Monday 23 February 2015

වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය .......

විරවංශ මහතාගේ දියණිය තම මව වැළඳ ගෙන හඬන  අයුරු අප ඔහුගේ වෙබ් අඩවියෙන් දුටුවෙමි. දියණියන් සිටින පියකු වශයෙන් මට දැඩි කණගාටුවක් දැනුණි. දියණියකට මවකගේ උණුසුම අවශ්‍යය.

වීරවංශ හා ඔහුගේ ජාතිවාදී ලොට්ට අකමැති සුද්දාගේ රටේ මවට දරුවන් සිටීනම් බොහෝ විට සානුකම්පිත කරුණක් වශයෙන් සලකා අධිකරණය ලිහිල් දඬුවම් ලබා දෙයි. සුළු වරදක් ලෙස මට සිතෙන ගමන් බලපත්‍ර වරදට සමහරවිට ලිහිල් දඩයක් ගෙවීම ප්‍රමාණවත් යයි සිතේ. එහෙත් මෙම බලපත්‍ර යොදවාගෙන ඇත්තේ බැංකු වලින් අයථා ලෙස මුදල් ලබා ගැනීමට නම් උගත් විනිශ්චයකාරවරු සුදුසු දඬුවම් තීරණය කරනවා ඇත.
ඒ කෙසේ වුවත් ඔහුත් ඔහුගේ වෙබ් අඩවියත් කුගන්ගේ දියණියගේ කඳුළු ගැන කතා කරනවා මා  දැක නැත. ඇය  තම පියා,  සොයමින්, විරෝධතාවල මහා දවල් කැකෑරෙන අව්වේ වේලි වේලි සිටිනවා දුටිමි. වීරවංශ ගේ  දියණියට  මෙන් සැප වාහනයකට නැගී මව බැලීමට යාමටත්  වීරවංශ ගේ  බිරිඳට මෙන් සැප රෝහලක නැවතී සිටීමටත්,  නොව දුප්පත් නිවසක දිවි ගෙවා ගැනීමට දඟලන ගමන් කුගන්ගේ බිරිඳත් දියණියත් ඔහු වෙනුවෙන් හඬ හඬා ඇවිදිති.
කුගන්ගේ දියණිය 
එසේම තම පියාණන්ට  වූ දෙයක් සොයමින් අවුරුදු ගණනක් ඇවිදින තවත් පුතුන් දෙදෙනෙකු සිටි. ඒ මාධ්‍යවේදි එක්නැළිගොඩ ගේ පුතුන් දෙදෙනායි. ඔවුන් ගැන විරවංශ මහතා කතා කරනවා මම දැක නැත.
එක්නැලිගොඩ පුතුන්

අනිත් හඬන දියණිය  ජෙයකුමරිගේ දියණියයි. පරිවාස භාරයේ සිටින ඇයට තම මව බැලීමට වත් වරම් නැත. පියා  හා සහෝදරයන් තිදෙනෙක් අහිමි ඇයට මවත් අහිමි කල යුතුද?

තව දරුවන් බොහෝ ගණනක් ගැන ලිවිය හැකිය. යුද්ධයෙන් අනාථ  වුනු සෙබළුන්ගේ දරුවන් මෙන්ම දෙමල ජාතිකයන්ගේ ද දරුවන් බොහොමයක් සිටිති. ඒ ඛේදවාචකය  තවමත් නිම වී නැත. එහෙත් විරවංශ මහතාට එය වගේ වගක් නැත. ඔහු තවමත් කියන්නේ මේ තියෙන්නේ අපායට ඉන්ටවල් එකක් කියාය. 
විරවංශ මහතාණෙනි,
කුමාර් මහත්තයලා හා රෝහිත භාෂනලා  සමග පක්ෂයක් ගොඩ නැගු කාලයේ තිබු සංවේදී හිතේ  දශමයක් වත් ඉතිරිවී නැත්ද?  ඔබේ දරුවාගේ වේදනාව අපේ හදවතට දැනේ. ඔබටද දැනේ.එහෙත් අපට දැනෙන මේ අනාථ වී ඇති අනිකුත් දරුවන්ගේ වේදනාව ඔබට නොදැනේ. 
තවමත් ඉදිරියට ගන්නට යත්න දරන ඔබේ වෛරී දේශපාලනය නිසා හඬන්නේ  ඔබේ දියණිය පමණක්ද?


Thursday 19 February 2015

පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)

