Tuesday 31 March 2020

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් COVID -19 තත්වය - 2



ඔබ මේ සංඛ්‍යා බලා කලබල වෙන හෝ ආවේගී වන අයෙකු නම් මෙය කියවීම නොකළ යුතුය.

මගේ මුල් ලිපිය බ්ලොගයෙන්  බලන්න. ශ්‍රී ලංකාවේ කොරෝනාවයිරස් තත්වය

එම මුල් ලිපියේ  මා සඳහන් කළ අගයන් මේවාය .

//මේ නිසා ශ්‍රී ලංකාවේ එකවරම රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇත්තේ අප්‍රේල් 2 හා 4 අතරය. එනම් බොහෝ විට රෝගීන් සංඛ්‍යාව  1126 සිට 4198 දක්වා වැඩිවිය  හැකිය.
මේ ගණනට  එනවිට හතළිහක පමණ පිරිසකට එය මාරාන්තික විය හැකිය.මතක තබාගන්න මේවා ගණිතමය වශයෙන් එන සංඛ්‍යා මිස රටේ ඇඳිරි නිතිය පැවතීම වැනි සාධක සලකා බලා කරන පුරෝකථන  නොවේ.ඒ කියන්නේ ශ්‍රී ලංකාව හා එහි වැසියන් ගන්නා ක්‍රියා මාර්ග මත වාසනාවන්ත ලෙස එසේ සිදු නොවීමට ඉඩකඩ තිබේ. 
බ්‍රිතාන්‍ය හෝ ඉතාලිය වැනි රටවල මෙන්  වසංගත තත්වය ගැන  නොසලකා හිටියොත් අවුරුදු සමය වනවිට මේ  රෝගීන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩිවිය හැකිය.  මරණ සංඛ්‍යාවද සීයත් දෙසීයත් අතර වනු ඇත.
.//

ශ්‍රී ලංකාවේ රජයේත් , සෞඛ්‍ය  සේවාවන්ගේ ත් ජනතාව විසින් covid-19 සම්බන්ධ නීති රීති පිලි පැදීමත් නිසා මේ අගය අඩුවී ඇති බව පැහැදිලිවම පෙනේ. 

එම නිසා නැවත ගණනය කිරීමක් කරන ලදී. මේ අනුව අප්‍රියෙල් 2 හා 4 අතර  ආසාදිතයන් ගේ ගණන 275 (1126 වෙනුවට )  සහ 620 අතර වනු ඇත (ඇඳිරි නිතිය නොසලකා හැර ගණනය කර ඇත).,  ප්‍රතිජනන  අගය 2.2 ලෙස ගණනය කල හෙයින්  මෙය සාධනීය අගයකි.  නමුත් මේ අගයන් අනුව පුරෝකථනය කළහොත් නැවතත් අප්‍රේල් 8 වනවිටආසාදිතයන් ගණන  හය දහසක් දක්වා වැඩිවේ. අප්‍රේල් 15 වනවිට එය ඉතා ඉහල අගයක් ගනී. ඒ ගණන මම නොලියමි. එයට හේතුව ඇඳිරි නීතිය  හා වෙනත් ක්‍රියා  මාර්ගද සමාජීය පරතරය තබා ගැනීම වැනි ක්‍රියා මාර්ගද ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බැවිනි. එසේම  එවැනි ගණනක් ගැන මට සිතීමටද  නොහැකිය. ඒ  එය ලක්ෂ හයකට ආසන්න වීමය. පැතිරීමට බලපාන සියලු කරුණු සලකා බැලුවහොත් එවැනි ආසාදිතයන් ගණනක් ඇති වීමට සම්භාවතාවක් නැත.  

දැන් අපි ප්‍රතිජනන  අගය R0 =1.5 ලෙස ගනිමු. ඒ කියන්නේ මේ සංඛ්‍යාවේ අවම අගයයි. එහිදී අප්‍රේල් 2 හා 4 අතර අගයන් වන්නේ 220 සිට 400 කි. අප්‍රියෙල් 8 වනවිට මුළු ආසාදිතයන් ගණන වන්නේ 1700 කි.   මා මුල් ලිපියෙන් කීවේ  අවුරුදු සමය වනවිට රෝගින් ගණන අටදහසකින් වැඩි වෙතියි කියාය.මේ ගණනයට අනුවද එය එසේමය. එනිසා අප්‍රේල් 15 වනවිට මුළු ආසාදිතයන් ගණන වනුයේ 27000 කි.
 
මේ අප්‍රියෙල් 15 දක්වා ගණනය කළහොත්  ලැබෙන අංක  දෙක අතර ඇත්තේ (ප්‍රතිජනන අගය 2.2 ලෙස ගෙන හා එම අගය 1.5 ලෙස ගෙන ) අති විශාල වෙනසකි. 

එනිසා  මම  ලංකාවේ තත්වය ජර්මනියට සමාන කලෙමි. එයට හේතුව  ශ්‍රී ලංකාවේ මෙන් ජර්මනියේ  ද සෑම  රෝගියෙකුම  පරීක්ෂණයට ලක් කරන අතර ඒ හැම අයෙකුම  වෙන් කර ප්‍රතිකාර කරනු ලැබේ. 
ආසාදිතයන් හා මරණ අඩුවීමට මෙය ප්‍රධානම සාධකයක් බව පෙනේ.

ජර්මනියේ මෙන් ශ්‍රී ලංකාවේද වෙනත් නගර වලට යාමට අවසර නොමැත. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව තවම ඇත්තේ මෙම වසංගතයේ මූලික අවධියේ වීමයි. එනිසා මේ සංඛ්‍යා සැබවින්ම එලෙස වීමේ සම්භාවිතාව වන්නේ අඩු අගයකි.
ජර්මනියේ  ආසාදිතයන්  ගණන   100 සිට මුල් දින දහයට 1296 දක්වා වැඩිවීමක්ද ඊළඟ දින 10 තුල 18,323 දක්වා වැඩිවීමක්ද තිබුණි. ඊළඟ  එළඹෙන දින 11 තුල එය71,000 දක්වා වැඩිවුණි.

ශ්‍රී ලංකාවේ 31 දා වනවිට ආසාදිතයන්  ගණන 143 කි. ප්‍රතිජනන  අගය 2.2 නම් ඊළඟ  දින දහයේදී  (අප්‍රේල් 10) එය 21,000 දක්වා වැඩිවේ. ප්‍රතිජනන අගය 1.5 නම් එය 1210 කි. එනම් ජර්මනියේ සංඛ්‍යාවට සමානය. ඊළඟ දින දහයේදී එනම් අප්‍රේල් 20 වනවිට ප්‍රතිජනන අගය 2.2 නම් අසම්භාව්‍ය ලෙස වැඩිවෙන අගයක් ලැබේ (මුළු ශ්‍රී ලංකාවේම ජනගහනය). එය විය හැක්කක් නොවේ.  එහෙත් ප්‍රතිජනන  අගය   1.5 නම්     මේ ගණන ලක්ෂ දෙකකට සීමා  වේ. නමුත් ඔබ බැලිය යුත්තේ ජර්මනිය දෙසය. දින විස්සේදී ජර්මනියේ එම ආසාදිතයන් ප්‍රමාණය  හැත්තෑදහසක් පමණ වේ.  ශ්‍රී ලංකාවේ එය අසූදහසත් අනූ දහසත් අතර අගයක් වනු ඇත. ජර්මනියේ මේ ආසාදිතයන් ගණනට සාපේක්ෂව  මියගිය ප්‍රමාණය  682 කි. මේ අනුව ප්‍රතිජනන  අගය 1.5ටත් වඩා අඩු අගයකි. පහත සඳහන් ඉම්පීරියල් කොලේජ් වාර්තාවෙන් කියවෙන්නේ යයි. එනම් ප්‍රතිජනන අගය, රටක් ගන්නා ක්‍රියා මාර්ග අනුව අවම  අගය වන 1.5 ටත් වඩා අඩුවිය හැකිය.

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ප්‍රමාණයද අප්‍රේල් 20 වනවිට ජර්මනියේ  දැනට ඇති ප්‍රමාණය ට වඩා දාහක හෝ දෙදාහකට  වැඩි අගයක් ගනු ඇතැයි සිතිය හැකිය.

