදිමීර් ඉලිච් නමැති තීක්ෂණ නුවණැති තරුණයාට බොහෝ සේ උදව් කළේය. එයට හේතූන් වන්නට ඇත්තේ ව්ලැඩිමීර් ගේ පියාගේ මරණයත්, ඉන්පසු  සහෝදරයා ඇලෙක්සැන්ඩර් උල්යානොව් දෙකාබ්‍රිස්ට් සමූහය සමග එකතුවී සාර් ඝාතනය කිරීමට තැත් කිරීමේ හේතුවෙන් සාර් පාලනය විසින් එල්ලා ඔහුව මරා  දැමීමෙන් පසු උල්යානොව් පවුල කෙරෙහි උපන් අනුකම්පාවත් විය හැකිය.  උද්ඝෝෂණ වලට සම්බන්ධ වීම නිසා ව්ලැදිමීර් ඉලිච් කසාන් විශ්ව විද්‍යාලයෙන් නෙරපද්දී ඔහු වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට හා පොලිසියට කෙරෙන්ස්කි පියා  ලිපිද ලීවේය. 

 මේ කරුණු මතක තබාගෙන දැන් නැවතත් මාතෘකාවට යමු.  ඒ දිනවල ජාත්‍යන්තර කාන්තා දිනය වුයේ පෙබරවාරි 23 වනදාය.   මැයි අට වනදාට වැටෙන කාන්තා දිනය රුසියාවේ දින දර්ශනයට අනුව යෙදුනේ පෙබරවාරි 23 ය. (නොවැම්බර් විප්ලවය ඔක්තෝබර් වුනේත් එලෙසය). 1905 දී වරක් රුසියාවේ ජනතාව  සාර් රජුගේ දෘඩ පාලනයට එරෙහිව නැගී සිටියහ. සාර් ගේ මාලිගා හමුදාව (palace guards) එය මැඩ පැවැත්වූවේ දහසක් පමණ මිනිසුන් මරා දමමිනි. 

ඉන්පසු 1917 දක්වා පැවති කාලය තුල මෙන්ශේවිකයන්, බෝල්ෂෙවිකයන් , ප්‍රජාතන්ත්‍රවාදීන් ස්විට්සර්ලන්තය , එංගලන්තය, ජර්මනිය ආදී රටවලට  විප්‍රවාසී වෙමින් දේශපාලනය කල බව කවුරුත් දනිති. ඒ කාලයේ  කාන්තා ශ්‍රමිකයන්  සඳහාද නොයෙකුත් සඟරා මුද්‍රණය කරන ලදී. ඉන් එකක්  නම් 1914 දී සෙන්ට් පීටර්ස්බර්ග් හි ඇරඹුණු රබෝට්නිට්සා (කම්කරු යුවතිය) සඟරාවය. එය පලකිරීමට  මුල්වී ක්‍රියා කලේ ලෙනින්ගේ බිරිඳ  වූ නදේශ්දා කෘප්ස්කයා , ලෙනින් ගේ පෙම්වතිය (mistress) වූ   ඉනෙස්සා ආර්මන්ඩ්  සහ කොන්කොදියා සමයිලෝවා ය.  ඉනෙස්සා  අර්මන්ඩ් ගැන සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි  - 1 නමැති ලිපියේ සඳහනක්  කලෙමි. ඔවුන්ට අමතරව අලෙක්සන්ද්‍රා කොලොන්තායි ද මේ විරෝධතාවයන් සංවිධානය කල ප්‍රමුඛ  විප්ලවකාරියක වුනි.   

මේ සඟරා පළ කළ බොල්ෂෙවික හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වල තරුණියන් ද රුසියානු අධිරාජ්‍යය ලෝක යුද්ධයක පැටලීම නිසා සැමියන් හා පෙම්වතුන් අහිමි වීමෙන් එක්වූ වැන්දඹු බිරියන්ද , ආර්ථිකය කඩා වැටීම නිසා දරුවන්ට කෑමට යමක්  දීමට දෛනික අරගලයක් කරන ගෘහණියන්ද   එවකට  සෙන්ට් පිටර්ස්බර්ග් නගරයේ තිබූ නිමි  ඇඳුම් කම්හල් වල ඉතා අඩු වැටුපකට රැකියා කළ කාන්තාවන්ද  පෙරමුණ ගත්  ඉතා සක්‍රීය විරෝධතා ව්‍යාපාරයක් 1917 වන විට ගොඩ නැගී තිබුණි. 

මේ රෙදිපිළි කම්හල් වල රැකියා කළ කාන්තාවන් ගෙන් බොහොමයක් දෙනා පිට නගර හා ගම්වලින් පැමිණි අය වූහ. යුද්ධයට යන සාර් ගේ භටයන්ද මේ පළාත්වලින් ම පැමිණි අය වූහ. සාන්ත පිතර්බුර්ගයේදී ගහට ගහක් සුප්‍රසිද්ධ නෙව්ස්කි විදියේ දී මුණ ගැසුණි. මේ දෙගොල්ල එකතු වූයේ ප්‍රේමාලිංගන රංග දක්වන්නටම නොවේ. ඔවුන් දෙගොල්ලටම පොදු ප්‍රශ්න ගැන අදහස්ද  හුවමාරු කර ගන්නටය.  ගැහැණුන්ට අඩු පඩියත් පිරිමින්ට යුද්ධයට යාම හා අනිවාර්ය මිය යාමත් උරුම වී තිබුණි.  

එසේම අවිවාහක තරුණියන් පිරිසක් තවත් අපූරු උපක්‍රමයක් යොදා ගත්හ. සාර්ගේ හමුදා බැරැක්ක වලින් නගරයට එන සොල්දාදුවන් සමග ඕනෑ කමින්ම සම්බන්ධකම් ඇති කර ගැනීමයි. මේ නිසා එම සොල්දාදුවන් අතරද කාන්තාවන් ගේ අඩු වැටුප් සහ ඔවුන්ගේ ප්‍රශ්න ගැන සෑහෙන අවබෝධයක් ද විය. එසේම සොල්දාදු බිරියන් සමග සබඳතා ඇති සමූහයක් ගොඩ නැගීමට කාන්තා නායිකාවක් වූ අනස්ටසීයා දිව්යාත්කිනා සමත් වූවාය. මෙහි ප්‍රතිඵලය වූයේ 1905 දී වූ ජනතා නැගිටීමේදී මෙන් නොව මේ විරෝධතාවයන්ට එලි බසින කාන්තාවන්ට වෙඩි තැබීම රජුගේ බැරැක්ක සොල්දාදුවන් ප්‍රතික්ෂේප කිරීමයි. කෙටියෙන් කියනවා නම් කෙල්ලන් ගේ විප්ලවයට ආයුධ සන්නද්ධ හමුදා ආරක්ෂාවක් සහතික විය. 