ඔන්න ඉතින් අපේ පුටින් උන්නැහේ දන්නවනේ රුසියාවේ. සෝවියට්  දේශය කාලේ  කේජිබී  ලෙෆ්ටිනන්ට් කෙනෙක්. පස්සේ ලෙනින්ග්‍රාද් (සාන්ත පිතර්බුර්ගය) පැත්තේ දේශපාලනේ කරලා යෙල්ට්සින් හරහා ඇවිත් ජනාධිපති වුණා. ඇස්වහක් කටවහක් නැහැ මන් මනාපය දෙන පොරක්. වෙන හේතුවකට නෙමේ වැටිලා තිබුන රුසියාව නැගිට්ටේවට. රුසියාව දියුණු රටක් වශයෙන් රුස්සට ජාතියේ ආඩම්බරය ඇතුව ජීවත් වෙන්න යලි ඉඩ සලසා දුන්නට. හැබැයි පොර මෙහෙමත් කලා. හොරකම් කර කර හිටි මදාවියෝ ටික තමන්ගේ යටතට අරගෙන ඒක  පිළිවෙලක් ඇතුව ගානට කරන්න හදල දුන්න, තමන්ට ගානක් එන විධිහට. දෙන්නේ නැති නහර කාරයන්ව එංගලන්තෙට පිටුවහල් කලා.  නාකි මිනිසුන්ව මරල උන්ගේ දේපල උස්සන එවුන්ව  අල්ලල හිරේ දාල ඒක  නවත්තල, උන්ට පැන්ෂන් වැඩි කරලා පාරවල් ටික අලුත් වැඩියා කලා රුසියාවේ, බෙදුම් වාදී චෙචේනියාවට කෙලින්ම බෝම්බ  දාල  හමුදා යවල මට්ටම් කරලා සාමය හැදුව,   අමෙරිකාවට කෝචෝක් එකක් එහෙම දාල  දැහැමෙන් සෙමෙන් වාර  දෙකක් හිටිය. පස්සේ ජනාධිපතිවරණේ  එනකොට පොර දැනගත්ත ආයි ඉල්ලන්න බැරි නීතියක් මේ යෙල්ට්සින් කියන වසවර්තිය දාල තියෙනවා කියල.
ඉතින් මොකද කරන්නේ. ටක් ගාල පක්ෂයක් ගත්ත සල්ලි වලට. මෙද්වෙදෙව් මලයට කිව්වා ජනාධිපති කමට ඉල්ලන්න කියල.  පූටින්  අය්යා  අගමැති කමට ඉල්ලුව. ඉතින්  අපේ නාමික ජනාධිපති ඉන්නවා මඟුල් ගෙවල් වලට යනවා එහෙම, කම්හල් අරිනවා පීත්ත  පටිය කපල හෙම වැඩ ගොඩයි.. පුටින් අගමැති රට පාලනය කළා. ඇමෙරිකන් කාරයා නම් වැඩිය කැමති වුනේ නැහැ. ඒත් ඔය අධිරාජ්‍යවාදියෝ කවුද ගණන් ගන්නේ. මෙන්න අවුරුදු 4 ගියා. ජනාධිපති හැටියට අවු 8 , අගමැති හැටියට 4 යි. 12 යි.  මෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපතිට අවුරුදු 6 ක් ඉන්න පනතක් ගේනවා. 2012 අගමැති පුටින් ආයේ  චන්දෙ ඉල්ලල ජනධිපති වුණා . අර කලින් කොමියුනිස්ට්  නායකයෝ මැරෙන  කන් හිටියේ එල්ලිලා.  15හක් ඉවරයි තව අවුරුදු 3 ක්  තියෙනව. ඊට පස්සේ හතරවැනි වතාවට ඉල්ලුවම (ඇයි දෙපාරක් පුළුවන්නේ ) ආයේ ඉතින් යාවජිව ජනාධිපති කිව්වත් කමක් නැහැ.

ඉතින් ඔන්න රුසියවට එහා ඈතම ඈත ඩිස්නිලන්තෙක හරිත වර්ණ කට්ටියක් අවුරුදු 17ක්  රට කාල  බීල  අහවර වුණාම, නීල  වර්ණ කට්ටියක් 1994 ඉඳන් රට පාලනේ කලා. ඒගොල්ල ගත්තෙත් කන බොන ගමන් රට වැසියටත්  පොඩ්ඩක්  දෙන්නම්  කියල පොරොන්දු වෙලා . හරිතවර්ණ එවුන් රක්ත වර්ණ උන්ගේ කැරැල්ලක් මැඩ  පැවත්වුවට උතුරු පැත්තේ චෙචෙන් කාරයන්ට වැඩක් දීගන්න බැරි වුන.  නීල වර්ණ එකීටත් බැරි වුනා . අවුරුදු දහයක් ඔහේ අද්ද අද්ද ගියාට පස්සේ රජතුමෙක් ජනපති වුනා. වණයක්  වෙලා හිටිය චෙචෙන් වගේ කට්ටියට විතරක් නෙමේ උන්ගේ අඹු දරුවන් ගේ ගෙවල් දොරවල් වලටත් බෝම්බ දාල මට්ටම් කරලා කොහොම හරි සාමය ගෙනාව. ඉතින් මිනිසුනුත් කැමැත්තෙන් පලවෙනි අවුරුදු පහ දුන්න . දෙවෙනි අවුරුදු පහ යනකොට  හරිත වර්ණ කට්ටියකුත් සෙට් වෙලා කාගෙන කාගෙන ගියා. සුදු අස්ස කරත්ත හෙම හිටි හැටියේ මතු වෙන්න ගත්ත. මිනිසුන්ට එපා වෙන්න ගත්ත. රජතුමා ව්‍යවස්ථාව වෙනස් කළා තුන්වෙනි පාර ඉල්ලන්න. මිනිස්සු කීව  දැන් කෑව ඇති කියල. රජතුමාගේ උපදේශකයන්ට තේරුණා වැඩේ වල්  වේගෙන එන බව. රජතුමා මේ පාරනම් සෙට් කියල උපදෙස් දුන්න. පිස්සුද බොල මන් වගේ එකෙකුට හේමත් වෙනවද කියල උදහස් වෙලා හැච් කළා ප්ලෑනක්.