(එංගලන්තයේ දැනට කිසිම ලෙඩ රෝගයක් කලින් නොතිබූ වයස 19 සිට 45 දක්වා වූ රෝගීන් 13ක් මිය ගොස් ඇත, එක අයෙක් මා හඳුනන අයෙකි.) 

මගේ යෝජනාව  නම් ශ්‍රී ලංකාව ඉන්දියාවට, මාල  දිවයින සහ බංගලා දේශයට දොර වැසිය  යුතු බවයි.  (සංචාරකයන්ට) දෙවන රැල්ල එන්නේ ඒ පැති වලිනි. ශ්‍රී ලංකා නාවික  හමුදාවේ සයුර යාත්‍රාව ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම  සඳහා යොදා ගත හැකිය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආදිය ඉක්මනින් ඇඳන් යොදා පිළියෙළ කළ හැකිය. එසේ නොමැති  නම් පන්සල් සහ පල්ලි වල ඇති ශාලා රජයට පවරා ගත යුතුය.   

මේ දේශපාලන භේද , ආගම්  භේද නොතකා එක්වියයුතු අවස්ථාවකි.  

එසේම මේ තත්වයට එන්නට නොදී නිවසේ සිටිමින් වෛරසය පැතිරීම  වලකා ගත්තොත් මේ කිසිවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් එළඹෙන්නේ ද නැත.

මේ ලිපිය සකස් කිරීමේදී  මුලික  ලිපි දෙකක් උපයෝගී කර ගතිමි. ඉන් එකක් බේසියන් මොඩලය යොදාගත්  ලන්ඩන් ඉම්පීරියල් කොල්ජ් වාර්තාවකි.  මේ ලිපි දෙකම මෙහි තිබේ.




-කොළඹ ගමයා 
      


   

Saturday 28 March 2020

පූසි ද හදිස්සියේ කතා කලාය

පූස් දුව 
මම නිහඬව කොම්පියුටරය දෙස නෙත යොමාගෙන සිටියෙමි.  නිවසේ සිට වැඩ කරන්නට පටන් ගෙන දැන් දින තුන හතරකි. එක අතකට මෙය හොඳ අපේ  බොසාටමය. ඔෆිසියේදී මෙන් නොව මං දැන් ටිකක් වැඩිපුර වෙන්න වැඩ කරමි.  කෑම බීම මේසය ළඟටම  ලැබේ. දූලා දෙන්නාගේ පාසල් වහලාය.  දෙන්නාම මොබයිල් වල මුහුණ රුවාන ඉන්නවාට මම කිසිත් කියන්නේ නැති බව දනිති.  හැමෝම සතුටිනි.

හදිසියෙම කවුදෝ කතා කරන හඬක් ඇසුණේය. මම වට පිට බැලීමි. දුවල දෙන්නාද අහලක නැත.  උදේට ස්කයිප් එකේ උගන්වා අවසන් කරන බිරින්දෑ නිවී හැනහිල්ලේ රූපවාහිනිය නරඹන්නීය.

"මේ , මේ මම කතා කළේ ඩැඩී  " නැවතත් කොඳුරන හඬක්  ඇසේ.

දුවල දෙන්නා ගාඩ්න් එකේ දැයි බැලීමි නැත . අහලක වත් නැත.

"ඩැඩී මේ බිම බිම, මං කිකී ඔයාගේ පූස් දුව "

"මොකාක්" කලබල වූ මම වේගයෙන් පැමිණි කොරෝනා වයිරසයක්  වැදුනාක් මෙන් පුටුවෙන්  ඇද වැටුනෙමි. ඇදවුනු කට වමතින් හරි ගස්සා ගත් මම  බිම වැතිරී සිටි කිකී, අපේ පූසා දෙස බැලීමි.

"මට හරි සතුටුයි. " පූසි කීවාය.

මම මෝෆින් වැනි කිසිදු  දෙයක් නොගන්නා  නිසා බිරිඳ අන්තිමට හදා දුන් තේ කෝප්පයේ මොනවහරි බෙහතක් දැම්මා දැයි පුසුඹ අල්ලා බැලීමි. කිරි මිශ්‍ර තේ සුවඳ  පමණය.

"ඔයා මොකද බය වෙලා වගේ ඩැඩී, අද මට මමී චීස් කෑලිත් දුන්නා .ඔයා උදේ දුන්න හැම් කෑලි වලට පස්සේ. පූස් කෑම කාලම එපා වෙලා හිටියේ. හරි සතුටුයි." පූසි කියාගෙන ගියාය.

කතා කරන්නේ පූසි දැයි හරියටම නිශ්චිත කර ගැනීමට වැරෙන් හිසට ටොක්කක් ඇණ ගතිමි. හදිසියේම මට මතක් වුනේ උදේ කෑම ගනිද්දී  පූසිට හැම් කෑලි ටිකක් විසික් කළ බවය. කොරෝනා වසංගතයට කල් තබා ගන්නට ගෙනා ඒවා යේ දින ඉකුත් වෙන්නේ අද නිසා ඒවා ඉවර කල යුතුය. එනිසා කිකී සමග බෙදා ගතිමි.

"කොහොමද බොල මමී , ඩැඩී වුනේ.උඹේ අම්මයි තාත්තායි අල්ලපු ගෙදර නේ හිටියේ"

පූසි පුංචි කාලේ අපි බාර ගත්තේ අල්ලපු ගෙදර ලොකු පූසි හදිසියේ බිහි කළ පැටව් රොත්තෙනි.

"එහෙම කතා කරන්න එපා ඩැඩී, දැන් ඔයයි ඉනෙස් මමීයි  නේ මාව හදා ගත්තේ. හදා  ගත්ත දෙමාපියෝ තමයි මගේ අම්මයි තාත්තයි. මට සතුටු මොකද දන්නවද ? ඔයාල ඔක්කොමල  දැන් ඉන්නේ ගෙදර, මමී මාව හුරතල් කරනවත් වැඩියි. ඔයා මට  පූස් කෑම වෙනුවට වෙන කෑමත් දෙනවා. අඹ දුන්න ඊයෙ . පෙරේදා ගස්ලබු දුන්න. අද හැම්. "

ඇත්තටම මේ පිස්සු පූසි මම අඹ කෑල්ලක් කනවා ඇස් ලොකු කර බලා සිටි නිසා මම පොඩි අඹ කෑලි කිහිපයක් දුනිමි. ඇය ඒවා කෑවාය. පෙරේදා ගස්ලබු කෑවාය.
පූසන් පලතුරු කන බවක් මා දැන  සිටියේ නැත.

"පූසන් කොරෝනා වයිරසේ ගැන දැනගෙන ඇති. විටමින් සී තියෙන ඒවා කන්න කියල පූස් සෞඛ්‍ය සංවිධානෙන් කියන්න ඇති. "  පොඩි දුව බැරෑරුම් ලෙස කීවාය.

"දැන් බලන්න මගේ අක්කිලා දෙන්නම ගෙදර. වෙනද වගේ මාව කාමරෙන් එලවන්නෙත් නෑ. හෙට අනිද්දට පූස් කෑමත් දෙන්න පටන් ගනී "
පූසි හෙන ජොලියෙන් කීවාය.

"ඒකනම් මේ කපේට වෙන්නේ නැහැ. එයාලගේ මමී  තමයි වදෙන් පොරෙන් කෑම ටික බෙදල දෙන්නේ. නැත්නම් අර ක්‍රිස්ප් පැකට් නුයි පැණි රැළි යි කකා ඉඳී දවස පුරාම. අනික ඔහේගේ අක්කිලා උනේ කොහොමද?"

"මේ මේ මගෙත් මමී තමයි. ඔයා ඩැඩී නම් එයාලා අක්කිලා තමයි. හුහ්  " පූසි උරණවූ ලෙසින් කීවාය.

"හරි හරි ඒක අමතක වුනා. මේ කොරෝනා කෙහෙල් මලක් නිසා වෙච්ච දෙයක් අම්මපා හැබෑට, වැඩට යන්න  නෑ. පූසියෝ කතා කරනවා. හෙලිකොට්ටරෙන් පිරිත් පැන් ඉහිනවා. කුරුසේ වටේ ගෙනියනවා. පල්ලි වලින් සෙරෙප්පු දාල දුවනව. කවදා කෙළවරක් වෙයිද? " මම නුරුස්නා ලෙසින් කීවෙමි.

