Friday 21 January 2022

දුරේක්ෂයකින් ග්‍රහලෝක හා තාරකා බැලීමට පෙර

දුරේක්ෂ අරගන්න හුඟක් අය ඒවාන්  කෙලින්ම තාරකා බලන්න උත්සාහ කරන බවත් ෆෝකස් කරල කරල බැරිම තැන අතහැර දමන බවත් දැන ගන්න ලැබුන. ඒ නිසා මෙන්න මේ පොඩි වීඩියෝව කරලා යූටියුබ් චැනල් එකට දැම්ම..
ඊට කලින් මම 2015 දී වගේ ලියුව මේ ලිපි දෙකත් බලන්න.


කැමැතිනම් මේකත් කියවන්න. 

පළමුවෙනි ලිපියේ සෑහෙන විස්තර ප්‍රමාණයක් තිබෙන නිසා මම නැවත  ඒවා ලියන්න යන්නේ නැහැ. මගේ දුරේක්ෂය හෙවත් ටෙලස්කෝපය සෙලෙස්ට්‍රෝන් 127 නෙක්ස්ට් ස්ටාර් කියන වර්ගයේ. ඒක වර්තක (refractor) වර්ගයේ කියල කියන්න පුළුවන් තරමක් දුරට. වඩා හොඳ අර්ථ දැක්වීම මක්සුටෝව් කැසග්‍රෙන් වර්ගයේ කියන එක. 

නම ඇවිල්ල තියෙන්නේ රුසියානු ආධුනික තාරකා විද්‍යාඥයෙකු හා අක්ෂි විශේෂඥයෙකු වන  දිමිත්‍රි දිමිත්‍රියෙවිච් මක්සුටෝව් ගේ මුල් නමින් හා ලොරෙන්ට් කැසග්‍රෙන් කියන කතෝලික දේවගැතිවරයාගේ වාසගමින්.  ලොරෙන්ට් කැසග්‍රෙන් පරාවර්තක (reflective)  ටෙලස්කෝප් එකක් හැදුව එක්දාස් හයසිය ගණන්වල.  ඒක භාවිතා කරලා 1931 දී බනාර්ඩ් ෂ්මිද්ට් තමන්ගේ ප්ලේට් එකක් Schmidt corrector plate දාල හදපු ටෙලස්කෝප් වර්ගයට කියන්නේ ශ්මිද්ට් කැසග්‍රෙන් කියල. ඒකෙන් අර ආකාශ වස්තුවෙන් එන ආලෝකයෙන් හැදෙන ප්‍රතිබිම්බය තැන දෙකක් නාභිගතවිම වළක්වනවා. (Spherical aberration )

දිමිත්‍රි මක්සුටෝව් ඉපදුනේ 1896 ඔඩෙස්සා කියන නාවික නගරයට ළඟ ගමක. ඔහුගේ මුත්තා පීටර් මක්සුටොව් නමැති කුමාරයෙක්. ඒ රදළකම සාර් දීල තියෙන්නේ යුද්ධයේ පෑව දක්ෂකම් නිසා. ඔහුගේ සීයා තමා රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ රුසියානු ඇලස්කාවේ අවසාන ආණ්ඩුකාරයා. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදය ඇලස්කාව මිලදී ගත්ත අවුරුදු  99 බද්දට.  

පොඩි කාලෙම පරාවර්තක දුරේක්ෂයක් තෑගි ලැබිල තිබෙනවා දිමිත්‍රි ට. වයස වඅවුරුදු  15දී වගේ අඟල් 10 ක විශ්කම්භයක් ඇති කාචයක් එක්ක  දුරේක්ෂයක් එයාම හදල තියනවා. ඒ කාලෙම වගේ රුසියානු තාරකා සංගමයේ සාමාජිකත්වය පවා දීල තිබෙනවා. පෙට්‍රොග්‍රාඩ්  නිකොලායෙව් ඉංජිනේරු විද්‍යාලය (පසුව ලෙනින්ග්‍රාද් යුධ තාක්ෂණ විශ්ව විද්‍යාලය)   අවසන් කරලා  අභ්‍යවකාශ දෘෂ්ටි විද්‍යා පර්යේෂණ කරන්න ගිහින් තියනවා ඔඩෙස්සා විශ්ව විද්‍යාලයට.  1930 දී මක්සුටොව් අභ්‍යවකාශ දෘෂ්ටි විද්‍යා පර්යේෂණ ලැබ් එකක් පිහිටුවනවා ලෙනින්ග්‍රාද් වලම රාජ්‍ය දෘෂ්ටි විද්‍යා විශ්ව විද්‍යාලයේ. ස්ටාලින් පදක්කම සහ ලෙනින් පදක්කම් දෙකක්ම ලැබිලත් තිබෙනවා ඒ වැඩ වලට. 