පැරණි පුරුෂ පක්ෂයේ සමාජවාදීන් ද, විප්ලවකාරී සංවිධානද , විප්ලවකාරී පක්ෂද (බොල්ෂෙවිකයන් ඇතුළුව)  මේ ගාමන්ට් ෆැක්ටරි  කෙල්ලන්ගේ, විවාහක  ගැහැනුන් ගේ, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් ගේ  විරෝධතා ව්‍යාපාරයට වැඩි තැනක් දුන්නේ නැත. ඔවුන් කතා කළේ මේ නැගිටීම ව්‍යවර්ථ කරන්නටය.  නමුත් ඒ දිනවල රැකියාවල යෙදෙන ගැහැණු ප්‍රතිශතය 43% පමණ වූ අතර ඉන් සීයට  3ක් ලෝහ සම්බන්ධ සම්ප්‍රදායික පිරිමි රැකියා ක්ෂේත්‍රයේ නිරතව සිටියහ. මේ ගැහැණුන් ගේ වර්ජනයන්ට ගම්වල සිටින ගොවි කාන්තාවන් ද සහය දැක්වූහ. වැඩිපුරම යුද්ධයට  ගියේ ඔවුන්ගේ පුතුන් සහ සැමියන් නිසා ඔවුන්ද විරෝධතා ව්‍යාපාරයන්ට එක්වුනි.
  
පෙට්‍රොග්‍රඩ් හි රෙදිපිළි කම්හල් වල කාන්තාවන්  වර්ජනයේ 

පරණ රුසියානු කැලැන්ඩරයට අනුව 1917  පෙබරවාරි  23 *(මේ දිනය දැන් රුසියානු දවසය)  හෙවත් මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයේදී උදෑසන නමය වන විට විලොග් පෙදෙසේ රෙදිපිළි (ටෙක්ස්ටයිල් ෆැක්ටරි) කම්හලක ගාමන්ට් කෙල්ලන් වර්ජනයට පාරට බැස්සහ.  පීටර්ස්බර්ග් නගරයේ නෙව්ස්කි විදියේ චතුරශ්‍රය අසල එක්ලක්ෂ පනස් දහසක් පමණ කාන්තාවන් "පාන් දියව්", රට රකින සොල්දාදුවන්ගේ දරුවන් ට ආහාර දියව් , "සොල්දාදු සලාකය  හා ශ්‍රමික සලාකය වැඩි කරව් ", "(ගාමන්ට්) රෙදිපිළි කම්හල් වල   කෙල්ලන්ට පැය අටේ වැඩ දිනයක් දියව් " ලෙසින් හඬ නැගූහ.   මධ්‍යහ්නය වන විට සියලුම රෙදිපිළි කම්හල් වල තරුණියන් වර්ජනයකට එක්ව සිටි අතර සොල්දාදු බිරියන්ද ඈත පෙදෙස් වලින් පැමිණි ගොවි බිරියන්ද නගරයට එක් රැස්  වුනි.  බැරැක්ක  සොල්දාදුවන් මේ කාන්තාවන් ඉදිරියේ අවි නොඑසවූ නිසා සාර් රජු තරුණ කොසැක් භටයන් ඔවුන් ඉදිරියට එවූ නමුත් ජනගහණය පාලනය කල නොහැකිව ඔවුන් පසු බැස ගියහ.
මේ තරුණියන් ඉන්පසු කළේ නගරයේ පිරිමින් හෙවත් විප්ලවවාදී පක්ෂ වලට අනුව "විප්ලවීය සවිඥානය " ඇති කාර්මික පුහුණුව ඇති ශ්‍රමිකයන් එක් කර ගැනීමට ඒ කම්හල් වලට ගමන් කිරීමයි. ඔවුන් ඒවායේ විදුරු වලට ගල් පහර දෙමින් , ඒවාට කඩා වදිමින් පිරිමින්ට එළියට බසින්නට උද්ඝෝෂණය කලහ.
 
 හවස් වන විට හමුදා භටයන් ඇතුළුව බොහෝ පිරිමි ශ්‍රමිකයන්ද රැළිවලට එකතු වුනි.  
අලෙක්සන්ද්‍රා කොලොන්තායි සහ විප්ලවවාදිනියන් හා සමහරුන්ගේ  දරුවන් 


කාන්තාවන් ගේ විරෝධත්වය ඉබේ පැන නැගුනක් ලෙස බොහෝ සෝවියට් ඉතිහාසන්ඥයන් වැරදි ලෙස අර්ථකථනය කළද එය 1905 න්  පටන් ගෙන 1912 සිට වඩා සංවිධානය වුනු ව්‍යාපාරයක් විය. ඔවුන් මාර්තු 8 වනදා   එළි බැස්සේද ඉතාමත් හොඳින් සැලසුම් කරය. කෙටියෙන් කියනවානම් 1917 දී සාර් පාලනය බිඳ දැමුවේ මේ ගාමන්ට් කෙල්ලන් ප්‍රමුඛ කරගත් කාන්තාවන්ගේ විරෝධතාවයයි. ලෙනින්ට  සාධාරණය ඉටු කිරීම සඳහා කිව යුත්තේ  මෙහිදී ලෙනින් සිටියේ කෘප්ස්කයා , ඉනෙස්සා අර්මන්ඩ් හා කොලොන්තායි ට පක්ෂවය. (ඔහු හැර ඔහුගේ පක්ෂයේ පොලිටි බියුරෝව මේ විප්ලවකාරී ගැහැනුන්ට කෙලින්ම සහයක් දැක්වූයේ කීමට සාක්ෂි නැත.)  