"එහෙම කියන්න එපා. කොරෝනා නිසා තමා ඔයාලා ගෙදර ඉන්නේ. මට හොඳ කෑම ලැබෙන්නේ. ඔක්කොමලා මාව හුරතල් කරන්නේ. මම කොරෝනට ආදරෙයි." පූසි කීවේ හෙන සැහැල්ලුවෙනි.

"ආ මෙන්න නිව්ස් එකක්. " හදිසියේ ස්කයි නිව්ස් එකෙන් පුවතක් දුටුවෙමි.

"මොකද්ද මොකද්ද " පූසි උඩ පැන්නාය.

"ගෙදර ඇත්තියෙක් ගෙන් එයාගේ පෙට් පූස් ට කොරෝනා බෝවෙලා."

"බුදාම්මෝ " කෑ ගැසූ පූසි ඇරී තිබුන දොරින් පැන දිව්වාය .

හොඳින් පුටුවේ ඇලවී නිදා සිටි මා  උඩගොස් ඇහැරුණේ මයික්‍රොසොෆ්ට් ප්‍රොජෙක්ට් ටීම් හරහා එන බොසාගේ කෝල් එකෙනි.
හොඳ වෙලාවට නින්ද ගිහින් තිබුණේ හෙඩ්ෆෝන් එක කනේ රුවාගෙනය.



    -කොළඹ ගමයා

Thursday 26 March 2020

හිරු එළියෙන් වයිරසය නැති වෙනවද?

මේ කතාව ප්‍රචලිත වෙන්නේ සීත රටවල පැතිරෙන නිසා වෙන්න ඕනේ.
මේ කාලෙට ප්‍රතිශක්තිය කොහොමත් අඩුයි.

හැබැයි ඕකේ ඇත්ත  මේකයි කියල මම හිතන්නේ .මම සෝවියට් දේශයේ ජිවත් වුන නිසාත් පසුව බ්‍රිතාන්‍යයේ ජිවත් වන නිසාත් ජර්මනියට නිතර යන නිසාත් දැන  ගත්ත දෙයක්. දැන් මොස්කව් වල වැඩියෙන්ම බැක්ටීරියා, වයිරස් උණ  පැතිරෙන්නේ  ශීත  කාලය අවසන් වනකොට නැත්නම් ශිත සමය  අවසන් වෙමින් වසන්තය ට එනකොට. ඒ කියන්නේ අධික ශීතලට (මේක නිකන් මවා  ගන්න)බෝල වගේ ගුලිවෙලා ඉන්න වයිරස් එලියට එනවා යන්තම් උණුසුම් වෙනකොට.  (අපට කියලා දුන්නේ එහෙම පළමුවෙනි අවුරුද්දේ ගුරුතුමියක්) එතකොට ඒ කාලෙට වැඩියෙන් පැතිරෙනවා. ගිම්හානය වෙනකොට මිනිසුන්ට  සනීපයි. ප්‍රතිෂක්තියත් ඇවිල්ලා. එනිසා වයිරස් එක තිබ්බ කියල හැදෙන්නේ නැහැ. ඒ කාලෙට මිනිස්සු පලතුරු කනවත් වැඩයි. ව්‍යායාම කරනවත් වැඩියි.
  එනිසා  ජර්මනිය සහ ස්වීඩනය වගේ රටවල් පැත්තට  යනකොට දැඩි ශීත කාලයේ මේ වයිරස් සහ බැක්ටීරියා අඩුයි.

මම සෝවියට් දේශයේ ඉන්න කාලේ වඩා හොඳට උණුසුමට  ඇඳගෙන එලියට යන්න කිවේ හිම දියවෙන කාලේ (ටීචර්ස් ලා ). ඒ කාලෙට තමා ලෙඩ වැඩි. හෙම්බිරිස්ස කාරයොත් වැඩියි.

දැන් රුසියාවේ තවම පැතිරෙනවා අඩුයි මේ වයිරසය . ඒත් ඇයි පූටින් ලෑස්ති වෙන්නේ  ලොකු රෝහලක් හදාගෙන ? තව  ඉස්සරහට රස්නේ එද්දී.

උදාහරණයකට ගත්තොත් එංගලන්තයේ වයිරස් සහ බැක්ටීරියා ජාති 80 විතර තියනවලු. ඒකට හේතුව මෙහෙ ශීත සමය  දරුණු නැති නිසා.  එනිසා මෙහෙ මිනිසුන්ට සාමාන්‍යයක් වශයෙන් හෙම්බිරිස්සාව සහ නියුමෝනියා තත්ත්ව ස්වභාවයෙන්ම වැඩියි.
අනික මේ කාලෙට තමයි අපේ ප්‍රතිශක්තිය අඩුම. වැඩිපුර විටමින් සී තියෙන පලතුරු කන්නේ පෙති බොන්නේ මේ කාලෙට.

එංගලන්තයට සාපේක්ෂව උතුරු යුරෝපයේ රටවල ජර්මනිය, ෆින්ලන්තය , ස්විට්සර්ලන්තය් වගේ රටවල වයිරස් වර්ග සහ බැක්ටීරියා අඩුයි .  30ක් වගේ ලු තිබෙන්නේ. (මේවා ගූගල් කරලා හොයා ගන්න පුළුවන්.)නමුත් ආයි ස්පාඤ්ඤ ය වගේ මදක් උණුසුම් රටවල් පැත්තට  පැත්තට යනකොට මේ ප්‍රතිශතය වැඩි වෙනවා.

සාමාන්‍යයෙන් රස්නේ ඇති (අංශක 40 ට යන ) සයිප්‍රස් වල මේ බැක්ටීරියා හා වයිරස් අඩුයි. ඒ වගේම ඒ මිනිසුන් ගේ ප්‍රතිශක්තිය වැඩියි.

සයිබීරියාවේ තිබෙන්නේත් මේ තත්වයමයි.හීතල වෙනකොට සෘණ 40 ට 50 යනවා. රස්නේ වෙනකොට +50 ට යනවා. එනිසා බැක්ටීරියා හා වෛරස රඳන්නේ නැහැ. හැබැයි ඉතින් රස්නේ රටවල වෙන දරුණු වෛරස් තියෙනවා. එබෝලා වගේ.

දැඩි හිරු රශ්මියට අනාවරණය කලොත් ගොඩක් විෂ බීජ නැතිවෙනවා කියල අපි දන්නවනේ.  එනිසා වෛරසය පැතිරීමේ වේගය අඩුවෙන්න පුළුවනි. ඒත් මාරයා එන්නේ හැංගිලා.

Wednesday 25 March 2020

ශ්‍රී ලංකාවේ කොරෝනාවයිරස් තත්වය

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසයේ පැතිරීම 
අද දින දක්වා ශ්‍රී ලංකාවේ කිසිදු කොරෝනාවයිරසය අනුබද්ධව ඇතිවූ අසනීප තත්වයන් නිසා සිදු වූ මරණ කිසිවක් වාර්තා වී නැත. ඉතා ඉක්මනින්  රෝගියා නිරීක්ෂණය කර   රෝහල්ගත කොට සුව වන තෙක් උපස්ථාන කිරීමේ ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාව අනුගමනය කරණ බව පෙනේ.  ශ්‍රී  ලංකාවේ ජාතික  සෞඛ්‍ය සේවය ට මල් කළඹක් පුද කිරීමට මෙය හොඳ අවස්ථාවක් යයි සිතමි.

