Thursday 29 April 2021

ගුවන් විදුලියේ මහා ගෙදරට පා තැබුවෙමි

මට ගුවන් විදුලි සංස්ථාවේ සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා ලැබුනේ චිත්‍රපට වලට හා නාට්‍ය වලට හඬ කවන ශිල්පිනියක් වන ඉනෝකා බොතේජු මහත්මියගෙනි. ඒ ඉනෝකා බොතේජු ගේ "සඳ සංහිතාව" වැඩ සටහනට සහභාගී වන්නටය. 

 ඇගේ සැමියා ශාන්ත බණ්ඩාර ද රැකියාව කලේද ගුවන් විදුලි සංස්ථාවේමය.ඔහු බොහෝ ජාතක කතා නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම මෙන්ම නාට්‍ය  පිටපත් රචනයේද යෙදී සිටි.ඉනෝකා ගේ ආරාධනය මා භාර ගත්තේ ගුවන් විදුලි සංස්ථාව යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය සන්නිවේදන ඉතිහාසයේ සුවිසේෂි ස්ථානයක් සළකුණු කෙරෙනා ස්ථානයක් මෙන්ම ගුවන් විදුලි සේවයන්හි මහා ගෙදරද වීම නිසාය. 

 එනිසාම  ඉනෝකා බොතේජු මහත්මිය ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි කරා සංචාරයක් කිරීමටද ආරාධනා කල විට එය සතුටින් භාර ගතිමි. අප මුලින්ම නැරඹුවේ ඩී එම්කො ළඹගේ මැදිරියයි. ගුවන් විදුලියේ නාට්‍ය පිටපත් පුහුණු වෙන කවාකාර මේසයක් සහිත තැනකට ගිය විට පසුගිය දවසක රුපවාහිනිය නැති කලෙක රේඩියෝව ළඟට  එකතුව ඇසූ  ඇසූ මොනරතැන්න, මුවන් පැලැස්ස මෙන්ම ළමා නාට්‍යද සිහිපත් විනි. සමන් අතාවුද හෙට්ටි හඬ කැවූ ජිල්ජෝනා හා වැන්දබෝනා ගේ "ලන්දේසි දූපත" කතාව  මතකද? 

 පාවහන්  එළියේ ගලවා තබා  මැදිරියකට ඇතුළුවී  දහවල් ප්‍රවෘත්ති විකාශනයකට  සවන් දුනිමි. විකාශනයට කලින් දැන් යන වාදනය "ඇන් ඇම් ට පුලුවන්ද හත් හවුල පෙරලන්න" හෝ එදා ජාතිවාදී ප්‍රකාශනයක් වූ "සිරිමක්ක දැන් ඉන්නේ දෙමලුන්ගේ පිටි පස්සේ " යන්න නම් නොවේ. ගුවන් විදුලියේ එදා අතීතයේ සිට විකාශනයන් සඳහා  භාවිතා කරන ලද උපකරණ නරඹමින් යන අතරේ එහි ප්‍රධාන කොරිඩෝරයක සිට ඡායාරුපයක් ගත්තෙමි. සුනිල්  ශාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව, ජෝතිපාල, එම් එස් ප්‍රනාන්දු, මිල්ටන් ලා දෙදෙනා, සිසිර-ඉන්ද්‍රානි, සනත්-මල්කාන්ති නන්දසිරි, නන්දා මාලිනි,  ශ්‍රීමති තිලකරත්න, මාලනී  බුලත්සිංහල ආදී සියල්ලෝම නිතර මෙහි ඇවිදින්නට ඇත.
සුභාෂිනී ද සිල්වා සහ ඉනෝකා බොතේජු සමග

ඉතා පැරණි ගීත


පැරණි පටිගත කරන ලද නිදහස් උත්සවයක්
සනත් මෙන්ඩිස් සමග


මා විශ්මයට පත් කළ, කලින්  අසා තිබුනද එහෙත් එහි  අගය හරිහැටි  නොවැටහුණු ස්ථානයකට අප එළඹුණේ ඉන් පසුවය. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගීත (තැටි) සංරක්ෂනාගාරයයි. මෙය දකුණු ආසියාවේ දැනට පවතින විශාලතම එවැනි පුස්තකාලය යයි අසා ඇත්තෙමි. 

"අරුම පුදුම රෝද හතර" වැඩ සටහනේ නුවන් ජූඩ් ලියනගේ මේ සංරක්ෂනාගාරයේ මිනිස් පරිගණකය වන සනත් මෙන්ඩිස් මහතා සමග ඒ ගැන විමසන අයුරු පහල ඇති යොමුවෙන් නැරඹිය හැකිය. 

සනත් මෙන්ඩිස් ට ඕනෑම ගීත තැටියක් තිබෙන ස්ථානය මතකය. ඔහු මටද මා ඇසූ සැනින් ගීත තැටියක් තෝරා දුන්නේය. ගීත වාදනය කරන විශාල ටේප් එක සහිත යන්ත්‍රය වාදනය කර පෙන්වූයේ තිලකරත්න අධිකාරී මහතා ය. සංරක්ෂණාගාරය සනත් මෙන්ඩිස් ඇතුළු තවත් හතර දෙනෙකුන්  සමග ඉතා හොඳින් රැක බලා ගනිමින් පවතාගෙන යන්නේ සුභාෂිණී ද සිල්වා මහත්මියයි. ඇය බොහෝ කාලයක් එහි රැකියාව කරන්නීය.