මක්සුටොව් 1941 දී මූලික කාචය ඉදිරියේ Spherical aberration තවත් නිවැරදි කිරීමට තවත් කාචයක් තිබ්බ. මුලදී මේ ක්‍රමය භාවිතා කලේ සෝවියට් දේශයේ පමණයි. නමුත් පසුව ළඟ ආකාශ වස්තුන්  නිරික්ෂනය කරන්න හොඳයි කියල තේරුම් ගත්තම සෙලෙස්ට්‍රෝන්, මීඩ් ,ක්වෙස්ටර් වගේ කොම්පැනි මේ ක්‍රම භාවිතා කරලා දුරේක්ෂ හැදුව. මගේ ළඟ තිබෙන්නේ  ඒ වගේ එකක්. 

මක්ස්ටෝව් කැසග්‍රෙන් දුරේක්ෂ වලින් හොඳටම බලන්න පුළුවන් අභ්‍යවකාශ භාෂාවෙන් කියන විධිහට ළඟ වස්තූන් දිහා. ඒ කියන්නේ හඳ , අඟහරු , බ්‍රහස්පති, යුරේනස් වගේ ග්‍රහ වස්තු දිහා. මගේ ගේ පිටිපස්සේ කෘතීම ආලෝකයන්  බාධා කරනවා  වැඩියි. (light polution)  එහෙම තියෙද්දිත් බ්‍රහස්පති ග්‍රහයා වටා යන හඳවල් හතර පහක් බලන්න පුළුවන්. ඔරායන් නෙබුලාවේ තාරකා සහ හත්දින්නත් තරු බලන්නත් අමාරුවක් නැහැ. 

ශ්මිද්ට් කැසග්‍රෙන් වර්ගය හොඳ ඈත වස්තූන් (deep sky objects)  බලන්න සහ ඒවා ඡායාරූප ගත කරන්න. 

ඉතින් මගේ වීඩියෝවේ තියෙන උපදේශය තමා මුලන්ම දවල් වෙලාවක ටෙලස්කෝප් එක අරගෙන ඈත තියෙන වස්තුවකට ෆෝකස් කරන්න. (focus) ඒක හරියට කාචයට වැදුනම ස්ටාර් ෆයින්ඩර් කියන ගැජට් එක  ඒකට පෙළ ගස්වන්න (align) . ඇල්ටට්සිමත් (alt - azimuth )  කියන මවුන්ට් එක තිබෙන  නිසා වමට දකුණට සහ ඉහලට පහලට ටෙලස්කොපය හසුරවමින් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් රෑ වෙලාවක කෙලින්ම අර ස්ටාර් ෆයින්ඩර් එකඟ තාරකාව හෝ ග්‍රහ ලෝකය හොයාගෙන ටෙලස්කෝප් එක එතනට හරවන්න. 



Saturday 8 January 2022

රුසියානු හිනා කතා

රුසියානු හිනා කතා කිහිපයක් දාන්න හිතුව. නිමල් දිසානායක හෙවත් ෆේමස් නිදි ගේ පංච තන්තරේ ට සපෝට් එකක් වශයෙන්. එයා හිනා කතා ලියන එක නවත්වන්න යනවලු. හිනා කතා කියන්නේ අප අතර හැම වෙලේම තිබෙන දෙයක්. ඕනෑම කරදර අවස්ථාවක  වගේම ප්‍රීතිමත් අවස්ථාවකත් අපට හිනා කතා කියන්න පුලුවන්. නැත්ද?  

(අළුත බැඳපු කෙල්ල)
මොකෝ , තව කුමර බඹසර තියාගත්ත එවුන් ඉන්නවද?

 බිරිඳ වෛද්‍යවරයෙකු වන සැමියාට දුරකතනයෙන් අමතයි.
"දයාබරය, ඔයා කොහෙද මේ වෙලාවේ ?"