 පෙබරවාරි 24 දා (මාර්තු 9) වන විට සාර් රජුට බලයක් නොමැති බව පසක් වුනු පසු හමුදා ප්‍රධානීන් ඉවත්ව සිටියහ. ඉන්පසු පිහිටවුනු පරිවාස රජයේ ඇමති වරයෙකු වූ ඉහත  සඳහන් සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ  කෙරෙන්ස්කි  පසුව අගමැතිද විය. ඔහුගේ මුඛ්‍ය අදහස වූයේ මහා පීටර් රජු මෙන්  රුසියාවට බටහිර යුරෝපයේ  ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම සහ යුද්ධය සාර්ථක අවසානයකට ගෙන ඒමයි. සෙන්ට් පිටර්ස්බර්ග් සිට  පෙට්‍රොගාඩ් ලෙස නම වෙනස් වුනු නගරයේ  සෝවියට් සභාව බහුතර බලය තිබුනේ මෙන්ශේවිකයන් හෙවත් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය.

නමුත්  කෙරෙන්ස්කි ගේ රජය මේ කාන්තාවන්   සඳහා කිසිවක් නොකළ අතර රජයේද අවට දෙපාර්තමේන්තු වලද  ප්‍රධාන නිලතල දැරූ  සාර් රජයේ නිලධාරීන් වෙනස් කිරීමටද කටයුතු නොකළේය.  ඒ අතර සැබෑ රාජ්‍ය බලය අත ඇති කිසිවෙක් නොවූ අතර කෙරෙන්ස්කි රජයට බලය රඳවා ගැනීමට මහත් වෙහෙසක් දරන්නට විය. 

සැප්තැම්බරයේදී පෙට්‍රොගාඩ් සෝවියට් සභාවේ  බහුතරය වූයේ බෝල්ෂෙවිකයන්  වන අතර ලෙනින් ගේ නායකත්වයෙන් බලය අල්ලා ගැනීම කෙරුනේ නොවැම්බර් හත් වනදාය. ලෙනින්  මේ සඳහා සැරසුනේ  1905 කැරැල්ලේ සිටය. "කල යුත්තේ කුමක්ද" නමැති පොතින් අදහස් කල ලෙසින්ම ඔහු ඉතාමත් විනයගරුක කණ්ඩායමක් පක්ෂයක් ලෙස සංවිධානය  කල අතර 1917 පෙබරවාරි  සිට ලෙනින් රුසියාවට පැමිණි අප්‍රේල් මාසය දක්වා ලෙනින් ගේ කණ්ඩායමේ මුළු රුසියාවේම සිටියේ පනස්දහසකට  අඩු ප්‍රමාණයකි. මුළු රුසියාවේ ජනගනය මිලියන 90 කට මදක් අඩුවෙනි.  නමුත් ඔවුන් ලෙනින් සිට ගන්නට කීවිට හිට ගන්නටත්, ඉඳ ගන්නට කීවිට හිඳ ගන්නටත් සැදී පැහැදී සිටි හමුදා විනයක් සහිත කණ්ඩායමක් විය. අහසේ යන බැලුමක් මෙන් 1917 ඔක්තෝබර් වන විට රුසියානු අහසේ පාවෙමින් තිබූ බලය ලබා ගත්තේ මේ කණ්ඩායමයි. නමුත් ඒ වන විට ඔවුන් ලක්ෂයක් දක්වා සාමාජික සංඛ්‍යාවකට වැඩි වූ තිබුණි. ප්‍රතිශතයක් වශයෙන් 0.1 පමණය.  ( මේ නිසා කලබල සහිත ආර්ථික අවපාත කාලයක 3% කට හෝ දස දහසකට ඔච්චම් කිරීම අවදානම් සහගත බවද සඳහන් කරමි. අවශ්‍ය වන්නේ තීක්ෂණ නායකයෙකු හා අණට කීකරු වන සාමාජිකයන් සංඛ්‍යාවක් පමණකි. ) 

මේ අනුව ඉතා පැහැදිලිවම සාර් පාලනය පෙරලුනේ රෙදිප්ලි කම්හල් වල කාන්තාවන් කල වර්ජනයත් ඔවුන් ප්‍රමුඛ අනිකුත් පිඩිත  කාන්තාවන්ගේ වීදි බැසීමෙනුත් බව සාක්ෂි සහිතව  කිව හැකිය.  නමුත් 1917 ඔක්තෝබර් වල බලයට පත්වූ ලෙනින් ගේ රජයේ ලෙනින් හැර අනිකුන් කාන්තාවන්ට වෙනම දෙපාර්තමන්තුවක් දීමට ක්‍රියා නොකළහ. ඒ වෙනුවට, දික්කසාද අයිතිය, දේපල අයිතිය හා චන්ද අයිතියෙන්  පමණක් සෑහීමකට පත්වන්නට ඔවුනට සිදු විය.

මේ කාන්තා විප්ලවය ඉතිහාසයෙන් මකා දැමුනේ කෙසේද යන්න ඊළඟ ලිපියකින් පැහැදිලි කරමි. 

ජාත්‍යන්තර කාන්තා දිනයකට අපගේ සියලු  එඩිතර කාන්තාවනට සුභ පතමි. 

 මූලාශ්‍ර - ජකොබින් වෙබ් අඩවිය, ගාඩියන්, ඩිමිට්‍රි වොල්කගොනොව් - රුසියානු රජයේ ආරක්‍ෂිත ලේඛන  
    
-කොළඹ ගමයා  (අජිත් ධර්මකීර්ති)

Sunday, 28 February 2021

දැරියකගේ මිය යාම

දැන් මේක කරපු නූගත් ගැහැණිය පොලිසියෙන් අල්ලලාලු. ඒ ඇයි?