රජතුමා කතා කලා සාස්තර කියන පුරෝහිතයට. " මම තුන්වෙනි පාර ඉල්ලනවා. මම දිනනවයි  කියල මුසාවක් කියපිය රට වටේ " කියල උපදෙස් දුන්න . පුරෝහිතය කීව ග්‍රහ බලපෑම  අනුව විතරක් නෙමේ  මිනිස්සු කියන කතා අනුවත් ඔබතුමා මේ පාරනම් පරදිනවා කියල. රජතුමා උදහස් වෙලා කිව්වා "යකෝ තෝ මාව දිනනවා කියල කිව්වේ නැත්නම් තෝව  දඬු කඳේ ගහල රජ අලියට කියල පාගවනවා" කියල. අරූ භයවෙලා අඬ බෙර ගහල යැව්වා  රජා  දිනනවා කියල. ඔය අව්වස්සේ මේ රටේම හිටිය විපස්සයෙක් . හරිම ආසයි විපස්සේට වෙලා ඉන්න.  විපස්සේ එවුන් කොච්චර තල්ලු කලත් ම්හු හොලවන්නම බැහැ. රජතුමා කතා කලා විපස්සයාට. කිව්වා විපස්සයෝ දන්නවනේ මම උඹට හැමදාම සලකනවා තේ බොන්න කෝපි  බොන්න කතා කරනවා.  මේක තියාගන්න ඕනේ නම් මට උදව් කරපිය කියල. විපස්සයත් කියන ඕන ලබ්බකට කැමති පොරක්. ඉතින් හැදුව ප්ලෑන. ඔහේ අර පරණ නෝනවයි ඉන්දියන් ඇමෙරිකන් කාරයෝ ටිකයි අන්ද ගන්නවා. වමාල ටිකත් සෝසෝ හරහා උඹ බලා ගනින්. සෝමේ ටිල්විල අනූ ලා මගේ පරණ කොල්ලෝ සැට් එක මාව 2005දී උස්සපු එවුන් ටිකනේ.  උන්වත් උඹ ගාවට එවන්නම්. ඉන් පස්සේ මම මගේ විශ්වාසවන්තම  ලේකම් කාරයා එවනවා උඹේ පැත්තට. ඕන වෙලාවක මම කියන එක අහන එකෙක්.  මාව යුද්දෙට තල්ලු කරපු අර කිව්වා නාහන පිංචක රතන සෙට් එකත් එවන්නම් ජාජිත් කොලූ එක්ක. මිනිස්සු ටික අන්ද ගන්න ඒ ඇති.  ඊළඟට උඹ  එවපන් උඹේ එකා මගේ පැත්තට. ඊට පස්සේ උඹ අගමැති  වෙලා මගේ එකාව  ජනාධිපති කරපන්. විපස්සයත් බොහොම අකමැත්තෙන් විපස්ස කම දාල යන්න බෑ කියල බෑඟිරි ගහල හෙම කැමති වුණා.  පොර අහනවා.

"ඉතින් ඊට පස්සේ මට විපස්ස කම හම්බ වෙන්නෙම නැත්ද ?"
"ඔය ඉතින් සරත්මධු වෙන්න යනවනේ. ඉඳපන් කියනකන්.  ඔන්න උඹ අගමැති වුනාට පස්සේ අර මාත් එක්ක ටුවර්  ගිය ජිල්ජෝනට භාර දීපන් පොලෝසිය. ඔය පෙළපාලි ගිය නීතිඥ උන්ට හොඳ සභාපති කමක් දෙකක් දීපන්. ජනරාලයත් පව්නේ ආපහු ඔක්කොම දීලා තියන් ඉඳපන්. නැත්නම් මිනිස්සු  බලයි මොකද කියල. වැඩිය දෙන්න එපා ගන්න අමාරු වෙයි. "
"ඉතින් ඊට පස්සේ "..
"ඔය ආයි ඉතින් මට ඔය දේදුනු කැලුම් පෙන්නන්න බැහැ". මොන් ගලයව පුළුවන් තරම් එලියෙම්ම  තියා  ගනින්. ගල් ආඳා. අපේ වැඩේ මාට්ටු වෙයි. යවපන් ලෝකේ වටේ. මම බයිලලනිපේ ලේකම් ටම දෙන්නම් සභාපති කොමත් . එතකොට ඒකත් හරි. උඹේ හිටිය ලේකන්ව මිනිස්සුන්ට පේන්න දවසක් දෙකක් ඇතුලට දාල ගනින් එලියට. හැබැයි ඔන්න මගේ කොල්ලෝ ටික  හෙම ඇතුලට දාන්නේ නැහැ විහිළුවටවත්. බිසෝ තුමී මගේ ඔලුව පලයි. ඕන් ඔහොම යනකොට මිනිසුන්ට උඹව නිකම්ම එපා වෙනවනේ.
ආ කියන්න අමතක වුනා. දන්නවනේ මගේ පුරෝහිත වංශ, නානලා සෙට් එක. උන් උගේගොඩ හෙම රැස්වීමක් දෙකක් තියල  මාව ආපහු ඉල්ලයි. උඹට තියෙන්නේ ආපහු චන්දෙ තියන්න.
එතකොට මං අගමැති , මගේ ලේකම් කොලූ ජනාධිපති උඹ ආයිත් විපස්සේ. ඊට පස්සේ මම ව්‍යවස්ථාව වෙනස් කොරනවා මට අවුරුදු දහය ගානේ ඉන්න. උඹ අවුරුදු 20ක් විපස්සේ ආයි. කොහොමද මගේ ටිකිරි මොලේ." විපස්සයට කොච්චර ජොලියක්  ගියා ද කියනවනම් රජතුමාව ඉඹින්නත්  හැදුව. හොඳ වෙලාවට රජතුමා සාටකෙන් මුණ වහ ගත්ත.
ඔය වෙලාවේ සුදු අස්ස කරත්තයක් හය්යෙන් ඇවිල්ල අස්ස කකුල් හතරම තද කරලා බ්රේක් ගැහුවා.
"ඒ සද්දෙට මට ඇහැරුණා."