එක්තරා වෙබ් අඩවියක සංගීත වාදනයක් සොයාගත හැකි විය. එය හඳුන්වා දී තිබුනේ මෙසේය:
සංසර්ගය සඳහා නොනවත්වා දිවෙන මෙලඩියක්.
දිවෙන සම්පූර්ණ වේලාව විනාඩි 2 තත්පර 29 


  
මේක මොන  සංකීර්ණ වැඩක්ද (වාහනයට තෙල් දැමීම)

 

ටැක්සි රියදුරෙකු ඇම්ඩා වැනි පුංචි කොලු ගැටයෙකු හා ඔහු ගේ මව රථයට නංවා ගත්තේය. කටකාරෙයෙකු වූ කොල්ලා  තොර තෝංචියක් නැතිව ඔහේ කියවයි.  රියැදුරාට හොඳටම මළ පැනලාය.
කොලු ගැටයා:  ඔන්න දැන් මගේ තාත්තා අලියෙක් නම් , මගේ අම්මා ඇතින්න, මම පුංචි අලි පැටියෙක්. එක්කෝ මගේ තාත්ත වෘකයෙක් නම් අම්ම වෘක ධේනුව , මම වෘක පැටියා.ඔන්න තාත්ත මොණරෙක් නම්, අම්ම සෙබඩ , මම පුංචි මොණර පැටියා ..ඔන්න ...වශයෙන් කියවයි.
ඉවසීමේ කෙළවරක උන් ටැක්සි රියැදුරා මෙසේ ඇසීය.
මේ කොල්ලෝ  උඹේ තාත්ත බූරුවෙක් නම් අම්ම බූරු දෙන නම් උඹ මොකාද?
කොලු ගැටයා; ටැක්සිකාරයෙක් 

ඇමෙරිකන් කාරයෙකුයි, ඉන්දියානුවෙකුයි රුසියානුවෙකුයි අපායට යැවුනලු. තුන් දෙනාම යමයා ට කියනවලු "අනේ අපි මෙහෙ ඉන්න ඕනේ අය නෙමේ, දිව්‍යලෝකේ ඉන්න ඕනේ" කියල.
  යමය කීවලු "හොඳයි මම උඹලට ගහනවා මගේ කසයෙන් තුන් පාරක්. උඹල බේරුනොත් මම උඹලව යවනවා දිව්‍යලෝකේ. නැත්නම් අපායේ ගිනි දැල් තමයි. උඹලට ලෝකේ ඕනෑම දෙයක් ආරක්ෂක පළිහක්   හැටියට භාවිතා කරන්න පුළුවන්"   
ඇමරිකන් කාරය සුපුරුදු විධිහට පැන්නලු ඉස්සරහට. "කජ්ජක් නේ. අපේ රටේ නොයෙකුත් රටවලින් ආපු හොඳම විද්‍යාඥයෝ ටික ඉන්නේ . කියල අපායේ කොමියුනිකේෂන් භාවිතා කරලා ඇමෙරිකාවට කතා කරලා ඩිප්ලිටඩ් යුරේනියම් (ඝනත්වය වැඩි) හෙම භාවිතා කරලා හයි ටෙක් පලිහක් හදල ගෙන්න ගත්තලු. ඇමෙරිකන් කාරය ඒක පිටි පස්සේ හැන්ගුනලු.  යමයා ගැහුවලු  පාරක්. පොඩි පැල්මක් ආවලු. දෙවෙනි පාර ගැහුවලු . පළිහ දෙකට කැඩුනලු. තුන්වෙනි පාරට ඇමෙරිකන් කාරය කෙලින්ම ගිනි දැල් ගොඩේ ලු.
ඉන්දියන් කාරයාගේ වාරේ. පොර හොඳට අත පය කරකවල යුරෝපේ, ඇමෙරිකාවේ යෝග ක්‍රම හොරකම් කරපු එවුන්වත් නොදන්නා සිරාම සිරා යෝග ධ්‍යානයකට සම වැදුනලු. යමයා දෑත බදලා ගැහුවලු හොඳ පාරක්. මුකුත් නැහැ. දෙවෙනි පාරත් ගැහුවලු. ඉන්දියන් කාරය පොඩ්ඩක් විතර වෙව්ලුවලු. තුන්වෙනි පාරට ඉන්දියන් කාරයට "හුප්" ගෑවුනාලු. එච්චරයි . යමයා හොඳටම සතුටු වෙලා "හා උඹ පලයන් දිව්‍ය  ලෝකෙට කියල."
යමය හැරුනලු රුසියානුව දිහාට. 
ඉන්දියන් කාරයෝ කියන්නේ හැම මගුලටම හොට දාන එවුන් හින්ද ඉන්දියන් කාරයා  කීවලු යාමයට, "අනේ මට අවසර දෙනවද රුස්සගේ පලිහ මොකක්ද ඌ බේරෙන්නේ කොහොමද බලන්. මම අහපු හැම ජෝක් එකේම රුස්සට තමයි හොඳටම කෙළ වෙන්නේ කියල"
යමයත් හා කියල රුස්සට   කිවලු, "කෝ උඹේ පළිහ . ලැහැස්ති කරපන් කියල"
රුසියානුව කීවලු "අපි කොහොමත් ටෙක්නොලොජි එක උස්සනව කියලනේ මුන් කියන්නේ. ඒ  නිසා අවුලක් නැහැ. මගේ පලිහ තමයි ඉන්දියන් කාරය " කියල. 