එහෙත් ශ්‍රී ලංකාව තවමත් ඇත්තේ කොරෝනාවයිරස් වසංගතයේ මුල් අවධියේ බව නොකියා බැරිය.  එනම් මාර්තු පළමුවනදා සිට 25 දක්වා රෝගීන් 102 දෙනෙකි.
මෙයින් චීන කාන්තාවගෙන් කිසි කෙනකුට වෛරසය වැළඳුනු බවක් නොපෙන්වයි.  අනිකුත් චීන ජාතිකයන්ට රෝගය නොපෙන්වා වාහකයන් වීමේ අවස්ථාවක් තිබුනේ නැතිද?
නැත්නම් දවස් 14 ඇතුලත් ඊළඟ රෝගියා හමුවිය යුතුය. එසේ හමුවී ඇත. එනම් මාර්තු 14 රෝගීන් 6 දෙනෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එක් අයෙකු ගෙන් 2.2 ට පැතිරේ. එහෙත් දවස් 7 කදී හැත්තෑ දෙනෙකුට පැතිරී තිබුනේ නැත. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ගත් ක්‍රියා මාර්ග නිසා විය යුතුය.

නමුත් ඉතාලිය, ඇමෙරිකාව යන රටවලින් පැමිණි අයගෙන් රෝගය නැවත බෝවී තිබුණි. මේ නිසා 17දා වන විට 29 කුත් 21 දා වනවිට 59 කුත් හමුවී තිබේ. අද 25 දා වන විට 102 කි. ඒ අනුව දෙගුණයක් වීමේ ප්‍රවණතාවය එලෙසම තිබේ. මේ අනුව 30 දා වනවිට 230 පමණ හමුවිය හැකිය.
එය ඉහත  වගුවෙන් පෙනේ. රෝගීන් සංඛ්‍යාව වැඩිවන බව පැහැදිලිය.

යුරෝපයේ රෝගීන් සියයකට එක අයෙකුද දෙසීය වන විට දෙතුන් දෙනෙකුද මිය යාමේ ප්‍රවණතාවයක් තිබුණි.
මේ නිසා ශ්‍රී ලංකාවේ එකවරම රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇත්තේ අප්‍රේල් 2 හා 4 අතරය. එනම් බොහෝ විට රෝගීන් සංඛ්‍යාව  1126 සිට 4198 දක්වා වැඩිවිය  හැකිය.
මේ ගණනට  එනවිට හතළිහක පමණ පිරිසකට එය මාරාන්තික විය හැකිය.

මතක තබාගන්න මේවා ගණිතමය වශයෙන් එන සංඛ්‍යා මිස රටේ ඇඳිරි නිතිය පැවතීම වැනි සාධක සලකා බලා කරන පුරෝකථන  නොවේ.
ඒ කියන්නේ ශ්‍රී ලංකාව හා එහි වැසියන් ගන්නා ක්‍රියා මාර්ග මත වාසනාවන්ත ලෙස එසේ සිදු නොවීමට ඉඩකඩ තිබේ. 
බ්‍රිතාන්‍ය හෝ ඉතාලිය වැනි රටවල මෙන්  වසංගත තත්වය ගැන  නොසලකා හිටියොත් අවුරුදු සමය වනවිට මේ  රෝගීන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩිවිය හැකිය.  මරණ සංඛ්‍යාවද සීයත් දෙසීයත් අතර වනු ඇත.

ශ්‍රී ලංකා රජය ඇඳිරි නීතිය  පනවා ඇති අතර ජර්මනිය වැනි තත්වය පාලනය කර ඇති රටවල මෙන් දිස්ත්‍රික්ක අතර යෑම සීමා කර ඇත. සියලුම රෝගීන් තරයේ පරික්ෂා කරනු ලැබේ. මේවා සාධනීය තත්වයන්ය.එහෙත්  රෝගීන් ප්‍රමාණය වැඩිවුව හොත්  සෞඛ්‍ය සේවාවන්ට එය දරා ගැනීමට නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ වැසියන් එකිනෙකාට උදව් කරමින් අවබෝධයෙන් ක්‍රියා කරනු දැකීම සතුටකි.
 එනිසා තත්වය ගැන සීරුවෙන් කල්පනා කර බලා හැකි පමණ වෙන්ව සිටිමින් රෝගය පැතිරීම පාලනය කරගන්න.
අපේ ආදරණියයන්  වෙසෙන රට නිසා ඉහත අනාවැකි සිදු නොවන තරමට එය හිතට සහනයකි. 

වෙනත් ලිපි:
මුඛ ආවරණ පැළඳීම
චීනය මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි (කොරෝනා වෛරසය පැතිරී කාලය තුල)

Tuesday 24 March 2020

චීනය මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි (කොරෝනා වෛරසය පැතිරී කාලය තුල)

මේ ලිපිය සම්බන්ධ මුල් ලිපිය පළමුව කියවන්න.

මුඛ ආවරණ පැළඳීම

රෝගය බෝවන අන්දම දළ වශයෙන් 
(කරුණාකර කලින් පෝස්ටුව කියවා මෙය කියවන්න)
සියලු දෙනාටම ප්‍රශ්නයක් වන්නේ මුඛ ආවරණ පැළඳීම සමහරු බල කරද්දී විශේෂන්ඥ වෛද්‍යවරු එසේ නොකියන්නේ ඇයිද යන්නය. ඔවුන් නිවැරදි බව කලින් දැමූ පොස්ටුවේ කියුවෙමි. එසේ නම් චීනය වූහාන් ප්‍රදේශයේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි?
එය මෙසේ පැහැදිලි කරමි.

ලෝක සෞඛ්‍ය ය සංවිධානයට අනුව එක් අයෙකුගෙන් දෙදෙනෙකුට වත් අවම වශයෙන් වයිරසය පැතිරේ. (හරි ගණන 2.2 කි) ඒ නිසා දෙදෙනෙකුට, ඉන්පසු හතර දෙනෙකුට , ඉන් තවත් අට දෙනෙකුට, ඉන් තවත් 16 දෙනෙකුට වශයෙන් රෝගය පැතිරේ. රෝගය පැතිරීම ඉතා ඉක්මන්ය. 

 වයිරසය ඔබේ සිරුරේ තිබුනද රෝග ලක්ෂණ මතු වන්නේ දින 2-14 අතර කාලයක් තුලදීය. මෙයට කියන්නේ බීජෞෂණ සමය  incubation period කියාය.  මේ කාලය තුල වයිරසය ඇති තැනැත්තා අවුරුදු  උත්සවයක "සැඟවුණු  අමුත්තා " වැන්නෙකි. ඔහු හෝ ඇයගෙන් රෝගය බෝ වුනද රෝගය ඇතැයි ඔවුන් දන්නේ නැත. මෙහි සාමාන්‍යය අගය (Average)   දින 5 කි. දින 5ත් 14ත් ඇතුලත රෝගය වැළඳී මුඛ ආවරණ පළඳින්නට පටන් ගන්නා  විටදී  වැළඳුනු තැනැත්තා  බොහෝ විට තව කිහිප දෙනෙකුට එය පතුරුවා තිබෙන්නට පුළුවන. 

එනිසා මුහුණ වැස්මක් හෝ මුඛ ආවරණයක් පැළඳීම රෝගය නැති අයෙකුට අවශ්‍ය නැත. නමුත් රෝගය පැතිරීම අතිශයින් වේගවත් වීම නිසාත් රෝග ලක්ෂණ ඇති අය ඒ ගැන නොදැනුවත් වූ නිසාත් චීන බලධාරීන් සැමටම මුඛ ආවරණ පළඳවන්නට නියෝග කරන ලද බව පෙනේ. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ රෝගය වැළඳී එහෙත්  ඒ ගැන නොදත්ත වුන් ගෙන් රෝගය පැතිරීම වලක්වා ලීම විය හැක. 

බටහිර රටවල අවශ්‍ය ප්‍රමාණය ට මෙම මුඛ ආවරණ  නැති හෙයින් ඔවුන් එය පැළඳීම අනිවාර්ය කර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සපයන අයට පමණකි. ඒත් මුළු මුහුණම වාගේ වැසෙන පරිදිය.
Shocking Videos Show Chinese Authorities Humiliating People For Not Wearing Masks
මුලාශ්‍ර Coronavirus Disease 2019 (COVID-19)

මුඛ ආවරණ පැළඳීම

මුඛ ආවරණ රතු තරුවෙන් හදල දෙන එක හොඳයි. ඒ සමගම ඇඳුම් කට්ටලත් දෙන නිසා. ඒක විශිෂ්ඨ වැඩක්. හොඳ දේට  හොඳයි කියමු.