Monday 16 February 2015

ජෝන් ගේ නීතිය, කුමාර් ගේ නීතිය, තෙවරප්පෙරුමගේ ගේ නීතිය, ශෂී ගේ නිතිය ......උපුල්ගේ සම්මානය



ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ‘නීතියේ ආධිපත්‍ය‘ පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානයකින් පිදුම් ලැබීමට නියමිත බව ලංකා නිව්ස්වෙබ් අඩවියේ  පලවී තිබේ. මරණ තර්ජන අතර නීතියේ සාධාරණත්වය උදෙසා සටන් වැදුණු ඒ මහතාට සුභ පතමි. නමුත් ‘නීතියේ ආධිපත්‍ය' සඳහා සටන ඒ මහතා ආයෝජන  මණ්ඩලයේ සභාපති ධුරය  ලැබීමෙන් පසු අත් හිටුවා ඇත්ද?
නීතිය  ගැන කතාබහක් මා  සහ තවත් කීප දෙනෙකු අතර  මා අගෝස්තුවේ නිවාඩුවට ශ්‍රී ලංකාවට ගිය විටදී ඇති වුනි. මෙය පසුව අප නතරවී සිටි හෝටලයේ අයිතිකරු, කළමනාකරු සහ තවත් කීප දෙනෙකු ද සම්බන්ධ කරමින් දිග ගැසුණි. සිද්ධියට පාදක වුයේ හෝටලයේ ශාලාව කුලියට කිසියම් උත්සවයක් සඳහා ලබා ගන්නට පැමිණි සුළු දේශපාලකයෙකු නිසාය. ඔහු නීතියටද සම්බන්ධ අයෙකි. ඔහු ශාලාව ඉල්ලුවේ කුලියට නොව නිකම්ය. එහිදී අයිතිකරු පත්වූ අසරණ කම මම දුටිමි. 
නීතිය යනු ලංකාවේ පළාත්බද යුව රජවරුන්, මන්ත්‍රී ලා  , පලා  බබාලා   හා ඒ මදිවාට උන්ගේ කුක්කන් ගේ ප්‍රාදේශීය නීතිය බවත් පොලිස් නිලධාරීන් ලා බබාලාගේ දාමරික කුක්කන්ටත් සැලියුට් ගැසිය යුතු බවත් ජනතාව පවසති. 
අග්‍ර විනිශ්චයකාරතුමිය ඉවත් කිරීම  (ශිරාණි බණ්ඩාරනායක) වැනි  සිදුවීම් සළකා  බලන විට, ප්‍රදේශයෙන් ඔබ්බට ගොස් පළාත් අනුව සළකා බලන විටත්, මුළු රටේම තිබු පාලනය සළකා බලන විටත්, හිටපු රජතුමා හා ඔහුගේ  සොහොයුරන්ගේ නීතිය  රටේ නීතිය  බවට පත්ව තිබුණු බවක් පැහැදිලිව පෙනුණි.

යහපාලන ජනාධිපති තුමා  පත්වූ විට බොහෝ අය  මේ තත්වය වෙනස් වෙතැයි සිතුහ.  යහපාලන ජනාධිපතිතුමා මුල් කාලයේ සිටම පොරොන්දුවූ පරිදි යහපාලන අගමැතිට පාලනය බාර දී විවේක සුවයෙන් මංගල්‍ය උත්සව ආදියට  සහභාගී වෙමින් කල් ගෙවෙන සෙයක් දක්නට ලැබුණි.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර මහත්තයා ජනාධිපතිවරණයට පෙර  ලංකාවට පැමිණියේය.  ඔහුගේ හෝ ඒ පක්ෂයේ එම තීරණය ගැන මට ප්‍රශ්න ඇතත් ඔහු දේශපාලනයේ යෙදීම ගැන මට ප්‍රශ්නයක්  නැත. එය ඔහුගේ අයිතියකි. කුමාර මහත්තයා සංචාරක වීසා  එකකින්  පැමිණ ඇති නිසා ඔහුට ලංකාවේ දේශපාලනයේ යෙදෙන්නට හෝ රැකියාවක් කර මුදල් ලබා ගැනීමට නීතියෙන් ඉඩක් නොමැත.  පෙසපේ පවසන්නේ ඔහු මේ රටින් පිටව ගියේ මරණ තර්ජන නිසා බවත් දේශපාලනය කිරීමේ වරදට බවත්ය. එය ඇත්තකි. ඔවුන් තව දුරටත් පවසන්නේ දේශපාලන හේතුන් මත රටින් ජීවිතය බේරා  ගැනීමට ගිය අයෙකුට කොන්දේසි විරහිතව රටට ඒමටත් නැවත දේශපාලනයේ දීමටත් ඉඩ දිය යුතු බවයි.
නමුත් කවුරුන් හෝ  විසා  කාලය අවසන් වූ  පසු වීසා  දික් කර ගැනීමට නොගොස් රැඳී සිටීම අනවසරයෙන් රැඳී සිටීමකි.  එනිසා ඔහු පිටුවහල්  කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තැත්  කිරීම වරදක් නොවේ.  අනවසරයෙන් වීසා  නැතිව රැඳී සිට සම්භාහන හල්  වල වැඩ කරන විද්ශීය කාන්තාවන් හා හොරණ පැත්තේ කම්හල් වල වැඩ කරන ඉන්දීය ජාතිකයන් අල්ලා  පිටුවහල් කිරීම සිදුවේ.  මෙම නීතිය  ලංකාවේ ඉපදුන එහෙත් වෙන රටක පුරවැසියෙකු වන අයෙකුට අදාලද? දේශපාලන හෝ ආර්ථික හේතූන් මස පිටව ගිය සැමට රටේ පුරවැසි භාවය නැවත  ලබා දිය යුතු නැත්ද? එසේ නම් එය නීතිය වෙනස් කිරීමෙන් කල යුත්තකි. පවත්නා නීතිය අනුව කුමාර් මහත්තයා   සිටින්නේ  අනවසරයෙනි. එම පක්ෂයේ ප්‍රකාශකයන් කියන්නේ නිතිය නොසලකා දේශපලන ප්‍රශ්නය පමණක් සලකා බලා  ඔහුට ලංකාවේ සිටීමට ඉඩ දිය යුතු බවයි.
නමුත් මේ ප්‍රශ්නයේ පොඩි කොස්සක් තිබේ.
ශෂී විරවංශ හොර ආගමන විගමන බලපත්‍ර සාදා  ඇති දැන් ඔප්පුවී ඇත කියා පොලිසිය කියයි. ඇයට  මේ ගැන චෝදනා කරමින් කරදර කරන්නේ තමන්ගේ දේශපාලනය නිසා බව විමල් විරවංශ මහතා කියයි. නීතියට අනුව ඇය අත්  අඩංගුවට ගත යුතු වුවත් එසේ නොවීමෙන් පෙනීයන්නේ විමල්  මහතාගේ තර්කය පිළිගෙන ඇති බවද? සැමියා දේශපාලනය කල නිසා හා දැන් විරුද්ධ පැත්තේ නිසා බිරිඳ වරදක් කල විට අත් අඩංගුවට ගැනීම හෝ නඩු පැවරීම අසාධාරණද?
වාස්  ගුණවර්ධන නමැති හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ හිරන්ති රාජපක්ෂ මැතිනියට රත්රන් වංචාවක් පිලිබඳ චෝදනාවක් කළාය. ඇගේ පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  ඉල්ලා සිටියේ  තමන්ගේ දේශපාලනය නිසා තම මවට කරදර නොකරන ලෙසය. එයටද රජය සවන් දුන් බවක් පෙනේ.