අපායෙන් ලැබුන   ආරංචි වල හැටියට රුසියානුව දෙව්ලොව ගිහින්.

අන්තිම එක සුපුරුදු පරිදි ස්ටාලින් ගේ එකක්. 

ස්ටාලින් කතාවක් කරනවලු පක්ෂ සම්මේලනයක. "මම මගේ රුධිරය බින්දුවෙන් බින්දුව කම්කරු පන්තියේ නිදහස සහ විමුක්තිය සඳහා පුද කරන්න ලැහැස්තියි " 

ශාලාවෙන් එනවලු පොඩි තුන්ඩුවක්.
"ස්ටාලින් සහෝදරයා , ඔක්කොම එකපාර පුද කෙරුවොත් වඩාත් සුදුසුයි නේද "







Monday 3 January 2022

ගොවියා, ධීවරයා හා කම්කරුවා

සුභ නත්තලක්ද ලිපියට ලැබුණු මේ  ප්‍රතිචාරය ඇත්තටම මා බලා පොරොත්තු වී හිටි එකක් යයි මට සිතේ. එනිසා මේ ප්‍රතිචාරයට ලිපියක්ම ලියමි.  මම පවුලේ කන බොන පින්තුර පමණක් නොව පවුලේ පින්තූරද දමන්නේ ෆේස්බුක් හි ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්  (අඹ යාලු)  කියා හදාගත් ගෘප් එකකටය. "පන්දාහට ආසන්න  මිතුරු" (මම අකමැති  කිහිප දෙනෙකු විටින් විට  අයින් කරමින් මේ ගණන  4953 ට සීමා කර ගනිමින් සිටිමි)  කැලක් සිටින නිසාත් ඒ බොහෝ අය පෞද්ගලිකව නොදන්නා නිසාත් පවුලේ පින්තූර හා විස්තර පෙනෙන්නේ අර කණ්ඩායමට පමණය.  හැබැයි ඉඳහිට මම මේ "ළඟ යහළු" ) ගෘප් එක වෙනුවට සම්පූර්ණ හාරදාහට වැඩි කට්ටියටම පෙනෙන ලෙසද පෝස්ට් දමමි. හැබැයි මම පබ්ලික් (ලෝකෙටම පෙනෙන - අර ලෝක ගෝලය සහිත) එකට පෙනෙන පෝස්ට් දමන්නේ ඉතා කලාතුරකිනි. නමුත්  බ්ලොග් අඩවියේ ලියූ කතාවක්  නිසා එය "පබ්ලික්" කලෙමි. 

දැන් අපි මේ ගොවි ධිවර කම්කරු කතාව දෙස බලමු. මේ මහතාට රිදී ඇත්තේ මෙවර නත්තල ඉහත කී ජන කොටස් අසීරු ලෙස ගත කරන නිසාය. ඔහු කියන්නේ  මා ඔවුන්ට පින්තූර විස්තර දමා කෝචොක් කරන බවයි. 
ඉතා කෙටියෙන් කිව යුත්තේ මා වැනි අය රැකියාවක් කරමින් උපයන මුදලින් පවුලට නෑදෑයින්ට උදව් ද කරමින් ජීවිතය  ගෙවන බවයි, .ඒ මුදල් කාගෙවත් නොවේ.  මේ කියන්නා මේ තැත්  කරන්නේ පිටරට සිටිනා වුන් කෙරෙහි වෛරය පතුරුවන්නට නොවේද . සැබවින්ම   ගොවියා,  ධීවරයා හා කම්කරුවා  තම විරෝධය පෑ යුත්තේ කාටද? 