මම ඉල්ලා සිටිනවා  වහාම  ඒ ගැහැණිය නිදහස් කරන්න. අමනුෂ්‍ය බලවේගයක් තියනවා කියල ඒ කාන්තාව දේව පූජාවක් කරලනේ ඒක සනීප කරන්න.
ඒක පොඩ්ඩක් වැරදිලා. 
 නාථ දෙවියන්ට වකුගඩු රෝග හොයල දෙන්න පුලුවන්නම් , කාලි අම්මට කොරෝනා මර්දන පැණි හදල දෙන්න පුලුවන්නම්, බෝන් අගේන් දෙවියන්ට  ආදරණිය  ගායකයෙකු ගේ උගුර හොඳ  කරන්න පුලුවන්නම් (ගායකයා වෙන ආගමකට යාම ගැන ඇති ලේබල් සිංහල බෞද්ධ කල්ලියේ හොර  විරෝධය ගාවා නොගන්න), සෝවාන් කරවන්න ලක්ෂ දෙකක් ගන්න  සිවුරක් පෙරවාගත්    හාමුදුරු කෙනෙකුට පුලුවන්නම්,  මේ වැඩේ වැරදි ඇයි?
 අමනුෂ්‍ය බලවේගයක් අයින් කරන්න දේවාලෙකට ගිහින් පූජාවක් තියල ලෙඩේ සුව කරන්න  දෙවියෝ කියපු විධිහට ගහන්න   ඇති ?  අර අම්මත් බයට බලන් ඉන්න ඇති? 
එක පැත්තකින් අමනුෂ්‍යය බලවේගය. අනිත් පැත්තෙන් දේවාලේ ආඥාව.
 මෙයාව විතරක් අල්ලල  නඩු දාන්නේ ඒ අහිංසක ගෑනු ළමය මැරුණ  නිසාද? 
එහෙම නම් ඒ මරණයට වගකිව යුතු  ඔය කියන  අමනුෂ්‍ය බලවේගය නේද අල්ලලා හිරේ දාන්න ඕනේ.වරද වෙලා තියෙන්නේ එතනනේ. 
(පොලිසියේ අවධානයට)
එහෙම නැත්නම් ඔය ඉහත කී මිත්‍යාවන්  අනුමත කරලා ලියන මාධ්‍ය සෙට් එකත් අල්ලනවද?

 මේ ගැහැණු ළමයගේ මරණය පිළිබඳව මම චෝදනා කරන්නේ ලිබරල් වේශයෙන් ඉන්න හොරුන්ට, ද්වන්ධාත්මක දෙපිටකාට්ටු (හොර භෞතික)  වාදීන්ට සහ ලේබල් ආගම් කාරයන්ට. තමන්ගේ පාඩුවේ ආගමක් දහමක්  කරගෙන ඉන්න මිනිසුන්ට නොවේ.  ඒ මෝඩ ගැහැණියටත් නොවේ. 
මේවා වෙන්නේ අර නාතවාදී , කාලිවාදී , බෝන් අගේන් කාරයෝ  නිසා හා ඔවුන්ව වර්ණනා කරන මාධ්‍ය  නිසා  නොවේද? 

පුවත ගොසිප් ලංකා අඩවියෙන් 
https://www.gossiplankanews.com/2021/02/delgoda-girl-incident.html

Friday, 12 February 2021

සමනළ වැව කාන්දුව

සමනළ වැව කාන්දුව 
කාන්දුව ඇරඹුන  ස්ථානය 


පසුගිය දිනක බ්ලොග් අඩවියක  ජල විදුලි බලාගාර පිලිබඳ ලිපියක් පළවිය. එහිදී මම  සමනලවැව ජල විදුලි බලාගාරයේ ජල කාන්දුව පිළිබඳව  සඳහනක් කලෙමි. ඒ ගැන විස්තරයක් සපයන්නට මා පොරොන්දු නිසා තව දුරටත් සොයා බැලීමක් කලෙමි.

මෙසේ  සොයද්දී  ලංකාවේ පළමු සුළඟින් ක්‍රියාත්මක වන පුනර්ජනනීය විදුල බලාගාරය මන්නාරම දී අගමැතිතුමා අතින් මෑතකදී විවෘත  වූ බවට පුවතක් දුටුවෙමි. මෙය ඉතා සාවද්‍ය පුවතක්  බව හොඳින් දනිමි. මා එසේ කියන්නේ අපේ විශ්ව විද්‍යාලයේ (මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයේ)  උගත් හේමාලි සෙනෙවිරත්න (nee කරුණානායක )   ලංකාවේ පළමු සුළඟ මගින් විදුලිය ජනනය කරන  විදුලි බලාගාරයේ (pilot project) භාර විදුලි ඉංජිනේරුවරිය ලෙස රැකියාව කල හෙයිනි. එය පිහිටා  තිබුනේ හම්බන්තොටය. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය මගින් මෙය ස්ථාපිත කෙරුනේ  (commissioned) 1999 දීය. එකකින්  කිලෝවොට් 600 උත්පාදනය කරන  සුලන් ටර්බයින් පහක් මෙහි තිබුණි. (මුළු උත්පාදනය මෙගාවොට් තුනකි)( five NEG Micon M1500-600 wind turbines of 600 KW each. )  . එසේනම් එයට සිදුවූයේ කුමක්ද? හම්බන්තොට සෑහෙන ඉඩම් ප්‍රමාණයක් චීනයට වසර 7-8 කට කලින්  බදු දෙන ලදී. ඒ බදුදෙන ඉඩම් වලට CEB එකට අයත් බලාගාරය පිහිටවා තිබුණු ඉඩමද ඇතුලත් විය. මෙහි ප්‍රතිඵලය වූයේ  ශ්‍රී  ලංකා විදුලි මණ්ඩලයට විශාල මුදලක් චීන සමාගමට කුලිය වශයෙන් ලංකාවේම ඉඩමකට ගෙවන්නට සිදුවීමයි.එය අවාසි සහගත හෙයින් මේ කුඩා බලාගාරය අත හැර දමන්නට ඇත.  
සමනල වැව  බලාගාරය ඉහල සිට බලන විට 

සමනල වැව ජල විදුලි  බලාගාරයක් පිහිටවීම පිළිබඳව මුල් අදහස ඉදිරිපත්  කෙරුනේ සිරිමා බණ්ඩාරනායක රජයටය. ඒ සඳහා කල ශක්‍යතා අධ්‍යනය සෝවියට් භූ විද්‍යාඥයන්  හා ඉංජිනේරුවන් ගේ ආධාරයෙන් කරන ලදී. සෝවියට් වරු ජල විදුලි බලාගාර සැදීමේ දක්ෂයින්  හෙයින් (සයනා සුශේන්ස්කයා මෙගාවොට් 6000, ක්‍රස්නයර්ස්ක් මෙගාවොට් 6000, අස්වාන් වේල්ල)  මේ ගැන මට සැකයක් නැත. සෝවියට් විද්‍යාඥයන් සමනලවැව අවට හුණුගල් සහිත පස නිරීක්ෂණය කළ අතර වේල්ලක් බැඳ  ජලය විශාල ප්‍රමාණයක් එකතු වුන හොත් හුණුගල් පස තුලින් ජලය කාන්දු  විය හැකි බැවින් එතැන බලාගාරයක් තැනීම නුසුදුසු බවට නිගමනය කළහ. 