දැන් මෙහිදී  නීතිය සිද්ධීන් තුනකදී තෙයාකාරයකට  ක්‍රියාත්මක වෙමින් තිබේ.
ජවිපෙ සෝමවංශ අමරසිංහ ලංකාවට පැමිණි පසු ඔහු ගැන සොයා නොබලා ලංකාවේ සිටීමට ඉඩ දී තිබුණි. එකල ජවිපෙ විසින් පැවති  ආණ්ඩුවට සහයෝගය දීම  නිසා  රජය විසින් නීතිය  නිහඩ කල බවට පෙසපේ චෝදනා කරයි. එම චෝදනාවද සත්‍යයකි. ඉන් පෙනී යන්නේ එවකට පැවැති  රජයන්ද නීතිය තමන්ට අවශ්‍ය පරිදි  වෛශ්‍යා  වෘත්තියේ යොදාගත් බවයි. නමුත් ඉන් නැගෙන අනිත් කරුණ නම් ජවිපෙට එසේ සැලකූ නිසා පෙසපෙටද එසේ සැලකිය යුතු බවද? නැත්නම්නීතිය  ක්‍රියාත්මක කල යුතු බවද?
එසේ නම් සෝමවංශ අමරසිංහ ලංකාවේ සිටින්නේ අනවසරයෙන් නම් ඔහුත් නැවත ලන්ඩනයට පිටිවහල් කල යුතු වේ.

පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ට තවමත් ඇප  ලැබී නැත.  ඔහු කලේ වරදක් වුවත්  ඔහු දණ  ගැස්සවූ තැනැත්තාත් (පලාත් සභා මන්ත්‍රීවරයා)  සුදනෙකු නොවේ. ඒ තැනැත්තා ඊට පෙර ඒ ආකාරයෙන්ම තග වැඩ කළ  අයෙක්  යයි කියනු ලැබේ. ඒ වරදම වෙනත් ආකාරයෙන්ම වත්තලදී සිදුවී තිබේ. එයට සම්බන්ධයයි පවසන ජෝන් අමරතුංග  ඇමතිවරයා තවමත් එම ධුරයේම  රැඳී සිටි. එයට පරීක්ෂණයක් වත් නැත. නැවතත් සිද්ධීන් දෙකකදී නීතිය  දෙයාකාරයකින් ක්‍රියාත්මක වී තිබේ. එසේම ජෝන් අමරතුංග මහතා මහජන ආරක්ෂාව පිලිබඳ ඇමැතිවරයාය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට  ‘නීතියේ ආධිපත්‍ය' සුරැකීම  පිලිබඳ සම්මානයක් ලබා දීම ගැන මගේ විරුධත්වයක් නැතත් එය ඉක්මන් වැඩි යයි මට සිතේ. උපුල් ජයසූරිය මහතාට ‘නීතියේ ආධිපත්‍ය' පිහිටුවීම සඳහා තවමත් සටන් කිරීමට සිදුව ඇති බවක් අපට පෙනී යන මුත් ඒ මහතා ගේ නිහඬ බව අපට ප්‍රශ්නයකි.  