පළමු කොට ඔවුන් විරෝධය  පෑ යුත්තේ හැම මැතිවරණයක් දීම ආගම් භේදය හා ජාති භේදය අවුස්සා චන්දය හොරකම් කරන උන්ට එරෙහිවය. මේ ලිපියේ කියන්නේ ආගමික භේද නොසලකන ලෙසටය. මේ තැනැත්තාට එයට රිදී තිබේ.

දෙවනුව ඔවුන් විරෝධය පෑ යුත්තේ ඔවුන්ගේ බදු මුදල් සොරකම් කර සැප විදින, ඔවුන්ව  වසර හැත්තෑවක් තිස්සේ මුලා කළ දේශපාලකයන්ටය. මොන පක්ෂයේ වුවද උන් බලයට පැමිණි වහාම කරන්නේ කොන්ත්‍රාත්තු වලින්, යෝජනා ක්‍රම වලින්, ව්‍යාපාර වලින්, සංස්ථා වලින්  නැත්නම් කෙලින්ම හෝ ජනතා මුදල් සොරා කෑමය. එසේම බදු විරහිතව සැප වාහන ගෙන්වාගැනීම, රට රටවල සංචාරයේ යෑම, තම දරුවන් බටහිර රටවල් උගෙනීමට යැවීම මේ සියල්ල මහජන මුදලින් කරති. ඒවා බුකියේද දමති. 

තෙවනුව විරෝධය පෑව යුත්තේ මේ ඉහත කී සියල්ලට තවමත් කඩේ යන උන්ටය. ඒ අයටද  මේ දමන ලිපි දිරවන්නේ නැත. 

දැන් මම කලපනා කලේ මෙය ලියන්නට ඇත්තේ කවුරුද කියාය.

ජවිපෙ සපෝටර් කෙනෙක් නම් විය  නොහැකිය. එහෙම හැඟවෙන්නට ලියා තිබේ. රසල් බණ්ඩාරවත්ත ගේ සිට බොහෝ ජවිපෙට  එළිපිට සහය දක්වන්නන් හැසිරෙන්නේ පෙර පරිදි නොවේ. ඔවුන් කුමන රටේ සිටියද කන බොන දෑ , සහභාගිවන වන සාද ගැන හෝ පදින වාහනය  ගැන විස්තර සඟවන්නේ නැත. එහි වරදක් මම නොදකිමි. ඒ කියන්නේ "අලුත් සපත්තු දාගෙන එන සිසුවකු ධනපතියකු කිරීමේ  සිට පොඩි කඩ කාරයන් ධනපතියන් ලෙස දඬුවම් කිරීමේ මානසිකත්වයක්  " තිබූ ජවිපෙ සහෝදරයන් ඒ තත්වයට පෙරලීම අපි  අගය  කල යුතුය.🙂

පෙරෙට්ටන්  හෙවත් අපේ හිතවත් පෙරටුගාමී සමාජවාදී සපෝටර් ලා ගැන මට ඇත්තේ 50/50 විචිකිච්චාවකි. ඔවුන් ගෙන් සමහරු හෙටානිද්දාට  බ්‍රිතාන්‍යයේ සිටිමින්ම එහි  ධනවාදය අර්බුදය නිසා හිටි අඩියේ කඩා වැටීමක් සිදු වෙන්නේ යයි සිතා සිහින දකින්නෝ වෙති. එනිසා තමන් ලන්ඩනයේ වෙසෙන සුපිරි ජීවිතය ලංකාවට හෙළි කිරීමට නොහැකිය.  එනමුත් නත්තල ආගමික භේදයකින් සැමරීමට කරන ආරාධනාවට ඔවුන් විරුද්ධ වේ යයි සිතීමද අපහසුය.  අනික ඔවුන් විසින්ද නොයෙකුත් සාද සංවිධනය කරන හෙයින් ජර්මන් කෑමක් ගැන කීමේ අරුමයක් ඔවුන් දකින්නට ඉඩක් ද නැත. ලංකාවේ පෙරටුගාමී පාක්ෂිකයන් තවම සිටින්නේ විජේවීර සිහිනයේ නිසා ඔවුන්ගෙන් කෙනක් වීමට ඇති හැකියාව නිසා 50% සම්භාවිතාවක් තිබේ. 😉