ඒත් සමහර ජවිපෙ සම්බන්ධ අය   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියපු දේ ප්‍රශ්න කරලා තිබුන. මුඛ ආවරණ අනිවාර්ය නැහැ කියන එක. නමුත් ඒක ඇත්ත.

කවුරුහරි කිවිසුමක් ඇරියොත් ඔබ ගාව ඉඳන් මුඛ ආවරණයෙන් බේරෙන්නේ මුව විතරයි. කෙළ බින්දු ඇහැට වැටෙන්න පුළුවන් ඒ එන වේගෙට, මුහුණේ ඉතිරි පෙදෙසට වැටෙන්න පුළුවන්.  කිවිසුමක වේගය පැයට  හැතැප්ම 100. නැත්නම් කිලෝමීටර 160ක්. අනිත් කොටස් ඔබේ මුහුණේ සහ ඇඟේ අනිත් තැන්වලට විසිරෙනවා.  ලක්ෂයක් පමණ විෂබීජ විසිවෙන්න පුළුවන්. ඒ කියන්නේ මුඛ ආවරණයෙන් බේරෙන්නේ 10-30% ප්‍රමාණයක් විතරයි. (ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය බලන්න ).

එක මුඛ ආවරණයක් (surgical) වරකට වඩා පැළඳිය නොහැකියි. හෝදා පැළඳීම ද කළ නොහැකියි . සමහර විට සම්පුර්ණයෙන්තැම්බිය යුතුයි. එවිට සර්ජිකල් එකක් නම් කිවිසුම් හෝ කතාවෙන් එන බිඳිති  උරා ගන්න කොටස විනාශ වෙනවා.

ඊට පස්සේ අතින් මූණ   ඇල්ලුවොත්  හැදෙනවා. එනිසා එක්කෝ හෙල්මට් එකක් දාන්න ඕනේ. නැත්නම් හාර්ඩ් වෙයාර් කඩේකින් බාසුන්නැහේ ලා දාන ප්ලාස්ටික් ඇස් ආවරණයක් දාන්න ඕනේ.
 වානේ  පෘෂ්ඨ (stainless steel) මත පැය 9 කුත් ප්ලාස්ටික් මත පැය හයකුත්  අනිකුත් පෘෂ්ඨ මත  පැයක් පමණත් වෛරසය රඳන නිසා අත් වැසුම් පළඳින්න ඕනේ. විශේෂයෙන් සල්ලි අත ගාන සුපර්මාකට් වල අය. අත් දෙක හැම වෙලේම හෝදන්න කියන්නේ ඒකයි. පිහදාන්න ඩෙටොල් නැත්නම් දෙහි ගෙඩියක් කපල අතුල්ලන්න. එපමණම  හොඳ නැති  වුනත් යම් සහනයක් තිබෙනවා.


සබන් තමා හොඳම. ඒකෙනුත් ඔය හොඳ සුවඳ ඒවා නෙමේ රෙදි හෝදන සබන් වගේ ඒවා . එසේම දෙමල ජනතාව ඉහින කහ වතුරත්  ඉතා හොඳයි කියනවා පැතිරීම වලක්වන්න.

කහ වතුර  ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍යනම් පහල යොමුවට යන්න.
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6509173/

Friday 20 March 2020

කොරෝනාවෙන් සමාජවාදයට ??

ඩිමිට්‍රි අර්කාදියෙවිච් නල්බන්දියන් - "සමූහ ගොවිපලක තරුණියක් "
දක්ෂිණාංශික කොන්සර්වේටිව් පක්ෂයේ මුදල් ඇමති (චාන්සලර්0 ඍෂි සුනාක් ගේ අයවැය බොහෝ දුරට "වියදම්" කිරීමේ අයවැයක් විය. එනම් ඔහු කුඩා ව්‍යාපාර හිමියන්ට සහන රැසක් දුන් අතර රැකියා ලාභීන් ගේ බදු සහනයද ඉහල දැමීය. කම්කරු පක්ෂ නායක ජෙරෙමි කෝබින් ගේ සමහර ප්‍රතිපත්ති ණයට ගත්තේ යයි සමහර කම්කරු පක්ෂ මන්ත්‍රීවරු චෝදනා ද නැගූහ.

එසේම කොරෝනවයිරසය මැඩලීම සඳහා තවත් පවුම් බිලියන 300ක්  ඔහු වෙන් කල අතර සමස්ත වැඩ කරන ජනතාවට වැඩ කලත් නොකලත් අවම වේතනයක්  (universal basic income) ගෙවීමටද යෝජනා කළේය. මෙය කෝබින් ගේ චන්ද පොරොන්දුවකි. රිෂි  සුනාක් ට  ස්තුති කරන ගමන්ම අගමැති බොරිස් ජොන්සන් පාසැල් වැසීම  මෙතරම් ප්‍රමාද කරන්නේ ඇයිද යන්න මට කුකුසක් විය. එය පැහැදිලි වුනේ ඔහු අවසානයේ පාසැල් මේ සිකුරාදා (20/03/2020) සිට වැසීමට එකඟ වුනත් එසේ කළේ අත්‍යවශ්‍ය සේවා සපයන අයගේ දරුවන්ට පාසල් ඒමට ඉඩකඩ සලසමිනි. එනම් ගුරුවර ගුරුවරියන් ඒ ළමයින් සඳහා  පාසල් පැමිණිය යුතුය. එම රැකියා අතරට සෞඛ්‍ය සේවය, පොලිසිය, ඩිලිවරි රියදුරු මහතුන්, හමුදාව ආදිය  ඇතුලත්ය. එයට හේතුව ලංකාව වැනි ආසියානු රටවල මෙන් ළමයි බලා ගැනීමට වැඩිහිටි සීය ලා, කිරි අම්මලා  එතරම් නැති වීමත් තාවකාලික නැනී ලා වියදම් අධික වීමත්ය. 

ඉංග්‍රීසි ජාතික යහළුවකු සමග කතා බහ කරන අතරේ මා ඔහුට පැවසුවේ මෙයට පිළිතුර තිබෙන්න සෝවියට් දේශය දරුවන් බලා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමය බවයි. රැකියාවට යන දෙමාපියන් ගේ දරුවන් බලා ගැනීම සඳහා  වූ නිකේතන පාසල් ක්‍රමයට සකස් වී තුබුණු අතර කුඩා දරුවන්ට එහි නිදා ගැනීමටද ඉඩ කඩ සලසා තිබුණි. පසු කලෙක ජර්මනිය එක්වූ පසු නැගෙනහිර ඒවා එසේම පවත්වාගෙන ගිය බවද නිරීක්ෂණය කලෙමි. මේවායෙහි රැකියා කරන ලද්දේ උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ලත් ගුරුවර ගුරුවරියන්ය. එක්සත් රාජධානියේ එවන් උසස්  අධ්‍යාපනයක් අවශ්‍ය නැත. වසංගත අවස්ථාවක සෝවියට් රජයට මේ පාසල් වැසීමට අවශ්‍යතාවයක් නැත.  
සෝවියට් දේශයේ ප්‍රශ්න බොහෝ තිබු බව අපි දනිමු. එය බිඳ වැටීමට ඒවා හේතු වන්නට ඇත. නමුත් එහි පැවතුන සාධනීය දේ වර්තමාන සමාජ ප්‍රවර්ධනය සඳහා යොදා ගත හැකිය. මේ එවැන්නකි.  

ඊළඟ කතාව කුකුලන් ගැනය. මේ ලිපියේ මම ඒ ගැන කලින් කතා කලෙමි.  
සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්
 අපි එම "රජයේ" කුකුළු මස් කෑමට අකමැති වූයෙමු. ඒවා රබර් වගේ ඇදෙන ගං කුකුළු මස් ජරාව බව ඇතැමෙක් කීහ. මේ කුකුළු මස් න්‍යෂ්ටික යුද්ධයක් හෝ වංසගත තත්වයකට මුහුණ දීමට මාස  හය හත විශාල අධි ශීතකරණ වල බහා තබා ගෙන පසුව වෙළඳ පලට නිකුත්  කරන බව ඇතැම්හු පැවසූහ.  සෝවියට් දේශය බිඳ වැටීමට ආසන්න කාලයේ හොලන්ඩ්  වලින් ගෙනා බ්‍රොයිලර් කුකුල්ලු ඊට වඩා රසවත් විය.  