මේ ගැන මගේ මිතුරකු අපුරු දෙයක් පැවසුවේය. පසුගිය කාලය මුළුල්ලේම  පොලිසිය හා අනිකුත් ආයතන කටයුතු කලේ ඉහලින් එන රජ අණ  පිලිපදිමිනි. නැත්නම් පළාත්බද යුව රජුන්ගේ හෝ ප්‍රාදේශීය පලා  බබාලගේ කැමැත්ත අනුවය. මිනිසුන් අත්අඩංගුවට පත් වුයේත් මැරුම්  කෑවේත්  සිරයට ගියෙත් ඒ අනුවය. සාධාරණ නීතියකට අනුකුලව  ස්වාධීනව වැඩ කිරීමට ඔවුන්ව නැවතත් පුහුණු කල යුතුය.
නැත්නම් මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපතිවරයා විසින් එම ධුරයේ බලය අත හරින බවට දුන් පොරොන්දුව පසෙක ලා එම බලතල පාවිච්චි කරමින් මේ රූකඩ  රැළ මෙහෙය විය යුතුය.
දැන් සිදුවෙමින් පවතින්නේ හෝ පවතින්නට යන්නේ එයයි. 

Monday 9 February 2015

සිජැක් ගේ කථාවක්

මිනිසෙක් කෝපි  කඩයකට ඇතුළුවූ සැනින් සැනෙකින්ම තමන්ට කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ඉල්ලා සිටි. 

කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා මෙසේ  කියයි: "මන් විශවාස කරන විධිහට අපි   ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර වෙලා. ඔබ සිනි නැති කෝපි  කෝප්පයක් ලබා ගන්න කැමතිද?"

සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා  මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.

මෙය උපුටා ගත්තේ ස්ලාවොයි සිජැක් ගේ මුහුණු පොතේ එක එකවුන්ට් එකක පල වුවකිනි.

මෙයට පිළිතුරක් සපයන  ඇන්ඩි බෙස්ට් මෙසේ ලියයි: 

පරණ සෝවියට්  විහිළු කතාවක්  මෙසේයි.

සෝවියට් කාන්තාවක් ආහාර (මස්) විකුණන වෙළඳ හලකට ගොඩ වදියි.

"ඔබල ළඟ මස් විකුනන්න තිබෙනවද?"

"නැහැ අපි ළඟ නැහැ "

"එහෙනම් කිරි තිබෙනවද ?"

"අපි විකුනන්නේ මස් විතරයි. පාරෙන් එහා පැත්තේ කඩේ තමා කිරි විකුනන්නේ. නමුත් ඒ ගොල්ල ගාව  කිරි නැහැ. "


මා මොස්කව් නගරයේ සිටි කාලය තුලදී සෑම දවසකම වාගේ අපි හරක් මස් හෝ කුකුළු මස් සමග බත් ඉව්වෙමු. ඒවා එතරම් මිල අධික නොවුනි. එළවලු හැටියට වැඩිපුරම කෑවේ මා ලු මිරිස්, කැරට්  හෝ බිට්රුට් ය.  පෝලිමේ සිට මේවා ලබා ගත්තත් කවදාවත් මස් නොමැතිව තිබ්බේ නැත. මෙයට හේතුව අහල පහල ගොවිපලවල සියලුම නිෂ්පාදන මොස්කව් වලට එවීම නිසා යැයි බොහෝ අය කිහ. පිට පළාත්වල කෑම නැති බව බොහෝ විදේශික ශිෂ්‍යයන් මා  සමග කිහ. එය සත්‍යයක් දැයි නොදනිමි.
නමුත් බඩ  ගින්නේ පෙලෙන රුසියානුවෙක් හෝ කෙට්ටු රුසියා නුවෙක්  කිසිදා නොදුටිමි.

වරක් මම තව මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගියෙමු. එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල්  වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැත. ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන්  ගෙන් ඇසීමු.
"කඩේ වැඩ කරන මහත ගාල්යා හරි හොඳයි. කඩේට  මස් ජාති මාළු  ඔක්කොම ආවහම  එයා  හැමෝටම පණිවිඩ එවනවා.  පස්ස දොරින් ඔක්කොම විකුනනවා. කිසි අවුලක් නැහැ. බය වෙන්න එපා අපේ ගෙවල් වල කෑම ඕන තරම්."

මේ දුෂිත සමාජවාදයයි. 


(මෙහිදී දුෂිත සමාජවාදයද ? මිනිසුන්ද ? මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ?)

- මෙහි බැරිස්ටා යනු කෝපි  කඩේ වැඩ කරන කෝපි  සාදන්නායි. කිරි වෙනුවට කෝපි ක්‍රීම් බොහෝ ආපන ශාලාවල භාවිතා වේ . 
-- මෙහි සිජැක් යනුවෙන් සි අකුර යොදා ලියා  ඇත්තේ ඕනෑ කමිනි. 

Thursday 5 February 2015

තාරකා නිරීක්ෂණය - දුරේක්ෂයක් තෝරා ගැනීම

දෙනෙතියක් තෝරා ගැනීම පිලිබඳ හොඳ  ප්‍රතිචාරයක් ලැබුන නිසා මේ ලිපියත් ඉක්මනින් ලිවිමට සිතුවෙමි .
එම ලිපියට මෙතනින් යන්න.
http://kolambagamaya.blogspot.co.uk/2015/01/binoculars.html

දෙනෙතියක් මිලදී ගැනීමේදී එහි කාචයන් දෙකම හරියට එකම වස්තුවකට නාභිගත කිරීම  (focusing ) හරියට වෙනවාදැයි නිරීක්ෂණය කළ  යුතුයි. දුරේක්ෂයක් ගැනීමේ ක්‍රියාවලිය මිට වඩා ටිකක් සංකීර්ණයි. ඒ අප විසින් තාරකා නැරඹීමට ගන්නා කාචය සවි කල යුතු නිසා.