නමුත් ජයවර්ධනය රජය යටතේ 1986 දී සමනල වැව වේල්ල හා බලාගාරය ඉදි කිරීමට  දේශපාලන තීන්දුවක් ගන්නා ලදී. එහි හරි වැරැද්ද  කෙසේ වෙතත් අද ශ්‍රී  ලංකාවට  අවශ්‍ය විදුලි බලයෙන් විශාල ප්‍රමාණයක් සමනල වැව බලාගාරයෙන් ජනනය වෙයි. මේ යෝජනා ක්‍රමයට  අඩු පොලියට ණය මුදල සපයන ලද්දේ ජපාන හා බ්‍රිතාන්‍ය රජයන් විසිනි. 

කාන්දුව ඇරඹුන  ස්ථානය 

කාන්දුවන ජලය පිටතට යන මාර්ගය 



සමනල වැව වේල්ල මීටර 100 පමණ උස වන අතර දිගින් මීටර් 530කි . ජල ධාරිතාවය කියුබික් මීටර් මිලියන් 218ක් පමණ වේ.  ජලය පිරවෙන විට ජල කාන්දුව සෝවියට් විද්‍යාඥයන් කී  ලෙසම පටන් ගැනුනි. බලාගාරය හා කාන්දුව ගැන වැඩි විස්තර අපිතොපි බ්ලොගයෙන් කියවන්න. නැත්නම් විකිපෙඩියා යොමුවට යන්න.  

මුලින්ම මේ කාන්දුවන  ස්ථානයෙන් දුර්වල ස්ථානයක  පස බිඳගෙන ජලය එලියට පැමිණ ඇත. වතුර ලීටර 2100 පමණ කාන්දුවෙන  අතර ඒ දකුණු ප්‍රදේශයේ සුළු වශයෙන්  පස නාය යාමද සිදු වුනි. නමුත් ජලාශයේ විශාලත්වය නිසා ජල විදුලි ජනනය අඩුවීමට එය බලපෑවේ නැත. සමනල වැව ප්‍රධාන බලාගාරයේ මෙගාවොට් 62 ටර්බයින්  දෙකක් තිබේ. එහි  මුළු ධාරිතාවය ඒ අනුව මෙගාවොට් 124කි. 

 එකම ප්‍රශ්නය කාන්දුව විශාලවී මුළු ජල කඳ එතැනට යොමුවී පැත්තක් බිඳී  යාමේ තර්ජනයයි. නමුත් විදුලි බල මණ්ඩලය විසින්  නොයෙකුත් උපක්‍රම  භාවිතා කරමින් කාන්දුව වසන්නට උත්සාහ  කළහ.  පස් හා විශේෂිත මැටි වර්ගයක් පිරවීම මින් ප්‍රධාන තැනක් ගති. නමුත් මේවායින් කාන්දුවේ  නැවැත්වීමක් සිදු නොවුනි. මින් ප්‍රධාන බලපෑමක් සිදු වුනේ පහල නිම්නයේ කෘෂි  කාර්මික කටයුතු වලටය. ඒවාට ජලය මද විය. වෙනම සොරොව්වක් (IRV ) මගින් කෘෂිකාර්මික ජලය මුදා හැරීමට තිබුනද කාන්දුව නිසා මුදාහරින ජලය  අඩුවන බව පෙනී ගියේය. 




කාන්දුව ඇරඹුන ස්ථානය 

අප 2018 දී ගිය වෙලේ දැනගත්තේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්  ඒ සඳහා ඉතා හොඳ විසඳුමක් ඉදිරිපත් කර තිබෙන බවයි. ඒ නම් එම කාන්දුවන ජලයේ ප්‍රධාන ස්ථානයක් තෝරා  එම ජලය වෙනත් පිටත් මාර්ගයක් මගින් (exit) මගින් තවත් කුඩා ජල විදුලි බලාගාරයකට එය යොමු කිරීමයි. (උඩම පින්තූරය හා පහල පින්තූර) මෙයින්  එම කාන්දුවන ජලය  මගින් විදුලිය උපද්දවා එය ද ජාතික පද්ධතියට එකතු කරන ලදී. මෙය මෙගාවොට් 1.2 පමණ අඩු අගයක් ඇති කුඩා විදුලි බලා ගාරයකි . 
එසේම එයින් කිසියම්  ප්‍රමාණයකට කාන්දුව පාලනය කිරිමටද හැකි විය. එයට හේතුව කාන්දු වන ස්ථානය අවට  හුණු ගල් , වැලි හා පස්  ජලය සමග ඇදගෙන ගොස් එම වටප්‍රමාණය විශාල වන අවදානම මෙයින් පහවගොස් ඇති බැවිනි.    එය එසේ නමුත් වෙනත් තැනකින් කාන්දුවක් මතු වේදැයි  සොයා බැලීමට ඉංජිනේරුවන් නිතර විමසිල්ලෙන්  සිටිති.

එවකට සිටි මහවැලි ඇමතිවරයා  විදුලි ඉංජිනේරුවන්ගේ අදහස් ද විමසා සමනල වැව  යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ගැන ඔහුට දොසක් කිව නොහැක්කේ එමගින් ජනනය කරන විදුලි බලය නොවන්නට ශ්‍රී ලංකාවේ  විදුලි අර්බුදය තවත් උග්‍ර වන්නට ඉඩ තිබූ  නිසාවෙනි. 

විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් හෝ ඒ ගැන දන්නා අය මේ ලිපියේ කරුණු වල වරදක් ඇත්නම් ප්‍රතිචාරයක්  මගින් දන්වන්න.
