නමුත් එම කුකුලන් දවස් 28 කුකුලන් බවත් , උන්ට කකුල් විහිදා කුකුල් හඬ නැගීමටවත්  අවසරයක් නැති බවත් ස්ටෙරොයිඩ් ගසා පුම්බා ඇති උන් කෑමට ගැනීම පිළිකා කාරක කෑමට ගැනීමක් බවත් දැන් අපි දන්නෙමු. අපි දැන් හොයන්නේ ගං කුකුලන් (organic) ය. 


රුසියානු ආච්චිගේ රිසයිකල් බෑගය 
තෙවැන්න නම් රුසියානු මිනිසෙකු හෝ බොහෝ දුරට බබුෂ්කා (මිත්තණියන්) සුපිරි වෙළඳ සැල් හෝ සාමාන්‍ය වෙළඳ සලකට, පොළට රැගෙන ගිය නැවත භාවිත කල හැකි (recycling ) බෑගයයි.  කිසිම නවීන පෙනුමක් නැති එම පරණ වුනු එම බෑග අපට සිනහ  උපදවන සුළු විය.  මා ඇතුළු ඇතැම් තරුණ සිසුන් ඒවාට සිනාසුනා මතකය.  අපි ඉතා ආඩම්බරයෙන් බටහිර රටවලින් බඩු මිලට ගත් විට දෙන විච්චුර්ණ පාට පාට ලස්සන විලාසිතාවන්ගේ මුහුණු පිරුණු ප්ලාස්ටික් බෑග ආඩම්බරයෙන් රැගෙන ගියෙමු. ඒ දවස් වල එය කූල් (cool) දෙයකි. (fashionable )

පියකරු රුසියානු යුවතියන්ද විදේශිකයන්ගෙන් ලත් එවන් ප්ලාස්ටික් බෑග් ආශාවෙන් රැගෙන ගියහ.

 දැන් මැදිවිය අවසන් කරමින් සිටින මා ලෝකය ප්ලාස්ටික් ව්‍යවසනයෙන් මුදා ගන්නට පරණ. නැවත  භාවිතා කළ හැකි බෑග වෙළඳ සලට යාමට භාවිතා කරමි.  දැන් කූල් බව එයයි.
මගේ මිතුරා නැවතත් ඈනුමක් අරී . ඔහු මගේ කතාවට  කැමති නැත.

"අජිත් ඔබ හැම වෙලේම සෝවියට් දේශයේ උදාහරණ ගේනවා. ඊට පස්සේ අපට දෝෂාරෝපණය කරනවා. අපිමොනවාද කළේ "

මම ඔහුට පිළිතුරු දෙමි.
"මුකුත් කළේ නැත" (Nothing)

මාද ඇතුළුව , අප කිසිවක් කලේ නැත.


ඒ රට බිඳී වැටීම කම්පනයක් ඇති කලද ඒ ගැන  සතුටු වුනෙමු. 
"දැන් රුස්සාට පිට රට යන්න පුළුවන්. පිටරට බඩු ගන්න පුළුවන් " අපට මෙන්ම බහුතරයක් සෝවියට් වැසියනටද  හිතුනේ එලෙසය. 

මට දැන් හැඟෙන්නේ සෝවියට් දේශය හිතුවක්කාරී තරුණ දරුවෙකු වශයෙනි.

හදා ගන්නට තිබුනා  නේද යයි සිතේ. 


පින්තූරය  The Collective Farm Girl

ඔබට සමාජවාදය ගැන  නව කියවීමක් අවශ්‍ය නම් පරණ වාමවාදී පක්ෂ වලින් එය ගත නොහැකිය. ඔවුන් ගේ යල්පැනගිය මතවාදයන්  ප්‍රතික්ෂේප වී ඇත. ඔවුන් ඔබට කියා දුන්නේ අප දුටු සමාජවාදය නොවේ. 
ඒ සඳහා ඔබ යා යුත්තේ මෙතනටය .


Monday 16 March 2020

ජොන්සන් ට වැරදුනා ද ජොන්සන්

හර්බට් ස්පෙන්සර් 
මාර්තු 16 දා තත්වය WHOP

ශක්තිවන්තයා නොනැසී ජිවත් වනු ඇත  "Survival of the Fittest" යන අදහස මුලින්ම විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස පළ කලේ හර්බට් ස්පෙන්සර් නමැති දර්ශනවාදියා සහ විද්‍යාඥයා ය.  
ඔහුගේ එම අදහස ණයට  ඉල්ලා ගත් චාර්ල්ස් ඩාවින්  පරිණාමවාදය පිලිබඳ "සත්ව සම්භවය " පොතේ එම වාක්‍යය  ඇතුලත් කලේ "ස්වභාවික තෝරා ගැනීම " "Natural Selection" පිලිබඳ ඔහුගේ න්‍යාය වඩාත් පැහැදිලි කිරීම සඳහාය.  ස්වභාව ධර්මයාගේ වෙනස් වීමට අනුව හැඩ ගැසෙන ජීවී වර්ග පවතිනු ඇත යන්න පරිණාමවාදයේ මූලික ඉගැන්වීමකි. වෛරස හා බැක්ටීරියා වලට එරෙහිව අපගේ සිරුරේ ප්‍රතිශක්තිය ඇතිවීමද මේ හා සම්බන්ධය.

ඉතාලියේ සෞඛ්‍ය සේවාව පවසන්නේ ඔවුන්ට  තව දුරත් වැඩිහිටි වයස 80ට වැඩි ජනතාව මෙන්ම වෙනත් ලෙඩ රෝග වලින් පීඩා  විඳින්නන් සඳහා කටයුතු කිරීමට නොහැකි බවය. එනිසා ඔවුන්ට ඉතිරිව ඇත්තේ දන්නා දහමක පිහිටි ඉල්ලලා යාදිනි කීමට හෝ තම ඉරණම භාර ගැනීම පමණකි.
  කොරෝනවයිරසයෙන් එන තර්ජනය මිදීමට නොයෙකුත්  රටවල් මහජන චීනය අනුව යමින් පාසල් හා විශ්ව විද්‍යාල වසා දැමීම, මිනිසුන් ගැවසෙන උත්සව තහනම් කිරීම, ආපන ශාලා බිම හල් ආදිය වසා දැමීම වැනි  උපක්‍රම අනුගමනය  කරති. මදක් ඒකාධිකාරී බවක් පෙනුනද එම දැඩි නීති නිවා වයිරසය පැතිරීමේ වේගය පාලනය වෙතියි ඔවුහු සිතති. මහජන චීනයේ එය සාර්ථක වෙමින් පවතී.

 එහෙත් මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඒ වෙනුවට රැළේ ප්‍රතිශක්තිකරණය හෙවත් herd immunity ක්‍රමය අනුගමනය විද්‍යාත්මක උපදෙස් මත අනුගමනය කරන බව මහජනයාට දැනුම් දී තිබේ.


ඔහු එසේ දැනුම් දුන්නේ ඔබේ ආදරණියයන් මිය යනු   ඇත යන අනතුරු හැඟවීම සමගය.

මා ඒ පිළිබඳව බ්ලොග් පෝස්ටුවක් ලියුවෙමි. 

මා එහි ලියුවේ අගමැති තුමනි ඔබේ ආදිතමයන් කියූ දේ අකුරටම පිළිපැදීම අවශ්‍ය නැත යන්නයි. අපේ දෙමාපියන් අප කුඩා කාලයේ කම්මුල්ගාය, පැපොල වැනි වයිරස් මගින් බෝවෙන  රෝග වැළඳුන  දරුවන් අසලට ඕනා කමින් රැගෙන ගියේ රෝගය කුඩා කාලයේ බෝවුණු පසු නැවත නොවැළඳෙන බැවිනි. හේතුව එමගින් ඇතිවන ප්‍රතිශක්තිකරණය බව සැම  දෙනාම දනිති. 

නමුත් ඒ හැත්තෑව , අසූව දශකයන්හිදීය. මේ විසි එක්වැනි ශතවර්ශයයි.  එමනිසා මේ Herd immunity මතවාදය ළමයින්ට ගැලපුනත් වැඩිහිටියන්ට ගැලපෙන්නේ නැත.  