දුරේක්ෂ හෙවත් ටෙලස්කෝප ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා. පරාවර්තක (reflectors) හා වර්තක (refractors) යනුවෙන්. වර්තක නැත්නම් refracting කෝප් එකක කාච විසින් වස්තුවේ ප්‍රතිබිම්බය සදනවා.  පරාවර්තක එහෙම නැත්නම් reflecting කෝප් එකක වක්‍රාකාර දර්පණයක්  කාචය වෙනුවට භාවිතා වෙනවා. එතකොට ආලෝකය එකතුවන මුල් කාචය හෝ දර්පණය  මුලික කාචය (primary lens) හෝ මුලිකදර්පණය  ලෙසත්  (primary mirror) ඇස  ළඟ තිබෙන කාචය eyepiece lens හෙවත් උපනෙත ලෙසත්  හැඳින්වෙනවා.

වර්තක (refracting telescopes) දුරේක්ෂ:
1608 දී පමණ ඕලන්ද ජාතික අක්ෂි විශේෂඥයෙකු වන හෑන්ස් ලිපර්ෂේ කාච දෙකක් තුලින් බැලීමේදී ඈතින්  තිබෙන වස්තුවක ප්‍රමාණය විශාලවී පෙනෙන බව සොයා ගත්තා. මෙම දැනුම යොදා ගනිමින් ගැලිලියෝ ගැලිලි සඳ බැලීම සඳහා වර්තක දුරේක්ෂයක් තැනුවා. එය ගැලිලියන් දුරේක්ෂය නමින් හඳුන්වනවා. ආලෝකය අභිසාරී වන (එකතු කරන) කාච (converging lens ) යොදා ගනිමින් 1630 දී ජොහැන්නස් කෙප්ලර් විසින් වඩා හොඳ දුරේක්ෂයක් තැනුවා. එයට කෙප්ලරියන් දුර දක්නයක් කියා කියනවා. පහත ඇත්තේ අඟල් 36ක විශ්කම්භයක් සහිත කාචයකින් යුත් ලික්  නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂයයි.
ලික්  නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂය
මේ දුරේක්ෂ වල දුර්වලකම වන්නේ ආලෝකය එකතු කරන  කාචය විශාල කරන තරමට නිරීක්ෂණය කරන වස්තුව විශාල වන නිසා කාචය විශාල කල යුතු වුවත් එය  කිරීමේ සිමා ඇති විමයි. එසේම විශාල කිරීම වැඩි කිරීම සඳහා  නාභිගත දුර වැඩි කිරීමට සිදු වීමයි. නාභිගත දුර  (focal length) කියන්නේ  කාචයේ සිට ආලෝකය එක්වන නාභියට  (focal point) ඇති දුරටයි. මෙහිදී  ගෝලීය අපේරණය (spherical aberration) කියා දෙයකුත් සිදු වෙනවා. එනම් ආලෝක කිරණ එක නාභියකට යොමු වෙනවා වෙනුවට නාභින් දෙකකට යොමුවී වස්තුවේ ප්‍රතිබිම්බය විකෘති වීමයි. 
මේ සිදුවීම පහත රුපයෙන් දක්වා ඇත. 
ගෝලීය අපේරණය (spherical aberration) 
මේ දුරේක්ෂ්වල වල කුඩා කාච  ඇති ඒවා පවුම් සියයකට වඩා අඩුවෙන් මිලට ගත හැකි නිසා මේවා ලාභදායි බව කිව යුතුයි.

පරාවර්තක (reflecting telescope )