සමබිම  පක්ෂයේ හෙවත් දීප්ති ගේ අනුගාමිකයෙකු ලිව්වා යයි සැකයක් ද තිබේ. රත්මලානේ සිට වුවද ගොවියා,  ධීවරයා හා කම්කරුවා ගැන ඔවුන්ට හදිසි කැක්කුමක් ඇති විය හැකිය. නමුත් ඔවුන්ට  බොහෝ විට ෆේස්බුක් මඩ බලකායක් ලෙස නමක් වැටී ඇති නිසා බ්ලොගයට ඒ යැයි කිව නොහැකිය. ඔවුන් කරන්නේ හැකි තරම් ෆේස්බුක් වලට යන්නන් ඉන් එළවීමට තැත් කිරීම යයි මට සිතේ. එය හොඳ වැඩකි. ෆෙස්බුක් එක තරම්මරට වැසියන් ගේ  වෙලාව නාස්ති කිරීමට පොළඹවන ඇපක්  රටකට හොඳක්  විය නොහැකිය.
හැබැයි ත්‍රිමාණ සඟරාවේ පල කර තිබූ මේ දැන්වීම සහිත ලිපිය බැලූ  විට "  සුභ නත්තලක් කීවාට දීප්ති සහෝදරයා අමනාප වූවා වත්ද කියා සිතුනි.  



අන්තිමේ දී මා තීරණය  කලේ මේ කොමෙන්ටුව දමන්නට වන්නේ අතිශයින්ම පක්ෂවාදී පොහොට්ටු වංශිකයකු විය යුතු යයි කියාය.  අපේ හිත මිතුරන් හා ඥාතීන් ඒ කාලේ පොහොට්ටුවට සහයෝගය දුන්නද දැන් කතා කරන විට කියන්නේ "අපෝ මතක් කරන්න එපා " කියාය. ඔවුන්ට "සිරිමා පෝලිම්" දැන් ඇති වෙලාය. ඒ මදිවට පෙට්‍රල් ආයෙත් ගණන් ගිහින්ය. එළවලු එංගලන්තයට වඩා ගණන්ය.  අංක එක ගෝල් ෆේස් ග්‍රීන් එකට යන අයද සජිත් ගේ නෝනාගේ අලුත් කොණ්ඩ සාප්පුවට ගොස් ඉන්පසු ක්‍රැබ් කඩේ , ඕෂන්, සැෆයර් , බීච් බාර් , බැරකුඩා ආදී සෙනග පිරුණු තැන වලට යන සෙනග ඇරුණු කොට රටේ ඉතිරි ජනතාව යන අවන්හල්  ගෑස් නැති නිසා වසා ඇති බැවින්ද පොහොට්ටු වන්ශිකයාට ජුවල් ගොස් තිබේ.

මම අඬන්නේ ගොවියා,  ධීවරයා හා කම්කරුවා  තවමත් ඉවසන් සිටින නිසාය.  මට මා ගැනම එනිස පව් කියා හිතේ. 

ගොවියා, ධීවරයා, කම්කරුවා මෙවර නත්තල ඉතාම දුෂ්කරතා මැද ගෙවා දමද්දී අජිත් කීර්ති මහතා ලන්ඩනයට වී සංගීත නාටක බලමින්, කේක් කමින්, මාළු සැමන් කමින්, නොයෙකුත් රහ තියෙන මත්පැන් ලිකුඅර් liquor වර්ග හා කෝපි බොමින්, වයන් බොමින් සිටි.

ඒ අතරතුරේ ඒවායේ පින්තුරද දමමින් අන් යට කොචොක් කරයි. මෙවැනි ආත්මාර්ථකාමී, නින්දිත, අශික්කිත ආකාරයට හැසිරිය හැකි වෙනක් අයෙක් වේ නම් ඒ අජිත් කීර්ති මහතාම විය යුතුය.

මෙවැනි දෑ වලින් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? අනෙකාගේ වේදනාව නොතේරීම නොව, නොදන්නවා වගේ සිටීමය.

මේවා දමා අජිත් මහතා සිතනවා ඇත්තේ ගොවියා, ධීවරයා, කම්කරුවා පව් කියා විය යුතුය. ඒත් අපට කීමට ඇත්තේ අජිත් පව් කියාය.

**************************************