Saturday, 30 January 2021

එකිබස්තුස් ගමන

මම "පොල්කට්ටෙන් එපිටට"  පොතේ අගටම ඇති  ලිපියේ ලිවූ අදහසක් වූයේ කිසියම් අහඹු සිද්ධියකින් මුළු ජීවිතයේම ගමන්මග වෙනස් විය හැකි බවය. එය එක වරක් නොව කිහිප වතාවක්ම සිදු විය හැක්කේ  අපේ ජිවිත,  කොතරම් අපට අවශ්‍ය ආකාරයට රේඛීය දිශානතියකට ගෙනයාමට තැත් කළත් සැමවිටම එය එසේ වීම අනිවාර්ය නොවන නිසාය.  හැබැයි ඒවා එසේ සිදුවන්නේ කිසියම් අමුතු බලවේගයක් නිසා නොව අපගේ අතපසුවීමක් නිසාවෙන් හෝ අපට පාලනය කළ නොහැකි නීති රීති හෝ සිද්ධි සමුදායන් නිසාය.

මගේ එකිබස්තුස් ගමන ගැන දැනට සිටින යහළුවන් හෝ සෝවියට් දේශයේ සිටි යහළුවන් කිසිවෙකුත් දන්නේ නැත. මා කීවේ මගේ පියාට පමණි. ඒ හා සම්බන්ධ රැකියාව ලැබේද  නැත්ද යන්න  පිළිබඳව හරි ඇගයුමක් නොතිබීම නිසා විය හැක. 
 
සෝවියට් දේශය 1991 අවසානයේ බිඳ වැටුණු පසු සමුහාණ්ඩු පහලවම නිදහස ලබා වෙන්ව ගියහ. ඊට අනුරූපව යටපත් කර තිබූ මේ රටවල ජාතිවාදය ඉස්මුදුන් වලටම ගලා ආයේය. බහුතරයක්  මුස්ලිම්වරුන් වෙසෙන කසාක්ස්තානය (බොහෝ අය වැරදියට හඳුන්වන කසකස්ථානය ) ටද එයින් මිදෙන්නට නොහැකි විය. ස්ටාලින් ගේ කාලයේ පිටුවහල් කරන ලද බොහෝ ජර්මන් වරු එහි සිටියහ. මින් සමහරෙක්  දෙවන ලෝක යුද්ධය නිසා හසුවූ යුධ සිරකරුවන්ය. මොවුන් හැඳින්වුනේ සෝවියට් ජර්මන්වරු ලෙසය. කසාකයන් මුලින්ම රටින් එළවා දැමුවේ ඔවුන්වය. ජර්මන් රජය මේ සියල්ලන්ම භාර ගැනීමට කැමති විය. ඊළඟට පැමිණියේ සෝවියට් කාලයේ පදිංචි කරනලද  රුසියානුවන් හා අනිකුත් ජාතීන් ගේ වාරයයි. මෙසේ රුසියාවට ආපසු පිටමන් කරන ලද  රුසියානුන්ට හරි හමන් ඉන්නට හිටින්නට තැනක් තිබුනේද නැත. බොහෝ අය තම තමන්ගේ නෑදෑයන් ගේ යහළුවන් ගේ ගෙවල අමාරුවෙන් ජීවත් වූහ. 

මෙසේ එළවන ලද අය බොහොමයක් වෘත්තිකයන් විය. එනම් ඉංජිනේරු, වෛද්‍ය, කාර්මික ශිල්පින් , ගුරු වෘත්තියේ යෙදුනවුන් හෝ  කිසියම් ශිල්පයක් උගත් අය විය. කසාක් වරු හිතුවේ ඔවුන්ට ඇති ශ්‍රම ශක්තිය ප්‍රමාණවත් යැයි කියාය. නමුත් එසේ වූයේ නැත.      
ඒ දිනවල අයැදුම්පත් දැමූ  රැකියා දෙකක් මට මතකය.  එකක්  රදර්ෆර්ඩ් ඇපල්ටන් පර්යේෂණාගාරයේ කනිෂ්ඨ ඉංජිනේරු තනතුරකි. මේ අර එර්නස්ට් රද්ර්ෆර්ඩ් ගේ සිසුන් දෙදෙනෙකු වන ගෛගර් හා මාර්ස්ඩන් පරමාණුක න්‍යෂ්ටිය සොයාගත් රන් වළල්ලට ඇල්ෆා අංශුන් යැවූ පරීක්ෂණය කල තැනමය.  මට ඒ රැකියාව ලැබුනේ නැත. සම්මුඛ පරීක්ෂණයේදී මගේ ඉංග්‍රීසි හොඳ නැති බව මටම වැටහුණි. මට දැනුත්  සිතෙන්නේ  මා ඒ තැනට ගියේ එහි නමට ඇති ගෞරවය  හා ස්ථානය දැක ගැනීමට මිස රැකියාවක් ලැබේ යයි බලාපොරොත්තුවෙන් නොවන බවය. එකල මම රෝයල් ඊගල් නමැති හෝටලයක මොස්කව්  ස්ටේට් යුනියේ ලොමොනොසව් මණ්ඩපයේ උගත් බුද්ධි හිත්තැටිය සමග  කළමනාකාර තනතුරක් දැරුවෙමි. සම්මුඛ පරීක්ෂණ මඩුල්ල  මට ආපසු එම රැකියාවටම යන්නට කීහ.   

ඇමෙරිකානු  AES ආයතනයට  කෙන්ට් වල මෙඩ්වේ හි තාප (ගෑස්)  විදුලිබලාගාරය අයත්ව තිබුණි. පුවත්පත් දැන්වීමක ඔවුන් කසාක්ස්තාන්  එකිබස්තුස් බලාගාරයේ සේවයට ඉන්ජිනේරුවන් කැඳවන බව දැක අයදුම්පතක් දැමුවෙමි. ඔවුන් එයට ඒ වනවිට ආයෝජනය කර නොතිබූ  අතර දත්ත සෙවීමේ චාරිකාවක් සංවිධානය කර තිබුණි. (fact finding mission). මෙඩ්වේ බලාගාරයේ ප්‍රධාන විධායක ඉංජිනේරුවරුන් දෙදෙනා සහ අයර්ලන්ත අධි වෝල්ටීයතා ඉන්ජිනේරුවෙකුද ඊශ්‍රායල සම්භවයක් ඇති AES ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ගෙන්ද සමන්විතවූ  ගමනට මා බඳවා ගනු ලැබුවේ තාක්ෂණික පරිවර්තකයෙකු  ලෙසිනි. (technical translator). නමුත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය වූයේ කසාක්ස්වරුන් ප්‍රධාන සාකච්ඡා වලදී සඟවන දේ ඔවුන් සමග කතාබස් කොට දැනගැනීමයි.  ඇමෙරිකානු සමාගමට බලාගාරයේ ඇත්ත වටිනාකම දැනගැනීමට අවශ්‍යව තිබුණි. අධ්‍යක්ෂවරුන් හා වෙළඳ නියෝජිතයන් ගිය මුල් සංචාර වලදී කසාක්ස්වරුන් බොහෝ දේ සඟවන බව ඔවුන්ට වැටහී තිබුණි. ඉංජිනේරුවන් යැව්වේ ඒ නිසාය.  
 