අයිසැක් නිව්ටන් තේරුම් ගත්තේ වක්‍ර දර්පණයක් භාවිතා කර ආලෝකය පරාවර්තනය කිරීමෙන් දුරේක්ෂයක් සැදුව හැකියි කියා. බොකු ගැසුණු (අවතල) ගෝලීය දර්පනයක් හා එය ඉදිරිපසින් ශ්මිද්ට් ප්ලේට් නම් තවත් ආලෝකය විනිවිද යා  හැකි විදුරු තලයක් තැබීමෙන් ඉහත සඳහන් කල ගෝලීය අපේරණය (spherical aberration) නැති වෙනවා. මෙයට කියන්නේ ශ්මිද්ට් ටෙලස්කෝප් කියා. මෙය පහත පින්තුරයේ දක්වා ඇත.
ශ්මිද්ට් ප්ලේට් සමග වක්‍ර දර්පණය 
නිව්ටන් මේ මුලධර්මය භාවිතා කරමින් නිපදවූ දුරේක්ෂය නිව්ටෝනියන් යනුවෙන් (newtonian telescope ) හැඳින්වෙනවා. පහත ඇති රුපයෙන් මෙය වඩාත් පැහැදිලි වනු ඇත. නිව්ටන් කලේ තවත් පුංචි පැතලි දර්පනයක් තබා එයින් තාරකාවේ ආලෝකය තවත් උපනෙතකට (eyepiece ) යොමු කිරීමයි.
නිව්ටෝනියන් පරාවර්තක දුරේක්ෂය 
පහත ඇති පින්තුරයෙන් දැක්වෙන්නේ මගේ මුල්ම හේලියස් නිව්ටෝනියන් දුරේක්ෂයි. මෙය අවුරුදු අටක් විතර පරණයි. මගේ බිරිඳ උපන්දිනයට ත්‍යාගයක් ලෙස අරන් දුන් නිසා මම මිල නොදන්නා මුත් ඒ දවස් වල පවුම් 300 පමණ වුන බවත් දැන් මේ දුරේක්ෂ ඊට වඩා මිල අඩුවෙන් පවුම් සියකට පමණ ගත හැකි බවත් සඳහන් කල යුතුයි. 
මෙහි පහල ඇති සිදුරට තමා  උපනෙත ඇතුලත් කරන්නේ. මෙහි දෙපැත්තේ ඇති අඬු වැනි දෙක  එය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයයි. ඊළඟ ලිපියේ දුරේක්ෂයක් සවි කරන ආකාරය  (mount) ලියන නිසා ඒ ගැන වැඩි දුර දැන් ලියන්නේ නැහැ.
පහත ඇති පින්තුරය මෙහි මෝටරයයි.
මේ දුරේක්ෂයේ විෂ්කම්භය මිලි මිටර 114ක්.(අඟල් 4.5) සහ නාභි දුර (focal length) එක මිලි මීටර 900ක්. මෙයින් අප නිවසේ පිටු පස සිට අසල නිවෙස් වල විදුලි 
ආලෝකය තිබෙද්දිත් බ්‍රහස්පති ග්‍රහයා  සහ එහි චන්ද්‍රයන් හතරක් පමණ නැරඹිය හැකියි. එසේම මෙහි උපනෙත් ඉවත් කර එතනට කැමරාවක් සවි කර චායාරූප ගත හැකියි.  මේ දුරේක්ෂයේ දුර්වලතාවය නම් එහි විශාල බවයි. ඔසවාගෙන  වෙන තැනකට යන්නට උඩ කොටස ගැලවිය යුතුයි. වාහනයක දමා ගෙන අඳුරු පෙදෙසකට යාමට ගත වන වේලාව වැඩියි. එසේම තාරකා බැලීම සඳහා එල්ලය ගැනීමේදී (align) ඒ සඳහා බොහෝ වෙලාවක් වැය කල යුතුයි. මෙහි මෝටරය වැඩ කරන්නේ ඉතා සෙමින්. නමුත් තාරකා  බැලීමේදී ඒ වේගය ප්‍රමාණවත්.
මවිසින් මිලදී ගත් දෙවන දුරේක්ෂය සෙලස්ට්‍රෝන් නෙක්ස්ට් ස්ටාර් 127 යනුවෙන් හැඳින්වේ. මෙහි කාචයේ විෂ්කම්භය මිලිමීටර 127. (අඟල් 5) නාභි දුර (focal length) එක මිලි මීටර 1500ක්.
මෙය මක්සුතොව් කියලත් හඳුන්වනවා. මේ දුරේක්ෂයේ වැදගත්කම වන්නේ මෙහි විශාලනය (magnification) එක කලින් එකට වඩා  වැඩියි. විශාලනය කියන්නේ දුරේක්ෂයේ නාභිගත දුර (focal length) එක උපනෙතේ (eyepiece ) නාභිගත දුරින් බෙදුවාම ලබන අගයයි. අපට මිලිමීටර 25ක උපනෙතක් තිබෙනවානම් මෙම දුරේක්ෂයේ විශාලනය 60ක් (1500/25) වන අතර මුල්  එකේ 36ක් වනවා. (900/25). තවත් වැදගත් දෙයක් වන්නේ මෙය කුඩා සුරු බුහුටි පහසුවෙන් සවි කල හැකි එකක් වීමයි. මෙහි ඇති හෑන්ඩ් කොන්ට්‍රෝල් එකට ස්වයංක්‍රීය ලෙස දුරේක්ෂයේ එල්ලය ගත හැකියි. මෙහි ඇති කුඩා කොම්පියුටරයේ තාරකා මණ්ඩල, තාරක හා ග්‍රහලෝක 30000 ක තොරතුරු තිබෙන නිසා තාරකා  සෙවීමත්  පහසුයි. එසේම මෙය ලැප්ටොප් එකටත් සම්බන්ධ කල හැකියි. ලැප්ටොප් එකට සම්බන්ධ කලවිට ඒ සඳහාම තාරක හඳුනා ගැනීමට මෘදුකාංගයක් තිබෙනවා . උපනෙත සවි කරන තැනට කැමරාවක්ද ලෙහෙසියෙන්ම සවි කල හැකියි. වැරැද්දකට ඇත්තේ කාචයේ විෂ්කම්භය කලින් එකට වඩා විශාල  අඟල්  භාගයක් පමණයි. නමුත් විශාලනය වැඩි නිසා එය එතරම්  බල පාන්නේ නැහැ. මෙහි මෝටරයේ වේගය 1-9 දක්වා අනුපාතයට වැඩි කල හැකි අතර එල්ලය බලන ෆයින්දර්ස්කෝපය (star  point finderscope)  ලේසර් පොයින්ටර් එකක් නිසා තාරකාවට එල්ලය ගන්න පහසුයි. මෙයට බැටරි හයක් දැමිය හැකි අතර මේන් සප්ලයි ලයින් එකටද සම්බන්ධ කළ හැකියි. බැටරි චාජර් එකකටත් සම්බන්ධ කල හැකියි.
 පහත පින්තුරයේ ඇත්තේ මා  එය පාවිච්චි කල අවස්ථාවක්. 
මේ පින්තුරය මගේ මොබයිල් එකේ කැමරාවෙන්  ගත්  පින්තුරයක්. මෙහි ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයා සහ එහි ගැලියන් චන්ද්‍රයන් (ගැලිලියෝ පළමුවෙන් සොයා ගත්  නිසා එසේ නම් කර ඇත) වන ඉයෝ, යුරෝපා , ගැනිමීඩ් හා කැලිස්ටෝයි.
ඊළඟ  ලිපියෙන් දුරේක්ෂයක් තාරකා බැලීමට සවි කිරීමේදී දැන ගතයුතු කරුණු පිලිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්.

- අජිත් ධර්මකීර්ති 
(Fellow of Royal Astronomical Society)