මා විසින් දත්ත රැගෙන කරන ලද ප්‍රස්ථාරයේ ලෝක මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල යන බව දැක්වෙයි. දත්ත ලබා ගත්තේ ලෝක සෞඛ්‍ය  සංවිධානයේ වෙබ් අඩවියෙනි. මේ ප්‍රතිශතය දැන් 3.7% පමණ වේ. එනම් මිනිසුන් ලක්ෂයක් ගත්තොත් මරණ සංඛ්‍යාව 3700 කි.
World wide death rate 



increase in UK
මා ගිය ඉරිදා LBC නමැති රේඩියෝව අසන විට එහි වැඩ සටහන් මෙහෙයවන්නා  "Survival of the Fittest"  සංකල්පය යුජෙනික්ස් (eugenics ) හෙවත් සුජනක ප්‍රවේනි විද්‍යාවට අයත් බව කියමින් බැණ වැදුනි. මදක් අසනවිට ඔහු කතා කරන්නේ මගේ පොස්ටුව ගැන මට වැටහුණි. මා කීවේ බ්‍රිතාන්‍ය රජයේ ප්‍රතිපත්තිය  "Survival of the Fittest" සංකල්පයට සමාන වන්නේ ඔවුන් රැලේ ප්‍රතිශක්තිකරණ අදහසට ඉඩ දුනහොත් බවය. එයට හේතුව මේ වෛරසය ක්‍රියාත්මක වන්නේ එලෙසින් බැවිනි. ඒ  දුර්වල මහලු අය හා ලෙඩ ඇති අය මියයමින් එක්තරා අන්දමකට කෙරෙන  "ශුද්ධය" නිසාය.  ඉන් බේරෙන තරුණ උදවියගේ පෙනහළු වලටද දැඩි හානි සිදුවේ.


චීනයේ මරණ සංඛ්‍යාව දහය දක්වා අඩුවී ඇත. නව රෝගින් සංඛ්‍යාව 27 කි. (මුළු රෝගීන් සංඛ්‍යාව තවම අසූ එක්දහසකි.  අද එක්සත් රාජධානියේ මරණ සංඛ්‍යාව 55 දක්වා (එනම් 20 කින්) වැඩිවී ඇත.

ඉංග්‍රීසියෙන් ලියූ ලිපියේ මා අදහස් කළේ  චීනයේ හෝ ඉතාලියේ මෙන් දැඩි තීරණයක් ගෙන මිනිසුන් වැඩිපුර  ගැවසෙන  ස්ථාන තහනම් කිරීම, පාසල් වැසීම යනාදිය  කල යුතු බවයි. 
අද බොරිස් ජොන්සන් කල පුවත්පත් සාකච්ඡාවෙන් පැහැදිලි වුයේ ඔහු එම ක්‍රියාමාර්ගයට කෙමෙන් එළඹෙමින් තිබෙන වගයි. තව දුරටත් රැලේ ප්‍රතිශක්තිකරණය වෙනුවට ඔහු නිවෙස් වලට වී හැකිනම් රැකියා කරන ලෙසටත් අනවශ්‍ය ගමන් නොයන් ලෙසටත් අවවාද කරයි. බොහෝවිට නගර වසා  දැමීමක් දක්වා මෙය ඉදිරියට යනු ඇත.

මූලාශ්‍ර : WHO Situation Report

  
උපුටා ගැනීමේදී කරුණාකර යොමුව ඇතුලත් කරන්න.

Friday 13 March 2020

චීනයේ කොරෝනා ආසාදිතයන් හා චීනයේ මිය යන ප්‍රමාණය

චීනයේ කොරෝනා ආසාදිතයන් හා චීනයේ මිය යන ප්‍රමාණය



චීනයේ කොරෝන ආසාදිතයන් නැති යයි කීම තේරුමක් නැති දෙයකි. චීනයේ කොරෝනා  ආසාදිතයන් තවමත් සිටී .  එසේනම් ඔවුන් ජය ගත්තා යයි කියන්නේ ඇයි ?
ඔවුන් එසේ කියන්නේ රෝගයේ උච්චතම අවස්ථාවේ (peak ) තිබූ ආසාදිතයන්  ගේ ප්‍රමාණය හා මියගිය අද තත්වය හා සංසන්දනය  කරන විට සීග්‍රයෙන් අඩුවන නිසාය.
මාර්තු පල වනදා හා දෙවන නව මරණ 35 හා 42 තිබුනද 12 දා වන විට එය 11 දක්වා පහත බැස ඇත.

China  Sick Death New Deaths
01/03/2020 87137 2873 35
02/03/2020 80174 2915 42
03/03/2020 80304 2946 31
09/03/2020 80904 3123 23
10/03/2020 80924 3140 17
11/03/2020 80955 3162 22
12/03/2020 80981 3173 11


එසේම මාර්තු පළමු වනදා අසාදිත සංඛ්‍යාව 87137 වුවද මාර්තු 12 දා 80981 කි. හත් දහසකින් අඩුවී ඇත.
නමුත් නෝනා වරුනි මහත්වරුනි චීනයේ තවමත් ආසාදිතයන් සිටිති..
එසේම මේ සියල්ලෝම වුහාන් වල පමණකි යයිද  ඔවුන්ට එලියට එන්න දෙන්නේ නැති කිමද බොරුවකි. බෙයිජිං වල හාරසිය ගනනක් ආසාදිතයන් සිටිති. ඔවුන් සිටින්නේ රෝහල් වල විය හැකිය. එලියට එන්න නොදෙනවා විය හැකිය. නමුත් වුහාන් වලින් එළියේ ආසාදිතයන් සිටිති.

අවසන් වශයෙන් කිව යුතුව  ඇත්තේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය තවම අවදානම්  රටක් වශයෙන් නම් කර තබා තිබෙන බවයි..

මේ කියන්නේ මම හෝ 3%   නොවේ. ලෝක  සෞඛ්‍යය සංවිධානයයි.


මූලාශ්‍ර - ලෝක සෞඛ්‍ය ය සංවිධානය 


Thursday 5 March 2020

කොරෝනාව ඩිසයිනර් වයිරසයක්ද

එක්තරා අන්දමකට මෙම COVID 19 නව කොරෝනා වයිරසය පැතිරෙන්නේ කිසියම්  දේශපාලන මතවාදයකට අනුකුලව බවක් පෙනීයයි . එනම් මිය යන්නේ ප්‍රථමයෙන්ම කිසියම් දීර්ඝ කාලින රෝගී තත්ත්ව   ඇති අය හෝ දියවැඩියාව වැනි රෝගී   තත්ව ඇති අයය. මේ රෝග ඇති අය ජිවත් කරවීමට හා ඖෂධ වලට යන වියදම අඩුවේ.  ඊළඟට මිය යන්නේ වැඩිහිටි වයස 60ට වැඩි අයය.  ඔවුන්ට ගෙවන විශ්‍රාම වැටුප එම රටවලට  ඉතිරි වේ. හිට්ලර් වැනි ඒකාධිපතියන් ට හරියන වයිරසයකි.

 ළමයින් හා තරුණ තරුණියන් ද වයස 45 ට අඩු අයද බොහෝ විට සුවපත්වේ. ඔවුන්ගේ රෝග ලක්ෂණ ද දරුණු නැත. හරියට ඩිසයිනර් (සැලසුම් කල ) වයිරසයක් මෙනි. වවුලෙක් හෝ වෙනත් සතෙකු ගෙන් මේ  වෛරසය බෝ වුනා  නම් ඒ සත්වයා   මැවුම් කරුටත් එහා දක්ෂයෙකි.

චීනයේ කර්මාන්තශාලා බොහොමයක් වසා  දමා ඇත. ඒවායින් සිදුවූ වායු ගෝල දුෂණය සම්පුර්ණයෙන්ම පාහේ නැවතී ඇත. ඇමරිකාවේ ට්‍රම්ප් , බ්‍රිතාන්‍යයේ ජොන්සන් ගේ පටන් ඉරානයේ  මුල්ලා  වරු දක්වා දක්ෂිනාන්ෂික දේශපාලනඥයන් කබලෙන් ලිපට වැටී ඇත .  ඉදිරියේදී ආර්ථික වර්ධන වේගය  අඩුවී රැකියා විරහිත භාවය වර්ධනය වනු ඇත. බ්‍රිතාන්‍ය ගුවන් යානා සමාගමක් දැනටමත් බංකොලොත් වී ඇතැයි කියති.