සුභාෂිනී ද සිල්වා  පැවසූ පරිදි මෙහි ගීත තැටි දෙලක්ෂ පනස්දහසකට වැඩි ගණනක් සුරක්ෂිතව  ඇත. ඒ අනුව තනි ගීත (එක තැටියක ගීත කිහිපයක් අඩංගු වන විට) මිලියන දෙකකට වඩා තිබිය යුතුය. මෙහි ඇත්තේ ගීත තැටි පමණක්ම නොවේ. එක්දහස් නමසිය හතලිස් ගණන් වල සිට පැවැත්වූ ගුවන් විදුලිය මගින් පටිගත කළ සෑම නිදහස් උත්සවයක්ම, පාර්ලිමේන්තුව විවෘත කිරීමක් හෝ වෙනත් රටවල් රාජ්‍ය නායකයන් ගේ පැමිණීමක් පිලිබඳ විස්තර ද මෙහි ගබඩා කර ඇත. කෙනකුට කිසියම් වසරක නිදහස් උත්සවයකදී  රටේ අග්‍රාමාත්‍යවරයා කළ කතාවක් මෙහි ඇති පරිගණක මගින්  සොයා ගත හැකිය. සන්නිවේදන අංශයේ රැකියා කරන්නන්ට මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට , සන්නිවේදන මාධ්‍යයන් ගැන පර්යේෂණ කරන්නන්ටද මේ දත්ත ගබඩාවෙන් ඇති ප්‍රයෝජනය ඉමහත්ය. සුභාෂිනි ද සිල්වා මහත්මිය ඇතුළු සංරක්ෂනාගාරයේ සේවයේ නියුතු සියලුම මහත්ම මහත්මීන් ඒ ගැන ඉතා කැපවීමකින් කටයුතු කරමින් මේ සියලු හඬපට පරිගණකගත කර රැක ගැනීමේ කාර්යයේ  යෙදී සිටිති.  මේ ස්ථානය රක ගැනීම ජාතික වගකීමක් ලෙස සිතමි.

 මේ සංරක්ෂනාගරයට ඇතුලත් විය යුත්තේ පාවහන් ගලවා තබාය. වැලි දූවිලි ආදිය ඇතුලත් වීම වැළැක්වීමටය. එසේම බොහෝ පටිගත කිරීමේ මැදිරි වලටද ඇතුළු විය යුතු වන්නේ පාවහන් ගලවා තබා ආගමික ස්ථානයකට ඇතුළු වන්නාක් මෙනි. අප ඉන්පසු ගුවන් විදුලියේ සුභාවිත වැඩ සරල ගී වැඩ සටහනක් පටිගත කරනු නැරඹුවෙමු. 
 එම් එස් ප්‍රනාන්දු මහතාගේ ගීයක් වන "ඔබට තිබෙන ආදරේ මම "සරල ගී ශිල්පී පසන් කරුණාරත්න විසින් ගයනු මම යූටියුබයට ඇතුලත් කලෙමි. (යොමුව)  ඔහුගේ කටහඬ එම් එස් ප්‍රනාන්දු මහතාගේ මෙන්ම ගැඹුරු සවන පිනවන්නක් විය.

එසේම සරල ගී ශිල්පිණී සඳලි දිල්හාරා විසින් ඇන්ජලින් ගුණතිලකගේ "පෙම්වතියන්නේ" ගීතය ගයනු මේ යොමුවෙන් නැරඹිය හැකිය. ඇගේ කටහඬ ද විස්මය දනවන සේ ඇන්ජලින් ගුණතිලකගායන ශිල්පිනියගේ මධුර කටහඬ ට බොහෝ සෙයින් සමානයයි මට හැඟිණි. 

ආනන්ද සමරකෝන් මැදිරියේ දී පටිගත කෙරුණු, සිංහල හා දෙමළ  අලුත් අවුරුද්ද සැමරීමට පැවැත්වුණු  සංගීතාන්ජලී වැඩ සටහන නැරඹීමේ අවස්ථාවක් ද  ලදිමි. එහිදී විශාරද ටි එම් ජයරත්න, වෝල්ටර් ප්‍රනාන්දු, අමිතා වැදිසිංහ, ඩිස්නි නාකන්දල  ගේ ගීත ද සහ ගයාන් මිහිඳුකුල ගේ සංගීතය හා එම කණ්ඩායමේ විසිතුරු නර්තනයන්ද රස වින්දෙමි.

මේ දවස උදා  කර දීම ගැන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉනෝකා  බොතේජු සොයුරියට සහ ලංකාදීප මාධ්‍යවේදිනී පද්මි මාතරගේ සොයුරියට  ස්තුතිවන්ත වෙමි.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයට  - FM 91.7/91.9 ඔස්සේ සවන් දිය හැකිය.