මේ ගමනේදී මට පැහැදිලිවූ එක දෙයක් විය. ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා  එක්සත් ජනපදය වැනි රටවල රැකියාවන්ට ගිය සමහරු සෝවියට් අධ්‍යාපනය හා තාක්ෂණික, විද්‍යාත්මක ක්ෂේත්‍රයන් හි ජයග්‍රහණ බොහෝ විට අවතක්සේරු කරනු මම දිටිමි. ශ්‍රී ලංකාවේ  විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලද ඇතැමුන් අතරද මේ අදහස් ම තිබෙනු මා  දැක තිබේ. නමුත් අපේ කණ්ඩායමේ  ඇමෙරිකන් ප්‍රධාන ඉංජිනේරුවන් හෝ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවා සෝවියට් තාක්ෂණික හපන්කම් ගැන කතා කළේ ප්‍රශංසා මුඛයෙනි. සෝවියට්  ඉංජිනේරුවන්ට බටහිර තරම් පහසුකම් තිබුනේ වඩාත් දියුණු දේ නිපදවීමට හැකියාවක් තිබු බව ඔවුහු පිළිගත්හ.
  
ඒ දිනවල ලෝකයේ උසම චිම්නි දෙක  (මීටර 330) සහිත ගල් අඟුරු වලින් ක්‍රියා කරන තාප  විදුලි බලාගාරය තිබුනේ   එකිබස්තුස් වලය. මෙගාවොට් 500 ටර්බයින් හතරක් තිබූ එහි මුළු ධාරිතාවය මෙගාවොට් 4000කි. සෝවියට් වරු එය සාදා නිම කලේ 1980 දීය.  සෝවියට් දේශයේ අභාවයෙන් පසු කසාක්ස්වරුන්  අතට ගිය විදුලි බලාගාරයේ  නිසි අලුත්වැඩියා කිරීම් පැහැර හැර තිබුණි.    අලුත්වැඩියා කිරීමට ද්‍රව්‍ය, උපකරණ හා පුහුණු ශ්‍රමයද ඔවුන්ට නොතිබුණි. ඔවුන් ඉහත කි පරිදි  රුසියානු සහ ජර්මන් පුහුණු ශ්‍රමිකයන් රටින් එලවිමද තත්වය තවත් අල වීමට හේතුවක් විය.  මේ කාලයේදී එක  මෙගාවොට් පන්සීයක ටර්බයිනයක් පුපුරා ගොස් ටර්බයිනයේ කෑල්ලක් උස වහලය පසාරු කරගෙන ගොස් තිබුණි. එනිසා අප එහි යනවිට ඉතිරිව  තිබුනේ  ටර්බයින් තුනක් පමණි.  බලාගාරයේ  ධාරිතාවය මෙගාවොට් 650 කට පමණ අඩුවී තිබුණි. (මේ විනාශවුණු කොටස ඡායාරූප  ගත කරන්නට ඔවුන් මට අවසර දුන්නේ නැත). ඔවුන් බලාගාරයේ මුළු ධාරිතාවය පිලිබඳව  කලින් ලබාදුන් දත්ත වැරදි බව මේ ගමනේදී සොයා ගැනුනි. 
බලාගාරය 



අප  එකිබස්තුස් වලට ගමන් කලේ සැහැල්ලු ගුවන් යානයකිනි. එහිදී නැවතී සිටියේ අල්මාති නගරයේ රකත් මාළිගය නමින් හඳුන්වන විශාලතම  හෝටලයේය.   හෝටලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පිරිස් මෙන්ම බටහිර සමාගම් වල සේවකයන් බොහොමයක්ද රැඳී සිටියහ. සෝවියට් දේශයෙන් වෙන්වූ පසු මේ රටවල බටහිරයන්ගේ ආගමනය හා ආයෝජනය ගලා ඒම ප්‍රබලව සිදුවුණි. එකිබස්තුවලදී මට හමුවුණු පිරිස අතරේ නූර් නම් භාෂා පරිවර්තිකාවද වූවාය. කසාක්ස් නියෝජිතනයන්  හා බලාගාරයේ අධ්‍යක්ෂක වරුන් අපට ඉතා හොඳින් සැලකූහ.  
රකත් පැලස්  හෝටලය 
පැලස් හෝටලය  ඉදිරිපස 


අපේ කණ්ඩායම 


එකිබස්තුස් හි කුඩා ගුවන් තොටුපල 

එකිබස්තුස් පිලිබඳ කතා  කරන විට මතකයට එන  තවත් වැදගත් කාරනා දෙකක් තිබේ. එකක් නම් ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් නමැති මහා ලේඛකයා පිටුවහල් කෙරුණේද මේ නගරයට වීමයි. එසේ නම් එයට සම්බන්ධ දෙවන කරුණ කුප්‍රකට ගුලාග් නමැති කම්කරු කඳවුරද තිබුනේ මෙහි වීමයි. සොල්ෂෙනිට්සින් "ඉවාන් දෙනිසෝවිච් ගේ දවසක් පොත" ලියන්නේ  ද මේ ගුලාගය ගැනය. 