මෙය සමහරවිට කොමියුනිස්ට් කාරයන් ගේ කුමන්ත්‍රණයක් වන්නටද බැරි නැත.  මෙවැනි දෙයකින් කඩා වැටෙන ආර්ථිකය හමුවේ විප්ලවයක් වීමටද බැරි නැත.

දෙයියන්  වහන්සේ විසින් එවා ඇත්නම් මේ ඒවා ඇත්තේ අරුම පුදුම වයිරසයකි. පව්කාරයන් ද වයසක අයද ඉක්මනින්ම දෙව් තුරුලට ගනී.

පින්තූරය ගත්තේ මෙතැනිනි.
(උපහාසයට ලියූවකි.  වැඩිය ගණන් ගන්නට එපාය )

 කොරෝනා  වයිරසය සහ HIV සම්බන්ධය 

මුල් ලිපිය: නව කොරෝනා වයිරසය ගැන චීනය අවංකද?



බ්‍රිතාන්‍යයේ අසනීප සංඛ්‍යාව  අද 115 දක්වා ඉහල නැග ඇත. මුළු ලෝකයේම එම සංඛ්‍යාව 96440 පමණ වේ. මා විසින් හැදු එක්සෙල් පත්‍රයක මේ වගුව මෙසේ පෙන්විය හැකිය.

බ්‍රිතාන්‍යයේ 


මෙහි එය සීග්‍රයෙන් පැතිරෙන බවක් පෙන්නුම් කරයි. මරණ සංඛ්‍යාව 3.4% කි. හැබැයි මෙය තවම ඉතා ඉහල අගයක් නොවේ.
ලෝකයේ තත්වය 


පහත සඳහන්  HIV සම්බන්ධ කොටස මා ලීවේ සති දෙකකට පමණ පෙරදීය.

අළුත්ම පුවතකින් කියවෙන්නේ ස්පාඤ්ඤ යේ කොරෝන වයිරස් රෝගියෙකුට HIV රෝගයට දෙන බෙහතක් දීමෙන් සුවය ලබා ඇති බවය. මේ අනුව ඉන්දීය විද්‍යාඥයන් කළ පර්යේෂණ ලිපිය නිවැරදි වන්නට ඉඩක් නොමැතිද යන ප්‍රශ්නය  හට ගනී. (2020-03-05)

 Spanish coronavirus patient recovers after being treated with an HIV drug that stops the deadly virus replicating


දැනට ලැබෙන දත්ත අනුව මිය යන ප්‍රමාණය 3.42% පමනද සුව වන ප්‍රමාණය 96% පමනද වේ. 
ගිය මාසයේ පෙබරවාරි 10 වනදා ම ලියු ලිපියේ ඉතිරි කොටස මෙයයි.

දැන් මම ඊළඟට මේ   ලිපියට අවධානය  යොමු කරන්නට කැමතිය. ඒ   නව කොරෝනා වෛරසය ගැන පලකල නවතම අදහසටය. මේ පර්යේෂණාත්මක ලිපිය  ඉදිරිපත් කර තිබෙන්නේ  ඉන්දියානු ජීව විද්‍යාඥයන්  සමූහයක් විසිනි.  භෞතික විද්‍යා පර්යේෂණ ලිපි පල කරන අර්කයිව් (archive.org) වෙබ් අඩවියේ මෙන්ම ජිව විද්‍යාව සම්බන්ධ පර්යේෂණාත්මක ලිපි පලකරන https://www.biorxiv.org/  වෙබ් අඩවියේ මෙම පර්යේෂණ ලිපිය පළ කෙරුනේ ජනවාරි 10 දාය. (පින්තූරය බලන්න ) . කිසියම් ජිව විද්‍යා පර්යේෂකයෙකු වේනම් මෙම පර්යේෂණ විස්තර කියවා ඒවා නිවැරදිද යන්න පහදන්නේ නම් මැනවි. භෞතික විද්‍යාව මිස ජිව විද්‍යාව යනු මා වැඩිදුර දන්නා විෂයක් නොවේ. මේ පර්යේෂණාත්මක  ලිපියේ මුඛ්‍ය අදහස වන්නේ නව කොරෝනා වෛරසයේ 2019-nCov. ප්‍රෝටීන් බහළුම්  HIV -1 GP120 සහ HIV-1 GAG වෛරස වලට  සමාන බවය. ඒ කියන්නේ ඒඩ්ස් වෛරසයේ ප්‍රභේදයන් දෙකකට සමාන බවය. අවශ්‍ය කෙනෙකුට මා ළඟ තිබෙන මේ පර්යේෂණාත්මක ලිපිය එවිය හැකිය. නැත්නම් යොමුවෙන් බාගත හැකිය.




බ්‍රිතාන්‍යයේ 
ඕනෑම ශාස්ත්‍රීය පර්යේෂණ ලිපියක් අනිකුත් විද්‍යාඥයන් විසින් කියවා පර්යේෂණයේ දෝෂ සොයා බලා  අනුමත කල යුතුය.  මෙයට කියන්නේ peer review කියාය. මේ ලිපිය පර්යේෂණ දත්ත නිවැරදිව අධ්‍යනය කොට නිගමනයන් ඉදිරිපත් කර නැති  බව කියවේ. එනිසා ලිපිය ඉවත් කරගෙන ඇත.

එසේම නව කොරෝනා වෛරසය විද්‍යාගාර තත්වයන් යටතේ නිපදවන්නට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ.

ඒ අතරම මෙන්න මේ නිරීක්ෂණය ද  වැදගත් යයි සිතමි. පසුගිය අවුරුදු  දෙක තුල චීනය වැඩි වශයෙන්ම ආයෝජන කර ඇත්තේ ඖෂධ සමාගම් වලට හා ඖෂධ නිපදවීම් වලටය. ඇමෙරිකණු  එක්සත් ජනපද වෙළඳ පළ මෙන්ම  යුරෝපිය වෙළඳ පල සඳහාද  ප්‍රධාන වශයෙන් සටන් කරන රටවල් දෙක ඉන්දියාව  සහ චීනයයි. නව කොරෝනා වෛරසය ඒමට මසකට පෙර එකොනොමික්ස් සඟරාව  මේ ලිපිය පළ කර තිබුණි. චීනයේ ඖෂධ නිපදවීමේ කර්මාන්තය  දියුණු වෙමින් තිබේ.      එම වසරේම (2019) ඔක්තෝබර් මාසයේ පලවන මේ ලිපියේ චීනය විසින් "කෘතීම බුද්ධිමය දියුණුව " AI  artificial intelligence  ඖෂධ නිපදවීම සඳහා යොදා ගන්නා බවත් ඒ සඳහා ආයෝජන කරන බවත්  පළ කරයි. ඖෂධ නිපදවීමට ලෙඩද නිපදවිය යුතුය.

නව වෛරසය වැරදුණු කුරුමානමක්ද? අපට සත්‍යය හරියටම දැනගත හැකිද?

ඒ කෙසේ වෙතත් එම වෛරසයෙන් බේරීම ඉතා වැදගත්ය. එංගලන්තය පොලිසියට හදිසි බලතල ලබා දී තිබෙන්නේ රෝගීන් බලෙන් තබා ගැනීමටය. චීනයේ රෝගී අයට නිවෙස්  වලින් එලියට ඒමට බැරි පරිදි දොරවල් වෙල්ඩින් කර වසා දමන බව දුටිමි.



මූලාශ්‍ර :

What to know about coronaviruses

Where Coronaviruses Come From

Inside the Chinese lab poised to study world's most dangerous pathogens

The Wuhan Virus Is Not a Lab-Made Bioweapon

Uncanny similarity of unique inserts in the 2019-nCoV spike protein to HIV-1 gp120 and Gag

China investing heavily in AI to boost pharma sector, says analyst

China’s pharmaceuticals industry is growing up

WHO sees more evidence of civet role in SARS