මේ ගමනේදී මට අමුතුම සිදුවීමකට මුහුණ පෑමට සිදුවුණි. අපගේ  ගුවන් ටිකට් පත තිබුනේ ලන්ඩනයෙන් ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් වලටත් (ට්‍රාන්සිට්)   එතනින් අල්මාති (අල්මා අටා ) නගරයටත්ය.  ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් ගුවන් තොටුපළේදී යානයට පැමිණි ජර්මන් පොලිසිය මට  ඔවුන් සමග එන්න යැයි කියා මුළු ට්‍රාන්සිට් කාලය පුරාවට මා  ඔවුන් සමග තබා ගත්තේය. ඉන්පසු දෙවන යානයට ඇරලවද්දී කණ්ඩායමේ අනිකුත් හතර දෙනා කලබලයට පත්ව සිටියහ. මා පසුව දැනගත් පරිදි හේතුව වූයේ මගේ ශ්‍රී  ලංකා ගුවන් ගමන් බලපත්‍රයයි. මොස්කව් හා කසාක්ස්තාන්වල සිට වෙනත් රටකට ගුවන් ගමන් බලපත්‍ර ගෙන පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ෆ්‍රෑන්ක්ෆට් හි නතර වී දේශපාලන රැකවරණ ඉල්ලන  නිසා ඔවුන්  ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමි ට්‍රාන්සිට් මගීන් මෙලෙස තබා ගන්නා බව ඊශ්‍රායල සාමාජිකයා  දැන ගත්තේය. (ඔහුට හොඳින් ජර්මන් බස කතා කිරීමට හැකි අයෙකි )  ජර්මන් රජය මෙය පසුව ඉවත් කරගත්තේ ලන්ඩන් හා මොස්කව් වල නිලධාරීන් රඳවා තැබීමෙනි.

කෙසේ හෝ මේ සිද්ධිය නිසා මට කසාක්ස්ථානයේ බලාපොරොත්තු වූ ඉංජිනේරු රැකියාව නොලැබුණි. සමහරවිට ඔවුන්ට අවශ්‍යව තිබුනේ  රටවල් දෙක තුනක් අතර පහසුවෙන් සංචාරය කළ හැකි අයෙක් බව පසුව ප්‍රධාන විධායක ඉංජිනේරුවා හා කතා කිරීමේදී පැහැදිලි විය. ඔවුන් වසර දෙකකට පසු එම බලාගාරය මිලදී ගත් අතර (ආයෝජනය කළ අතර)  දැන් නැවතත්  එය කසාක්ස්තාන සමාගමකට භාර දී ඇත.
    
 පරිගණක ක්ෂේත්‍රය ඉදිරියේදී වඩා දියුණුවන බවට ප්‍රධාන ඉංජිනේරුවා මා රැකියාවට ගැනීම සඳහා කළ මූලික  සම්මුඛ පරීක්ෂණයේදී පැහැදිලි කළේය . ඔහු මා විසින් මොස්කව් වීදුලි බල හා බලශක්ති විශ්ව විද්‍යාලයේදී  උගත් ෆොර්ට්‍රන් නමැති පරිගණක භාෂාව  පිලිබඳ ප්‍රශ්න කිහිපයක්ම ඇසීය. මා ළඟ මමත් මගේ පාඨමාලාවේම සිටි යහලු  එන්ග් වෙන් සමග  එකතුව (නාඋච්න ඉස්ලෙදවතෙල්ස්කය රබෝතා හෙවත්) විද්‍යා පර්යේෂණ නමැති විෂයට ඉදිරිපත් කල  ප්‍රෝග්‍රෑම් එකද තිබුණි. එහි පිටපත  මා  රුසියාවෙන් එද්දී රැගෙන ආ එකකි. 



 මේ අනූවේ දශකයයි.  ඒ දිනවල මා ළඟ තිබුනේ ඉන්ටෙල් 80486 හා අම්ස්ට්‍රාඩ් නමැති පරණ පරිගණක දෙකකි.
 
නමුත්ඒ ඉංජිනේරුවා කී අදහස බලපැවැත්වූ නිසා  පරිගණක විෂයයන් හැදෑරීම සඳහා එංගලන්තයේ සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනෙමි. 

ඒ දිනවල සෝවියට් දේශයේ සිට පැමිණ ලන්ඩනයේ  ජීවත්වූ න්‍යෂ්ටික බලය පිලිබඳ විද්‍යාඥයෙකු ගෙන් වින්ඩෝව්ස් 95 තිබෙන කොම්පියුටරයක් මිලදී ගතිමි. ඔහු මට කොම්පියුටරය විකිණුවේ නැගෙනහිර ලන්ඩනයේ  උද්‍යානයකය. ඔහු එහි කීබෝඩ් එකට රුසියන් භාෂාවේ අකුරු අමුණා තිබුණු බව මට මතකය. ඒ දිනවල සෝවියට් දේශයේ හිටි න්‍යෂ්ටික බලය  සම්බන්ධ විද්‍යාඥයන්   බොහෝමයකට අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ , ජර්මනියේ ජිවත්වීමට අවසර සලසා තිබුණි.  මෙසේ කර ඇත්තේ එම රහස් වෙනත් ත්‍රස්තවාදී සංවිධානයකට හෝ ඉරානය වැනි රටකට  ලැබේ යයි සිතාය . ඔවුන්ට නිවසක්ද පඩියක්ද ලබා දී තිබු අතර  ඔහුගේ  දියණියටද බ්‍රිතාන්‍යයට පැමිණීමට වරම් දී තිබුණි. ඔහු මට පරිගණකය උද්‍යානය ට පැමිණ  විකුණුවේ නිවස නිරීක්ෂණයට භාජනය වී තිබෙන නිසා යයි මට කිවේය. ඔහු ලන්ඩනයේ සිටියේ අකමැත්තෙන් වන අතර නැවත  රුසියාවට යන්නට ඇතැයි සිතමි.
  
සවුත්බෑන්ක් හි  උපාධි පාඨමාලාව අවසානයේ උපාධි නිබන්ධනය සුපර්වයිස් කල ලරිසා ෆ්රද්කින් මහාචාර්යවරිය සෝවියට් දේශයේ ලෙනින්ග්‍රාද් නගරයේ පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ උගත් අයෙකි. ඇගේ සැමියාද  කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ රුසියානු මහාචාර්යවරයෙකි.  දෙදෙනාම දැනටත් කේම්බ්‍රිජ් වලට ආසන්න නගරයක ජීවත්වෙයි.  මගේ ලින්ක්ඩ්ඉන් ජාලයේ සිටින ඇය, මිට වසර කිහිපයකට පෙර  ඒ  හරහා මගේ විස්තර විමසුවාය.  අපට ඒ දිනවල සිටි  සෝවියට් ගුරුවරුන් සේම  ඇයද තමන්ගේ සිසුන් ගැන ඉඳහිට හෝ සොයා බලන බව වටහා ගතිමි.

මේ කතාවේ ඉතිරිය මේ බ්ලොගයේ  බොහෝවිට කියා ඇති නිසා කතාව මෙතනින් නවත්වමි.